එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...
Showing posts with label සිතුවිලි. Show all posts
Showing posts with label සිතුවිලි. Show all posts

Thursday, 6 February 2014

෴ හැරී බලමි මම ඔබේ ඇසින්.....100 ෴





මේ අස්වැන්න 100 සටහන.  2011 වර්සයේ අවසාන කාලයේ පටන්ගත්ත අස්වැන්න ඉන් හරියටම වසර දෙහමාරයක් ආසන්න වෙන්න තිබියදී 100 වෙනි සටහන ඔබ හමුවේ තැබිමට ලැබිමත් සතුටට කරුණක්. හොදම දේ අතරින් වඩා හොඳම දේ හොයාගෙන යන අතරමගකදී හමුවූ බොහෝ පිරිස් මේ මොහොතේ සිහිපත් කළ යුතුමයි. ඒ අන්තර් ජාලයේ සමාජ මෙවලම් සමාජ ජාල භාවිතයත් සහ එයින් ගතහැකි ප්‍රයෝජන ගැනත් කියාදුන් සියලුම සහෘදයන්ට ඒ කෙරෙහි උනන්දු කරවූ සියලුම සහෘදයන්ට මේ මොහොතේ මගේ ආදරයත් ගෞරවයත් හිමිවෙනව.

ඒවගේම මේ අවකාශ තුල සැරිසරද්දී අහම්බෙන් හමුවූ හමුවී මිදමක් ගොඩනගා ගත් සහෘද පිරිස සේම අපට යහපත් කලාවක මග කියාදෙන නන්දන වීරසිංහ සහ ජයතිලක බණ්ඩාරයන් ද,  මගේ සමකාලීන කලාක්ෂේත්‍රයේ හමුවූ මිතුරු පිරිස අතර යසනාත්ධම්මික බණ්ඩාර, මංජුල වෙඩිවර්ධන සහ  රවී සිරිවර්ධන, වැනි මිත්‍රශීලි සහෘද පිරිසත් දිනපතා හමුවන තැනක් වුනේ මේ අන්තර්ජාලයේ සමාජ ජාල භාවිතයට හුරු වුණාට පස්සෙ. කොහේ කොතැනක හිටියත් එකම ඉසව්වක මේ පිරිස හමුවීමත් ලද භාග්‍යයක්.

එසේම බ්ලොග් කලාවට හුරු වුණාට පස්සෙ  බ්ලොග් ක්ෂේත්‍රයේ හමවූ මෙන්ම හමුනොවුනත් පුංචි පණිවුඩයකන් හරි අදහස් දැක්විමට එකතු වූ සහෘද පිරිසටත් අස්වැන්නේ ලියූ කියූ දෑ වෙබ් අඩවි වලට එකතු කළ සියළුම සිංහල වෙබ් අඩවි සංස්කාරක වරුන්ටත් මේ මොහොතේදී මගේ ස්තූතියි පිළිගන්වනවා.

අස්වැන්න 99 සටහනින් කළ ඇරැයුම පිළි ගෙන නිදහස් අදහස් ලියා එවූ මේ සහෘද පිරිසටත් මනරම් නිර්මාණයක් 100 වෙනුවෙන් කර දුන් මාලක නුවන් සොහොයුරාටත් මගේ ගෞරවනීය ස්තූතිය මේ මොහොතේ පිළිගන්වමි. මෙතැන් සිට ඔවුන් ලියා එවූ සියලු දෑ මෙසේ සටහන් කර තබමි.



          කලාකරුවා සතු සමාජ වගකිම -
        ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර

සාර්ථක අස්වැන්නක් ගෙට ගන්නා කාලෙදි තමයි අපේ අම්මලා තාත්තලා සතුටින් හිටියේ. මාස ගණනක දුක් මහන්සියේ ප්‍රථිපලය තමයි අස්වැන්න. ඒ අස්වැන්නම තමයි ඔවුන් තමන්ගේත් තම දරුවන්ගේත් ඉදිරි කාලය ජීවත් කරවිම සඳහා සුරැකිව තබාගන්නෙ. ඒ විදියට කලාකාරයෙක් තම ජීවිත කාලය පුරා නෙලාගත්ත  අස්වැන්න තමයි ඔහුගෙ කලා නිර්මාණ බවට පත් වෙන්නෙ.

ඒ නිර්මාණ වෙනුවෙන් ඔහු බොහෝ දුක් විඳින්න ඇති. බොහෝ කැප කිරිම් කරන්නත් ඇති. බොහෝ විඳවන්නත් ඇති. එසේ නිර්මාණය කරන ලද ඔහුගේ  නිර්මාණ එකතුවක් කෙසේ හෝ වෙන වෙනම ගෙන ඇගැයිමට හෝ සමාජ ගත කිරිම තුළින් ඒ කලාකරුවා‍ සතුටටත් ගෞරවයටත්  පත්වෙනවා පමණක් නොව ඔහුට තවදුරටත් නිර්මානකරණයේ යෙදෙන්නට අසීමිත වූ ශක්තියක් ලබා දෙනවා. ඒ වගේම එය මහා පුණ්‍යකර්මයක් බවට පත්වෙනවා. මේ කටයුත්ත කිරිමට විශාල ඉවසිමක්, හික්මීමක් තිබිය යුතුවා සේම  කාලය කැප කරමින් අධ්‍යනයක නිරත යුතු  වෙනවා. ඒ කියන්නේ කලාකරුවකු වුණත් බෝධිසත්ව ගුණයකින් පරිපූර්ණ විය යුතු වෙනවා.

