එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Friday 31 January 2014

෴ දකින දේ සහ සිතන දේ අතර වෙනස ෴





කලාව යනු අදෘශ්‍යමාන දෘෂ්ඨියකි. සුවඳ අපට දැනේ එහෙත් නොපෙනේ. එහෙත් විඳගත හැකිය. සුළඟ අපට නොපෙනේ එහෙත් දැනේ. සුළං හමන දිශාව හඳුනාගත හැකිය. සුළගේ වේගය මැනගත හැකිය. එහෙයින් ඒ සුළඟ කවර වේගයකින් කුමන දිශාවකට හැමුවේද යන්න පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹිය හැකිය.  විටෙක මන්ද මාරුතයක්ව හමන ඒ සුළඟම තවත් විටෙක චණ්ඩය, රළුය. කලාවද එසේ මය. එකම කලා කෘතියක් වුවද එකිනෙකා ඒ පිළිබඳව දකින විඳන ආකාරය අනුව එකිනෙකට වෙනස් ය. අපි ඒ කෘතිය ගැන හිතන  ප්‍රමාණය අනුව එහි අරුත වටහා ගනී. එවන් කලා කෘතීහු අනෙක් කෘතීන්ගෙන් වෙනස් වන්නේ ඒ නිසාය.

අද මේ සටහනට පූර්විකාව වන්නේ එවන් නිර්මාණයකි. ලංකාවේ පොත් ප්‍රකාශන, කවර නිර්මාණ බැනර් කටවුට්  නිර්මාණ පරිගණකය ඇසුරින් නිර්මාණය වූ ඩිජිටල් තාක්ෂණයට පිවිසෙන්නට පෙර ඒවා නිර්මාණය වූයේ චිත්‍ර ශිල්පීන්ගේ තෙළිතුඩිනි. අකුරු වචන ගලපා කලාත්මක අදහසක් ප්‍රකාශ කළා නම් ඒ ඔවුන්ගේ හද උපන් ගැඹුරුම ආශ්වාදය වචනවලට පෙරලීමකි. ඒ නිසා ඒවා සියල්ල එකල නිර්මාණාත්මක බවින් පිරී තිබුණි. ඇතැම් චිත්‍ර ශිල්පීන්ගේ අත් අකුරු දුටු පමණින් ඒ කිනම් සිත්තරෙකුගේ නිර්මාණයක්දැයි කියන්නට තරම් අවබෝධයක් සහ දැනුමක් එදවස රසිකයන්ට තිබුණි. 

80 දශකයේ නිර්මාණය වූ කැසට් කවර, පොත්පත්වල කවර, චිත්‍රකතා පත්තර ඒවන් සොඳුරුතම මතකයන් නිබඳ ලැගුම් ගන්නා නිර්මාණයන් ය. අදටත් එවැනි නිර්මාණ බිහිවුවද තරඟකාරී කලාව හමුවේ ඒවා සැනෙකින් මතුව සැණෙකින් සැඟව යන්නේය. රසිකයන්ට ඒ ගැන හිතන්නටවත් තරම් කාලයක් ඒ සඳහා නොලැබේ.. එදවස විත්‍රකතා නිර්මාණ කළ  බන්ධුල හරිස්චන්ද්‍ර, දයා රාජපක්ෂ, කැමිලස් පෙරේරා වැනි අයගේ චිත්‍රකතා කලාව අදටත් රසිකයන්ට මතකය. ප්‍රේම් දිසානායක, සිසිර විජේතුංග, වැනි නිර්මාණශීලි කලාකරුවන් අතින් කැසට් කවර සඳහා ඇඳි  අකුරු අදටත් මතකය. රැලෙක්ස් රණසිංහ, විල්සන් හෑගොඩගේ ඡායාරූප අදටත් මතකය. ඉන්ද්‍රනාථ තේනුවර, පියරත්න හේවා බටගේ, දීග සෝමපාල වැනි වැනි කලාකරුවන් පොත්වලට කළ කවර නිර්මාණ අදටත් සුවිශේෂ වන්නේ ඒ නිසාය.

අද අස්වැන්න සරසා ඇති චිත්‍ර ‍එවැනි කදිම නිර්මාණශීලි සිත්තරෙකු පිළිබඳ මතකයකි. ඒ චිත්‍ර  දීග සෝමපාල කලාකරුවා විසින් 90 දශකයේ  පොතක පිටකවරයක් සඳහා අදින ලද සිතුවමකි. මේ පොතට කවර දෙකකි පිට නවර නිර්මාණය වී ඇත්තේ පළමු පිංතූරයෙනි එ් කවරයේ මතුපිට ජනෙල් කවුලුවකි. ඇතුළු කවරය පහත දැක්වේ.


එම සිතුවමට පාදක වන්නේ ජනේලයකින් පෙනෙන කාන්තාවකගේ උඩුකය අර්ධ නිරුවත් සිතුවමකි. කාන්තා නග්න සිරුරක් දුටු පමණින් සරාගී හැඟීම් අවදි වන අතරම ජනෙල් කවුලුවෙන් දුටු  දේ ඇතුලට ගොස්  බලන්නට කෙනෙකුට නොසිතේද? සැබැවින්ම  එහි ඇතුළට ගොස් බැලුව හොත් පෙනෙන්නේ කුමක්ද? ඇස සියුම් රාගයන් ඔස්සේ ඇස පිනවූ ඉදුරන්ම ජනේලයෙන් පිට සිට දුටු දේට ඉදුරා වෙනස් වූ රුවක් ඇතුළත දිස් වේ. මුලින් කවුලුවෙන් ඇස ගැසුණු රූපයට කුමක් වීද? එය සැණෙකින් අප වෙතින් පළා ගොසිනි. සියළුම කලාවන් එසේමය. දකින දේ සහ විඳන දේ සියුම් ලෙස වෙනස් වන්නේ ඒ නිසා ය.

