සිංහල සංගීතයේ යුග
යාත්‍රිකයා
මාස්ටර්, නම් වූ
සිංහල සංගීතයේ අග්‍රගණ්‍ය සංගිතවේදියා අපෙන් සමු අරන් ඔක්තෝම්බර් මාසෙ 24 වනදාට
හරියටම අවුරුදු හතරක් පිරුණා. ඒ 2008 ඔක්තෝම්බර් මාසෙ 24 වෙනිදා තමයි ඔහු අප අතැර
ගියේ. මේ
කාලය ගලා ගිය වේගයේ තරමටම ඔහුද අප මතකයෙන් බැහැර වෙමින් සිටිනවා. අප කාලයත්
එක්ක දිවයන තරගකරුවන්ව සිටින හෙයින් එවන් සොදුරු මිනිසුන් මතකයෙන් බැහැරව යාම
පුදුමයක් නොවෙයි.
එසේ වුවත්, කාලයත්
සමගම සියලු දේ මතකයෙන් බැහරව යන බව අප මෙන්ම මාස්ටර්ද හොදින් දැන සිටියේය. ඒ නිසාම
සිය ජීවිත කාලය තුළදී සිංහල සංගීතයේ ඔහු නියෝජනය කළ අඩසිය වසකට අධික කාලය
අභිබවා යන සේ මාස්ටර් සිය සංගීත
ඥානයෙන් කාලය සමතික්‍රමණය කළේය. ඔහු එය
කළේ තවත් කිසිවකුටත් ඒ ඉසව්වට ළඟා විය නොහැකි පරිද්දෙනි.
අප මතකයෙක් කෙමෙන්
බැහැරව යන මේ වැනි අසම සම කලාකරුවන් අස්වැන්නට අමතක කළ නොහැකිය. ඒ ඔවුන් මෙරට
ජනතාවගේ බුද්ධිය සමග නිරන්තරයෙන් සංවාද කළ, සංවාදයක යෙදුණු , මිනිසුන්ගේ චින්තන
රටාවන් කලාවෙන් වෙනස් කළ අසම සම වූ ප්‍රතිභාවක් සතු කාලාකරුවන් හෙවත් මහා ප්‍රාඥයන්
වූ නිසාය.
මට මේ අසමසම මහා
සංගීතවේදියා කිසි දිනෙක හමුවී නැතත්, ඔහු
මෙරට ගොඩනගන ලද මහා සංගිත සම්ප්‍රදායටත්,
ඔහු බිහි කළ නව සංගීත චින්තනයටත් මම මහත් සේ ඇලුම් කරමි. ඒ අන්කිසිවක් නිසා නොව
ඔහු මෙරට සංගිතයේ හැරවුම් ලක්ෂයක් වූ නිසාය.
කිසිවකුටත් අත
පොවනු නොහැකි දුරකින් වූ මාස්ටර් ගොඩනැගූ මහා සංගිත සම්ප්‍රදාය තුළ මම ද එක
සිරකරුවෙකි. එහෙයින් අපේ කාලය තුළදී කාලය
සමතික්‍රමණය කළා වූ මාස්ටර් නම් වු ඒ මහා සංගිතවේදියාගේ සිවු වැනි ගුණ සමරුව වෙනුවෙන් අද අස්වැන්න සටහන්
කර තබමි.
1937 ජනවාරි 25
වනදා වාද්දුව තල්පිටිය ග්‍රාමයේ උපන් කේමදාස විරල ගණයේ ප්‍රතිභාවක් මිටින් ගෙනා යුග
පුරුෂයෙකි. ඒ විරල ප්‍රතිභාව ඔහුටම ආවේණික විය. එවන් අසමසම වූ විරල නිර්මාණ ප්‍රතිභාවක්
මිනිසුන් අතර එක් විශිෂ්ඨ මිනිසකුට පිහිටන්නේ ඔහු සතු දුර්ලභ ගුණයක් නිසාය. සෑම මිනිසකු තුළම
කිසියම් හෝ නිර්මානාත්මක හැකියාවක් තිබුණද ප්‍රතිභා සම්පන්න බව තුළ ඇති පූර්ණ නිර්මාණාත්මක හැකියාව පිහිටන්නේ
කලාතුරකිනි. ප්‍රතිභා සම්පන්න බව
කියවීමෙන්, ඇසීමෙන්, දැනගැනීමෙන්, මෙන්ම ඉගන ගැනීමෙන්ද කෙනෙකුට ළඟා කර ගත හැකි
වුවත් එසේ ළඟා කරගන්නා ප්‍රතිභාව නිර්මාණාත්මකව නිසි ලෙස භාවිතා කිරිමට දක්වන සමත්
කම ඒ නිර්මාණ කරුවා අසම සම නිර්මාණකරුවකු බවට පත් කරයි. කේමදාසයන් ඒ ප්‍රතිභාව උත්පත්තියෙන්ම රැගෙන
ආවේය.
