එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...
Showing posts with label නිදහස් සිතුවිලි. Show all posts
Showing posts with label නිදහස් සිතුවිලි. Show all posts

Friday, 3 February 2012

තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ........?



බත කා ඉවරයි බලමින් උන්නොත්
ටික කලකින් සිංහල හාලේ
ඉංග්‍රිසි හරකා උඩරට ඉඩමෙන්
 පන්නන්නට සැරසෙව් රාලේ
ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි
බලු කුක්කට මොන බදුද අනේ
තනේ තිබෙන කිරි ටිකටත් බද්දක්
 ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ

අනේ මගේ ළමයිනේ අඬන විට 
 මොනවද උඹලට මම දෙන්නේ
වනේ සිටින දෙවියෝ ඇත්නම්
 සුද්දව හතරට පලනවනේ
ඇහළ මහේ සිට නිදහස ඉල්ලා
 පිපී වැනී ගිය මල් පිපුණා
කඩුවට කොපුවක ඉන්නට  කල් නැත
කන්දේ යුද ගිනි දැල් නැගුණා

සප්පායම් වී ජාතික ආලෙන්        
කොස් කොටනා කඩු මුව තියලා
හප්පන්නේ කවදද කලු සුද්දන්
 සිංහල පොළොවේ කැති ගහලා
කන්දෙ ගෙදර දුප්පත් නෑදෑයින්
පෙරමුණකට රැස්වන සද්දේ
කකුළු ලෙසට සුද්දන් කෙළියාවේ
ටිකකට උතුරන තුරු හොද්දේ

සිංහල දරුවන් උඩ විසිකරලා                  
අමුණයි බයිනෙත්තුවෙ ඉබ්බේ
පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක්
 මාර සෙනග මැද යම යුද්දේ
කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්
 අට ඉස්බෙක් විසිවී වැටුණා
රණ බිම මරණය මියුරුය කියලා
පුරන් අප්පු සටනට වැදුනා.......

ගේය  පද: පරාක්‍රම කොඩිතුවක්කු
මියුරු සර: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
සුගැයුම:  සුනිල් එදිරිසිංහ
චිත්‍රපටය: වීර පුරන් අප්පු
රංගනය: රවීන්ද්‍ර රන්දෙණිය සහ මාලනී ෆොන්සේකා
අධ්‍යක්ෂණය: ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස්
නිෂ්පාදන: ටිරෝන් ප්‍රනාන්දු සහ ධර්මසිරි බණ්ඩාරනායක
තිරගත වූ දිනය: 1978 අගෝස්තු 08

