එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Friday, 26 July 2013

෴ අඳින සලූ මිදුලෙ එලූ නයන කලූ ෴


                      නුවන් අබියස පෑයූ රුවන් තාරකා

උදාවන හැම රාත්‍රියම සුන්දර නොවේ. එසේම සෞම්‍යද නොවේ. එහෙත් මිනිසකුට අලුතින් යමක් හිතන්නට හෝ විඳින්නට යමක් නොලැබුනේ නම් ඒ දවස උදා වී ඇත්තේ හිස් බව මිටන් ගෙනය. දහසකුත් එකක් ගැටලු වලින්  දවස ගෙවන මිනිසුන්ට මේ ගෙවන ජීවිත කෙබඳු අත්දැකීම් ජීවිතයට එකතු කරන්නේදැයි කියාදෙන්නට කිසිවකු නොවේ. එහෙයින් අප මේ ගෙවන්නේ ජිවිතයේ කුමන සංක්‍රාන්ති සමයක්ද? කෙනෙකුට රිසි සේ  කියවන්න, අහන්න, දකින්න, විඳින්න හැකි නිදහස් අවකාශය ක් හෝ පසුබිමක් ඇති නොවන පසුබිමක යන අතක ජීවිතය ගලා යන්නට ඉඩ හැර බලා සිටින පිරිසක් ව ඔබත් මමත් පත්ව සිටින්නෙමු.   

70 සහ 80 දශකවල කලා සහ සංස්කෘතික නිර්මාණයන් පිළිබඳව මෙනෙහි කරමින්, ඒවාට යළි යළිත් සොයන්නට විඳින්නට රිසියක් දක්වන පිරිසක් බවට පත්ව සිටින්නේ ඒ අතීතත කාමය තවමත් මනසේ නින්නාද දෙමින් රැඳී තිබෙන හෙයිනි. එවන් යුගවල ආචාර්ය වික්ටර් රත්නායකන් විසින් මෙරට රසිකයන්ට තිළිණ කළ ඒක පුද්ගල ප්‍රසංග කලාව ඔස්සේ ගොඩ නැගුණ සංගීත සංස්කෘතිය යෝධ පවුරක් වෙමින් අදටත් සියලු රසික විඥානයන් සුරකිමින්  සිටී. එදා ආචාර්ය වික්ටර් රත්නායකයන් ගොඩ නැගූ මේ යෝධ සංගිත සංස්කෘතිය තුළ පසුකාලිනව ආචාර්ය පණ්ඩිත් අමරදේව, විශාරද නන්දා මාලනී, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි,  ආචාර්ය දයාරත්න රණතුංග මහාචාර්ය අමරා රණතුංග විශාරද ගුණදාස කපුගේ මාලනී බුලත්සිංහල වැනි ශිල්පීන් විසින් තවදුරටත් ශක්තිමත් කරන ලද අතර, ඔවුන් විසින් පසු කාලීනව ඇති කරන ලද ඒක පුද්ගල ප්‍රසංග කලාවේ මහිමය වර්තමානයේ  සුනිල්එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි දක්වා විහිදුනි. අනතුරුව ලංකාවේ ඒක පුද්ගල ප්‍රසංග කලාව තුළ තරමක් දුරට වූ රික්තයක්  ඇති විය.

එවන් වූ රික්තයක මිනිස් ජීවිතවලට බාහිරින් එබෙන නේක දුක් දොම්නස්, තැවුල් මිනිස් සමාජයක ගොඩ ගැසෙන විට ඒ මිනිසුන්ට සියලු රස සංවේදනාවන් අවදි කරමින් අලුතෙන් හිතන්නට ලැබෙන ඉඩකඩ ඉතාමත් අඩුය. එවන් සමයක  විරල සංගීතමය හෝරා කීපයක් විඳින්නට රසික සද්ජන සමුහයාට  උදා වූයේ පසුගිය සෙනසුරාදා සැන්දෑ යාමේ කොළඹ 07 මියුසියස් රඟහලේදී ය. එදා ඒ සැන්දැවට පැමිණ සිටියේ සියලු රස සංවේදනාවන් හොඳින් හඳුනන රසික කැලකි. ඒ රසික කැල වෙනුවෙන් සිය ගායන මාධූර්යය අවදිකරන්නට සූදානම්ව සිටියේ විශාරද බණ්ඩාර අතාවුද නම් සොදුරු ගාන්ධර්වයාණන්ය. අති මධුරතර ප්‍රේම ගීතාවලියක හිමිකරුවා වෙමින් විශාරද බණ්ඩාර අතාවුද සිය මධුරතර ප්‍රේම ගීතාවලිය රසික දෑස් අබිමුවෙහි පිහිටුවා “රුවන් තාරකා“ එක රන් හුයක අමුණා එක පෙළට ගයන්නට සූදානම් ව සිටියේය.