බාල වියේදීම තමා
ආදරය කල මවු ඇකයෙන් බිමට පැන්න ඔහු ඊළඟට තමා ආදරය කළ බටනලාවත් රැගෙන වාද්දුව
තල්පිටිය ග්‍රාමිය පාසැලේ තාප්පයෙන් පැන්නේය. කොළඹ දුවන කෝච්චියේ එල්ලී කොළඹට පැමිණ මරදානේ
ඉස්ටේෂමෙන් බටනලාවද මිටින් ගෙන පංචිකාවත්ත පාරට වැටුණේ ඔහු වාද්දුවෙන් කොළඹට ගෙනා
ඒ අසමසම වූ ප්‍රතිභාවයි.
පසු කලෙක මගේ කාලයේමවුනි සංගීත සංධ්වනිය ඉදිරිපත් කිරීමේදී දී ඔහු එදා ළමා කාලයේ තම මවු උකුලේ නැළවෙද්දී ඔහුට දැනුන අම්මාගේ නැලැවිලි ගීයේ ස්වරයද ගාලු කොළඹ දුම්රියේ
රිද්මයට එකට කැටිකොට මගේ කලයේ මවුනි
සංධ්වනිය නිර්මාණය කිරීමේදී ඔහු
නොදැනුවත්වම එළියට පැන්නේය. පානදුර, වාද්දුව ධීවරයන්ගේ හඬ සහ ඔවුන්ගේ රිද්මය බඹරු ඇවිත් චිත්‍රපටයේ සංගීතයට යොදා ගත්තේය. ඔවුන්ගේ සිතුවිලි
උදුම්බරා ගීයෙන් පිටට ඇද සුවහසක් රසිකයන්ට ගෙන හැර පෑවේය. ඒ ඔහු සතු වූ අසම සම වූ ප්‍රතිභාවයි.
චිත්‍රපට ගීතය , ගීතයක්
නොවූ කල්හි ඔහු සිනමාව සමග අරගලයක යෙදුණේය. ඒ අරගලයේදී සිනමාකරුවා භාවිතා කරන බස සමග සිරගත නොවී ඒ ඔබ්බබෙහි වූ
සිනමාවේ සෞන්දර්යය රීතිය සංගීතයෙන් සොයා ගත්තේය. රූප රාමු ඉල්ලා සිටින ජවනිකාවලට
ඔහු සිංදු හැදුවේ නැත. ඒ නිසා සමස්ත සිනමා කෘතිය සමගම සංවාදය යෙදෙන සිනමා සංගීතය
සහ සිනමා ගීතය අලුත් සංධිස්තානයකට රැගෙන ඒමට කේමදාසයන්ට හැකිවිය. උදුම්බරා, හිමින්
සැරේ පියා විදා, මාද ඔබම විය, සුළං කුරුල්ලෝ, ආදී ගීත ඊට හොඳම නිදසුන්ය. සිනමා සංගීතයේදී, බඹරු ඇවිත්, හංස විලක්, ගොලු
හදවත, නිධානය සහ තුන්වැනි යාමය ලාංකේය
සිනමා සංගීතයේ නොමැකෙන සටහන් තැබු අමරණීය සිනමා සංගීත කෘතීන් වේ. මේ
සුළඟ වගේ ඇවිදින්
සුළඟ වගේ ඇවිදින්
කොහි සිටදෝ - කොතැනටදෝ
සුළඟ වගේ ඇවිදින්
මවකගෙ කඳුළක් මුතු ඇටයක් වී
දුවකට සුර සැප සැදුවාදෝ
පියෙකුගෙ ඩහදිය සිප් සයුරක් වී
පුතෙකුගෙ මනසක් පිරුවාදෝ
ගේය පද: බණ්ඩාර කේ විජේතුංග
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි
කේමදාස
සහ ගැයුම: විශාරද මාලනී
බුලත්සිංහල සමග
ටී.එම්. ජයරත්න
චිත්‍රපටය: රිදී
නිම්නය
අධ්‍යක්ෂණය: ඩී.බී.නිහාල්සිංහ
කේමදාසයන් සිංහල
සංගීතය කණපිට හැරවූ විශ්වකර්මයෙකි. ඔහු සංගීතයෙන් දේශපාලනය කළේය. සංගීතයෙන් වැඩකරන
ජනයා සමග එක්ව අරගල කළේය. තමා නියෝජනය කල සංගීතය සමග ගැටුණේය. මිනිසුන්ට සංගීතයට ආදරය කරන්නට ඉගැන්නුවේය. ඔහු සංගීතය සමග
භාවනා කළේය. ඉන්දු නොනැවතී සංගීතය නම් වූ විශ්ව භාෂාවේ ලාංකේය සළකුණ ලෝකයට ගෙන
ගියේය. ඒ සියලු දේ කළේ තමා විසින්ම ගොඩ නගා ගත් සම්ප්‍රදාය ඇසුරු කරගනිමිනි.
