එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...
Showing posts with label ඇස ගිය සොඳුරු දසුන්. Show all posts
Showing posts with label ඇස ගිය සොඳුරු දසුන්. Show all posts

Friday, 31 January 2014

෴ දකින දේ සහ සිතන දේ අතර වෙනස ෴





කලාව යනු අදෘශ්‍යමාන දෘෂ්ඨියකි. සුවඳ අපට දැනේ එහෙත් නොපෙනේ. එහෙත් විඳගත හැකිය. සුළඟ අපට නොපෙනේ එහෙත් දැනේ. සුළං හමන දිශාව හඳුනාගත හැකිය. සුළගේ වේගය මැනගත හැකිය. එහෙයින් ඒ සුළඟ කවර වේගයකින් කුමන දිශාවකට හැමුවේද යන්න පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹිය හැකිය.  විටෙක මන්ද මාරුතයක්ව හමන ඒ සුළඟම තවත් විටෙක චණ්ඩය, රළුය. කලාවද එසේ මය. එකම කලා කෘතියක් වුවද එකිනෙකා ඒ පිළිබඳව දකින විඳන ආකාරය අනුව එකිනෙකට වෙනස් ය. අපි ඒ කෘතිය ගැන හිතන  ප්‍රමාණය අනුව එහි අරුත වටහා ගනී. එවන් කලා කෘතීහු අනෙක් කෘතීන්ගෙන් වෙනස් වන්නේ ඒ නිසාය.

අද මේ සටහනට පූර්විකාව වන්නේ එවන් නිර්මාණයකි. ලංකාවේ පොත් ප්‍රකාශන, කවර නිර්මාණ බැනර් කටවුට්  නිර්මාණ පරිගණකය ඇසුරින් නිර්මාණය වූ ඩිජිටල් තාක්ෂණයට පිවිසෙන්නට පෙර ඒවා නිර්මාණය වූයේ චිත්‍ර ශිල්පීන්ගේ තෙළිතුඩිනි. අකුරු වචන ගලපා කලාත්මක අදහසක් ප්‍රකාශ කළා නම් ඒ ඔවුන්ගේ හද උපන් ගැඹුරුම ආශ්වාදය වචනවලට පෙරලීමකි. ඒ නිසා ඒවා සියල්ල එකල නිර්මාණාත්මක බවින් පිරී තිබුණි. ඇතැම් චිත්‍ර ශිල්පීන්ගේ අත් අකුරු දුටු පමණින් ඒ කිනම් සිත්තරෙකුගේ නිර්මාණයක්දැයි කියන්නට තරම් අවබෝධයක් සහ දැනුමක් එදවස රසිකයන්ට තිබුණි. 

80 දශකයේ නිර්මාණය වූ කැසට් කවර, පොත්පත්වල කවර, චිත්‍රකතා පත්තර ඒවන් සොඳුරුතම මතකයන් නිබඳ ලැගුම් ගන්නා නිර්මාණයන් ය. අදටත් එවැනි නිර්මාණ බිහිවුවද තරඟකාරී කලාව හමුවේ ඒවා සැනෙකින් මතුව සැණෙකින් සැඟව යන්නේය. රසිකයන්ට ඒ ගැන හිතන්නටවත් තරම් කාලයක් ඒ සඳහා නොලැබේ.. එදවස විත්‍රකතා නිර්මාණ කළ  බන්ධුල හරිස්චන්ද්‍ර, දයා රාජපක්ෂ, කැමිලස් පෙරේරා වැනි අයගේ චිත්‍රකතා කලාව අදටත් රසිකයන්ට මතකය. ප්‍රේම් දිසානායක, සිසිර විජේතුංග, වැනි නිර්මාණශීලි කලාකරුවන් අතින් කැසට් කවර සඳහා ඇඳි  අකුරු අදටත් මතකය. රැලෙක්ස් රණසිංහ, විල්සන් හෑගොඩගේ ඡායාරූප අදටත් මතකය. ඉන්ද්‍රනාථ තේනුවර, පියරත්න හේවා බටගේ, දීග සෝමපාල වැනි වැනි කලාකරුවන් පොත්වලට කළ කවර නිර්මාණ අදටත් සුවිශේෂ වන්නේ ඒ නිසාය.

