එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Saturday 28 July 2012

෴ කුල ගෙදරින්... දුම්බර කඳුවැටියේ.... ෴



 රිදී නිම්නයේ හමු වූ සංගීත ගුරුතුමා 

ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගයේ සමාප්තිය තවමත් සංගීත ක්ෂේත්‍රයට උණුසුම් පුවතක්.  විවිධ මානයන් ඔස්සේ "ස"  ප්‍රසංගය පිළිබදව විවිධ විචාරක  අදහස් තවමත් පළවෙනව.  2012 ජූලි 20 වන සිකුරාදා  සමාප්තියට පත්වූ "ස" ප්‍රසංගය පිලිබඳව මමත් අස්වැන්නට දීර්ඝ සටහනක් ලිව්වෙ ගීත 10 ක් එක්ක.  ඒ සටහන කියවු බොහෝ දෙනෙකුගේ  ප්‍රතිචාර අනුව ඒ ලිපිය ඉතාමත් දිග වැඩි බව නම් හෙළි වුණා. ඇතැමෙකුට එය කියවිමට වෙලාවක් වෙන් කර ගැනිම පවා අපහසු වූ බව තමයි  කිව්වෙ. කොහොම වුණත් ඒ සියළු දෙනාගෙන්  සෘජුවම ලද ප්‍රතිචාර  ඉතාමත්ම වැදගත්.
"සුවහසක් සවන් යුග ප්‍රීතියෙන් උදම් වේවා" යනුවෙන් "ස" ප්‍රංගයේ සමාප්තිය පිලිබඳව  මා තැබූ ඒ සටහන කොටස් දෙක තුනකට කඩා පළ කළේ නම්  එහි වූ වටිනාකම  හෝ එයින් ලැබිය යුතු රසය නො ලැබී යනව  එසේ වීම වළක්වා ගැනීම මූලික ම අරමුණ වූ නිසා ඒ දීර්ඝ ලිපිය ඒ විදියට ම ලියන්න සිදු වුණි.

ඒක එහෙම වුණත් අද අස්වැන්නෙන් ලියන්න යන්නෙ වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගය  පිලිබඳව නම් නොවෙයි. ඒත් එහෙම නොවුනත් අද අස්වැන්න සටහනත් ආචාර්ය වික්ටර් රත්නායකයන් සහ ඔහුගෙ "ස" ප්‍රසංගයට සෘජුවම නැතත්  වක්‍රව යම් සම්බන්ධයක් තියෙනව. මේ අදහස ලියන්න හේතු වුණෙත්  වික්ටර්ගෙ "ස" ප්‍රසංගයම තමයි.
එදා 1973 දී වික්ටර්ට “ස” ප්‍රසංගයේ  අත්වැල් ගායනයෙන් දායක වූ රෝහණ වීරසිංහ, සුනිල් එදිරිසිංහ, ලක්ෂ්මන් විජේසේකර, බන්දුල විජේවීර,  එඩ්වඩ් ජයකොඩි, ආනන්ද වීරසිරි, නිර්මලා රණතුංග, ඉන්දීවරී අබේවර්ධන ආදී පිරිස  හතළිස් වසරකට පසු  පසුගිය ජූලි 20 වෙනි සිකුරාදාත් වික්ටර්ට අත්වැල් ගායනයෙනන් සහය වුණා.   මේ සියලු දෙනා  අද දවසේ ප්‍රවීන ශිල්පීන් වුවද, එදා පළමු ප්‍රසංගයේ මෙන්ම ඒ අවසන්  රාත්‍රියේද වික්ටර්ට අත්වැල් ගායනය කරමින් රසික සිත් ආනන්දයෙන් ප්‍රමුදිත කළේ ඔවුන් තුළ තිබූ ඒ නිහතමානීත්වයට කියලයි මට හිතෙන්නෙ.
වික්ටර් රත්නායකයන් එදා  අවසන් "ස' ප්‍රසංගයෙදි කිව්වෙ  එදා 1973 දි පළමු ප්‍රසංගයේ අත්වැල සැපයූ තරුණ ගැටව් ටික අදත් අන්තිම වතාවට ඒ වේදිකාව මතදිම දකින්නට ලැබීමත්  ඒ ශිල්පීන්  අද සංගිත ක්ෂේත්‍රයේ සිටින තැන  අනුව ගුරුවරයෙක් නොවුනත් ඔවුන්ගේ ගමන් මග පිළිබඳව තමන්ද නිහතමානීව සතුටු වන බවයි.
මේ කතාව මේ තරම් දුරක්  ඇදගෙන ආවෙ එදා වික්ටර්ට අත්වැල් ගායනයෙන් සහය වූ ශිල්පීන් අතර සිටි බන්දුල විජේවීර ගායන ශිල්පියා සහ ඔහුගේ ගීත අද අස්වැන්න තුලින් කතා බහට ලක්වන නිසා.
රසිකයන් බොහෝ දෙනෙක් බන්දුල විජේවීර හඳුනාගන්නෙ  රෝහන බැද්දගේ - බන්දුල විජේවීර සුසංයෝගයෙන් බිහිවූ "මාමයි බෑණයි"  ප්‍රහසන ගිත කලාවෙන්. "මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ  සරණයි" ගීතය ලැබූ අතිශය ජනප්‍රියත්වය  ඊට හේතු වන්නට ඇති. ඒ කොහොම වුණත් බන්දුල විජේවීර ගායනයට පිවිසෙන කාලසිමාව තුල දිම ඔහු වේදිකා නාට්‍ය ශිල්පියෙක් විදියටත් රංගනයෙන් සහ ගායනයෙන් දායක වෙනව. වේදිකා නාට්‍ය මගින් ලැබූ ප්‍රතිභාව නිසාම ඔහු පසු කාලෙක සිංහල සිනමාවටත්, ටෙලි නට්‍ය  සදහාත් සිය දායකත්වය ලබා දෙන්නෙ හාස්‍යයෝත්පාදක රංගන ශිල්පියෙකු ලෙසින්. දයානන්ද ගුණවර්ධනයන්ගෙ නරි බෑණා, ජයසයා සහ ලෙංචිනා. මධුර ජවනිකා, ආනන්ද ජවනිකා, ඇතුළු වේදිකා නාට්‍ය ගනනාවක් ඔහුගේ රංගනය සහ ගායනවෙන් ආලෝකමත් වෙන්නෙ ඔහු සතුව තිබූ මේ අසාමාන්‍ය ගායන සහ රංගන ප්‍රතිභාව නිසා.
ඒත් බන්දුල විජේවීර ගායන ශිල්පියාගෙ මියුරුතම ගීත සියල්ලම ගුවන් විදුලියට පමණක් සීමා වෙන්නෙ ඔහු ජනප්‍රිය මාවතෙන් ඈත්ව සිටි නිසා. ලංකාවෙ කැසට් නිෂ්පාදනය බිහිවූ මුල් යුගයේම කැසට් එකක් හෝ දෙකක් නිකුත් කළ බව යාන්තමට මතකයක් ඇත. අනතුරුව රෝහණ බැද්දගේ සමග කණ්ඩායම් සංගීතයට ගැයූ ගී එකතුවක් නිකුත් කර තිබුණි.
බන්දුල විජේවීර  ගායනයට පිවිසෙන්නෙ අමරදේවයන්ගේ සහ වික්ටර් රත්නායකයන්ගේ ගීත සඳහා අත්වැල් ගායන ශිල්පියෙකු ලෙසින්. ඒ අත්දැකීම් ඔහු විශිෂ්ඨ ගායකයෙකු කිරීමට  ඉවහල් වූවා විය හැකිය. වික්ටර් රත්නායකයන් තමන්ට අත්වැල් ගායනයෙන් දායක වූ හැම ශිල්පියෙකුටම ඔහු තමන්ටම හදාගත් ගී තනු ඒ නවකයන්ට ගායනා කරන්න අවස්ථාව ලබා දුන්නේ කිසිම ලෝබ කමක් නැතිව.
ඒ විදියට අත්වැල් ගායනයෙන් දායක වූ සුනිල් එදිරිසිංහට "මාතර ආච්චි " චිත්‍රපටයේ "සඳකඩ පහණක කැටයම් ඔපලා" ගීතය ගයන්න අවස්ථාවක් ලබා දෙන්නෙත් වික්ටර් රත්නායක. ඒ පිලිබඳව ඉතා අගනා විස්තරයක් "තොටුපොළ අයිනේ" ලියන අපගේ සහෘද හිත මිතුරු "තොටියාණන්" ලියල තිබුණා.        
ඒ විදියටම වික්ටර් රත්නායක තමන් සංගිතවත් කළ "හුලවාලි" චිත්‍රපටයේ හොඳම පසුබිම්  ගීතය ගයන්න අවස්ථාව ලබා දෙනේනෙ බන්දුල විජේවීරට. ඒ ගීතය බන්දුල විජේවීරගේ පළමු ගිතය වගේම පළමු චිත්‍රපට පසුබිම් ගීතය ද වුණා. මේ ගීතය නිසාම  චිත්‍රපටය වගේම බන්දුල විජේවීර නම් වූ ගායන ශිල්පියාද අතිශයින්ම ජනප්‍රිය මේ ගීතයෙන්.

