එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Friday 26 July 2013

෴ අඳින සලූ මිදුලෙ එලූ නයන කලූ ෴


                      නුවන් අබියස පෑයූ රුවන් තාරකා

උදාවන හැම රාත්‍රියම සුන්දර නොවේ. එසේම සෞම්‍යද නොවේ. එහෙත් මිනිසකුට අලුතින් යමක් හිතන්නට හෝ විඳින්නට යමක් නොලැබුනේ නම් ඒ දවස උදා වී ඇත්තේ හිස් බව මිටන් ගෙනය. දහසකුත් එකක් ගැටලු වලින්  දවස ගෙවන මිනිසුන්ට මේ ගෙවන ජීවිත කෙබඳු අත්දැකීම් ජීවිතයට එකතු කරන්නේදැයි කියාදෙන්නට කිසිවකු නොවේ. එහෙයින් අප මේ ගෙවන්නේ ජිවිතයේ කුමන සංක්‍රාන්ති සමයක්ද? කෙනෙකුට රිසි සේ  කියවන්න, අහන්න, දකින්න, විඳින්න හැකි නිදහස් අවකාශය ක් හෝ පසුබිමක් ඇති නොවන පසුබිමක යන අතක ජීවිතය ගලා යන්නට ඉඩ හැර බලා සිටින පිරිසක් ව ඔබත් මමත් පත්ව සිටින්නෙමු.   

70 සහ 80 දශකවල කලා සහ සංස්කෘතික නිර්මාණයන් පිළිබඳව මෙනෙහි කරමින්, ඒවාට යළි යළිත් සොයන්නට විඳින්නට රිසියක් දක්වන පිරිසක් බවට පත්ව සිටින්නේ ඒ අතීතත කාමය තවමත් මනසේ නින්නාද දෙමින් රැඳී තිබෙන හෙයිනි. එවන් යුගවල ආචාර්ය වික්ටර් රත්නායකන් විසින් මෙරට රසිකයන්ට තිළිණ කළ ඒක පුද්ගල ප්‍රසංග කලාව ඔස්සේ ගොඩ නැගුණ සංගීත සංස්කෘතිය යෝධ පවුරක් වෙමින් අදටත් සියලු රසික විඥානයන් සුරකිමින්  සිටී. එදා ආචාර්ය වික්ටර් රත්නායකයන් ගොඩ නැගූ මේ යෝධ සංගිත සංස්කෘතිය තුළ පසුකාලිනව ආචාර්ය පණ්ඩිත් අමරදේව, විශාරද නන්දා මාලනී, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි,  ආචාර්ය දයාරත්න රණතුංග මහාචාර්ය අමරා රණතුංග විශාරද ගුණදාස කපුගේ මාලනී බුලත්සිංහල වැනි ශිල්පීන් විසින් තවදුරටත් ශක්තිමත් කරන ලද අතර, ඔවුන් විසින් පසු කාලීනව ඇති කරන ලද ඒක පුද්ගල ප්‍රසංග කලාවේ මහිමය වර්තමානයේ  සුනිල්එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි දක්වා විහිදුනි. අනතුරුව ලංකාවේ ඒක පුද්ගල ප්‍රසංග කලාව තුළ තරමක් දුරට වූ රික්තයක්  ඇති විය.

එවන් වූ රික්තයක මිනිස් ජීවිතවලට බාහිරින් එබෙන නේක දුක් දොම්නස්, තැවුල් මිනිස් සමාජයක ගොඩ ගැසෙන විට ඒ මිනිසුන්ට සියලු රස සංවේදනාවන් අවදි කරමින් අලුතෙන් හිතන්නට ලැබෙන ඉඩකඩ ඉතාමත් අඩුය. එවන් සමයක  විරල සංගීතමය හෝරා කීපයක් විඳින්නට රසික සද්ජන සමුහයාට  උදා වූයේ පසුගිය සෙනසුරාදා සැන්දෑ යාමේ කොළඹ 07 මියුසියස් රඟහලේදී ය. එදා ඒ සැන්දැවට පැමිණ සිටියේ සියලු රස සංවේදනාවන් හොඳින් හඳුනන රසික කැලකි. ඒ රසික කැල වෙනුවෙන් සිය ගායන මාධූර්යය අවදිකරන්නට සූදානම්ව සිටියේ විශාරද බණ්ඩාර අතාවුද නම් සොදුරු ගාන්ධර්වයාණන්ය. අති මධුරතර ප්‍රේම ගීතාවලියක හිමිකරුවා වෙමින් විශාරද බණ්ඩාර අතාවුද සිය මධුරතර ප්‍රේම ගීතාවලිය රසික දෑස් අබිමුවෙහි පිහිටුවා “රුවන් තාරකා“ එක රන් හුයක අමුණා එක පෙළට ගයන්නට සූදානම් ව සිටියේය.

රාත්‍රියේ සිසිලස කැන්දමින් කොලොම්පුරයට අඳුර වැටෙද්දී ප්‍රේමවන්ත හදවත්හි සිඳි බිඳි ගිය ආදර මතක  යළි යළිත් මතකයට කැඳවන්නටත්,  යට ගියාවේ බිඳුණු පෙම් සිත් රහසේ අවදි කරවන්නටත් ඒ හෝරා කීපය බණ්ඩාර අතාවුදයන්ට සෑහෙන තරම් විය. හද ගැබ සඟවා හුන් ආදර මතකයන් යළි යළිත් සොය සොයා අවදි කරමින්  බණ්ඩාර අතාවුද සිවු දශකයක් මුළුල්ලේ සිතේ සිර කරගෙන හුන් ප්‍රේම ගිතාවලිය පැය දෙක හමාරක් රසික සවන් පත් යා කළේ ය.
සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකි බිඳ වැළපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා

ඔබෙ සෙනෙහස දැක සැඟවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නයේ තනිවන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ

මිලාන වූ මල් ඉකි බිඳ වැළපෙයි
විකසිත කුසුමන් හිනැහෙද්දී
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කඳුළු දකී

ගී පද මාලාව : කුසුම් පීරිස්
සංගීතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද

                        සිතුවිලි සිරවී  ගීතය මෙතනින් අහන්න.




