එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Thursday, 26 April 2012

෴ මියුරු සරයෙන් වැයූ සම්බුදු සිරිතේ අසිරිය ෴



දෙවන කොටස
සංගිතයෙන් නව ඉසව් සොයා යන අපේ කාලයේ සංගිතවේදී දිනේෂ් සුබසිංහ පිළිබඳව මෙම සටහනේ පළමු කොටස අවසන් කළේ ඔහුගේ  Feel my heart සංගිත ඇල්බමයෙන්.  ඒ නිසා Feel my heart සංගිත ඇල්බමය පිළිබදව තවත් කරුණු  ටිකක් ඉතිරි විය.

දිනේෂ් සුබසිංහ  Feel my heart සංගිත ඇල්බමය  නිර්මාණය කරන්නේ  විශ්ව සංගිතය පිලිබඳව පුඵල් අවබෝධයක් ඇතිව ය. එම සංගීත රචනාවන්හි කිසිඳු අත්හදා බැලීමක් නැත. දිනේෂ් එය නිර්මාණය කරන මොහොත වන විටත් ගීතය නම් වූ ස්ථායි සහ අන්තරා කොටස් වලින් සුසැදි  ජනප්‍රිය ගීයේ ආකෘතිය සහ එයින් ලැබෙන ජනප්‍රියත්වය පිළිබඳව ඔහු නො දැන හිටියා නො වේ. සිංහල ගීතයක් ගායනා කල පමණින්  ජාත්‍යන්තර සංගිත ක්ෂේත්‍රයට අවතීර්ණ විය නො හැකි බව  ඔහු හොඳින් දැන සිටියේය. එහෙත් ඔහුට අවශ්‍ය වූයේ ඒ ජනප්‍රිය මාවතේ යාම නොව ගීතය නම් ජනප්‍රිය සංගීතයෙන්  ඔබ්බහි පුළුල් පරාසයක විහිද ගිය  සංගීත රචනා මගින් විශ්ව සංගිතය සොයා යාමට ය. 
ඒ මොහොතේ Feel my heart වැනි සංගිත රචනා ඇල්බමයක් නො කර  එක රැයින් සංගිත ක්ෂේත්‍රයේ නමක් දිනා ගත හැකි ගීත කීපයක් නිර්මාණය කිරීමට දිනේෂ්ට පුඵුල් ඉඩකඩක් තිබුණි. එහෙත් ඔහු ඒ ජනප්‍රියත්වය පසුපස හඹා නො ගොස් මොසාර්ට්, බීතෝවන්, බාක්, වැනි ශ්‍රේෂ්ඨ සංගිතඥයින්  හඳුන්වා දුන් ශ්‍රේෂ්ඨ සංගිත රචනා කෙරෙහි  අවධානය යොමු කර  Feel my heart  සංගිත රචනා එකතුවට  අත තැබුවේය. ගීතයට යා හාකි දුර ඉතාමත් සිමිත බවත්,  එවැනි ගීතයකින් විශ්ව සංගිතය සොයා ගත නො හැකි  බවත් ඔහුට වැටහී තිබුණි. ඔහු  තුළ තිබූ ඒ පරිණත අවබෝධයත්, අභියෝගාත්මක අපේක්ෂාවත් දිනේෂ්  Feel my heart  සංගිත රචනා එකතුවෙන්  ඉටු කර තිබේ.
එය මෙරට බහුතරයක් වූ සංගිත ලෝලීන්ගේ අවධානයට හෝ විචාරක ඇසට හසු නොවූ නිර්මාණයක් වුවත්, මගේ මතය අනුව නම් Feel my heart සංගිත රචනා එකතුව මෙරට සංගිත‍ ක්ෂේත්‍රයේ නැවුම් සංධිස්ථානයක් බවයි.

කේමදාසයන් සිංහල අවුරුද්ද, වැස්ස, නියඟය, සහ මගේ කාලයේ මවුනි සංධ්වනි සංගිත රචනා අත්හදා බැලූයේ අවස්ථා කිපයක දී පමණි. ඒ අත්හදා බැලිම් අද දැවැන්ත නිර්මාණ සේ  පෙනෙයි. එහෙත් දිනේෂ් කේමදාස මාස්ටර් නතර වූ තැනින් ඔබ්බට ගොස් සංගීත රචනා 18 ක නිර්මාණයන් හි දැවැන්ත අභියෝගය භාර ගෙන ජාත්‍යන්තරව පිළිගත හැකි නිර්මාණ සම්ප්‍රදායන් සමග අනුගත වෙමින් දේශීයත්වයේ සළකුණ විශ්ව සංගිතය තුළ සනිටුහන් කර ඇත. කමත ( Farmer's Sonata) අපේ මිනිසුන්ගේ වෘත්තාන්තය   ( Symphony of Our People ) සිදාදියට ඇසුණු දරු නැළැවිලි ( Unheard Lulluby)  වැනි සංගිත රචනා තුළ ‍ජන සම්ප්‍රදායේ නාද රටා ද රැගෙන දිනේෂ් විශ්ව සංගිතයේ මුද්‍රාව තැබුවේය. මෙහි සහරාවේ නළඟන  ( Dance Of Salomi )  නිර්මාණය තුළ අරාබි සංගිතයේ රිද්මය යුරෝපයට ගෙන යන්නේ දිනේෂ් තුළ තිබූ ඒ විශිෂ්ඨ දක්ෂතාවයයි.

ලංකාවට ප්‍රථම වරට හඳුන්වා දුන් "ඔරටෝරියෝ" ( Oratorio ) සංගිතය :
කේමදාසයන් සිංහල සංගීතයට හඳුනවා දුන්  සංධ්වනි, ඔපෙරා, කැන්ටාටා, සොනාටා, ආදී විශ්ව සංගීත සම්ප්‍රදායන් අතරට ඔරටෝරියෝ සංගීත සම්ප්‍රදාය ලංකාව තුළ අත්හදා බැලිමට කේමදාසයන්ට නො හැකි විය. එහෙත්  දිනේෂ් එය ඉටු කළේය.

දිනේෂ්  A.R. රහමන්ගේ සංගීත ඇකඩමියෙන් ලද අත්දැකිම් ඔස්සේත්, කේමදාසයන්ගේ නිර්මාණවලට දායක වීමමෙන් ලද පරිණත භාවයත් උපයෝගී කර ගෙන   යුරෝපයේ විශිෂ්ඨ සංගීත සම්ප්‍රදායක් වූ ඔරටෝරියෝ සංගීතය ලංකාව තුල අත්හදා බැලීමේ අභියයෝගය ද භාර ගනී. ඒ සත්තරින් ලියැවුණු බුදු සිරිතේ අසිරිය "කරුණා නදී" නිර්මාණය කිරීමෙනි. 

මොකක්ද මේ ඔරටෝරියෝව

ඔරටෝරියොවක් යනු සංගීතයට නැගුණු  ආගමික කතා පුවතකි. එය දැවැන්ත සංගීත රචනා ශෛලියක් වන අතර විශාල වද්‍ය වෘන්දයකින්ද, සමූහ ගායනා කණ්ඩායම්, ඒකල ගායනා විශේෂද, ඔරටෝරියෝ සංගීත සම්ප්‍රදායට ඇතුළත් වේ. එය ඔපෙරාවකින් වෙනස් වන්නේ සුළු වශයෙනි. ඔරටෝරියෝ සංගීතය 16 වන සියවසේ  විසු  බාක්, ජවාල්දි, හැන්ඩ්ල්, වැනි බටහිර ලෝකයේ මහා සංගිතවේදින් විසින් අත්හදා බලන ලද සංගිත සම්ප්‍රදායකි. ඔවුන් එකල ඔරටෝරියෝ සංගිත  නිර්මාණ කළේ  ආගමික කතා වස්තු  සහ තේමාවන් ඇසුරිනි. විශේෂයෙන් ම බයිබලයේ සඳහන් වන කතා පුවත් මෙන් ම යේසුස් වහන්සේගේ  ජීවිතයේ විවිධ අවස්ථාවන් නිරූපණය වන පරිදි දේවස්ථානවල ගීතිකා කණ්ඩායම්වල ගායනා ඇසුරින් එකල  ඔරටෝරියෝ නිර්මාණය කරන ලදි. ඒ අනුව එදා සිට අද දක්වා ම ඔරටෝරියෝ සංගීත නිර්මාණයක් ලොව කොතැනක හෝ බිහිවන්නේ නම් ඒ ආගමික පුවතක් අසුරින් වීම සම්ප්‍රදායක් විය.


"කරුණා නදී" සංයුක්ත තැටියේ ඇතුළත් "දේව ආරාධනාව" සංගීත රචනයේ වීඩියෝව මෙතනින් නැරඹිය හැක.
video

ලංකාවේදී මීට පෙර කේමදාස මාස්ටර් පිරිනිවන් මංගල්ලය බෞද්ධ කැන්ටාටාවද, ධම්ම පදය සංගිත නිර්මාණයද, සංගිත නිර්මාණ තුළින්ආගමික වශයෙන් නිර්මාණය කර තිබුණි. එහෙත් ඔරටෝරියෝ සම්ප්‍රදායෙන්  නිර්මාණය වූ සංගිත නිර්මාණ නො වේ..
මියුරු සරයෙන් ගැලූ කරුණා නදී......
දිනේෂ් සුබසිංහ  අපේ බෞද්ධ මූලාශ්‍ර ඇසුරින් ලංකාවේ ප්‍රථම වතාවට ඔරටෝරියෝවක් නිර්මාණය කරන්නේ  බුදු සිරිත සංගීතයට යොදා ගැනීමේ දී ඇති විය හැකි සියළු අභියෝග මනාව වටහාගෙනය.

