එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Saturday, 17 December 2011

ඔබ දේදුන්න ආකාසයේ ( දෙවන සටහන) සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදී.........

 
යලීනය මිනිස් හඬට බෙහෙවින්ම සමීප වාද්‍ය භාණ්ඩයක්. යමෙකුට එය වාදනය කරන්න තමා ඉගනගත්ත හැකියාවට අමතරව ජානමය හැකියාවකුත් තිබිය යුතුය කියල මට හිතෙන්නෙ වයලීනය වයන ශිල්පියෙකු හෝ ශිල්පිණියක දුටුවාමයි. එවැනි වාදනයකදී වයලීනයට ධ්‍යානගතව සමවැදී, මුලු සර්වාංගයම සසල කරවමින් නරඹන්නා අමන්දානන්දයට පත් කරන්න යමෙකුට පුළුවන් නම් ඒ වාද්‍ය ශිල්පියාගේ ජානමය සම්බන්ධතාවලින් ගොඩනැගුණු තියුණු හැකියාවක්.

  කිසිදාක මේ සටහනත් අමත නොවන මගේ මතක සැමරුමක්. මර්වින් පෙරේරා ගායන ශිල්පියාගේ වියෝව දැඩිව දැනුණු අය අතර  ඔහුගේ රසිකයන් වගේම සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ අයත් හිටියා. ඒ එක සහෘදයකු ගැන අද ලියන්න හිතුණා. හරියටම මර්වින්ගේ වියෝවෙන් සතියකට පස්සෙ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ අපූරු සංගීත සැඳෑවක් තිබුණි. මේ සංගීත සැඳෑව සැළසුම් කළේ  රෝහණ ධර්මකීර්ති.   ඔහු   මෙය නම් කර තිබුණේ " වයලීන මැවූ හීන " නමින්.  රෝහණ ලංකාවෙ අද අපට සිටින දක්ෂතම වයලීන වාද්‍ය ශිල්පීන් අතරින් කෙනෙක්. ඒ වගේම රෝහණ මධුර ගී තනු නිර්මාණකරුවකු වගේම, දක්ෂ සංගීත අධ්‍යක්ෂක වරයෙක්, රෝහණගෙ නිර්මාණ කීපයක් මතක් කරලම මේ කතාව පටන් ගැනීම හොඳයි කියලා හිතෙනවා. රෝහණගෙ සංගීත නිර්මාණ  අතර එඩ්වඩ් / නතාෂා ගැයූ සුළඟක් වී මං යනවා, දිවුල්ගනේ ගැයූ අන්දර යායේ, කසුන් කල්හාරගෙ මදකට හෝ නුඹ ඇවිත් යන්න, නෙලූ අධිකාරිගේ හන්තානේ කඳු මුදුන වගෙයි ඔබ, ප්‍රියාල් අමරසිංහ ගැයූ නටුවෙන් ගිලිහුණ පින්න මලක්  වැනි මධුර ගී තනු නිර්මාණ රැසක් තියනවා.

රෝහණ වාද්‍ය ශිල්පියෙක්  වගේම ගායනයටත් සැබෑ දක්ෂයෙක්, ඉතාම විරල ගණයේ රසවතෙක්, මිතුරන් අතර අසමාන මිතුරෙක්. රෝහණ නියෝජනය කළ සංගීත කණ්ඩායම අනෙක් සංගීත කණ්ඩායම් වලින් වෙනස්  වුණේ රෝහණගෙ වයලීනය සංගීත සංදර්ශන වේදිකාවට පැමිණීමත් සමගයි. ප්‍රසංග වේදිකාවෙ රෝහණ රිදම් ගිටාරයේ නිත්‍ය වාද්‍ය ශිල්පියා වුවත්,  රිදම් ගිටාරයෙන් වගේම වයලීනයෙනුත් ප්‍රසංග වේදිකාවෙ ලොකු වෙනසක් කළා. අති විශාල නරඹන්නන් රැසක් එකතුවී සිටින එළිමහන් සංගීත ප්‍රසංගය විද්‍යුත් සංගීත භාණ්ඩවලින් ගිගුම් දෙන විට රෝහණ තම සුරතෙහි වූ වයලීනය හඬවන්නෙ  නටන්න රැස්ව සිටි රසිකයින් සමෝධානයට පත් කරමින්.

