එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Sunday 18 August 2013

෴ ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ෴





පහුගිය දවසක පුවත්පත් ඔස්සේ දිග හැරුණ පුවතක් වුණේ ගම්පොළ නගරයේ සිනමා ශාලාවක බොක්ස් එකක් තුළ තරුණියක දූෂණය වුවා යැයි කියන සිදුවීම. එදිනෙදා ජාතික පුවත්පත් ඔස්සේත් අන්තර් ජාලයේත් මේ පුවතට අදාළ කතා එකින් එක ගොඩ නැගුණා.  මෙවන් පුවත් තටු ලැබ ඉගිල්ලෙන්නෙ  එහි ඇති දුක්මුසු ඛේදවාචකය  කෙසේ වෙතත් එහි පිළුණු රසය කියවන්න තරමට  මනසක් මාධ්‍ය කලාව විසින් සකස් කර දි ඇති හින්දා.

ඒ සිද්ධියත් එක්ක බලන කොට පහුගිය මාස එකහමාරක් වැනි කෙටි කාලයක් ඇතුළත ලංකාවේ පළ වූ පුවත් පත් වාර්තා සහ අන්තර් ජාල පුවත් සේවා අතරින් වැඩිම ප්‍රමාණයකට මුල්තැන ලැබිල තිබුණෙ බාලවස්කාර දැරියන් ලිංගික ගොදුරු බවට පත්වූ “ස්ත්‍රී දුෂණ” පිළිබඳ පුවත්. සාමාන්‍ය පාඨකයන් වැඩියෙන් කියවන්න කැමැත්තක් දක්වන දේවල් අතර මෙවැනි පුවත් වැඩියෙන්ම දකින්න ලැබෙනවා.

ඒ කොහොම වුණත් දිනපතා ඉහළ යමින්  පවතින මේ බාල වයස්කාර ලිංගික අපචාර ප්‍රමාණය  වැඩි නිසා ‍මේ පිළිබඳව බ්ලොග් අඩවි ඔස්සේ යම් තාක් දුරට කතිකාවක් ඇති කරන්න මාතලන් සහෘදයාත්, අජිත් පැරකුම් ජයසිංහ ගේ W3lanka, බ්ලොග් අඩවියත් කල්පනා කර තිබුණා. ඒ ලිපි පෙළ කියවපු මටත් නිකමට වගේ හිතුනා ගීත සාහිත්‍යය ඇසුරින් මේ ගැන ටිකක් ලියන්න.
ඒ නිසා  ගම්පොළ සිනමා හලේ බොක්ස්  ආසනයක් මත සිදු වූ සිද්ධියත් එහි පසුබිමත් මේ මේ කතාවේ හරය වුණත්, එහි පසුබිම ගැන කතා  කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැත්තෙ ඒ කරුණ මේ වන විටත් අධිකරණ‍ය ඉදිරියේ විභාග වෙමින් පවතින නඩු නිමිත්තක් වන නිසා. 

කිසිදු බියක් හෝ සැකයක් නැතිව සියගණනක් රැස්ව සිටින සිනමාහලක දෙනෝදාහක් දෙනා අතර සිට තමතමන්ගෙ කායික අවශ්‍යතා සංතර්පණය කරගැනිමට ලිංගික සම්බන්ධකමක් පවත්වන්න තරම් පිරිහිච්ච රටක සමාජයක එවන්  වටපිටාවක් ඇති විමට හේතුවූ කරුනු කාරණා වගේම එවන්  පසුබිමක් ගොඩනැගිමට හේතුවී  ඇති ලංකාවෙ සිනමා කර්මාන්තය වගේම  සිනමාහල්වල බොක්ස් ආසන පහසුකම් ඇති කිරීම පිළිබදවත් වෙන වෙනම කතාබහට ලක්විය යුත්තක්.