ඒ අයුරින් යම් නිර්මාණයකින් දැනෙන හැඟවෙන දේ එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ය. ඒ අපි එක් එක් ආකාරයෙන් එවන් කෘති දෙස අපට අවේනික දෘෂ්ඨියෙන් බැලිමට පුරුදුව සිටින නිසාය.

තරමක් වෙනස් ආකාරයට මේ කතාවට මුල පිරවේ ඒ නිසා. අද අස්වැන්න මම සටහන් කළේ 99 වන වතාවට. ඊළඟට අපි අස්වැන්නෙන් හමුවෙන්නෙ 100 න්. ඒ නිසා අස්වැන්න 100 හමුවිම තරමක් වෙනස් ආකාරයෙන් සටහන් කරන්න  හිතුණා. ඒ කියන්නෙ “අස්වැන්න 100 ඔබේ ඇසින්” ලියන්න කල්පනා කළා.  ඒ නිසා 99 වතාවක් අස්වැන්නෙන් මම ලියපු දේ ගැන ඔබේ අදහස් දැනගන්න  කැමතියි. ඔබ කැමති ආකාරයකට ඔබට හිතෙන ආකාරයට ඔබේ නිදහස් අදහස් කෙටියෙන් ලියා එවන්න කියා මම ඔබට ඇරයුම් කරනවා.

අද මේ සටහන වෙනුවෙන් කමෙන්ටුවක් ලියනවාට වඩා ඔබේ ඒ කාලය වැයකර ඒ කෙටි අදහස සිංහලෙන් හෝ ඉංග්‍රිසියෙන් කැමති ආකාරයට  දින කිපයක් ඇතුළත ඔබේ නම සහ බ්ලොග් අඩවියක් ඇත්නම් එහි නමත් එක්කම ලියා එවන්න. මෙන්න ඊමේල් ලිපිනය

                             dayanandarathnayake@gmail.com

එසේත් නැත්නම් facebook සමාජ ජාලය භාවිතා කරන ඔබ, ඔබේ අදහස පණිවුඩයක් එලස එහි සටහන් කරන්න. හමුවෙමු අපි අස්වැන්න සියයෙන්෴



Wednesday 15 January 2014

෴ ඇසුනත් නෑසෙන ගී෴




ද දුරුතු පුර පසලොස්වක පෝය දවස. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ට විශේෂ සිදුවීම් කිහිපයක් මුල්කරගෙන වැදගත් වන පෝය දවසක්.  බුදු හිමියන් සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා හරියට ම මාස නවයක් ගත වූ පසු මුල් වරට යක්ෂයන් දමනය කිරීම සඳහා මහියංගනයට වැඩම කොට සූත්‍ර ආදී දහම් දේශනා කරල යක්ෂයන් දමනය කළේ මේ වගේ අති උතුම් දුරුතු පුර පසලොස්වක පෝය දිනයක. ඒ හින්දා අස්වැන්න ලියන මාත් කල්පනා කළා මේ පෝය දවසෙ අපි නිතර අහන අසා ඇති බුදුගුණ ගීයක් වුණත් ඔබ අසා නැති බුදු ගුණ ගීතයක් ගැන ලියන්න.

සාමාන්‍යයෙන් ලංකාවෙ සිංහල ගීත සාහිත්‍ය තරමක් අතීතයට විමසා බලන කොට, ඒ කියන්නෙ ලංකාවෙ බුද්ධිමය දේපල නීතියට හරියට ම ක්‍රියාත්මක වෙන්න කලින් එක ම ගී පදමාලාව ඇතැම් විට එකම ගායන ශිල්පියා හෝ ශිලිපිණිය දෙවතාවකට ගැයූ අවස්ථා හමුවෙනව. එමෙන් ම එක ම ගීතය  ශිල්පීන් කීපදෙනෙකුගේ ම හඬවල්වලින් අහන්න ලැබෙනව.  මතකනේ මම මීට අවුරුදු දෙකකට විතර පෙර  විශාරද ගුණදාස කපුගේ ගායන ශිල්පියාණන් විසින් “නින්ද නැති රැයේ” ගීතය දෙපාරකට ගී තනු දෙකකට ගැයූ හැටි ලිව්වා. 

අන්න ඒ විදිය‍ට එක ම  ගීතය දෙතුන් වතාවකට ගායක ගායිකාවන් විසින් විවිධ ගී තනුවලට ගැයූ අවස්ථා රැසක් ම සිංහල ගීත සාහිත්‍යයේ අපට හමුවෙනව වගේ ම අහන්නත් ලැබෙනව. හරියට ම එවන් ගීත කීපයක් මතක් කලොත් වැඩි ම වාර ගණනක් විවිධ සංගී ක්‍රම වලට,  විවිධ ගායක ගායිකාවන් රැසක් ගැයූ ගීතය විදියට “දන්නෝ බුදුන්ගේ” ගීතය අපට හමු වෙනව. ඒ වගේ ම ටී.එම්. ජයරත්න සහ නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිණියත් තවත් ගායන ශිල්පිණියකත් විසින් ගැයූ “රන් ටිකිරි සිනා” ගීතය ඒ ශිල්පීන්  තනි තනිව ඒකල වශයෙනුත් යුග ගීයක් විදියටත් ගායනා කරල තියෙනවා. ආචාර්ය අමරදේවයන් මෙන් ම ලතා වල්පොල ගායන ශිල්පිණිය ගැයූ “සීන හතක් මැද” ගීතයත් එක ම තනුවකට දෙදෙනා ම ඒකල වශයෙන් ගැයූ අවස්ථාවක්.  එතකොට ආචාර්ය දයාරත්න රණතුංග සහ එච්. ආර්. ජෝතිපාල ගැයූ “කිරි ඉතිරේවා නව වසරේ” ගීතයත් එහෙම ශිල්පීන් දෙදෙනෙකු ගැයූ අවස්ථාවක්. ඒ වගේම ජෝතිපාල - ඇන්ජලීන් ගුණතිලක සමගත්, ජෝතිපාල තනිවත් ගැයූ “තනියේ ආවාරේ” ගීතයත් ඒ වගේ ගීයක්. මේ විදියට සිංහල ගීත සාහිත්‍ය තුළ විශාල ගීත ප්‍රමාණයක් දෙතුන් වතාවකට පටිගත වූ ගීත විදියට අපට අහන්න ලැබෙනව.

