එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Sunday 23 March 2014

෴ රුවක් ඇදෙනවා ගීතය ගැන මහින්ද දිසානායකයන්ගෙන් පැහැදිලි කිරීමක්෴






මෑත කාලයේ ගීත කීපයක්  සම්බන්ධයෙන් facebook  සමාජ ජාලය ඔස්සේත්,  විවිධ අන්තර්ජාල අඩවි ඔස්සේත් නැගුණ සහ නැගෙමින් පවතින සංවාද මගින් අපේ මනසත් සෙසු රසිකයන්ගේ මනසත් අවුල් ජාලයක පටලවමින් සිටී.  දශක කීපයත් තිස්සේ අපේ සිත් නිවා පහන් කළ මේ ගීත සම්බන්ධයෙන් හිතලු මත ගොඩනැගූ අර්ථ ශූන්‍ය සහ  පදනම් විරහිත විචාර සුභාවිත ගීත තවතවත් අගාධයටම යොමු කරවන්නක්. එසේ  පදනම් විරහිත ඒ වගේම අර්ථ ශූන්‍ය පැටලිලි සහිත අර්ථ නිරූපණ වලට හසුවූ ඒ ගීත අතර සුනිල් එදිරිසිංහ ගැයූ සදකඩ පහණක කැටයම් ඔපලා ගීතයත්, ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ ගැයූ රුවක් ඇදෙනවා ගීතයත්, කරුණාරත්න දිවුල්‍‍ගනේ ගැයූ ගහක මල් පිපිලා ගීතයත් නූතන ගී රසිකයන් විසින් මෙසේ පදනම් විරහිත අරුත් සපයාගත් ගීත අතර මුල් තැනක තිබේ.

ඒ රසිකයන්ගේ මානයන්ට හසුවූ මේ අගනා ගීතවලින් ලිංගික අත්දැකීම් විදහා දැක්වෙන බවත් ඒ අතරින්  රුවක් ඇදෙනවා ගීතයත්, ගහක මල් පිපිලා ගීතයත් සමලිංක සේවනය ගැන කියවෙන ගීත බවට අරුත් සපයමින් ගීතයට කිසිසේත් නොගැලපෙන ගුජුප්සාජනක අත්දැකීම් ගීතයේ තේරුමෙහි ඇති බවට හුවා දැක්විමට ඇතැම් පිරිස්  ගන්නා උත්සාහය ඔවුන්ගේ නොදන්නාකමත්, මෝඩකමත් එළි දැක්වීමක් බව සෘජුවම කියන්න සිදුවෙනව. මේ ගීත පිළිබදව ඇතිවූ සංවාද සහ ඒවායේ සම්බන්ධතා  අරුත් නිවැරදිද යන්න බෙහෝ දෙනෙකු විසින්  විමසන්නට පෙළඹුණේ එසේ පදනම් විරහිතව ඇතිවූ අර්ථ නිරූපණ හේතුවෙන්.

ඒ නිසා විටන් විට මේ ගීත තුන ගැනම අස්වැන්නෙන් නිවැරදි අර්ථ නිරූපණයක් ගෙන එන්න සූදානම්. ඒ නිසා මුලින්ම මේ ගීත අතරින් “රුවක් ඇදෙනවා” ගීතය බිහිවූ අයුරුත්, එහි පසුබිමත් වඩාත් හොඳින් දන්නා නිසා එහි පළමු පියවර වශයෙන් මේ ගීතය සහ එහි පසුබිම අදහස් දක්වන්නට මේ හොඳම කාලය එළඹ ඇති බව සිතුන නිසාත් මේ ගීතය ගැන සෘජුවම මවිසින් අදහසක් ඉදිරිපත් කරනවාට වඩා ගීතයේ නිර්මාතෘවරයාගෙන්ම ඒ පිළිබඳ විමසා අදහසක් ඉදිරිපත් කිරීම වඩා හොඳ පැහැදිලි කිරීමක් වනු ඇත. 

රුවක් ඇදෙනවා ගීතයේ නිර්මාතෘ ප්‍රවීන ගිත රචක මහින්ද දිසානායක සූරින්. ඔහු අපට සිටින විශිෂ්ඨ ගීත රචකයෙක්. සිංහල සුභාවිත ගීයට සම්භාව්‍ය සාහිත්‍යයේ සරල රසාස්වාදයත්, ගැඹුරු බෞද්ධ සාහිත්‍යයේ සරල රසාස්වාදයත් මුසුකළ විශිෂ්ඨයෙක්. අගනුවරින් බැහැරව ගීත සාහිත්‍යයට වැඩිම ගීත ගණනක් එකතු කරළ රජරට සේවයේ ගීතමය පිබිදීම  ඔස්සේ ගීත රචනයට පිවිස නුවර කලාවියේ සිට සිංහල ගීතය පෝෂණය කරන්නට මහින්ද දිසානායකයන් ගන්නා වෙහෙස ගැන සිංහල ගීතයේ එක ස්වර්ණමය පරිච්ඡේදයක් ලියන්න පුලුවන්.

එසේ සිංහල සුභාවිත ගීතයේ පහන් ටැඹක් බඳු මහින්ද දිසානායකයන් අතින් ලියැවෙන ගී පද වැලක සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ හෝ බෞද්ධ සාහිතයයේ සේයාවක ඇල්ම බැල්ම නිරන්තරයෙන් දකින්නට පුළුවන් නිසා මහින්ද දිසානායකයන් සමග සුහද පිළිසඳරක යෙදෙමින් ආගිය තොරතුරු කතාබහ කරන අතර තුරදී  රුවක් ඇදෙනවා ගීතය ගැන විමසුවෙමි.