කුල ගෙදරින් දුම්බර කඳුවැටියේ
කැන්දං එනවා දුම්බර මැණිකේ
මනුකුල සිරිතට පතිකුලයට අද
කැන්දං එනවා දුම්බර මැණිකේ

වන - ලන්දෙ හැංගුණු මූණු පොඩ්ඩක්
කෝල වෙයි ගම්මණ්ඩියේ
ගහ -වැල් පිපී සුවඳින් පිරී අද
පෙම් කෙලී වැව් කණ්ඩියේ
වාසනාවං - හරි වාසනාවං

දඹ - රත්තරං හැඩදා සොඳින් කළ
රූපයක් ඇඹුමක් වගෙයි
ඔහෙ අස්වහක් නැත හෝ වහක් නැත
ආකහේ තරුවක් වගෙයි
වාසනාවං - හරි වාසනාවං

ගැයුම : බන්දුල විජේවීර
ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය: ආචාර්ය වික්ටර් රත්නායක
චිත්‍රපටය: හුලවාලි
චිත්‍රපට අධ්‍යක්ෂක:  ඩබ්ලිව්.ඒ.බී. ද සිල්වා
රංගනය: ගාමිණි ෆොන්සේකා , මාලනී ෆොන්සේකා සහ ටෝනි රණසිංහ
තිරගත වූ වර්ෂය: 1974
" කුල ගෙදරින්" ගීතය මෙතනින් අහන්න


හුලවාලි චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ ලංකාවෙ රොඩී කුලය පිලිබඳ කතා පුවතක්  කුල බෙදීම අපුර්වත්වයෙන් චිත්‍රපටයට ගොනු කරග තිබුණා. ඒ වගේම සුනිල් එදිරිසිංහත්  හුලවාලි චිත්‍රපටයට ද ගීයක් ගයා තිබුණි. ඒ  "කුඩා ගමේ මද්දහනේ අවු රශ්මිය දෙවා" ගීයයි.

වික්ටර්, සුනිල්,එඩ්වඩ් , බන්දුල, රෝහණ, ආනන්ද, ලක්ෂ්මන්
ඒ කොහොම වුනත් බන්දුල විජේවීර ගායන ශිල්පියෙක් වශයෙන් මටත් එක්තරා  විශේෂයක් තියෙනවා. ඔහු සෞන්දර්යය විශ්ව විද්‍යාලයෙන් (හේවුඩ්) පිටව  සංගීත ගුරුවරයෙක් විදියට පළමු පත්විම ලැබෙන්නෙ රජරටට. ඒ පත්වීම රජරටිනුත් ටිකක් ඈත දුෂ්කර ප්‍රදේශයක පිහිට රඹෑව මහා විද්‍යාලයට තමයි  පළමු පත්වීම ලැබෙන්නෙ. ඒත් ටික දවසකින් ඔහුගෙ කලා කටයුතු වලට පහසුවක් වෙන්න ඔහුට ස්ථාන මාරුවක් ලැබෙන්නෙ රජරටම තිබුණු අපේ ඉස්කෝලෙට. ඒ අසූව දශකයේ ආරම්භක යුගය.  බන්දුල විජේවීර සංගීත ගුරුවරයෙක් විදියට  පත්වීමක් අරං අපේ ඉස්කෝලෙට ආව එක ඒ කාලෙ  අපිට ලොකු ආඩම්බරයක්. මොකද ඒ වන විට ඔහු ලංකාවෙ  ඉතාමත්ම ජනප්‍රිය  ගායකයෙක් වෙලා හිටිය නිසාම   දුෂ්කර ප්‍රදේශයක පිහිටි අපේ ඉස්කෝලෙ සංගීත ගුරුවරයා විදියට ඇවිත් ඉන්නවා කියන එක අපිට ලොකු ආඩම්බරයක්.  ඒ විතරක් නෙවෙයි ඒ වෙන කොට  මේ ගායන ශිල්පියා ගුරුවරයෙක් විදියට අපේ ඉස්කෝලෙට ඇවිල්ල ඉන්නවා කියන එක  මුළු ගමේම උණුසුම් ප්‍රවෘත්තියක් වුණා.
ඒ යුගයෙ අද තරමට ගුවන් විදුලි නාලිකා තිබුනෙත් නැහැ.  තිබුණ එකම එක ගුවන් විදුලිය ආණ්ඩුවේ ගුවන් විදුලිය, රූපවාහිනියත් එහෙමයි. ඒක බලන්නත් අහස උසට ඇන්ටනාවක් තියෙන්න ඕනෙ.   රූපවාහිනිය ඒ තරම් ප්‍රචලිත මාධ්‍යයක්  වෙලා නොතිබුණත් යාන්තමට වාගෙ ගමේම රූපවාහිනී දෙකතුනයි තිබුණෙ. ඒ කාලෙ එක රැයක නන්දන වින්දන වැඩසටහනකින් අපේ සංගීත සර් ගීයක් ගායනා කරන බව ඉස්කෝලෙ පුරාම ආරංචියක් පැතිරී ගියා.  ඒ නිසාම මමත් ඒ කියපු දවසෙ අපේ සංගීත සර්ගේ ගීය බලන්න රූපවාහිනියක් තිබුණ ගෙදරක් හොයාගෙන ගියා.  අපේ සංගීත සර්  සිංදුවක් කියනව බලන්න ලැබෙන එකත් අපිට ලොකු ආඩම්බරයක් කියල හිතුණු හින්දා. යාන්තමට එදා රෑ කලු සුදු රූපවාහිනී තිරයේ නන්දන වින්දන වැඩ සටහනින්  දැක්කෙ අපේ සංගීත සර්ගේ මෙන්න මේ ගීය.

හිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයි
තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා
හිත හීලෑ නෑ

හිත ඉගිලෙනවා කාශ්මීරයේ
සුදු හිම කඳු අතරේ
මා තනි වෙනවා පා යුග දවනා
නිරුදක වැලි කතරේ

මා සැතපෙනවා මා පිය ළඳගේ
මුදු උණුසුම් උකුළේ
හිත හිනැහෙනවා මා මඟ තොට දී
දුටු ළඳ මුව මඬලේ.

