එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Thursday 18 April 2013

෴ ජීවිතයට අරුතක් ෴



                          

                            මගේ ගම රෝගීව 

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය අතීතයේ පටන්ම වැව කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැගෙන  කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත්  ප්‍රදේශයක්. නුවර වැව, කලාවැව සහ පදවිය වැව වටා ගොඩනැගෙන ‍ඓතිහාසික නුවරකලාවිය වී ගොවිතැන ප්‍රධානම ආදායම් මාර්ගය කරගත්  බිම් ප්‍රදේශයක්.

ඒත් 1958 න් පසු ව ඇති වු  නව සමාජ දේශපාලනික විපර්යාසයන් හේතුවෙන් රජරට වැව කේන්ද්‍ර කරගනිමින් බිහි වූ ගොවි ජනපද ක්‍රමය නිසා කෘෂිකර්මාන්තය සිඝ්‍ර දියුණුවක් ලබන්න හේතුවක් වූවා සේ ම  අනෙක් අතට කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ගැමි ජනතාවගේ  නොදැනුවත් කම නිසා ම වර්තමානයේ දීර්ඝ කාලින රෝගීන් බවට පත්වන්නේ  පසුගිය දශක හය හමාරකට ආසන්න කාලයක් පුරා සිය ගොවිතැන් කටයුතු සඳහා ඉවක් බවක් නොමැතිව දිගු කාලිනව පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය  භාවිතා කිරිම හේතුවෙන්. 

එසේ ප්‍රමිතියකින් තොරව මෙරටට ආනයනයනය කරන කෘෂි රසායන ද්‍රව්‍යවල අඩංගු ආසනික්, රසදිය, කැඩ්මියම්, (බැර ලෝහ ) සහ යුරේනියම් (විකිරණ) වැනි උග්‍ර විෂ සහිත රසායන ද්‍රව්‍ය පොළව  මතුපිට ඇති වැව් , ගංගා, ඇළ දොළ, පොකුණුවලට  සේ ම භූගත ජලයටත් මිශ්‍ර විම ය. මේවා වරක් පරිසරයට ඇතුළු වූ  පසු ඉවත් නොවේ. විශේෂයෙන්ම මේ බැර ලෝහ ස්වභාවික පරිසර චක්‍රයේ ක්‍රියා කාරීත්වයට ඇතුළුවේ. 

මේ රටේත්  ජනතාවගේත්,  පරිසරයේත්  අවාසනාවකට එසේ  පරිසරයට ඇතුළු වන මේ විෂ සහිත බැරලෝහ මෙරටට ගෙන්වන  පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍යවල අඩංගුවේ. 1958 න් පසු බිහි වූ    ගොවි ජනපද  ක්‍රමය නිසා ගොවියෙකුට හිමිවන අක්කර එකක් හෝ දෙකක් වැනි කුඩා බිම් ප්‍රමාණයට එදා සිට මේ දක්වා යොදා ඇති පොහොර සහ කෘමි නාශක / වල් නාශක රසායන භාවිතා කර ඇති අයුරු මෙසේ ය.

යූරියා වර්ගයේ පොහොර  එක් කන්නයක් සඳහා එක ගොවියෙකු විසින් කිලෝ ග්‍රෑම් 150 බැගින් වසරකට කිලෝග්‍රෑම් 300 ගණනේ වසර 60 ක් කාලයකට එක් අක්කරයකට පො‍හොර මෙට්‍රික් ටොන් 18  හෝ ඊට වැඩි ප්‍රමාණයක්ද, එක් කන්නයක් සඳහා කෘමි නාශක මිලි ලිටර් 400 බැගින් වසරකට මි.ලී. 800 ක්ද ගණනේ වසර 60 ක් කාලයකට සදහා එක් අක්කරයකට ලීටර් 54 ක්ද භාවිතා කර ඇත. මේ අයුරින්ම වල් නාශකද යොදා ඇත.

ඒ නිසා සමස්ත රජරටම ගොවි බිමක් වූ විට එහි විනාශකාරී බව කොතරම්ද කියා ඔබටම වටහා ගත හැකිය. මේ හේතුවෙන් රජරට පො‍ළොවෙහි සහ පරිසරයේ විශාල වෙනසක් සිදුවී ඇත.  පානීය ජලය සපයා ගන්නා ළිං  ජලයේ පවා මෙම  රසායනික සංයුතියේ සාන්ද්‍රණය ඉහළ ගොස් තිබේ.

මුළු රජරට ප්‍රදේශයේම පානීය ජලයේ රසායනික සාන්ද්‍රණය ඉහල යාම හේතුවෙන් මේ වන විට විශාල වශයෙන් වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතී.  බොහෝ වකුගඩු රෝගීන් තමන්ට එවැනි රෝගයක් වැළඳී ඇති බව දැනගන්නා විට හෝ රෝහල්වල කෙරෙන පරීක්ෂණ මගින්  එකී රෝගී තත්වය නිශ්චිතවම වැළඳී ඇති බව තහවුරු කර  ගන්නා විට  ඔවුන්ගේ වකුගඩු වලින් 40% - 50% අතර ප්‍රමාණයක් අක්‍රිය වී අවසන්ය. යමෙකුට මේ රෝගය වැළඳුන පසුව නියතයෙන් ම හිමි වන්නේ මරණයයි. ඒ අනුව උතුරු මැද පළාතේ  ග්‍රාමීය ජනතාව උග්‍ර පානීය ජල ගැටලුවකට මෙන්ම දැන්  වකුගඩු අක්‍රිය වීමේ රෝගයට ද මුහුණ දෙමින් සිටී. 

එහෙත් මේ දක්වා රජරට ගැමි ජනතාව තව දුරටත්  සිය ගම්බිම්වල  ඇති ළිංවලින්  මෙන්ම වැව් , ගංගා, ඇළ දොළ, පොකුණුවලින් සිය පානිය ජල අවශ්‍යතා සපුරා ගැනිම හැර  වෙනත් කළ යුතු දෙයක් ඔවුනට නොමැත. එදා යුද්ධයේදී හඬ අවදිකළ රාජ්‍ය නොවන සංවිධාන පවා මේ මොහොතේ නිහඬය.