නව යෞවනයට සපැමිණි තරුණියක් දැනුවත්ව හෝ නොදැනුවත්ව ලිංගික අතවරයකට පත්වීම, දැනුවත්ව හෝ නොදැනුවත්ව ලිංගික ගොදුරු බවට පත්වීම ලංකාවෙ පවුල් සංස්ථාව තුළ ඉතාමත් බරපතල ගැටලුවක්. ඒ විතරක් නෙවෙයි එවන් සිදුවිමකට මුහුණ දෙන පවුලකට, ඒ පවුලේ දෙමව්පියන්ට, ඒ පවුලේ සෙසු සමාජිකයින්ටත්,  ඒ වගේම එවන් සිදුවිමකට මුහුණ දුන් තරුණියකටත් ලාංකේය ජන සමාජය  විසින් එල්ල කරන පීඩනය බරපතල සමාජ ගැටලු රැසක් නිර්මාණය කරවනව.  ඇතැම් විට එවන් පවුල් ඒකක කෑලි කෑලිවලට කැඩී බිඳී විසිරෙන තත්වයන් දක්වා විහිදෙනව. එහෙමත් නැත්නම් එවන් පවුලක සෙසු  සාමාජිකයන්ගේ අනාගතය ගැන හිතලා සමහර වෙලාවට දේපල ඉඩකඩම් සියල්ල විකුණා දමා නොදන්නා ප්‍රදේශයකට ගිහින් රහසේ ජීවත්වෙන තරමට මෙවන් කාරණා සංකීර්ණ ගැටලු බවට පත්වෙනව.  වර්තමානයේ ලිංගික ගොදුරු බවට පත්වෙලා තියෙන්නෙ දුප්පත් ගැමි යෞවනියන්ට වඩා යම් තරමක නාගරිකරණය වූ සහ නගරබද ඉතාම හොඳට උගත් පවුල්වල යොවුන් වියට පත් දියණියන් බව පේනවා. ඇතැම් විට මෙවන් කාරණා  නාගරීකරණය විම තුළ සරළ හෝ සාමාන්‍ය සිදුවීම් සේ සැළකුවත් වෙසෙන මේ සමාජය එවන් කරුණක් තවමත් සමාජය විසින් සරළ ලෙස පිළිගන්නට සූදානම් නැහැ කියන කාරණය ඇත්ත. මෙවන් සිදුවීම් සමාජගත ගැටලු බවට පත්වෙන්නෙ ඒ නිසා.

යොවුන් වියේ සිට ඇතිවන ප්‍රේමය සහ ලිංගික ආලය සමහර වෙලාවට අපට දෙකක් සේ පෙණුනත් ඒ දෙකම එකක් බවට පත්වන්නට ගතවෙන්නෙ සුලු මොහොතක්. මොන ආකාරයකින් සඳහන් කළත් ආදරය ප්‍රේමය වැනි මාතෘකා වල කෙළවර රාගය පැවතීම ස්වභාවිකයි. අතීතයේත් වර්තමානයේත් මල්වර වියට පැමිණි පසුව දියණියක සිය මව විසින් ඇස ගැටෙන මානයක රඳවාගන්න හේතු වෙන්නෙ අන්න ඒ කාරණය නිසා. ඔවුන්ට ඔවුන්ගේ යොවුන් වියේදී අත්‍යවශ්‍යයෙන්ම හඳුනාගත යුතු සීමාවන් මවුවරු කියා දෙන්නෙ ඒ හින්දා.  දෙමව්පියන් හෙළන දුක් කඳුළු නින්දා අපහාසවල ප්‍රමාණය  තීරණය වෙන්නෙ දියණියකගේ විවාහය සිදුවන දිනයේ. හැම මවක් පියෙක් වගේම වැඩිහිටි සහෝදර සහෝදරියන් සිටී නම් ඔවුන්  තමන්ගෙ දෝණියන්දෑ එහෙමත් නැත්නම් තමන්ගෙ නැගණිය යන එන ගමන් බිමන්  ගැන වැඩි ආදරේකින් බලන්නෙ ඒ නිසා.

හැම ගෙදරකම දෝණියගේ යහගුණ  ඇයගේ රූ සපුවට ආභරණයක් වගේම ඒ යහගුණය ඇගේ චරිතයටත් ආභරණයක්. අපේ සංස්කෘතික මව තවම දුප්පත් කියල හිතෙන්නෙ මෙවන්  ගීයක් ඇහෙන වෙලාවක. 

