එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Friday, 30 December 2011

ඉතිරිව ඇත්තේ හෙට දවස පමණි.( ගීතයට සිත්තමක්)



දවසින් දවසට කොළයෙන් කොළයට
කොළ අඩුවෙනවා දින දසුනේ
මොහොතින් මොහොතට මා ගැන සටහන්         
වියැකී යනවා ඔබ මනසේ

පුරපස අවපස වෙනසක් වූවද
ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
මගෙ ඒ සිතුවිලි හා සබැ‍ඳේවි ද
මුදු සිතුවිලි ඔබ හද මැදුරේ

සිතුවෙම් සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
මගෙ හිත චංචල වූයේ නෑ
දින දසුනේ තව එක කොළයක් ඇත                     
එක දවසකි ඉතිරිව ඇත්තේ

සිතන්න බොළඳියෙ මගේ කුටියටත්
ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
නව දින දසුනක් එනවා..

ගේය පද : - කේ.ඩී.කේ.ධර්මවර්ධන
සංගීතය:-    රෝහණ වීරසිංහ
ගැයුම:-        එඩ්වඩ් ජයකොඩි

කාලය  වේගයෙන් ගලා ගොස් ඇත. ඒ ගෙවූ කාලය වේගයෙන් ගලා ගියේ කෙසේ දැයි නොදනිමි. එහෙත් එය එසේ සිදුවී ඇත. මෙතෙක් කල් මම නුඹට මහත් සේ ආදරය කළෙමි. දැන් ඒ මතකයෙහි ඉතිරි ව ඇත්තේ ශේෂ වූ නටඹුන් පමණි.

අරණ මැද තනි වූ , කොළ හැලී අකලට ඉපල් වූ ගසක් සේ හිස් අහස දෙස බලා හිඳිමි. දැන් මට ඉතිරිව ඇත්තේ මිහිරි අතීතයක් පමණි. වර්තමානය හෝ අනාගතය පිළිබඳ සිතුවිලි  එහි නැත. හෙට දවස යනු සුන් වූ තවත් එක බලාපොරොත්තුවක් පමණි.

එ දවස ඔබ මට මහත් සේ ආදරය කළ බව දැන සිටියෙමි. මම ද පෙරළා එ ලෙස ම ඔබට ආදරය කළෙමි. එසඳ ඒ ප්‍රේමයෙහි පැවති නෑඹුල් සුවඳ තවමත් ම සිත තැවරී ඇත. ඔබ  හැර වෙනත් කිසියම් මතකයක් මගේ මතකයට නො නැගෙයි. එ දවස පුරපසට ද , අවපසට ද ම හද ගගනෙහි පෑයූ පුර හඳ ඔබමැ විය. ඒ ස‍‍ඳෙන් හද අරණට වැටුණ ආලෝකය මට මහත් ආලෝකයක් වූ බව ඔබ නො දැන සිටියේ ද ? 

සංසාර පුරුද්දට මෙන් අපේ හිත්වල තිබූ සියුම් සිතුවිලි පවා සමසම ව ඔබ  මා අතර බෙදී ගොස් තිබුණද. එ සමයෙහි මැවූ කල්පනා සිතුවිලි සයුරෙහි කිමිදී  දැනුදු ඔබ ඒ සිතුවිලි අතර සොයමි. මෙතෙක් කල් ඒ බව ඔබට නො වැටහුණේ මන්දැයි මට නො වැටහේ.

මා දැන් ජීවිතේ අගිස්සෙන් එල්ලා වැටෙන පරඬලාවක් මෙනි. මැහුමකින් ගෙතුමකින් පවා හමාර කළ නොහැකි අතහැර දමන ලද ගෙත්තමකට මගේ ජීවිතය දැන් සමාන වී ඇත. ගෙත්තම අවසන් නො වූවද එහි ඔබ මැවූ සිත්තම තවම  සතුව ඇත. සියල්ල සිදුවී ඇත්තේ කිසිඳු බලාපොරොත්තුවක් රහිතව ය.

රිදුණු, ඉරි තැලුණු , බොඳ වුණු  සිහින තුළ ඇත්තේ ආදරෙන් වැළඳ ගත් මතකය පමණි. එදවස ඔබ මැවූ ආදරය තුළින් හද පතුලෙහි ඇනී රිදුම් දෙන මතකය සෙවූයෙමි. එද, ඒ ආදරය එක මොහොතක රංගනයක් පමණක් බව ඔබ අහිමිව යන තෙක් කිසි විටක නො දැන සිටියෙමි.

එදා ඔබ මැවූ මිහිරිම සිහින තුළ මගේ ලෝකය ගොඩ නැංවූයෙමි. ඔබ දැන් මා කෙරෙන් ගිලිහී ගොස් ඇත. දැන් මගේ කල්පනා ලෝකයේ පිරී ඇත්තේ සිතුවිලි  පමණක් දැයි මට සිතේ.
හැම අවුරුද්දක ම මගේ කාමරයට ගෙවදින අලුත් දින දසුනක ඇඳි රුවක් සේ ඔබේ රුව එහි මවා තැබූයෙමි. එහෙත් එය නිවැරදි නො වන බව දැන් මට වැටහී ඇත. දින දසුනේ පිරී තිබූ සියලු කඩදාසි එකින් එක ගිලිහී ගියා සේ  ඔබේ ආදරය ද මා කෙරෙන් ගිලිහී ගොස් ඇත. මට දැන් ඉතිරි ව ඇත්තේ සෝ ළතැවුල් පිරි අතීතයක් පමණි. මම මගේ දුක  එහි ම සඟවා පෙර සේ ම ඔබට ආදරය කරමි. තව දුරටත් මා එසේ කරන්නේ මා සිත  නො වෙනස්ව පවතින බැවිනි. ගෙවුණ දවස් පිළිබඳව නො තැවෙමි. මන්ද  මට තවත්  ඉතිරිව ඇත්තේ ඔබ පිළිබඳ ව මැවූ හෙට දවස පමණි. එය ද හෙට දින මා වෙතින් ගිලිහී ගිය පසු තව දුරටත් මට අහිමි විමට ඇත්තේ කුමක්ද?