එදා කාලිංග මාඝ යුද්ධයෙන් පසු සියවස් ගණනාවක් අහිමි ව තිබූ රජරට සශ්‍රීකත්වයේ ශිෂ්ඨාචාරය යළි පණ ලැබූයේ 19 වන සියවසේ  සහ 20 වන සියවසේ දී ය. ඒත් ඒ ‍ඓතිහාසික ශිෂ්ඨාචාරය යළිත් රෝගී වෙමින් පවතී.  

මේ තත්වයෙන් රජරට ගැමි ජනතාව මුදවා ගෙන ඔවුන්ගේ රෝගී තත්වයන් ඔවුන්ගේ ගම්බිම් වලදීම  නිසි ලෙස හඳුනාගෙන නිසි ප්‍රතිකාර සදහා රෝහල්වෙත යොමුකළ යුතු වුවත් ඒ සදහා රාජ්‍ය යාන්ත්‍රණය තුළ නිශ්චිත වැඩ පිළිවෙලක් මෙතෙක් සංවිධානය වී නොමැත. 

 ඒ නිසා අනුරාධපුරයේ සියලුම ආගමික සහ නිකායික හිමිවරුන්ගේ සංවිධානයෙන් අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ  සහභාගීත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ  ගම්වලටම ගොස් ගම් මට්ටමින් සායන පවත්වා වකුගඩු රෝගීන් හඳුනාගෙන ඔවුන් නිසි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමේ  වැඩ පිළිවෙලක් නිර්මාණය වෙමින් පවතී. 

මේ වැඩ සටහනේදී ගම් මට්ටමෙන් පැවැත්වෙන  සායන වලදී පරීක්ෂණයට භාජනය වන ජනතාවට ඒ පරීක්ෂණ සඳහා අවශ්‍යවන සායන උපකරණ සපයාගැනිමට අරමුදලක් සකසා ගැනිම  පිණිස ජයතිලක බණ්ඩාරයන් ගී ගයන "ජීවිතයට  අරුතක්" සංගීතමය සැඳෑව  2013.04.27 වන සෙනසුරාදා පස්වරු 6.30 අනුරාධපුර ශාන්ත ජෝශප් දෙව් මැදුරු රංග ශාලාවේදී පැවැත්වේ.

ජනතාවාදී කලාකරුවකු , ගායන ශිල්පියෙකු ලෙස ජයතිලක බණ්ඩාරයන් සිය නිර්මාණාත්මක හඬ අවදිකරමින් නැවතත් රෝගී වූ රජරට මිනිසුන් වෙනුවෙන්  සිය දායකත්වය ලබාදිමට සූදානම්.  මීට පෙර ඒ අයුරින්ම එදා යුද්ධයට එරෙහිව යුද්ධයෙන් පීඩාවට පත්වු ජනතාව වෙනුවෙන් පෙනි සිටි ඔහු අද දවසේ වකුගඩු රෝගයෙන් පෙළෙන ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින  රජරට ජනතාව වෙනුවෙන් පෙනි සිටී. 

ඒ නිසා ජයතිලක බණ්ඩාරයන් ගී ගයන "ජීවිතයට  අරුතක්" සංගීතමය සැඳෑවට ඔබත් එන්න,  ඇවිත් ආලෝකයක් වෙන්න  ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින  රජරට වකුගඩු රෝගී ජනතාව වෙනුවෙන්. එවිට ඔබටත් දැනේවි,  ඇසේවි සුවහසක් දනන් අතරින් ප්‍රේමයේ මල් පිපි සිනාසී  රජරට  තැනිතලාවේ  වියළි බිම සිසාරා මේ  හමායන්නේ  ජීවිතය යදින මිනිසුන් උදෙසා නැගෙන  ඒ ඔහුගේම  හඬ නොවේද කියා...

                   පාට එලලුවන් පුතණුව මා දෙනුවන් වන්
                කොතැනද සිරස නමන්නේ
                ගුණැති පුතණුවන් පෙම්බර පාට එළලුවන්
                කොතැනද දෙදණ නමන්නේ
                කාටද දෝත නගන්නේ

                නීල කඳු  ළැමද අතරේ නිම්න භූමියේ
                මීරි මවු කිරෙන්  ඉහිරෙන වතුර උල්පතයි
                පුතකු සිරස නමන්නේ එතැනයි
                දෙතොල තෙමන්නයි.

                වියළි බිමේ නිදිකුම්බා කටු යහනාවේ
                මහ පො‍ළෝ ගැබේ ප්‍රේමය පිපී හිනාවෙයි
                පුතකු දෙදණ නමන්නේ එතැනයි
                එමල සිඹින්නයි

                පා පැකිළ වැටී බෙලෙසුන් වී අගාධයේ
                මිනිසත්කම දනින් හොවින දුක්බර යාමේ
                පුතකු දෝත නගන්නේ එතැනයි
                අත්වැල වෙන්නයි

                ගේය පද:  රත්න ශ්‍රී විජේසිංහ
                සංගීතය: විශාරද ගුණදාස කපුගේ
                ගැයුම:  විශාරද ගුණදාස කපුගේ සමග ජයතිලක බණ්ඩාර

                “පාට එළලුවන්” ගීතය මෙතනින් අහන්න
             
සටහන:

ජයතිලක බණ්ඩාරයන්ගේ සංගීත ගමන් මග පිළිබඳව සටහනක් තබාගෙන යන අතර තුර “ජීවිතයට අරුතක්” වැඩසටහන ගැන දැනගන්නට ලැබුණි. ජයතිලක බණ්ඩාරයන් තමන්ගේ රෝගී වූ ගම වෙනුවෙන් එසේ හඬ මුසු කරද්දී මමත් ඒ මගේ ගම වෙනුවෙන් මේ සටහන මෙසේ සටහන් කර තබමි.

සුවහසක් මිනිසුන් අතරින් සාධු ජනයා සොයා ගිය “සාධු ජන රාව” ඊළඟ කොටසින්...



