එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Tuesday, 29 May 2012

෴ සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් ෴




 ගීත සාහිත්‍යයට චිත්‍රපට ගීතයෙන් ලැබුණ ආලෝකය ගැන විමසීමක් කරන විට අමතක කළ නොහැකි ගීත දෙකක් සිංහල චිත්‍රපට ඉතිහාසයෙන් හමුවේ. ඒ ගී දෙකම මතකයෙන් බැහැරව ඇතත් සදාතනික මතකයේ රැඳි ඒ ගීත දෙක පිළිබඳව අද "අස්වැන්න"තුළින් ටිකක් කතා කරන්න හිතුවා. ධර්මසිරි බණ්ඩාරනායකගේ "හංස විලක්" චිත්‍රපටයේ ඇතුළත්ව තිබූ, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ  නන්දා මාලනී ගැයූ " සඳුන් සිහින මණ්ඩපයේ" ගීතය සහ ටී.එම්.ජයරත්න සමග සුනිලා අබේසේකර ගැයූ "හෙමින් සැරේ පියා විදා" යන  සදාතනික මතකයේ රැ‍ඳෙමින්  සුවඳ විහිද වූ ඒ  ගීත යුගලයයි.

1980.10.24 දින තිරගත වූ  ධර්මසිරි බණ්ඩාරනායකගේ "හංස විලක්" චිත්‍රපටයේ කතා පුවත තහනම් ආදරයක් පසුපස හඹාගිය විවවාහක තරුණ සැමියෙකු සහ ඒ තහනම් ආදරයේ වල්මත් වූ විවාහක තරුණ බිරිඳක අතර හටගත් අනියම් සම්බන්ධතාවයක් වටා ගොඩ නැගී තිබුණි. ඒ  සඳහා මේ ගීත දෙකම නිර්මාණය වී තිබේ.

ප්‍රධාන චරිත හතරක් වටා ගොඩනැගුණු  හංස විලක් චිත්‍රපටයෙහි චරිත අතර ප්‍රධාන චරිත දෙකෙහි අභ්‍යන්තර සිතුවිලි චලනය වන අයුරු පෙන්විමට මේ ගීත දෙක යොදා ගෙන තිබේ.  

ධර්මසිරි බණ්ඩාරනායක - නිශ්ශංක වීරසිංහ ලෙසද,
ස්වර්ණා මල්ලවාරච්චි  - මිරැන්ඩා රණවීර ලෙසද,
හෙන්රි ජයසේන - ඩග්ලස් ( මිරැන්ඩාගේ ස්වාමි පුරුෂයා) ලෙසද,
වසන්ති චතුරාණි - නිශ්ශංකගේ බිරිඳ ලෙසද , 

මෙහි චරිත නිරූපණය කරනු ලැබීය. නිශ්ශංක සහ ඔහුගේ බිරිඳට දරුවන් දෙදෙනෙකි. මිරැන්ඩා සහ ඩග්ලස් යුවලට එක් දරුවෙකි. එසේ වුවද අසම්මතයේ හට ගන්නා මේ පෙම් පුවත එකී ප්‍රධාන චරිත හතර තුළ වූ පවුල් අරගලය  දෝලනය කිරිමටත් මේ ගිත දෙකම සමත් විය. මිරැන්ඩාගේ හිතේ නලියන නැවුම් ‍ප්‍රේමය සහ එහි වික්ෂිප්ත භාවයත් මුදා හරින්නේ  නන්දා මාලනී ගැයූ " සඳුන් සිහින මණ්ඩපයේ" ගීතයෙනි. 


සඳුන් සිහින මණ්ඩපයේ
ප්‍රාර්ථනා පියාසලයි
ප්‍රාර්ථනා පියාසලයි


නිවි නිවි දැල්වෙන
රිදී පහන් එළි
අඳුර සමග ගැවසේ
එළිය කෙමෙන් මියැදේ
එළිය කෙමෙන් මියැදේ

හංස නෙතක රැඳී
කඳුළක් ගිලිහී
හංස විලම කැළතේ
හංස විලම කැළතේ

ගැයුම: නන්දා මාලනී
සංගිතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

මේ ගිතයේ ගී පද රචකයා මගේ මතකයෙන් බැහැරව ඇතත්. ගීතය ලියන්නට ඇත්තේ ඩබ්ලිව්. ජයසිරි යැයි සිතිය හැකිය. මේ සඳහා නිශ්චිත නිවැරදි  තොරතුරක්  ඔබ දන්නේ නම්  ඒ විස්තරයද ලබා දුන්නොත් මෙහි සටහන් කල හැකිය.  

ඒ කෙසේ නමුදු මේ ගීතය ඉතාමත් කෙටි වචන කිපයකින් යුක්ත වුවද එය සිනමා කෘතිය පුරාම විශාල අරුතක් ජනිත කරවයි. මිරැන්ඩාගේ අනියම් සම්බන්ධතාවය විග්‍රහ කිරීමටත් ඇගේ චංචල සිතුවිලි ප්‍රකාශ කිරිමටත් "නිවි නිවි දැල්වෙන රිදී පහන් එළි අඳුර සමග ගැවසේ" යන්න යොදා ඇත. එය වඩාත් කුළු ගැන්වෙන්නේ නන්දා මාලනියගේ මධුරතර ගායනයෙනි.
මේ ගීය ඇතුලත් ගීත ඇල්බම් නිකුත් වී නොමැති බැවින් "සඳුන් සිහින මණ්ඩපයේ" ගීතයට අදාළ චිත්‍රපට ජවනිකාව ගීතය සමග මෙතනින් බලන්න. 

video


එහෙත්, හංස විලක් චිත්‍රපටයේ තේමා ගීය ලෙස සලකන්නේ ටී.එම්.ජයරත්න සමග සුනිලා අබේසේකර ගැයූ "හෙමින් සරේ පියා විදා" ගීතයයි. අසම්මත තරුණ විවාහක පෙම් යුවල පෙමින් වෙලි අනියමින් යහන්ගත වු අවස්ථාවක ඒ හෝටල් කාමරයට කඩා පනින පොලිස් නිලධාරීන් හේතුවෙන් ඔවුන් දෙදෙනාට මුහුණ දිමට සිදුවන සිද්ධි දාමයක සිතුවිලි වල චංචල මනෝ භාවයන් සිනමා කෘතිය පුරා දිග හැරේ. ඔවුන් දෙදෙනා යහන් ගතවීමේදී පසුබිමින් ඇසෙන්නේ මේ ගීතයයි. මේ ගීය සියළු අතින් අර්ථ පූර්ණ වූත්, භාව පූර්ණ වූත්, ගීයක් ලෙස හැඳින්වීම නිවැරදිය.