කේමදාසයන් නිශ්චිත සංගීත සම්ප්‍රදායකයට ගැති නොවීය ඔහුට තිබූ එකම සම්ප්‍රදාය
කේමදාස සම්ප්‍රදාය පමණි. ඔහු සංගීතයෙන් තමා සමගම අරගල කරගත්තේය. ගීතයේ සිවුපද
ආකෘතිය කඩා බිඳ දැම්මේය.
වේදිකාවේ ජුලියස් සීසර්, මරාසාද්, අංගාරා ගඟ, මහාසාර,
සත්‍යාංගනාවී ආදී නාට්‍ය වල මෙන්ම ඒකා අධිපති,
මකරාක්ෂයා, ධවල භීෂණ. ආදී වේදිකා නාට්‍යවලදී නාට්‍ය සංගීතය තුළ සිය අණසක පතුරවා හැරියේය. ලංකාවේ ටෙලි නාට්‍ය
කලාව අද මෙන් සෝප් ඔපෙරා ටෙලි නාට්‍ය ලෙසින් නොව එදා සිනමාව තරමටම මිනිස් චින්තනය
අවදි කළ ටෙලි නාට්‍ය කලාවක් තිබුණි. ඒ ටෙලි නාට්‍ය කලාවේ නොපෙනෙන ගැඹුර කුමක්ද යන්න ඔහු නිර්මාණය
කළ ටෙලිනාට්‍ය සංගීතය අපට අද දවසේ සිහිකර
දෙයි. ඇල්ල ළඟ වලව්ව, ගඟුලෙන් එගොඩට, පුර සක්මන,
වෙද හාමිනේ, දඬුබස්නාමානය, ලාංකේය ටෙලි නාට්‍ය වංශ කතාවේ අපූරු සිහිවටන
පමණක් වූයේ ඒ ටෙලි නාට්‍යවල පිරි තිබූ සංගීතය නිසාය. ඒ අන් කිසිවකු නොව ටෙලි නාට්‍ය
තුළ ඔහු ගොඩ නැගූ අද්විතිය සංගීත සම්ප්‍රදායයි.
තම අත පොවනු නොහැකි
දුරකින්, ඈත සිතිජයෙහි වූ අහස පොළව යා කරන සයුරු රේඛාවේ ඇඳි රිද්මය ඔහු
හඳුනාගත්තේය. මිනිසුන්ගේ හදේ රිද්මය ඔහුගේ නිර්මාණ තුළ විය. පෙර අපර දෙදිග සම්ප්‍රදාය
භාවිතා කරමින් නිර්මාණ කළේය. ජන සංගීතයේ ඇසුරින් ජන කවිය නූතන බසට ප්‍රතිනිර්මාණය
කළේය. පිරිත් සහ සූත්‍ර දේශනාවන්හි සංගායනා
රිද්මය ඇසුරු කර ගනිමින් කැන්ටාටා, ඔපෙරා.
