එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Saturday, 21 September 2013

෴ ආදරය අරන් හිත ළඟට ඇවිත් Music Video ෴





මීට සති දෙකකට විතර කලින් ඒ කියන්නේ 2013 සැප්තැම්බර් මාසෙ 04 වෙනිදා මියුසික් වීඩියෝ එකක් එළිදැක්වුණා. මියුසික් වීඩියෝ ගීත කලාව වර්තමානයේ සංගීත ක්ෂේත්‍රයට අලුත් අත්දැකිමක් නොවුණත් නව සංගීත පරපුර තමන්ගෙ නිර්මාණ රසිකයන් අතරට ගෙන යන්නත්, ඒවා රසිකයන් අතර ජනප්‍රිය කරන්නත් අනුගමනය කරන එක ක්‍රමයක් තමයි මේ මියුසික් වීඩියෝ ගීත සංස්කෘතිය. අන්තර්ගතය කෙසේ වුවත් රූප රචනා කලා මාධ්‍යයක්  විදියට මියුසික් වීඩියෝ ගීතවලට යම් තරමක ඉල්ලුමක් නූතන සංගිත රසිකයන් අතර තියෙන බව පේන්නේ දිනපතා බිහිවන මියුසික් වීඩියෝ ගණන පිළිබදව සැළකිලිමත් වන විටයි.

  සැප්තැම්බර් මාසෙ 04 වෙනිදා  එළිදැක්වුණ මේ මියුසික් වීඩියෝව මට තරමක් අලුත් අත්දැකිමක් වුණේ ඒ මියුසික් වීඩියෝවේ ගී පද රචනය මගේ පදමාලාවක් වීම.  කෙටියෙන්ම කිව්වොත් මම ලියපු ගීයක් මුල්වරට මියුසික් වීඩියෝ එකකින් එළිදැක්වුණා. මේ මියුසික් වීඩියෝ එක නිසාම  අහම්බෙන් වගේ මටත්  නව සංගිත පරපුරත් එක්ක සම්බන්ධ වෙන්න ලැබුණ  නිසා අද අස්වැන්නෙන් ඒ මගේ ගීය ගැන සටහනක් තබන්න කල්පනා කළා.

වයිඩ් ඈන්ගල් ආයතනය නිෂ්පාදනය කළ මේ මියුසික් වීඩියෝවේ ගායන ශිල්පියා සංගිත ක්ෂේත්‍රයට තවමත් අලුත්. ඔහු නමින් විරාජ් සුලෝචන. ගීතය තනු නිර්මාණය කරමින් සංගිතවත් කළේ  ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩා‍යමේ ‍නායක රොෂාන් ප්‍රනාන්දු. ගීතය ලිව්වෙ මම. මේ මියුසික් වීඩියෝව නම් කරල තියෙන්නෙ “ආදරය අරන්” යන නමින්.
විරාජ්

විරාජ් සුලෝචන අද තරුණ ගායන ශිල්පියෙක් වුණත් ඔහු මට හමුවෙන්නෙ විශාරද එඩ්වඩි ජයකොඩිගේ සැරිසර සංගිත ශාලිකාවේ සංගිතය හදාරපු වයස අවුරුදු 12 -14 ක විතර පුංචි දරුවෙක් විදියට මීට අවුරුදු දහයකට විතර කලින් නුගේගොඩ, මිරිහානේ පිහිටි එඩ්වඩ්ගෙම  නිවසේදි.  ඔහු ළමා ගායන ශිල්පියෙකු ලෙස එඩ්වඩ් යටතේ එවකට සංගීතය හදාරද්දි විරාජ්ගෙ ළමා ගිත එකතුවක් සඳහා එදා මමත් සම්බන්ධ වුණා. එදා විරාජ් සුලෝචනගෙ ඒ ළමා ගීත එකතුවට මම ගීත 04 ක් ලිව්වා. එහෙම දැනහැඳුනුම් කමක් ඇතිව හමුවුණ විරාජ් සුලෝචන අද යෞවනයෙක්. ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලැබූ ඔහු වර්තමානයේ Solo Ride සංගීත කණ්ඩායමේ හිමිකරුවා වගේම ඒ සංගිත කණ්ඩායමේ නායකත්වය සපයන්නෙත් ඔහුමයි. ඒ විදියට සංගීතමය හැකියාවක් ගොඩනගා ගන්නා විරාජ් එක්ක නැවත කටයුතු කරන්න ලැබෙන්නෙ ඔහුගේ මේ අලුත් ගීතය නිර්මාණය කරන්න මට කළ ඇරයුමත් එක්කමයි. 

රොෂාන් ප්‍රනාන්දු
වර්තමානයේ නූතන සංගිත පරපුරේ  සංගිත ශිල්පීන්, ගායක ගායිකාවන්, ගීත රචකයන්, අතර තියෙන්නේ සංගීතමය ගනුදෙනුවකට වඩා මුදල් ගනුදෙනුවක් එහෙමත් නැත්නම් පොඩි බිස්නස් එකක්. විරාජ් සුලෝචන සතුව සංගීත කණ්ඩායමක් තිබුණත්, තරමක් එයින් ඔබ්බට ගොස් කලාත්මක  ගීතය ගැන හිතන්න පුරුදු වෙච්ච තරුණයෙක් කියල හිතෙන්නෙ ඔහු යොවුන් ගායන ශිල්පියෙක් විදියට මෑතකදී නිර්මාණය කළ මුල්ම ගිතයත් එක්කමයි. ගීත පදමාලා තෝරා ගැනීමේදී මෙන්ම ඒ ගීත සදහා තනු නිර්මාණ සංගීත නිර්මාණය වැනි කාර්යයන් වලදී ප්‍රවීන සංගිත පරපුරේ ආභාෂයත් නූතන සංගීත ක්‍රමයේ හැඩතලත් මනාව හඳුනාගෙන තමන්ගෙ නිර්මාණ ඉදිරිපත් කරන්න  උනන්දු වන නිසා.  විරාජ් සුලෝචන දැනට නිර්මාණය කරල තියෙන්නෙ ගීත දෙකයි. ඔහුගෙ මුල්ම ගිතය ලිව්වෙ ප්‍රවීන ගීත රචක වසන්ත කුමාර කොබවක මීට වසරකට කලින්. දෙවන ගීතය ලිව්වෙ මම. ඒත් මේ ගීත දෙකම සංගීතවත් කළේ රොෂාන් ප්‍රනාන්දු.