“රුවක් ඇදෙනවා ගීතය සමලිංගික සේවනයේ යෙදෙන දෙදෙනනකුගේ අත්දැකීමක් කියල නූතන තරුණ ගීත රසිකයන් අතර මතයක් ඇති වෙලානේ”

මහින්ද දිසානායකයන් කීවේය. මා සෘජුවම නොඇසූ ප්‍රශ්ණයට මහින්ද දිසානායකයන්ගෙන ලැබුණේ සෘජු පිළිතුරකි. මට පැහැදිළි කරගැනිමට අවශ්‍ය වූයේ එතුමා ඒ නූතන අදහස ගැන දැන සිටියේද යන්න විමසා බලන්නටය.

“මහින්ද අයියෙ එහෙම අදහසක් ගීතය තුළ නැහැ නේද?” මම යළිත් ඇසුවෙමි.

“ඔව්, මේ ගීතය මගේ අතින් ලියැවුණේ 1981 දි විතර, මේ ගීතයට මම වස්තු බීජය සපයාගත් පුංචි කතාවකුත් තියෙනවා. ඒ කතාවත් මම කියන්නම්.  ඒත් මේ ගීතය සම්බන්ධයෙන් වර්තමාන තරුණ ගීත රසික පරපුරේ බොහෝ දෙනකේ සිටින්නේ වැරදි මතයක එළඹගෙන. මේ ගීතය සමලිංගියන් ඇසුරට හුරුවූ දෙදෙනෙකුගේ අදහසක් බවට ගම්‍ය වන කිසිම හේතු සහගත අදහසක් හෝ යුක්ති යුක්ත අදහසක් ගීතයේ නෑ. නමුත් මේ ගීතය එවන් සමලිංගික අත්දැකීමක් කියවෙන ගීතයක් බවට මතයක් පැතිරිලා. ඒක මා ලියූ අදහසට හාත්පස වෙනස් අදහසක්. මට හිතෙන්නේ කුමක් හෝ වැරදි අදහසක් තුළ එළඹුණ මතයක් නිසා මේ ගීයට ආදරේ කරන රසිකයන්ගෙ  රසිකත්වයට යම් පමණක හානියක් කරලා.

ගීතයක් ගැන ඕනෙම කෙනෙකුට ඕනෙම මතයක් අදහසක් එහෙමත් නැත්නම් ආකල්පයක් දරන්න පුළුවන්. ඒත් ඒ මතය සමාජ ගත කරන්න තමන්ට පැහැදිළි සහ නිරවුල් හේතු තියෙන්න ඕනෙ. එහෙමත් නැත්නම් තර්කානුකූලව අදහසක් ශක්තිමත් පදනමක පිහිටා ඉදිරිපත් කළ යුතුයි. අන්න ඒ විදියට තමන් දරන මතය තහවුරු කරන්න බාහිර හේතු සාධක තමන් සතු වෙන්න ඕනෙ.එහෙම නැතුව කෙනෙකුගේ හිත තුළ උපදින හිතලුවක් වැරදි අයුරින් සමාජගත කළ හොත් ඒ හරහා ඒ නිර්මාණයටත්, එහි නිර්මාපකයන්ටත් නිමකළ නොහැකි හානියක් සිදුවෙනවා. ඒක යළි පිළිසකර කළ නොහැකි හානියක්.”

මහින්ද දිසානායකයන් මේ ගීතයට වස්තුබීජය සපයාගත් අයුරු  පිලිබඳ මතකය යළි යළිත් දශක කීපයක් එහා අතීතයට හාරා අවුස්සමින් එහි ඇති මියුරු මතකය අවදි කරන්නට විය. ඒ මෙසේය. මහින්ද දිසානායකන් කියූ එපුවත ම ඔබට මෙතැන් සිට කියන්නේ මගේ බසිනි.

“අදුර වැටී හෝරා එක හමාරක් පමණ ගතවී ඇත. හාත්පස වූ අඳුර වෙළාගත් ගහකොළ ‍වල සෙවනැලි පවා නොපෙනෙන තරමට ‍ගිලී ඇති රාත්‍රිය දිගු රැයක් කරා පියවර ඔසවමින් සිටී.නගරය තරමක් ජනාකීර්ණ බවින් මිදුනත් නගරය කෙළවර වූ අවන්හල සෑම රාත්‍රිකම කාර්ය බහුලය. අවන්හලට පිවිසෙන මාර්ගයේ එක් පසෙක ඇති විදුලි ලාම්පු විහිදවූයේ මන්දස්මිත ආලෝකයකි. එයින් නිකුත් වූයේ අවන්හලට පිවිසෙන මාර්ගය පමණක් එළිය කරන්නට තරම් සෑහෙන එළියකි. එහි එළිය හාත්පස වෙළා අදුර මකන්නට ප්‍රමාණවත් නොවීය. තරමක් දුරසිට බලන්නෙකුට  වීදියේ ඇති විදුලි බුබුලු යටින් ගමන් කරන හෙවනැළි පමණි.