දිනේෂ් මෙම "කරුණා නදී"  ඔරටෝරියොව නිර්මාණය කළේ 2600  සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් පසු ගිය වෙසක් මාසයේ දී ය. ඒ  සඳහා බුදු සිරිතේ අසිරිමත් අවස්ථා ගනනාවක් මේ සඳහා ඇසුරු කර ගත්තේය. ගෙවුණු වසර දෙස බලද්දී මේ නිර්මාණයද  වටහා ගත්තේ අතලොස්සක් වූ  සංගිත රසික පිරිසක් පමණි. එහෙත් එහි  අගය අනාගතයේදී අපට දැනෙනු ඇත. 
විශේෂයෙන් ම වෙළඳපොල ආර්ථිකයට ගැලපෙන නිර්මාණ බිහිවන මෙවන් සමයක තමා වෙත එල්ලවන සියළු ආර්ථික පීඩා බිඳ දමමින් "බුදු සිරිත" විශ්ව සංගිතය කරා ගෙන යාමට දිනේෂ් මේ මොහොතේ ද කැපවීම මෙහිදී වැදගත් වේ. මන්ද ඒ තුළ ඇත්තේ ආර්ථික වාසි ලබාගැනීමේ පරමාර්ථය නොව විශ්ව සංගීතය ජය ගැනීමේ අභියෝගයයි. විශේෂයෙන් ම ථෙරවාදී බුදු දහම අදහන ලංකාව තුළ සංගිත රචනාවක්  සඳහා මුලුමනින් ම පළමු වරට  "බුදු සිරිත" අසුරු කර ගැනිම අභියෝගයක් වූවා නිසැක ය.
" කරුණා නදී" සංගීත රචනා අතර අසිරිමත් බුදු සිරිතේ  " දේව ආරධනාව, ලුම්බිණි සල් උයන, (සිදුහත් උපත), සතර පෙර නිමිති, ලොව්තුරා බුද්ධත්වය, යශෝදරා, විශාලා මහනුවර තුන්බිය, දෙව්දත්, මහා පරිනිර්වාණය ඇතුළු ඔරටෝරියෝ සංගිත නිර්මාණ රැසක් වේ.
“ලුම්බිණි සල් උයන” නැමති මෙහි හමුවන සංගිත නිර්මාණයේ දී, ඒ අසිරිමත් මොහොත සිහි ගන්වන පරිසරයේ සහ ‍සොබාදහමේ වෙනස් වීමද,  මිනිසුන් තුළ දහසක් ප්‍රාර්ථනා දැල්වීම, සත්වයා සසර දුකින් මිදීමේ බාලාපොරොත්තව වැනි තේමාවන් සංගීතයේ යටි පෙළ අරුත කුළු ගැන්වෙන සේ  මේ නිර්මාණය කර ඇත.  
“ලොව්තුරා බුද්ධත්වය” නිර්මාණායේදී  මාර පරාජය, අසනිවැසි වැටීම, ලෝ ධාතුව කම්පා වීම,  අලුයම නැගෙන හිරු සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වීම  යන අසිරිමත් සිදුවීම් මේ සඳහා දිනේෂ්ගේ සංගිතයට තේමා වි ඇත. ජන නාද රටාවන්ගේත් බෙර දවුල් හේවිස් තම්මැට්ටම් වැනි සංගිත භාන්ඩයන්ගේ නාදයත් පසතුරු සංගිත භාණ්ඩ වලින් නැගෙන නාදයත් මිනිස් සිතුවිලි උද්දාමයෙන් පිරුණු අයුරු සිහිගන්වයි. 

 “ලොව්තුරා බුද්ධත්වය” ඔරටෝරියෝව මෙතනින් අහන්න කාලය විනාඩි 10.47

දිනේෂ් නිර්මාණය කළ බුදු සිරිත ඔරටෝරියෝවේ  මේ සියළු නිර්මාණයක්ම විඳීමේදී  වැටහෙන්නේ මේ අසිරිමත් සිදුවීම් දෙස නිවී පහන් වූ සිතකින්  බලා සිටින සර්ධාවෙන් පිරිපුන් මිනිසකුගේ සිතම ය. ඒ සංගිතයේ වෙසෙන්නේ බුදුන් වහන්සේ සරණ ගිය  ලාංකික බුද්ධ ශ්‍රාවකයෙකි. සිත නිවා පහන් කර ගත් උවැසි තැනැත්තෙකි.
මේ නිර්මාණ සියල්ල සංගීතයට කැටි කර ගැනිමේදී පිරිත් ස්වරයේ ශාන්තිය ද, සාදු කාරය ද, ඇතැම් තැනක රතන සූත්‍රය ඇතුළු සෙත් පිරිත් සජ්ගායනාවල කොටස්ද සංගීතයට  ඈතින් ශ්‍රාවකයාට දැනෙන සේ  නිර්මාණය කර ඇත. 

දිනේෂ් මේ ඔරටෝරියෝ නිර්මාණය සඳහා ටිබෙට් සංගීත සම්ප්‍රදාය, චීන සංගීත සම්ප්‍රදාය, මෙන්ම ජපන් සංගීත ආභාෂයත් බටහිර සංගීත සම්ප්‍රදායන්හි ඔපෙරා සහ සොනාටා  ආභාෂයත්, භාවිතා කරන අතරම ඉන්දියානු රාගධාරී සංගීත සම්ප්‍රදායද, දේශීය ජන සංගීතයේ නාද රටා ඇතුළු විවිධ සංගීත ශෛලීන්  රැසක් යොදා ගනී. දේශීය සංගීතය යොදා ගැනීමේ දී බෙර, දවුල්, හේවිසි, තම්මැට්ටම් වැනි සංගිත භාණ්ඩවල නාද රටාද, සිය නිර්මාණ තුළට දායක කරගෙන ඇත. මෙහි ගායනා  සඳහා අවම වචන භාවිතයත්, ඇතැම් පාලි ගාථා සහ පාඨයන්ද, පිරිත් සජ්ගායනාවල  විවිධ කොටස්ද උපයෝගි කර ගෙන තිබේ. මීට අමතරව විශ්ව සංගිත මුල්කරගෙන ඔරටෝරියෝවක ආකාරයෙන් නිර්මාණය කළ දන්නෝ බුදුන්ගේ ගීයද මෙහි ඇතුළත් විශේෂ නිර්මාණයකි.

 ඔරටෝරියෝවක ආකාරයෙන් නිර්මාණය කළ දන්නෝ බුදුන්ගේ ගීය මෙතනින් අහන්න
දිනේෂ්  "කරුණා නදී" සංගිත රචනා නිර්මාණය කිරීමේදී දේශීය ශිල්පීන්ට අමතරව විදේශීය සුප්‍රසිද්ධ වාදකයන් වන ජෝන් ඇනිතනී, එලිද් මාර්ටින්. ජෝන් ෆිලිප්ස්, ආදී ලොව සුපතල වාද්‍ය ශිල්පින් මෙන්ම A.R. රහමන්ගේ සංගිත ඇකඩමියේ සිටින වාද්‍ය ශිල්පින්ද සහභාගී කරගෙන සිය නිර්මාණය ඉතාමත් විශිෂ්ඨ නිර්මාණයක් බවට පත් කරගෙන ඇත. ඒ අනුව මෙය මනස සුවපත් කර ගැනීම පිණිස නිර්මාණය වූ විශිෂ්ඨ සංගිතමය නිර්මාණයක් වශයෙන් හැඳින්විය හැකි ය.
දිනේෂ් සුබසිංහගේ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට
 කෙසේ වුවත් දිනේෂ් පිළිබඳව ලියැවුණ මෙම සටහන අවසන් කිරිමට පෙර මා මුලින් සඳහන් කළ සංගිත නිර්මාණවලට අමතරව ඔහුගේ වෙනත් නිර්මාන කටයුතු පිලිබඳවද කෙටියෙන් සිහිපත් කරමි.
දිනේෂ්  දේශිය වශයෙන් නිර්මාණ රැසකට දායක වී තිබේ. දිනේෂ්ගේ ඒ නිර්මාණ අතර  රූපවාහිනී සංගිත වැඩසටහන් 06 ක්වාර්තා වැඩසටහන් 11 ක්ද,  ඔහුගේ සංගීත දිවියේ නිර්මාණ අතර වේ.  මීට අමතරව ටෙලි වෘත්තාන්ත 27 ක ද, ඒකාංගික ටෙලි නාට්‍ය 07 කද ටෙලි චිත්‍රපට 03 කද  පසුබිම් සංගිත නිර්මාණයෙන් දායක වී තිබේ.  සංගිත නිර්මාණ ශිල්පියෙකුගේ  ගමන් මගෙහි විශිෂ්ඨ නිර්මාණ අතරට මේ වසර තුළ දී තිරගතවීමට නියමිත දිනේෂ් පසුබිම් සංගීතය  නිර්මාණය කළ තවමත් තිර ගත නොවූ චිත්‍රපට 07 කි.  ඒ අතර උයනට මල්  ගේන්න,  සිහිනය දිගේ එන්න, පරාවර්තන, පරපුර, කල්පාන්ත සිහිනයක් ආදී විත්‍රපට වල සංගීතය ගැන මතු දවසක තව දුරටත් ඔහු පිළිබඳව කතා කළ හැකි ඔහුගේ නිර්මාණ වනු ඇත.  මීට අමතරව ඉන්දීය සම නිෂ්පාදයක් වූ "ශ්‍රී සිද්ධාර්ථ"  චිත්‍රපටයද "රාවන්ගේ පුත්තු" දිනේෂ්ගේ සංගිත නිර්මාණ පිලිබඳ තවදුරටත් බොහෝ බලාපොරොත්තු තැබිය හැකි චිත්‍රපට වේ. 
ජෑස් සංගීතය ඇසුරින් දිනේෂ්ගේ  පළමු අත්හදා බැලීම "ඒ කාලේ"
දිනේෂ් මේ  සියලු සංගීත කටයුතු වලට අමතරව ගායන ශිල්පියෙකු ලෙස ජෑස් සංගිතය ඇසුරින් ගීයක් නිර්මාණය කර මෑතක දී දුමාල් වර්ණකුලසූරිය සමග ගැයුවේය. “ඒකාලේ” නම් වූ ඒ ගීය නම් මේ යුගයේ ඉතාමත් ජනප්‍රිය වූ ගීයකි. ඒ අනුව ඔහු ගායන ශිල්පියෙකු වශයෙන්ද පියවරක් තබා ඇත. ඒ ඔහුගේ ගායන හැකියාව අනාගතයේදි රසිකයන් විසින් තහවුරු කරනු ඇත.
කෙසේ වුවද දිනේෂ් සුබසිංහ ලාංකේය සංගීතයේ අනාගත බලාපොරොත්තුවක් අප ඉදිරියේ තබා ඇත.  දිනේෂ්ගේ සංගිතමය චින්තනය  විශ්ව සංගිතය පිළිබඳ සුබ නිමිත්තකි. ඔහු කැපව සිටින්නේ ඒ වෙනුවෙනි. "යානිගේ" සංගිත කොන්සර්ට් පිළිබඳව ලෝකයම උනන්දුවෙන් බලා සිටින මෙකල දිනේෂ් සුබ සිංහගෙන්  එවැනි සංගිතමය අත්දැකිමක් විඳගන්නට ඉඩක් ලද හොත් එය අපේද වාසනාවකි. ෴


මෙහි ඇතුළත් දිනේෂ් සුබසිංහගේ ඡායාරූප ඔහුගේ Facebook ඡායාරූප එකතුවෙන් ලබාගත් ඒවා බව සැළකුව මැනැවි.