ගැයුම : බන්දුල විජේවීර
ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය: ආචාර්ය වික්ටර් රත්නායක
" හිත හීලෑ නෑ " ගීතය මෙතනින් අහන්න


අපේ අලුත් සංගිත ගුරුතුමා  ඉස්කෝලෙට ආවට පස්සෙ වැඩි සිසු සිසුවියන් පිරිසක් යොමු වුණේ සංගීතය ඉගන ගන්න ඒ කාලෙ මට සෞන්දර්යය විෂය එපාම කරපු විෂය  වූ නිසාම මට නම් අපේ සංගීත සර්ගෙන්  සංගිතය හදාරන්න බැරිවුණා. එහෙම වෙච්ච එකත් එක අතකින් හොඳයි කියල අද හිතෙනවා.
මේ කාලෙ මාස දෙක තුනකට සැරයක් හොඳ රසවින්දනාත්මක  සංගිත වැඩසටහනක්, හෙමත් නැත්නම් හොඳ වේදිකා නාට්‍යයක් නොවැරදීම ඉස්කෝලෙ පෙන්නුවා. ඒනිසාම ඉස්කෝලෙ ළමයින්ගේ රසවින්දනයත්  ඉතාමත් ඉහළ මට්ටමකට තිබුණා. ඒ වගේම ඒ වන විටත් පාසල් ගීයක් නොතිබූ අපේ ඉස්කෝලෙට  පාසල් ගීය නිර්මාණය කළෙත් අපේ මේ සංගීත ගුරුතුමා වීම විශේෂයක්. කාලය ගෙවිල ගියත් මම උසස් පෙළ පන්තියට එනකොට එතුමාත්  අපේ ඉස්කෝලෙන් මාරුවෙලා තමන්ගෙම ගම වුණ කුරුණෑගලට අලව්ව මධ්‍ය මහා විද්‍යාලයට ගියා. ඒ වුණත් අවුරුදු හතක් අටක් විතර අපේ ඉස්කෝලෙ අපේ සංගීත ගුරුතුමා සේවය කරපු කාලෙ ගුවන් විදුලියට ගැයූ මේ වගේ ගීත තාමත් හිතයට හැංගිලා තියෙනවා කියල දැනෙන්නෙ ඉඳහිටල හරි ඇහෙන වෙලාවටයි.

සෙල් කුලේ මහා කලා නිකේතනේ මැවූ
ගල් තලේ පවා උදාන ගීතයන් ලියූ
ඒ උදාර පරපුරේ උදාන හඬ ඔබයි පුතේ
ඒ හඬින් උදම් වෙවි
ගයන්නෙමී යශෝ ගැයුම්

වැසි බි‍ඳෙන් මහා තඩාග පෙළ නිමා කෙරූ
සාර වූ කෙතින් අසාර වූ පොළෝ වැසූ
ඒ උදාර පරපුරේ උදාන හඬ ඔබයි පුතේ
ඒ හඬින් උදම් වෙවි
ගයන්නෙමී යශෝ ගැයුම්

රණ බිමෙහි පවා මෙතින් රුපුන්ට අභය දී
විමුක්ති භූමියේ සටන් වැදී හිසත් පිදූ
ඒ උදාර පරපුරේ උදාන හඬ ඔබයි පුතේ
ඒ හඬින් උදම් වෙවි
ගයන්නෙමී යශෝ ගැයුම්

ගැයුම: බන්දුල විජේවීර
ගේය පද: ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
සංගීතය: රෝහණ වීරසිංහ
මේ වගේ දේශාභිමානී ගිත අද ඇහෙන්නෙ නැති ගානයි. මේ වගේ මියුරු ගිත ඉඳහිටල වත් ගුවන් විදුලි චැනල් එකකින් ප්‍රචාරය වෙනව නම් නූතන සංගිත පුරපුරත් ඉහළ රසාතලයක වඩා හිඳුවන්න හැකි වෙනව කියලයි මට හිතෙන්නෙ.
අනෙක් අතට ගායකයෙකුට තමන්ගෙ ගමන් මග හදාගන්න තිබුණ එකම මාර්ගය තමයි ගුවන් විදුලි මහගෙදර තිබුණ "සරල ගිත" වැඩසටහන්. අද යුගයෙ මුදල මතම යැපෙන ශිල්පින්ට මේක හොඳ ආදර්ශයක්. හැත්තෑව සහ අසූව දශකවල ගීයක් නිර්මාණය වුණේ ගායකයා, ගිත රචකයා සහ සංගිතඥයා යන තුන් දෙනාගේ ම සාමූහික ප්‍රයත්නයක් විදියට. එහෙම උනන්දුවෙන් නිර්මාණය කළ ගීතවල සදාකාලික බවක් රැඳිල තියෙන බවට මීළඟ ගීතයත් හොඳ නිදසුනක්.

එක්තරා දවසක බන්දුල විජේවීරට ලැබෙන ගුවන් විදුලි සරළ ගිත වැඩසටහනක් පටිතග කරන්න නියමිතව තිබුණෙ ඊට පසු  දවසේ.  ඒ වන විටත් එක ගීයක් අඩුවෙලා ගීත දෙකක ගී තනු නිර්මාණය කරමින් පූර්ව පෙරහුරු කරමින් ඉන්න මොහොතක  ගීත රචකයෙක් වගේම ගුවන්විදුලියේ විශිෂ්ඨ නිවේදකයෙක්ව හිටිය  කේ.ඩී.කේ. ධර්මවර්ධන ඒ වෙලාවෙ වික්ටර් රත්නායකයන්ගේ නිවසට  පැමිණියා. බන්දුල විජේවීර තමන්ට ඊළඟ දවසේ පටිගත කිරිමට නියමිතව ඇති සරළ ගී වැඩ සටහන සඳහා ගීතයක් අඩු බව  කියා කඩිනමින් ගීයක් ලියා දෙන ලෙස කේ.ඩී.කේ. ගෙන් ඉල්ලා සිටියත් ඒ මොහොතේ හදිස්සියේම ගිතයක් ලියන්න අදහසක් ගොනු කර ගැනිමට අපහසුව සිටි  ඔහුගෙ දෑස ඒ නිවසේ මේසයක් මත තිබූ නවකතා පොතක්  කෙරෙහි යොමුව තිබුණි. නව කතාව ලියා තිබුණේ කරුණාසේන ජයලත් ය. පොතේ නම "රිදී නිම්නය" දුටු විගස කේ.ඩී.කේ.ට නවකතාවේ ඇතුළත් වූ කතා පුවත වහා වැටහුණේ ඔහු එම නවකතාව ඊට පෙර කියවා තිබූ නිසාය. කේ.ඩී.කේ. එසැණින් කඩදාසියක ලිව්වේ මේ ගීයයි.

රිදී නිම්නය කඳුළු නිම්නය
ඔබය මගෙ ජීවිතයේ
නොදුටු  නිම්නය ඔබය
මගෙ ජීවිතයේ

මී විතෙන් තොල් මත්ව යනවා
ඉන්ම හදවත සසල වෙනවා

නිසල සිතුවිලි විකල් වෙනවා
එයින් දිවියම සසල වෙනවා

කවුරු කවදා කෙලෙස කීවද
තඹුරු හිරු දුටු විගස නොපිපෙද
බඹරු වෙනසක් නැතිව සැරුවද
අපට හිමි සැනසුමක් කොහි වෙද..

ගැයුම: බන්දුල විජේවීර
ගේය පද: කේ.ඩී.කේ.ධර්මවර්ධන
සංගිතය: ආචාර්ය වික්ටර් රත්නායක
සරල ගී වැඩ සටහනින් පස්සේ ගීතය එක රැයින් ජනප්‍රිය විය. එය අදට ද එසේ ම ය. මෑත යුගයේ නම් මේ ගීය ගුවන් විදුලි මාධ්‍යයක් ඔස්සේ ප්‍රචාරය වූ බවක් මට මකත නැත. ඒ අපේ රටේ පිරිහෙමින් පවතින ගීත කලාවේ හැටි ය.
අපේ සංගීත ගුරුතුමා අපේ පාසලේ සිටි යුගයේ දී  ඔහු ගැයු "මගෙ සුදු බෑණන්ඩි" , දෝත පුරා මුතු මාල ලතා, මමයි අනුරාපුරය, පුංචි කාලෙ අපි, අතුරු මිතුරු දඹදිවතුරු, සමුගන්න මොහොතකට පෙර එක වතාවක්, ආදී අද දවසේ නෑසෙන ගී රැසක්ම බිහි විය.

