මම නිරන්තරයෙන් කතා කරන්නෙ 70, 80
සහ 90 දශකවල බිහි වූ මෙරට සිංහල සුභාවිත
ගීත ගැන. ඒ නිසා මගෙන් බොහෝ දෙනෙක් අහන්නෙ ඇයි මේ නූතන සංගීතකරුවන් ගැන ලියන්නෙ
නැත්තෙ කියල. ඔවුන්ගෙන් හොඳ නිර්මාණ බිහිවෙන්නෙ නැද්ද එහෙමත් නැත්නම් මම ඒ සංගීත
නිර්මාණ අහන්නෙ නැද්ද කියල. ඒ නිසා අද අස්වැන්න තුළින් නූතන
සංගීතකරුවන් සහ ඔවුන්ගේ සංගීත නිර්මාණ ගැන ඔබත් සමග මගේ අදහස බෙදාගන්න කල්පනා
කළෙමි. ඒ නිසා මේ ලිපිය අවසාන වන විට ඔබට ම හිතන්න පුළුවන් ඇයි මම මේ නූතන සංගිත
නිර්මානකරුවන්ගෙන් ඈත් වන්නේ කියලා.
පසුගිය අවුරුදු දොළහ, ඒ කියන්නේ 2000 වර්ෂයෙන් පස්සේ ලංකාවෙ සංගීතය
විශාල වෙනස්කම් වලට ලක් වුණ කාල පරිච්ඡේදයක්. විශේෂයෙන්ම එතෙක් දේශීය ජන ගී සම්ප්‍රදාය
සහ උතුරු ඉන්දියානු රාධාරී සංගීත සම්ප්‍රදාය හදාරා සිටි බොහෝ නිර්මාණකරුවන්ගෙන් බිහි වුණේ සරල ශාස්ත්‍රීය සම්ප්‍රදාය ඇසුරින්
නිර්මාණය වූ ගීත සහ සංගීත නිර්මාණ. කේමදාස, නිමල් මෙන්ඩිස් සහ ක්ලැරන්ස් විජේවර්ධන වැනි සංගිතවේදීන් ඇතැම්
අවස්ථාවල බටහිර සම්ප්‍රදායන් සහ බටහිර සංගීත ක්‍රමෝපායන් ඔවුන්ගේ නිර්මාණ තුළට
ගොනු කරගත්තද, ඔවුන් එසේ කළේ ඒ ඒ නිර්මාණයේ
පසුබිම අනුවයි.
ඒත් 2000 වර්ෂයෙන් පස්සෙ එතෙක්
පැවති මෙරට සංගීත සම්ප්‍රදායන් වෙනස් නව පරපුර කටයුතු කර තිබුණි. ඔවුන් සිය සංගීත
ගමන් මාර්ගය හදාගන්නෙ සංගීතය පිළිබද පුළුල් දැනුමක් විදේශ රටවලින් ලබා ගැනීමෙනි. විදේශයන්හි සිට සංගීතය හදාරා ඒ ලබාගත් දැනුම
ඔවුන් ලංකාව තුළ කුමන ආකාරයෙන් භාවිතා කළේ ද යන කාරණය ගැන ගැටළු මතුවන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය.
කලාව සහ සාහිත්‍යය රටක මිනිසුන්ගෙ
කලාත්මක රසාස්වාදයන් සහ වින්දනීය දැනුම පුළුල් කිරිමට ඉවහල් වේ. ඒ නිසා කුමන ආකාරයකින්
සංගීතය පිළිබඳ දැනුමක් ලබා ගත්තද අවසානයට ඒ ලබාගත් දැනුමේ වාසිය හිමිවිය යුත්තේ
රටක ජනතාවට ය. ඒත් යම් නිර්මාණකරුවකු හෝ නිර්මාණකරුවන් අතින් නිර්මාණ ලෙසින් බිහි වන්නෙ වෙළඳපොල ඉලක්ක කරගත් නිර්මාණ
නම් ඒවා සිල්ලර වෙළඳපොළෙහි අලෙවි කළ හැකි
ඉවත ලන වෙළඳ භාණ්ඩ වීම වැලැක්විය නො හැක. පසුගිය වසර 10 -12 පුරා මෙරට නිර්මාණය වූයේ
එ වැනි වෙළඳපොල සංගීත සංස්කෘතියකි.