අද අස්වැන්න සරසා ඇති චිත්‍ර ‍එවැනි කදිම නිර්මාණශීලි සිත්තරෙකු පිළිබඳ මතකයකි. ඒ චිත්‍ර  දීග සෝමපාල කලාකරුවා විසින් 90 දශකයේ  පොතක පිටකවරයක් සඳහා අදින ලද සිතුවමකි. මේ පොතට කවර දෙකකි පිට නවර නිර්මාණය වී ඇත්තේ පළමු පිංතූරයෙනි එ් කවරයේ මතුපිට ජනෙල් කවුලුවකි. ඇතුළු කවරය පහත දැක්වේ.


එම සිතුවමට පාදක වන්නේ ජනේලයකින් පෙනෙන කාන්තාවකගේ උඩුකය අර්ධ නිරුවත් සිතුවමකි. කාන්තා නග්න සිරුරක් දුටු පමණින් සරාගී හැඟීම් අවදි වන අතරම ජනෙල් කවුලුවෙන් දුටු  දේ ඇතුලට ගොස්  බලන්නට කෙනෙකුට නොසිතේද? සැබැවින්ම  එහි ඇතුළට ගොස් බැලුව හොත් පෙනෙන්නේ කුමක්ද? ඇස සියුම් රාගයන් ඔස්සේ ඇස පිනවූ ඉදුරන්ම ජනේලයෙන් පිට සිට දුටු දේට ඉදුරා වෙනස් වූ රුවක් ඇතුළත දිස් වේ. මුලින් කවුලුවෙන් ඇස ගැසුණු රූපයට කුමක් වීද? එය සැණෙකින් අප වෙතින් පළා ගොසිනි. සියළුම කලාවන් එසේමය. දකින දේ සහ විඳන දේ සියුම් ලෙස වෙනස් වන්නේ ඒ නිසා ය.

ඒ අයුරින් යම් නිර්මාණයකින් දැනෙන හැඟවෙන දේ එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ය. ඒ අපි එක් එක් ආකාරයෙන් එවන් කෘති දෙස අපට අවේනික දෘෂ්ඨියෙන් බැලිමට පුරුදුව සිටින නිසාය.

තරමක් වෙනස් ආකාරයට මේ කතාවට මුල පිරවේ ඒ නිසා. අද අස්වැන්න මම සටහන් කළේ 99 වන වතාවට. ඊළඟට අපි අස්වැන්නෙන් හමුවෙන්නෙ 100 න්. ඒ නිසා අස්වැන්න 100 හමුවිම තරමක් වෙනස් ආකාරයෙන් සටහන් කරන්න  හිතුණා. ඒ කියන්නෙ “අස්වැන්න 100 ඔබේ ඇසින්” ලියන්න කල්පනා කළා.  ඒ නිසා 99 වතාවක් අස්වැන්නෙන් මම ලියපු දේ ගැන ඔබේ අදහස් දැනගන්න  කැමතියි. ඔබ කැමති ආකාරයකට ඔබට හිතෙන ආකාරයට ඔබේ නිදහස් අදහස් කෙටියෙන් ලියා එවන්න කියා මම ඔබට ඇරයුම් කරනවා.

අද මේ සටහන වෙනුවෙන් කමෙන්ටුවක් ලියනවාට වඩා ඔබේ ඒ කාලය වැයකර ඒ කෙටි අදහස සිංහලෙන් හෝ ඉංග්‍රිසියෙන් කැමති ආකාරයට  දින කිපයක් ඇතුළත ඔබේ නම සහ බ්ලොග් අඩවියක් ඇත්නම් එහි නමත් එක්කම ලියා එවන්න. මෙන්න ඊමේල් ලිපිනය

                             dayanandarathnayake@gmail.com

එසේත් නැත්නම් facebook සමාජ ජාලය භාවිතා කරන ඔබ, ඔබේ අදහස පණිවුඩයක් එලස එහි සටහන් කරන්න. හමුවෙමු අපි අස්වැන්න සියයෙන්෴



Friday, 9 August 2013

෴ මගේ පැන්සල ෴





            විශිෂ්ටයන්ගේ රූ පෙළක් පැන්සල් තුඩින්.....