ඔබේ සිත ඇඳි සිතුවිලි මෙහි ලිය තබන්න. ඔබේ පැමිණීම මහත් සතුටක් ස්තුතියි.

Thursday, 19 April 2012

෴ රාවණ නාදයේ සිට විශ්ව සංගීතය කරා... ෴

පළමු කොටස
හැමදාම අස්වැන්න තුළින් මෙරට ප්‍රවීන නිර්මාණකරුවන්ගේ නිර්මාණ පිළිබඳව නිරන්තයෙන් කතා කළත්, නව පරපුර සහ ඔවුන්ගේ නිර්මාණ පිලිබඳව කතා කළේ ඉතාමත් අඩුවෙන්. අස්වැන්න කියවපු බොහෝ දෙනෙක් මගෙන් විමසු‍වෙ ඇයි නව පරපුර ගැන කතා නො කරන්නෙ කියලා ඒ නිසා නව පරපුරේ කලා නිර්මාණ පිළිබඳවත් අස්වැන්න තුළින් මට හිතෙන සහ දැනෙන දේ ලියන්න සිතුවා. ඒ නිසා අද අස්වැන්න තුළින් මෙරට කිසිම විචාරයකට හසු නොවූ එවන් විශේෂ දක්ෂතාවයක් සහ හැකියාවක් සතු  යොවුන් සංගිත වේදියෙකු පිලිබඳව සහ  ඔහුගේ නිර්මාණ පිළිබඳව කතා කරන්න හිතුවා. ඒ සඳහා පූර්විකාවක් හැටියට ටිකක් ඈත් අතීතයේ බුදුන් දවසටම ගිහින් මේ කතාවට කෙටි ඌණ පූරණයක් එකතු කරමින් ම ඔහුගේ සංගිත නිර්මාණ පිලිබඳව කතා කරමු.
සූරිය වච්චසා නම් වූ ගාන්ධර්ව යුවතිය පිලිබඳව "පංචසිඛ " ( පන්සිළු) තමා විසින් නිර්මාණය කරන ලද මධුර තනුවකින් සරසා වීණාව වයමින් බුදු හිමියන් ඉදිරිපිට මිහිරට ගී ගැයීය. පන්සිළු එසේ ගී ගයමින් වීණාව වාදනය කළේ බුදුන් වහන්සේ අභියස බව දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රයෙහි සඳහන් වේ. එසේ බුදුන් වහන්සේට පන්සිළු නම් දිව්‍ය ගාන්ධර්වයාගේ  මේ මිහිරි වීණා වාදනය අසන්නට ලැබුණේත්, පන්සිළුගේ ගීත අසන්නට ලැබුණේත් සක්‍ර දෙවිඳු විසින් පන්සිළු ද සමග බුදුන්වහන්සේ  දකින්නට ගිය ගමනේ දී ය. ඒ ගමන සඳහා පන්සිළු "බේලුවපාණ්ඩු වීණාව" ද රැගෙන ගිය බව එම සූත්‍ර දේශනාවේ සඳහන් වේ.
පන්සිළුගේ වීනා වාදනය සහ ගායනය අවසානයේ බුදු වහන්සේ  පන්සිළුගේ ගැයුම් හා වැයුම් පිලිබඳව මනරම් විවරණයක් කළහ. පන්සිළුගේ  ගීයෙහි හඬ සහ නාද මාලාව පිලිබඳව බුදු හිමියන්ගේ විවරණය ගීතය සහ සංගිතය පිළිබඳව ලොව පැරණිතම විවරණය ලෙස සැළකිය හැකි ය.ඒ මීට අවුරුදු දෙදහස් හයසීයකට පෙර බුදුන් දවස සිදුවූ අසිරිමත් සිදුවීමකි.                                                                           
අස්වැන්න ආරම්භයේ දීම එවන් සටහනක් තැබීමට සිදු වූයේ දැවැන්ත නිර්මාණ රැසක හිමිකරුවා වෙමින් නිහඬවම හුදකලා ගමනක යෙදෙන මේ තරුණ සංගීතවේදියා වෙනුවෙනි.  තවමත් යොවුන් වියේ පසුවන මේ සංගීතවේදියා දිනේෂ් සුබසිංහ ය.  දිනේෂ් ශ්‍රී ලාංකේය සංගීතය විශ්ව සංගිතය කරා රැගෙන යාමට මහත් වෙහෙසක් ගන්නා නව පරපුරේ  සියළු දක්ෂතාවයන්ගෙන් අනූන නිර්මාණකරුවෙකි.
දිනේෂ් මේ වන විට දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද සිය අනන්‍යතාවය තහවුරු කර ගනිමින් නිර්මාණකරණයේ යෙදී සිටී. පසුගිය වරසර 06 ක පමණ කාලය ඇතුළත ඔහු විසින් සිය  නිර්මාණ  ඇතුළත්  සංගිත ඇල්බම් 04 ක් නිර්මාණය කර ඇත. ඒ අතර, රාවණ නාද, Feel my heart, සිහින වසන්තයක්, සහ කරුණා නදී  යන නිර්මාණ එකතු මෙරට සංගිත ලෝලින් හෝ විචාරකයන්ගේ අවධානයට යොමු වූවා දැයි සැක සහිත ය. මට හිතෙන හැටියට මේ නිර්මාණ සියල්ල විදිනු ලැබුවේ මෙරට අතලොස්සක් දෙනා පමණි. එයට ආසන්න ම හේතුව මේ යොවුන් සංගිත වේදියාගේ  සංගීත භාවිතය පිලිබදව නිවැරදි අවබෝධයක්  තවමත් අප තුළ වැඩී නො තිබීමයි.
දිනේෂ් දකුණු ඉන්දියාවේ දැවැන්ත සංගිතවේදියෙකු වන  A.R. රහමන්ගේ පළමු ශ්‍රී ලාංකික ශිෂ්‍යා වෙමින් ඔහු යටතේ සංගිතය හදාරා අවසානයේ රහමන්ගේ සංගිත ඇකඩමියේ රහමන්ගේ නිර්මාණවලට දායක වෙමින්  ජාත්‍යන්ත සංගීත භාවිතය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගෙන ඇත. ඔහුගේ  ඉන්දීය නිර්මාණ දායකත්වය අතර මනිරත්නම්ගේ "රාවන්" චිත්‍රපටය සඳහාද වාදකයෙකු ලෙසත්  A.R. රහමන් යටතේ තවත් ඉන්දීය චිත්‍රපට ගනනාවකටත්, වාදනයෙන් දායක වි ඇත. දිනේෂ්  කේමදාසයන් සමග ඔහුගේ වාද්‍ය වෘන්දයන්හි ඔපෙරා සහ සංධ්වනි වාදකයෙකු ලෙස දායක වෙමින් සිය සංගිතමය ඥාණය පුළුල් කර ගැනිම හේතුවෙන්  ඔහුගේ විශ්ව සංගිතය සොයා යාමේ ගමන ඉක්මන් කළා විය හැකිය.
දිනේෂ්  සුබසිංහ නම් වූ මෙම තරුණ සංගීතවේදියා සිය පළමු සංගිත නිර්මාණාත්මක අත්දැකිම ලෙස එළිදක්වන්නේ "රාවණ නාද" නම් වූ ගී අනුවාදන 16 ක් ඇතුළත් සංගත තැටිය යි. ඔහු මේ සඳහා භාවිතා කරනු ලබන්නේ ඉතා අපූර්වතම සංගිත භාණ්ඩයකි. එපමණක් නො ව එම සංගිත භාණ්ඩයේ නිර්මාණාත්මක  හිමිකරුවා ද ඔහු ය. එය  ඉතාමත් ඓතිහාසික නිර්මාණයක් වූ  "රාවණ හත්ත" ( Rawana Hatta ) නම් වේ. එම  සංගිත භාණ්ඩය දිනේෂ්ගේ ම නිර්මාණයකි.                             
"රාවණ හත්ත" ( Rawana Hatta ) නම් වූ සංගිත භාණ්ඩය ඉතාමත් දිගු ප්‍රාග් ඓතිහාසික වටිනා කමක් ඇති,  අපට ‍ඓතිහාසිකව උරුම වූ සංගිත භාණ්ඩයකි. එය නිර්මාණය වූ යුගය පිලිබදව සළකන විට එය වයලීනය බිහිවීමට පෙර වසර 2500 ක් 3000 ක් පමණ අතිතයේ ලියැවුණ "රාමායණය"  පුරා වෘත්තයේ ඔබ අසා ඇති ශ්‍රී ලාංකික රාවණා රජු විසින්  භාවිතා කරන ලදැයි සැළකෙන  රාවනා රජු විසින්ම නිර්මාණය කර ගත් සංගිත භාණ්ඩය එයයි. "රාවණ හත්ත" ( Rawana Hatta )  පිළිබඳව ඓතිහාසික තොරතුරු පළමු  වරට සඳහන් වන්නේ "රාමායණය" කෘතියෙහිය.                     
අලුවකින් (Bow) වාදනය වන තත් සහිත සංගිත භාණ්ඩයක් වූ නූතන " වයලීනය" නිපදවීමට පෙර වසර 4000 ක් හෝ 5000 කට පෙර රාවණා රජු විසින් නිර්මාණය කරන ලද්දකි. ඒ අනුව රාවණා රජු විසින් "දඬුමොණරය" නිපද වූවා පමණක් නොව "රාවනා හත්ත ( Rawana Hatta ) " නම් වූ සංගිත භාණ්ඩයද නිර්මාණයකර වාදනය කල බව ඉතිහාසය සාක්ෂි දරයි.
කේමදාසයන් සමග රාවණ හත්ත වාදනය කරමින්
දිනේෂ්  එතරම් ඈත අතිතයක ශ්‍රී ලාංකික උරුමය හාරා අවුස්සමින්  ප්‍රාග් ඉතිහාසයේ වැළලී ගිය  අපට උරුම වූ ඒ සංගිත භාණ්ඩය  නැවත නිර්මාණය කරමින් වාදනය කර පෙන්වීය. මෙහි හැඩය 16 වන සියවසේ ඉතාලියේ නිපද වූ "වයලිනයටත්"  එහි නාදය උතුරු ඉන්දියානු   "සාරංගි" සහ "එස්රාජ්"  සංගිත භාණ්ඩවලින් නිකුත් වන නාදයට ආසන්න නාදයකි.
වසර 4000 - 5000 කට පෙර ලංකාවේ විසු රාවණා රජු විසින් වාදනය කළා යැයි සැළකෙන "රාවනා හත්ත ( Rawana Hatta ) " පිළිබඳව දිනේෂ් එහි මූලාශ්‍ර ඔස්සේ අක් මුල් සොයා යමින් නැවත ඒ ඓතිහාසික උරුමය රටට දායාද කළේය. එපමණක් නොව එය වාදනය කරමින් නිර්මාණය කල "රාවණ නාද " සංගත තැටිය ද එළි දැක්වීය.
ඒ අපූර්ව වූ "රාවනා හත්ත ( Rawana Hatta ) " වාදය කරමින් ගීත අනුවාදන අතරින් දිනේෂ් විසින්  නීලා වික්‍රමසිංහ ගැයූ මතු දැක්නෙ ගීයේ ගි අනුවාදන අසන්න මේ මේ අපූර්ව සංගිත භාණ්ඩයේ මිහිර  ඒ තරමට රසයෙන් පිරී ඇත.
බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැළවුණ දා
මුළු ලොවටම රෑ වෙනවා......