ධර්මසිරි බණ්ඩාරනායක

ධර්මසිරි බණ්ඩාරනායක
ධර්මසිරි බණ්ඩාරනායකගේ පළමු සිනමා කෘතිය මෙයයි. වේදිකා නාට්‍යකරුවකුව සිටියදී ඔහු සිනමාවට පිවිසෙන්නේ මේ චිත්‍රපටය තුළිනි. ඒ නිසා   මෙම චිත්‍රපටය විචාරක ඇසට හසු වූයේ මෙහි එන කතා පුවතටත් වඩා ධර්මසිරි බණ්ඩාරනායක වාමාංශික දේශපාලනයේ  දැඩි මතධාරියෙකුගේ සිනමා දෘෂ්ඨිය ආන්දෝලනයක් වූ  බැවිනි. “ඒකා අධිපති”  වේදිකා නාට්‍ය  වැනි වේදිකා නාට්‍යක තිබු දේශපාලන දර්ශනයට බාහිරව මේ ආකාරයේ අසම්මත ලිංගික ඇසුරක් පිළිබඳව වූ සිනමා කෘතියක් ඔහුගේ දෘෂ්ඨියෙන් නිර්මාණය වනු ඇතැයි එවකට කිසිම චිත්‍රපට විචාරකයෙකු අපේක්ෂා නො කළේය. 

හංස විලක් චිත්‍රපටය මගින් සිනමාවට පිවිසීම සඳහා ඔහු අනුගමනය කළේ අසූව දශකය ආරම්භ වන විට යුරෝපය පුරා කළු සුදු වර්ණයෙන් යුතු චිත්‍රපටවල නැග එමින් තිබූ " පරපීඩක කාමයයි" විශේෂයෙන්ම ජර්මනිය. චෙකොස්ලෝවැකියාව, පෝලන්තය වැනි රටවල සිනමාකරුවන් විසින් අනුගමනය කළ එකී දැඩි සිනමා රීතිය හංස විලක් සිනමා කෘතිය සඳහා ධර්මසිරි බණ්ඩාරනායක අනුගමනය කර තිබුණි. එවකට මේ චිත්‍රපටය පිළිබඳව විචාරකයන්ගේ මතය වූයේ පෝලන්ත සිනමාව සහ පෝලන්ත සිනමා කරුවන් ගොඩනැගූ මේ  "පරපීඩක කාම" සිනමා දෘෂ්ඨිය ධර්මසිරි බණ්ඩාරනායක විසින් සෘජුවම අනුගමනය කර ඇති බවයි. එය ඔහු අනුගමනය කරන දේශපාලන දෘෂ්ඨිය සහ සිනමා දෘෂ්ඨිය අතර හටගත් සිනමා රූපි මත ගැටුමක් බවයි.

ධර්මසේන පතිරාජගේ ගීත රචනය

ධර්මසේන පතිරාජ
හංස විලක් චිත්‍රපටය ධර්මසිරි බණ්ඩාරනායකගේ පළමු චිත්‍රපටය ලෙස ඉතිහාස ගත වනවා සේ ම ඒ වන විටත් සිංහල සිනමාවේ දැවන්තයෙකුව සිටි ධර්මසේන පතිරාජ සිනමාවෙන් ඔබ්බට ගොස් හංස විලක් සිනමා කෘතියේ තේමා ගිතයේ ගීත රචකයා ලෙස "හෙමින් සැරේ පියා විදා" ගීතය රචනා කරමින් ගීත ක්ෂේත්‍රයටද පිවිසෙයි.  එදා මෙදා තුර ඔහු විසින් විරචිත භාව පූර්ණ ගීතයද මෙයයි.

චිත්‍රපට ගීතයත්, ගුවන් විදුලි සරල ගීතයත් අතර වෙනස ‍කුමක්ද යන්න තේරුම් ගැනිමට "හෙමින් සරේ පියා විදා"  ගීතය කදිම නිදසුනකි. සිනමා කෘතියේ රූප රාමු සමග මැනැවින් බද්ධ වන ආකාරයට මේ ගීය නිර්මාණය වී ඇත. එය ගේය පද රචකයාගේ සුවිශේෂ දක්ෂතාවයයි.

හංස විලක් චිත්‍රපටය තිරගත කිරීමේදී "වැඩිහිටියන්ට පමණයි"  ලේබලය යටතේ ප්‍රදර්ශනය විමට වැඩි ඉඩකඩක් තිබුණද ඔහුට ලැබෙන පළමු අවස්ථාවේදීම ඒ සීමාව ඉක්මවා නො යාම  සිනමාව භාවිතය පිළිබඳව ඔහු තුළ තිබූ පරිණත භාවය පිළිබඟඳ කදිම නිදසුනකි. ඊළඟට චිත්‍රපටයේ කැමරා කරුවාගේ  නිර්මාණාත්මක ඇස තුළ සිය කැමරා කරණයද  සීමාව ඉක්මවා නො යන සේ සිය සීමාව තුළ රැඳී සිටිමින්  රූප රචනය කරයි. 
 
සංගීතයේ කේමදාස විස්මය

කේමදාස
චිත්‍රපටයේ සංගීත නිර්මාණය කළේ  ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසිනි. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ සහ කැමරාකරුවාගේ  භූමිකාව  මැනවින් තේරුම් ගෙන සිය සංගීතමය පරිකල්පනය සහ විඥාණය මෙහෙයවමින් චිත්‍රපට අධ්‍යක්ෂවරයාට කියා ගත නො හැකි වූ තැනත්,  කැමරාකරුවාට  ප්‍රකාශ කිරිමට නො හැකි වූ තැනත් මැනැවින් හඳුනා ගෙන ඒ සියළු අසම්මත බැමි චිත්‍රපට සංගීතයෙන් සහ තේමා ගී ගායනයෙන් පුපුරවා හරී.   ප්‍රේමයෙන් හට ගන්නා රාගයද, හුදකලා චරිත අභ්‍යන්තරයක හටගත් සිතුවිලි සමුදායක් සමග සිරියහනේ පහස පැතූ අසම්මත පෙම් යුවල සිරියහනේ හමුවන අවස්ථාවේ ධර්මසිරි බණ්ඩාරනායකටත්, කැමරාකරුවාටත් ප්‍රකාශ කිරිමට නො හැකි වූ සිනමා කවිය ඉතා සංයමයෙන් "හෙමින් සරේ පියා විදා"   ගීයෙන් මුදා හරී.

ඒ අනුව 80 දශකයේ ලාංකික සිනමාවේ විශාල පිබිදීමක් ඇති කිරිමට දායක වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සිනමා සංගිතයේ මඟ සළකුණක් ලෙස ද මේ ගීතය දැක්විය හැකි අතරම සරල ගීතය සහ චිත්‍රපට ගිතයක තිබිය යුතු අන්‍යෝන්‍යතා ලක්ෂණ ඉතා මැනැවින් වටහාගත් ගීයක් ලෙසද මෙය හැඳින්විය හැකිය.

සුනිලා අබේසේකර 

සුනිලා අබේසේකර
ටී.එම්.ජයරත්න මෙරට අති විශිෂ්ඨ ගායන ශිල්පියෙකු ලෙස සියළු දෙනා දන්නා වුවද, සුනිලා අබේසේකර  ගායන ශිල්පිණිය පිළිබඳව කිසිවකු නො දනී. සුනිලා සංගීතයට පිවිසෙන්නේ 70 දශකයේ කේමදාසයන්ගේ ගායන වෘන්දයේ ගායිකාවක ලෙස කටයුතු කරමිනි. එකල ඇය ගායිකාවක සේ ම රංගන ශිල්පිණියක වශයෙන් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළා ය. ඒ අතරම ඇය පෙර අපර දෙදිග භාෂාවෙන්  කටයුතු කළ නිවේදිකාවක ද විය. සුනිලා  එකළ වාමාංශික දේශපාලනයේ අරටුවකි.  කේමදාසයන්ගේ ගී තනු සහ සංගිතයෙන් පිටත ඇය ගීත නො ගැයුවා ය.  ඇය එකම එක  ගීත ඇල්බමයක් එළිදැක් වූවා මට මතක ය.