Sunday 7 April 2013

෴ ජයතිලක බණ්ඩාර, ගුණදාස කපුගේ එක්ව හැදූ බයිලා ෴




 ජයතිලක බණ්ඩාර නම් ඔහු....( 2  වන කොටස )

එදා... අතුරුදහන් වූවන්‍ වෙනුවෙන් ජනතා අධිකරණය ක්‍රියාත්මක කරන්නට සූදානම්ව සිටියදී  නොසිතූ අයුරින් විශාල ජනකායක් රද්දොලුගම මංසන්ධියට රැස් වූහ. රජය විසින් රද්දොලුගම නිවාස සංකීර්ණයට හැරෙන මංසන්ධියේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම අත්හිටවනු ලැබීය. එසේම ජනතා අධිකරණයේ කටයුතු වලට විවිධ අයුරින් බාධා එල්ල කරන්නට විය. එයින් නොනැවතුන එවකට පාලකයන් එතැනට රැස්වූ සිවිල් ක්‍රියාකාරීන්ගේ තොරතුරු රැස්කිරීම, ඡායාරූප ගැනිම සඳහා නාඳුනන පිරිස් යොදාගෙන තිබුණි. ඔවුහු ඊට ඇතුළු වී ජනතා ක්‍රියාකාරීත්වයට දිගින් දිගටම බාධා පැමිණ වූහ.

පොලීසියටත්, නාඳුනන කණ්ඩායම් වලටත් ‍එරෙහිව අතුරුදහන් වූවන්ගේ සහ මරාදැමුනු පුද්ගලයන්ගේ පවුල්වල ඥාතීහු  ඊට විරෝධය පලකළහ. ක්‍රමයෙන් පොලීසිය, ආරක්ෂක කණ්ඩායම්  සහ නිරායුද සිවිල් වැසියන් අතර ගැටුමක් නිර්මාණය වන්නට විය. තව මොහොතකින් එම ස්ථානයේ ලේ වැගිරීමක් සිදුවිය හැකි බව ජයතිලක බණ්ඩාරයන්ට වැටහුණි. සැනෙකින් ක්‍රියාත්මක වූ ඔහු තහනම් කර තිබූ ශබ්ද විකාශන යන්ත්‍රය  ක්‍රියාත්මක කර මයික්‍රපෝනය අතට ගෙන ඒ අසල ඉදිකර තිබූ  අතුරුදහන් වූවන්ගේ ස්මාරකය වෙත ගියේය.  කිසිදු සංගීත ‍භාණ්ඩයක් හෝ මෙවලමක් නොමැතිව ඔහු සිය හඬ අවදි කළේ රග දෙන බයිලා කැසට් පටයට ඇතුළත් වූ  “ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා” ගීය ගැයීමෙනි. රැස්ව සිටි ජනතාව ඔහු කරා ඇදෙන්නට විය.පොලීසියත් නාඳුනන අවිගත් පිරිස්ද පසුබැස්සහ. එදා රද්දොලුගම මංසන්ධියට එක්වූ සිවිල් වැසියන්ට ජය අත්විය. ඒ එදා  ඔහු ගැයූ මේ ගීය නිසාය”..............



Saturday 6 April 2013

෴ හඬක් නැති මිනිසුන් වෙනුවෙන් නැගෙන ගී හඬ (2 වන කොටස) ෴





ජයතිලක බණ්ඩාරයන්ට සැබෑ ජනතා හිතවාදි කලාකරුවකු ලෙස මිනිසුන් වෙනුවෙන් හඬක් නගන්නට අලුතෙන් ශක්තියක් අවශය නොවේ. සමාජය ගමන් කරන දිශාව හඳුනා ගැනිමට අලුතෙන් සිතන්නට  අවශ්‍ය නොවේ. සිය ජීවිත කාලය පුරාම මිනිසුන් වෙනුවෙන් හඬ අවදිකරන්නට මිනිසුන් ඇසුරෙන් ලත්  අත්දැකීම් සියල්ල ඔහු ලද පන්නරයයි. ජනප්‍රියත්වය හුදු තාවකාලික ආභරණයක් පමණි. කිනම් මොහොතක හෝ එය  නැතිවී යාමට ඉඩ ඇත.  එහෙත් බොහෝ කලාකරුවන් ජනප්‍රියත්වය හඹා යද්දී, ඔ හු   අද දවසේ සමාජය යහපත් තැනකට යොමු කරන්න ගන්නා උත්සාහයක යෙදී සිටී. කලාකරුවක්ගේ පැවත්ම රඳා පවතින්නේ මුදල්  මත නොව මිනිසුන්ගේ හදවත්හි සදා ලැගුම් ගැනීමෙනි. ඔහු අපට කියා දෙන පණිවුඩය එයයි.

කම්පන ප්‍රසංගයට මුලපුරයි..

රජරට සේවයේ ස්වර්ණමය යුගය අවසන්ව කොලඹට පැමිණෙන ජයතිලක බණ්ඩාර , දිවුල්ගනේ, සහ කපුගේට  රජරට ගැමියන්ගේ දරිද්‍රතාවය ප්‍රකම්පිත වූ මේ  හිත්වලට දැනී තිබුණි. ඒ වන විටත් ඔවුන් තිදෙනාටම සාමූහිකව මෙන්ම තනි තනිවත් සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් යා හැකි තරම්  ගීත සංඛ්‍යාවක් ඔවුන් තිදෙනාම රැස් කර ගෙන තිබුණි. පර්යේෂණ මෙන්ම නව ආකෘති ඔස්සේ කරන ලද  විවිධ  අත්හදා බැලීම් වලින් නොයෙක් හැඩතල වලින් යුතුව නිර්මිත  ගීත රැසක්ම ඒ ගීත එකතූන් අතර තිබුණි.  ඒ සියලුම ගීත රජරට සේවය ඔස්සේ විකාශය වූ විවිධ සංගීත වැඩසටහන් වලට නිර්මාණය වූ ඒවා  බැවින් ඒ  සියල්ලටම ඉහළම රසික ප්‍රතිචාර හිමි ව තිබුණි. ඔවුන් කොළඹට පැමිණියේ එසේ රැස් කරගත් නිර්මාණද සමගිනි. 

