එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Friday, 21 June 2013

෴ විස්ලිං නිහාල් Whistlig Nihal... ෴



        

          අසම්මත නාදයක සිර කළ සිවුරුහන් සංගීතයේ රිද්මය.... 

සංගීතයේ, ගීතයේ රසමුසු තැන් සොයා  ඇවිදින වෙලාවට අහන්න විඳින්න ලැබෙන සමහර නිර්මාණ අපූර්වත්වයකින් පිරුණ ඒවා. ඒ  වගේම ඒ නිර්මාණකරුවන්ගේ සැබෑ ගුණසුවඳ විහිදුවන සැබැම  නිර්මාණ විදියටයි මට හැ‍ඟෙන්නේ. මොහොතකටවත් හිතෙනවද ගීයක් ඇහෙන වෙලාවක ඒ ගීතය බිහිකරන්න ගීතරචකයා, සංගීත අධ්‍යක්ෂකවරයා, ගායකයා හෝ ගායිකාව හැරුණු විට ඒ නිර්මාණය පිටුපස ඒ ගීතය මනරම් නිර්මාණයක් කරන්නට වෙර දැරූ නිර්මාණාත්මක හැකියාවන් ඒ ගීතයට එකතු  කළ මොන තරම් පිරිසක් ඉන්නවද කියලා. ඇත්තටම බැලුවොත් ගීතයක් නිර්මාණය කිරිමට නොයෙක් අන්දමින් සිය නිර්මාණ දායකත්වය ලබාදෙන පිරිස අතර වාද්‍ය ශිල්පීන්, පටිගත කිරීමේ ශිල්පින්, කාර්මික ශිල්පින් විශාල ප්‍රමාණයක් ඉන්නවා.  ඒ නිසා ගීතයක් ගැන අදහස් දැක්වීමේදී ඔවුන්ගේ කාර්ය භාරය සුළුකොට තැකිය නොහැකියි.

ඒ නිසා ගීතයක් ඉතා සියුම් මනරම් සැරසිල්ලකින් සරසන්න ඒ පිටුපස සිටින වාද්‍ය ශිල්පින් අතරින් තවත් වාද්‍ය ශිල්පියෙක් සහ ඔහුගේ අපුර්වතම නිර්මාණාත්මක  හැකියාව අද අස්වැන්නෙන් සටහන් කරන්නයි මගේ මේ වෑයම.  මට කාලෙකට පස්සෙ මතක් වුණේ අපට හිටපු තවත් එවැනි අති දක්ෂ වාද්‍ය ශිල්පියෙක්. මට විතරක් නොවෙයි 70,80 දශකවල නිර්මාණවල තිබූ  ගුණ සුවඳ පිළිබඳව නිරන්තරයෙන් කතාබහ කරන රසවතුන්ටත් මේ ශිල්පියා පිලිබඳව හොඳ මතකයක් ඇති.

 අසූව දශකයේ නිර්මාණය වූ  පරණ කැසට් පට කීපයක් අතරින් මොහුගේ මේ නිර්මාණ එකතුව අහන්න පුඵුවන් තරමට  යාන්තමට හදා ගත්තත්,  මේ වාද්‍ය ශිල්පියාගේ මුහුණ ඇතුළත් කැසට් කවර පවා නැවත ප්‍රයෝජනයට ගන්න  නොහැකි තරමට දිරාපත් වී ඇති නිසා මට අද සිදුවන්නේ හොලිවුඩ් සිනමාවේ සුපිරි රංගන ශිල්පියෙකු  වූ Clint Eastwood ගේ පිංතූරයකින් ඒ අඩුව පිරිමසා ගන්න. ඒ විතරක් නෙවෙයි මේ කතා පුවතේ එක තැනකට ඒ සුපිරි රංගන ශිල්පියා වන  Clint Eastwood වත් එකතු වෙනවා. ඒ නිසා අද අස්වැන්නට  හේතු පාදක වන  මේ වාද්‍ය ශිල්පියාගේ පිංතූරයක් මේ අන්තර්ජාලයේ හැම අස්සක් මුල්ලක් නෑරම  විමසුවත් සොයාගන්න ලැබුණෙ නැති එක එක්තරා අන්දමක කණගාටුවක්. 

මේ වාද්‍ය ශිල්පියාගේ වාද්‍ය භාණ්ඩය වුණෙත් “බටනලාව“ අසූව දශකයේ සෑම පටිගත කිරිමකට ම අත්‍යවශ්‍යයෙන් ම සහභාගී කරගත් මේ වාද්‍ය ශිල්පියා එදා ඒ සංගීතවේදීන් වගේ ම ගායක ගායිකාවන් විස්න  පවා හැදින් වූයේ “බටනලා නිහාල්“ යන නමින්.  ඒත් පසු කාලයේ ඒ කියන්නේ අසූව දශකයේ මැද භාගයේ විතර ලංකාවේ සුවහසක් සංගීත රසකාමින් වගේම සංගීත ක්ෂේත්‍රෙය් බොහෝ දෙනෙක්  ඔහු හඳුන්වන්න පටන් ගත්තේ “විස්ලිං නිහාල්“ යන නමින්. මේ තරම් අසිමිත කලා කුසලතායක් සහ වාද්‍ය හැකියාවකින් හෙබි මේ වාද්‍ය ශිල්පියා අන් කිසිවකු නොව නිහාල් සී ජයවර්ධන හෙවත් විස්ලිං නිහාල් ය.