දයානන්ද රත්නායකයන් මේ සියලු ගුණයන්ගෙන් යුතුව අස්වැන්න නිර්මාතෘ බවට පත්වෙනවා. වගාවකින් ලබන අස්වැන්නේ ප්‍රයෝජනය ඒ වගාවේ අයිතිකරුවා භුක්ති විඳිනවා‍ වුවත් දයානන්ද රත්නායකගේ අස්වැන්නේ ඵල ප්‍රයෝජන භුක්ති විඳින්නේ ඔහු නොවේ. ඔහු ලියන, ලියන්නට තෝරා ගන්නා විෂයට අදාල කලාකරුවාට ශක්තියක් වනවාට අමතරව එය කියවන, සමාජයම දැනුවත් ඒ ලිපියෙන් දැනුවත් වෙනවා. දයානන්දට ඉතිරිවන්නේ එයින් ලබන අපමණ වූ නිරාමිස සතුට පමණි. එය බෝධිසත්ව ගුණයක් විදියටයි මට අර්ථ දක්වන්න සිදුවෙන්නෙ.

දයානන්ද අන්තර්ජාලයේ ලියන අස්වැන්නේ තවත් විශේෂයක්  මම දකිනවා. ඒ ඔහු ගීත රචකයෙක්, කවියෙක්, ලේඛකයෙක් ව සිටියදීම ඔහු ජීවත්ව සිටින හෝ ජීවත්ව නොසිටින කලාකරුවන්ගේ නිර්මාණ අගය කිරීමක නිරත වෙනවා. ඔහු ඒක කරන්නෙ කිසිඳු ලෝබකමකින් තොරව. ඔහුගේ විෂය පථයට  හසුකරගන්නා කලාකරුවන්ගේ නිර්මාණ ඉහලම තැනකට ඔසවා තබනවා. මෙය අද අප සමාජයේ අඩුවෙන්ම දකින්නට ලැබෙන ලක්ෂණයක් හැටියටයි මම හිතන්නේ.

ඉතින් අන්තර්ජාලයේ බ්ලොග් අවකාශයේ අස්වැන්න 100 සම්පූර්ණ කරන මේ මොහොතේ දයානන්දට යහපත් කලාවක් වෙනුවෙන්, යහපත් සමාජයක් වෙනුවෙන් යහපත් ‍නිර්මාණ තවතවත් සමාජ ගත කරන්නට ශක්තියක් ප්‍රාර්ථනය කරනවා.  

              
                  සයිබරයේ දයා ලකුණ - 
දයානන්ද රත්නායක හෙවත් දයා මගේ දිගුකාලීන මිත්‍රවරයෙක්.  මං ඔහු ගැන දන්න අපේ ඉතිහාසය තුළ මට පේන්නෙ මේ මොහොතෙත් පේන්න ඉන්න නිර්ව්‍යාජ  සරල මනුස්සයා. ඔහු ලියූ "මිරිවැඩි සඟලක් ඉල්ලා නොහඩමි" කියන ගීතය කපුගේ ගැයුවා විතරක් නෙවෙයි ඒ ගීය ඇතුළත් ඇල්බමයට නම තිබ්බෙ ඒ ගීයෙන්.  ඒ 1995 තරම් ඈතක. සමකාලීකයො මුරුංග ගස් වවාගෙන ගස් බඩගාද්දි දයා මුරුංග ගහ පේන්න තියෙද්දිත් ඊට නැග්ග නැතිකමම විතරක්ම වුණත් ඇති වුණා, මට මිත්‍රයෙක් විදිහට ඔහුගේ අධ්‍යාත්මය කියව ගන්න.  මට ඔහු ගැන ඒ දවස් වල හිතුණු, නමුත් ඔහුට නොකිව්ව දෙයක් මේ මොහොතෙ කියන්නම්. මං හිතුව මෙහෙම. "ඔව්! ඒ තමයි දයා."

මං නිත්‍ය වශයෙන්ම යාවත්කාලින වෙන අස්වැන්නෙ රහ බලනවා. මොකද ඒ අත්ගුණේ දන්න හින්දා. සයිබරේ කරක් ගහන අය කෙරෙන් මතුවෙන පණ්ඩිතමානී ගුණය වෙනුවට දයාගේ ස්වරයෙන් මතුවෙන්නෙ නිහතමානී ගුණය. මං එහෙම කියන්නෙ මිත්‍රකම හින්දා නෙවෙයි කියලා ඔහුගේ සශෘදයන් දන්නවා. මොකද ඒක ඇත්ත හින්දා. විශේෂඥ වෛද්‍යවරයෙක් වගේ ඔහු ස්පෙෂලයිස් කරපු විෂයක් තියෙනවා. සීමිතව ගත්තම ගීතය සහ පළල්ව ගත්තම සංගීතය. ඒක දමයි දයා කරක් ගහන පළාත. දයා කියන්නෙ දන්නැති පළාත් වල ගිහිල්ල මැජික් පෙන්නන්න හදන මැජික්කාරයෙක් නෙවෙයි.  එලෙසම ඔහු, දන්න විෂයේ ශිල්ප දක්වන්න පැකිලෙන්නෙත් නෑ.

දයාගෙ සයිබරීය වපසරිය ගැන මට තියෙන අර්ථකතනය තමයි, එහි නාමකාය ඒ කියන්නෙ "අස්වැන්න" වැඩ කරන්නෙ තමන් කෙරෙහි නෙවෙයි,  සහෘදයා, කියවන්නා, අසන්නා, රසවිඳින්නා වන අප කෙරෙහි කියන එක.  කෙටියෙන්ම මේකයි. ඔහු වපුරනවා, නෙළා ගන්නෙ අපි. මේක තමයි දයා සයිබරයේ ස්ථානගත කරන පරාර්ථකාමී සද්ගුණය හෙවත් "දයා ලකුණ".  