ඔබ, ඔබේ ආදරයේ අලුත් යතුර සොරා ගත් අලුත් අමුත්තාට  අලුත් දසුනක් වනු ඇත. එහෙත් එසේ  මා වෙත අලුත් කිරිල්ලියක පැමිණිය හොත්  ඇයට දීමට තවත් මා සතු  යතුරක් නොමැත. ඒ ම හද යතුර ඔබට මැ දී ඇති බැවින් ඔබ හැර වෙනත් දසුනකට මගේ කුටියේ ඉඩ නොමැති නිසා ය. ෴

සටහන:
කේ.ඩී.කේ.ධර්මවර්ධන නම් වූ  අපූර්වතම ගේය පද රචකයා එඩ්වඩ්ට ලියූ එක ම ගීය මෙයයි. අවුරුදු 35 ක් විතර පැරණි මේ ගීය එඩ්වඩ්ගේ සංගීත දිවියේ එක කඩඉම් ගීතයක්. මේක එදා වගේම අදටත් ජනප්‍රියයි.


video



Tuesday, 27 December 2011

2011 ඔබ ‍නො දුටු ඇසින්


මේ අවුරුද්ද ගෙවී යාමට තව ඉතිරිව ඇත්තේ දින කිපයක් පමණි. එහෙයින් ගෙවුණු 2011 වසර පිළිබඳව නැවත ආපසු හැරී බැලිමට  සිතුනි.  ගෙවී ගිය වසරට අදාල ව මෙහි ඇතුළත් කර ඇත්තේ මා කැමති විෂය ක්ෂේත්‍ර පිළිබඳ ව පමණි. ඇතැම් ක්ෂේත්‍ර බැහැර කළේ එය මගේ ලෝකයට අදාළ නො වූ බැවිනි.
සම්බුද්ධත්ව ජයන්තිය 2600
2011වර්ෂය ආරම්භ වූයේ සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පුළුල් ප්‍රචාරයක් ලබා ගනිමිනි. මෙය රජයේ විද්‍යුත්  මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය නාලිකා ද විශාල ව්‍යාපාරයක් කර ගෙන එය ජනතාවටම නැවත විකුණන ලදි. ලංකාවේ විද්‍යුත් මාධ්‍ය නාලිකා ගණන  50 කට ආසන්නව තිබේ. එයින් සිංහල මාධ්‍ය නාලිකා තිස් ගණනකි.  මෙකී  සියලු නාලිකාවෝ මේ වසර තුළ ජනතාව දන්නා මෙන්ම නොදන්නා පිරිත් සහ  සූත්‍ර දේශනාද, ඒවායේ ගුණ දොස්ද තුන් තිස් පැයේ  මෙනෙහි කරමින් ලැබෙන ගුණ දොස් කියා දීමට තරම් කාරුණික වූවා පමණක් නොව සුමධුර ධර්ම දේශනාද දවසට දෙතුන් වරක් ප්‍රචාරය කර ශ්‍රාවකයාට පොවන්නටත් ජීර්ණය කරන්නටත් ඉඩ සැළසූහ. කවි බණ, විරිදු බණ, යුගාසන බණ,  මේ ආදී බණ දහම් අපේ බුදුරජාණන් වහන්සේටත් වඩා හොඳින් කියා දීමට තරම් එම නාලිකවෝ කාරුණික වූහ. මේ තරම් බණ දහම් ඇසුණ හෙයින් වසර අවසන් වීමට පෙර රටේ බණ ඇසූ  ජනතාව බුදුන් වහන්සේ වදාළ සියළුම මාර්ග ඵලයන්හි පිහිටා නිවන් මග පසක් කර ගන්නා බව මට හැඟුණි. එහෙත් ඒවා “බණ”  පමණක් වී ඇති බව දැන් දැන් වැටහේ. ඒ මතු දැක්වෙන කරුණු කාරණා හේතුවෙනි.
ඉහළ ගිය ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව
" ද මිරර් " වෙබ් අඩවිය වාර්තා කර තිබෙන අන්දමට මේ වසරේ මාස 08 ක් තුළ මෙරට තුළ සිදුවී ඇති ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව පොලිස් පොතේ ලියැවී ඇති වාර්තා අනුව 1152 කි. ඒ මාස 08 කු තුලය. ඉතිරි මාස 04 ද ගණන් බැලුව හොත් එය 1500 කට ආසන්න ගණනකි. පොලිස් පොතේ ලේඛණ ගත නො වූ සංඛ්‍යාව  පිළිබඳව සළකා බලන කල්හි මේ සංඛ්‍යා සහ දත්ත ‍මීට වඩා ඉතාමත් වැඩි අගයක් ගන්නා බව එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ. එය එසේ සිදුවී ඇත්තේ 2600 ශ්‍රී  සම්බුද්ධත්ව ජයන්තිය ඉහළින් සැමරූ මේ රට තුළදී ය. ඒ විද්‍යුත් නාලිකා තිස් ගණනකින් දින 365 පුරා බණ සහ පිරිත් ඇසූ මේ රටේය.
ඉහළ ගිය ඝාතන සංඛ්‍යාව
මේ වසර තුළ මෙරට මිනී මැරුම් විශාල ප්‍රමාණයක් වාර්තා ගත වූ සිද්ධීන් අතර විය. ඒ අතර පවුල් පිටින් ඝාතනය වූ අවස්ථා සතියකට එකක් හෝ  දෙකක්වත්  වාර්තා විය. ඒ සියලු ඝාතන කඩුවෙන්, කිනිස්සෙන්, කැත්තෙන්, පිහියෙන් පටන්ගෙන ස්වයං ක්‍රීය තුවක්කුවෙන්, බෝම්බයෙන් කෙළවර වූ ඒවාය. එයින්  සදාකාලිකව නින්දදට වන් ඒ මිනිසුන්ද ජීවත් වූයේද මේ ධර්මද්වීපයෙහි ය. මේ හා සමානවම සොරකම් කිරීම්, මංකොල්ල කෑම්. පැහැරගෙන යාම්, අතුරුදහන් වීම් ද වාර්තා වී තිබේ.
කසාදය කෙටිවීම හෙවත් දික්කසාදය
ලංකාව තුළ සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අලුත්ම “ෆැන්ටසිය” මෙයයි. පෙර වසර කීපය හා සාපේක්ෂව සසඳන විට මෙරට දික්කසාද වීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් තිබේ. වාර්ෂිකව විවාහ වන ප්‍රමාණයට සාපේක්ෂව දික්කසාද වන ප්‍රමාණයද  ඉහළ ගොස් ඇත.  විවාහ වීමේ නීත්‍යානු කූල වයස වසං කර විවාහ වන අය හැරුණ විට වයස අවුරුදු 18ට වැඩි සහ වයස අවුරුදු 70 ඉක්ම වූවන්ද සිය දික්කසාදය ඉල්ලා අධිකරණයේ පිහිට පැතූ අවස්ථා බහුලව තිබුණි.
හැන්දෑවට නිවසේ සාලයේ පුංචි තිරය ඔස්සේ දිග හැරෙන “මෙගා”වල සිට ප්‍රේක්ෂකයාට “බබා” පෙන්වූ පබාලා මෙන්ම මුතු කිරිල්ලියෝද සති අන්ත පත්තර පිටු පුරා සිය විවාහ මංගල උත්සවවල පින්තුර රටටම පෙන්වා මාස හය හතකින් ඒ පුවත්පත් වලින්ම නැවත රටේම ජනතාවට පවුල් ජීවිතේ අවුල් බව කියා දෙති. වෙන් වූ බව කියති. ඒ නිසාම මෙය දැන් අලුත්ම “ෆැන්ටසියක්” බවට පත්ව තිබේ.
