එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Wednesday, 15 February 2012

෴ මගේ කාලයේ මවුනි Mother Of My Time ෴


මගේ කාලයේ මවුනි (Mother Of My Time ) ( G - Minor ) නම් වූ  මේ ඓතිහාසික විශිෂ්ඨ සංධ්වනිය, පිළිබඳව  අද දින මා කිසිවක් නො ලියමි.  ඊට හේතු කීපයකි. මේ සංධ්වනිය සම්බන්ධයෙන් ඓතිහාසිකව වැදගත් වන විචාරාත්මක සටහනක් මෙරට කෘතහස්ත සාහිත්‍යධරයකු, ලේඛකයකු, මෙන් ම විචාරකයකු වන එරික් ඉලයප්ආරච්චි මහතා විසින් ‍එතුමා විසින් ලියූ " ප්‍රේමසිරි කේමදාස විචාරාත්මක චරිතාපදානය" කෘතියේ ඇතුළත් කර ඇත. එකී කෘතියේ ඇතුලත් එම සටහන එරික් ඉලයප්ආරච්චි මහතා හමු වී ‍‍ලබාගත් පෞද්ගලික අවසරය මත  එ ලෙසින් ම උපුටා මෙහි පළකරමි. ඒ නිසා එහි සියළු ගෞරවයන් එතුමා වෙත හිමි විය යුතු ම ය.
අනෙක් සුවිශේෂ කාරණය නම් කේමදාසයන් සිය මරණ මංචකයේ සිට නිර්මාණය කළ ඔහුගේ අවසාන නිර්මාණය වූ " අග්නි ඔපෙරාව" එරික් ඉලයප්ආරච්චි මහතාගේ රචනයකි. එයද ඓතිහාසික වැදගත් කමකින් යුතු වන්නා සේ ම, කේමදාසයන් ජීවත්ව සිටි කාලය තළ දී එතුමාගේ නිර්මාණ පිළිබඳව ලද හොඳම විචාර සටහන් ලියා තිබුණේ එරික් ඉලයප්ආරච්චි මහතා බව කේමදායන් ද පිළිගෙන තිබුණි. එය ද මෙහි දී මෙම ලිපිය උපුටා ගැනීමට පාදක විය.
මගේ කාලයේ මවුනි                            