 "රාවනා හත්ත ( Rawana Hatta ) " වැයූ බෝධියේ විහාරයේ ගි අනුවාදනය මෙතනින් අහන්න
කෙසේ වුවත් ඉන් අනතුරුව දිනේෂ් සුබසිංහගේ සංගිතමය ගමන් මග යොමු වන්නේ "සංධ්වනි" සහ "සොනාටා" සංගීත ක්‍රම කෙරෙහිය. දිනේෂ්  A.R. රහමන්ගේ ඇසුරේ සිටිමන් ලැබූ ආභාෂයත්, කේමදාසන්ගේ සංගිත භාවිතයත් පිළිබඳව ලද අත්දැකිම් ඔස්සේ විශ්ව සංගිතය සොයා යාමට සමත් වේ.  එසේ විශ්ව සංගිතය සොයා යන ඔහු ඊළගට නිර්මාණය කරන  සංගිත ඇල්බමයද විශේෂ නිර්මාණ එකතුවකි. දිනේෂ් එය නම් කළේ Feel my heart යනුවෙනි. ඒ අතරතුර  ජාත්‍යන්තර සංගිත තලයේ ඔහුගේ ස්ථානය  තහවුරු කර ගැනිමට සමත් වන්නේ "යානි" සංගිතවේදියා වෙනුවෙන්  නිර්මාණයක් බිහි කිරීමත් සමග ය . "යානි" වෙනුවෙන් නිර්මාණය කළ මෙම සංගිත නිර්මාණය යානිගේ ප්‍රසංගවල පූර්ව ප්‍රචාරක කටයුතු සදහාද එම සමාගම් විසින් භාවිතයට ගැනිමත් සමගම  දිනේෂ් සුබසිංහගේ සංගිත නිර්මාණවලට ජාත්‍යන්තර පිළිගැනිමක් ලැබුණි. කේමදාසයන්ගෙන් පසුව මෙය ශ්‍රී ලාංකික සංගිත වේදියෙකු ලද හොඳම පිළිගැනිම එය යි.
මතු දැක්වෙන්නේ දිනේෂ්  සුබසිංහ "යානි" වෙනුවෙන් නිර්මාණය කළ ඒ සංගීත නිර්මාණයේ වීඩියෝවයි

video

කෙසේ වුවත් දිනේෂ් නිර්මාණය කළ  Feel my heart ගීත ඇල්බමය ද මෙරට කිසිම විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ යම් ප්‍රමාණයකට හෝ විචාරයකට බඳුන් නො වූ නිර්මාණ එකතුවකි.  Feel my heart  මේ නිර්මාණ එකතුවේ සංගිත නිර්මාණ 18 කි. මෙම සංගත තැටිය එක් අකාරයකින් සංධ්වනි සංගීතයේ ක්‍රම පිළිබඳව අත්හදා බැලිමක් වන අතරම, අනෙක් අතට සොනාටා සංගිතය  භාවිතය පිළිබඳව දිනේෂ් තුළ තිබූ  දැනුම ද  ඒ නිර්මාණ ඔස්සේ විකසිත කර ඇත. මෙහි ඇතැම් නිර්මාණ වාද්‍ය භාණ්ඩ පමණක් උපයෝගී කර ගෙන විවිධ තේමාවන් ඔස්සේ සිය සංගිත ඥාණය විශ්වයට මුදා හැර තිබේ. ඇතැම් නිර්මාණයක සොනාටා ගායන ශෛලියද දක්නට ලැබේ. ඒ අනුව දිනේෂ් ජාත්‍යන්තර සංගිත අත්දැකිම් විශ්වගත කරන්නේ Feel my heart සංගිත ඇල්බමය ඔස්සේ ය.
මෙහි ඇතුළත් සංගිත නිර්මාණ අතර , හේමන්තයේ මා ඔබ දුටු විට ( The moment I saw you),  මගේ මතකය අවදිව තිබුණත් ( Nothing is ever forgotten ), අපිට නොපෙනෙන ලොවක අසිරිය ( Rain forest ) වැනි නිර්මාණ මේ සංගිත ඇල්බමයේ විශිෂ්ඨතම නිර්මාණ අතර ඇත.

 මගේ මතකය අවදිව තිබුණත් ( Nothing is ever forgotten ), සංධ්වනිය මෙතනින් අහන්න

 
දිනේෂ්  Feel my heart ගිත ඇල්බමයෙහි ඔහු විසින්ම තබා ඇති මේ සටහනින්  මේ සටහනෙහි පළමු කොටස අවසන් කරමි.
" කලාකරුවා  යනු වාර්ගික හැඟීම්වලට තිත තැබූ මුළු මහත් මානව වර්ගයා එක ම ඉසව්වක් වෙත යොමු කිරිමට තැනූ පාලමකි. ඔහු සමාජයේ යථාර්ථයයි. ඔහු දහසකගේ බලාපොරොත්තුවයි. ඔහු සැබෑවක් නොවූ සිහිනයක භූමිකාවයි.ඔහු සුවහසක් මිනිසුන්ගේ ජීවන පැවැත්මෙහි කොටස්කරුවායි. ඔහු පවත්නා වූ සමාජ සංවිධානයේ  නොපනත්කමට එරෙහි වූ අභියෝගය යි.
අසන්නන් දහසකගෙන් විවධ වූ අර්ථකතනයන් දහසක් ඇසීම අරමුණින් මම මේ නිර්මාණ ගොන්න ඔබ වෙත යොමු කරමි. මගේ නිර්මාණ ඇතුළත ඇත්තේ මානව සංගීතය  මුහුණ දුන් අත්දැකිම්. සිදුවිම් තුළ ඇති වූ සදාතනික මතකයන්ය.
එහි ආදරවන්තයාටත්, පරාජිතයාටත්, ජයග්‍රාහකයන් සමීප වූ සිහිවටන රාශියකි. මෙය ඔබේ ජීවිතයටත් සමීපදැයි බලන්න.  මගේ භාෂාව සංගීතයයි.  මගේ ආගම සංගීතයයි.  මා උගත් ධනය සංගීතයයි.  මගේ සුසුම පවා සංගිතය දැයි මට සිතේ." 

                             දිනේෂ්ගේ සංගිතමය වීඩියෝවක් මෙතනින් බලන්න
video
ඒ අනුව දිනේෂ්ට පමණක් නොව මටද සිතෙන්නේ ඔහු විශ්ව සංගිතයේ කොටස් කරුවකු වී ඇති බවයි. කේමදාසයන් නතර වූ තැන සිට දිනේෂ් ඔහුගේ ගමන් මග ආරම්භ කර ඇති බවයි.

මෙහි ඊළඟ කොටසින් දිනේෂ් සුබසිංහ නිර්මාණය කල "ඔරටෝරියෝ" සංගිතය පිළිබඳව විමසා බලමු.