අන්තර් ජාලයෙන් බෙදා හැරෙන අසැබි දසුන්
අන්තර් ජාලය, සහ  ජංගම දුරකතන පහසුකමද, ගම් නියම් ගම් දනව් පුරා පැතිර ගොස් තිබීම සංවර්ධනයේ එක් හිතකර ලක්ෂණයකි.පසුගිය වසර පුරා අන්තර්ජාලය හරහා මෙරට තරුණියන්ගේ අසැබි දසුන් අති විශාල ප්‍රමාණයක් ලෝකයට මුදා හැර තිබුණි. ඒවාට සම්බන්ධ වූවන් කිසිඳු හිරිකිතයකින් තොරව මෙම අවස්ථා අන්තර්ජාලයට මුදාහැර තිබූ බව නම් ඉතා පැහැදිළිය. ආණ්ඩුව මේවා මෙරට දී  නැරඹීමට තිබු අවස්ථා වැට කඩුලු බැඳ අවුරා තිබුණ ද, වෙනත් රටක සිට ඕනෑම කෙනෙකුට  නැරඹීමේ අවස්ථාවට ඉඩකඩ සළසා තිබුණි.
මේ සඳහා ගොදුරු වී තිබුණේ ලංකාවේ අපේම සිංහල විවාහක මෙන්ම අවිවාහක සොහොයුරියන්ය. විවාහය දික්කසාදයකින් කෙළවර වීමට මේවාද එක්තරා ප්‍රමාණයකට බලපා ඇත. කෙසේ වුවත් මේ අසැබි දසුන්වල ඇතැම් අවසානයන් කෙළවර වූයේ අධිකරණයේ පිහිට පැතීමෙනි. ඒ වන විට සිදුවන්නට ඕනෑ සියලු දේ සිදුවී හමාරවී තිබේ.
කලාව සහ සාහිත්‍යය 
ගෙවුණු වසර සිංහළ සාහිත්‍යයේ ගුණාත්මක වර්ධනයක් පෙන් වු වසරක් ම විය. වියත් සිංහල බසින් පෝෂණය වූ නවකතා, කෙටි කතා, පරිවර්තන  මෙන්ම කවි පොත් ද බහුල වශයෙන් එලිදැක් වූ වසරක් විය. එය පාඨක රුචිය ඉහළ නැංවීමට ප්‍රබල හේතුවක් වී ඇති බව පෙනේ. නැවත පොත පත කියවීමට පාඨකයන් පෙළඹීම පැසසුම් කළ යුතු කරුණකි.
සිනමාව
 සිනමා ක්ෂේත්‍රයේ ප්‍රේක්ෂකයාට අලුතින් යමක් හිතන්න හැකි වන අයුරින් චිත්‍රපට කිසිවක් බිහි නොවූ තරම්ය. අශෝක හඳගමගේ “විදූ” හැරෙන්නට කිසිඳු කලාත්මක ස්වරූපයේ චිත්‍රපටයක් බිහිවී නැති ගාන ය. ‍ඓතිහාසික කතා,  යුද සමය ඇසුරු කර ගත්  චිත්‍රපට මෙන්ම විනෝදාත්මක සහ කොමඩි චිත්‍රපට වලින් සිදු වූයේ ප්‍රේක්ෂකයින්ගේ සාක්කුවට තට්ටු කළ තවත් කොමඩියක් වීම පමණි.
මෙගා රැල්ල
මෙගා ටෙලි නාට්‍ය රැල්ල වගාවක් ලෙසින් තව දුරටත් ව්‍යාප්ත විය. රූපවාහිනී නරඹන්නන්ගේ කාලය තව දුරටත් කා දැමීමට තරම් සැහැසි ව තිබූ අතර අවම වශයෙන්  දිනකට එක් චැනලයක් පැය දෙක බැගින් ගත් කල,  ජනතාවගේ කාලයෙන් දිනකට පැය 24 ත් 28ත් අතර ප්‍රමාණයක් සියලු විද්‍යුත් රූපවාහීනී  නාලිකා විසින් උදුරාගෙන තිබුණි.
සංගීතය
ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ හතු පිපෙන්නාක් මෙන් බිහි වූයේ රැප් සංගීතයෙන් වල්මත් වූ නිර්මාණ පමණි. එ ලෙසම එළි දැක්වූ වීඩියෝ ගීත ඇල්බම් ප්‍රමාණය අති විශාල ය. ඒ අතර ජාත්‍යන්තර සංගීත කරළියට අත පොවන්නට තරම් හැකියාවක් සහිත තරුණ සංගීත වේදියෙකුගේ ආගමනය ලංකාවේ සංගීතය ජාත්‍යන්තරයට ගෙන යාමට අවශ්‍ය මග පාදාගෙන තිබුණි.ඒ “දිනේෂ් සුබසිංහ”නම් තරුණ සංගීතවේදියාගේ ආගමනයයි.  ඔහුගේ සංගීත නිර්මාණ  සහ සංගීත සංධ්වනි ඉදිරියේ දී ජාත්‍යන්තර සංගීත කරලියේ පෙරළියක් කරනු නිසැක ය.
මීට අමතරව හර සුන් ගීත රැල්ලට ‍එරෙහිව පසුගිය වසර තුළ නන්දා මාලිනියගේ " ස්වේත රාත්‍රිය" ප්‍රසංගයද, මෙරට  ගීත රසිකයන්ට මහත් ආලෝකයක් සැපයූ ප්‍රසංගයක්ම විය. වික්ටර රත්නායකයන්  දෙ වතාවකදී එළි දක්වන ලද " සම්මා ගී සර"සහ "මධු සිහිනේ"ගී තැටි යුගල මෙන්ම සුනිල් එදිරිසිංහ ද "මල්වැහි පොද"තුළින් අකල් ගී වැස්සේ තෙමෙමින් සිටි රසිකයා ආරක්ෂා කළේය. අමරසිරි පීරිස්ගේ "ගඟ ගලා යා දෙන්" මෙන්ම  රොහාන් ශාන්ත බුලේගොඩගේ " හිත ඔබටම තමයි" ඉමාන්ගේ "ඉමාන්" අබේ - නිරංජලාගේ "ප්‍රේම් ලියූ ගී"  ගී පවසින් පෙළෙමින් සිටි සැබෑ ගී රසිකයාට  අමා පැන් පොද  මෙන් විය.
සමුගත් ඇත්තෝ
පසුගිය වසර තුළ කලා ක්ෂේත්‍රයේ අමත නොවන සදාකාලික සමුගැනීම් කීපයක් ම සිදුවිය. ඒ අතර ගැයුමෙන් වැයුමෙන් දිවිය නිමා කළ ග්‍රේෂන් ආනන්ද මෙන්ම සිරිල් ඒ සීලවිමල සහ කො.වෙ. පඤ්ඤාපාල වැනි මෙරට ජ්‍යෙෂ්ඨතම ගීත රචකයෝ ද වූහ. සිනමාවෙන්  ටයිටස් තොටවත්ත ගේ සමුගැනීමත් " ජෝ අබේවික්‍රම " අග්‍රගණ්‍ය රංගධරයාගේ සමුගැනීමත් සිංහල සිනමාවට රික්තයක් ඇති ‍කළේය. තාල තරංගයෙ ගීය සහ සංගීතය හැඩ කළ විජේරත්න රණතුංගයන්ද සිය තාල තරංගවාදනයට නැවතුමක් තබා නොකියාම නික්ම ගියේය. නවකතාවෙන් කෙටිකතාවෙන් සිංහල සාහිත්‍ය පෝෂණය කළ කේ.ජයතිලක සූරිහු ද,  සිය පන්හි‍ඳෙහි වූ අන්තිම තීන්ත බිංදුවෙන් ජීවිතය ලියා හමාර කළේය. මේ සහෘදයෝ රසික හදවත් තුළ සදාකාලිකව නො නිදා හිඳිති.෴

