එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Friday 24 February 2012

෴ දිය හොල්මන෴


ගීතය සහ සංගීතය පිළිබඳ විවිධ මාතෘකා ඔස්සේ  පසු ගිය කාලය පුරා ම එක දිගට ම කතා කළත් හොඳ පොතක් ගැන ලියන්නත් කතා බහ කරන්නත් හිතේ ලොකු කැමැත්තක් තිබුණා.  ඒ සඳහා නිසි අවස්ථාවක් උදා වුණේ නැහැ. කොහොම හරි හොඳ පොතක් කියෙව්වම ඒ ගැන ලියන්න  හිතුවා.  ඒ නිසා අද " අස්වැන්න" ලියන්නෙ හොඳ නවකතා පොතක් ගැනයි.

"දිය හොල්මන" කියන්නෙ තමන්ගෙ ගොවි බිම්වල හේන් කුඹුරු පාලු කරන පුංචි පුංචි සත්තු එළවන්න අපේ ගැමියන් හදා ගත්තු පුංචි  ගැමි නිර්මාණයක්.  මේක වැඩි පුරම භාවිතා කළේ  කුඹුරුවල යි. කුඹුරෙ ලියැද්දට එකතු වන වතුර පාර ඊළඟ ලියද්දට වැටෙන්නෙ වක්කඩෙන්. "දිය හොල්මන" අටවන්නෙ අන්න ඒ කුඹුරෙ වක්කඩක් ළඟයි. මේක උණ බටයක් පාවිච්චි කරලා  හදාගෙන වක්කඩේ දියපාරට සම්බන්ධ කළාම ගලාගෙන යන දිය පහරින් වැටෙන වතුර උණබටේට පිරිල ඒකෙන්  නිකුත් වෙන සද්දෙට කුඹුරු පාලුවට එන පුංචි පුංචි සතා සීපාවා කිසිඳු හානියක් නො කර එළවගන්න ඒ කාලෙ පහසුවෙන් ම පුළුවන් කම තිබුණා. දැන් මේ ස්වභාවික ක්‍රම අපේ  ගැමි සම්ප්‍රදායෙන් වගේම  භාවිතයෙන් ඈත්වෙලා. ඒ වෙනුවට කෘතීම ක්‍රම අපිට ළං වෙලා.
"දිය හොල්මන"  නවකතාව ලිව්වෙ මගේ සමකාලීන මිත්‍රයෙක් වන "මහින්ද කුමාර දළුපොත"  මහින්ද මේ යුගයෙ ලංකාව ම හඳුනගෙන තියෙන්නෙ  ජන ශ්‍රැති පර්යේෂකයෙක් විදියටයි. විශේෂයෙන්ම සිංහල අලුත් අවුරුදු කාලෙට අපේ රටේ මාධ්‍ය ආයතන බොහොමයක්  තරඟකාරී විදිහට  ඔහුගේ දායකත්වය ලබාගන්නවා.  ඉස්සරහට එන සිංහල අළුත් අවුරුදු කාලෙටත්  ඔබට ඔහුගෙ ජන ශ්‍රැති පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්න හැකි වේවි.
මහින්ද කුමාර දලුපොත ලියූ ජන ශ්‍රැති පර්යේෂණ කෘති රැසක් තියනවා . වී බිස්ස, වටපිළ, වැව හා සංස්කෘතිය, වනස්පති. හූව, පෝය, තහංචි, සහ අත්තම හා ජන සම්ප්‍රදාය වගේ  ජන ශ්‍රැති පර්යේෂණ  කෘති විශාල ප්‍රමාණයක් ඔහු අතින් ලියැවී තියෙනවා. ඊට අමතරව "උරුමය" නමින් පොත් පෙළක්ද, නිලි වැස්ස සහ මතක වස්තුව නමින් කාව්‍ය සංග්‍රහ දෙකකුත්  එළි දක්වා තියනවා. මීටත් අමතරව ඔහු ‍හොඳ ගීත රචකයෙක්.          
පහු ගිය දවසක මහින්දගෙ "දිය හොල්මන" නවකතාව දොරට වැඩුම නිමිත්තෙන් පුංචි කතා බහක් ඇතුළත් වැඩසටහනක් සංවිධානය කරල තිබුණා. මේ පොත දොරට වැඩුම තිබුණෙ කොළඹ 07, විහාර මහාදේවි පාර්ක් එක ඉස්සරහ තියන ජේ.ආර්. ජයවර්ධන සංස්කෘතික මධ්‍යස්ථානයේ යි. සාමාන්‍යයෙන් කොළඹ අවට පැවැත්වෙන සාහිත්‍ය දේශන සම්මන්ත්‍රණ  වගේ කතා බහ වැඩසටහන් හවස හතරෙන් පස්සෙ තමයි තියෙන්නෙ. ඒත් " දිය හොල්මන"  පිළිබඳ කතාබහ යොදාගෙන තිබුණෙ සති අන්ත සෙනසුරාදාවක  උදේ වරුවක. මහින්ද කල් ඇති ව  ඇරයුම් පතක් මා අත තැබූ නිසා මමත් එදා සෙනසුරාදා දවසේ  උදෙන්ම ජයවර්ධන කේන්ද්‍රයට ගොඩවැදුණා මේ සොඳුරු කතා බහට එක් වෙන්ට කියලා හිතාන.
"දිය හොල්මන"  නවකතාව මුළුමනින් ම පාදක වෙන්නෙ  වයඹ පළාතෙ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගැමියන්ගෙ ගැමි ජීවන රටා ගැනයි. ගැමි ජීවිතයට එකතුවෙලා තිබුණ සැහැල්ලු කෘෂිකාර්මික ජීවන රටාවන් වෙනස් කරන්න හීං සීරුවේ බහු ජාතික  සමාගම්කරුවන් ගමට රිංගන හැටිත්, ගමත්, ගැමියනුත්, ඒ කොම්පැනි කාරයන්ට  මේ ගොදුරු වන හැටිත්, කතාව අපිට කියවා. කෘෂිකාර්මික හරිත විප්ලවය කියාගෙන ඒකට මුවාවෙන් පැරණි ගැමි සංස්කෘකිත ජන සමාජයට මැහිතෙල්, රටපෝර, දෙමුහුම් බීජ, ආදී නානාප්‍රකාර දේවල් බහුජාතික සමාගම්කාරයන්ට ඕනෑ එපාකම්වලට අනුව එක එක  විදියට ගම්වල ඇත්තන්ට බලෙන් පටවන හැටිත්, එයින් අතෝරක් නැතිව නිස්කාරණේ  ගමට සිදුවන කරදර තුළින් ගැමි ජීවිතය අවුල් වන හැටිත්, මේ නවකතාව අපූරුවට විස්තර කරනව.
අනෙක් අතට මේ නවකතාව මුළුමනින් ම ලියැවෙන්නෙ වයඹ පළාතෙ සත් කෝරළයේ ගැමි ජනතාව  භාවිතා කරන අමු ගැමි ජන වහර  ඇසුරින්. සාමාන්‍යයෙන් නවකතාවක් සඳහා අමු ගැමි ජනවහර භාවිතා වෙන්නෙ ඉතාමත් කළාතුරකින්. ඒ නිසයි මේ නවකතාව වැදගත් වෙන්නෙ. " දිය හොල්මන"   නවකතාව පුරාම හැම වචනයක් පාසා පාවිච්චි කරන  ගැමි ජන වහර නිසා මේක කියවන්න රසවත් වගේ ම පහසුයි. ඒ නිසා ම මේ පොත කෙටි කාලයක් ඇතුළත තුන්වන මුද්‍රණයත් කරන්න සිදුවුණා.                                  
මේ වගේ නවකතාවක් නිතර පොත පත කියවන පාඨකයන්ට අලුත් අත්දැකීමක් වගේ ම, බ්ලොග් අඩවිවල කතා ලියන සහෘද පිරිසටත් කියවල අලුත් අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා.
මට මතක හැටියට ඉතාමත් මෑතකදි මම කියවූ බ්ලොග් අතර  "හරීගෙ හීන ලන්තය"  බ්ලොග් එකේ සහෘද "හරී" ලියපු  අපූරු ලිපියක් තිබුණා. ඒක ලියල තිබුණෙ " මාමාගෙ ඇටේ.... 18+" කියල. හරී ඒ සඳහා භාවිතා කරල තිබු‍ණෙ  ගැමි ජනවහරයි. මෑත කාලයේ නාගරික සංස්කෘතියක් තුළ නිර්මාණාත්මක ඉදිරිපත් කිරිමක් සඳහා ජන වහර  ඉතා හොඳින් භාවිතා කළ අවස්ථාවක් ලෙස "හරී" සහෘදයාගේ ඒ ලිපිය හඳුන්වන්න පුළුවන්. ගැමි ජනවහර ඇසුරින් මා මෑතකදී ම කියවූ රසවත්ම ලිපිය එයයි. ඒකත් එක හේතුවක් වුණා මහින්දගෙ " දියහොල්මන"  ගැන අස්වැන්නෙදි ලියන්න.