සාමාන්‍යයෙන් මියුසික් වීඩියෝ ගීත කලාව මම එතරම් ප්‍රිය නොකරන කලාවක්.  ඒ අනෙකක් නිසා නෙවෙයි ගීත රචකයෙක් හෝ සංගීත නිර්මාණකරුවකු තුළ උපදින සිතුවිල්ලට ‍තුන්වන පාර්ශවයක් විසින් කරන රූප රචනයක් කොයිතරම් දුරට ඒ ගීත නිර්මාණයත් එක්ක බද්ධ වෙනවද කියන කාරණය ඒ නිර්මාණය තුළ පවතින නිසා. මම එහෙම කි‍යන්නේ යම් ගීයක රූප රචනයේදී  ගීත රචකයා හෝ සංගීත රචකයා මතු කිරිමට ගත්ත  අදහසට කොහෙත්ම සමපාත නොවන අදහසක් වර්තමානයේ බිහිවන මියුසික් වීඩියෝ තුළ දකින්නට ලැබෙන නිසා. නිදසුනක් විදියට ගීතය තුළම රූපරචනයක් කරන ලූෂන් බුලත්සිංහල වැනි ගීත රචකයෙකු ලියූ “සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ” වැනි ගීතයකට තුන්වන පාර්ශවයක් විසින් රූප රචනයක් කළොත් රූප රචනයක් නැතිව ඒ ගීතය අසන රසිකයා‍ගේ මනසේ ඇ‍ඳෙන චිත්‍රයට හාත්පස වෙනස් සිතුවිල්ලක් තුන්වන පාර්ශවයක් විසින් කරන රූපරචනය තුළින් නිර්මාණය විය හැකි නිසා.

ඒ එහෙම වුණත් විරාජ් සුලෝචනගෙ මේ ගීතය ලියන්න ඇරයුම් කළේ ඔහු විසින්මයි ඒ මීට මාස තුනකට විතර කලින්. ඒ නිසාම නව සංගිත පරපුරේ සංගිතමය ආකෘති භාවිතය පිළිබඳවත් යම් තරමක අවධානයක් යොමුකරල  තමයි මම මේ ගීතය ලිව්වෙ. ගීතය කියවල බැලූ විරාජ් මට කිව්වෙ මේ පදමාලාවත් රොෂාන් ප්‍රනාන්දුගේ සංගීතයටම ගයන්න කැමතියි කියල. එහෙම තීරණය කරල සංගීත නිර්මාණය කිරීමේ කටයුත්ත රොෂාන් ප්‍රනාන්දුටම පැවරුවා. 

ගීතය මුලුමනින්ම සංගීතය නිර්මාණය කර ගීතය පටිගත කිරීමේ කාර්යය සිදු වුණේ වෙන්නප්පුව, කටුනේරියේ , රොෂාන් ප්‍රනාන්දුගේ නිවසේ  පිහිටි ෆ්ලෑෂ් බෑක් ශබ්දාගාරයේ දීමයි. ගීතය පටිගත කිරීමේ කටයුතුවලට මටත් සහභාගිවෙන්න ලැබුණ ඒ විදියට නිර්මාණය වූ ගීතය තමයි මේ තියෙන්නෙ.

ආදරය අරන් හිත යටට ඇවිත්
මේ තරමට ඇයි හිත පෙළන රිදුම්
මිහිරියේ ඇයි නුඹ මේ තරම්
හිත රිදවලා මට දෙන දඬුවම්


පෙරදාක ඔබේ හිත අරගත්
තව හිතක් ළං වෙලා හෙමින්
පෑ ආදරේ ඔය හිතෙන් මිදී
මගෙ මුවැත්තියේ
 නැතුවාද තවම ඔය හිතෙන් මැකී


කලුවරේම මල් සුවඳ අරන්
මම විදිමි සුවඳ සඟවා රහසින්
හඳපාන වගේ මගේ හිතට එබී
මගෙ මුවැත්තියේ
සඟවන්න එපා මට රිදුම් දිදී

ගී පදමාලාව: දයානන්ද රත්නායක
සංගිතය: රොෂාන් ප්‍රනාන්දු
ගැයුම: විරාජ් සුලෝචන
ආදරය අරන් ගිතය මෙතනින් අහන්න



ගීතය මුලුමනින්ම නිර්මාණය කර මියුසික් වීඩියෝව කරන්න විරාජ් සුලෝචන පවරා තිබුණේ වයිඩ් ඈන්ගල් ආයතනයට. සාමාන්‍යයෙන් ගීතයක් සඳහා මියුසික් වීඩියෝවක් කරන්න රුපියල් ලක්ෂ තුන හමාරේ ඉඳන් ලක්ෂ හතළිහක් හතළිස් පහක් විතර වියදම් කරන මේ කාලේ මේ මියුසික් වීඩියෝව සදහාත් ලක්ෂ හයකට ආසන්න මුදලක් වැයකළ බවයි මට දැනගන්න ලැබුණෙ.

එහෙම වියදම් කරල හදපු “ආදරය අරන්” මියුසික් වීඩියෝව පහුගිය සැප්තැම්බර් හතර වෙනිදා මාධ්‍ය ආයතනවලට නිකුත් කළා. සති දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත අන්තර් ජාලයේ යූටියුබ් ඔස්සේ මේ ගීතය මේ වන විට නරඹා ඇති සංගීත රසිකයන් ප්‍රමාණය 53500 කට ආසන්නයි . ඒකත් කාලෙකට පස්සෙ මට ලැබුණ හොඳ අත්දැකීමක්. මියුසික් වීඩියෝවේ ගීතය ගයමින් රංගනයේ යෙදෙන්නෙත් විරාජ් සුලෝචනම තමයි. ඒ මියුසික් වීඩියෝ එක තමයි මේ තියෙන්නෙ.෴