ඒ ‍එකම පදමාලාව වුණත් ‍සමහර වෙලාවට ජනප්‍රිය වෙලා තියෙන්නෙ දෙවන අවස්ථාවේදි ගැයූ ගීතයෙන්. “නින්ද නැති රැයේ” ගීතය දෙපාරකට ගී තනු දෙකකට කපුගේ ගායානා කළත් ජනප්‍රිය වුණේ ඒකෙ දෙවන පටිගත කිරීම එහෙමත් නැත්නම් අපි අද අහන ජනප්‍රිය නින්ද නැති රැයේ ගීතය. ඒ වගේ   පසු කාලයේදි කපුගේ ගැයූ බොහොමයක් ම ගීත දෙවන වතාවෙදි කළ පටිගත කිරීම් වලින් පසුව තමයි ජනප්‍රිය ගීත බවට අද දවසේ පත්වෙලා තියෙන්නෙ.

අනෙක් අතට එක ම ගීතය දෙදෙනෙක් ගැයුවත් ඒ ගීත දෙක ම ජනප්‍රියයි. සමහර විට එකම තනුව නිසා එක සමානව රසයක් ලැබෙනව. ඒ කොහොම වුණත්  ඒ ගීතයක් ඇහෙන හැම වෙලාවකම අපිට ඒ ඇහන ගීතය මිස ඒ ගීතය නැවත තවත් ගායන ශිල්පියකු හෝ ශිල්පිණියක ගැයු බවක් හෝ ගයා ඇති බවක් දැනෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි  අපි ඒ මොහොතේ ඒ ඇසෙන ගීයට අසීමිතව පෙම් බැඳීමත්, ඒ ගීතය අප තුළ අසිමිත රසිකත්වයක් ගොඩ නංවන නිසාත් වෙන්න ඇති කියල මට හිතෙන්නෙ.

අන්න ඒ වගේ ගීයක් තමයි අද අපි අස්වැන්නෙන් අහන මේ ගීතය. මේ මුලින් ම ගීතය ගැයුවෙ ගායන ශිල්පිණී නීලා වික්‍රමසිංහ,  සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙ. මේ ගීතයේ තිබෙන විශේෂත්වය තමයි මේක ඉතාමත්ම ජනප්‍රිය වුණේ ආචාර්ය වික්ටර් රත්නායකයන් හඬින්, එතුමා විසින්  අතිමධුර සර්ධා සම්පන්න, නිරාමිස හැඟීමක් ගෙන දෙන  ගී තනුවක්  ‍නිර්මාණය කරල එතුමා විසින් ම ගායනා කළ පසුවයි. ඒ කියන්නෙ දෙවනි වතාවට වික්ටර් රත්නායකයන් විසින් පටිගත කළ ගීතය තමයි අද දවසේ අපි බොහොම ආදරයෙන් වගේ ම පහන් සිතුවිලි වලින් පුරෝගෙන අහන “බුදු හාමුදුරුවො අපිත් දකින්නැති” කියන ගීතය.

 මේ ගීතය මුලින් ම ගායනා කලේ ශිල්පිණී නීලා වික්‍රමසිංහ. ඒ 1979 -80 කාලයේ දී විතර. කාලය හරියටම නිශ්චිතව කියන්න අපහසු වුණත් මේ ගැන මම සොයාගත්ත දත්ත සහ තොරතුරු අනුව 80 දශකයේ මැද භාගය වෙනකොට ආචාර්ය වික්ටර් රත්නායකයන් මේ ගීතය දෙවන වරට පටිගත කරල ඉතාමත් ජනප්‍රිය වෙලා තිබුණා.

කොහොම වුණත් විජය රාමනායක - කුලරත්න ආරියවංශ පුරෝගාමීත්යෙන් 1977 දී පමණ ලංකාවෙ කැසට් ගීත කලාව බිහිවුණා. මුලින්ම කැසට් නිෂ්පාදය වුණේ “තරංගා” ලේබලයෙන්. අන්න ඒ කාලෙ නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිණියක වශයෙන් ගීත 12 ක් ඇළත්කර  කළ ‍ඇයගේ දෙවන  නිර්මාණ එකතුව “ගී” නමින් නමින් නිකුත්  වූ කැසට් පටය. ඒ ගීත එකතුවට තමයි මේ ගීතය ඇතුළත් වුණේ. ඒ කාලෙ මේ ගීත එකතුව නිෂ්පාදය කරල තිබුණෙ “ෂැම්රොක්” කැසට් ලේබලයෙන් . ඒ කැසට් පටයේ මේ ගීතය ජනප්‍රිය නොවුණත් ඇයගේ අනෙක් ගීතවලින් හරි අඩකටත් වැඩිය ජනප්‍රිය ගීත බවට පත් වුණා.