මා විෂයක් විදියට සංගිතය හැදෑරීම නොකලත්, පන්තියට ගුරුවරයෙක් නොපැමිනෙන මොහොතක් බලා තවත් දෙතුන් දෙනක් එක්ක හෙමිහිට රිංගන්නේ සංගිත කාමරය දෙසට ය. සර් අපි පසෙකට කැඳවා වාඩි විමට කියා සිරිත් පරිදි සිය සංගීත පාඩම් වල යෙදෙයි. ඔහුගේ අතැඟිලි තුඩු එහා මෙහා දුවන සර්පිනාව මට මහා විස්මකර්ම නිමැවුමකි. විටෙක ජසයා සහ ලෙංචිනා නාට්‍යයේ ජසයාගේ ගියක් ළමුන්ට කියා දෙයි. තවත් විටෙක නරි බෑණා නාට්‍යයේ ගීයකි. තවත් විටෙක "දන්න වංහු අපි කන්න සාමි රාජ ධුරයේ" වැනි නූර්තියක ගීයක් ගයා පෙන්වයි. එසේත් නැත්නම් "පරංගි හටන් කවියකි"  මුළු සංගීත පන්ති කාමරය එකම රස ගුලාවකි. ගායන ශිල්පියෙකුගේ මුවින් ඔහු ආසන්නයේ හිඳගෙන එවන් ගී මිහිරක් විඳින්නට තරම් වාසනාවක් තිබුනා යැයි සිතෙන්නේ දැන් ය. ගුරුවරයෙක් වුවද විෂය නිර්දේශයට පමණක් සිමා නොවී ඒ විෂය නිර්දේශයෙන් බාහිරව ඔනෑම කෙනෙකුට සිය රසවින්දනයට ඉවහල් කරගත හැකි යමක් කියා දුන් ඒ යුගය ඔහුගේ සංගිතයෙන් මුලු පාසලම පිරීතිරී තිබුණ බව හැ‍ඟේ. එසේ හැ‍ඟෙන්නේ අපේ පාසල් සමයේ ඔහු ගැයූ මෙවන් ගීයක් හිතේ දැවටෙන විට ය.

දෙපා නගන්නට හිත නැතුවා
පෙම් විමන් මෙසේ බිඳ දා
මගේ ලොවේ හිරු සඳු නිවිලා
තරු රැයේ කඳුළු සැලුවා

කිසිවකු නෑ හදවත නිවනා
ඔබ හැර මා සොයනා
කිසිදින මා සිත ඔබ දැක නෑ
හදවත නෑ හඳුනා
ඔබෙ සෙනෙහස මට හිමි නෑ

තනිකම මා ළඟ තනි වෙනවා
මා තනිවන යාමේ
රෑ සිහිනෙන් හමුවී ආයේ
ඔබ මා වෙන් වෙනවා
මා යළි මෙහි තනි වෙනවා

ගැයුම: බන්දුල විජේවීර
ගේය පද: කුමාරදාස සපුතන්ත්‍රී
සංගිතය: රෝහණ වීරසිංහ.
වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගයේ සමාප්තියේ වික්ටර්ට අත්වැල් ගායනයෙන් දායක වූ ඔහු පිළිබඳ මගේ මතකය අවදි කළේ ඒ අයුරිනි. එදා අප පාසලේ මා දුටු ඔහුගේ රුව කිසිදු වෙනසක්ව නැත. ගායනයද එසේ ම ය. බන්දුල විජේවීර අපේ පාසලෙන් සමුගත්තද ඉන්පසු අවස්ථා ගණානාවකදි ඔහු මට හමුවිය. ඒ සැම මොහොතකම ඒ අතීතය සිහිපත් කල විට  "උඹ සංගිතය ඉගනගත්තෙ නැත්තේ අපේ වාසනාවට" යැයි කියා  ඔහු ඒ මියුරු අතීතය පිළිබඳව සිනාසුනි.  
මේ ගායන ශිල්පියා අප මතකයෙන් කොතරම් බැරව සිටිද කිවහොත් ඔහුගේ ඡායාරූපයක් සොයාගැනිම පවා අපහසු විය. ෴

ඔබේ වටිනා කාලය බිදක් වැය කර ගී රස විඳිමින් කියෙව්වාට  ස්තූතියි. වෙලාවක් ඇත්නම්  ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න.



Wednesday 25 July 2012

,෴ සුවහසක් සවන් යුග ප්‍රීතියෙන් උදම් වේවා...!෴




විශේෂ සටහන:

මේ පෝස්ට් එක 2012.07.21 වන දින දැමූ පසු මෙය බේලොග් අඩවි වල Up load වී නොමැති බව සහෘදයන් රැසක් මා වෙත දන්වූ පසුව ඒ සහෘදයන්ගේ මගපෙන්වීම සහ සහය  ඇතිව සුළු සංස්කරණ කීපයකින් පසුව නැවත මෙසේ පළකරමි. 


අද අස්වැන්න "ස" ප්‍රසංගයේ ගැයුණු ගීත 10ක් සමග දිග ලිපියක් :

සම්බුද්ධ සද්ධර්ම අනුහසින්
ගෝවින්ද ශ්‍රී ස්කන්ධ ශාන්තියෙන්
කමලාසනාරූඪ සරස්වතී ආශිර්වාදයෙන්
රසික ඔබ මිලනයෙන්
ආනන්ද ජනක වූ මේ සොඳුරු රාත්‍රී යාමයේ
සුවහසක් සවන් යුග
ප්‍රීතියෙන් උදම් වේවා....
ප්‍රීතියෙන් උදම් වේවා.......!

ආචාර්ය වික්ටර් රත්නායකයන් අවසන් වරටත් එසේ ප්‍රසංගයේ ස්තෝත්‍ර ගීය  ගයමින්   "ස" ප්‍රසංගයේ සමාප්තිය  1450 වන අභිෂේකයෙන් පසු  තුන් දහසක් තරම් රසික පර්ෂදයේ සුබ පැතුම් මැද  2012 ජූලි මස 20 වන දින  රාත්‍රියේ කොළඹ හැවිලොක් ටවුමේ පිහිටි ලුම්බිණි විද්‍යාලයේ එළිමහන් පරිශ්‍රයේ දී තැනූ අංලකාර දැවැන්ත වේදිකාව මත දී නිමාවට පත් කළේය. දශක හතරක් පුරා සිංහල ගී රසිකත්වයේ හිනිපෙත්තේ  වඩා හිඳුවනු ලැබූ උච්ඡතම අවස්ථාවක දී අති විශාල රසික ඉල්ලුමක් පවතින  ගී ප්‍රසංගයක් අවසන් කිරීම පිලිබඳව යහපත් ගීත කලාවක් දකින්නට රිසි රසික සහෘදයන්ගේ කණගාටුවට කරුණක් වුවද, ශක්තිමත් කශේරුවක් හිමි ගායන ශිල්පියෙකුගේ අභිමානවත් තීරණයට ගරු කිරිම පිණිස සිය රසික පාර්ශවය ඔහුට  හිස නැමූයේ ඔහු විසින් දශක හතරක් පුරා කළා වූ ඒ අමිල මෙහෙය වෙනුවෙනි.