විශාරද බණ්ඩාර බණ්ඩාර අතාවුදයන්ගේ “රුවන් තාරකා “ ගී ප්‍රසංගය සංගීයෙන් හැඩ ගැන්වූයේ රෝහණ ධර්මකීර්ති ප්‍රමුඛ 15 දෙනෙකුගෙන් යුතු වාද්‍ය වෘන්දයකි. ප්‍රසංගය ආරම්භයේදීම රෝහණගේ අපූර්ව වාද්‍ය වෘන්දය රුවන් තාරකා ගීය අනුවාදනයකට නැගුවේ ඩී.ඩී.ගුණසේනගේ වයලීනය හඬවමිනි. ඩී.ඩී. ගුණසේන ගීතයේ පළමු ස්ථායි කොටස වයලී‍නයෙන් වයද්දී ගීතයේ  පළමු අන්තරා කොටස දිලූෂ රවීන්ද්‍රනාත්ගේ සිතාරයෙන්ද, ගීයේ දෙවන අන්තරා කොටස මහින්ද බණ්ඩාරගේ ලීඩ් ගිටාරයෙන්ද වැයෙද්දී නාලක‍ අංජන කුමාරගේ රිදම් ගිටාරය රුවන් තාරකා ගීය ගිටාරයේ තත් අතර සිර කරමින්  ප්‍රසංගයට ආන්නදය කැඳවීය.  රුවන් තාරකා ගීයේ අනුවාදනය ප්‍රසංගයේ තේමාව බවට පත්කරමින් ගී අනුවාදනය  අවසන් වූයේ සියලුම වයලීන සියල්ලම සාමූහිකව ගීතයට දායකත්වයක් ලබා දෙමිනි. ඒ නම් පැමිණි රසිකයන්ට ආනන්දයක්ම විය.

බණ්ඩාර අතාවුදගේ මුල්ම සරල ගි වැඩසටහනින් ඇසුණු  රුවන් තාරකා ගීතය රෝහණ වීරසිංහයන්ගේ මධුර තනුවකි.  මේ පුර්ව නිර්මිත තනුවට වචන යොදා ඇත්තේ කුමාරදාස සපුතන්ත්‍රී ගේය පද රචකයා විසිනි. ගී තනුවකට සැණෙකින්  වචන යෙදීමේ  ඔහු සතු මනා හැකියාව මේ ගිතය සිවු දශකයක් පුරා පවසන්නේ  ඒ ගී බසෙහි ඇති විචිත්‍රතාවයයි.

එදවස ගීයක් නිර්මාණය කිරීමේදී ගායන ශිල්පියා, ශිල්පිණිය, සංගිතඥයා සහ පද රචකයා යන තිදෙනාම එක්ව හිඳිමින් ගීත නිර්මාණය කළේ 70 සහ 80 දශකවලදිය. එවන් යුගයක 70 දශකය අගභාගයේ ගීතය ගුවන්විදුලියේ පටිගත වන අතරතුර ලියව ලද්දකි. ඒ මේ ගීතයයි.

රුවන් තාරකා නුවන් පායලා
ඉඳින් හදවතේ රැඳී වේදනා නිවා.

නිසල රැයේ නැගෙන සඳේ සිසිල වූ ඔබේ
සෙවන ඇගේ  සුවය ගෙනේ  නිබඳ මා වෙතේ
නිබඳ මා වෙතේ

තිසර විලේ පිපුණු මලේ රැඳුණු ආදරේ
සුවඳ ගෙනේ සතර දෙසේ යොවුන් මා වෙතේ
යොවුන් මා වෙතේ

ගී පද මාලාව : කුමාරදාස සුපුතන්ත්‍රී
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද

                    රුවන් තාරකා  ගීතය මෙතනින් අහන්න.


විශාරද බණ්බාර අතාවුද ගී ලොවට පිවිසියේ  සෙංකඩගල පුරවරයෙනි. බාලවියේ පටන් සංගීතය කෙරෙහි ඇල්ම දැක්වූ ඔහු සිය ජීවන මං පෙත සරසාගන්නේ සංගීතයෙනි. එවකට රජයේ සංගිත විද්‍යාලයේ (හේවුඩ්) සිටියදී  ගුවන් විදුලියේ ශාස්ත්‍රීය ගායන හා වාදන ඉදිරිපත් කළ ඔහුගේ ගුවන් විදුලි දායකත්වය පසු කලෙක ගුවන් විදුලි සරල ගීයේ  රස මිනුම් දඬු ශක්තිමත් කරන්නට ඉවහල් විය. හැත්තෑව දශකයේ මැද භාගයේදී ගුවන්විදුලියේ සරල ගී ශිල්පියෙකු ලෙස තේරි පත් වූවත් විශාරද බණ්ඩාර අතාවුද   මේ සිවු දශක‍ය පුරා ගීත සිය දහස් ගණනක් ගැයූවකු නොවේ. එහෙත් එසේ ඉඳහිට ගැයූ ගීත අතලොස්ස අපට නිතර ඇසෙන සිය දහසක් ගීතවලට වඩා මිහිරිම රසයක් ලබා දෙයි. ඒ හතළිස් වසරකට පෙර බණ්ඩාර ආතාවුදගේ මුල්ම සරළ ගී වැඩසටහන් අතර තිබූ මේ ගීය කිසිදා මතකයෙන් ගිලිහී නොයන ගීයකි.
ආශාවේ මල් වැටෙව් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කලූ ඔබ මගේ කලූ
නයන කලූ ඔබ මගේ කලූ

රෑ නිල් අහසේ නිදන සඳවතී
අඳින සළු මිදුලෙ එලූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කලූ මට කියනු කලූ


පායන සඳ සේ රුසිරු හසරැලී
දෙතොල වෙලූ නයන කලූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කලූ මට කියනු කලූ

ගී පද මාලාව : ඩෝල්ටන් අල්විස්
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද

     නයන කලූ  ගීතය මෙතනින් අහන්න.