රාත්‍රියේ සිසිලස කැන්දමින් කොලොම්පුරයට අඳුර වැටෙද්දී ප්‍රේමවන්ත හදවත්හි සිඳි බිඳි ගිය ආදර මතක  යළි යළිත් මතකයට කැඳවන්නටත්,  යට ගියාවේ බිඳුණු පෙම් සිත් රහසේ අවදි කරවන්නටත් ඒ හෝරා කීපය බණ්ඩාර අතාවුදයන්ට සෑහෙන තරම් විය. හද ගැබ සඟවා හුන් ආදර මතකයන් යළි යළිත් සොය සොයා අවදි කරමින්  බණ්ඩාර අතාවුද සිවු දශකයක් මුළුල්ලේ සිතේ සිර කරගෙන හුන් ප්‍රේම ගිතාවලිය පැය දෙක හමාරක් රසික සවන් පත් යා කළේ ය.
සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකි බිඳ වැළපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා

ඔබෙ සෙනෙහස දැක සැඟවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නයේ තනිවන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ

මිලාන වූ මල් ඉකි බිඳ වැළපෙයි
විකසිත කුසුමන් හිනැහෙද්දී
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කඳුළු දකී

ගී පද මාලාව : කුසුම් පීරිස්
සංගීතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද

                        සිතුවිලි සිරවී  ගීතය මෙතනින් අහන්න.




විශාරද බණ්ඩාර බණ්ඩාර අතාවුදයන්ගේ “රුවන් තාරකා “ ගී ප්‍රසංගය සංගීයෙන් හැඩ ගැන්වූයේ රෝහණ ධර්මකීර්ති ප්‍රමුඛ 15 දෙනෙකුගෙන් යුතු වාද්‍ය වෘන්දයකි. ප්‍රසංගය ආරම්භයේදීම රෝහණගේ අපූර්ව වාද්‍ය වෘන්දය රුවන් තාරකා ගීය අනුවාදනයකට නැගුවේ ඩී.ඩී.ගුණසේනගේ වයලීනය හඬවමිනි. ඩී.ඩී. ගුණසේන ගීතයේ පළමු ස්ථායි කොටස වයලී‍නයෙන් වයද්දී ගීතයේ  පළමු අන්තරා කොටස දිලූෂ රවීන්ද්‍රනාත්ගේ සිතාරයෙන්ද, ගීයේ දෙවන අන්තරා කොටස මහින්ද බණ්ඩාරගේ ලීඩ් ගිටාරයෙන්ද වැයෙද්දී නාලක‍ අංජන කුමාරගේ රිදම් ගිටාරය රුවන් තාරකා ගීය ගිටාරයේ තත් අතර සිර කරමින්  ප්‍රසංගයට ආන්නදය කැඳවීය.  රුවන් තාරකා ගීයේ අනුවාදනය ප්‍රසංගයේ තේමාව බවට පත්කරමින් ගී අනුවාදනය  අවසන් වූයේ සියලුම වයලීන සියල්ලම සාමූහිකව ගීතයට දායකත්වයක් ලබා දෙමිනි. ඒ නම් පැමිණි රසිකයන්ට ආනන්දයක්ම විය.

බණ්ඩාර අතාවුදගේ මුල්ම සරල ගි වැඩසටහනින් ඇසුණු  රුවන් තාරකා ගීතය රෝහණ වීරසිංහයන්ගේ මධුර තනුවකි.  මේ පුර්ව නිර්මිත තනුවට වචන යොදා ඇත්තේ කුමාරදාස සපුතන්ත්‍රී ගේය පද රචකයා විසිනි. ගී තනුවකට සැණෙකින්  වචන යෙදීමේ  ඔහු සතු මනා හැකියාව මේ ගිතය සිවු දශකයක් පුරා පවසන්නේ  ඒ ගී බසෙහි ඇති විචිත්‍රතාවයයි.

එදවස ගීයක් නිර්මාණය කිරීමේදී ගායන ශිල්පියා, ශිල්පිණිය, සංගිතඥයා සහ පද රචකයා යන තිදෙනාම එක්ව හිඳිමින් ගීත නිර්මාණය කළේ 70 සහ 80 දශකවලදිය. එවන් යුගයක 70 දශකය අගභාගයේ ගීතය ගුවන්විදුලියේ පටිගත වන අතරතුර ලියව ලද්දකි. ඒ මේ ගීතයයි.

රුවන් තාරකා නුවන් පායලා
ඉඳින් හදවතේ රැඳී වේදනා නිවා.

නිසල රැයේ නැගෙන සඳේ සිසිල වූ ඔබේ
සෙවන ඇගේ  සුවය ගෙනේ  නිබඳ මා වෙතේ
නිබඳ මා වෙතේ

තිසර විලේ පිපුණු මලේ රැඳුණු ආදරේ
සුවඳ ගෙනේ සතර දෙසේ යොවුන් මා වෙතේ
යොවුන් මා වෙතේ

ගී පද මාලාව : කුමාරදාස සුපුතන්ත්‍රී
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද

                    රුවන් තාරකා  ගීතය මෙතනින් අහන්න.


විශාරද බණ්බාර අතාවුද ගී ලොවට පිවිසියේ  සෙංකඩගල පුරවරයෙනි. බාලවියේ පටන් සංගීතය කෙරෙහි ඇල්ම දැක්වූ ඔහු සිය ජීවන මං පෙත සරසාගන්නේ සංගීතයෙනි. එවකට රජයේ සංගිත විද්‍යාලයේ (හේවුඩ්) සිටියදී  ගුවන් විදුලියේ ශාස්ත්‍රීය ගායන හා වාදන ඉදිරිපත් කළ ඔහුගේ ගුවන් විදුලි දායකත්වය පසු කලෙක ගුවන් විදුලි සරල ගීයේ  රස මිනුම් දඬු ශක්තිමත් කරන්නට ඉවහල් විය. හැත්තෑව දශකයේ මැද භාගයේදී ගුවන්විදුලියේ සරල ගී ශිල්පියෙකු ලෙස තේරි පත් වූවත් විශාරද බණ්ඩාර අතාවුද   මේ සිවු දශක‍ය පුරා ගීත සිය දහස් ගණනක් ගැයූවකු නොවේ. එහෙත් එසේ ඉඳහිට ගැයූ ගීත අතලොස්ස අපට නිතර ඇසෙන සිය දහසක් ගීතවලට වඩා මිහිරිම රසයක් ලබා දෙයි. ඒ හතළිස් වසරකට පෙර බණ්ඩාර ආතාවුදගේ මුල්ම සරළ ගී වැඩසටහන් අතර තිබූ මේ ගීය කිසිදා මතකයෙන් ගිලිහී නොයන ගීයකි.
ආශාවේ මල් වැටෙව් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කලූ ඔබ මගේ කලූ
නයන කලූ ඔබ මගේ කලූ