ඒ කෙසේ වුවද, සුනිලා අබේසේකර අද මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ  ආන්දෝලනාත්මක චරිතයකි. ඇය මෙරට ක්‍රියාකාරී සිවිල් දේශපාලනයේ නියැලෙන තැනිත්තියකි. අද දවසේ ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ගනනාවක  ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරන අතරම, ලංකාවේ මානව හිමිකම්  සම්බන්ධයෙන්ද  පෙනී සිටී. මෑතකදී එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ජිනීවා හිදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ සම්මුතිය තුළද ඇයගේ කිසියම් කාර්ය භාරයක් තිබූ බව දෙස් විදෙස් ජනමාධ්‍ය තුළින් වාර්තා විය. මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී ලංකාව පරාජය කරවිම පසුපස ඇයද සිටි බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. එසේ වුවද  ඇය එවකට මෙරට සිටි විශිෂ්ඨතම කුසලතාවයකින් හෙබි ගායිකාවකි.

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පළා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්


මලක් නම් එය මලක් වුව මැන
සිඟිති සුකොමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින

නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ

ගේය පද රචනය:  ධර්මසේන පතිරාජ
සංගිතය: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
 ගැයුම:  ටී.එම්.ජයරත්න සමග   සුනිලා අබේසේකර

"හෙමින් සැරේ පියා විදා" සම්පූර්ණ ගීතය මෙතනින් අහන්න , මෙහි ගීතය ඉංග්‍රීසි භාෂාවෙන්  හඳුන්වා දෙන්නේද සුනිලා අබේසේකර විසිනි.
ගීතයේ වචන අභිබවා ගිය ව්‍යංගාර්ථය

“හෙමින් සැරේ පියා විදා
 සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
 පළා ඇවිත් සිතුම් සියොතුන්” 

මේ ගීයේ ඉහත දැක් වූ කොටස තහනම් ආදරයේ සුහුඹුල්ව ලියලා වැඩුණු  ආදර සුවඳ රැගෙන විවාහක පෙම් යුවල සයනයේ හමුවන අවස්ථාව වචනයේ සිමාවෙන් ඔබ්බට ගොස් සංගීතමය අදහස් ප්‍රකාශනයකට සැරසෙන ආකාරය කදිමය . ඒ ව්‍යංගාර්ථය තුළ සෘජු ප්‍රකාශනයක් නොවී “සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්”  යැයි කියන්නේ ඒ නිසාය.

හංස විලක් චිත්‍රපටයේ "හිමින් සැරේ" ගීයට අදාල  රූප රමු සහිතව මෙතනින් බලන්න
 
video

අපට ඇසෙන ගුවන් විදුලි සරල ගීයක පද මාලාවක තිබෙන අර්ථ රසය සහ කාව්‍ය රසය  මෙන් ම සාහිත්‍යමය රසය සොයා බැලිමට  සිත ‍පොළඹ වනු ලැබුවද චිත්‍රපට ගීයක් ඇසුරෙහි එසේ රස විඳීමේ කැමැත්තක් සඳහා සිත යොමු නොවේ. ඒ මන්ද කිවහොත්,  එහි රූප රාමු අපේ මනසේ තැන්පත්ව තිබෙන බැවිනි. චිත්‍රපටයේ රූප රාමුවට බද්ධ වන කතා පුවත සහ අධ්‍යක්ෂවරයා විසින් සිය සිනමා කෘතියෙන් හඳුන්වා දෙන අත්දැකීම නැවත වෙනත් මානයක් ඔස්සේ ප්‍රති නිර්මාණය කර රස විඳින්නට එහි අවකාශයක් නැත. ඒ අනුව අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන රූප රාමුව ප්‍රබල  ලෙස මතු කිරීමට චිත්‍රපට ගීතය කොතරම් දුරට ඉවහල් වේද යන්න මත චිත්‍රපට ගීයේ සාර්ථකත්වය රඳා පවතී.

මලක් නම් එය මලක් වුව මැන
සිඟිති සුකොමල රුවින් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින

මේ වචන පේලි කිහිපය  ගීයෙන් ඉවත් කර එහි සංගිතයද අමතක කර  බැලූ විට ඒ තරම්  පැහැදිළි ව්‍යක්ත අරුතක් ඒ තුළින් ජනිත නොවේ. එසේ වුවද ගීතයේ රූප රාමු සහ එයින් ගම්‍ය වන ව්‍යංගාර්ථය තුළ බමරෙක් මලක රොන්සුණු  උරාගන්නා සේ  ස්ත්‍රී ශරීරය පිරිමි ඇසකට රසඳුනක් වන අයුරු ව්‍යංගයෙන්  කියයි. සිනමාවේදී මෙන්ම ගීතයේ දීත් ව්‍යංගාර්ථය අවශ්‍ය වන්නේ මෙවන් මොහොතක දීය. එහෙත් ගීයේ අවසන් කොටසින් මතු වන “සිහින නිම්නය සුපුෂ්පිත වෙයි” යන්න සිහින නිම්නයක් කෙසේ සුපුෂ්පිත වන්නේද  යන්න කේමදාසයන් විසින් සිය සංගිතයෙන්ම විග්‍රහ කරයි.

නිම්නයක් යනු කඳු දෙකක් අතර වූ තැනිතලාවකි. එවැනි තැනිතලාවක් සුපුෂ්පිත වීමට නම් එහි මලක් විය යුතුමය. නැවුම් වත්සුණු රොනින් මත්වූ බමරා ඒ මල සිය ග්‍රහණයට නතු කරගන්නේ ඒ ප්‍රේමයත්  රාගයත් අතර වල්මත් වීමත් සිදුවන්නේ මේ සිහින නිම්නයේ දීම ය.

සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ

ටී.එම්.ජයරත්න
සිරියහනක පවුරක් තිබිය හැක්කේද යන්න ඊළගට මතු වන ගැටළුවයි. ගීතයේ ආත්මය සහ එහි භාවාත්මය රැඳී ඇත්තේ එකී පද පේලි දෙක තුළය. සිරියහනට පවුරක් තිබිය නොහැක. එසේ නම් සිරි යහන තුළ තිබූ පවුර කුමක්ද යන්න රිසි සේ ප්‍රේක්ෂකයාට නිර්මාණය කර විඳ ගැනිමට අවශය ඉඩකඩ  සංගිතයෙන් හා ගායනයෙන් මතු කර දෙයි. සියළු බැමි පුපරවා හටගන්නා අසම්මත ප්‍රේමය තුළ රූප රාමු බද්ධවීමේ ප්‍රමාණය සහ අවස්ථා නිරූපණය ගීතයට පිටිවහලක් වන්නේ ඒ නිසා ය.