Thursday, 22 December 2011

මගේ නත්තල


 ජේසු ස්වාමි දරුවනේ
දුගී පැලේ දිනා
මෙලෝ තලේ දිනූ
ඔබේ දහම් තියේ ද දැන්                                 
දිව නෙතින් බලන්

පැල්පතේ හඬද්දි සා දුකින් දුගී ළමෝ       
මන්දිරේක සාදයක් ය මිහිරි නත්තලේ
එය නොවේ ය ස්වාමිනී ඔබ දෙසූ දහම්
ගොල්ගොතාව කුරුස කන්ද රතු ලෙයින් තෙමා

රන් රිදී මැණික් නොවේ ය ඔබැ සමීපයේ
දළ පිලී විනා දුහුල් නොවී ශරීරයේ
මන්ද මේ විලාසිතාව දේව මන්දිරේ
යලි  ගලීලයෙන් නැගී මෙලෝ තලේ බලන්...

ගේය පද:                                   මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගීත නිර්මාණය:     ස්ටැන්ලි පීරිස්
ගැයුම:                                      නන්දා මාලිනී
 

නන්දා මාලිනිය ගැයූ මේ ගීතය නත්තලට අපූර්ව අරුතක් සපයන ගීතයක්, ඒ නිසාම මේ ගීතය ඇසුරින් නත්තල ගැන ටිකක් ලියන්න කල්පනා කරමි.

 අසිරිමත් වූ නත්තල වෙනුවෙන් කිතුනු බැතිමතුන් තුළ ඇත්තෙ මහත් උනන්දුවක් සහ උද්යෝගයක්. වෙරළ බඩ තීරය පුරා ඇති ගම් දනව් නත්තල් අසිරියෙන් ඇලලී ගිහින්. දවාල වගේම රාත්‍රියත් එකම සැණකෙළියක්, කඩ සාප්පු පසු කරගෙන  තෙරපි තෙරපි එහා මෙහා යන සෙනග අතරින් වාහනයක් ඉදිරියට ඇදෙන්නෙ ඉබ් ගමනින්. අවුරුද්දක් පුරා සිය දාඩිය මහන්සියෙන් උපයාගත් කීයක් හරි අතමිට මොලවාගත් නැති බැරි අය වගේම, අනියම් ක්‍රම වලින් මුදල් උපයාගත්  උදවියත් මේ සූදානම් වන්නෙ අසිරිමත් නත්තලෙහි ජේසු සමිදුන්ගේ උපත සැමරීමට යි. 

වැඩිහිටියන්ට කෙසේ වුවද  මේ නත්තල අයිති දරුවන්ට යි. කඩපිල් කොතරම් සැරසිලි වලින් පිරී තිබුණද, ලස්සන ඇඳුම් ආයිත්තම් කඩ පිල්වල  වීදුරු කුටිවලින් එබී බැලුවද, උඩුකය නිරුවත්, වැරහැලි ඇඳගත් පුංචි එවුන් කඩ සාප්පු දිහාවට එබිකම් කර කර දෙනෝදාහක් සෙනග අතරින් කඩ සාප්පු දිහා එබිල බලන්නෙ අනේ මටත් නත්තල තිබුණා නම් යන සිතුවිල්ලෙන්.
ඇතැම් විට බස් නැවතුම්වල , පදික වේදිකාවල . එහෙමත් නැත්නම් ළමා නිවාසයක සීතලට ගුලිවෙලා නිදාගන්නෙ එහෙමත් නැත්නම් නිදාගන්නවා ඇත්තෙ  නත්තල් දවසෙ රෑට නත්තල් සීයා මටත් පුංචි තෑග්ගක් වත් ගෙනැත් දේවි යන සිතුවිල්ලෙන්. ඒත් ඒ සිතුවිලි හීනවලට විතරක් සීමා වෙනවා නම් එතැන නත්තල නොමැත. 

" එදා ජෙරුසෙලම දේව මාලිගාවට වැඩිය ජේසුස් වහන්සේ එහි සිදුවූ මහත් විප්‍රකාරී දේ නරඹා උන්වහන්සේ මහත් විමතියට පත් වූහ. දේව මාලිගාව තුල තබා එළුවන්, බැටලුවන්, ගවයන් මෙන්ම ප‍රෙවියන් විකුණන වෙළෙන්දන්ද, උන් මිළට මාරු කරන්නන්ද මේ දේව මාළිගාව වෙළදාම් පොළක් කරගෙන සිටිනු   දුටු උන්වහන්සේ  ලනු වලින් තැනූ කසය අතට ගෙන ඒ සතුන් මෙන්ම එහි පැමිණ සිටි වෙළෙන්දන් මෙන්ම මිළදී ගන්නන්ද දේව මාළිගයෙන් එළියට දැමූහ."
" මේ දේවල් මෙතැනින් අරගෙන පලයල්ලා. මගේ මේ දෙව් පියාණන්ගේ ගෘහය වෙළඳාම් ‍ගෙයක් නොකරල්ලා" 

යනුවෙන් උන්වහන්සේ එහි පැමිණ සිටි සියල්ලන්ටම කීහ.

 අද දවසේත් මේ  සිදුවන්නේ එදා ‍යේසුස් වහන්සේ ‍ජෙරුසෙලමෙහි දේව මන්දිරය තුළ සිදු වූ දේම නොවේද? එදා උන්වහන්සේ දෙසූ ඒ පරම සත්‍යය කිසිවකුටත් නො වැටහුණේද? නැත, එදා අසිරිමත් නත්තලෙහි සිදුවූ උන්වහන්සේගේ උත්පත්තිය ලෝකයේ නැවුම් හැරවුම් ලක්ෂයක් විය. එහෙත් අප තවම සිටින්නේ ඒ සාසස්තෲන් වහන්සේ ‍විසින් දෙසූ පරම සත්‍යය වටහා නො ගෙන එදා සිටි තැනම ය. වෙනස සිදුවී ඇත්තේ වසර උන්වහන්සේගේ උපතින්  2011 ක් ගතවීම පමණි.

යේසුස් වහන්සේගේ ජීවිතය පුරාම මිතුරන් මෙන්ම සතුරන්ද  වූහ. එදා සියළු දේ නිතැතින්ම සත්‍ය වශයෙන්ම සිදුවන බව උන්වහන්සේ සක් සුදක් සේ දැන සිටියහ.එහෙත් කිසිවකුගේ සිත රිදවීමට ක්‍රියා නො කළහ. එකම රොටී කැබැල්ලෙන් කොටස් 13 ක් ගෙන බෙදා දුන් උන්වහන්සේ, තමන් වහන්සේ ළඟ  එකට ආහාර ගනිමින් සිටින්නන් අතරින්  කෙනෙකු එළඹෙන දවසේ හිරු උදාවට පෙර තමන් වහන්සේ පාවා දෙන බව දැන සිටියද , දෙවියන් වහන්සේගේ කැමැත්තට  ඉඩදී නිහඬවම සිටියහ. ජුදාස් එසේ තමන් වහන්සේ පාවා දුන්නද ඔහු කෙරෙහි උන්වහන්සේ තුළ කිසිඳු වෛරයක් හෝ ක්‍රෝධයක් නොවීය. ඒ එදා ය.