විස්ලිං නිහාල් සහ ඔහුගේ නිර්මාණ පිලිබඳව ඒ අතීත මතකවන් ඔස්සේ   එක වරම කතාබහ කරන්න කලින් මේ කතාබහට පුර්විකාවක් වශයෙන් සම්බන්ධ වන තවත් ආනුෂංගික කරුණු කාරණා කිපයක් ම තියෙන නිසා ඒ කරුණු කාරණා කිපය මගහැර මේ  කතාව පටන් ගත්තොත් මේ සටහන තුළ අඩුවක් ඇතිවිය හැකි වන  නිසා විස්ලිං නිහාල්ගෙ මේ සටහනට ඒ කරුණු කාරණා ටිකත් එකතු කරගෙනම මේ කතාබහ ගොඩ නැගිය යුතු වෙනවා ඒ නිසා ඒ ආනුෂංගික කරුණුත් එක්කම මේ විස්ලිං නිහාල් ගැන කතාබහ කරමු.


ගෙවී ගිය වසර කිපය තුළ සුපිරි තරු තෝරන “සුපර් ස්ටාර්ස්“ වැඩසටහන් ගණනාවක් ලංකාවේ රූපවාහිනී නාලිකාවල ක්‍රියාත්මක වුණි. මේ වැඩසටහන් වලට තරග කළ ඇතැම් තරගකරුවන් තමන්ගේ ස්ථානය තහවුරු කරගැනීමට තමන් දන්නා සියළු ශිල්ප දැක්විමට පසුබට වූයේ නැහැ.  සිරස ටී.වී.  නාලිකාව පුරෝගාමී වෙමින්  ඇරඹූ ඒ වැඩසටහන් මාලාවේ  සිරස සුපර් ස්ටාර් “සීසන් ටූ“  වැඩසටහනේ අවසන් තරගකරුවන් දොළොස් දෙනා අතර සිටි තරගකරුවන් අතරින්  සිටි ප්‍රදීප් රංගන තරගකරුවා අවසන් මහා තරගයට පිවිසිමට පෙර පැවති අවසන් පූර්ව වැඩසටහනේදීත්, අනතරුව ජයග්‍රහණය වෙනුවෙන් පැවති අවසන් මහා තරගයේදිත් තමන්ගේ ප්‍රතිවාදී තරගකරුවා වූ සුරේන්ද්‍ර පෙරේරා අභිබවා ගොස් ජයග්‍රහණය කරන්නට අවසන් තුරුම්පුව ලෙස භාවිතා කළේ ගීතය අතර මැද දී විසිල් වාදනයකි.

එසේම දෙරණ නාලිකාවේ ක්‍රියාත්මක වු “දෙරණ ඩ්‍රීම් ස්ටාර්‘ වැඩසටහනේ දී ද අවසන් තරගකරුවන් 12 දෙනා අතර සිටි “උපේක්ඛා“ නම් යොවුන් ශිල්පිණිය ද අවසන් මහා තරගයට පිවිසිමට මේ විසිල් වාදනය තුරුම්පුවක් ලෙස භාවිතා කළ අයුරු මතක ය.  එහිදී අවසන් මහා තරගයෙන් ඇය ජයග්‍රාහිකාවක වූවාය. එහෙත් මේ “විසිල් කිරිම“ එහෙමත් නැත්නම් "සිවුරුහන් බැම" ශිෂ්ට සම්පන්න සමාජය තුළ එතරම් පිළිගැනිමක් නැති වාද්‍ය ශිල්පයකි.  අපේ වැඩිහිටියන් පවා මෙය නොහොබිනා ක්‍රියාවක් එහෙමත් නැත්නම් නරක පුරුද්දක් යැයි අතීතයේ පටන්ම උපකල්පනය කර තිබුණි. අදට ද මේ විසිල් කිරිම පිළිබඳව ශිෂ්ඨ  සමාජයේ පවතින පිළිගැනීම එසේම ය. එය මහා නොහොබිනා ක්‍රියාවකැයි ඇතැමුන් අදද විශ්වාස කරති.