ජනප්‍රිය සංගීතය ගැන විවිධ මතවාද
ඇති වෙමින් පැවති යුගයක ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි වැනි
ශිල්පින්ගේ ගීත හරහා ඇති වන රැල්ල පසු කාලීනව රූකාන්ත, චන්ද්‍රලේඛා, ආත්මා ලියනගේ,
නාමල් උඩුගම සහ අතුල අධිකාරී වැනි ශිල්පීන් අතින් ක්‍රමයෙන් වෙනස් වෙන්නට පටන් ගත්තේය.
මේ ශිල්පීන්ගෙන් පසුව ඇති වූ
නූතන සංගීත යුගයට එකතු වන භාතිය ජයකොඩි, සංතූෂ් විරමන්, ඉරාජ් වීරරත්න වැනි
ශිල්පීන්ගෙ සංගිත සම්ප්‍රාප්තිය සිදුවන්නෙ අනූව දශකය අග භාගයේදි. ඒ ඔවුන්
විදේශයන්හි ලබාගත් සංගීතය පිලිබඳ දැනුමත් සමගිනි. ඒ වන විටත් මෙරට ජනප්‍රිය සංගීතය
යනුවෙන් ලේබල් වූයේ සන්ෆලවර් සංගිත රැල්ල,
නොන්ස්ටොප්ගී රැල්ල, සේම මල් සහ පන්සල්
සංගීත සංස්කෘතියයි. එය අද දවසේ ආදරේ යාදින්නක් නැත්නම් කංකෙඳිරිගෑමක් දක්වා ව්‍යාප්ත වි ඇත. මේවා සියල්ල සංගීත රසිකයන් විසින්
අපේක්ෂා කළ දේවල් නොවුවත් වෙළඳුන් විසින් ඒ සදහා වෙළඳපොලක් නිර්මාණය කිරීමට සමත් විය. එය සිදු
වූයේ ගීතයක නිර්මාණත්මකව තිබිය යුතු අවශ්‍යතාවයන්
පසෙක දමා වෙළඳපොල භාණ්ඩයක් අළෙවි කර ගන්නා පරිද්දෙනි.
ඊට බල පෑ එක් හේතුවක් වුයේ ඒ වන විට මේ රටේ කලාව සහ සංස්කෘතිය පිළිබදව
බුද්ධිමය සංවාදයක් ඇති කළ හැකි පිරිස් ප්‍රමාණාත්මකව බිහි නොවීම. බිහිව සිටි අය ද සිය ජීවිතවලින් සමුගෙන තිබීමයි.
එවැනි පසුබිමක් යටතේ නූතන සංගීත සංස්කෘතිය ඇරඹුන ද ඒ පසුබිම
යටතේ ගීත යැයි හඳුන්වමින් සිල්ලරට
විකිණෙන ප්‍රේමයත් ඒවාට ගොනුකර ඇති වීඩියෝ රූප ද ජනතාවගේ රස වින්දනය බලෙන් පැහැර ගනිමින් සිටී.
එවැනි පසුබිමක් යටතේ නූතන ගීත
පිලිබඳව විමසුම් කරද්දී අසු වූ ගීත කීපයක්
ඔබේ අවධානයටද යොමු කරමි.
හිනිපෙත්තටම නැග ජය පෙන්නා
ජය නාදෙ පෑවත් ලොව හොල්ලා
පෙර කාලෙ තරු වෙත හද බන්දා
නව රැල්ලෙ තරු අද ජය ගත්තා...
භාතිය සහ සංතූෂ් ගයන මේ ගීය
සඳහා නිකුත් කළ නිල වීඩියෝව ඔබ නිරන්තරයෙන් දකින්න ඇති. මා එය මෙහි නොදැම්මත්, එහි
ඇති රූප රාමුව තරමක් හෝ ඔබේ මතකයට නංවමි. මේ
නිල වීඩියෝ රූප රාමුවේ සිටින ජාතික ඇදුම අඳින වියපත් ගුරුවරයෙක් විසින් රස වින්දන පාඩමක් උගන්වන්න හදන විට ඔහු පන්තයේ
සිසු සිසුවියන්නේ අමනෝඥ උපහාසයකට ලක්වෙයි. අවාසනාවක තරම නම් මේ රූප රාමු සදහා භාතිය සහ සංතූෂ්ද පෙනී සිටීමය.