රෑ නිල් අහසේ නිදන සඳවතී
අඳින සළු මිදුලෙ එලූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කලූ මට කියනු කලූ


පායන සඳ සේ රුසිරු හසරැලී
දෙතොල වෙලූ නයන කලූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කලූ මට කියනු කලූ

ගී පද මාලාව : ඩෝල්ටන් අල්විස්
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද

     නයන කලූ  ගීතය මෙතනින් අහන්න.


සාමාන්‍යයෙන් ගායන ශිල්පියකු හෝ ශිල්පිණියක තෝරාගනු ලබන  ගීත අතර විවිධාකාරයේ ගීත තිබුණද බණ්ඩාර අතාවුද ගැයූ  ගීත අතර “රාත්‍රිය සහ සඳ එළිය“  පිළිබදව ගැයෙන ගීත ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩිය. එය රුවන් තාරකා බැබලූ රාත්‍රියේද එසේම විය. රාත්‍රිය ගැන වැඩියෙන්ම ගී ප්‍රමාණයක්  ගයා ඇත්තේ ඔහු විය යුතුය. එසේම බණ්ඩාර අතාවුදට ගී ලියූ ගීත රචකයන් පිරිසද අතලොස්සකි. එයින්  වැඩිම ගීත සංඛ්‍යාවක් කුමාරදස සපුතන්ත්‍රී සහ කුසුම් පීරිස්  විසින් ලියන ලද ඒවා වන අතර, ඒ  ගීවල තනු නිර්මාණකරුවන් පිරිසද අතලොස්සකි.

ගුණදාස කපුගේ, එච්.එම්.ජයවර්ධන, සහ  රෝහණ වීරසිංහ බණ්ඩාර අතාවුදට හැදූ ඒ රම්‍ය වූ මධුරතර ගී මාලාව කිසිදාක නොමියෙන සේ  රසික සිත් බැඳගන්නට සමත් වූවාට කිසිඳු සැකයක් නැත. ඒවා ගී රසිකයන්ගේ සදාකාලික මතකයන්හි නින්නාද දෙන්නේ ඒ නිසාය.   මතු දැක්වෙන ගීයද එවන් ගීයකි ප්‍රවීන රංගනවේදී ජයලත් මනෝරත්නයන් විසින් ලියා ඇති මතකයේ රැඳෙන ගී දෙකතුන අතරින් මේ ගීය මනෝරත්නගේ කවීත්වයේ ප්‍රතිභාව සම්බන්ධයෙන් පැහැදිළි නිදසුනකි.

ඔබ ඈත සඳවී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ,  ඔබ මා ළඟ ඉන්නා

අප දුරින් දුරක වුව තනියේ
නෙත් සරින් පමණි හමු වූයේ
ඒ ඈත් බවිනි හද බඳුනේ
සෙනෙහසේ සොඳුරු බව පිරුණේ

මධු සඳ තරු අද හමුවිලා
සිටියද ඔබ මා ළං වීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු, සොඳුරු සෙනේ ගඟ සිඳිලා

ගී පද මාලාව : ජයලත් මනෝරත්න
සංගීතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද

         ඔබ ඈත සඳවී පායා ගීතය මෙතනින් අහන්න.




ගීතය, ගායනය සංගීතය සහ පදමාලව  යත ත්‍රිත්වයේ මනා සංකලනයකින්  නිර්මාණය වූවකි. ඒ අපූර්ව වූත් අර්ථවත් වූත් නිර්මාණ සංකලනය බණ්ඩාර අතාවුද ගැයූ හැම ගීයකම දක්නට ලැබේ. එකිනෙකට වෙනස් අරුතින්ද එකිනෙකට වෙනස් මියුරු තනු මාධුර්යයෙන්ද  සුසැදි ඔහුගේ ප්‍රේම  ගී මාලාව බණ්ඩාර අතාවුදගේ ගායනයේ ප්‍රබලත්වය මත අඳින සිතුවමක්  වැන්න. එසේ  නිර්මිත කිසිඳු ගීයක  සංගීතඥයා හෝ ගී පදරචකයා ගිතයේ පදමාලාව අතර අතරමං වී නැත. බණ්ඩාරයන් මෙතෙක් ගැයූ ගීත ප්‍රමාණය සුළු සංඛ්‍යාවක්  වුවත් ඒ  සියල්ල මධුරතර ගීත බවට පත්වීමේ රහස එයයි.

