"ඔබත් මාත්
උපදින්නේ පිහිනන්නේ එකම මුහුදක... ඔබත් මාත් මියයන්නේ එකම වෙරළක වැල්ලක...."
මා කුඩා කළ මේ වචන
පේලි දෙක පාර දෙපස තාප්පවල අලවා පෝස්ටර්වලතේමා පාඨයක්ව තිබූ බවත්, ඒ තේමා පාඨය
ගැඹුරු හඬකින් එකල ගුවන් විදුලියෙන් අසුණු බව යාන්තමට මතකය. එය එකල චිත්‍රපට පූර්ව ප්‍රචාරක දැන්විමකි. මේ වැකිය අහම්බෙන් ඇස ගැසුණේ බණ්ඩාර කේ විජේතුංග නම් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාණන්
විසින් ඔහු ජීවත්ව සිටියදී නොලියූ එහෙත් ඔහු මියගොස් සෑහෙන කලකට පසු නිකුත් වූ ඔහුගේ නිර්මාණ ඇතුළත් කෘතියක්
කියවමින් සිටියදී ය.
එහි සඳහන්ව තිබූ දේවල්
ඔස්සේ නැවත ඒ අතීතය හාරා අවුස්සා බැලුවේ
කම්මැලිකමට මෙනි. කාලයක් තිස්සේ අප කවුරුත් ඇසූ , මිහිරම ගීයක් ඒ වැකියට හේතු වූ
බව සිහි වූයේ බණ්ඩාර කේ විජේතුංගයන්ගේ කෘතිය නිසාය. ඒ නිසාම ඔබත් මමත් සෑහෙන කාලයක් තිස්සේ රසවිඳි ඉතාමත්
අසා හුරුපුරුදු “උදුම්බරා” ගීය ගැන අද
අස්වැන්නෙන් සටහන තබන්නේ මා මෙතෙක් නැරඹු සිනමා කෘති අතර මේ සිනමා කෘතියද අග්‍ර ස්ථානයක රඳවා තබා ඇති
හෙයිනි.
චිත්‍රපටය - බඹරු
ඇවිත්. අධ්‍යක්ෂක - ධර්මසේන පතිරාජ. මේ
චිත්‍රපටය තිරගතව තිබුණෙ 1978 දී. ඒ ලංකාවෙ දේශපාලන සහමුලින්ම වෙනත් මගකට යොමුකල
දේශපාලන සංස්කෘතියක ඇරඹු සනිටුහන් වෙමින් තිබූ යුගයක ආරම්භය. ඒ නිසාම බඹරු ඇවිත්
චිත්‍රපටය නිර්මාණය වූයේ ඒ දේශපාලන
සංස්කෘතිය කේන්ද්‍ර කර ගනිමිනි. ඒ නිසාම
මේ චිත්‍රපටයේ පසුබිම් තොරතුරු කීපයක් සමගම චිත්‍රපටයේ තිබූ එකම එක ගීතය ගැන ලිවීමට
කල්පනා කළෙමි. ඒ නිසා මේ චිත්‍රපටයේ මූලික කාර්මික තොරතුරුත් සමගම චිත්‍රපටයේ තේමා
ගීය ගැන සොයා බලමු.
චිත්‍රපටය - බඹරු
ඇවිත් ( කලු, සුදු )
තිර රචනය දෙබස් සහ
අධ්‍යක්ෂණය - ධර්මසේන පතිරාජ
සංගීතය - ප්‍රේමසිරි
කේමදාස
ගායනය -
ටී.එම්.ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේසේකර
නිෂ්පාදනය - තිලක් ගොඩවත්ත / ධර්මසේන පතිරාජ
චරිත නිරූපණය -
විජය කුමාරතුංග -
වික්ටර් ( බේබි මහත්තයා)
මාලනී ෆොන්සේ කා -
හෙලන්
ජෝ අබේවික්‍රම - ඇන්ටන්
සිරිල් වික්‍රමගේ -
සිරිල්
විමල් කුමාරද
කොස්තා - වීරසේන
දයා තෙන්නකෝන් - ෆ්‍රැන්සිස්
අමරසිරි කලංසූරිය -
සනත්
චිත්‍රපටයට පසුබිම්
වූ පුවත
ඒ ඉතා දුෂ්කර
පෙදෙසක පිහිටි මුහුදුබඩ ධීවර ගම්මානයකි. ඒ ගම දුෂ්කර ප්‍රදේශයක රාජ්‍ය පාලන තන්ත්‍රයේ හෝ රජයේ
පාලනයේ මැදිහත් වීමකින් තොර වූ සාමයෙන් පිරුණු ගමකි. ඒ ධීවර ගම්වැසියෝ තමන්ගේ
පාඩුවේ ධීවර කර්මාන්තයේ නියැලෙමින් මූදත් සමග ජීවන අරගලයක හැපෙමින් සිටිති. ඒ ගමේ බාහිරින් පැමිණි සංක්‍රමණික
ධීවරයන් නැතුවාද නොවේ. ඒත් ගම සාමකාමීය. ඒත් එදිනෙදා ලැබෙන ආදායමින් ඔවුහු සුව සේ
ජීවත් වෙති.
ඇන්ටන් - ඒ පාරම්පරික ධීවර
ගමේ ඉපිද එහිම හැදී වැඩී ඒ වැල්ලේම මාලු මිලට ගනිමින් ධීවරයන් අතර හොඳ හිත පැතිරූ
එහෙත් තොටුපලේ මාලු වෙළඳාමේ අනසක පැතිරූ මුදලාලි වුවද වැල්ලේ වෙසෙන ධීවරයන් සමග
එකට අඩිපුඩි ගසන එකට දුක සැප බෙදාගන්නා
කාගේත් හිතවතෙකි.
වික්ටර් ( බේබි
මහත්තයා) - නගරයෙන් ඒ ධීවර ගමට සංක්‍රමණය වන කඩවසම්
රූපකායකින් හෙබි තරුණයෙකි. ඔහු ගමට එන්නේ තනිව
නොව තවත් පිරිවරක්ද සමගය. ඒ හිස් අතින් නොවේ. ටී ෂර්ට්, ඩෙනිම් අඳින අවු කණ්නාඩි
පළඳින මෝටර් බෝට්ටු, නවීන ධීවර ආම්පන්න, විස්කි බ්‍රැන්ඩි, සිගරට්, ආදී ගමේ නොතිබූ
විවිධ රට බීම මෙන්ම තුවක්කු පිස්තෝල ආදී ගිනි අවිද සහිතවය. මොවුන් ගැමි සංස්කෘතිය තුළට පැමිණි සංස්කෘතික
ආක්‍රමණිකයන් පිරිසකි.
හෙලන් - වැල්ලේම ඉපිද,
වැල්ලේම හැදී වැඩුණ , ධීවර කර්මාන්තයේ යෙදෙමින් ජීවත්වන රූමත් තරුණියකි.
සිරිල් - ඒ ධීවර ගම්මානයේම
ඉපිද එහිම වෙසෙන , වැල්ලේම දුක සැප වළඳන තරුණයෙකි. හෙලන් නැමති තරුණිය සමග විවාහ
ගිවිසගෙන සිටින ඔහුගේ අපේක්ෂාව වන්නේ හෙලන් සමග යහපත් පවුල් ජිවිතයක් අරඹීමය.
මේ චරිත වටා
ගොඩනැගෙන ධීවර ගම්මානයේ ගැටුම් ඇරඹෙන්නේ වික්ටර් හෙවත් බේබි
මහත්තයා වැල්ලට පැමිණ සිය බලය වැල්ල පුරා විහිදවන්නට පටන්ගත් මොහොතේ පටන්ය. ඊට
මුලින්ම එරෙහි වන්නේ ඇන්ටන් ය. ඇන්ටන් වැලේලේ මුදලාලිය. වික්ටර්ගේ ප්‍රාග්ධනයේ නව ජවය හමුවේ ගමේ පැවති සමගිය
මුලුමනින්ම බිඳ වැටේ. සියල්ල උඩු
යටිකුරුවීම ගතවන්නේ කෙටි කාලයකි. බේබි මහත්තයාගේ නව ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට එම
ගම්මානය ගොදුරු වේ. චිත්‍රපටය ආම්භයේ දීම
වික්ටර්ගේ ජීප් රිය දකින ඇන්ටන්ගේ මුවින්
ගිලිහෙන්නේ මෙවන් වදන් වැලකි.
" සිදාදියේ
එවුන්ට මොන බිස්නස්ද මස්සිනා.."
"තෙරේසා..
උඹලා ප්‍රවේසම් වෙයල්ලා බඹරු ඇවිල්ලා.. බඹරු..."
ඇන්ටන් සමග වික්ටර්
ද වැල්ලේ මාලු මිලට ගැනිමේ තරඟයට පිවිසිම හේතුවෙන් එතෙක් ගම අභ්‍යන්තරයේ තිබූ
වත්කම් නගරය අතට පත්වෙද්දී ඇති වන ගැටුම් හේතුවෙන් මරණ තුනක් සිදුවේ .
හෙළන්ගේ අත ගන්නට
පෙරුම් පුරමින් සිටි සිරිල් පළමුවෙන් මියයයි. ඒත් චිත්‍රපටයෙන් ඔහුගේ මරණය සිය දිවි හානිකර ගැනිමක්ද එසේ
නැතහොත් ඝාතනයක්ද යන්න හෙළි නොවන රහසකි.
දෙවනුව වික්ටර්ගේ
ගෝලයෙකු වූ ෆ්‍රැන්සිස් විසින් ඇන්ටන් වැල්ලේ වෙරිමතින් සිටියදී මන්නා පහරකින් මරාදමයි. ෆ්‍රැන්සිස් එසේ කරන්නේ වික්ටර්
හෙවත් බේබි මහත්තයා ආරක්ෂා කර ගැනිමටය. ඇන්ටන් බොහෝ අමාරුවෙන් ඇවිද ගොස් වැල්ලේ වැටී මියයයි. ධීවරයන්ගේ හිත හොඳ
මිනිසා වූ ඇන්ටන්ගේ මරණය ගැන දැඩිව කෝපවන ධීවරයන් විසින් ෆ්‍රැන්සිස් මරා දමයි.
මේ සියලු සිදුවීම් අතර එතෙක් තම පෙම්වතා වූ සිරිල් අහිමි වී සිදාදියෙන් වැල්ලට පැමිණි තම අලුත් පෙම්වතා වූ
බේබි මහත්තයා නිසා කුසට ආ දරුවකුද සමග හෙලන්
වැල්ලේ තනිවෙයි.
වීරසේන මේ සිදුන සියලු දේ මැනැවින් වටහා ගන්නා වික්ටර්ගේ මිත්‍රයෙකු වුවද ඔහු ගමේ සිදුවන විනාශය සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව වික්ටර්ගේ සමාජයෙන්ම නැගෙන තරුණ දේශපාලන හඬකි. එහෙත් වීරසේනගේ දේශපාලනය මගින් ගම්වැසියන්ට කියන්නට උත්සාහ කරන දේ ධීවර ගමේ කිසිවකු තේරුම් නොගනී.
වීරසේන මේ සිදුන සියලු දේ මැනැවින් වටහා ගන්නා වික්ටර්ගේ මිත්‍රයෙකු වුවද ඔහු ගමේ සිදුවන විනාශය සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව වික්ටර්ගේ සමාජයෙන්ම නැගෙන තරුණ දේශපාලන හඬකි. එහෙත් වීරසේනගේ දේශපාලනය මගින් ගම්වැසියන්ට කියන්නට උත්සාහ කරන දේ ධීවර ගමේ කිසිවකු තේරුම් නොගනී.
අවසානයේ මේ
හේතුවෙන් වික්ටර් තම ආරක්ෂාව පතා මුලින්ම ධිවර ගම් පියසට නාවුක හමුදා බල ඇණියක්ද ,
අනතුරුව පොලිසියද කැදවයි. ඒත් අවසානයේදී වික්ටර් සිය මිතුරා වන සනත් සමග
නගරයට යයි.
වීරසේන කොළඹට යෑමට
පෙර කඩමණ්ඩියේ සිටින ධීවරයන් අමතන්නේ තාප්පයක් මතට නැගී සිටය.
"ඔහෙලට මොනවද
දැනගන්න ඕනෙ වුණේ කියලා මම දැක්කා. මට
පෙණුනා ඔහෙලව සූරාකනවා.. ඔහෙල ඊට විරුද්ධවෙන් ඕනෑ...."