අස්වැන්න කවිය, ගීතය, සිනමාව, සහ සංගීතය සම්බන්ධයෙන් සටහන් වුවත්, චිත්‍ර කලාව, ඡායාරුප ශිල්පය පිළිබඳවත් කැමැත්තක් දක්වන ක්ෂේත්‍රයන්. ඒ විෂය ක්ෂේත්‍ර ගැන ගැඹුරින් ලියන්න තරම් විෂය දැනුමක් නැති නිසා ඒ ගැන  මා අතින් ලියවෙන්නෙ නැති තරම්. ඒත් චිත්‍ර කලාව, ඡායාරූප ශිල්පය වැනි ක්ෂේත්‍ර පිළිබඳවත් යමක් ඉඳහිට හෝ සටහන් කරන්න ඉඩක් ලැබෙන මොහොතක ඒ වෙනුවෙන් සටහනක් ලියන්න පසුබට වෙන්නෙ නෑ. ඒ නිසා චිත්‍ර කලාව පිළිබඳ පුංචි සටහනක් තියන්න අවස්ථාවක් ලැබිල තියෙනවා. ඒ නිසා මම කල්පනා කළා ඒ ගැන සටහනක් තියන්න.  ඉදිරියේදී පැවැත්විමට නියමිත සුවිශේෂ කලාකරුවකු චිත්‍ර ශිල්පියකුගේ චිත්‍ර ප්‍රදර්ශනයක්  පිළිබඳව සටහනකි මේ. 

සමාජ ජාලයක් ලෙස Face book භාවිතා කරන හිතමිතුරු බොහෝ පිරිසක්  නිරන්තරයෙන් දකින, Face book ජාලයේ හුවමාරුවන මේ කලාකරුවා විසින්  අඳින ලද චිත්‍ර Face book භාවිතා කරන ඔබත්  අහම්බෙන් හෝ  දැකල ඇති.  චිත්‍ර ශිල්පියා නමින් වසන්ත සනත්. ඔහු සිය  අපූරු සිතුවම් එකතුවක් සමග “මගේ පැන්සල“ චිත්‍ර ප්‍රදර්ශනයට මේ වන විට සූදානම් වෙමින් ඉන්නවා. 

වසන්ත සනත්
නුගේගොඩ, ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගනුම ලැබූ අවදියේ සිටිම සජීවි මානව රූප ස්වභාවයන් සහ සමාජ පරිසරයේ නෙක සොබාවන් චිත්‍රයට නැගීමේදී විශිෂ්ඨ නිර්මාණාත්මක ප්‍රභාවක් පෙන්වූ  වසන්ත සනත් පාසල් කාලයේ පටන්ම විවිධ අවස්ථාවන්හිදී ජයග්‍රහණ රැසක් හිමිකර ගත් චිත්‍ර ශිල්පියෙක්.

පාසල් සමයෙන් පසුව පුවත්පත් පිටු සැළසුම් ශිල්පියකු, වෙළඳ ප්‍රචාරණ චිත්‍ර සැළසුම්කරුවකු සහ ජීව සොබා චිත්‍ර ශිල්පියකු ලෙස කලා ක්ෂේත්‍රෙය්  වසර තිහක පමණ අත්දැකීම් සහ පළපුරුද්දක් ලබා ඇති වසන්ත සනත් චිත්‍ර ශිල්පයේ නිපුණයෙකි. ඔහු විසින් ඉදිරියේදී පැවැත්විමට නියමිත “මගේ පැන්සල“  චිත්‍ර ප්‍රදර්ශනය සෞන්දර්යාත්මක දිවියේ සිය අත්දැකීම් සිතුවමකට  මුසුවන දුලබ අවස්ථාවකි.