                ඒ අස්වනු නෙළාගත්තේ අපි - 


මුලින්ම මේ තරම් දිගු ගමනක් ඒම ගැන මගේ සුබ පැතුම්...

මම හිතන්නේ අස්වැන්නේ පළ වුනු මුල්ම ලිපියේ ඉඳලම මම අස්වැන්නේ ලිපි කියෙව්වා. (අදටත් මම ගොඩක්ම කැමති ඒ මුල්ම ලිපියට. අවාසනාවකට ඒ ලිපිය නැති වෙලා කියලා ඔබ කිව්වා මට මතක විදියට).  

අවංකවම කිව්වොත් අස්වැන්නේ හැම ලිපියකින්ම මොනවා හරි අලුත් දෙයක් මමනම් ඉගෙන ගත්තා. අපි ඉපදෙන්නත් කලින් සිදු වුන සමහර දේවල් ගැන මම මුලින්ම දැන ගත්තේ අස්වැන්නෙන්. ගොඩක් වැඩ රාජකාරි මැද්දේ උනත් අස්වැන්න ගැන වචනයක් හෝ නොලියා ඉන්න බැරි උනේ ඒ නිසාමයි. 

ඉතින් ඔබේ සරුසාර බ්ලොගයට "අස්වැන්න" කියන නම ඇර වෙනත් නමක් ගැලපෙනවද කියලා මට සැකයි. ඒ අස්වනු නෙලාගන්න අපිට ඉඩ සලසා දෙන ඔබට බොහොම ස්තුතියි 

පුරවැසි මාධ්‍යකරණය සහ   සිංහල බ්ලොග්       කලාව -  
     ප්‍රියන්ත හේවගේ - මාතලන් බ්ලොග් අඩවිය

අපේ රටේ තිබෙන ප්‍රධාන පෙලේ සුව කළ නොහැකි රෝගයක් තමයි හිස්ටීරීයාව කියන්නේ. ඒක මගේ කල්‍යාණ මිත්‍රයන්ටත් තියෙන ලෙඩක්. මා සිතනා ආකාරයට එය, තම ගිලිහී යන තාරුණ්‍ය කෙරෙහි ඇතිවන තෘෂ්ණාව හේතුවෙන්, පශ්චත්තාපයට පත්වී, වත්මන් පරපුර කෙරෙහි ඇති කර ගන්නා, වෛරී සහගත හැඟීමක් සහ ක්‍රියාදාමයක්.

විශේෂයෙන් ලැම්බෝගිනිවල නැගී, ආශ්චර්යයේ අධිවේගී මාර්ග ඔස්සේ, සීඝ්‍රයෙන් ගල් යුගය කරා පිය නගන වත්මනෙහි, එය වඩාත් ඉස්මතු වෙලා. තරුණ පරපුරට පමණක් නොව, ඔවුන්ගේ නිර්මාණ කෙරෙහිද එල්ල වන, ඉතා වෛරීසහගත විවේචන කියාපාන්නේ වෙන කිසිවක් නොව, මේ රෝග ලක්ෂණ හා ෆෝබියාවලින් පෙනෙන පණ්ඩිතයින්.

කවිය, ගීතය, නව කතාව, සිනමාව, නාට්‍ය, කෙටි කතාව හා එකි මෙකී සියළුම කළා ක්ෂේත්‍රයන්හී පමණක් නොව, අළුත්ම කළා මාධ්‍ය හා ජනසන්නිවේදන මාර්ගයක් වන, පුරවැසි මාධ්‍යකරණයේ කැඩපතක් බඳු, සිංහල බ්ලොග් කලාව තුලද පවතින්නේ එම තර්කයමයි. 

වසර හතරක පහක ඉතිහාසයක් ඇති මේ ක්ෂේත්‍රයේ පවා, "එදානේ ඉන්න තිබුනේ..." "ඒවනේ බ්ලොග්..." කියනා රෝගී ප්‍රකාශයන් වැහි වැහලා. අනෙක කිසිම නීතී රීතියක් නොමැති එය තුලටත් අපේ කුහකයන් නීතී රීතී පනවලා. මේ ප්‍රකාශවන්නේ, අපේ සංස්කෘතියේ කුහකත්වය හා, අළුත් දෙයක් වැළඳගැනීමට ඇති බිය පමණයි.

භාෂාව,හා එහි අක්ෂර මාලාව පවා, කාළයත් සමඟ සරළ විය යුතුයි. ශිෂ්ඨාචාර කියන්නේ එයයි. එකම තැන පල්වෙන වතුර වලකට වඩා, ගලා යන ගංගාවක ජලය පිරිසිඳුයි. එදා ශේක්ස්පියර්ගේ භාෂා ශෛලිය, අද තිබෙනෙ ඉංග්‍රීසි පොත පතේ නෑ. නවීන තාක්ෂණයත් සමග එය තවත් සරළ වෙලා. අපෙත් මෑත යුගයේ තිබූ රචනා ක්‍රම විදි පවා අද සිනහ උපදවන කාරණා.

මෙන්න මේ දේවල් හොඳින් හඳුනා ගත්, නවීන පරපුර සමඟ එක පෙලට සිට ගත හැකි, නිහතමානි, අවිහිංසක නිර්මාණකරුවෙක් ලෙසයි අනුරාධපුරයෙන් පැමිණ, කළාවට පරිභාහිර වූ නීතී ක්ෂේස්ත්‍රයේ රැකියාවක් කරමින්, කලාවේ උන්නතිය වෙනුවෙන තම උපන් බිමට කළ හැකි සේවය, උපරිම අයුරෙන් ඉටුකරනා දයා ව මම දකින්නේ. 