කොහාම වුණත් මේ නවකතාව දොරට වැඩුම සිදු වුණෙත් තනිකර ම ගැමි ජන සම්ප්‍රදායට මුල්තැන දෙමින්. එදා සෙනසුරාදා ජයවර්ධන කේන්ද්‍රයට ආපු දෙතුන් සීයක් වූ පාඨකයන්ටත්. කලා ලෝකයේ රසවතුන්ටත් අපූර්ව අත්දැකීමක් වුණා. උදේ දහයට විතර  "දිය හොල්මන" කතාබහ පටන්ගත්තෙ පුංචි තේ පැන් සංග්‍රහයකින් මේ තේ පැන් සංග්‍රහය තිබ්බෙ ගමේ විදිහටයි. හොඳට කුරුටු ගාල පිරිසිදු කරපු පොල් කටුවකට, බෙලිමල්, එහෙමත් නැත්නම් පොල්පලා, තම්බලා හකුරු කෑල්ලක් එක්ක එතෙන්ට ආ හැමෝටම බොන්න දුන්නා.
නවකතාවෙ කතා බහ අතරට ගැමි සංස්කෘතිය විනාශ කරන බහුජාතික සමාගම්කරුවන්ට එරෙහිව නැගුණු හරබර දේශන වගේම විදි නාට්‍ය එහෙමත් තිබුණා.  වැඩසටහන අවසන් වුනේ හවස තුනට විතර. වැඩසටහන අවසානයේ පැමිණි හැමෝටම හොඳ  දිවා ආහාරයකුත් සංවිධානය කරල තිබුණා. ඒ ගැනත් සඳහනක් නො කළොත් " දිය හොල්මන"  වැඩ සටහන අසම්පූර්ණයි කියල මට  හිතෙනවා.                                                            
මේ දිවා ආහාරයත් සෑහෙන කාලෙකට පස්සෙ කොළඹ හතේ දි ලැබූ සුන්දර අත්දැකීමක්. නෙලුම් කොලේ බත් කන්න ලැබුණා. ඒ විතරක් නෙවේ  රතු හාලෙ බතට එකතු කරල තිබුණ  ගැමි වෑංජනවලට අමතරව රතු ළුණු ගෙඩි දෙකතුනක්, සුදුළුණු බික්කක් වගෙම අමු මිරිස් කරලකුත් වෙනම එකතු කරල තිබුණා. කෑම එක දැක්ක ගමන් මට මතක් වුණේ අනුරාධපුරේ එහෙමත් නැත්නම් කුරුණෑගල ගල්මුවෙ ඇහැටුවැව පැත්තෙ . කුඹුරක කමතක, එහෙමත් නැත්නම් වෙලක නියරක පලු ගහක් යට ට වෙලා කෑම වේලක් කෑ හැටි වගක් මගේ මතකය අලුත් කළා වගේ දැනුණා.  ඒ තරමට ම " දිය හොල්මන" නවකතාව දොරට වැඩුම සුන්දර අත්දැකීමක් .
මේ දිය හොල්මන නවකතාවෙන්  උපුටා ගත් කොටසක්                      
හෙන්දිරියාපිටිය ගම්මැද්දේ විතරක් නම් මදැයි ඕං...මේ වෙද්දින් දන්නා කියන වටකර ගංවලින් සෙනඟ එක රොත්තට වාං දාන්ට  ගත්තා.  වැලිදළුයායේ ඉස්මත්තාවෙ තියන ඕටිටට.. දාවිත් අප්පු ගිඩිගිඩියේ පිම්මේ දුවද්දින් එක රොත්තට තිස්බඹේ පැත්තෙන්සෙනඟ වාං දානවා ඇහැවැටුණා යායේ එක නියරකටවත් ඉස්පාසුවක් නෑ! තදියමේ දුවන් එන උංගේ බර වෑවෙමින් උහුලන් උන්නා. එන්නේ කව්ද... කොයිහිටන් ද කියලා කාටවත් ම ‍වගේ වගක් නෑ ඕං.. රොත්ත බුරුත්ත පිටින් දුවන්ට ගත්තා වෙලා තියන වින්නැහිය දැකගන්ට විග විගහින් දිව්වෙ.
"හප්පේ..! ඔය වතුර පතක් බීලා හිටං හස්තිරාජයා වල පල්ලට ගියානං.. මේ රටේ දේසේ නැති වහ කන්දරාවක් වෙල්වලට ගහලා හිටං.. පණ පිටිං මිනිස්සු නහන්ට වෙන්ටෝනෑ මේකලා තන්නනේ" යායේ ඕවිටට කිට්ටුවෙද්දින් කවුදෝ කියනවා දාවිත් අප්පුට ඇහිච්චි. ඒ කතාවට කවුරුත් එහෙම නෙමේමොනවත් ආඩපාලි කියා හිටින්ට ගියේ..ඊස් මීස්.. නැතුව සෙනඟ පිරිලා හිටියා. රැස්වෙච්ච කවුරුත් කට අයා ගත්ත ගමන් එකම කචබචයයි. දාවිත් අප්පු සෙනඟ පීරාගෙන ගිහින් බැලුවා හොස්ස පොවලා මොකෑ මේ වින්නැහිය කියලා හිටන්.
දෙයියෝ සාක්කි හෙනම් ඕං.. හස්තිරාජයා මුනින්තලාවෙලා උන්නා.. ඈ.. එහෙම පතබෑවිලා උන්න විලාසෙට අනුකම්පා  හිතෙනවාට වඩා හිතට බය සාංකාවබෝ කරනවා කියාලයි දාවිත් අප්පුට හිතුණේ.........‍
කොහොම හරි මේක කියවන ඔබ කවුරු හරි මේ පොත පුස්තකාලෙකදි දැක්කොත් නිකමට හරි කියවල බලන්න කියලා  මම ඔබට ආරාධනා කරනවා. එහෙමත් නැත්නම් පොත් ප්‍රදර්ශනයක් බලන්න ගිය වෙලාවක හෝ පොත් සාප්පුවකට ගොඩවැදුන වෙලාවක දැක්කොත් අරන් කියවන්න. ඒතරමට ලස්සන රසවත් පොතක්.
අද කාලෙ පොතකට වියදම් කරන මුදලින් මොනවද කරන්න පුළුවන්.? එහෙව් එකේ  පොතක් අරං කියෙව්වාම දැනෙන සතුට ආයෙ කියල නිම කරන්න පුළුවන් එකක් යැ.෴
"දිය හොල්මන" නවකතාව ෆාස්ට් පබ්ලිකේෂන් ප්‍රකාශනයක්
 පොතේ මිළ රුපියල් 325/=





                                                               
ඔබේ අදහස්, හොඳ, නරක සහ විවේචන හැකිනම් ලියන්න. ලියන දේ සතුටින් පිළිගනිමි


Monday 20 February 2012

෴ විජය කුමාරතුංග ගැයූ ඔබ නෑසූ ගී෴



සිංහල සිනමාවේ පෙම්වතා වූයේ ඔහු ය.  මා දකින්නට කැමති සිංහල සිනමාවේ අසාහය පෙම්වතා වූයේ ද  ඔහු ය.  ඡායාරූපයෙන් දකින්නේ ඔහුගේ අව්‍යාජ සිනාව ය. ඔහුට හිමි වූ නෙත් බැඳගන්නා රූ සපුව ද, ඔහුගේ රංගන ශෛලිය ද, ඔහුටම ආවේණික වූවකි. මේ ජන හද තුළ නො නිඳා හිඳින විජය කුමාරතුංග නම් සොඳුරු මිනිසා ය.

විජය කුමාරතුංගගේ 24 වන ගුණ සමරුව පෙබරවාරි 16 දිනට යෙදී තිබුණි.  විජය මේ වන විට ජීවත්ව සිටියා නම් ඔහුගේ වයස අවුරුදු 67 කි. එහෙත් ඔහු මියගියේ 43 වන වියේ දී ය. අද “අස්වැන්න” සැරසීමට සිතුවේ විජය කුමාරතුංග නම් වූ ගායන ශිල්පියා වෙනුවෙනි.

මේ සටහන තැබීමට සිත් වූයේ විජය ගැයූ මෙතෙක් ඔබට කිසි දිනෙක ඇසීමට නො හැකි වූ ඔහුගේ ගීත එකතුවක් මාගේ ගී එකතූන් අතරේ තිබූ බව සිහි වීමෙනි. කලකින් නෑසු නිසා දූවිල්ලෙන් පිරුණු මේ කැසට් පටය යාන්තමට ශ්‍රවණය කල හැකි මට්ටමට නැවත පත්කර ගත් පසුව දැණුන සැනසිල්ල නම් අපමණ ය.  අද අපි එයින් ගී කීපයක් අහමු. ඊටත් පෙර මේ ගීත අද දවසට ගැලපෙන පරිදි ඇසීමට සිත්වෙන වටපිටාවකුත් නිර්මාණය කර ගමු.

සිනමාවත්, කලාවත්, දේශපාලනයත්, එකිනෙකට නො පෑහෙන නමුදු සිනමාවේ රැ‍ඳෙමින් ම තම දේශපාලන දර්ශනය ඔහු ජනතාව සතු කළේ ය. ඒ කලාවෙන් ඔබ්බෙහි වූ පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් නො ව, වඩාත් යහපත් වූ දේශපාලන දැක්මක් කෙරෙහි ජනතාව පෙළගැස්වීමෙහිලා කලාකරුවක් සතු උතුම් යුතුකම වෙනුවෙනි. 