පිපුණු මලේ රුව එමල දනී දෝ
මලකි දුවේ නුඹ හැඩරුව බලන්නෙපා
නැති බැරිකම මුතු මාල හතක්වී
කඩුල්ල පැන එයි නුඹ අත කරලන දා

කටුමැටි බිත්තිය හැඩකර අඳිනා
රෑ හෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් සිත මා ආදර දියණියනේ
පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි
විදුරු කැඩපත බිම දැම්මේ

ළි‍ඳේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට ඇයි නුඹ හිනැහෙන්නේ
නොතලන් සිත මා ආදර දියණියනේ
පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි
විදුරු කැඩපත බිම දැම්මේ

ගීපද මාලාව: ලුෂන් බුලත්සිංහල
සංගීතය: පී. ඩන්ස්ටන් ද සිල්වා
ගැයුම: විශාරද නන්දා මාලනී

පිපුණු මලේ රුව ගීතය මෙතනින් අහන්න


කාන්තාවකගේ පාරිශුද්ධත්වය ලාංකේය ජන සමාජය තුළ ඉතාම ඛේදනිය තත්වයක් වුවත් සාම්ප්‍රදායික සංස්කෘතික විවාහය ඉදිරියේ ලිංගික අතවරයකට පත් තරුණියක් අසරණ වන්නේ ඇයටත් නොදැනීම. ඇවිලෙන පහන් දැල්ලක දැ‍වටෙන්න වෙර දරන පළඟැටියා ගිනිදැල්ලේ උණුසුම ලබන්න කැමති වුවත්  ගින්නට හසුවීමේ විපාකය විඳින්නේ පසුවයි.  ඒ වගේ  කැමැත්ත  සහ මුලාව ඉදිරියේ ආදරයත් ලිංගික ආලයත් දෙකම එකක්වී රාගය බවට පත්වෙන්නෙ ඒ නිසා.

ලංකාව වැනි රට නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති කමත් මෙවැනි ගැටලු වැඩිවෙන්න එක හේතුවක්. ඒත් අතීතයේ පැවති දූ දරු සම්බන්ධතා වර්තමානයේ දෙමව්පියන් අතරින් යම් තරමකට ගිලිහී යාම යෞවනියන් ලිංගික අතවරවලට ගොදුරු වෙන්න එක හේතුවක්. අඩුම තරමින් සහෝදර සහෝදරියන් දෙතුන් දෙනෙක් ඉන්න ගෙදරක ඔවුන් දෙතුන්දෙනා පවා එකට කෑම මේසෙදි හමුවන්නෙ නැති තරම්. හැමෝම දැන් පුරුදුවෙලා තියෙන්නෙ තමතමන්ගෙ වැඩකටයුතු ඉවර කරපු ගමන් තමතමන්ගෙ කාමරවලට වැදී දොරගුළු ලාගෙන ජංගම දුරකතනය, ලැප්ටොප් එක, එහෙමත් නැත්නම් පරිගණකය ඉදිරියේ තමතමන්ගේ තනා ගත් නිර්වින්දනීය වූ ලෝකවල තනිවිම.

 වත්මන් සමාජයේ එවැනි පවුල් පසුබිමක් ගෙවල් වල ගොඩනැගෙන විට පවුල් ඒකකය තුළ පවා අත්‍යවශ්‍යයෙන්ම  කතාබහට ලක්විය යුතු ඇතැම් දේවල් මගහැරෙනව. යොවුන් වියේ එළඹෙන ප්‍රේම සම්බන්ධතා පිළිබඳ වැඩිහිටියන් වගේම සෙසු සහෝදර සහෝදරියනුත් දැනුවත් නම් ඒ සම්බන්ධතාවය කඩා ඉහිරවනවාට වඩා ප්‍රේම සම්බන්ධතාවලදී තමන්ගේ සිමාව ඉක්මවා නොයන විදියට කටයුතු කරන්න දැනුමක් ලැබෙන්නෙ නිරායාසයෙන්ම. ඒ සම්බන්ධතාවයක් දිහා  එහෙම කියනකොට මට මතක් වෙන්නෙ අසූව දශකය ආරම්භයේදී විතර රෝහණ ගැයූ මේ ගීය. සහෝදර බැඳුම මනාව කතාබහට ලක්වන මෙවන් ගීයක් අතීතයේ අපට නොකියා කියාදුන් පවුල් ඒකකයේ බැඳිම මේ ගීයෙන් මනාව හෙළිවෙනවා.