කිසිම කළබලයකින් තොරව, ඉතා නිර්මාණශීලීව, කොමෙන්ට්ස් හා හිට්ස් බලාපොරොත්තු වන්නේ නැතුව, ඔහු විසින් පියවර 99 ක් නැග ආ මේ ගමන් මග, කළබලකාරී බ්ලොග් ලියන්නන්ට හොඳ ආදර්ශයක්. ඔහුගේ ලිපි සියල්ලම එක හා සමානයි. එහිත් එක පිලක් නියෝජනය කිරීමක් හෝ පරම්පරාවක් නියෝජනය කිරීමක් නෑ. මා සිතනා ආකාරයට සුනිලා අබේසේකර නම් උතුම් කාන්තවගේ කළා කටයුතු පිළිබඳ, බ්ලොග් රසිකයින් දැණුවත් උනේ දයාගේ ලිපිය හේතුවෙන්. 

ශතකයක් රැස්කල සුන්දර, නිහතමානී මිනිසාට මාගේ උණුසුම් සුභ පැතුම්...!!!

200 කට ආයුබෝවේවා...!!!

                  
         ගීතයට හොඳ කතිකාවක් ඇති කරන තැනක් - 

මම හැමදාම හිතන දෙයක් තමා බ්ලොග් ලෝකයේ ඒ ඒ විවිධ ක්ෂේත්‍ර වල ප්‍රවීණයන් ඉන්න ඕන කියන එක. එයින් අවශේෂ බ්ලොග් රසිකයන්ට ඉතා හොද දැනුමක් ලබා ගන්න පුළුවන්. දයාගේ පෝස්ට් වලදි අප අතර කතිකා ඇති වීමෙන් හුගක් තොරතුරු හා දැනුම අපි ලබා ගත්තා. ඒ අනුව ඔබ වැනි අයෙකු මේ බ්ලොග් එක තුල පෝස්ටු 99 ක් දැමීම කියන්නේ දැනුම් සාගරයක් අවකාශයට මුදා හැරීමක්.. ඒකයි අවශ්‍ය.. සීයට සුභපැතුම්.

 
               
අඳුර අපිව වෙලා ගන්නා අවසාන දිනය දිගු කරගනිමු - 
                ගීත රචක සහ ලේඛක 
               වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර 
             (යසනාත් සිතුවිලි බ්ලොග් අඩවිය)

 වර්තමානය පෙරට වඩා අඳුරුය....

කුමන කරුණ සලකා බැළුවද ඇත්තේ පෙරට වැඩි අඳුරකැයි සිතෙන වාර අනන්තය. සමහර ක්ෂේත්‍ර වල ඒ අඳුර නොසැඟවී පෙනෙන්නට ඇත. 

සමහර ක්ෂේත්‍ර වල දැනට පෙනෙන්නේ අඳුරු වලාවේ ඇතැයි කියන රිදී රේඛාවයි. අඳුර මතුපිටට පෙනෙන්නට නැත. එහෙත් ඇත්තේ අඳුරමය. 

මේ අඳුරෙන් එක් ක්ෂේත්‍රයක් පමණක් හුදකලාව ගලවා ගත හැකි වේද යන්න ගැටළුවකි. සාමාන්‍ය ගැටළුවක් නොව මහාම ගැටළුවකි. 

අපි කවුරුත් ගැටළුව දකිමු. එහෙත් පිළිතුරු නොසොයමු.

සමහර දේට අප වඩා සංවේදීය. නිදහස එලෙස වඩා සංවේදී එක් මාතෘකාවකි.
සාපේක්ෂ නිදහසක් ගැන ඇති සතුට මත අපි ඇත්ත නිදහස පාවා දීඇත්තෙමු. සාපේක්ෂ නිදහසේ සුව දසුනින් ආවරණය ලැබ සැබෑ නිදහස අධික වේගයෙන් ගවු ගණනින් අපෙන් දුරස් වනබව අපට නොවැටහේ. 

එහෙයින්ම අපි වෙනම වැඩ කරන්නෙමු. වෙනම සතුට සොයන්නෙමු. වෙනම නම්බුව, කීර්තිය සොයන්නෙමු. වෙනම රැස් වළල්ල තරකරගන්නෙමු. 

එහෙත් අඳුරු ලෝකයක මේ රැස් වළල්ලේ ආලෝකය කුමකටදැයි දිනෙක අපම සිතනු ඇත. එවිට අප වෙත ඇත්තේ ප්‍රමාදයේ මහා කලකිරීම පමණි.

අප වෙසෙසින් සංවේදී තවත් පැත්තක් වන්නේ සාහිත්‍ය කලාංගාදියයි. වර්තමානයේ ඒ තුළ ඇති අඳුර නිදහසට උදාවූ අඳුරටත් පෙර සිටම දැනෙන්නට පටන්ගත් දෙයකි. 

සෙමෙන්,සාපේක්ෂ දියුණුවක් ලබමින්, ඒ මත සතුටුවියහැකි ගමනක් ආ අප, ක්ෂනිකව අඳුරට ඇද දැමූ සාධක මොනවාදැයි විවිධ තර්ක තිබිය හැක. ඒ තර්ක කෙසේ වෙතත් එහි අද ඇත්තේ අඳුර බවට නම් තර්කයක් නැත. මේ අඳුරෙන් ගොඩ ආ හැකිද?

සමස්ථය අඳුරට යන සමයක සාහිත්‍ය කලාංගාදියට පමණක් තනිව ගොඩ ආ හැකියැයි මම නොසිතමි. තනිව එය පමණක් ගොඩගත හැකියැයිද නොසිතමි.

අප අඳුර වෙත හැරුණු තැනට ගොස් නොබලන්නේ නම් එය අඳුරටම යනු ඇත. එහෙත් එහි ආලෝකය දුටු අපට ඒ අඳුර දරාගත නොහැක. 