නිර්මාණය කළේය. ඒ නිසා කේමදාසයන් නිරන්තරයෙන්
සංගීත නාද රටා සමග මිනිස් හඬ මුසු කරමින් නව සංගීත ආකෘති අත්හදා බැලීමට කිසිම විට
පසුබට නොවීය. ලෙස්ලි ප්‍රනාන්දු වැනි අසීමිත හඬ පෞරුෂයක් සහ ගායන පරාසයක් ඇති ගායන ශිල්පින් ගේ විරල
හඬින් ඔහු අසිමිත ප්‍රයෝජනය ගත්තේය. මේ එවන් වූ අවස්ථාවක ජන සම්ප්‍රදාය නූතනයට කළ
අත්හදා බැලිමකි.
බොලන් පොඩි නංගි
ටිකක් හිටපන්
බුලත් විට කන්න
ටිකක් හිටපන්
කුසයේ දැවෙනා
ගින්දර රස්නෙන්
රබාන රත්වෙනවාලූ
දුකට කියන මගේ
විරිදු සුරල් මේ
නෑසෙනවා දෝ
පින්වතුනේ
පින්වතුනේ
කරුණාවන්ත වූ මහතුනේ
කැසට් විදියේ ඒ
රොප්පේ
රංග තාල සද්ද
නැගෙන්නේ
මගේ විරිදූ
අකුර අකුර බිම
පෑගෙන්නේ
මටත් කියන්න වේවිද
ගෝර නාඩු සිංදු ගීත
පින්වතුනේ
පින්වතුනේ
කරුණාවන්ත වූ මහතුනේ
නවින පන්නේ ආ දවසේ
සිදාදියේ අප මිය
යන්නේ
සිනා සතුටු
බමර අතර අප
නවතින්නේ
හෙටත් බලා ඉන්නද
වීදි කොනක මග තනිවී
පින්වතුනේ
පින්වතුනේ
කරුණාවන්ත වූ මහතුනේ
ගේය පද: ආචාර්යඅජන්තා
රණසිංහ
සංගීතය :
ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
සහ
ගැයුම: ලෙස්ලි ප්‍රනාන්දු
කේමදාසයන් කිසියම්
හෝ සම්ප්‍රදායක් අබියස අඟුටු මිට්ටෙක් නොවීය. ඔහු අභියස තිබූ ඒ චූල සම්ප්‍රදායට ඔහු අභියෝග කළේය. දෙවරක් නොසිතා කුළු ගෙඩියෙන් වැරෙන්
පහරක්දී සුනු විසුනු කර දමන්නා සේ ඒ සම්ප්‍රදායේ
සියලු බැමි පුපුරවා හැරියේය. සිංහල සරල ගීතයේ වෙනස්කම් රැසක් ඔහු අතින් සිදු වූයේ චිත්‍රපට ගීත තරමටම රස ගන්වමිනි. එකල
ගුවන්විදුලි ගිත අතිශය ජනප්‍රිය වූයේ ඔහුගේ මේ සංගීතයේ අරගලය නිසාය.
චිත්‍රපට සංගීතයෙන්,
සරල සංගීතයෙන් ඔබ්බට ගොස් ඊට ඈතින් වූ ලෝකය
සෙව්වේය. එයින් ලාංකේය සංගීත රසිකයන්ට සංධ්වනි සංගීතය, ඔපෙරා, කැන්ටාටා වැනි ලෝ
සුපතල සංගීත ක්‍රම හඳුන්වා දී ලංකාවේ
රසිකයා ඊට නැඹුරු කළේය.
70 දශකයේ මෙරට
බිහිවූ සියලුම ගාක ගායිකාවන් සඳහා එකදු ගීයක් හෝ නිර්මාණය කරමින් ඔවුන්ගේ ගායනයේ
ස්වර විස්ථාරණය හෙවත් ස්වර පරාසය ගැනත් හොඳ අවබෝධයක් ලබාගත්තේ අවශ්‍යම
අවස්ථාවන්හිදී ඔවුන්ගේ ගායන හැකියාවෙන් ප්‍රයෝජනය ගැනිමටය. අමරදේව, වික්ටර්
රත්නායක, සනත් නන්දසිරි, නන්දා මාලනී ඇතුළු ඒ දශකයේ සියලුම ප්‍රබුද්ධ ගායක
ගායිකාවන්ද, එවකට ජනප්‍රිය ශිල්පීන් වූ ජෝතිපාල, මිල්ටන් පෙරේරා, එම්.එස්.ප්‍රනානන්දු,
ෆ්‍රෙඩී, ඇන්ජලීන්, වැනි අයගෙන්ද
කේමදාසයන් විපුල ප්‍රයෝජන ගත්තේය.