සාමාන්‍යයෙන් ගායන ශිල්පියකු හෝ ශිල්පිණියක තෝරාගනු ලබන  ගීත අතර විවිධාකාරයේ ගීත තිබුණද බණ්ඩාර අතාවුද ගැයූ  ගීත අතර “රාත්‍රිය සහ සඳ එළිය“  පිළිබදව ගැයෙන ගීත ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩිය. එය රුවන් තාරකා බැබලූ රාත්‍රියේද එසේම විය. රාත්‍රිය ගැන වැඩියෙන්ම ගී ප්‍රමාණයක්  ගයා ඇත්තේ ඔහු විය යුතුය. එසේම බණ්ඩාර අතාවුදට ගී ලියූ ගීත රචකයන් පිරිසද අතලොස්සකි. එයින්  වැඩිම ගීත සංඛ්‍යාවක් කුමාරදස සපුතන්ත්‍රී සහ කුසුම් පීරිස්  විසින් ලියන ලද ඒවා වන අතර, ඒ  ගීවල තනු නිර්මාණකරුවන් පිරිසද අතලොස්සකි.

ගුණදාස කපුගේ, එච්.එම්.ජයවර්ධන, සහ  රෝහණ වීරසිංහ බණ්ඩාර අතාවුදට හැදූ ඒ රම්‍ය වූ මධුරතර ගී මාලාව කිසිදාක නොමියෙන සේ  රසික සිත් බැඳගන්නට සමත් වූවාට කිසිඳු සැකයක් නැත. ඒවා ගී රසිකයන්ගේ සදාකාලික මතකයන්හි නින්නාද දෙන්නේ ඒ නිසාය.   මතු දැක්වෙන ගීයද එවන් ගීයකි ප්‍රවීන රංගනවේදී ජයලත් මනෝරත්නයන් විසින් ලියා ඇති මතකයේ රැඳෙන ගී දෙකතුන අතරින් මේ ගීය මනෝරත්නගේ කවීත්වයේ ප්‍රතිභාව සම්බන්ධයෙන් පැහැදිළි නිදසුනකි.

ඔබ ඈත සඳවී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ,  ඔබ මා ළඟ ඉන්නා

අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමු වූයේ
ඒ ඈත් බවිනි හද බඳුනේ
සෙනෙහසේ සොඳුරු බව පිරුණේ

මධු සඳ තරු අද හමුවිලා
සිටියද ඔබ මා ළං වීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු, සොඳුරු සෙනේ ගඟ සිඳිලා

ගී පද මාලාව : ජයලත් මනෝරත්න
සංගීතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද

         ඔබ ඈත සඳවී පායා ගීතය මෙතනින් අහන්න.




ගීතය, ගායනය සංගීතය සහ පදමාලව  යත ත්‍රිත්වයේ මනා සංකලනයකින්  නිර්මාණය වූවකි. ඒ අපූර්ව වූත් අර්ථවත් වූත් නිර්මාණ සංකලනය බණ්ඩාර අතාවුද ගැයූ හැම ගීයකම දක්නට ලැබේ. එකිනෙකට වෙනස් අරුතින්ද එකිනෙකට වෙනස් මියුරු තනු මාධුර්යයෙන්ද  සුසැදි ඔහුගේ ප්‍රේම  ගී මාලාව බණ්ඩාර අතාවුදගේ ගායනයේ ප්‍රබලත්වය මත අඳින සිතුවමක්  වැන්න. එසේ  නිර්මිත කිසිඳු ගීයක  සංගීතඥයා හෝ ගී පදරචකයා ගිතයේ පදමාලාව අතර අතරමං වී නැත. බණ්ඩාරයන් මෙතෙක් ගැයූ ගීත ප්‍රමාණය සුළු සංඛ්‍යාවක්  වුවත් ඒ  සියල්ල මධුරතර ගීත බවට පත්වීමේ රහස එයයි.

කඳුළු පිසදාලන සතපාලන රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්

අවර නැකත නොවේ
තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී
සතුටු කඳුළු පිපේ
මල් යායක සිත් යා කළ නුඹමය දේවී

අරුණ ගලන පැයේ
නෙත් මානෙන් ඉගිලී යන නුඹමය රාත්‍රී
සිතට තනිය නොදී
තුන් තිස් පෑ මල් යහට වැඩපන් දේවී

ගී පද මාලාව : වසන්ත කුමාර කොබවක
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගීතනුව සහ ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද

            කඳුළු පිසදාලන ගීතය මෙතනින් අහන්න.


