ජෝතිපාල 1936 -
1987 පනස් එක් වසරක සෞන්දර්යය චාරිකාව.
පූර්විකාව:
ඔබෙ ප්‍රතිමාවක්
නැති රජ දහනක සිට........
හෙට්ටිආරච්චිගේ
රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙවත් එච්.ආර්. ජෝතිපාල, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න කියන
විදියට "ජෝති" ශ්‍රී ලාංකේය
සංගීත අඹරේ සුපිරි ගායන තරුව, ජෝතිපාල මිය ගොස් 2012 ජූලි මස 07 වන දිනට වසර 25 කි. ඔහු ශ්‍රී
ලාංකේය සංගීත රසිකයන් හැර ගියේ 51 වියේ දීය. ජෝති ශ්‍රී ලාංකේය සංගීත සමාජය හැර ගොස් වසර විසිපහක් ගත වුවද, තවමත් ගායන
අඹරෙහි සුපිරි ගායන තරුව ඔහු ය. ඔහු ගොඩ නැගූ
ඒ ජනප්‍රිය සංගීත සංස්කෘතිය අභිබවා යාමට එදා මෙදා තුර කිසිවකු මේ ශ්‍රී
ලංකාවේදී සමත් වී නැත.
ජෝතිපාල ලංකාවේ පහල
වීම අහම්බයක් හෝ විශ්මකර්මයක් නොවේ. අහම්බෙන්
වුවද එවැනි පහළ වීම් නැවත ඇති නොවනු ඇතැයි සිතිය නොහැක. එසේම එවැනි විශ්මකර්මයකු
නැවත පහළ නොවනු ඇතැයි යන්න ද සිතිය නොහැක. මන්ද යත් එවැනි හැකියාවන් ඇති මිනිසුන්
කිනම් මොහොතක හෝ පහළ විය හැකි බැවිනි.
ජෝතිපාල මිය
ගිය පසුව ද ගෙවුණු වසර විසිපහ තුළ චිත්‍රපට 25 ක පමණ ගී ගැයුවේ ය. විවිධ විද්‍යුත්
මාධ්‍ය ඔස්සේ, මෙන් ම පුවත් පත් සඟරා ඔස්සේද ඔහු පිළිබඳව විවිධ කතා බහ ඇති විය.
ජෝතිපාල ජීවත්
ව සිටි සමයේ සිට මේ දක්වා ගතවූ හැම දවසකම, ඉර බහින හැන්දෑවක ගමක ගෙපැළක, පිල්කඩ උඩ
ඇසුණේ ජෝතිපාල ගැයූ ගීයකි. හේනක, කුඹුරක,
පැල් රකින ගොවියා තම කාංසිය සහ පාලුව මඟ හරවා ගත්තේද, ජෝතිගේ ගීයක්
මිමිණීමෙන් හෝ ගුවන් විදුලියේ පාව ආ ජෝතිගේ ගීයක්
ඇසීමෙනි.
හැන්දෑවට, පාරේ
වැනි වැනී යන බේබද්දා බැරි බැරි ගානේ කෑ මොරදෙන්නේද, ජෝතිගේ ගීයක් කෑ ගසා කීමෙනි.
එහි කිසිඳු සෞන්දර්යයක් හෝ රසයක් නැත ද , තවත් අයෙකුට මහත් හිසරදයක්,
කන්දොස්කිරියාවක් වුවද, ඔහු සිය ගායනය නවත්වන්නේ නැත. ඔහු අමාරුවෙන් හෝ වෙරි මරගාතේ
පෙම් බඳින්නේ ජෝතිපාලට ය.
