එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...
Showing posts with label සිනමා ගී සිත්තම්. Show all posts
Showing posts with label සිනමා ගී සිත්තම්. Show all posts

Sunday, 9 September 2012

෴ උදුම්බරා.. බඹරු ඇවිත්...෴



"ඔබත් මාත් උපදින්නේ පිහිනන්නේ එකම මුහුදක... ඔබත් මාත් මියයන්නේ  එකම වෙරළක වැල්ලක...."

මා කුඩා කළ මේ වචන පේලි දෙක පාර දෙපස තාප්පවල අලවා පෝස්ටර්වලතේමා පාඨයක්ව තිබූ බවත්, ඒ තේමා පාඨය ගැඹුරු හඬකින් එකල ගුවන් විදුලියෙන් අසුණු බව යාන්තමට මතකය. එය එකල  චිත්‍රපට පූර්ව ප්‍රචාරක දැන්විමකි.  මේ වැකිය අහම්බෙන් ඇස ගැසුණේ  බණ්ඩාර කේ විජේතුංග නම් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාණන් විසින් ඔහු ජීවත්ව සිටියදී නොලියූ එහෙත් ඔහු මියගොස් සෑහෙන කලකට  පසු නිකුත් වූ ඔහුගේ නිර්මාණ ඇතුළත් කෘතියක් කියවමින් සිටියදී ය.

එහි සඳහන්ව තිබූ දේවල්  ඔස්සේ නැවත ඒ අතීතය හාරා අවුස්සා බැලුවේ කම්මැලිකමට මෙනි. කාලයක් තිස්සේ අප කවුරුත් ඇසූ , මිහිරම ගීයක් ඒ වැකියට හේතු වූ බව සිහි වූයේ බණ්ඩාර කේ විජේතුංගයන්ගේ කෘතිය නිසාය.  ඒ නිසාම ඔබත් මමත් සෑහෙන කාලයක් තිස්සේ රසවිඳි ඉතාමත්  අසා හුරුපුරුදු “උදුම්බරා” ගීය ගැන අද අස්වැන්නෙන් සටහන තබන්නේ මා මෙතෙක් නැරඹු සිනමා කෘති  අතර මේ සිනමා කෘතියද අග්‍ර ස්ථානයක රඳවා තබා ඇති හෙයිනි.

චිත්‍රපටය - බඹරු ඇවිත්. අධ්‍යක්ෂක - ධර්මසේන පතිරාජ.  මේ චිත්‍රපටය තිරගතව  තිබුණෙ 1978 දී.  ඒ ලංකාවෙ දේශපාලන සහමුලින්ම වෙනත් මගකට යොමුකල දේශපාලන සංස්කෘතියක ඇරඹු සනිටුහන් වෙමින් තිබූ යුගයක ආරම්භය. ඒ නිසාම බඹරු ඇවිත් චිත්‍රපටය නිර්මාණය වූයේ  ඒ දේශපාලන සංස්කෘතිය කේන්ද්‍ර කර ගනිමිනි.  ඒ නිසාම මේ චිත්‍රපටයේ පසුබිම් තොරතුරු කීපයක් සමගම චිත්‍රපටයේ තිබූ එකම එක ගීතය ගැන ලිවීමට කල්පනා කළෙමි. ඒ නිසා මේ චිත්‍රපටයේ මූලික කාර්මික තොරතුරුත් සමගම චිත්‍රපටයේ තේමා ගීය ගැන සොයා බලමු.

චිත්‍රපටය - බඹරු ඇවිත් ( කලු, සුදු )
තිර රචනය දෙබස් සහ අධ්‍යක්ෂණය - ධර්මසේන පතිරාජ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
 ගායනය - ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේසේකර
නිෂ්පාදනය -  තිලක් ගොඩවත්ත / ධර්මසේන පතිරාජ

චරිත නිරූපණය  -

විජය කුමාරතුංග           - වික්ටර් ( බේබි මහත්තයා)
මාලනී ෆොන්සේ කා    - හෙලන්
ජෝ අබේවික්‍රම            -  ඇන්ටන්
සිරිල් වික්‍රමගේ             - සිරිල්
විමල් කුමාරද කොස්තා  - වීරසේන
දයා තෙන්නකෝන්       - ෆ්‍රැන්සිස්
අමරසිරි කලංසූරිය        - සනත්

චිත්‍රපටයට පසුබිම් වූ පුවත

ඒ ඉතා දුෂ්කර පෙදෙසක පිහිටි මුහුදුබඩ ධීවර ගම්මානයකි. ඒ ගම  දුෂ්කර ප්‍රදේශයක රාජ්‍ය පාලන තන්ත්‍රයේ හෝ රජයේ පාලනයේ මැදිහත් වීමකින් තොර වූ සාමයෙන් පිරුණු ගමකි. ඒ ධීවර ගම්වැසියෝ තමන්ගේ පාඩුවේ ධීවර කර්මාන්තයේ නියැලෙමින් මූදත් සමග ජීවන අරගලයක  හැපෙමින් සිටිති. ඒ ගමේ බාහිරින් පැමිණි සංක්‍රමණික ධීවරයන් නැතුවාද නොවේ. ඒත් ගම සාමකාමීය. ඒත් එදිනෙදා ලැබෙන ආදායමින් ඔවුහු සුව සේ ජීවත් වෙති.

ඇන්ටන් - ඒ පාරම්පරික ධීවර ගමේ ඉපිද එහිම හැදී වැඩී ඒ වැල්ලේම මාලු මිලට ගනිමින් ධීවරයන් අතර හොඳ හිත පැතිරූ එහෙත් තොටුපලේ මාලු වෙළඳාමේ අනසක පැතිරූ මුදලාලි වුවද වැල්ලේ වෙසෙන ධීවරයන් සමග එකට අඩිපුඩි ගසන එකට  දුක සැප බෙදාගන්නා කාගේත් හිතවතෙකි.