සිය දීර්ඝ දේශනය
අවසානයේ වීරසේනට වැටහෙන්නේ ඔහු පැවසූ
යථාර්ථයට සවන් දිමට හෝ අවබෝධ කරගැනිමට තරම් උගත් කිසිවකු වැල්ලේ නැති බවයි. එවිට ගමට පිවිසෙන පොලිස් ජීප් රිය දකින වීරසේන
මුවින් මහා සරදම් හිනා හඬක් නැගේ. අන්තිමේ දී ඔහු හිස් වූ බස් රථයට
නැගී කොළඹ යයි. ඒ සමගම ගමේ සාමය ස්ථාපිත කිරිම පිණිස අවි ආයුධ සමග පොලිස්
කණ්ඩායමක් ගමට පිවිසේ. ඔවුහු පොලීසියක් නොතිබූ ඒ ගමේ පොලිසියක් පිහිටවති.
ලාංකේය සිනමාවේ
දේශපාලන දැක්ම
මේ සිනමා කෘතිය මුළුමනින්ම ගොඩ නැගුණේ පුළුල් සමකාලින දේශපාලන කතිකාවක් ගොඩ නැගිම සඳහාය. ඒ 1977න් පසුව
බිහිවූ නව ධනවාදී දේශපාලන සමාජ ක්‍රමය පිලිබඳ දේශපාලන කතාබහක් ගොඩ නැගිමටය. ධර්මසේන
පතිරාජගේ සිනමා දෘෂ්ඨියේ තිබූ ඒ සමකාලින සමාජ යථාර්ථය මෙන්ම නව දේශපාලන දැක්මක්
සහිත සිනමාවක අවශ්‍යතාවය ඔහු පැහැදිළි කර දුන්නේ “බඹරු ඇවිත්” චිත්‍රපටය හරහාය.
රාජ්‍ය පාලනය අත පෙවිය නොහැකි දුරකින් තිබූ මේ ධිවර ගම්මානයේ සාමය කඩා ඉහිරවා
දැමූයේ ධනවාදි ආර්ථිකයේ ප්‍රතිඵලයකින් බවටත්, වික්ටර් හෙවත් බේබි මහත්තයා වැනි
චරිත හරහා ඒ වන විට ගොඩනැගෙමින් පැවති ඒ නූතන දේශපාලන සමාජ සංස්කෘතික ප්‍රවාහය පිළිබඳව
පතිරාජ ඉඟියක් කළේ බඹරු ඇවිත් චිත්‍රපටයෙනි.
පොලීසියක් නැති ගමකට
පොලීසියක් අවශ්‍ය වුයේ ඒ ගමේ එතෙක් කල්
සාමකාමීව විසූ ධීවර ජනාතවගේ ආරක්ෂාවට නොවේ. ඒ පොලිසිය පැමිණියේ ඒ වන විට ගොඩ
නැගෙමින් තිබූ ධනවාදී සමාජ ක්‍රමයක් හරහා ක්ෂණිකව මුදල් උපයන බේබි මහත්තයා වැනි
සමාජ දූෂිත චරිතවල ආරක්ෂාව පිණිස බව
පතිරාජ සිය සිනමා කෘතියෙන් පැහැදිළි කර දුන්නේය. එපමණක් නොව බේබි මහත්තයා වැනි චරිතයක් නියෝජනය
කල සමාජ පන්තියෙන්ම නැගී ආ විරෝධය වීරසේන වැනි චරිතයක් මගින් ඉදිරිපත් කළේය.
වාමාශික දේශපාලන න්‍යායන්
ගොඩනැගිමට උත්සාහ කළ එවකට වූ සමාජ ප්‍රති විරෝධයන් ඒ නිර්ධන සමාජ පංති විසින්ම
බැහැර කර හෙලන් සහ බේබි මහත්තයා නියෝජනය වූ ධනවාදි ආර්ථිකයේ නොවැටහුණු ගැඹුර බදා ගෙන ඒ කරා ඇදෙන සමාජයක් ගොඩ නැගෙන බවටත්, ඒ
සමාජ දේශපාලන ප්‍රති විරෝධයන් නොදකින ජනතාවක් වෙසෙන සමාජයක් තුළ තුළ තිබූ නිහඬ බියකරු හුදකලාව ධර්මසේන පතිරාජ “බඹරු ඇවිත්” සිනමා කෘතියට මැනැවින්
ගොනුකර තිබුණි.
සිනමා සංගීතයේ
කේමදාස
බඹරු ඇවිත් සිනමා
කෘතිය ගැන කතා කරද්දී එහි වූ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය පිළිබදව විමසා සිටිය නොහැක. බඹරු ඇවිත් චිත්‍රපටයේ කතා පුවත මුලුමනින්ම
සිය සංගීතමය ග්‍රහණයට නතු කර ගන්නා කේමදාස, ධර්මසේන පතිරාජ ගොඩනැගූ කතා පුවතට නොදෙවෙනි වූ සංගිතමය කතබහක් චිත්‍රපටයේ ඇති කරයි. ඒ ජනතාවට නොවැටහුණු ධනවාදී සමාජ ක්‍රමයේ තිබූ දේශපාලන
සිනමා කතිකාව කේමදාස තමන් අදහන සංගීතමය භාෂාවෙන් ප්‍රකාශ කරයි.
උදුම්බරා හිනැහෙනවා
ඉර අඳුරට
හැංගෙනවා....
ඉර අඳුරට
හැංගෙන්නේත් උදුම්බරා හිනැහෙන්නේත් එකම ඉසව්වක දීය . ඒ පරම්පරා ගණනක් තිස්සේ හැදී
වැඩුණු වැල්ලේමය. කේමදාස උදුම්බරා ගීය චිත්‍රපටයේ පසුබිමින් එක දිගට වාදනය නොකර
අවස්ථා තුනක් යටතේ චිත්‍රපටයේ සමස්තය හකුළුවා දක්වයි. චිත්‍රපට ගීතය සහ චිත්‍රපට
සංගීතයත්, චිත්‍රපට පසුබිම් ගීයක වෙනසත්
අපට දැනෙන්නට පටන්ගන්නේ මෙතැන දීය.
මහ මුහුද, මහ මුදේ
හැපෙමින් මුහුද හා අරගලයක යෙදෙන ධිවරයන්ගේ දුක් අඳෝනා මුහුදේ නිතර වෙනස් වන
ස්වභාවය ඔස්සේ කේමදාස සිය සංගීතයට හසුකර
ගනී. කේමදාසයන් මේ සිනමා කෘතියේ සංගීතය නිර්මාණය කිරිමට පෙර “මහ මුහුද” සංධ්වනිය
නිර්මාණය කර තිබූ නිසා ඔහුට බඹරු ඇවිත් චිත්‍රපටයේ සංගීතය නිර්මාණයේදී මහ මුහුද හැසිරෙන ආකාරය සංගීතයට හසුකරගන්නා
අන්දම පිලිබදව මනා අවබෝධයක් තිබුණි. විටෙක
මුහුදේ ඇති නිසල බවත්, තවත් විටෙක එහි චංචල භාවයත් තවත් විටෙක අති ප්‍රචණ්ඩත්වයත්
සංගීතය හසු කර ගන්නේ ධීවර ජනතාවගේ හදේ රිද්මයෙනි. චිත්‍රපටයේ අවස්ථා දෙකකදී
හෙලන්ගේ චංචල සිතුවිලිවල මනෝභාවයන් වඩා උච්ඡ තලකයක රඳවන්නේ මේ ගීයේ මතු දැක්වෙන කොටසනි.
“ආදරයේ ඔබ ඔබමය
ආදරයේ ඔබ මා නොව
දවසක්දා...
හඳුනාගත්තොත් ඔබ
මා....”
චිත්‍රපටයේ කතා පුවත
සමග සංවාදයක් ගොඩනැගීම සිදුවන්නේද කේමදාසයන්ගේ සංගීතයෙනි. ඔහු ඒ සඳහා මූදුකරයටම
ආවේණික සංගීතමය ස්වර රටාවක් ගොඩනගා ගනී.
ටී.එම්., අයිවෝ සහ
සුනිලා අබේසේකර
සුනිලා අබේසේකර |
මීට පෙර දවසකද මා
සඳහන් කළා වූ නූතන ලාංකේය දේශපාලනයේ සිවිල් සංවිධානයන්හි ශක්තිමත් කාන්තා නියෝජනය
වූ වත්මන් ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිරූපය සමග
අරගල කරන සුනිලා අබේසේකරගේ එදා තිබූ තියුණු ගායන
ස්වරයද චිත්‍රපටයේ හෙලන්ගේ ආත්මය තුලින් නැගෙන්නා වූ හුදකලාව දැඩිව හසුකර ගනී. ඒ
වූ කලී බඹරු ඇවිත් චිත්‍රපටයේ සංගීතය සිනමා සංගීතවේදී කේමදාසයන්ගේ අද්විතිය නිමැවුකි.
උදුම්බරා හිනැහෙනවා
ඉර අදුරට හැංගෙනවා
දස දහසක් සම් මස්
ඇට
සිනා කදුළු වැහි
වැහැලා
ගිනිගෙන රත්වුණු
දවසක
සැනසෙන එක හැන්දෑවක
උදුම්බරා
හිනැහෙනවා..
මුහුදු කොණේ සුදු වැල්ලේ
ඉර හැංගෙන එක
මොහොතක
උදුම්බරා
හිනැහෙනවා..
කළුවර දුම එක
හුස්මට
මුලු ලෝකෙම වසාගන්න
ගිනි දිය ලෝ දිය
වැස්සේ
කිරි සල්කිරි
උදුම්බරා...
සිනා කදුළු වගුරනවා
ආදරයේ.. ඔබ ඔබමය
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක්දා....
හඳුනාගත්තොත් ඔබ
මා....
හඳුනාගත්තොත් ඔබ
මා....
ඒ මොහොතෙම එක
හුස්මට
උපදිනවා ගිනි රස්නය
සීතලෙන්ම...
හඳුනාගත්තොත් ඔබ
මා....
මහ මුහුදම ගොඩට ගලා
රත්වුණු හිරු
පායන්නට
රත්වුණු හිරු
පායන්නට
ගොඩබිම මහ මුහුදක්
විය
මහ මුහුදම ගොඩබිම
විය
උදුම්බරා කඳුළු
සළයි....
උදුම්බරා කඳුළු
සළයි....
කදුළු සළයි...
කදුළු සළයි..
ගීත රචනය: ධර්මසේන පතිරාජ සහ ඩබ්ලිව්.ජයසිරි
සංගිතය : ප්‍රේමසිරි
කේමදාස
ගැයුම: ටී.එම්.
ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා අබේසේකර
ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් සිනමා කෘතියෙන් ඔහු හෙළි කල දේශපාලනය අද දවසට ද වලංගුය. අද දවසේ අප සිටින්නේ එවැනි සමාජ පසුබිමක ය. ලාංකේය සිංහල සිනමාවේ ධර්මසේන පතිරාජ වැනි දැවැන්ත සිනමාකරුවකුගේ සිනමාව සහ ඒ සිනමා කෘතිවල නිරූපිත නිර්මානාත්මක දේශපාලන අරගලය මීට වඩා දීර්ඝව විමසා බැලිය යුත්තකි. එතරම් දීර්ඝ විමසුමක් කරන්නේ නම් සමස්ත සිනමා කෘතිය අරබයා. එකි විමසුම කල යුතුය. මා මෙහිදි උත්සාහ කළේ ඉතාමත් කෙටියෙන් පතිරාජගේ සිනමා කෘතියක් මගින් නිරූපිත දේශපාලන සිනමා සංස්කෘතිය සහ ඒ දේශපාලන සිනමාව සදහා කේමදාසයන්ගේ සංගීතමය දායකත්වය කෙසේ සිදුවුයේ ද යන්න විමසා බලන්නටය. ෴
ආශ්‍රිත ග්‍රන්ථ:
01.
තාරකා මේඝයෙන් ඔබ්බට - ගුණසිරි සිල්වා (2006)
02.
ලාංකීය සිනමාවේ පතිරාජ ලකුණ - හෙන්රි
වර්ණකුලසූරිය ( 2005)
03.
ධර්මසේන පතිරාජගේ සිනමා භාවිතය - තුසිත ජයසුන්දර (2006)
04.
කේමදාස සංගීතය - උපුල් ගුරුගේ
05.
මාස්ටර් - බුද්ධාස ගලප්පත්ති , සමන්ත හේරත්
06.
ප්‍රේමසිරි කේමදාස විචාරාත්මක චරිතාපදානය -
එරික් ඉලයප්ආරච්චි
07.
සුළඟ වගේ අවිදින් - බණ්ඩාර කේ විජේතුංග
ඔබේ වටිනා කාලය
බිදක් වැය කර ගී රස විඳිමින් කියෙව්වාට
ස්තූතියි. වෙලාවක් ඇත්නම් ලංකාවේ සිනමාව
ගැන හෝ මෙහි ලියැවෙන දේ ගැන ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න.
