එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...
Showing posts with label මියැසි තටාකය. Show all posts
Showing posts with label මියැසි තටාකය. Show all posts

Thursday, 14 April 2016

෴ ආදරයෙන් ගලා බසින කලාවැවේ නිල්දියවර - දිවුල්ගනේ ෴





මේ සිහින හරි පුදුමය. වරින්වර හිත තුළ ඉප‍දෙමින් මියයමින් හිතේ ඇතිවන මේ සිහින හරිම පුදුමය. කරුණාරත්න දිවුල්ගනේ ගී අමෝඝය “නිල්දිවර” වෙනුවෙන් පසුගිය දති කීපය පුරා දිගහැරුණු  විවිධ කතාබස් ඔස්සේ කලකට පසුව නැවුම් ගී එකතුවක් රසවිඳින්නට ඇරැයුම් කර තිබුණි. ඒ නිල්දියවරෙහි  මිහිරිම මතකයන් ඔස්සේ අතීතතයට පියමං කරන්නට මටද සිතේ.

  කලාවැව බස්නාහිර නිම්නයේ එක් පසෙක තැනිතලා‍ බිමේ පිහිටියේ  සියවස් ගණනාවක් ශේෂවූ  ගල්කිරියා කඳු ගැටයයි. ඒ ආසන්නයේම  පිහිටියේ කලාවැවට යෝධ සෙවනැල්ලක් ලබා දෙන, කලාවට උල්පතක් සදා දෙන  අවුකන පිළිමයේ  අනුරුවක් ව මහා කලු ගල් පර්වතයක  යෝධ කායෙන් නැගී සිටින  රැස්වෙහෙර පිළිමයයි. ගල්කිරියා  කදු පාමුළ පිහිටි දිවුල්ගනේ ගම  සංස්කෘතිකමය කලා නිකේතනයකි. සත් කෝරලයේ ඈත කෙළවරක පිහිටි  මේ සංස්කෘතික කලා නිකේතනය දෙස ඇසක් හැර නොබලාම වියලි කර්කශ ගම්බිම් පසුකර කලා වැවේ නිල්දියවර රජරට දක්වා ඇදී ගියේ සියවස් ගණනාවකට පෙර සිටය. මේ සංස්කෘතික කලා නිකේතයට  සොබාදහම විසින් උදාකර දී ඇති අපූර්වත්වයද කලාවේ සහ සංස්කෘතියේ  ගුණ සුවඳද එගම් පියසෙහි ජීවත් වන මිනිසුන්ට අතීතයේ පටන් නොදැනුණා නොවේ.

මේ මිහිරි අතීත පුවත රජරට විසූ අපට මහා මිහිරක් ලෙසින් දැනෙන්නට පටන්ගත්තේ  අද ඊයේ වන් නුදුරු මෑතක නොවේ. මීට මීට දශක තුන හමාරකට පමණ පෙර ප්‍රාදේශිය ගුවන්විදුලි සේවයක් වශයෙන් රජරට සේවය ඇරඹිමත් සමගය.  ගුවන් විදුලි සේවයකින් ඉටුවිය යුතු  වඩාත් විශ්වාසනිය අරමුණ වූ ප්‍රජා ගුවන් විදුලි ක්‍රමය එහි නො අඩුවම දරක්නට තිබුණි. රජරට සේවා ප්‍රාදේශිය ගුවන් විදුලිය හරහා ගමට, ගැමි ප්‍රබෝධයට  අලුත් හුස්මක් ලබාදී තිබුණි.  එදා රජරට සිටි අපට කරුණාරත්න දිවුල්ගනේ නම රජරට සේවය ඔස්සේ ඇසෙන්නට පටන්ගත්තේ ඒ අතීත මංතලා ඔස්සේය.

රජරට සේවයේ නව රැල්ල බිහිකළ නැවුම් අරුණැල්ල කරුණාරත්න දිවුල්ගනේ ප්‍රමුඛ  නව ගායක පරපුරක් සහ  ජාතික තලයට ගී රැසක් දායාද කර දුන්    අසුව දශකය හරි පුදුම හිතෙන දශකයකි. වරෙක  එය මිහිරිම අතීත සිහිනයක් බඳුය. ඒය මිහිරි අතීත සිහිනය  ගීතයේ සහ සංගීතයේ රස මිහිර සෙවූ අතීත මතකයේ  ඇත්තේ කියා නිම කළ නොහැකි මිහිරියාවකි. තවත් අතකින් ඒ දශකය දෙස බලන්නෙකුට ප්‍රාදේශිය වශයෙන් එහි සැඟවී ඇති කලාත්මක මහා නිමැවුම් සොයාගත හැකිය.   ගීතය කවිය  සාහිත්‍ය සංගිතය,නාට්‍ය සහ සිනමාව වෙනුවෙන්  නව ආකල්ප සහිත අලුත් ලෝකයක් දෙස එබී බලන්නට  තරම් දක්ෂ නව පරපුරක් ඒ දුෂ්කරම  ගම්බිම්වල සිටි බව හැ‍ඟෙන්නේ කරුණාරත්න දිවුල්ගනේ ගැයූ ගීත එක දෙක රජරට සේවය ඔස්සේ ඇසෙන්නට පටන් ගත්  පසුව ය.


භද්‍ර යෞවනයේ නව ආකල්ප ඔස්සේ කලාත්මක ඇසකින් ලෝකය දෙස බලා ගීතයෙන් සංගීතයෙන් ජීවිතයට  ආදරය කරන්නට පෙළඹ වූ පිරිපුන් මිනිසුන් ප්‍රාදේශිය වශයෙන් රජරට සේවය ඔස්සේ බිහිකල අසූව දශකය කිසිවකුටත් කිසිම විටක ලියා හමාර කළ නොහැකි විටෙක රසාලිප්ත නවකතාවක් බඳු සාමාජීය කැඩපතක් වන්නේ ඒ නිසාය.

ප්‍රාදේශිය වශයෙන්  ගීතයට සංගිතයට ඇල්ම බැල්ම හෙළූ ‍‍ නවක පිරිසකක් බිහිකරමින් වඩාත් විශ්වාසනීය සොඳුරු මිනිසුන් තමන් තුළ උපද්දා ගැනිමට ප්‍රමාණවත් තරම් වටපිටාවක් රජරට සේවය ඔස්සේ ප්‍රාදේශියව ගොඩනැගෙන්නට වූ එසමයෙහි    ජීවිතය ජීවත් කරවන්නට ලබාගත හැකි නැවුම් අත්දැකීම් ප්‍රාදේශිය වශයෙන් රජරට සේවය ඔස්සේ විකසිත වෙද්දී  කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියකු ලෙසින් රජරට සේවා ගුවන්විදුලිය සරසවියක් බවට පත්කර ගත්තේ   නිර්මාණකරණයේ  ලද ඒ අලුත් අත්දැකීම්ද සමග ය.  පුංචිම පුංචි දිය සීරාවකින්  මතුවී මහා  උල්පතක් සැදෙන්නා සේ  කරුණරත්න දිවුල්ගනේ  සිය හද බස ගීතයට  මුසු කරමින් ගැයූ ගී ගඟුල  ප්‍රාදේශිය ගුවන් විදුලියක් වටා එකතු වූ අසන්නන් ආනන්දයෙන් ප්‍රඥාවෙන් පිරිපුන් රසිකයන් බවට පත් ඒ  ගී දහරෙනි.  ඒ  පදනම  ඔහුට මෙන්ම අපට අදටත්  සරසවියක් ලෙස දැනෙන්නේ හැ‍ඟෙන්නේ ඒ නිසාය.

ගව් ගණනක් දුර විහිදීයන් දොඹ මල් සුවඳ,  හෑලඹ මල් සුවඳට ඇදෙන බමර රැලක් සේ රජරටට කේන්ද්‍ර ගත වෙමින් කරන ලද  නිර්මාණකරණයේ නවමු සංගිතමය පර්යේෂණ  අත්හදා බැලීම් සහ එදා සිදුකළ  ඒ අත්හදා බැලීම් වැඩිම ප්‍රමාණයක් සඳහා ගායනයෙන් ප්‍රමුඛ  දායකත්වයක් දුන්නේ  කරුණාරත්න  දිවුල්ගනේ  විසිනි. ගීතය සහ කවිය  සංගීතයේ අලුත්  ආකෘතිවල බහාලමින්  කරන ලද ඒ නව අත්හදා බැලීම් සිය ගායන මාධුර්යයෙන්  විකසිත කරවන්නට කරුණාරත්න දිවුල්ගනේට හැකි විය. කිසිවකුටත් කිසිම විටක ළංවිය නොහැකි අනුකරණය කළ නොහැකි අපූර්ව   සුගායනීය සහ  ළයාන්විත ගී මාධුර්යයක් හෙබි ඔහුගේ ගී හඬ රජරට ශ්‍රවණ කලාපයේ ගුවන්විදුලි ශ්‍රාවකයන් ලෙසින් හුන් අපට අදටත්  මිහිරි ඇත්දැකීමක් වන්නේ ඒ නිසාය.

