එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...
Showing posts with label රඟමඩල. Show all posts
Showing posts with label රඟමඩල. Show all posts

Tuesday, 18 March 2014

෴ මනෝ.... සිංහල නාට්‍ය වේදිකාවේ දවස් පාළොස්දාහක් ෴





ජයලත් මනෝරතන්න නම් වූ  කලාකරුවා ඔබට කෙසේ හඳුන්වා දෙන්නදැයි මට නොවැටහේ. ඔහුගේ කලාත්මක භූමිකාවේ වපසරිය එතරම්ම පුළුල් පරාසයක විහිදී ඇති නිසා  මනෝරත්නයන්ගේ රැඟුම් ගැයුම් ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. ලංකාවේ සිවු දිසාවේම රසිකයෝ ජයලත් මනෝරත්නයන්ගේ නම කියූ පමණින් ඔහුගේ රංගනයේ භූමිකාව  හොදින් හඳුනයි. ඒ රසිකයෝ ඔහු විසින් සිංහල කලාවට දායාද කළ රස උල්පත්වල මිහිර විඳ ඇත්තෝ වෙති.  එපමණක් නොව සත් සමුදුරෙන් එපිට රට රාජ්‍යවල පවා මනෝරත්යන්ගේ  කලාවේ ප්‍රතිභාව කිත් යසස් පතුරවා ලීමට සමත් වී තිබේ.

අස්වැන්න මේ සටහන් තබන්නේ ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍ය ජීවිතයට දවස් පාලොස්දාහක් පිරීම නිමිති කරගෙන  මේ දිනවල සැන්දෑසමය ඔහුගේ රැගුම් ගැයුම්වලින් පිරී තිරී යන නාට්‍ය රැගත් ආනනදනීය සතියක් කොළඹ අවට නාට්‍ය ලෝලීන්ට විඳ ගැනිමට අවස්ථාව සළසා  ඇති නිසාය. ලයනල් වෙන්ඩ්ට් රගහල මනෝරත්නයන්ගේ වේදිකා නාට්‍ය පෙරහැරකින් ඒකාලෝක වී ඇති නිසා මනෝරත්නයන් වෙනුවෙන් අස්වැන්න පුංචි සටහනක් ලියාතබන්නට කල්පනා කළා.

මනෝරත්න සිංහල නාට්‍ය වේදිකාවේ නූතන රජු විදියට සැළකුවොත් ඒක නිවැරදියි කියලයි මට හිතෙන්නෙ. මනෝරත්නයන්ගෙ කලාත්මක භූමිකාව ගැන සළකන‍විට ඔහු අපේ විශිෂ්ඨයන් අතර අතිවිශිෂ්ඨයා  කියල හැඳින්වීමත් එක්තරා විදියක  අතිශයෝක්තියක් නොවෙයි.

මනෝගෙ රැඟුම් ගැයුම් නිතර දකින්නෙ නාට්‍ය වේදිකාවෙ. ඒ ඔහුගෙ ප්‍රධානතම කලාංගය නිසා. ඒ නිසාම ඔහු වේදිකා නාට්‍ය කරුවකු විදියටයි ලංකාවෙ රසිකයන් අතර බෙහෙවින්ම ජනප්‍රිය. ඊටත් වඩා පුංචි තිරය එහෙමත් නැත්නම් රූපවාහිනියෙ ටෙලිනාට්‍ය වල රංගන ශිල්පියෙකු ලෙසින් පමණක් නෙවෙයි  කාටත් දැනෙන ටෙලි වෘත්තාන්තයක තිර රචකයෙක් එහෙමත් නැත්නම් අධ්‍යක්ෂකවරයෙක් විදියටත් අපට පුංචි තිරයේදි හමුවෙනව.

සිනමාවෙදි මනෝරත්තන අපට හමුවෙන්නෙ චිත්‍රපට නළුවකු  හැටියට. ඒ සියල්ල ඔහුගේ නාටකීය භූමිකාව වුවත්  එයින් ඔබ්බට විහිදී ගිය ඔහුගෙ කලාත්මක භූමිකාව සමහර විට අපේ රසිකයන්ගෙ මතකයෙන් බැහැරව ගිහින් තියෙන්න පුළුවන්. මනෝ අතින් ඉඳහිට ලියැවෙන කෙටිකතාවක්, කවියක්, ගීතයක් ඇහෙන කොට මේ ඉන්නෙ ඒ මනෝරත්නම ද කියල දෙවරක් හිතන්න තරම් රසිකයෝ පෙළඹෙන්නෙ සමහර වෙලාවලට එවන් භූමිකාවක් ගැන එතරම් රසිකටන්ට නොදැනෙන නිසා.