video




Wednesday, 11 September 2013

෴ සිඳීගිය නිදි නැති‍ නදියේ නාදය... සුනිලා ෴







සුනිලා අබේසේකර; ඇය විවිධ වූත් විචිත්‍රවූත් හැකියාවන් රැසකගෙන් සපිරි කලාකාරිනියක වූවාය. විටෙක ඇය සිංහල නාට්‍ය වේදිකාවේ රංගන ශිල්පිණියකි. තවත් වරෙක ඒ ‍නාට්‍ය වේදිකාවේම ගායන ශිල්පිණියකි. සිනමාවේදී ඇය චිත්‍රපට පසුබිම් ගායිකාවකි. සිනමා නිළියකි. සිංහල සහ ඉංග්‍රිසි බස  චතුර ලෙසත් මධුර ලෙසත් හසුරුවන නිවේදිකාවකි.  වාමාංශික දේශපාලනයේ ප්‍රබල චරිතයකි. සිවිල් සමාජය වෙනුවෙන්ම කැපවූ මානව හිමිකම් සුරැකීමේ ක්‍රියාකාරිනියකි. විශිෂ්ඨ ලේඛණ කුසලතාවයකින් හෙබි ලේඛිකාවකි. සිනමාව සහ කලාව සම්බන්ධයෙන් දක්ෂ විචාරිකාවකි.  එසේ සකල විධ කලාවේත්, වමේ දේශපාලයෙන්ත් නිරතවූ  සුනිලා අබේසේකර නම් වූ අපේ කාලයේ ඒ දැවැන්ත කාන්තා චරිතය අරගලක නිරත වෙමින් පණ පෙවූ ඒ සියලු භූමිකා අතහැර සදාතනික නිද්‍රාවකට පත් වූවාය. එසේ සමස්ත කලාවත්, සාහිත්‍යයත්, දේශපාලනයත්, සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්වයත් උදෙසා සුනිලා අබේසේකර කළ මෙහෙය වෙනුවෙන් අස්වැන්න මෙසේ කෘතවේදීත්වයෙන් ඇය වෙනුවෙන් මේ සටහන  තබමි.

ඇය වෙනුවෙන් අස්වැන්නෙන් මීට පෙර අවස්ථා දෙකකදී කෙටි සටහන් දෙකක් තැබූයේ ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් සිනමා කෘතිය සහ ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් සිනමාකෘතිය පිලිබඳව අතීත මතකය  ලියන අවස්ථාවේදීය. එසේ වුවත් සුනිලා අබේසේකර පිළිබඳව ඊට වඩා දීර්ඝ විමසුමක් කරන්න සූදානම්ව සිටියෙමි.  මීට දෙසතියකට පමණ පෙර ජයතිලක බණ්ඩාරයන් මට කීවේ මේ දැවන්ත චරිතය පිළිකා රෝගය වැළඳී ගිලන්ව සිටින බවයි.

ඇය පිළිබඳව සහ ඇයගේ නිර්මාණ පිළිබඳව විමසුමක් කරන්න අවශ්‍ය බව මම ජයතිලක බණ්ඩාරයන්ට එදා කීවෙමි. ජයතිලක බණ්ඩාරයන් ඇය පිළිබඳව තොරතුරු රැස්කර දෙන්නට කැමැත්තෙන්ම ඉදිරිපත් විය. ඒ අතරතුරදී යුරෝපයේ වෙසෙන Tara Kularathna සුහදිනියද  තව දෙසතියකින් පමණ ඇයගේ අගනා නිර්මාණ එකතුවක් මා වෙත එවන්නට සූදානම්ව සිටියාය. ඒත් රෝගීව සිටින ඇය වෙනුවෙන් ඒ සටහන  ලියන්නට පෙරාතුව පිළිකා රෝගය ඉක්මනින්ම ඇය මරණය වෙත කැඳවීය.

කලාකාරිනියක වෙමින් සිනමා කලාව, සාහිත්‍ය, සංගීතය වෙනුවෙන් සුවිසල්  මෙහෙයක් කරමින්ද,  වාම දේශපාලනයේ නියැලෙමින්ද, මුලුමහත් මිනිස් සංහතියේ මූලික මිනිස් අයිතිවාසිනකම්  රැක ගැනිම උදෙසා දැවැන්ත මෙහෙයක් ඉටුකරමින්ද, කලාවත් සිවිල් සමාජයත් දෙවුර දරමින් සිටි සුනිලා 2013.09.09 දින සවස් යාමයේ සිය ජීවන රඟ මඩලින් නිකම ගියේ ඒ සියලු කැපකිරීම්වලට නොමැකෙන සදාතනික අගයක් එකතු කරමිනි.

1952 දි කොළඹදී උපන් සුනිලා  බි‍ෂොප් විද්‍යාලයේ දීප්තිමත් සිසුවියක වූවාය. චාල්ස් අබේසේකර ඇයගේ පියා ය. ඔහු රාජ්‍ය නිලධාරියෙකු ලෙසින් රාජ්‍ය ආයතන ගණනාවකම මුල් පුටුව හෙබවීය. චාල්ස් අබේසේකර ද වාමාංශික දේශපාලනයේ ප්‍රබල චරිතයකි. රජයේ සේවයෙන් අනතුරුව රාජ්‍ය නොවන සංවිධාන ගණනාවකට පුරෝගාමී වෙමින් සිවිල් සමාජය වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් කළේය.  ඒ අතර “මර්ජ්” සංවිධානය ද විය.



සුනිලා අබේසේකරට සිය පියාගේ දේශපාලන දෂ්ඨියේ අත්දැකීම් අහන්න විඳන්න ලැබෙන්නේ ඇයගේ බාලකාලයේ පටන්ම ය. සිය පියා සමග මෙන්ම රෙජී සිරිවර්ධන, මහාචාර්ය සුචරිත ගම්ලත් වැනි වාමාංශික දේශපාලනයේ දැවැන්ත බුද්දිමතුන් සමග එකට එක පෑහෙමින් සුනිලා වමේ දේශපාලනය ජනතාව වෙත ගෙන යාමට යොවුන්වියේ සිටම කටයුතු කළාය.  රංගනයට , ගායනයට, සංගීතයට බිෂොප් විද්‍යාලයේ ඉගනුම ලබන කාලයේ පටන්ම මනා හැකියාවක් සහ කුසලතාවයක් පෙන්වු සුනිලා  මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වේදිකා රංගන ශිල්පිණියක ලෙසිනි. ජයලත් මනෝරත්නයන්ගේ මුල්ම වේදිකා නාට්‍ය වූ මහගිරිදඹ වේදිකා නට්‍යයේද, රංජිත් ධර්මකීර්තිගේ මෝදර මෝල සහ අංගාරා ගඟ ගලා බසී  වේදිකා නාට්‍යයේ ද හෙන්රි ජයසේනගේ මකරා නාට්‍යයේ සහ දිරිය මව සහ ඇගේ දරෝ නාට්‍යයේද    රංගනයෙන් මෙන්ම ගායනයෙන් දස්කම් දැක්වූ සුනිලා හැත්තෑව දශකයේ තවත් වේදිකා නාට්‍ය ගණනාවකට සිය දායකත්වය ලබා දුන්නාය. ඇය චිත්‍රපට නිළියක ලෙස අභිෂේක ලබන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ දෙලොවක් අතර චිත්‍රපටයෙනි.