රජරට සේවා ශ්‍රවන කලාපයේ රසිකයන් පමණක් අසා ඇති එහෙත් සුවහසක් රසිකයන් තවමත් හඳුනා නොගත් මිහිරිම  ගී එකතුවක්  දිවුල්ගනේ සතුව  තවමත් ඇත. මෙතෙක් නෑසූ ඒ ගීත මාලාව යම් රසිකයෙකු ඇසුව හොත් ඒ ගීත එකතුවේ ඇති මිහිර  ඔහු තුළ සිටින ගායනවේදයට ඇලුම්කරන රසවන්තයා එසේත් නැත්නම් කිසිවකුටත්  සමකළ නොහැකි අනුකරණය කළ නොහැකි අපූර්ව   සුගායනීය සහ  ළයාන්විත ගායනයකින් හෙබි මේ ගායන ශිල්පියා කෙබඳු කෙනෙකු දැයි පසක් කරගත හැකි වනු ඇත.

දශක තුන හමාරක් එසේ ගීතයෙන් හද ස්පර්ශ කළ කරුණාරත්න දිවුල්ගනේ ගායනවේදියා  පසුගිය මාර්තු 25 වනදා රාත්‍රියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙරට ප්‍රසංග වේදිකාවට එකතු කළ  “නිල් දියවර” ගී ප්‍රසංගය සහ  ඔහුට  ආදරය කළ ඔහුගේ ඒ ආදරණිය  රසික සද්ජන සමූහයා වෙනුවෙන් දස වසරකට පසු සිය ගායන ලාලිත්‍යයෙන් නිමවූ “මේ සිහින හරි පුදුමයි” ගීත එකතුව   දිවුල්ගනේ  සිය ආදණියයන් වෙනුවෙන් පිරිනමන  ආදරණීය හඬ ස්පර්ශකයක් බව මේ ගීතාවලිට අසන රසවිදින රසිකයන්ට වැටහෙනු ඇත.

දුටුවාද තරුවක්
දුර ඈත ආකාසේ
සියක් වසකට පසු යළිත්
සමුගන්න අවුදින්
ඒ මමයි ඔබ රිදවූ ප්‍රේමයයි..

ඇතැම් තරුවක් පොළවට එළිය දෙන්නට පැමිණ ඇත්තේ වසර සිටය ගණනකටත් එසේත් නැත්නම් මිලියන ගණනකටත් කළියෙනි. ඇතැම්විට ඒ තරුව මේ මොහොත වින විට නිවීගොස් තිබිය හැකිය. කලාවට සොබාදහමට ආදරය කරන අසීමිතව පෙම් බඳින  මිනිසකුගේ හද ඇඳුන ප්‍රේමයද ඒසේම විය යුතුය. මහින්ද චන්ද්‍රසේකරගේ සාහිත්‍යමය ප්‍රේම ආමන්ත්‍රණය වෙනුවෙන්  හදවත ප්‍රකම්පනය කරවන ගායනයේ භාව ප්‍රකාශනය සහ  තනු නිර්මාණය හා නාද මෙහෙයුම කරුණාරත්න දිවුල්ගනේගේය. සියක් වසක  පැරැණි පෙම් පුවතක් වුව හද දොරගුළු ලාගෙලන මිහිරිව රිදවමන්, පාරවමින් විඳිය හැකි මධුර ගායනය ඔහුගේය.

ගීතයක පද රචනාවේ තිබෙන සියුම් මනෝභාවයන්ද ගී තනුවක සැඟවී  රැඳී ඇති රසභාවයන්ද සිය භාව ප්‍රකාශනය ගායනයෙන් ප්‍රමුදිත කරමින් රසිකයන් ආනන්දයටත් ප්‍රඥාවකරා මෙහෙයාවා ලීමටත් කරුණාරත්න දිවුල්ගනේ ගායන වේදියාණන් දක්වන හැකියාව දසවසකට පසුවත් ඔහු යළි යළිත් සිය ගායන මාධුර්යය ඔස්සේ තහවුරු කර තිබේ.

කොහේ හෝ නුඹ නතර වි

කාට හෝ ජීවිතය දී


තුටින් නම් මට ඒ ඇති


මගේ නොවුනට කම් නැතී නුඹ


මගේ නොවුනට කම් නැතී...




සංගීත ක්ෂේත්‍රයේ තරුවක් බවට පත්වන්නට පෙර සිටම සාමාජීය කැපවීම, සාහිත්‍ය ඇසුර සහ හොඳ රසවිඳන්නෙකු සහ රසිකයෙකු  තමන් තුළ ගොඩනගා ගෙන තිබිම ඔහුගේ ප්‍රේමනිය හඬ පෞරුෂය ශක්තිමත් කරගැනීමේ පදනම කරුණාරත්න දිවුල්ගනේට  රජරට සේවයට සම්බන්ධව ගෙවූ දස වසරත්  තරු එළිය දිගේ ගී එකතුව නිර්මාණය කළ පසු තවත් ගීත එකවතුවක් කැඳවාගෙන ඒමට ගත කළ නිහඬම ගෙවූ දස වසර තවත්  චමත්කාර රැඳවුමක් බවට පත්කර‍න්නේ මේ සිහින හරි පුදුමයි නව ගීත එකතුවෙනි.

මේ සිහින හරි පුදුමයි නැවුම් ගී එකතුව තුළද ඔහුගේ දස වසරක නිහඬව සිටි  ඒ සියුම් රස වින්දකයාගේ සංගීත  සාහිත්‍යයේ  ඇසුර නැවත නැවතත් තහවුරු කර ඇත. මතු දැක්වෙන ගීතයද අසුව දශකයේ රජරට සේවා සරළ ගී වැඩසටහන් ඔස්සේ ඇසූ මිහිරි ගීයකි.

නුඹේ හැඩරුව වඩා වැඩිකළ
ගමේ ඇල දොළ හඬා වැටුණා
හිස් අතින් නුඹ දීග ගියදා දුවේ

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගී පද සහ ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත මෙහෙයුම පෙරටු කොටගෙන ප්‍රේමය සහ ප්‍රේමනීය ගී හඬ රසිකයන් අමතනුයේ ගැඹුරු  ජීවිතාව බෝධයක්ද සහිතවය. ගීතයේ සමාජ මෙහෙවර ඔහු අතින් ගිලහී ගොස් නැත. ගීත රසිකයා ආනන්දයෙන් ප්‍රඥාවකරා මෙහෙයවා ලීමේ දැඩි වගකිම තවමත් අකුරටම ඉටුකරමින්  දැඩි සාමාජ විවරණයට හසුකරගන්නා එවන් ගීතයක පවා වචනාර්ථයෙන් ඔබ්බෙහි සැගව ඇති හද්දා පිටිසර වන්නි තුලානේ දැඩි දුප්පත්කමේ ඛේදවාචකය ප්‍රේමයෙන් පුරවන්‍නට උත්සාහ ගන්නේ ඒ නිසාය.

එක පසෙකින් කරුණාරත්න දිවුල්ගනේගේ නිල්දියවර ප්‍රසංගය සිංහල ගීත රසිකයන්ට සොඳුරු නවාතැන්පොළක් වන්නේ කුමන කරුණක් නිසාද  යන්න මෙහිදී විමසා බැලිය යුතුය. සැබැවින්ම ඒ ප්‍රේමයේ විවිධ රසභාවයන් ලැගුම් ගන්නා තොටුපළක් වශයෙන් පමනක් නොවේ.  යථාර්ථවාදීව සාමාජ  විවරණයක් ඇසුරෙහි තමන් ජීවත්වන වටපිටාවේ පියවි ඇසින් නොදකින සොබාදහමේ මිහිර කරුණාරත්න දිවුල්ගනේ ගායන වේදියාණන් තමනි විසින් විඳගනිමින්ම  හෙමි හෙමින් විඳිමින් ප්‍රසංග ප්‍රේක්ෂකයාට මසැසින් විඳින්නට ඇරැයුම් කරන ප්‍රසංගයකි.