මනෝ අතින් ලියැවෙන එවන් කෙටිකතාවක, ගීයක කවියක පවා රැදිල තියෙන සුන්දරම වදන් පේලි වල ගැඹුර ඔහුගේ සිතුවිලි ඔස්සෙ රංගන භූමිකාව එක්කම සමාන්තරව තියන්නත්  පුළුවන්. ඊටත් වඩා සරසවි වල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට සති අන්ත දිනවල දේශන පවත්වන ආරාධිත ‍බාහිර කථිකාචාර්ය වරයෙක් විදියට ඔහු නිරූපණය කරන්නෙ වෙනස්ම භූමිකාවක්. මේ විදියට එකිනෙකට වෙනස් හැඩතලවල එකිනෙකට වෙනස් භූමිකාවන් නිරූපණය කරන කලාකරුවෙක් හැටියට අපට ඉන්න එකම එක්කෙනා අතිවිශිෂ්ඨ රංගධරයා ඔහුය . ඒ තමයි ජයලත් මනෝරත්න. ඔහුට වඩා තවත් දක්ෂයෙක් එහෙමත් නැත්නම් ඔහු අභිබවා යාහැකි තවත් රංගන ශිල්පියෙකු මෙරට සිටිනවා කියන එක පිළිගන්න අපහසු කාර්යක්. නළුකමින් එහෙමත් නැත්නම් රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන් , පිටපත් රචනයෙන් මිදුන වෙලාවක මනෝ අතින් ලියැවුණ ඉතාමත් ජනප්‍රිය ගීයක්තමයි මේ තියෙන්නෙ .

ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ,  ඔබ මා ළඟ ඉන්නා

අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමු වූයේ
ඒ ඈත් බවිනි හද බඳුනේ
සෙනෙහසේ සොඳුරු බව පිරුණේ

මධු සඳ තරු අද හමුවිලා
සිටියද ඔබ මා ළං වීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු, සොඳුරු සෙනේ ගඟ සිඳිලා

ගී පද මාලාව : ජයලත් මනෝරත්න
සංගීතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද

                          

1960 දශකයේ මැද භාගයේ හෙන්රි ජයසේනයන්ගේ “මකරා”  නාට්‍යයෙන් ඇරඹී එතැන් සිට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමෙ , සිංහබාහු වැනි නාට්‍ය වල කුඩා චරිතයකින් ඇරඹෙන සිංහල වේදිකාවෙ ගමන්මග තුළ අමරණීය සටහන් තියන්න සමත් වෙන්නෙ සරච්චන්ද්‍රයන්ගේ “පෙමතො ජායති සෝකො” නාට්‍යයෙන්. ඉන් පස්සෙ 70 - 80 දශකවල ලංකාවෙ බිහිවූ සියළුම අතිවිශිෂ්ඨ නාට්‍යකරුවන්ගේ නාට්‍ය සියල්ලක්ම පාහේ ඔහුගේ රංගනයෙන් හැඩ වෙනව. එහෙම  අධ්‍යක්ෂකවරයෙකුට මනෝරත්න මගහැරුණා නම් ඒ කලාතුරකින්.

දශක පහකට ආසන්න කාලයක් තිස්සෙ විවිධ කලාත්මක භූමිකාවන් නිරූපණය කරන මනෝරත්නයන්  සිංහල නාට්‍ය වේදිකාවෙ මැවූ මනමෙ නාටකයේ රාජගුරු චරිතය වගේම වෙස්සන්තර නාටකයේ වෙස්සන්තර රජුගෙ භූමිකාවත් නිරූපණය කරනව.ඒ භාවාත්මක රංගන ශෛලියකින්.  එහෙමත් නැත්නම් ඊට හාත්පස වෙනස් විනෝදයක් සපයන දයානන්ද ගුණවර්ධනගෙ ජසයා සහ ලෙංචිනා නාට්‍යයේ ජසයගෙ චරිතය නිරූපනය කරන්නෙ ජන සම්ප්‍රදාය ඇසුරු කර ගනිමින්. 

“ගම්වල සැම තැන ඇවිද ගොසින්නේ
වෙල්ලාවට රෙදි පුරවා ගන්නේ”

 මේ විදියට ඔහුගෙ රසමුසු ගී රාවය ප්‍රේක්ෂකාගාරයට පතිතවූ සැනින් ඔහුගේ භාවාත්මක රංගන ශෛලිය විනෝදයක් සපයන මාධ්‍යක් බවට පත්වෙන්නට ගත වෙන්නෙ නිමේෂයක්.

ඒ විදියට එකකට එකක් වෙනස් සංකීර්ණ රංගන පරාසයන් තුළ සිය දක්ෂතාවයන් සියුම් හැඩතලවලින් මුවහත් කරන මනෝරත්නයන්ගේ රංගනයෙන් හැඩ වූ දිවැස හෙළනු මැන, පුත්‍ර සමාගම, ද්විත්ව, තාරාවෝ ඉගිලෙති, රතුහැටිටකාරී, මායාදේවී, නාගගුරුලා, තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, සොක්‍රටීස්, මධුර ජවනිකා, ගජමන් පුවත, සිරිසඟබෝ,  අංගාරා ගඟ ගලාබසී මහගිරි දඹ, වැනි නාට්‍ය ඉතිහාසයේ ඔහු මැවූ අපූර්ව රංගන ප්‍රතිභාව ඔහු අතිවිශිෂ්ඨ රංගධරයෙකු බවට පත්කරනව.

මේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ වෙස්සන්තර නාට්‍ය සඳහා  ආචාර්ය අමරදේවයන්ගේ සංගීතයට මනෝරත්න සමග මැණිකේ අත්තනායක ගැයූ ගීයක්

                        

මනෝරත්නයන් 70 දශකය ආරම්භයේ සුනිල් ආරියරත්න, බුද්ධදාස ගලප්පත්ති සමග “දො‍ළොස් මහේ පහන” නමින් කවිපොතක් ලියා පළකරනව. ඒත් ඉන් පස්සෙ නම් ඔහුගෙ කවිත්වය කාව්‍ය සංග්‍රහ ඔස්සෙ අපිට හමුවෙන්නෙ නැහැ. ඉන් පස්සෙ  මනෝරත්නයන්ගෙ ප්‍රධාන මාධ්‍ය වේදිකා නාට්‍ය හෝ ටෙලි නාට්‍ය  ක්ෂේත්‍ර වුවත් ඒ ක්ෂේත්‍රයන්ගෙම ඉන්න අතරෙ මනෝරත්නයන් අතින ලියැවෙන මෙවන් සුන්දර පද පෙළක් සවනට වැටෙනකොට අපට වේදිකාවෙ හමුවෙන මනෝරත්න ගෙ සියලු චරිත අමතකව  මේ ගී පද අතර සැඟවුණ  සාහිත්‍යකරුවා එහෙමත් නැත්නම් කවියා හමුවෙනව. ඒ හරහ ඔහුගෙ කවි සිත අපේ හිත්වලට එබිල බලනව. එහෙම ඉඳහිටල එබිකම් කරන කවියාගේ සැබෑ ස්වරුපය අපට පේන්න ගන්නව. මෙන්න මේ විදියට 

                         නිසල කඳු මුදුන් පිබිදී   මීදුම් මල් පිපෙනා
                        සිහිල් දිය ඉරක් විය ඔබ    උදෑසනක ගලනා

බක් මී මල් රේණු ඇදී  මාරුතයේ නටනා
ජීවිතයේ හැන්දෑවක සමීපයේ හිඳිනා
සෙනෙහස ඔබ පමණී

කලාමැදිරි මල් පිබිදී රැයෙක අදුර හඬනා
ජීවිතයේ විරාමයක ඔබ සැතපුණ සැණිනා
මතකය ඔබ පමණි

ගී පද මාලාව : ජයලත් මනෝරත්න
සංගීතය: තිස්සසිරි පෙරේරා
ගැයුම: ලක්ෂ්මන් විජේසේකර



මනෝරත්යන්ගෙ නාට්‍යවල මෙන්ම ඔහුගෙ ගී වලත් තියෙන්නේ රසිකයන් නැවුම් ආනන්දයකින් හිත පුරවන හැඟීම්.  ගලන ගඟ දිහා දෙවරක් බලන්නෙකුට එකම ගඟ දෙවරක් දැකිය නොහැකිය කියන අදහස මනෝ නිරූපනය කරන නාට්‍යවලත් දකින්න ලැබෙනව. එකම නාට්‍ය වුණත් එකම වේදිකාවෙ රඟ දැක්වෙන වාරයක් වාරයක් පාසා ඒ නාට්‍ය බලන රසිකයන් වගේම ඒ නාට්‍යත් අලුත් අත්දැකීමක් නැවුම් අත්දැකිමක් බවට පත් කරනව. ඔහුගෙ නාට්‍ය සහ රංගනය හැම විටම සජීවිව තියෙන්නෙ , ඒබව රසිකයන්ට දැනේනෙ ඒ නිසා.

එහෙම වුණත් සිංහල සිනමාවෙත් ඉදල හිටල අපට හමුවන මනෝරත්නයන්ගෙ සිනමා භූමිකාව ගැඹුරු ලෙස වටහාගන්න චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ට තවමත් හැකියාව ලැබිල නැහැ කියලයි මට හිතෙන්නෙ. නාට්‍ය වේදිකාව තරමක් දුරට ඈත්කරල ඔහු සිනමාවේ රංගන ශිල්පියෙකු බවට පත් කළහොත් සිනමා රංග ධරයෙකුගේ භූමිකාව කොතරම් දුරට විකසිත වී ඇද්දයන්න අපට දැකගන්න පුළුවන්. එහෙම වුනත් ඉඳ හිට සිංහල චිත්‍රපටයක ඔහු මවන චරිතය පවා සිනමාවෙ ඔහුට අවශ්‍ය වපසරිය සකස්කර ගත් බව පෙන්වනව.

ලංකාවෙ නාට්‍ය කලාව අද වනවිට කොළඹ නගරයට පමණක් සීමාවෙලා. කලාතුරකින් කොළඹින් පිටත නාට්‍යයක් රගදැක්වෙනවා නම් ඒ සමහර විට තදාසන්න නගරයක විය හැකියි. ඉස්සර ගම්දනව්වල  පාසැල් ගානෙ ගිහින් නාට්‍ය පෙන්වපු කාලයක් තිබුණා.  3.30 දර්ශනය වෙන්වෙලා තිබුණෙ පාසල් දරුවන්ට. 6.30 වෙන්වෙලා තිබුණෙ වැඩිහිටි දර්ශන වාරයට. එහෙම ස්වර්ණමය යුගයක තිබුණ වේදිකා නාට්‍ය කලාව තවදුරටත් අත නොහැර ඒ මත්තෙම තමන්ගෙ භූමිකාව තවදුරටත් සජීවිව ප්‍රේක්ෂකයන එක්ක දොඩමලු‍වෙන්න මනෝරත්නයන් උත්සාහ ගන්නව. ඒ අනෙකක් නිසා නෙවෙයි. ඔහු තවමත් ඒ වේදිකාවට පෙම් බදින නිසා. ඒ නිසාම මාර්තු 17 – 23 සතිය ඔහුගෙ රංගන ජීවිතයෙ දවස් පාලොස්දාහක අබිසෙස් ලබනව.