සහසම්බන්ධිත වාදන සහිත "මගේ කාලයේ මවුනි" වාද්‍ය වෘන්දයක් වෙනුවෙන් රචිත   නිර්මාණයකි. ජී- මයිනර් ( G - Minor ) කෝඩයෙන් ශ්‍රාවකයේ  අන්තර්ගතය සහ තානය සලකුනු කර ඇති මේ මහඟු නිර්මාණය සිංහල සංගීතඥයෙකු විසින් රචිත එක ම මවු ගුණ සංධ්වනිය යි.
 මවු ගුණ ගායනයක් යනු දරු නැළැවිල්ලක ප්‍රතිපාර්ශවීය ප්‍රකාශනය යි. නැළැවිල්ල යනු මව දරුවා අමතා කරන ගායනාවකි. දරුවා වැඩුණු පසු  ඔහු හෝ ඇය හෝ මව අමතා මවු ගුණ ගයයි.   මේ ගායනා දෙවර්ගය අතරින් මූලික වන්නේ ජන ගායනා විශේෂයක් ලෙස පවතින නැළැවිල්ල යි.  මවු ගුණ ගීය බොහෝ විට  අම්මා පිළිබඳව වැඩුණු මිනිසකු හෝ ගැහැනියක හෝ කරනු ලබන ආත්මීය ප්‍රකාශනයකි. මාතෘපදප්‍රාප්ත වූ ගැහැනියකගේ ගුණ ගායනයට දරු නැළැවිල්ලට මෙන් ජන සම්ප්‍රදායක් නැත.
එම නිසා සංගීතයේදී මවු ගුණ ගායනය නම් වූ සංගීත ශානරය බොහෝ විට නැළැවිල්ලේ රිද්මය පුනරුච්චාරණය කරයි. මගේ  කාලයේ මවුනි තුළද  මේ ලක්ෂණය දැකිය හැකි ය. එ නමුත් එහි ශ්‍රාවකය,එ නම් ඇසීමට ඇති දෙය ( What to listen for ) නැළැවිල්ලේ සරලතාව ඉක්මවා ගමන් කරන අතර, තම මව මෙන් ම  පොදු සමාජීය මව පිළිබඳවද, සංගීතඥයා තුල පවත්නා අදහස් පැහැදිළිව සංගීතානුසාරයෙන්  ප්‍රකාශ කරයි.
ජී-මයිනර් කෝඩය පාදකය ලෙස භාවිතා වන මියුරු ශබ්ද සම්භාරයක් එම නිර්මාණයෙන් නිකුත් වේ. එවිට අපට දැනෙන්නේ සංගීතමය නාද රසයකි.  වයලීන රාශියක් එකට එකතුවද, සිතාරය සහ වයලීනය තනි තනිවද අලංකාර කොට උසුරුවන නාද වලින් කේමදාස මවු ගුණ ගායනා කරයි. වචනයාගේ ධ්වනිතාර්ථ නැති නමුත්, මවුන් වැඳීමේ ගාථාවේ හෝ වෙස්සන්තර කාව්‍යයේ හෝ ඇතුළත් පද රිද්මයන්ගේ භාව ස්පර්ශය ශික්ෂිත කනකට නො අඩුව දැනෙයි. ක්‍රිස්තියානි සංගීතයේ ඇති දේව මාතා වන්දනා ගායනා සංගීතයේ ඡායාවෙන් වැටුණු සෙවනැල්ල ද  මේ සංධ්වනියෙහි ඇතුළත් මාතෘ ප්‍රේමයට කිසි යම්  ආගමික තීව්‍රතාවක් එකතු කරයි.  එ නමුත් ධ්‍රැත ලයෙන් වැයෙන දෙවන චලනයේ ( 2nd  movement ) දී  කේමදාස තම  මව  පිළිබඳ ව  ‍ඓතිහාසික, දේශපාලනික හා ලෞකික  අදහස් මාලාවක් ඉතා නිර්භය ලෙස ප්‍රකාශ කරයි.
දරු තොටිල්ල පැද්දෙන තාලය සිහි ගන්වන මන්ද්‍ර ලය සහිත සමූහ වයලීන වාදනයකින් ඇරැඹෙන මෙම සංධ්වනිය,සිතාර් වාදනයක සම්ප්‍රාප්තිය සමඟ වර්ණ අලංකාරය සහ සංගීත රචනාමය අඛණ්ඩතාව ඇති කර ගනියි. එයින් හැඟවෙන්නේ තම මව පිළිබඳ සිත තුළ පවතින ගැඹුරු ආදරය සහිත සිතුවිලි නො කඩවා කතාවක ආකාරයෙන් පැවැසීම සඳහා සංගීතඥයා තුළ පවතින සූදානමයි.
සමාරම්භක වයලීනවලට පසු සිතාරය එකතුවීමේ  නිමේෂය පිළිබඳ ව අවධානය යොමු විය යුතු ය. එය යුග ගණන් තිස්සේ වෙන් වෙන් ව වර්ධනය වී ඇති බටහිර සම්ප්‍රදාය සහ පෙරදිග සම්ප්‍රදාය සංගීතවේදී ප්‍රතිවිරෝධතා මධ්‍යයේ එකට සංගීත  පටිපාටිගත වන නිමේෂය යි. මෙහිදී වැදගත් වන කාරණය නම් සංගීතවේදය අතින් කේමදාස සතු බහුභාෂිකත්ව යි. ඔහු සංගීත සම්ප්‍රදායන් දෙකක් තුල හැසිරෙන්නේ සුලබ සංගීත මිශ්‍රකයෙකු හෙවත් සම්මිශ්‍රිත සංගීතයේ ( fusion music ) යෙදෙන්නෙකු ලෙස නො වේ. සිය සංගිත චින්තනයේ දී කේමදාස එකවර වයලීනය ඔස්සේ සිතන්නෙක් ද, සිතාරය ඔස්සේ සිතන්නෙක් ද වේ. මේ අතින් ඔහු බහුභාෂිය සංගීතකරුවෙකි.