 මවු ගුණ ගැයෙන කලාවැවේ නිල්දියර ගීතයත්, පියගුණ වරුණ ගැයෙන අන්දර යායේ ගීතයත් සංසාරගත අපරිමිත ප්‍රේමයක් ගැන කියවෙන ළාදළුබෝපත් ගීතයත් ඒ සොබාදහමේ අපූර්ව නිර්මාණ ත්‍රිත්වයයි. මගෙ දුවේ නුඹ අවදියෙන් නම් ගීතයෙන් මේ සොබාදහමේ අපූර්වත්තවය යාන්ත්‍රික සමාජයක වෙසෙන අද දවසේ දරුවන්ට විඳන්නට ඇරැයුම් කරන්නේද මේ ආදරණීය ශිල්පියාණන්ගේ ගී හඬින්මය.  මැටිගෙදර කිරිඅම්මා අපේ ජීවිතවලට හමුවන්නේ එවැනි සොබාදහම මැවූ සුන්දරම වටපිටාපක් තුළය. ඔහු සිය  ගායනයෙන් අප ‍ කැඳවන්නේ මීට වසර විස්සක් තිහක් එපිට අතීයේ අප ගමේදී ගෙවූ සුන්දරම වටපිටාවටය. අපට ආදරයෙන්  දකින මැටි ගෙදර කිරි අම්මා හමුවන්නේ එහිදීය.




එකිනෙකට වෙනස් වූත් එකිනෙකට සමපාත නොවූත් මේ ගීත වලින් කියැවෙන මවුගුණය හෝ පියගුණය හෝ  විප්‍රයෝගයේ ශෝකය සොබාදහම ඇසුරේ රඳවමින් සිය ගායනය භාවාත්මක අරමුණක් ඔස්සේ මිහිරිව විඳ අනතුරුව එකී ප්‍රේමය ගැන රසිකයන්ට කල්පනා ලෝක තුළ තමන්ට රිසිසේ විඳ ගන්නට ඉඩහසර වෙන් කරනුයේ දිවුල්ගනේගේගේ භාවාත්මක ගායනයයි. කලා වැවේ නිල් දියවර තරමට අපරිමිත ස්නේහයක් ගීතයේ රඳවන්නේත්, සමනලවැව පුරවන්නට තරම් අපරිමිත යොවුන් ආදරයත්, හන්තාන දෙසින් එන මිහිරිම සිසිල් සුළං රැල්ළක සැඟවුණ එවි වියෝගයත්  එකම මොහොතක එකම ඉසවව්ක පැය දෙකහමාරක් නිල්දියවරෙහි අප රඳවද්දී, මල ගසකින්  වෙන්වුණාම, ශාමිලා හුසේන් ලියූ කොහේ හෝ නුඹ නතරවී  වැනි ගීතයක සැඟවුණ ප්‍රේමය පවා මේ ජීවිතයේදී  නියත සාධකයක්  නොවන බව ඔහු නව ගීත සමුච්ඡයෙන් අපට කියා දෙන්නේය.



ආරම්භයේ පටන්  දිවුල්ගනේ පිරිවරා සිටියේ නවක ගීත රචක පරපුරකි. එසේම ගීතනු සහ සංගීත නිමැවුම් ඔස්සේද ඔහු සොයා එන්නේ අතවත් අලුත් පරමිපරාවකි. දශක තුනහමාරක සංගීත දිවියෙහි මහා ඉම්පෙදස් ගීතයෙන් පුළුල් කර  ඇති  කරුණාරත්න දිවුල්ගනේගේ ගීත මේතරම් මිහිරිම ඉසව්වක අප රඳවා තබන හේතුව වන්නේත්,  නව පරපුරක් ඔහුට ළංවී ඒ ඔස්සේ තමන්ගේ නිර්මාණ දිවිය තුළ ආලෝකයක් දල්වා ගැනිමට උත්සුක වන්නේත්,  දිවුල්ගනේ ගායන ශිල්පියාණන්ගේ ප්‍රබල ගී හඬ, කිසිවකුටත් අනුකරණය කළ නොහැකි ගායනයේ හැඩරුව, ඔහුටම අනන්‍ය වූ ස්වර පරාස තුළ ගැයෙන ගීතයෙන් ජීවිතාශාව , ආදරය රසික හද තුළ තැන්පත් කළ හැකි ගායන ශිල්පියෙක් වන නිසාය.

මේ සිහින හරි පුදුමයි ගීත එකතුව ඔස්සේ නවක ගීත රචක පරපුරක් කරලියට කැඳවනවා සේම නවක සංගීත නිර්මාණකරුවන්ගේ ලෝකය දෙසද එබී බලන්නට වෙර දරන බව මේ සිහින හරි පුදුමයි ගී එකතුව සුපැහැදිලි සාක්ෂියකි. කළිදු වීරසිංහ, දර්ශන වික්‍රමතුංග සහ අමිල දිල්හාන් වැනි අලුත් පරපුක් වෙත දිවුල්ගනේ සිය බලා පොරොත්තු රඳවන්නේ ඒ නිසාය.   ඒ නිසාම මේ සිහින හරි පුදුමයි ගීඑකතුව  පුරා ප්‍රේමණීය ගැයුම්හි විවිධ චමත්කාර ආදරයේ විඳීම් මිහිරිව විදගන්නට ඉඩ සළසයි.

කළිඳු වීරසිංහ නව ගී එකතුව සඳහා රවී සිරිවර්ධනගේ ගී පද මාලාවකට යොදා ඇති  ගී තනු රචනාව සහ සංගීත සංයෝජනය  කරුණාරත්න දිවුල්ගනේ ගේ ගී ආර සහ ඔහුගේ ගී හ‍ඬෙහි බර මැනැවින් අධ්‍යනය කර ගී තනු නිමැවුම්හි සහ සංගීත සංයෝජනයන්හි සියුම් තැන් හඳුනාගෙන ගී පදමාලාවට කළ මේ ආයෝජනය කළිඳු මධුර ගී තනු රචකයෙකු ලෙස තවදුරටත් මේ ඉසව්වේ රඳවා තබනු ඇත. කළිඳු සරල සංගීතයේ පෙරදිග ආරත්, බටහිර සිංගීත යේ සියුම් තැන්උකහාගෙන දිවුල්ගනේ ගායන ශිල්පියානන්ගේ හඬට කළ ආයෝජනය අගය කල යුතු වන්නේ ඒ නිසාය. කරුණාරත්න දිවුල්ගනේගේ මේ සිහින හරි පුදුමයි ගී එකතුවේ සැබෑවුණ සිහින අතර එයද විශේෂය.


 සිය ගීතාවලියේ ගීතවලින් සියයට අනූපහකට වැඩි ගීත ප්‍රමාණයක් ආදරය, විරහව, වස්තු විෂය කරගත් ගීතයන්ය. ආදර , ප්‍රේමය දෙස විවිධ කෝණවලින් බලා නිමවා ඇති මේ ගී. ඔස්සේ  ප්‍රේමයට ප්‍රේම කරන්නටද, ආදරයට ආදරය කරන්නත් ඒ ආදරය බිඳී ගිය විටකදී  එයද නැවත නැවත මෙනෙහි කරමින් හදේ සොඳුරුම තැනෙක රඳවා මිහිරිව හිත පාරමින් විඳිනන්නටත් කරුණාරත්න දිවුල්ගනේ සිය නිල්දියවර ප්‍රසංගයෙන් මෙන්ම නැවුම් ගීත සමුච්ඡයෙන් ද සිංහල ගී රසිකයන්ට ඇරැයුම් කර  දී ති‍‍බේ.

. ගෙවුණ වසර 35 ක කාලය දෙස බලද්දී දුෂ්කරම මාවතකින් රජරටට පිවිස සංගීත ලොව අතික්‍රමණය කිරීමට සිය ජීවිත කාලයේ දුටු සිහින හරි පුදුමය.දිගු කාලයක් තිස්සේ සිය ආදරණීය රසිකයන් අපේකෂා කළ “නිල් දියවර” ගී දහර  දෙරණ තලයේ දසනු දිසා සිසාරා සිසිලසින් දොවාලන්නට  කාලය එළඹ තිබේ.