ඔවුන් තිදෙනාටම අහිමි වූයේ සිය රැකියාවන්  පමණි.  එහෙත්  ඔවුන් නැගූ හඬට අගුලු ලෑමට නොහැකි විය.   ඉදිරියට කළ යුත්තේ කුමක්දැයි පිළිබඳව බොහෝ සංවාද විවාද ඇති වූයේ  ඒ වන විටත් රට පුරාම ගොඩ නැගි තිබුණේ දැඩි දේශපාලන ප්‍රචණ්ඩත්වයක් අභියස ය.  එදා ඒ වට පිටාව කොතරම් දුරට බිහිසුණු ව පැවතියේ ද කිවහොත් රජරට ප්‍රධාන මාර්ගයක වාහනයක් ධාවනය වූයේ කලාතුරකිනි. පාසැල පැවැත්වූ දින ගනනට වඩා වසා තිබූ දින ගණන වැඩිය. හවස් යාමය එළඹෙන විට නිවසක කුප්පි ලාම්පුවක්  පවා දැල් වූයේ නැති තරම් ය.

තැන තැන ටයර් මත දැවෙන මළ සිරුරු මෙන්ම, හිස සුන් මළ කඳන්ද මග දෙපස සුලබ දසුනක් විය. රට තුළ විසාලා මහ නුවරක සිරි ගෙන තිබුණි. ඒ වන විටත් ක්‍රියාකාරී දේශපාලයෙන් බැහැරව සිටියත් ජයතිලක බණ්ඩාරයන් ඇතුළු මේ කලාකරුවෝ රට වෙනුවෙන් එවන් මොහොතක  කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳව කතිකාවක් ගොඩනගමින් සිටියහ.

88 - 89 වර්ෂවල ජ.වි.පෙ. විසින් අරඹන ලද දෙවන සන්නද්ධ අරගලය පිළිබඳව ඉතාමත් විචාරශීලි ප්‍රතිපත්තියක් අනුගමන කළ ජයතිලක බණ්ඩාර ඇතුළු මේ කලාකරුවන් පිරිසට 71 දී සිදුවූ සිදුවීම් පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබුණි. සිවිල් ජනතාව අතරින් මතුවන සන්නද්ධ අරගලයත්, මහජන නැගිටීමත්,  යන කාරණා එකක් නොව දෙකක් බව ඔවුහු දැඩිව විශ්වාස කළහ. එදා 71 දී  උගත් පන්ති පහෙන් එහා ඒ කාරණා පිළිබඳව තරුණ පිරිස තුළ පවා ප්‍රබුද්ධ සංවාදයක් ගොඩ නොනැගිම තුළ 88 - 89 දෙවන සන්නද්ධ අරගලය ඔවුන්ගේ විවේචනයට බඳුන් විය. ඒ නිසා එදා ජයතිලක බණ්ඩාර ඇතුළු පිරිස සමග කටයුතු කළ නන්දන මාරසිංහ වැනි කලාත්මක හදක් තිබූ රසවතෙකුට පවා අත් වුයේ ඒ ඒ විචාර ඉවසුම් නොදුන් දෙවන සන්නද්ධ අරගලයට සම්බන්ධ වූ තමන්ගේම පන්තියේ මිනිසුන්ගේ රුදුරු වෙඩි පහරට ලක්වී මිය යාමටය.

කපුගේට ගීතමය තෑග්ගක්

සියළු දේ එසේ සිදුවෙමින් පැවතියදී ජයතිලක බණ්ඩාර ඇතුළු පිරිස කපුගේට යෝජනා කළේ  ගී ප්‍රසංගයක් මගින් ජනතාව අතරට ගොස් ඒ ඔස්සේ රටේ පාලකයන් විචාරයකට හසුකරගත යුතු බව ය. අරගලය කළ යුත්තේ කුමක් සඳහා දැයි ගීතයෙන්ම තරුන පිරිසට කියා දිය යුතු බවය. ප්‍රසංගයේ ආකෘතිය කෙසේ විය යුතුද, එහිදී ගැයිය යුත්තේ කෙබඳු ආකාරයේ ගීත මාලාවක් ද  යන්න පිළිබඳව බොහෝ කතාබහ ඇති විය.  ප්‍රසංගයේ ගැයෙන හැම ගීයකින්ම පාලකන්ගේ දැඩි අනම්‍යශීලි ප්‍රතිපත්ති නිසා රටක ජනතාව ව්‍යාකූලත්වයට පත්වන බව කියා දෙමින් ගැයෙන හැම ගීයක් ඔස්සේම රසිකයන් තුළ බුද්දිමය සංවාදයක් ඇති කළ යුතු බව සියළු දෙනාගේ ම මතය විය.

ප්‍රසංගයට ඇතුළත්විය යුතු ගීත අතරට කාලයේ රාවය ප්‍රසංගයට ගැයූ ගීත ද ඇතුළත් වු අතර ජයතිලක බණ්ඩාරයන්ට රජරට සේවයේ සරල ගීත වැඩසටහන් සදහහා කපුගේ සංගීත නිර්මාණය කර දුන් ජනප්‍රිය ගීත කීපයක් තිබෙන බව පෙන්වා දුන්නේය. එදා රජරට සේවයේ ඉතාමත් ජනප්‍රිය ගීත බවට පත්ව තිබූ ජයතිලක බණ්ඩාරයන් ගැයූ  මේ ගීත ගැන නැවත අවධානයක්  ඇති විය.

දොඹ මල් කැලෑවේ බමරුන් වැයූ

කවියක් වගේ ආදරේ

අත්වැල් බැදන් යන්න ළංවී ළඟින් එන්න

සංසාර ගිරි දුර්ගයේ

ගීපද: වසන්ත බණ්ඩාර දිසානායක, සංගීතය : ගුණදාස කපුගේ , මුල් ගැයුම : ජයතිලක බණ්ඩාර

සබඳ අපි කදු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය දහර වෙමු

එකම ගඟකට වැටෙන

ගීපද: දර්ශන මේදිස්, සංගීතය : ගුණදාස කපුගේ , මුල් ගැයුම : ජයතිලක බණ්ඩාර

අහස උසට නැග ගියාට

නැහැනෙ අහසෙ රැදෙන්නේ

අහසෙ මාලිගා හැදුවට

අපි පොළොවෙයි හිදින්නේ

ගී පද: සමන් ගුණ හේරත් , සංගීතය : ගුණදාස කපුගේ , මුල් ගැයුම : ජයතිලක බණ්ඩාර

ජයතිලක බණ්ඩාර තමන් ගැයූ මේ ගීත පිළිබදව කපුගේට නැවත සිහිපත් කළේය.