හැත්තැව දශකය ආරම්භයේ සිටම කේමදාසයන්ගේ සංගීත මංජරියේ මුල් පෙළ ගායිකාවන ලෙස කටයුතු කරන්නට සුනිලාට හැකි විය. කේමදාසයන් හඳුනාගත් සැබෑ කාන්තා ගී හඬ ඇය සතුව  තිබුණි. එහෙයින්ම ඇය කේමදාසයන්ගේ සිනමාව, වේදිකා නාට්‍ය සංගීතය, ඔපෙරා, සිම්ෆනි, ඇතුළු මාස්ටර්ගේ සියළුම සංගීත වැඩසටහන් වලට සුනිලාගේ ගී හඬ ආලෝකයක් විය. පෙරදිග මෙන්ම බටහිර සංගීතය පිළිබඳව ඇය සතුව තිබූ දක්ෂතාවයත් කුසලතාවත් නිසා කේමදාස මාස්ටර්ගේ සංගීතයේ මුල්තැන ඇයට  හිමිවිය. ඇය සොෆ්‍රානෝ ශෛලියේ ගායිකාවකි. ඒ නිසා සුනිලා ද කේමදාසයන්ගේ සංගීතය හැර වෙනත් සංගීතයකට ගී ගයන්නට නොගියාය. එසේ ගියේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි. මගේ මතකයේ හැටියට ඇය ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ගේ ගීතනු කීපයක් පසු කාලයේ  ගායනා කර තිබුණි.

කේමදාසයන්ගේ සංගීතයෙන් හැඩ වූ ධර්මසිරි බණ්ඩාරනායකගේ හංසවිලක් චිත්‍රපටයේ හෙමින් සැරේ පියා විදා ගීතයත්, ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් චිත්‍රපටයේ උදුම්බරා -  හඳුනාගත්තොත් ඔබ මා ගීතයත් ඇය‍ ගායිකාවක වශයෙන් නිරුපණය කළ සංගීමය භූමිකාවේ  ඉම් පෙදෙස්   හඳුනාගැනිමට ප්‍රමාණවත්ය. එසේ වුවත් කේමදාසයන් සංගීතවත් කළ රංජිත් ධර්මකිර්තිගේ අංගාරා ගඟ ගලා බසී නාට්‍යයේ ඇය ගැයූ ගී මාලාවද වේදිකා නාට්‍ය රසිකයන්ගේ මතකයෙන් ගිලිහි තිබිය නොහැක.

සුනිලාගේ ප්‍රසිද්ධ දේශපාලන භූමිකාව ඇරඹෙන්නේ  හැත්තෑව දශකයේ වාමාංශික දේශපාලනයේ තරුණ පිබිදිමත් සමගය. 70 දශකය මැද භාගයේ ජනතා විමුක්ති පෙරමුණේ විමුක්ති ගී ගායිකාවක වූ ඇය,  ගැයූ ගීත අතර සුනිල් විජේසිරිවර්ධන සමග  නිදිනැති නදියේ නාදය ගී එකතුවට ගැයූ  “දෝතට ගනිමූ”  ගීතය විමුක්ති ගී රසිකයන්ගේත්, වාමාංශික දේශපාලන ධාරාවේත් හරස්කඩක් බඳු ගීතයකි. එවැනි ගීයක් යහපත් සමාජයක් සඳහා ඇති කළ කම්පනය කොතරම්ද කිවහොත් ඒ ගීතය පසු කාලයේ ජයතිලක බණ්ඩාරයන්ද  සාධු ජනරාව සහ ගී රස වින්දන හරහා නැවත ජනතාගත කළේය.


විමුක්ති ගී ප්‍රසංගයෙන් පසුව ඇය රජරට කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැගුණ ජනතා කලා කේන්ද්‍රය පිහිටුවිමට පුරෝගාමී වු අය අතරින් කෙනෙකු වූයේ සුනිලාය. නන්දන මාරසිංහ, සුනිල් විජේසිරිවර්ධන, ගුණදාස කපුගේ, ජයතිලක බණ්ඩාර ආදි කලාකරුවන්ගේ සාමූහික වෑයමක් ලෙස බිහිවන රජරට ජනතා කලා කේන්ද්‍රය හරහා බිහිවූ කාල‍යේ රාවය  ප්‍රසංගයේ සුනිලා ගී ගැයුවාය. අසූව දශකයේ අග භාගයේදී මර්ජ් ආයතනයේ ක්‍රියාකාරිනියක වූ සුනිලා මර්ජ් ආයතනයේ සහයෝගයෙන් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනගේ ගීපදමාලා ඇතුළත්ව කේමදාසයන් සංගීතවත් කල නිදි නැති නදියේ නාදේ කැසට්පටය නිර්මාණය කර එළි දැක්වූවාය. 

ඇය සිවිල් සමාජ ක්‍රියාකාරිනියක ලෙස දේශපාලන කරලියේ කතාබහට ලක්වන්නේ 70 දශකයේ සිටමය. 88 – 89 කාලයේ භීෂණ සමයේ අතුරුදහන් වූවන්ගේ පවුල්වල අයගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් Youth Inform  ආයතනයේ කළ කැපකිරීම්ද ඇයගේ ජීවන ගමනෙහි ප්‍රබල මං සලකුණුය. ඒ යුගයේම ප්‍රේමදාස පාලනයට එරෙහිව මවුවරුන්ගේ පෙරමුණ, සහ අතුරුදහන් වූවන්ගේ මාපිය දූදරු සංවිධානය වැනි සංවිධාන ගණනාවක් සමග සමීපව කටයුතු කරන සුනිලා එවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ වත්මන් ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයින් ප්‍රේමදාස දුර්දාන්ත පාලනයට එරෙහිව ජිනීවා මානව හිමිකම් සංවිධානය  වෙත රැගෙන යාමට අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කළාය. 