වර්තමානයේ ප්‍රේමයේ උමතුවෙන් වැටෙන මුරුගසං වැස්ස හසුව තෙමි ගැහෙන ප්‍රේමාතුරයන්ගේ දුක් අඳෝනා ගී මොහොතකට හෝ අමතක කර  එවන්  මධුරතර ප්‍රේමයේ සුවඳින් යෞවනය විකසිත කුසුමක් බවට පත්කළ හැක්කේ මෙවන් ආකාරයෙන් තෝරා බේරාගෙන ගී ගයන ශිල්පීන්ට පමණි.  බණ්ඩාර අතාවුදයන් එවන් සෞන්දර්යවාදී ගුණයෙන් පිරුණු නිර්මාණකරුවකි. ඔහු සිය ගීතයෙන්  ආදරයට ආදරය කරන්නටත්, ප්‍රේමයට ප්‍රේම කරන්නටත්  කියාදනෙ ගායන වේදියෙකි.  සෑබැ ලෝකයේ නැවුම් ප්‍රේමයක් කිසිවකුටත් කිසිම දිනෙක හමු නොවූවත් නිර්මාණලෝකයේ හමුවන හැම පෙම් පුවතක්ම ගීයට නැගූවිට එය ආදරයේත් ආනන්දයේත් අනුරාව නගන්නේ ඒවා සැබෑ මිනිසුන්ගේ ජීවන අත්දැකිම් බවට පත් කරමිනි.
උදාවෙන්න මේ රාත්‍රියේ
වෙලාගන්න  මේ කාන්තියේ
මගේ දුක් දරාගන්න හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ

උයනේ පිදී  සුවඳින් නෑවී
කැකුළක් ලෙසේ කේතකී
මාවා වෙත එයි ඈ පෙරමග සරසා
සඳුනේ නැගෙන් රාත්‍රියේ

දියඹේ බිහිවී වෙරළේ මියැදී
රළ වැල් ලෙසේ  සාගරේ
මා හැර යයි ඈ තනියට ළංවී
සඳුනේ නැගෙන් රාත්‍රියේ

ගී පද මාලාව : බන්දුල නානායක්කාරවසම්
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද

       උදාවෙන්න මේ රාත්‍රියේ  ගීතය මෙතනින් අහන්න.



රුවන් තාරකා ගී ප්‍රසංගය ඒක පුද්ගල ප්‍රසංග කලාවට නැවුම් ආලෝකයක් වැටී  එන යුගයක් එළඹී ඇති බව සනිටුහන් කරමින්  කන්ද උඩරටින් 70 දශකයේ පෑයූ ගී තාරකාව  විශාරද බණ්ඩාර අතාවුද සිවු දශකයක් මුලුල්ලේ ගයා ඇති ගී අතලොස්ස  කුසුම් කැන් මිටක් සේ ගෙන එදින රාත්‍රියේ මියුසියස් විද්‍යාලයේ රඟහලපුරා විකසිත කළේය. එය හරියටම නිරුවත් රාත්‍රියකට මනරම් සළු පැළඳ වූ මොහොතක්ම විය. සිවු දශකයක් පුරා  රැස්කර ගත් විශාරද බණ්ඩාර අතාවුදයන්ගේ  ඒ ප්‍රේමයේ ගී අස්වැන්න විඩාබර රසික සවන් පත් තවත් යුග යුග ගනනකට සෑහෙන්නට තරම් හදවතේ තැනක  අමරණිය මතකයක් වන සේ රඳවා තබන්නට සමත් විය.

ප්‍රසංගය අතර මැද දී බණ්ඩාර ආතාවද විසින් උත්තර භාරතීය රාගධාරී සංගීතය ඇසුරු කරගනිමින් ඉදිරිපත් කළ ශාස්ත්‍රීය වයලීන වාදනය ප්‍රසංගයට අපූර්වත්වයත් විඳගනිමින් මියුසියස් රගහල පුරා පිරීතිරී ගිය සුවහක් රසිකයෝ  හෝරා දෙක හමාරක් තිස්සේ රුවන් තාරකා ඔස්සේ ගලා හැලුණ ගී ගඟුලේ කිමි දෙමින් සිටියහ. ඒ වුකලී ආදරය, ප්‍රේමය පිළිබඳ ආනන්දයේත් ප්‍රඥාවේත් නැවුම් හැගුම් බණ්ඩාර අතාවුදයන් විසින් සිය ගී හඬින් අවදිකළ අපූර්ව වූ හෝරා කීපයකි. ෴