හැන්දෑවක වැව්
ඉවුරක, ගං ඉවුරක, ඇලක් හෝ දොලක් අයිනේ "සෙට්" වෙන කොල්ලො කුරුට්ටෝද
දෙකක් දාගත්ත ගමන් මුමුණන්න පටන්ගන්නේ ද,
දවසේ මෙහෙය නිමවා බාර් එකේදි "සෙට් " වෙන කම්කරු පන්තියේ
මිනිසුන් ද, සති අන්ත වලදී හවසට සොඳුරු තැන්වල හමුවෙන හිත
මිතුරු පිරිස් ද, රාත්‍රී සුපිරි සමාජ ශාලාවක
"සෙට්" වෙන ඉහළම කෝටිපතියාගේ සිය මධ්‍යම පාන්තික රැඩිකල් තරුණයා දක්වා ද තෝරා ගන්නේ ජෝතිපාලගේ ගීයකි.
ගායන ලොවේ
සුපිරි තරු තෝරන "සුපර් ස්ටාර්" තරඟ වලදී අධුනිකයා ගයන්නේ ද ජෝති පාලගේ ගීයකි. මෙරට හතළිස් ගනනකට කිට්ටු
සියළුම ගුවන් විදුලි නාලිකා වලින් අවම වශයෙන් එක ගුවන් විදුලි නාලිකාවක් දිනකට
ජෝතිපාලගේ ගීත අවම වශයෙන් 10 ක් හෝ 12 අතර ගනනක් ප්‍රචාරය කරයි. ජෝතිපාල නොසිටියේ
නම් ඒ ගුවන් විදුලි නාලිකා පවත්වාගෙන යාම ද ගැටළුවක් වනු නියත බව සිතෙන්නේ දිනකට
ඇසෙන ජෝතිගේ ගිත ගැන හිතෙන විට ය. ජෝතිපාල සමාජ ගත වන්නේ ඒ විදියට ය.
මෙරට විචාර
කලාව අනුව ජෝතිපාල ජීවත්ව සිටි සමයේ ගීතය
සහ සංගීතය ද දෙකට බෙදුනි. අමරදේවයන් ප්රමුඛ ගායන පරපුර සම්භාව්‍ය ගීත සාහිත්‍යයේ
ඇසුර එක් පසෙක ද, ජෝතිපාල , පුමුඛ ගායක පරපුර ජනප්‍රිය සංගිතය සහ ගීත ශෛලියද අනෙක්
පස සිට අනුගමනය කළේය. අමරදේවයන් ප්රමුඛ ගායන පරපුර උත්තම ගණයට අයත් වූ අතර එකී
විචාර කලාව අනුව ජෝතිපාල වැටුනේ අධම ගණයේ
ගීත ගොඩටය. අපේ විචාර කලාව ක්‍රියාත්මක වූ යේ
ඒ අයුරිනි.
එදා සිට මේ
දක්වා ජෝතිපාලගේ ගායන ශෛලිය හෝ ඔහුගේ ගීත
පිළිබඳව නිසි විචාරාත්මක අගැයුමක් සිදුව නැති බව මගේ හැගීම ය. මේ සඳහා ප්‍රවේශයක්
සපයා ගැනීමට මා ජෝතිපාල පිළිබඳ ලියැවුන
පොත්පත් තිබේ දැයි විමර්ශනයක් කළෙමි. එහෙත් ජෝතිපාල නැන ලියැවුණු පොත්පත් කිසිවක්
හමු නොවුණි. කොළඹ පොත් සාප්පු ගණනාවක් පීරා පොත්පත් සොයද්දී මට හමුවූ එකම කෘතිය
වූයේ පරාක්‍රම කොඩිතුවක්කු කවියා විසින් ලියූ "ජෝති රශ්මි රාත්‍රී" ආඛ්‍යාන කාව්‍යයයි. පරාක්‍රම කොඩිතුවක්කු එය ද
පළකර තිබුණේ කවියෙනි. ඒ නිසා ජෝතිපාල සහ ඔහුගෙන් ගීත සාහිත්‍යයට සහ සිනමාවට සිදුවූ
සේවය කුමක්ද යන්න සොයා බැලිමට සිතක් පහළ විය .
ඒ අනුව, ජනප්‍රිය
සංගීත සංස්කෘතිය හඳුන්වා දුන් ජෝතිපාලගෙන් සිංහල ගීත සාහිත්‍යයට සිදුවූ සේවය කුමක්ද?