1978 න් ඇරඹි ධනවාදි අර්ථ ක්රනමයේ ගොදුරු බවට දැන් අපි හැමෝම පත් වෙලා ඉවරයි.. මේ චිත්රඑපටයේ මුදුකරයේ ජනතාව සිදුවන දේ ගැන තේරුම් නොගත්තා වගේම, ධර්මසේන පතිරාජ, පරාක්ර ම කොඩිතුවක්කු, ගුණදාස කපුගේ වැනි කලාකරුවන් කියන්නට උත්සාහ ගත් පණිවිඩයත් ලාංකීය සමාජයේ බහුතරයක් තේරුම් නොගත්ත බවයි මට හිතෙන්නේ... අද ආහාර, අධ්යාරපනය, සෞඛ්යචය, ගමනාගමනය මේ වගේ මූලික අවශ්යසතා සපුරා ගැනීමත් දුප්පතුන්ට මහා ගැටළුවක් වෙලා තියෙන්නෙ අපි නොදැනිම ධනවාදයේ ගොදුරු බවට පත් වුණ නිසයි... අදත් මෙවැනි කලාකෘති වැඩි වැඩියෙන් අවශ්යැයි...
ReplyDeleteප්රේනමසිරි කේමදාසයන් කියන්නෙ මේ වගේ පුංචි රටකට බලාපොරොත්තු වෙන්න බැරි විදියෙ නිර්මාණ ආකරයක්..මෙම චිත්ර පටය එවැනි අසහාය කලාකරුවන් රැසකගේ එකතුවක්. උදුම්බරා ගීතයත් සිංහල ගීත කලාවේ ඉහළින්ම ඉන්න ගීතයක්...
ඒ වගේ ම බණ්ඩාර කේ විජේතුංගයන් සමාජයේ වැඩි කතාබහට ලක් නොවුණු අපූරු කලාකරුවෙක්... ඒ පොත ගැන පුංචි විස්තරයක් දුන්නොත් අපටත් හොයාගෙන කියවන්න පහසුවක් වේවි..
අද සමාජයේ කතාබහට වැඩි වශයෙන් ලක් නොවන මෙවැනි කලාකෘති, කලාකරුවන් කරළියට ගෙන එනවාට ඔබට බෙහෙවින් තුති...
තරු රසී..
Deleteලංකාවේ එක්තරා යුගයක කලා කෘති හරහා ගොඩනැගුනු දේශපාලන විචාර කලාවක් තිබුනා. මට හිතෙන විදියට ඒ නිසාම උසස් බුද්ධිමත් ජනතාවකුත් බිහිවුණා ඒ යුගයේ.
ඒත් අද එවැනි බුද්ධිමය සංවාදයක යෙදෙන කලාකෘති බිහිවන්නේ නැහැ.
බණ්ඩාරකේ විජේකුංගයන්ගේ නිර්මාණාත්මක වදන් පෙලක් තමයි "ඔබත් මාත් උපදින්නේ පිහිනන්නේ එකම මුහුදක... ඔබත් මාත් මියයන්නේ එකම වෙරළක වැල්ලක...." කියන තේමා පාඨය.
ඔහුගේ මේ පොත නිකුත්වුනේ 2001 දි. එස්.ගොඩගේ ප්‍රකාශනයක් ලෙසින්. සමහර විට පොත තියෙන්න පුළුවන්. මරදාන පැත්තෙ ගිය වෙලාවක ගොඩගේ බුක් ෂොප් එකට ගිහින් බලන්න පොතේ මිල රුපියල් 150/- යි
"1978 න් ඇරඹි ධනවාදි අර්ථ ක්රනමයේ ගොදුරු බවට දැන් අපි හැමෝම පත් වෙලා ඉවරයි.. මේ චිත්රඑපටයේ මුදුකරයේ ජනතාව සිදුවන දේ ගැන තේරුම් නොගත්තා වගේම, ධර්මසේන පතිරාජ, පරාක්ර ම කොඩිතුවක්කු, ගුණදාස කපුගේ වැනි කලාකරුවන් කියන්නට උත්සාහ ගත් පණිවිඩයත් ලාංකීය සමාජයේ බහුතරයක් තේරුම් නොගත්ත බවයි මට හිතෙන්නේ... අද ආහාර, අධ්යාරපනය, සෞඛ්යචය, ගමනාගමනය මේ වගේ මූලික අවශ්යසතා සපුරා ගැනීමත් දුප්පතුන්ට මහා ගැටළුවක් වෙලා තියෙන්නෙ අපි නොදැනිම ධනවාදයේ ගොදුරු බවට පත් වුණ නිසයි... අදත් මෙවැනි කලාකෘති වැඩි වැඩියෙන් අවශ්යැයි.."
Deleteවැඩක් නෑ තරුරාසී . ..
70 දශකයෙන් පස්සේ විශේෂයෙන් 77 විවෘත ආර්තිකයෙන් පස්සේ අපේ මිනිස්සු දේසපාලනිකව නිර්වින්දනය වෙලා තියෙන්නේ . .
දුක තියෙන්නේ ඒ දශකයේ සහ ඊට කලින් දශක වල හිටි උනුත් අනෙක් උන් ගානටම නිර්වින්දනය වෙලා තියෙන එක . .
කලාකෘති නෙමේ මොන මඟුලකින් වත් උන්ව ආයේ අපේ ආච්චිලගේ සීයලගේ කාලවල හිටි ගහට කොලට සතා සීපාවට මුලු ලෝකෙටම ආදරේ කරපු ආදරය කරපු පරන සංවේදී අය වගේ කරන්න බැරි වෙයි . ..
ReplyDelete"ඔබත් මාත් උපදින්නේ පිහිනන්නේ එකම මුහුදක... ඔබත් මාත් මියයන්නේ එකම වෙරළක වැල්ලක...." ඒ අපූර්ව වූ තේමා පාඨයෙන් එකළ සිනමා රසිකයන් අවදි කළ බඹරු ඇවිත් වාණීජ ධනවාදය සංක්‍රමණය වෙමින් පැවති යුගය ආරම්භයේදීම පතිරාජයන් එහි ගති ස්වභාවයන්, හැසිරීම හා වර්ධනය මැනවින් ග්‍රහණය කරගෙන නිර්මාණය කළ සිනමා නිර්මාණයක්.
මේ වියමනෙහි වැදගත්කම වන්නේ සිනමා කෘතියේ ඉතිහාසය හා පසුබිම, එහි දේශපාලනය හා කේමදාසයන්ගේ සිනමා සංගීතාවලෝකනය හරහා එහි ප්‍රබලත්වය මතුකර ගන්නා අතරම එහි වර්තමාන වලංගුතාවය පිළීබඳවත් අවධානය යොමුකර තිබීමයි. වත්මන් පරපුරේ බොහෝ දෙනෙකු මෙම සිනමා කෘතිය නරඹා ඇත්දැයි සැක සහිතයි. ලාංකීය සිනමා රසියෙකු නම් අනිවාර්යයෙන් ම නැරඹීය යුතු සිනමා සිත්තම් ගොන්නට “බඹරු ඇවිත්“ ඇතුළත් වෙනවා.
මාගේ මතකය මහාචාර්ය සුචරිත ගම්ලතුන් එකළ කළ විචාරයන් කරාද නැවත ගෙන යාමට මෙම වියමන පොහොසත් වුණා. නැවත සිනමා කෘතිය රස විදීමේ අවශ්‍යතාවයත් දැඩිව මතුවුණා.
දයානන්ද රත්නායකයන් ට බෙහෙවින් ම පින් පතිරාජයන්ගේ “බඹරු ඇවිත්“ සිනමා සිත්තම පිළීබඳවත්,කේමදාසයන්ගේ සිනමා සංගීත භාවිතය පිළීබඳවත් එහි වලංගුතාවය ගැනත් දශක තුනකට පමණ පසුව මෙවන් වියමනකින් නැවත ආවර්ජනය කිරීම පිළිබඳව.
තුසිත..
Deleteඇත්තටම ලාංකිකයන් හැටියට නිධානය, හංසවිලක්, බඹරු ඇවිත්, ගොලු හදවත,රේඛාව, ගැහැණු ලමයි, පාරදිගේ,වැලිකතර, වගේ චිත්‍රපට බලල තියෙනව නම් හොඳයි කියල මමත් හිතනවා. මොකද ඒ සිනමා කෘති වලින් සාකච්ඡාවට බදුන් කළ අදහස් එදා වගේම අදටත් වලංගුයි. ඒවගේම මේවා නැරඹු කෙනෙක් නැවත නැවත නරඹද්දි විවිධ ඉසව් කෙරෙහි හිත අරගෙන යනවා. අලුතෙන් හිතන්න පුරුදු කරනවා.
ස්තූතියි ඔබේ අගනා අදහසට
මමනං ඉතින් වැඩිය සිනමාව ගැන කියන්න දන්නේ නෑ...
ReplyDeleteමේ ටිකත් දැන ගත්තේ අද තමා.
අනික මේ චිත්‍රපට තිරගත වෙන කොට අපි ඉපදෙන්න හිතලවත් නෑනේ :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩවි රජ..
Deleteඇත්තටම ඔබ වැනි මේ චිත්‍රපට නොදුටු අය ඉඩක් ලද විටක අනිවාර්යෙන්ම "නිධානය, හංසවිලක්, බඹරු ඇවිත්, ගොලු හදවත,රේඛාව, ගැහැණු ලමයි, පාරදිගේ,වැලිකතර, චිත්‍රපට නරඹන්න කියලා මම ආරාධනය කරනවා.
ස්තූතියි අපේ රජුට
"බඹරු ඇවිත්" චිත්‍රපටිය බලන කොට මම චිත්‍රපටියක් තේරුම් කරගන්න තරම් වැඩුණු වයසක නෙවෙයි හිටියෙ. ඒත් බොහෝ දුරට මතකයි.
ReplyDeleteඑවකට සිටි කලාකරුවෝ තමන්ගෙ යුතුකම නිසියාකාරයෙන් ඉටු කළා.ඒත් අද....අද බඹරු හැම තැනම, කවුරුත් නෑ බඹරු ඇවිත් කියන්න. "උදුම්බරා" ලිව්ව,ඩබ්ලිව් ජයසිරිත් අද බධරෙක්....'78 ඒ මහා සමාජ ව්‍යසනයේ නිර්මාතෘන් වෙනුවෙන් වේදිකාවට නගින්නෙක්.....
මේවා දැක්කම අපට හිතෙන්නෙ අයියෝ පතී ගෙ සල්ලි කියලයි.
බ්ලොග් එකකදි බධරු ඇවිත් වැනි කෘතියක් විචාරයට ලක්කරන්න පුළුවන් උපරිම විදියට ඔබ එය කරලා තියෙනවා.මෑත කාලයේ ඔබ ලියූ හොදම පෝස්ට් එක මේකයි.
සුමිත්...
Deleteකාලයෙන් කාලයට ලෝකය වගේම අපි සිටින සමාජයත් වෙනස් වෙනවා. ඒ මොනව ළුුනත් ලංකාව වගේ රටක එදා 6/5 ක බලයක් ලැබෙද්දි ඒහා සමානව විපක්ෂයක් නැති වුනත් දේශපාලන සංවාදයක නියැලුණ ගැඹුරු විචාරාත්මක සිනමා කෘති වගේම ඒහා සමානව ජනතා කලාකරුවන් පිරිසකුත් බිහිවුණා. ඒනිසා ශකිත්මත් විපක්ෂයක් විදියට ජනතාව සහ කලාකෘති වගේම කලාකරුවන් පිරිසකුත් හිටියා. අද එවැන්නක් සමාජයේ දකින්න නැහැ. කලාකාරුවෝ සියලුදෙනාම පාහේ දෑත් ශක්තිමත් කිරිමට පෙළගැහිලා.ඒනිසා විපක්ෂයක් නැති රටක මොන විචාරයක්ද?
ස්තූතියි ඔබේ වටිනා අදහසට.
බමරු ඇවිත් හැරුනකොට වැල්ලේ සංස්කෘතිය ගැන මගේ මතකයට එන චිත්‍රපට කීපයක්වෙයි. වාලම්පුරි, සත්සමුදුර,ඉන් කීපයකි. මට බමරු ඇවිත් චිත්‍රපටය පිලිබඳව මතකයට එන්නේ චිත්‍රපට ප්‍රචාරක පටවලිනි. අදමෙන් චිත්‍රපටි ප්‍රචාරක පට එදා ජනප්‍රිය නොවුනත් පානදුර එවකට රීගල් හෝ නිව් ඉම්පීරියල් සිනමාශාලාවේ "ජනක සහ මංජු " චිත්‍රපටය නරඹන විට බඹරු ඇවිත් ප්‍රචාරක පටය දුටුබව මට අදමෙන් මතකය. බමරු ඇවිත් මගේ හිතෙ රැඳී තිබෙන්නේ වෙන කිසිවක් නිසා නොව ඔබ සඳහන් කල මේ ගීතය නිසාය
ReplyDeleteලොකු ජෝන්..