 මේ ගීතය මුලින් ම ගායනා කළේ නිලා වික්‍රමසිංහ බවට ගීත  තොරතුරුවල සටහන් වෙන්නෙ නෑ වෙන එකක් තබා පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් 1985 ලියා ප්‍රකාශයට පත්කළ “සංසාරේ අපි” ගීත කෘතියේ පවා “බුදු හාමුදුරුවො අපිත් දකින්නැති” ගීතය ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීතවත් කොට ගැයූ ගීතයක් බවටයි සටහන් වෙන්නෙ. මට හිතෙන හැටියට වික්ටර් රත්නායකයන් ගැයූ ගීතය ජනප්‍රිය වූවායින් පසුව ඒ ගීතයට යම් අසාධාරණයක් සිදුවේවි යැයි කල්පනා කරල තව දුරටත් නීලා ගැයූ ගීතය පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ නොකරන්නත් ඇති. එසේම නීලාගේ ගී හඬ තුළ ශාන්ත රසයක් නොදැනෙන නිසාත්, ඇගේ ගී හඬ වඩාත් ගැලපෙන්නේ ජන ගී සම්ප්‍රදායට හෝ එසේත් නැත්නම් බටහිර ගී ආරට බව ඇයටම වැටහුණා විය හැකිය. මේ ගීතය තුළ ඇගේ ගී හ‍ෙඬෙහි ශාන්ත රසයක් නොදැනෙන්නේ ඒ නිසා විය හැකි බව මටද සිතේ.

 ඒ කොහොම වුණත් ඒ විදියට නීලා වික්‍රමසිංහ ගැයූ “බුදු හාමුදුරුවො අපිත් දකින්නැති” මුල් ගීතය විදියට අතීතයට එකතු වුණා. දෙවන වරට පටිගත කළ ගීතය ජනප්‍රිය වුණා. 

ඒ විදියට කල්පනා කරන විට අද වගේ එදාත් දුරුතු පුර පසලොස්වක පෝය දවසක ලංකාවට මුල්වතාවට බුදුහාමුදුරුවො වැඩම කරන විට අපිත් සංසාරෙ කොහේ කොතැනක හරි ඉන්න ඇති. ඒත් බුදුන් දැකල නිවන් දකින්නට පිං මදි වෙච්ච නිසා මේ දුරුතු පුර පසලොස්වක පෝය දවසෙත් අපි මේ සංසාර චක්‍රයේ තාම සැරිසරනවා. ඒ හින්දා වෙනසකටත් එක්ක නීලා වික්‍රමසිංහ ගැයූ මෙන්න මේ ඔබ අසා නැති “බුදු හාමුදුරුවො අපිත් දකින්නැති” ගීතය අහන්න කියල ආරාධනය කරනවා.෴

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින්මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ

දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වඳින්නට ඒ කාලේ
නිවන් දකින්නට පින්මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ

අපිත් එක්ක හිටි අපේම යාලුවො
නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පිං පුරවමු අපි සංසාරේ.

ගීපද මාලාව: පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගැයුම: නීලා වික්‍රමසිංහ

ගීතය මෙතනින් අහන්න
                       


Friday 3 January 2014

෴ ප්‍රදීප්ගේ සිතාරය සහ කේමදාස සංගීතය ෴





                        The Ravi Shankar of Sri Lanka

ලොව මෙතෙක් බිහිවී ඇති අනර්ඝතම සංගීත සම්ප්‍රදායන් අතර උත්තර භාරතීය රාගධාරී සංගීතයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ගායනයේදී හෝ වාදනයේදී රාගධාරී සංගීතයේ සියළු රස භාවයන් එලෙසින්ම විඳගැනිමට හැකි එකම සංගිත භාණ්ඩයද  සිතාරයයි. එ‍් නිසා හින්දුස්ථානි සංගීතයේ දී සිතාරයට හිමිවන්නේ වෙසෙස් තැනකි. ඒ නිසාම  සිතාරය උත්තර භාරතීය සංගීතයේ භාවිතා වන සංගීත භාණ්ඩ අතර  උත්තම ගණයෙහි  ලා සැළකෙන සංගිත භාණ්ඩයකි.

ඒ නිසා මේ ලැබූ නව වසරේ මුලින්ම  අස්වැන්නෙන් අග්‍රගණ්‍ය සංගීතවේදී ප්‍රදීප් රත්නායකයන්  සහ ඔහුගේ සිතාරය පිළිබඳ කතා කරන්න කල්පනා කළා. ඒ ප්‍රදීප්ගේ මිහිරිම සිතාර් වාදන කීපයක් සමගයි. ලංකාවෙ රසිකයන් සංගීතය විදියට හඳුනාගෙන අහන්න පුරුදුවෙලා තියෙන්නේ ගීතය. මේ ගීත කලාව නිසා ගීතය අහන්න පුරුදු වුණ රසිකයන්ට සංගීතය යනු ගීතය පමණක්ම නොවන බව වටහා දීමක් සිදුවන්නෙ නෑ. ඊටත් වඩා උසස් සංගීත රසාතලයක රසිකයන් සහ ඔවුන්ගේ රසිකත්වය වඩා හිඳුවන්නට නම් මෙවන් වාද්‍ය ශිල්පීන්ගේ වාද්‍ය ශිල්ප ක්‍රම පිළිබඳ නිසි විචාරාත්මක කතාබහක් ගොඩ නැගෙන්නෙත් නෑ.