සිනමා කෘතියක චරිත වල ඇති අධ්‍යාත්මය පිටතට ගෙන පෙන්විය හැකි එකම තැනැත්තා සංගිතඥයා බවත්, ඔහු  අධ්‍යක්ෂකවරයාගේ  මනෝ භාවයන්ද විනිවිද දකින්නෙකු බවට පත් වන්නේත්  ඒ නිසාය. ඒ අනුව ධර්මසිරි බණ්ඩාරනායකගේ සිතුවිලි  මෙහිදී කේමදාස විසින් සංගීතයට නගා ඇති අයුරු කදිමය.

සිනමාවේ සදාතනික ගී සිත්තම

ගීතයේ පදමාලාව තුළ ඇති ව්‍යාංගාර්ථයත්, සංගීත ස්වර රචනයේ ඇති වර්ණවත් භාවයත් ආරක්ෂා කරගෙන සිනමා කෘතියෙන් සහ පසුබිම් ගීතයෙන්  ඉදිරිපත් වන අදහසත් රැකගෙන එයින් අන් අදහසක් ඉස්මතු විමට ඇති ඉඩ මෙහිදී කේමදාසගේ සංගිතයෙන් වලකා ඇත.  අධ්‍යක්ෂවරයා තම සීමාවේ  රඳවා‍ ගත් අදහස  එකී චරිතවල ඇති අධ්‍යාත්ම තුළට රිංගා ඒ මනෝ භාවයන් ප්‍රකාශ කළ හැකි එකම තැනැත්තා සංගිතඥයා බවට පත්වී ඇත.

හංස විලක් චිත්‍රපටයේ “හෙමින් සැරේ පියා විදා”  ගීය ධර්මසිරි බණ්ඩාරනායක විසින් ඒ සිනමා කෘතිය තුළ අවස්ථා ගනනාවකදී භාවිතා කරයි. ඒ නිසාම එය සිනමා කාව්‍යයක් බවට පත්වේ. මෙහිදි එක්තරා අවස්ථාවක අධිකරණයේ විභාග වන නඩුවක ජවනිකාවේදී නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් වුවද එහි වචන ප්‍රේක්ෂකයාට නෑසේ. ඒ වෙනුවට මේ ගීයම නැවත පසුබිමෙන් ඇසෙන්නට සලස්වයි. එය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු විසින් සිය කතා පුවත සඳහා සංගිතය ඉතාමත් ප්‍රබල ලෙස යොදාගත් අවස්ථාවකි. ඒ අනුව“හෙමින් සැරේ පියා විදා”  ගීතය සදාතනික සිනමා ගී සිත්තමක් වන්නේ යටකී කරුණු කාරණා නිසාය.෴

ඔබේ විචාරාත්මක අදහසත් කැමති නම් ලියල යන්න

Monday, 21 May 2012

෴ ස්වේත රාත්‍රිය ෴


කෙවිලිය ගී ගැයූ හැන්දෑව...
අවරගිර අහසේ වූ රන්වන් පැහැය සිය තෙලිතුඩ තවරා සිත්තරා මේ සැරසෙන්නේ දවසේ සොඳුරුතර සිත්තම අහසේ අඳින්නට ය. මීගමුව වෙරළ තීරයෙන්  දියඹ දෙසට ඇදී ඔරු පාරු ඡායා සෙමෙන් අඳුරේ මැකි යද්දී,  දවස මුළුල්ලේ වෙරලේ හැපී හැඬූ මුහුද ද  තත් සිඳුන සිතාරයක් සේ නිසොල්මන් ව සිටී. තවත් පැය කිහිපයකින් උදාවන වෙසක් සඳ  ඈත අහසේ  මෝදු වෙමින් තිබුණි.
දිවා කාලයේ වෙළඳ සැණකෙළියක සිරි මැවූ මීගමු නගරය දවසේ සියළු කටයුතු හමාර කර ඇති සේ ය.  දවසේ මෙහෙය නිමවා කැදලි කරා ඇදී යන විහඟුන් සේ  පුර වැසියෝ මෙන් ම  මගියෝ ද සිය නිවෙස් කරා අඳුරේ ම ඇදෙති. දිවා කල නගරයේ පිරී තිබූ වියරු ඝෝෂාව දැන් නම් පහව ගොස් ඇති සේ ය.
සොබා දහම සෑම දිනකම මවන  අපූරු සුන්දර රාත්‍රිය උදාවෙමින් තිබුණි. එහෙත්  සිත්තරාට ඒ රාත්‍රියේ සිතුවම තනිව ම සිතුවම් කරන්නට නො දී සුභාවිත ගීතයෙන් වර්ණ ගැන්වීමට වසර විසි දෙකකට පසුව මීගමුව මාරිස්ටෙලා ගෘහස්ත රඟහල වෙත  ඇය පැමිණ සිටියා ය. සොබා දහමේ සොඳුරු සිත්තරා අත තිබූ තෙළිතුඩ සේ ම,   මිණි බැඳි වීනාවක් සේ වූ මිහිරි ගී හඬ ඇය සතුව  තිබුණි.  ඇය නන්දා මාලනී නම් වූ අපේ කාලයේ දිරිය මාතාවයි.

වෙසක් පුන් පොහාය දිනය එලඹෙන්නට පැය කිහිපයක් තබා ඇය මීගමුවට පැමිණියේ අතිශය මියුරු ගී හඬ රසික සහෘද ‍සවන්පත් හි රඳවා තබන්නට ය. ඒ ප්‍රසංග විසි පහකට සීමාකර රට වටා යමින් තිබූ "ස්වේත රාත්‍රිය" ගී ප්‍රසංගයේ විසි එක් වැනි ප්‍රසංගයයි. ප්‍රවේශපත් නිකුත් කර පැය කිහිපයක් තුළ දී සියළුම ප්‍රවේශපත් විකිණී අවසන් වුයේ ප්‍රමාදයක් වූවොත් යළිත් කෙදිනකවත් "ස්වේත රාත්‍රිය" ප්‍රසංගය දැකගැනීමට නොලැබෙන බව රසික සද්ජන සමුහය තුළ මනා අවබෝධයක් තිබු නිසා විය හැකිය.
 සවස් යාමය එ‍ළඹෙන විට කලින් ප්‍රවේශපත් වෙන් කර ගත් රසික සමූහය වේලාසනින් පැමිණ සිය අසුන වෙන් කර ගත්තේ නන්දා මාලනිය නම් වු කෙවිලියගේ  ගී රසෝඝයේ කිමිදී ගිලෙන්නට ය.
හරියටම රාත්‍රී හතට විනාඩි දෙකක් තබා කිසිඳු සීනු නාදයකන් තොරව  රඟහලේ සියළු විදුලි පහන් නිවී ගියේ ශාලාවේ ඔබමොබ තැන්තැන්වල සිටි පිරිස් ද යුහුසුළුව තම තමන්ට වෙන් වූ අසුන්වල අසුන් කැඳවන පරිද්දෙනි. වෙන දා රඟහලක් තුළ තොරතෝංචියක් නැතිව නද දෙන ජංගම දුරකතන ද කිසිවකුගේ හෝ දැනුම් දිමකින්  තොරව නිහඬ කරගැනිමට ඒ උසස්  රසිකයෝ කටයුතු කළහ.
පහන් දැල්වීම්, පිළිගැනීමේ කතා කිසිවකින් තොරව හරියට ම රාත්‍රී හතට වේදිකාව මතට වැටුණු පුංචි ම පුංචි විදුලි ආලෝකය ඔස්සේ සිය රසික සමූහයාගේ උණුසුම්  ප්‍රතිචාර හමුවේ නන්දා මාලනී නම් වු අපගේ ප්‍රවීන ගායන වේදිනිය සිය ආචාරය රසික සමූහය වෙත පිරි නමා "ස්වේත රාත්‍රිය" ප්‍රසංගයේ විසි එක් වැන්න සිය මධුරතර වූ හඬින් අවදි කළාය.

කලාවැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මට මැ වටී
බෝධියකින් වට බෝ කොළයක් සේ
අගී අගී ඔබ මට මැ අගී

කැටපත් පවුරින් ගිලිහුණු කවියක්
සොරකම් කරගත් සෙරක ලෙසින්
සඟවා ගෙන ඔබ සුරකිමි හද ගැබ
තනිවම කියවමි පදරුත් පසිඳමි

සමනල සිරසින් විහිසුණු බුදු රැස්
සියැසින් දැක ගත් මෙහෙණක මෙන්
පරමානන්දය ලබමින් ඔබ ළඟ
සගමොක් සැපතෙහි අම රස වළඳමි

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගිතය: ස්ටැන්ලි පිරිස්
 
තියුණු වූත්, මුවහත් වූත්, ළගන්නා සුළු වූත් ඇයගේ මිහිරිම ගී හඬ එක පැහැසර වී රඟහල පුරා ගලා යද්දී  දැහැන් ගත වී සිටි රසික සමූහයා ඇයගේ ප්‍රසංගයේ පළමු ගීයෙන්ම ගී ගඟුලේ කිමිදෙමින්  සිටියහ.  ඉතාමත් ගැඹුරු නිශ්චල තාවයක මුළු රඟහල ශාලාවම නිහඬතාවයේ ගිල් වූයේ ඇයගේ ගී හඬට අවැසි අවකාශය රඟහල තුළම රඳවා තබන්නටය. සැබැවින් ම ඇයගේ ඒ මියුරු ගී හඬ  කලාවැවෙන් ගත් දිය දෝතක් තරමට සිහිල් ය. ගී පවස සංසිඳවන සුළු ය. දාහය නිවන සුළු ය. දශක පහක් මුළුල්ලේ සිය රසික සද්ජනයා වෙනුවෙන් ගැයූ ගී අතරින්  මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියූ ගීත විසි පහක් තෝරා ගෙන රන් හුයක ඇමිණූ මුතු වැලක් සේ "ස්වේත රාත්‍රිය" ට පෙළ ගස්වා තිබුණි.

මා සඳට කැමති බව දැන ගෙන
ඔබ සඳ අයින් කළා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කළා නටුවෙන්

නොඉඳුල් තොල් පෙති අතිරින්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ
නෙත කඳුළැලි ගෙනාව

එක්ටැම් ගෙයි සිරකර
සමනලියක අනාථ
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගිතය: රෝහණ වීරසිංහ

ආදරයේ මිහිරි බවත්, ප්‍රේමයේ කටුක බවත්, සිය ගායනයෙන් ඇය අපට පසක් කර දෙමින්  පිඩිත ජනතාවගේ කඳුළේත් සුසමේත් ශෝකී ස්වරය  ඇගේ "ස්වේත රාත්‍රිය" ගිතාවලියට සම්මුඛ වි තිබුණි. ගඟ එකම හැඩයට එකම වේගයෙන් නො ගලන්නා සේ ම නන්දා මාලිනිය ද   ඇගේ ගීයේ රැඳි ආදරය විවිධ හැඩයෙහි තබා සවනට මුසු කරන්නීය. විටෙක එහි රැඳී ඇත්තේ විරහ තාපයෙන් හඬා‍ වැටෙන ගායනයකි.
කඩ මණ්ඩියේ දොළ අයිනේ  නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත් ගොලු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරුව   වැසී....
ඇය ආදරයේ උල්පත වී ගයන්නීය. ඒ ආදරයේ රැඳි සුවඳ පොද ගීයේ තවරන්නීය.සෝ තැවුල් සංසිඳුවන ආදරයට ආයාචනා කරන්නීය.
සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටේ
නිල් කඳු රැල්ලේ.....
වරෙක එවන් වූ ගීයක රිද්මය ද වෙනස් වෙයි. ඒකාකාරී සංගීත ගායනාවක් වෙනුවට විවිධ වූ සංගිත  හැඩ තල මුසු ගීයක් කෙරෙහි රසික සිත යොමු කරයි.
ප්‍රවීන වාද්‍ය ශිල්පින් දොළොස් දෙනෙකු ඇයගේ ගීයේ රස නුසුන් වන සේ සංගිතයෙන් හැඩ කරමින් වයති. ගියේ රිද්මයට අනුගත වෙමින් විටෙක වේගයෙන් ද තවත් විටක නිවි සැනසෙන සියුමැලි ස්වරය ද  දෙසවනට ළං කරයි.  ඒ සංයමයේ ස්වර බිඳුම ගීත තැටියක ගීයක් වාදනය වන සේ ගීතයේ රැඳී ඇති ස්වර සංයෝජන ඒ අකාරයෙන්ම  අඩුවක් නොමැතිව වයයි. කර්ණ රසායන සංගීතයක් හැරුණු විට ගොරහැඩි සංගීතය  එහි නොවීය.
විටෙක තනිව වැයෙන වයලිනයද, ප්‍රසංගයට එකතු කළේ දැවැන්ත ආලෝකයකි. ලෙලුම් ගේ ඩබල් බේස් සහ  පර්ක්ෂන් වාදනය මෙන්ම ජල තරංග වාදනයද, නදීක ගේ සහ මහේන්ද්‍ර ගේ ගිටාරසුරේෂ් මාලියද්දගේ පියානෝවද "ස්වේත රාත්‍රිය " හැඩ කළේ  නන්දා මාලිනියගේ ගීයේ මිහිරට ඒකාත්මීය ලෙස සම වැදෙමිනි.
නන්දා මාලනිය ගැයූ ගී අතර ගීතයේ සෞන්දර්යාත්මක ගුණය අභිබවා ගිය ඇය සතු විරෝධාකල්ප ගීත අතර විශේෂයෙන් මතකයේ රැඳි ගීත වලින් ඇයට ඉතාමත් හුරු පුරුදු  විරෝධාකල්ප ගීත ආකෘතිය තුළ රසික සවන්පත් සිරකර තැබුවා ය.  සුපුරුදු මධුර ස්වරයේ ගලා එන්නේ තියුණු කඩු තුඩු වන් ගී පහරකි.  ගීයේ ඇති අවනඩුව සිය රසික සද්ජනයා අබිමුවෙහි  විටෙක මෙසේ දිග හැරියා ය.