මෙවැනි සිදුවීම් අද ද සිදුවේ. වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, සිත් පුරවා ගත් ඇත්තෝ මෙ සමයෙහි විරළ නොවෙති. තමා මතයට  එරෙහිව නැගී සිටින්නා මෙල්ල කිරීමට හොඳින් හෝ නරකින් උපාය යොදති. උගුල් අටවති. විෂ පොවති. එසේත් නොහැකි වූයේ නම් නාඳුනන තුවක්කුකරුවකු යොදා ප්‍රාණය නිරුද්ධ කිරති. එහෙත් ඔවුහු ‍අනෙකාට පෙන්වන්නේ තමන් සාන්තුවරයෙක් බව ය.

මේ මානව ශිෂ්ඨාචාරයේ විධිමත් දියුණු අවදියක අප සිටියද එකෙක් අනෙකා දෙස බලන්නේ එදා බෙත්ලෙහෙමේහි යේසුස් වහන්සේ ලොව පහළ වූ දා බියෙන් තැති ගත්  හෙරෝදි රජවරුන් සේ ය. 

මේ සත්‍යය ඒත්තු ගැන්වීම ඉතා දුෂ්කරය. මන්ද යත් ඇත්තේ එකම සත්‍යයක් පමණක් බැවිනි. එදා ඒ පරම සත්‍යය වෙනුවෙන් අසරණ නැණ හීන මිනිසුන් සත්‍ය වෙත වෙත කැදවීම පිණිස යේසුස් වහන්සේ කුරුසිය මත ඇණ ගැසුම් කා ප්‍රාණය කළහ. ඉඳින් ඒ මානව ඉතිහාසය පුරා මේ සත්‍යය අරගලය වටහා දෙන්නට උන්වහන්සේ හැර කිසිවකුටත් නොහැකි විය. එදා ඒ යේසුස් වහන්සේ දෙසු  දහම තුළ වූ පරම සත්‍යය මෙය නොවන්නේද?

( මෙහි  කොටසක් ශුද්ධ වු බයිබලය ඇසුරිනි.)

මෙහි ඇවිත් යන ඔබට, නන්දා මාලිනිය ගැයූ මේ ගීතය විඳ ගැනීමටද  ඇරයුම් කරමි.

video

Saturday, 17 December 2011

ඔබ දේදුන්න ආකාසයේ ( දෙවන සටහන) සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදී.........

 
යලීනය මිනිස් හඬට බෙහෙවින්ම සමීප වාද්‍ය භාණ්ඩයක්. යමෙකුට එය වාදනය කරන්න තමා ඉගනගත්ත හැකියාවට අමතරව ජානමය හැකියාවකුත් තිබිය යුතුය කියල මට හිතෙන්නෙ වයලීනය වයන ශිල්පියෙකු හෝ ශිල්පිණියක දුටුවාමයි. එවැනි වාදනයකදී වයලීනයට ධ්‍යානගතව සමවැදී, මුලු සර්වාංගයම සසල කරවමින් නරඹන්නා අමන්දානන්දයට පත් කරන්න යමෙකුට පුළුවන් නම් ඒ වාද්‍ය ශිල්පියාගේ ජානමය සම්බන්ධතාවලින් ගොඩනැගුණු තියුණු හැකියාවක්.

  කිසිදාක මේ සටහනත් අමත නොවන මගේ මතක සැමරුමක්. මර්වින් පෙරේරා ගායන ශිල්පියාගේ වියෝව දැඩිව දැනුණු අය අතර  ඔහුගේ රසිකයන් වගේම සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ අයත් හිටියා. ඒ එක සහෘදයකු ගැන අද ලියන්න හිතුණා. හරියටම මර්වින්ගේ වියෝවෙන් සතියකට පස්සෙ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ අපූරු සංගීත සැඳෑවක් තිබුණි. මේ සංගීත සැඳෑව සැළසුම් කළේ  රෝහණ ධර්මකීර්ති.   ඔහු   මෙය නම් කර තිබුණේ " වයලීන මැවූ හීන " නමින්.  රෝහණ ලංකාවෙ අද අපට සිටින දක්ෂතම වයලීන වාද්‍ය ශිල්පීන් අතරින් කෙනෙක්. ඒ වගේම රෝහණ මධුර ගී තනු නිර්මාණකරුවකු වගේම, දක්ෂ සංගීත අධ්‍යක්ෂක වරයෙක්, රෝහණගෙ නිර්මාණ කීපයක් මතක් කරලම මේ කතාව පටන් ගැනීම හොඳයි කියලා හිතෙනවා. රෝහණගෙ සංගීත නිර්මාණ  අතර එඩ්වඩ් / නතාෂා ගැයූ සුළඟක් වී මං යනවා, දිවුල්ගනේ ගැයූ අන්දර යායේ, කසුන් කල්හාරගෙ මදකට හෝ නුඹ ඇවිත් යන්න, නෙලූ අධිකාරිගේ හන්තානේ කඳු මුදුන වගෙයි ඔබ, ප්‍රියාල් අමරසිංහ ගැයූ නටුවෙන් ගිලිහුණ පින්න මලක්  වැනි මධුර ගී තනු නිර්මාණ රැසක් තියනවා.

රෝහණ වාද්‍ය ශිල්පියෙක්  වගේම ගායනයටත් සැබෑ දක්ෂයෙක්, ඉතාම විරල ගණයේ රසවතෙක්, මිතුරන් අතර අසමාන මිතුරෙක්. රෝහණ නියෝජනය කළ සංගීත කණ්ඩායම අනෙක් සංගීත කණ්ඩායම් වලින් වෙනස්  වුණේ රෝහණගෙ වයලීනය සංගීත සංදර්ශන වේදිකාවට පැමිණීමත් සමගයි. ප්‍රසංග වේදිකාවෙ රෝහණ රිදම් ගිටාරයේ නිත්‍ය වාද්‍ය ශිල්පියා වුවත්,  රිදම් ගිටාරයෙන් වගේම වයලීනයෙනුත් ප්‍රසංග වේදිකාවෙ ලොකු වෙනසක් කළා. අති විශාල නරඹන්නන් රැසක් එකතුවී සිටින එළිමහන් සංගීත ප්‍රසංගය විද්‍යුත් සංගීත භාණ්ඩවලින් ගිගුම් දෙන විට රෝහණ තම සුරතෙහි වූ වයලීනය හඬවන්නෙ  නටන්න රැස්ව සිටි රසිකයින් සමෝධානයට පත් කරමින්.