එ නමුත් මෙහි ඇති සැබෑ සංගීතවේදී ගැටලුව වන්නේ වයලීන නාද රචනය තුළ ම සිතාරයේ පැමිණිම පෙර සටහන් වී තිබුණේ ද යන කාරණය යි. එ නම් සම්මිශ්‍රණයකට වඩා  සංධ්වනිමය අඛණ්ඩතාවක් සිතාරය විසින් නියෝජනය කළේ ද යන කාරණය යි. පෙරදිග මෙලඩිය ද හාමනිය මත පදනම් වූ බටහිර සංධ්වනි තර්කනය තුළට ගැනීමේ ප්‍රයත්නය, කේමදාසගේ හර්කියුලීසියානු සහ ප්‍රොමිතියානු අරගලය වූ බවත්, ඔහු තම සංගීත දිවිය කැප කරන ලද්දේ ඒ වෙනුවෙන්  බවත් මෙහි දී  සදහන් කරනු වටී.
එබැවින් වයලීනවලට පසුව සිතාරය කැඳවීම සිදු කර ඇත්තේ පෙරදිග හුරුවක් ලබාදීම වැනි පටු ජාතිකවාදී  හැඟීමක් හෝ සංගිත සම්මිශ්‍රණයේ ලා පවත්නා වුවමනාවක් නිසා හෝ නො වන බව අවධාරනය කළ මනා ය. තම සංධිවනිමය ආත්ම ප්‍රකාශනය සදහා කේමදාසට එම ප්‍රස්ථාරික ලක්ෂයේදී සිතාරය වුවමනා විය.
සංධිවනි සංගීත භාෂාව යනු නව සංගීත නාදයන්ගේ එකතු වීමට ඉඩ ඇති බහුස්වන  මාධ්‍යයකි.මෙ සේ සිතාරයේ පැමිණීම හා නැවත නැවත පැමිණිම  ( recurrence ) මඟින් වයලීන වාදනයේ තොටිලි රිද්මයට අනුස්මරණය  සහ මතක වේදනා සහිත පුන ගැයුමක ( ritornello ) ආවේගය ලබා දෙයි.
මගේ කාලයේ මවුනි සංධ්වනිය වර්ධනය වන්නේ සාමූහික වයලීන වාදනය සහ සිතාරයත් , ඊට පසු ෆ්ලූටයත් අතර ඇති වන ආතතිමය සංවාද ඔස්සේ ය. කේමදාස තම මව පිළිබඳ ළගන්නාසුළු තේමාව රසාත්මක ලෙස ඥානනය කරන්නේ ඒ අයුරිනි. තැලි භාණ්ඩයන්ගේ පැමිණිම ( Percussion Instruments ) පැමිණීම තරමක් ප්‍රමාදව සිදුවන්නේ සංගීතාත්මක අනුභූතිය මුහුකුරා යාමට ඉඩ දීමෙන් පසු පැමිණෙන නාදයන් ලෙසිනි. වයලීන වාදනයන්ගේ වීරත්ව අභිවාදනය විසින් සංධ්වනියට එපික් (epic) ගුනයක් ලබා දෙන අතර, මවගේ රූපා‍ලේඛය ( portrait ) සිතුවම් වන්නා වූ කේමදාසගේ සොනික් කැන්වසය විශාල එකක් බවට පත් වේ. බටනළා වාදනයෙන්  නොස්ටැලිජියාවක් ( nostaligia ) හෙවත් අතීත මතක වේදනාවක් ධ්වනිත කරන අතර, සිතාරය මගින් දිරිය මවකගේ ශ්‍රම සරතැස ධිවනිත කරයි.
විලිරුදාවේ සිට දරුවා ලොකු මහත් කිරීම දක්වා විහිදෙන අමිල මාතෘ ශ්‍රමය හඟවන සිතාරය සහ  ඊට එකතුවන වයලීන උද්දාමය කේමදාසගේ සංධ්වනියේ නාද සන්දර්භය සකසයි. දෙවන චලනයේ  පළමුවන චලනයට වඩා වේගවත් ය. ට්‍රොම්බෝන්, ක්ලැරිනට්,  වැනි පිඹුම් භාණ්ඩ හෙවත් සුසිර වාදන භාණ්ඩ නිසා නාද ප්‍රගමනය ශක්තිමත් වන්නේ දරුවාගේ සමාජීය ගමන පිළිබඳව සංගීතමය අදහස් මතු කරමිනි. විශේෂයෙන් දුම්රිය ගමනක් පිළිබඳ ශබ්ද චිත්‍රයක්, එහි දී සිතුවම් වන්නේ කේමදාසගේ ජීවිතය තුළ දුම්රිය හා රේල් පාර විසින් ඉටු කරන ලද කාර්යය ද සිහිපත් කරමිනි.
මේ සියළු නිරීක්ෂණ මගින් පෙන්නුම් කරන්නේ කේමදාසගේ නිර්මාණය අති දුර්ලභ කලා කෘතියක් ලෙස සිංහල සංගීත ඉතිහාසය තුළ සටහන් වන බවයි. එය අම්මා .. අම්මා.. කියමින් නිතර ගැයෙන මවු ගුණ අ‍‍ඳෝනාවලට වඩා බෙහෙවින්ම වෙනස් විදග්ධ නිර්මාණයකි. කේමදාස මගේ කාලයේ මවුනි නිර්මාණය කරන්නේ මවු ගුණ තේමා කරගත් ගීත සුලබ ගායනා සංස්කෘතියක් තුළ මවකට ගෞරව දැක්වීම සදහා ගීතයට වැඩිමනත් යමක් සොයා යාමේ වුවමනාවෙනි. ඒ අතින් බලන විට මේ මහඟු නිර්මාණය සමස්ත සිංහල සංස්කෘතියේ සීමා මායිම් පුළුල් කිරීමකි.