                   ගඟ කොපමනකල් දිය රැක ගත්තත් 
                   ඒ දියකඳ සයුරටය හුරු 

                   සයුරෙදී දිය රැළි හැපුනත් වෙරළේ 
                   යළි එය ගඟ වෙත යාම බොරු 




  සියවස් ගණනාවකට පෙර දිවුල්ගනේ ගම ඉස්මත්තෙන් සත්කෝරලය දෙස අනාදරයෙන් අහකබලාගෙන රජරටට ඇදී ගිය කලාවැවේ නිල්දියවර තුළ රැඳුනු අනභිබවනීය සංස්කෘතිකමය  හඬ දායාදයක් ලෙසින් මුළුමහත් දෙරණ ගායන මාධුර්යයෙන් ස්පර්ශ කරන්න අපේ ළෙංගතු ආදරණිය කරුණාරත්න දිවුල්ගනේ ගායන වේදියාණන්ගේ  නිල්දියවර  රසික හද මඬලට ඇරැයුම් කර සිටී. ඒ ගායන ලාලිත්‍ය පෙරටුකරගත් සුපෙම්වත් ගී හඬ සුවහසක් රසික් සිත් නැවත නැවත් ප්‍රමුදිත කරන්නට ඔහු අප වෙත පැමිණ තිබේ. දැන් මේ නිල් දියවර රටේ නන් දෙස රසික හද දොරගුළු විවර කරන්නට   සුදුසුම කාලය එළඹ ඇති බව මට හැ‍ඟේ. දිවුල්ගනේගේ නිල්දියවර ගී ප්‍රසංගයෙන් පසුගිය 25 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට රැස්වූ රසික සහෘදයන් ඇමතුවේ ඒ මියුරු සුපසන් ගී රාවයයි. නිල්දියවර ගලා හැලුණ 25 වනදා රාත්‍රිය ගීතයට ආදරය සිසිලස කැඳවූ මිහිරිම මතකයන් වන්නේ ඒ නිසාය. “මේ සිහින හරි පුදුමයි”  කැඳවූ “නිල්දියවර” සුපසන් සංගීතමය රැය  කරුණාරත්න දිවුල්ගනේගේ සංගීතමය ගමන් මගට ය‍ශෝ ගිතයක් වන්නේ ඒ නිසාය.



Friday, 26 July 2013

෴ අඳින සලූ මිදුලෙ එලූ නයන කලූ ෴


                      නුවන් අබියස පෑයූ රුවන් තාරකා

උදාවන හැම රාත්‍රියම සුන්දර නොවේ. එසේම සෞම්‍යද නොවේ. එහෙත් මිනිසකුට අලුතින් යමක් හිතන්නට හෝ විඳින්නට යමක් නොලැබුනේ නම් ඒ දවස උදා වී ඇත්තේ හිස් බව මිටන් ගෙනය. දහසකුත් එකක් ගැටලු වලින්  දවස ගෙවන මිනිසුන්ට මේ ගෙවන ජීවිත කෙබඳු අත්දැකීම් ජීවිතයට එකතු කරන්නේදැයි කියාදෙන්නට කිසිවකු නොවේ. එහෙයින් අප මේ ගෙවන්නේ ජිවිතයේ කුමන සංක්‍රාන්ති සමයක්ද? කෙනෙකුට රිසි සේ  කියවන්න, අහන්න, දකින්න, විඳින්න හැකි නිදහස් අවකාශය ක් හෝ පසුබිමක් ඇති නොවන පසුබිමක යන අතක ජීවිතය ගලා යන්නට ඉඩ හැර බලා සිටින පිරිසක් ව ඔබත් මමත් පත්ව සිටින්නෙමු.   

70 සහ 80 දශකවල කලා සහ සංස්කෘතික නිර්මාණයන් පිළිබඳව මෙනෙහි කරමින්, ඒවාට යළි යළිත් සොයන්නට විඳින්නට රිසියක් දක්වන පිරිසක් බවට පත්ව සිටින්නේ ඒ අතීතත කාමය තවමත් මනසේ නින්නාද දෙමින් රැඳී තිබෙන හෙයිනි. එවන් යුගවල ආචාර්ය වික්ටර් රත්නායකන් විසින් මෙරට රසිකයන්ට තිළිණ කළ ඒක පුද්ගල ප්‍රසංග කලාව ඔස්සේ ගොඩ නැගුණ සංගීත සංස්කෘතිය යෝධ පවුරක් වෙමින් අදටත් සියලු රසික විඥානයන් සුරකිමින්  සිටී. එදා ආචාර්ය වික්ටර් රත්නායකයන් ගොඩ නැගූ මේ යෝධ සංගිත සංස්කෘතිය තුළ පසුකාලිනව ආචාර්ය පණ්ඩිත් අමරදේව, විශාරද නන්දා මාලනී, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි,  ආචාර්ය දයාරත්න රණතුංග මහාචාර්ය අමරා රණතුංග විශාරද ගුණදාස කපුගේ මාලනී බුලත්සිංහල වැනි ශිල්පීන් විසින් තවදුරටත් ශක්තිමත් කරන ලද අතර, ඔවුන් විසින් පසු කාලීනව ඇති කරන ලද ඒක පුද්ගල ප්‍රසංග කලාවේ මහිමය වර්තමානයේ  සුනිල්එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි දක්වා විහිදුනි. අනතුරුව ලංකාවේ ඒක පුද්ගල ප්‍රසංග කලාව තුළ තරමක් දුරට වූ රික්තයක්  ඇති විය.

එවන් වූ රික්තයක මිනිස් ජීවිතවලට බාහිරින් එබෙන නේක දුක් දොම්නස්, තැවුල් මිනිස් සමාජයක ගොඩ ගැසෙන විට ඒ මිනිසුන්ට සියලු රස සංවේදනාවන් අවදි කරමින් අලුතෙන් හිතන්නට ලැබෙන ඉඩකඩ ඉතාමත් අඩුය. එවන් සමයක  විරල සංගීතමය හෝරා කීපයක් විඳින්නට රසික සද්ජන සමුහයාට  උදා වූයේ පසුගිය සෙනසුරාදා සැන්දෑ යාමේ කොළඹ 07 මියුසියස් රඟහලේදී ය. එදා ඒ සැන්දැවට පැමිණ සිටියේ සියලු රස සංවේදනාවන් හොඳින් හඳුනන රසික කැලකි. ඒ රසික කැල වෙනුවෙන් සිය ගායන මාධූර්යය අවදිකරන්නට සූදානම්ව සිටියේ විශාරද බණ්ඩාර අතාවුද නම් සොදුරු ගාන්ධර්වයාණන්ය. අති මධුරතර ප්‍රේම ගීතාවලියක හිමිකරුවා වෙමින් විශාරද බණ්ඩාර අතාවුද සිය මධුරතර ප්‍රේම ගීතාවලිය රසික දෑස් අබිමුවෙහි පිහිටුවා “රුවන් තාරකා“ එක රන් හුයක අමුණා එක පෙළට ගයන්නට සූදානම් ව සිටියේය.

රාත්‍රියේ සිසිලස කැන්දමින් කොලොම්පුරයට අඳුර වැටෙද්දී ප්‍රේමවන්ත හදවත්හි සිඳි බිඳි ගිය ආදර මතක  යළි යළිත් මතකයට කැඳවන්නටත්,  යට ගියාවේ බිඳුණු පෙම් සිත් රහසේ අවදි කරවන්නටත් ඒ හෝරා කීපය බණ්ඩාර අතාවුදයන්ට සෑහෙන තරම් විය. හද ගැබ සඟවා හුන් ආදර මතකයන් යළි යළිත් සොය සොයා අවදි කරමින්  බණ්ඩාර අතාවුද සිවු දශකයක් මුළුල්ලේ සිතේ සිර කරගෙන හුන් ප්‍රේම ගිතාවලිය පැය දෙක හමාරක් රසික සවන් පත් යා කළේ ය.
සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකි බිඳ වැළපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා

ඔබෙ සෙනෙහස දැක සැඟවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නයේ තනිවන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ

මිලාන වූ මල් ඉකි බිඳ වැළපෙයි
විකසිත කුසුමන් හිනැහෙද්දී
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කඳුළු දකී

ගී පද මාලාව : කුසුම් පීරිස්
සංගීතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද

                        සිතුවිලි සිරවී  ගීතය මෙතනින් අහන්න.




විශාරද බණ්ඩාර බණ්ඩාර අතාවුදයන්ගේ “රුවන් තාරකා “ ගී ප්‍රසංගය සංගීයෙන් හැඩ ගැන්වූයේ රෝහණ ධර්මකීර්ති ප්‍රමුඛ 15 දෙනෙකුගෙන් යුතු වාද්‍ය වෘන්දයකි. ප්‍රසංගය ආරම්භයේදීම රෝහණගේ අපූර්ව වාද්‍ය වෘන්දය රුවන් තාරකා ගීය අනුවාදනයකට නැගුවේ ඩී.ඩී.ගුණසේනගේ වයලීනය හඬවමිනි. ඩී.ඩී. ගුණසේන ගීතයේ පළමු ස්ථායි කොටස වයලී‍නයෙන් වයද්දී ගීතයේ  පළමු අන්තරා කොටස දිලූෂ රවීන්ද්‍රනාත්ගේ සිතාරයෙන්ද, ගීයේ දෙවන අන්තරා කොටස මහින්ද බණ්ඩාරගේ ලීඩ් ගිටාරයෙන්ද වැයෙද්දී නාලක‍ අංජන කුමාරගේ රිදම් ගිටාරය රුවන් තාරකා ගීය ගිටාරයේ තත් අතර සිර කරමින්  ප්‍රසංගයට ආන්නදය කැඳවීය.  රුවන් තාරකා ගීයේ අනුවාදනය ප්‍රසංගයේ තේමාව බවට පත්කරමින් ගී අනුවාදනය  අවසන් වූයේ සියලුම වයලීන සියල්ලම සාමූහිකව ගීතයට දායකත්වයක් ලබා දෙමිනි. ඒ නම් පැමිණි රසිකයන්ට ආනන්දයක්ම විය.