වික්ටර් ( බේබි මහත්තයා) - නගරයෙන් ඒ ධීවර ගමට සංක්‍රමණය වන කඩවසම් රූපකායකින් හෙබි  තරුණයෙකි. ඔහු ගමට එන්නේ තනිව නොව තවත් පිරිවරක්ද සමගය. ඒ හිස් අතින් නොවේ. ටී ෂර්ට්, ඩෙනිම් අඳින අවු කණ්නාඩි පළඳින මෝටර් බෝට්ටු, නවීන ධීවර ආම්පන්න, විස්කි බ්‍රැන්ඩි, සිගරට්, ආදී ගමේ නොතිබූ විවිධ රට බීම මෙන්ම තුවක්කු පිස්තෝල ආදී ගිනි අවිද සහිතවය.  මොවුන් ගැමි සංස්කෘතිය තුළට පැමිණි සංස්කෘතික ආක්‍රමණිකයන් පිරිසකි.


හෙලන් - වැල්ලේම ඉපිද, වැල්ලේම හැදී වැඩුණ , ධීවර කර්මාන්තයේ යෙදෙමින් ජීවත්වන රූමත් තරුණියකි.

සිරිල් - ඒ ධීවර ගම්මානයේම ඉපිද එහිම වෙසෙන , වැල්ලේම දුක සැප වළඳන තරුණයෙකි. හෙලන් නැමති තරුණිය සමග විවාහ ගිවිසගෙන සිටින ඔහුගේ අපේක්ෂාව වන්නේ හෙලන් සමග යහපත් පවුල් ජිවිතයක් අරඹීමය.

මේ චරිත වටා ගොඩනැගෙන  ධීවර  ගම්මානයේ ගැටුම් ඇරඹෙන්නේ වික්ටර් හෙවත් බේබි මහත්තයා වැල්ලට පැමිණ සිය බලය වැල්ල පුරා විහිදවන්නට පටන්ගත් මොහොතේ පටන්ය. ඊට මුලින්ම එරෙහි වන්නේ ඇන්ටන් ය. ඇන්ටන් වැලේලේ මුදලාලිය.  වික්ටර්ගේ ප්‍රාග්ධනයේ නව ජවය හමුවේ ගමේ පැවති සමගිය මුලුමනින්ම බිඳ වැටේ.  සියල්ල උඩු යටිකුරුවීම ගතවන්නේ කෙටි කාලයකි. බේබි මහත්තයාගේ නව ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට එම ගම්මානය ගොදුරු වේ.  චිත්‍රපටය ආම්භයේ දීම වික්ටර්ගේ ජීප් රිය  දකින ඇන්ටන්ගේ මුවින් ගිලිහෙන්නේ මෙවන් වදන් වැලකි.



" සිදාදියේ එවුන්ට  මොන බිස්නස්ද මස්සිනා.."
"තෙරේසා.. උඹලා ප්‍රවේසම් වෙයල්ලා බඹරු ඇවිල්ලා.. බඹරු..."

ඇන්ටන් සමග වික්ටර් ද වැල්ලේ මාලු මිලට ගැනිමේ තරඟයට පිවිසිම හේතුවෙන් එතෙක් ගම අභ්‍යන්තරයේ තිබූ වත්කම් නගරය අතට පත්වෙද්දී ඇති වන ගැටුම් හේතුවෙන් මරණ තුනක් සිදුවේ .

හෙළන්ගේ අත ගන්නට පෙරුම් පුරමින් සිටි සිරිල් පළමුවෙන් මියයයි. ඒත් චිත්‍රපටයෙන්  ඔහුගේ මරණය සිය දිවි හානිකර ගැනිමක්ද එසේ නැතහොත් ඝාතනයක්ද යන්න හෙළි නොවන රහසකි.

දෙවනුව වික්ටර්ගේ ගෝලයෙකු වූ ෆ්‍රැන්සිස් විසින් ඇන්ටන් වැල්ලේ වෙරිමතින් සිටියදී  මන්නා පහරකින් මරාදමයි. ෆ්‍රැන්සිස් එසේ කරන්නේ වික්ටර් හෙවත් බේබි මහත්තයා ආරක්ෂා කර ගැනිමටය. ඇන්ටන් බොහෝ අමාරුවෙන් ඇවිද ගොස්  වැල්ලේ වැටී මියයයි. ධීවරයන්ගේ හිත හොඳ මිනිසා වූ ඇන්ටන්ගේ මරණය ගැන දැඩිව කෝපවන ධීවරයන් විසින් ෆ්‍රැන්සිස්  මරා දමයි.

මේ සියලු සිදුවීම් අතර  එතෙක් තම පෙම්වතා වූ සිරිල් අහිමි වී  සිදාදියෙන් වැල්ලට පැමිණි තම අලුත් පෙම්වතා වූ බේබි මහත්තයා  නිසා කුසට ආ දරුවකුද සමග හෙලන් වැල්ලේ තනිවෙයි. 

වීරසේන මේ සිදුන සියලු දේ මැනැවින්  වටහා ගන්නා  වික්ටර්ගේ මිත්‍රයෙකු වුවද ඔහු ගමේ සිදුවන විනාශය සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව වික්ටර්ගේ සමාජයෙන්ම  නැගෙන තරුණ දේශපාලන  හඬකි. එහෙත් වීරසේනගේ දේශපාලනය මගින්  ගම්වැසියන්ට කියන්නට  උත්සාහ කරන දේ ධීවර ගමේ කිසිවකු තේරුම් නොගනී.

අවසානයේ මේ හේතුවෙන් වික්ටර්  තම ආරක්ෂාව පතා මුලින්ම  ධිවර ගම් පියසට නාවුක හමුදා බල ඇණියක්ද , අනතුරුව පොලිසියද කැදවයි. ඒත් අවසානයේදී වික්ටර් සිය මිතුරා  වන සනත් සමග  නගරයට යයි.

වීරසේන කොළඹට යෑමට පෙර කඩමණ්ඩියේ සිටින ධීවරයන් අමතන්නේ තාප්පයක් මතට නැගී සිටය.

"ඔහෙලට මොනවද දැනගන්න ඕනෙ වුණේ කියලා මම  දැක්කා. මට පෙණුනා ඔහෙලව සූරාකනවා.. ඔහෙල ඊට විරුද්ධවෙන් ඕනෑ...."