‍රෝහණගෙ මේ වයලීන මැවූ හීන” ප්‍රසංගය ඉතා සුවිශේෂ ප්‍රසංගයක්. කොළඹ අවට රඟහලක් අතුරු සිදුරු නැතිව පිරෙන්නෙ කළාතුරකින්. ආරාධනා පත්‍රවලට පමණක් සීමා වන  මෙවැනි ප්‍රසංග බලන්න  වැඩි රසික පිරිසක් පැමිණීම  විශේෂ සිද්ධියක්. එදා මම රඟහලට ගියේ වෙනදාටත් වඩා පැය දෙකකට කලින්. ඒ රෝහණගෙත් මගෙත් මිත්‍ර සමාගම වෙනුවෙන්. කොහොම වුණත් එදා හවස 6.30 වන විට  රඟහල අතුරු සිදුරු නැතිව පිරී තිබුණා. රෝහණට ආදරය කළ, ඔහුගේ වයලීනයට ආදරය කළ බොහෝ කලාකරුවන් වගේම රසික ජන පර්ශද එහි පැමිණ අසුන්ගෙන සිටියා. තුන්වැනි සීනුවේ නාදයත් සමග සවස 6.30 ට එල්ෆින්ස්ටන් රඟහලම අඳුරුවී  වේදිකාවේ වූ නිල්පැහැති අඳුරු ආලෝකයට ඉඩදී තිරකඩ සෙමින් විවිර විය. රෝහණගේ අපැහැදිළි ඡායාව එහි විය.  
 
හඬන්නට ළංව සිටින පෙම්වතිය සිය පෙම්වතාගේ උරහිස හිස හොවා සිටින්නාක් මෙන් වයලීනය ඔහු සුරත විය . තම උරහිසෙහි හිස හොවා හඬා වැටෙන්නට ආසන්නව සිටි වයලීනය නම් වූ ප්‍රියාවිය  සිය පෙම්බරා විසින් ආත්ම ගණනක සංසාර ගත ප්‍රේමය මුදා හරින්නට සූදානම් වන සෙයක් ඉදිරිපස හුන් අපට දැනුණි . වේදිකාව මැද සිටගෙන සිටි රෝහණගේ අතැගිලි දහයට සිර වී සිටි වයලීනය නම් වූ ප්‍රියම්බිකාව කෙරෙහි ඔහුගේ නෙත යාමුවී භාවනාවට මෙන් ධ්‍යාන ගතව තිබුණි.

ඊට සතියකට පෙර මියගිය සිය ආදරණීය මිත්‍රයා, ප්‍රවීන වයලීන වාද්‍ය ශිල්පියා වූ මර්වින් පෙර්රා නම් වූ සංගීත සගයා වෙනුවෙන් ඔහු සිය නාද මාධූර්යය වයලීනය ඔස්සේ මුදා හැරියේය. ඒ එදා මර්වින් ගැයූ  " මා සනසා මා නළවා" ගීතයයි. ගයන්නට ඔහු නැත. ඔහුගේ අති මධුර ඒ ගායනය නැවතුන තැන සිට, රුධිරයට පමණක් නොව ඇටමිදුලු ඔස්සේද තැන්පත් වී තිබූ අප්‍රමාණ වූ හැඟීම් රෝහණ සිය වයලීනය ඔස්සේ සිය ආත්මය තුළ වූ සියුම් සංවේදීත්වය මෙන්ම වේදනාවද මුදා හැරියේය. 