කඳුළු පිසදාලන සතපාලන රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්

අවර නැකත නොවේ
තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී
සතුටු කඳුළු පිපේ
මල් යායක සිත් යා කළ නුඹමය දේවී

අරුණ ගලන පැයේ
නෙත් මානෙන් ඉගිලී යන නුඹමය රාත්‍රී
සිතට තනිය නොදී
තුන් තිස් පෑ මල් යහට වැඩපන් දේවී

ගී පද මාලාව : වසන්ත කුමාර කොබවක
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගීතනුව සහ ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද

            කඳුළු පිසදාලන ගීතය මෙතනින් අහන්න.


වර්තමානයේ ප්‍රේමයේ උමතුවෙන් වැටෙන මුරුගසං වැස්ස හසුව තෙමි ගැහෙන ප්‍රේමාතුරයන්ගේ දුක් අඳෝනා ගී මොහොතකට හෝ අමතක කර  එවන්  මධුරතර ප්‍රේමයේ සුවඳින් යෞවනය විකසිත කුසුමක් බවට පත්කළ හැක්කේ මෙවන් ආකාරයෙන් තෝරා බේරාගෙන ගී ගයන ශිල්පීන්ට පමණි.  බණ්ඩාර අතාවුදයන් එවන් සෞන්දර්යවාදී ගුණයෙන් පිරුණු නිර්මාණකරුවකි. ඔහු සිය ගීතයෙන්  ආදරයට ආදරය කරන්නටත්, ප්‍රේමයට ප්‍රේම කරන්නටත්  කියාදනෙ ගායන වේදියෙකි.  සෑබැ ලෝකයේ නැවුම් ප්‍රේමයක් කිසිවකුටත් කිසිම දිනෙක හමු නොවූවත් නිර්මාණලෝකයේ හමුවන හැම පෙම් පුවතක්ම ගීයට නැගූවිට එය ආදරයේත් ආනන්දයේත් අනුරාව නගන්නේ ඒවා සැබෑ මිනිසුන්ගේ ජීවන අත්දැකිම් බවට පත් කරමිනි.
උදාවෙන්න මේ රාත්‍රියේ
වෙලාගන්න  මේ කාන්තියේ
මගේ දුක් දරාගන්න හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ

උයනේ පිදී  සුවඳින් නෑවී
කැකුළක් ලෙසේ කේතකී
මාවා වෙත එයි ඈ පෙරමග සරසා
සඳුනේ නැගෙන් රාත්‍රියේ

දියඹේ බිහිවී වෙරළේ මියැදී
රළ වැල් ලෙසේ  සාගරේ
මා හැර යයි ඈ තනියට ළංවී
සඳුනේ නැගෙන් රාත්‍රියේ

ගී පද මාලාව : බන්දුල නානායක්කාරවසම්
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද

       උදාවෙන්න මේ රාත්‍රියේ  ගීතය මෙතනින් අහන්න.



රුවන් තාරකා ගී ප්‍රසංගය ඒක පුද්ගල ප්‍රසංග කලාවට නැවුම් ආලෝකයක් වැටී  එන යුගයක් එළඹී ඇති බව සනිටුහන් කරමින්  කන්ද උඩරටින් 70 දශකයේ පෑයූ ගී තාරකාව  විශාරද බණ්ඩාර අතාවුද සිවු දශකයක් මුලුල්ලේ ගයා ඇති ගී අතලොස්ස  කුසුම් කැන් මිටක් සේ ගෙන එදින රාත්‍රියේ මියුසියස් විද්‍යාලයේ රඟහලපුරා විකසිත කළේය. එය හරියටම නිරුවත් රාත්‍රියකට මනරම් සළු පැළඳ වූ මොහොතක්ම විය. සිවු දශකයක් පුරා  රැස්කර ගත් විශාරද බණ්ඩාර අතාවුදයන්ගේ  ඒ ප්‍රේමයේ ගී අස්වැන්න විඩාබර රසික සවන් පත් තවත් යුග යුග ගනනකට සෑහෙන්නට තරම් හදවතේ තැනක  අමරණිය මතකයක් වන සේ රඳවා තබන්නට සමත් විය.

ප්‍රසංගය අතර මැද දී බණ්ඩාර ආතාවද විසින් උත්තර භාරතීය රාගධාරී සංගීතය ඇසුරු කරගනිමින් ඉදිරිපත් කළ ශාස්ත්‍රීය වයලීන වාදනය ප්‍රසංගයට අපූර්වත්වයත් විඳගනිමින් මියුසියස් රගහල පුරා පිරීතිරී ගිය සුවහක් රසිකයෝ  හෝරා දෙක හමාරක් තිස්සේ රුවන් තාරකා ඔස්සේ ගලා හැලුණ ගී ගඟුලේ කිමි දෙමින් සිටියහ. ඒ වුකලී ආදරය, ප්‍රේමය පිළිබඳ ආනන්දයේත් ප්‍රඥාවේත් නැවුම් හැගුම් බණ්ඩාර අතාවුදයන් විසින් සිය ගී හඬින් අවදිකළ අපූර්ව වූ හෝරා කීපයකි. ෴





57 comments:

  1. ඔබ ඈත සදවී ලිව්වෙ ජයලත් ද බොලව්.. අදයි දන්නේ..