දීර්ඝ කාලයක් තිස්සේ සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්ව සහ මිනිසුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනි සිටි එඩිතර සහ දක්ෂ කාන්තාවක වූ නිසා ජිනීවාහි මානව හිමිකම් සංවිධානය පුරවැසියෙකු වෙනුවෙන් පිරිනමන මානව හිමිකම් සම්මානය සුනිලාට එහි අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ කොෆි අනන් අතින් 1999 වර්ෂයේදී  හිමිවන්නේ ඇයගේ මේ සුවිශේෂ කාර්ය භාරය නිසාය. ශ්‍රි ලාංකිකයෙක් වශයෙන් එදා මෙදා තුර ලැබූ මානව හිමිකම් සම්බන්ධයෙන් ලද ඉහලම සම්මානයද එය වන්නේය.

ශ්‍රී ලාංකික කාන්තාවගේ සුවිශේෂ කාරය භාරය වඩාත් දාර්ශනික මතවාදයකට ගොනුකර ගැනීමෙහිලා ලාංකේය කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පැහැදිලි කතිකාවක් ගොඩනැගීමේ මෙහෙවරද විචාර, විවේචන, ගැරහුම් මැද ඇය ඉටුකළාය. සිය හෘද සාක්ෂියට එකඟව සියළු ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් ද,  සියලු මිනිසුන්ගේ මානව හිමිකම් වෙනුවෙන්ද  ප්‍රබල හඬක් අවදිකළ සුනිලා ලංකාවේ එදා මෙදාතුර සිදුවූ මානව හිමිකම් කඩවීම් ලෝකය තුළ මතවාදයකට  ලක් කරන්නට කටයුතු කළාය.

මෙරට යුද සමයේ  ද්‍රවිඩ ජනතාවගේ බිඳ වැටෙන අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රබල හඬක් නැගූ සුනිලා වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව මියෙන තෙක්ම හඬ නගමින් දැවැන්ත අරගලයක නිරත වූවාය. එහෙයිම ඇය වත්මන් ආණ්ඩුවේ ඇස්වලට ගිනි යවුල් අනින ආණ්ඩුවේ වෛරී චරිතයක් බවට  වූවාය. ඇය ආණ්ඩුවිරෝධී චරිතයක් බවට පත්වන්නේ වත්මන් ආණ්ඩුවට අභියෝග කිරිමත් සමගය.

සියලු මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය‍, නිදහස වෙනුවෙන්ද, යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන්ද නිරන්තයෙන් පෙනී සිටි ඇය දිරිය දියණියක් සේම අභීත දියණියක වෙමින්  මෙරට යුක්තිය සාධාරණත්වය අගයන සියලු පුරවැසියන්ගේ අපේක්ෂාවන්හි පහන් දැල්වූවාය. 

ඩබ්ලිව්.ජයසිරි, කෙලී සේනානායක සහ සුනිල් විජේසිරිවර්ධන සමග විවාහවී සිටි ඇය දෙදරු මවකි. ඇයගේ පුද්ගලික ජීවිතයේ  රහස් කිසිවටකත් සැඟවිමට හෝ වසන් කිරිමට කිසිදු උත්සාහයක් නොගත් සුනිලා ඒ සියලු විවාහ බන්ධන වලින් මිදුනේ සිවිල් සමාජ ක්‍රියාකාරිනියක වූ නිසාය. ඒ විවාහ බන්ධන වලින් මිදුනු පසුව නිදහස් කාන්තාවක ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටින සුනිලා, ඇය නියෝජනය කළ සමාජය වෙනුවෙන් පැහැදිලි ලෙසම පෙනීසිටන්නට ඔවුන්ගේ සහය අවශ්‍ය තැන්හි ලබාගන්නේ විවාහය යනු හුදු ලියවිල්ලක් බව පසක් කර දෙමිනි.
 
අංගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍යයෙන්
කෙසේ වෙතත් දෛවය විසින් ගෙන ආ ඉරණම හමුවේ ජීවිතයේ අවසන් කාලය විදේශයන්හි ගතකරන්නට ඇයට සිදුවන්නේ වත්මන් ආණ්ඩුව සමග අරගල කිරීමත් සමගය. ඇය විදේශගත වූයේ ජීවිතාරක්ෂාව උදෙසාය.  එසේ වුවත් මරණය වේගයෙන් ඇය හඹා පැමිණියේය. මාරාන්තික පිළිකා රෝගය ඇයගේ සියළු ශක්තීන් ආක්‍රමණය කරමින් ඇයගේ ජීවිතය ඩැහැගන්නට අරගල කරන බව ඕ පසක් කරගෙන සිටියාය. ශ්‍රී ලංකාවේ සියළු ජාතීන් වෙනුවෙන් ද , මුලුමහත් සමාජයක යුක්තිය සාධාරණත්වය වෙනුවෙන්ද සිය ජීවිතය කැපකල සුනිලා ලක් දෙරණ මත සිය අවසන් සුසුම මේ වාතලයට මුසුකර  අවසන් නින්ද මේ බිමේදීම වැළඳ ගැනීමට කැමැත්තෙන් සිටි නිසා මීට මාස කීපයකට පෙර මරණය දෝතින්ම රැගෙන ලංකාවට පැමිණියාය. කිනම් මොහොතක හෝ ඇය කරා වේගයෙන් පැමිණෙන මරණය අපේක්ෂාවෙන් සිටි ඇය  සියලු අරගලයන් පෙරේදා සවස් යාමයේ නතරකර දැමුවාය. ඒ යුක්තිය සාධාරණත්වය අගයන මිනිසුන්ගේ හදවත් තුළ සදා ලැගුම් ගනිමිනි.