සිය දීර්ඝ දේශනය අවසානයේ වීරසේනට වැටහෙන්නේ  ඔහු පැවසූ යථාර්ථයට සවන් දිමට හෝ අවබෝධ කරගැනිමට තරම් උගත්  කිසිවකු වැල්ලේ නැති බවයි. එවිට  ගමට පිවිසෙන පොලිස් ජීප් රිය දකින වීරසේන මුවින් මහා සරදම් හිනා හඬක් නැගේ. අන්තිමේ දී ඔහු හිස් වූ බස් රථයට නැගී කොළඹ යයි. ඒ සමගම ගමේ සාමය ස්ථාපිත කිරිම පිණිස අවි ආයුධ සමග පොලිස් කණ්ඩායමක් ගමට පිවිසේ. ඔවුහු පොලීසියක් නොතිබූ  ඒ ගමේ පොලිසියක් පිහිටවති.

ලාංකේය සිනමාවේ දේශපාලන දැක්ම

මේ සිනමා කෘතිය  මුළුමනින්ම ගොඩ නැගුණේ පුළුල් සමකාලින දේශපාලන  කතිකාවක් ගොඩ නැගිම සඳහාය. ඒ 1977න් පසුව බිහිවූ නව ධනවාදී දේශපාලන සමාජ ක්‍රමය පිලිබඳ දේශපාලන කතාබහක් ගොඩ නැගිමටය. ධර්මසේන පතිරාජගේ සිනමා දෘෂ්ඨියේ තිබූ ඒ සමකාලින සමාජ යථාර්ථය මෙන්ම නව දේශපාලන දැක්මක් සහිත සිනමාවක අවශ්‍යතාවය ඔහු පැහැදිළි කර දුන්නේ “බඹරු ඇවිත්” චිත්‍රපටය හරහාය. රාජ්‍ය පාලනය අත පෙවිය නොහැකි දුරකින් තිබූ මේ ධිවර ගම්මානයේ සාමය කඩා ඉහිරවා දැමූයේ ධනවාදි ආර්ථිකයේ ප්‍රතිඵලයකින් බවටත්, වික්ටර් හෙවත් බේබි මහත්තයා වැනි චරිත හරහා ඒ වන විට ගොඩනැගෙමින් පැවති ඒ නූතන දේශපාලන සමාජ සංස්කෘතික ප්‍රවාහය පිළිබඳව පතිරාජ ඉඟියක් කළේ බඹරු ඇවිත් චිත්‍රපටයෙනි.

පොලීසියක් නැති ගමකට පොලීසියක් අවශ්‍ය වුයේ ඒ ගමේ  එතෙක් කල් සාමකාමීව විසූ ධීවර ජනාතවගේ ආරක්ෂාවට නොවේ. ඒ පොලිසිය පැමිණියේ ඒ වන විට ගොඩ නැගෙමින් තිබූ ධනවාදී සමාජ ක්‍රමයක් හරහා ක්ෂණිකව මුදල් උපයන බේබි මහත්තයා වැනි සමාජ  දූෂිත චරිතවල ආරක්ෂාව පිණිස බව පතිරාජ සිය සිනමා කෘතියෙන් පැහැදිළි කර දුන්නේය.  එපමණක් නොව බේබි මහත්තයා වැනි චරිතයක් නියෝජනය කල සමාජ පන්තියෙන්ම නැගී ආ විරෝධය වීරසේන වැනි චරිතයක් මගින් ඉදිරිපත් කළේය.

වාමාශික දේශපාලන න්‍යායන් ගොඩනැගිමට උත්සාහ කළ එවකට වූ සමාජ ප්‍රති විරෝධයන් ඒ නිර්ධන සමාජ පංති විසින්ම බැහැර කර හෙලන් සහ බේබි මහත්තයා නියෝජනය වූ ධනවාදි ආර්ථිකයේ නොවැටහුණු ගැඹුර  බදා ගෙන ඒ කරා ඇදෙන සමාජයක් ගොඩ නැගෙන බවටත්, ඒ සමාජ දේශපාලන ප්‍රති විරෝධයන් නොදකින ජනතාවක් වෙසෙන සමාජයක්  තුළ තුළ තිබූ නිහඬ බියකරු හුදකලාව  ධර්මසේන පතිරාජ “බඹරු ඇවිත්” සිනමා කෘතියට මැනැවින් ගොනුකර තිබුණි.

සිනමා සංගීතයේ කේමදාස

බඹරු ඇවිත් සිනමා කෘතිය ගැන කතා කරද්දී එහි වූ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය පිළිබදව විමසා සිටිය  නොහැක. බඹරු ඇවිත් චිත්‍රපටයේ කතා පුවත මුලුමනින්ම සිය සංගීතමය ග්‍රහණයට නතු කර ගන්නා කේමදාස,  ධර්මසේන පතිරාජ ගොඩනැගූ කතා පුවතට නොදෙවෙනි වූ  සංගිතමය කතබහක් චිත්‍රපටයේ ඇති කරයි.  ඒ ජනතාවට නොවැටහුණු ධනවාදී සමාජ ක්‍රමයේ තිබූ දේශපාලන සිනමා කතිකාව කේමදාස තමන් අදහන සංගීතමය භාෂාවෙන් ප්‍රකාශ කරයි.

උදුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට හැංගෙනවා....

ඉර අඳුරට හැංගෙන්නේත් උදුම්බරා හිනැහෙන්නේත් එකම ඉසව්වක දීය . ඒ පරම්පරා ගණනක් තිස්සේ හැදී වැඩුණු වැල්ලේමය. කේමදාස උදුම්බරා ගීය චිත්‍රපටයේ පසුබිමින් එක දිගට වාදනය නොකර අවස්ථා තුනක් යටතේ චිත්‍රපටයේ සමස්තය හකුළුවා දක්වයි. චිත්‍රපට ගීතය සහ චිත්‍රපට සංගීතයත්,  චිත්‍රපට පසුබිම් ගීයක වෙනසත් අපට  දැනෙන්නට පටන්ගන්නේ මෙතැන දීය.

