එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Sunday 26 August 2012

෴ ඔබ එනතුරු මම තනියෙන් හිටියා ෴


                      ජෝතිපාල නැවත කියවමු - 04

කොපි ගීත හෙවත් ජෝතිමත් හින්දි  සහ දෙමළ ගී රාවය

අපේ සිංහල සිනමාව ආරම්භ වෙන්නෙ ඉන්දියානු සිනමාවෙ ආභාෂයෙන්. ඒකට ප්‍රධාන තම හේතුව වුණේ  අතීතයේ පටන් නැටුම ගැයුම සහ වැයුම කලාංග විදියට නියම ශාස්ත්‍රානුකූලව ලැබුණෙ  ඉන්දියාවෙන් නිසා. 1947 දි කඩවුණු පොරොන්දුව චිත්‍රපටය තිරගත විමත් සමගම සිනමාව කර්මාන්තයක් ලෙස  ලංකාවෙ ආරම්භ වූවද, මුල් යුගයේ සිනමාවට සම්බන්ධ සියළුම දේවල් සිදු වූයේ  ඉන්දියාවේ චිත්‍රාගාර සහ ශබ්ධාගාර ආශ්‍රිතවය. ජෝතිපාල පිළිබදව  ලියැවුණ මුල් ලිපි මගින් ඒ පිලිබඳව කතා කළෙමු.

ජෝතිපාල සම්බන්ධයෙන් ලියැවෙන මේ ලිපි මාලාව තුළ  තවම කතාබහට ලක් කරන්නෙ  ඔහුගේ 1956 -66 දශකය පිළිබඳවය. ඒ ජෝතිපාල ගායනයට පිවිසි මුල් අවුරුදු දහය තුළදී ජෝතිපාල චිත්‍රපට පසුබිම්  ගායන ශිල්පියෙක් ලෙස තම ස්ථාවරය සටහන් කරගත්තෙ  කොහොමද  කියන කාරණය පිලිබඳවය. ඒ නිසා ජෝතිපාලගේ ආරම්භක දශකය තුළ ඔහු ගොඩනගා ගත්  කොපි ගීත කලාව තුළ ඔහුගේ  ජෝතිමත් හින්දි සහ දෙමළ අනුකාරක කොපි ගීත ගැන කතා කරමු.

1960 න් ආරම්භ වූ දශකයේ දී  ඉන්දියානු සිනමාවෙ ආක්‍රමණශීලි බව ගිලිහී යමින් තිබුණි. ඒ යුගය වන විට ලංකාවෙ චිත්‍රපට නිෂ්පාදනය වෙනුවෙන් විශාල පිරිවැයක් දැරූයේ  ද්‍රවිඩ ජාතික චිත්‍රපට නිෂ්පාදකයන් වුවද,  ඒ චිත්‍රපට අධ්‍යක්ෂණය  සහ සංගීත නිර්මාණය කිරීමේ කාර්යය තරමක් දුරට දේශීය සංගීත අධ්‍යක්ෂවරුන්ට පැවරී තිබුණි. එය දේශිය නිර්මාණකරුවන්ට වාසිදායක තත්වයක් බවට පත්විය. ඒ යුගයේ සිංහල චිත්‍රපටවල පසුබිම් ගී ගැයිම  සදහා  තෝරාගෙන සිටි ඒ.එම්.රාජා, ජමුණා රාණි, ජික්කි, වැනි ගායක ගායකාවන් සමග  ගී ගැයිමට තරම් ගායක ගායිකාවෝ පිරිසක් ඒවන විටත් ලංකාවේ බිහිව සිටියහ.  මොහිදීන් බෙග්, ධර්මදාස වල්පොල, ලතා ප්‍රනාන්දු (වල්පොල) , ඉන්ද්‍රාණි, සිසිර, ජෝතිපාල, ඇන්ජලින්, සහ සුජාතා ආදී ගායක ගායිකාවෝ ඒ අතර වූහ.

එසේ වුවත් සිංහල චිත්‍රපට කර්මාන්තය ආදායම් උපයා ගැනීමේ මාර්ගයක් ලෙසට වාණිජමය පරමාර්ථයෙන් චිත්‍රපට නිෂ්පාදකයන්ට තිබූ අභිලාෂයන් මුදුන්පත්  කර ගැනිමට  අවශ්‍ය ඉලක්කය වූයේ චිත්‍රපටයට “නැගලා යන” ගීත ඇතුල් කිරිමය. චිත්‍රපටයේ කතා පුවතට අදාළ වූවත් නැතත්, චිත්‍රපටයට ගීත හතක් හෝ අටක්වත් ඇතුල් කිරිම චිත්‍රපට නිෂ්පාදකයාගේ එකම බලාපොරොත්තුවය. කතාවේ අන්තර්ගතය හොඳ හෝ  නරක කුමක් වුවද, චිත්‍රපටය නැරඹිමට පැමිණි ප්‍රේක්ෂකයාගේ ගැලරියේ විසිල්පාර මගින් ඔහුගේ මනසේ සදා නිදන් ගත වන  ගී චිත්‍රපටයට ඇතුල් කිරිමට නිෂ්පාදකයා වග බලා ගත්තේය. ඒ නිසා ගීත තනු ඉතාම මිහිරි වුවද ඇතැම් ගී පද රචනා හිස් සහ බොල් වචන වූ බව නොකියා සිටිය නොහැක. ඒසේ වුවත් ඒ බොහෝ ගීත දශක පහක් පසුකරමින් අදටත් ජනප්‍රියත්වයේ හිනිපෙත්තතෙහි රැඳී ඇත්තේ ගී තනුවල තිබූ මිහිර බවත්, ගී පදමාලාවල තිබූ සරල බවත් නිසාය.