වසන්ත සනත් කලක සිට බොහෝ කලාකරුවන්ගේ උපන් දිනය හෝ ගුණ සමරු දිනයක් යෙදෙන අවස්ථාවක පැන්සලෙන් ඇඳි කලු සුදු සිතුවමක් ඒ කලාකරුවාගේ හෝ කලාකාරියගේ පිංතූරයක් Face book මගින් සමාජයට එකතු කළේ  විනෝදාංශයක් ලෙසිනි. ඒත්  ප්‍රදර්ශනයක් පැවැත්විමට තරම් උනන්දුවක් වසන්ත සනත් තුළ නොතිබුණි. වසන්ත විසින්  ඇඳ Face book වෙත යොමු කළ ඒ සිතුවම් දුටු ඇතැම් කලාකරුවෝ තමන්ගේ Face book ගිණුමේ ඡායාරූපය ලෙස වසන්තගේ  ඒ චිත්‍රයක් යොදා ගත්හ.  එසේ වුවත් වසන්ත සනත්ගේ මේ පැන්සල් චිත්‍ර කලාව දුටු කලා ක්ෂේත්‍රෙය් විවිධ ඉසව් නියෝජනය කරන සහෘද පිරිසක් ප්‍රදර්ශනයක් පැවැත්විම දක්වා ඔහු උනන්දු කළහ.

ඒ අනුව වසන්ත සනත්ගේ හස්තලේඛ චිත්‍ර ප්‍රදර්ශනය “මගේ පැන්සල“ අගෝස්තු මස 23, 24, සහ 25 වන දා කොළඹ 07, මහජන පුස්තකාල ප්‍රදර්ශනාගාරයේදී පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇති බව පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදි.


වසන්තගේ “මගේ පැන්සල“ චිත්‍ර  ප්‍රදර්ශනයට සමගාමිව ඔහු විසින් පැන්සලෙන් අඳි ලද චිත්‍ර රැගත්  “මගේ පැන්සල“ කෘතියද එදිනට දොරට වැඩිමට නියමිතය. කොළඹදී පැවැත්වෙන මෙම චිත්‍ර ප්‍රදර්ශනයෙන් පසුව මෙය කුරුණෑගල සහ මහනුවර නගරයේදීද පැවැත්විමට වසන්ත සනත්ගේ මිතුරු සංසදය සූදානමින් සිටී.

වසන්ත සනත්ගේ “මගේ පැන්සල“ ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනයට සහයෝගීතා දායකත්වය ලබාදෙන්නේ සංගිතවේදී ආචාර්ය දයාරත්න රණතුංග, ප්‍රේම් දිසානායක, ප්‍රවීණ ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවර, සිනමාවේදී සුනිල් අරුණ වීරසිරි, ප්‍රවීණ ශබ්ද පරිපාලක ලයනල් ගුණරත්න, ප්‍රවිණ ගුවන්විදුලි නිවේදක විපුල් ධර්මප්‍රිය ජයසේකර, මාධ්‍යව්දී යාපා බණ්ඩාර සෙනෙවිරත්න, ඩොනල්ඩ් මැක්ස්වත් සහ පූර්වාරාම මිතුරු සංසදය විසිනි.

ලංකාවේ ජනප්‍රිය සිනමා හා ටෙලිනාට්‍ය ශිල්පීන්, ගීතරචකයන්, සංගීතවේදීන් ගායක ගායිකාවන් සහ විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරන ජනමාධ්‍යව්දීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි සෞන්දර්යවාදී බොහෝ පිරිසක් පිරිවරා  අගෝස්තු මස 23, 24, සහ 25 වන දිනවල උදේ 9.00 සිය සවස 6.00 දක්වා   කොළඹ 07, මහජන පුස්තකාල ප්‍රදර්ශනාගාරයේදී පැවැත්වෙන “මගේ පැන්සල“ චිත්‍ර ප්‍රදර්ශනය දකින්නට, විඳින්නට කලාකාමි සියලු රසික රසිකාවියන්ට චිත්‍ර ශිල්පී වසන්ත සනත් ඇරැයුම් කර සිටී.

ඒ නිසා ඉඩක් ඇත්නම් ඔබත් එන්න, ඇවිත් ඔබම සියැසින්ම විඳ  දැක බලාගන්න වසන්ත සනත්ගේ “මගේ පැන්සල“ එය මගේ නොව ඔබේ පැන්සල බව ඔබටම වැටහේවි.