මහ මුහුද, මහ මුදේ හැපෙමින් මුහුද හා අරගලයක යෙදෙන ධිවරයන්ගේ දුක් අ‍ඳෝනා ‍ මුහුදේ නිතර වෙනස් වන ස්වභාවය ඔස්සේ කේමදාස  සිය සංගීතයට හසුකර ගනී. කේමදාසයන් මේ සිනමා කෘතියේ සංගීතය නිර්මාණය කිරිමට පෙර “මහ මුහුද” සංධ්වනිය නිර්මාණය කර තිබූ නිසා ඔහුට බඹරු ඇවිත් චිත්‍රපටයේ සංගීතය නිර්මාණයේදී  මහ මුහුද හැසිරෙන ආකාරය සංගීතයට හසුකරගන්නා අන්දම පිලිබදව මනා අවබෝධයක් තිබුණි.  විටෙක මුහුදේ ඇති නිසල බවත්, තවත් විටෙක එහි චංචල භාවයත් තවත් විටෙක අති ප්‍රචණ්ඩත්වයත් සංගීතය හසු කර ගන්නේ ධීවර ජනතාවගේ හදේ රිද්මයෙනි. චිත්‍රපටයේ අවස්ථා දෙකකදී හෙලන්ගේ චංචල සිතුවිලිවල මනෝභාවයන් වඩා උච්ඡ තලකයක රඳවන්නේ මේ ගීයේ  මතු දැක්වෙන කොටසනි.

“ආදරයේ ඔබ ඔබමය
ආදරයේ ඔබ මා නොව
දවසක්දා...
හඳුනාගත්තොත් ඔබ මා....”

චිත්‍රපටයේ කතා පුවත සමග  සංවාදයක් ගොඩනැගීම සිදුවන්නේද  කේමදාසයන්ගේ සංගීතයෙනි. ඔහු ඒ සඳහා මූදුකරයටම ආවේණික සංගීතමය ස්වර රටාවක් ගොඩනගා ගනී.

ටී.එම්., අයිවෝ සහ සුනිලා අබේසේකර

සුනිලා අබේසේකර
කේමදාස ඒ සඳහා ටී.එම් ජයරත්නගේ ගායනය මෙන්ම අයිවෝ ඩෙනිස්ගේ ගායනයද එකපිට එක නැගෙන මූදු රළ හා අනුගත වෙමින්  ගායන හඬ මුසු කරවයි. වරෙක ටී.එම්.ගේ හඬ උච්ඡ ස්වරයෙන්ද අයිවෝගේ හඬ මන්ද්‍ර සවරයකින්ද  සංගීතයට හසුකර ගන්නේ මූද මෙන් ව්‍යාකූල වු ධීවරයන්ගේ ආත්මය ප්‍රකාශ කිරිමටය.

මීට පෙර දවසකද මා සඳහන් කළා වූ නූතන ලාංකේය දේශපාලනයේ  සිවිල් සංවිධානයන්හි ශක්තිමත් කාන්තා නියෝජනය වූ වත්මන්  ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිරූපය සමග අරගල කරන  සුනිලා අබේසේකරගේ එදා තිබූ  තියුණු ගායන ස්වරයද චිත්‍රපටයේ හෙලන්ගේ ආත්මය තුලින් නැගෙන්නා වූ හුදකලාව දැඩිව හසුකර ගනී. ඒ වූ කලී බඹරු ඇවිත් චිත්‍රපටයේ සංගීතය  සිනමා සංගීතවේදී කේමදාසයන්ගේ අද්විතිය නිමැවුකි.

උදුම්බරා හිනැහෙනවා
ඉර අදුරට හැංගෙනවා
දස දහසක් සම් මස් ඇට
සිනා කදුළු වැහි වැහැලා
ගිනිගෙන රත්වුණු දවසක
සැනසෙන එක හැන්දෑවක
උදුම්බරා හිනැහෙනවා..

මුහුදු කොණේ සුදු වැල්ලේ
ඉර හැංගෙන එක මොහොතක
උදුම්බරා හිනැහෙනවා..

කළුවර දුම එක හුස්මට
මුලු ලෝකෙම වසාගන්න
ගිනි දිය ලෝ දිය වැස්සේ
කිරි සල්කිරි උදුම්බරා...
සිනා කදුළු  වගුරනවා


ආදරයේ.. ඔබ ඔබමය
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක්දා....
හඳුනාගත්තොත් ඔබ මා....
හඳුනාගත්තොත් ඔබ මා....

ඒ මොහොතෙම එක හුස්මට
උපදිනවා ගිනි රස්නය
සීතලෙන්ම...
හඳුනාගත්තොත් ඔබ මා....

මහ මුහුදම ගොඩට ගලා
රත්වුණු හිරු පායන්නට
රත්වුණු හිරු පායන්නට
ගොඩබිම මහ මුහුදක් විය
මහ මුහුදම ගොඩබිම විය

උදුම්බරා කඳුළු සළයි....
උදුම්බරා කඳුළු සළයි....
කදුළු සළයි... කදුළු සළයි..

ගීත රචනය:  ධර්මසේන පතිරාජ සහ ඩබ්ලිව්.ජයසිරි
සංගිතය ‍: ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ටී.එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේ‍සේකර



ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් සිනමා කෘතියෙන් ඔහු හෙළි කල දේශපාලනය අද දවසට ද වලංගුය. අද දවසේ අප සිටින්නේ එවැනි සමාජ පසුබිමක ය. ලාංකේය  සිංහල සිනමාවේ ධර්මසේන පතිරාජ වැනි දැවැන්ත සිනමාකරුවකුගේ සිනමාව සහ ඒ සිනමා කෘතිවල නිරූපිත නිර්මානාත්මක දේශපාලන අරගලය මීට වඩා දීර්ඝව විමසා බැලිය යුත්තකි. එතරම් දීර්ඝ  විමසුමක් කරන්නේ නම් සමස්ත සිනමා කෘතිය අරබයා. එකි විමසුම කල යුතුය. මා මෙහිදි උත්සාහ කළේ ඉතාමත් කෙටියෙන්  පතිරාජගේ සිනමා කෘතියක් මගින් නිරූපිත දේශපාලන සිනමා සංස්කෘතිය සහ ඒ දේශපාලන සිනමාව  සදහා කේමදාසයන්ගේ සංගීතමය  දායකත්වය කෙසේ සිදුවුයේ ද යන්න විමසා බලන්නටය. ෴


ආශ්‍රිත ග්‍රන්ථ:
01.                         තාරකා මේඝයෙන් ඔබ්බට - ගුණසිරි සිල්වා (2006)
02.                          ලාංකීය සිනමාවේ පතිරාජ ලකුණ - හෙන්රි වර්ණකුලසූරිය ( 2005)
03.                          ධර්මසේන පතිරාජගේ සිනමා භාවිතය - තුසිත  ජයසුන්දර (2006)
04.                          කේමදාස සංගීතය - උපුල් ගුරුගේ
05.                          මාස්ටර් - බුද්ධාස ගලප්පත්ති , සමන්ත හේරත්
06.                          ප්‍රේමසිරි කේමදාස විචාරාත්මක චරිතාපදානය - එරික් ඉලයප්ආරච්චි
07.                          සුළඟ වගේ අවිදින් - බණ්ඩාර කේ විජේතුංග


ඔබේ වටිනා කාලය බිදක් වැය කර ගී රස විඳිමින් කියෙව්වාට  ස්තූතියි. වෙලාවක් ඇත්නම්  ලංකාවේ සිනමාව ගැන හෝ මෙහි ලියැවෙන දේ ගැන ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න.