සංගීතය විඳින රසිකයන්ට සිය ආත්මය තුළින්ම උපදවාගත් රස වින්දන තුළින්  සිතාරය වැනි උත්තම ගණයේ ලා සැලකෙන සංගීත භාණ්ඩයකින් මතුවන ගැඹුරු සංගීතය හදවතට වඩාත් සමීප කොට සිය ආධ්‍යාත්මය තුළ රඳවාගෙන විඳගන්නට අපහසුත් නැහැ. එවන් අග්‍රගණ්‍ය සංගීතවේදියෙක් වගේම වාද්‍ය ශිල්පියකු තමයි ප්‍රදීප් රත්නායක. 

සිතාරය ගැන ලංකාවෙ සංගීත ක්ෂේත්‍රයේ කතාබහ කරද්දි මුලින්ම කියවෙන නම තමයි ප්‍රදීප් රත්නායක කියන්නෙ. ඔහු ලංකාවෙ සංගීත ක්ෂේත්‍රයේ පමණක් නොවෙයි  ජාත්‍යන්තර සංගිත තලයේ ද රසික සම්භාවනාවට පාත්‍ර වූ සංගීත වේදියෙක්. වර්තමානයේ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ භාෂා සහ සංස්කෘතික අධ්‍යනාංශයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කරන ප්‍රදීප් සිතාර් වාදනය  පිළිබඳ විවිධාකාරයෙන් පර්යේෂණ රැසක් කර මහාර්ඝ ප්‍රතිඵල ලබා ඇති,  ඒ පිළිබඳ හසල දැනුමක් සහ මනා නිපුණත්වයක් ඇති සංගීත වේදියෙකි. 

ප්‍රදීප්ගේ ප්‍රදීපාංජලී සිතාර් වාද්‍ය ප්‍රසංගය අවස්ථා කීපයකදිම ලංකාවෙ රසිකයන්ට විඳ ගැනීමට අවස්ථාවක් උදා වුණා. ඒ මීට වසර ගණනකට පෙර ය. ඒත් ඔහුගේ සජීවි වාදන ප්‍රසංග වැඩි වශයෙන් විඳගන්නට අවස්ථාව උදා කරගෙන ඇත්තේ විදේශිය සංගීත රසිකයන්ය. ඒ ලංකාවේ පැවැත්වූ සිතාර් වාද්‍ය ප්‍රසංග ගණනට වඩා වැඩි වාර ගණනක් විදේශයන්හිදී ප්‍රදීප් ඉදිරිපත් කර ඇති නිසා ය. ප්‍රදීප් සිය රසිකයන්ට විවිධ අවස්ථාවන්හි දී වරින්වර සිය නිර්මාණ ඇතුළත්  සංගීත ඇල්බම් පහක් මේ වන විට එළිදක්වා ඇත. සිතාර් ගී රාව, විශ්ව, සිතිජය, ළඳුනේ සහ තවත් එක් ශාස්ත්‍රීය වාදන සංගත තැටියකි. 

පෙර අපර දෙදිග සංගිතයේ  සරල සෞන්දර්ය ආස්වාදය කරගනිමින් ඒ සංගීතයේ ඇති ගැඹුර සොයාගෙන ලාංකේය සංගිත රසිකයන්ට හඳුන්වා දෙන්නට ගත් උත්සාහයන් අතර ප්‍රදීප්ගේ  මේ නිර්මාණ ය කළ ඒ සංගත තැටි ගණන ප්‍රමාණවත් ය. මේ සිවු වැදෑරුම් නිර්මාණ අතරින් එක් නිර්මාණ එකතුවක් තුළින්  ප්‍රදීප් සිය සිතාරය ඔස්සේ  කේමදාස සම්ප්‍රදාය හඳූනා ගැනීමටත්  ඔහුගේ සංගීතයේ හතර මායිම සිතාරයේ තත් අතර රඳවා ගැනිමටත් දැරූ උත්සාහයේ අවියෝජනිය සම්බන්ධය හඳුනාගැනීමට ලංකාවේ රසංගීත රසිකයන්ට අවස්ථාව උදාකර දී ඇත.
කේමදාසයන් කිසිඳු ගුරු කුළයක සිරවු සංගීත කරුවෙක් නොවේ. සරල ගීතයත් චිත්‍රපට ගීතයත් අරබයා කේමදාසයන් භාවිතා කළේ බටහිරට බෙහෙවින්ම සමීප සංගීතආකෘතීන් සහ  සම්බන්ධතා ය. කේමදාස අතින් නිර්මාණය වූ  ගීතවල වචන හෝ එහි සාහිත්‍යමය ගුණය පිළිබඳ හඹා නොගොස් පදමාලාව ඉල්ලා සිටින සංගීතයට වඩා නිර්මාණාත්මකව බිහිවූ සංගීත  සම්ප්‍රදායක් ගීතයට ලබාදුන්නේ ය. ප්‍රදීප් සිය සිතාරයට හසු කරගන්නේ කේමදාසයන් මැවූ මනෝරම්‍ය ගීත මාලාවේ සිරකොට තිබූ  ඒ වචන රහිත උත්තර භාරතීය රාගධාරී සම්ප්‍රදායේ සියුම් හැඩතල ය. ප්‍රදීප් සිය සිතාරයෙන් ඒවා විටෙක දේශීය ජන සම්ප්‍රදායට අනුගත වෙමින්ද තවත් විටක ජෑස් වැනි සංගීත ක්‍රමයක් තුළට එබී බලමින් ලාංකේය සංගිත ක්‍රම ජෑස් වැනි සංගීත ක්‍රමයකයට අනුගත කර ගැනිමට උත්සාහ කරමින්ද මේ නිර්මාණ සමුච්ඡය නිමවා ඇත. එසේ ප්‍රදීප් සිය  සිතාරය ඔස්සේ කේමදාසයන් සිය සංගීත භාවිතයේයේදී ගීතයට යොදාගත් පෙරදිග සංගීතයේ හැඩතල මෙන්ම ජෑස් සංගිතයේ හැඩතලද වචන රහිත රසාතලයකට ගෙනෙන්නේ ය. ඒ නිසා මේ ගීතය ප්‍රසීප්ගේ සිතාරයෙන් නින්නාද වන හැටි බලන්න.