මේ තියෙන්නෙ තලමල පිපිලා නාට්‍යයේ රත්නා ලාලනී සමග ඔහු රෝහණ වීරසිංහයන්ගෙ සංගීතයට ගැයූ වේදිකා නාට්‍ය ගීයක් .

                          
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් මනෝරත්නයන් සිංහල නාට්‍ය කලාව ගැන ලීයූ නිබන්ධනයට  පිරි නැමූ (PhD)  ආචාර්ය උපාධියත් , මනෝරත්නයන්ගේ දශක පහක රංගනනයේ කීර්තිමත් භූමිකාව වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්  පිරිනැමූ සාහිත්‍ය සූරී (D.Litt) උපාධියත් තවදුරටත් ඔහු මේ ක්ෂේත්‍රයේ රඳවා තබන්නට රසික උත්තේජනයක් බවට පත්වෙනව. ඒ කුමන ආචාර්ය උපාධිය ලැබුණත් මනෝරත්නයන්‍ ප්‍රේක්ෂකාගාරයේ දී දවස් පාලොස්දාහක් තිස්සෙ ලබන උණුසුමට සමකරන්න හැකි ප්‍රේක්ෂක උපාධියක් තවම ඔහුට හමුවෙලා නැතුව ඇති.




 පසු සටහන:

මනෝරත්නයන් ගෙ දවස් පාලොස් දාහ ගැන මේ සටහන තබන මොහොත වන විට සිංහල නාට්‍ය වේදිකාවේ සිනාවේ රැජින “මර්සි එදිරිසිංහ” නම් වූ විශිෂ්ඨ රංගන ශිල්පිණිය සියලු රංගනයන් හමාර කොට සදාතනික සුව නින්දට පිවිසිලා.

මීට මාස තුනකට තුන හමාරකට පමණ පෙර ඇය වෙනුවෙන් උපහාර උළෙලක් සංවිධානය කර තිබුණේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදිශිෂ්‍ය ක්‍රීඩා කණ්ඩායමක්. ඒ උපාහාර උලෙල. තිබුණෙත් ගම්පහ නගරයේ තිබෙන ප්‍රසිද්ධ අවන්හලක. ඇය වෙනුවෙන් ඒදා රැයේ පැවති උපහාර උළෙල වෙනුවෙන් රෝහන ධර්මකීර්තගේ පෙරදිග වාද්‍ය වෘන්දය හමුවේ  ගීත ගැයීමට ජයලත් මනෝරත්නයන් , නිස්සංක දිද්දෙණිය, එඩ්වඩ් ජයකොඩි ඇතුළු නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ පිරිසක් ඒ උපහාර උළෙලේ මර්සි එදිරිසිංහ  වෙනුවෙන් මැදියම ඉක්මවා යන තුරු ගී ගැයුව. ඇයත් ඇයගේ භූමිකාවේ අමරණීයම ගීත ගණනාවක් ඒ රාත්‍රිය පුරා ගැයූ හැටි දැනුදු මතකයට නැගේ. ඇයගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ ගීත ගණනාවකින් රසික සමූහය ගීයෙන් මුසපත් කළ ඇය නික්ම ගොසිනි.

කිසිවකුටත් සදාකාලිකව ජීවත් වෙන්න වරම් නැතත් . සිය ජීවිත කාලය පුරා උපයාගත් දේවලින් ඉතිරිකර තබා ගිය කිසිදා අමතක නොවන මතකය පමණක් බැහැරව නොයනු ඇත.
                                “සුබ රාත්‍රියක් මර්සි ඔබට!”