“ජයේ, මේ සිංදු ඔයා කියපුවානෙ. ඒවා ඔයාගේ ගීත”

“ඒකට කමක් නෑ. මම කිව්වත්  ඔබ කිව්වත් ඒකෙ වෙනසක් නෑ. මේ වෙලාවෙ අපිට ඕනෑ මේ පවතින සමාජ ක්‍රමය ගැන  සංවාදයක්  ඇති කරන්න. ඒ හින්දා  මේ ගී ටික ගයන්න.” 
ජයතිලක බණ්ඩාර කපුගේට කීවේ ය.

එදා රජරට සේවා සරළ ගීත වැඩසටහන් සදහා කපුගේ විසින් ජයතිලක බණ්ඩාරයන්ට නිර්මාණය කර දුන් මේ ගීත සියල්ල ප්‍රසංගය වෙනුවෙන් නැවත කපුගේටම ගයන්න දුන්නේ තමන්ගේ නිර්මාණවලින් ඉදිරියට යා හැකි දුර පිළිබඳව නොතකමිනි. අවසානයේ කපුගේ “කම්පන” ප්‍රසංගය වෙනුවෙන් මේ ගීත ගැයුවේය. ඒවා ඉතාමත් කෙටි කලකින් කපුගේගේ හඬින් ජනප්‍රිය වූ නිසා 1990 වසරේ නිකුත් වූ “පියසටහන්” සිංග්ලංකා කැසට් පටයටද ඇතුළත් කෙරිණි.

කම්පන ප්‍රසංගය එවකට පැවති රජයට එරෙහිවත්, තරුණයන් විසින් ගෙන ගිය අරගලය වෙනත් මානයකට යොමු කරමින්ද ඔවුන් සටන්  කළ යුත්තේ විමුක්තිය උදෙසා නොව දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන් ඒ දරිද්‍රතාවයෙන් මුදාගැනිම උදෙසා බවත් කියා දෙමින් ප්‍රසංගය රට පුරා සැරිසරන්නට වූයේ ජයතිලක බණ්ඩාරයන් ඒ ප්‍රසංගයේ සිතාර් වාද්‍ය ශිල්පියා ලෙසින් මෙන්ම ප්‍රසංගයේ නිවේදකයා ලෙසින්ද කපුගේට සහය වෙමිනි.

ඇත්ත කියූ  රඟදෙන බයිලා..

රට තුළ ඒ වන විටත් නිර්මාණය වෙමින් පැවති සිදුවීම් පිළිබඳව කතිකාවක් ගොඩනැගිමට කම්පන ප්‍රසංගය ප්‍රමාණවත් නොවන බව ජයතිලක බණ්ඩාරයන්ට දැනුණි. ඊට වඩා දැඩි සෘජු නිර්මාණාත්මක සංගිතමය දේශපාලන අරගලයක්  ආණ්ඩුවට එරෙහිව කළ යුතු බව ඔහුට නොයෙක් වර සිතුණි.

කම්පන ප්‍රසංගය නොපැවැත්වෙන බොහෝ දිනවල ජයතිලක බණ්ඩාර ඇතුළු රසවතුන්ගේ සොදුරු හමුවිම් සිදු වූයේ නුගේගොඩ, ගංගොඩවිල, වනාත පාරේ පිහිටා තිබූ වින්සන්ට් කුරුඹාපිටිය සහෘදයාට අයත්වූ “නිපුණ” මුද්‍රණාලයේ දී ය. 

ජයතිලක බණ්ඩාර සිය අදහස තම සගයන්ට කියද්දී ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනයට එරෙහිව හඬ අවදි කිරීම ඉතා බිහිසුණු අනතුරුදායක සේයාවක් මතුවන බව ඔවුහු කියා සිටියහ. ඒවන විටත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව හඬනැගූ කලාකරුවන් අතුරින් ඇතැමෙක් ඝාතනය කර තිබු අතර ගායන ශිල්පිනී නන්දා මාලනී සහ මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුල පිරිසක් සිය ජීවිතාරක්ෂාව පතා රහසේ ම රටින් පිටව ගොස්  සිටියහ.එහෙත් ජයතිලක බණ්ඩාරයන් කිසි විටකත් ඊට පසුබට නොවුණි. ඔහු අනතුරුදායක අභියෝගයන්ට මුහුණ දීමට තරම්  ශක්තිමත් පන්නරයක් සහිතව සිටියේ ය.

එක් දිනක් රෑ මැදියමේ බිහිසුනු අනතුරක සේයාව පෙනි පෙනී ජනාධිපතිවරයාගේ පාලනයට එරෙහිව අභියෝග කරන්නට දැඩි තීරණයකට එළඹියේ ය. එදා ඒ රාත්‍රියේ මැදියමේ ම සිය මිත්‍රයා වූ වින්සන්ට් කුරුඹාපිටිය අවදි කරවා මේ අදහස ඉදිරිපත් කළේය.

“විනී මං ප්‍රේමදාස පාලනයට එරෙහිව අරගලයක් කරනවා”

“ජයේට ඒක තනියම පුළුවන්ද”

“ඔව්, මට පුළුවන්”

විනීගේ සහය මුලින්ම ලැබුණි. ඔවුන් දෙදෙනාම ඒ රාත්‍රියේ ඊළඟට කතා කළේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වූ සිරිලාල් කොඩිකාර ට ය. 

සිරිලාල් කොඩිකාර ඒ වන විටත් ප්‍රබල වාමාංශික දේශපාලන පුවත් පතක් වූ ‘ඇත්ත” පුවත්පතේ කර්තෘවරයා ලෙස සේවය කරමින් එදා පැවති ආණ්ඩුවට එරෙහිව සිය පුවත්පත මෙහෙයවමින් සිටියේ ය. ඔහුද නිපුණ මුද්‍රණාලයට නිතර ආ ගිය කෙනෙකු වූ අතර, කපුගේට මෙන්ම ජයතිලක බණ්ඩාරයන්ටද විවිධ සංගීත නිර්මාණ සඳහා නිර්මාණාත්මක දායකත්වය ලබා දි තිබුණි.

“ලාල් මං ප්‍රේමදාස පාලනයට එරෙහිව ප්‍රසිද්ධියේ අභියෝග කරල කැසට් එකක් කරනවා”

“හරි ජයේ, මාත් උඹ එක්ක ඉන්නවා.මගෙන් මොනවද වෙන්න ඕනෑ.”