එහෙත් සුපර් ස්ටාර්ස් වැඩසටහන්වලදී ප්‍රදීප් රංගනත්, උපේක්ඛාත්  යන දෙදෙනා ම තමන්ගේ ජයග්‍රහනයේ අබියස සිට ඔවුන්  විසින් ඉදිරිපත් කළ   විසිල් වාදන ලංකාවේ නූතන සංගීත පරපුරට නැවුම් අත්දැකිමක් වුවද ඒ විසිල් වාදනය ලංකාවේ සංගීතයටත්, ජාත්‍යන්තර සංගීතයටත් අලුත් අත්දැකීම් නොවේ. ඒ අයුරින් විවිධ ගීතමය සහ සංගීතමය අවස්ථාවන්ට විසිල් වාදන භාවිතා වූ අවස්ථාවන් ගණනාවක් අපට හමුවෙයි. එයින් එවන් ශිල්ප දක්වමින් ලංකාවේ විසිල් වාදකයෙකු ලෙසින් අද්විතිය ස්ථානයක් හිමිකර ගන්නේ  නිහාල් සී ජයවර්ධන හෙවත් විස්ලිං නිහාල් ය. 

ඒත් ජාත්‍යන්තර සංගීත ඉතිහාසයේ ජනප්‍රියම සහ විශිෂ්ටතම විසිල් වාදනය අපට අසන්නට  ලැබෙන්නේ බටහිර ගොපලු චිත්‍රපටයකිනි. ඒ  1967 දී ඇමරිකාවේදී තිරගත වූ  Sergio Leone අධ්‍යක්ෂණය කළ  Clint Eastwood ප්‍රධාන චරිතය රගපෑ බටහිර ගොපළු චිත්‍රපට මාලාවේ විශිෂ්ඨතම සිනමා නිර්මාණයක් වූ  For A Few Dollars More චිත්‍රපටයේ ය. එම චිත්‍රපටයට ඇතුළත්ව තිබූ මියුරු පසුබිම් සංගිතයට විසිල් වාදනයක් ඇතුළත්ව තිබුණි.  For A Few Dollars More චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා වූ  Ennio Morricone ගේ විශිෂ්ඨතම සංගීතයෙන් හැඩ වී  මුලු ලොවම එකම රැයකින් වසඟ කරගත් ඒ විසිල් වාදනය එදා මෙදා තුර සංගීත ඉතිහාසයේ  අසන්නට ලැබුණ විශිෂ්ඨතම විසිල් වාදනය ලෙස බොහෝ සංගිත රසිකයෝ සළකති.

ඒ නිසා මේ කතාවේ පුර්විකාව හැටියට 1967 ඇමරිකාවේදී තිරගත වූ  Sergio Leone අධ්‍යක්ෂණය කල  Clint Eastwood ප්‍රධාන චරිතය රගපෑ For A Few Dollars More චිත්‍රපටය ඇරඹෙන මුල් විනාඩි 03 පමණක් මේ වීඩියෝවෙන් බලමු. මෙය උපුටා ගැනිම යූ ටියුබ්වලින්.

video

එදා හොලිවුඩ් සිනමාව හරහා එක් රැයකින් ලොවක් මවිත කළ මේ විශිෂ්ඨතම විසිල් වාදනය ඊට දශක දෙකකට පමණ පසුව නිහාල් සි ජයවර්ධන හෙවත් විස්ලිං නිහාල් විසින් තමන්ගේ නිර්මාණයක් ලෙසින් මහින්ද බණ්ඩාරගේ සංගිතයට පසු කාලයේදී ප්‍රති නිර්මාණය කර ලාංකික සංගිත රසිකයන්ට සමීප කළේ  ‍මේ අයුරිනි. 

For A Few Dollars More චිත්‍රපටයේ තේමා වාදනය විස්ලිං නිහාල්ගේ අපූර්වතම විසිල් හඬින් මෙතැනින් අහන්න. 


   ඒ තමයි විස්ලිං නිහාල් වෙනුවෙන් තබන මේ සටහනේ පූර්විකාව.  මේ පෝස්ට් එක තරමක් දිගු වැඩි නිසා විස්ලිං නිහාල් සහ ඔහුගේ අපූර්වතම නිර්මාණ, ඔහු  ඉතිරි කර තබා ගිය ඒ නිර්මාණ ගැන ඒ නිර්මාණත් සමගම  ඉදිරි සතියේ කතා කරමු.


ඔබෙනුත් විශේෂ ඉල්ලිමක්:
90 දශකය ආරම්භයේ ඇමරිකා එක්සත් ජනපදයේ  පදිංචියට ගිය නිහාල් සී ජයවර්ධන හෙවත් “විස්ලිං නිහාල්“ පිළිබදව හෝ ඔහු වර්තමානයේ සිටින තැනක් දන්නා සහෘදයෙක් වේ නම් ඒ තොරතුරු සමග මට මේ ලිපිනයට මේ එකක් එවන්න. ඉදිරි සටහනට එය බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි.