ආලෝකය නොදුටු, අඳුරම දුටු, ආලෝකයට වඩා අඳුරට පෙම් කරන අමුතු සමාජයට මෙය ගැටළුවක් නොවේ. ඔවුනට ඉතිහාසයක් හෝ සාහිත්‍ය කලා රසිකත්වයක් හෝ නැත. එහෙයින් පදනමක් නැත. එහෙයින් හදවත් නැත. එහෙයින් මිනිසත්කමක් නැත. 

ඔවුන් අඳුර තුළ සිටිමින්, නොදුටු එළියට ගරහමින් විවිධ දේ කරණු ඇත. දිගටම කරණු ඇත. ඒ දේ මහා වධයක් වන්නේ එහි එළිය දැක පුරුදු අයටය. 

මේ නිසා අඳුරට බණින අපේ වුන් අඳුරට බණිමින්ම එක් පහණක් හෝ දැලවීමට ගන්නා විවිධ උත්සාහයන් වෙයි. ඒ උත්සාහයන් නිසා අන්ධකාර ලෝකයක් තුළ පුංචි එළි පොදක් දකිමින් මියෙන තුරු හිත හදාගන්නට අපි උත්සාහ දරමින් සිටිමු. 

ජීවිත සන්තුෂ්ඨිය පිණිස ලොකු දේ කළ නොහැකි පරිසරයක පුංචි පුංචි දේ කරමින් හිත හදාගන්නට මේ දේවල් මහා වැදගත්කමක් දරයි. මේ එයින් එක් දෙයක, මතක ශතකයේ මොහොතයි.

දයානන්ද රත්නායක සොහොයුරා හඳුනාගත්තේ අද ඊයෙක නොවේ. දයාගේ අස්වැන්න බ්ලොග් අඩවිය හඳුනාගත්තේ අද ඊයේ වගේය. 

අස්වැන් බ්ලොග් අඩවිය යනු අපේ පිළකි. අපේ පැදුරකි. අපේ සෙවනකි. එහි වාඩිලා සිටින විට සිත ගිම් නිවී යයි. 

ඒ ඇයි?

එහි ඇත්තේ අපේ දේ නිසාය. අපි කැමති දේ නිසාය. අපි පතන දේ නිසාය. අපිව ජීවත්කරවන දේ නිසාය.

අපි කොයි කොයි තැන්වල ගැවසුනද, කොයි කොයි තැන්වල විසුවද,  අපි එකම විදිහේ මිනිසුන් වූයේ මේ පොදු සාධකය නිසාය. 

දයාගේ අස්වැන්නෙහි සියවෙනි සටහන දිගහැරෙන මොහොතේදී මේ සටහන කෙටියෙන් තබන්නට අවැසි වුණත් මේ තරම් හෝ කෙටි කරගත්තේ ආයාසයෙනි. තවත් දිගු නොකරමි. වචන වලට නොපෙරලූ වෙසෙස් සුබ පැතුම් මෙහි ඇත. දයා එය හඳුනයි.
දයා..... අපි පුංචි පුංචි දේ හෝ කරමින් අඳුර අපිව වෙලා ගන්නා අවසාන දිනය දිගු කරගනිමු.

               

  කලාව ගැන හොඳ සංවාදයක් ඇති කිරීමට නම් - 
                   අරූගේ බ්ලොග් අඩවිය

දයා ලියා තබා ඇති බොහොමයක් බ්ලොග් සටහන් මා කියවා ඇතමමද කලාරසිකයෙක් 
 නිසා  ලිපි තුළින් බොහෝදේ ඉගෙනගත්තෙමි.රස වින්දෙමිඅතීතයටද කිමීදී ඇත්තෙමි 
තව දුරටත් ඔබ ලියනා සටහන් තුළින් සංවාදමය ස්වරූපයක් ඇති කර ගැනීම කියවන්නා 
 සතුකාරියක් වන මුත් ඔබටත් තවතවත් පොහොර එකතු කල හැකිනම් අස්වැන්න  
තව තවත් සරුසාර වන බවනම් කිව යුතුමයදයා නුඹට ජය!!



                         වචන හතරයි කියෙන්නේ,.
                        අස්වැන්න කියන්නේ ''කලා සරසවියක්''.
                                -තරිඳු ජයරත්න-

 
                             සයිබර අහස - තරුරසී  



වස්වන නිබඳ
සත්සර පබඳ
අස්වනු නොමඳ
විස්මෙකි සබඳ...
 
මෙත් සඳ සිසිල
සිත් මත විසුළ
අත් බැඳි විපුල
රත්නෙකි උදුල...
 
සයිබර අහස
සුලකුරු පහස
පින්සර දයැ
කවුරුද ඔබ ම මිස.


       උසස් සිංහල ගීතයේ රස සොයන්නා -
            පවිත්‍රා කුමාරි ලියනගේ

 උසස් සිංහල ගීතයක රස මිහිර විදින අවසන් පරම්පරාව අපද කියල මට හිතෙනවා .එකට වගකිව යුත්තේ අපම නේද කියලා හිතෙන කොට හිතට දැනෙන  වේදනාව අපමණයි . ජාත්‍යන්තර පාසල්වල ජාත්‍යන්තර භාෂාවෙන් ඉගෙනුම ලබන අපේ දරුවන් රස විදින්නේ සිංහල ගීත නොව වෙනත් හෂාවන් වල ගීතයි. සිංහල ගීත කෙරෙහි  ඔවුන් දක්වන්නේ අලස බවක්. අප කුඩා කාලයේ පාසල් යන්නට සුදානම් වුයේ ගුවන් විදුලියේ උදෑසන ප්‍රචාරය වූ දේශාභිමානි ගීත ඇසීමෙනි. ඒවා විඳීමෙනි. එයින් සිංහල ගීතයේ රස මිහිර වගේම අපේ රට ජාතිය ආගම ගැන හැගීම් ඇති විය . උදෑසනම ඇසුණු හොඳ ගීතවලින් අපේ හිත් උද්දාමයෙන් පිරුණි. ඒ එදා ය. එහෙත් අද අපේ දරුවන් ට උදෑසන අහන්න දකින්න සිදුව ඇත්තේ හරසුන් ගීත.