1977 වසරේ දී ක්‍රියාකාරී දේශපාලනට  පිවිසෙන විජය එවකට වූ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට එරෙහිව අරගල කළේ පොදු ජනතාව වෙනුවෙනි. ජයවර්ධන ආණ්ඩුව සමග හැපුණු විජයට ඔහුගේ ක්‍රියාකාරී සමාජ අරගලය හේතුවෙන් විජය කුමාරතුංගට සිපිරි ගෙදර දොරටුව විවර විය. ඔහු නැවත සිපිරි ගෙයින් නිදහස් වන්නේ 1983 ජනවාරි 17 වන දා ය. 

මේ සිපිරි ගෙය කලාකරුවකු නම් නැවත නැවුම් මිනිසකු ලෙස උපදවන තැනකි. දේශපාලකයෙක් නම් ඔහු ජනතාවාදී  සොඳුරු ආඥාදායකයෙක් ම වන්නේ ය. විජය මේ මූලික අරමුණු දෙකම බන්ධනාගාර ජීවිතය තුළ දී ජය ගත්තේ ය. ඔහු එයින් එළියට එන්නේ අලුත් ඇසකින් ලෝකය දකින කලාකරුවකු ලෙසිනි. අලුත් අරගලයකට පණ පොවන වඩාත් ජනතා හිතවාදී දේශපාලකයෙකු ලෙසිනි.


හිරගෙදර තුළ ඔහු ලබන  සියළු අත්දැකීම්  බන්ධනාගාරයෙන් එළිය පැමිණ නිදහස්   මිනිසකු ලෙසත්, ගායකයෙකු ලෙසත් සිය අත්දැකීම් සහ  සිතුවිලි ගීයෙන් ඔප කළේ ය. අද ඔබ විඳින මේ ගී එකතුව විජය හිරෙන් නිදහස්ව, නිදහස් චින්තකයෙකු ලෙස විජය නිර්මාණය කරන ගීතාවලිය යි.  1983 වර්ෂයේ අග භාගයේ දී නිකුත් වූ විජයගේ මෙම කැසට් පටය නම් කර තිබුණේ “වේදනා” නමිනි.

විජය කුමාරතුංගගේ ‍ “වේදනා” කැසට් පටයේ සියළුම ගීත රචනා කර තිබුණේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි.  විශාරද ගුණදාස කපුගේ, ඔස්ටින් මුණසිංහ, මර්වින් පෙරේරා සහ රෝහණ වීරසිංහ මෙහි ඇතුළත් ගීතවල සංගීතය නිර්මාණය කොට තිබුණි.

විජය “වේදනා’ කැසට් පටය නිකුත් කළ ද ජයවර්ධන ආණ්ඩුව යළිත් ඊට එරෙහිව නැගී සිටියේ ය. මේ වන විට ලංකාවේ තිබුණේ රාජ්‍ය මාධ්‍ය ආයතන පමණක්  වූ බැවින් ගී ප්‍රචාරයට ඇති සියළු මංමාවත් අවුරා ගී එකතුව සමජගත වීම වැළැක්වී ය. සියළු ගීත ප්‍රචාරය තහනම් විය. ඒ අනුව විජයගේ “ වේදනා” කැසට් පටය ද එදා සිට මේ දක්වා ඉතිහායට එකතු වූ ගී එකතුවක් ම පමණක් විය. මෙ තැන් සිට ඔබ රස විදින්නේ ඒ ගී එකතුවේ ගීත කිහිපයකි.


සොල්දාදුවෝ                                                                   
නුඹ අප වන් මිනිසෙකි සොල්දාදුවෝ
සිරුර පුරා දිව යන්නේ එක රතු ලේ
කිරි උරමින් වැඩුණේ එක කෙළි මඬලේ

පිටමං වී කිරි සුවඳින් ලේ සුවඳම ඉව කරමින්
තරු ලකුණක් පළඳින්ද සැරසෙන්නේ
කෙළි මඬලේ - මිනිසත්කම්
දියකර නෙක - නොපනත් කම්
නිලදරුවන්ගෙන්දෝ  නුඹ දැනගත්තේ


සිය සොයුරන් සොහොයුරියන්
සිහි නොම වෙද සුතන’ඹුවන්
යුක්තිය වෙත කෙළෙසද අවි ඔසවන්නේ
අයුක්තියේ - අධම අණින්
එස වූ අවි - බිමට හෙළන්
එක තරුවට තරු දාහක් පායන්නේ

ගේය පද:  මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය:    ඔස්ටින් මුණසිංහ


සොල්දාදුවෝ ගීය මෙතනින් අහන්න



එදා සිදු වූයේත්, ගිය සතියේ හලාවතදී අවාසනාවන්ත ලෙස ධීවර කාර්මිකයෙකුට මුහුණ දීමට  සිදු වූයේත්, මේ ගීයෙන් කියවෙන සත්‍ය යථාර්ථය නොවේද යන්න නැවත නැවත විමසයි. සැබෑ ජනතාහිතවාදී කලාකරුවගේ යුතු කම විය යුත්තේ ද තමා නියෝජනය කරන කලාව තුළ  ජනතාව සමාජ ගත කිරීමයි. සැබෑ ජන හඬට අවියක් වීමයි.

විරෝධාකල්ප ගීතය ගීත සාහිත්‍යයේ සමාජ මතවාදය හැසිරවීමේ කලාත්මක උපාංගයක් ලෙස ලොව පුරා වර්ධනය වුයේ යුරෝපයේ සහ ඇ‍මෙරිකාවේ තුළ බිහි වූ ගීත සාහිත්‍යයේ පුනරුදයෙනි. පසුව මේ ගී රැල්ල විමුක්ති ගී බවට පත් වූයේ ලතින් ඇමෙරිකානු රටවල් හරහා ය. වික්ටර් හාරා, රිචාඩ් රෝගෝස් ආදී වාමාංශික දේශපාලන අදහස් දැරූ ලෝ ප්‍රකට ගායන ශිල්පීන් මේ මූල්කත්වයේ සිටින විට අපේ රට වල ජනතාව වෙනුවෙන් හඬ නැගූයේ කීදෙනෙක්ද යන්න අපටම ගැටලුවක් වන්නේ ඔවුන් තුළ වූ පටු දේශපාලන අරමුණු හේතුවෙනි.  ඒ අතින් බලන විට කපුගේ, විජය, කේමදාස අදී කීපදෙනෙක් පමණක් තනිවම මේ ජන අරගල සඳහා සෘජුවම දායක වූ බව පැහැදිළි ය.


 පින්මඳ පුතුනේ
 ඉඳුල් සිඟා යන                                         

නුඹේ කදුළකින් ලොව ම දකින්නෙමි
නුඹේ කෙදිරියෙන් ලොව ම අසන්නෙමි

සයින් තබා නුඹ තොල ගානා මධු
ගිනි වතුරක්  වී නහර දවාවා
නුඹ නිරුවත් කර පළදින සළු පිළි
කටු අකුලක් වී සිරුර ඇනේවා

දෙපයක් පළසේ දෙපයක් පොළොවේ
කිම එක තලයක අප නො සිටින්නේ
ලොව කොතැන හෝ වරදක් වී ඇත
කිම ඒ නිවැරදි මඟ නො පෙනෙන්නේ

ගේය පද:  මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය:    මර්වින් පෙරේරා

පින්මද පුතුනේ ගීය මෙතනින් අහන්න



විරෝධාකල්ප ගීතය සමාජ මතවාදය හැසිරවීමට තරම් ශක්තියක් ඇති, ජනතාව පොදු දේශපාලන ප්‍රවාහයකට යොමු කිරීමට තරම් ශක්තියක් ඇති, ආකර්ශනයක් ඇති ප්‍රාසාංගික කලාවක් බව  විජයගේ  මේ ගීත දෙස බලන විට  අවබෝධ කර ගත හැකි ය. එය එසේ කල හැක්කේ  කලාකරුවකු විසින් ඉදිරිපත් කරන නිර්මාණයක් තුළින්  තමා ඒ නිර්මාණය කෙරෙහි පළමුව අවංක වන බවට  රසිකයා තුළ විශ්වාසයක්   ඇති කළ හොත් පමණි. කපුගේ, නන්දා, විජය, සහ කේමදාස ඒ ටික මේ රට වෙනුවෙන් ඉටු කළහ. එය එදා මෙදා තුර ගීතය සමාජ මෙහෙවරක් සදහා යොදා ගැනීමේදී ඉතා වැදගත් සාධකයක් විය.