ඒ නිසාම ආර්. මුත්තුසාමි, එම්.කේ රොක්සාමි, මොහමඩ් සාලි,  මොහමඩු ගවුස් වැනි ඉන්දියවෙන් ලංකාවට පැමිණ පදිංචි වූ සංගිතවේදීන් පවා දේශීය ස්වතන්ත්‍ර ගීත නිර්මාණය කරන ගමන්ම වැඩි වශයෙන්  ඉන්දි‍යවේ ජනප්‍රිය වූ චිත්‍රපට ගීත කොපි ගිත බවට පත්කර අපේ ගායක ගායිකාවන් මගින් ගායනා කරවීමය. කොටින්ම කිවහොත් මෙ මගින් සිදුවූයේ  දෙමළ සහ හින්දි ගී තනු වලින් හැදුණ කොපි සිංදු කලාවක් මෙරට බිහිවිම ය. ඒ සඳහා හොදම නිදසුනක් ලෙස “හොඳ සිරියාවයි ආකාසේ”  නම් වූ මේ ගීය අසා  බලන්න.

ජෝති  - ඇන්ජලින් එළිමහන් වේදිකාවේ
ඉතාමත් ජනප්‍රිය හින්දි චිත්‍රපටයක්  වූ “ආඕ ප්‍යාර් කරේං” චිත්‍රපටය සඳහා ශංකර් ජායි කීෂන්  සංගීතවත් කළ මහේන්ද්‍ර කපූර් සමග සුමන් කළ්‍යාණ්පූර් ගැයූ “ ජබ් සේ බනී හේ දුනියා” නැමති ගීයෙන් උපුටාගෙන  ස්වීප් ටිකට්  චිත්‍රපයට ඇතුළත් කර ඇති බව ඉන්දියානු සිනමාවේ දහතුන් වන භාෂාව කෘතියේ සුනිල් මිහිදුකුළ කර ඇති සඳහන  මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ද  සිංහල චිත්‍රපට ගීතාවලියේ තහවුරු කරයි. මේ ජෝතිගේ පළමු දශකයේ එන අද දක්වාම අතිශය ජනප්‍රිය වූ එක ගීයකි. චිත්‍රපටයේ ඇතුළත්ව තිබූ ගීයේ දෙවන අන්තරා කොටස් දෙක කිසියම් මග හැරීමක් නිසා ජෝතිපාල පසුකාලිනව ගැයූ  මේ ගීයට ඇතුළත්ව නැත.  ඒ වෙනුවට පළමු අන්තරා කොටසම ඇතුළත් වී ඇත.


හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ...

හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ...

අපෙ ආදරේ.. ආදරේ.. අපෙ ආදරේ...

පෙම් සුව විදිනු වගේ
ප්‍රීතියක් ඇත්තෙ නෑ
මගෙ හද පෙම් රස උතුරන්
මෝරලා එයි සෙනේ

රැල්ලයි වෙරලයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ

අපෙ ආදරේ.. ආදරේ.. අපෙ ආදරේ...

පෙම් සුව විදිනු වගේ
ප්‍රීතියක් ඇත්තෙ නෑ
මගෙ හද පෙම් රස උතුරන්
මෝරලා එයි සෙනේ

රැල්ලයි වෙරලයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ

අපෙ ආදරේ.. ආදරේ.. අපෙ ආදරේ...


ගීත පබැදුම: සිරිල් ඒ. සීලවිමල
ගැයුම: එච්.ආර්.ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
චිත්‍රපටය: ස්වීප් ටිකට්
අධ්‍යක්ෂණය: ෆ්ලොරීඩා ජයලත්
තිරගත වූ වසර  :1965


ඒ කොපි ගීත කලාව තුළ වුවද බාල හෝ අවර ගණයේ නිර්මාණ බිහිවූයේ නැත. උසස් කර්ණරසායනයෙන් පිරුණ මධුර හින්දි සහ දෙමළ ගීතවල තනු  උසස් මට්ටමින් යුතුව ඉන්දීය ශබ්ධාගාරවල පටිගත කීරීමෙන් පසු  සිංහල චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයන්ගේ රස නහර තුළට කිඳා බැස්සේ ය. ඒ අයුරින්  ඒ යුගයේ ගී චිත්‍රපට පසුබිම් ගී ගැයිමට සිටි ජෝතිපාලට සිදු වූයේද වැඩි වශයෙන් ඒ කොපි ගීත ගායනා කිරිමය.

මතු දැක්වෙන “ චන්ද්‍රා මෙ රෑ පායා ආවා” ගීතය ද එවැන්නකි. මේ ගීතය ආර්. සුදර්ශනම් සංගීතවත් කළ ඉන්දියානු ද්‍රවිඩ චිත්‍රපටයක් වූ “නානුම් ඔරු පෙණ්” චිත්‍රපටයට ටී.ඇස්. සෞන්ද්‍රරාජන් සහ පී. සුසිලා  ගැයූ “ පූ පෝල පූ පෝල පිරක්කුම්” යන දෙමල ගීතයෙන් ද, එහිම හින්දි චිත්‍රපටය වූ “මෛං හී ලඩකී හූං” චිත්‍රපටය සඳහා චිත්‍රගුප්ත සංගීතවත් කළ ලතා මංගේෂ්කාර් සමග පී.බි. සිරිනිවාස් ගැයූ “ චන්ද්‍රා සෙ හෝ ගා වො ප්‍යාරා” නැමති ගීයෙන් උපුටාගෙන “සත පණහ” චිත්‍රපයට ඇතුළත් කර ඇති බව ඉන්දියානු සිනමාවේ දහතුන් වන භාෂාව කෘතියේ සුනිල් මිහිදුකුළ කර ඇති සඳහන  මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ද  සිංහල චිත්‍රපට ගීතාවලියේ නැවත තහවුරු  කරයි. මේ ජෝතිගේ පළමු දශකයේ එන අද දක්වාම අතිශය ජනප්‍රිය වූ ඒ ගීයයි.