අල්පැනිත්තක් පවා බිම වැටෙන විට ඇසන්නට තරම් නිශ්චලත්වයක ගිලී සිටි රසික සහෘද පර්ශද ඇසෙහි කඳුළක් නංවන්නට මේ වයලීනය එදා සමත් විය. එදා රෝහණ ගී මර්වින්ගේ ඒ අනුවාදන නිමා කරන විට විනාඩි කීපයක් ගත වන තුරු ඇද හැළුණු අත්පොලසන් නාදය මහා වර්ෂාවක් මෙන් ගිගුම් දෙන්නට විය. එදා රෝහණ වැයුවේ  ඒ ඊට සතියකට පෙර මියගිය ඔහු වෙනුවෙන් ම යැයි මට අද ද සිතේ. එදා වයලීනය හීන සිත්තම් කළේ ඒ අයුරිනි.
 
සටහන-
මේ වයලීන වාදනය පසුව අවස්ථා ගනනාවකදී ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූවද, එය අන්ර්ජාලයෙන් සොයාගැනීමට උත්සාහ කළත් එය හමුවුනේ නම් නැහැ. ඒ වෙනුවට මර්වින් ගැයූ ඔහුගේම මේ ගීතය රසවිඳින්න ඔබට ඇරයුම් කරමි. එවිට එදා  ඔහු ගායනය නතර කළ තැනින් සංගීතය ඇරඹෙන හැටි ඔබටත් දැනේවි.
                                       
                       



9 comments:

  1. මම වයලීන වාදනය පටන් ගත්තේ, හය පන්තියේ අන්තිව අවුරුද්දෙදි විතර. මට වයලීනය අරන් දුන්නෙ සීයා....ඒ මගෙ පලවෙනි වයලීනය.
    ඒ වයලීනය කැඩි කැඩි හදා ගත්ත තවම මට මතකයි.ඒ අතර මට හමුවුනු අමතක නොවන පුද්ගලයෙක් ,මට දෙවෙනි වයලීනය අරන් දුන්නා.ඒත් පලවෙනි වයලීනය තවමත් මා ළඟ පරිස්සමින් තියෙනවා.

    .ඒ වුනාට අපෙ අම්ම නම් ,මම වයලීනය ගහන වෙලාවට කියන්නේ. “ළමයෝ මොකක් ද ඔය කංකරච්චලේ “ කියලා.
    තාත්ත හිටපු කාලේ තාත්ත කීවේ. “ පුතේ අන්න ලොකු පුතාගේ වයලීන් එක මීයෝ කනව ද කොහෙද “ කියලා.
    මයෙ සීයා කලායතනයක් කරා.සීයා තමයි පලවෙනි වයලීනය මට අරන් දීලා,ඒක වයන්න පුරුදු කලේ. දැන් සීයා නැහැ. මැරිලා. දෙවෙනි වයලීනය අරන් දුන්නෙ කවුද කියල අයිය දන්නව ද? මම අයියට කියල ඇති නේ එයා ගැන. ඔවු ..මගෙ පලවෙනි ආදරය තමයි දෙවෙනි වයලීනය මට අරන් දුන්නේ.... මගේ මතකය අලුත් කලාට ස්තූතියි අයියේ.

    අයිය අහල තියෙද අර පිටරට සංගීත ශිල්පියෙක් වෙන Yani ගෙ සංගීත සංධ්වනි.... හරිම ලස්සනයි ඒවත්...

    ReplyDelete
  2. කකුල් දෙකට සංගීතය ඉල්ලපු මිනිස්සු පහු ගිය කාලේ බහුලව හිටියට දැන් දැන් මිනිස්සු ආයි හදවතට සව්ගීතය ඉල්ලන්න පටන් අරං කියල මට හිතෙනවා!

    ReplyDelete
  3. සටහන් තබා ගිය ඔබටයි..
    01. සොඳුරු සිතට.
    වයලීනය වයන්න පුලුවන් කියලා සටහන් කරලා තිබීමම සතුටට කාරණයක්. අනික අම්මා තාත්තා එහෙම කිව්වට දරුවන්ගේ හැකියාවන් දැකලා ඔවුන් සතුටට පත් වෙනවා.තෑග්ග දුන් කෙනා ප්‍රථම ප්‍රේමය වුවත් නියම රසවන්තයෙක්.