“සිංදු ටික ලියන්න පුලුවන්ද?”

සිරිලාල් කොඩිකාර කැසට්පටයේ සියලු ගිත ලියන්න කැමැත්ත පල කළේය. ඔවුන් තිදෙනාම එක්ව ඊට පසු දින කපුගේ හමුවී තම අදහස ඉදිරිපත් කළේ ය. ‍මේ කැසට් පටය සාමාන්‍ය සම්ප්‍රදායෙන් බැහැරව එදා ගර්හිත කලාවක් සේ පිළිගත් බයිලා ගීත කලාව ඇසුරින්  වේග රිද්ම ගී ආකෘතියෙන් නිර්මාණය කරමු යැයි කියමින් කරන ලද යෝජනාවට කපුගේද දෙවරක් නොසිතා  ඒ කැසට් පටයේ  සියළුම සංගිත නිර්මාණය කරන්නට එකඟ විය. ඒ අයුරින් ජයතිලක බණ්ඩාරයන්ගේ “රඟදෙන බයිලා” කැසට් පටය නිර්මාණය කිරීමේ කාර්ය ඇරඹුණි. මේ ඒ කැසට් පටයේ එක් ගීතයකි.

වසවර්තියො බුද්ධාගම භාර අරගෙන 
වනසනවා පුරාවස්තු රටේ හැමතැන

නමෝතස්ස කියල උදේ පටන් ගන්නවා 
හැමෝම දැන් රටේ කෙරෙන හරිය දන්නවා



උතුරවනව බුද්ධාගම දෙගොඩ ගලන්න 
පොතුබැද්දර වෙහෙර බිඳල නිදන් බලන්න

රෑ සැතපෙන වේලාවය හාමුදුරුවරු 
අතරේ ගණ අඳුරේ ආව අය හොරූ



අත් බැන්දේ මහ සමිඳුගෙ ඉරලය සිවුරූ   
බුද්ධාගම භාර ගත්ත ඇමතිය කවුරූ

තෝ කියලයි බැන වැදුනේ මහ සමිඳුන්ට 
ගාථාවන් සඟරුවනේ පද නමදින්ට



උත්තම මහ විහාරයෙත් පිළිමය බිඳලා‍
ඇද්ද කියල නිදන් වස්තු විමසුම යොදලා

හොද හරියට තව තොරතුරු අති විශේෂය 
වෙන යුගයක නැති තරම්ය මේ විනාශය



නොදන්නවද කවුරු මේව වෙන්නෙ කොහොමද

නිදන් වස්තු හොරෙන් කන්නෙ වැටද නියරද

නිති ගරුක නොවන මොවුන් මොන මොන අයද 
ජාතිය සතු පුරා වස්තු අපනයනයද



අමරණීය නිදන් වස්තු රැක සිටියාට 
කුමර කුමරි බිලිවේ දැන් බහිරවයාට

බිල්ල බිල්ල දීල රටේ නිදන් ගන්නට

බිල්ලො එනව කොල්ලො කෙල්ලො අරන් යන්නට



දැක්ක නේද යක්කුන්ගෙත් ගතිය පෙනේය 
යක්කුන්ටත් කන්‍යාවොම ඕනැ වුණේය

හරිම පුදුම නේද මෙහෙම ඒව අහන්න 
පිරිමි බිල්ල ගන්න කැමති කාලි යකින්න



නියමයටම තුන් යාමෙට බිලි තුන දෙනවා 
බහිරවයම නිදන් වස්තු ගලවල දෙනවා

බර කුළුගෙඩි පහර දිදී මහ රෑ පානේ 
සිරස්තලය බිද හොයනව බුද්ධග්ඥානේ



වරු ගණනක් බුදු පිළිමෙක පපුව හාරලා 
කරුණා ගුණ මෛත්‍රි ගුණ වෙනම තෝරලා

ඔන්න රටේ බුද්ධාගම ගැන සැළකිල්ල 
සන්ත බස්තියන් කන්දේ දෙවියන් පල්ල

ගීත රචනය: සිරිලාල් කොඩිකාර

සංගිතය : විශාරද ගුණදාස කපුගේ

ගැයුම: ජයතිලක බණ්ඩාර

ගීතය මෙතනින් අහන්න


කැසට් පටය එළිදැක්වූ  පසු කෙටි කලකට විදේශ ගතව හෝ අන්‍යාකාරයකින් සැගව සිටිය යුතු බවට ජයතිලක බණ්ඩාරයන් වටා සිටි මිත්‍ර සමාගම ඔහුට යෝජනා කළේ සිදුවිය හැකි අනතුර පිලිබඳව හොඳන් අවබෝධ කරගෙන සිටි බැවිනි. ඒ නිසාම රගදෙන බයිලා කැසට් පටය නිකුත් කළ පසුව කෙටි කලක් රහසේ ජිවත්විම සුදුසු බව ඔහුටද පෙනී ගිය නිසාම  ඊට එකඟ වීම හැර කරන්නට වෙනත් කිසිවක් නොවීය. 
සිරිලාල් කොඩිකාර මහතා එදා සහ අද

සැලසුම් කරගත පරිදි “රඟ දෙන බයිලා”  කැසට් පටයේ වැඩකටයුතු අවසන් විය. එය සමාජ ගතකිරිමට යොදාගත්තේ 1993 මැයි දෙවන දා ය. එහෙත් ඊට පෙර දින එනම් මැයි පළමු වනදා මැයි රැලිය පැවැත්වෙන අතරතුර ජනාධිපතිවරයා මරාගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය. 

සූදානම් කර තිබූ සියළු කටයුතු අතහැර දැමූ පසු ඊට සති කීපයකට පසුව කැසට් පටය වෙළඳපොලට නිකුත් කළේය. කැසට් පටයේ සියළු පිටපත් කෙටි කළකින් විකිණි අවසන් විය. නැවත නැවතත් එය පිටපත් කර නිකුත් කිරිම අවශ්‍ය නොවූයෙන් මුල් පිටපත් සියල්ල විකිණිමත් සමග එහි නැවත නිෂ්පාදන කටයුතු අත්හරින ලදි. මේ එහි තවත් එක් ගීයකි.