ඔවුන් මෙයින් අපේක්ෂා කළේ කුමක්ද, මෙයින් සමාජයට , දුන් ආදර්ශය කුමක්ද, ඔවුන්
අතින් සිදු වුයේ විලි ලැජ්ජාවකින් තොරව ගුරු භක්තිය කෙළෙසීම පමණි.
ඒත් මිට කළින් සුනිල් එදිරිසිංහ
විසින් අසූව දශකයේ පාසල් ගුරුවරයෙකු පිළිබඳව මහින්ද චන්ද්‍රසේකර ලියූ පද පෙලක් ගැයුවේ මෙසේය.
පැන
මඩකඩිති වැව් තාවුළු වැහි කාලේ
පෙන්නා
මග නොමග නොවැටී යන තාලේ
සිප්
කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ
අපෙ
ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
සුනිල් එදිරිසිංහ එසේ ගයද්දී
අමරදේවයන් ඊට පසු කලෙක ගුවන්විදුලියේ
මධුවන්ති වැඩසටහනකට රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පද පෙලක් ගැයූ හැටි මට මතකය. “ගුරු
තරුව සෙමෙන් බැස යයි” ගිතයේ අවසන් පද පෙළ මෙසේය.
එක මලක
නම් නොවේමැයි
මල් යායක
සිරස නැමෙයි
පිතු
ස්නේහයෙන්
ලොව
කියාදුන්නු
ගුරු පාද
පියුම් සුවඳයි.
ඒ අනුව සුනිල් එදිරිසිංහ,
අමරදේව, මෙන්ම භාතිය සහ සංතූෂ්ද ගුරුවරයෙකු පිලිබඳව ගැයුවේ රසය සහ ගුරු භක්තිය එකිනෙකට වෙනස්
වන පරිද්දෙනි. ඔවුන්ගේ ගීවල ස්වරය,
රිද්මය, අරුත එකිනෙකට වෙනස් ය. ඒත් අවාසනාවකට සුනිල් එදිරිසිංහ සහ අමරදේවයන් ගැයූ
ගී දෙකම පාසල් යන වයසේ දරුවන් නොදන්නා
නමුත් භාතියගේ සහ සංතූෂ්ගේ ගීතය කටපාඩම් ය.
ඒ මට දකින්න ලැබුණ එක ගීයකි. ඒ වගේම හැත්තෑව, අසූව දශකවල බිහි වූ ගීත සාහිත්‍යයේ
පිරි ආදරය, ප්‍රේමය, විරහව, යන
සංකල්පනාවන්හි සිටි පෙම්වතා හෝ පෙම්වතිය එදා ගීත රසිකයන්ගේ සියුම්
ඉඳුරන් පවා අවදි කරන චරිත බවට පත්ව තිබුණි. ඒ එදා ය. ඒත් නූතන ගීත සාහිත්‍යයේ ඇසෙන විරහ
යාදිනි වල හමුවන පෙම්වතුන්ගේ ස්වරූපය
මෙසේය.