ඇය පිළිබඳව බොහෝ දේ මේ වන විට ලියැවෙමින් තිබේ. අද සවස් යාමයේ  ඇය නික්ම යන්නේ ඇය ගොඩ නැගූ සියලු අපේක්ෂාවන් බුද්ධිමත් මිනිස් පරපුරකට තිළිණ කරමිනි. ඇයගේ කලාවත්, දේශපාලනයත්, සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්වයත් සියලු මිනිසනුගේ මතකයේ රඳවමිනි. ලංකේය කාන්තාවන් වෙනුවෙන්ද,  පීඩාවට පත්වූ සියලු මිනිසුන් වෙනුවෙන්ද සුනිලා ගොඩනැගූ භූමිකාව මතු මතුත් සදානුස්මරණිය වන්නේ එහෙයිනි. අස්වැන්න මේ මොහොතේ ඇයට කෘතවේදීත්වය පළකර සිටින්නේ ඇය ඉටු කල ඒ උදාරවූ මෙහෙය වෙනුවෙනි. මේ සුනිලා අබේසේකර නම් වූ ඇයයි.
දෝතට ගනිමූ දෝතට ගනිමූ

ඉරද හඳද මහ පොළවද දෝතට ගනිමූ



උදා හිරු එලියේ දිලිසෙන  විළිකුන් ඵලයක්

 රැයේ ගලා හැලෙන නිල්වන් තරුවක්

 දියෙන් පෙඟී තියෙන හදවත් කැටියක්

ඒ හදවත ගැන කියවෙන ආදර කවියක්


සුනිලාවනි..... හිමින් සැරේ පියා විදා සිනිදු සයනේ සුමුදු ඇතිරිල්ලෙන් මුදා හැර ගිය සියොත් කැල ඔබ හිස අද්දර ඒ ගැයූ මිහිරැතිම ගීය ඔබේ සුව නින්දට සුවයක් සදාවා....! ඔබට සුබ රාත්‍රියක්ම උදාවේවා......! මේ  සිතාරය හඬන කඳුළු ඒ සියලු උදාර මිනිසුන් ඇස  උපදින කඳුළුද, හද උපන් සුසුම්ද වන්නේය. ඒ සියල්ල ඔබේ නින්දට උණුසමක්ම වේවා...

                                     පළමු ඡායාරූප 03 අන්තර්ජාලයෙනි.



Thursday, 5 September 2013

෴ රෑ ඉරපාන සියවෙනි රශ්මි කදම්භය අබියස සිට ෴



       

       රේඩියෝ කලාවේ රස සොයන  සොඳුරු නවාතැන

හරවත්, රසබර සාහිත්‍යමය ගුවන් විදුලි වැඩසටහනක් සති සියයක් පුරා ඉදිරිපත් කරන එක මේ කාලයේ ලේසි පාසු කටයුත්තක් නෙවෙයි. සතියකට පැය දෙකක් ගානෙ සති සියයක් හරියටම බැලුවොත් අවුරුදු දෙකක් එකම වැඩසටහනක් අහන්න ලැබෙන එකත්, ඒ විදියට අහන්න සලස්වන එකත් අභියෝගයක්.  මේ යුගයේ ගී රස සොයන විඳින රසිකයන්ට මේ මෙවන් වැඩසටහනක් අහන්න ලැබෙන දුලබ අවස්ථාවක්. එෆ් එම් දෙරණ ගුවන්විදුලි නාලිකාව ඔස්සේ ප්‍රවීන ගීත රචක, ලේඛක, සහ මාධ්‍යව්දී බන්ධුල නානායක්කාරවසම්ගේ හඬින් සජීවිව  ඉරිදා රාත්‍රී  හතේ ඉඳන් රෑ නවය වෙනකල් දිග හැරෙන   රෑ ඉරපාන සියවෙනි (100) වැඩසටහන මේ ඉරිදා ඒ කියන්නෙ සැප්තැම්බර් මාසෙ 08 වෙනිදා  සවස 7.00 සිට 9.00 දක්වා හෝරා දෙකක් පුරා  විකාශනය වෙන්න නියමිතයි. ගීතය, සංගීතයේ අරටු හොයාගෙන ගීතය යහපත් තැනකට ගේන්න අපමණ වෙහෙසක් දරණ බන්ධුල නානායක්කාරවසම් රසවන්තයාගේ රෑ ඉරපාන වෙනුවෙන් අස්වැන්න ඔස්සේ මේ සටහන ලියැවෙන්නෙ බන්ධුලගේ මේ අතිශය බැරෑරුම් සහ දුෂ්කර ක්‍රියාවේ මියුරුතම ඵළ නෙළන රෑ ඉරපාන සියවෙනි වැඩසටහන අබියස  සිටයි.

ඉස්සර, ඒ කියන්නෙ හැත්තෑව අසූව දශකවල අද වාගෙ ගුවන් විදුලි චැනල් විසිතිස් ගණනක් මේ රටේ තිබුණෙ නෑ. සංස්කෘතියේ මහා වෘක්ෂයක්, සංහිඳක් වගේ තිබුණ එකම එක ගුවන් විදුලි නාලිකාව ගුවන්විදුලි සංස්ථාව විතරයි. අසූව දශකය වෙනකොට ඒ මහා වෘක්ෂය එහෙමත් නැත්නම් රජයේ ගුවන්විදුලිය තවත් ප්‍රාදේශිය ගුවන්විදුලි සේවා තුනකට ලියලනව. ඒ රුහුණු, රජරට සහ කඳුරට සේවා විදිහට. ඒ කාලෙ   මිනිසුන්ට උදේ ඉඳන් රෑ නින්දට යනකල් රේඩියෝ චැනල් එකක් විදියට අහන්න ලැබුණෙ ආණ්ඩුවේ ගුවන්විදුලිය වෙච්ච ගුවන්විදුලි සංස්ථාවෙ එක්කෝ වෙළඳ සේවය එහෙමත් නැත්නම් ස්වදේශිය සේවය. අලුත් ප්‍රවෘත්තියක් එහෙමත් නැත්නම් අලුත් සිංදුවක් ඇහුවෙත් ඔය රේඩියෝ චැනල් දෙකෙන් එකකින් ම තමයි.

අද වාගෙ  පැයෙන් පැයට, පැය බාගෙන් බාගෙට, විනාඩියෙන් විනාඩියට ක්ෂණික ප්‍රවෘත්ති කියන ක්‍රමවේද නොතිබුණත් මිනිස්සු හරියට ප්‍රවෘත්ති යන වෙලාවල් වලට ප්‍රවෘත්ති අහන්න පුරුදු වෙලා හිටිය. ඒ හින්දම ඒ කාලෙ ප්‍රවෘත්තිවලටත් පොඩි වටිනාකමක් තිබුණෙ ඒකත් සාහිත්‍යමය බසකින් පිරිල තිබුණ නිසා. දවසේ වැඩකටයුතු අහවර කරගෙන හැන්දෑවට ගේ මැද සාලෙට එකතු වෙන්නෙ ඒ රේඩියෝ එකෙන් ප්‍රචාරය වෙන මුවන් පැලැස්ස, මොනරතැන්න, වජිරා, වගේ ගුවන් විදුලි නාට්‍යක් අහන්න එහෙමත් නැත්නම් හොද  සරල ගිත වැඩසටහනක් අහන්න. ඒව අහන්න පුරුදු වෙච්ච මිනිස්සු ඒ වැඩසටහන් වලින් තමතමන්ගෙ මනෝ ලෝකවල තමතමන්ට රිසි විදිහට කල්පනා ලෝක හදාගත්තෙ ඒ වැඩසටහන්වල තිබුණ කලාත්මක බවත් නිර්මාණාත්මක බවත් හින්දා.