Thursday 18 July 2013

෴ කන්තලෙන් ලෝකයට ඉගිල්ලෙන මාලුවෝ Flying Fish ෴

                                                     සංජීව පුෂ්පකුමාර; 
            මුහුදෙන් එහා අමතන සිනමාවක පෙර වදන


ඇත්තටම උඹේ සිනමා කාව්‍ය “ඉගිල්ලෙන මාලුවෝ “ ගැන යමක් ලියන්න හිතාගෙන හිටියෙ අස්වැන්න ලියන්න පටන් ගත් දවස්වල ඉඳල. ඒත් ඒකට අවශ්‍ය පසුබිමක් හෝ පරිසයක් ගොඩ නොනැගුණේ මට මේ චිත්‍රපටය නරඹන්න නොලැබුණ නිසා වගේ ම මේ දක්වා ම උඹ අධ්‍යන කටයුතු වෙනුවෙන්  විදේශ ගතව සිටින නිසා. ඒ නිසා ලැබුණ දිනෙක ඉගිල්ලෙන මාලුවෝ නැරඹීමෙන් පසුව යමක් ලියනන්නට දවසක් උදාවන තුරු පෙරුම්පුරමින්  කල් මැරුවෙමි. ඒත් උඹ අවසන් වරට විදේශ ගතවෙන්න මාස කිපයකට පෙර මට හමු වූ වෙලාවේ කීවේ  නිදහස් වෙලාවක ගංගොඩවිල, විජේරාම  නවාතැනේදි හමුවී ඉගිල්ලෙන මාලුවෝ සහ ලෝක සිනමාව ගැන කතාබහක් කරමු කියා ය. ඒත් උඹ විදේශ ගතවන තෙක්ම ඒකට ඉඩක්, අවකාශයක් නොලැබුණි. ඒක  එක්තරා අන්දමක කණගාටුවක්. දැන් ඒ සියල්ල අවසන් ව ගිහින්.  උඹ නිර්මාණය කරපු ඉගිල්ලෙන මාලුවෝ  සිනමා කෘතිය මේ වන විට රට තුළ ආන්දෝලනාත්මක කරුණු කාරණා රැසකට නිමිත්ත වෙලා. ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ප්‍රදර්ශනය කිරීමත් තහනම් වෙලා. ආණ්ඩුවේ  මාධ්‍ය උඹ  ත්‍රස්තවාදියෙක් එසේත් නැත්නම් එන්ජීඕ කාරයෙක් බවට පත්කරමින්  කරනු ලබන ද්වේශ සහගත යම් යම් ප්‍රකාශවලට එරෙහිව උඹට ආදරේ කරන උඹේ සිනමාවට ආදරේ කරන මිනිස්සු අන්තර්ජාලයේ වෙබි අඩවි සහ බ්ලොග් අඩවි ඔස්සේ  ප්‍රති උත්තර බදිමින් ඉන්නවා. උඹත් ඊයේ  මේ සියලු කාරණා වෙනුවෙන් පැහැදිළි කිරීම් කර තිබුණා. 

ඒ එහෙම වුනත්  අස්වැන්න මගින් කලාවේ සුන්දර ම සහ වින්දනීය ඉසව් පිළිබඳව සටහන් වන තැනක් විම නිසා ඉගිල්ලෙන මාලුවෝ සහ උඹ පිලිබදව සටහනක් නොලියා සිටිය නොහැකි නිසා මමත් කල්පනා කළා උඹ වෙනුවෙන් මොකක් හරි ලියන්න . මේ වන විට පියාඹන මාලුවෝ සිනමා කෘතිය  පිළිබඳව විවිධ අදහස් එකුතු වී ඇති හෙයින්  මම තවත් ඒ ගැන කියන්නෙ නෑ. ඒත් උඹ ආව මේ දුෂ්කර ගමන ගැනත්,  පියාඹන මාලුවෝ ගැනත් මම මගේ  කෙටි අදහස කියන්නම්.


උඹේ  සිනමා ගමන් මග ඉතා දුෂ්කර  සහ රළු මාවතක්  ඔස්සේ දිග හැරුණ එකක්. ත්‍රිකුණාමලයේ, කන්තලේ උපන් ගම කරගෙන කන්තලේම මූලික අධ්‍යාපනය ලබා අගනුවරට ආවේ සරසවි සිසුවකු විදියට ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයට . ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ  2005 වසරේදී සරසවි අධ්‍යාපන කටයුතු හමාර කළ උඹ 2006 වසරේදී ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණය පිළිබඳ ඩිප්ලෝමාවකුත් සම්පූර්ණ කළා.  

ඒත් උඹ මට හමුවන්නේ 2001 හෝ 2002 වසරේ දී විතර බව මතක යි. ඒ  උඹ සරසවි සිසුවකු ලෙසින් සිටින අතරතුරකාලයේ ම ය. උඹ සරසවි සිසුවකුව සිටිද්දී    කොළඹ නගරය ආශ්‍රිතව පැවැති විවිධ සිනමා කලා සහ රසවින්දන වැඩසටහන්වලට නිතර ආ ගිය කෙනෙක් විම නිසා උඹට මට  දැන හඳුනාගන්න  වැඩිකලක් ගත වුනේ නෑ. මගේ මතකයේ හැටියට ඒ වන විටත්  උඹ සරසවි සිසුවකුව සිටියදී ම  “සිරස ටී.වී.“ මගින් විකාශය වූ “කමත‘ වැඩසටහනට සම්බන්ධ වෙලා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය විද්‍යුත් ටීකාවක් සපයමින්  හිටියේ.  උඹේ වෙහෙස මහන්සිය තැවරූ සිරස කමත වැඩසටහන තුළින් උඹේ රූපවාහිනී නිර්මාණකරණයේ ගමන් මගට කෙසේ වුවත් එය ඉදිරිපත් කල වසන්ත බණ්ඩාර දුග්ගන්නාරාලට නම් එයින් හොඳ පසුබිමක් ගොඩනගා ගැනිමට හැකි වුණා.

කමත වැඩසටහන අවසානයෙන්  පසුවඋඹ සිරසෙන් ඉවත්වි කෙටි කාලයක් ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙලා  එවැනි ම කෘෂිකර්මාන්තය හා බැඳුණු වැඩසටහනක් නිර්මාණය කළා. ඒත් උඹ ප්‍රේක්ෂක දෑසට පෙනෙන සේ තිරයේ නොදුටුවත් තිරය පිටපස සිට කෘෂිකර්මාන්තය තෙවැනි ඇසකින් ප්‍රේක්ෂකයාට ළං කරවිමට ගත් වෙහෙස අහඹුවක් හෝ අලුත් දෙයක් නොවුනේ උපන්දා සිට කන්තලේ ජල තලාව පිස හමා ආ සිතල සුළං පොද සේ ම වැව වාන් දමමින් ගැලූ දිය දහර අග්බෝපුර දසදහසක් කෙත්වතුත් සාරවත් වූ ගොවි බිමක උපන් පුතකු වුන හින්දයි.  එහෙම ඉන්න කාලෙ ම ජාතික රූපවාහිනියේ ආලකමන්දාව ඇතුළු වැඩසටහන් ගණනාවකට නිර්මානාත්මක දායකත්වය ලබා දුන් උඹ  ජාතික රූපවාහිනියෙන් ඉවත් වී සිනමාවට යොමු  වුණේ ඉන් අනතුරුව ය. 