අද අස්වැන්න තුළින් සුනිල් එදිරිසිංහ මීට  කලකට ඉහත දී ගැයූ උදාන ගී දෙකක් ඇසුරින් අපේ නිදහස ගැන මට පෙනෙන මට දැනෙන හැටියට ලියන්න හිතුවා.
සුනිල් එදිරිසිංහ ගැයූ "බත කා ඉවරයි" ගීතය සිංහල චිත්‍රපට ගීත සාහිත්‍යයේ හමුවන විශිෂ්ඨතම  ගීයක්.   ගීතය ලිව්වෙ පරාක්‍රම කොඩිතුවක්කු ඔහු සිංහ ගීත ක්ෂේත්‍රයටම ලියා ඇත්තෙ ගීත තුනක් පමණයි.එයින් එක ගීයක් නන්දා මාලනිය විසින් මීට කලකට පෙර නිකුත් කල “කිඳුරියකගේ විලාපය” ගී එකතුවට ඇතුළත් කර තිබුණා. අනෙක් ගී දෙකම ගායනා කළේ  සුනිල් එදිරිසිංහ. ඔහු “ වීර පුරන් අප්පු” චිත්‍රපටයට ලියූ “ බතකා ඉවරයි” ගීය වගේම සුනිල්ට ලියූ අනෙක් ගීතයත් ඉතාමත් ජනප්‍රිය ගීයක් බවට පත් වුණා.
“ සොර දෙටුවෙක් කස තැලුම් කකා
            දංගෙඩියට ගෙන යන ගමනේ
            වදක බෙරේ දැක සොරාගන්න එය
            කදිමයි ලොබ සිතුවාලූ.....
            අනේ මෙහෙම තන්හාවක්
  අනේ මෙහෙම ආශාවක්
  මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්.....
 ඔය ගීත හැරුනු විට පරාක්‍රම කොඩිතුවක්කු ලියූ  වෙනත් ගීත සිංහල ගීත සාහිත්‍යයේදි හමුවන්නෙ නැහැ.
පරාක්‍රම කොඩිතුවක්කු   අපට සිටින විශිෂ්ඨතව කවියෙක්. 70 දශකයේ ඔහු ආරම්භ කළ නව කවි සම්ප්‍රදාය සිංහල කවිවේ අලුත් මගක් ගත්තා.පසුකාලීනව බිහිවූ නූතන කවියන්ද පරාක්‍රමගේ කවි මගට අනුගත වුණා.  පොඩි මල්ලියෙ,   අකීකරු පුත්‍රයෙක්ගේ ලෝකය  සහ  අලුත් මිනිහෙක් ඇවිත් වැනි විශිෂ්ඨතම කාව්‍ය සංග්‍රහ ඇතුළු කවි පොත් 15 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ඔහු ලියා තිබෙනවා.පසු ගිය වසරේ ඔහු විසින් නිකුත් කල “ඔබ සමග” නවකතාවත්, “ සුළ‍‍ඟේ දිවූ කෙල්ල” කෙටිකතා එකතුවත්  පරාක්‍රම සිය කවි ම‍ඟෙන් බැහැරව නිර්මාණය කල කෘති දෙකක්. මේ පොත් දෙකම ඔහුගෙ කවි සම්ප්‍රදාය අභියෝගයට ලක් කළ කෘති දෙකක්.
පරාක්‍රම කොඩිතුවක්කු “බතකා ඉවරයි” ගීය සදහා යොදා ගන්නෙ ජන වහර එය ඔහුගෙ කාව්‍ය සම්ප්‍රදාය තුළද දකින්න පුළුවන්.
සුනිල් එදිරිසිංහ චිත්‍රපට පසුබිම් ගී විශාල ප්‍රමාණයක් ගයා නැහැ. ඒත් කලාතුරකින් හෝ චිත්‍රපට පසුබිම් ගීයක් ගායනා කලොත් එය ඉතාමත් ජනප්‍රිය ගීයක් බවට පත්වෙනවා. ඒ සමාජ ගත වීම සුනිල්ගේ හ‍ඬෙහි තිබෙන සෞන්දර්යාත්මක ජීව ගුණයත්, දාර්ශනික ගායන ශෛලියත් එකතු වූ තැන ඔහුගෙන් පිරිපුන් ගීයක් බිහිවීමටත් එක හේතුවක්.
ප්‍රේමසිරි කේමදාස, විසිවන සියවසේ මෙරට පහළ වූ විශිෂ්ඨතම සංගීතකරුවා. ඔහු මේ ගීය සදහා භාවිතා කරන්නෙ දේශිය සංගීත භාණ්ඩ කීපයක් පමණයි. එය චිත්‍රපටයේ ජීව ගුණයට වගේම ගීතයේ ජීව ගුණයටත් බලපා තියෙනවා. අතීතයේ කවි කොලකරුවන්ගේ කාව්‍ය රීතිය ගීතයේ තනුව සඳහා සෘජුවම භාවිතා කරනවා. ඒක තමයි කේමදාස සම්ප්‍රදාය.
මේ ගීතය මෙතැනින් අහලම බලන්න