පෙර'පර දෙදිග වාද්‍ය භාණ්ඩ පනහක් පමණ වෘන්දගත කොට මේ නිර්මාණය ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී කේමදාස විසින් ප්‍රකාශ කරන ලද අදහස් මෙ සේ විය.
" මව පුතුගේ ජීවිතය පුරාම ඉන්ද්‍රඛිලයක් සේ නො සැලී සිටිනවා. වසර  ශතකයක් මුළුල්ලේ  ඇගේ සිතුවිලි සමුදාය පුරා උතුරා ගිය දයාව, කරුණාව, මුදිතාව,  බලාපොරොත්තු වේගයෙන්, ගලා යන කාලයේ සමාජ ප්‍රවාහයට හසුව ඇත. බලාපොරොත්තුව උදා වන තුරු මගේ කාලයේ මවුනි, තවත් දශකයක් ජීවත් වීමට, ඔබට දයාබරව ආරාධනය කරනවා"
සාමාන්‍යයෙන් ගීත, ස්ලෝක, ගාථා කතිකා ආදියෙහි දී සිදු වන්නේ මව සහ ඇගේ ආදරය සදාතන්කත්වය හා අකාලිකත්වය තුළ පාරභෞතිකයක් බවට පත් කිරීමයි. එ නමුත් කේමදාසගේ  සංගීතයේ දී  අපට හමුවන්නේ ප්‍රගමනය වන කාලය තුළ ජීවත් වන මවකි. මෙය කේමදාසගේ ම  " අම්මාවරුනේ" ගීතයට වෙනස් නිර්මාණයක් වන්නේත්, මාතෘ සංධ්වනියක් වන්නේත් මේ නිසාය. බටහිර සංගීතය ගුරු කොට ගන්නා කේමදාස, මාතෘ දෙවඟනක් මව ඉතිහාසයෙන් පිටත තැබීමේ ආසියානු සම්ප්‍රදායට අභියෝග කරයි.
කාල්මාක්ස් ඉන්දියාව පිළිබඳව තම තම ලේඛනවල දී  පැහැදිලි කරන පරිදි ආසියාවේ ගොවි එ‍‍ඬේර ගැමි ප්‍රජාවන් සහිත සාම්ප්‍රදායික සමාජය පිට පෙනුමෙන්  රමණීය බවත්, අවිහිංසක බවත් පෙනී ගිය ද, ඒවා පෙරදිග අත්තනෝමතික ආඥාදායක රාජාණ්ඩු පාලනයේ සවිමත් පදනම විය. මාක්ස් වැඩිදුරටත් කියන්නේ එය මිනිස් මනස ඉතා පුංචි කොම්පාසුවක් තුළ  සිරගත කරන ලද බවයි. සකල සියළු ආශ්චර්යයන් සහ ඓතිහාසික බල ශක්ති ඊට අහිමි කර තිබුණ බවයි. ආසියාතික මාතෘ දෙවඟන ඇදහීම මෙන් ම රාගධාරී සංගීතය ද, එම සාම්ප්‍රදායිකත්වයේ උපාංගයෝ වූ හ.
කේමදාස බටහිර සංගිත ප්‍රකාර භාවිතයට ගනිමින් ආසියාතික මව ඔහුගේ කාලයට රැගෙන එන්නනේ යට කී ප්‍රාථමිකත්වයෙන් උගුළුවාලමිනි. ඒ සඳහා ඔහුට රාගධාරී ආසියාතික සංගීතය නො ව, බටහිර සම්භාව්‍ය අවශ්‍ය වීම ඓතිහාසිකව නිවැරදි ය.  ලංකාව හා ඉන්දියාව පාලනය කළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය එක් අතකින් මේ රටවල් තුළ මිලේච්ඡ ප්‍රහාර දියත් කරන ලද අතර ම, ආසියාතිකයා සදාකාලිකත්වයේ ගල් පිළිම ලෝකයෙන් නිදහස් කර ගැනීමේ ඓතිහාසික කර්තව්‍ය ද සිදු කළේ ය.
මාක්ස්ට අනුව ආසියාතික මිනිසා දේශපාලන සත්ත්වයෙකු ලෙස බිහිකිරීමේ ගෞරවය  දුර්දාන්ත අධිරාජ්‍යවාදයට ම ලැබෙයි.  කේමදාස සිය සංධ්වනියේ දී සමත් වන්නේ සදාතනිකත්වයේ දෙවොලින් එළියට බැස තමාගේ කාලය වෙත පැමිණි අම්මාගේ නො සෙල්වෙන ඉන්ද්‍රඛීල ආදරය දකින්නට ය.
ඒ අතින් කේමදාසගේ සංධ්වනිය,මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය තරම් වැදගත් නිර්මාණයකි. තම නවකතාවේ දී මාර්ටින් වික්‍රමසිංහ දකුණේ සිංහල ගම සදාතනිකත්වයෙන් උගුළුවා ඉතිහාසය තුළට රැගෙන එයි.