                  වසන්ත සනත්ගේ මගේ පැන්සල සිතුවම් කිපයක් මතු දැක්වේ. 










Saturday, 4 August 2012

෴ අනුරාලෝකය.... ෴




             චිත්‍රකතා කලාවේ ඇස රැඳුන මොහොතක්...

අස්වැන්න තුළින් හැමදාමත් කතාබහට ලක් වුණේ ගීතය, කවිය, සිනමාව, සාහිත්‍යය  වැනි කලාවේ සොඳුර  ඇස ගිය,  හිත ගිය තැන්වල  අත්විඳින ලද  සුන්දර තම අත්දැකීම්. ඒ නිසා ම අද මගේ සටහනට එකතු වෙන්නෙ මෙතෙක් කිසිවකු විසින් හෝ කතාබහට ලක් නො කල ක්ෂේත්‍රයක් වූ  ලංකාවේ චිත්‍රකතා කලාව පිළිබඳව ය.  චිත්‍ර කතා කලාව පිලිබඳව  මේ සටහන තැබීමට  විශේෂ හේතුවක් වුයේ මේ දිනවල  කොළඹ 07, ජාතික කලා භවනේ (ART GALLARY)  අපූර්ව සිත්තරකුගේ  අපූරු සිත්තම් පෙළක ඇස රැඳුන හෙයිනි.

මේ සිතුවම් දැක්ම නම් කර තිබෙන්නේ "අනුරාලෝකය" නමින්. ලංකාවේ චිත්‍රකතා ක්ෂේත්‍රයේ දැවැන්ත චරිතයක් වූ අනුර ශ්‍රීනාත් සිත්තරා විසින්  තිස්තුන්  වරසරක් පුරා සිය තෙළිතුඩින් මැවූ අපූර්ව සිතුවම් අවලෝකනයක් මේ සිතුවම් දැක්මට පාදක වී තිබුණි.
අනුරගේ තෙලිතුඩ මැවූ සිතුවමක්

සිත්තරකු ලෙසින් අනුර ශ්‍රීනාත් චිත්‍රකතා කලාවට පිවිසෙන්නේ 1970 දශකයේ අග භාගයේ දී ය. ඒ  චිත්‍රකතා පත්තරවල චිත්‍රකතා අඳින්නෙකු ලෙසිනි.  ඒ යුගය ලංකාවේ චිත්‍රකතා පත්තර කලාව සුවිශේෂ කලාංගයක් ලෙස මනාව වැඩෙමින් තිබූ යුගයකි. එහි 1980 – 90 දශකය  ලංකාවේ චිත්‍රකතා පාඨකයන්ගේ ස්වර්ණමය යුගයක් බඳු විය.

1980 - 90 දක්වා දස වසරක කාලය තුළ  බිහිවූ චිත්‍රකතා  පත්තර ආරම්භ වන්නේ ලේක් හවුස් ආයතනය ලංකාවේ පළමු වරට මුද්‍රණය කළ  සතුට චිත්‍රකතා පත්‍රයෙනි. අනතුරුව මධුර, චිත්‍රමිත්‍ර, සුහද, සිත්තර , සත්සිරි, දසුන, ආදි චිත්‍රකතා පත්තර පෙළක් මෙරට බිහිවිමත් සමගම චිත්‍රකතා පත්තර කලාව ලාංකීය පාඨකයන්ගේ වින්දනීය අත්දැකීම් නවමු ඉසව්වක් කරා යොමු කිරීමට සමත් විය.