මහත්වරුණි දන්නවාද සුද්දො ආවෙ රට කරන්ඩ
නිදහස.....  ඉංග්‍රීසි.....   නිදහස ගැන මට හිතෙන හැටි.... මේ....
පුරන් අප්පු:
පුරන් අප්පු එහෙමත් නැත්නම් “ වීරහැන්නදිගේ ෆ්‍රැන්සිස්කෝ ප්‍රනාන්දු” 1812 නොවැම්බර් මාසෙ දවසක බස්නාහිර පළාතෙ ‍‍කොළඹ දිස්ත්‍රික්කයේ , මොරටුවෙ ඉපදුනෙ. වයස අවුරුදු 13 දී රත්නපුරයට ගියා. පුරන් අප්පුගෙ බිරිඳ “බණ්ඩාර මැණිකේ” ඔවුන්ගෙ එකම දියණිය  “ගුන්නෑපාන ආරච්චි” මහනුවර පැත්තෙ ජීවත් වූ බවට ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉංග්‍රීසි ජාතීන්ට එරෙහිව  කුඩාපොල හිමි, ගොන්ගාලේ ගොඩබණ්ඩා, සහ මඩුගල්ලේ නිළමේ  සමග එක්ව මාතලේ කැරැල්ල මෙහයෙ වූවා. අනතුරුව ඉංග්‍රීසින්ගේ අත් අඩංගුවට පත් ඔහු 1848 අගෝස්තු 08 වන දා  මහනුවර බෝගම්බර පිටියේදී ඉංග්‍රීසින් විසින්  මරා දැමුවා. පුරන් අප්පු මිය යන විට ඔහුගෙ වයස අවුරුදු 35 යි.
හිරු නොබසින අධිරාජ්‍ය:
1796 දී ලංකාවෙ මුහුදු බඩ පළාත් ඉංග්‍රීසින් අතට පත්වුනත්, 1815 මාර්තු 02 දා  අපේ රට මුලුමනින්ම ඉංග්‍රීසින්ගේ තවත් කොළනියක් බවට පත් වුණා. ඒ 1815 මාර්තු 05 වන දා අත්සන් කළ උඩරට ගිවිසුමත් සමගයි. ඒ වන විට ලෝකයේ තවත් රටවල් රැසක්ම ඉංග්‍රීසි පාලනයට නතුව තිබුණා දවසේ පැය 24 න්, ඔවුන් අත්පත් කරගත් කුමන රටකට හෝ හිරු එළිය වැටී තිබුන නිසා තමයි “හිරු නොබසින අධිරාජ්‍ය” නම ඔවුන්ට පට බැඳුනෙ.
ඉංග්‍රීසින් මේ රට පාලනය කල සමයේ අපට අයිති අපේ උරුමය සමග සියලුම සම්පත් කොල්ලකෑවා පමණක් නොව වටිනා හැම සම්පතක්ම එංගලන්තෙට ගෙන ගියා.වෙන එකක් තබා වීර කැප්පෙටිපොල නිළමෙගෙ හිසත් එංගලෙන්තෙට ගෙන ගියා.ඉංග්‍රීසින්ගේ පාලන සමය තුළ තේ, රබර්,කෝපි, කුරුඳු, ගම්මිරිස් වගේ බෝග ව්‍යාප්ත කළේ ඔවුගේ වෙළඳ ව්‍යාපාර දියිණු කර ගැනීමටයි.
ඉන්දියාවට නිදහස ලැබීම:
1947 අගෝස්තු 15 වන දා  ඉන්දියාවට නිදහස ලැබුණා. ඒ අපිට නිදහස ලැබෙන්න මාස පහ හමාරකට විතර කලින්. ඊට පස්සෙ තමයි අපට නිදහස ලැබුණෙ.
1948 අපට නිදහස දුන්නෙ ඇයි?
ඉංග්‍රීසින්ට කොල්ල කන්න තරම් හෝ පැහැරගෙන යන්න තරම් කිසිඳු වටිනා වස්තුවක් තවත් ඉතිරිව නොතිබුණ නිසා  ලංකාව, ඉන්දියාව වගේම තවත් නොවටිනා රටක් වුණා. මට හිතෙන හැටියට අපේ රට තව දුරටත් හිරු නොබසින අධිරාජ්‍යයේ කොළනියක් ලෙස තබා ගන්නවාට වඩා 1948 පෙබරවාරි 04  අපිට නිදහස දීල ඉංග්‍රීසින් අපෙන් නිදහස් වුණා.
ඔවුන් ලංකාව පාලනය කළ කාලය තුළ මෙරට ව්‍යාප්ත කළ තේ, රබර්,කෝපි, කුරුඳු, ගම්මිරිස් අපනයන බෝග හැටියටම තමන්ගෙ රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර මෙරට බහු ජාතික සමාගම් කීපක්ම ස්ථාපිත කරලයි ඉංග්‍රීසීන්  ආපසු එංගලන්තෙට ගියේ. මොකද ඔවුන් දැනගෙන හිටිය 1948 වෙද්දි අපේ රටේ බහුතරයක් ජනතාව තේ නොබීපු බව. ඒ වෙනුවට අපේ රට වැසියන් හකුරු කෑල්ලක් හපල බිව්වෙ රණවරා, පොල්පලා, ඉරමුසු, සහ බෙලිමල් වගේ දේවල්.ඒ නිසාම ඉංග්‍රීසීන් දැනගෙන හිටිය ඔවුන් වගා කළ බෝග නැවත ඔවුන්ටම ලැබෙන බව.හැබැයි ලංකාවට ආව සුදු ජාතිකයන් අතර ලංකාවට ආදරය කළ කීපදෙනෙකුත් හිටියා. ඒ අය අතර  ආර්.එල්. ස්පිට්ල්, රොබට් නොක්ස් වගේ අයත් ඉන්නවා.
නිදහසෙන් පසුව මොකද වුණේ..?
කොහොම හරි අපට 1948 පෙබරවාරි 04 දා  නිදහස ලැබුණා. ඉංග්‍රීසින් ආපසු එංගලන්තෙට යන විට අපට දීලා ගිය හොඳ දේකුත් තිබුණා. ඒ තමයි ඉංග්‍රීසි භාෂාව ඒත් ඒක ටික කාලෙකට විතරයි. 1956 දී රාජ්‍ය භාෂාව සිංහල භාෂාව බවට පත් වුණා. අපිට නිකං හම්බ වුණු ඉංග්‍රීසි භාෂාව අපිම අත හැරල  දැම්මා.  හැබැයි ඊට පස්සෙ ඒ පාලක පන්තිවල ජනතාවගෙ දරුවන් එංගලන්තෙට ගිහින් උසස් අධ්‍යාපන කටයුතු කළා. මේ රටේ දුප්පත්ග්‍රාමීය ජනතාවගෙ දරුවන් සිංහල ඉගන ගත්තා වෙනස ඒකයි.෴