බිඳුණු පෙමට නාඩන් මා නැගණියනේ
මිහිලිය සේ නාඩන් මා නැගණියනේ

අහසට බැන්ද පෙම නිය‍ඟෙන් නුඹ දෑවා
පොළව නුඹයි  ඒ නිය‍ඟෙන්      අලු වූවා
නුඹ දුක් ඉහිලුවා බැරි බර          ඇදලූවා
අහසට හඬන්නට වෙනවා       නුඹ ගාවා

ගහකොල සියක් මල් පිපිලා තියෙන විට
අහසට සිනාසෙන්නට හැකි     වේ නුඹට
ඇති තෙක් විඳින්නම් කරදර   දුක් ගැහැට
ඉර හඳ පුරුදු සේ එනවා         නුඹ ළඟට

ගීපද මාලාව: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: විශාරද එඩ්වඩ් ජයකොඩි
ගැයුම: ආචාර්ය රෝහණ වීරසිංහ

බිඳුන පෙමට ගීතය මෙතනින් අහන්න


ලංකාවෙ පවතින සම්මත නීතිය අනුව වයස අවුරුදු 16 ට අඩු ස්ත්‍රියක් සමග ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සබඳතාවයක්  පැවැත්වුව හොත් එය එනයින්ම ඒ තැනැත්තා “ස්ත්‍රී දුෂණ” චෝදනාවට ලක්වෙනවා.  ඒක අපරාධ නීතිය ඉදිරියේ  බරපතල වරදක්. මෑත කාලයේ ගම්පොළ සිනමාහලක බොකස් එකක් තුළ සිදුවූ සිදුවිම වැදගත් වෙන්නෙ ඒ නිසා. ඒත් ලංකාවෙ පවතින මේ සම්මත නිති රාමුවට හසුනොවූ සහ රහසින් සඟවා ඇති සිදුවිම්වල ප්‍රමාණය මීට වඩා ඉහළයි. විශේෂයෙන්ම මෙවන් අවස්ථාවකට මුහුණ දෙන පවුල්වලට සමාජයෙන් එල්ලවන අපකීර්තිය සහ නින්දාව ඒ පුවලේ එක සමාජිකයෙකුට පමණක් අදාළ වන කාරණයක් වුණත් සමස්ත පවුලටම ‍ඒ අවාසනාවන්ත ගැටලුවට මුහුණ දෙන්න සිදුවෙන්නෙ නූතන මාධ්‍ය සංස්කෘතිය තුල පවතින තරඟකාරී බව නිසා.

පීතෘ මුලික සමාජයක විවාහයකදී යෞවනියකගේ පාරිශුද්ධත්වය ඉහළින්ම සළකන රටක නූතන සමාජයේ එළිපිටම නොපෙනුනනත් රහසින් හෝ කාන්තාවකගේ පාරිශුද්ධත්වය හොයල බලන්න වැඩිහිටියන් පෙළඹෙනවා. ඇතැම් විට දිගු කාලයක් හොඳින් දැන හඳුනාගෙන් ප්‍රේමයෙන්  බැදුණ පෙම්වතෙක් වුණත් මංගල රාත්‍රියේ  රහසින් හෝ ඒ පාරිශුද්ධත්වය පරීක්ෂා කරන්න පෙළඹෙන අවස්ථාවන්වල ඉදිරිපත් වන ගැටළු ලින් සිදුවන්නේ සමහර වෙලාවට පවුල් ආරවුල් වලින් ඇරඹි දික්කසාදවීමකින් කෙළවර වීමයි. ලංකාවෙ අධිකරණ පද්ධතිය තුළ දිනකට විභාග වන වයස අවුරුදු 16 – 30 ත් අතර වයස්වල දික්කසාද නඩුවල වැඩි වශයෙන් දකින්න පුළුවන් හේතු විදියට ඉදිරිපත් වන්නෙ මේවා.

ජීවිතයේ එවන් මොහොතකට  කිසියම් තරුණියක මහුණ දුන්නොත් එය කෙසේ සිදු වුවක්ද , වැරැද්ද සිදුවූයේ කෙසේද, කොතැනද කවර හේතුවක් නිසාද  යන්න සොයා බලන්නට දෙමව්පියන් පෙළඹෙන විට  සිදුවී ඇති සියල්ල හමාර වුවත්   ජීවිත ගැටලු රැසකට ඒ තීන්දු තීරණවලින් පාර හැදිලා අවසන්.  එවන් අවස්ථාවක පියෙකුගේ හද ගැබ  සිරවුණ වැලපිල්ල මේ ගීයට කදිම නිදසුනක් . ජනප්‍රිය ගීයක් නොවුණත් ගීතයෙන් මතුකරන අදහස කදිමයි කියලයි මට හිතෙන්නෙ.