‍රෝහණගෙ මේ වයලීන මැවූ හීන” ප්‍රසංගය ඉතා සුවිශේෂ ප්‍රසංගයක්. කොළඹ අවට රඟහලක් අතුරු සිදුරු නැතිව පිරෙන්නෙ කළාතුරකින්. ආරාධනා පත්‍රවලට පමණක් සීමා වන  මෙවැනි ප්‍රසංග බලන්න  වැඩි රසික පිරිසක් පැමිණීම  විශේෂ සිද්ධියක්. එදා මම රඟහලට ගියේ වෙනදාටත් වඩා පැය දෙකකට කලින්. ඒ රෝහණගෙත් මගෙත් මිත්‍ර සමාගම වෙනුවෙන්. කොහොම වුණත් එදා හවස 6.30 වන විට  රඟහල අතුරු සිදුරු නැතිව පිරී තිබුණා. රෝහණට ආදරය කළ, ඔහුගේ වයලීනයට ආදරය කළ බොහෝ කලාකරුවන් වගේම රසික ජන පර්ශද එහි පැමිණ අසුන්ගෙන සිටියා. තුන්වැනි සීනුවේ නාදයත් සමග සවස 6.30 ට එල්ෆින්ස්ටන් රඟහලම අඳුරුවී  වේදිකාවේ වූ නිල්පැහැති අඳුරු ආලෝකයට ඉඩදී තිරකඩ සෙමින් විවිර විය. රෝහණගේ අපැහැදිළි ඡායාව එහි විය.  
 
හඬන්නට ළංව සිටින පෙම්වතිය සිය පෙම්වතාගේ උරහිස හිස හොවා සිටින්නාක් මෙන් වයලීනය ඔහු සුරත විය . තම උරහිසෙහි හිස හොවා හඬා වැටෙන්නට ආසන්නව සිටි වයලීනය නම් වූ ප්‍රියාවිය  සිය පෙම්බරා විසින් ආත්ම ගණනක සංසාර ගත ප්‍රේමය මුදා හරින්නට සූදානම් වන සෙයක් ඉදිරිපස හුන් අපට දැනුණි . වේදිකාව මැද සිටගෙන සිටි රෝහණගේ අතැගිලි දහයට සිර වී සිටි වයලීනය නම් වූ ප්‍රියම්බිකාව කෙරෙහි ඔහුගේ නෙත යාමුවී භාවනාවට මෙන් ධ්‍යාන ගතව තිබුණි.

ඊට සතියකට පෙර මියගිය සිය ආදරණීය මිත්‍රයා, ප්‍රවීන වයලීන වාද්‍ය ශිල්පියා වූ මර්වින් පෙර්රා නම් වූ සංගීත සගයා වෙනුවෙන් ඔහු සිය නාද මාධූර්යය වයලීනය ඔස්සේ මුදා හැරියේය. ඒ එදා මර්වින් ගැයූ  " මා සනසා මා නළවා" ගීතයයි. ගයන්නට ඔහු නැත. ඔහුගේ අති මධුර ඒ ගායනය නැවතුන තැන සිට, රුධිරයට පමණක් නොව ඇටමිදුලු ඔස්සේද තැන්පත් වී තිබූ අප්‍රමාණ වූ හැඟීම් රෝහණ සිය වයලීනය ඔස්සේ සිය ආත්මය තුළ වූ සියුම් සංවේදීත්වය මෙන්ම වේදනාවද මුදා හැරියේය. 

අල්පැනිත්තක් පවා බිම වැටෙන විට ඇසන්නට තරම් නිශ්චලත්වයක ගිලී සිටි රසික සහෘද පර්ශද ඇසෙහි කඳුළක් නංවන්නට මේ වයලීනය එදා සමත් විය. එදා රෝහණ ගී මර්වින්ගේ ඒ අනුවාදන නිමා කරන විට විනාඩි කීපයක් ගත වන තුරු ඇද හැළුණු අත්පොලසන් නාදය මහා වර්ෂාවක් මෙන් ගිගුම් දෙන්නට විය. එදා රෝහණ වැයුවේ  ඒ ඊට සතියකට පෙර මියගිය ඔහු වෙනුවෙන් ම යැයි මට අද ද සිතේ. එදා වයලීනය හීන සිත්තම් කළේ ඒ අයුරිනි.
 
සටහන-
මේ වයලීන වාදනය පසුව අවස්ථා ගනනාවකදී ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූවද, එය අන්ර්ජාලයෙන් සොයාගැනීමට උත්සාහ කළත් එය හමුවුනේ නම් නැහැ. ඒ වෙනුවට මර්වින් ගැයූ ඔහුගේම මේ ගීතය රසවිඳින්න ඔබට ඇරයුම් කරමි. එවිට එදා  ඔහු ගායනය නතර කළ තැනින් සංගීතය ඇරඹෙන හැටි ඔබටත් දැනේවි.
                                       
video
                       



Friday, 9 December 2011

ඔබ දේදුන්න ආකාසයේ ( පළමු සටහන)


  
අස්වැන්න දෙවන  සටහන ලියන්න හිටියෙ වෙනත් කරුණක් සම්බන්ධයෙන්. ඒත් මේ අවුරුද්දෙ අවසන් මාසය, එහෙමත් නැත්නම් නත්තල. සීතල උදුවප් මාසය එලඹෙන විටම නත්තලේ සිරි අසිරි මැවෙනවා. පල්ලිය් ගීතිකා ගැයන ගීතිකාවල නාදය වඩා වැඩියෙන් දැනෙනවා. සීතල උඳුවප් මාසය පටන්ගන්න විමට මානව ගුණයෙන් පිරුණු සොඳුරු මිනිසෙකුගේ නික්ම යාම  පිළිබදව මට සිහියට නැගුණි. මීට තුන් වසරකට පෙර සමුගත් ඒ සොඳුරු මිනිසා වෙනුවෙන් මේ සටහන තබන්න සිතුවෙමි.

මට ඔහු අවසන්වරට හමූ දිනය නිශ්චිතව මතක නැත.  එහෙත් ඒ දිනය  ඔහු මිය යාමට වසර එක හමාරක හෝ දෙකකට පෙර දිනයක් බව මතකය. වරෙක  ගුවන් විදුලි සංගීතමය වැඩසටහනක් කිරීම සඳහා  ගුවන් විදුලි මහ ගෙදරින් ලැබුණ   ඇරයුමක්  අනුව ශිල්පීන් තෝරා ගැනීමේ වරම ද මට හිමිවී තිබුණි. මේ සඳහා මා තෝරාගත් ශිල්පීන් හය දෙනාම මෙරට විශිෂ්ඨතමයෝ වූහ. ඒ අතර මර්වින් පෙරේරා ගායන ශිල්පියා, සංගීතවේදියා ද විය. 

අනතුරුව දුරකථනයෙන් මේ බව මර්වින් අයියාට කියූ පසු ඔහු හමුවන ලෙස ඇරයුමක් ලැබුණි. ඒ ලද ඇරයුම අනුව දිනෙක මම ඔහු සොයා ගියෙමි. කලුතර , කුඩා පයාගල,  ගාලු පාරට මුහුණ ලා පිහිටි ඔහුගේ නවාතැන  හරිම අපූරු තැනක් විය. කෙළවරක් නොමැති ව එක පෙළට දෙපසට ඇදී යන වාහන පෙළත්, දෑස ඉමේ වූ මහ මුහුදත්, පොල් රුප්පාවත්  එකකට එකක් වෙනස්  වූ  චමත්කාරයක් මැවූ පරිසරයක ඔහුගේ නිවහන විය.