Deleteඇත්තටම මේ ගීය ඇහෙන වාරයක් පාසා අතීත සිනමා තුළ මැවුණු විස්කම් සිනමාකෘති පේලියට හිතේ ඇදෙනවා. එදා සම්භාව්‍ය වුනත් වාණිජ වුණත් චිත්‍රපටවල වින්දනීය හරයක් තිබුණා . අද ඒ විචාර කලාව තුළ වින්දනය නැහැ සාක්කුවට විදින මාකට් වැඩ විතරයි.
ස්තූතියි මේ අගනා සටහනට
මගේ ප්‍රියතම ගීතයක්. සාර්ථක ගීතයක් කොච්චර ළොකු කතාවක් තියෙනවද. මේ ගීතය ගීතයක් නෙමෙයි චිත්‍රපටයක්, ඔපෙරාවක්, අති සාර්ථක නිර්මාණයක්. කට හඬවල් වලට ගායන කරනවා ඇර කොතරම් දේවල් කරන්න පුළුවන්ද කියා පෙන්වන හොඳ උදාහරණයක්. මේ වගේ ලස්සන ගීතයක් පොඩි කොල්ලො ටිකක් මෑතකදි එළි දැක්වූවා, ඒයත් අති සාර්ථකයි. ඒ ගීය තමයි.. "ගැයූ ගී අතීතයෙ.. පාවි පාවි පාවි ගියාවේ..." මටනම් උන් ටික ආඩම්බරයක්...
ReplyDeleteළිපියට පින්
මාතලන්..
Deleteමේ ගීය ඇතුළු කේමදාස මාස්ටර්ගේ වැඩ සදාකාලික වෙන්නේ කලා කෘතියේ හරය ඔහු සංගිතයෙන් ඉදිරිපත් කල නිසා. මේගේ ගිතවල වැයෙන සංගිත භාණ්ඩ පෙල ගැස්විමම හමා විස්ම කර්ම වැඩක් කියලයි මට හිතෙන්නෙ. එවැනි පිරිපුන් හැකියාවන් විරලයි.
ඇතැම් වෙලාවලට මේ වගේ විස්මිත හැකියාවන් ඇති අය හමුවෙනවා. ඒත් ඔවුන් පිගිගැනිමට හෝ අත දීමට කිසිවකු එන්නේ නැහැ.
මාතලන් ඔබවටත් බෙහෙවින්ම ස්තූතියි අගනා සටහනට
අපූරු ගීයක් එක්ක ආපහු අපි අපි ගැනම හිතන්න පුළුවන් තරමේ පෝස්ටුවක් ලිවීම ගැන තුති..
ReplyDeleteඅද සිනමාවත් සමකාලීන දේශපාලන කතිකාවත් ගැන කතා කරන්න උත්සාහ කලත් බඔරු ඇවිත් එක්ක සංසන්දනය කරන්නවත් බැරි තරම් ඕලාරිකයි..
ප්‍රේකෂකයින් ලෙස අපිත් අපේ වගකීම ඉටු කරලා නැතිද කියලා හිතෙනවා..
ස්තුතියි ඔබට නැවතත් අපිව සංගීතයේ නවමු මානයකට එබී බලන්න සැලැස්වුවාට..
රෑ..
Deleteරසිකයන්, පාඨකයන්, එහෙමත් නැත්නම් ප්‍රේක්ෂකයන් විදියට කරන්න පුළුවන් එක දෙයයි. ඒ යහපත් කලාවක් සහ කලා කෘති හඳුනාගැනිම. ඒ හැර ජනාතව සවිඥානිකයන් බවට පතිකල හැක්කේ කලාකරුවාට පමණයි. නමුත් අද එවානි සවිඥානික නිර්මාණ බිහිවන්නේ නෑ. බිහිවන ඒවත් සාක්කුවට විදින හරසුන් නිර්මාණ . සමහර ඒවයේ කලාව ඇත්තේම නෑ.
ඒ නිසා අපි දැනුමෙන් හිස් වෙමින් තව තවත් අදුර කරා අදෙනවා.
ස්තූතියි රූ.. ඔබටත් මේ වටිනා සටහන තැබිම වෙනුවෙන්.
ReplyDeleteබොහොම ස්තුතියි බඹරු ඇවිත් ගැන මේ සටහනට .ඊටත් වඩා ස්තුතියි උදුම්බරා ගීයේ ගැඹුරු ඒත් බොහෝ අය තාමත් අඩුවෙන් හඳුනාගත් ගැහැනු කටහඬ වුන " සුනිලා අබේසේකර " ගැනත් ලිව්වට් .මම මුලින්ම ස්ටහන කියවන්න කලින් ස්ක්‍රොල් කරලා බැලුවේ සුනිලා ගැන සඳහනක් තියේද කියලා . ලංකාවේ සිවිල් සමාජයේ සුනිලාගේ දේශපාලන භූමිකාව ගැන නොයෙක් දේ ලියැවුනත් ඇගේ කලා හැකියාව ගැන වැඩිය කවුරුත් දන්නේ නෑ .නමුත් සුනිලා හොඳ ගායිකාවක් ,කලා කාරියක් ඉන්ග්‍රිසි නාට්‍ය වේදිකාවෙත් ,කලා විචාරයෙත් හිටි කෙනෙක් .හංස විලක් චිත්‍රපටියේ " හිමින් සැරේ පියා විදා" ගායනයේත් සුනිලා ඉන්නවග මතකයි .
හංසවිලක් , බඹරු ඇවිත් , හන්තානේ කතාව සංගීතයෙන් හා අසහාය රංගනයන් නිසා අමතක කරන්න බැරි සිනමා පට.පුලුවනි නම් වෙලාවක හන්තානේ කතාව සහ හංස විලක් ගැන විශේෂයෙන් එහි ගීත හා රංගනයන් ගැන යමක් ලියන්න .මතක විදියට මේ දෙකේම ස්වර්ණා මල්ලවාරච්චි රඟපානවා .
ටීජී..
Deleteමම සුනිලා අබේසේකර ගැන ලිව්වේ "හංස විලක් " චිත්‍රපටය ගැන ලියද්දි ඒකට ලින්එකක් දෙන්න ටිකක් කම්මැලි හිතුනා. ඒත් ඔබේ පහසුව සදහා මෙන්න http://aswanna.blogspot.com/2012/05/blog-post_29.html
මෙතනින් "හංසවිලක්" චිත්‍රපටය ගැන මම ලියූදේ බලන්න පුලුවන්.
සුනිලා හිටියේ කේමදාසගේ ගෲප් එකේ විතරයි . ඒත් ඇය පෙර අපර දෙදිග භාෂාවන් මෙහෙයවන නිවේදිකාවක් මෙන්ම වේකා නාට්‍ය රංගන ශිල්පිනියක්, හොඳ කෘතහස්ත විචාර ලියන්නියක්, ලේඛිකාවක්, වගේම ගායිකාවක්. ඇය සම්පූර්ණයෙන්ම කේමදාසගේ සංගිතයට කැසට් එකක් කළා.
ඉදිරි දවසක හැකිවුනොත් හන්තානේ කතාව ගැන ලියන්නම් .ඒත් ආයෙ ලියන්න ඒක තවසැරයක් බලන්න ඕනෙ. එතකොටයි හොදට ලියන්න පුළුවන්.
ස්තූතියි ඔපටත් මේඅගනා සටහන තැබිම වෙනුවෙන්.
ෆිල්ම් එක බලලා නෑ දයා. ඒ උනාට කතාව දැනගත්තාම බලන්ට ආසා හිතුනා. සිංදුව අහලා තියනවා. සංගීතය හරිම මිහිරියි. මේ ගායිකාවගේ කටහඬ හරිම ලස්සනයි. ටී.එම්. ජයරත්න හා අනෙක් ගායකායාගේ කටහඬවලුත් ගීයටම ගැලපෙනවා. හරියට මූදේ තරංග නැගෙනවා වගේ. වරෙක වේගවත්. මිනිසුන්ගේ හිත් වගේ.....
ReplyDeleteසටහන වෙනදා වගේම අපූරුයි.:)
පොඩී..
Deleteබඹරු ඇවිත් චිත්‍රපටයේ සංගීතය වුනේ තනිකරම ඹූද මයි. ගායනයත් මූද වගේ.මූදේ ඇතිවන සියුම් චලනය පවා සංගිතයට ග්‍රහණය කරගත්තා. ඒක නිමාස මෙහි සංගිතය සිනමා සංගිතයේ අද්විතීය සංගීත සලකුණක්.
ලංකාවට ආදවසක මේ චිත්‍රපටය හොයාගන්න බලන්න. මේක යූ ටියුබ් එකට ඇතුල් වෙලා නැහැ.නැත්නම් ලින්ක් එකක්වත් දාන්න තිබුනා.ඕගමන්නම කවදා හරි දවසක "නිධානය, හංසවිලක්, බඹරු ඇවිත්, ගොලු හදවත, ගැහැණු ලමයි, පාරදිගේ,වැලිකතර, මේ චිත්‍රපට ටිකත් බලන්න උත්සාහ කරන්න. හොඳ අත්දැකිමක් වේවි මේවා නිෂ්පාදනය වූ යුගයත් එක්ක සසඳගා ලංකාව ගැන අලුතින් හිතන්න.
පොඩී.. ඔබටත් බෙහෙවින්ම සිතූතියි මේ අගනා සටහනට අදහසක් එකතු කරන්න වටිකා කාලය කැප කළාට.
ඔය බඹරු ඇවිත් කියන පිචර් එක අපේ අම්මා අපට බලන්ඩ දුන්නේ නෑ..
ReplyDeleteඒක එච්චර හොඳ එකක් නෙමේ කියලා.
ඒ නිසා ඒ කාලේ බලන්ඩ උනේ නෑ..
පස්සේ බලනකොට තේරුනා ඒක ඒ හැටි නරක මෙවුවා එකක් නෙමේ ය කියලා. !
ඔය විස්තර ටික නම් දැනගත්තේ අදමයි !!!
මධුරංග..
Deleteසමහර චිත්‍රපට වැඩිහිටියන්ට පමණයි කියලා තියෙනවා නේද? සමහර වෙලාවට ඒවයේ කිසිම දෙයක් නෑ.
ඒත මේ චිත්‍රපටය ඒ විදියට සීමා කරේ නැහැ. ඇත්තටම ඒක නරක එව්වා එකක් නොවේ.
ස්තූතියි සටහනට.
මම ටික කාලෙකට ඉස්සර මේ චිත්‍රපටිය බලලා තියනවා.. ලිපිය කියෙව්වාම මතකය යලි අළුත් වුණා.. මම උදුම්බරා ගීතයට ගොඩාක් ප්‍රිය කරනවා.විශේෂයෙන්ම අර කීවාත් වගේ එහි සංගීතයට. මට මතකයි මාස්ටර් කොහේදි හරි කියලා තිබුණා සංගීතයෙන් වස්සන්න වුනත් හැකිය කියලා. ඒ කීවාත් වගේ මේ ගීයෙ සංගීතය අහද්දි මුහුදේ රැලි නගන හැටි, විටෙක නිසල මුහුද විටෙක චංචල වෙන හැටි අපූරුවට පේනවා. සංගිතයේ කේමදාස සලකුණත් එයයි..
ReplyDeleteතොටියා..
Delete70 දශකයේ චිත්‍රපටවල කලාත්ම සහ වානිජ වශයෙන් දෙකට බෙදිල තිබුණත් මාස්ටර්ගේ සංගිතය ඉතාමත් මිහිරියට තිබුණා..
ඒක තමයි මසේටර්ගේ සංගිත ශක්තිය. ස්තූතිති මේ අගනා සටහනට
ආයෙත් චිත්‍රපටය වෙනදාටත් වඩා ළංව නැරඹුවා වගේ දැනුනා මේ සටහනින් ...පොත පතේ , ගීතයේ ,සිනමාවේ ...නියම රස ලොවට බෙදා දෙන්නට ඔබ වන , වෙහෙස ප්‍රශංසනීයයි , ..
ReplyDeleteස්තුතියි ඔබට , බොහොම පිං ඔබේ වෙහෙසෙට ..
මහේෂ්..
Deleteඇතැම් කාලවල බිහි වූ නිර්මාණ ගැන හිතෙන විට ඒවා බිහිවූ යුගය ගැව සොඳුරු මතක සිහියට එනවා. මේවගෙග් අදහස් අපි අතර හුවමාරු කරගන්න ලැබෙන එකත් සතුටක්.
ස්තූතියි අගනා සටහනක් එකතු කළාට
මමත් චිත්‍රපටය බලලනම් තියනවා... වැඩි මතකයක් නෑ... වැදගත්ම දේ මම අද සුනිලා අඹේසේකර කියන ගායිකාවගේ පින්තූරයක් දැක්කා.. ස්තුතියි අය්යා
ReplyDeleteමීගොඩයා..