බොහෝදුරට රුපවාහිනියේ වැඩසටහන් වලින් ප්‍රචාරය වන්නේ හරසුන් ගීත ගොන්නකි. එදා  උදාගීත ඇසීමෙන් අපට ලැබුණු උදාර සිතුවිලි අද දරුවන්ට ලැබෙන්නේ නැත. ඔවුන්ගේ මනස මෙන්ම පරිකල්පන ලෝකද හිස් බවින් පිරී ඇත. වරද ඇත්තේ අප තුළම නොවේද?

 අපේ දෙමාපියන් අපට උරුම කර දුන් රස වින්දන අවස්ථා අපි අපේ දරුවන්ට අහිමි කර තිබේ. එයින් අද බිහිවන්නේ හිස් බැවින් පිරුණු තරුණ පරපුරක් නොවේද? අපම නේද ඔවුන්ව ඒ මගට යොමු කරවා තිබෙන්නේ.

 දැන් දරුවන්ව ආපසු හරවන්නට බැරි තරම් දුර ඔවුන් ගිහින්. තරුණ පරපුරට දොස් කියා පලක් නැත.  මම අගනුවර හොඳ ගීත ප්‍රසංග නරඹන්න යනවා. එත් මගේ දරුවෝ ඒවාට ගෙනියන්නට බැහැ . අයියෝ අම්ම ඒවා හරිම “බෝරින්” කියල  මග අරිනවා . අන්න ඒ නිසා අන්තර්ජාලයෙන් හෝ යහපත් ගිත කලාවකට රසිකයන් යොමුකරන මෙවන් පිටුවලට  සිත් යොමුකරන්න අපට සිදුවෙලා තියෙනවා. අස්වැන්න කරන මේ මෙහෙය ඊට යම් පමණක අරුතක් සපයනු ඇති බව මගේ විශ්වාසයයි.


            ජෝතිමත් ගීතාවලියක රසවතා - 

මම හිතන්නේ මම අස්වැන්නේ ලියවුණ ලිපි 99න් හුඟක් දේවල් කියවලා තියෙනවා.. අස්වැන්නට මම ගොඩවෙන්න, ඔබේ ලියවිල්ලට ආදරේ කරන්න මූලිකම හේතුව තමයි ගීයක් ගැන හරි හැටි දැන ගන්න පුළුවන් කම ඔබේ ලිවිමෙන් ලැබෙන එක.. ඇත්තටම අපි ගොඩක් වෙලාවට සිංදු අහනවා විතරයි.. ඒත් ඒ ගැන හරි හැටි දැනීමක් නෑ.. 

 විශේෂයෙන්ම සුභාවිත ගීය ගැන ලියවෙන හැම දෙයකටම මම හුඟක් කැමතියි.. ජෝතිපාලයන් ගැන ලියවෙන ලිපි පෙලට මම ඇත්තටම හුඟක් කැමතියි.. මොකද එතුමාව මම කුඩාකාලේ ඉදන්නම ප්‍රිය කරපු ගායකයෙක් හන්දා..

 ඊට පස්සේ අතීතයේ ඇසුන ඒත් අපි හරි හැටි නොදැන රසවිදීම විතරක් කරපු ගීත බොහෝමයක ඒවා තැනුන ආකාරය ගැන මම නම් මුලින්ම දැන ගත්තේ ඔබෙන්.. ලිපි 99ක් පුරාවටම සිංහල ගීතය ගැන ඔබෙන් ලියවුන හැම අකුරක්ම හදවතින්ම අඟය කරනවා.. 

ඉදිරියටත් අපිට දැනූම දෙන්න ඔබේ ලිවීම ශක්තිමත් වෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා.

                   
               ගීතයේ සහ සංගීතයේ උල්පත් සෙවීම -
         සුභාෂ් දීල්රුක් කන්නංගර - 
         ඇවිද්ද පය බ්ලොග් අඩවිය

දයානන්ද රත්නායක නමැති මගේ නොදුටු සහෘදයාගේ සියවන සටහන වෙනුවෙන් තබන කුඩා උදාන පාඨයකි.

දොයි ...දොයි ....දොයි ...දොයිය පුතා යනුවෙන් මගේ මෑණියන්ගේ හඬින් ඇසූ පළමු ගීතයේ සිට අද බිහිවන රැප් ආරේ ගීත දක්වා සියළු ගීත රසවිඳි පුද්ගයලෙකු ලෙස "අස්වැන්න" මා දකින්නේ එවැනි ගීත පිලිබඳ දැන ගන්නට පිපාසාවෙන් පෙලෙන්නෙකුට කතරක හමු වන ක්ෂේම භූමියක් ලෙස ය. 

සුදීක නමැති පුද්ගලයා තුල අපූරු සංගීත රසකාමියෙක් ඇත. ඒ මා වෙනුවෙන් මා කර ගන්නා එකම ආත්ම වර්ණනාවය. එයට හේතුව නින්දෙන් මා අවදි වන්නේද, නින්දට යන්නේද යම් ගීතයක් සිතෙන් මුමුණන අතර තුර බැවිනි. 