ඔහු අතින්
සිංහල චිත්‍රපට සංගීතයට හැර සිංහල ගීතයට
කිසිඳු සේවයක් සිදු නොවුණිද?
1960, 70, සහ
80 දශකවලදී සිංහල සිනමා බැබලුණේ ජෝතිපාල
නිසාද? එසේත් නැත්නම් සිංහල සිනමාව නිසා ජෝතිපාල බැබලුනේද?
ජෝතිපාල
ස්වතන්ත්‍ර ගී නොගැයුවේද? ගැයුවා නම් ඒ මොනවාද?
ජෝතිපාල ගැයුවේ
අනුකාරක ගී පමණද? ඒ හැම අනුකාරක ගීයක්ම හරසුන් බොළඳ පදමාලා වූයේද?
ඒවා ගීත සාහිත්‍යයේ
උත්තම ගණයට නොවැටී අධම ගණයට අයත් වූයේ ඇයි ?
යන මෙන්න මේ
කරුණු පිළිබඳව ගත වූ වසර විසිපහක කාලය දෙස ආපසු හැරී බලන
විට මේ සඳහා පිලිතුරු සෙවිය යුතු කාලය එළඹ ඇති බව සිතුනි. එහෙත් ඉතිහාසය නැවත
නිවැරදි කළ නොහැක. කළ හැක්කේ වර්තමානය සහ අනාගතය නිවැරදි කිරීම පමණි. ඒ නිසා මේ
සූදානම් වන්නේ ඒ ඉතිහාසයේ වැළලී ගිය සොඳුරු තැන් සහ මතකයන් යළි හාරා අවුස්සන්නට ය. ඒ වියළී ගිය
කර්කෂ අතීතය තුළින් "ජෝතිපාල නැවත කියවන්නටය." ජෝතිපාල ජීවත්ව සිටියදී ඔහු ගැන නොලියවුණු එහෙත් ලිවිය යුතුව තිබුණ විමර්ශනාත්මක විචාරය
ලියන්නටය. ජෝතිපාල මගින් සිවිල් සමාජය ගැන කතා කරමින් බ්ලොග් අවකාශයෙහි පළමු
වරට ජෝතිපාල ගැයූ මිහිරිම ගීතාවලියක
මිහිරිතර අත්දැකීම් ඔබ සමග බෙදාගන්නට ය.
'ජෝතිපාල නැවත
කියවමු" ඔව්, ඊට හොඳම කාලය මෙයයි. "අස්වැන්න" අද පටන්
ජෝතිපාල සහ ඔහු ගැයූ ගීත පිළිබඳව
දීර්ඝ විමර්ශනයකට ලක් කරමින් පුරා වෘත්තයක් සේ දිග හැරෙයි. මේ සටහන් පෙළ අවම වශයෙන් කොටස්
30 හෝ 40 පමණ දීර්ඝ වනු ඇතැයි මටම සිතේ. එසේ වුවද මේ දීර්ඝ ලිපි පෙළ නොකඩවා එක
දිගටම ලිවීමේ අපේක්ෂාවක් නැත. විමර්ශණයක් කිරීම තරමක් සූදානම් විය යුතු විෂයකි. ඒ
සඳහා යම් යම් ගවේෂණ සිදු කළ යුතු ය. ඒ සඳහා දිගු කැප කිරීමක් සහ කාලයක් අවශය ය. ඒ නිසා ඉඩක් ලැබෙන පරිදි කොටස් වශයෙන් ලිවිමට
අපේක්ෂා කරන මේ ලිපි මාලාව අවසන් විමට
වසරකටත් වඩා දිගු කාලයක් ඉක්මවා යා හැකිය.