ග්‍රැන්විල් |
එවන් වූ ශිල්පින්
අතරින් ග්‍රැන්විල් රොඩ්රිගෝ ගායන ශිල්පියාගේ ගායනයත් රංගන ප්‍රතිභාවත් මට යාන්තමට
සිහිවේ. කේමදාසයන්ගේ ගායන වෘන්දයන්හි සිටි ග්‍රැන්විල් වැනි ශිල්පියෙකුගේ හඬ ඔහු
යොදාගන්නේ අපූර්ව ආකරයෙනි. මේ ග්‍රැන්විල්ගේ අපූරු හඬ ඊට නිදසුනකි.
මගේ යටත් වැසියෝ
සියලු දෙනාම
මුලු දවස පුරා
සිනාසිය යුත්තෝය
මේ රජ අණ කඩ
කරන
කඳුළක් හෙළන
ඕනෑම අයෙකු රාජ ද්‍රෝහියෙකු ලෙස සලකා
බරපතල දඬුවම් පමුනු
වනු ලැබේ..
ඒකාධිපති
ජිංජිස්කෑන් මහ රජුගේ
අලුත්ම නියෝගයයි ඒ.....
ඔහුට වුවමනා වුණේ
තම රටවැසියන් සියළු
අගහිඟයෙන් දැවෙතත්
කිසිඳු අගහිඟයකින්
තොරව
යස ඉසුරින පිරී
දිවි ගෙවන බවට
අවට ලෝකයට හැඟවිමටය.
ඔහුට වුවමනා වුණේ
තමා මහා කුරිරු
පාලකයෙකු වෙතත්,
අමන මෝඩයෙකු වෙතත්,
ඒ බව වැසෙන සේ අමුතු
අමුතු සෝබන පා
ජන සිත් රවටා
තමා මහා රසිකයෙකු
බවත්, මහා ප්‍රාඥයෙකු බවත්
මේ රට වැසියන්ට
හැඟවිමටය.
ඔහු ඉදිරියේ සිටින බත් බැල සන්නිවේදකවරු
මෙහිදී..
මහා රජුගේ මහා ගුණය
මහා නුවණ
මහා ඉහළින්ම වනන්නට
වූහ.
කපටි
නිළමේවරුන්, ආවතේවකරුවන්
ඒ වෙනුවෙන් උත්සව
සංදර්ශන
සංවිධානය කරන්නට
වූහ.
බඩගැති පූජකවරුන්
ඊට ආශිර්වාද කරමින්
ප්‍රකාශ නිකුත්
කරන්නට වූහ.
වෙනත් කළ හැක්කක්
නැතිව
අසරණ රට වැස්සෝ..
රජ අණ පිළිපදිමින්
සිනාසුනහ.
ඇතුළත වෛරය සඟවාගෙන
පිටතට නොපෙනෙන්නට
සිනාසුනහ.
උදේ සිටන් රෑ වන
තුරු කොතෙකුත් සිනාසුනහ.
එහෙත් ඒ සෑම දිනකම
අඳුර වැටී එද්දී
රෑ බෝවූ පසු හොර
රහසේම
ස්ටෙප්ස් තැනිතලාවට
එකතුවී
කෝපය සංසිදෙන තුරු
පිළිකුල හමා යන තුරු
සිත් සැහැල්ලු වන
තුරු
දෙස් දෙවොල්
තියමින් හත් හැවනි හවමින්
කදුළු වැසි
වස්සමින්
ඇති තරම්
හැඬූහ........
රචනය: ඩේවිඩ් කූගල්තිනොව්
අනුවාදය: සහරිසි කුලතන්තිල
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ග්‍රැන්විල්
රොඩ්රිගෝ
මේ සා වූ අති විශාල සංගීත ඥානයකින් හෙබි ආචාර්ය ප්‍රේමසිරි
කේමදාසයන් ගොඩනැගූ ඒ සංගිත සම්ප්‍රදායන් මතු දවසටද වලංගුව පවතින්නේය.෴
වටිනා කාලය බිඳක්
වැය කර ගී රස විඳිමින් කියවූ ඔබට ස්තූතියි.
වෙලාවක් ඇත්නම් මීට වඩා වෙනස් වූ ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න.