ධර්මාධිකරණයට කැඳවීමි
ස්වාමිනි මෑ
මගේ නම ලංකාය
ඉන්දියන් සාගරේ වසන්නී
මුසාවෙන් මුලාවී සිටින්නී
විමුක්තිය නාමයෙන් හඬන්නී

උපත ලැබ බොහෝ කල් සොම්නසින් විසුවාය මෑ
මල්වරව නාඹරව බබලමින් සිටියාය                මෑ
සල්ලාල පාශයෙන්  බොහෝවර මිදුනාය         මෑ
සිත දුබල වූ දිනෙක වියවුලෙහි වැටුණාය          මෑ

කුමරි බඹසර පුදා නෙක ගැහැට වින්දාය        මෑ
සලෙළුනට රැවටෙමින් සිය රුහිරු  පිදුවාය     මෑ
ඉසුරු සඳහා ඔවුන් උගසටද තැබුවාය             මෑ
අසරණව අද මෙසේ මහ මගට වැටුණාය        මෑ

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගිතය: සරත් දසනායක
පෙර දවසේ මෙන් ම අද දවසේ ද අප මුහුණ දෙන්නා වූ අභියෝගය  ඈ සිය ආත්මයෙහි හට ගත් වේදනාවේ රිද්මයට ගීයෙන් මුසු කළේ ඒ අයුරිනි.
"පානං පත්තුවේ  ඩිංගිරි අම්මා ද, ජේසු ස්වාමි දරුවෝ සේම  විලක් වුණත් නිල් දිය පිරි විලක් නොවේ"  ආදී ඇයට හුරු විරෝධාකල්ප ගීයේ  සෘජු ප්‍රකාශන රීතිය ද  සුපුරුදු පරිදි ඇය ගීයට මුසු කළාය.  ගීතයේ සෘජු ස්වභාවෝක්තිය ගැන හිතමින් ද, ගීතයේ සමාජ මෙහෙවර හා අනුගතව යමින් ද සිය මධුර හඬ මුසු කළ ඇය  හෙට දවස යහපත් දේශයක් දකින්නට ගීයෙන් සිය රසික සද්ජන මනස පුබුදු කළාය.
පෙරදා මහ රෑ, පහන් කන්ද, සංසාර සාගරේ, තරුද නිදන මහ රෑ, ලොවම එපාවී,  අහස සේ ඔබ අනන්තයි, ආලය වන් මනරම්,  පෙම් ලොව දී දුටු ඔහුම ද මේ, ඔබයි රම්‍ය සඳ කිරණ,  ආදී ඇය සතු සුමියුරු ගී පෙළ "ස්වේත රාත්‍රිය" එක පෙළට දිග හැරුණේ පැය දෙකක කාලය තුළ කිසිඳු විරාමයක් නො තබමිනි.

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වි නැඟිටින්නේ..

ඉසුරින් කිත් යසසින් බබලන තුරු
ඔබගේ බැනුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුනත් එය වරදක් වේ

කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පාමුල හඬා වැටේ
අතමිට හිඟ වී බෙලසුන්  වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ..

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගිතය: එච්.එම්.ජයවර්ධන
ප්‍රවීන ගායන වේදිනී නන්දා මාලනියට "ස්වේත රාත්‍රිය" මංගල ප්‍රසංගයේදී පිට පිටම තුන් වතාවක් ගැයීමට සිදුවූ ඒ ගීතය නැවතත් ඇය මාරිස්ටෙලා රඟහල තුළ උණුසුම් රසික ප්‍රතිචාර හමුවේ ඒ රැයෙහිද ගායනා කළාය.
සුන් වූ බලාපොරාත්තුවෙන්ද, දිළිඳුකමේ දරිද්‍රතාවයෙන්ද පිරුණු ජීවන ගී ගැයෙන විට සියළු රසිකයෝ සෙනෙහසින් පිරී ගිය වැව් තෙරක් සේ  සිය සිත්හි උතුරා යන ප්‍රහර්ෂයත් සමග චමත්කාරයෙන් වෙලී ආනන්දනීය රැයෙහි ඇයත් සමග  ඇගේ ගී සුයාමයට දැහැන් ගතවි සිටීයහ.
හිතුමතේ ගීත බිහිවන, වීඩියෝ ගීත එළි දකින, නූතන ගීත සංස්කෘතියක  දුර්මුඛව හෝ විස්සෝපයෙන්  නො ඉඳ  දෑත දිගුකර ජීවිතයේ ආදරය පිරුණු ගීත ඉල්ලා සිටින යුගයක මේ ගී මාලාව ගැයෙද්දී අප මේ පෙම් බඳින්නේ අක්මුල් නැති ජීවිතවල අක් මුල් සොයා යාත්‍රා කරන යාත්‍රාවක නොවේ දැයි සිතේ. ඇයි ගීයෙන් මුදාහරිමින් සිටින්නේ ඒ දශක ගනනාවක් මුළුල්ලේ සිට හඹා එන ඒ යෞවනයේ ප්‍රහර්ෂයමය.

ලොවම එපාවී ලොවම කල කිරී
තැවී දැවී හිඳිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ

අසා අසෝබන නින්දා ගැරහුම්
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවඳකින්
පිපාසිත  වු හද සිහිලැල් වේ

ලබා නො මිනිසුන් නගනා ගැරහුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමනින්
මුළු ගැන්වුණු සිත උනුසුම් වේ.

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගිතය: මර්වින් පෙරේරා

"ලොවම එපාවී " ගීතය අහන්න මෙතැනින්, කැමති නම් බාගන්න

වචනයට යා හැකි දුර නතර වන්නේ කොතැනද  එතැන සංගිතයේ උපත සිදුවන බව ඩේවිඩ් රැන්ඩොල්ෆ්  විසින්පෙර දවසක  කියූ කියමනක් ඇත. ඒ කියමන සැබෑ කරමින් ම ව්‍යවහාරික සංගිතයේ එක් ඉමක් පෙන්වාදෙන  ගිතය නම් වූ  අපූරු කලාංගයේදී නන්දා මාලනිය  ගීතයේ වචන සමගත්, වචනය ඉක්මවා යන සොඳුරුතර සංගිතමය දෙහෝරාවක  චාරිකාවේ  එළඹ සිටියා ය.  ගීතයේ වචනවල   ව්‍යංගාර්ථ හා ධිවනිථාර්ථ පවා ඉක්මවා යන භාවාර්ථ ගායනයෙන් සැදුම්ලත් තීර්ථය වෙත සිය රසික පිරිවර රැගෙන යමින් සිටියා ය.
ගීතය නම් වූ රමණීය කලාංගය සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රවීන  ගායන වේදිනී නන්දා මාලනී සහ සිරස ගුවන් විදුලි මාධ්‍ය ජාලය  විසින් මනාව සැළසුම් කොට නිමවා තිබූ "ස්වේත රාත්‍රිය" ගී ප්‍රසංගය මනා සංවිධානයකින් සහ සැළසුමකින් යුතු  ගී ප්‍රසංගයක් විය.
" ස්වේත රාත්‍රිය " ප්‍රසංගය නිමා කිරිමට තවත් ප්‍රසංග වාර 04 ක් ඉතිරි තබා  ගී ගැයුණු 21 වන ප්‍රසංගය තුළ පුරා දෙහෝරාවක් අඛණ්ඩව නන්දා මාලිනිය ගැයු ගී ගඟුල,   විටෙක ප්‍රේමයේ රුදු කටුක බවත්, එයම විටෙක ආදරයේ මිහිරි බව කැඳවා එන සැටිත් ,  පසක් කර දෙමින් "පෙම් ලොව දී දුටු ඔහුමද මේ"  ගීයද "ඔබයි රම්‍ය සඳ කිරණ ගණ අන්ධකාරේ" ගීය ද පිළිවෙළින්  ගැයෙද්දී හරියට ම රාත්‍රී නවයට ඇය,  ඇයගේ මනෝහාර වූ ගායනාවලින් සුසැදි "ස්වේත රාත්‍රිය" ප්‍රසංගය හමාර කළාය. සිය අසුන්වලට බරදී හුන් රසික සමූහයා රඟහල දොරටුවෙන් එළියට පැමිණියේ පායා නැග එමින් තිබු වෙසක් සඳ  එළියේ පහන් වූ සිතින් යුතු නැවුම් මිනිසුන් ලෙසින් යැයි නො හැඟුනා නොවේ.෴