ඒ නිසා
"අස්වැන්න" මෙතැන් පටන් ලියන "ජෝතිපාල නැවත කියවමු" ලිපි මාලාව කියවන්නටත්, ඔබ ජෝතිපාලගේ මෙතෙක්
ඇසූ ගීතවල මිහිර මෙන්ම, කිසිම දිනෙක
නෑසු ජෝතිපාලගේ මිහිරිම ගීතාවලියක මිහිර
බෙදාගන්නටත් අස්වැන්නට එකතු වන ලෙස ඔබට ඇරයුම් කරමි. මෙහිදී "අස්වැන්න" තුළින් ඔබට අසන්නට
ලැබෙන්නේ ඔහු ජීවත්ව සිටියදී ගැයූ ගීතවල මුල් ගීතයන් පමණි. ඔහු මියගිය පසු කණ්ඩායම්
සංගීත වලට ජෝතිපාල ජීවත්ව සිටියදී ගී නොගැයූ නිසා එවැනි නව සංගිත සංයෝජන
ඇතුළත් කිසිදු ගීයක් මෙහි ඇසෙන්නේ නැත.
මේ සඳහා ඔබේ
අදහස් සහ යෝජනාද එකතු කරන්නට කැමැත්තෙන් සිටිමි. ජෝතිපාල ගැයූ ගිත , ඔහු පිළිබඳව
තොරතුරු, විස්තර, විචාරාත්මක අදහස් ඔබ සතුව ඇත්නම් ඔබ කැමති නම් එයද අස්වැන්නට
එකතු කළ හැකිය. ඒ සඳහා ඔබගේ නම සහ බ්ලොග්
අඩවියක් ඇත්නම් එහි විස්තර ද මගේ ඊමේල් ලිපිනයට එවනු ලැබුව හොත් ඒ තොරතුරුද ඉදිරිපත් කළ හැකිය.
අද
"අස්වැන්න" ජෝතිපාල නැවත කියවමු
පූර්විකාව නිමා කරන්නේ මා කිය වූ පරාක්‍රම කොඩිතුවක්කු විසින් රචිත "ජෝති
රශ්මි රාත්‍රී" කාව්‍ය සංග්‍රහයේ ඇති
ජෝතිපාල පිලිබඳ ලියැවුණු මේ අපූරු කාව්‍යයේ කොටසක් උපුටා දක්වමිනි.
...... ජෝති ඔබ
යුගයේ වඩාත්ම ප්‍රේමනීය
හඬද වූවෙහිය
වඩාත් විශ්වාශවන්ත
හඬද වූවෙහිය
හැම යුගයක්ම
බිහිකරයි තම කාලයේ
විරුවන්
ඇතැම්විට ඒ දරුවෝ
වැටී සමාජ පත්ලෙහි
සැඟව යති මහා නෞකා
සේ
සාගර කුක්ෂියෙහි
ගිලී යන
ඒ වීර දූ පුතණුවන්
යළි සොයා ගොස්
වඩා හිඳුවා
නළවන්න එපාද
ඉතිහස නම් මෑණිය
උකුළේ?
උපුටා ගැනීම:
පරාක්‍රම කොඩිතුවක්කු
ගේ "ජෝති රශ්මි රාත්‍රී" කාව්‍ය
සංග්‍රහය (10 සහ 11 පිටු වලින් )
ජෝතිපාල
මියගොස් වසර විසි පහකට පසුව ඒ ජෝතිමත් ඉතිහාසය හාරා අවුස්සා ඒ අසාහය ගී මිහිර
විදිමින් අපි ලබන සතියේ සිට "ජෝතිපාල
නැවත කියවමු" එය කියවා "හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බඳිමු" මෙතෙක්
කල් ජෝතිපාලගේ ගී මිහිර වින්ද ඔබට එය අලුත් අත්දැකීමක් සේම , ඇතැම් විට ඔබ කිසිදින
ජෝතිපාලගේ ගී මිහිර නොවිඳ අතහැර දැමූ ජෝතිපාලගේ ගිත එපා වූ අයෙක් නම් නැවත ජෝතිපාලගේ ගී ගැන හිතන්නටත් මෙය
අලුත් මාවතක් වේවි.෴