    බණ්ඩාර අතාවුද මහතාගේ ගීත එකතුවක් මා සතුයි. පැරණි ගීත වලට ගහන්න ගීත නැහැ

    ReplyDelete
    Replies
    1. සෑම්..
      ඇත්තටම අපි ගිත ඇහුවට ඒවා ලියබු හෝ සංගීවත් කළ අය ගැන වැඩි උනන්දුවක් දක්වන්නෙ නැනේ. ඒකයි. බණ්ඩාර ආතාවුදගේ ගී එකතුව එක හුස්මට අහන්න පුළුවන් ගී එකතුවක් තමයි ඔහු‍ට තියෙන්නේ.

      Delete
  2. බන්ඩාර අතාවුද මහතා මම බොහොම ප්‍රිය කරන හදවතට කතා කරන ගීත කියන ගායකයෙක්. ඔහුගේ සෑම ගීයක්ම හරිම ලස්සනයි . ඒත් මට මේ අවස්ථාව මග හැරුන ඒ දිනයේ කොලඹින් පිට යන්න උන නිසා . බොහොම දුක් වෙනව ඒ ගැන .

    ReplyDelete
    Replies
    1. ගිම්...
      අත්තටම මමත් කාලෙකට පස්සේ විඳපු හොඳම සංගිත සැඳෑවක් තමයි රුවන් තාරකා ගී ප්‍රසංගය.අනෙක් අතට ඒක බලන්න සෑහෙන කාලෙක ඉඳන් සූදානමින් හිටියේ. ආයෙ තිබුනොත් නොවරදවාම බලන්න.

      Delete
  3. වෙනස්ම විදිහක දැනුමක් ලබනවා ඔබෙගේ බලොග තුලින්

    ReplyDelete
    Replies
    1. සංජීව...

      ස්තූතියි අගය කළාට. රසවින්දනය බෙදාහදා ගැනිම යුතුකමක් කියල හිතෙනවා.

      Delete
  4. බණ්ඩාර අතාවුද සූරින් හා බොහොම සුන්දර දවන් කීපයක් ම ගෙවා තිබෙනවා පොල්ගොල්ල විද්‍යාපිටයේ පිහිටි ඔහුගේ නිවෙසේදී.. මේ හරබර සටහන ඉතාමත් ම අගෙයි දයා. සුන්දර නිවුණු මිනිසෙක් ගැන හෟදයංගම සටහනක්..

    ReplyDelete
    Replies
    1. නලීන්

      මට බණ්ඩාර අතාවුදයන් හමුවී ඇත්තේ අවස්ථා කිපයකදී පමණයි. ඒ හැම මොහොතක්ම සුන්දර මොහොතක්.

      Delete
  5. බන්ඩාර අතාවුදයන්ගේ මේ ගිතාවලිය තරම්මම රසවත්
    හරිම අපුරු සටහනක්.බොහොම ස්තුතියි ඔබතුමාට අපේ රස නහර උද්දිපනය කරනවාට මෙලෙසින්.

    ReplyDelete
    Replies
    1. මනෝජ්..

      කලාතුරකින් ඇස ගැසෙන විඳන්න ලැබෙන මෙවැනි අත්දැකීම් සියළු දෙනා සමග බෙදා ගැනිමත් සතුටක්.

      Delete
  6. මගේ ප්‍රියත්ම ගායකයෙක්. ඔහුගේ හඬ විග්‍රහ කරන්න තරම් දැණීමක් මට නෑ. නමුත් ඔහුගේ ගීත දෙක තුනක් මගේ ප්‍රියතම ගීත අතර තියෙනවා. නිරංජලා සරෝජිනී හෝ නිර්මලා රණතුංග ගයන ජනප්‍රිය ගීතයකුත් තියෙනවා නේද..

    කොහොම හරි මම මෙයාට කියන්නේ.. පනාවක් නැති ගායකයා කියලා. වාසගමක් නැති ගායකයා තමයි ප්‍රින්ස් උදය ප්‍රියන්ත.

    ReplyDelete
    Replies
    1. කොහේ යන්නෙද කොහේ ඉන්නෙද ...

      Delete
    2. ලස්සන ගීයක් මචං..!

      Delete
    3. මාතලන්

      බණ්ඩාර අතාවුදයන්ගේ ගී අතර ජනප්‍රියම යුග ගී වන්නේ මාලනී බුලත්සිංහල සමග ගැයූ කොහේ යන්නෙද කොහේ ඉන්නෙද ගීතය,/ නිරංජලා සරෝජිනිය සමග ගැයූ සිහිනයකි ඔබ,/ චන්ද්‍රලේඛා සමග ගැයූ හිරු හිනැහෙන ගණ නිල්වන් අහසේ ගීය.

      මේ යුග ගී තුනම එදා ප්‍රසංගාය් ගැයුණා. එක් ගියක් ඔහුගේ දියණිය සමගත් අනෙක් ගී දෙක නෙලූ අධිකාරී සමගත් ගැයුවා.

      ශාන්..

      කොහේ යන්නෙද කොහේ ඉන්නෙද . ඉතාම ළබැඳි ගීයක්.

      වීපොකුර

      ඇත්තෙන්ම

      Delete
    4. @මාතලන්
      ඇයි නෙසැලෙන ගායක මිල්ටන් මල්ලආරච්චි

      Delete
  7. මම කැමතිම ගායකයෙක්.ඒ කටහඬේ අමුතු අහිංසක කමක් තියෙනවා.අර්ථවත් මනුස්සයෙක්.
    එක ගීතයක එකම වචනය වැඩි වාරයක් කියවෙන ගීතය නයන කලූද?කලූ කියන වචනය නව වතාවක් කියවෙනවා.

    ReplyDelete
    Replies
    1. අරු...