කාලයත් එක්කම සියලු දේ වෙනස් වෙන්නෙ රූපවාහිනිය ගේමැද සාලයට ආපු හින්දා. එදා ගේමැද සාලෙ තිබුණ රේඩියෝව කුස්සියට යනවා. මිනිසුන්ගේ කල්පනා ලෝක යාන්ත්‍රික වෙනව. එහෙම ගොඩනැගෙන යාන්ත්‍රික සංස්කෘතියකට හැඩගැහෙන මිනිසුන්ට අලුතෙන් හිතන්න, කැමති කැමති විදිහට කල්පනා ලෝක හදාගන්න බැරි වෙන තරමට රේඩියෝව ඈත් වෙනව. ඒකෙ ප්‍රතිඵලය වූනේ හැන්දෑවට රේඩියෝව අහන සහ අහපු පිරිස අඩු වෙච්ච එකයි. ලංකාව වගේ රටකට  ඔරොත්තු නොදෙන තරමට හතු පිපෙන්නාක් සේ ගුවන්විදුලි නාලිකා බිහිවීමේ අතුරු ප්‍රතිඵලය වූනේ තරගකාරී මාකට් එකක් චැනල් අතර ඇතිවීමයි. තමතමන්ගෙ ගුවන්විදුලි නාලිකාවල රේටිං ඉහළ දමාගන්න ඕනෙ වුණ නිසා  හැන්දෑවෙ වටිනා ගුවන් කාලයක් වෙච්ච හැන්දෑවෙ 7 -10 ගුවන් කාලය තුළ දිනපතා බිහිවූයේ අවාසනාවට ඇත්ත කතා. මේ තමයි ගුවන් විදුලි ශ්‍රාවකයන්ගෙත් අවාසනාවට ඇත්ත කතාව.


දිගින් දිගටම මට මේ කතාව ඇදගෙන එන්න සිද්දවෙන්නෙ එහෙම  පිරිහිච්ච ගුවන්විදුලි අතීතයකුත්  එක්ක. එහෙම වටිනා ගුවන්කාලයක් තිබිච්ච කාලෙකට පස්සෙ මීට අවුරුදු දෙකකට කලින්  ඉරිදා හැන්දෑවෙ 7 -9  පැය දෙක බන්ධුල නානායක්කරවසම් රසවතා තමන් අතට ගන්නෙ අඩුම තරමින් සතියකට පැය දෙකක්වත් මිනිසුන්ට අලුතින් යමක් හිතන්න පුලුවන්දෙයක් ගේන්න. ඒ විදියට දෙරණ නාලිකාවෙ වැඩසටහනක් හැටියට රෑ ඉරපාන නිර්මාණය වෙන්නෙ මීට අවුරුදු දෙකකට කලින්.  පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක් විදිහට එෆ්. එම්. දෙරණ නාලිකාව ගුවන්විදුලි ශ්‍රාවකයන්ට ආපහු අවශ්‍ය වෙච්ච ඒ හැත්තෑව අසූව දශකවල මිහිර රැදුණු අතීතයේ රසෝඝය ආයෙමත් හොයන්න කැඳවන්නෙ බන්ධුල නානායක්කාරවසම් නම් වූ අපේ කාලයේ රසවතා. බන්ධුලගෙ විදග්ධ කවිත්වය වගේම,  රම්‍ය වූ   කවි බසත් එක්ක සඟරාමය වැඩසටහනක් විදියට දිගහැරෙන රෑ ඉරපාන එක්ක අසන්නන් වෙච්ච අපට පෑහෙන්න සිදු වෙනව.

ගුවන් විදුලි නාලිකා අතර හැන්දෑවෙ  7 - 9 ගුවන් කාලය තුල ගුවන්විදු නාලිකාවක් එක දිගට අහන් පුරුදු කරන්නෙ රෑ ඉරපාන සංගීතමය වැඩසටහන . මෙවන් වැඩසටහනක විශේෂත්වය වෙන්නෙ රෑ ඉරපාන ගීතය විචාර කරන තවත් එක ගුවන්විදුලි වැඩසටහනක් නොවෙන  නිසා. රෑ ඉරපාන නිර්මාණය වෙන්නෙ ගීත ගැන හෝ ගීත  පදමාලා ගැන විචාරන්න නෙවෙයි. ගීතය මිනිසුන්ට කොහොමද සම්බන්ධ වෙන්නෙ ,  එදිනෙදා ජීවිතයට කොහොමද ගීතය පෑහෙන්නෙ එහෙමත් නැත්නම් කොහොමද මේ සමාජයට  ගීතය බද්ද වෙන්නෙ කියන කාරණය පැහැදිලි කරන්න. 

පැය දෙකක් තිස්සෙ බන්ධුල නානායක්කාරවසම් තමන්ගේ කල්පනා ලෝකයේ සැරසරමින් සාමාජ ජීවිතයේ සැරි සරන කොට හමුවෙච්ච ඒ වගේම ඒ  සොඳුරු නවාතැන්වල රැඳුණු මතක සටහන් එක්ක  සිත නිවන තැන්වල ගත කල සොදුරු අත්දැකිම් හරහා රෑ ඉරපාන අපේ සිතුවිලිවල පහන් දල්වනව. එහෙමත් නැත්නම් පෙර අපර දෙදිග සාහිත්‍යයේ   පොතක පතක හැංගිච්ච ඉතාම සරල පුංචි සිදුවිමක් ගීතයට බද්ද කරනවා. ඒ තමයි ඔහුගෙ කවි බස. බන්ධුලගෙ රෑ ඉරපාන විචිත්‍ර සංගීතමය ගුවන්විදුලි සඟරාවක් වෙන්නෙ ඒ හින්දා.  ඒ විතරක් නෙවෙයි ගීතයට වඩා යමක් ඒ හෝරා දෙක තුළ ජීවිත වලට එකතු වන නිසා. ගිරා පෝතකයන් වෙච්ච නිවේදක නිවේදිකාවන්ට රෑ ඉරපාන සොඳුරු තක්සලාවක් වෙන්නෙ ඒ නිවේදක වෘත්තියේ අගය කියාදෙන හින්දා.