පෝයට ඇවිලෙන හඳක් වගේ වුන්
දියණියනේ කිම මේ 
මලක් පරවුණා වාගේ
මලේ සුවඳ උඩු හුළ‍ඟේ ගියා වගේ‍

ඉහිරුණ කිරකට නාඩන් වැළහින්නක සේ
අකුරු කරන් යළි පිබිදී හිරු මඩලක් සේ
අකුරින් ජයගෙන නුඹ රැජිනක් වන දවසේ
මවක් වෙයන් නුඹ රිදවූ නුවරුන් හමුවේ

හිලිහුණ කඳුලයි මතු මුතු වී බබලන්නේ
වැලක හැදුණු ගෙඩි වැලකට නෑ බර වෙන්නේ
අකල් අනෝරා නින්දා වැහි වැටුණාවේ
නොසැලී හිනැහෙන් යසෝදරාවන් වාගේ

ගීපද මාලාව සහ  සංගීතය: සුනිල් දයානන්ද කෝණාර
ගැයුම: කරුණාරත්න දිවුල්ගනේ

පෝයට ඇවිලෙන ගීතය මෙතනින් අහන්න


ලංකාවෙ සංස්කෘතික සමාජය අනුව තරුණියක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගික ගොදුරක් බවට පත් වුණත් අවසානේ එහි  සියළු නින්දා අවමන් සියල්ලම බැර වෙන්නෙ ඒ තරුණියගේ නමට. ස්ත්‍රී දූෂණ චෝදනාවලදී විවෘත අධිකරණයේ විත්තිකරු වරදකරු කිරිමට නම් දූෂණය සිදු වු ආකාරය සිය සාක්ෂි මගින් ඔප්පු කළ යුතුයි. බොහෝ තරුණියන් අධිකරණය ඉදිරියේ “සිද්ධිය” ප්‍රකාශ කරන්න ගොස් මුණිවත රැකිම  විත්තිකරුගේ වාසියට හේතුවක් වුවත් ඇයගේ ජීවිතයට යහපතක් ‍නොවෙන්නෙ ඒ නිසා.

ජනප්‍රිය කලාව තුළ තරු බිහිකරන රටක ඉකිමනින් තරු බවට පත්වෙන්නට වෙර දරන  තරුණියන් වගේම ආලයට මුලාවී ලිංගික ගොදුරු බවට පත්වන තරුණියන්ද ප්‍රමාණාත්මකව ඉහළය . ඒ නිසා “ස්ත්‍රී දුෂණ” සංකල්පයේ දී නිසි වයසට එළඹිමට පෙර හෝ පසු “ඇයගේ කැමැත්ත” පිළිබඳව සමාජය තුළ ඇති ආකල්ප වෙනස් කිරිමට උත්සාහ කරවාට වඩා. නූතන සමාජය පිළිබඳ  නිසි අවබෝධයෙන් නිරන්තරයෙන් මාධ්‍ය තුළ කතාබහට ලක්වන නීතිමය රාමු පිළිබඳ අවබෝධයෙන්ද කටයුතු කිරිම මේ ගැටලු අවම කරගත හැකි ක්‍රමයකි. නැති නම් බාලිකා ලොව මැළවෙන දා මුළු ලොවටම රෑ බෝ වීම කිසිවකුටත් වෙනස් කළ නොහැකිය. ඒ නිසා මුලුමහත් උගත් සමාජය විසින් කළ යුත්තේ බාලිකා ලොව මැලවෙන්නට ඉඩදී බලා නොසිට කටයුතු කිරීමයි.

බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැලවුණ දා
මුළු ලොවටම රෑ වෙනවා

ජීවිතේ පිහාඹමින්
සිනාසිසී හිඳිනා
ඒ සිනා මා බොළඳ නෙතේ
උණු කඳුළක් කරනු එපා

මල් පොහොට්ටු මා හදේ
සුරංගනා පොකුණේ
මල් වරම් ලැබ පිපෙන තුරා
ඔබ නටුවෙන් සිඳිනු එපා

ගීපද මාලාව: ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය: සරත් දසනායක
ගැයුම: නීලා වික්‍රමසිංහ

බෝධියේ විහාරයේ  ගීතය මෙතනින් අහන්න






Friday 9 August 2013

෴ මගේ පැන්සල ෴





            විශිෂ්ටයන්ගේ රූ පෙළක් පැන්සල් තුඩින්.....