මා මර්වින් අයියාගේ නිවසට ගොඩවන විට ම මගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි ඔහුගේ මුවගට සිනා රැල්ලක් නැගී තිබුණි. ආ ගිය තොරතුරු කතාබහ කරමින් සිටි අතර වාරයේ, "මල්ලි අර ගීත ටික ගෙනාවද?" කියා මගෙන් විමසිය. මා ඔහු වෙනුවෙන් ම ලියා තිබූ ගීතය කුමක්ද යන්න නොකියා තවත් ගීත දෙකක් සමගම ඒ ගීතයද ඔහු අත තැබුවෙමි. විවිධ කතිකාවත් අතර  නියැලී සිටි ඔහු එකවරම මා වෙත හැරී  "  මල්ලි මේක හොඳට වැදෙන  පද ටිකක්  මේකට මං කැමතියි අපි මේක කරමු. ඔයාගෙ වැඩෙන් පස්සේ මේක මගේ වැඩකට මම ගන්නවා" යැයි මර්වින් අයියා එදා කීවේය. ඒ එදා ඔහු තෝරාගෙන තිබුණේ මා ඔහු වෙනුවෙන්ම ලියා තිබූ ඒ ගීතයයි." මල්ලි වැඩේ පටන් ගන්න. දිනෙයි වෙලාවයි මට කියන්න මම එන්නම්" කියා ඔහු ගීතය නිර්මාණය කර ගායනා කිරීමට බාර ගත්තේය.

මගේ වැඩසටහන දෙවරක් ම පටිගත කිරීමට යොදා ගෙන තිබූ දින වෙනස් වූ බැවින් " වැඩේ ඇදෙන බව " මට තේරුම් ගිය නිසා ඒ ගුවන්විදුලි වැඩසහන සඳහා මගේ තිබූ උනන්දුව ගිලිහී ගියේ ය. එයින් මර්වින් අයියාගේ හඬින් මගේ ගීයක් අසීමට මා තුළ වූ නොතිත් ආශාව එතෙකින් කෙළවර නො වූවද, ඔහු මිය යන තෙක්ම ඒ ආශාව ඉටු කර ගැනීමට නොහැකීවීම පිළිබඳව අද  මා තුළ කිසියම් තැවුලක් ඇත්තේ එදා මා  තුළ තිබූ මගේම කම්මැලිකම ගැනය.

ඒ මිහිර මතකය ඔස්සේ මා මනස ඔහු වෙනුවෙන් අවදි කරමි. මර්වින් අයියා ගයා ඇත්තේ ගීත සියයකටත් අඩු ගණනකි. එහෙත් ඒ සියළුම ගීත එක සේ ජනප්‍රිය වූ  ඒවා ය. මේ ගී වලින් වැඩි කොටසක් ප්‍රේමකීර්ති ගේ පදමාලා වූ අතර ම ඉතිරි කොටස  කේ.ඩී.කේ.ධර්මවර්ධන, උපාලි ධනවලවිතාන කුමාරදාස සපුතන්ත්‍රී සහ මහාචාර්ය සුනිල් ආරියරත්න යන ගේය පද රචකයන් අතර බෙදී ගොස්  තිබුණි.

මර්වින්  ගැයූ ගීත අතර " මේ නගරය " ගිතයට හිමිවන්නේ විශේෂ තැනකි. ප්‍රේමයේ සදාතනික සත්‍ය මෙන් ම යථාර්ථය ද මේ ගීයෙන් ඔහු විසින් පසක් කර ඇත. සරසවි බිමේදීත්, ඉන් පිටත ලෝකයේදීත්, යොවුන් ප්‍රේමයේ බිඳුණු, ඉරි තැළුණු,  රිදුම් දුන් හදවත් ‍අද දක්වා සනසාලන  මේ ගී ය සිංහල ගීත සාහිත්‍යයේ අතිශය රම්‍ය වු නිමැවුමකි. එය යෞවනයේ සදාතනික ප්‍රේම ගීතය බවට පත්ව තිබේ. ඔහු  සිය සංගීත ආභාෂය ලැබූ කුඩා පයාගල කිතුනු දේවස්ථානයේ ගැයුණු පසන් ගීතයක සෙවනැල්ල " මේ නගරය" ගීතයේ  තනුවට සඳහා යොදා ගෙන  ඇත. ගීතය ආරම්භයේදීම "ඇඩ්ලීබ්"  එකක් විදියට යොදා ගෙන ඇති ඉතා කෙටි  සැක්සෆෝන්       ( Saxophone)වාද්‍ය ඛණ්ඩය ගීතයට ශෝකයක් උපදවා දීමට ගීතය ආරම්භයේදී ම සමත් වේ.

පල්ලියේ ගීතිකා කණ්ඩායම්වලින් ලද බටහිර සංගීතයේ ආභාෂයත්, රාගධාරී සංගීතයද, උත්තර භාරතීය සංගීතයද, ශාස්ත්‍රීය සංගීතයෙන්ද ලද ආභාෂද  විවිධාකාරයේ හැඩතල වලට හසුකර ගනිමින්  එකම ගීයක් තුළ වෙනස් ම ආකාරයට  භාවිතා කර ඇත. ඒ නිසා  එක ම ගීතය තුළ සංගීත සම්ප්‍රදායයන් කීපයක් යොදා ගැනීමට තරම්  ඔහු අති දක්ෂයෙකු විය.
ඒ අතර ඔහු විසින් ම තනුව සහ සංගීතය නිර්මාණය කර ගෙන ගැයූ මේ ගීත නැවත අසා බැලීමට මම ඔබට ඇරයුම් කරමි. ඔබ දේදුන්න ආකාසයේ, කතරක තනි වී, සඳ මිදුලට එනවා, රන් මීවිත පුරවා, එක මොහොතක් ඔබ සෙවනේ,  ආදරේ රන් බිඟුන්, නිලුපුල් යුවලේ, දෙදෙනා පෙරදා, එක් දිනක් සැන්දෑවක, ජීවිතයම මහ පාලුගෙයක්, සහ දියලුම දිය රැළි, ආදී ගීත ඔහුගේ සංගීතමය හැකියාවත්, දක්ෂතාවයත්, ඔහු තුළ තිබූ සංගීතමය පරිණතභාවයටත්  නිදසුනකි.
 