 
දඟගෙයි දඬුවම් සියුමැලි වැඩි නම්
අලුගෝසුවනේ එල්ලාපං
කටු ඉඹුලේ අප එල්ලාපං

යුක්තිය උදෙසා කෑ මොර දීමයි
දඟගෙයි ලෑමට අප සැම කළ පව
මුකවාඩම් බැඳ එකකු නසන කල
දනිවු සුවහසක් තව උපදින බව

වරදට එරෙහිව අවි ඔසවන්නේ
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදී තපස් රකින්නේ
පිට කොඳු බිඳගත් ඔළ මොළ නිවටුන්

ගේය පද:  මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය:    විශාරද ගුණදාස කපුගේ

විජය කුමාරතුංග තම “ වේදනා” කැසට් පටයට ගැයූ “දඟගෙයි දඬුවම්” නම් වූ මේ ගීය විජය ගේ හඬින් ඔබ අසා නැත. ඔබ ඇසු යේ මෑත කාලයේ විජයගේ හඬට සමානව ගී ගැයූ  නව පරපුරේ තරුණ ගායකයෙක් ගේ හඬිනි. එසේත් නැත්නම් සංගීත කණ්ඩායම්වල ගී ගයන ශිල්පීන්ගේ හඬවල්වලිනි.

විජයගේ ඒ හඬට සමාන හඬක් තිබුණද,  ඒ ශිල්පීන්ට එයින් ජනතාව තුළ ගොඩ නැගෙන්නට නොහැකි විය.  ඒ කපුගේ හෝ විජය කුමාරතුංග මෙන් පොදු ජනතාව වෙනුවෙන් කැපවූ පැහැදි හඬක්, පෞරුෂයක්, මෙන්ම දර්ශනයක්ද ඔවුන් කිසිවකු තුළ නො තිබූ නිසා ය. එ හෙයින් ම විජය කුමාරතුංග වැනි කලාකරුවෝ සදාකල්හිම ජනතා හදවත් හි නො නිඳා හිඳිති.෴

දඟගෙයි දඬුවම් ගීය මෙතනින් අහන්න





කියවූ ඔබට ස්තුතියි. හැකිනම් ලියා යන්න ඔබේ අදහස්  මෙහි, එය අදට වඩා වැදගත් මට ‍හෙට දවසටයි...



Wednesday 15 February 2012

෴ මගේ කාලයේ මවුනි Mother Of My Time ෴


මගේ කාලයේ මවුනි (Mother Of My Time ) ( G - Minor ) නම් වූ  මේ ඓතිහාසික විශිෂ්ඨ සංධ්වනිය, පිළිබඳව  අද දින මා කිසිවක් නො ලියමි.  ඊට හේතු කීපයකි. මේ සංධ්වනිය සම්බන්ධයෙන් ඓතිහාසිකව වැදගත් වන විචාරාත්මක සටහනක් මෙරට කෘතහස්ත සාහිත්‍යධරයකු, ලේඛකයකු, මෙන් ම විචාරකයකු වන එරික් ඉලයප්ආරච්චි මහතා විසින් ‍එතුමා විසින් ලියූ " ප්‍රේමසිරි කේමදාස විචාරාත්මක චරිතාපදානය" කෘතියේ ඇතුළත් කර ඇත. එකී කෘතියේ ඇතුලත් එම සටහන එරික් ඉලයප්ආරච්චි මහතා හමු වී ‍‍ලබාගත් පෞද්ගලික අවසරය මත  එ ලෙසින් ම උපුටා මෙහි පළකරමි. ඒ නිසා එහි සියළු ගෞරවයන් එතුමා වෙත හිමි විය යුතු ම ය.
අනෙක් සුවිශේෂ කාරණය නම් කේමදාසයන් සිය මරණ මංචකයේ සිට නිර්මාණය කළ ඔහුගේ අවසාන නිර්මාණය වූ " අග්නි ඔපෙරාව" එරික් ඉලයප්ආරච්චි මහතාගේ රචනයකි. එයද ඓතිහාසික වැදගත් කමකින් යුතු වන්නා සේ ම, කේමදාසයන් ජීවත්ව සිටි කාලය තළ දී එතුමාගේ නිර්මාණ පිළිබඳව ලද හොඳම විචාර සටහන් ලියා තිබුණේ එරික් ඉලයප්ආරච්චි මහතා බව කේමදායන් ද පිළිගෙන තිබුණි. එය ද මෙහි දී මෙම ලිපිය උපුටා ගැනීමට පාදක විය.
මගේ කාලයේ මවුනි                            