අස්වැන්න කවිය, ගීතය, සිනමාව, සහ සංගීතය සම්බන්ධයෙන් සටහන් වුවත්, චිත්‍ර කලාව, ඡායාරුප ශිල්පය පිළිබඳවත් කැමැත්තක් දක්වන ක්ෂේත්‍රයන්. ඒ විෂය ක්ෂේත්‍ර ගැන ගැඹුරින් ලියන්න තරම් විෂය දැනුමක් නැති නිසා ඒ ගැන  මා අතින් ලියවෙන්නෙ නැති තරම්. ඒත් චිත්‍ර කලාව, ඡායාරූප ශිල්පය වැනි ක්ෂේත්‍ර පිළිබඳවත් යමක් ඉඳහිට හෝ සටහන් කරන්න ඉඩක් ලැබෙන මොහොතක ඒ වෙනුවෙන් සටහනක් ලියන්න පසුබට වෙන්නෙ නෑ. ඒ නිසා චිත්‍ර කලාව පිළිබඳ පුංචි සටහනක් තියන්න අවස්ථාවක් ලැබිල තියෙනවා. ඒ නිසා මම කල්පනා කළා ඒ ගැන සටහනක් තියන්න.  ඉදිරියේදී පැවැත්විමට නියමිත සුවිශේෂ කලාකරුවකු චිත්‍ර ශිල්පියකුගේ චිත්‍ර ප්‍රදර්ශනයක්  පිළිබඳව සටහනකි මේ. 

සමාජ ජාලයක් ලෙස Face book භාවිතා කරන හිතමිතුරු බොහෝ පිරිසක්  නිරන්තරයෙන් දකින, Face book ජාලයේ හුවමාරුවන මේ කලාකරුවා විසින්  අඳින ලද චිත්‍ර Face book භාවිතා කරන ඔබත්  අහම්බෙන් හෝ  දැකල ඇති.  චිත්‍ර ශිල්පියා නමින් වසන්ත සනත්. ඔහු සිය  අපූරු සිතුවම් එකතුවක් සමග “මගේ පැන්සල“ චිත්‍ර ප්‍රදර්ශනයට මේ වන විට සූදානම් වෙමින් ඉන්නවා. 

වසන්ත සනත්
නුගේගොඩ, ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගනුම ලැබූ අවදියේ සිටිම සජීවි මානව රූප ස්වභාවයන් සහ සමාජ පරිසරයේ නෙක සොබාවන් චිත්‍රයට නැගීමේදී විශිෂ්ඨ නිර්මාණාත්මක ප්‍රභාවක් පෙන්වූ  වසන්ත සනත් පාසල් කාලයේ පටන්ම විවිධ අවස්ථාවන්හිදී ජයග්‍රහණ රැසක් හිමිකර ගත් චිත්‍ර ශිල්පියෙක්.

පාසල් සමයෙන් පසුව පුවත්පත් පිටු සැළසුම් ශිල්පියකු, වෙළඳ ප්‍රචාරණ චිත්‍ර සැළසුම්කරුවකු සහ ජීව සොබා චිත්‍ර ශිල්පියකු ලෙස කලා ක්ෂේත්‍රෙය්  වසර තිහක පමණ අත්දැකීම් සහ පළපුරුද්දක් ලබා ඇති වසන්ත සනත් චිත්‍ර ශිල්පයේ නිපුණයෙකි. ඔහු විසින් ඉදිරියේදී පැවැත්විමට නියමිත “මගේ පැන්සල“  චිත්‍ර ප්‍රදර්ශනය සෞන්දර්යාත්මක දිවියේ සිය අත්දැකීම් සිතුවමකට  මුසුවන දුලබ අවස්ථාවකි.