Monday, 11 March 2013

෴ අන්ගාරා ගඟ ගලා බසී..... ෴




වේදිකා නාට්‍යයක් බලන්න පුංචි ඇරයුමක් ලැබුණා පසුගිය දවසකදි. කලකින් හිතට දැනෙන වේදිකා නාට්‍යයක් බලන්න  නොලැබුන නිසාත්, මේ නාට්‍ය ගැන අහල තිබුණත් නොදැක තිබුණ නිසාත්,  කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලට වේලාසනින් ම ගොඩවැදුනේ මේ අපුරු සැන්දෑව විඳගන්න. ඒ නිසා අද අස්වැන්නෙන් ඒ  නාටයේ  රස මිහිර ඔබත් බෙදාගන්න කල්පනා කළෙමි.
අන්ගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍ය ලංකාවේ වේදිකා නාට්‍ය ඉතිහාසයේ සුවිශේෂ නාට්‍යයක්. අවුරුදු තිස්පහකට පමණ එපිට සිංහල නාට්‍ය වේදිකාවේ රඟ දැක්වුණ අන්ගාරා ගඟ ගලා බසී නාට්‍ය  මුල්වරට වේදිකා ගත වුණේ 1978  වසරේ දී ය. එවකට දර්ශන වාර සිය ගණනකට වැඩි ප්‍රමාණයක්  රට පුරා ප්‍රදර්ශනය වෙමින් අවසන් වූ මේ නාට්‍ය නූතන සිංහල නාට්‍ය වේදිකාවට  නැවත ලබා දෙන්නත්, ඒ හරහා පුරන්ව ඇති වේදිකා නාට්‍ය යළි අස්වද්දන්නටත්  රංජිත් ධර්මකීර්ති නම් වු අග්‍රගණ්‍ය නාට්‍යකරුවා විසින් නැවතත් අන්ගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍ය කරළියට රැගෙන පැමිණ සිටියේ මේ සැන්දෑවේදීය.
එදා සිංහල නාට්‍ය වේදිකාවේ රැව්දුන් චෙරි උයන,  හිරු නැති ලොව, නාස්තිකාර මහත්තයා,  මෝදර මෝල,  සහ  ආඬිරැලේ නාඩගම  රංජිත් ධර්මකිර්ති නාට්‍ය කරුවාගේ සෙසු නාට්‍යයෝ ය.  එවැනි නාට්‍යකරුවකුගේ මේ අනර්ඝ නිර්මාණය වූ  අන්ගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍ය අද සිටින නාට්‍ය ප්‍රේක්ෂකයන්ට කුමන ආකාරයෙන් වැදගත් වන්නේද  කියන කාරණයත් එක්කම 1979 - 80 දි විතර මේ වේදිකා නාට්‍යය වේදිකා ගත වූ අවස්ථාවක සජිවිව පටිගත කරගත් ගීත කීපයකුත්  මුල් නිර්මාණවලින් ම ඒ සජීවි ස්වරූපයෙන් ම ඔබට අහන්නත් ලැබෙන දුර්ලභ අවස්ථාවක් අස්වැන්න තුළින් ලැබෙනවා.
විසිවන සියවස මැද භාගයේදි ඒ කියන්නේ 1960 වගේ කාලයක ඇලෙක්සි අර්බුසොෆ් නම් වු රුසියානු නාට්‍යකරුවා විසින් නිර්මාණය කරන ලද   It Happened in Irkutsk ( එය සිදු වූයේ ඉර්කූට්ස් නුවර ය. ) නම් වූ මේ රුසියානු නාට්‍යය යුරෝපයේ රටවල් ගණනාවක විවිධ භාෂාවන්ගෙන් පරිවර්තනය වෙමින් වේදිකාව මත රඟ දැක්වුණා. ඒ සෝවියට් රුසියානු වේදිකා නාට්‍ය සම්පූර්ණයෙන්ම සිංහලට පරිවර්තනය වී වේදිකා ගත වූයේ   අන්ගාරා ගඟ ගලා බසී යන නමින්.
මේ කතා පුවතට පාදක වෙන්නෙ සයිබීරියාවේ අගනුවර වන ඉර්කූට්ස්ක්. බයිකාල් විලෙන් ගලා යන එකම ගංඟාව වන අන්ගාරා ගඟ ගලා බසින්නෙ ඉර්කූට්ස්ක් නගරය හරහා. මේ නගරයේ සංවර්ධනය වෙනුවෙන් මහා වේල්ලක් බදින්නට දිවා රෑ නොබලා වෙහෙසෙන  ඉදිකිරීම් වැඩ බිමක කම්කරුවන් පිරිසක් අතර ඇතිවන ඉතාමත් සිත්ගන්නා සුළු ප්‍රේමණිය කතා පුවතක් මේ නාට්‍යයට තේමාව වී තියෙනවා. තරුණයන් දෙදෙනෙක් සහ තරුණියක අතර ඇති වන ත්‍රිකෝණ ප්‍රේමයක් රුසියානු සමාජවාදී දේශපාලන ක්‍රමය පසුබිමෙහි තබාගෙන ආදරය, ප්‍රේමය තුරුළු කරගත් මේ නාට්‍ය පැය දෙක හමාරකට ආසන්න කාලයක් පුරා වේදිකාව මත දිග හැරෙනව.
  
 
1978 දී එඩ්වඩ්, සුනිලා, රම්‍යා, දිද්දෙණිය, නීල් අලස්,
මනෝරත්න, සහ  ස්විනිතා පෙරේරා වේදිකාවේ
   අන්ගාරා ගඟ ගලා බසී වේදාකා නාට්‍ය නාට්‍යමය ජවනිකා 17 ක් සමග ගීත 13 සමග ගීතාත්මක ශෛලියෙන් සංගීතමය නාට්‍යයක් ලෙසින් වේදිකා ගත වෙන මෙය සෝවියට් සමාජවාදී දේශපාලනයේ බිඳ වැටීම එක අතකින් නිරූපණය කරන අතර ම එසේ බිඳ වැටෙමින් පවතින සමාජවාදී දේශපාලන ක්‍රමයක් තුළ මිනිසුන්ගෙ අතීත ආකල්ප බිඳ නොවැටී පවත්වාගෙන යන්නේ කෙසේද යන්නත්, ඒ ඔස්සේ මිනිසුන්ගෙ සිත් ප්‍රේමයෙන් පුරවන්නටත් ආදරයට ආදරය කරන්නේ කෙසේද යන්නත් කියා දෙනව .
එදා මුල් වරට 1978 දි අන්ගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍ය  වේදිකා ගතව තිබුණේ සිංහල නාට්‍ය වේදිකාවේ කීර්මත් වූ මේ රංගන ශිල්පීන් පිරිසත් සමග ය.
වාල්යා - සුනේත්‍රා සරච්චන්ද්‍ර
ලැරීසා - ස්විනිතා පෙරේරා / සෝමලතා සුබසිංහ
සර්ජි -  නිශ්ශංක දිද්දෙණිය
වික්ටර් - නීල් අලස්
රෝඩික් - ජයලත් මනෝරත්න
ඒ වගේම මේ නාට්‍ය සඳහා ආචාර්ය අජන්තා රණසිංහ විසින් ගීත 13ම රචකා කර තිබු අතර එදා කේමදාසයන්ගේ සංගීතයට ‍නාට්‍ය වේදිකාව මත සජීවිව රංගනයේ යෙදෙමින් ගායනයේ නිරත වූයේ  ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස්, එඩ්වඩ් ජයකොඩි, සුනිලා අබේසේකර සහ රත්නා ලාලනී ජයකොඩි සහ රම්‍යා වනිගසේකර ඇතුළු ගායන වෘන්දයකි.
එහෙත් අන්ගාරා ගඟ ගලා බසී  නාට්‍යයේ මේ නවතම නිෂ්පාදනයට ඒ ශිල්පීන් කිසිවකු නැතත්, සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ රංගන කලාව සහ ගායනය හදාරන ඉතාමත්ම දක්ෂ ශිල්පීන්  සහ ශිල්පිණියන් රැසක් සමගම ප්‍රවීන රංගන ශිල්පින් ශිල්පිනියන් කිපදෙනෙකුම සහභාගීත්වයෙන් මේ නවතම නිෂ්පාදනය වේදිකාව මත දිග හැරුණි .