මගේ ආච්චී ඉස්සර හිටි‍යෙ පිටිසර 
අගේට කීවා හොඳ හොඳ බයිල රස කර

පෙළඹීලා ආච්චිගේ බයිල මිහිරට 
කොළඹ ඉඳල අපිත් ගියා ඒ පිටිසරට

මගේ ආච්චී කීවා බයිල රස කර



සාවදාන වෙලා අහමු බයිල අපි කියා 
මාව පියාණන් වහන්සෙ එක්ක ගෙන ගියා

ආර්ථිකය බොහොම සාර්ථකව පැවතියේ 
කාර් බාර්වලින් තමයි නිතර අපි ගියේ

මගේ ආච්චී කීවා බයිල රස කර



වත්තක් තිබුණා දැක්කා යන මග අයිනේ 
ගත්තා මගේ නමට ඒක ඒ යන ගමනේ

යන ගමනක් පිටත්වෙලා ගියේ එහෙ සිට 
අලියෙක් මට අරගෙන දාගෙනය ඩිකියට

මගේ ආච්චී කීවා බයිල රස කර



ගම්මානෙක තේ කඩේක අපි ඉඳගත්තා 
අම්මා කඩයප්පන්වල නම අහගත්තා

සාර්ථකම ආර්ථිකෙන් මගේ පියතුමා 
කාර් එකෙන් රූං ගාල රැගෙන ගියෙ මෙමා

මගේ ආච්චී කීවා බයිල රස කර



පිටත් වෙන්න කලින් එහේ ගෙන යන එව්වා 
කරත්තවල පාර දිගේ පටවල යැව්වා

බටර් සීනි චීස් සම්බ හාල් තුනපහේ 
පටවාගෙන බර කරත්ත පෙළට එහෙ ගියේ

මගේ ආච්චී කීවා බයිල රස කර



සන්ත බස්තියන් උත්තමයන්ගෙ කරත්ත 
අන්න කිය කියා පිරුණා පාර දෙපැත්ත 
පෙළඹීලා ආච්චිගේ බයිල මිහිරට 
කොළඹ ඉඳල අපිත් ගියා ඒ පිටිසරට

මගේ ආච්චී කීවා බයිල රස කර



මේ දැන් වගෙ මට මතකයි සහතික ඇත්ත 
ඒ දණ්ඩෙයි නියර දිගෙයි ගියා කරත්ත

වෙල මැද්දෙයි නියර දිගෙයි ගියාට පස්සේ

ඇළට උඩින් යන්න තිබුණෙ පොල්කඳ ඔස්සේ

මගේ ආච්චී කීවා බයිල රස කර



අල්ලාගන සුක්කානම හිටියෙ මගෙ පියා 
පොල් කඳ වට කැරකි කැරකි කාර් එක ගියා

ආච්චි මට කීව නේද මාව ඉඹ ඉඹ 
පාච්චල් වෙයන් උඹ ගැන කියල බොරු හොඳ

මගේ ආච්චී කීවා බයිල රස කර


ගීත රචනය: සිරිලාල් කොඩිකාර

සංගිතය : විශාරද ගුණදාස කපුගේ

ගැයුම: ජයතිලක බණ්ඩාර

ගීතය මෙතනින් අහන්න


ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

නව ජනාධිපතිවරයෙක් පත්විමත් සමගම අතුරු දහන් වූවන් සහ ඝාතනය වූවන් වෙනුවෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා කර බලපෑම් කරන්නට සිවිල් ක්‍රියාකාරීන් සහ මානව හිමිකම් සංවිධාන කටයුතු කර තිබුණි. සිවිල් ක්‍රියාකාරීහු විසින් රට පුරා තැනින් තැන ජනතා අධිකරණ පිහිටුවා අතුරුදහන් වූවන්ගේ තොරතුරු විමසන්නට වූහ. ඒ වන විටත් එදා සිටි විපක්ෂය මේ සඳහා මහත් උනන්දුවකින් කටයුතු කරන්නට විය. ජයතිලක බණ්ඩාරයන්ද කලාකරුවකු ලෙස ප්‍රමුඛ ලෙස ඊට මැදිහත්ව කටයුතු කළේය.

අතුරුදහන් වූවන් වෙනුවෙන් සීදුව, රද්දදොලුගම නිවාස සංකීර්ණයට හැරෙන මංසන්ධියේ ස්මාරකයක්ද ඉදිකර  විවෘත කර ඔවුන් සියළු දෙනා සිහිකිරිමට ඒ සංවිධායකයෝ කටයුතු කරමින් සිටියහ. ජයතිලක බණ්ඩාරයන්ද කලාකරුවක් ලෙසින් එදා ඊට සහභාගී වෙමින් සිටියේ ය.

එය විවෘත කරන දිනයේම ඒ ප්‍රදේශයේ අතුරුදහන් වූවන්‍ වෙනුවෙන් ජනතා අධිකරණය ක්‍රියාත්මක කරන්නට සූදානම්ව සිටියදී  නොසිතූ අයුරින් විශාල ජනකායක් රද්දොලුගම මංසන්ධියට රැස් වූහ. රජය විසින් රද්දොලුගම නිවාස සංකීර්ණයට හැරෙන මංසන්ධියේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම අත්හිටවනු ලැබීය. එසේම ජනතා අධිකරණයේ කටයුතු වලට විවිධ අයුරින් බාධා එල්ල කරන්නට විය. එයින් නොනැවතුන එවකට පාලකයන් එතැනට රැස්වූ සිවිල් ක්‍රියාකාරීන්ගේ තොරතුරු රැස්කිරීම, ඡායාරූප ගැනිම සඳහා නාඳුනන පිරිස් යොදාගෙන තිබුණි. ඔවුහු ඊට ඇතුළු වී ජනතා ක්‍රියාකාරීත්වයට දිගින් දිගටම බාධා පැමිණ වූහ.