සහසම්බන්ධිත වාදන සහිත "මගේ කාලයේ මවුනි" වාද්‍ය වෘන්දයක් වෙනුවෙන් රචිත   නිර්මාණයකි. ජී- මයිනර් ( G - Minor ) කෝඩයෙන් ශ්‍රාවකයේ  අන්තර්ගතය සහ තානය සලකුනු කර ඇති මේ මහඟු නිර්මාණය සිංහල සංගීතඥයෙකු විසින් රචිත එක ම මවු ගුණ සංධ්වනිය යි.
 මවු ගුණ ගායනයක් යනු දරු නැළැවිල්ලක ප්‍රතිපාර්ශවීය ප්‍රකාශනය යි. නැළැවිල්ල යනු මව දරුවා අමතා කරන ගායනාවකි. දරුවා වැඩුණු පසු  ඔහු හෝ ඇය හෝ මව අමතා මවු ගුණ ගයයි.   මේ ගායනා දෙවර්ගය අතරින් මූලික වන්නේ ජන ගායනා විශේෂයක් ලෙස පවතින නැළැවිල්ල යි.  මවු ගුණ ගීය බොහෝ විට  අම්මා පිළිබඳව වැඩුණු මිනිසකු හෝ ගැහැනියක හෝ කරනු ලබන ආත්මීය ප්‍රකාශනයකි. මාතෘපදප්‍රාප්ත වූ ගැහැනියකගේ ගුණ ගායනයට දරු නැළැවිල්ලට මෙන් ජන සම්ප්‍රදායක් නැත.
එම නිසා සංගීතයේදී මවු ගුණ ගායනය නම් වූ සංගීත ශානරය බොහෝ විට නැළැවිල්ලේ රිද්මය පුනරුච්චාරණය කරයි. මගේ  කාලයේ මවුනි තුළද  මේ ලක්ෂණය දැකිය හැකි ය. එ නමුත් එහි ශ්‍රාවකය,එ නම් ඇසීමට ඇති දෙය ( What to listen for ) නැළැවිල්ලේ සරලතාව ඉක්මවා ගමන් කරන අතර, තම මව මෙන් ම  පොදු සමාජීය මව පිළිබඳවද, සංගීතඥයා තුල පවත්නා අදහස් පැහැදිළිව සංගීතානුසාරයෙන්  ප්‍රකාශ කරයි.
ජී-මයිනර් කෝඩය පාදකය ලෙස භාවිතා වන මියුරු ශබ්ද සම්භාරයක් එම නිර්මාණයෙන් නිකුත් වේ. එවිට අපට දැනෙන්නේ සංගීතමය නාද රසයකි.  වයලීන රාශියක් එකට එකතුවද, සිතාරය සහ වයලීනය තනි තනිවද අලංකාර කොට උසුරුවන නාද වලින් කේමදාස මවු ගුණ ගායනා කරයි. වචනයාගේ ධ්වනිතාර්ථ නැති නමුත්, මවුන් වැඳීමේ ගාථාවේ හෝ වෙස්සන්තර කාව්‍යයේ හෝ ඇතුළත් පද රිද්මයන්ගේ භාව ස්පර්ශය ශික්ෂිත කනකට නො අඩුව දැනෙයි. ක්‍රිස්තියානි සංගීතයේ ඇති දේව මාතා වන්දනා ගායනා සංගීතයේ ඡායාවෙන් වැටුණු සෙවනැල්ල ද  මේ සංධ්වනියෙහි ඇතුළත් මාතෘ ප්‍රේමයට කිසි යම්  ආගමික තීව්‍රතාවක් එකතු කරයි.  එ නමුත් ධ්‍රැත ලයෙන් වැයෙන දෙවන චලනයේ ( 2nd  movement ) දී  කේමදාස තම  මව  පිළිබඳ ව  ‍ඓතිහාසික, දේශපාලනික හා ලෞකික  අදහස් මාලාවක් ඉතා නිර්භය ලෙස ප්‍රකාශ කරයි.
දරු තොටිල්ල පැද්දෙන තාලය සිහි ගන්වන මන්ද්‍ර ලය සහිත සමූහ වයලීන වාදනයකින් ඇරැඹෙන මෙම සංධ්වනිය,සිතාර් වාදනයක සම්ප්‍රාප්තිය සමඟ වර්ණ අලංකාරය සහ සංගීත රචනාමය අඛණ්ඩතාව ඇති කර ගනියි. එයින් හැඟවෙන්නේ තම මව පිළිබඳ සිත තුළ පවතින ගැඹුරු ආදරය සහිත සිතුවිලි නො කඩවා කතාවක ආකාරයෙන් පැවැසීම සඳහා සංගීතඥයා තුළ පවතින සූදානමයි.
සමාරම්භක වයලීනවලට පසු සිතාරය එකතුවීමේ  නිමේෂය පිළිබඳ ව අවධානය යොමු විය යුතු ය. එය යුග ගණන් තිස්සේ වෙන් වෙන් ව වර්ධනය වී ඇති බටහිර සම්ප්‍රදාය සහ පෙරදිග සම්ප්‍රදාය සංගීතවේදී ප්‍රතිවිරෝධතා මධ්‍යයේ එකට සංගීත  පටිපාටිගත වන නිමේෂය යි. මෙහිදී වැදගත් වන කාරණය නම් සංගීතවේදය අතින් කේමදාස සතු බහුභාෂිකත්ව යි. ඔහු සංගීත සම්ප්‍රදායන් දෙකක් තුල හැසිරෙන්නේ සුලබ සංගීත මිශ්‍රකයෙකු හෙවත් සම්මිශ්‍රිත සංගීතයේ ( fusion music ) යෙදෙන්නෙකු ලෙස නො වේ. සිය සංගිත චින්තනයේ දී කේමදාස එකවර වයලීනය ඔස්සේ සිතන්නෙක් ද, සිතාරය ඔස්සේ සිතන්නෙක් ද වේ. මේ අතින් ඔහු බහුභාෂිය සංගීතකරුවෙකි.
එ නමුත් මෙහි ඇති සැබෑ සංගීතවේදී ගැටලුව වන්නේ වයලීන නාද රචනය තුළ ම සිතාරයේ පැමිණිම පෙර සටහන් වී තිබුණේ ද යන කාරණය යි. එ නම් සම්මිශ්‍රණයකට වඩා  සංධ්වනිමය අඛණ්ඩතාවක් සිතාරය විසින් නියෝජනය කළේ ද යන කාරණය යි. පෙරදිග මෙලඩිය ද හාමනිය මත පදනම් වූ බටහිර සංධ්වනි තර්කනය තුළට ගැනීමේ ප්‍රයත්නය, කේමදාසගේ හර්කියුලීසියානු සහ ප්‍රොමිතියානු අරගලය වූ බවත්, ඔහු තම සංගීත දිවිය කැප කරන ලද්දේ ඒ වෙනුවෙන්  බවත් මෙහි දී  සදහන් කරනු වටී.
එබැවින් වයලීනවලට පසුව සිතාරය කැඳවීම සිදු කර ඇත්තේ පෙරදිග හුරුවක් ලබාදීම වැනි පටු ජාතිකවාදී  හැඟීමක් හෝ සංගිත සම්මිශ්‍රණයේ ලා පවත්නා වුවමනාවක් නිසා හෝ නො වන බව අවධාරනය කළ මනා ය. තම සංධිවනිමය ආත්ම ප්‍රකාශනය සදහා කේමදාසට එම ප්‍රස්ථාරික ලක්ෂයේදී සිතාරය වුවමනා විය.
සංධිවනි සංගීත භාෂාව යනු නව සංගීත නාදයන්ගේ එකතු වීමට ඉඩ ඇති බහුස්වන  මාධ්‍යයකි.මෙ සේ සිතාරයේ පැමිණීම හා නැවත නැවත පැමිණිම  ( recurrence ) මඟින් වයලීන වාදනයේ තොටිලි රිද්මයට අනුස්මරණය  සහ මතක වේදනා සහිත පුන ගැයුමක ( ritornello ) ආවේගය ලබා දෙයි.
මගේ කාලයේ මවුනි සංධ්වනිය වර්ධනය වන්නේ සාමූහික වයලීන වාදනය සහ සිතාරයත් , ඊට පසු ෆ්ලූටයත් අතර ඇති වන ආතතිමය සංවාද ඔස්සේ ය. කේමදාස තම මව පිළිබඳ ළගන්නාසුළු තේමාව රසාත්මක ලෙස ඥානනය කරන්නේ ඒ අයුරිනි. තැලි භාණ්ඩයන්ගේ පැමිණිම ( Percussion Instruments ) පැමිණීම තරමක් ප්‍රමාදව සිදුවන්නේ සංගීතාත්මක අනුභූතිය මුහුකුරා යාමට ඉඩ දීමෙන් පසු පැමිණෙන නාදයන් ලෙසිනි. වයලීන වාදනයන්ගේ වීරත්ව අභිවාදනය විසින් සංධ්වනියට එපික් (epic) ගුනයක් ලබා දෙන අතර, මවගේ රූපා‍ලේඛය ( portrait ) සිතුවම් වන්නා වූ කේමදාසගේ සොනික් කැන්වසය විශාල එකක් බවට පත් වේ. බටනළා වාදනයෙන්  නොස්ටැලිජියාවක් ( nostaligia ) හෙවත් අතීත මතක වේදනාවක් ධ්වනිත කරන අතර, සිතාරය මගින් දිරිය මවකගේ ශ්‍රම සරතැස ධිවනිත කරයි.
විලිරුදාවේ සිට දරුවා ලොකු මහත් කිරීම දක්වා විහිදෙන අමිල මාතෘ ශ්‍රමය හඟවන සිතාරය සහ  ඊට එකතුවන වයලීන උද්දාමය කේමදාසගේ සංධ්වනියේ නාද සන්දර්භය සකසයි. දෙවන චලනයේ  පළමුවන චලනයට වඩා වේගවත් ය. ට්‍රොම්බෝන්, ක්ලැරිනට්,  වැනි පිඹුම් භාණ්ඩ හෙවත් සුසිර වාදන භාණ්ඩ නිසා නාද ප්‍රගමනය ශක්තිමත් වන්නේ දරුවාගේ සමාජීය ගමන පිළිබඳව සංගීතමය අදහස් මතු කරමිනි. විශේෂයෙන් දුම්රිය ගමනක් පිළිබඳ ශබ්ද චිත්‍රයක්, එහි දී සිතුවම් වන්නේ කේමදාසගේ ජීවිතය තුළ දුම්රිය හා රේල් පාර විසින් ඉටු කරන ලද කාර්යය ද සිහිපත් කරමිනි.
මේ සියළු නිරීක්ෂණ මගින් පෙන්නුම් කරන්නේ කේමදාසගේ නිර්මාණය අති දුර්ලභ කලා කෘතියක් ලෙස සිංහල සංගීත ඉතිහාසය තුළ සටහන් වන බවයි. එය අම්මා .. අම්මා.. කියමින් නිතර ගැයෙන මවු ගුණ අ‍‍ඳෝනාවලට වඩා බෙහෙවින්ම වෙනස් විදග්ධ නිර්මාණයකි. කේමදාස මගේ කාලයේ මවුනි නිර්මාණය කරන්නේ මවු ගුණ තේමා කරගත් ගීත සුලබ ගායනා සංස්කෘතියක් තුළ මවකට ගෞරව දැක්වීම සදහා ගීතයට වැඩිමනත් යමක් සොයා යාමේ වුවමනාවෙනි. ඒ අතින් බලන විට මේ මහඟු නිර්මාණය සමස්ත සිංහල සංස්කෘතියේ සීමා මායිම් පුළුල් කිරීමකි.

පෙර'පර දෙදිග වාද්‍ය භාණ්ඩ පනහක් පමණ වෘන්දගත කොට මේ නිර්මාණය ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී කේමදාස විසින් ප්‍රකාශ කරන ලද අදහස් මෙ සේ විය.
" මව පුතුගේ ජීවිතය පුරාම ඉන්ද්‍රඛිලයක් සේ නො සැලී සිටිනවා. වසර  ශතකයක් මුළුල්ලේ  ඇගේ සිතුවිලි සමුදාය පුරා උතුරා ගිය දයාව, කරුණාව, මුදිතාව,  බලාපොරොත්තු වේගයෙන්, ගලා යන කාලයේ සමාජ ප්‍රවාහයට හසුව ඇත. බලාපොරොත්තුව උදා වන තුරු මගේ කාලයේ මවුනි, තවත් දශකයක් ජීවත් වීමට, ඔබට දයාබරව ආරාධනය කරනවා"
සාමාන්‍යයෙන් ගීත, ස්ලෝක, ගාථා කතිකා ආදියෙහි දී සිදු වන්නේ මව සහ ඇගේ ආදරය සදාතන්කත්වය හා අකාලිකත්වය තුළ පාරභෞතිකයක් බවට පත් කිරීමයි. එ නමුත් කේමදාසගේ  සංගීතයේ දී  අපට හමුවන්නේ ප්‍රගමනය වන කාලය තුළ ජීවත් වන මවකි. මෙය කේමදාසගේ ම  " අම්මාවරුනේ" ගීතයට වෙනස් නිර්මාණයක් වන්නේත්, මාතෘ සංධ්වනියක් වන්නේත් මේ නිසාය. බටහිර සංගීතය ගුරු කොට ගන්නා කේමදාස, මාතෘ දෙවඟනක් මව ඉතිහාසයෙන් පිටත තැබීමේ ආසියානු සම්ප්‍රදායට අභියෝග කරයි.
කාල්මාක්ස් ඉන්දියාව පිළිබඳව තම තම ලේඛනවල දී  පැහැදිලි කරන පරිදි ආසියාවේ ගොවි එ‍‍ඬේර ගැමි ප්‍රජාවන් සහිත සාම්ප්‍රදායික සමාජය පිට පෙනුමෙන්  රමණීය බවත්, අවිහිංසක බවත් පෙනී ගිය ද, ඒවා පෙරදිග අත්තනෝමතික ආඥාදායක රාජාණ්ඩු පාලනයේ සවිමත් පදනම විය. මාක්ස් වැඩිදුරටත් කියන්නේ එය මිනිස් මනස ඉතා පුංචි කොම්පාසුවක් තුළ  සිරගත කරන ලද බවයි. සකල සියළු ආශ්චර්යයන් සහ ඓතිහාසික බල ශක්ති ඊට අහිමි කර තිබුණ බවයි. ආසියාතික මාතෘ දෙවඟන ඇදහීම මෙන් ම රාගධාරී සංගීතය ද, එම සාම්ප්‍රදායිකත්වයේ උපාංගයෝ වූ හ.
කේමදාස බටහිර සංගිත ප්‍රකාර භාවිතයට ගනිමින් ආසියාතික මව ඔහුගේ කාලයට රැගෙන එන්නනේ යට කී ප්‍රාථමිකත්වයෙන් උගුළුවාලමිනි. ඒ සඳහා ඔහුට රාගධාරී ආසියාතික සංගීතය නො ව, බටහිර සම්භාව්‍ය අවශ්‍ය වීම ඓතිහාසිකව නිවැරදි ය.  ලංකාව හා ඉන්දියාව පාලනය කළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය එක් අතකින් මේ රටවල් තුළ මිලේච්ඡ ප්‍රහාර දියත් කරන ලද අතර ම, ආසියාතිකයා සදාකාලිකත්වයේ ගල් පිළිම ලෝකයෙන් නිදහස් කර ගැනීමේ ඓතිහාසික කර්තව්‍ය ද සිදු කළේ ය.
මාක්ස්ට අනුව ආසියාතික මිනිසා දේශපාලන සත්ත්වයෙකු ලෙස බිහිකිරීමේ ගෞරවය  දුර්දාන්ත අධිරාජ්‍යවාදයට ම ලැබෙයි.  කේමදාස සිය සංධ්වනියේ දී සමත් වන්නේ සදාතනිකත්වයේ දෙවොලින් එළියට බැස තමාගේ කාලය වෙත පැමිණි අම්මාගේ නො සෙල්වෙන ඉන්ද්‍රඛීල ආදරය දකින්නට ය.
ඒ අතින් කේමදාසගේ සංධ්වනිය,මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය තරම් වැදගත් නිර්මාණයකි. තම නවකතාවේ දී මාර්ටින් වික්‍රමසිංහ දකුණේ සිංහල ගම සදාතනිකත්වයෙන් උගුළුවා ඉතිහාසය තුළට රැගෙන එයි.