මර්වින්ගේ ගී තනු නිර්මාණ සියල්ල  මනෝරම්‍ය වූ ස්වර රටාවලින්ද, (Chord Work ) ස්වර සංයාත (Chords) ස්වර සුසංවාද ( Harmony) වලින්ද පිරී තිබේ. බටහිර සංගීතයේ ශිල්පීය ක්‍රම මෙන්ම, කිතුනු දේවස්ථානවල ගැයුනු ගීතිකා, කැරොල්, පසන් සහ කන්තාරු ආදී  ගීත  ශෛලීන් ඔස්සේ ඔහු ලද ආභාෂය සිය නිර්මාණ සඳහා දායක කර ගෙන තිබුණි. පෙර අපර දෙ දිග සංගීත සම්මිශ්‍රණ ඒ නිර්මාණ තුළ බහුල වශයෙන් දක්නට ලැබුණි. ඒ නිසාම ඒ ගීත අපට ඇසුණු සෙසු ගීත වලින් වෙනස් වී වෙනස්ම ආකාරයකට අපේ මනස තුළ නින්නාද දෙන්නට  විය. බොහෝ ආධුනික ගායකයින් ‍මර්වින් ගේ ගීත ගායනා කිරීමට ගොස් අනාථයින් බවට පත්වන්නේ මේ ගී වල සහ ගායනයේ තිබෙන ස්වර හැසිරවීම සහ ස්වර රටා පිළිබඳ අවබෝධය නොමැති නිසාය.

වෙනත් සංගීත අධ්‍යක්ෂවරුන් ඔහු වෙනුවෙන් තැනූ  තනු නිර්මාණ තුළද ඔහුගේ ගායන පෞරුෂය සහ විශිෂ්ඨභාවය කැපී පෙනෙයි. පුණ්‍යසිරි මහවත්ත තනු නිර්මාණය කළ  මා සනසා, ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ, සයුරේ ගැඹරේ, වැනි ගීතද, ප්‍රියා සූරියසේන නිර්මාණය කළ නිමා නොවන පෙම් හැඟුම්, සදා මතකයේ රැඳුණු ගීත අතර වේ.

මර්වින් මෙරට වෙනත් ශිල්පීන්ට ගී තනු  (Melodies ) හැදුවේ අතලොස්සකි. එයින් වික්ටර් රත්නායක සහ විශාරද නන්දා මාලනී විපුල ඵළ නෙළා ගත් අය අතර වෙති. ඒ අතර වික්ටර් ගැයූ "පාවේ වලා"  මෙන්ම ‍" සෝක සැනසුම් වේදනා" ගිතයද  මිල්ටන් මල්ලවආරච්චි ගැයූ ලොව සැතපෙන යාමේ, මා නෙත් කැදැල්ලේ ආදී ගීත සුවිසෙස් නිර්මාණ වෙයි. මෙයින් මර්වින් පෙරේරා ගේ ගී තනු වැඩියෙන්ම ගැයූවේ නන්දා මාලනිය යි. ඇය ගැයූ ගීත අතර ලොවම එපාවී, ඔබේ පැල පැලේ පිළ, මේ සිර මැදුරෙන්, බුදුනේ ජේසුනී, දෙනුවන් වැසූ රාත්‍රියේ,  දෙවියන් විසින් දුන් පඬුරක්, කොතැනක හෝ පිපිලා, මේ මල්උයනේ, නිලම්බරේ, වැලන්ටයින්, පිං මද පුතුනේ සහ අයන්න කියන්න ආදී තවත් ගීත රැසකි.
මගේ මතකයේ හැටියට ඔහු අවසන් වරට ගීයක් නිර්මාණය කළ යොවුන් පරපුරේ එකම ගායන ශිල්පියා වූයේ රොහාන් ශාන්ත බුලේගොඩ පමණි. ඒ ඔහු ගැයූ යාත්‍රාව පැමිණ තිබේ ගීතයයි.

නන්දා මාලිනිය ගැයූ මේ ගීයෙන්  සටහන අවසන් කරන්නට සිතමි. ඇය ගැයූ ගීත අතර මර්වින් හැදූ "හන්තාන අඩවියේ " ගීතය මෙහිදී සදහන් කරමි. ඔව්, අසන්න මේ ගීතය ඔබ ආයෙත්, ඉතාම කෙටි ආරම්භක සංගීතයකින් ( Introduction music) පටන් ගන්නා මේ ගිතය තුළ ඈතට විහිදෙන ස්වර සංගති (Music Chords) රැසකින් සමන්විතය. තනුව ඇතුළත විහිදුවන බටනළා නාදයත්, එහි මවන කුරුලු නාදයත් ගීතය තුළ මුදු හා සියුම් පාලුවක් මැවෙන්නට ඔහු ඉඩ හරී. අන්තරා කොටසේ තැනක සංගීතය නතරවී හඬට තැන දෙයි. " ප්‍රේමයේ සුවඳ නොවේ" යන්න තීව්‍ර කිරීම පිණිස පිරිමි සමූහ ගායනයක් එක් කරයි. ඒ පිරිමි සමූහ ගායනය මතු වන්නේ ගීතයේ කූට ප්‍රාප්තිය ( Climax) කෙරෙහිය'මර්වින් පෙරේරා නම් වූ මධුර ගී තනු නිර්මාණකරුවා සරසවිය සහ එහි යෞවන යෞවනියන්ගේ හදේ නැගෙන විරෝධාකල්පය සිය නිර්මාණය තුළින් ඔහු දුටු අයුරු  එහි සඟවා තිබේ.

 තිස් පස් වසරක සෞන්දර්යය නවාතැන්පොළෙන් ඔහු නික්ම ගොස් දෙසැම්බර් 07 ට වසර ( 03 ) තුනකි ඔහුගේ ගායනය මාධුර්යය මෙන්ම, ඔහු මැවූ මිහිරි තනු නිර්මාණද, අතිශය දුර්ලභ ය, රමණිය ය. ඒ හ‍‍‍ඬෙහි මුසු ව තිබූ ප්‍රේමය, මධුර ය, මිහිරි ය,හදේ නැඟි තැවුල්, සන්තාප නිවන සුළු ය. ඒ මිහිරිතම ප්‍රේම ගීත සියල්ල ඔහුට ආවේණික වූ ඔහුගේම  මධුරතර තනු නිර්මාණයෙන් ද, සංගීතයෙන් ද සුපුෂ්පිතව තිබුණි. සියල්ලන්ගේ මතකයෙන් ඔහු බැහැරව ගොස් ඇතත්,ඒ සුපසන් ගීතවල  සදාකාලික මධුර බවත්. ප්‍රේමයේ කටුක බවත්, අත් විඳි බොහෝ දෙනා වෙති. ඒ මධුර හඬ තවත් සියවස් ගණනාවක් රසික මනසේ නින්නාද දෙනු ඇත.

“ වැව් ඉවුරේ දිය රළ පෙර සේ ම බි‍ඳෙනවා
  නුග ගස් පෙළ අප නැතුවත් තව දලු ලනවා
  සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙවා
 ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා”.......................!

...... මර්වින් පෙරේරා වෙනුවෙන් සහෘදයකු හැඬ වූ වයලීනය මෙහි දෙවන කොටසින්....

මර්වින් පෙරේරා ගැයූ ගී පිලිබඳව  ඔබේ අදහස් මෙහි ලියා යන්න.
                     

Friday, 4 November 2011

මගේ අස්වැන්න ඔබටත්....

මේතෙක් කල් මා වැපිරූ මගේ අස්වැන්න දැන් කරලින් බර වී ඇත. එය බෙදා හදා ගැනීමට මේ කමතටත් ඇවිත් යන්න නොවරදවාම.....
Related Posts Plugin for WordPress, Blogger...