මේ අතරතුර කාලයේ 2008 වර්ෂයේ කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ පශ්චාද් උපාධිය ලබාගත් උඹ 2007 වර්ෂයේ දී ස්පර්ශය (Touch) , 2008 වර්ෂයේදී ඉගිල්ලෙන්න තටු (Wings to Fly), සහ 2012 වර්ෂයේ කොරියාවේ දීම අන්ෆොගිවන්  (Unforgiving) යන කෙටි චිත්‍රපට නිර්මාණය කළා. එයින් අන්ෆොගිවන් ප්‍රංශයේ කාන්ස් සිනමා උළෙලේ කෙටි චිත්‍රපට අංශය නියෝජනය කළෙත් මේ වසරේ ඉතාමත් මැතකදී . ශ්‍රී ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයන් වූ අපට මෙතෙක්  දකින්නට නොලැබුණ උඹේ කුළුඳුල් සිනමා කෘතිය “ඉගිල්ලෙන මාලුවෝ (Fling Fish) උඹ නිර්මාණය කළේ  2011 වර්ෂයේ.

ඒත්   2007 වර්ෂයේ දී උඹ නිර්මාණය කරපු කෙටි චිත්‍රපටය නිසා තරුණ චිත්‍රපට නිර්මාණකරුවන්ට හිමි වන ශිෂ්‍යත්වයක් ලැබී කොරියාවේ චොන්බක් ජාතික සරසවියට ඇතුළු වී සිනමාකරණය පිළිබඳ වැඩිදුර ඉගනුම ලබන්නට තරම් වාසනා වන්තයෙක් වෙනව. ඇත්තටම මට සතුටක් දැනුනෙ අපිත් එක්ක හිටි අපේම මිතුරකුට එහෙම වාසනාවක් ගැබුණ එකට. මේ වන විට උඹ ඒ කොරියානු රජයෙන් ම පිරිනැමූ ශිෂ්‍යත්වයක් මත සිනමාකරණය පිළිබඳ පශ්චාද් උපාධියක් හදාරමින් ඉන්නේ. ඒත් පසුගිය කාන්ස් සිනමා උළෙලේ ජූරි සභිකයෙකු ලෙස තෝරා ගන්නේත්, මෙතෙක් ලෝකයේ බිහි වූ විශිෂ්ඨතම චිත්‍රපට දහය තෝරා ගැනීමේ විනිශ්චය කමිටුවට සංජීව පුෂ්පකුමාර විදියට උඹ තෝරා ගත්ත බව දැනගත්තාමත් මට දැනුනෙ  ලොකු සතුටක්   ඒ ශ්‍රී ලාංකියෙක් විදියට උඹට එවැනි දුර්ලභ වාසනාවක් ලැබුණ නිසා. උඹ ගැන මේ ලෝකය බලා ඉන්න බව මට තේරුණ නිසා.

උඹ  තරුණ සිනමාකරුවකු විදියට  ප්‍රසන්න විතානගේගේ සිනමා නිර්මාණ  පිළිබඳව “ආත්ම බද්ද සිනමා රූප“ නමින් සිනමා විචාර කෘතියක්ද, “ජම්ප් කට් එකක්“ නමින් කොරියානු සිනමාව පිළිබඳ සිනමා විචාර කෘතියක් සහ කොරියානු සිනමාවේ කිම් කී ඩුක් ගේ සිනමාව පිළිබඳව ගවේෂණාත්මක කෘතියක්ද ලියා පසුගිය වසර කිපය තුළදී වරින්වර  එළි දැක්වූවා. හැබැයි ඒ නිකම්ම නෙවෙයි මහවැලි කේන්ද්‍රයේ එහෙමත් නැත්නම් ජාතික පුස්තකාල ශ්‍රවණාගාරේ තිබිච්ච උඹේ සිනමා දැක්ම පිලිබඳ සොදුරු කතාබහකුත් එක්කමයි. ඒවා හැම එකක්ම සුන්දර වුනේ උඹ උඹේ අත්දැකීම් අපේ රටේ සිනමාවත් එක්ක ගලපමින් කරපු පැහැදිළි කිරීම්වලට. අපිඒ දවස්වල  ඒවට ආවෙ ගියේ උඹේ ආදරණිය රසිකයන්  විදියට.