චන්ද්‍රා මෙ රෑ පායා ආවා
හර්දේ පෙමින් නාව නාවා

මේ ආදරේ වාසනාවන්
දුක් වේදනාවන් නිවේවා


 ඔබගේ සිනාවෙන්  මුලාවී
මේ රෑ පවා මල් පිපේවි

රන් තාරකාවෝ සිනාසී
ප්‍රේමේ අමා ගී ගයාවී

ආසාව ආවාද මෝරා
සැමදාම ඔබ මාගෙ වේවා


සතුටයි සැපයි ඔබය මාගේ
ඔබ පෙම්වතී පෙම්වතාගේ

අරගන්න ඔබෙ දෑත සුරතල්
දෛවේ මගේ පිහිට වේවා


ගීත පබැදුම: හර්බට් ඇම් සෙනෙවිරත්න
ගැයුම: එච්.ආර්.ජෝතිපාල සහ සුජාතා අත්තනායක
සංගීතය: ආර්. මුත්තුසාමි
චිත්‍රපටය: සත පණහ
අධ්‍යක්ෂණය: ඇම්.ඇස් ආනන්දන්
තිරගත වූ වසර  :1965



ලතා මංගේෂ්කාර් සමග පී.බි. සිරිනිවාස් ගැයූ “ චන්ද්‍රා සෙ හෝ ගා වො ප්‍යාරා” හින්දි මුල් ගීතය මෙතනින් අහන්න.


කෙසේ වුවත්  ජෝතිපාල තමන් අතට පත්වූ හැම ගීයක්ම ඉතා මිහිරට ගායනා කර ඇති බව නිසැකය. ඒ වන විට සිනමා‍වට නොතිබූ සිනමා රූපී  ගැඹුරු හඬත්, චිත්‍රපටයේ රංගන ශිල්පියාට අවශ්‍යම පසුබිම් හඬ  ජෝතිපලෙගෙන් මතුවන්නට වූ නිසාම ජෝතිපාලගේ ගීත රසික මනසේ තැන්පත් විය. ජෝතිගේ පළමු දස වසර තුළ ඔහුට ස්වතන්ත්‍ර ගිත හතරකකටත් අඩුවෙන් ගැයිමට ලැබුණත් එකී කාලය තුළ චිත්‍රපට පසුබිම් ගීත වශයෙන් කොපි ගීත විශාල සංඛ්‍යාවක් ගැයුවේය. එයින් සියයට 60 කට වැඩි ප්‍රමාණයක් අතිශය ජනප්‍රිය ගීත වූ බව පැහැදිළිය.

මේ හින්දි සහ දෙමල ගී තනුවලට සිංහල වචන යොදා සියළු ගීත තනුවට ලියා තිබුණද ග්‍රාම්‍ය ගීත පදමාලා සේ පෙණුනද, ඒවා ඉතාම සුමිහිර ගී පදමාලා බවට පත්වී ඇත. මේවා සරල ආකෘතියෙන් ලියැවුණද සම්භාව්‍ය ගණයට නොවැටුණේ කොපි ගීත වූ නිසා ය.


කොතැනක හිටියත් ඔබ මෙලොවේ
දිගුකල් ජීවත් වෙන්න කෝ
මගේ සිතට සැනසුම ගෙනදී
දිගුකල් ජීවත් වෙන්නකෝ
රැකගෙන මංගල මුදුව අතේ
දිගුකල් ජීවත් වෙන්නකෝ


හිටියත් කිසිවකු මෙහි ඔබ පතලා
දුටුවත් ඔහු  ඔබෙ ලස්සන මැවිලා
සිහිකෙරුවත් පසුගිය දේ හිතලා
සිරිකත මෙන් ඔබ
දිගුකල් ජීවත් වෙන්න කෝ


ඔබ එනතුරු මම තනියෙන් සිටියා
ඔබ වෙන කිසිවකු සමගින් ආවා
ඔහු දිවි රැකුමට මට වර ලැබුණා
පිරිසිදු ලිය ඔබ
දිගුකල් ජීවත්වෙන්නකෝ

දැල් වු පහන දැල්වෙන්නට හැරලා
අඳුරු නිවස ආලෝකය කරලා
ඔබෙ පෙම්බර සැමියගෙ පණ රැකලා
ගුණවන්තිය ඔබ
දිගුකල් ජීවත්වෙන්නකෝ


ගීත පබැදුම: චිත්‍රානන්ද අබේසේකර
ගැයුම: එච්.ආර්.ජෝතිපාල
සංගීතය: මොහොමඩ් සාලි
චිත්‍රපටය: සැමියා බිරිඳගේ දෙවියාය
අධ්‍යක්ෂණය: W.M.S.තම්පෝ
තිරගත වූ වසර  :1964

මේ ආකාරයෙන් ජෝතිපාල චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස ගැයු හැම ගීයක්ම ජනප්‍රිය වෙන්න පටන්ගෙන තිබු නිසා රසිකයන්ද ප්‍රිය කලේ චිත්‍රපටයේ රගපෑ නළුවාගේ  ගීතය ජෝතිගේ ගැඹුරු හඬින් අසීමට ය. කෙසේ වුවත් ජෝතිපාලගේ එම සංගීත ගමනේ පළමු දශකයේ ඉතාමත් ජනප්‍රිය වූ අනුකාරක හින්දි සහ දෙමළ අතරින් තෝරාගත් කොපි ගීත කීපයක් මෙසේ දක්වමි.