බණ්ඩාර අතාවුදගේ මුල්ම සරල ගි වැඩසටහනින් ඇසුණු  රුවන් තාරකා ගීතය රෝහණ වීරසිංහයන්ගේ මධුර තනුවකි.  මේ පුර්ව නිර්මිත තනුවට වචන යොදා ඇත්තේ කුමාරදාස සපුතන්ත්‍රී ගේය පද රචකයා විසිනි. ගී තනුවකට සැණෙකින්  වචන යෙදීමේ  ඔහු සතු මනා හැකියාව මේ ගිතය සිවු දශකයක් පුරා පවසන්නේ  ඒ ගී බසෙහි ඇති විචිත්‍රතාවයයි.

එදවස ගීයක් නිර්මාණය කිරීමේදී ගායන ශිල්පියා, ශිල්පිණිය, සංගිතඥයා සහ පද රචකයා යන තිදෙනාම එක්ව හිඳිමින් ගීත නිර්මාණය කළේ 70 සහ 80 දශකවලදිය. එවන් යුගයක 70 දශකය අගභාගයේ ගීතය ගුවන්විදුලියේ පටිගත වන අතරතුර ලියව ලද්දකි. ඒ මේ ගීතයයි.

රුවන් තාරකා නුවන් පායලා
ඉඳින් හදවතේ රැඳී වේදනා නිවා.

නිසල රැයේ නැගෙන සඳේ සිසිල වූ ඔබේ
සෙවන ඇගේ  සුවය ගෙනේ  නිබඳ මා වෙතේ
නිබඳ මා වෙතේ

තිසර විලේ පිපුණු මලේ රැඳුණු ආදරේ
සුවඳ ගෙනේ සතර දෙසේ යොවුන් මා වෙතේ
යොවුන් මා වෙතේ

ගී පද මාලාව : කුමාරදාස සුපුතන්ත්‍රී
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද

                    රුවන් තාරකා  ගීතය මෙතනින් අහන්න.


විශාරද බණ්බාර අතාවුද ගී ලොවට පිවිසියේ  සෙංකඩගල පුරවරයෙනි. බාලවියේ පටන් සංගීතය කෙරෙහි ඇල්ම දැක්වූ ඔහු සිය ජීවන මං පෙත සරසාගන්නේ සංගීතයෙනි. එවකට රජයේ සංගිත විද්‍යාලයේ (හේවුඩ්) සිටියදී  ගුවන් විදුලියේ ශාස්ත්‍රීය ගායන හා වාදන ඉදිරිපත් කළ ඔහුගේ ගුවන් විදුලි දායකත්වය පසු කලෙක ගුවන් විදුලි සරල ගීයේ  රස මිනුම් දඬු ශක්තිමත් කරන්නට ඉවහල් විය. හැත්තෑව දශකයේ මැද භාගයේදී ගුවන්විදුලියේ සරල ගී ශිල්පියෙකු ලෙස තේරි පත් වූවත් විශාරද බණ්ඩාර අතාවුද   මේ සිවු දශක‍ය පුරා ගීත සිය දහස් ගණනක් ගැයූවකු නොවේ. එහෙත් එසේ ඉඳහිට ගැයූ ගීත අතලොස්ස අපට නිතර ඇසෙන සිය දහසක් ගීතවලට වඩා මිහිරිම රසයක් ලබා දෙයි. ඒ හතළිස් වසරකට පෙර බණ්ඩාර ආතාවුදගේ මුල්ම සරළ ගී වැඩසටහන් අතර තිබූ මේ ගීය කිසිදා මතකයෙන් ගිලිහී නොයන ගීයකි.
ආශාවේ මල් වැටෙව් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කලූ ඔබ මගේ කලූ
නයන කලූ ඔබ මගේ කලූ

රෑ නිල් අහසේ නිදන සඳවතී
අඳින සළු මිදුලෙ එලූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කලූ මට කියනු කලූ


පායන සඳ සේ රුසිරු හසරැලී
දෙතොල වෙලූ නයන කලූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කලූ මට කියනු කලූ

ගී පද මාලාව : ඩෝල්ටන් අල්විස්
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද

     නයන කලූ  ගීතය මෙතනින් අහන්න.


සාමාන්‍යයෙන් ගායන ශිල්පියකු හෝ ශිල්පිණියක තෝරාගනු ලබන  ගීත අතර විවිධාකාරයේ ගීත තිබුණද බණ්ඩාර අතාවුද ගැයූ  ගීත අතර “රාත්‍රිය සහ සඳ එළිය“  පිළිබදව ගැයෙන ගීත ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩිය. එය රුවන් තාරකා බැබලූ රාත්‍රියේද එසේම විය. රාත්‍රිය ගැන වැඩියෙන්ම ගී ප්‍රමාණයක්  ගයා ඇත්තේ ඔහු විය යුතුය. එසේම බණ්ඩාර අතාවුදට ගී ලියූ ගීත රචකයන් පිරිසද අතලොස්සකි. එයින්  වැඩිම ගීත සංඛ්‍යාවක් කුමාරදස සපුතන්ත්‍රී සහ කුසුම් පීරිස්  විසින් ලියන ලද ඒවා වන අතර, ඒ  ගීවල තනු නිර්මාණකරුවන් පිරිසද අතලොස්සකි.

ගුණදාස කපුගේ, එච්.එම්.ජයවර්ධන, සහ  රෝහණ වීරසිංහ බණ්ඩාර අතාවුදට හැදූ ඒ රම්‍ය වූ මධුරතර ගී මාලාව කිසිදාක නොමියෙන සේ  රසික සිත් බැඳගන්නට සමත් වූවාට කිසිඳු සැකයක් නැත. ඒවා ගී රසිකයන්ගේ සදාකාලික මතකයන්හි නින්නාද දෙන්නේ ඒ නිසාය.   මතු දැක්වෙන ගීයද එවන් ගීයකි ප්‍රවීන රංගනවේදී ජයලත් මනෝරත්නයන් විසින් ලියා ඇති මතකයේ රැඳෙන ගී දෙකතුන අතරින් මේ ගීය මනෝරත්නගේ කවීත්වයේ ප්‍රතිභාව සම්බන්ධයෙන් පැහැදිළි නිදසුනකි.

ඔබ ඈත සඳවී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ,  ඔබ මා ළඟ ඉන්නා

අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමු වූයේ
ඒ ඈත් බවිනි හද බඳුනේ
සෙනෙහසේ සොඳුරු බව පිරුණේ

මධු සඳ තරු අද හමුවිලා
සිටියද ඔබ මා ළං වීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු, සොඳුරු සෙනේ ගඟ සිඳිලා

ගී පද මාලාව : ජයලත් මනෝරත්න
සංගීතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද

         ඔබ ඈත සඳවී පායා ගීතය මෙතනින් අහන්න.




ගීතය, ගායනය සංගීතය සහ පදමාලව  යත ත්‍රිත්වයේ මනා සංකලනයකින්  නිර්මාණය වූවකි. ඒ අපූර්ව වූත් අර්ථවත් වූත් නිර්මාණ සංකලනය බණ්ඩාර අතාවුද ගැයූ හැම ගීයකම දක්නට ලැබේ. එකිනෙකට වෙනස් අරුතින්ද එකිනෙකට වෙනස් මියුරු තනු මාධුර්යයෙන්ද  සුසැදි ඔහුගේ ප්‍රේම  ගී මාලාව බණ්ඩාර අතාවුදගේ ගායනයේ ප්‍රබලත්වය මත අඳින සිතුවමක්  වැන්න. එසේ  නිර්මිත කිසිඳු ගීයක  සංගීතඥයා හෝ ගී පදරචකයා ගිතයේ පදමාලාව අතර අතරමං වී නැත. බණ්ඩාරයන් මෙතෙක් ගැයූ ගීත ප්‍රමාණය සුළු සංඛ්‍යාවක්  වුවත් ඒ  සියල්ල මධුරතර ගීත බවට පත්වීමේ රහස එයයි.