පාර කෙළවර වූ අවන්හල දශක ගණනාවක අතීතයට උරුම කියූ එකකි. දුර සිට එහි ඉපැරණි බව පැහැදිලිවම හඳුනාගත හැකිය. අවන්හලේ ඇතුළත පෙනුමද හරියට ඉංග්‍රීසි පාලන සමයේ ගොඩනැගූ ගොඩනැගිල්ලක සිරි ගත්තේය. තැනින් තැන ඇති මේස පුටු ලීබඩු පවා දශක ගණනාවක අතීතයට නෑකම් කියූ ඒවාය. ඒ දෙමහල් අවන්හලේ ඉහල මාලයට පිවිසෙන්න තිබුනේ ලී වැටක් සහිත තරප්පු පෙලකි. අවහන්හලේ ලීතරප්පු පෙළේ ඉහලට පහලට ගමන් කරන මිනිසුන්ගේ සැබෑ ස්වරූපයත්, වේටර්වරුන්ගේ පා ගැටෙන හඬත් වෙන වෙනම හදුනාගත හැකිය. අවන්හලේ පහළ මහල තරම් ඉහළ මහල කාර්ය බහුල නොවූ අතර එහි සිටියේ නිතිපතා පැමිණෙන සුන්දරම රාත්‍රියේ මිහිර විඳීන මිනිසුන් පමණි. ඔවුන්ට කිසිම කලබලයක් නැත. රාත්‍රිය උදාවෙත්ම නිරන්තරයෙන් පිරී තිරී යන අවන්හල පුරා උස්පහත් වෙමින් නැගෙන සිනා හඬත්, සංවාද විසංවාද හා උසුළු විසුළු වලින් පිරුණි.

අවන්හලේ ඉහළ මාලයේ කෙළවරෙහි වූ ජනේලයෙන් පිටත බලන්නෙකුට අවන්හලට පිවිසෙන මාවත හොදින් දිස්වේ. රාත්‍රිය වුවත් පාර පුරා විහිදන විදුලි එලියෙන් අවන්හලට පැමිණෙන සහ එයින් පිටව යන මිනිසුන්ගේ සෙවණැළි දැකගත හැකිය.  එසේ පැමිණියේ හෝ පිටව ගියේ කවුරුන්ද යන්න පැහැදිළිව හදුනාගත නොහැකි වුවත් කීදෙනෙක් පැමිණියෙන්  කීදෙනකේ නික්ම ගියේද යන්න අදුරේ වුවත් දැනගත හැකිය.

හැමදාමත් අවන්හල වෙත එකම වේලාවකට පැමිණ හෝරා දෙකතුනක් එහි ගත කර නික්මයන මැදි විය ඉක්මවූ මිනිසෙකි. හෙතෙම නිරන්තරයෙන් අසුන්ගත්තේ ඉහළ මාලයේ ජනේලය අසල පිහිටි මේසෙයේය. ඔහුට ජනේලයෙන් එපිට මාවත හොඳනි දිස්වේ. ඔහ් මීවිතක් තොලගාමින් ඒ මාවත දෙස දනෙත් යොමා කල්පනාවේ කිමිදෙයි.  තමන්ට අවහ්‍ය දේ ගෙන්වා ගන්නා වේටර්වරයා වෙත කියන දේ හැරුණු විට වෙනත් කිසිවක් සමග හෝ කතාවකට නොයන මේ මැදිවිය ඉක්මවූ තැනැත්තා අවනහලේ සේවකයන්ට බෙහෙවින්ම හුරු පුරුදුය. එහෙත් කිසිවකුටත් ඔහුගෙන් කරදරයක් නැත. තමන් ඇණවුම් කරන මීවිතට හුදකලාව පෙම් බදින ඔහු අවසානයේ වේටර්වරයා ඉදිරිපත් කරන බිල්පතට මුදල් දී වේටර්වරයාගේ අතටද සන්තෝසමක්දී ඉන් පිටව යයි.

රාත්‍රියේ අදුර මැදින්  දිනෙක එසේ වූ මේ අවන්හලට පැමි‍ණියේ තරුණයෙකි. තවමත් තුරුණු විය නොඉක්ම වූ හෙතම අවන්හලට අමුත්තෙකු වුවත්, අවන්හල ඔහුට අමුත්තක් නොවුණි. ඔහු අවන්හලේ ඉහළ මාලය වෙත පැමිණ වටපිට බලා  මැදිවිය ඉක්මවූ මිනිසා හුන් මේසය වෙත ගොස් ඔහුට ප්‍රතිවිරුද්ධ දිසවෙන් වූ හිස් පුටුවේ වාඩිවිය. වේටර්වරයාට අතවනා ළඟට කැඳවූ ඔහු යමක් කොඳුරා කීවේය. විනකාඩි කීපයක් යන්නට මත්තෙන් ඔහු ඇණුවුම් කළ මීවිතත් ඊට අවැසි සියලු දේත් ඔහු ඉදිරියේ විය.

මීවිතක් තොලගෑ ඔහු දුම්වැටියක් දල්වා හීන් දුම් වළලු  කීපයක් වාතලයට මුසු කරන අයුරු මැදිවිය ඉක්මවූ මිනිසා යටැසින් දුටුවේය. යෞවනයා කල්පනා සයුරේ කිමිදී බොහෝ ඈතට ගොස් ඇති බව ඔහුට වැටහිණ. කිසිම දිනෙක අවන්හලට පැමිණෙන අමුතතන් සමග දොඩමළු නොවන ඔහු  හෙමින් හඬ අවදි ‍කළේය.

“මල්ලි ඇයි මේ.....?”

“නෑ... නිකං...”

හීන් සීරුවේ දෑස් ඔසවමින් තමා ඉදිරියේ හුන් මිනිසා දෙස බලාගත් සැණින් සිය දෑස් ඔහුගේ දෑස්වලින් ඉවතට ගත්තේය. යෞවනයාගේ වචන තුළ නොකියූ බොහෝ දේ ඇති බව ඔහුට හැඟිණි.

“වෙන්න බෑ මල්ලි. මොකක් හරි පැටලිල්ලක ඉන්නවා වාගෙ?”

මැදිවිය ඉක්මවූ තැනැත්තා කීවේය. කතාවට මුල පුරන්න මගක් සොයද්දී මධු බදුන් කීපයක නිමාව සටහන්වී තිබුණි.