·        සීත සුනිල් දිය දහරා -  දෙයියන්ගෙ රටේ  චිත්‍රපටය 1958
·        කොල කඩ කඩ බොරුවට දෙනවා -  වන මෝහිනී 1958
·        වාසනාව පෑදේවී - දස්කම  චිත්‍රපටය 1958
·        ප්‍රේමේ  දීපශිඛා  - දීපශිඛා චිත්‍රපටය 1963
·        හිතේ දුකක් නැති මිනිහා - සිතක මහිම චිත්‍රපටය 1964
·        මෙ ලෝකේ සියල්ලෝ - ස්වීප් ටිකට් චිත්‍රපටය 1964
·        තරුණ නෙත් ජය මංගලේ - ඇතුල්විම තහනම්  චිත්‍රපටය 1966
·        ලැසි ගමනින් යන හනිකේ - ඇතුල්වීම තහනම්  චිත්‍රපටය 1966
·        ජීවිතේ වසන්තේ - ඇතුල්වීම තහනම්  චිත්‍රපටය 1966
·        මේ රාත්‍රියේ මධු ස‍ඳෙන් - සුදු දුව  චිත්‍රපටය 1966
·        අවා සොයා ආදරේ -  සුදු දුව  චිත්‍රපටය 1966

ජෝතිමත් යුග ගීය. ...ජෝතිපාල, ඇන්ජලීන්, සුජාතා, ලතා..
මේ ආකාරයෙන් ජෝතිපාල ගැයූ අනුකාරක කොපි ගීත සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහල අගයකට ළංවෙද්දී මේ ගීත අතුළත් චිත්‍රපටවලට සමගාමීව, හිස් මාස්ටර් වොයිස්, (HMV),  කොළම්බියා, ආදී  ග්‍රැමෆෝන් ගී තැටි වෙළඳපොළට නිකුත් විය. ගමේ තිබුණ මගුල් ගෙදරක සවි කළ ලවුඩ්ස් ස්පීකරයෙන්  මුලු ගම පුරාම විසිරී ගියේ ජෝතිමත් මිහිරක් මවාදුන් මේ ගීතය. ඒ නිසාම ඒවා තුඩ තුඩ රැව් දුන් ගිත බවට පත්විය.

මතු දැක්වෙන ගීතය “රාජ්කුමාර්” හින්දි  චිත්‍රපටයට ෂංකර් ජායිකිෂන් ගේ සංගීතයට ලතා මංගේෂ්කාර් ගැයූ “ආජා ආයි බහාර්” ගීයෙන් පී.එල්.ඒ. සෝමපාලයන් හැදූ සිංහල කොපි ගීතය වූ  ‍”ආවා පෙම්වතා” ගීතයයි. මේ ගීය ඇතුළත් වූ  ස්වීප් ට්කට්  චිත්‍රපටයට ‍ගීත 08 ක් ඇතුළත් විය එයින් 04කම ජෝති ගැයූ ගීත වූ අතර ඒ සියල්ල ජනප්‍රිය ගීත බවට පත්විය.


ආවා පෙම්වතා යන්නේ යන්නේ ඇයි ඔයා
දෙන්නකෝ පෙම් සිනා ආදරෙයි කියා

සුළඟක් හමාවී සිසිලක් දැනේවී
සුදු සඳ හාමී මට හිනැහේවී

ඔබගේ පෙම් සිනා අතරේ හැංගිලා
එන්නයි මා සොයා ඉන්නේ ඒ බලා

ඉවසන්න වේවි සැනසිල්ල ඒවි
ලැජ්ජාවෙ දැන් නම් මගේ පණ යාවි

සඳුගේ රැස් වලා අතරේ හැංගිලා
ඉන්නේ දැන් මෙහේ ඔයයි මමයි තමා

දෑසින්ම නොබලා ඈතින් නොඅල්ලා
ඈතින්ම රැඳිලා සැපතා නොවේවි

පායා චන්ද්‍රයා  දීලා පෙම් සිනා
යාවී හැංගිලා ආදරෙයි කියා


ගීත පබැදුම:  ඩබ්ලිව්. විල්ෆ්‍රඩ් සිල්වා
ගැයුම: එච්.ආර්.ජෝතිපාල  සහ සුජාතා අත්තනායක
සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
චිත්‍රපටය: ස්වීප් ටිකට්
අධ්‍යක්ෂණය: ‍ෆ්ලරීඩා ජයලත්
තිරගත වූ වසර  :1965

ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ “රාජ්කුමාර්”  චිත්‍රපටයට ෂංකර් ජායිකිෂන් ගේ සංගීතය ලතා මංගේෂ්කාර් ගැයූ “ආජා ආයි බහාර්”  හින්දි ගීය මෙතනින් අහන්න