කේමදාසගේ මුල් බලාපොරොත්තුව වුණේ මේ සංධ්වනිය තම මව ඉදිරියේ ,  ඇය ශ්‍රවණාගාරයේ අසා සිටිද්දී ඉදිරිපත් කරන්නට ය. එ නමුත් ඊට දෙදිනකට පෙර , එ නම් 1978 මැයි මස 2 වන දා තම සංධ්වනියේ වැඩ අවසන් කරමින් සිටි උදෑසන ගේට්ටුව සද්ද වනු ඔහුට ඇසිණ. එය අසුබ ආරංචියක තත් හඬ බව ඔහුගේ කණට කොඳුළේ ය. පණිවුඩකරු, වාද්දූවේ සිට කොළඹට රැගෙන විත් තිබුණේ කේමදාසගේ මව මිය ගිය ආරංචිය යි.
වාද්දුවේ ආදාහන කටයුතු නිමා වූ විගස කොළඹ පැමිණි කේමදාස තම සංධ්වනිය ඉදිරිපත් කළේ ය. මව වාඩි කරන්නට නියමිත වූ පුටුව මත පිරුවටයක් දමා තිබිණි.
කොළඹ  කාන්තා විද්‍යාලීය ශාලාවේ දී සිය මැණියන් වෙනුවෙන්  පූජෝපහාර  පිණිස සංධ්වනිය පවත්වන ලද එදා සිකුරාදා ය. බ්‍රහස්පතින්දා හවස් යාමේ වාද්දුවේ තල්පිටියේ සොහොන් බිමේ ඇය ආදාහනය කෙරිණි. මිය යන විට ඇයගේ වයස අවුරුදු  අනූවකි. ෴
අස්වැන්න සටහන:
මගේ කාලයේ මවුනි (Mother Of My Time )  නම වූ  මේ ඓතිහාසික විශිෂ්ඨ සංධ්වනිය, කේමදාසයන් 1978 මැයි මස 05 වන දින කොළඹ  කාන්තා විද්‍යාලීය ශාලාවේ දී පළමු වරට ඉදිරිපත් කර ඇත . අනතුවරුව එය එම වර්ෂයේදී සහ ඊට ආසන්න කාලයේදී අවස්ථා කීපයකදී ඉදිරිපත් කර ඇතත්. මේ මහඟු නිර්මාණය මතු පරපුරට විඳ ගැනීම පිණිස කිසිඳු ආකාරයක සංරක්ෂණයවීමක් හෝ සංයුක්ත තැටි ( CD ) හෝ කැසට් පටිගත වීමක් සි සිදුවී නොමැත. ඊට හේතුව එ කල්හි ද මෙ වන් නිර්මාණ සඳහා වෙළඳපොල සංගීත රසකාමීන්ගේ ඉල්ලුමක් නො තිබීමයි. ඒ නිසා ම,  දැන් ඉතිරිව ඇත්තේ එහි ඓතිහාසික සාධක ඇතුළත් සටහනක් පමණි.
අද මා ඔබට විඳීමට සළස්වන කේමදාසයන් අතින් නිර්මාණය වූ මේ අති විශිෂ්ඨ සංධ්වනිය ඒ මුල් කාලය තුළදී කරන ලද පටිගත කිරිමකි. එය අද මෙන් "ස්ටීරියෝ" නාද රටාවන්ගෙන් හැඩ වුණු  පටිගත කිරීමක් නො වේ. එකල් හි සාමාන්‍ය "Mono" ක්‍රමයට කරන ලද පටිගත කිරීමකි. එහෙයින් ශ්‍රවණයේ දී ඇති වන අසීරුතා මකා දමමින් "අස්වැන්නෙන්" පමණක් ඇසීමට ලැබෙන දුර්ලභම අවස්ථාව උදා කර දෙමි.


1. මෙහි මගේ කාලයේ  මවුනි සංධ්වනිය පිළිබඳ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් කරන ලද හැඳින්වීම කාලය විනාඩි 01 තත්පර 47 යි



2. මගේ කාලයේ  මවුනි සංධ්වනිය කාලය විනාඩි 08 තත්පර 27 යි.




කියවූ ඔබට ස්තුතියි. හැකිනම් ලියා යන්න ඔබේ අදහස්  මෙහි, එය අදට වඩා වැදගත්  ‍හෙට දවසටයි...



Thursday 9 February 2012

ගීතයෙන් එහා ගිය සංධ්වනි සංගීතය හඳුනාගනිමු.....