“මට මගේම කියන්න පුළුවන් විදිහෙ ආදරයක් තිබුණා. මම ඒ ආදරේ වෙනුවෙන් හුඟක් අදරේ කළා. කවදාවත්ම නොහිතපු විදිහට.......”

 “අන්තිමට ඉතුරු වුණේ මෙච්චරයි” 

යෞවනයා සිය ප්‍රථම ප්‍රේමයේ අතීත නටඹුන් අතර සක්මන් කරමින් ප්‍රේමයේ සොදුරු තැන් මෙන්ම රිදුණු තැන්ද   බිඳුණු හඬකින් අවදි කළේය.

“නෑ මල්ලි උඹ තවම පරාද වෙලා නෑ... උඹ පටන් අරන් තියෙන්නෙ වැරදි තැනකින්. හොඳම කාලෙ තව ඉස්සරහට මොකට පරාද වුණත් බොන්න  එපා... ආපහු හිතපන්”

මධුවිතෙන් හොඳහැටි රත්වී සිටි මිනිසා යෞවනයාට එක දිගට කියාගෙන කියාගෙන ගියේය.......”

මහින්ද දිසානායකයන් රුවක් ඇදෙනවා ගීතය ලියන්නට වස්තුබීජය සපයාගත්තේ ඒ ආකාරයෙනි.

මේ කතාව විතරක් නෙවෙයි මේ ගැන කපුගේ ලියපු සටහනක් තියෙනවා පල්ලේගම හේමරතන හාමුදුරුවන්ගෙ “පහන නිවී දොළොස් මහේ” පොතේ “මානව ප්‍රගමනය ගීතය හා මගේ දෘෂ්ඨිය” කියල අපූරු සටහනක්. ඒකෙත් රුවක් ඇදෙනවා ගීතය බිහිවූ හැටි කියල තියෙනවා. 

මහින්ද දිසානායකයන් මගේ හිත තවත් අතකට යොමු කළේය. මේ කපුගේ රුවක් ඇදෙනවා ගීතය සම්බන්ධයෙන්  තබා ඇති ඒ රසවත් සටහනයි. ඒ සටහන ඒ අයුරින්ම මෙසේ උපුටා දක්වමි.

“ 1981 දී මා රජරට සේවයට පැමිණි මුල් කාලයේදී දිනෙක මගෙන් කෙරුනු ඉල්ලිමකට මහින්ද දිසානායක ගීතයක් රචනා කරගෙන  පැමිණියේය. අනතුරුව එහි තනුව නිර්මාණය කරන්නට ඔහු මා හා එක් විය.මා මහින්ද, කරුණාරත්න දිවුල්ගනේ, ජයතිලක බණ්ඩාර, ධනසේන කඹුරුගමුව එක් වූ එදා රාත්‍රිය මට දැනුදු සිහිපත් කල හැකිය.

මීවිතෙන් ගිනි කණ වැටුණ් ඇස
කාගෙ රුවදෝ ඇ‍ඳෙන්නේ
නිමේෂයකින් ඔබට සැස‍ඳෙන
හිතවතෙකි ඔබ දකින්නේ

භද්‍ර යෞවන මලණුවනි ඔබ
කිමද මධු විත සොයන්නේ

නුරා දාහය නැත නිවෙන්නේ
එයිනි දුක් ගිනි දළු දමන්නේ

ජීවිතේ දියවී  යා නොදී
වෙනින් ඔරුවක නැග යමන්නේ

දෙතුන් වරක් මේ ගීතය කියවූ මා ගීතය තුළින් දැනවිමට යන අරුත පැහැදිලි නැති බවත් එය වචන තුළ සිරවී ඇති බවත් මහින්දට පැහැදිලි කළෙමි. මධුවිත තොල ගාමින් මා  මිහිරි තනුවක් සඳහා සර්පිනාවේ ඇඟිලි හැසුරුවද මට මගේ කාර්යයේ අපහසුවක් දැනිණ.

“..... රුවක් ඇදෙනවා...... කවුදෝ එනවා...... මහින්ද මේ විදියට පටන් ගත්තොත් මොකද කියන්නේ?......”

 මම ඔහුගෙන් පිළිවිසිමි. එකල මා  වඩා හඳුනාගෙන නොසිටි මහින්දයන් අපහසුතාවකට පත්කිරිමට මසිත මට අවසර නොදුණි. නමුදු වහා මා හා එකඟ වූ ඔහු පැයක පමණ කෙටි කාලයකදී මුලු ගිතයම නැවත සංස්කරණයට සමත්විය. මේ පසු කලෙක කරුණාරත්න දිවුල්ගනේ හා මා එක්ව ගැයූ  ඒ ගීතයයි.”

රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක  දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා

සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
කිම තොල මීවිත පොඟවන්නේ
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා විතින් මා දෙතොල තෙමන්නේ

නැගුණු නුරා ගිනි මී පොද වැටිලා
හතර වටින් දළු ලා එනවා
අවන් හලේ මී විත තනි කරලා
වරෙන් මලේ පියවර නගලා

ගීපදමාලාව: මහින්ද දිසානායක
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: විශාරද ගුණදාස කපුගේ සහ
           කරුණාරත්න දිවුල්ගනේ

                   


සාර්ථක ගීතයක් බිහිවිම පිනිස ගීත රචකයගේ සහ සංගීත රචකයාගේ  සංයෝග අවශ්‍ය වන්නේ ඒ නිසාය. ගීත රචකයා තුළ උපදින සංකල්පය ගීතයක් ලෙස බිහිවන්නේ ඒ සංයෝගයේ අග්‍රඵලය ලෙසටය.

ඒ කාලේ ඔය විදියට බිහිවුණ ඒ ගීතයට ඒ යුගයෙත් විවිධ විවේචන තිබුණා නේද? මම මහින්ද දිසානායකයන්ගෙන් යළි විමසීමි.