    ඊළඟ කරුණ " යානි"ගෙ නිර්මාණ රැසක් මා සතුව තියනවා. යානි අයිති ඔහු උපන් රටට පමණක් නොවේ ලෝකයටමයි.එයගෙ සංගීත භාවිතය ඉගන ගන්න ලේසි නැහැ. අපි ඉන්නෙ හරිම පටු දූපත් මානසිකත්වයක.මේ කොදෙව්ව තුළ යානි ගැන උගන්වන්න තව පරම්පරා හතරක්, පහක්වත් අපි ඉදිරියෙන් සිටිය යුතුයි. මෙහි පැමිණ සටහනක් තබා ගියාට ස්තූතියි.

    2.සබිත් ට..
    කකුල් දෙකට සංගීතය ඉල්ලන කොට එළිමහන් ප්‍රසංගයකදී වුවත් හදවතටම සංගීතය දෙන්න යමෙකුට පුළුවන් නම් ඒක අපේ වාසනාවක්. ස්තුතියි ඔබටත් සටහනක් තැබුවාට..

    3. ප්‍රියාන්ට
    ඔබේ එකම වචනය මට හරිම අගෙයි.ස්තුතියි ඔබටත් සටහනක් තැබුවාට..

    ReplyDelete
  4. සංගීතය අප දැහැන් ගත කරවයි. ඒ අතරින් වයලීන වාදනය සුවිශේෂයි කියල මමත් හිතනවා. ඔබේ සටහනෙන් මම රෝහනගේ වාදනය සිතින් විඳ ගතිමි. ස්තුතියි.
    මැණික්

    ReplyDelete
  5. රෝහණව මට මුලින්ම හමුවුනේ අපේ office එකේ තිබ්බ සේවක සංග්‍රහය පටිගත කරන දවසෙයි... ඒ මට මතක හැටියට 1997 විතර. ඒ වෙනකොටත් රෝහණගේ නිර්මාණ රසවිඳ තිබුනත්, වැඩිපුර උනන්දු වුනේ ඊට පස්සේ තමයි.. ඔහුගේ නිර්මාණ වගේම හදවතත් හරිම සුන්දරයි.. හොඳ මික්‍රශීලී කෙනෙක්.. ටික කාලයක් හොඳ ඇසුරක් තිබුනත් අවාසනාවට ඒ සම්බන්ධකම් මග ඇරුණා.. ඒත් ඔහුගේ නිර්මාණ නම් මග ඇරුනෙ නෑ..

    අස්වැන්නේ ඉදිරිපත් කිරීම නම් හරිම අපූරුයි.. වාදනය නොඅසාම රසවිඳිය හැකියි..

    ReplyDelete
  6. මේ ලිපිය කියෙව්වම මටත් වයලීන් ප්‍රසංගයක් බලන්න යන්න ආස හිතුනා. මම විශ්ව විද්‍යාලයේ ඉන්නකොට නම් සංගීත ප්‍රසංග අතෑරලා නෑ. ඒත් දැන් කොහෙද එහෙම වාසනාවක්.

    ReplyDelete
  7. 4.මැණික්ට
    ඔබ තැබූ සටහන අගෙයි.ස්තුතියි.

    5.උපේන්ද්‍රට
    රෝහණගෙ සිහිගැන්වීම පිළිබඳව ස්තුතිය.

    6.මධුරංග ට
    තබාගිය සටහනට ස්තූතිය. කොළඹ කලා වැඩක් තියන ‍වෙලාවක හමුවෙමු. කලාවට ලැදි සහෘදයෙක් හමුවීමත් සතුටක්.

    ReplyDelete
  8. වයලිනය ගැනත් මර්වින් ගොඩක් දැන ගත්ත කියවත්දි මට මැවිල පෙනුනේ සිරස සුපර් ස්ටාර් 1 සංගීත කණ්ඩායමේ වයලිනය වයපු ගැණු ළමයව

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...