කේමදාසගේ මුල් බලාපොරොත්තුව වුණේ මේ සංධ්වනිය තම මව ඉදිරියේ ,  ඇය ශ්‍රවණාගාරයේ අසා සිටිද්දී ඉදිරිපත් කරන්නට ය. එ නමුත් ඊට දෙදිනකට පෙර , එ නම් 1978 මැයි මස 2 වන දා තම සංධ්වනියේ වැඩ අවසන් කරමින් සිටි උදෑසන ගේට්ටුව සද්ද වනු ඔහුට ඇසිණ. එය අසුබ ආරංචියක තත් හඬ බව ඔහුගේ කණට කොඳුළේ ය. පණිවුඩකරු, වාද්දූවේ සිට කොළඹට රැගෙන විත් තිබුණේ කේමදාසගේ මව මිය ගිය ආරංචිය යි.
වාද්දුවේ ආදාහන කටයුතු නිමා වූ විගස කොළඹ පැමිණි කේමදාස තම සංධ්වනිය ඉදිරිපත් කළේ ය. මව වාඩි කරන්නට නියමිත වූ පුටුව මත පිරුවටයක් දමා තිබිණි.
කොළඹ  කාන්තා විද්‍යාලීය ශාලාවේ දී සිය මැණියන් වෙනුවෙන්  පූජෝපහාර  පිණිස සංධ්වනිය පවත්වන ලද එදා සිකුරාදා ය. බ්‍රහස්පතින්දා හවස් යාමේ වාද්දුවේ තල්පිටියේ සොහොන් බිමේ ඇය ආදාහනය කෙරිණි. මිය යන විට ඇයගේ වයස අවුරුදු  අනූවකි. ෴
අස්වැන්න සටහන:
මගේ කාලයේ මවුනි (Mother Of My Time )  නම වූ  මේ ඓතිහාසික විශිෂ්ඨ සංධ්වනිය, කේමදාසයන් 1978 මැයි මස 05 වන දින කොළඹ  කාන්තා විද්‍යාලීය ශාලාවේ දී පළමු වරට ඉදිරිපත් කර ඇත . අනතුවරුව එය එම වර්ෂයේදී සහ ඊට ආසන්න කාලයේදී අවස්ථා කීපයකදී ඉදිරිපත් කර ඇතත්. මේ මහඟු නිර්මාණය මතු පරපුරට විඳ ගැනීම පිණිස කිසිඳු ආකාරයක සංරක්ෂණයවීමක් හෝ සංයුක්ත තැටි ( CD ) හෝ කැසට් පටිගත වීමක් සි සිදුවී නොමැත. ඊට හේතුව එ කල්හි ද මෙ වන් නිර්මාණ සඳහා වෙළඳපොල සංගීත රසකාමීන්ගේ ඉල්ලුමක් නො තිබීමයි. ඒ නිසා ම,  දැන් ඉතිරිව ඇත්තේ එහි ඓතිහාසික සාධක ඇතුළත් සටහනක් පමණි.
අද මා ඔබට විඳීමට සළස්වන කේමදාසයන් අතින් නිර්මාණය වූ මේ අති විශිෂ්ඨ සංධ්වනිය ඒ මුල් කාලය තුළදී කරන ලද පටිගත කිරිමකි. එය අද මෙන් "ස්ටීරියෝ" නාද රටාවන්ගෙන් හැඩ වුණු  පටිගත කිරීමක් නො වේ. එකල් හි සාමාන්‍ය "Mono" ක්‍රමයට කරන ලද පටිගත කිරීමකි. එහෙයින් ශ්‍රවණයේ දී ඇති වන අසීරුතා මකා දමමින් "අස්වැන්නෙන්" පමණක් ඇසීමට ලැබෙන දුර්ලභම අවස්ථාව උදා කර දෙමි.