මගේ ඊ මේල් ලිපිනය: dayanandarathnayake@gmail.com


 

Monday, 17 June 2013

෴ ජීවිතය මිනිසුන් වෙනුවෙනි... ෴




     
                                             
            ජයතිලක බණ්ඩාර නම් සොඳුරු මිනිසා... අවසන් කොටස...

 රජරටින් බිහිවූ ජයතිලක බණ්ඩාර 71කැරැල්ල හමුවේ ක්‍රියාකාරී වූ කලාකරුවන් කිහිප දෙනාගෙන් එක් කලාකරුවෙකි. ඒ නිසාම ඔහුට බන්ධනාගාර ගත විමට සිදුවිය. එයින් නිදහස් වූ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ “විමුක්ති ගී” ප්‍රසංගයටත්, එතැනින් කාලයේ රාවය, කපුගේ ගී සැඳෑව, කම්පන ආදී ගි ප්‍රසංග කෙරෙන් ජනතාව හමුවට පැමිණියේ සැබෑ ජනතාවාදී ගායන ශිල්පියෙකු ලෙසිනි. රජරට සේවයේ ගායන ශිල්පියකු, සිතාර් වාදකයකු වශයෙන් පමණක් නොව, ගුවන් විදුලි නිවේදකයකු වශයෙන්ද කටයුතු කළ ජයතිලක බණ්ඩාරට සිය ගුවන්විදුලි රැකියාව අහිමි වූයේ ජනතාවාදී කලාකරුවකු ලෙසින් සිය දේශපාලන ස්ථාවරය වෙනස් නොකල බැවිනි. ඔහු තරු දිදුලන රටක තරුවක් නොවේ.  හතළිස් වසරකට ආසන්න කාලයක් ගී ලොවෙහි සැරිසරමින් තම රසිකයන්ට රසවින්දනය බෙදා දෙමින් හඬක් නැති ජනතාවට  උතුරා ගලන ගී හඬක් වෙමින් සිටී.
 මෙතක් තැබූ සටහනේ අවසන් කොටස මෙතැන් සිට

   සිය ජීවිත කාලය පුරා ලද කලාව , සංගීතය සහ දේශපාලන අත්දැකීම් ඔස්සේ සුවහසක් මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නටත්, ඔවුන්ට අවැසි තැන ඔවුන් වෙනුවෙන් හඬ නගන්නටත් සංගීත ඥානය මෙහෙයවමින් ඒවා මිනිසුන්ගේ සැබෑ අත්දැකිම් බවට හරවා ඒ හඬ  ජනතාවගේ හඬක් වන්නට වෙර දරන කලාකරුවන් මෙකල්හි අතිශයින් ම විරල ය. එවන් වූ සමයක ජයතිලක බණ්ඩාරයන් අද ඉදිරිපත් කරමින් සිටින රස වින්දන වැඩසටහන වෙනුවෙන් කෙටි සටහනක් තබා සති කිපයක් තිස්සේ මේ සොඳුරු ගායන ශිල්පියා, සංගීතවේදියා වෙනුවෙන් මා ලියූ මේ සටහන අවසන් කරන්නට කල්පනා කරමි.

සාධු ජන රාව ප්‍රසංගය 1200 වාරයක් ඉක්මවා ගම්, නියම් ගම්, නගර සැරිසර සරා හමාර වූයේ යුද්ධයෙන් පීඩාවට පත්වු උතුරේත් දකුනේත් මිනිසුන්ගේ හිත් තුළ මිනිස්කමේ පාලම ඉදිකර දෙමිනි.  එහෙත් සාධු ජන රාව ප්‍රසංගය ඇරඹීමට මූලිකව ම හේතු වූයේ අනූව දශකයේ මුල් භාගයේ ඔහු විසින් රජරට දී ආරම්භ කළ රසවින්දන වැඩසටහනයි. රසවින්දන වැඩසටහනේ මූලිකම හරය වූයේ වඳ පීදෙමින් පවතින සිංහල සුභාවිත ගීතය නැවත රසික සවනට සමීප කර හරවත් ගීත සංස්කෘතියක් කරා රසික සමුහයා යොමු කිරීමයි. එමගින් හරවත් ගීත කලාවක් ඇති ශක්තිමත් පදනමක් සකස් කිරීමය. ඒ පරමාර්ථයේ පූර්ව අවස්ථාවන්ට එදා රජරටදී කපුගේගේත් සිය සමීප මිත්‍ර සගයා වූ දිවුල්ගනේගේත් සහාය ජයතිලක බණ්ඩාරයන්ට නොමඳව ලැබුණි. එදා ඔවුහු ගමින් ගම පැවැති වැඩසටහන් කිපයකම එක්ව ගී ගැයූහ. ගීයේ අරුත පැහැදිළි කර දුන්හ.