ඉඩක් ඇත්නම් ඔබේ අදහස් මෙහි ලියා තබන්න. ඔබේ වටිනා කාලයෙන් බිදක් අස්වැන්නට වෙන් කළාට ස්තූතියි

Friday, 13 April 2012

෴ කේමදාස; සිංහල අවුරුද්ද සංධ්වනිය The New Year Symphony ෴



ශ්‍රී ලාංකික සංගිත වේදියෙකු විසින් 1967 වර්ෂයේ දී කරන ලද පළමු සංධ්වනි සංගීත අත් හදා බැලීම අද විඳිමු.

අද සිංහල අලුත් අවුරුද්ද;  සහෘද ඔබ සැමට  සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනය කරමින්  අද "අස්වැන්න" සිංහල අලුත් අවුරුද්ද ගැන ටිකක් කතාකරන්න හිතුවා. ඒත් මේ සිංහල අලුත් අවුරුද්ද හැමෝම කතා කරන අලුත් අවුරුද්දට ටිකක් වෙනස්.  මම කතා කරන්නෙ සිංහල සංගිත වේදියකු විසින් සිය නිර්මාණාත්මක සංකල්ප ඔස්සේ "සිංහල අවුරුද්ද" දුටු ආකාරයයි. 

මේ සංගීවේදියා ආචාර්ය ප්‍රේමසිරි කේමදාස; කේමදාසයන් සංගිතවේදියෙකු ලෙස ඔහුගේ ඇසින් "සිංහල අවුරුද්ද" නිර්මාණාත්මක සංකල්පයක් මත නිර්මාණය වීම ඉතා වැදගත්. ඔහු මේ " සිංහල අවුරුද්ද" දුටුවෙ සංගිතමය ඇසකින්, සිය සංගිත ඥාණයෙහි  උපන් සංධ්වනියක් ලෙසට ය. 

ස්ථායි සහ අන්තරා කොටස් වලින් සැදුම් ලත් ගී තනුවකින් සහ සංගීතයෙන් සැරසූ සිංහල ගීතයෙන් ඔබ්බට විහිදී යන සංගිතය නම් වූ මාතෘකාව  පුළුල් පරාසය පුරා  විහිද ගිය සංකීර්ණ රේඛාවන් ඔස්සේ  වචන රහිතව සිය හෘදයෙහි උපන්  සංගිත රිද්ම හරහා සිය සංගිත රසිකයන් ඇමතූ " සිංහල අවුරුද්ද " සංධ්වනිය ලාංකේය  සංගිත ඉතිහාසයේ ‍ඓතිහාසික   නිර්මාණය වන්නේය.
                                      
මෙම සංධ්වනිය නිර්මාණය වූයේ  1967 වර්ෂයේ දී ය. ඒ වන විට  මෙරට ඉංග්‍රිසි පාලනයෙන් මුලු මනින්ම මිදී   දශක දෙකකට ආසන්න වූවා පමණි. එසේම ලංකාව තුළ සිනමාව ආරම්භ වී හරියටම දශක දෙකකි. මේ කාල පරාසය තුළ ස්වාධිනව ගොඩනැගෙමින් තිබූ ජන ජීවිතය එදවස අද දවස තරම් සංකීර්ණ සමාජ රටා  පැවති යුගයක් නොවී ය. 

එදවස, අද යුගයේ තරම් කොන්ක්‍රීට් වනාන්තර නගරාසන්නයේ පිරී නො තිබූ අතර හරිත වර්ණයෙන් පිරි ගහ කොළ  සහිත පරිසරයක ඉඳහිට දැකිය හැකි උළු සෙවිළි ගෙයක් හැරුණු  විට සමස්තයක් වශයෙන් මුළු පොල් අතු සෙවිළි කල ගොම මැටි ගෑ ගෙවල් මුළු ගම පුරාම දිස්විය. ඉඳහිට දුවන දුම්රියක හෝ ලංගම බස් රියක හඬද සොබාදහමට එකතු කළේ අපූර්ව වු චමත්කාරයකි. අර්ධ නාගරික සමාජ පන්තියක් බිහිවෙමින් තිබූ එකල බහුතරයක් ජනතාව ජනතාව නියෝජනයෙන් නිරූපණය  වූයේ අහිංසක ගැමි පරිසරය තුළ උපන් සංස්කෘතියයි.  

කේමදාස සිංහල අවුරුද්ද සංධ්වනිය ඔස්සේ ලාංකේය සංගිත ක්ෂේත්‍රයේ  පළමු වතාවට අත්හදා බැලූයේ ඒ අර්ධ නාගරික සමාජ පන්තියේ ජනතාවද බහුතරයක් වූ ගැමි ජනතාව තුළ ගොඩ නැගෙමින් පැවති ජන ජිවිතයේ හෘද ස්පන්දනය යි. දේශියත්වයේ රිද්මය යි. ශ්‍රී ලාංකික ජනතාවගේ අලුත් අවුරුදු සිතුවිලිවල නැවුම් සංකලනයයි. කේමදාසයන්ගේ එම වෑයම එය දේශිය සංගීත සංස්කෘතියේ ප්‍රතිරාව නැංවූ  නිර්මාණයක් විනා බටහිර සංධ්වනියක දෝංකාරයක් නොවී ය.

කේමදාස මේ සඳහා කොවුල් නාදය, රබන් හඬ, රතිඤ්ඤා, පිටි කෙටීම, කැවිලි පිසීම, ගේදොර පිරිසිදු කිරීම, පුණ්‍ය කාලය මෙන්ම අවුරුදු ජන ක්‍රීඩා ඇසුරින් සිය නාද මාලා සකස් කරගෙන බක් මහේ නැවුම් අස්වැන්න ජන ජීවිතයේ රිද්මය හා දහදිය සුවඳ ද මුසු කර සංධ්වනියක් මගින්  සිය සංගීත රසිකයාට විඳින්නට සැළසුවේ ය.

අවුරුදු දෙදහස් පන්සියයක කාලයක් තිස්‍සේ  පැවත ආ සොබා දහම හා අනුගත වූ  සිරිත් විරිත් සංගීත සංකේත ඔස්සේ  පර්යේෂණයක් ලෙස නිර්මාණාත්මකව පළමු වතාවට සංගිතවේදියෙකු ලෙස කේමදාසයන් මේ දූපත තුළ කරන ලද පළමු අත්හදා බැලිම ලෙස "සිංහල  අවුරුද්ද" සංධ්වනිය  සංගීත ඉතිහාසයේ ඉතිහාස  ගත වන්නේ ඒ අයුරිනි.

කේමදාසයන්ගේ සිංහල අවුරුද්ද සංධ්වනිය සංගීත ඇසකින් පොදු ජන ජීවිතයට සම්බන්ධකොට ශ්‍රාවකයක් ඔස්සේ රසිකයා තෘප්තිමත් කල අවස්ථාවක් ලෙස එම අවස්ථාව  හැඳින්විය හැකිය. එය සිංහල සංධ්වනි සංගීතයේ පළමු සළකුණයි. කේමදාස සංධ්වනි වාද්‍ය වෘන්දයක් විසින් භාවිතා කරන සියළු රිති අනුගමනය කරමින් වාද්‍ය භාණ්ඩ රැසක් උපයෝගී කර ගෙන ඒ ඔස්සේ කරන ලද පළමු සංධ්වනි අත්හදා බැලිම එදා නිම වූ යේ එතෙක් කල් පැවත ආ  ස්ථායි සහ අන්තරා කොටස්වලින් නිර්මිත තනුවකින් සකස් වූ ගීතය වෙනස් මගකට යොමු කිරීම යි. විනාඩි දෙක හමාරක , තුන හමාරක කාලයක් තුළදී අවසන් වන සරල රස වින්දන මාර්ගයක වූ ගීතමය සංගීත ක්‍රමය වෙනුවට එකින් එක වාද්‍ය භාණ්ඩ එකක් පරයා අනෙක් භාණ්ඩය.   නැගෙමින් හඹා එන නාද මාලා ඔස්සේ සිංහල අවුරුද්දේ උත්සව ශ්‍රීය සංගීත සංරචනාවකින් ගෙන හැර දැක්වී ය.

කේමදාසයන්ගේ මේ වෑයම එකල සංගිත සංස්කෘතියේ ප්‍රාතිහාර්යයක් බඳු විය. එය ජාතික සංස්කාතියට අලුත් අත්දැකිමක් වුවද එය කේමදාසයන් එතෙක් පැමිණි සිය සංගිත ගමන් මගෙහි නැවුම් හැරවුම් ලක්ෂයකි.  එවැනි අත්හදා බැලිම් ඔස්සේ  කේමදාසයන් කරන ලද නිර්මාණ පිළිගැනීමට ඒ යුගයේ උසස් රසික සමාජය පෙළ ගැසී සිටියේය. එහෙත් කේමදාසයන් පිවිසි  ඒ මාවත  ඉතා දුෂ්කර වූත්, කටුක වූත්, මාර්ගයක් වූයේ එවකට චිත්‍රපට ගීයට ඇබ්බැහි වී සිටි රසිකයන් කේමදාසයන් ගමන් ගන්නා මාර්ගයට යොමුකර ගැනීමේ ඉතා අසීරු කටයුත්ත ඒ දුෂ්කර මාර්ගයේ ම හමුවීම යි.

එයින් පසුබට නො වූ කේමදාස තම පළමු සංධ්වනි සංගිත අත්දැකිම තමා මුහුණ දෙන අරගලයක් සේ සළකා ඒ අරගලයට මුහුණ දෙමින් ම සංගීතයේ අලුත් අත්දැකීම් විඳ ගැනීමටත්,  එතුවක් සිනමා සංගීතයට හුරුව සිටි ගීත රසිකයින් ගලවා ගැනිමටත්  ඔහු දැරූ උත්සාහයට  කිසිම තල්ලුවක් මෙරට බහුතරයක් වූ  සංගීත රසිකයන් අතින් නො ලැබීම යි. කේමදාස එසේ නිර්මාණය කළ එවැනි සංධ්වනි සංගීතයේ අත්දැකීම් ඉතා සිමිත රසිකයන් පිරිසක් වෙතට පමණක්  අද දක්වා ම ගෙන යා හැකි වූයේ  සිංහල සංගීත රසිකයන් එදා සිට අද දක්වා හුරුවී සිටින ගීතය නැමති කෙටි වින්දනීය ඒකකය තුළ සිය මනස සිර කොට තබා ගැනීම නිසාය.