අපි හැමදාමත් අහන එහෙමත් නැත්නම් ඇහෙන ගීත වලින් එහා ගිය සංගීත ක්‍රම මෙන්ම සංගීත ශෛලීන් රැසක් ඇතත්,  අපි කැමති නිතරම ගීතයේ මිහිර විඳින්නයි. විශේෂයෙන්ම ආසියාතික රටවල මේ ප්‍රවණතාවය වැඩිපුරම දක්නට ලැබෙනව.ඒත් බටහිර ලෝකයේ සංගීත රසිකයන් බහුතරය කැමති සම්භාව්‍ය සංගීත නිර්මාණවලටයි.ලංකාවෙ සංගීත රසිකත්වයත් ඒ වගේමයි. සම්භාව්‍ය සංගීතය අහන විඳින ඊට කැමැත්තක් දක්වන පිරිස ඉතාම අල්පයි.
ඒ කොහොම වෙතත් ලංකාවෙ බිහිවූ ඉතාම දුර්ලභ සංගීත රචනා එහෙමත් නැත්නම් සංගීත සංධ්වනි ( Symphony ) කීපයක් තියෙනවා. මේ සංගීත රචනා ඔබත් සමග විඳගැනිමට සිතුවා. ඒ නිසා ඒ සංගීත  සංධ්වනි ( Symphony ) අහන්න විදින්න කලින් සංගීත සංධ්වනි ( Symphony ) කියන්නෙ මොක්කද? කොහොමද එවැනි නිර්මාණයක් බිහිවෙන්නෙ,  කියල  හඳුනාගෙනම ඒ නිර්මාණ අහමු.
සංගිත සංධ්වනි ( Symphony ) විමසුමක් කරන්න තරම් ප්‍රමාණවත් දැනුමක් මා සතුව නැති නිසා පූර්ව සැලසුමක් හැටියට පුංචි පර්යේෂණයක් කරන්න කරන්න සිදුවුණා.ඒ පර්යේෂණයේදී මට හමුවූ කියවන්න ලැබුණු දේවල් තමයි අද සංගීත සංධ්වනි ( Symphony ) යටතේ ලියන්නෙ.
 සංධ්වනිය (Symphony)
බටහිර සගීත සම්ප්‍රදායේ වඩාත් සම්භාව්‍ය  සංගීත රචනා විශේෂය සංධ්වනිය ( Symphony ) ලොව මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨ සංගිතඥයින්ගේ සංධ්වනි ( Symphony ) රචනා වලින් බටහිර සංගිතය පෝෂණය වී ඇත.
සංධ්වනි සංගිතය බටහිර සංගිතයටම ආවේණික වූවකි. බටහිර ඔපෙරාවක් ආම්භයේ වාදක මණ්ඩලයක් විසින් ඔපෙරාවේ මුලික තේමාව සම්පිණ්ඩනය කොට දැක්වීම  16 වන සියවසේදී හැඳින් වූයේ "සින්ෆෝනියා" (sinfonia) යනුවෙනි. කිසියම් නිශ්චිත නාද රූප රටාවක් අනුව කළ මෙම වාදන සංධ්වනි සංගිතයේ ආරම්භය ලෙස සලකයි.ඔපෙරා වලින් වෙන් වූ ස්වාධීන සංගීතාංගයක් ලෙස දියුණු වූ "සංධ්වනිය"  වර්තමාන ස්වරුපයට පත් වූයේ 18 වන සියවසේ  විසූ "හයිඩන්" අතිනි. ඒ හරහා  නිශ්චිත ස්වරූපයක් ලබාගත් "සංධ්වනිය"  ප්‍රබල අත්දැකීම් හකුළුවා දැක්විය හැකි ශ්‍රේෂ්ඨ සංගිත නිර්මාණ තත්වයට  පත් කළේ බීතෝවන් විසිනි.
විවිධ වාදන භාණ්ඩ එකවිට නාද කිරීමේ සමූහ වාදනය  (Orchestra ) පසු කාලීනව අලුත් අලුත් සංගීත භාණ්ඩ එකතුවීමෙන් එහි නාද රූප පද්ධතිය  පුළුල් සංධ්වනියක් දක්වා විකාශය විය. මෙය අද සමූහ වාදනය (සංධ්වනි) යනුවෙන්  සැළකිමට බොහෝ දෙනෙක් පුරුදු වී සිටි.
( සංස්කරණ සහිතව උපුටා ගැනීම: කේමදාස න්‍යාය භාවිතය සහ අරගලය / ලූෂන් බුලත්සිංහල, )
( තොරතුරු උපුටා ගැනීම  : සංගිතයේ හෙට දවස කේමදාස / උපුල් ගුරුගේ)
සොනාටා ( Sonata)
සොනාටා ( Sonata) යනු කෙටි සංධ්වනි විශේෂයකි. දීර්ඝ සංධ්වනියක් සාමාන්‍යයෙන් ප්‍රධාන කොටස් තුනකින් සමන්විතවේ.ඉන් දෙවන කොටසේ සංගීතය ගලා යාම වේගවත්ය. සංධ්වනියක් රචනා වී ඇත්තේ මුලු රචනාවටම කේන්ද්‍රිය වූ තේමාවක් ඔස්සේය. එය විවිධ වර්ණ සහ හැඩතල ගනිමින් විවිධ රිද්ම ඔස්සේ නාට්‍යමය උච්චාවස්ථාවක් කරා ඇදීයන නාට්‍යයක් සේ සංගීතමය භාව ප්‍රකාශනයක නිරත වේ.
සංධ්වනියක් රස විඳීමේදී එම සංධ්වනි ආකෘතිය පිළිබදව අවබෝධයද,එක් එක් සංගීත කරුවන්ගේ සුවිශේෂ සංගීත භාවිතය පිළිබඳවද අවබෝධයක් තිබීමෙන් ඒ සංධ්වනිය වඩාත් සියුම්ව රස විඳීමට හැකිවේ.
සංගීතය මෙහෙයවන්නා (Music Conductor)                      
කිසියම් විශිෂ්ඨ සංගීත සංධ්වනියක් මෙහෙයවන්නා එහි මුල් සංගීත රචනාවේ සියළු භාව ප්‍රකාශයන් ද, එහි රිද්මයද, එහි කාල පරාසයද,  අතැඹුලක් සේ මැනැවින් දන්නා සංගීත වේදියෙකි. සංගීතය මෙහෙයවන්නා (Music Conductor) විසින් පුනර් ජීවනයට පත් කරන්නේ එහි මුල් සංගිත නිර්මාණකරුවාගේම අධ්‍යාත්මයයි.
( සංස්කරණ සහිතව උපුටා ගැනීම: කේමදාස න්‍යාය භාවිතය සහ අරගලය / ලූෂන් බුලත්සිංහල, 95, 96 සහ 98 පිටුවලින් )
නිදසුනක් ලෙස මුල් සංධ්වනි සංගීත රචනාව විනාඩි 35 තත්පර 10 කින් අවසානයට පත්ව තිබුනේ නම්, නැවත එම සංධ්වනිය ඉදිරිපත් කරන සෑම අවස්ථාවකම එම සංධ්වනි සංගීත රචනාව විනාඩි 35 තත්පර 10 කින් අවසාන කළ යුතුමය.  එය සංගීතය මෙහෙයවන්නාගේ කීර්තියට හේතු වනවා පමණක් නොව සංගීත රචනාවේද විශිෂ්ඨත්වයටද  හේතුවේ.යම් අවස්ථාවක  ඒ සංගීත රචනාවෙන් එක තත්පරයක් අඩු වුව හොත් හෝ තත්පරයක් වැනි කාලයක් වැඩි වුවහොත් මුල් සංධ්වනියේ සංගීත රචනාවෙන් මුලුමනින්ම බැහැර වූ අරුතක් එයින් ජනිත වේ. ඒ නිසා සංධ්වනියකදී සංගීතඥයාට වගේම සංධ්වනි මෙහෙයවන්නාට මනා හික්මීමක් මෙන්ම  සංයමයක් ද, මනා පළපුරුද්දක්ද  තිබිය යුතුය.
සංධ්වනි වාදක මණ්ඩලය (Symphony Orchestra )                       
සංධ්වනි වාදක මණ්ඩලයක සාමාජික සංඛ්‍යාව එක එක සංධ්වනිය අනුව වෙනස් වේ. සංධ්වනියේ ප්‍රධාන භූමිකාව නියෝජනය කරන්නේ එහි සංගීතය මෙහෙයවන්නායි. (Music Conductor) විශ්ව කීර්තියට පත් සංගීතඥයින් මෙන්ම සංධ්වනි සංගිත මෙහෙයවන්නෝද සිටිති.
සංගිතඥයෙකුට හෝ සංගිතය මෙහෙයවන්නෙකුට (Music Conductor ) තමාගේ වාද්‍ය ශිල්පීන් හා සංගිත භාණ්ඩ  පිහිටුවන ආකාරය වෙනස් කර ගැනිමට නිදහස තිබේ.  එසේ වුවද සංගිත භාණ්ඩ පිහිටුවීමේ පිළිගත් සම්පුදාය පිළිබඳව ඔහු නිසි අවබෝධයක් තිබිය යුතුවේ. යම් කිසි සංගීතඥයෙක් හෝ සංගිත මෙහෙයවන්නකු මූලික ක්‍රමයෙන් බැහැරව වෙනසක් සිදු කරනු ලබන්නේ විශේෂිත වූ ඉදිරිපත් කිරිමක් හෝ සංධ්වනි සංගීතයකින් එවැනි වෙනස්කමක් කරන්නේ වඩාත් සාර්ථක වෙනස් වූ ප්‍රතිඵලයක් අපේක්ෂාවෙනි.
කෙසේ වුවද යම් කිසි සංගීතඥයෙකුට හෝ සංගිත මෙහෙයවන්නකුට සංධ්වනි වාදක මණ්ඩලය (Symphony Orchestra ) ස්ථානගත කිරීමේ සම්ප්‍රදාය පිලිබඳ මනා අවබෝධයක් තිබිම මෙහිදී ඉතා වැදගත් වේ. විවිධ සංගිතමය නාද මාලා  මැනැවින් සංයෝජනය වන්නේ ඊට අදාළ සංගී භාණ්ඩ ඊට අදාළ ස්ථානයේ ස්ථානගත කළ හොත් පමණි.
සංධ්වනියක වාදක මණ්ඩලය පිහිටුවන ආකාරය:
සාමාන්‍යයෙන් සංධ්වනියක වාදක මණ්ඩලය (Symphony Orchestra ) සදහා සංගිත භාන්ඩ 100 ක් පමණ උපයෝගි කර ගනු ලැබේ. එය සංගීතඥයාගේ හෝ සංගිත මෙහෙයවන්නාගේ කැමැත්ත සහ පවතින සම්පත් ප්‍රමාණය අනුව තිරණය කෙරේ. එය සාමාන්‍යයෙන් කොටස් 04 ක් යටතේ ප්‍රභේදනය කොට පහත දැක්වෙන පරිදි වාදක මණ්ඩලයේ වාද්‍ය ශිල්පින් ස්ථානගත කරනු ලැබේ. මෙම ප්‍රමාණය අඩු විමට හෝ මීට වඩා වැඩිකරගැනිමට හැකිය.
තත් භාණ්ඩ  ( Strings Family )            60 ක් පමණ
සුෂිර භාන්ඩ ( Wood Winds Family )   15 ක් පමණ
ගණ භාණ්ඩ  ( Brasses Family )           15 ක් පමණ
තාල භාණ්ඩ ( Precnsion Instruments Family )   10 ක් පමණ
( තොරතුරු උපුටා ගැනීම  : සංගිතයේ හෙට දවස කේමදාස / උපුල් ගුරුගේ 50 සහ 51 පිටු වලින්)
ලෝකයේ මෙතෙක් පහළ වු සංධ්වනි  සංගිතවේදින්:
ජොහාන් සෙබස්තියන් බාක් ( Joahann Sebastian Bach) 1685 - 1750
බාර්ක් ජර්මන් ජාතික සංගීතඥයෙකි. කලා ඉතිහාසයේ වැදගත්ම යුගයක් ලෙස සැළකෙන 'බැරොක් " යුගයේ නිර්මාණය වූයේ ආගමික භක්තිය පදනම් කරගත් ආධ්‍යාත්මික සංගිත ක්‍රමයකි.  බාර්ක් ගේ සංගිත රචනා අතර  සුවිශේෂ රචනා විශේෂය " ෆියුජ් " නමින් හඳුන්වයි. ඉතා දුෂ්කර සංගිත රචනා විශේෂයක් වූ "ෆියුජ්" කටහඬවල් රැසක් සඳහා රචනා වූවකි. හැම කටහඬකටම වෙන් වෙන්ව නිර්මාණය වූ තනු රාශියක් එකවර ගායනා වන නමුත් ඒ හැම තනුවක්ම එකිනෙකට නො ගැටී මනා සෞන්දර්යයකින් යුතුව එකම වියමනක් බවට පත්වීම මෙහි ඇති ලක්ෂණයයි.
පීටර් ඉලීච් චයිකොව්ස්කි (Peter Ilich Tchaikovsky) 1840 - 1893
චයිකොව්ස්කි ලෝකයේ වඩාත් ශ්‍රේෂ්ඨත්වයට පත් වූයේ බැලේ නැටුම් සංගීතය හේතුවෙනි. ඒ අතරින් එහු සංගිත නිර්මාණය කළ  නට්ක්‍රැකර් ( Nutcracker ) ස්ලීපිං බියුටි ( Sleeping Beauty) සහ ස්වෝන් ලේක් ( Swan Lake ) ලෝකයේ ඉතාමත් ප්‍රකට බැලේ නැටුම් වේ.
චයිකොව්ස්කි සිය ජිවිත කාලය තුළදී පියානෝ සංවාදන තුක්ද ( Piano Concert ) වයලින සංවාදන ( Violin Concert ) එකක්ද, සංධිවනි රචනා ( Symphonies) හයක්ද, නිර්මාණය කළේය. ඒ අතරින් "ශෝකජනක" ( Pathetic)  සංධ්වනිය ඔහුගේ ජීවිතයේ අවසන් භාගය පිළිබිඹු කරන්නකි. රැසියානු සමාජය ඔහුගේ පෞද්ගලික ජිවිතය අසම්මත වූවකැයි සැළකිම නිසා ඔහු බලහත් කාරයෙන්ම සම්මත විවාහ ජිවිතයකට ඇතුළත් කරන ලදි. පසුව එය ඔහුගේ ජීවිතයේ ශෝකාන්තයක් බවට පත්විය.                                      
සර්ජි ප්‍රොකොෆිව් ( Sergi Prokofieve ) 1891 -1953                 
රුසියාවේ පුනර්ජීවන යුගයේ ජීවත් වූ සර්ජි ප්‍රොකොෆිව් රුසියානු සිනමා සංගීතයේ දියුණුව වෙනුවෙන් ජිවිතය කැප කළේය. "ලුතිනන් කීජේ"  සහ "ඇලේක්සැන්ඩර් නෙව්ස්කි"  ඔහුගේ විශිෂ්ඨ සිනමා සංගීත නිර්මාණ අතර වේ. සංගීත සංධ්වනි සහ බැලේ නැටුම් රාශියක් ද  සර්ජි ප්‍රොකොෆිව් රුසියානු සංගිතයට දායාද කළේය.
ලුඩ්විග් වැන් බීතෝවන් ( Ludwig Van Beethovan ) 1770 - 1827
ලුඩ්විග් වැන් බීතෝවන් ලොව මෙතෙක් පහල වූ විශිෂ්ඨතම  සංගිතවේදියා ලෙසද සළකනු ලැබේ. ඔහු අති විශිෂ්ඨ සංගීත සංධ්වනි රැසක් බිහිකිරිමට පුරෝගාමී වූවෙකි. ඔහුගේ භාව පූර්ණ සහ භාවාතිශය සංගිත රචනා අතර " සඳඑළිය" ( Moon Light ) සංධ්වනිය විශිෂ්ඨ නිරමාණයක් වේ. බීතෝවන් වරෙක නැපෝලියන් අධිරාජ්‍යාට උපහාර පිණිස කළ තුන්වන සංධ්වනිය නැපෝලියන් කෲර පාලකයෙක් වූ පසුව එම සංධ්වනියෙන් නැපෝලියන්ගේ නම  ඉවත් කර   "නිදහස් සංධ්වනිය"යනුවෙන් නම් කරන ලදි.බීතෝවන්ගේ පස්වැනි සංධ්වනිය
( 5th Symphony ) රචනා කරන ලද්දේ ලෝක යුද්ධ සම‍යක දීය.
බීතෝවන්ගේ ලෝක පූජිත අති විශිෂ්ඨ නිර්මාණය ලෙස අවිවාදයෙන් පිළිගනු ලබන්නේ නවවන සංධ්වනියයි. ( 9th Symphony ) එය පෙඩ්රික් ෂිලර්  නම් ජර්මන් කවියාගේ නිදහස නම් වු කවියේ අර්ථය ආත්මය කොටගෙන නිපදවූ සංගිත රචනාවයි.පස්වැනි සංධ්වනිය රචනා කරමින් සිටින විට බීතෝවන්ගේ දෙසවන් බිහිරි වෙමින් තිබූ අතර නව වන සංධ්වනිය             (9th Symphony ) ඉදිරිපත් කරන අවස්ථාවේ සම්පූර්ණයෙන්ම බිහිරි ව සිටියේය. බීතෝවන්  මෙම සංධ්වනියේදී සම්ප්‍රදාය බිඳිමින් ප්‍රථම වරට මිනිස් කටහඬ සංධ්වනි සංගීතයට යොදා ගත් අතර, වර්තමානයේ යුරෝපා සංගමයේ ජාතික ගීය බවට පත්ව ඇත්තේ බීතෝවන්ගේ මෙම නව වන සංධ්වනිය යි. 
 