1. මෙහි මගේ කාලයේ  මවුනි සංධ්වනිය පිළිබඳ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් කරන ලද හැඳින්වීම කාලය විනාඩි 01 තත්පර 47 යි



2. මගේ කාලයේ  මවුනි සංධ්වනිය කාලය විනාඩි 08 තත්පර 27 යි.




කියවූ ඔබට ස්තුතියි. හැකිනම් ලියා යන්න ඔබේ අදහස්  මෙහි, එය අදට වඩා වැදගත්  ‍හෙට දවසටයි...



19 comments:

  1. විශිෂ්ටයි..!!!

    ReplyDelete
    Replies
    1. ශානි..ට

      බොහෝම ස්තූතියි ශානි මේ දුලබ සංගීතමය මිහිර විඳින්නට එකතු වුණාට.

      Delete
  2. නියමයි නියමයි! කේමදාස මාස්ටර්ගෙ සුපුරුදු අතරමං කරවීම!

    ReplyDelete
    Replies
    1. @... hare

      ඔබේ හදවතින්ම නැගි අගය කිරිමට ස්තූතියි. මාස්ටර් මේ අරගලය කලේ නූතන රසික පරපුර වෙනුවෙන්. ඒත් අපිට ඒක මේ දක්වා වටහා ගන්න බැරි වුණා. ඒකයි අපි අතරමං වුණේ.

      Delete
  3. සුපිරියි..
    ස්තුතියි ලස්සන අපිත් එක්ක බෙදාගත්තට..

    ReplyDelete
    Replies
    1. රූ....

      ස්තූතියි ඔබටත් මේ පැත්තේ ආවාට.විඳින්න පුළුවන් සංගීතමය මිහිරක් ඇත්නම් බෙදා විඳගැනීම යුතුකමක් කියල හිතුණා.

      Delete
  4. කොහොම ස්තුති කරන්නද මන්දා ඔබට...ඇත්තටම මට වචන නැහැ...මේවා නෑසූ කන් මොකටද කියල හිතෙනවා...ඛේමදාස මාස්ටර් ගේ අනිත් දුර්ලභ නිර්මාණත් ඉදිරියේදී අස්වැන්නෙන් රස විඳින්න ලැබෙයි කියල හිතෙනවා..

    ප්‍රශ්න කිහිපයකුත් තියනවා අහන්න

    "හර්කියුලීසියානු සහ ප්‍රොමිතියානු අරගලය" කියන එක තේරුනේ නැහැ..

    ඒ වගේම මෙහිදී "සිතාරය" යොදා ගැනීම ගැන මේ තරම් සාධාරණීකරණය කරලා තියෙන්නේ ඇයි කියලත් තේරුනේ නැහැ (හඬ පටයේත් තිබුනා නේ). සිතාරය යොදා ගැනීම සිම්පනි සම්ප්‍රදාය ට පටහැනි දෙයක් හැටියට සැලකෙනවද? ඒක යොදා ගත්තේ මේ නිසා කියලා කරුණු පැහැදිලි කිරීමක් ඇත්තටම අවශ්‍යද?