ඔව්. ඔය ගීතය බිහිවෙච්ච මුල් කාලෙ පේරාදෙණිය සරසවිය හරහා ගොඩනැගුණ විචාර කලාව තුළින් රුවක් ඇදෙනවා ගීය දැඩි විවේචනයට බඳුන් වුණා. එතැනදි පේරාදෙණි විචාර කලාව හරහා මතු වුණ එක කාරණයක් තමයි හොඳට බොන මිනිහෙක් කොහෙමද තවත් බොන මිනිහෙකුට බොන්න එපා කියල උපදෙස් දෙන්නෙ කියන කාරණය. ඒක කොයි තරම් දුරට සදාචාරාත්මකද?  ඒ කොයිතරම් ශිෂ්ඨ සම්පන්න කාරණයක්ද එහෙමත් නැත්නම් බොන කෙනෙක් තවත් බොන කෙනෙකුට එහෙම කියන්න අයිතියක් තියෙනවාද කියන කාරණය තුළ බොහෝ මත ගැටුම් මේ ගීයට විවේචන විදියට ආවා.

ඒ තැනැත්තා මොන තරම් මධු විතට ඇබ්බැහි වූවත් එහි විපාක ඔහු හොඳින් අත්විඳිනව. ඔහුට එයින් මිදිමට නොහැකි වූ තැන  ඔහු වැටුණ අගාධයේ  ගැඹුරු අඳුර දකිමින් තමයි තවත් කෙනෙකුට එයි වැලකෙන්න කියන්නෙ. ඔහු ඒ ක්‍රියාවේ නියැලුනත් තව කෙනෙකුට එහි ආදීනව කියා දීමේ වරදක් මා දකින්නේ නැහැ. මා උත්සාහ කළෙත් ඒ ටික රුවක් ඇදෙනවා ගීතයෙන් කියන්නයි.”

මහින්ද දිසානායකයන් රුවක් ඇදෙනවා ගීතය ගැන මා සමග හඬ අවදිකළේ ඒ අයුරින්. වර්තමානයේ මේ ගීතය සමලිංගිකයන් දෙදෙනෙකුගේ අත්දැකිමක් බවට හැඟවෙන හරසුන් මුග්ධ විචාර හෝ අදහස්වලට දීමට ඇති  පිළිතුර එයයි. එහෙම බිහිවූ ගීත වල අරුත් හිතෙන හිතෙන පරිදි කාලයෙන් කාලයෙන් කාලයට වෙනස් කළ හොත් ගීතයට සිදුවන හානිය වඩා බරපතල ය. ඒ නිසා මෙවන් ගීත ගැන අදහස් සමාජ ගත කිරීමේදී වඩා වගකීමක් අප සතුව ඇති බව වගකීමෙන් යුතුව ඇතිබව පිළිගත යුතුය.

සටහන:
මහින්ද දිසානායකයන් මේ දිනවල සුවිශේෂ වූ නිර්මාණාත්මක කටයුත්තක නියැලී ඉන්නවා. නුදුරේ දී සිදුවන ඒ සුවිශේෂ වූ කාර්ය පිළිබදව තොරතුරුත් ඉදිරියේදි  අස්වැන්නෙන් ඔබට කියන්නට සූදානමින් ඉන්නවා...


Tuesday 18 March 2014

෴ මනෝ.... සිංහල නාට්‍ය වේදිකාවේ දවස් පාළොස්දාහක් ෴





ජයලත් මනෝරතන්න නම් වූ  කලාකරුවා ඔබට කෙසේ හඳුන්වා දෙන්නදැයි මට නොවැටහේ. ඔහුගේ කලාත්මක භූමිකාවේ වපසරිය එතරම්ම පුළුල් පරාසයක විහිදී ඇති නිසා  මනෝරත්නයන්ගේ රැඟුම් ගැයුම් ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. ලංකාවේ සිවු දිසාවේම රසිකයෝ ජයලත් මනෝරත්නයන්ගේ නම කියූ පමණින් ඔහුගේ රංගනයේ භූමිකාව  හොදින් හඳුනයි. ඒ රසිකයෝ ඔහු විසින් සිංහල කලාවට දායාද කළ රස උල්පත්වල මිහිර විඳ ඇත්තෝ වෙති.  එපමණක් නොව සත් සමුදුරෙන් එපිට රට රාජ්‍යවල පවා මනෝරත්යන්ගේ  කලාවේ ප්‍රතිභාව කිත් යසස් පතුරවා ලීමට සමත් වී තිබේ.

අස්වැන්න මේ සටහන් තබන්නේ ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍ය ජීවිතයට දවස් පාලොස්දාහක් පිරීම නිමිති කරගෙන  මේ දිනවල සැන්දෑසමය ඔහුගේ රැගුම් ගැයුම්වලින් පිරී තිරී යන නාට්‍ය රැගත් ආනනදනීය සතියක් කොළඹ අවට නාට්‍ය ලෝලීන්ට විඳ ගැනිමට අවස්ථාව සළසා  ඇති නිසාය. ලයනල් වෙන්ඩ්ට් රගහල මනෝරත්නයන්ගේ වේදිකා නාට්‍ය පෙරහැරකින් ඒකාලෝක වී ඇති නිසා මනෝරත්නයන් වෙනුවෙන් අස්වැන්න පුංචි සටහනක් ලියාතබන්නට කල්පනා කළා.

මනෝරත්න සිංහල නාට්‍ය වේදිකාවේ නූතන රජු විදියට සැළකුවොත් ඒක නිවැරදියි කියලයි මට හිතෙන්නෙ. මනෝරත්නයන්ගෙ කලාත්මක භූමිකාව ගැන සළකන‍විට ඔහු අපේ විශිෂ්ඨයන් අතර අතිවිශිෂ්ඨයා  කියල හැඳින්වීමත් එක්තරා විදියක  අතිශයෝක්තියක් නොවෙයි.