  මේ  අනුව ජෝතිපාලගේ පළමු දශකය තුළ  ඔහුට ගැයිමට ලැබුණ බහුතර සිංහල චිත්‍රපට පසුබ්ම් ගී සංඛ්‍යාව තුළ ඔහු ගැයූ  සියළුම  ප්‍රේම ගීත විය. ඒවා ඉතාම  ග්‍රාම්‍ය මට්ටමක පැවතියත්, ඒ ප්‍රේම ගීත ඉතාමත් සරල බසකින් යුක්ත විම හේතුවෙන් ඒ ගී වලින් මතුවූ සෘංගාර රසය චිත්‍රපට ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත් කළේය. ඒ නිසා චිත්‍රපට නිෂ්පාදකවරු සිය චිත්‍රපටයේ ප්‍රේම ගීය ජෝතිපාලට වෙන්කිරීමට තරම් ප්‍රවණතාවයක් ඒ වන විට ජෝතිපාල වටා ගොඩ නැංවිමට ඒ ගීත හේතු විය.

ඒ අකාරයෙන් “සිරියමේ සාරා”  ගීතයෙන් 1956 දී හින්දි සහ දෙමළ ගී තනුවකින් ඇරඹු ජෝතිපාලගේ  පළමු දශකය  මෙයින් අවසන් කරමි. ඊළගට එළඹෙන්නේ ජෝතිපාල ගී ගැයූ ඔහුගේ දෙවන දශකයයි. මෙහිදී, වෙළඳ ගී තැටි,  සරල ගීත සහ  ගීතයේ ස්වර්ණමය යුගයේ එනම් 1970 දශකයේ ජෝතිපාලගේ සංගීත භූමිකාව කෙසේ වූයේද යන්න ගැන ඉදිරි ලිපි වලින් විමසමු. ෴


ආශ්‍රිත ග්‍රන්ථ:

01.                         සිංහල චිත්‍රපට ගීතාවලිය -  මහාචාර්ය සුනිල් ආරියරත්න
02.                         සිංහල චිත්‍රපට ගීත සාහිත්‍යය  - සමන්ත හේරත්
03.                         ඉන්දියානු සිනමාවේ දහතුන් වන භාෂාව - සුනිල් මිහිදුකුළ

විශේෂ ඡායාරූප දෙක: 

ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ facebook අඩවියෙනි


ඔබේ හිතේ ජෝතිපාල පිලිබඳව විචාරාත්මක අදහසක් හෝ මේ ලියූ දේ ගැන විචාරයක් ඇත්නම් ලියන්න. කැමති විදියට ලිවිමට ඔබට නිදහස ඇත.


Sunday 19 August 2012

෴ පෙම් ලෝකේ ගිනි දැල්ල ෴



                

ජෝතිපාල නැවත කියවමු තුන්වන කොටස

දසවසරට ස්ව තන්ත්‍ර ගී හතරයි

ජෝතිපාල නැවත කියවමු  ලිපි මාලාවෙන් අපේක්ෂා කරන්නේ ගායන ශිල්පියකු වශයෙන්  ජෝතිපාල පිළිබඳව අප වටහා නොගත් එහෙත් පොදු ජනතාව වටහාගත් සංගීත සංස්කෘතියේ අරුත විමසා බලන්නට  ය. එමගින් ජෝතිපාල අනුගමනය කළ සංගීත ශෛලිය  සහ ඔහුගේ සංගීත භාවිතය තුළ ඔහු නියෝජනය කළ කලාව කුමක්ද යන්න නැවත විමසා බලන්නට ය. 

මේ ලිපි මාලාව ඉතා දීර්ඝ එකක් වුවද,  අප තවම සිටින්නේ ජෝතිපාල ගී ගැයීම ඇරඹූ ඔහුගේ  පළමු දශකය තුළ ය. එනම් 1956 -1966 දශකය තුළ ය. මේ දශකය තුළ ජෝතිපාල චිත්‍රපට පසුබිම් ගායකයෙක් වශයෙන් ස්ථාවරත්වයක් ගොඩ නගා ගත්තද ඔහුට දශකයක් තුළ ස්වතන්ත්‍ර ගී තනුවලට ගී ගැයීමට ලැබෙන්නේ ගීත හතරක් හෝ පහකටත් අඩුවෙනි. එහෙත් මේ කාලය තුළ ඔහු ගැයූ  හින්දි සහ දෙමල කොපි ගීත විශාල ප්‍රමාණයක් චිත්‍රපට පසුබිම් ගී වශයෙන් බිහිවිය. එසේ වුවත් මේ දශකයේ ජෝතිපාල ගැයූ ස්වතන්ත්‍ර ගීත නිර්මාණ සහ ඒ ගීත සඳහා ඔහුගෙන් ලද දායකත්ව කෙබඳු දැයි විමසා බැලිම අද අස්වැන්නේ අපේක්ෂාව යි.

1956 – 66 දශකය තුළ ලංකාවේ බිහිවු චිත්‍රපට වලින් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් විසින් නිර්මාණය කරන ලද ඒවා ය. එසේත් නැත්නම් හඬ කවන ලද ඉන්දියානු චිත්‍රපට ය. ඒ නිසාම ඒ චිත්‍රපටවලට සංගීතය සැපයූ වේ ඉන්දියානු සංගිතඥයන් විසිනි. මේ කාලය තුළ  දේශීය සිනමාව වෙනුවෙන් පෙනී සිටින්නට ඉඩ ලැබුණේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් දෙතුන් දෙනෙකුට පමණි. ඔවුන්ගේ එම චිත්‍රපටවල සංගීතය සහ ගී තනු නිර්මාණය කරන ලද්දේ ලාංකීය සංගීතඥයන් විසිනි.