Tuesday, 29 May 2012

෴ සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් ෴




 ගීත සාහිත්‍යයට චිත්‍රපට ගීතයෙන් ලැබුණ ආලෝකය ගැන විමසීමක් කරන විට අමතක කළ නොහැකි ගීත දෙකක් සිංහල චිත්‍රපට ඉතිහාසයෙන් හමුවේ. ඒ ගී දෙකම මතකයෙන් බැහැරව ඇතත් සදාතනික මතකයේ රැඳි ඒ ගීත දෙක පිළිබඳව අද "අස්වැන්න"තුළින් ටිකක් කතා කරන්න හිතුවා. ධර්මසිරි බණ්ඩාරනායකගේ "හංස විලක්" චිත්‍රපටයේ ඇතුළත්ව තිබූ, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ  නන්දා මාලනී ගැයූ " සඳුන් සිහින මණ්ඩපයේ" ගීතය සහ ටී.එම්.ජයරත්න සමග සුනිලා අබේසේකර ගැයූ "හෙමින් සැරේ පියා විදා" යන  සදාතනික මතකයේ රැ‍ඳෙමින්  සුවඳ විහිද වූ ඒ  ගීත යුගලයයි.

1980.10.24 දින තිරගත වූ  ධර්මසිරි බණ්ඩාරනායකගේ "හංස විලක්" චිත්‍රපටයේ කතා පුවත තහනම් ආදරයක් පසුපස හඹාගිය විවවාහක තරුණ සැමියෙකු සහ ඒ තහනම් ආදරයේ වල්මත් වූ විවාහක තරුණ බිරිඳක අතර හටගත් අනියම් සම්බන්ධතාවයක් වටා ගොඩ නැගී තිබුණි. ඒ  සඳහා මේ ගීත දෙකම නිර්මාණය වී තිබේ.

ප්‍රධාන චරිත හතරක් වටා ගොඩනැගුණු  හංස විලක් චිත්‍රපටයෙහි චරිත අතර ප්‍රධාන චරිත දෙකෙහි අභ්‍යන්තර සිතුවිලි චලනය වන අයුරු පෙන්විමට මේ ගීත දෙක යොදා ගෙන තිබේ.  

ධර්මසිරි බණ්ඩාරනායක - නිශ්ශංක වීරසිංහ ලෙසද,
ස්වර්ණා මල්ලවාරච්චි  - මිරැන්ඩා රණවීර ලෙසද,
හෙන්රි ජයසේන - ඩග්ලස් ( මිරැන්ඩාගේ ස්වාමි පුරුෂයා) ලෙසද,
වසන්ති චතුරාණි - නිශ්ශංකගේ බිරිඳ ලෙසද , 

මෙහි චරිත නිරූපණය කරනු ලැබීය. නිශ්ශංක සහ ඔහුගේ බිරිඳට දරුවන් දෙදෙනෙකි. මිරැන්ඩා සහ ඩග්ලස් යුවලට එක් දරුවෙකි. එසේ වුවද අසම්මතයේ හට ගන්නා මේ පෙම් පුවත එකී ප්‍රධාන චරිත හතර තුළ වූ පවුල් අරගලය  දෝලනය කිරිමටත් මේ ගිත දෙකම සමත් විය. මිරැන්ඩාගේ හිතේ නලියන නැවුම් ‍ප්‍රේමය සහ එහි වික්ෂිප්ත භාවයත් මුදා හරින්නේ  නන්දා මාලනී ගැයූ " සඳුන් සිහින මණ්ඩපයේ" ගීතයෙනි. 


සඳුන් සිහින මණ්ඩපයේ
ප්‍රාර්ථනා පියාසලයි
ප්‍රාර්ථනා පියාසලයි


නිවි නිවි දැල්වෙන
රිදී පහන් එළි
අඳුර සමග ගැවසේ
එළිය කෙමෙන් මියැදේ
එළිය කෙමෙන් මියැදේ

හංස නෙතක රැඳී
කඳුළක් ගිලිහී
හංස විලම කැළතේ
හංස විලම කැළතේ

ගැයුම: නන්දා මාලනී
සංගිතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

මේ ගිතයේ ගී පද රචකයා මගේ මතකයෙන් බැහැරව ඇතත්. ගීතය ලියන්නට ඇත්තේ ඩබ්ලිව්. ජයසිරි යැයි සිතිය හැකිය. මේ සඳහා නිශ්චිත නිවැරදි  තොරතුරක්  ඔබ දන්නේ නම්  ඒ විස්තරයද ලබා දුන්නොත් මෙහි සටහන් කල හැකිය.  

ඒ කෙසේ නමුදු මේ ගීතය ඉතාමත් කෙටි වචන කිපයකින් යුක්ත වුවද එය සිනමා කෘතිය පුරාම විශාල අරුතක් ජනිත කරවයි. මිරැන්ඩාගේ අනියම් සම්බන්ධතාවය විග්‍රහ කිරීමටත් ඇගේ චංචල සිතුවිලි ප්‍රකාශ කිරිමටත් "නිවි නිවි දැල්වෙන රිදී පහන් එළි අඳුර සමග ගැවසේ" යන්න යොදා ඇත. එය වඩාත් කුළු ගැන්වෙන්නේ නන්දා මාලනියගේ මධුරතර ගායනයෙනි.
මේ ගීය ඇතුලත් ගීත ඇල්බම් නිකුත් වී නොමැති බැවින් "සඳුන් සිහින මණ්ඩපයේ" ගීතයට අදාළ චිත්‍රපට ජවනිකාව ගීතය සමග මෙතනින් බලන්න. 