මනෝගෙ රැඟුම් ගැයුම් නිතර දකින්නෙ නාට්‍ය වේදිකාවෙ. ඒ ඔහුගෙ ප්‍රධානතම කලාංගය නිසා. ඒ නිසාම ඔහු වේදිකා නාට්‍ය කරුවකු විදියටයි ලංකාවෙ රසිකයන් අතර බෙහෙවින්ම ජනප්‍රිය. ඊටත් වඩා පුංචි තිරය එහෙමත් නැත්නම් රූපවාහිනියෙ ටෙලිනාට්‍ය වල රංගන ශිල්පියෙකු ලෙසින් පමණක් නෙවෙයි  කාටත් දැනෙන ටෙලි වෘත්තාන්තයක තිර රචකයෙක් එහෙමත් නැත්නම් අධ්‍යක්ෂකවරයෙක් විදියටත් අපට පුංචි තිරයේදි හමුවෙනව.

සිනමාවෙදි මනෝරත්තන අපට හමුවෙන්නෙ චිත්‍රපට නළුවකු  හැටියට. ඒ සියල්ල ඔහුගේ නාටකීය භූමිකාව වුවත්  එයින් ඔබ්බට විහිදී ගිය ඔහුගෙ කලාත්මක භූමිකාව සමහර විට අපේ රසිකයන්ගෙ මතකයෙන් බැහැරව ගිහින් තියෙන්න පුළුවන්. මනෝ අතින් ඉඳහිට ලියැවෙන කෙටිකතාවක්, කවියක්, ගීතයක් ඇහෙන කොට මේ ඉන්නෙ ඒ මනෝරත්නම ද කියල දෙවරක් හිතන්න තරම් රසිකයෝ පෙළඹෙන්නෙ සමහර වෙලාවලට එවන් භූමිකාවක් ගැන එතරම් රසිකටන්ට නොදැනෙන නිසා.

මනෝ අතින් ලියැවෙන එවන් කෙටිකතාවක, ගීයක කවියක පවා රැදිල තියෙන සුන්දරම වදන් පේලි වල ගැඹුර ඔහුගේ සිතුවිලි ඔස්සෙ රංගන භූමිකාව එක්කම සමාන්තරව තියන්නත්  පුළුවන්. ඊටත් වඩා සරසවි වල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට සති අන්ත දිනවල දේශන පවත්වන ආරාධිත ‍බාහිර කථිකාචාර්ය වරයෙක් විදියට ඔහු නිරූපණය කරන්නෙ වෙනස්ම භූමිකාවක්. මේ විදියට එකිනෙකට වෙනස් හැඩතලවල එකිනෙකට වෙනස් භූමිකාවන් නිරූපණය කරන කලාකරුවෙක් හැටියට අපට ඉන්න එකම එක්කෙනා අතිවිශිෂ්ඨ රංගධරයා ඔහුය . ඒ තමයි ජයලත් මනෝරත්න. ඔහුට වඩා තවත් දක්ෂයෙක් එහෙමත් නැත්නම් ඔහු අභිබවා යාහැකි තවත් රංගන ශිල්පියෙකු මෙරට සිටිනවා කියන එක පිළිගන්න අපහසු කාර්යක්. නළුකමින් එහෙමත් නැත්නම් රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන් , පිටපත් රචනයෙන් මිදුන වෙලාවක මනෝ අතින් ලියැවුණ ඉතාමත් ජනප්‍රිය ගීයක්තමයි මේ තියෙන්නෙ .

ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ,  ඔබ මා ළඟ ඉන්නා

අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමු වූයේ
ඒ ඈත් බවිනි හද බඳුනේ
සෙනෙහසේ සොඳුරු බව පිරුණේ

මධු සඳ තරු අද හමුවිලා
සිටියද ඔබ මා ළං වීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු, සොඳුරු සෙනේ ගඟ සිඳිලා

ගී පද මාලාව : ජයලත් මනෝරත්න
සංගීතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද

                          

1960 දශකයේ මැද භාගයේ හෙන්රි ජයසේනයන්ගේ “මකරා”  නාට්‍යයෙන් ඇරඹී එතැන් සිට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමෙ , සිංහබාහු වැනි නාට්‍ය වල කුඩා චරිතයකින් ඇරඹෙන සිංහල වේදිකාවෙ ගමන්මග තුළ අමරණීය සටහන් තියන්න සමත් වෙන්නෙ සරච්චන්ද්‍රයන්ගේ “පෙමතො ජායති සෝකො” නාට්‍යයෙන්. ඉන් පස්සෙ 70 - 80 දශකවල ලංකාවෙ බිහිවූ සියළුම අතිවිශිෂ්ඨ නාට්‍යකරුවන්ගේ නාට්‍ය සියල්ලක්ම පාහේ ඔහුගේ රංගනයෙන් හැඩ වෙනව. එහෙම  අධ්‍යක්ෂකවරයෙකුට මනෝරත්න මගහැරුණා නම් ඒ කලාතුරකින්.

දශක පහකට ආසන්න කාලයක් තිස්සෙ විවිධ කලාත්මක භූමිකාවන් නිරූපණය කරන මනෝරත්නයන්  සිංහල නාට්‍ය වේදිකාවෙ මැවූ මනමෙ නාටකයේ රාජගුරු චරිතය වගේම වෙස්සන්තර නාටකයේ වෙස්සන්තර රජුගෙ භූමිකාවත් නිරූපණය කරනව.ඒ භාවාත්මක රංගන ශෛලියකින්.  එහෙමත් නැත්නම් ඊට හාත්පස වෙනස් විනෝදයක් සපයන දයානන්ද ගුණවර්ධනගෙ ජසයා සහ ලෙංචිනා නාට්‍යයේ ජසයගෙ චරිතය නිරූපනය කරන්නෙ ජන සම්ප්‍රදාය ඇසුරු කර ගනිමින්. 