ඉන්දියන් සංගිතඥයන් කළේ හින්දි සහ දෙමළ ගී තනු අනුව කොපි කල ගීත මාලාවක් සිංහල චිත්‍රපටවලට සැපයීම ය. දේශිය සංගීතඥයන්ට ඉඳහිට හෝ සංගීතය සැපයීමට ලැබුණ  චිත්‍රපටවලටද කොපි ගීත දුසිම් ගණනින් ඇතුල් කිරීමට සිදු වූයේ ඔවුන්ගේ වරදින් නොව,  චිත්‍රපට නිෂ්පාදකයාගේ කැමැත්ත අනුවය.  චිත්‍රපට නිෂ්පාදකයාගේ බලාපොරොත්තුව ඉටු කිරීම හැර චිත්‍රපට අධ්‍යක්ෂකට මෙන්ම සංගිතඥයාටද ගත හැකි අන් මගක් නොතිබුණි. ඒ නිසාම දේශීය චිත්‍රපට අධ්‍යක්ෂකවරු මෙන්ම සංගීත අධ්‍යක්ෂකවරුද  චිත්‍රපට නිෂ්පාදකවරු ඉදිරියේ අසරණ වූහ.

කෙසේ වුවත්, ඉන්දියන් සංගිතඥයන් අතරින්  සදාජ් හුසේන් පමණක් සිංහල ස්වත්ත්‍ර ගීත නිර්මාණය කිරිමට පෙළඹීම මේ යුගයේ වැදගත් සිදුවීමකි.  ඔහු උතුරු ඉන්දියානු සංගීතඥයෙක් වුවද ලංකාවේ සංගීතය පිළිබඳව වැඩි උනන්දුවක් දැක්වීම නිසා ඔහුගේ ස්වතන්ත්‍ර  ගී තනු සහ සංගීත නිර්මාණ සියල්ල  සිංහල සිනමාවට ආලෝකය ගෙන දුන්නේ ය.

මේ යුගයේ සිංහල සිනමාවේ ස්වතන්ත්‍ර   ගී තනු නිර්මාණය කිරීමේ විශිෂ්ඨයෙකු වූ ෂෙල්ටන් ප්‍රේමරත්න වැනි සංගීතවේදීන්ට පවා  කරට කර හැපෙමින් ඉන්දීය සංගීතඥයන් සමග දස්කම් දක්වන්නට ලැබුණේ ඉතාම අල්ප වශයෙනි. එසේ වුවද ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ඒ යුගයේ සංගීතය සැපයූ “එකමත් එක රටක, මා ආලේ කළ තරුණිය  සහ වන මල” වැනි චිත්‍රපටවලට  ඔහු හැදූ ස්වන්ත්‍ර ගී තනු සියල්ල අපතේ ගිය බවත්, ඒ එසේ වූයේ ඒ  ගීත ලංකාවේදී පටිගත කිරීම්වල තිබූ  දුර්වලතාවයන්  බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සඳහන් කරයි.

ගැහැනු ගැට චිත්‍රපට සදහා ෂෙල්ටන් ප්‍රේමරත්නයන් නිර්මාණය කළ ගී තනු ඉතාමත් මිහිරි ගී තනු වූවා සේ ම ඒවා ස්වතන්ත්‍ර ගී තනු විය. ගීත 10 කින් යුතුව 1959 දි තිරගත වූ ගැහැනු ගැට චිත්‍රපටය සදහා ෂෙල්ටන් ප්‍රේමරත්නයන් මුල් වරට එච්. ආර්. ජෝතිපාල දායක කරගත්තේ ය. ඒ ගැහැනු ගැට චිත්‍රපටයේ යුග ගීතයක් සදහා ය.  සහාය ගායනයෙන් දායක වූයේ ඇන්ජලින් ද ලැනරෝල් ( ඇන්ජලින් ගුණතිලක) ගායන ශිල්පිණියයි. ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සිය චිත්‍රපටය සදහා නිර්මාණය කළ “ ආලේ මිහිර පෙන්නා” ගීතය එදා මෙදා තුර ජෝතිපාල - ඇන්ජලීන් ගැයූ ගී අතර ඉතාමත් රසවත් අනගි සංගිත සංයෝජනයකින් යුත් ස්වතන්ත්‍ර ගීයකි.

ෂෙල්ටන් ප්‍රේමරත්නයන් චිත්‍රපට සේම වේදිකා නාට්‍ය රැසක සංගීතය අධ්‍යක්ෂණය කළ අති දක්ෂ සංගීත වේදියෙකි. ඔහු අතින්  සංගීත නිර්මාණය වූ ජනප්‍රිය  සරල ගී රැසකි. ‍ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සංගීතය සැපයූ වේදිකා නාට්‍ය අතර හෙන්රි ජයසේනගේ “හුණුවටයේ කතාව” සුවිශේෂී නාට්‍යයක් වෙයි. ෂෙල්ටන් ප්‍රේමරත්යන් මේ වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටී. ඔහු  එරට ශ්‍රී ලාංකික දරු දැරියන්ට සංගීත දැනුම බෙදා දෙන  සංගීතවේදියෙක් බවද කෙටියෙන් හෝ සදහන් කරමි. මේ ඔහු විසින් නිර්මාණය කළ ජෝතිපාල - ඇන්ජලින් ගැයූ ඒ මියුරු ගීයයි.