මුල්ම කොරියානු ශිෂ්‍යත්වය හමාර කර ලංකාවට ආවට පස්සෙ  පියාඹන මාලුවෝ සිනමා කෘතිය මගින් සිංහල සිනමාව තුළ  උඹ  දැකපු සිනමා ලෝකය  තරුණ ආගමනිකයෙක් විදියට  සටහන් කළා. ඒත් උඹේ සිනමාවට අනුග්‍රාහකයෙක් සොයා ගන්නටත්, වුවමනා රංගන ශිල්පීන් සොයා ගන්නටත් මහ වෙහෙසක් ගන්නට සිදු වූ බව මට මතකයි . කොහොම වුණත් උඹ උඹේ ඉලක්කය සහ අරමුණ සම්පූර්ණ කර ගත් බව සිනමාව වෙනුවෙන් සිටවූ මුල් බීජයෙන් ම පැහැදිළි වුණේ ඉගිල්ලෙන්න මාලුවෝ හැදුවට පස්සේ.  ඒකත් තරුණ සිනමාකරුවකුගේ ආගමනය සටහන් වෙනවටත්,  සිනමා කර්මාන්තයටත් කැමති  දේශිය ආයෝජකයෙකු උඹේ සිනමා ගමනයට ඉතා අමාරුවෙන්  සවියක් වෙද්දී චිත්‍රපටයේ අවසන් නිර්මානාත්මක පිරිවැය සම්පූර්ණ කර ගැනිමට නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සිනමා උළෙල සංවිධානය කරන හර්බට් බාල්ස් අරමුදල අධාර කළේ එලෙස නැගී එන මේ ශ්‍රී ලාංකික  සිනමාකරුවා වෙච්ච උඹටයි. ලංකාව නැතත් ලෝකය උඹ දිහා අවධානයෙන් බලා ඉන්න වග එයින්ම තේරෙනවා. ඒත්  ආණ්ඩුවේ මාධ්‍යවලට අනුව මේ පො‍‍ළොවෙ පය ගහල  ඉන්න උඹ හඳුනාගන්න බැරි වුණත් ජාත්‍යන්තර සිනමාකරුවන් සහ ජාත්‍යන්තර සිනමා සමාගම් උඹත් උඹේ හැකියාවත්   මේ වන විට මැනැවින් තහවුරු කරගෙන ඉන්නව. වඩාත්ම වැදගත් වෙන්න එපමණයි.


ඉගිල්ලෙන මාලුවෝ උඹේ කුළුඳුල්  සිනමා කෘතියේ තේමාව සඳහා තෝරා ගන්නේ උඹ උඹේ ගමේ මිනිසුන්  අත්විඳින ලද කටුක අත්දැකීම් සහ උඹේ දෑසට අහුවෙච්ච බිහිසුණු  යුද්ධයේ මානුෂිය පැති කඩක්. අමානුෂික ලෙස යුද්ධයෙන් පීඩාවට පත් වෙච්ච ත්‍රිකුණාමලේ කන්තලේ ගමෙන් නැගී එන සිනමාකරුවක්  විදියට උඹේ කුළුදුල් සිනමා කෘතිය “හිතළුවක්“ හෝ “විහිලුවක්“ විදියට නිර්මාණය කරන්න උඹට අවශ්‍ය වුණේ නෑ. උඹට ඕනෑ වුනේ ලාංකේය සිනමාවේ තැනක් හදාගන්නට අවශ්‍ය නෙවෙයි. උඹ ජීවත් වූ පරිසරයෙන් ම උඹේ ජීවන අත්දැකීම් ප්‍රකාශ කරන්නට. උඹ ඒක ඒ විදියටම කළා.  ඒ විදිහට  2011 වර්ෂයේදී නිර්මාණය කරපු ලද පියාඹන මාලුවෝ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමත වූ සිනමා කෘතියක් කියලයි දැනගන්න ලැබෙන්නෙ. ඒත්  ඒක තහනමට ලක් වන තෙක් ම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙච්ච අපට නරඹන්නට අවස්ථාවක්  ලැබුණෙ නෑ.  ඒත් ඉගිල්ලෙන මාලුවෝ 2011 සිට මේ දක්වා රොටර්ඩෑම්, සෙන්ට් පිටර්ස්බර්ග් සෝල් වගේ ජාත්‍යන්තර සිනමා උලෙල 30 කට ආසන්න සංඛ්‍යාවක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොඳම අධ්‍යක්ෂණය, හොඳම සිනමාකරණය, වගේ ඉසව්වලටත් හොදම චිත්‍රපටයටත් හිමි නෙට්පැක් සම්මානයත්   ආදී  විවිධ සම්මාන රැසකට පාත්‍ර වූ චිත්‍රපටයක්.  ගෙවුණ සති අන්තය දක්වා ම උඹේ ඒ හැම සම්මානයක්ම  ලබද්දී  ආණ්ඩුවේ මාධ්‍ය ඒ හැම අවස්ථාවක් ම මහා ඉහළින් වර්ණනා කරමින් කිව්වෙ උඹේ විශිෂ්ඨ සිනමා හැකියාව ගැනයි. 

ඒත් මේ වන විට උඹේ ඒ ජයග්‍රහණ සියල්ල ආපසු කැරකී  ඇත. ආණ්ඩුවේ  මාධ්‍යයන්ට අනුව උඹ ත්‍රස්තවාදියෙකුට වඩා බරපතල වැරද්දක් සහිත  සිනමා කෘතියක් කරල තියෙන්නෙ. ඒත් ඒ හැමෝටම උඹ ත්‍රස්තවාදියෙක් විදියට පේන්නෙ  ඉගිල්ලෙන  මාලුවෝ ලෝකය පුරා පෙන්නලා වසර හතරක් පමණ ගත වූ ගිය සතියේ සිට ය. ආණ්ඩුවේ  ඒ මාධ්‍යයන්ට අනුව උඹ  දෙමළ ඩයස් පෝරාවත්, රාජ්‍ය නොව සංවිධානයන්හි ආධාර සහ රැකවරණය ලබන්නෙකු බවටත් පත්වෙලා.  පුදුමයට කාරණය වන්නේ මේ සිනමා කෘතිය 2011 වසරේදී  නිර්මාණය කළ පසු මේ චිත්‍රපටය ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් විවිධ ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කරන්න අවසර දී තිබීම ය. වසර හතරක් තිස්සේ රටවල් 30කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  හොඳම අධ්‍යක්ෂණය, හොදම චිත්‍රපටය  ආදී ලෙසින් විවිධ සම්මාන රැසකට පාත්‍ර වෙමින් පියාඹන මාලුවෝ ඉන් වසර හතරකට පසුව රට අපකීර්තියට පත්වන සිනමා කෘතියක් බවට දැන් හෙළි කිරිම ය. 