පොලීසියටත්, නාඳුනන කණ්ඩායම් වලටත් ‍ අතුරුදහන් වූවන්ගේ සහ මරාදැමුනු පුද්ගලයන්ගේ පවුල්වල ඥාතීහු  ඊට විරෝධය පලකළහ. ක්‍රමයෙන් පොලීසිය, ආරක්ෂක කණ්ඩායම්  සහ නිරායුද සිවිල් වැසියන් අතර ගැටුමක් නිර්මාණය වන්නට විය. තව මොහොතකින් එම ස්ථානයේ ලේ වැගිරීමක් සිදුවිය හැකි බව ජයතිලක බණ්ඩාරයන්ට වැටහුණි. සැනෙකින් ක්‍රියාත්මක වූ ඔහු තහනම් කර තිබූ ශබ්ද විකාශන යන්ත්‍රය  ක්‍රියාත්මක කර මයික්‍රපෝනය අතට ගෙන ඒ අසල ඉදිකර තිබූ  අතුරුදහන් වූවන්ගේ ස්මාරකය වෙත ගියේය. කිසිදු සංගීත ‍භාණ්ඩයක් හෝ මෙවලමක් නොමැතිව ඔහු සිය හඬ අවදි කළේ රග දෙන බයිලා කැසට් පටයට ඇතුළත් වූ  “ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා” ගීය ගැයීමෙනි. රැස්ව සිටි ජනතාව ඔහු කරා ඇදෙන්නට විය.පොලීසියත් නාඳුනන අවිගත් පිරිස්ද පසුබැස්සහ. එදා රද්දොලුගම මංසන්ධියට එක්වූ සිවිල් වැසියන්ට ජය අත්විය. ඒ එදා  ඔහු ගැයූ මේ ගීය නිසාය.


ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා



මොහොමඩ් එර්ෂාඩ් කලක් බංග්ලාදේශේ

මහ ලොකු ජාතියෙන් නේද කෙරුවේ වාසේ

අන් අයගෙන කුලියට ලියවාගෙන ගැදි පැදි

චින්තන උල්පතක් වාගෙ පෙනුණා කලකදි

ගහගෙන තම කයිවාරුව තම පුර වරුණේ

යුග පුරුෂය පහල වුණා කියලය පෙනුණේ‍

ධර්මය රැක ගන්න පහළ වුණු ලෙස පෙන්නා‍

මර්දනයෙන් බොරුවෙන් රජ කරගෙන උන්නා

එක්සත්වී මහජන බලවේගය නැග්ගා‍

තක්කඩි ඒ පාලකයා හිරගෙයි ලැග්ගා

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා



කලක් සියා උල්හක් නැග බලස්ථානෙට

සයිස් දමාගෙන හිටියා පකිස්ථානෙට

මිනීමරු පාලන ගඳ පිහිටුවා වටපිටේ

තනි මතයට රජ කරගෙන  හිටියෙ ඒ රටේ

එක් දවසක් හක් අහසට නැගල යනකොට

ඩොග් ගෑවා කෑලි තමයි වැටුණෙ පොළවට

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා



ෂා කෑවේ ඉරානයම එයාගෙ වාගේ

සාර්ථකද කටයුතු අන්තිමට එයාගේ

ඉරාන ජන මතය නැගුණි ගම්බිම් පාසා

පරාණ කූඩුව අරගෙන පැන දිවූ මාෂා

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා



ඉඩි අමින්ගෙ හැඩි දැඩි පාලනය කොහොමද

දැඩි මහජන මතය හමුවෙ කෙළින් හිටියද

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා



මාකොස් පීලිපීනයෙ බලවතා හැටියට

පෑ පිස්සුව ඇල්ලුවෙ නෑ එරට වැසියට

පෙන්නාගෙන බොරු සාධාරණය තමුන්නේ

ඡන්ද මගඩි වලිනුයි ඔහු බලයෙහි උන්නේ

තම රූපය මහජනයා හමුවෙ ඇටෙව්වා

සමනල ගල වැනි මහ උස ගලක කෙටෙව්වා

අරන් මහා ජන මුදලින් විදුලි බල එලී

තොරන් බැදන් රට පුරාම කෙළියෙ සැණකෙළී

ගඳ ගහද්දි මාකොස්ගේ මිනීමරුකම

ළඳ සෝබන මොඩ් බඩුවක් වුණා රටටම

ජනමතයක් මුලු පිලිපීනයේ මතුවුණා

හොනලොලුවට යන්නට මාකොස්ට සිදුවුණා‍

ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා

මොන විදියෙන් හරි දුෂ්ඨයො

තොළොංජි වෙනවා



මාකොස්ටත් පිලිපීනෙන් යන්න සිදුවුණේ

මේ බොස්ටත් ඒ පාඩම ගන්න බැරි වුණේ

සෙනේවන්තයෝම රටේ බලයට එත්වා

අනේ වනේ වන හතුරොත් ජීවත්වෙත්වා

ගීත රචනය: සිරිලාල් කොඩිකාර

සංගිතය : විශාරද ගුණදාස කපුගේ

ගැයුම: ජයතිලක බණ්ඩාර

ගීතය මෙතනින් අහන්න


අතීතය , වර්තමානය සහ අනාගතය යන මේ තෙකල්හි සිටම මේ නිර්මාණ පිළිබදව නැවත විමසා බැලිය හැකිය. මේ සියළු නිර්මාණවල ඇත්තේ මිහිරිම සුවඳ රැදුණු අතීතයකි. විටෙක  ඒ අතිතය බියකරුය,  ලේ, කඳුළු දුක් පීඩා රැසකින් සමන්විතව සියලු දේවල් අහිමි කර ගනිමින් ජයතිලක බණ්ඩාරයන් මානව හිතවාදි ගුණයෙන් පිරි නිර්මාණකරුවකු මෙන්ම කලාකරුවකු ලෙසින්  රටේ පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිට   සිය ජීවිතයට වඩා රටක ජනතාව වෙනුවෙන් පෙරට එන්නේත් උත්තම ගණයේ ලැ සැළකෙන ඒ මානවවාදී ගුණය හදවතෙහි  සදාකාලිකවම තිබෙන නිසාය.

සුවහසක් මිනිසුන් අතරින් සාධු ජනයා සොයා ගිය “සාධු ජන රාව” ඊළඟ කොටසින්...

ජයතිලක බණ්ඩාරයන්ගේ  සියළුම ඡායාරූප මීපුර වෙබ් අඩවියෙනි.
සිරිලාල් කොඩිකාර මහතාගේ ඡායාරූප  බූන්දි වෙබ් අඩවියෙනි

විශේෂ ස්තූතිය:

ජයතිලක බණ්ඩාරයන්ට,

තුසිත කුමාර සහෘදයාණන්ට



සහ සහය දුන් සැමට







Related Posts Plugin for WordPress, Blogger...