දේදුන්නෙන් එන සමනලුනේ
ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ළඟින් ඉඳහල්ලා

දවසක්දා බෝ මලුවේ
හමු වූ දා කදි අපි දෙන්නා
පහනක් දල්වා එකම සිතින්
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ

බවෙන් බවය පෙර ආවාසේ
බවෙන් බවය මතු සංසාරේ
නිවන් දක්නා ජාති දක්වා
එකට බැඳී ඉන්නයි පැතුවේ

ආදරේ සුවඳ ලෙනේ
තනිවී උන්නා අ‍පි දෙන්නා
කාංසියක් හෙම නෑ දැනුණේ
පෙති දිලුනා වන මල් තොරණේ

අප පය පාමුල සතුටු ග‍ඟේ
තාමත් ආදර රැළිති නැගේ
කියව් කුරුල්ලනි මලින් මලට පැන
අපේ අහිංසක කතන්දරේ

ගී පද මාලාව: ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය      : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සහ
           ලතා වල්පොල
චිත්‍රපටය: ටී අර්ජුනගේ වසන්තයේ දවසක්
ප්‍රදීප්ගේ සිතාර් අනුවාදනය මෙතනින් අහන්න

                   

 සිතාරය වැනි පෙරදිග සංගිත භාණ්ඩයකින් මතුවන නාදය උත්තර භාරතීය නාද සංකලනයකට පමණක් සිමා නොවී බටහිර සංගීතයේ ජෑස් වැනි සංගීත ක්‍රමයක ශිල්ප ක්‍රම  සොයන බවක් දැනෙන්නේ දේදුන්නෙන් එන සමනලුනේ වැනි ගීයකින් නැගෙන වචන රහිත නාද මාලාව මගින් ලබා දෙන උත්තේජනයේ අපූර්වත්වය හිතට දැනෙන විට ය.

ලංකාවේ කලාකරුවන් බොහෝ දෙනකුට රබීන්ද්‍රනාත් තාගෝර් ආරම්භ කළ ශාන්ති නිකේතනය නම් වූ භාරතීය කලා විශ්ව විද්‍යාලය නුපුරුදු තැනක් නොවේ. සුනිල් ශාන්ත (සිතාරය) , අනන්ද සමරකෝන් (එස්රාජ්), අමදේවයන් (වයලීනය) ප්‍රගුණ  කළේ ශාන්ති නිකේතනයෙනි.  ආනන්ද සමරකෝන් සූරීන් ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණය ගැන කල්පනා කළේ  ශාන්ති නිකේතනයේ ශිල්ප හදාරද්දී ම ය. පසුකාලයේ එදිරරිවීර සරච්චන්ද්‍ර, ගරු මර්සිලීන් ජයකොඩි පියතුමා වැනි කලාකරුවන්   ද තෝරාගත්තේ භාරතීය ශාන්ති නිකේතනයේ ලද ආභාෂයන් ය. එහෙත් ඩබ්ලිව්. ඩී. මකුලොලුව සහ සී ද එස් කුලතිලකයන්  ශාන්ති නිකේතයේ ශිල්ප හදාරා ඒ ඔස්සේ අපේ ජන සංගීතය ඉහල තලයකට ඔසවා තැබිමට මහා වෙහෙසක් ගත් සංගීත වේදීහු ය. ප්‍රදීප් රත්නායක ද ශාන්ති නිකේතනයේ සංගීතය ප්‍රගුණ කළ සිසුවෙකි. ඔහු ශාන්ති නිකේතනයේ දී ලද  ආභාෂය සහ දැනුම සුළං කුරුල්ලෝ  ගීයට කදිම නිදසුනකි. කේමදාසයන්ගේ ගීතය සහ සංගීතයේ අතර මැද වාද්‍ය සංගීත ඛණ්ඩ වලට ප්‍රදීප්ගේ උත්තර භාරතීය රාගධාරී සංගීතය මුසුවන හැටිත් කේමදාසයන්ගේ සංගීත  සම්භාෂණය ප්‍රදීප් හකුළුවා ගන්නා හැටිත් විස්මයක් නොවන්නේද?

සුළං කුරුල්ලෝ හිමින් ඉගිල්ලී
මල් සුවඳකි අරගෙන එන්නේ
ආදර උයනේ දොරටුව ඇරගෙන
ඔච්චම් කරමින්  පියඹන්නේ

සිහින පොතේ පිටුවක් පෙරලේ අද
මොනවද එහි ලියැවී ඇත්තේ
ආදරේ.... ආදරේ....
සුළං කුරුල්ලෝ...