උඹ වගේම අශෝක  හඳගම, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දරත්  සිංදු තියෙන සල්ලි උණන මිනිසුන්ගේ මුදල් පසුම්බියට තට්ටු කරන චිත්‍රපටි හැදුවෙ නෑ. උඹලා සියලුම දෙනා කතා කළේ සිනමා ප්‍රේක්ෂකයන්ගේ බුද්ධියට.  ඒ විදියට ප්‍රේක්ෂකයන්ගේ බුද්ධියට ඇමතිය හැකි චිත්‍රපට සංස්කෘතියක් ගොඩනැගීමට උඹ වගේම උඹ ගිය පාර් අනෙක් අයත් කැප වුණා.  මේ සැඩපහරේ  උඩුංගං බලා පිහිනන ඔබ වැනි සිනමා කරුවන් විසින් සිදුකර ඇති එකම වැරැද්ද නම් මුදල් ගලා එන චිත්‍රපට නොකර ප්‍රේක්ෂකයන්ගේ බුද්ධියට ඇමතීම ය. උඹලා දන්න  සිනමාවේ භාෂාවෙන් දේශපාලනය කිරිම ය. 

උඹත් මාත් දන්න විදියට ලංකාවේ රූපවාහිනී නාලිකාවල නිතර දෙවේලේ පෙන්වන හින්දි චිත්‍රපටවල    දේශපාලකයෝ ස්ත්‍රී දුෂකයෝ ය,  මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෝ ය. ඒ  හින්දි සිනමාවේ පොලීසිය අල්ලසට යට වූ පොලීසියකි, පගාවට මුල් තැන දෙන කුලියට මිනී මරන පොලිසියකි. ඒ  හින්දි සිනමාවේම  ඉන්දීය අධිකරණය අල්ලසට මුදලට වැරදි තීන්දු දෙයි.  ඒ ජනප්‍රිය  හින්දි සිනමාවේ නිතර අපි දකින දසුන් ය. ඒක තමයි හින්දි සිනමාව ඉන්දියාවේ ලාබ ලබන කර්මාන්තයන් වෙලා තියෙන්නේ.   ඒත් එවැනි දසුන් ලංකාවේ චිත්‍රපටවලට නගන්නට ලාංකේය සිනමාකරුවන් වූ උඹලාට අවසරයක් නෑ. ඉදිරියටත් එසේ මය.  එසේ කළහොත් සිදුවන්නේ  හඳගමගේ “අක්ෂරය“ චිත්‍රපටයට සිදු වූ දේම ය. මේ සිදුවී ඇත්තේ ද එයම ය.

ඒත් ලාංකේය සිනමාවේ උඩුගං බලා පිහිනන සිනමාකරුවන් විදියට උඹලාට දැන් සිදුව ඇත්තේ   පන්සිය පනස් ජාතකයෙන් හෝ සිංහල රාජ වංශයෙන් අහුලාගත් “හිතළුවක්“ ගොතා පෙන්වීම ය.  ඒ කියැවෙන්නේ  ලංකාව වැනි දූපත් මානසිකත්වයක් පිරි රටක උඹ  වැනි උඩුගංබලා පිහිනන සිනමාකරුවන්ට චිත්‍රපටයක් කරන්නට  ඇති නිදහස සිමා සහිත බවය.  ඒත් උඹලා දකින සිනමා ලෝකය ඊට වඩා පුළුල් වපසරියක් සහිතව ගොඩනැගුණ එකක් බව මම හොඳාකාරවම  දනිමි. ඒ නිසා ලාංකික ප්‍රේක්ෂකයන්ට ඉගිල්ලෙන මාලුවෝ දකින්නට නොලැබුණත් ඒ ගැන කම්පා විය යුතු නොවේ. කළ යුතු වන්නේ ලාංකිකයෙකු විදියට ලංකාවේ   “සිංහල සිනමාව“  ගොඩ නැගීම වැනි පටු අරුතකින් හිතනවාට වඩා  ලෝක සිනමාව දෙසට යොමුවී ම ය. ඒ සදහා විදේශිය සිනමා සමාගම් සමග එක්ව ලෝකයේම සිනමා ප්‍රේක්ෂකයන්ට නැරඹිය හැකි සිනමා කෘති නිර්මාණය කිරීම ය.  

ඒ නිසා කන්තලෙන් ඉගිල්ලෙන මාලුවෝ  අපට දකින්නට අයිති නැතත් දැන් ඒ චිත්‍රපටය හරහා මේ දක්වා ඔබ ලබාගත් සියලු ජයග්‍රහණ ඔබට ජාත්‍යන්තර සිනමාකරුවෙක් වෙන්න පාර පෙන්වනු ඇත. ඒ නිසා, සංජීව  දැන්  උඹ ලෝකයටම අයිති තරුණ  සිනමා කරුවෙකි. ඒ සියලු ජයග්‍රහණ වලින් මතු දවස ඔබ ඔබේ සිනමා ලෝකය තැනිය යුත්තේ මේ කුඩා රටට දැනෙන්නට නොව මුලු ලෝකයටම දැනේනට ය. එවිට මේ රටෙන් කිසිවක් ඔබට නොලැබුණත්,  ශ්‍රී ලාංකිකයෙක් වීමේ ආඩම්බරය පමණක්  ඔබට ඉතිරි වනු ඇත. ඒ දවස උදාවන තුරු  ගැලරියට වී අපි බලා සිටින්නෙමු.෴

           සියළු ජායාරූප  සහ ඇතැම් තොරතුරු සංජීවගේ වෙබ් අඩවියෙනි.



Related Posts Plugin for WordPress, Blogger...