    ReplyDelete
    Replies
    1. සයුරී..ට

      ස්තුතියි සයුරී ඔබේ විචාරාත්මක අදහස් දැක්වීමට. හැම දාම ගීත අහන්න පුරුදු වෙලා ඉන්න අපිට මේ වගේ අදහස් දැක්කාම සමහර වෙලාවට පුදුමත් හිතෙනවා අපේ රසිකත්වය ගැන.

      කේමදාසයන්ගේ අති දුරලභ ඉතිරි සංධ්වනි සහ තවත් නිමැවුම් ටිකත් තියනවා ඒවාත් ඉඩ ලැබෙන පරිදි බෙදා විඳගමු.

      "හර්කියුලිසියානු සහ ප්‍රොමිතියානු අරගලය" මේක ටිකක් සංකීර්ණ මාතෘකාවක්. කෙටියෙන්ම කියනවා නම් මෙහෙමයි ඔබ දන්නව යෝධ සහ දැවැන්ත වැඩ කළ "හර්කියුලිස්" ගැන අන්න අන්න ඒ වගේ තමයි කේමදාස මාස්ටර් ඔහු හැමතිස්සෙම කළේ දැවැන්ත වැඩක් එහෙමත් නැත්නම් යෝධ වැඩක්.

      ප්‍රොමිතියානු කියන්නේ තම දාර්ශනික මතවාද ලොවට ඉදිරිපත් කිරීමට මහත් වෙහෙසක් ගත් මහා දාර්ශනිකයෙක් වූ " ප්‍රොමිතියස් " විසින් ඒ සදහාම කැපවූ තම මතය තහවුරු කිරීමට කැපවූ දාර්ශනිකයෙක්.අන්න ඒ වගේ තමයි කේමදාස මාස්ටර් ඔහු හැමතිස්සෙම කළේ තම දර්ශනය රසිකයන්ට ඉදිරිපත් කිරීමයි. ඔහු ඒ හඳහා නොනවතින අරගලයක් කළා.

      ඔහු කළ අරගලය ගැන ලූෂන් බුලත්සිහල ලියූ " කේමදාස න්‍යාය භාවිතය සහ අරගලය" කෘතියේ පැහැදිලි කරනවා. හමුවුනොත් කියවල බලන්න.

      සිතාරය උතුරු ඉන්දියානු සංගීත භාණ්ඩයක්. 1978 කාලය වෙනකොට ලෝකයේ බිහිවූ සංධ්වනි බොහොමයක් බටහිර සම්භාව්‍ය සංගීත රචනා.මේවාට දකුණු ආසියානු සංගීත භාණ්ඩ උපයෝගී කරගන්නේ නැහැ. ඒ නිසාම ඒ වෙනකොට සිතාරය සංධ්වනි වල භාවිතා නොවු නිසා ඔහු සිතාරය යොදැගැනීමෙන් අපේක්ෂා කලේ එයට පෙරදිග ආසියානු මුහුණුවරක් දීමට නොවේ. ඔහුගේ ආත්මීය ප්‍රකාශනය වූ "මව" තහවුරු කිරීම තුළින් ඔහුගේ මතය ස්ථාපිත කිරීමයි. මට හිතන්නේ ඔහුගේ මතය අදටත් නිවැරදියි කියලා. ඒ නිසානේ ඔහු මේ නිර්මාණයෙන් ජාත්‍යන්තරය ජයගත්තේ.

      Delete
    2. බොහොම ස්තුතියි මේ විස්තරාත්මක පැහැදිළි කිරීමට..බොහොම වටිනවා..

      Delete
    3. බටහිර සංගීතයේ විප්ලව කරපු බීටල්ස් කණ්ඩායම සිතාරය සහ තබ්ලාව පාවිච්චි කරල තියෙන විධිය බලන්න.....

      http://www.youtube.com/watch?v=0AcjRu1meYE

      Delete
  5. එරික් ඉලයප්ආරච්චි මහතා මම දැකපු ශ්‍රේෂ්ට කවියෙක්,මේ වගේ දේවල් කරලා තියෙනවා කියල දන්නේ නම් අද.
    කේමදාස මාස්ටර් ගැන ඉතින් මම කියන්න ඕන නෑනේ
    ඒ අවකාශය පුරවන්න කෙනෙක් බිහි වේවිද කියන ඒකයි ප්‍රශ්නය!