කඳුළු පිසදාලන සතපාලන රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්

අවර නැකත නොවේ
තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී
සතුටු කඳුළු පිපේ
මල් යායක සිත් යා කළ නුඹමය දේවී

අරුණ ගලන පැයේ
නෙත් මානෙන් ඉගිලී යන නුඹමය රාත්‍රී
සිතට තනිය නොදී
තුන් තිස් පෑ මල් යහට වැඩපන් දේවී

ගී පද මාලාව : වසන්ත කුමාර කොබවක
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගීතනුව සහ ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද

            කඳුළු පිසදාලන ගීතය මෙතනින් අහන්න.


වර්තමානයේ ප්‍රේමයේ උමතුවෙන් වැටෙන මුරුගසං වැස්ස හසුව තෙමි ගැහෙන ප්‍රේමාතුරයන්ගේ දුක් අඳෝනා ගී මොහොතකට හෝ අමතක කර  එවන්  මධුරතර ප්‍රේමයේ සුවඳින් යෞවනය විකසිත කුසුමක් බවට පත්කළ හැක්කේ මෙවන් ආකාරයෙන් තෝරා බේරාගෙන ගී ගයන ශිල්පීන්ට පමණි.  බණ්ඩාර අතාවුදයන් එවන් සෞන්දර්යවාදී ගුණයෙන් පිරුණු නිර්මාණකරුවකි. ඔහු සිය ගීතයෙන්  ආදරයට ආදරය කරන්නටත්, ප්‍රේමයට ප්‍රේම කරන්නටත්  කියාදනෙ ගායන වේදියෙකි.  සෑබැ ලෝකයේ නැවුම් ප්‍රේමයක් කිසිවකුටත් කිසිම දිනෙක හමු නොවූවත් නිර්මාණලෝකයේ හමුවන හැම පෙම් පුවතක්ම ගීයට නැගූවිට එය ආදරයේත් ආනන්දයේත් අනුරාව නගන්නේ ඒවා සැබෑ මිනිසුන්ගේ ජීවන අත්දැකිම් බවට පත් කරමිනි.
උදාවෙන්න මේ රාත්‍රියේ
වෙලාගන්න  මේ කාන්තියේ
මගේ දුක් දරාගන්න හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ

උයනේ පිදී  සුවඳින් නෑවී
කැකුළක් ලෙසේ කේතකී
මාවා වෙත එයි ඈ පෙරමග සරසා
සඳුනේ නැගෙන් රාත්‍රියේ

දියඹේ බිහිවී වෙරළේ මියැදී
රළ වැල් ලෙසේ  සාගරේ
මා හැර යයි ඈ තනියට ළංවී
සඳුනේ නැගෙන් රාත්‍රියේ

ගී පද මාලාව : බන්දුල නානායක්කාරවසම්
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද

       උදාවෙන්න මේ රාත්‍රියේ  ගීතය මෙතනින් අහන්න.



රුවන් තාරකා ගී ප්‍රසංගය ඒක පුද්ගල ප්‍රසංග කලාවට නැවුම් ආලෝකයක් වැටී  එන යුගයක් එළඹී ඇති බව සනිටුහන් කරමින්  කන්ද උඩරටින් 70 දශකයේ පෑයූ ගී තාරකාව  විශාරද බණ්ඩාර අතාවුද සිවු දශකයක් මුලුල්ලේ ගයා ඇති ගී අතලොස්ස  කුසුම් කැන් මිටක් සේ ගෙන එදින රාත්‍රියේ මියුසියස් විද්‍යාලයේ රඟහලපුරා විකසිත කළේය. එය හරියටම නිරුවත් රාත්‍රියකට මනරම් සළු පැළඳ වූ මොහොතක්ම විය. සිවු දශකයක් පුරා  රැස්කර ගත් විශාරද බණ්ඩාර අතාවුදයන්ගේ  ඒ ප්‍රේමයේ ගී අස්වැන්න විඩාබර රසික සවන් පත් තවත් යුග යුග ගනනකට සෑහෙන්නට තරම් හදවතේ තැනක  අමරණිය මතකයක් වන සේ රඳවා තබන්නට සමත් විය.

ප්‍රසංගය අතර මැද දී බණ්ඩාර ආතාවද විසින් උත්තර භාරතීය රාගධාරී සංගීතය ඇසුරු කරගනිමින් ඉදිරිපත් කළ ශාස්ත්‍රීය වයලීන වාදනය ප්‍රසංගයට අපූර්වත්වයත් විඳගනිමින් මියුසියස් රගහල පුරා පිරීතිරී ගිය සුවහක් රසිකයෝ  හෝරා දෙක හමාරක් තිස්සේ රුවන් තාරකා ඔස්සේ ගලා හැලුණ ගී ගඟුලේ කිමි දෙමින් සිටියහ. ඒ වුකලී ආදරය, ප්‍රේමය පිළිබඳ ආනන්දයේත් ප්‍රඥාවේත් නැවුම් හැගුම් බණ්ඩාර අතාවුදයන් විසින් සිය ගී හඬින් අවදිකළ අපූර්ව වූ හෝරා කීපයකි. ෴





Thursday, 4 October 2012

෴ හුදකලා ඇඟිලිතුඩු... Isolated Fingers ෴


 

ගිටාරයක තත් අතර රැඳුණ මිහිරි හද ගැස්ම

සංගීතය විශ්ව භාෂාවක් කියන කතාව ඇත්ත කියල වැටහෙන්නෙ ඉඳහිට  වෙනස් අකාරයේ සංගීතමය අත්දැකිමක් විඳින්න ලැබුණාම. ඒ නිසා අද අස්වැන්න සටහන ලියන්නෙ එවැනි මිහිරි  සංගීත නිර්මාණයක් ගැනයි.

මීට කලින් අස්වැන්න තුළින් අපට සිටින දක්ෂතම වයලීන වාද්‍ය ශිල්පින් තිදෙනා සහ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව  කෙටි සටහනක් කළා ඔබට මතක ඇති. ඒ "වයලින මැවූ හීන" නමින්.

ගීතය සාමූහික ප්‍රයත්නයකින් බිහිවන නිර්මාණයක ප්‍රතිඵලය වුවත්, අවසාන වශයෙන් ගායකයා, ගායිකාව, ගීත රචකයා,  සංගීත අධ්‍යක්ෂවරයා ගැනත්, ඔවුන්ගේ  කාර්ය භාරය, අත්දැකීම්, ගීතයේ මූලාශ්‍ර අදිය පිළිබඳව අප කොතෙකුත් කතා කළත් බොහෝ විට ඒ ගීත රස ගැන්විමට වාදනයෙන් සහය වූ වාද්‍ය ශිල්පින් හෝ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව වැඩි සොයා බැලිමක් මේ රටේ සිදුවන්නෙ නැති තරම්. මට හිතතෙන්නෙ මේ වාද්‍ය ශිල්පීන්ටත් මේ රටේ නිසි අගැයුමක් ලැබිය යුතුයි කලාකරුවන් පිරිසක්  කියලයි.

ඒ නිසාම අද අස්වැන්නට මුල පුරන්නෙ ගිටාරය වයන දක්ෂ සංගිත වේදියෙක් සහ ඔහුගේ නවතම නිර්මාණය  පිලිබඳවයි. ගිටාරය වාදනය කරන ශිල්පින් අතර මහින්ද බණ්ඩාර, මහේන්ද්‍ර පැස්කුවල් සහ නාලක අංජන කුමාර ‍මේ රටේ ඕනෑම සංගීතමය පටිගත කිරිමක් හෝ ප්‍රසංගයක සිටිය යුතු අත්‍යවශ්‍යම ශිල්පින් තිදෙනෙක්. ඒ අතරින් නාලක අංජන කුමාර මෑතකදී නිර්මාණය කරන ලද Isolated Fingers නමින් වූ ගී අනුවාදන නිර්මාණ එකතුවත් සමග නාලක සහ ඔහුගේ නිර්මාණ  ගැන අද සටහන ලියමි.