එසේ වුවද කේමදාස ඔහුගේ සංගිත දිවියේ ගෙවුණු පනස් වසරක කාලය තුළ සිංහල සරළ ගිතයේ සිට   සිය නිර්මාණාත්මක  සංධ්වනි සංගීතය කැන්ටාටා සහ  ඔපෙරා, දක්වා සිමිත රසික පිරිසක් සමග එක්වී ගෙන ගියේ ඒ සිංහල සංගීතයේ කොම්පාසුව අතට ගත් යුග යාත්‍රිකයා වූ  කේමදාස  නිසාය. 

මෙහි ඔබට අසන්නට ලැබෙන්නේ 1967 වර්ෂයේදී කළ ඒ මුල්ම අත්හදා බැලීමේදී කරන ලද පළමු පටිගත කිරිමයි. අනතුරුව අවස්ථා කීපයකදී මෙම සංධ්වනිය සිය ප්‍රේක්ෂකයන් ඉදිරිපිට දී ඉදිරිපත් කරන ලද ප්‍රසංගවලදී වාදනය වුවද අනතුරුව මෙම නිර්මාණය ශ්‍රාවකයන් වෙනුවෙන් ඉදිරිපත් කර නැත. මෙම නිර්මාණය මුල් වරට ග්‍රැම‍ෆෝන් ගී තැටිවලට පසුව බිහි වූ එල් පී තැටියකට නැගි ඇත. අනතුරුව කිසිඳු පටිගත කිරිමක් සිදුවී නැති බව සඳහන් කළ යුතුය. ඒ නිසා මෙය Mono  ක්‍රමයට පටිගත කරන ලද නිර්මාණයකි. එදවස අද තරම් සුසර වූ Stereo තාක්ෂණයක් නො තිබුණ නිසා ඔබට අහන්නට ලැබෙන්නේ ඒ පැරණි මුල්ම නිර්මාණයයි. මෙම සංධ්වනිය සහ එහි ප්‍රධාන කොටස්  හඳුන්වාදීම් සමග  මෙහි ධාවන කාලය විනාඩි 13.49 ක් බවද මෙහි දී සැලකිය යුතු ය. 


ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසින් 1967 වර්ෂයේදී පළමුවරට නිර්මාණය කරන ලද          " සිංහල අවුරුද්ද" සංධ්වනිය මෙතනින් අහන්න. කාලය විනාඩි 13තත්පර 49



ඔබ සැමගේ සිත් තැවුල් බරින්, මානසික ආතතියෙන් මුදා  නිවා සැනසූ සංගීතයෙන් පිරි  සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක්ම වේවා. මුලු අවුරුද්ද පුරාම ඇ‍ඳෙන සිතුවිලි අලුත් වේවා..!

ඉඩක් ඇත්නම් ඔබේ අදහස්  මෙහි ලියා තබන්න එය.හෙට දවස සඳහා අත්වැලක් වේවි.

Monday, 9 April 2012

෴ මිනිස් වටය ෴


                                                
සිත් ගන්නා සුළු කෙටි කතා පොතක් කියවන්න අවස්ථාව ලැබුණා.  මේ කෙටි කතා පොත මුල් වරට කියවලා දවස් ගානක් ගත වුනත් ඊට පස්සෙ ආයෙමත් නැවත දෙතුන් වතාවක්  කියෙව්වා. සාමාන්‍යයෙන් නිරන්තරයෙන් කියවන  කෙටි කතා පොත් අතරින්  හමු වූ ඉතාම විරල ගණයේ කෙටි කතා පොතක් වූ නිසාම " මිනිස් වටය " කෙටි කතා එකතුව පිලිබඳව අද "අස්වැන්න" ලියා තබමි.
කෙටි කතාවක හෝ කෙටි කතා පොතක කලාත්මක භාවයත් එහි සාහිත්‍යමය ගුණයත් රඳා පවතින්නේ ලේඛකයා  විසින් තම කතාව ලිවීමට පාදක කරගන්නා උපක්‍රම සහ ඊට භාවිතා කරන භාෂාව මතය. නිරන්තයෙන් කියවන්නට ලැබෙන බොහොමයක් කෙටිකතා  ගොඩ නැගී ඇත්තේ අදාල ලේඛකයාගේ මනෝ සිතුවිලි මතය. ඔහු හෝ ඇය මනෝ සංකල්ප ගොඩ නගා ගනිමින් භාෂාව  භාවිතා කර අඳින සිතුවම්වලින් සිය නිර්මාණය  සරසයි. එය ඇතැම් විටක එය  ලේඛකයාගේ නිර්මාණාත්මක "හිතළුවකි" එය ලේඛකයාගෙන් ලේඛකයාට වෙනස් වේ.
එහෙත් "මිනිස් වටය" කෙටිකතා එකතුව සඳහා එරික් ඉලයප්ආරච්චි මහතා තෝරා ගන්නේ ඊට හාත්පස වූ  රීතියකි. මෙම කෘතියේ ඇතුළත් සියළුම කෙටිකතා අප  එදිනෙදා ගැටෙන  මේ භෞතික ලෝකයේ සිදුවන සැබෑ සිදුවීම් සහ සැබෑ ජීවන අත්දැකීම් ඇසුරින් සකස් කර නිර්මාණය කර ගන්නා ඒවා වීම විශේෂත්වයකි. ඒ අනුව එදිනෙදා සමාජය තුල සිදුවන සහ ලේඛකයා මුහුණ දෙන සැබෑ තාත්වික සිද්ධීන් රැසක්  මෙම " මිනිස් වටය"  කෙටි කතා එකතුවට  එකතුවී තිබේ. එය තමා ගැටෙන සමාජය තුළ හමුවන සංස්කෘතික හා සාමාජීය හැඩතලවල හරස්කඩක් නිරූපණය කිරීමට මෙම කෙටි කතා එකතුව පැහැදී සිටී.
යම් කිසි කතා පුවතක රසය ඇති වන්නේ  කුතුහලය ඇවිස්සීමෙන්  නොව එහි නිරූපණය වන චරිත සහ සියළු සිදුවීම් පවතින තත්වයන් තුළම සරල භාෂා ව්‍යවහාරයන් භාවිතා කර පාඨකයා වෙත සම්ප්‍රේෂණය කිරීමෙන් බව මේ "මිනිස් වටය" කෙටි කතා එකතුව තහවුරු කොට ඇත.                                                                                       
මේ සමාජ ජාලයේ සියල්ලෝම විවිධාකාර සංස්කෘතිකමය රංගනයන්ට හසුවී සිටී.  මේ සමාජ   ප්‍රවාහය අභිමුව යථාර්ථය මගින් ඒ සමාජය විනිවිද දැකිය හැකි තරම් විචාරශීලී නිර්මාණ බිහිවීමේ අවශ්‍යතාවය ලේඛකයාට මෙන්ම පාඨකයාට ද  දැඩිව දැනෙයි.  එවැනි  සමාජ යථාර්ථ  පසෙක තබා "හිතළු"  හෝ නිර්මාණාත්මක සංකල්ප මත පිහිටා තවදුරටත් පාඨකයා රඳවා ගැනීමට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ  ඒ පාඨකයා තවදුරටත් විද්‍යුත් මාධ්‍ය තුළට  ගාල් කිරීමකි.
එකී ඉලෙක්ට්‍රොනික් සංස්කෘතියේ බැමි කඩා බිඳ දමා  සිය පාඨකයා යථාර්ථයේ පිහිටුවා තමා උරදෙන සමාජ තලයම නැවුම් සිතුවිලි මාලාවක් මගින් නව කතිකාවක්  ගොඩ නැගිමට  එරික් ඉලයප්ආරච්චි මහතාගේ " මිනිස් වටය"  කෙටි කතා එකතුව සමත් වී සිටී.
"මිනිස් වටය" කෙටි කතාව වූ කලී නූතන තරුණ පරපුර මුහුණ දෙන රැකියා වියුක්තිය හේතුවෙන් අයාලේ යන තරුණ ජීවිත පිලිබඳව විග්‍රහයක යෙදෙයි. මෙහි ප්‍රධාන චරිතය වන "ලැයියා" රැකියා වියුක්තියෙන් පෙලෙන  ඉහළ අධ්‍යාපන සුදුසු කමක් නොලැබූ තරුණ පරපුරේ සංකේතයකි. විටෙක ‍ ජීවිත ගැට ගසා ගැනීම සඳහා කරන්නා වූ ජීවන අරගලයෙන්ද,  තවත් විටක සමාජ විරෝධී ක්‍රියා මගින් උපයාගන්නා මුදලින් ගොඩ නැගෙන ජීවිත අභිමුව ලැයියලාට ද  එකී සමාජ ප්‍රවාහයට අනුගත වීමට සිදුවේ. මීගමුව සිට හලාවත දක්වා වයඹ දිග මුහුදු තීරයේ වෙසෙන තරුණ පරපුරේ සිතුවිලි වල තිබෙන ඉතාලියට පැන ගැනීමේ ඛේදවාචකය මගින් සමස්තයක් වශයෙන් ගත් කල නූතන තරුණ පරපුර ඉතාලි සංස්කෘතිය තුළ සිරවන සැටි කෙටි කතාව තුළ විග්‍රහයක යෙදෙයි. ලැයියයාත් නොදැනම ලැයියාගේ ආදර ලෝකය සොයා ගෙන  මුහුදු මාර්ග ඔස්සේ ඉතාලියට සංක්‍රමණය වීමට  ඔහු පොළඹවන්නේ ඔහු නියෝජනය කරන එකී සමාජ රැල්ලයි.
"උළු කැටය" කෙටි කතාවේ "ඇල්බට් මාමා" ද සෝදා පාලුවට ලක් වූ අක් මුල් නැති සමාජ සංස්කෘතියක  හරස් කඩකි. ලොරි රියැදුරු ජීවිතයේ දී  නවාතැන් ගන්නා නැවතුම්පොලවල අනියම් බිරියන් සමග ගත කරන ඇල්බට් මාමා ද "නරක මිනිස් " චරිතයකි. ඇල්බට් මාමා ඒ චරිතය ගොඩ නගන්නේ ගමේ ජීවත් වූ වෙද මහතා ආදර්ශයට ගැනීමෙනි. වෙද මහතාගේ ආවතේවකරුවා වූ ඇල්බට් මාමා වෙද මහතාගේ කළු චරිතයේ අඳුරු පැතිකඩකි. වෙද මහතා මිය යන්නේ ඔහු තුළ වූ කළු චරිතයෙන් උපන් පියෙකු නැති තරුණයෙකුගේ වෙඩි පහරට ලක් වීමෙනි. ඇල්බට් මාමා ද එහි සංකේතයකි.
"අස්ස කරත්තෙ" කෙටි කතාවෙන් ධනවත් සමාජ පසුබිමක සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන "අචලා" නම් තරුණිය  තමා ජීවත්වන සමාජය තුළ හුදකලා වූ චරිතයකි. එක් මොහොතක ඇයට පුද්ගලිකව ඇරයුම් කරන  විවාහ මංලෝත්සවයකට  සහභාගී වීම පිණිස අය නියෝජනය කරන සමාජ පන්තිය අනුව ඇයට යාමට සිදුවන්නේ  සිය  ඥාති ඇමතිවරයාගේ පුද්ගලික ආරක්ෂක ප්‍රධානියා  සමග  ලැබෙන අති සුඛෝපභෝගී රථයෙනි. එහෙත් ඒ මංගලෝත්සව ගමන කෙලවර  වන්නේ ඊට සහභාගී නොවී  පුද්ගලික ආරක්ෂක ප්‍රධානියා  වන තිරිමාදුර සමග කෙටි මධු සමයක් ගත කිරීම පිණිස වෙනත් හෝටලයකට යාමට සිදුවීමෙනි.
 ඒ අනුව මේ  " මිනිස් වටය"  කෙටි කතා එකතුව තුළ තිබෙන කෙටි කතා එකින් එකට වෙනස් ‍ තේමාවන් ඔස්සේ සමාජයේ විවිධ පැතිඩ අඳුරු යථාර්ථය  සාකච්ඡාවට බඳුන් කරයි.  ඇතැම් කෙටි කතා සිනමාත්මක ස්වරූපයෙන් ලියැවුණු සිනමා තිර රචනා බඳුය. ඇතම් කෙටි කතා චරිත සහ සිද්ධි වර්තමාන සමාජ සහ දේශපාලනික සිදුවීම්  හරහා ගොඩ නැගී ඇත. තවත් වරෙක ධනවාදී ආර්ථික රටාවන් අභිමුවෙහි සංස්කෘතිය හා සිනමා සහ කලා රසාස්වාදනය පවා බිඳ වැටෙන අයුරු  විග්‍රහ කරයි.  මෙය එරික් ඉලයප්ආරච්චි මහතාගේ " මිනිස් වටය" කෙටි කතා  එකතුවෙහි දැකිය හැකි  සාධනීය ලක්ෂණයකි. ෴