Deleteසුනිලා අබේසේකර සංගිතයේ මනා දැනුමක් තිබුණ ගායිකාවක් වගේම විවිධ කුසලතා ගනනාවක් තිබුණ කෙනෙක් ඇය දැන්නම් බෙහෙවින්ම වියපත් ගායිකාවක්.
මේ චිත්‍රපටිය කුඩා කාලයේදි වරක් නැරඹුවා වගේ මතකයි. ඒත් මේ තරම් අවබෝධයකින් නම් නෙමේ. ඒත් ඔබ ඒ කරුණු කාරණා මැනවින් විග්‍රහ කරලා තියෙන නිසා මීළඟ වතාවක චිත්‍රපටිය නරඹද්දී වෙනස්ම ආකාරයේ කියවීමක් කරන්න පුලුවන් වේවි. තුති :)
ReplyDeleteහසිත..
Deleteසිනමා කෘතියක ගැඹුර අපි දකින සිනමාවට ඔබ්බෙන් තියෙන නිසා සරල අදහස විතරක් හිතින්නෙ නැතුව කාලයත් එක්ක සංසන්දනය කිරීමෙන් යම් නිර්මානාත්මක විග්‍රහයක යෙදිය හැකියි.
ඔබටත් ස්තූතියි අගනා සටහන වෙනුවෙන්.
මේ සටහනේ වැඩියෙන් ම හිත ගියේ මේ කොටසට.
ReplyDelete//පොලීසියක් නැති ගමකට පොලීසියක් අවශ්‍ය වුයේ ඒ ගමේ එතෙක් කල් සාමකාමීව විසූ ධීවර ජනාතවගේ ආරක්ෂාවට නොවේ. ඒ පොලිසිය පැමිණියේ ඒ වන විට ගොඩ නැගෙමින් තිබූ ධනවාදී සමාජ ක්‍රමයක් හරහා ක්ෂණිකව මුදල් උපයන බේබි මහත්තයා වැනි සමාජ දූෂිත චරිතවල ආරක්ෂාව පිණිස බව පතිරාජ සිය සිනමා කෘතියෙන් පැහැදිළි කර දුන්නේය.//
සමහර විට එවකට පැවති ආර්ථික ක්‍රමයත් එක්ක විවෘත ආර්ථිකයේ අවශ්‍යතාව දැඩිව දැනෙන්න ඇති. නමුත් ඒ වෙනුවෙන් ටිකක් වෙහෙසිලා විකල්පයක් හොයන්න නොයෑමේ ආදීනව අද අපි විඳිනවා..
කලින් චිත්‍රපටිය නම් නරඹලා තිබෙනවා.ඒත් මේ තරම් කරුණු ප්‍රමාණයක් දැනගත්තේ අද.
ගීතය ගැන කියනවා නම්, පද රචනාව කියවද්දී දෙදෙනෙක් එකතු වෙලා රචනා කරපු බව දැනෙනවා. ගීතයේ මුල් කොටසත් අවසන් කොටසත් අතර සෑහෙන්න වෙනස්කම් තිබෙනවා. නමුත් පද රචනය, ගායනය සහ විශේෂයෙන් සංගීතය පුදුමාකාර විදියට මුසු වෙලා තිබෙනවා. හරියට සංධ්වනියක්(ඔපෙරාවක්)වගේ.. විශිෂ්ටයි.
ජය වේවා!!
මම දන්නා විදියට රැන්ගෝ ඔපෙරාවෙයි සන්ධ්වනියෙයි ලොකු වෙනසක් තියෙනවා.. ඔපෙරාවේදී හඬ මුලික උනාට සන්ධ්වනියේදී හඬක් භාවිත වෙන්නේ නෑ. ඒත් ඇතැම් අවස්ථාවලදී කටහඬ ( "ඕ" ශබ්දය) වාද්‍ය භාණ්ඩයක් විදියට භාවිත කරන්න පුළුවන්. එතුමලු එක මුලින්ම හඳුන්වල තියෙන්නේ.. මම හරිද මන්ද..?
Deleteඑරික් ඉලයප්ආරච්චි, ලලිත සමය පොතේ ලියලා තියෙන විදියට නම් ඔපෙරාව සහ සංධ්වනිය කියන්නේ එක ම දේ..ඔපෙරාවේදී හඬක් භාවිත වෙනවා. යම් ගායනයක් එහි තිබෙනවා. සංධ්වනියේත් ඒ ආකාරයට ම හඬ භාවිත වෙන නිසා මා හිතන්නේ නැහැ ඔබ කිව්වා වගේ අපිට සීමාවකින් වෙන් කරලා, ඔපෙරාව මේකයි, සංධ්වනිය මේකයි කියලා වෙන් කරන්න පුළුවන් කියල. ඒ වගේ ම හඬ වාද්‍ය භාණ්ඩයක් විදියට භාවිත කිරීම යානි ගේ සංගීතයේත් දකින්න පුළුවන්. මා හිතන්නේ යම් ආකාරයක වෙනස්කම් කළාට කේමදාසයන් ඒ ක්‍රමය හඳුන්වා දෙන්න ඇති කියලා. කොහොම වුණත්, කේමදාස විශිෂ්ඨයෙක්. එහි කතා දෙකක් නෑ!! සමහර විට මම කියපුවා සමහරක් වැරදි ඇති. එහෙම නම් දයානන්ද අයියා මාව නිවැරදි කරාවි!!
Deleteරැංගෝ../ සුදා මල්ලි..
Deleteඋදුම්බර ගීයේ මට හිතෙන හැටියට ආදරයේ ඔබ ඔබමය තැන ඉඳන් අවසානය දක්වා ලිව්වේ
එක්කෙනෙක්.මුල් කොටස ලිව්වේ එක්කෙනෙක්. ඒ වෙනස ඔබ කිව්වා වගේ පදමාලාවෙන් අඳුන ගන්න පුළුවන්.
ඔපෙරාවයි සංධ්වනියයි අතර පැහැදිලිවම ලොකු වෙනසක් තියෙනවා.
ඔපෙරාව- ගායනය සහ රංගනය දෙකම තියෙනවා. මාස්ටර්ගේ මානසවිල සහ අග්නි ඒවගේ ඔපෙරා..
ඒත් සංධ්වනි සංගිතය මුලුමනින්ම සංගිතය විතරයි. ඒත් තේමාවක් ඔස්සේ නිශ්චිත කාලයක් තුල වාදනය විම විශේෂයි. එහෙම වුණත් මෑත කාලයේ සංධිවනි වල ඒකාක්ෂර ගායන ක්‍රමයක් ගොඩනැගුණා.
මේක දිග මාතෘකාවක් ඒ නිසා සංන්ධිවනි සංගිතය මෙහි "අස්වැන්න බෙදමු" යටතේ ගැන මම ලියපු "සංද්වනි සංගීතය-කේමදාස " මැයෙන් වූ ලිපි පෙලක් තියෙනවා. ඉඩක් ලද විට කියවලා බලන්න..
මේ අදමස් දැක්විම හරිම අගේ. ස්තූතියි.
අන්න හරි.. මම නම් කැමති මේ වගේ සංවාද ඇති වෙනවට.. රැන්ගෝ කිව්වා හරි.. ඉරක් ගහල ඔත්තේ ඉරට්ටේ වගේ දෙකට බෙදල වෙන් කරන්න බැරි උනාට දෙක දෙකක්. ඒක හරියට හිතන්න භාරත නාට්‍යම් නැටුමක් හා ලංකාවේ පහතරට නැටුමක්.. ඒ නර්තන ලීලා එහෙම්ම නැති උනාට ඒ අභාශය තියෙනවා. ඒ උනාට භාරත නාට්‍යම් වලට පහතරට නැටුම් කිව්වොත් ඒක වැරදි නේද..?
Deleteදයානන්ද අයියගේ පැහැදිලි කිරීමට මම එකඟයි. මගේ මතයත් ඒකම තමා.
කේමදාස මාස්ටර් ගේ ඔපෙරා අග්නි, බැරි සිල්, දොර මඩල...
කේමදාස මාස්ටර්ගේ සංධ්වනි අලුත් අවුරුද්ද.. මගේ කාලයේ මවුනි..
ලංකාවේ මුල්ම වරට ඔපෙරාවක් කල මුල්ම නිර්මාණ කරුවා කේමදාස මාස්ටර් වෙන්න ඇති.. මම හරිද..?
මෙන්න මේ මෙතන ඉන්නවා මාස්ටර් කේමදාස
සුදා මල්ලි..
Deleteඔබ හරියටම හරි..ලංකාවට සංධ්වනි සංගිතය වගේම ඔපෙරා කැන්ටාටා වගේසංගිත ශෛලි හඳුන්වා දුන්නේ කේමදාස මාස්ටර්.
මුල්ම කාලේ සංධ්වනි ආකෘතියට ගොඩනැගුණු ගීයක් විදියට "සිනිදු සුදු මුදු තලාවේ" ගීය හඳුන්වනවා.ඒ සත්තමුදුර චිත්‍රපටයේ නමුත් කේමදාස මුල්වරට "සිංහල අවුරුද්ද"සංධ්වනිය මට මතක හැටියට 1968 දි නිර්මානය කරලා පෙන්නුවා. ඒ එවැනි සංගිතයක මුල්ම අවස්ථාව.
මමත් ෆිල්ම් එක නම් බලල නා.. ඒත් ඔය සින්දුවට නම් හරිම ආසයි. මම ගොඩක් වෙලාවට කේමදාස මාස්ටර් ගේ සින්දු දා ගෙන තම වැඩ කරන්නේ. ප්‍රසිද්ධ නොවුනත් සුනිල අබේසේකර කියන්නේ ලංකාවේ හිටිය විශිෂ්ටතම ඔපෙරා ශෛලියේ ගායිකාවක්.. ඒ හඬට සම කරන්න හඬක් නෑ කියල තම මම පත්තරේක දැක්කේ.. තව තිබුණා බඹරු ඇවිත් ෆිල්ම් එකේ කේමදාස මාස්ටර් සමුද්‍ර ඝෝෂ විරිත එක්ක කට හඬ වාද්‍ය භාණ්ඩයක් කර ගැනීම සංගීතයේ කරපු ලොකු වෙනසක් කියලත්..
ReplyDeleteඇත්තටම බඹරු ඇවිත්... විතරක්ම නෙමේ මලුත් තලලා පැණිත් අරන් ගිහින් ඉවරයි...
සුදාමල්ලි..
Deleteසුනිලා අබේසේකර හදාරා තිබුනේ බටහිර සංගිතය. අයට ඔපෙරා ගායන ක්‍රම පිලිබඳව මනා වැටහිමක් තිබුණා. . කේකමදාස කියන්නේ සංගිතයත් එක්ක අරගල කරපු කෙනෙක්. ඒ නිසාම ඒ සංගිත ක්‍රම සදාකාලික නිර්මාණ වෙලා තියෙනවා.
ඒ වගේ හැකියාවන් ඇති අය අද බිහිවන්නෙ නෑ. ඒක අපේ අවාසනාව.
මම හිතන්නෙ ලූෂන් බුලත්සිංහලගෙ දුවත් දක්ෂ ඔපෙරා ගායිකාවක්. මම හිතන්නෙ මේ වෙනකොට ඇය සිවිස් ඔපෙරා කන්ඩායමක් සමඟ වැඩ!
Deleteමම නම් බලලා තියෙනවා.ඒ නිසාම දුකක් දැනෙනවා වර්ථමාන සිනමා කලාව ගැන.කෝටි ගණන් වියදම් කරලා අද හදන කුණුහරප(මට නම් අද බොහෝමයක් චිත්‍රපට කුණහරප උනාට සමහරුන්ට වටිනා ෆිල්ම්) වලට වඩා මේවා දාහෙන් සම්පතක්.
ReplyDeleteවර්ථමාන චිත්‍රපට තුල මෙවැනි වෙනස් වූ ආර්ථිකයන් ගේ යාථා වභාවයත්,මිනිසුන්ගේ ජීවන තත්වය පිළිබදවත් කතා කරන්නේ නෑ.හාවා හද දකිනවා වගේ අසෝක හදගමලා ජයන්ත චන්ත්‍රසිරිලා හදන ෆිල්ම් තියෙනවා.නියම ලිපියක්.ජය !
ධම්මික..
Deleteඇත්තටම මේවගේ චිත්‍රපටවලින් කලාව සහ ජනතාව නිරන්තරයෙන් බුද්ධිමය සංවාදයක නියැලුනා. ඒනිසාම එක්තරා යුගයක හොඳ රසික පිරිසක් වගේම හොඳ කලා කෘති ප්‍රමාණයකුත් රටට ලැබුණා.ඒ යුගයේ මිහිර තමයි අදත් අපි විඳින්නේ..