මතක ලොවේ දොර අගුළු හැරේ අද
මොනවද එහි සිරවී ඇත්තේ
ආදරේ.... ආදරේ.......
සුළං කුරුල්ලෝ

ඈත එපිට ඇති සිහින විමානෙට
මේ පොඩි ඔරුවේ පාවෙන්නේ
ආදරේ.... ආදරේ.......
සුළං කුරුල්ලෝ


ගී පද මාලාව: ධර්මසිරි ගමගේ
සංගීතය      : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: හරූන් කුමාර් ලන්ත්‍රා සහ ඇන්ජලීන් ගුණතිලක
චිත්‍රපටය: කේ.ඒ.ඩබ්ලිව්. පොර්රාගේ  “සැනසුම කොතැනද”
ප්‍රදීප්ගේ සිතාර් අනුවාදනය මෙතනින් අහන්න

                   

ගීතයක වචනවල ඇති සාහිත්‍යමය රසය වචන රහිතව සංගීත භාණ්ඩයකින් මතු කර ගැනිම ලේසි පාහසු කටයුත්තක් නොවේ. ඊට සංගීතය පිළිබඳ දැනුමද, භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ දැනුමද තිබිය යුතු ය. ඒ දෙකම එකවිට සිතාරය වැනි උත්තම ගණයේ සංගිත භාණ්ඩයකින් මතු කරගැනිමට යමෙක් සමත් වන්නේ නම් ඔහුද උත්තම ගණයේ ලා සැලකිය හැකි සංගීත වේදියෙකු විය යුතුය. ප්‍රදීප් රත්නායක අපේ රටට හිමි වූ එවන් දුර්ලභ ගණයේ සංගීත වේදියෙකි.

උත්තර භාරතීය රාගධාරී සංගීතයේ සිතාරය වයන ක්‍රම අතර විවිධ ගුරුකුල තිබේ. එයින් ප්‍රධාන ගුරුකුල දෙකකි.ඉමඩට්කානි ගුරුකුලය සහ මයිහාර් ගුරු කුලයයි. ගුරු කුලයක් යනු සරසවියක මෙන් විවිධ ඇදුරන් අභිමුවෙහි ශිල්ප ප්‍රගුණ කිරීමක් නොවේ. එය එකම ගුරුවරයෙකු යටතේ ලබන ප්‍රායෝගික පුහුණුවකි. ප්‍රදීප් රත්නායක මෙහිදී  අනුගමනය කරන්නේ “මයිහාර්” ගුරු කුලයයි. මයිහාර් ගුරුකුලයේ  නිර්මාතෘවරයා වන්නේ උස්තාද් අලව්දීන් ඛාන් ය. ඔහු මහා සංගීතවේදී රවි ශංකර්ගේද ගුරුවරයා ය. උස්තාද් අලව්දීන් ඛාන්ගේ අවසන් සිසුවා වූ ඉන්ද්‍රනීල් භට්ටාචාර් ප්‍රදීප් ගේ ගුරුවරයා විය.

එසේ වුවත් ප්‍රදීප්ට ශාන්ති නිකේතනයේදී සංගීතය හැදෑරීමට පළමුව ලංකාවේ දී සිතාරය ප්‍රගුණ කරන්නට හමුවන ගුරුවරයා ඉමඩට්කානි ගුරුකුලයට අයිති ඒ ගුරුකුලයේ සිතාර් වාදකයෙකි.  ඒත් ප්‍රදීප්ගේ සිතාර් වැයීම සිදුවන්නේ මයිහාර් ගුරුකුලයට අනුව බව හඳුනාගැනීමෙන් අනතුරුව ප්‍රදීප්  නැඹුරුව සිටින සංගීත ගුරුකුලය ඔස්සේම සංගිතය ප්‍රගුණ කරන්නට ප්‍රදීප්ට නිදහස ලබාදී තිබිණ.

එසේ සිතාරය පිලිබඳ දීර්ඝ කාලීන අත්දැකීම් ලබන ප්‍රදීප්ගේ සිතාරය මේ මතු කරන්නේ තත් අතර සිරවුණ ස්වර රටා පමණක් නොවේ. ඔහුගේ භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ දැනුම ය. මයිහාර් ගුරුකුලයේ ශිල්ප ක්‍රම සහ භාවිතයන් ය. විශ්ව සංගීතය පිළිබඳ ඔහු සතු දැනුම ය.  ඒ ප්‍රදීප් අපට හඳුනාගත හැකි එකම කැඩපත ය.  ප්‍රදීප්ගේ සිතාරය මත දිවයන ඔහුගේ හුදකලා ඇඟිලි තුඩු වලින් මතු වන ස්වර  ප්‍රදීප්ගේත් කේමදාසගේත් සංගීත සම්භාෂණයෙන් විකසිත වන කුසුම් ය.  ඒවා සියල්ල අප එකිනෙකාගේ හදවත් සියුම් ලෙස ස්පර්ශ කරන හැඟීම් ය.

කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ

ආවේ එදා මා තනිවී ලොවේහී
නැතිවී ගියා ඒ හැඟුමන්  මෙහී
යළි මා අනාථයි උතුරා ගලායයි
සංවේදනා

පායා පහන් වූ රන් තාරකාවෝ
නැතිවී ගියා ඒ අඳුරේ ගිලී
කවදාද ආයේ පායා දිලෙන්නේ
රන් තාරකා

ගී පද මාලාව: රංජිත් වීරසිංහ
සංගීතය      : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී. එම්.ජයරත්න
චිත්‍රපටය: කේ.ඒ.ඩබ්ලිව්. පොර්රාගේ  “ජනක සහ මංජු”
ප්‍රදීප්ගේ සිතාර් අනුවාදනය මෙතනින් අහන්න