ඉඩක් ඇත්නම් ඔබේ අදහස්  මෙහි ලියා තබන්න එය.හෙට දවස සඳහා අත්වැලක් වේවි.

Tuesday, 3 April 2012

෴ දවසක් පැල නැති හේනේ පැළක් තැනූ කලු මහත්තයා ෴


                    
                              ආදරණීය කපුගේ

                                          ගුවන් විදුලි මහ ගෙදරින්
                                          දේශපාලන ස්ථාන මාරුවත් අරං
                                          රජරට රැජින දුම්රියේ
                                          තුනේ පන්තියේ ටිකට් එකකින්
                                          රජරටට ආ මගියා ඹබය

                                          පුරන් කෙත්වතු අතර විසිරුණු
                                          රන් අස්වනු එකින් එක ඇහිඳ
                                          නැවුම් ගී කෙත අස්වැද්දූ
                                          සැබෑ ගොවියා ඔබය

                                          ඉර බහින හැන්දෑවක
                                          සීත සුළ‍ඟේ මිහිර විඳ විඳ
                                          තිසාවැව් ඉවුර දිග
                                          ඇවිද ගිය සැබෑ ගැමියා ඔබය
                              
                              මී බඳුන් එකින් එක හිස් කොට
                                          දැල්වුණු සිගරැට්ටුවට
                                          සිරවූ ඇගිලි තුඩු
                                          දුවද්දී සරපිනාව මත
                                          කිරට මිරිසට ගී හැදූ
                                          සොඳුරු කවියා  ඔබය

                                         වැටි වැටී නැගිටින දනන් අබිමුව
                                         කම්හලේ වැඩපොලේ
                                         ජන හඬට ජන අරගලයට
                                         පණ පෙවූ මිනිසා ඔබය
                            
                                         රතුම රතු එරබදු
                                         මල් පොකුරු අස්සෙන්
                                         අතු අතර හිඳ ගී ගයා
                                         සැඟව ගිය කොවුලා ඔබය

                                         බක් මහේ දොරකඩ අදත්
                                         පිපුණු ඒ රතු එරබදු පොකුරු අතරින්
                                         අතු අතර හිඳ ගී ගැයූ
                                         ඒ කොවුල් සර කොහිදැයි
                                         සොයමි මම තවම.....
                             
  කපුගේ ගැන මට හිතෙන හැටි
          මුලු මහත් ජන සමාජයම බියෙන් තැති  ගත්  කාලයක් විය. මිනිසුන් ජීවත් වනවාට වඩා මියෙන්නේ කවදා දැයි සොයමින්, ඇඟිලි  ගනිමින් සිටි යුගයක ඒ බියෙන් තැති ගත් මියෙන, පණ අදින මිනිසුන් වෙනුවෙන්  අවසන් හුස්ම පොද දුන් පොදු ජනතාවගේ මිනිසා ඔබ ය. 

ඔබ බොහෝ මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් මරණය තුරුලට ගෙන ආදරය පරිත්‍යාග කළේ ය. "කාලයේ රාවය"  සහ "කම්පන" ප්‍රසංගයෙන් පොදු ජනතාවගේ ආරක්ෂකයා වූයේ ඔබ ය. තල් වැට අයිනට වී වැලි බංකරයේ සිරව ගිනි අවි අතට ගත් උතුරේ නඩරාජලාත්, දකුනේ සුමනසිරිලාත්, එකම පන්තියක මිනිසුන් බව කියාදී, යුද්ධයෙන් රට ගිගුම් දෙන විට යුද්ධයෙන් තොර වූ ලෝකය පැතුවේ ඔබ ය.

දේශපාලන දර්ශනය ආදරණීය කිරීම උදෙසා දෘෂ්ඨිමය හඬ අවදි කළ ඔබ කලාකරුවන්ගේ ලෝකයට මිනිස් දේශපාලනය රැගෙන විත් යුගයේ අවශ්‍යතාවය හඳුනාගත් කලාකරුවා වූයේද ඔබ ම ය.


වරෙක පීඩිත ජනතාව වෙනුවෙන් ද , තවත් වරෙක වැඩ කරන ජනතාව වෙනුවෙන් ද , ඔවුන්ගේ කම්කරු අරගලයට නව පණක් දී තනිව ම සටන් වැදුණි. ඒ දුක් විඳින ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙනි. ඇතැම් විට තනිව ම සටන් තනිව ම  වැද ඇද වැටුණි.  ලැබූ කටුක පරාජයත්, ජයග්‍රහනයක් සේ සළකා යළි යළිත් නැගිට වෙල්ලස්ස ගොවීන්ගේත්, , කණේරු ඇටකා මිය යන පුලතිසි ගොවීන්ගේත් හඬ ඔබේ හඬ තර ගත්තේ ය. සදාකාලික මිනිස් දේශපාලනයක් ගොඩ නැගීමට වෙර දුන් මිනිසුන්ට එදා  ඔබේ හඬ ශක්තියක් විය.

හෘද සාක්ෂියක් නොමැති  ජන සමාජයක ඒ හෘද සාක්ෂිය රැක ගැනීම උදෙසා ඇවිලෙන කුසගින්නට වඩා හොඳින් ඔබ ජීවිතය  හඳුනාගෙන තිබුණි. විදුලි මිණි පහන් මැද ඇතැමෙක් සතුටු සාදවල කකා බිබී හිඳිද්දී ඒ මැදුරු දොර අභියස සිට දුගී බවේ හංස ගී ගයනා දරුවන්ගේ ලෝකය දුටුවේ ය. විවාහය කල් දමා ලෙළි තළන දෝණිටත්, ඉරුණු ඇඳුම් ඇඳ අඩු කුලියට සළු මසන නැගණියටත් ඔබ එකසේ ආදරය කළේ ය. සැලුන් දොරකඩ හිඳින බාබර්ටත් හිස නමන හැටි ජනතාවට කියා දුන්නේ ඔබ ය. ඔබේ කට හඬ ඒ අසරණ ජනතාවගේ ම හඬ බවට පත් කළේ ය. කුරා කුහුඹු මිනිසුන් ඔබේ ලෝකයේ කිරුළු පැළඳුවේ ඒ නිසා ය.