දැන් ඉන්න කිපදෙනෙක් විතරයි කලාත්මකව බුද්ධිමය සංවාදයක යෙදෙන්නේ.
ස්තූතියි අදහසක් එකතු කළාට
මේ ලිපිය උපරිමයි . .. නිවාඩු පාඩුවේ දිග කොමෙන්ටුවක් දාන්නම් . . අපූරු ලිපියක් . ..
ReplyDeleteදුකා...
Deleteස්තූතියි.. හැකි වෙලාවක කියවා අදහසක් දාන්න.
උපරිම වටින ලිපියකි. ඔය චිත්‍රපටිය මම බලලා නැති උනත් ඉතාමත් හොඳට දන්න කියන චිත්‍රපටියක්. ඒ, සංගීතය නිසා. "හඳුනාගත්තොත් ඔබ මා" කියන ගීයට අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලම පුදුම ආසයි.
ReplyDeleteදෙවැනි පේලිය "මා ඔබ නොව ඔබ මා නොව" වෙන්න ඕන නේද?
මේකේ කතා පුවත නම් අදමයි ඇහුවේ. බොහොම ස්තුතියි. අපිට තියන ලොකුම අඩුව තමයි මේවා බලන්න ක්‍රමයක් නැති එක.
සයුරි..
Deleteඇත්තටම මටත්ඕනෙ වුනේ මේ කතාපුවත අදටත් වලංගුය කියන කාරණය කියන්න විතරයි. ඒ නිසාමයි මම ආරම්භයේදිම සඳහන් කළේ නිතර අසා පුරුදු ගියක් කියලා.
මට මතක හැටියට මීට වසර කීපයකට කලින් මේ චිත්‍රපටයේ ඩීවිඩී එකක් නිකුත් වුණා. ලැබුනොත් බලන්න. අනික රූපවාහිනියෙන් බලනවිට වෙළඳ දැන්විම්ටිකයි කොටු කොටු ටිකයි දැම්මාම ඉතිරිවෙන දෙයක් නෑ බලන්න.
වැරැද්ද නිවැරදි කර පෙන්වූවාට බෙහෙවින්ම ස්තූතියි මට කටපාඩම් විදියට ලිව්වේ ආයේ ගීය එක්ක සැසඳුවේ නැහැ.
ස්තූතියි .. වටිනා අදහසක් එකතු කළාට
මේ සින්දුව මීට බොහෝ කාලයකට කලින් මගෙ අයාළුවෙක් මට එවලා තිබුනා. පස්සේ කාලෙක ටී එම් ගේ සී ඩී එකකිනුත් ඒක හම්බ වුනා.
ReplyDeleteමේ තරම් දිග විස්තරයක් කියවලා කොහොමද ෆිල්ම් එක නොබලා ඉන්නේ? දැන් ඉතින් ෆිල්ම් එක හොයාගන්න ඕනේ ඔක්කොමට කලින්.
අපූරු සටහනක්...
11 mondo di una.....
Deleteමට මතක හැටියට මීට වසර කීපයකට කලින් මේ චිත්‍රපටයේ ඩීවිඩී එකක් නිකුත් වුණා. ලැබුනොත් බලන්න.
ස්තූතියි .. වටිනා අදහසක් එකතු කළාට
මිනිස් හඬට කලහැකි දේ ඉතාහොඳින් පෙන්වන ගීතයක්...!
ReplyDeleteසුනිලා අබේසේකර මේ ගීතයට සම්භන්දයි කියල දැන ගත්තෙ අද.
කේමදාස මාස්ටර් වගේ ශිල්පියෙක් මේ රටට කවදා බිහිවේවිද මන්දා..!
වීපොකුර..
Deleteමාස්ටර් වගේ දක්ෂයෝ ඉන්නවා. ඒත් මාධ්‍ය කලාව ඉල්ලන්නේ වෙනත් දේ නිසා ඔවුන්ට හැංගිලා ඉන්න සිදුවෙලා..
ස්තූතියි ඔබටත්.
බඹරු ඇවිත් මං බැලුවේ ටීවි එකෙන්..
ReplyDeleteබැලුවත් එච්චර තේරුම් ගන්න උත්සහ කරේ නෑ...
අද තමා තේරුනේ...
බොහොම ස්තූතියි ඒ දේ පැහැදිලිව සරලව ඉදිරිපත් කරාට!!!!!!
තරියා..
Deleteරූපවාහිනියෙන් බලනවිට වෙළඳ දැන්විම්ටිකයි කොටු කොටු ටිකයි දැම්මාම ඉතිරිවෙන දෙයක් නෑ බලන්න.
මගේ උත්සාහය සාර්තකයි කියලා දැනුනා නම් ඒ මගේත් සතුටයි.
ස්තූතියි තරියා..
චිත්‍රපටය නරඹා තිබුනත්, එහි දිවෙන දේශපාලනය දැක්කෙ ඇත්තටම මේ ලිපියෙන්.සමහර විට චිත්‍රපටයේ කාලවකවානුවේ දී මෙලොව එළිය දැක නොතිබීම එයට හේතුවක් වෙන්න ඇති.
ReplyDeleteඑහෙම වුනයි කියලා ගීත රසවිඳින්න නම් ඒකට කිසිම බාධාවක් වුනෙ නැහැ.
මට මතකයි සුනිලා නම් ගායිකාව ගැන මීට පෙරත් අයියා ලියල තිබුනා. ඒ ගීය ගයන්නෙ ඇය කියලා මම දැන ගත්තේ ඒ ලිපියෙන්. අයියා , පුලුවන් නම් කලින් ලියුවක් ගැන නැවතත් තවත් පෝස්ට් එහෙක ලියන වෙලාවක ඒ පොස්ට් එකෙන් පැරණි ලිපියට යන්න පුලුවන් විදිහට ලින්ක් එකක් දාන්න.
ඒක බොහෝ අයට පහසුවක් වේවි. ඒ වගේම වැදගත් වේවි.
සොඳුරු...
Deleteමේ යුගයේ බඹරු ඇවිත් චිත්‍රපටය බලන කවුරුත් හිතන්නෙ නෑ. මේෆිල්ම් එකේ තිබුණ දේශපාලන දැක්ම. ඒ නිසාමයි ගීතය ඉදිරිපත් කරනවාටත් වඩා චිත්‍රපටය ගැන විස්තරයක් කලේ.
කලින් ලියපු දේවල් මේවා ලියනකොට ඒක සම්බන්ධකරලා ලින්ක් එකක් දෙන්න හිතුනත් සමහර වෙලාවට මාර කම්මැලියි. ඒකයි මට තියෙන ගැටලුව. ඒත් මීට පස්සේ එහෙම කරන්නම්.
ස්තූතියි සොඳුරු ඔබට... වටිනා අදහසක් ගෙනාවට
ම්ම්මම්ම්....ඒකත් එහෙමද...ම්ම්මම්ම්ම්ම්ම්
ReplyDeleteතරුවා..
Deleteහ්ම්....ඒක එහෙමයි..
ස්තූතියි ඔබටත්.
ඔබ තරම් මම කොහොමවත්ම මේ දේවල් දන්නේ නැහැ.මොකද අපි ගොඩක්ම පොඩිනේ ඕව ෆේමස් කාලේ..කොහොම උනත් උදුම්බරා ගියේ තනුව නම් කියල වැඩක් නැහැ.ටක්ගාල හිතට වදිනවා..
ReplyDeleteතව තවත් ලියන්න...ඔබට ජයෙන් ජය සහෝ!
හිරුහිමාවි..
Deleteඒකාලේ නොහිටි අයට වැදගත් වෙයි කියලා තමයි ලිව්වේ.
ස්තූතියි ඔබටත්.
මේ චිත්‍රපට නිෂ්පාදනය වෙන කාලයේ අපි ඉපදිලත් නෑ.ඒත් මම රුපවාහිනියේ මේ චිත්‍රපටය බැලුවා.ඒත් මේ තරම් සමාජ දේශපාලන කතාවක් මේක ඇතුලේ තියෙන බව දැනගත්තේ අද.ඔය ධනවද අර්ථ ක්‍රමයට විරුද්ධව සිනමාව තුලින් විතරක් නෙමෙයි,අනෙක් කල මාධ්‍ය තුලිනුත් කතා කළා නේද??ඒ පිලිබඳ වත් අස්වැන්නේ ලියවුණොත් කොහොමද??
ReplyDeleteඇගේ ඇති ලිපියක්
නුවන්...
Deleteමේ සමාජ ක්‍රමය විවේචනය කරමින් 77 න් පසු 94 දක්වා විවිධ කලා කෘති බිහිවුණා. ඒවා අදටත් අමරනීයයි.සිනමාව සංගිතය වේදිකා නට්‍ය, සාහිත්‍ය වගේ දේවල්. ලියන්න නම් තිබුනොත් හොඳයි. ඒත් දේශපාලන ගැන කතා කළාම කියවන පිරිස නැතිවෙයි. ඉඳහිටලා මේවගේ බලන්නම් යමක් ලියන්න.
ස්තූතියි නුවන් මලේ..
ස්තූතියි මෙය ලිවීම ගැන."බඹරු ඇවිත්" මගේ කැමතිම සිංහල චිත්‍රපටය.ගැඹුරු, අර්ථවත්, සෞන්දර්යාත්මක සිනමාව පිළිබඳ ආදර්ශයක්.ප්‍රබල තිර රචනය වගේම විජය,මාලනී, ජෝ,කලං,විමල්,සිරිල් ගේ අති විශිෂ්ට රංගනයන්.සිංහල සිනමා රසිකයෙක්නම් අනිවාර්යෙන් නැරඹිය යුතු චිත්‍රපටයක්..!
ReplyDeleteතපස්..
Deleteලාංකික රසිකයන් හැටියට "නිධානය, හංසවිලක්, බඹරු ඇවිත්, ගොලු හදවත, ගැහැණු ලමයි, පාරදිගේ,වැලිකතර, මේ චිත්‍රපට ටිකත් එකවරක් හෝ නැරමිය යුතුමයි කියලා මමත් හිතනවා
ස්තූතියි.. මට මතක හැටියට මේ ඔබේ පළමු පැමිණීම. ගෞරවනීය ලෙස පිලිගන්නවා අස්වැන්නට
කාලෙකින් කියවපු වටිනා ලිපියක්..
ReplyDeleteAnsh Lucky.....
Deleteස්තූතියි.. ඔබේ අගනා සටහනට. මෙහි යම් හරයක් ඇතැයි හිතුනානනම් ඒ මගේත සතුටක්.
ඔබේ පළමු පැමිණීම ගෞරවනීය ලෙස පිලිගන්නවා අස්වැන්නට
පොස්ට් එක දැක්කම දුකත් හිතුන.වෙසක් නාට්ටි වගේ ෆිල්ම් බල බලා උන්නු සිංහල රසිකයාට සිනමාව හඳුන්වා දුන්නේ ලෙස්ටර්.ඊට පස්සේ පතීල,ධර්මසිරිල මේ වගේ ෆිල්ම් එක්ක සිනමා රසිකයාව වින්දනයේ උපරිමයට අරන් ගියා .එහෙව් සිනමාව අයෙත් අර පටන් ගත්තු තැනට ඒ කියන්නෙ වෙසක් නාට්ටි වගේ ෆිල්ම් හදන තැනට ඇවිත්!
ReplyDeleteඇත්තම තමයි.
Deleteකලාබෝයි..
Deleteමටත් හිතෙන්නේ ඒ නැවතුන තැන ඉඳනි අපි යළි හොඳ හරවත් විචාරාත්මක් සංවාදයක යෙදෙන සිනමාවක් ගොඩනැගිය යුතුයි කියලා.
ස්තූතියි.... මේ වටින අදහස සටහන් කර තැබුවාට
ඹමරු ඇවිත් ෆිල්ම් එකක් බලලා නෑ රත්නායක අයියේ.. ඒ මේ ලිය උන ගීත නම් ටිකක් මතකේ තියෙනවා.. අපි වගේ අයට මේ ගැන දැන ගන්න ලිය උන ලිපිය ගොඩක් වටිනවා..
ReplyDeleteදිනේෂ්..
Deleteස්තුතියි දිනේෂ්. ඔබේ යුගය එනකොට මේ සිනමාව කලාත්මක අතින් මිදී හුඟක් දුර ගිහින්.