මං ඉම්බ
තොල්පෙත්ත ඉදිමිලා තිබුණාට
තොල්
සායම් දියවෙන්න වෙලා ගියා මචං
මල්
මත්තේ නැහුණාට කොච්චරක් දුකයිද
තොල්පෙත්ත
හැපුණාට ඔහොම තමයි ඉතිං
චින්ති නම් ගායකයෙකු ගයා තිබු මේ ගීයේ අරුත යළි පැහැදිළි
කරන්නට අවශ්‍ය නොවේ. ඒ නූතන පෙම්වතා සහ පෙම්වතිය කළ දේත්, ගීයෙන් ගායකයා ගැයූ දේත් පැහැදිළි ය. එදා නන්දා මාලනිය සිය ගීතයෙන් ප්‍රේමය
නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි කිව්ව ද මේ ඇසෙන ගීතවල
රාගය හැර වෙන කිසිවක් නැත. එහෙත් චින්තිගේ ඒ ගීය සහ දිවුල්ගනේ ගැයූ මේ ගීයේ
වෙනස බලන්න
රෝස තොල්
සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි
ඔබ ආදරේ
කියා දුන්නෙත් ඒ වගේ තමයි
මේ රැයයි
සඳයි හරියට ඒ ඔබයි මමයි
හීනයක්
වගෙයි හිත පාරවයි රිදෙයි
ප්‍රේමය සහ රාගයේ වෙනස ගීත
දෙකෙන් පැහැදිළිය. කිසියම් කලා කෘතියක නිර්මාණකරුවාට සංයමයක් අවශ්‍ය බව කියන්නට සිදුවන්නේ මෙතැනදීය. එවන් හර සුන් ගීත රැල්ලක් නූතන
සංගීතකරුවන් අතින් නිර්මාණය වෙද්දී ඒ පරපුරේම නූතන නිර්මාණකරුවකු කසුන් කල්හාර මේ
සැඩ පහරේ උඩු ගං බලා පිනන්නේ මෙසේය.
රෝස මල්
යායේ
රෝස
කුමාරියේ
නුඹ
මගෙයි මා ඔබෙයි
ප්‍රේම
ගී රාවේ පාවේ
සීත කඳු
තීරේ..
රෝස තොල්
පෙති සැලී සැලී
කීව
රහසයි ආදරේ
රෝස මල්
සේ මල් පිපේ
මා ළයේ -
ආදරේ නිසා
සුන්දරයි
මේ ජීවිතේ
සිත
පවනැලි ඇදී ඇදී
රෝස
දෙකොපුල් සිඹින්නේ
ඒ වගේ
මා ළං වෙලා
කුමරියේ
- හාදුවක් පුදා
ගයන්නද
ගී ආදරේ..
ගී
පද: ආනන්ද පද්මසිරි
සංගීතය :
එච්.එම්.ජයවර්ධන
ගැයුම: කසුන් කල්හාර ජයවර්ධන
මේ ගීතය කසුන්ගේ ගීත අතර තරමක්
පැරණි ගීයකි. මේ ගීතය කිසිදු ගුවන්විදුලි නාලිකාවකින් ප්‍රචාරය වන බවක් ඇසී නැත.
බැලූ බැල්මට ම මේ ගීය තනුවට ලියු ගී පද මාලාවක් බව පෙනේ. එහෙත් කසුන්ගේ ගායනය මෙන් ම ඔහුගේ පියාගේ සංගීත නිර්මාණයද ගී පද මාලාවේ ඇති කටුක බව මග හරවයි.
![]() |
කසුන් කල්හාර |
ගීතය සංගීතය, මෙන්ම සියළු
සාහිත්‍යාදී කලාවන්ද සමාජ කැඩපතක් බඳු ය.
එයින් පිළිබිඹු වන්නේ මිනිසුන්ගේ චින්තනයයි. ඔවුන්ගේ රස වින්දන මට්ටමයි. මේවා
මිනිස් චර්යාවන් සමග අනුබද්ධ වෙමින් නිරන්තයෙන් ගැටෙමින් මිනිසුන්ගේ වින්දනිය
සීමාම මායිම් පුළුල් කරයි.
එහෙත් නූතන සංගීතකරුවන් සමාජය
තුළ ගොඩනගන ව්‍යාපාරික ගීත රැල්ලේ ප්‍රතිවිපාක විඳින්නට සිදුවන්නේ මුළුමහත්
සමාජයටමය. රසිකයන් නිර්මාණයක් කරා හඹා ගොස් සොයා රස විඳින ක්‍රමයක් වෙනුවට නූතන
ගීතය රසිකයා හඹාගොස් ඔහුගේ අකැමැත්තෙන් වුවද බලෙන් ඇඟේ එල්ලන ක්‍රමයක් අද නිර්මාණය
වී ඇත.