ඔබේ සිතේ ඇඳි ඕනෑම අදහසක්, විචාරයක් මෙහි ලියා තබන්න ඒ සඳහා ඔබට නිදහස ඇත .

Saturday, 12 May 2012

෴ කඳුළු විලේ පිපි රතු පියුම ෴



මගේ අතින් ලියැවුණු ගීයක්...

අස්වැන්න තුළින් පසුගිය ලිපි හැම එකකින් ම කතා කළේ වෙනත් නිර්මාණකරුවන්ගෙ නිර්මාණ පිළිබඳව යි. මේ ලිපි කිය වූ සහෘද ඔබ මා ලියූ ගීයක් ඉදිරිපත් කරන ලෙස කරන කීපවතාවක් ම  ඉල්ලා තිබුණි. ඒ අතර "රූ සිරිනි" සහ"මලී" ඒ පිළිබඳව නිරන්තරයෙන් මතක් කළ සහෘද පිරිස අතර වෙති. ඒ වගේම " මුහුණු පොතේ "  චැට් කරන කිසි දින නොදුටු සහෘද පිරිසක්ද ඒ ඉල්ලීමම නැවත නැවතත්  ඉදිරිපත් කළ නිසා අද මගේ අතින් ලියැවුණු ගීයක් අස්වැන්නෙන් ඉදිරිපත් කරමි.

මගේ නිර්මාණයක්  “අස්වැන්න” යටතේ ඉදිරිපත් කරන එක  මගේ  විචිකිචිඡාවට හේතුවක්.  මොකද මගේ නිර්මාණයක් මගේ අඩවිය තුළින් ඔබේ කතා බහට ඉඩ සැළසීම නුසුදුසුයි කියල මටම හිතෙන නිසා. ඒ කොහොම වුණත් මේ ගීය පිළිබඳව වැඩි යමක් කතා නොකර මේ ගීය බිහිවූ ආකාරය සහ ඊට නිර්මාණාත්මක අත්දැකිම  ගොනුකර ගත් හැටි පමණක් මෙහි සඳහන් කරන්නම්. මොකද ඕනෑම නිර්මාණයක නිර්මාණාත්ම අත්දැකිම සහ ඊට අදාළ වස්තු විෂය ගොඩනගා ගත් හැටි වැදගත් කියල හිතෙන නිසා.

‍ මේ ගීයේ අදහස නිර්මාණාත්මක අත්දැකිමක්  ලෙස ගොඩනගා ගත්තේ පො‍ළොන්නරු යුගයේ ලියූවා යැයි සැළකෙන ගුරුළුගෝමීන් විසින් විරචිත "ධර්ම ප්‍රදීපිකාව" ග්‍රන්ථයෙහි එන “සුළු කළිඟු දා වත” කතා පුවත මේ සඳහා නිර්මාණාත්මක අත්දැකිම  සැපයීය. “සුළු කළිඟු දා වත” පුවත පද්‍යයක් නො වූවත්  ගද්‍ය රචනාවක් සේ ලියැවි ඇති අතිශය සෘංගාරාත්මක ප්‍රේම පුරාවෘත්තයකි.  ආදරය සහ විරහව පිළිබඳ ඉතා සියුම් ලෙසත්, රමණීය ලෙසත් කියවෙන බෞද්ධ සාහිත්‍යයේ ඇති විශිෂ්ඨ ගද්‍ය රචනයකි. මෙහි මුළු කථාව පුරා රැදී ඇත්තේ ඉතා සියුම් වූ සෘංගාර රසයෙන් පිරී ඇත. තවද, එය ගුරුළුගෝමින්ගේ පරිකල්පන ශක්තිය මැනවින් විදහා දක්වන ගද්‍ය රසයෙන් අනූන වු කෘතියකි. මෙහිදී විප්‍රලම්භයෙන් සෘංගාරයෙන් පිරුණු කළිඟු කුමරුගේ සිත කල් වියෝවෙහි තැවෙන චිත්‍රයක් සේ ගුරුළුගෝමින් විසින් වර්ණනා කරන්නේ මෙසේ ය.

  “.... දසනුදස සැඟවූ නිල් වදුල් හා සමග කල්වියො සුළුකළිඟු කුමරුහට වන සෝකල් බොල් වීය. වලානල හා සමග මියෙනඩුහුරු නල මමීය. විදුලිය හා සමග මන වෙවුලීය. වැසි දහරා හා සමග කඳුළු දහරා වැහිණ. දිගත්හි දිවගත් මත්බලා පෙළ මැ කිරිවලා සෙ පැණින. ජලලඹ කළබින් වැදිලිගත් තැන් මැ දිවයුරු තෙදින් දම්තැන් සෙ පැනිණ. කොළොඹ වන හිසින් මමන මුවරද රොන් මැරජකඳ සෙ පැනිණ. බමර බර පුලු ලෙල ලියනඟලා මැ දසනු දෙසෙහි සහදුම් ළැව්දල සෙ පැනිණ. වලානෙලෙන් බමන සිහිලැල් පොද මැ කුරු රැස් ගොර මිරිඟු දැල සෙ පැනිණ. හෙ ඔව්හට සිහිලස් දෙන වහරෙයෙක් නොවීය.......”

  එහි සරළ අදහස මෙසේයි.

‘... ඇස ගැසුණු දස දිශාවෙහි ම වූ නිල්ල පිරි වනයේ සරන කළිඟු කුමරු හට සිය ප්‍රියයා සිහිවී සිත මහත් සෝකයෙන් පිරි ගියේය. හීන් සැරේ පාවි ආ මදනල සමග හද තුළ තෙරපුණ සුසුම් පොදි ඒ මදනලට මුසු විය. විදුලි ධාරාවක් සිය සිරුර හරහා ගමන් ගන්නා සේ කුමරුට හැඟිණ. ඔහු සිත තව තවත් චංචල විය. මහා වරුසාවක් ඇද හැලෙන්නා සේ ඇස උපන් කඳුළු ධාරා කොපුල දිගේ රූරා වැටුණි. අහසේ ඉගිල ආ කොකුන් රැළ සුදු වලා සේ දිස් විය. වැසිපොද විනිවිද  පැමිණි  හිරු රැස තව තවත් ඔහු පෙළීය. කොළොම් වන හිස රඟදෙන බිඟු රැළ ඔහු තනිකර ප්‍රේමයෙන් මුසපත්වී වෙලි සිටින්නා‍ක් සේ ඔහුට දැනුණි. පිපි නියඟලා මල්  දුමෙන්  පිරුණු ගිනිදැල් සේ ඔහු වෙළා සිටින්නාක් මෙන්  හැඟිණ. පාව ආ මදනලෙහි දැවටි  සිහිල් මීදුම අතර රඟ දෙන බමර කැළ මිරිඟු දැලක පැටලී සිටින්නාක් මෙන් හැඟිණ. සිය ප්‍රියයා ඒ වනයෙහි නැති කල ඔහුට සිහිලක් සදන වැස්සක් ඒ වනයෙහි නොවීය....”