විශිෂ්ටම ලිපියක් . බඹරු ඇවිත් මාත් බලල තියෙනවා . වෙළඳ දැන්වීම් සාගරයක් මැද්දේ පොඩි පොඩි කෑලි අමුනපු රුපවාහිනියේ . කොහොමද ඉතින් රස විඳින්නේ . අනික බොහොම කලකට ඉස්සර . මෙතරම් ගැඹුරින් කතාව වත් එහි ඇති දේශපාලන දැක්මවත් මතක තිබුනේ නැහැ . ස්තුතියි ඔබට . 1978..දීම මේ ව්‍යසනය දැක්ක පතිරාජයන් වැනි කලාකරුවන් ගැන පුදුමත් හිතෙනවා . වෙළඳ ආර්ථිකය අරන් ආවේ 77 දී . ඔය සංක්‍රමණය වෙද්දී සිද්ධ වෙච්ච දේවල් මට නම් හුඟක් මතකයි . 90 දශකයේ මුල් අවධියේ ආයිමත් පතිරාජයන්ගේ කෘතීන් ගැන යම් කතිකාවතක් ඇති වුනා . මන් දන්නා පිරිසක් අහස ගව්වෙන් ඔබ්බට කියල සිනමා උළෙලක් පවා සංවිධානය කළා . එතනදී බමරු ඇවිත් බලන්න නම් මට බැරි වුණා. හැබැයි ඔහුගේ අනික් සිනමා කෘති කීපයක් බැලුව මතකයි. දැන් ඉතින් අපි මේ ක්‍රමයේ ගිලිලා ඉවරයිනේ . අපිට සමාජවාදය හරියට කරගන්නත් බැරි වුණා . 77 දී පොරොන්දු වෙච්ච සිංගප්පුරුව කර ගන්නත් බැරි වුණා .
ReplyDeleteඋදුම්බරා ගීතය කවදත් රස විඳිය හැකි උපරිම ගනයේ නිර්මාණයක් .
බින්දි...
Deleteරූපවාහිනියෙන් චිත්‍රපටයක් බලනවිට වෙළඳ දැන්විම් ටිකයි කොටු කොටු ටිකයි දැම්මාම ඉතිරිවෙන දෙයක් නෑ බලන්න.
පතිරාගේ සිනමාවේ අද්විතීය ලකුණු හැටියට අහස් ගව්ව, එයා දැන් ලොකු ලමයෙක්, පොන්මනී, බඹරු ඇවිත්, පාරදිගේ සහ සොල්දාදු උන්නැහේ චිත්‍රපට ලාංකීය සිනමාවේ සැබෑ දේශපාලන මුනුවරත්, කලා කෘතියක සැබැ මුණුවරත් පිළිබිඹු කළ දැවැන්ත නිර්මාණ. මේවා එවකට කතිකාවට ලක් වුණත් මේ පවතින සමාජ ක්‍රමය මේ නිර්මාන දකින්නේ නැති තරම්. ඒ අපේ අවසානාවට වෙන්ට ඇති. ඒනිසාම උසස් රසවින්දනය දැන් ගිලිහිලා ගොඩක් කල්.
බින්දිටත් බෙහෙවින්ම ස්තූතියි අගනා කලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ අනගි සටහනට
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ "නිධානය " චිත්‍රපටිය වගේම් "ඹමරු ඇවිත් " ඇවිත් චිත්‍රපටියත් කීප වරක්ම නරඹලා තියෙනවා .කොතරම් බැලුවත් ඒපා වෙන්නෙ නැති චිත්‍රපටි . සුනිලා අබේසේකර වැනි
ReplyDeleteදක්ෂ ගායිකාවක් ගීත කීපයකට පමණක් සීමා වීම හරිම අපරාධයක් හැටියට මා දකිනවා .
මේ ගීතයත්, චිත්‍රපටිය ජනප්‍රිය වීමට බොහෝ බලපෑව කියා සිතෙනවා .
වෙනද වගේම ඉතාමත් හොද ලිපියක් .
ගිම්..
Deleteසුනිලා අබේසේකර සිය ජීවිත කාලය තුළදී එක ගීත එකතුවක් එලි දැක්වූවා. ඇත්තටම ඇය ආර්ථික අතින් හොඳ ශක්තිමත් පවුලක කාන්තාවක්.පෙරදිග සහ බටහිර සංගීතය උගත් ඇය ඒ නිසාම ඇය මුදල හඹා නොගොස් කේමදාසයන්ගේ හොඳ නිර්මාණවලට පමණක් දායක වුණා. ඒ අතින් ඇය හරිම ශ්‍රේෂ්ඨයි.
ගිම් ඔබටත් විහේෂයෙන්ම ස්තූතියි අගනා සටහනක් තැබුවාට
චිත්‍රපටය බැලුවෙ බොහෝ කාලෙකට කලින්. රූපවාහිනියෙ. මතකය අලුත් වුණා. ඇත්තම කියනවනම් ඒ බලපු කාලෙ මේ තරමටම ගැඹුරු තේරුමක් හිතට ගියෙ නෑ. කොහොමත් රූපවාහිනියෙන් බලන චිත්‍රපට හිතට දැනෙනවා අඩුයි මට අතරමැද යන වෙළඳ දැන්වීම් ආදිය නිසා. හිත යොමු කිරීමේ අපහසුතාවක් පවතිනවා (ඒ මගෙ දුර්වලතාවයක් මිසක් වෙන වරදක් නොවේ).
ReplyDeleteඒ හිස් කොටස මේ ලිපියෙන් අපූරුවට පිරෙව්වා.
මාලනී ගේ රඟපෑමේ සුවිශේෂ බව නැවත නැවතත් මතක් වෙනව මට.
සිඳු..
Deleteරූපවාහානියෙන් චිත්‍රපට බැලීම මම නතරකලේ ඔය හේතුව නිසා. මොකද එහි රස් වින්දනය වෙළද දැන්වීම් විසින් උදුරාගන්න නිසා.
මේ චිත්‍රපටයේ රගපෑ සියලු දෙනාම විහිස්ඨ රංගනයක යෙදුණා. ඒනිසාම මේ කෘතිය උසස් සිනමා කෘතියක් බවට පත්වුණා.
ස්තූතියි සිඳූ එබටත් මේ සටහන තැබිම වෙනුවෙන්.
ටී එම් , අයිවෝ සහ සුනිලා තිදෙනා සමග කේමදාසයන් මේ ගීතය තුලින් සිංහල ගීතයේ ගමන් මග වෙනස්කරනවා. සුනදර රාත්‍රියක මේ ගීතය රස විඳීම හරිම අපූරූ අත්දැකීමක්. බඹරු ඇවිත් චිත්‍ර පටය ඉතාම විශිෂ්ඨ ගණයේ සිනමා කෘතියක්. එහි දේශපාලන පසු බිම හා අනෙක් කරුණු දැන ගත්තේ අදයි. දයානන්ද ඔබට බෙහෙවින් ම පින්, පතිරාජයන්ගේ “බඹරු ඇවිත්“ සිනමා සිත්තම හා කේමදාසයන්ගේ සිනමා සංගීතය මෙලෙස වියමනකින් නැවත අපූරු ලෙස ආවර්ජනය කිරීම පිළිබඳව.
ReplyDeleteචන්දි..
Deleteමේ ගීය වගේම සිනමා කෘතියත් මගේ සිත් ගත්තා , විෂේෂයෙන්ම මෙහි කතාපුවතේ තිබූ දේශපාලන ස්වරූපයට මම අදත් කැමතියි.
ස්තූතියි චන්දි ඔබටත් මේ සටහන වෙනුවෙන් අගනා කිලයෙන් බිඳක් වෙන් කළාට.
මේ ගීතය ගායනා කරන්නෙ 4 දෙනෙක්......සඳහන් කරලා තියෙන තුන්දෙනාට අමතරව සුභාෂිනී අරංග කියන පාසල් සංගීත ගුරුවරිය තමා මෙහි හතරවන කටහඬ.....ඇය සුනිලාටත් වඩා අප්‍රකටයි....බොහෝ දෙනෙක් ඇයව අහලාවත් නෑ
ReplyDeleteamu...
Deleteඅත්තටම මේ ඔබ කියනකල් මමවත් දැනගෙන හිටියෙ නෑ සඳහන් කරලා තියෙන තුන්දෙනාට අමතරව සුභාෂිනී අරංග කියන පාසල් සංගීත ගුරුවරිය ගැන . මොකද කේමදාසයන්ගේ නිර්මාණවල පවා සදහන් වෙන්නේ මේ තුන්දෙනා ගැන විතරයි.
ඔබ එහි ඉතිහාසය ගැන හොඳින් දැනගෙන තිබිම අගය කරනවා. මේක ලියද්දි ගිලිහී යයි සිතූ කරුනු දසවිමට පොත් පත් ගණනාවක් කියෙව්වා. ඒ එකකවත් මේගැන සඳන්ව නැහැ.
ස්තූතියි මේතොරතුර නිවැදිව දුන්නටත්. ඔබේ සටහනටත්.
මේ ගීතය පරිස්සමින් ඇහුවොත් ඔබටත් දැනේවි "ආදරයේ....ඔබ ඔබමයි.....මා ඔබ නොව....ඔබ මා නොව....දවසක්දා හඳුනාගත්තොත් ඔබ මා....." කොටස තුල මාරුවෙන් මාරුවට කාන්තා හඬ 2 ක් ඇති බව....
Deleteඑසේම ඔබට මම පහත දී ඇති You tube link එක බලුවොත් එහි 50 වන තත්ත්පරයේදී "ගී ගායන අයගේ නාමාවලිය තිරයේ දිස්වෙනවා....එහි ඇයගේ නම සඳහන් වනබව ඔබට පෙනේවි....
http://www.youtube.com/watch?v=N78wFdYC0oU
amu...
Deleteඅත්තටම ඔබට අවංකවම ස්තූතිවන්ත වෙනවා. නිවැරදි තොරතුර දුන්නාට මම ඒලින් එකෙන් ගිහින් බැලුවා. හරියටම හරි. කොහොම වුණත් මේ ෆිල්ම්එකෙන් පස්සේ කාටත් ඇයව මග හැරිලා. මට හිතෙන්නේ ඒක ඇගේ ගායනයට සිදුවූ ලොකු අසාධාරනයක්.
මම අවස්ථා කිපයකදීම චිත්‍රපටයේ ජවනිකාවක් ඇතුල්කරන්න සෙව්වත් හමබවුනේ ගීයේ වචන සහිත රූප රාමුව විතරයි. කලින් ඇහැගැහුනානම් මේක දාන්න තිබුණා.
ඔබට බෙහෙවින්ම ස්තූතියි.
බඹරු ඇවිත් - මම හුඟක් ආසාවෙන් බලපු සිනමා කෘතියක්
ReplyDeleteලොක්කයියා..
Deleteස්තූතියි සටහනක් දැම්මමාට
බඹරු ඇවිත් ෆිල්ම් එක ආව පලවෙනි දවසෙම බලන්න වාසනාව ලැබුනා..ඉස්කෝලේ යන කාලෙම. පැය ගානක් පෝලිමේ කට්ට කාලා බැලුවේ..ඉස්කෝල් තිබුන සිනෙරූ කලා සංසදයෙන් බඹරු ඇවිත් ෆිල්ම් එක ගැන සම්මන්ත්‍රණයකුත් තිබ්බා...ඒකට පතිරාජ ඇතුලු ප්‍රධාන සහ අප්‍රධාන නළු නිළියෝ (විජය මාලිනී ඇරුණම) ඇවිත් හොඳ දේශන පැවැත්තුවා. ඇත්තටම මේ අයගෙන් බොහෝ දෙනා ඉස්කෝලේ ඉගෙනගත්ත අය. ඒකයි ඒවගේ දෙයක් තියන්න හේතුව. කොහොම උනත් අමතක නොවන අත්දැකීමක්.
ReplyDeleteකැන්ඩියන්..
Deleteමේවගේ චිත්‍රපටයක් එකවරක් බැලුවොත් ජීවිතේමටම මතක හිටින ෆිල්ම්ස්. ඉතින් මුල් දවසේ
නැරඹුවා වගේම තාමත් මතක හිටින්නේ ඒ නිසා.
ඇත්තටම මේ වගේ චිතප්‍රපට වලින් ඉගන ගන්න හැකි දේ බොහෝ දේ තිබුණා ඒ කාලේ.
ස්තූතියි සටහනක් තැබුවාට
මෙම චිත්‍රපට බැලීමට වාසනාවක් නොලද මුත් ලිපිය අවසානයේ චිතපටිය දෑසින් නරඹුවාටවත් වඩා වැඩි හැඟීමක් සිතට දැනින. මාගේ හදපිරි තුතිය.
ReplyDeleteකෝරලේ මහත්තයා..
Deleteඒ යුගයේ නිර්මාණය වූ චිත්‍රපට ඇත්තටම අද ඉන්න පරපුරට බලන්න ක්‍රමයක් තියෙනවා නම් හොඳයි. ඒත් එවැනි ක්‍රම මේ රටේ නැහැ ඒක කණගාටුවට කරුණක්.
ස්තූතියි ඔබටත් මේ සටහන තැබුවාට.