ඒත් ඔබ කියාදුන් මග ඔබ පසු පස ජනතාවාදී ලේබලය පැළඳ පැමිණි ඇතැමුන්  ඒ ජනතාවාදී ලේබලය ජනතාව අත  තබා ඔබ නියෝජනය කළ පීඩිත පන්තියෙන් පැන ගොස් ය. එදා මෙන්ම අද ද ඔබේ ඒ ගී මගෙහි වූ අසරණ ජනතාව වෙනුවෙන් ඔබ පසු පස ඔබේ සෙවනැල්ලේ සැඟව පැමිණ  ඔබ තනිකර අන් මගක යද්දී සතුටු සාදයක ඇසෙන වියරු ගෝෂාව අතරින් ඔබේ කට හඬ මතුව අවුදින්,  ඔබේ ගී කැට මුගුරු ලෙස ඒ සමාජය වෙත දමා ගසනු ඇත. ඔබ නියෝජනය කළ ඒ මානුෂීය දේශපාලනය ඒ සමාජයට එරෙහිව නැගී සිටිනු ඇත. 

පෙර දවසක, දවසක් පැල නැති හේනේ පැලක් තැනූ ඒ කලුමහත්තයා .  අද හෝ හෙට  යළිත් ඒ දැයි ඒ අම්මාත්, ඇගේ දරුවන් සමග ඒ පැළට වී මග බලනු ඇත. අපිද ඒ රුව යළිත් එනතුරු මග බලන්නෙමු.


මේ තියෙන්නෙ කපුගේගේ සැබෑ මානව දෘෂ්ඨිය පිරුණු ගීයක්. ඔහු සැබෑ ජීවිතය තුළත් නියෝජනය කලේ මේ පිඩීත දරුවන්ගේත්, ජනතාවගේත් ලෝකයයි. ඔබ කවදා හරි දවසක ජී.බී. සේනානායකගේ “දුප්පතුන් නැති ලෝකය” කෙටිකතා පොතේ  “දුප්පතුන් නැති ලෝකය” කෙටි කතාව කියවල තියනවනම් මේ ගියත් ඒ කෙටි කතාවත් සසඳා බලන්න ගද්‍ය සාහිත්‍යය සහ ගීත සාහිත්‍යය ජනතාව වෙනුවෙන් කොයිතරම් සේවයක් කරනවද කියලා.

විදුලි මිණි පහන් නිවී බොළඳ ගී සිනා රැළි
නිලංකාර අඳුරේ සිරවී සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ


එන්න කන්න බොන්න මිහිරේ
දෙනෙතින් ආරාධානා
ඔබේ හඬ කිඳී සිඳී යයි කතා සරිත් සාගරේ

පුරාගෙන පිරූ විතේ විසුලු කෙළි නැටුම් සිනා
යොමා ඇස බලන් සොඳුරේ මැඳුරු දොර දිහා

දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා
දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා

ඔබේ මන්දිරෙන් එහා මගේ ලොව බලා හිඳී
පළා යයි ඔබේ ලොවෙන් මා දෙපා සමු නොදී

ගේය පදමාලාව: ලූෂන් බුලත්සිංහල
තනුව සහ සංගීතය: විශාරද ගුණදාස කපුගේ
විදුලි මිණි පහන් ගීතය මෙතනින් අහන්න, ගන්න
 
 
ඒ සටහන තැබුවෙ මම කපුගේ වෙනුවෙන්.  අස්වැන්න මුල්ම පෝස්ට් එක ලිව්වෙත්  " සුනිල දිය දහර වෙමු එකම ගඟකකට වැටෙන " කියලා ඒ කපුගේ වෙනුවෙන්. කපුගේ මියගියේ 2003 අප්‍රේල් මාසෙ 03 වැනිදා . ඒ  හරියටම මීට අවුරුදු නවයකට කළින්.  ඒ සොඳුරු මිනිසා වෙනුවෙන් ම  අදත්  “අස්වැන්න” වෙන් කළා. 

මට කපුගේ හමුවෙන්නෙ රජරට දී  ඒ අසූව දශකය මැද හරියේ දි  විතර, කපුගේ රජරට සේවයට ආවෙ  1981 දි විතර එතකොට මා පුංචි පන්තිවල ඉගන ගත්ත කුඩා සිසුවෙක්. සාමාන්‍ය පෙළ කරපු කාලෙ කපුගේ ඉදිරිපත් කළ නිර්මාණාත්මක වැඩසටහන්වල ගුණ සුවඳ මට දැනෙන්න පටන් අරන් තිබුණෙ ඒ කාලෙ. ඒ දවස්වල කපුගේ රජරට සේවයේදි සෙනසුරදා උදේ “මන්දාකිණිය” නමින් වැඩසටහනකුත් ඉරිදා දවස්වල “ රස දහර” නමින් වැඩසටහනකුත් රසවින්දන වැඩසටහන් වශයෙන් කපුගේ ඉදිරිපත් කළා. ඒ දෙකම ඉතා අපූර්ව රසවත් වැඩසටහන්. එතකොට රජරට හිටපු මට "ඔසිබිසා" "යාල්ලා" ෆ්‍රැන්ක් සිනෙට්‍රා, බොබ් මාලේ  වගේ අයගේ ගීත ගැන එතරම් දැනුමක් තිබුණෙ නෑ. ඒත් කපුගේ ගේ ඒ වැඩසටහනෙන් පස්සෙ අපි ඒ ගීත ගැන හෙව්වා. ඒ වැඩ සටහන්වලට නිරන්තයෙන් ලිව්වා. කපුගේ මගේ නමින් ම මං  ඒ ලියපු ඒවා ආයෙමත් කපල කොටල රසට හදල  ප්‍රචාරය කළා.  ඒ නිසාම පාසල් සිසුවෙකුව සිටිය දීම මට කපුගේ අඳුනගන්න ලැබුණෙ රජරට සේවයෙන්. එදා පළමු වරට දැන හඳුනාගෙන  රජරට දී ඇරඹුන කපුගේ සමග පැවති සුහද මිතුදම ඔහු මිය යන තෙක්ම පැවතුණු සදාකාලික මතකයක්. ඔහු මට පසු කාලීනව නිර්මාණාත්මක අත්වැලක් වූවා වගේම  අදටත් ඔහු මට ආලෝකයක්.
video

           (ඔබ අසා ඇති නින්ද නැති රැයේ ගීතය මෙතනින් බලන්න)

අද ඔහු වෙනුවෙන් මා තෝරාගත් මේ ගීතයත් ඉතාම විශේෂ ගීයක්.    මේ ඔබ කවුරුත් අසා ඇති “නින්ද නැති රැයේ” ගීතය.  ඒත් මේ ගීය සමහර විට ඔබට කවදාවත් ම අහලා නැතුව ඇති. මේ ගීය පටිගත කරල තියෙන්නෙ 1976  දී විතර  ඒ කලෙ මේ ගීය ජනප්‍රිය වුනේ නැහැ. කපුගේ මේක කිව්වෙ ගුවන් විදු ලි  සරල ගී වැඩසටහනකට. පළමු පටිගත කිරීමෙන්ම  ගීතය ඉවත් වුණා. කොහොම වුනත් ඒ මුල් ගිය අහපු කපුගේටම හිතෙන්න ඇති මේ ගීයට  ඔහු අතින් කිසිම සාධාරනයක් ඉටුවෙලා නෑ කියලා. ඒ ගීයට සාධාරණයක් ඉටුනොවුන විට ඔහු කම්පනයට පත්වෙන්නත් ඇති. ඒ මොකද කපුගේ සැබෑ ගීතය  වෙනුවෙන් පෙනී සිටි කෙනෙක් නිසා. ඒ නිසාම කපුගේ මේ ගීය නැවත ඊට අවුරුදු දහය කට දොලහකට  විතර පස්සෙ නැවත පටිගත කරනවා ඒ 1985 දී “මාවතේ ගීතය” සිංග්ලංකා කැසට් පටය වෙනුවෙන්.  දෙවන වරට මේ  ගීය අලුත් තනුවකට පටිගත කළා.  ඉන් පස්සෙ ඒ ගීය ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ වගේ ම ලංකාවෙම ජනප්‍රියම ගීත දර්ශක තෝරපු ආරම්භක වර්ෂවල පිට පිටම වසර 03 පළමු ස්ථානයේ තිබ්බෙ “නින්ද නැති රැයේ” දෙවන පටිගත කළ  ගීතයයි. 

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී  ‍රෝස පෙති කඩා හැලේ


කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ...

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර  ඒ මගේ

ගේය පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : විශාරද ගුණදාස කපුගේ

 1976 දී මුල්වරට පටිගත කළ නින්ද නැති රැයේ ගීය මෙතනින් අහන්න


බෙහෝ වෙලාවට තමන් අතින් අසාර්ථක වූ ගීයක් නැවත ශිල්පියෙකු  නැවත පටිගත කිරීමක් නොකර ඉවත දානවා. ඒත් කපුගේ තුල හිටපු සෙඳුරු මිනිසා රත්නශ්‍රී විජේසිංහ ලියූ  ගීතයට උපරිම සාධාරනය ඉටු කළා. ශිල්පියෙකුගේ පරිණත භාවයත්, නිර්මාණයක තිබිය යුතු ගුණාත්මක බවත් කපුගේ  තේරුම් ගත්තා.  ඒක තමයි නියම කලාකරුවකුගේ ස්වභාවය. කපුගේ කියන්නෙ ඒවගේ සොඳුරු හදවතක් තිබූ සොඳුරුතම මිනිසෙක් ඒකයි ජනතාව කපුගේට ආදරේ කරන්නෙ. මමත් කපුගේට ආදාරේ කරන්නෙ අන්න ඒ මානව වාදී ගුණය කපුගේ තුල තිබුණු නිසයි..෴


සටහන:

මේ පෝස්ට් එක දමා විනාඩි කීපයකින් පරිගණක දෝෂයක් හේතුවෙන් මැකී තිබුණා. නැවත සකර කළ පෝස්ට් එක මෙයයි. ඔබට සිදුවූ අපහසුතාවයට කණගාටුව

 හිතට දැණුන දේ මෙහි ලියලම යන්න, ඔබේ වටිනා කාලයෙන් බිඳක් අස්වැන්ට වෙන් කලාට ස්තුතියි
 






Related Posts Plugin for WordPress, Blogger...