මේ අනෙක් ගීය, මේ ගීයත් මා මුලින් කියූ ගීය වගේමයි  රත්න ශ්‍රී විජේ‍සිංහ අපට අද දවසේ සිටින විශිෂ්ඨතම කවියෙකු වගේම , විශිෂ්ඨතම  ගේය පද රචකයෙක්. රත්න ශ්‍රී ගේ කාව්‍යමය  භාෂව මේ ගීයට විශාල ආලෝකයක්. ගී තනුවත් සංගීතයත් ඒ වගේම මියුරුයි. අපේ නිදහස ගැන නැවත වතාවක් අපිටම හිතන්න පුළුවන්.

හත් මුහුදෙන් එපිට ගුගුරුවා-  බතරොයි උගුරු දණ්ඩ
හත් දෙයියන් බලා ඉද්දි - සුද්දො ආවෙ රට කරන්ඩ
මහත්වරුණි දන්නවාද  - සුද්දො ආවෙ රට කරන්ඩ

ඇත් දත් ගම්මිරිස් කුරුඳු - මැණික් අරන් එතෙර යන්ඩ
ලක් මවුන්ගෙ දරු පැටවුන්  - වාල් කමේ තියා ගන්ඩ
වැව් බිඳ රන් කොත බිමලා - දාගැබ පිට කොඩි දමන්ඩ
මහත්වරුණි දන්නවාද - සුද්දො ආවෙ රට කරන්ඩ

යෝද කඳු වළලු වටලා - වන හිස මුඩු බිම් කරන්ඩ
කෝපි, තේ, රබර් වවලා එතෙර එ දේසෙට යවන්ඩ
ඉර නොබහින පොළව වටේ -  කතිර කොඩිය ලෙළ දෙවන්ඩ
මහත්වරුණි දන්නවාද  - සුද්දො ආවෙ රට කරන්ඩ

සත්තු වගේ මඩ කාගෙන -  දිව කාගෙන බර අදින්ඩ
උත්තම අදිරාජ්ජෙකට  - ජීවිත පූජා කරන්ඩ
අනේ අපොයි අපිත් ගියා -  පය පාමුල වාල් වෙන්ඩ
මහත්වරුණි දන්නවාද -  සුද්දො ආවෙ රට කරන්ඩ

මහත්වරුණි පේනවාද අදත් එනව රට කරන්ඩ.....

ගේය  පද: රත්න ශ්‍රී විජේසිංහ
මියුරු සර: ආචාර්ය රෝහණ වීරසිංහ


                                            බත කා ඉවරයි සිංහල හාලේ ගීය මෙතැනින්   බලන්න                                                           

කැමති නම් බත කා ඉවරයි සිංහල හාලේ ගීය මෙතැනින් අහන්න                                                    








                                                               අදහස් ඇත්නම් ලියලම යන්න                                                                                                                                                                                    
Related Posts Plugin for WordPress, Blogger...