“ගම්වල සැම තැන ඇවිද ගොසින්නේ
වෙල්ලාවට රෙදි පුරවා ගන්නේ”

 මේ විදියට ඔහුගෙ රසමුසු ගී රාවය ප්‍රේක්ෂකාගාරයට පතිතවූ සැනින් ඔහුගේ භාවාත්මක රංගන ශෛලිය විනෝදයක් සපයන මාධ්‍යක් බවට පත්වෙන්නට ගත වෙන්නෙ නිමේෂයක්.

ඒ විදියට එකකට එකක් වෙනස් සංකීර්ණ රංගන පරාසයන් තුළ සිය දක්ෂතාවයන් සියුම් හැඩතලවලින් මුවහත් කරන මනෝරත්නයන්ගේ රංගනයෙන් හැඩ වූ දිවැස හෙළනු මැන, පුත්‍ර සමාගම, ද්විත්ව, තාරාවෝ ඉගිලෙති, රතුහැටිටකාරී, මායාදේවී, නාගගුරුලා, තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, සොක්‍රටීස්, මධුර ජවනිකා, ගජමන් පුවත, සිරිසඟබෝ,  අංගාරා ගඟ ගලාබසී මහගිරි දඹ, වැනි නාට්‍ය ඉතිහාසයේ ඔහු මැවූ අපූර්ව රංගන ප්‍රතිභාව ඔහු අතිවිශිෂ්ඨ රංගධරයෙකු බවට පත්කරනව.

මේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ වෙස්සන්තර නාට්‍ය සඳහා  ආචාර්ය අමරදේවයන්ගේ සංගීතයට මනෝරත්න සමග මැණිකේ අත්තනායක ගැයූ ගීයක්

                        

මනෝරත්නයන් 70 දශකය ආරම්භයේ සුනිල් ආරියරත්න, බුද්ධදාස ගලප්පත්ති සමග “දො‍ළොස් මහේ පහන” නමින් කවිපොතක් ලියා පළකරනව. ඒත් ඉන් පස්සෙ නම් ඔහුගෙ කවිත්වය කාව්‍ය සංග්‍රහ ඔස්සෙ අපිට හමුවෙන්නෙ නැහැ. ඉන් පස්සෙ  මනෝරත්නයන්ගෙ ප්‍රධාන මාධ්‍ය වේදිකා නාට්‍ය හෝ ටෙලි නාට්‍ය  ක්ෂේත්‍ර වුවත් ඒ ක්ෂේත්‍රයන්ගෙම ඉන්න අතරෙ මනෝරත්නයන් අතින ලියැවෙන මෙවන් සුන්දර පද පෙළක් සවනට වැටෙනකොට අපට වේදිකාවෙ හමුවෙන මනෝරත්න ගෙ සියලු චරිත අමතකව  මේ ගී පද අතර සැඟවුණ  සාහිත්‍යකරුවා එහෙමත් නැත්නම් කවියා හමුවෙනව. ඒ හරහ ඔහුගෙ කවි සිත අපේ හිත්වලට එබිල බලනව. එහෙම ඉඳහිටල එබිකම් කරන කවියාගේ සැබෑ ස්වරුපය අපට පේන්න ගන්නව. මෙන්න මේ විදියට 

                         නිසල කඳු මුදුන් පිබිදී   මීදුම් මල් පිපෙනා
                        සිහිල් දිය ඉරක් විය ඔබ    උදෑසනක ගලනා

බක් මී මල් රේණු ඇදී  මාරුතයේ නටනා
ජීවිතයේ හැන්දෑවක සමීපයේ හිඳිනා
සෙනෙහස ඔබ පමණී

කලාමැදිරි මල් පිබිදී රැයෙක අදුර හඬනා
ජීවිතයේ විරාමයක ඔබ සැතපුණ සැණිනා
මතකය ඔබ පමණි

ගී පද මාලාව : ජයලත් මනෝරත්න
සංගීතය: තිස්සසිරි පෙරේරා
ගැයුම: ලක්ෂ්මන් විජේසේකර



මනෝරත්යන්ගෙ නාට්‍යවල මෙන්ම ඔහුගෙ ගී වලත් තියෙන්නේ රසිකයන් නැවුම් ආනන්දයකින් හිත පුරවන හැඟීම්.  ගලන ගඟ දිහා දෙවරක් බලන්නෙකුට එකම ගඟ දෙවරක් දැකිය නොහැකිය කියන අදහස මනෝ නිරූපනය කරන නාට්‍යවලත් දකින්න ලැබෙනව. එකම නාට්‍ය වුණත් එකම වේදිකාවෙ රඟ දැක්වෙන වාරයක් වාරයක් පාසා ඒ නාට්‍ය බලන රසිකයන් වගේම ඒ නාට්‍යත් අලුත් අත්දැකීමක් නැවුම් අත්දැකිමක් බවට පත් කරනව. ඔහුගෙ නාට්‍ය සහ රංගනය හැම විටම සජීවිව තියෙන්නෙ , ඒබව රසිකයන්ට දැනේනෙ ඒ නිසා.