                    
කේමදාසයන් සිනමා සංගීතයේ ගොඩනගන සියුම් රස භාවයන්  ඒ අයුරින්ම සංගිත රසිකයන්ගේ හදවත් සිතාරය ඔස්සේ විනිවිද යන්නේ ඒ සිතාරයේ  තත්වල සිරවුණ ස්වර පවනේ පාවෙන පුළුන් රොදක් සේ ය. ප්‍රදීප් විටෙක කේමදාසයන්ගේ චිත්‍රපට සංගීතයේ ආත්මය වෙඬරු පිඩක් සේ මොළොක් ලෙස සිතාරය ඔස්සේ  මුදාහරින්නේ  කොතරම් අපූර්වත්වයකින්ද? සරල ගීතයකට කේමදායන් සංගීතයෙන් ලබා දුන් ජීව ගුණය ප්‍රදීප්ගේ සිතාරයේ වචන රහිත නාද මාලාව සියුම් ලෙස  කියන්නේ කුමක්ද?  මෙවන් මහාර්ඝ සිතාර් වාදන බොහෝවිට අපට හමුවන්නේ රවී ශංකර්ගේ සිතාරයෙනි. වරෙක ප්‍රදීප් රත්නායකගේ සිතාර් වාදනයක් සජීවිව නැරඹු ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දියානු මහ කොමසාරිස්  නිරූපම් සෙන් මහතා ප්‍රදීප් හැඳින් වූයේ The Ravi Shankar of Sri Lanka යනුවෙනි. ඒ ප්‍රදීප් ගැන ලෝකය දකින හැටි ය.  ප්‍රදීප්ගේ සිතාරය අපට සම කල හැකි වන්නේ රවී ශංකර්ගේ සිතාරයට පමණි.

ප්‍රදීප් වාද්‍ය ශිල්පියෙක් පමණක් නොවේ. සිතාර් වාදනයට ඉලෙක්ට්‍රොනික සංගීතයේ දී  විද්‍යුත්  තාක්ෂණය යොදාගන්නා ආකාරය පිළිබඳ විවිධ අත්හදා බැලීම් පර්යේෂණාත්මකව කර ඇති සංගිත වේදියෙකි. ලෝකයේ ඉහලම පෙළේ  සංගීත වේදින් සමගත් වාද්‍ය ශිල්පීන් සමගත් එකට මුසු වෙමින් සිතාර් වාදනය කර ඇති සංගීත වේදියෙකි. ජෑස් සංගිතය පිළිබඳව ඇමරිකාවේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ වසර දෙකක් පුරා කරන ලද ඇතැම් පර්යේෂණද සිතාරය වැයීමේදී ඔහු භාවිතයට ගනී.

උත්තර භාරතීය රාගධාරී සංගිතයේ විවිධ ක්‍රමෝපායන් ප්‍රදීප් ගේ සිතාරය ඔස්සේ කේමදාස සංගීත නිර්මාණ සමග මුසුකරමින් කරඇති අත්හදා බැලීම් මේ නිර්මාණ එකතුවේදී රසිකයන්ට විඳ ගැනිමට අවස්ථාව උදාකර දී ඇත. පෙර අපර දෙදිග කුමන සම්ප්‍රදායකදී වුවත් කේමදාසයන් නිර්මාණකරණයේ පෑ පෙළහර සිතාරය වැනි වාද්‍ය භාණ්ඩයක් ජෑස් වැනි සංගිතය ක්‍රමයකට මුසුකරමින් විඳගත හැකි ආකාරය ඔහු අපට කියා දෙයි.

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩිවී ගියාදෙන්
පති කුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ

හිතේ කඳුළු බිඳු රෑ තනි යානේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා

තනකම රජයන පාලු විමානේ
ගොම්මන් කලුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා....

ගී පද මාලාව: ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය      : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ආචාර්ය පණ්ඩිත් අමරදේව
ප්‍රදීප්ගේ සිතාර් අනුවාදනය මෙතනින් අහන්න

                    

සොබාදහම හා මුසු වූ කල්හි සිත් නිවා සනහන සංගිතය දිව ඔසුවකි. එහෙත් අප දෙසවන් පුරුදු වී ඇත්තේ ගීත ඇසිමට‍ය. වාද්‍ය ශිල්පීන්ගේ වාදන සඳහා රසික ප්‍රතිචාර ලැබෙන ප්‍රතිචාර අඩුය. එසේ වීමුත් අද වන විට සංගිතය  සහ වාද්‍ය සංගීතය රෝග නිවාරණ චිකිත්සකයක් ලෙස වෛද්‍යවරු භාවිතා කරති. ප්‍රදීප් රත්නායක වැනි උත්තම ගණයේ ලා සැලකෙන සංගීතවේදියකුගේ මෙවන් නිර්මාණ සමුච්ඡයක් අපේ මනස නිවා සනසන්නේ ඒ නිසා ය. ෴

මූලාශ්‍ර:

ප්‍රදීප් රත්නායක පිලිබඳ තොරතුරු ඔහුගේ වෙබ් අඩවියෙන් සහ Songs of Premasiri Khemadasa on Predeep Ratnayake’s sitar LANDUNE සංගත තැටියෙන්


සටහන: 

2013 වසර පුරාම අස්වැන්න ට ඇවිත් ගිය කියවූ, අදහස් පලකළ ගීත ලබාදුන් විද්‍යුත් තැපැල් මගින් පණිවුඩ එවූ, මා දිරි ගැන් වූ මා ළබැඳි සහෘද සහෘදියන් සියලුම දෙනාට උදාවූ 2014 නව වසර ඔබ සිතන, ඔබ පතන ආකාරයෙන් ඔබේ සිතැඟි අනුවම ඉටුවේවා. වසර පුරාවටම ඔබට නිදුක් නිරෝගී සුවයත් චිර ජීවනයත් උදාවේවා......! ඒ මගේ පැතුමයි. ඒ මගේ සතුටයි.


Related Posts Plugin for WordPress, Blogger...