වසන්ත සනත් කලක සිට බොහෝ කලාකරුවන්ගේ උපන් දිනය හෝ ගුණ සමරු දිනයක් යෙදෙන අවස්ථාවක පැන්සලෙන් ඇඳි කලු සුදු සිතුවමක් ඒ කලාකරුවාගේ හෝ කලාකාරියගේ පිංතූරයක් Face book මගින් සමාජයට එකතු කළේ  විනෝදාංශයක් ලෙසිනි. ඒත්  ප්‍රදර්ශනයක් පැවැත්විමට තරම් උනන්දුවක් වසන්ත සනත් තුළ නොතිබුණි. වසන්ත විසින්  ඇඳ Face book වෙත යොමු කළ ඒ සිතුවම් දුටු ඇතැම් කලාකරුවෝ තමන්ගේ Face book ගිණුමේ ඡායාරූපය ලෙස වසන්තගේ  ඒ චිත්‍රයක් යොදා ගත්හ.  එසේ වුවත් වසන්ත සනත්ගේ මේ පැන්සල් චිත්‍ර කලාව දුටු කලා ක්ෂේත්‍රෙය් විවිධ ඉසව් නියෝජනය කරන සහෘද පිරිසක් ප්‍රදර්ශනයක් පැවැත්විම දක්වා ඔහු උනන්දු කළහ.

ඒ අනුව වසන්ත සනත්ගේ හස්තලේඛ චිත්‍ර ප්‍රදර්ශනය “මගේ පැන්සල“ අගෝස්තු මස 23, 24, සහ 25 වන දා කොළඹ 07, මහජන පුස්තකාල ප්‍රදර්ශනාගාරයේදී පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇති බව පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදි.


වසන්තගේ “මගේ පැන්සල“ චිත්‍ර  ප්‍රදර්ශනයට සමගාමිව ඔහු විසින් පැන්සලෙන් අඳි ලද චිත්‍ර රැගත්  “මගේ පැන්සල“ කෘතියද එදිනට දොරට වැඩිමට නියමිතය. කොළඹදී පැවැත්වෙන මෙම චිත්‍ර ප්‍රදර්ශනයෙන් පසුව මෙය කුරුණෑගල සහ මහනුවර නගරයේදීද පැවැත්විමට වසන්ත සනත්ගේ මිතුරු සංසදය සූදානමින් සිටී.

වසන්ත සනත්ගේ “මගේ පැන්සල“ ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනයට සහයෝගීතා දායකත්වය ලබාදෙන්නේ සංගිතවේදී ආචාර්ය දයාරත්න රණතුංග, ප්‍රේම් දිසානායක, ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවර, සිනමාවේදී සුනිල් අරුණ වීරසිරි, ප්‍රවීණ ශබ්ද පරිපාලක ලයනල් ගුණරත්න, ප්‍රවිණ ගුවන්විදුලි නිවේදක විපුල් ධර්මප්‍රිය ජයසේකර, මාධ්‍යව්දී යාපා බණ්ඩාර සෙනෙවිරත්න, ඩොනල්ඩ් මැක්ස්වත් සහ පූර්වාරාම මිතුරු සංසදය විසිනි.

ලංකාවේ ජනප්‍රිය සිනමා හා ටෙලිනාට්‍ය ශිල්පීන්, ගීතරචකයන්, සංගීතවේදීන් ගායක ගායිකාවන් සහ විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරන ජනමාධ්‍යව්දීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි සෞන්දර්යවාදී බොහෝ පිරිසක් පිරිවරා  අගෝස්තු මස 23, 24, සහ 25 වන දිනවල උදේ 9.00 සිය සවස 6.00 දක්වා   කොළඹ 07, මහජන පුස්තකාල ප්‍රදර්ශනාගාරයේදී පැවැත්වෙන “මගේ පැන්සල“ චිත්‍ර ප්‍රදර්ශනය දකින්නට, විඳින්නට කලාකාමි සියලු රසික රසිකාවියන්ට චිත්‍ර ශිල්පී වසන්ත සනත් ඇරැයුම් කර සිටී.

ඒ නිසා ඉඩක් ඇත්නම් ඔබත් එන්න, ඇවිත් ඔබම සියැසින්ම විඳ  දැක බලාගන්න වසන්ත සනත්ගේ “මගේ පැන්සල“ එය මගේ නොව ඔබේ පැන්සල බව ඔබටම වැටහේවි.

                  වසන්ත සනත්ගේ මගේ පැන්සල සිතුවම් කිපයක් මතු දැක්වේ. 










Related Posts Plugin for WordPress, Blogger...