 ග්‍රීක නාට්‍ය සම්ප්‍රදායෙන් යුතු  ගායනාවලින් මෙන්ම රංගන ශෛලි‍යෙන්ද  වේදිකාවට පැමිණෙන ගායන වෘන්දය රංගනයේ යෙදෙමින්ම නාට්‍යයේ කථකයන් විදියටත්, තවත් වරෙක එක් එක් චරිතයේ අභ්‍යන්තරය කියවන්නන් විදියටත්, නාට්‍යමය ජවනිකා ගායනයෙන් සම්බන්ධ කරන පිරිසක් හැටියටත් සහභාගි වන නාට්‍ය ආරම්භ වන්නේද  ගායනයකිනි. ඒ මේ ගීයෙනි.

අන්ගාරා ගඟ ගලා බසී
අන්ගාරා ගඟ ගලා බසී

පෙමින් පෙඟුණ නව යොවුන් පැතුම්
පෙමින් පිරුණු මදහසින් නුවන්
හැඟුම් උදම් වී පවන් සලන සඳ
එවන් පහන් රොද සෙමෙන් උරා
අන්ගාරා ගඟ ගලා බසී

ඉවුරු තලා පෙණ මුතුළැල් පළඳා
සිතින් සිලිටි රළ තරඟ දිගේ
ඔබ මෙන් අප මෙන් මිනිසුන්
දහඩිය දහරින් කඳුළින් සුසුමින්

ජලයෙන් විදුලිය උපදවනා
විසිවන සියවස විස්කම් දනවන
විදුලිය කම්හල ඉදිකරනා බිම
අන්ගාරා ගඟ ගලා බසී
අන්ගාරා ගඟ ගලා බසී

ගීත පද මාලාව: ආචාර්ය අජන්තා රණසිංහ
සංගිතය : ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස්,
එඩ්වඩ් ජයකොඩි සහ සුනිලා අබේසේකර
අන්ගාරා ගඟ ගිතය මෙතනින් අහන්න
              
සදාකාලික ප්‍රේම ත්‍රිකෝණයකට මැදි වන වාල්යා, වික්ටර් සහ සර්ජිගේ ආදර අන්දරය සරළ පෙම් පුවතකට සිමා කළ නොහැකි ය. ප්‍රේමයෙන් පිරුණු ජීවිත තුළට ආදරයේ සදාකාලික බලාපොරොත්තු ප්‍රේක්ෂකයන්ට ළඟා කරවයි. නාට්‍ය ආරම්භ වන්නේ  නාට්‍ය  අවසන් වන ජවනිකාවෙනි. ඉන්පසු නැවත නැවතත් අතීතයටත් වර්තමානයටත් සංක්‍රමණය වෙමින් නාට්‍යයේ කූඨප්‍රාප්තිය ( Climax)  කරා ළඟාවේ.

මේ නාට්‍ය සෝවියට් රුසියාවේ වේදිකා ගත වන යුගය වන විට  සමාජවාදී  ක්‍රමය සහ සමාජවාදි සංස්කෘතිය පැවතියේ බිඳ වැටෙමිනි.  එසේ වුවත් විනෝදකාමී ජීවිතයක් ගත කළ වික්ටර්  වැන්නෙකු සර්ජි විසින් ගොඩනගන සමාජවාදී දේශපාලන ආකල්ප නිසා මිනිස් ජීවිතය යනු වඩාත් ගැඹුරින් සහ  වගකීමෙන් යුතු එකක් බවට වටහා ගනී.  ඒ නිසා නාට්‍ය ආරම්භයේ වේදිකාවේ හමුවන වික්ටර් නම් වූ සෙල්ලක්කාර  තරුණයා නාට්‍ය අවසන් ජවනිකාවේදී සර්ජි විසින් ගොඩනැගූ  සමාජවාදී කොමියුනිස්ට් දර්ශනයේ සැබෑ කොටස් කරුවකු බවට පත්වේ. ඒ අන් කිසිවකු ලෙසින් නොව ආදරයට ආදරේ ක‍රන ප්‍රේමයෙන් පිරුණු පිරිපුන් මිනිසකු ලෙසිනි.
හුළඟක් හුළඟක් පාලු  හුළඟක්
කොහන්දෝ පාවේ
අඳුරු කළුවර  කඩතුරා
ගඟටඋඩින් සැරි සරා
හුළඟක් පාලු  හුළඟක්