එසේ වුවත් අද දවසේ කපුගේත්,  දිවුල්ගනේත් නොමැතිව ජයතිලක බණ්ඩාරයන් තනිව ම එකී රසවින්දන වැඩසටහන නැවත රට පුරා ගෙන යමින් පුරන් වෙමින් පවතින මේ ගීත කලාව යහ මගට ගැනීමේ වැයමක නිරතව සිටී.

හැත්තෑව සහ අසූව දශකයන්හි  සිංහල ගීතයේ ස්වර්ණමය යුගය සටහන් වන විට අනූව දශකයේ මැද භාගයේදී ඒ ගීත කලාව වල් වැදී යාමේ ලකුණු පහළ වූයේ නූතන තාක්ෂණය සම්පූර්ණයෙන් ම මෙරට තුළ ස්ථාපනය විමත් සමග ය.  නූතන තාක්ෂණය රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක් වුවත් සංගීතය වැනි විෂයකදී එය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ පැහැදිළි ක්‍රම වේදයක් අපට නැත. එසේ වුවත් එවැනි ක්‍රමවේදයක් බලෙන් පැනවිය නොහැකි බව ඉඳුරා පැහැදිළි කරුණකි. එය එකිනෙකාගේ රුචි අරුචිකම් අනුව ශ්‍රව්‍ය ගෝචර මෙවලමක් ලෙසින් විවිධ ක්‍රමවලින් භාවිතා කල හැකි ය. 

මෙරට පෞද්ගලික ගුවන් විදුලි නාලිකා සහ රූපවාහිනී නාලිකා බිහිවිමට පටන් ගැනිමත් සමගම තරගකාරී මාධ්‍ය කලාව හමුවේ සුභාවිත ගීතය වල්වැදී යාමේ ආරම්භය ඇති විය. නව සංගීත පරපුර තුළ ඇති වූ සංගීතමය උන්මාදය  සහ එළිමහන් ප්‍රසංග වේදිකා කලාවේ ප්‍රාසාංගික කණ්ඩායම් සංගීත කලාව පිළිබඳව රසිකයන් දැක්වූ දැඩි උනන්දුව නිසා ම ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් කැසට් නිෂ්පාදකයින් හා ව්‍යාපාරිකයන් කළ දුටු කල වළ ඉහ ගත්තාක් මෙන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන හරසුන් පදමාලා සහිත ගීත සංස්කෘතියක් බිහි කරමින් එවැනි ගීත  නිෂ්පාදනය කරමින්, තරඟකාරී මාධ්‍ය සංස්කෘතියක් තුළ ගීතය වෙළඳ භාණ්ඩයක් බවට පත් කළහ.

එදා සිට ඇති වූ මේ සිංහල ගීතයේ බිඳ වැටිම ප්‍රවීණ ශිල්පින් අතළොස්සක් දෙනා එය රැක ගැනීමට කිසියම් පමණක හඬක් නැගීම  හැරුණු විට  සෙස්සෝ සිංහල ගීතය පිළිබඳව ඈලිමෑලි ස්වභාවයේ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරිම හේතුවෙන් ගීතය හරසුන් සහ කඨෝර   සංගීතයේ රිද්මයට නතු විය.

නිල්වලා ගඟ ගිමන් නිවනා තොටමුණේ
මුල් වතාවට මැදින් පුර හඳ හිනැහුණේ
ඇල්මෙන් අත් අකුරු ඇහිලූ දිවයිනේ
කල්පනා පිරි සදාකාලික යෞවනේ

රොද බඳින තැන කොතැන යුක්තිය සොයනා
හද අතින් ගෙන බිඳුණු තටු පිරි මදිනා
මදහසින් ගණ අඳුර විනිවිද දකිනා
නිදහසින් තොර සටන අතහැර නොයනා

බොඳව නොයනා සිහිනයක ඇස රඳවා
දුකම විහිදන පඬුපුලක අප හිඳුවා
සදය උපහාසයට දුකඳුළ කැඳවා
ගොතන වැකියකි දෙකකි හදවත බඳවා

පුංචි දෑතින් මහරු කවි පද විමසා
පුංචි ලෝකය සොඳුරු බර මහ මිනිසා
පුංචිකමකට ගොනු කරනු බැරි මිනිසා
පුංචි හේවා නැමැති සුන්දර මිනිසා
නිදහසින් වුව සටන අතහැර නොයනා

ගී පදමාලාව: මංජුල වෙඩිවර්ධන
සංගිතය සහ ගැයුම: ජයතිලක බණ්ඩාර
“නිල්වලා ගඟ” ගීතය මෙතනින් අහන්න
             