ප්‍රේමසිරි කේමදාස ( Premasiri Khemadasa )  1937 – 2008

ප්‍රේමසිරි කේමදාස ලංකාවේ බිහි වූ අද්විතීය සංගීතඥයා. සිංහල චිත්‍රපට 130 කට ආසන්න ප්‍රමානයක්ද, දෙමළ චිත්‍රපටයක්ද, බටහිර ඉංග්‍රීසි චිත්‍රපට දෙකකද, ටෙලිනාට්‍ය 25 කට ආසන්න ප්‍රමාණයක්ද. වේදිකා නාට්‍ය 25 කට ආසන්න ප්‍රමාණයකද සංගිත නිර්මාණය කළේය. මීට අමතරව ගීත නාටක 03 ක්ද, සංගිත සංධ්වනි 04 ක්ද, කැන්ටාටා 02 ක්ද, ඔපෙරා 04 ක්ද  සිය ජීවිත කාලය තුළදී නිර්මාණය කළේය. ශ්‍රි ලාංකේය සංගීතය ජාත්‍යනත්ර තලයට ගෙනයාමට මහත් වෙහෙසක් ගත්තේය.

 මේ නිර්මාණ අතරින් 1967දී සිංහල අවුරුද්ද ( The New year Symphony  ),  1969 දී මුහුද ( Sea Symphony ), 1972 දී නියගය හා වැස්ස (Drought and Rain Symphony ) 1978 දී මගේ කාලයේ මවුනි  (Mother Of My Time )  යන සංධ්වනි ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකික සංගීතවේදියෙකු විසින් ප්‍රථම වරට ඉදිරිපත් කල සංධ්වනියක් ලෙස සිංහල අවුරුද්ද ( The New year Symphony  ) ඉතිහාසගතවේ. කේමදාසයන්ගේ මගේ කාලයේ මවුනි  (Mother Of My Time ) සංධ්වනිය ඔහු ජාත්‍යන්තර සංගිතඥයෙකු බවට පත් කළ විශිෂ්ඨතම නිර්මාණයයි.
( තොරතුරු උපුටා ගැනීම  : මාස්ටර් සංගීත යුග යාත්‍රිකයා / සංස්කරණය සමන්ත හේරත්, බුද්ධදාස ගලප්පත්ති, ලූෂන් බුලත්සිංහල, ගාමිණී සුමනසේකර 245 - 248 පිටුවලින්)

ප්‍රේමසිරි කේමදාසයන් විසින් නිර්මාණය කළ මේ සංධ්වනි අතරින් අතිශය දුර්ලභ සංධ්වනියක් ඊළඟ දවසේ විඳිමු...෴
බීතෝවන්ගේ නව වන සංධ්වනිය මෙතනින් අහන්න කැමති නම් බාගන්න
Beethoven 9th Symphony, Himno a la alegria

Powered by mp3skull.com

සංධ්වනි සංගීතය ගැන අදහසක් ඇත්නම් ලියලම යන්න. එය  ඊළඟ දවසට වැදගත් වේවි.
Related Posts Plugin for WordPress, Blogger...