මේ තරම් මිහිරි ගද්‍යයෙන් අනූනව ඇති “සුළු කළිගු දා වතේ” ඇති ඉතා රමණිය ආදර පුවත සරල ලෙස මසිතේ දැවටී තිබූ අතර  ඊට ‍මගේ අත්දැකිම්ද මිශ්‍ර කර කල්පනා ලෝකයේ මසිත වර්තමානයෙහි පිහිටුවා  මේ පදවැල ලියූ වෙමි. 

එච්.එම්.ජයවර්ධන
මේ ගීතය ගායනා කළේ  ගායන ශිල්පී ඩබ්ලිව් .ඩී. ආරියසිංහ ඔහුගේ ගීත ඇල්බමයක් සඳහායි.  ඒ මීට අවුරුදු තුනකට හෝ හතරකට විතර  කලින්.  ආරියසිංහ මෙරට විශිෂ්ඨ ශ්‍රේණියේ ගායන ශිල්පියෙක්. ඒ වගේ ම තියෙන්නෙ  අමරදේවයන්ගේ ගී හඬට බෙහෙවින්ම සමාන වූ ගී හඬක්.
 
ආරියසිංහ සමග තිබු මගේ දිගු මිත්‍රත්ව නිසා ම ඔහුගේ ගි ඇල්බමය සඳහා ගීතයක් ලියන්න මට කළ ආරාධනාවක් අනුවයි මේ ගීය "සඳ නැගෙනා තුරු" ගීය බිහි වුණේ. ආරියසිංහගේ මේ ගීත  ඇල්බමයේ සියළුම ගීත පටිගත කිරිම් අවසානයේ ඇල්බමයට යෙදිය යුතු නම පිළිබඳව  විවිධ නම් ඉදිරිපත් වෙමින් තිබියදි මෙම ගීත එකතුව නිෂ්පාදනය කළ සංගීත සමාගමට " සඳ නැගෙනා තුරු"  කියා යොදන ලෙස  ආරියසිංහ  කළ යෝජනාව පිළිබඳව මුල සිටම සංගීත සමාගම ද කැමැත්තෙන් සිටි නිසා ඒ නම යෙදු බව පසුව දැනගැනිමට ලැබුණි. ඉඳහිට කාගේ හෝ ඇරයුමක් අනුව ගීතයක් ලියන මට පෙරත් අවස්ථාවල එවැනි අවස්ථා කිපයක් උදාවී තිබූ නිසා "සඳ නැගෙනා තුරු"  ගීය ද  සදා මගේ නොමියෙන මතකයේ රැඳී ඇති ගීතයකි.

"සඳ නැගෙනා තුරු" ගීතය සංගීතවත් කළේ ප්‍රවීන සංගීතවේදී එච්.එම්. ජයවර්ධන විසිනි. එච්.එම්. ජයවර්ධන විසින් නිර්මාණය කරන ගි තනු  ගීතයට සපයන්නෙ නොමද ආලෝකයක්. ඉතින් මගේ මේ ගීත රචනාවටත් ඒ ආලෝකය ඔහුගෙන්  ලැබුණ බව සඳහන් කල යුතුමය.

ඒ කොහොම වුණත් මගේ අතින් ලියැවුණ ගීයක් ඇතැම් වෙලාවට මග තොටේදි  එහෙමත් නැත්නම් බස් රියකදි , කඩපිළකදී අහම්බෙන් හෝ ඇහෙන වෙලාවට දැනෙන සතුට නම් අපමණයි. ඒ දෙනෝදාහක් නන්නාඳුනන මිනිසුන්  අතර මමත් එකම එක නන්නාදුනන රසිකයෙක් කියා මටම හැ‍ඟෙන නිසා. මෙන්න මේ ටික තමයි මේ ගීය පිළිබඳව මම ඉදිරිපත් කරන අදහස.

මා ලියූ ඒ ගීය පිළිබඳ වෙනත් විචාරයක් කරන්නෙ නැහැ. ඒ කටයුත්ත ගී රසවිඳින ඔබටම භාර කරමි. ඒ මන්ද,  මමද ඔබ සමග ගීත අහන රසවිඳින ඔබ සමග වෙසෙන රසිකයෙකු වන බැවිණි.  මතු දැක්වෙන්නෙ  මා අතින් ලියැවුණ ඒ ගීතයේ පදමාලාවයි.

සඳ නැ‍‍ඟෙනා තුරු තනි  මේ  රාත්‍රියේ
මී මල් සුවඳක් අරන් ඇදෙන සුළ‍ඟේ
බමරෙකු ඇදුනා ඒ මල් සුවඳ දිගේ
මලේ සුවඳ මට දැනුණා හීන් සැරේ

ඉරිමා උදයේ සිහිනය සිතක සදා
ඔබේ මගේ  හද හැඟුමන් පුබුදු කළා
එවන් අතීතේ මිහිරක් හිතේ තියා
කඳුළු විලේ රත් පියුම් පිපී පිපුණා

බාල වියේ බැඳි ‍සෙනෙහස තුරුළු කරන්
සදා සොඳුරු ලොව තව මල් පීදියන්
සිහිනය සේ ඔබ ඈතින් ඇදෙන ලෙසින්
සඳත් රැයත් මගෙ තනියට ළඟම ඉඳින්

ගේය පද රචනය:   දයානන්ද රත්නායක
ගී තනුව සහ සංගිතය:  එච්.එම්.ජයවර්ධන
ගැයුම: ඩබ්ලිව්.ඩී. ආරියසිංහ




අද මගේ විචාරකයා ඔබය. මට මග පෙන්වන්නාද ඔබය. මගේ  දොස් දකින්නාද ඔබමය. එහෙයින්ම ඔබේ සිතේ ඇඳි ඕනෑම අදහසක් මෙහි ලියා තබන්න.  ඒ මමද ඔබවන් රසිකයකු වන නිසා.

පසු සටහන:
මගේ හිතවත් ඔබ "කමෙන්ට්" ඔබ එකක් දානව නම් මට "ඔබතුමා" කියල අමතන්න එපා. ඔබ වගේම මමත් ඔබ අතර සිටින තවත් එකම එක  සහෘදයෙක්. ඒ නිසා  මම   ඔබගෙන් කරන කාරුණික ඉල්ලීම එයයි.

Related Posts Plugin for WordPress, Blogger...