ආලේ මිහිර පෙන්නා -  සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් - පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරුලිය - මාරුතේ සැලෙන්නා... හෝ... මේ..

ආලේ මිහිර පෙන්නා -  සියොතුන් නාද දෙන්නා
පොකුණු ජලේ සියපෙති පිපිලා දිලෙන්නා
පිල් විදහා මොණරුන්  ඒ බලා නටන්නා .. ඕ..

මුව පැටවුන් හා රඟන නිදැල්ලේ.. ඕ..
කුරුලු කතා ඇසේ අසල කැදැල්ලේ
ගිජිඳුන්ගෙ ආලෙන් වන මල් සිනාසේ
ආදරේ රසේ ඒ තමා ලොවේ

නාඹර ප්‍රේමේ ජයකොඩි බන්දා
මේ ප්‍රේම කිරුළ ඔබේ හිසේ පළන්දා
ජීවාභිෂේකෙන් සැතපී විනෝදෙන්
විදිමු ජීවිතේ ඒ අමා සුවේ...


ගීත පබැදුම: සිසිර කුමාර මානික්කආරච්චි
ගැයුම: එච්.ආර්.ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක
තනු නිර්මාණය සහ සංගීතය: ෂෙල්ටන් ප්‍රේමරත්න
චිත්‍රපටය: ගැහැනු ගැට
අධ්‍යක්ෂණය: ජ්‍යෝතීශ් සිං සහ  ටී.සෝමසේකරන්
තිරගත වූ වසර1959



කෙසේ වුවත් 60 දශකයේ ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකවරුන්ට මෙන්ම සංගීතඥයන්ටද,  සිංහල ගී ගැයූ ඉන්දීය ගායක ගායිකාවන්ටද,  රට තුළ විරෝධය මතු වූයේ ඉන්දීය ගායක ගායිකාවන් විසින් සිංහල චිත්‍රපටවල කැඩුණු සිංහලෙන් ගීත ගායනා කිරීම පිළිබඳවය.  එවකට මෙරට විසූ විචාරකයන්ගේ මතය වූයේ සියළුම චිත්‍රපට ගීත දේශීය ගායක ගායිකාවන් විසින් ගැයිය යුතු බව ය. මේ හේතුවෙන් ඉන්දියාවට ගොස් චිත්‍රපට නිෂ්පාදනය කිරීම තහනම් කිරීමේ නීති පනවන්නට එවකට පැවති රජයන්ට සිදුවිය.

ඒ හේතුවෙන් දේශීය චිත්‍රපට අධ්‍යක්ෂවරුන්  මෙන්ම සංගීත අධ්‍යක්ෂවරුන්  අතරද පිබිදිමක් ඇති විය. ඒ නිසාම දේශීය චිත්‍රපට නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු, සහ සංගීත අධ්‍යක්ෂවරු පිරිසක්ද මෙරට බිහි විය. මේ සංගීතඥයන්ට අනුකාරක කොපි ගීත කලාව  සමග ගැටෙමින් ස්වතන්ත්‍ර  නිර්මාණය කිරීමට සිදුවිය. මේ යුගයේම  චිත්‍රපට ප්‍රදර්ශනය ඇරඹීමත් සමගම චිත්‍රපටයේ ගී ඇතුළත් ගී පොතක් සිනමාහල් අසල විකීණීමත්, ඒ චිත්‍රපට ගීත ඇතුළත් ග්‍රැමෆෝන් ගී තැටි නිෂ්පාදනය වීමත්  බහුල වශයෙන් සිදුවිය.

ගුවන්විදුලියෙන් වාදනය වූයේ ද  චිත්‍රපට ගීත ඇතුළත් ග්‍රැමෆෝන් ගී තැටි ය. ඒ නිසා ම මේ ගීත බහුල වශයෙන් ජනතාව අතරට ගියේ ය. ඒවන විටත් ජෝතිපාල යන නම ජනතාව අතර මුල් බැසගත් වූ නමක් වී තිබිමත්, හොඳ නරක කුමක් වුවත්, ගී ඇසීමට ප්‍රිය කරන්නාවූ රසිකයෝ ජෝතිපාල ගැයූ මේ ගීත වලට තම පණ සේ ආදරය කිරිමට පෙළඹුණහ.

60 දශකය මැද භාගය වන විට බිහිව සිටි ෂෙල්ටන් ප්‍රේමරත්න, ආර්.ඒ.චන්ද්‍රසේන, මුත්තුසාමි, රොක්සාමි, අමරදේව, කේමදාස, ලයනල් අල්ගම, සිසිර සේනාරත්න ආදී සංගිතඥයන්ගේ සංගීත දායකත්වය කැපී පෙනෙන්ට විය.

සිසිර සේනාරත්න 
එහෙත් මෙකල්හි ජෝතිපාලට ගැයීමට වැඩියෙන්ම ලැබුණේ කොපි ගීත පමණි. ඒ සියල්ලක්ම ඉතාමත් ජනප්‍රිය ගීත බවට පත්විය. දේශීය ගායක ගායිකාවන් අතර  ජෝතිපාල සහ ඇන්ජලීන් අඩුවෙන්ම ස්වතන්ත්‍ර ගී ගැයූ ගායක ගායිකා යුවල විය.