ඊයේ රාත්‍රියේ පළමු ගීය.. ගයමින් ප්‍රසංගය ආරම්භ කළ මොහොත
  "ස" ප්‍රසංගයේ සමාප්තිය  ගෙවුණු මාසය පුරා මෙරට සියළුම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් වලට උණුසුම් පුවතක්  විය. එයින් ගෙවුණු දෙසතිය පුරාම මෙරට සියළුම පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය නාලිකාවන්ට වඩාත් දැනෙන උණුසුම් පුවත සැපයූවේ දේශපාලන හෝ සමාජ ප්‍රශ්න නොව මෙකී "ස" ප්‍රසංගයේ සමුගැන්මයි.

ආචාර්ය වික්ටර් රත්නායකයන් සිය ගී ප්‍රසංගය හමාර කරමින් අවසන් ප්‍රසංග මාලාව රට වටා ගෙන යන ගමනේ දී ගාලු පුරවරයට " ස " ප්‍රසංගය පැමිණි හැටි සහ ඒ පිලිබඳව "තොටුපොළ අයිනේ" බ්ලොග් අඩවිය ලියන අපගේ සහෘද හිත මිතුරු "තොටියාණන්" විසින් අපූරු සටහනක් ලියා  එහි වූ මියුරු ගී කීපයක්ම ඇතුළත් කර තිබුණි.

ඒ තරමටම "ස"ප්‍රසංගයේ නිමාව සංගීත රසිකයන්ට උණුසුම් පුවතක් වෙද්දී ඒ පිළිබඳව "අස්වැන්න"ට ලියන්නට තරම් තවත් සටහනක් නැති තරම් ය. එසේ වුවද මගේ ජීවිතයට ද  අමරණිය සටහනක් එකතු කළ ඒ  සවස් යාමයේ වික්ටර් රත්නායකයන් ප්‍රමුඛ "ස" පිරිවර සහ තුන් දහසක් තරම් රසික සද්ජන සමුහයා විසින් ප්‍රසංගයට සමුදීමත් එම ප්‍රසංගය  සංගීත ක්ෂේත්‍රයට වැදගත් වූ ආකරයත් ‍පිලිබඳව අතීත මංපෙත් ඔස්සේ අස්වැන්නෙන් සටහනක් තබා "ස" ප්‍රසංගයේ සජීවිව ගැයුණු ගීත මාලාවෙන් තෝරාගත් ගී කීපයක් ඔබටද රස විඳීමට ඉඩදී ඊයේ රාත්‍රියේදි ගත් ඡායාරූප කීපයක් මෙහි ඇතුළත් කර   ඒ පිළිබඳව ඒ පිළිබඳ මතකය අවදි කරමි.

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදෙකලාවක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි  අතීතෙක


සයුර මා විය අහස ඔබ විය
දෙදෙන ළංවූ සිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන හිතූ හැටි


සයුර මා විය අහස ඔබ විය
දෙනෙත රැවටූ සිතිජයක් විය
කීකතාවේ අරුත වැටහිණි
අහස සමුදුර එකතු වී යැයි

ගේය පද: කේ.ඩී.කේ.ධර්මවර්ධන
සංගීතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක


රුපියල් විස්සෙ ටිකට් එකෙන් "ස" බැලූ දා:

 කුඩා කාලයේ මා වික්ටර් රත්නායකගේ ගීත ලෝලියෙකු වූයේ එකල ගුවන් විදුලියේ උදේ ඇසුණු "අරුණ කිරණ" වැඩසටහන්වලදී ඔහුගේ දේශාභිමානී ගීත ඇසීමෙනි. ඒ යුගයේම පැවති එලිමහන් රාත්‍රී සංගීත සංදර්ශනවලදී වික්ටර් රත්නායකයන් ගී ගැයු අයුරු යාන්තමට මතකය. කුඩා කාලයේ වුවත් එදා වික්ටර් එළිමහන් රාත්‍රී සංගීත සංදර්ශන වලදී ගැයු "තනිවෙන්නට මගේ ලොවේ, බණින්නෙපා පොඩි දෝණිට, හිත මිතුරු සුළඟ,  සඳ හිරු තරු සහ අපි ඔක්කොම රජවරු"  ආදී ගී ඔහුගේ මුවින් ගිලිහුණු හැටි තවමත් මතකයේ රැඳී ඇත්තේ ඒ මධුරතර අතිතයට මා අතිශයින් පෙම් බඳින බැවිණි.

"අපි ඔක්කොම රජවරු"  ලක්ෂ්මන්, සුනිල්, එඩ්ඩඩ්, බන්දුල, රෝහණ, ආනන්ද, නිර්මලා
  ඇතුළු පිරිස
වික්ටර් ගැයූ ඇතැම් ප්‍රේම ගීයක සැගවුණු අරුත කුමක් දැයි සොයන්නට පෙළඹුනේ පසු කාලයේ දීය. එසේ වුවද පාසල් කාලයේ ප්‍රේමය පිලිබඳ  එවැනි ගැඹුරු අත්දැකීම් නොතිබුණද වික්ටර්ගේ ප්‍රේම ගී වල අපූර්ව රසයක් සැඟවී තිබෙන  බව තරමක් වියපත් වූ පසුව පසුකාලයේ මටම වැටහිණි.


ඒ එසේ වුවද, වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගය පළමු වරට නරඹන්න‍ට ලැබෙන්නේ අසූව දශකයේ මැද භාගයේදී අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ප්‍රසංගයක දීය. එදා රුපියල් විස්සක ප්‍රවේශපත්‍රයෙන් පළමු වරට  පාසල් දර්ශනයෙන් වික්ටර්ගේ "ස" ප්‍රසංගය නරඹා  ගීත ලෝලියෙකු වී  මේ දක්වා වැඩිම වාර ගනනක් නැරඹු  ප්‍රසංග අතරට "ස" ප්‍රසංගයත්, කපුගේ ගේ "කම්පන" ගී ප්‍රසංගයත් මගේ අතීත මතකකයට එක් වී ඇත්තේ සදා නොමියෙන ගී ප්‍රසංග දෙකක් ලෙසට ය.

සිහින සතක් දුටුවෙමි මම 
සත් දවසක් එක විලසට
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ


ඔබ මගෙ පැල්පතට පැමිණ
ආයාචනයක් කරමින්
ජීවත්වන්නට කිසිවක්
ඉල්ලා සිටියා


කිසිවක් දෙන්නට මට නැත
තිබුණේ පිරිසිදු හදවත
සිඟන්නියේ එය ඹබ හට
දුන්නා මතකයි


එදා මගේ හද අරගත්
ඔබ අද මට වැඩි පොහොසත්
ඒ හින්දා මටත් එලෙස
පිහිට වනු මැනේ


ගේය පද: ප්‍රේමකීර්තිද අල්විස්
සංගීතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක


නව සංගිත සම්ප්‍රදායක ඇරඹුම:


1973 වන විට සංගීත ප්‍රසංග කලාවේ තිබී ඇත්තේ  අමරදේවයන් සහ නන්දා මාලිනිය ගී ගැයූ "ශ්‍රවන ආරාධනා" ද්වී පුද්ගල ගී ප්‍රසංගය පමණි. ලංකාවේ ඒක පුද්ගල ප්‍රසංග කලාවේ පුරෝගාමියා වෙමින් වික්ටර් "ස" ප්‍රසංගය මෙරට සංගීත ප්‍රබෝධයක පළමු ආරම්භය විය. අනතරුව අමරදේවයන් විසින් "අමර ගී සර" ප්‍රසංගයද, සනත් නන්දසිරි " ස්වර්ණ කුණ්ඩල" ගී ප්‍රසංගයද, නන්දා මාලනිය විසින් "සත්‍යයේ ගීතය" ගී ප්‍රසංගය සහ "පවන" ගී ප්‍රසංගයද, රසික මනදොල සපුරා ලමින් වේදිකාවට රැගෙන පැමිණියහ.