නාලක අංජන කුමාර සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ රජරටින්. ප්‍රාදේශිය ගුවන් විදුලි සේවාවක් වූ රජරට සේවය ළමා මණ්ඩපයේ ගායකයෙක් වගේම වාදකයෙක් ලෙසයි ඔහුගේ සංගිත දිවියේ ආම්භය සටහන් වෙන්න. ඒ ප්‍රාදේශිය ගුවන් විදුලියක් වූ රජරට සේවයේ ස්වර්ණමය යුගය. අනතුරුව නාලක ජාතික තලයේ සංගිත අධ්‍යක්ෂවරයෙක් සහ ගායන ශිල්පියෙක් ලෙස සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනා ගැනිමට සමත් වූයේ ඉතාමත් ළා බාල වයසේදිමයි. ඔහු පළමු වතාවට  ගීතයක් නිර්මාණය කරන්නෙ කරුණාරත්න දිවුල්ගනේට ඒ  "අතිතය සිහිනයක් පමණයි" ගීතය. අනතුරුව ඔහු විසින්ම  නිර්මාණය කළ  දිවුල්ගනේ ගැයූ "ඔබට වරම් නැති " ගීතයත් නාලකගේ සංගීත ගමනේ ශක්තිමත් අඩිතාලමක පදනම වුණා. ඒවන විට ඔහුට වයස අවුරුදු 16 යි.

එසේ රජරට සේවය හරහා සංගීත ක්ෂේත්‍රයට පිවිසි නාලක පාසල් දිවියෙන් පස්සේ කපුගේගේ "කම්පන"   ඒක පුද්ගල ගීත ප්‍රසංගයේ ගිටාර් වාදන ශිල්පියා ලෙස සහභාගි වෙමින් සිය සංගීත දැනුම පුළුල් කර ගත්තා.

ඕනැම ගීතයක් නො අසා ඒ ගීතයේ ස්වර ප්‍රස්ථාරය මතකයෙන් නිවැරදිව ලිවිමට හැකියාවක් තියෙන  සංගීත අධ්‍යක්ෂකවරයෙක් එහෙමත් නැත්නම් වාදකයෙක් විදියටයි වරෙක කපුගේ විසින් ඔහු හැඳින් වූයේ.  ඒ කෙසේ වුවත්, නාලක පසුකාලයේ  ගුවන්විදුලියේ සංගීත අංශයේ වාද්‍ය වෘන්දයට ගිටාර් වාදකයෙකු ලෙස සම්බන්ධ වුණා.

එහෙත්,  නාලක අංජන කුමාර නම් වූ අති දක්ෂ වාද්‍ය ශිල්පියා රසිකයන් අතර නමක් රඳවා ගැනිමට එකවර සමත් වන්නෙ  ජාතික රූපවාහිනිය ඔස්‍සේ ඉරිදා රෑ 10.20 ට විකාශය වූ "සුරම්‍ය රාත්‍රිය" සංගීත වැඩසටහන නිසා.  සුරම්‍ය රාත්‍රිය සංගීත වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඔහු  එතෙක් මෙතෙක් ලංකාවේ ගීත අසා හුරු පුරුදු  රසිකයන්ට පෙර නොවු අපූරු සංගීතමය වින්දනයක් ලබා දෙන්නට ඒ වැඩසටහනෙන් සමත් වුණා.  ඒ  සුරම්‍ය රාත්‍රිය සංගීත වැඩසටහන හැඩ වුණේ  තත් සහිත සංගීත භාණ්ඩ එහෙමත් නැත්නම් ගිටාර් ගණනාවක රිද්මයෙන්. එකවර වැයෙන ගිටාර් විශාල ප්‍රමාණයකින් හැඩ වුණ සුරම්‍ය රාත්‍රිය සංගීතමය සුයාමය නාලක විශිෂ්ඨයන් අතර විශිෂ්ඨ වාදකයෙක් පමණක් නොව සංගීත අධ්‍යක්ෂවරයෙකු බවට පත් කළා.  මේ තියෙන්නේ යූ ටියුබයේ තිබුණ ඒ වැඩසටහන් පෙළෙන් මා උපුටාගත් හොඳම රූප රාමු දෙකක්.
 


නාලක අංජන කුමාර දක්ෂ සංගිත අධ්‍යක්ෂවරයෙක් වගේම දක්ෂ ගායකයකි. ඔහු ගැයූ ගීත ඇතුළත්ව   පළමු වරට "රාත්‍රිය" නමින් ගීත ඇල්බමයක් නිකුත් කළේ මිට වසර හතරකට පමණ පෙර ය. ඒ ගීත මාධ්‍ය ඔස්සේ  ප්‍රචාරය නොවුණත් ඒ ඇල්බමයේ ඉතාමත් සාර්ථක ගීත නිර්මාණ  ගණනාවක්  තිබුණි. අනතුරුව ඊට වසර ගණනාවකට පස්සෙ නාලක ගිටාරයෙන් වැයූ ජනප්‍රිය ගී අනුවාදන 18 ක් ඇතුළත් කර Isolated Fingers නිර්මාණ කළේ ඉතාමත් මෑතකදීය.  එසේ වුවත් ඔහු  මේ සංගීත නිර්මාණ ඇතුළත් ඇල්බමය (CD) වෙළඳපොලට නිකුත් කළේ නැත.

නාලකගේ Isolated Fingers නිර්මාණ එකතුවේ ඔහු විසින් නිර්මාණය කළ විනාඩි කීපයක්  දිග හැරෙන My soul  නමින් වූ සංගීත කාව්‍ය රචනාවකුත් මීට ඇතුළත්. මේ සංගීත කාව්‍ය රචනාව හැඩ වෙන්නෙ ඔහුගේම ගිටාරයෙන් විමත්  විශේෂයක්.

ඒත්, ගීතයක පදමාලාවේ තිබෙන සාහිත්‍ය රසයත්, ගී තනුවේ ඇති සුගායනීය බවත්, ගායකයාගේ ගී හඬෙහි ඇති මධුර බවත්  එකතු වූ විට මැවෙන රසෝඝය එකට සමපාත වෙන්නෙ නාලක ගිටාරයෙන් මවන රමණීය සංගීත රිද්මයේ චමත්කාරයෙන්. ගායකයා ගැයූ ගීයට ගිටාරයෙන් නැවත ජිවය  ලබා දෙන්නට හැකි අති දක්ෂ වාද්‍ය ශිල්පියකුට පමණක් බව තහවුරු වෙන්නෙ "හිතින් මා නොසැලී හිඳිද්දී" ගීතය  ගිටාරයෙන් වැයෙන රිද්මය සවනට සමීප වන විටයි. ඒ ගීතයේ වචන වලින් මතු කරන ශෝකී රසය ගිටාරයෙන් උපදින්නේද ගීතයේ සාහිත්‍ය රසය අභිබවා සංගීතයේ රිද්මයෙන් නැගෙන ශෝකී රසයෙනි.

හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුළ නුඹ ඇවිදින්
නිවා දැමු  ඒ නෙතේ පීඩා
නොබිඳිනු මැනැවී..

තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ..
වැටුණු මහ වරුසා මතක් වේ
නුඹ රැඳී දෑසේ...

හිතින් මා නොසැලී හිඳිද්දී.......

තවම  මා නොදුටුව සිනා කැන්
හමු නොවූ යාමේ
කඳුළ මට කරුණා කරන්නැයි
අයැදිමි නිබ‍ඳේ...

හිතින් මා නොසැලී හිඳිද්දී......

ගේය පද සංකල්පනාව : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය:  ස්ටැන්ලි පිරිස්
ගැයුම:  ටී.එම්. ජයරත්න

හිතින් මා නොසැලී හිඳිද්දී ගිටාරයෙන් වැයූ  ගී අනුවාදනය  මෙතනින් අහන්න


මේ විදියට විශ්ව භාෂාවක් විදිය‍ට ගොඩනැගෙන සංගීතය එක් ආකාරයකින් දිව ඔසුවක්. මේ ගිටාරයෙන් නැගෙන ගී අනුවාදන පෙළ කෙනෙනකුට ලබා දෙන්නෙ කිව නොහැකි තරමේ සැහැල්ලුවක්. ගිටාරයෙන් මතුවන සියුම් නාද රටා දෙසවන් තුළින් ඇතුළු ව ශරීරය පුරා දිවගොස් සියුම් ඉන්ද්‍රියයන් තුළ පමණක් නොව ඇටමිදුලුවල පවා තැන්පත්වී නැවත නින්නාද දෙන්නට පටන් ගන්නා බවක්  දැනේනේ මේ ගී ඇල්බමය අසන විට දීය.

කපුගේ ගැයූ  "දුක හාදු දෙන රැයේ" ගීතය තුළ කපුගේගේ ගායනයෙන් දැනෙන හුදකලාවත්, පාලුවත්  ශෝකී රසයට පෙරළන්න  නාලක දක්වන සමත් කම ඔහුගේ අතැඟිලි ගිටාරයේ තත් පිරිමදිමින් නැවන නැවතත් හුදකලා වූ ඉසව්වක් කරා සිත රැගෙන යයි.