මිනිසුන් සංවේදී විය යුත්තේ සමාජය තුළ සිදුවන නොපනත්කම් කෙරෙහි ය. එසේ වූ කල්හි ගීතය වැනි ප්‍රබල කලා මාධ්‍යයක් මගින් ඊට ප්‍රතිරෝධය දැක්විය හැකිය.  රෝගී වෙමින් පවත්නා සමාජ දේහය නිරෝගී කරන්නට එදා සාධු ජන රාව ප්‍රසංගය මෙන්ම අද ගමින් ගමට යන රස වින්දන වැඩසටහනද මුල් තැනෙහි තැබිය හැකි සෞන්දර්යාත්මක වැඩසටහන් වේ. එවැනි සෞන්දර්යාත්මක වැඩසටහනක් ඉදිරිපත් කිරිමට ජයතිලක බණ්ඩාරයන් සුදුස කම් ලබන්නේත්, ඒ සඳහා ඇරයුම් ලබන්නේත් සිය ජීවිත කාලය ඔස්සේ ලබාගත් සංගීතමය අත්දැකීම් සහ භාවිතය නිවැරදිව සහ නිසි ලෙස හසුරුවා ගනිමින් ඕනෑම වයස් මට්ටමක ඕනැම වයස් කාණ්ඩයක රසිකයන් පිරිසකට ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ජයතිලක බණ්ඩාරයන්  සතු ව ඇති හෙයිනි. 

විශේෂයෙන්ම අධික පිරිවැයක් දරා ජනප්‍රිය සංගීත ශිල්පියෙකු හෝ ශිල්පිණියක කැඳවා එවැනි රස වින්දන වැඩසටහනක් සංවිධානය කිරිමට ලංකාවේ ප්‍රධාන පෙලේ පාසල්වල විදුහල්පතිවරුන්ට අවශ්‍ය තරම් මූල්‍ය ශක්තියක් තිබුණද පසුගිය කාල වකවානුව පුරාම ඔවුන් සිය පාසල් සිසු දරුවන්ට රසවින්දනය හඳුන්වා දීම පිණිස ඇරැයුම් කරන ලද්දේ ජයතිලක බණ්ඩාරයන්ටය. එය වඩාත් ම තහවුරු වූයේ කොළඹ නගරයේ ජනප්‍රිය පාසල්වල මෙන් ම මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ දින 12 ක් පුරා සිසු දරුවන් සහ දෙමව්පියන් වෙනුවෙන් පැවැති රස වින්දන වැඩසටහනත්, කඳාන ඩි මැසනඩ් විද්‍යාලයේ දින 05 ක් පුරා පැවති රසවින්දන වැඩසටහන් මාලාවත් ය. මෑතකදී ගම්පහ ප්‍රධාන පෙළේ ටියුෂන් ආයතනයක් වූ නැණික් ආයතනය ද ඔවුන්ගේ ටියුෂන් කලාව මොහොතකට නතර කර  උසස්පෙළ සියළු විෂය ධාරාවන් හදාරන ටියුෂන් යන දරුවන්ට ද මේ රසවින්දන වැඩසටහන විඳින්නටත් ඒ ඔස්සේ නිර්මාණාත්මකව හිතන්නටත් අවශ්‍ය පසුබිම දවසක් පුරා සකස් කර දී තිබුණි.

එසේ රසවින්දන වැඩසටහන ඔස්සේ සුභාවිත ගීත කලාව යළියළිත්  නූතන සිංහල ගී රසිකයන්ට දැයේ දරුවන්ට, දෙමව්පියන්ට සමීප කරවන්නනට වෙර දරන අතරතුරම කලාකරුවක් ලෙස සමාජ ක්‍රියාකාරම් වෙනුවෙන් ද පෙනී සිටී. ජනතාවාදී ලේබල් අටවාගත් බොහෝ කලාකරුවන් මැතිවරණ සමයේජනතා ක්‍රියාකාරීහු  ලෙස පෙනී සිට ලද තනතුරු ලාභාපේක්ෂාවන් හමුවේ මුනිතව රකිද්දී ජයතිලක බණ්ඩාරයන් තවමත් මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන් කීප දෙනා අතර මුල්තැනක සිටී. 

වැස්ස වගේ ඇද හැලෙමූ
සුළඟ වගේ එකට ඉමූ
මූද වගේ මුතු බඳිමූ
ඉර හඳටත් එළිය දෙමූ

රතු තොල් විදහා මුදු මුහුණේ
අපටයි ගහවැල සිනාසුනේ
දරුවන් වඩමින් ළය මඬලේ
අපටයි මිහි මවු කතා කළේ

අහස හඬන හඬ ඇහෙන හිතක්
පොළව හඬන හඬ දැනෙන ගතක්
සෙනෙහස උතුරා ගලන ලොවක්
උදා කරමු අපි අපේ ලොවක්

ගී පදමාලාව : මහින්ද චන්ද්‍රසේකර
සංගිතය: ප්‍රේම් රංජිත් විජේවික්‍රම
ගැයුම: ජයතිලක බණ්ඩාර