ඒ වගේ ම මේ සියළු චිත්‍රකතා පත්තර වලට සිතුවම් ඇන්ද සිත්තරුන් අතර, බලංගොඩ සරත් මධු, වික්‍රම, කැමිලස් පෙරේරා. උදයකාන්ත වර්ණසුරිය (චිත්‍රපට අධ්‍යක්ෂ), බන්ධුල හරිශ්චන්ද්‍ර, දයා රාජපක්ෂ, සුමතිපාල - ජෝතිපාල, අනුර ශ්‍රී නාත්,  සුසිල් ප්‍රේමරත්න ( ගායන ශිල්පී), සහ ජැක්සන් ඇන්තනී (රංගන ශිල්පී, චිත්‍රපට අධ්‍යක්ෂ) ආදී නිර්මාණාත්මක සහ කලාත්මක ඇසක් තිබුණ කලාකාමී සිත්තරුන් පිරිසක් සිටියහ.   එ පමණක් නො ව ඔවුන් අත තිබූ මෙම චිත්‍රකතා කලාව රසවින්දනයේ අලුත් මාවතකට ප්‍රේක්ෂකයා කැඳවාගෙන යාමට මේ චිත්‍රකතා පත්තර සමත් විය.  ඒ චිත්‍රකතා සඳහා තේමාවන් වූයේ ද, ආදරය, ප්‍රේමය, විරහව, ත්‍රාසය, භීතිය, හාස්‍ය සහ වීරත්වයයි.

සිනමාව සේ ම චිත්‍ර කතාව තුළ ද රැඳී ඇත්තේ එකම ආකාරයේ නිර්මාණාත්මක අත්දැකීම් ය.  එහි චරිත රැ‍ඳෙන ආකාර විචිත්‍ර ය. සිනමාව තුළ චලන චිත්‍ර දැකිය හැකි මුත් චිත්‍ර කතාව සඳහා අදින චිත්‍රය ද රූප රාමුවෙන් රාමුවට චලනය වන හැටි ප්‍රෙක්ෂකයාට මනෝ චිත්‍රයක් මගින් මවා දෙන්නේ චිත්‍ර ශිල්පියා විසිනි. එහි දෙබස් ඇත. චරිත ඇත, සිනමා පටයක දක්නට ලැබෙන සංගීත රසය හැර සෙසු සියළුම රස චිත්‍ර කතාවෙන් පාඨකයාට ලබා දෙයි. සිනමා පටයක දක්නට ලැබෙන චලන චිත්‍රයේ සමීප රූප, දුරස්ථ රූප ආදිය චිත්‍ර කතාවේද එලෙසම දකින්නට හැකිය.

චිත්‍රකතා පොතෙන්

ඒ නිසා ම සිනමා පටයක් නිර්මාණය කිරීමට පෙර එහි ස්වභාවය හා චරිත පෙළ ගැස්වීම චිත්‍රපට අධ්‍යක්ෂ වරයා විසින් චිත්‍රකතාවක් බවට පරිවර්තනය කර ගනී. චිත්‍රපටයේ දල සැකැස්ම සකස්කර ගනී. මේ අපූර්වත්වය නිසා බිහිවූ චිත්‍රකතා කියවන්න පාඨකයෝ  පුරුදුවෙලා හිටියා. ඒ නිසාම සිනමාවෙ මෙන් ම චිත්‍රකතා වලද  වීරයෝ මෙන්ම ප්‍රේමණිය චරිත ද බිහිව තිබුණි.  

මේ අයුරින්  ගොඩ නැගුණු චිත්‍ර කතා පත්තර කලාව බිඳ වැටීම ආරම්භ වූයේ 1990 මැද භාගයේ දීය. ඊට බලපෑ හේතු කීපයකි.  චිත්‍රකතා ප්‍රකාශන මුවාවෙන් අසභ්‍ය පුවත්පත් කලාවක් රට තුළ බිහිවීම, කිසිඳු ප්‍රමිති‍යකින් තොරව චිත්‍රකතා බිහිවීම, උසස් නිර්මානාත්මක අත්දැකීම් වලින් කතා පුවත් නොතිබීම , ආදී මෙකී කාරණා මෙන් ම ලංකාව තුළ විද්‍යුත් මාධ්‍යයක් ලෙස රූපවාහිනිය ස්ථාපනය වීමද  මෙකී චිත්‍රකතා කලාව දශක දෙකක් වැනි කෙටි කාලයක් තුළ දී අභාවයට  යාමට තුඩුදුන් කරුණු කාරණා ය.