එහෙත්, හංස විලක් චිත්‍රපටයේ තේමා ගීය ලෙස සලකන්නේ ටී.එම්.ජයරත්න සමග සුනිලා අබේසේකර ගැයූ "හෙමින් සරේ පියා විදා" ගීතයයි. අසම්මත තරුණ විවාහක පෙම් යුවල පෙමින් වෙලි අනියමින් යහන්ගත වු අවස්ථාවක ඒ හෝටල් කාමරයට කඩා පනින පොලිස් නිලධාරීන් හේතුවෙන් ඔවුන් දෙදෙනාට මුහුණ දිමට සිදුවන සිද්ධි දාමයක සිතුවිලි වල චංචල මනෝ භාවයන් සිනමා කෘතිය පුරා දිග හැරේ. ඔවුන් දෙදෙනා යහන් ගතවීමේදී පසුබිමින් ඇසෙන්නේ මේ ගීතයයි. මේ ගීය සියළු අතින් අර්ථ පූර්ණ වූත්, භාව පූර්ණ වූත්, ගීයක් ලෙස හැඳින්වීම නිවැරදිය.

ධර්මසිරි බණ්ඩාරනායක

ධර්මසිරි බණ්ඩාරනායක
ධර්මසිරි බණ්ඩාරනායකගේ පළමු සිනමා කෘතිය මෙයයි. වේදිකා නාට්‍යකරුවකුව සිටියදී ඔහු සිනමාවට පිවිසෙන්නේ මේ චිත්‍රපටය තුළිනි. ඒ නිසා   මෙම චිත්‍රපටය විචාරක ඇසට හසු වූයේ මෙහි එන කතා පුවතටත් වඩා ධර්මසිරි බණ්ඩාරනායක වාමාංශික දේශපාලනයේ  දැඩි මතධාරියෙකුගේ සිනමා දෘෂ්ඨිය ආන්දෝලනයක් වූ  බැවිනි. “ඒකා අධිපති”  වේදිකා නාට්‍ය  වැනි වේදිකා නාට්‍යක තිබු දේශපාලන දර්ශනයට බාහිරව මේ ආකාරයේ අසම්මත ලිංගික ඇසුරක් පිළිබඳව වූ සිනමා කෘතියක් ඔහුගේ දෘෂ්ඨියෙන් නිර්මාණය වනු ඇතැයි එවකට කිසිම චිත්‍රපට විචාරකයෙකු අපේක්ෂා නො කළේය. 

හංස විලක් චිත්‍රපටය මගින් සිනමාවට පිවිසීම සඳහා ඔහු අනුගමනය කළේ අසූව දශකය ආරම්භ වන විට යුරෝපය පුරා කළු සුදු වර්ණයෙන් යුතු චිත්‍රපටවල නැග එමින් තිබූ " පරපීඩක කාමයයි" විශේෂයෙන්ම ජර්මනිය. චෙකොස්ලෝවැකියාව, පෝලන්තය වැනි රටවල සිනමාකරුවන් විසින් අනුගමනය කළ එකී දැඩි සිනමා රීතිය හංස විලක් සිනමා කෘතිය සඳහා ධර්මසිරි බණ්ඩාරනායක අනුගමනය කර තිබුණි. එවකට මේ චිත්‍රපටය පිළිබඳව විචාරකයන්ගේ මතය වූයේ පෝලන්ත සිනමාව සහ පෝලන්ත සිනමා කරුවන් ගොඩනැගූ මේ  "පරපීඩක කාම" සිනමා දෘෂ්ඨිය ධර්මසිරි බණ්ඩාරනායක විසින් සෘජුවම අනුගමනය කර ඇති බවයි. එය ඔහු අනුගමනය කරන දේශපාලන දෘෂ්ඨිය සහ සිනමා දෘෂ්ඨිය අතර හටගත් සිනමා රූපි මත ගැටුමක් බවයි.

ධර්මසේන පතිරාජගේ ගීත රචනය

ධර්මසේන පතිරාජ
හංස විලක් චිත්‍රපටය ධර්මසිරි බණ්ඩාරනායකගේ පළමු චිත්‍රපටය ලෙස ඉතිහාස ගත වනවා සේ ම ඒ වන විටත් සිංහල සිනමාවේ දැවන්තයෙකුව සිටි ධර්මසේන පතිරාජ සිනමාවෙන් ඔබ්බට ගොස් හංස විලක් සිනමා කෘතියේ තේමා ගිතයේ ගීත රචකයා ලෙස "හෙමින් සැරේ පියා විදා" ගීතය රචනා කරමින් ගීත ක්ෂේත්‍රයටද පිවිසෙයි.  එදා මෙදා තුර ඔහු විසින් විරචිත භාව පූර්ණ ගීතයද මෙයයි.

චිත්‍රපට ගීතයත්, ගුවන් විදුලි සරල ගීතයත් අතර වෙනස ‍කුමක්ද යන්න තේරුම් ගැනිමට "හෙමින් සරේ පියා විදා"  ගීතය කදිම නිදසුනකි. සිනමා කෘතියේ රූප රාමු සමග මැනැවින් බද්ධ වන ආකාරයට මේ ගීය නිර්මාණය වී ඇත. එය ගේය පද රචකයාගේ සුවිශේෂ දක්ෂතාවයයි.

හංස විලක් චිත්‍රපටය තිරගත කිරීමේදී "වැඩිහිටියන්ට පමණයි"  ලේබලය යටතේ ප්‍රදර්ශනය විමට වැඩි ඉඩකඩක් තිබුණද ඔහුට ලැබෙන පළමු අවස්ථාවේදීම ඒ සීමාව ඉක්මවා නො යාම  සිනමාව භාවිතය පිළිබඳව ඔහු තුළ තිබූ පරිණත භාවය පිළිබඟඳ කදිම නිදසුනකි. ඊළඟට චිත්‍රපටයේ කැමරා කරුවාගේ  නිර්මාණාත්මක ඇස තුළ සිය කැමරා කරණයද  සීමාව ඉක්මවා නො යන සේ සිය සීමාව තුළ රැඳී සිටිමින්  රූප රචනය කරයි. 
 