හැත්තෑව දශකයේ ගීත රස විඳින්නට වාසනාව මටත්, දයාටත් හිමි වීම අපගේ වාසනාවකි. එදා මෙදා තුර ටීටර්, උත්තර භාරතීය, ගසල්, ශාස්ත්‍රීය, බයිලා, කපිරිඥ්ඥා, පෘතුගීසි, ස්පාඥ්ඥ, ලතින්, රොක්, රෙගේ, රැප් ආදී මෙකී නොකී සියලුම සංගීත ආර්යන් රස විදින්නට ලැබිණි. ඒ හැමෙකකම කුමක් හෝ රසයක් වින්දෙමි. එවනි රසකාමී හදවතක් ඇති කෙනෙකුට අස්වැන්න තෝතැන්නකි. අස්වැන්නෙන් මා ලද දේ බොහෝය. ඒ ඉයර් ෆෝන් දෙකක් කනේ ගසාගෙන පහසුවෙන් ගීයක් රසවිඳින වත්මන් සමාජයේ කොටස් කරුවකු ලෙස, ඒ ගීයක් නිර්මාණය වී අපගේ දෙසවන් තුලට එන්න පෙර සිදුවන අපූරු ක්‍රියාදාමය පිලිබඳ සැකෙවින් දැන ගත්තේ මෙය නිසා බැවිනි. 

අස්වැන්න ඉතා ජනප්‍රිය බ්ලොග් අඩවියක් නොවේ. එය කනගාටුවට හේතුවකි. නමුත් දයා ජනප්‍රියත්වය පසුපස හඹා යන්නකු නොවේ. ඒ නිසාම නොසැලී දිගටම ලේඛන කාර්යයේ යෙදෙන්නට ඔහුට ධෛර්යය තිබේ. එය සතුටට කරුණකි. බ්ලොග් ලොවට පිවිසෙන බොහෝ දෙනාට නැති ඒ නොපසුබස්නා වීර්යය දයා තුලින් මා දුටිමි. 

ඔහු වෘත්තියෙන් නීතිඥයෙකි. ලේඛකයෙකි, කලාකරුවෙකි, ගීත රචකයෙකි. මේ සැමටම වඩා ඔහු ගී විචාරකයෙකි. අස්වැන්න සියවන පියවරට මා සුභ පතන්නේ ඉත සිතිනි. 



         සුභාවිත ගීතය සොයන ඔහු - නලීන් දිල්රුක්ෂ                     ප්‍රවෘත්ති කර්තෘ දිණමින පුවත්පත සමකය වටේ බ්ලොග් අඩවිය

අහඹු ලෙස මීට වසරකට පමණ පෙර මම ද බ්ලොග් කියවන්නෙකු හා ලියන්නෙකු බවට පත් වූයෙමි. එදා මෙදා ගතවූ කාලය තුළ විවිධාකාර වූ අරමුණු වෙනුවෙන් ලියැවෙන බ්ලොග් අඩවි ගණනාවක්ම කියවා ඇත්තෙමි. ඒ අතරින් ගත් කල විවිධ වූ ඉසව් ස්පර්ශ කරමින් ලියැවෙන අගනා බ්ලොග් අඩවිද මට කියවන්නට අවස්ථාව ලැබිණි.

 ශ්‍රී ලංකාවේ සුභාවිත ගීත සාහිත්‍ය සිය තේමාව කොට ගනිමින් ලියැවෙන බ්ලොග් අඩවියක් පවත්වාගන ඉමහත් සේවාවක් සපයන කෙනෙකි දයා.  ගීත සාහිත්‍යයක් බ්ලොග් තුළ ගොඩනගන්නට හේ ඉමහත් කැප කිරිමක් කරයි. එක් ලිපියක් වෙනුවෙන් තොරතුරු සොයන්නට හෙතෙම වෙහෙසෙන බව අපට පෙනෙයි. 

ඉතින් මා මහත් ලැදි කමකින් මෙතෙක් කාලයක් කියැවූ දයාගේ අස්වැන්න බ්ලොග් අඩවියේ සියවැනි පෝස්ටුවයි අපට මීළගට කියවන්නට ලැබෙන්නේ. පෝස්ටු සියයක් යනු සිංහල බ්ලොග් කලාවේ කඩ ඉමකි. එම කඩඉම හරවත් ලෙසින් පසුකරන හිතවත් දයාට මගෙන් සුබ පැතුම්.

   
රජරට ගොවි බිමක  සරු අස්වැන්න -
තුසිත කුමාර 
(තොරතුරු හා තාක්ෂණ උපදේශක අංගමුව මහා විද්‍යාලය)

ගොවියෙකු බිම සැකසීමට මහත් වෙහෙසක් ගනී. එම බිම වගාවකට සුදුසු බිමක් ලෙස ගොඩනැඟීමට ඔහු කාලය කැප කරයි. දහදිය වගුරවයි. දියවර හරවා සරු පස පෙරළා බිජු වපුරයි. පොළොවෙන් ඉහළට ඇදෙන පැළය ඔහුට මහත් සංතුෂ්ටියක් ගෙන එයි. වැඩෙන පැළ අතු ඉති දමමින් හාත්පස විහිදෙන විට ගොවියා සොම්නසින් ඉපිල යයි. මලින් බර වන එම වැඩුණූ පැල ඵල දරන්නට පටන් ගත් විට එම සොම්නස දෙගුණ තෙගුණ වෙයි. වැඩුණූ ඵල නෙලා එහි මිහිර විඳ ගැනීමට හැකි වීම ඔහු ගත් වෙහෙසට ලැබෙන අමයුරු තිළිණයකි.
 