නිර්මලා.. අඹ ගස්යට මල් හැලිලා
නන්දා මාලනිය "පවන" ගී ප්‍රසංගය දර්ශන වාර 250 කින් නිමාවට පත් කලාය. එච්. ආර්. ජෝතිපාල "ජෝති රාත්‍රිය" ගී ප්‍රසංගය දර්ශන වාර 242 ක් පැවැත්වීය. අනතුරුව ගුණදාස කපුගේ විසින් ඉතාමත් කෙටි කාලයකදී " කම්පන"  ගී ප්‍රසංගය 968 වාරයක්  පවත්වා අවසක් කළේය. මාලනි බුලත්සිංහල ' මා ද ඔබම විය" ප්‍රසංගය ආරම්භ අවසන් නොකරම  නික්ම ගියා ය.  ඉන්  අනතුරුව  දැනට වේදිකා ගත වෙමින් පවතින   සුනිල් එදිරිසිංහ "සඳකඩ පහණ" ගී ප්‍රසංගය දර්ශන වාර 100 ඉක්මවා  ඇති අතර ඉතාමත් මෑතකදී ආරම්භ කළ එඩ්වඩ් ජයකොඩිගේ "මාරම්බරී" ගී ප්‍රසංගය ද,  ප්‍රසංග 25 කින් නිමාවෙමින් පවති දැනට ප්‍රසංග වාර 02 ක් පමණක් ඉතිරි   නන්දා මාලනියගේ "ස්වේත රාත්‍රිය" ප්‍රසංගයද, මෙරට ඒක පුද්ගල ප්‍රසංග කලාවේ සිහිවටන ලෙස රැඳවීමට හේතු වූයේ එදා වික්ටර්  රත්නායක ආරම්භ කළ  මේ දැවැන්ත සංගීත සම්ප්‍රදාය බව කිව හැකිය.


තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ  සුවඳ මා ළඟින්


සිවු වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින් කිරුළ පැළඳුවාදෝ


මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්බර වූ සැනසුම කොහි වේදෝ


ගේය පද: බුද්ධදාස ගලප්පත්ති
සංගීතය: රෝහණ වීරසිංහ
ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක



ලුම්බිණියෙන් බිහිවූ ප්‍රසංග කලාව:

කොළඹ නගරයේ ඉතාමත් හොඳ රංග ශාලා තිබුනද, මෑතක් වන තුරුම මෙරට සියලුම සංගීත සහ නාට්‍ය කරුවන් තමන්ගේ පළමු ගී ප්‍රසංගය හෝ නාට්‍ය දර්ශනය සඳහා හැව්ලොක් ටවුමේ පිහිටි ලුමිබිණි රඟහලේ පළමු දර්ශන වාරය සහ අවසන් දර්ශන වාරය පැවැත්වීමට උනන්දු වූ  හේතුවක් ද තිබුණි. ඒ  එදා වික්ටර් රත්නායකයන් විසින් ලුම්බිණියේ දී "ස" ප්‍රසංගය මගින්  ඇති කල  මහා සංගීත සම්ප්‍රදාය හරහා  සංගීත විප්ලයක් ඇති  වූ නිසා ය .

තරු අත් අකුරින් ලියා එවමි
 ලුම්බිණිය ඉතාමත් අඩු පහසුකම් ඇති රඟහලක් වුවද කලාවට එය සොඳුරු නවාතැනකි. "තොටුපොළ අයිනේ" ලියූ සහෘද තොටියාණන් සඳහන් කළාක්  මෙන් ජනෙල් දොරවල් පවා බිඳ දමා ප්‍රසංග නැරඹීමට හුරු කල ලුම්බිණියේ පළමුවරට වේදිකා ගත කරන ප්‍රසංගය හෝ වේදිකා නාට්‍යය වැඩි වාර ගනනක් රටවටා ගෙන යා හැකි බවට සනාත වන මතයක් ගොඩනැගුනේ වික්ටර් රත්නායකයන්ගේ "ස"ප්‍රසංගය මගිනි. ඒ නිසාම සිය “ස” ප්‍රසංගයේ පළමු දර්ශනයත්, 1450 වන අවසන්  දර්ශන වාරයත් මගින්  සමාප්තිය සටහන් කරන්නට තෝරාගෙන තිබුනේ ද  මෙම ලුම්බිණිය රඟහලයි. එය නැවත වරක් තහවුරු වූයේ ඒ සවස් යාමයේ ය.

තනි තරුවේ... තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා


නෙතග නෙතග පැටලි පැටලි
මුවග මුවග ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණී
තනි තරුවේ..


මහද අරණෙ ළතැවි ළතැවි
රැ‍ඳෙනු බැරිව ඉගිලි ඉගිලි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ...


ගේය පද: ප්‍රේමකිර්ති ද අල්විස්
සංගිතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක

"ස" ප්‍රසංගයෙන්  සිංහල ගීතයට ලැබුණ දායකත්වය:

දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ
1970 දශකය වන විටත් සිංහල ගීතය  හින්දි සහ ද්‍රවිඩ ගීත අනුකාරකත්වයෙන් සම්පූර්ණයෙන් මිදී නොතිබුණි. 50 -60  දශක තරමටම දැඩි බලපැමක් නොතිබුණ ද ජනප්‍රිය ගීත ලෙස එදා පිළිගනු ලැබූයේ  මේ අනුකාරක ගීත ය. ‍ඒ වන විටත් උසස් ගීත සහ සංගිත රසිකත්වයක් පිළිබඳව බලාපොරොත්තු දැල්වෙමින් පැවති අතර අමරදේව ප්‍රධාන කොටගත්  පිරිස නව සංගිත සම්ප්‍රදායන් පිලිබඳ ඉඟි පළකර තිබුණි. මේ සම්භාව්‍ය පරපුර එක ඉවුරක සිටිද්දී  ඒ ගඟ අනෙක් ඉවුරෙහි  හින්දි සහ ද්‍රවිඩ  අනුකාරක ගී තනු ගැයූ ජෝතිපාල, මිල්ටන් පෙරේරා  ආදීන් ජනප්‍රිය මාවතේ  ගමන් කරමින් සිටියහ.

එක ඟඟක ඉවුරු දෙදකට වී හිඳිමින් එක් පිරිසක්  උසස් සංගීත රසයක් ඇති නිර්මාණාත්මක නව සංගීත රස සොයමින් වින්ද අතර අනෙක් පිරිස අනෙක් ඉවුරට වී ජනප්‍රිය ගී සංස්කෘතියට අනුගත වෙමින් ඒ ගී මග යමින් සිටියහ. එදා වික්ටර් රත්නායකයන් මේ ඟඟ ඉවුරු දෙක යා කරමින් නව සංගිත සම්ප්‍රදායේ පාළම ඉදි කළේ ය.


පොඩි කුමාරිහාමියේ
එපා වලව්වට යන්න නියර පිට
බලා ඉන්න පොඩි කුමාරිහාමියේ
කාසි එපා නුඹ හිනාවෙවී
ඔහෙ බලා ඉන්නවා නම්


නිලමෙත් නපුරුයි ළමාතැනිත් නපුරුයි
නපුරු වලව්වක කෝමද කෝමල
කතා නුඹට ලැබුණේ
වක්කඩ කැඩුවා සේ සිනාසෙන
සිනා ගඟුල මැවුනේ
නුඹෙ හිනා ගඟුල මැවුනේ..


කඩා ගන්න බැරි වුනත් හරිම සුවඳයි
නෙරිය කොනේ මඩ තිතක් ඉහින්නට
ආසයි නුඹට හොරා
මාල හතක් බැඳ පෝරුව මත හිඳ
නොයන්න ගම හැරදා
නුඹ නොයන් මෙ ගම හැරදා......


ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක

වික්ටර් රත්නායකයන් එදා තැනූ  ඒ සංගීත පාලම  ඔස්සේ දෙනෝදහක් සංගීත රසිකයෝ  තම තමන් සොයා යමින් සිටි ප්‍රබුද්ධ ගීත ලෝකයට පිය නැගුවේ වික්ටර් බිහි කළ ගීත සංස්කෘතිය නිසා ය. එතෙක්  කලක් ජනප්‍රිය ගීතය වශයෙන් හඳුනාගෙන තිබූ ගායනය සහ සංගීතය අතහැර ගීත රසිකයෝ  ගීතයේ අත්දැකීම්  සහ ගේය පද රචනාවල අත්දැකීම් , අරුත් පිළිබඳව විමසන්නට  වූහ. එහි පදනම වූයේ  රසික චින්තනය ඉහළට ඔසවා තැබිමට වික්ටර්ගේ "ස" ප්‍රසංගය ඇති කල සමාජමය සහ සංස්කෘතිකමය වෙනසයි.


තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත
ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත

මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
සඳ කිරණ මොටද ඔබ මගෙ තනියට ළඟ නැත්නම්
හෙළි කරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම්
පැල්පතද මට හොඳයි මිහිරියෙ එක හිත ඇත්නම්

කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ළඟම පිය කතේ
කල්පනා කළ පමණ මට කල්පනා‍වක් නැතේ
ඇඳිරියෙද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
එනු මැනවි රස බලමු සෙවනක එකම පැල්පතේ

ගේය පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක

සෝක සැනසුම් වේදනා නිමා කළ අවසන් සැඳෑව:

සිරිත් පරිදි සිකුරාදා  සැන්දෑව අඳුරේ ගිල්විමට හෝරාවක් දෙක තුනක් තබා සියළු කලා කරුවෝද, සහෘද රසික පිරිසද, ලුම්බිණියට පැමිණ සිටියේ 1450 වන අවසන් සැඳෑව සියැසින් දැකගෙන ඒ අභිමානවත් සමුගැනීමේ සොඳුරු නිමේෂය මනසේ සටහන් කර තබා ගන්නට ය. ඒ දශක හතරක් පුරා අර්ථ මාධූර්යයෙන් ද, නාද මාධූර්යයෙන් ද, මනෝරම්‍ය වූ ගායන ලීලාවෙන්ද, මාධූර්යයෙන් ද, සුවහසක් සවන් පත් යුග යුග නිවා සැනසූ " ස"  ප්‍රසංගයට සමුදීම සඳහා ය.

රුවන් නිදන හෙළ බිමයි
දශක හතරක් දෙස ආපසු හැරී බලන විට දැකිය හැක්කේ කාලය අප පසු කර යාම පමණකි. එදා යොවුන් වියේ පසු වූවන්  අද වියපත්ව සිටී. ඔවුන් ඊයේ එහි පැමිණියේ ඒ සුමියුරු අතීතය නැවත සිහිගැන්වීම සඳහා ය.  එදා උකුළත තබා රැගෙන පැමිණි ඒ   සිඟිති දූ දරුවන් අද තරුණ විය ද ඉක්මවා සිටී. ඔවුන් ඊයේ  පැමිණියේ  එදා තම මව හෝ පියා විසින්  උකුළත හොවා කියාදුන් ඒ මිහිරි ගී සුයාමය අවසන් වරට විඳින්නට ය.  ඇතැමෙක් තම වියපත් පියා හෝ මව අතින් අල්ලාගෙන ලුම්බිණියට පැමිණියේ  එදා තමා සුළැඟිල්ලේ  එල්ලා  රැගෙන විත් කියාදුන් අරුත් බර ගී මිහිර විඳ සැනසෙන්නට ය. එදා නූපන් අය අද යොවුන් වියේ පසුවෙමින් එහි පැමිණ සිටියේ  තමන් විසින් අසා තිබූ  ඒ ප්‍රසංගය සැබැවින් ම විඳ සැනසෙන්නට ය.  එදා නූපන් ඇතැමෙක් ඊයේ එහි  තම සිඟිති දූ දරුවන් කැටුව පැමිණියේ සුන්දරම සැඳෑව ගැන මතු දවසක ඔවුන්ට කියා දිමට ය.

සියළු රසිකයෝ දැහැන් ගත කරවමින් ඒ රාත්‍රියෙහි රසික සද්ජන සමූහයාගේ උණුම් ප්‍රතිචාරය හමුවේ 1450 වන වතාවට සිය “ස” ප්‍රසංගය රැගෙන වික්ටර් සිය අතිජාත මිත්‍ර මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මුලසුනෙහි හොවා දැවැන්ත එලිමහන් වේදිකාවටගොඩ වූයේ  වූයේ අවසන් වතාවටය.

සම්බුද්ධ සද්ධර්ම අනුහසින්
ගෝවින්ද ශ්‍රී ස්කන්ධ ශාන්තියෙන්
කමලාසනාරූඪ සරස්වතී ආශිර්වාදයෙන්
රසික ඔබ මිලනයෙන්
ආනන්ද ජනක වූ මේ සොඳුරු රාත්‍රී යාමයේ
සුවහසක් සවන් යුග
ප්‍රීතියෙන් උදම් වේවා....
ප්‍රීතියෙන් උදම් වේවා.......!


ලුම්බිණි විද්‍යාල භූමියේ අතුරු සිදුරු නැතිව පිරී සිටින සියලු රසිකයන් නිහඬ කරමින් සොඳුරු ගාන්ධර්වයාණෝ සිය මෝහනීය ගායන ලීලාව රඟහල අඳුර විනිවිද මුදා හැරියේය.

සෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කඳුළැල්
ජීවිතේ මතු වාසනා

වීණාවෙ තත් මැද ගී ගයන්නේ
ඈ සෙනේ හද මිහිර මවා
රන් කේලි බඳිමින් මග සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා

මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී තියේ..
සැනසීම හෝ වැනසීම  ඔබගේ
ඔය නිල් දෑසේ රැඳී තියේ


ගේය පද: මීගොඩ විල්සන්
සංගීතය: මර්වින් පෙරේරා
ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක

මියුරුතම ගී එකතුවේදී වික්ටර් රත්නායකයන් රන් හුයක ඇමිණූ  මුතු පොටක් බඳු ගී ඟඟුලේ කිමිදෙමින්  අපි ඔක්කොම රජවරු, දෙව්රම් වෙහෙරේ, සිහින සතක්, ආදරයේ උල්පත අම්මා,  නංගියේ මල්ලියේ, අඹගස් යට මල් හැලිලා, සිහිල් සුළං, හෝපළු වන පෙත, ඔබෙ දෙතොල් පෙති,  කුරුල්ලන්ට ගී, තරු අත් අකුරින්, සෝක සැනසුම්, සීගිරි ළඳකගෙ, තනි තරුවේ, පොඩි කුමාරිහාමියේ, පාවේ වලා, සඟවා ගනු මැන, රුවන් නිදන හෙළ බිමයි,  දෛවයෝගයකින්, මයුරාසන , අදුර බිඳින්නට තොටුපොල අයිනේ, කෙහේ සිට ඔබ පැමිණියේ දෝ,  මා ළඳ වත තාරපතී, සිහිල් සුළං , බින්දුමතී ආදී මුවින් මුව රුව් පිලි රැව් දුන් ගී වැල අවසන් වරට “ස” ප්‍රසංගයෙන් සවනට මුසු  රසික සිත් ප්‍රමෝදයේ ගිල්වමිනි.

පෙම්බර මධූ මගේ මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධූ මගේ.. පෙම්බර මධූ මගේ


ලොවේහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී
ඇතත් හොරෙන් හැංගීලා මගේ දුකත් නොදැනී
අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධූ මගේ..පෙම්බර මධූ මගේ..


වඩාල දෝත පුරාලා පරෙවි කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතුසේ
පවන් සලා ඔබ සනසම් ළදල්ලකින් සුවසේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධූ මගේ..පෙම්බර මධූ මගේ..