පහනින් පහනම නිවී නිවී යන
ගොම්මන් රෑ යාමේ
නවාතැන වෙත ඇය ඇවිදින් නැත
ගොම්මන් රෑ යාමේ

හුළඟක් හුළඟක් පාලු  හුළඟක්
කොහන්දෝ පාවේ

ගීත පද මාලාව: ආචාර්ය අජන්තා රණසිංහ
සංගිතය : ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස්,
එඩ්වඩ් ජයකොඩි සහ සුනිලා අබේසේකර

හුළඟක් පාලු හුළඟක්  ගිතය මෙතනින් අහන්න
               

අන්ගාරා ගග ගලා බසී වේදිකා නාට්‍යයේ සංගීත නිර්මාණය පිළිබඳව විශේෂයෙන්ම සදහන් කළ යුතුම ය. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත දිවියේ විශිෂ්ඨතම වේදිකා නාට්‍ය සංගීත නිර්මාණය හමුවන්නේ අන්ගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍යයෙනි. එදා කේමදාසයන් මේ නාට්‍යයේ සංගීතය නිර්මාණය කළේ  පර්යේෂණ ආකෘතියෙනි. එනම් මුල් වරට බටහිර සංගීතය යොදා ගැනිම පිළිබදව වූ අත්හදා බැලිමකි. ඒ නිසා අදටත් කේමදාසයන් කළ වේදිකා නාට්‍ය සංගීත නිර්මාණ අතර විශිෂ්ඨතම සංගීත නිර්මාණය අන්ගාරා ගඟ ගලා බසී වේදිකා නාට්‍යය සඳහා නිර්මාණය කර ඇති බව  විචාරකයන්ගේ මතයයි.

  කේමදාසයන් මේ නාට්‍ය පුරාම භාවිතා කරන්නේ බටහිර සංගීතයයි. බටහිර සංගීතයේ ආකෘතිය සහ රිද්මය අතර නිදහසේ සැරිසරමින් නාට්‍යයේ තිබෙන ගීත 13 ම  සංවාදයකට ලක් වන නිසා  නාට්‍යයේ ගලා යාම වේගවත් වේ.

ගායක පිරිස

මේ නාට්‍යයේ සංගීතය සහ ගායනය එහි රංගන ශිල්පීන්ගේ තරමටම වැදගත් තැනක් ගනී. මුළු නාට්‍ය පුරාම නැගෙන්නේ කේමදාසයන් විසින් බටහිර සංගීතය ඔස්සේ  මවන ඔපෙරා ශෛලියයි. නැතහොත් බටහිර මුද්‍රා නාට්‍යයේ ශෛලියයි.
විශේෂයෙන්ම රුසියානු ජන සංගීතයේ එනජනප්‍රිය සංගීත භාණ්ඩයක් වූ  ස්පැනිෂ් ගිටාරයේ නාදය සමස්ත  නාට්‍ය පුරාම භාවිතා කරයි. තාල භාණ්ඩ භාවිතයෙන් තොරව තත් සංගිත භාණ්ඩ පමණක් උපයෝගී කර ගනිමින් රුසියානු සංගීතයේ හරය තුළට කිඳා බැස  ස්පැනිෂ් ගිටාරයෙන් දැවන්ත සංගීතමය ආයෝජනයක් සිදුකර තිබේ.
අන්ගාරා ගඟ අසබඩ
කළුවර මැද සුදු තිරයක
සිනමා පටයක් සෙමින් දිග හැරේ

ඉතාලියෙන් මෙතෙර ගෙනා මේ සිනමා කතන්දරේ
සයිකලයක් අහිමි වූ මිනිසකුගේ කඳුළැල්ලයි
ඔහුගෙ සුසුම් වැලපිල්ලයි
සිනමා හල හැම දෑසක් රිදී තිරේ රැඳී රැඳී

අසරණ වූ මිනිසාගේ  ඉරියව් හා ඇත වෙලී
ඔහුටත් ඇත අඹුදරුවෝ පාපැදියෙන් දිවි රැකෙනා
එවන් මහඟු බයිසිකලේ හොරෙන් අරන් ගිහින්