වඩාත් ම වැදගත් වන්නේ ඒ කිසිවක් ම නොවේ. එළෙස වෙහෙස දරා කාලය කැප කර අස්වැද්දූ බිමෙහි ඉපදුණු ඵල තනිව බුදින්නේ නැතිව හාත්පස සිටින ජනී ජනයාටද එම ඵල වල මිහිර විඳින්නට ඉඩ කඩ සලසා දිමයි. දුරින් සිටින්නන්ට ද අඩ ගසා මිහිර බෙදා හදා ගැනීමයි. එම මිහිර නේක ජනයා විඳ ගනු බලා නිහතමානී සතුටකින් සංතුෂ්ටියට පත් වීමයි.
 
 දයා සයිබර් අවකාශයෙහි අස්වැද්දූ බිමෙහි හට ගත් අස්වැන්න බෙදා හදා ගන්නට පටන් ගන්නේ 2011 වසරේ මහ කන්නයේදීයි. එම අස්වැන්නේ ඵල වල මිහිරි මා හට විදින්නට හිමි වන්නේ අහම්බයෙන්. දිනක් මේ වර්චුවල් බිමෙහි ගීතයක මං හසර සොයමින් නෙක සැරි සරන විට අමුතු නමක් දැක ගත හැකි විය.අස්වැන්නඑය මට වඩාත් දැනෙන්නට වූයේ ගොවිතැන් නොකළත් ගොවි බිම් ගොන්නක් මැද දිවි ගෙවන මට එම වචනය වඩාත් සමීප බැවිනි.
 
දයාගේ අස්වැන්න හැම විටම නැවුම් මිහිරක්, ජීවිතාවබෝධය ගෙන එන තෝතැන්නක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය හැම විටම අප ජීවිත නව හැඟුම් වලින් පෝෂණය කරන සරුසාර අස්වැන්නක් ම විය.
 
දවසින් දවසට කොළයෙන්
              කොළයට කොළ අඩුවෙනවා
දින දසුනේ
මොහොතින් මොහොතට
මා ගැන සටහන් වියැකී යනවා
              ඔබ මනසේ
 
කේ.ඩී.කේ ධර්මවර්ධනයන් එඩ්වඩ් ජයකොඩි ගායාකයානන්ට ලියූ එකම ගීතය ගැන මට කියා දුන්නේ මේ අස්වැන්නයි. බන්දුල විජේවීරයන්ගේ ඔරිජිනල් ගීත සොයනා විට අපූරු මතක ගොන්නක් සමඟ ඔහුව මුණ ගැස්වූයේ දයාගේ අස්වැන්නයි. මල්පැලේ උපන් පන්සලේ පියතුමා සිංහල පාඩමේදී දරුවන් සමඟ බෙදා හදා ගත්තේ ඒ අස්වැන්නේ අනුහස තවත් පතුරවමින්. ජෝතිපාලයන් පිළීබඳ අපූර්ව මතක නැවත අළුත් කළෙත් මේ සරු බිමමයි. අපේ කාලයේ උත්තරීතර කලාකරුවෙක් වන විශාරද ජයතිලක බණ්ඩාරයන් පිළීබඳ දයා තැබූ සටහන් කිහිපය ඔහුට කළ ගෞරවයක්. ජයතිලක අයියා ගැන නොදත් බොහෝ පිරිසක් ඒ අස්වැන්නෙන් පෝෂණය වූවාට සැක නැහැ. වකුගඩු රෝගීන් වෙනුවෙන් ජයතිලක අයියා කළ පළමු ගීත ප්‍රසංගයට දයාටත් මටත් එක්වන්නට ලැබිම භාග්‍යයක් වූවා.
 
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ගේ නිර්මාණ වපසරිය අපට නැවත වරක් සිහි කැඳවන්නටද අස්වැන්න අමතක කළේ නැහැ. සුනිලා අබේසේකර අදීන කලාකාරිය ගැන ඔබ තැබූ සටහනත් අදීනයි. මේ සියල්ල හරහා දයාගෙ අස්වැන්න අපගේ ජීවිත සුපුෂ්පිත කිරීමට උදව් වන අපූරු බිමක්. ඒ බිමේ සරු අස්වැන්න හෙට දිනයේත් අපේ මනස්, ජීවිත පෝෂණය කරනු දැකීම අපේ පැතුමයි. 100 වන අස්වැන්නට අප සියලු දෙනාගේ උණුසුම් සුබපැතුම් මෙළෙස එක් කරමු.
..........................................................................................................................




මේ ගමන් මගෙහි සියක් වාරයක් පැමිණි, පැමිණ සහය දැක්වූ ඔබ වෙනුවෙන්  මේ ගීතය .... ඔබට   උපහාරයක් ම වේවා.....



දෝතට ගනිමූ දෝතට ගනිමූ

ඉරද හඳද මහ පොළවද

දෝතට ගනිමූ...



ළා හිරු එළියේ දිලිසෙන

විළිකුන් ඵලයක්

නිසල රැයේ කඩා හැලෙන

නිල්වන් තරුවක්

දයා දියෙන් පෙඟී රිදෙන

හදවත් කැටියක්

ඒ හදවත ගැන ලියැවෙන

ආදර කවියක්





පිළුණු ලොවම ඉවත හෙළන

මිනිසා වෙනුවෙන්

වෙනස් වෙන්න බලා සිටින

ලොව ගැන පැතුමක්

ඒ පැතුමන් රැගෙන ගලන

නිදි නැති නදියක්

දෙගොඩ තලන ඒ නදියෙන්

බිහිවෙන දරුවෙක්




ගීපද මාලාව සහ

සංගිත නිර්මාණය: ආචාර්ය සුනිල් විජේ සිරිවර්ධන

ගැයුම: සුනිලා අබේසේකර සමග

          ආචාර්ය සුනිල් විජේ සිරිවර්ධන


                         



Related Posts Plugin for WordPress, Blogger...