එහෙම වුණත් සිංහල සිනමාවෙත් ඉදල හිටල අපට හමුවන මනෝරත්නයන්ගෙ සිනමා භූමිකාව ගැඹුරු ලෙස වටහාගන්න චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ට තවමත් හැකියාව ලැබිල නැහැ කියලයි මට හිතෙන්නෙ. නාට්‍ය වේදිකාව තරමක් දුරට ඈත්කරල ඔහු සිනමාවේ රංගන ශිල්පියෙකු බවට පත් කළහොත් සිනමා රංග ධරයෙකුගේ භූමිකාව කොතරම් දුරට විකසිත වී ඇද්දයන්න අපට දැකගන්න පුළුවන්. එහෙම වුනත් ඉඳ හිට සිංහල චිත්‍රපටයක ඔහු මවන චරිතය පවා සිනමාවෙ ඔහුට අවශ්‍ය වපසරිය සකස්කර ගත් බව පෙන්වනව.

ලංකාවෙ නාට්‍ය කලාව අද වනවිට කොළඹ නගරයට පමණක් සීමාවෙලා. කලාතුරකින් කොළඹින් පිටත නාට්‍යයක් රගදැක්වෙනවා නම් ඒ සමහර විට තදාසන්න නගරයක විය හැකියි. ඉස්සර ගම්දනව්වල  පාසැල් ගානෙ ගිහින් නාට්‍ය පෙන්වපු කාලයක් තිබුණා.  3.30 දර්ශනය වෙන්වෙලා තිබුණෙ පාසල් දරුවන්ට. 6.30 වෙන්වෙලා තිබුණෙ වැඩිහිටි දර්ශන වාරයට. එහෙම ස්වර්ණමය යුගයක තිබුණ වේදිකා නාට්‍ය කලාව තවදුරටත් අත නොහැර ඒ මත්තෙම තමන්ගෙ භූමිකාව තවදුරටත් සජීවිව ප්‍රේක්ෂකයන එක්ක දොඩමලු‍වෙන්න මනෝරත්නයන් උත්සාහ ගන්නව. ඒ අනෙකක් නිසා නෙවෙයි. ඔහු තවමත් ඒ වේදිකාවට පෙම් බදින නිසා. ඒ නිසාම මාර්තු 17 – 23 සතිය ඔහුගෙ රංගන ජීවිතයෙ දවස් පාලොස්දාහක අබිසෙස් ලබනව.

මේ තියෙන්නෙ තලමල පිපිලා නාට්‍යයේ රත්නා ලාලනී සමග ඔහු රෝහණ වීරසිංහයන්ගෙ සංගීතයට ගැයූ වේදිකා නාට්‍ය ගීයක් .

                          
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් මනෝරත්නයන් සිංහල නාට්‍ය කලාව ගැන ලීයූ නිබන්ධනයට  පිරි නැමූ (PhD)  ආචාර්ය උපාධියත් , මනෝරත්නයන්ගේ දශක පහක රංගනනයේ කීර්තිමත් භූමිකාව වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්  පිරිනැමූ සාහිත්‍ය සූරී (D.Litt) උපාධියත් තවදුරටත් ඔහු මේ ක්ෂේත්‍රයේ රඳවා තබන්නට රසික උත්තේජනයක් බවට පත්වෙනව. ඒ කුමන ආචාර්ය උපාධිය ලැබුණත් මනෝරත්නයන්‍ ප්‍රේක්ෂකාගාරයේ දී දවස් පාලොස්දාහක් තිස්සෙ ලබන උණුසුමට සමකරන්න හැකි ප්‍රේක්ෂක උපාධියක් තවම ඔහුට හමුවෙලා නැතුව ඇති.




 පසු සටහන:

මනෝරත්නයන් ගෙ දවස් පාලොස් දාහ ගැන මේ සටහන තබන මොහොත වන විට සිංහල නාට්‍ය වේදිකාවේ සිනාවේ රැජින “මර්සි එදිරිසිංහ” නම් වූ විශිෂ්ඨ රංගන ශිල්පිණිය සියලු රංගනයන් හමාර කොට සදාතනික සුව නින්දට පිවිසිලා.

මීට මාස තුනකට තුන හමාරකට පමණ පෙර ඇය වෙනුවෙන් උපහාර උළෙලක් සංවිධානය කර තිබුණේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදිශිෂ්‍ය ක්‍රීඩා කණ්ඩායමක්. ඒ උපාහාර උලෙල. තිබුණෙත් ගම්පහ නගරයේ තිබෙන ප්‍රසිද්ධ අවන්හලක. ඇය වෙනුවෙන් ඒදා රැයේ පැවති උපහාර උළෙල වෙනුවෙන් රෝහන ධර්මකීර්තගේ පෙරදිග වාද්‍ය වෘන්දය හමුවේ  ගීත ගැයීමට ජයලත් මනෝරත්නයන් , නිස්සංක දිද්දෙණිය, එඩ්වඩ් ජයකොඩි ඇතුළු නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ පිරිසක් ඒ උපහාර උළෙලේ මර්සි එදිරිසිංහ  වෙනුවෙන් මැදියම ඉක්මවා යන තුරු ගී ගැයුව. ඇයත් ඇයගේ භූමිකාවේ අමරණීයම ගීත ගණනාවක් ඒ රාත්‍රිය පුරා ගැයූ හැටි දැනුදු මතකයට නැගේ. ඇයගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ ගීත ගණනාවකින් රසික සමූහය ගීයෙන් මුසපත් කළ ඇය නික්ම ගොසිනි.

කිසිවකුටත් සදාකාලිකව ජීවත් වෙන්න වරම් නැතත් . සිය ජීවිත කාලය පුරා උපයාගත් දේවලින් ඉතිරිකර තබා ගිය කිසිදා අමතක නොවන මතකය පමණක් බැහැරව නොයනු ඇත.
                                “සුබ රාත්‍රියක් මර්සි ඔබට!”








Related Posts Plugin for WordPress, Blogger...