ඇත්තෙන්ම බඹරු ඇවිත් චිත්‍රපටිය බැලුවේ ගොඩක් පොඩි කාලේ. හංසවිලක් නම් මෑත කාලෙ බැලුවා ඒත් නිධානයත් බැලුවේ පොඩි කාලේ උනත් නිධානය නම් බොහෝම හොඳින් හිතේ රැඳිලා තියෙනව.
ReplyDeleteමේ දවස්වල උදේ හවා අහන්නේ කේමදාස මාස්ටර්ගේ ගොලු හදවතින් තුන්වෙනි යාමයට කැසට් එක.
පුදුම සංගීතයක්.
දන්නවද දයානන්ද කේමදාස මාස්ටර් ඉන්දියාවේ ෆිල්ම් වලත් සංගීත අධ්‍යක්ෂනය කරලා තියෙනවා . . ඒ කැසට් එකේ දෙමල ගීතයකුත් තායි සහ හින්දි ගීතයකුත් බැගින් තියෙනවා.
මේ ලිපිය ඇත්තෙන්ම අපූරුයි.
අපහු කොහොම හරි හොයාගෙන බඹරු ඇවිත් ෆිල්ම් එක බලන්නම හිතට වද කරන තරම් උපරිමයෙන් මේ ලිපිය ලියලා තියෙනවා.
සුනිලා ගැන කියනවනම් ඒ කටහඬ අපේ රටේ අති දුර්ලභ කටහඬක් කියලයි මට හිතෙන්නේ. කේමදාස මාස්ටර්ගේ හොඳම සින්දු ඔක්කෝගෙම වගේ සුනිලගේ කටහඬ පොඩ්ඩක් ගෑවිලා තියෙනව මම හිතන්නේ . .
උදුම්බරා . .
හිමින් සැරේ පියා විදා . .
අඳුරු කුටිය තුල . .
මාස්ටර්ගේ ගීත ව්ලඉන් බෙට්ම ගීත තුන මේ තුන කිලයි මගේ හැඟීම . .
මේ තුනේම ටී එම් සහ සුනිලා ඉන්නවා.
බොහෝම ස්තූතියි ඔබ මේ කරන සද්කාර්‍යයට . .
දුකා..
ReplyDeleteමාස්ටර්ගේ සියලුම නිර්මාණ එකතුවක් මගේ ගාව තියෙනවා. මතුදවසක කේමදාස මාස්ටර් ඉන්දියාවේ ෆිල්ම් වල සංගීත අධ්‍යක්ෂනය කල හින්දි ගීයත්, "ආරාරෝ" දෙමල ගීතයත් "මූන් ලයිට්" ඉංග්‍රීසි ගිතයත් ගැන ඉඩක් ලද විටක ලියන්නම්.
සුනිලා අබේසේකරගේ කැසට් එකක් නිකුත්වුණා මට මතක හැටියට 80 දශකයේ. ඇය අපට හිටිය විහිස්ඨතම ගායිකාවක්.
ඔබේ වටිනා සටහනට ස්තූතියි
තෙරේසා.. උඹලා ප්‍රවේසම් වෙයල්ලා බඹරු ඇවිල්ලා.. බඹරු...
ReplyDeleteමතක විදියට මේකෙ වචනයක් මග ඇරිල.! මම ඒක තකහනියෙ කිව්වෙ, ඒ කතාව ඒ තරම්ම මගෙ හිතට එදා වැදුනෙ ඒ සම්පූර්ණ වාක්‍යෙන් කියවුනේ චිත්‍රපටියෙ මුලු කතාව නිසා. සිරිල් කියන්නෙ "වැල්ලට" බඹරු ඇවිල්ලා කියල. ඒ වගේම අන්තිම මොහොතෙ විමල් පාර මැද ඩිරෙක්ෂන්ස් ගහල තියෙන පොඩි සිමෙන්ති කන්ඩිය උඩ නැගල පිස්සුවෙන් කතා කරපු විදිය අවුරුදු විස්සකට පස්සෙත් තාම මතකයි. මම බඹරු ඇවිත්, පාරදිගේ බැලුවෙ පතිරාජගෙ ෆිල්ම් ෆෙස්ටිවල් එකක් තිබ්බ අනූ දෙකේ එල්ෆින්ස්ටන් ඒකේදි. එදා ඇඩ් නැතිව නිදහසේ බලපු නිසා වෙන්නැති මේව අදටත් හිතේ තීන්නෙ. 70/80 වෙනකොට මල් ගස් වටේ නටපු විජේව ට්‍රැක්ටර් එළවන්නයි ජීප් එළවන්නයි දෙකටම පාවිච්චි කරන්න විතරක් නෙමෙයි ඒකෙන් උපරිම ප්‍රථිඵල නෙලාගන්නත් පුළුවන් උන වෙන අධ්‍යක්ෂකවරයෙක් ගැන හිතා ගන්න අමාරුයි.
මේව ගැන අද කතා කරල මතක් කරනවට දැණුවත් කරනවට බොහොම ස්තූතියි.
ඉන්දික
ReplyDeleteපළමුවෙන්ම අස්වැන්නට පැමිණී පිළිබදව ස්තූතිය.
මේ චිත්‍රපටයේ වූ කතා පුවත සහ එහි දේශපාලන දැක්ම ගැන තමයි මටත් ගීතයට වඩා කතාකරන්න අවශ්‍ය වුනේ.
මේක ලියද්ද මගේ හිතේ තැන්පත්ව තිබූ දෙබස් ඛණ්ඩ ටිකක් ඉවත් කරන්න වුනේ දිග වැඩි නිසා. ඔබේ මේ සටහනත් එක්ක එය මෙහිම සටහන් කරනවා. ඔබටත් මතක ඇති මේ කොටස්.
"උඹ මේ වැල්ලෙ අතරමං වෙන්න ඕනෙ ගෑනියෙක් නෙමෙයි බං. උඹ හොඳ සිදාදියට.."
"මං උඹට ආදරෙයි බං ඹං උඹව එක්ක යනවා" (විජේ)
"ඇත්තටම බේබි මහත්තයා මාව එක්ක යනවද?" (මාලනී)
"ඔව්"
කවද්ද?
"කවදහරි"
===========
" යුද්ධ කරන්න ආයුද තියෙන්නේ සර්ලටනේ.. මං යුද්දෙකට ආවෙත් නෑ මේ සෙනග මං එක්ක ආවෙත් නෑ.."
"එහෙනම් උන් නිකං ආවා.. මේ මිනිස්සු එක්ක ආපහු පලයං"
"මං යන්නං සර්.. අනිත් එවුනුත් යයි. ඒත් මේව බලාගන්න කෙනෙක් උඩ ඉන්නවා.. මේව හරි අසාධාරණයි සර්.." (ජෝ)
මේවගේ දෙබස් එක පාරින් ජීවිතේටම මතක හිටිනවා.
ස්තූතියි අගනා අදහස් දැක්වීමට
උදුම්බරා හිනැහෙනවා.. ගීතය, සංගීතය අදටත් හිතට දැනෙන්නෙ, ගෙනෙන්නෙ හරි අපූරු සිතිවිල්ලක්..!
ReplyDeleteචිත්‍රපටය නොබැලුවත්.. ස්තූතියි ඔබ තුමාට මේ වටින සටහන් අප අතර නිතර රන්දනවට..!
නන්දු..
Deleteස්තූතියි ඔබටත් මේ සටහන තැබුවාට.
පහුගිය අවුරුදු කීපය තුළම අපොයි ආයිත් නම් සිංහල ෆිල්ම් බලන්නෙ නෑ කියලා හිතාගෙන හිටපු මට ටීවී එකේ ඇස් දෙක අලෝගෙන බලපු සිංහල ෆිල්ම් කීපයක් තිබුනා නේද කියලා මතක් කරලා දුන්නා මේ ලිපිය...
ReplyDeleteබඹරැ ඇවිත්, සත් සමුදුර, නිධානය, හංසවිලක් සහ රේඛාව ෆිල්ම්හෝල් වලට ගිහිල්ලා බලන්න වාසනාවක් තිබුනේ නැතත් තාත්තගේ බලවත් උනන්දුව සහ පෙරැත්තය නිසාවෙන් රාත්‍රී කාලයේ ටීවී එකේ ගිය වෙලාවක බලන්න ලැබුනා... වෙළද දැන්වීම් අඩුවෙන්... ඔය කතාවල තිබුන දේශපාලනය තේරුම ගන්න තරම් වයසින් වැඩිලා හිටියේ නැති උනත් සංගීතයෙන් කියවෙච්ච අනුවේදනීය කතාව තේරුම් ගන්න ඒ වයස අඩුපාඩුවක් උනේ නෑ....
ටී. එම්ගේ ගීත වලට සහ මාස්ටර්ගේ සංගීතයට ආදරය කරන්න පටන් ගත්තේ ඒ වගේ වෙලාවක... ඇත්තටම මේ මුළු කතාවම මට ඒ වෙලාවේ දැනුනේ ඔපෙරාවක් වගේ....
රෑ 12ට ඉවර උනු ලක්හඩේ ඉස්සර ගිය “රැයේ ඇසෙන ගී“ වැඩසටහනේ දවසක් මාස්ටර්ගේ ඔපෙරාවක්, මට මතක විදියට ඒකේ නම “අග්නි“, විනාඩි 20ක් එක දිගට අහගෙන හිටියා ඇස් දෙකේ කදුළු වැක්කෙරෙද්දි..
මට මේ චිත්‍රපටි හැම එකේම මතක එක් එක් රෑප රාමු සහ සංගීතය විතරයි... කතාවස්තුව නම් තේරුම් ගත්තේ පස්සේ කාලෙක...
අදත් මේ ලිපිය තියවගෙන යද්දි ඒ රෑප රාමු හිතේ එකින් එක මැවෙන්න පටන් ගත්තා... උදුම්බරා ගීතය හිතේ රැව් දෙන්න ගත්තා... ඉතිං ඔබට බොහොම පිං...
චිත්‍රපටි ගැන විචාරයක් කරන්න තරම් නම් දැනුමක් නෑ... ඒත් මේ චිත්‍රපටි මතක් වෙනකොටත් ඇස් වලට කදුළු එන හැඟීමක් එනවා හිතට.... ටික කාලයක් යනකම් අයිත් නම් සිංහල ෆිල්ම් බලන් නෑ කියලා මට හිතෙන එකක් නැති වෙයි...
හිරු..
Deleteබඹරැ ඇවිත්, සත් සමුදුර, නිධානය, හංසවිලක් සහ රේඛාව වගේ චිත්‍රපට පාසල් මට්ටමින් රසවින්දන දියුනුකරන්න පෙන්විය යුතුය කියලා හිතෙනවා. මේවා අද ඉන්න අයට බලන්න ලැබෙන්නේ කපලා කොටලා. කෑලි අමුණලා එතකොට යෙින්ද රසවින්දනයක්.
ස්තූතියි ඔබටත්.
ඇත්ත කියන්න එපැයි ඉතින් මම නම් චිත්‍රපටියේ නම යන්තම් අහල තිබුණා... හඳුනාගත්තොත් ඔබ මා ගීතය වරින් වර අසා තිබෙනවා... බොහොමයක් පැරණි චිත්‍රපට නරඹා නැහැ.. කථාව කෙටියෙන් හෝ මෙලෙස ඉදිරිපත් කිරීම ගැන හරිම සතුටුයි...
ReplyDeleteෆිල්ම් එක බැලුවා.ඒත් අවුරුදු දෙක තුනකට කලින්..දැන් නම් මතක නැ..ඒත් මේ සින්දුව නම් කවදාවත් අමතක වෙන්නේ නැ... ඒ තරමට හිතට දැනෙන අනර්ඝ නිර්මාණයක්.. ජය වේවා සහෝ..
ReplyDeleteමමත් බඹරු ඇවිත් සිනමා නිර්මාණය නරඹලා නෑ තාම. නමුත් මේ සුන්දර ලියවිල්ල කියෙව්වාට පසුව හිතුව මේ සිනමා නිර්මාණ රසවිඳින්න ඕන කියල. ඉතාම සිත්ගන්නා සුළු ලේඛණ විලාසයකින් ඉදිරිපත් කරන මේ ලිපි පෙල අති විශිෂ්ඨයි! ඔබට ස්තූතියි. ජයවේවා!
ReplyDeleteබඹරු ඇවිත් ..මමත් බලල තියෙනවා .ඒත් ඒතුළ ඇති දෙශපාලන දෘෂ්ටිය පිළිබඳ දැන ගත්තේ ඔබගේ ලිපියෙන් .
ReplyDeleteබොහෝම ස්තුතියි .
Balanna balanna kiyawana kiyawanna aasa hithena nirmaana.apee sinamaawa radhaa pawathinnanam mewAni nirmaana bihiwiya yutuyi.adha sinamaawa ballata gihin monawa balannadha.oba wAni nirmaana karuwoo. Thawa thawath bihiweewaa
ReplyDelete