හැත්තෑව අසූව දශකවල ගුවන්විදුලියේ මේ විදිහෙ එහෙම වැඩසටහන් තිබුණා. එදා ගුවන්විදුලියේ සොඳුරු සෙවන, යෞවන සමාජය කළ ලූෂන් බුලත්සිංහල, සමීප රූප කළ ඩබ්ලිව්.ජයසිරි,  රජරට සේවයේ මන්දාකිණිය කරපු විශාරද ගුණදාස කපුගේ,  ශනිදා සාදය කරපු ප්‍රේමකීර්ති ද අල්විස් වගේම මෑත කාලයේ සති අග සාදය කළ නිහාල් වික්‍රම එදිරිසූරියත්, ලාල් ආනන්ද අබේදීර කළ ආනන්ද රාත්‍රියත් මුලුමනින්ම වෙන් වුණේ ගීතය ගැන කතා‍කරන්නම විතරක් නෙවෙයි.  ගීතයෙන් මිනිසුන් ගැන මිනිසුන්ගෙ සිතුවිලි ගැන කතා  කරන්න. ඒ හැම කෙනෙක්ම තමතමන්ගෙ සංගීතම විචිත්‍රාංග වැඩසටහන්වලට යොදාගත්තෙ තමතමන්ට ආවේණික වෙච්ච රටාවක්. බසත් එහෙමයි. වෙස වුණේ ඔවුන්ගේ කවි බසෙහ සහ හ‍ඬෙහි  තිබිච්ච විචිත්‍රවත් බව. 


 බන්දුල නානායක්කාරවසම් එයිනුත් තරමක් ඔබ්බට ගිහින්  අපිට අලුතින් හිත්නන පුලුවන් යමක් රෑ ඉරපානෙන් හිතට එකතු කරනව. ඒක තවතවත් විත්‍රවත් වෙන්නෙ බන්දුල සතු පෙර අපර දෙදිග ගීතය පිළිබඳ දැනුමත් අවබෝධයත්, නිර්මාණශීලි පිටපත් රචනයේ ඔහු සතු ප්‍රබල හැකියාවත්, ගුවන්විදුලි නිවේදකයකු විදිහට මාධ්‍ය හැසිරවීමේ ඔහු සතු  කුසලතාවතයත් එක්කමයි.


ගීතය, සිංහල දෙමල, ඉංග්‍රීසි එහෙමත් නැත්නම් හින්දි හෝ වෙනත් බසකින් ගැයුණු ගීයක් වුණත් විවිධ වූ හැඩයෙන්, උසින් මහතින් දිගින් පළලින්  හැදුන තුරුහිසක පිපුණ කුසුමක්. දැවැනත් සමාජීය අත්දැකීම් සමුදායක් කැටි කරගත්ත නිර්මාණයක්.මල් පිපෙන තරමට ඵළ හට නොගත්තත් කෙටි කලයකය හරි සුවඳක් විහිදවනව. ගීතය මිනිස් ජිවිතවලට සම්බන්ධ වෙන්නෙත් ඒ විදිහට.  එක රැයින් පිපෙන පරවෙන කුසුම් වගේම එක රැයින් ජනප්‍රියවෙලා නැතිවෙලා යන ගීතත්,  එක රැයින් බිහිව අඳුරේ සැඟව ඇති රමණීය මධුර ගීතත් තියෙනව.  ඒත්  ඒවා නිසි වෙලාවට නිසි තැනට බද්ධ නොවෙන තාක්කල් ගීතය හෝ ගිතයෙන් ගම්‍ය වන අරුත හිතට දැනේනෙ නෑ. එහෙම අහුමුලු වල හැංගුණ ගීත හොයාගෙන  නැවත නැවතත් අහන්න හිතන්න පුරුදු කරන්නෙ බන්ධුලගෙ  රෑ ඉරපාන. 

ගීතයෙන් අනන්ත අපරිමිත රස සොයන අවකාශකයක හිත් රඳවමින් ගීතයට කොහෙත්ම අදාල වෙන්නෙ නැති සිදුවීම් මාලාවක් මුතු පොටක් සේ එකට අමුණා ඒ මුතු පොටේ අගිස්සේ අමුණන ගීතය අපට අසා හුරු පුරුදු ගීතයක් වුණත් දැනෙන්නේ පෙර නොවිඳි අත්දැකිමක්. අපට හුරුපුරුදු කලාකරුවෙකුගේ වතගොත වුණත් බන්ධුලගේ වාග් කෝෂයෙන් දෝර ගලන්නේ  කුරුලු පිහාටුවක තවරන ලද මී බිඳුවක් වගේ.

වර්තමානයේ මිනිසුන් කෙරෙන් රසිකත්වය ගිලිහිලා. එහෙව් කාලෙක සංවේදී විදිහට හිතන පතන විඳින විදවන මිනිස්සු අඩුයි. යාන්ත්‍රික වෙච්ච ඉහමොලවලට රසිකත්වය කාවද්දන්න බෑ. මිනිස්සු යාන්ත්‍රික වුනේ නිර්මාණාත්මකව හිතන්න පතන්න නොපෙළඹුණ හින්දා.  සිතුවිලිවලින්ම ආදරය, ප්‍රේමය , විරහව විඳින්න උගන්වන්න හැකිනම් සමාජය මීට වඩා හුඟත් ඉස්සරහින්ම තියේවි. රෑ ඉරපා‍න ගුවන්විදුලි රසිකත්වයේ හෘදය සංවේදි වැඩහටහනක් වෙන්නෙ ඒ නිසයි. 

ඒ නිසා මේ රසික පිරිවත් එක්ක තවත් දුරක් යන්නට බන්ධුල නානායක්කාරවසම්  රසවතානන්ට රෑ ඉරපාන සියවෙනි රශ්මි කදම්භය මහත් ආලෝකයක් වෙන්න සියය පුරන්නත් කලින්ම අස්වැන්න බන්ධුල සමග එකතුවෙන්නෙ ඒ නිසා...෴


Related Posts Plugin for WordPress, Blogger...