1990 දශකයේ මැද භාගයේ බිඳ වැටුණු චිත්‍රකතා කලාව මේ වන විට සති අන්ත හෝ සතියේ ජාතික පුවත්පතක කුඩා තීරයකට පමණක් සීමා වී ඇත. එහෙත්, තවමත් ලෝකයේ ප්‍රචලිත කලා මාධ්‍යයක් ලෙස වර්ධනය වෙමින් පවතින කලා මාධ්‍යයක් ලෙස චිත්‍රකතා කලාව පුවත් පත් වශයෙන් නොවුන ද, චිත්‍රකතා පොත් වශයෙන් ලෝකයේ හොඳ වෙළඳ පොළක් නිර්මාණය කර ගෙන සිටී. සුපර් මෑන්, බැට්මෑන්, ඩ්‍රැකියුලා, වැනි චිත්‍ර කතා සේ ම ටිං ටිං, සූර පප්පා  වැනි කාටූන්  රැගත් චිත්‍රකතා පොත්වලට අද දවසේ ද  මෙරට වෙළඳ පොළ තුළ ද හොඳ ඉල්ලුමක් තිබේ.

එවන් වූ යුගයක  අනුර ශ්‍රීනාත්ගේ “අනුරාලෝකය” සිතුවම් දැක්ම චිත්‍රකතා පාඨකයන් නැවත ඒ යුගයට කැඳවීමට ගත් වෙහෙසකි.  අනුර ශ්‍රීනාත් චිත්‍ර ශිල්පියාද මා මුලින් සඳහන් කළ සියළුම චිත්‍රකතා පත්තර සදහා චිත්‍රකතා නිර්මාණය කළ ශිල්පියෙකි. ආරම්භක යුගයේ අනුරගේ චිත්‍රකතා කලාව තුළ ඔහුගේ ඇස මෙන්ම තෙළිතුඩද රැඳුනේ  වීර කතා කෙරෙහිය. අනතුරුව ඔහුගේ ගමන් මග ආන්දෝලනාත්මක ස්වරූපයෙන් වෙනස් විය. චිත්‍ර කතා කියවන පාඨකයා තුළින් ම සමාජය නැවත ප්‍රශ්න කිරීම ඒ චිත්‍ර කතා මගින් දක්නට ලැබුණි.


අනුර සිය තෙළිතුඩින් ලෝකය දකින හැටි මෙන් ම ලෝකයට ආදරය කරන සැටිත්, ඒ මගින් පාඨකයාට තමා ආදරය කළ ලෝකයට ආදරය කරන්නට කියා දෙන හැටිත් අගනේ ය. ජීවන අරගලයේ යෙදෙන පීඩිත දනන්ගේ දුක්ඛිත ජීවිත ලෝකයට විවර කරමින් විටෙක දේශපාලන අරගලයක නියැලෙමින් ද  සිය  චිත්‍රකතා මෙහෙය වන්නේ  කවිය ගීතය, සිනමාව මෙන් ම චිත්‍රකතාවෙන් ද සමාජය යහපත් තැනකට කැඳවීමේ අරමුණින් යුතුව ය. මෑත යුගයේ අනුර අතින් නිර්මාණය වූ “ එන්න එපා කෝච්චිය, ඉස්කෝලේ යන්න පුතේ,  Cellපෝං,  Conදා” ආදී චිත්‍රකතා ඊට හොඳම නිදසුන් ය.

චිත්‍ර කතාව අනුරගේ කාටූනය ද   සමාජ යහපතට යොදා  සමාජය උඩු යටිකුරු කිරීමත්, සමාජයේ සුදු චරිත කලු චරිත ලෙසින් පාඨකයාට වටහා ගැනිමට ඉඩ හැරීමත් අනුරගේ කාටූන් සිතුවම් වල මෙන්ම චිත්‍රකතාවල ද දැකිය හැකිය. ඔහුගේ තෙළිතු‍ඩෙහි   රැඩිකල් බව ‍විටෙක මේ සමාජයේ කලු පැහැය පාඨක ඇසට යොමු කරයි. ඒ කණපිටෙහි නො පෙනෙන, ගැඹුරු පත්ලෙහි  සැගව ඇති දේ එහි ගැඹුරු පත්ලටම  කිඳා බැස පතුලේ සැඟව ඇති අරුත සොයා යන  චිත්‍ර කතා කලාව සහ කාටූන් කලාව තුළ ඔහුගේ තෙළිතුඩ රැඳී ඇත.