    ReplyDelete
    Replies
    1. නුවන්ට..

      ස්තුතියි පළමුව ඔබේ සටහනට. එරික් ඉලයප්ආරච්චි අද දවසේ අපට ඉන්න ඉතාමත් විධග්ධ සාහිත්‍යධරයෙක්. එතුමා නවකතාව, කෙටිකතාව, මෙන්ම කවියෙත් අති විශ්ෂ්ඨයෙක්. ඒ වගේ විවධ හැකියාවන් අතර කේමදාසයන්ගේ නිර්මාණ තුළ එතුමා ඉදිරියෙන්ම ඉන්නවා.

      කේමදාසයන්ගේ අවකාශය පුරවන්න සම කළ හැකි අයෙක් බිහිවේද යන්න මටත් ගැටලුවක්. ඒත් ඉදිරියේ එවැනි හැකියාවන් තිබෙන කීපදෙනෙක් දැනටමත් ඔවුන්ගේ හැකියාවන් පෙන්නුම් කරමින් ඉන්නවා. ඉදිරියේදී ඒ මාදුටු හැකියාවන් ගැන සටහන් කරන්න අපේක්ෂාවකුත් තියනවා බලමු ඉදිරියේදී..

      Delete
  6. මගේ මූලික දැනුමේ අඩුපාඩුකම් නිසා මට මොකුත් තේරුනේ නෑ...

    ඒත් මේ ටික කියන්නම්

    "පෙව් කිරිවල පව් හරවන්නට අම්මේ මදි අපි පින් කෙරුවා"

    ReplyDelete
    Replies
    1. හරී..ට

      සමහර වෙලාවට අපි Music එකක් අහන තරම් සරල නහැ. ඒ නිර්මාණය ගැන පුංචි හෝ විමර්ශණයක් කලොත්. මේවගේ ටිකක් සංකීර්ණ මාතෘකාවක් කියලා මටත් හිතෙනවා. හැබැයි. එකක් දෙකක් කියෙව්වාම සතුක් දැනෙනවා

      Delete
  7. ප්‍රේමසිරි කේමදාසයන්ගේ මේ අතිශය දුර්ලභ නිර්මාණය රසවිඳීමට මා පෙරුම් පුරමින් සිටි කාලය අවසන්! ඒ වෙනුවෙන් පළමුව ඔබතුමාට මාගේ ස්තුතිය...

    මෙවැනි ලිපිවලින් නොදන්න දේවල් කියා දීම සම්බන්ධයෙන් දෙවනුව මාගේ ස්තුතිය..

    බැරි සිල්, කැලෑ මල්, මානසවිල, සොඳුරු වර්ණදාසි , ඒකාධිපති, මකරාක්ෂ, Marat Saad, Tone Poem, අග්නි වැනි නිර්මාණ ත් මෙලෙසම ලබා දිය හැකි නම් තෙවනුව මාගේ ස්තුතිය..

    ReplyDelete
    Replies
    1. පැතුම් හර්ෂණට.

      ස්තුතියි පැතුම් ඔබේ අදහස්වලට අපි ඉදිරියෙදී මේ වගේ කේමදාසයන්ගේ තවත් අගනා නිර්මාණ ටිකක් රස විඳිමු. එන්න ඔබත් අපි අලුත් රසවින්දන මාවතක් හදමු.

      Delete
  8. මමත් මේ නිර්මාණය හොයා හොයා හිටියේ.ඔබතුමාට ගොඩක් ස්තුති.මම හිතුවට වඩා විශිෂ්ටයි.මුල් ටිකේ අම්මාඅගැන හැඟුම්බර විදියට ගලාගෙන යනවා.මම මාස්ටර්ගේ අග්නි ඔපෙරා 1 විතරයි ලීවේ බලල තියෙන්නේ.මාස්ටර් කියන්නේ අසාමාන්‍ය පුද්ගලයෙක්. එතුමා කරපු හැම නිර්මනයකම අලුත් අමුතු දෙයක් තියෙනවම තමා. මම ගාව ගොඩක් නිර්මාණ තියෙනවා.මාස්ටර්ගේ කැසෙට් පවා තියෙනවා.මේක බාගත කරන්න දෙන්න පුලුවන්ද..ඔබතුමාට ගොඩක් ස්තුති.

    ReplyDelete
  9. Its not mono. This IS stereo!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...