අපේම පාලු විමානේ නිසංසලේ සහනේ
අමා පැණින් මත්වීලා ඔබේ දෙනෙත් බඳුණේ
විඳින්නෙමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධූ මගේ..පෙම්බර මධූ මගේ..


ගේය පද: කරුණාරත්න අබේසේකර
සංගීතය: පී.එල්.ඒ.සෝමපාල
ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක


ගීයෙන් ගීයට නැගුන අත්පොලසන් නාදය  සවන්පත් විනිවද ගියේ සොඳුරා ගාන්ධර්වයානන්ගේ සේම ප්‍රේක්ෂකාගාරයේ දැහැන් ගතව හුන්  රසික සමූහයාගේද දෑස් කඳුළින් තෙමෙද්දීය. සිය සමාධිගත ඉරියව්වේ දැහැනකට සම වැදී සිය ආනන්දනීය ගී හෝරා තුන හමාරක් පුරා රසික සද්ජනයා සමග කතාබාහ කරමින්, ඔවුන් සිනා සයුරේ ගිලවමින්ද,  ගීතයේ දැහැන් ගත කළේය.


බිංදුමතී.... බිංදුමතී....
මං ආදර පෙම්මාදර බිංදුමතී
පෙමා වඩන ලද බිංදුමතී..

කලු උක් ගස විසා කලු  කලු නංගියේ
දර කඩලා ඉහ තියලා කොහිදෑ ගියේ
ගොම්මං සමයමටා ගම හොල්මං තියේ
නුඹ එක්කා මම එන්නා යමු නංගියේ

ළිඳ ළඟටා යන්න එපා දියබරියා එයි
වැට ළගටා යන්න එපා කබරගොයා එයි
ගඟ ළඟටා යන්න එපා අබිමානා එයි
පිට ගමටා යන්න එපා මා මෙහි තනිවෙයි..


ගේය පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක


ගී රසිකයන්ගේ ඔක්කොම රජවරු

එදා 1973 දී වික්ටර්ට “ස” ප්‍රසංගයේ  අත්වැල් ගායනයෙන් දායක වූ රෝහණ වීරසිංහ, සුනිල් එදිරිසිංහ, ලක්ෂ්මන් විජේසේකර, බන්දුල විජේවීර,  එඩ්වඩ් ජයකොඩි, ආනන්ද වීරසිරි, නිර්මලා රණතුංග, ඉන්දීවරී අබේවර්ධන ආදීන් හතළිස් වසරකට පසු  අද දවසේ ප්‍රවීන ශිල්පීන් වුවද, එදා පළමු ප්‍රසංගයේ මෙන්ම ඊයේ රාත්‍රියේද වික්ටර්ට අත්වැල් ගායනය කරමින් රසික සිත් ආනන්දයෙන් ප්‍රමුදිත කළහ.


එපා හිරු පායන්න
අදින් පසු මගෙ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා
මගෙන් ඈ සමුගන්න


සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නොනඟින්න
වෙලී යුගඳුරු සතර
අනු දිසා ගිලගන්න
ගලා යන නදී දොල... මිදී..
මිදී නැවතී ඉන්න


ලිය මඩුලු තුරු සිරස
එපා මල් පළඳන්න
වසන්තය නිමා විය
කොවුලනේ ගොලු වන්න
සොබාදම් නෑ සියනි... සැලී...
සැලී කම්පා වන්න


ගේය පද: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය සහ ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක


රාත්‍රිය ‍හිමිහිට නැගෙද්දී වික්ටර් බින්දුමතී ගීය ගැයෙන විට ඒගැයෙන්නේ අවසන් ගීයට පෙර ගීය බව මට හැගුණි. ආරම්භය මෙන්ම අවසානයේද අපි ඔක්කොම රජවරු ගීය ගැයුණි. මෙතෙක්වේලා දැහැන් ගතව හුන් සියලු රසික සමූහයා සිය අසුන් වලින් නැගී හිඳ විනාඩි දහයක් තරම් කාලයක් තිස්සේ වැයුණු අපි ඔක්කොම රජවරු ගීයේ ගී අනුවාදනයට අනුගත වෙමින් අත්පොලසන් දුන්නේ හැව්ලොක් ටවුම දෙදරා යන පරිද්දෙනි.

වියපත් තොටියා, ඔරුව සහ හබල :

දැන් ඉතින්  රාත්‍රියට මෙන්ම ඔහුටද සමු දිය යුතුය. වික්ටර් පුරා වසර හතළිහක් මුළුල්ලේ “ස” ප්‍රසංගය රට වටා මෙන්ම ලොව වටාද ගෙන යමින් රසික සිත් තුටු කළේය. ආනන්දයෙන් ප්‍රඥාවට කරා රැගෙන ආවේය. මිහිරිම ගීතයේ රුව ගුණ කියා දුන්නේය. ජනප්‍රිය මාවත කුමක්දැයි ගීතයෙන් ම කියා දුන්නේය.

සඳ හිරු තරු පවතින තුරු
ඔහු හතළිස් වසරක් පුරා රසිකයන් එතෙර මෙතෙර කළ ඔරුව ගං ඉවුර වෙත අවසාන වතාවට පදවාගෙන පැමිණියේය. නැවත දියත් නොකරන ලෙස ඔරුව ගං ඉවුරේ රඳවා හබලද ඔරු කඳ මත තැබීය.ඔරුවද හබලද තවමත් ශක්තිමත්ය.  පුරා හතළිස් වසරක් ඔරුව හබල් ගෑ තොටියා දැන් වියපත් බව ඔහුටම වැටහිණි. ඔරුවද හබලද භාරගන්නට කිසිවකු පැමිණ නැත. ගලා යන නිල් දියෙන් දෑත දොවා ගං ඉවුරෙන් මෑත්වී ආපසු එහා ඉවුර දෙස බැලූයේ එතෙර කරවන්නට තරම් තවත් කිසිවකු සිටීදැයි විමසා බලන්නට ය. කිසිවකු පෙනෙන්නට නැත.  ඔහු විසින් සාදා දුන් පාලමෙන් බොහෝ දෙනෙක් එතෙර මෙතෙර යන අයුරු දැක උපේක්ෂාවෙන් ඒ දෙස බලා සිටියේ ය.

පාවෙන වලා අතරින් තනි තරුවක් දැල්වී නෙතග පැටලෙයි. සිහිල් සුළං රැල්ලක් හමා එනු දැනේ. සියලු දේ අනියත බව කියා දුන් දෙව්රම් වෙහෙර හිමි වැඩ සිටි අයුරු සිහිවෙයි. සියලු සෝක සැනසුම් වේදනා අතරින් රත්තරං කෙණ්ඩියේ සිංහ තෙල් වගේ වූ ඔබේ මියුරු ගී සරය නැවත නැවතත් හිතේ දැවටෙයි. අඳුර බිඳින්නට රැය පුරා ලන්තෑරුම් එලි දැල්වී ඇත. හෙට හිරු තව දවසක් ගෙනාවද එය කෙසේ වේදැයි කිව නොහැක. ඒ නිසා ඔබ දැල්වූ ලන්තෑරුම් එළියෙන් බිඳක් ගෙන මමද ලුම්බිණියෙන් නික්ම යමි.


සටහන:
මේ සටහන කොටස් කීපයකට බිඳින්නට හිත ඉඩ නොදෙන නිසාත් එය එතරම් තේරුමක් ඇති වැඩක් යැයි නොසිතෙන හෙයින්ද  එක ලිපියකින්ම මේ සටහන තබමි. දිග වැඩි විම ගැන කණගාටු වෙමි.

ඔබේ වටිනා කාලය බිදක් වැය කර ගී රස විඳිමින් කියෙව්වාට  ස්තූතියි. වෙලාවක් ඇත්නම්  ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න
Related Posts Plugin for WordPress, Blogger...