ඒවන විටත් චිත්‍රපට පසුබිම් ගායකයකු සහ ගුවන්විදුලි ගායන ශිල්පියකු  ලෙස නමක් දිනා සිටි සිසිර සේනාරත්න “හඳපාන” චිත්‍රපටය සඳහා සංගීත අධ්‍යක්ෂණය කරමින් චිත්‍රපට සංගීතයට පිවිස සිටියේය.  සිසිරගේ සියළුම ගී තනු ස්වතන්ත්‍ර ගී තනු විය. ඒවා සියල්ලම ජනප්‍රිය ගී බවට පත්ව තිබුණි. සිසිර සංගීතය සැපයූ ‍ඔහුගේ දෙවන චිත්‍රපටය වූයේ ‘හිතට හිත” චිත්‍රපටයයි. එය තිරගත වූයේ 1965 දීය. චිත්‍රපටයේ ගිත 05 ක් තිබුණි. එක ගීයක් ගැයීමට සිසිර තෝරාගෙන තිබුණේ ජෝතිපාල සහ සුජාතා පෙරේරා ( සුජාතා අත්තනායක)  ගායක ගායිකා යුවලය.  සිසිර සංගීතය සැපයූ  “හිතට හිත” චිත්‍රපටයට ඔහු තැනූ මධුර ගී තනු අදට ද ජනප්‍රියය. ඒව වසර 45 කට වැඩි කාලයක් මෙරට ගීත ලෝලීන්ගේ තුඩ තුඩ රැව් දුන් ගීත බවට පත්ව තිබේ. ඒ නිසා සිසිර තනු හැදූ ජෝති -  සුජාතා ගැයූ මේ ගීය අපට දැනෙන්නේ අද ඊයේ ගැයූ ගීතයක්  සේ මය. ජෝති සුජාතා ගැයූ ඒ මධුර ගීය මෙයයි.

වන මලට ආශාවෙ වන බඹරා ආවා සේ
මම ප්‍රේමී ආවා සොයා... ඕ.. මේ.. ආවේ..

මද පවනේ සැනසිල්ලේ ඔබ තුරුලේ නැළැවිල්ලේ
මම මිහිර දෙන්නම් සදා

කුමුදිනිට සඳ වාගේ හැමදාම ඔබ මාගේ
මගේ පෙම් ලොවේ රාජයා... ඕ.. මේ.. ආවේ..

අතගන්න සැනසිල්ලේ නැළවෙන්න සුදු වැල්ලේ
ඔබ එන්නකෝ මා සොයා

පිළිගන්න මේ ආලේ දැන් නේද හොඳ කාලෙ
මනරංජනී වේ සුදා

ඔබ නේද සුර කෙල්ල පෙම් ලෝකේ ගිනි දැල්ල
රග දෙන්න මිහිරේ සදා

කුමුදිනිට සඳ වාගේ හැමදාම ඔබ මාගේ
මගේ පෙම් ලොවේ රාජයා... ඕ.. මේ.. ආවේ

සුවඳයි මලයි වාගෙ ඔබගෙයි මගෙයි ආලෙ
පවතීවා ලෝකේ සදා

පෙම් ලෝකෙ සිනමාවෙ රගපාන හැම වේලෙ
සුර සිහිනෙකි මේ සුදා...


ගීත පබැදුම: හර්බට් එම් සෙනෙවිරත්න
ගැයුම: එච්. ආර්.ජෝතිපාල සහ සුජාතා අත්තනායක
තනු නිර්මාණය සහ සංගීතය: සිසිර සේනාරත්න
චිත්‍රපටය: හිතට හිත
අධ්‍යක්ෂණය: කිංස්ලි රාජපක්ෂ
තිරගත වූ වසර  :1965



මේ ආකාරයෙන් ජෝතිපාලගේ ආරම්භක දශකය තුළ ඔහුට ගැයීමට ලැබුණ ගීත අතර ස්වතන්ත්‍ර ගිත පහකටත් අඩු විය. ඒසේ වුවත් ඒ සියලු ගීත එක් සේ එදා මෙදා තුර ජනප්‍රියත්වයට පත් විය.  ඒසේ වුවත් ඒ ස්ව තන්ත්‍ර ගීත සියල්ලම වැටුණේ ජෝතිගේ කොපි ගීත ගොඩටය. මේ නිසා ජෝතිපාලගේ හැකියාව පිළිබඳ නිසි විචාරයක් කෙරුණේ නැත. ඒසේ විචාරයක් කිරීමට තිබුණ අවස්ථාවන් පවා මග හැරුණේ  ඔහු ගැයූ හින්දි සහ දෙමළ කොපි ගී තනුවල තිබූ මිහිර සංගීතය සහ ජෝතිගේ හ‍ඬෙහි තිබූ ඉන්දියානු ගායන ශෛලිය නිසා යැයි මට සිතේ.෴


ආශ්‍රිත ග්‍රන්ථ:

01.                         සිංහල චිත්‍රපට ගීතාවලිය -  මහාචාර්ය සුනිල් ආරියරත්න
02.                         සිංහල චිත්‍රපට ගීත සාහිත්‍යය  - සමන්ත හේරත්
03.                         ඉන්දියානු සිනමාවේ දහතුන් වන භාෂාව - සුනිල් මිහිදුකුළ


ඔබේ හිතේ ජෝතිපාල පිලිබඳව විචාරාත්මක අදහසක් හෝ මේ ලියූ දේ ගැන විචාරයක් ඇත්නම් ලියන්න. කැමති විදියට ලිවිමට ඔබට නිදහස ඇත.

Related Posts Plugin for WordPress, Blogger...