දුක හාදු දෙන රැයේ
හිත පතුළටම වෙලා
යෞවනේ අගට විය
විරහී හද ගිලන් වෙලා

ගහ කොලද මල් පිපේ
ඇල දොල විල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ
ඒ රුවට රැවටුණේ

නන්නාඳුනන ලෙසේ
මගතොට යළිත් හමුවෙලා
මහ මෙර හිසින් දරාගෙන
අපි යමු දුරස්  වෙලා..

ගේය පද සංකල්පනාව : වසන්ත බණ්ඩාර දිසානායක
සංගීතය ස ගැයුම :  විශාරද ගුණදාස කපුගේ

 දුක හාදු දෙන රැයේ ගිටාරයෙන් වැයූ ගී අනුවාදනය  මෙතනින් අහන්න


නාලකගේ තිස් වසරකට ආසන්න කාලයක සංගීත දිවියේ මිහිරිතම සංගීත ඵලය ලෙස  සිය වින්දනීය සංගීතමය අත්දැකිම රසිකයන් සමග බෙදා ගන්නෙ Isolated Fingers ගී අනුවාදන ඇල්බමයෙනි. ඒ වූකලී ගිටාර් වාද්‍ය ශිල්පියෙකු ලෙස දිගු කාලයක් තිස්ෙස් නාලක ලද සංගීතමය අත්දැකීම්වල  සම්භාෂණයකි. ඔහුගේ අතැඟිලි අතර සිර වුණ මේ මුදු මො‍ළොක් ගිටාරයේ තත්  එක දෙක ඉකි බිඳී.

මෙම Isolated Fingers ගී අනුවාදන එකතුව රසික හදවත් තුළ දිගු කාලයක් තිස්සේ නින්නාද දුන්, රැව් දුන් අතිශය  ජනප්‍රිය ගීතවල අනුවාදන  එකතුවකි. ඔබ හා මෙමා, මිහිමඬලේ අදුරු කුසේ, ආදරයයි කරුණාවයි, මිහිරැති වසන්ත කාලේ, දුරස්වන්නට මේ ලෙසින්, නිම් හිම් සෙව්වා, පායා ඇයි හිනැහෙන්නේ ...ආදී ගීත මෙන්ම හින්දි ගීත කිහිපයක් සහ ඉංග්‍රිසි ගීත දෙකක්  අනුවාදන ලෙසින් නිර්මාණය වි ඇත.

මහ මුහුදක  වෙරළ කරා ඇදී අවුදින්  යළි දියඹ කරා ඇදී සයුරු ගැඹරේ සැඟව යන්නා සේ  මිනිසුන්ගේ අධ්‍යාත්මයන්හි සැඟව ඇති  හැඟීම්, සිතුවිලි, නාලකගේ අතැඟිලි අතර සිරව වූ  ගිටාරයෙන් යළි ඉපදෙන  අයුරුත්,  පණ අදින ජීවිතවලට යළි හුස්ම පොදක්  පිඹින අයුරුත් දැනෙයි. එය ගිටාරය වැනි සංගීත භාණ්ඩයක් පෙරදිග මිනිසුන්ගේ සිතුවිලි නැවත අවදි කිරිමකි. ඒ නිසාම නාලක සිය ගිටාරයෙන් මිනිසුන්ට නැවත හුස්මක් ගන්නනත්, මහ  පොලොවේ පය ගසා ජීවත්වන හැටිත් කියා දෙන්න  පමණක් නොව ආදැරයට ආදරය කරන්නත්, නැවත විඳවන්න නොව විඳින්නත් ආමන්ත්‍රණය කරයි. ඔහු ඒ ආදරණීය ආමණ්ත්‍රණය කරන්නෙ  ඔහුගෙ සුරත රැඳි ගිටාරය මත වූ හුදකලා ඇතැඟිලි තුඩු වලිනි. ඒ සඳහා සුරම්‍ය රාත්‍රිය සංගීතමය වැඩසටහන තුළ ඔහු හැඩගැන්වූ මේ ගීය හොඳ උදාහරණයක්.

 
සුරම්‍ය රාත්‍රිය සංගීත වැඩසටහන ඔස්සේ සෑහෙන දුරක් පැමිණි නාලක සුරම්‍ය රාත්‍රියට සමුදෙනව. ඒ ඔහුගෙ හැකියාව සුරම්‍ය රාත්‍රියට පමණක් සිමා නොකර එහි සොදුරු මතකයන් පමණක් ඉතිරි කර තබා ගනිමින්. ඕනෑම හොඳ සාර්ථක වැඩසටහනකට හිමිකාරයන් වැඩි වන විට එහි සබෑ උරුමක්කාරයන් ඉවත්විම ස්වභාවික වුණත්,  නාලක සිය ගිටාරය මගින් හැඩ කල ඒ සුරම්‍ය රාත්‍රිය තවමත් රසිකයන්ට සුන්දරම මතකයක්.

ප්‍රේමය, ආදරය, හුදකලාව ගීත බවට පත්වෙලා ‍සවනේ හැපෙන විට කෙනෙකුගේ  හිතට දැනෙන්නේ වේදනාකාරී අත් දැකීමක්. ගීතයක ගායනයේ  හැංගිලා ඇති  හිතක් ආයෙමත් ඒ ගීය  අනුවාදයනක් බවට පත්වූ නැවත සවනට පතිත වන විට මොන තරම් සියුම් වේදනාවක්  දැනෙනවද කියල මතු දැක්වෙන ගීයේ අනුවාදනය අපට කියාවි.


ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය  කඳුළක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ

ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිළිටි මල් පිපුණිද ළඳුනේ
පෙති ගිළිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැන රැඳුණේ..

ආ මග වැරදී ඔහුද ඔබද මා
දෛවයෙ තුන් මංසල හමුවේ
බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
කඳුළක් නෑ දෙනුවන පිපුණේ...

ගේය පද සංකල්පනාව : රංජිත් රූපසිංහ
සංගීතය:  නාලක අංජන කුමාර
ගැයුම:  කරුණාරත්න දිවුල්ගනේ

ඔබට වරම් නැති ගිටාරයෙන් වැයූ  ගී අනුවාදනය  මෙතනින් අහන්න


නාලක තමන්ගේම ගීතය ගිටාරයෙන් නැවත වරක් ගී අනුවාදනයක් ලෙසින් හැඩ කරන්නෙ ඉතාමත් අපුර්ව ආකාරයෙන්.  ප්‍රේමයේ වියෝව ගායන ශිල්පියාගේ හඬට පමණක් නොව  තමන් විසින් වයන ගිටාරයේ තත් අතරින් ද මතු කර ගන්නෙ  ඇස්වලින් කඳුළු පනින ආකාරයට. දිවුල්ගනේගේ ගී හඬ වගේම ගිටාරයේ නාදයත් කඳුළු පේලියක් කොපුල් තල දිගේ  රූරා වැටෙන  ආකාරයෙන් ගිටාරය වැයෙද්දි දැනෙන්නෙ සියුම් ලෙසින් ආදරය මුසු වූ වේදනාවක්.

නාලක තමන්ගෙම ගීතය එහෙම වාදනය කරද්දි ගෙවුණ දෙසතිය පුරාම මම දිවුල්ගනේ ගැයූ මේ අනුවාදනයේ මුල් ගීතයත් එක්ක සංසන්දනයක් කර  සමකර නැවත නැවතත්, බැලුවෙ වියෝගයේ වෙනස කොහොමද දැනෙන්නෙ කියල.  වචනවලින් දැනෙන සාහිත්‍ය රස ශිල්පියාගේ ගායනයෙන් දැනේනා සේම වචනවලින් ඔබ්බට ගිය සංගීත රචනාව වැයෙන ආකාරය යම් රසිකයෙකුට තේරුම් ගන්න පුළුවන් නම් ඒ සංගීතයේ ඇති හෙවනැල්ලක් බඳු ශෝකී රසයත්, ගිටාරයෙන්  අතැඟිලි තුඩුවල දැවටුණ හුදකලා බවත් පැහැදිළිවම හඳුනගන්න පුලුවන්. විශිෂ්ඨ සංගීත අධ්‍යක්ෂවරයෙයකු සේම විශිෂ්ඨ ගිටාර වාද්‍ය ශිල්පියෙකු ලෙස නාලක අංජන කුමාර  ලැබූ ජයග්‍රහණය එයයි.෴

වටිනා කාලය බිඳක් වැය කර ගී රස විඳිමින් කියවූ ඔබට  ස්තූතියි. වෙලාවක් ඇත්නම්  මීට වඩා වෙනස් වූ  ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න. 

Related Posts Plugin for WordPress, Blogger...