      ඇත්තටම බණ්ඩාර අතාවුද කියන්නේ හිත නිවන්න පුළුවන් ගී හඬක්. නයන කලූ ගීයේ ඇති ඒ කළූ වචනය ගීයට අපූරු රසයක් එකතු කරනවා.

      Delete
  8. මතක අලුත් කරවන සොදුරු අස්වැන්න....!!!!

    ReplyDelete
    Replies
    1. වර්ෂා...

      මේවා අතීත මතක පමණයි.

      Delete
  9. ඔහුගේ ගී තුල සරල වගේම සුමට ගතියක් තියෙනව .සංගීතය බොහොම ප්රියජනකයි ...ගී ටික නම් කමෙන්ටුව කොටන්න කලින්ම ඇහුවා . ස්තුතියි දයා

    ReplyDelete
    Replies
    1. බින්දි

      හිත නිවන හඬක් වගේම හිතනිවන ගිත එකතුවක් රුවන්තාරකා...

      Delete
  10. ස්තුතියි ඔබ මාව මීට අවුරුදු 8ක අතීතයට රැගෙන ගියාට. මම ඒ දවස් වල කටුගස්තොට වත්තේගම පාරේ පොල්ගොල්ල ජලාශය අසලම තමයි නතර වෙලා හිටියේ. මමත් මගේ යාලුවෙකුත්. බණ්ඩාර ආතාවුද මහතාගේ ගෙවල් තිබුනෙත් බොහොම කිට්ටුවෙන්.

    දවසක් අහඹු සිදුවීමක් ලෙස කොහොම හරි අපි කට්ටියම සෙට් උනා මිතුරෙකුගේ ගෙදරකට මධු සාදයකට. මෙතැනදී මම පලුමු වතාවට බණ්ඩාර ආතාවුද කියන ඒ සොඳුරු මිනිසා හදුනා ගත්තා. ඇත්තෙන්ම ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සොඳුරු මිනිසෙක්. බොහොම නිහඬ චරිතයක්. මධු විතටවත් ඔහු දොඩමලු කරන්න බැරි උනා. අපේ බලවත් ඉල්ලීම මතම මේසෙකට තට්ටු කීරීමක් වත් නැතුව ඔහු ගීත කීපයක් ගායනා කරා.

    ඇත්තෙන්ම මට එදා හිතුනා අපිට මොකටද සංගීත භාණ්ඩ කියලා. ඔහුගේ කටින් පිටවුනු පැහැදිලි ගැඹුරු මෘදු හඬට වෙනත් සංගීතයක් මොකටද ? දැනුත් මගේ හදවතේ ඒ හඬ රැවු දෙනවා. නැවත ස්තුති ඔබට.

    ReplyDelete
    Replies
    1. නිශාන්ත

      මෙවන් නිහඬ ශිල්පියෙකු සමග හෝරා දෙක තුනක් එහෙම ගත කළ එකත් අමරණිය මතකයක්. ඇත්තෙන්ම ඔහු සුන්දර මිනිසෙක්.

      Delete
  11. කවදාවත් හදවතෙන් මැකී නොයන ගාම්භීර මාධූර්යමය හඬක්..බණ්ඩාර අතාවුද...

    ස්තූතියි දයානන්ද ඔබට..සොඳුරු මතකයන් ඔස්සේ යලි ආපසු ගමනකට මඟ පෙන්වූවාට...:)

    ReplyDelete
    Replies
    1. රවී...
      බණ්ඩාර අතාවුදයන්ගේ ගිත කොහේ කොතැනක ඇසුනත් මොහොතකට හිත එතැන නතර කරවන්න පුළුවන් කමක් තියෙනවා.

      රැවන් තාරකා හැන්දැව නම් අපුරු ගි හැන්දෑවක් .

      Delete
  12. සැපදා රස විඳිය හැකි අමරණීය සෞන්දර්යය......

    මේ අමුණන වචන තුළින් අප කෙරෙහි ඇති කරවන රසාස්වාදයට ඔබට තුති

    ReplyDelete
    Replies
    1. සිත්තරී....
      ඔබ තෙලිතුඩින් අදින සිතුවම් වගේ මමත් අකුරුවලින් ඒ දේ කරන්න පුලුවන්ද බලනවා.

      මේ ඔබේ ප්‍රදේශයේම රම්‍ය වූ හඬක් හෙබි ශිල්පියෙක්.

      Delete
  13. දිගටම ලියන්න, අපි කියවනව ආසාවෙන්

    ReplyDelete
    Replies
    1. සඳමාල්..

      ස්තූතියි උත්සාහ කරන්නම්.

      Delete
  14. හිතට විඳිය හැකි කට හඬක්..
    කොහේ යන්නෙද , ඔබ ඈත සඳ වී පායා ගොඩක් ආසාවෙන් ඇහුව ගීත.. පැරණි සංගීතයත් එක්ක නැවතත් මේ ගීත අහන්න සැලැස්සු මේ පිරුණු අස්වැන්නට ‍තුති ඔබට..!

    ReplyDelete
    Replies
    1. නන්දු...

