එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...
Showing posts with label ගීතයට සිත්තමක්. Show all posts
Showing posts with label ගීතයට සිත්තමක්. Show all posts

Friday, 30 December 2011

ඉතිරිව ඇත්තේ හෙට දවස පමණි.( ගීතයට සිත්තමක්)



දවසින් දවසට කොළයෙන් කොළයට
කොළ අඩුවෙනවා දින දසුනේ
මොහොතින් මොහොතට මා ගැන සටහන්         
වියැකී යනවා ඔබ මනසේ

පුරපස අවපස වෙනසක් වූවද
ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
මගෙ ඒ සිතුවිලි හා සබැ‍ඳේවි ද
මුදු සිතුවිලි ඔබ හද මැදුරේ

සිතුවෙම් සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
මගෙ හිත චංචල වූයේ නෑ
දින දසුනේ තව එක කොළයක් ඇත                     
එක දවසකි ඉතිරිව ඇත්තේ

සිතන්න බොළඳියෙ මගේ කුටියටත්
ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
නව දින දසුනක් එනවා..

ගේය පද : - කේ.ඩී.කේ.ධර්මවර්ධන
සංගීතය:-    රෝහණ වීරසිංහ
ගැයුම:-        එඩ්වඩ් ජයකොඩි

කාලය  වේගයෙන් ගලා ගොස් ඇත. ඒ ගෙවූ කාලය වේගයෙන් ගලා ගියේ කෙසේ දැයි නොදනිමි. එහෙත් එය එසේ සිදුවී ඇත. මෙතෙක් කල් මම නුඹට මහත් සේ ආදරය කළෙමි. දැන් ඒ මතකයෙහි ඉතිරි ව ඇත්තේ ශේෂ වූ නටඹුන් පමණි.

අරණ මැද තනි වූ , කොළ හැලී අකලට ඉපල් වූ ගසක් සේ හිස් අහස දෙස බලා හිඳිමි. දැන් මට ඉතිරිව ඇත්තේ මිහිරි අතීතයක් පමණි. වර්තමානය හෝ අනාගතය පිළිබඳ සිතුවිලි  එහි නැත. හෙට දවස යනු සුන් වූ තවත් එක බලාපොරොත්තුවක් පමණි.

එ දවස ඔබ මට මහත් සේ ආදරය කළ බව දැන සිටියෙමි. මම ද පෙරළා එ ලෙස ම ඔබට ආදරය කළෙමි. එසඳ ඒ ප්‍රේමයෙහි පැවති නෑඹුල් සුවඳ තවමත් ම සිත තැවරී ඇත. ඔබ  හැර වෙනත් කිසියම් මතකයක් මගේ මතකයට නො නැගෙයි. එ දවස පුරපසට ද , අවපසට ද ම හද ගගනෙහි පෑයූ පුර හඳ ඔබමැ විය. ඒ ස‍‍ඳෙන් හද අරණට වැටුණ ආලෝකය මට මහත් ආලෝකයක් වූ බව ඔබ නො දැන සිටියේ ද ? 

සංසාර පුරුද්දට මෙන් අපේ හිත්වල තිබූ සියුම් සිතුවිලි පවා සමසම ව ඔබ  මා අතර බෙදී ගොස් තිබුණද. එ සමයෙහි මැවූ කල්පනා සිතුවිලි සයුරෙහි කිමිදී  දැනුදු ඔබ ඒ සිතුවිලි අතර සොයමි. මෙතෙක් කල් ඒ බව ඔබට නො වැටහුණේ මන්දැයි මට නො වැටහේ.

මා දැන් ජීවිතේ අගිස්සෙන් එල්ලා වැටෙන පරඬලාවක් මෙනි. මැහුමකින් ගෙතුමකින් පවා හමාර කළ නොහැකි අතහැර දමන ලද ගෙත්තමකට මගේ ජීවිතය දැන් සමාන වී ඇත. ගෙත්තම අවසන් නො වූවද එහි ඔබ මැවූ සිත්තම තවම  සතුව ඇත. සියල්ල සිදුවී ඇත්තේ කිසිඳු බලාපොරොත්තුවක් රහිතව ය.

රිදුණු, ඉරි තැලුණු , බොඳ වුණු  සිහින තුළ ඇත්තේ ආදරෙන් වැළඳ ගත් මතකය පමණි. එදවස ඔබ මැවූ ආදරය තුළින් හද පතුලෙහි ඇනී රිදුම් දෙන මතකය සෙවූයෙමි. එද, ඒ ආදරය එක මොහොතක රංගනයක් පමණක් බව ඔබ අහිමිව යන තෙක් කිසි විටක නො දැන සිටියෙමි.

එදා ඔබ මැවූ මිහිරිම සිහින තුළ මගේ ලෝකය ගොඩ නැංවූයෙමි. ඔබ දැන් මා කෙරෙන් ගිලිහී ගොස් ඇත. දැන් මගේ කල්පනා ලෝකයේ පිරී ඇත්තේ සිතුවිලි  පමණක් දැයි මට සිතේ.
හැම අවුරුද්දක ම මගේ කාමරයට ගෙවදින අලුත් දින දසුනක ඇඳි රුවක් සේ ඔබේ රුව එහි මවා තැබූයෙමි. එහෙත් එය නිවැරදි නො වන බව දැන් මට වැටහී ඇත. දින දසුනේ පිරී තිබූ සියලු කඩදාසි එකින් එක ගිලිහී ගියා සේ  ඔබේ ආදරය ද මා කෙරෙන් ගිලිහී ගොස් ඇත. මට දැන් ඉතිරි ව ඇත්තේ සෝ ළතැවුල් පිරි අතීතයක් පමණි. මම මගේ දුක  එහි ම සඟවා පෙර සේ ම ඔබට ආදරය කරමි. තව දුරටත් මා එසේ කරන්නේ මා සිත  නො වෙනස්ව පවතින බැවිනි. ගෙවුණ දවස් පිළිබඳව නො තැවෙමි. මන්ද  මට තවත්  ඉතිරිව ඇත්තේ ඔබ පිළිබඳ ව මැවූ හෙට දවස පමණි. එය ද හෙට දින මා වෙතින් ගිලිහී ගිය පසු තව දුරටත් මට අහිමි විමට ඇත්තේ කුමක්ද?

ඔබ, ඔබේ ආදරයේ අලුත් යතුර සොරා ගත් අලුත් අමුත්තාට  අලුත් දසුනක් වනු ඇත. එහෙත් එසේ  මා වෙත අලුත් කිරිල්ලියක පැමිණිය හොත්  ඇයට දීමට තවත් මා සතු  යතුරක් නොමැත. ඒ ම හද යතුර ඔබට මැ දී ඇති බැවින් ඔබ හැර වෙනත් දසුනකට මගේ කුටියේ ඉඩ නොමැති නිසා ය. ෴

සටහන:
කේ.ඩී.කේ.ධර්මවර්ධන නම් වූ  අපූර්වතම ගේය පද රචකයා එඩ්වඩ්ට ලියූ එක ම ගීය මෙයයි. අවුරුදු 35 ක් විතර පැරණි මේ ගීය එඩ්වඩ්ගේ සංගීත දිවියේ එක කඩඉම් ගීතයක්. මේක එදා වගේම අදටත් ජනප්‍රියයි.






Related Posts Plugin for WordPress, Blogger...