අනුරගේ තෙලිතුඩින් කපුගේ..

 ඒ නිසා ම වර්තමානයේ චිත්‍රකතා පත්තර කෙරෙහි පාඨක නැඹුරුවක් නැතත්  තිස්තුන් වසරක් පුරා ඔහු විසින් අඳින ලද චිත්‍ර කතා අතරින් චූටි පුතාගෙ ලොකු කතා, එන්න එපා කොච්චිය, ඉස්කෝලේ යන්න පුතේ,  Cellපෝං, ආදී චිත්‍ර කතා පොත් වශයෙන් ප්‍රකාශයට පත් කර ලංකාවේ චිත්‍ර කතාද පොත් නැවත පාඨක අවධානයට යොමු කරවන්නේ සැගව ගිය චිත්‍රකතා කලාව නැවත පාඨකයා වෙත කැඳවීමට ය. කෙසේ වුවද අනුරගේ චිත්‍රකතා සහ කාටූන් සිතුවම්වල  පිළිබිඹු වන පීඩිත ජනතාවගේ වේදනාකාරී ජීවිත සමාජයට මුදාහැර දක්වන්නේ චිත්‍ර ශිල්පයද කලාවේ මිහිර බෙදා දෙන සැඟව ගිය මාවතක් නැවත එලිය කරමිනි. ඔහුගේ මේ “අනුරාලෝකය” සිතුවම් දැක්ම නූතනයට වැදගත් වන්නේ ඒ නිසාය .

අනුරගේ සිතුවම් කලාව එහෙමය. එසේ වුවද අස්වැන්න කියවන ඔබ මෙහි රැදෙන්නේ ගීතය පිලිබදව වැඩිපුර කතාබහ කරන බැවිනි. ඒනිසා අද දවසේද ගීයක් රසවිඳීමට ඉඩදීම මගේ අපේකෂාවයි. චිත්‍රකතාව ගීතය සම්බන්ධ කිරීම ගැටලුවක් බව ඔබට සිතෙනු ඇත. ඒ වුවද එය එසේ නො වේ. චිත්‍රකතාව ද ගිතයට බෙහෙවින් සමීපය. ලංකාවේ චිත්‍රකතා පත්තර ඉතාමත් ජනප්‍රිය වූ යුගයේ චිත්‍රකතා ඇසුරින් ගීත ගණනාවක් බිහිවිය. මතකයෙන් මග හැරුණත් ඒ ගීත ඉතාමත් මධුර ගීත බව මෙහිලා සදහන් කරමි. ඉතාමත් ජනප්‍රිය චිත්‍ර කතාවක් ඇසුරින් නිර්මාණය වූ මේ ගීතය අසන්නට ඔබට අරැයුම් කරමි.


ඉතිං ඊට පස්සේ ඔබේ රන් පිළි රූ
පාට පාට දේදුනු සේ මා සිසාරා
මහද මැණික් පහනක් වූවා
ඉතිං ඊට පස්සේ...


ඉතිං ඊට පස්සේ ප්‍රාර්ථනා වැස්සේ
කුරුලු පියාපත් හිස මැවුණා සේ
ගියෙමු පියාඹා දුර ආකාසේ
දේදුනු කැලුම් පෙම් සුවඳ විජිතයේ
ආනන්දනීය ආදරේ..


ඉතිං ඊට පස්සේ සිතක කඳුළු වැස්සේ
ඈත රටක පාලුව දැන් නැතුවා
අරුණු උදාවෙන් අප හිනැහෙනවා
කඳුළින් සිනාවෙන් ජය ගනී ප්‍රියේ
ආනන්දනීය ආදරේ..

ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක
ගේය පද : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය: ස්ටැන්ලි පීරිස්



ඔබේ වටිනා කාලය බිදක් වැය කර ගී රස විඳිමින් කියෙව්වාට  ස්තූතියි. වෙලාවක් ඇත්නම්  ලංකාවේ චිත්‍රකතා කලාව ගැන හෝ මෙහි ලියැවෙන දේ ගැන ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න.

Related Posts Plugin for WordPress, Blogger...