එපමණක් නොව මේ ගීතවලට නිර්මාණය වන බොහෝ ගීත විඩියෝ නිර්මාණාත්මක බව
පසෙක තබා බොලිවුඩ් සිනමාව තුළ ගොඩනැගුණ ස්ත්‍රී ශරීරයේ සෘංගාර රසය පරයමින් හොලිවුඩ් සිනමාවේ (බටහිර සිනමාව) රාගය සහ
ලිංගිකත්වය බලෙන් මතුකර පෙන්වීමේ වෑයමක නිරතව සිටී. ඒවාටම හරියන ගීතද එක පිට එක
නිර්මාණය විමත් ඒවාට මාධ්‍ය මගින් ලැබෙන නොමසුරු දායකත්වයත් මේ ගීත බලෙන් රසිකයාගේ
කරේ එල්ලීමේ තවත් කලාවකි.
නුඹ
හැඩකාරයි කටකාරයි සොකරී යන්න එපා
පැණි රස
කෑම දිව ගාල කංසා බොන්න සොඳා
සුර ලොව
පේන සැප ගාව මා අත් හරින්නෙපා
නුඹ
වැතිරීල උඩුකුරුව සයනේ ඉන්න සුදා
මෙසේ ගොඩ නැගෙන නූතන ගීත සාහිත්‍යයෙන්
රසිකයන්ට ලැබෙන්නේ මොනවාද? චින්තිගේ නුඹ හැඩකාරයි යන මේ ගීතයට වඩා නිහාල් නෙල්සන්
අසූව දශකයේ ගැයූ “ගුණෙ අයියගෙ කාමරේ” වැනි ගීයක සංයමය ඇත. කිව යුතු දේ සෘජු ප්‍රකාශන රීතියක් උපයෝගී කරගෙන
කිව්වත් “මස්කට් පැණි බූන්දි තියෙනව මගේ කාමරේ” වැනි තරමක ව්‍යංගාර්ථයක් හෝ රඳවා
ගැනිමට නිහාල් නෙල්සන්ට හැකි වූයේ හැත්තෑව අසූව දශකවල ගොඩ නැගි තිබූ ඒ සරල රස
වින්දනයේ සීමා මායිම් ඔහු හොදින් දැන සිටි නිසාය.
රම්බරි
කියපං උඹෙ නොම්බරේ
තන්දුරි
කමුද නොදා බර බරේ
වාකරෙ
කවුද ඉන්නෙ ජරමරේ
අම්පාරෙ
මල්ලි නිදිද කාමරේ....
ලහිරු ගීය ගැයුවේ සාමාන්‍ය
රසිකයෙකුට පවා තිබිය යුතු සරල රසවින්දනය නැති අයෙකු ලෙසිනි. ඔහු ගීය ගැයුවේ “රම්බරි” වචනයේ තේරුම පවා නොදැන ය. කලින්
හදාගත් ගී තනුවට අතනින් මෙතනින් ඇහිඳ ගත් මුළුමණින් ම හිස් සහ බොල් වචන අමුණා ගැයූ
ගීයත්, කුමාරදාස සපුතන්ත්‍රී ප්‍රවීණ ගේය පදරචකයා විසින් ලියා එඩ්වඩ් ජයකොඩි ගැයූ
“මා රම්බරී” ගීතයත් අහසට පොළව සේය.
එඩ්වඩ්ගේ ගීතයේ “මාරම්බරී” වචනය
සපුතන්ත්‍රී විසින් ඔහුගේ භාෂා දැනුම උපයෝගි කරගෙන නිර්මාණය කරන ලද්දක් බව ලහිරුගේ
ගීයේ රචකයා විසින් නොදැන සිටින්නට ඇත. මේ රචකයන් දෙදෙනා ගීත දෙකම ලියා ඇත්තේ ගී
තනුවට වුවත් සපුතන්ත්‍රිගේ ගී පද රචනය සාහිත්‍යයෙන් අනූනය. අනෙක් අතට එඩ්වඩ් මෙන්ම
සපුතන්ත්‍රීත් මාරම්බරී කියන්නේ ප්‍රේමයෙන් පිරුනු සිත් ඇතිව ය . එහි ආදරණීය බව පුරවා ඇත.