      ඇත්තටම අස්වැන්නට දාන ගී සියල්ලම මුල්සංගීතයෙන්ම දාන්න තමයි උත්සාහ කරන්නේ. මේ එවැනි ගීත කිපයක්

      Delete
  15. ඇයි සිංහල සිංදු ආදරයයි, විරහවයි ගැන විතරක්ම ලියැවෙන්නෙ ?
    ට්‍රෙන්ඩ් එක ඒක විතරද ?
    ඉංග්‍රීසි සිංදුත් බොහොමයක් එහෙම උනත් සමාජයේ විවිධ පැති කඩවල් නිරූපණය කරන ඒවත් බොහොමයි.. ඒත් ලංකාවෙ එහෙම එකක් ගැහුවොත් ටීවී චැනල් එකකටවත් ගන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ආදරය සහ විරහවට වඩා එහාගිය ගොඩාක් මාතෘකා ගැන ලියවුනු ගොඩාක් ගීත තියෙනවා.ටීවී චැනල් ගැන නම් කියලා වැඩක් නෑනේ නේද?සඳ රඟ මඬල වගේ ඒවා හැර.
      දයානන්ද මහත්මයා මේ ගැන මුකුත් නොලියා ඉඳියිද කියලා හිතලයි මම මෙහෙම දැම්මේ.

      Delete
    2. යසිත්..

      අපේ ගී අතර එක් එක් ශිල්පියා තමන්ගේ ගිත අතරට දේශාභිමානී ගිත, මවුගුණ, පියගුණ, බැතිගී, සමාජමය ආකල්ප ගී, විරෝධාකල්ප ගී ගයලා තියෙනවා. ඒවා කාලයෙන් කාලයට තමයි එළියට එන්නේ.
      ඒත් ආදරය, විරහව ජිවිතයට සමීප නිසාත් නිරන්තයෙන් මතකයේ රැ‍ඳෙන නිසාත් ජනප්‍රිය ගිත බවට පත්වෙනවා. අනෙක් ගිත ප්‍රචාරය නොවිම මාධ්‍ය ක්‍රමය තුළ ඇති ගැටලුවක්.

      අරු..
      මාධ්‍ය තිබුණට අපිට ඕනෙ ඒවා ඒවයින් දෙන්නෙ නෑඒයාල කැමති දේවල් අපිට බලෙන් අස්සවනවා
      මට කමෙන්ට් වලට ප්‍රතිචාර දක්වන්න දවස් කිපයක් යනවා. අවිවේකය නිසා.

      Delete
  16. බණ්ඩාර අතාවුදගේ ගීත සෙට් එක ඔන්න ආයෙමත් අහන්න ගත්තා මේ පෝස්ටුවෙන් ඇතිවුන අභිප්‍රේරණය හේතුවෙන්. බොහොමත්ම වටින විස්තරයක් දයා අයියා. නියමෙටම නියමයි. ඔයා ඔය කියනව වගේම බිබිසි සන්දේශයේ බ්‍රහස්පතින්දටද කොහෙද යනවා එක ගීයක රසය හොයලා දෙන විශේෂාංගයක්. ඒ පැය බාගය ඇතුලත . ස්තුතියි ආයෙත්

    ReplyDelete
    Replies
    1. රතී..

      සමහර ගීත සමහර කාලවලට එකදිගට අහන්න පුළුවන්. මේ ගීතත් එහෙමයි.

      මමත් කීපවතාවක් සංදේශය ගිත පිටුව ඇසුවා මම කැමති සහ දන්න හඳුනන ශිල්පීන්ගේ ගිත ප්‍රචාරය වූ නිසා

      Delete
  17. හදවතට දැනෙන සංවේදී හඩක් ඇති ගායකයෙක් ගැන සුන්දර කතාවක් .
    ස්තුතියි මේ රස අප අතරේ බෙදනවාට

    ReplyDelete
    Replies
    1. මහේෂ්...

      ස්තූතියි... කලාතුරකින් හමුවන නිතර මාධ්‍යයේ දකින්න නැති මෙවන් සොදුරු කලාකරුවකු වෙනුවෙන් සටහනක් තබන්නට ලැබිමත් මා ලද භාග්‍යයක්.

      Delete
  18. //හිරු හිනැහෙන ගන නිල්වන් අසේ
    පහනකි මා හිරු එලිහෙහි නොදිලෙන..
    පහන ඔබය ඔබමය මා පැතුමද
    හිරු නොව සැඩ කිරනින් මා වෙහෙසන...//

    මගේ ප්‍රියතම ගීයක්..ස්තුතියි මේ විස්තර බෙදාගත්තට..මේ වගේ ප්‍රසංග ගැන තොරතුරු තියන්න කළින් බෙදාගන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. http://www.divaina.com/2013/07/12/cineart01.html

      තවත් රසවත් ලිපියක්..

      Delete
    2. රූ....

      ඇත්තටම මෙවන් ප්‍රසංග තියන්න කලින් ලිව්වනම් හොඳයි නම් තමයි. ඒත් හැම විටම උත්සාහ කරන්නේ නැරඹු පසු ලියන්න. ඉදිරියේදි එවැනි උත්සාහයක් දරන්නම්.

      ගෙවුණ සති අන්ත පුවත් පත් කිපයකම ඔහු ගැන ලිපි තිබුණා.

      Delete
  19. වෙනස්ම හඬක් තියෙන ගායකයෙක්. ආදරය , වේදනාව ගැන ගී ගයන්ටම හොඳ හඬක්...ඒ වගේම ආදරයෙන් බැඳුණු අයගේ හිත්වලට කතා කරන හඬක්!!!