සංගීතයේ කේමදාස විස්මය

කේමදාස
චිත්‍රපටයේ සංගීත නිර්මාණය කළේ  ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසිනි. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ සහ කැමරාකරුවාගේ  භූමිකාව  මැනවින් තේරුම් ගෙන සිය සංගීතමය පරිකල්පනය සහ විඥාණය මෙහෙයවමින් චිත්‍රපට අධ්‍යක්ෂවරයාට කියා ගත නො හැකි වූ තැනත්,  කැමරාකරුවාට  ප්‍රකාශ කිරිමට නො හැකි වූ තැනත් මැනැවින් හඳුනා ගෙන ඒ සියළු අසම්මත බැමි චිත්‍රපට සංගීතයෙන් සහ තේමා ගී ගායනයෙන් පුපුරවා හරී.   ප්‍රේමයෙන් හට ගන්නා රාගයද, හුදකලා චරිත අභ්‍යන්තරයක හටගත් සිතුවිලි සමුදායක් සමග සිරියහනේ පහස පැතූ අසම්මත පෙම් යුවල සිරියහනේ හමුවන අවස්ථාවේ ධර්මසිරි බණ්ඩාරනායකටත්, කැමරාකරුවාටත් ප්‍රකාශ කිරිමට නො හැකි වූ සිනමා කවිය ඉතා සංයමයෙන් "හෙමින් සරේ පියා විදා"   ගීයෙන් මුදා හරී.

ඒ අනුව 80 දශකයේ ලාංකික සිනමාවේ විශාල පිබිදීමක් ඇති කිරිමට දායක වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සිනමා සංගිතයේ මඟ සළකුණක් ලෙස ද මේ ගීතය දැක්විය හැකි අතරම සරල ගීතය සහ චිත්‍රපට ගිතයක තිබිය යුතු අන්‍යෝන්‍යතා ලක්ෂණ ඉතා මැනැවින් වටහාගත් ගීයක් ලෙසද මෙය හැඳින්විය හැකිය.

සුනිලා අබේසේකර 

සුනිලා අබේසේකර
ටී.එම්.ජයරත්න මෙරට අති විශිෂ්ඨ ගායන ශිල්පියෙකු ලෙස සියළු දෙනා දන්නා වුවද, සුනිලා අබේසේකර  ගායන ශිල්පිණිය පිළිබඳව කිසිවකු නො දනී. සුනිලා සංගීතයට පිවිසෙන්නේ 70 දශකයේ කේමදාසයන්ගේ ගායන වෘන්දයේ ගායිකාවක ලෙස කටයුතු කරමිනි. එකල ඇය ගායිකාවක සේ ම රංගන ශිල්පිණියක වශයෙන් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළා ය. ඒ අතරම ඇය පෙර අපර දෙදිග භාෂාවෙන්  කටයුතු කළ නිවේදිකාවක ද විය. සුනිලා  එකළ වාමාංශික දේශපාලනයේ අරටුවකි.  කේමදාසයන්ගේ ගී තනු සහ සංගිතයෙන් පිටත ඇය ගීත නො ගැයුවා ය.  ඇය එකම එක  ගීත ඇල්බමයක් එළිදැක් වූවා මට මතක ය.

ඒ කෙසේ වුවද, සුනිලා අබේසේකර අද මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ  ආන්දෝලනාත්මක චරිතයකි. ඇය මෙරට ක්‍රියාකාරී සිවිල් දේශපාලනයේ නියැලෙන තැනිත්තියකි. අද දවසේ ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ගනනාවක  ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරන අතරම, ලංකාවේ මානව හිමිකම්  සම්බන්ධයෙන්ද  පෙනී සිටී. මෑතකදී එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ජිනීවා හිදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ සම්මුතිය තුළද ඇයගේ කිසියම් කාර්ය භාරයක් තිබූ බව දෙස් විදෙස් ජනමාධ්‍ය තුළින් වාර්තා විය. මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී ලංකාව පරාජය කරවිම පසුපස ඇයද සිටි බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. එසේ වුවද  ඇය එවකට මෙරට සිටි විශිෂ්ඨතම කුසලතාවයකින් හෙබි ගායිකාවකි.

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පළා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්


මලක් නම් එය මලක් වුව මැන
සිඟිති සුකොමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින

නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ

ගේය පද රචනය:  ධර්මසේන පතිරාජ
සංගිතය: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
 ගැයුම:  ටී.එම්.ජයරත්න සමග   සුනිලා අබේසේකර

"හෙමින් සැරේ පියා විදා" සම්පූර්ණ ගීතය මෙතනින් අහන්න , මෙහි ගීතය ඉංග්‍රීසි භාෂාවෙන්  හඳුන්වා දෙන්නේද සුනිලා අබේසේකර විසිනි.
ගීතයේ වචන අභිබවා ගිය ව්‍යංගාර්ථය

“හෙමින් සැරේ පියා විදා
 සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
 පළා ඇවිත් සිතුම් සියොතුන්” 

මේ ගීයේ ඉහත දැක් වූ කොටස තහනම් ආදරයේ සුහුඹුල්ව ලියලා වැඩුණු  ආදර සුවඳ රැගෙන විවාහක පෙම් යුවල සයනයේ හමුවන අවස්ථාව වචනයේ සිමාවෙන් ඔබ්බට ගොස් සංගීතමය අදහස් ප්‍රකාශනයකට සැරසෙන ආකාරය කදිමය . ඒ ව්‍යංගාර්ථය තුළ සෘජු ප්‍රකාශනයක් නොවී “සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්”  යැයි කියන්නේ ඒ නිසාය.

හංස විලක් චිත්‍රපටයේ "හිමින් සැරේ" ගීයට අදාල  රූප රමු සහිතව මෙතනින් බලන්න
 

අපට ඇසෙන ගුවන් විදුලි සරල ගීයක පද මාලාවක තිබෙන අර්ථ රසය සහ කාව්‍ය රසය  මෙන් ම සාහිත්‍යමය රසය සොයා බැලිමට  සිත ‍පොළඹ වනු ලැබුවද චිත්‍රපට ගීයක් ඇසුරෙහි එසේ රස විඳීමේ කැමැත්තක් සඳහා සිත යොමු නොවේ. ඒ මන්ද කිවහොත්,  එහි රූප රාමු අපේ මනසේ තැන්පත්ව තිබෙන බැවිනි. චිත්‍රපටයේ රූප රාමුවට බද්ධ වන කතා පුවත සහ අධ්‍යක්ෂවරයා විසින් සිය සිනමා කෘතියෙන් හඳුන්වා දෙන අත්දැකීම නැවත වෙනත් මානයක් ඔස්සේ ප්‍රති නිර්මාණය කර රස විඳින්නට එහි අවකාශයක් නැත. ඒ අනුව අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන රූප රාමුව ප්‍රබල  ලෙස මතු කිරීමට චිත්‍රපට ගීතය කොතරම් දුරට ඉවහල් වේද යන්න මත චිත්‍රපට ගීයේ සාර්ථකත්වය රඳා පවතී.