![]() |
විරාජ් සුලෝචන |
අනෙක් කාරණය නම් ගීතයකින් වුවත්
පෙම්වතියට අමතන ස්වරූපයක් ඇත. කුමන අයුරින් පෙම්වතිය ඇමතුවත් එහි ආදරණිය බවක්
නැත්නම් ඒ ප්‍රේමවන්තයා මස් මඩුවක හෝ මාලු ලෑල්ලක වැඩ කරන්නෙකු විය යුතු බව මට හැඟේ. ඒ නිසා ලහිරු “රම්බරි කියපං උඹෙ
නොම්බරේ” කියා කියන්නේ මස් මඩුවක හෝ මාලු ලෑල්ලක සිට විය යුතුය.
ඒත් නූතන ගීත රැල්ලේ සැබැ
දක්ෂයන් නැතුවා නොවේ. ඇතැම් යොවුන් ශිල්පීන් ජනප්‍රියත්වය හඹා නොගියද, නිර්මාණය කරන ගීත දෙක තුන පවා ඉතා
උසස් රසයෙන් යුක්තය. මේ දවස්වල රූපවාහිනි නාලිකා ඔස්සේ දකින මේ ගීය මා සිත් පැහැර
ගත් නිර්මාණයකි. ගායන ශිල්පියා නවකයෙකු වුවත් ඔහුට පදමාලාවක් තෝරා ගැනීමේ තිබෙන
සහජ දක්ෂතාවය මේ ගීයෙන් ප්‍රත්‍යක්ෂ වේ. මේ භද්‍ර යෞවනයාට වසන්ත කුමාර කොබවක
විසින් ලියා ඇති මේ ගී පද මාලාව සිල්ලර මිලට මාර්කට් එකේ විකිණෙන ශිල්පියෙකු ලෙස
නොව ඊට වඩා ගුණාත්මක නිර්මාණ බිහිකරන්නෙකු පත්වන බවට අපට ඉඟියක් සපයයි.
මල් යායක
හැඩ දකින්න ආසයි
දකින්න
ආසයි ඔබගෙන්
ගං යායට
එය කියන්න ආසයි
කියන්න
ආසයි සැනෙකින්
සංසාරෙම
මේ ලස්සන ඇත්නම්
පිරේවි
තුන් සිත සතුටින්
පිපුණේ කොහොමද
කවදා කොතැනද
නො අසමි
කිසිදා මලකින්
සුවඳ
විඳිමි සිත පිරියෙන්
නැගුණේ
කෙලෙසද දිලුණේ කොහාමද
නො අසමි
කිසිදා සඳකින්
එළිය
දකිමි රෑ අඳුරෙන්
ඔබගේ
හදවත පිරුණේ කාටද
නො සොයමි
කිසිදා රහසින්
පැතුම්
වඩමි සිත දිරියෙන්
මහදේ
පිබිදෙන සෙනෙහේ කොඳ මල
සරසමි
මතු දා සෙනෙහෙන්
පහන්
කරමි ඒ සුවඳින්..
ගේය
පද: වසන්ත කුමාර කොබවක
සංගීතය :
රොෂාන් ප්‍රනාන්දු
ගැයුම: විරාජ් සුලෝචන
ඒ නිසා යම් නූතන ශිල්පියෙකුගේ
ගීත නිර්මාණයක හරවත් බවක් හෝ සංයමයක් ඒ නිර්මාණය තුළ ගැබ්ව නැත්නම් ඔහු කොතරම්
දක්ෂයෙකු වුවත් ඒවා හරවත් නිර්මාණ ලෙසින් පිළිගැනිමට නොහැක. ඒ නිසා අපට සිදුවන්නේ
හැම නිර්මාණයක්ම රස විදිමින් හොඳ දේ පමණක් ඉතිරිකර තබා හරසුන් නිර්මාණ ගං දියේ
සැඟව යන්නට ඉඩ හැර ඉවුරු දෙපසට වී බලා පමණි.෴
වටිනා කාලය බිඳක් වැය කර ගී රස විඳිමින්
කියවූ ඔබට ස්තූතියි. වෙලාවක් ඇත්නම් මීට වඩා වෙනස් වූ ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න