වැස්ස වගේ” ගීතය මෙතනින් අහන්න
                        
පසුගිය දවසක  වකුගඩු රෝගයෙන් පෙළෙන රජරට රෝගී වූ දුප්පත් අහිංසක දනන් වෙනුවෙන් මානවවාදී ගුණයෙන් පිරිපුන් කලාකරුවකු ලෙස ජයතිලක බණ්ඩාරයන් අනුරාධපුර ශාන්ත ජෝශප් දෙව්මැදුරු රංග ශාලාවේදී “ජීවිතයට අරුතක්” ගී දැහැන යළිත් සිය ගී හඬ අවදිකළේ ඒ ජනතාවාදී බව නැවත නැවතත් තහවුරු කරමිනි. එහි පැමිණ සිටියේ කලාවත් රසවින්දනයත් විනිවිදව මිනිසත් බව දුටු මිනිසුන් ය.

අවම සංගීත භාණ්ඩ කිපයක් උපයෝගී කර ගනිමින් දිලිසෙන ඇඳුම් ආයිත්තම්, සැරසිලි, විදුලි අලංකරණ ආලෝක, කිසිවක් නොමැති ව, පොදු ජනතාව අතරට යාමට "මුදල" අත්‍යවශ්‍යක සාධකයක් නොවේය යන මතය තහවුරු කර ජයතිලක බණ්ඩාරයන් " ජීවිතයට අරුතක්" සංවේදී ගී දැහැනේ දැහැන් ගතවෙමින් රජරට රෝගී ජනතාව වෙනුවෙන් හෝරා තුනකට ආසන්න කාලයක් ගී ගැයුවේ ය.

ඔහුට අවශ්‍ය වූයේ ජනතාව අතර සිට ජනතාවගේ හඬ නගන නියෝජිතයෙක් වීම විනා සුපිරි ගී තරුවක් විම නොවේ. ප්‍රසංගය අතරමැද දී ඔහු ගේ දෑසින් කඳුළු කඩා වැටෙද්දී මහත් ආයාසයකින් නැවත ප්‍රසංගය සමග ඒකාත්මීය වූයේ  තමන් තෝරාගත් මේ දුෂ්කර ගමන් මගට එකතු වූ රසිකයන් පිරිසක් සිටි නිසාය.

"
ජීවිතයට අරුතක්" සංවේදී ගී දැහැන ‍සිංහල බසින් පමණක් නොව දෙමල බසින්ද ඉදිරිපත් කරමින් සියලු  මිනිසුන් වෙනුවෙන් ඔහු සිය හඬ අවදි කළේ ඒ මිනිස්කම වටහා දීමටය.  

කොළඹදී සුපිරි රංග ශාලාවක ප්‍රසංගයක් වෙනුවෙන් ගතකරන හෝරා දෙක තුනට වඩා බොහෝ වටිනාකමක් ඇති හෝරා කීපයක අගය දැනුණේ ඒ මොහොතේය.

 එදා සාධු ජන රාව වැඩසටහන රට පුරා සැරිසරද්දී  බොහෝ කලාකරුවෝ සමාජ වගකිමක් ලෙසින් ජනතාව නියෝජනය කිරිමට  හැකි සෘජු මාර්ග ලෙස ගීතය සංගිතය සහ සිනමාව තෝරා ගත්හ. ඔවුන්ගේ ඒ ජනතාවාදී බව පිළිඹිඹු වූයේ ඇතැම් නිර්මාණවලින් පමණි. පසු කලෙක  මැතිවරණ වේදිකාවල තම තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂවලට ජනතා සහය ලබාගැනිමට නිර්මාණ ඔස්සේ පෙන්වූ ජනතාවාදී බව අවියක් කොටගත්හ. අවසානයේ සිදු වූයේ ඔවුන් තමන් ‍විසින් ගොඩනගා ගත් කීර්තිය උගසට තබා දේශපාලන වේදිකාවල කළ කැපකිරීම් වෙනුවෙන් පඬුරු පාක්කුඩම් ලෙස විවිධ තනතුරු හා වරප්‍රසාද ලැබ නිහඬ වන්නට ය. 

ජයතිලක බණ්ඩාරයන් සැබෑ කලාකරුවකු ලෙස තවදුරටත් අපට හමුවන්නේ මේ සන්දර්භය තුළ දීය. තමන් නියෝජනය කළ දේශපාලන මාවතෙන් බැහැර වුවද තමා අත්විදින දේශපාලනය සහ සමාජ ක්‍රමය තුළ ජනතා කලාකරුවකු ලෙස තවදුරටත් මිනිසුන් වෙනුවෙන් හඬක් නගන්නට ඔහුට හැකියාව ඉතිරි කර තබා ගනිමින් ඔහු ඒ උගත් සංගිත කලාව හෝ දේශපාලන අත්දැකීම් උගසට තැබුවේ නැත.