රෝම නගරෙ විදි පුරා ඔහුගේ ඒ කඳුළයි
දූලි ගැටෙන නගරය මැද ඔහුගේ ඒ සුසුමයි

ගීත පද මාලාව: ආචාර්ය අජන්තා රණසිංහ
සංගිතය : ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස්,
එඩ්වඩ් ජයකොඩි සහ සුනිලා අබේසේකර
අන්ගාරා ගග අසබඩ ගීතය මෙතනින් අහන්න            
එදා කේමදාසයන්ට මේ නාට්‍යයේ සංගීතය නිර්මාණය කිරීමේදී  වාදනයෙන් සහය වී ඇත්තේ අර්නස්ට් සොයිසා (ස්පැනිෂ් ගිටාරය), ගුණසේන කුරේ, නිමල් ඩයස්, ක්ලින්ටන් ගුණවර්ධන සහ රොනී ලේටින් ( ඩබල් බේස්) යන වාද්‍ය ශිල්පීහු ය.
 එසේ ඒ අතීතය වර්තමාන අන්ගාරා ගඟ ගලා බසී වේදිකාවට රැගෙන එන විට  කේමදාසයන් අප අතර නැතත්, කේමදාසයන්ගේ ඒ සුපුරුදු සංගීත රිද්මය  දශමයකින් හෝ වෙනස් නොකොට ඒ සංගීත ආකෘතියෙන් ම ඒ ජවයෙන් ම මෙදා ප්‍රති නිර්මාණය කර තිබුණේ සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ශාන්ත පීරිස් විසිනි. එසේම සංගීතඥ ශාන්ත පීරිස්  විසින් කේමදාසයන්ගේ එදා ගායන වෘන්දය වෙනුවට සෞන්දර්යය විශ්ව විද්‍යාලයේම සංගීතය හදාරන දක්ෂතම සිසු සිසුවියන් පිරිසක් දායක කරගෙන  තිබුණේ දශක තුන හමාරක වෙනස ප්‍රේක්ෂකයාට නොදැනෙන ලෙසිනි.

රැයක් පුරා වැහි වැටුණා .... වැහි වැටුණා
රැයක් පුරා... ඔබ නොනිඳා පහන් කළා
කල්පනා ලෝකේ

සීත සමීරේ ඔබ පය පාමුල
පිනිබර හිමිදිරියේ
පළමු අරුණු රේඛා
පැතිරේ.. පැතිරේ..

හුදෙකලාව පාවෙමින්
තනිකමෙන් ගෙවුණ ඔබේ
තුරුණු දිවිය මේ රැයින්
මේ උදයෙන් නිමවේවි ළදුනේ

ගීත පද මාලාව: ආචාර්ය අජන්තා රණසිංහ
සංගිතය : ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස්,
එඩ්වඩ් ජයකොඩි සහ සුනිලා අබේසේකර

රැයක් පුරා  ගීතය මෙතනින් අහන්න
                

මේ සටහන අවසන් කරන්න මේ නාට්‍යයේ අවසන් වෙන්නේ මෙන්න මේ ජවනිකාවෙන් .
වික්ටර්:  වාල්යා
වාල්යා: මට ඔහොම ආදරයෙන් කතා කරන්න එපා‍
වික්ටර්: කවදාවත්?
වාල්යා: මම පස්සෙ කතා කරන්නම්
වික්ටර්: එයා ඈතට ඈතට දුවගෙන යනව එයාගෙ දෑස්වල කඳුළු  පුරවාගෙන  මූණ සිනාවකින් සරසාගෙන, එයා පාලමෙන් එගොඩ වෙලා අන්ධකාරය තුළට දුවගෙන දුවගෙන යනව...එයා කවදා හරි මගේ බිරිද වෙයිද?  එයා කවදා හරි මට  කැමැත්ත දෙයි ද? ඒත් කවුද ඒක දන්නෙ? ඒක තවත් කතාවක්. තවත් අන්දරයක්. මම මෙතන අතර මග නැවතිලා, මේ පාලම උඩ හිටගෙන එයා දිහාවෙ බලාගෙන මම ඇත්තටම එයාට කොයිතරම් ආදරේද කියල හිතමින් ඉන්න මේ මොහොතේ මේ කතාව අවසන් වෙනව.”
වික්ටර් සෝවියට් රුසියානු සමාජවාදී ක්‍රමය බිදවැටෙද්දි ජීවිතය තේරුම් ගත් මිනිසකු ලෙස එසේ කියද්දී මේ නාට්‍ය අවසන් වෙනව.  ඒත් ප්‍රවීන නාට්‍යවේදී රංජිත් ධර්මකිර්ති නාට්‍යකරුවාගේ අන්ගාරා ගඟ ගලා බසී  දශක තුන හමාරකට පසුව වේදිකාවට ගෙන එමින් සෝදාපාළුවට ලක්ව ඇති සිංහල නාට්‍ය වේදිකාව යළි සරසනු ඇති සේම මෙන් යුගයක නූතන ප්‍රේක්ෂකයන් හමුවේ ආදරයට ආදරය කරන්නත්, ආදරයෙන් ආදරය ලබන්නත් හැකි සංවේදී මිනිසකු බිහි කරන්නට සමත් වන බව පසක් කරමින් අන්ගාරා ගඟ සිංහල නාට්‍ය වේදිකාවේ දූවිලි සෝදා අනාගතය සොයා ගලා බසින බව ඒ අඳුරු රගහළ තුළ දි මට දැනුණි.෴

පළමු සහ අවසන් ඡායාරූපය රඟහල වෙබ් අඩවියෙනි

විශේෂ ස්තූතිය:
අන්ගාරා ගඟ ගලා බසී  නාට්‍යයේ වසර තිස් පහකට එහා පටිගත කරගත් ගීත සියල්ලම  ලබා දුන් ස්විනිතා පෙරේරා මහත්මියට


Related Posts Plugin for WordPress, Blogger...