මලක් නම් එය මලක් වුව මැන
සිඟිති සුකොමල රුවින් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින

මේ වචන පේලි කිහිපය  ගීයෙන් ඉවත් කර එහි සංගිතයද අමතක කර  බැලූ විට ඒ තරම්  පැහැදිළි ව්‍යක්ත අරුතක් ඒ තුළින් ජනිත නොවේ. එසේ වුවද ගීතයේ රූප රාමු සහ එයින් ගම්‍ය වන ව්‍යංගාර්ථය තුළ බමරෙක් මලක රොන්සුණු  උරාගන්නා සේ  ස්ත්‍රී ශරීරය පිරිමි ඇසකට රසඳුනක් වන අයුරු ව්‍යංගයෙන්  කියයි. සිනමාවේදී මෙන්ම ගීතයේ දීත් ව්‍යංගාර්ථය අවශ්‍ය වන්නේ මෙවන් මොහොතක දීය. එහෙත් ගීයේ අවසන් කොටසින් මතු වන “සිහින නිම්නය සුපුෂ්පිත වෙයි” යන්න සිහින නිම්නයක් කෙසේ සුපුෂ්පිත වන්නේද  යන්න කේමදාසයන් විසින් සිය සංගිතයෙන්ම විග්‍රහ කරයි.

නිම්නයක් යනු කඳු දෙකක් අතර වූ තැනිතලාවකි. එවැනි තැනිතලාවක් සුපුෂ්පිත වීමට නම් එහි මලක් විය යුතුමය. නැවුම් වත්සුණු රොනින් මත්වූ බමරා ඒ මල සිය ග්‍රහණයට නතු කරගන්නේ ඒ ප්‍රේමයත්  රාගයත් අතර වල්මත් වීමත් සිදුවන්නේ මේ සිහින නිම්නයේ දීම ය.

සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ

ටී.එම්.ජයරත්න
සිරියහනක පවුරක් තිබිය හැක්කේද යන්න ඊළගට මතු වන ගැටළුවයි. ගීතයේ ආත්මය සහ එහි භාවාත්මය රැඳී ඇත්තේ එකී පද පේලි දෙක තුළය. සිරියහනට පවුරක් තිබිය නොහැක. එසේ නම් සිරි යහන තුළ තිබූ පවුර කුමක්ද යන්න රිසි සේ ප්‍රේක්ෂකයාට නිර්මාණය කර විඳ ගැනිමට අවශය ඉඩකඩ  සංගිතයෙන් හා ගායනයෙන් මතු කර දෙයි. සියළු බැමි පුපරවා හටගන්නා අසම්මත ප්‍රේමය තුළ රූප රාමු බද්ධවීමේ ප්‍රමාණය සහ අවස්ථා නිරූපණය ගීතයට පිටිවහලක් වන්නේ ඒ නිසා ය.

සිනමා කෘතියක චරිත වල ඇති අධ්‍යාත්මය පිටතට ගෙන පෙන්විය හැකි එකම තැනැත්තා සංගිතඥයා බවත්, ඔහු  අධ්‍යක්ෂකවරයාගේ  මනෝ භාවයන්ද විනිවිද දකින්නෙකු බවට පත් වන්නේත්  ඒ නිසාය. ඒ අනුව ධර්මසිරි බණ්ඩාරනායකගේ සිතුවිලි  මෙහිදී කේමදාස විසින් සංගීතයට නගා ඇති අයුරු කදිමය.

සිනමාවේ සදාතනික ගී සිත්තම

ගීතයේ පදමාලාව තුළ ඇති ව්‍යාංගාර්ථයත්, සංගීත ස්වර රචනයේ ඇති වර්ණවත් භාවයත් ආරක්ෂා කරගෙන සිනමා කෘතියෙන් සහ පසුබිම් ගීතයෙන්  ඉදිරිපත් වන අදහසත් රැකගෙන එයින් අන් අදහසක් ඉස්මතු විමට ඇති ඉඩ මෙහිදී කේමදාසගේ සංගිතයෙන් වලකා ඇත.  අධ්‍යක්ෂවරයා තම සීමාවේ  රඳවා‍ ගත් අදහස  එකී චරිතවල ඇති අධ්‍යාත්ම තුළට රිංගා ඒ මනෝ භාවයන් ප්‍රකාශ කළ හැකි එකම තැනැත්තා සංගිතඥයා බවට පත්වී ඇත.

හංස විලක් චිත්‍රපටයේ “හෙමින් සැරේ පියා විදා”  ගීය ධර්මසිරි බණ්ඩාරනායක විසින් ඒ සිනමා කෘතිය තුළ අවස්ථා ගනනාවකදී භාවිතා කරයි. ඒ නිසාම එය සිනමා කාව්‍යයක් බවට පත්වේ. මෙහිදි එක්තරා අවස්ථාවක අධිකරණයේ විභාග වන නඩුවක ජවනිකාවේදී නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් වුවද එහි වචන ප්‍රේක්ෂකයාට නෑසේ. ඒ වෙනුවට මේ ගීයම නැවත පසුබිමෙන් ඇසෙන්නට සලස්වයි. එය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු විසින් සිය කතා පුවත සඳහා සංගිතය ඉතාමත් ප්‍රබල ලෙස යොදාගත් අවස්ථාවකි. ඒ අනුව“හෙමින් සැරේ පියා විදා”  ගීතය සදාතනික සිනමා ගී සිත්තමක් වන්නේ යටකී කරුණු කාරණා නිසාය.෴

ඔබේ විචාරාත්මක අදහසත් කැමති නම් ලියල යන්න

Related Posts Plugin for WordPress, Blogger...