 සංගීතයෙන් ගොඩනැගූ දේශපාලන දෘෂ්ටියත් ජනතාවාදී කලාකරුවකු ලෙස මිනිසුන් වෙනුවෙන් දැක්වූ අපරිමිත දයාබර බවත් හැර ගුණදාස කපුගේ නික්ම ගොසිනි.  තම දීර්ඝ කාලින කළ්‍යාණ මිත්‍රයා  වූ කරුණාරත්න දිවුල්ගනේ වත්මන් උතුරු මැද ආණ්ඩුකාරවරයා ලෙසට දේශපාලන පත්විමක් ලැබ නිහඬ වී සිටී.  ඔවුන්ගේ ගමන් මග ගීයෙන් සරසා ලූ මහින්ද චන්ද්‍රසේකර ආණ්ඩුකාරවරයාගේ ලේකම්වරයා ලෙසින් කටයුතු කරයි. පාසල් සමයේ  අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ එකම පන්තියේ ඉගනුම ලැබූ බර්ටි ප්‍රේමලාල් දිසානායක වසර විස්සකට ආසන්න කාලයක් උතුරුමැද ප්‍රධාන අමාත්‍යවරයා ලෙසින් කටයතු කළේය. මේ දිග ඉතිහාසය තුළ අවශ්‍ය වූයේ නම් තමන් නියෝජනය කළ පන්තිය අතහැර දමා එවැනි අවකාශයක තනතුරක් හෝ වරප්‍රසාදයක් භාර ගෙන නිහඬ වන්නට අවශ්‍ය පසුබිම ජයතිලක බණ්ඩාරයන්ටද තිබුණි.

එහෙත් ඔහු එසේ කලේ නැත. එවන් කලාකරුවෝ නිරන්තරයෙන් ගෞරවයටත් පැසසුම් ලැබිමටත් පාත්‍රවන්නේ එහෙයිනි. ජයතිලක බණ්ඩාරයන්ගේ සංගිත දිවිය හතළිස් වසරක් ඉක්මවා ඇත.  කාලය හමුවේ සියල්ල වෙනස්වී ඇත. උතුරේ නඩරාජලාත්, සෙල්ලම්ලාත්,දකුණේ සුමනසිරිලාත්, සෙනෙහෙලතාලාත්, මොහොමඩ් කාසිම්ලාත්, රාමලාන් සඳ එලියේ හිනැහුණ පාතිමාත් අද වෙනදාටත් වැඩිය විරසකය. ශාන්තිනී, සෙල්වි, ශිවරමණී, එක්කම එකම පන්තියේ අකුරු කළ සරෝජාත් එකම මිහිමත නිහඬව සැතපෙති. කාලය සියළු දේ වෙනස් කර ඇත. රුසියානු සාහිත්‍යයේ හමුවන බොහෝ කලාත්මක චරිත සේම  ‍ලෙස ජයතිලක බන්ඩාරයන් සතු කලාත්මක භූමිකාවද  මා  මනසේ ඇඳී තිබේ. සැබැවින්ම ජයතිලක බණ්ඩාර යනු  තරු බබලන රටක තරුවලට එලියදෙන හිරු මඬලකි.෴

පිරිත් පුරන බෝ මළුවෙන් පිරිත් පැන අරන්
සමන් පිච්ච මල් අරගෙන කෝවිල් මළුවෙන්
රාමලාන් සඳ එළියේ වාංගු කියමින්
අපි කල්වාරියෙ කන්ද නගිනවා
අපි සිරීපාදෙ කන්ද නගිනවා

මේ පොළව පුරා මල් පිපුණේ අපට මල්ලියේ
අතු රිකිලි නවා ඵල හැදුණේ අපට නංගියේ
මේ පොළව බෙදූ මායිම් පැන එන්න මල්ලියේ
අපට හිතේ පිපුණු මල් දෝතක් දෙන්න නංගියේ

මවක් වගේ අප සිඹිනා සොඳුරු ලෝකයක්
පියෙක් වගේ අප රකිනා සොදුරු ලෝකයක්
කාසිම් ධර්මේ රාජ සුන්දරම්
මේ කඳුලු ග‍‍ඟේඔරු පදින්න බෑ
අපි හදා ගනිමු අපේ ලෝකයක්

ගී පදමාලාව : මහින්ද චන්ද්‍රසේකර
සංගිතය: අජිත් ජයවීර‍
ගැයුම: ජයතිලක බණ්ඩාර

“පිරිත් පුරන බෝ මළුවෙන්” ගීතය මෙතනින් අහන්න
                           

විශේෂ ස්තූතිය:
ජයතිලක බණ්ඩාරයන්ට,
තුසිත කුමාර සහෘදයාණන්ට
වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර සහෘදයාණන්ට  (යසනාත් සිතුවිලි )
තරු රසී බ්ලොග් අඩවියේ තරුරසී සුහදිනියට
Related Posts Plugin for WordPress, Blogger...