    'රුවන් තාරකා' කියන ගීය තමා රසවත් ලෙසම දැනුනේ. ඒක පොඩ්ඩිගේ අම්මා ආසම ගීයක් හන්දා වෙන්ට ඇති. ගීයේ පදමාලාවට ගායකායා ජීවය දෙනවා අපූරුවට.

    //රුවන් තාරකා නුවන් පායලා
    ඉඳින් හදවතේ රැඳී වේදනා නිවා.//

    ඇත්ත නේද? :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි..

      බණ්ඩාර ආතාවුදය්නගේ ගීවලින් සියයට 95 ක් විතරම ආදරය සහ ප්‍රේමය පිළිබඳ අපූරු සංකල්පනා. ඉතින් ඒව ඇහෙන විට ආදරය නොකරන ඕනැම කෙනෙකුට ආදරය කරන්න හිතෙන ගතියක් ඒ ගිවල තියෙනවා.

      පොඩ්ඩි දන්නවදරෙුවන් තාරකා ගීය කලිත් සංගීතය නිර්මාණය කරලා ඊට පස්සේ ඒ සංගිතයට ගැලපෙන්න වචන යෙදූ ගීයක් කියලා. අනෙක් අතට මේ ගීයේ තවත් විශේෂත්වය තමයි ගිතය පටිගතවෙමින් පවතින අතරතුරම ගීතය ලියු එකක් වීම එය රචකයා සතු අපූර්ව හැකියාවක්

      Delete
  20. නන් සුරන් බැතියෙන් පිදු
    සරු පින් බිමක් විය මිහිතලේ ...
    මේ ගීතය, ඉස්සර හැමදාම වගේ උදේට රේඩියෝවේ යනවා.අතාවුද, වෙනස්ම කටහඩක් ඇති මගෙත් ප්‍රියතම ගායකයෙක් ...

    ReplyDelete
    Replies
    1. සුබා..

      ඔහු දේශාභිමානී ගී ගයා ඇත්තේ ස්වල්පයක් ඒ අතර "නන් සුරන් බැතියෙන් පිදු " ගීය ඉදිරියෙන්ම තියෙනවා. එදා ප්‍රසංගය අවසන් කලෙත් ඒ ගීයෙන්

      Delete
  21. ඔහු වයලීන් වාදනය කරන විට බලා සිටින්න ලස්සන බව මා අසා තිබෙනවා. එය ඔහු උපතින් ගෙනා හැකියාව බවයි විශ්වාසය. තමන්ට අනන්‍ය මධුර හඬක් ඔහුට තිබෙනවා. මේ ලිපිය මා ඔහුගේ දියණියට පෙන්වන්නම්.

    ReplyDelete
    Replies
    1. සුදීක

      එදා රුවන් තාරකා ප්‍රසංගයේ අවසාන භාගයේ ඔහු ඉතාමත් රමණිය අන්දමින් දැහැන් ගතවී වයලිනය විනාඩි කිපයක් වාදනය කළා. ඒක ශාස්ත්‍රීය වාදනයක් කියල වැඩක් නෑ නියමයි.

      ඔහුගේ දියණිය නුවන්තලා එදා ප්‍රසංගයේ "සිහිනයකි ඔබ" ගිතය ගැයුවා ඉතාමත් අපූර්ව අකාරයෙන් ඇයටත් හොඳ ගායන හැකියාවක් තියෙනවා. මහජන බැංකුවේ මාතලේ නේ ඇය සේවය කරන්නේ

      Delete
  22. ඉතාමත් ආසාවෙන් හිටියෙ ප්‍රසංගය නරඹන්න. ඒත් දුව නිසා බිරිඳට එන්න විදියක් නෑ . . . මම බිරිඳ නැතුව තනියම මේ වගේ ප්‍රසංග වලට සහභාගීවෙන්නෙ නෑ. මොනා කරන්නද ඉතිං

    ReplyDelete
    Replies
    1. ඕනමැන්ට..

      ඇත්ත එක්කෙනෙක් දාල තනියම මෙවන් දේවල්වලටත් යන එක හරිනෑ. ඉතින් මොනව කරන්නද සමහර විට ඉදිරියේදි මේ ප්‍රසංගය වේදිකාගත වේවි. එවිට සියලුම දෙනා එක්කම බලන්න.

      Delete
  23. ජයලත් මනෝරත්න ගීත ලියලා තියෙනවා කියලා දැන ගත්තෙත් අදයි. කොයි තරම් ලස්සන පද මාලාවක්ද ඒක. බණ්ඩාර අතාවුද මම ආසම ගායකයෙක්.

    ReplyDelete
    Replies
    1. සයුරී..
      ජයලත් මනෝරත්න ලස්සන සිංදු කිපයක්ම ලියල තියෙනවා. වික්ටර්, එඩ්වඩ්, සුනිල් එදිරිසිංහ, ලක්ෂ්මන් විජේසේකර වැනි අය ගයපුවා. ඒවත් හරි ලස්සන පදමාලා. මනෝ රංගන ශිල්පියෙක වුනාට ඔහුගේ සාහිත්‍ය දැනුම හරි ඉහලයි. ඒ නිසාමනේ ගිය සතියේ පේරාදෙණි සරසවියෙන් ඔහුට සාහිත්‍ය සූරී ආචාර්ය උපාධිය පිරිනැමුවේ.

      ඇත්තටම බණ්ඩාර අතාවුදයන්ගේ මේ ප්‍රසංගය හරිම ලස්සනයි.

      Delete
  24. මධු සඳ තරු අද හමුවිලා
    සිටියද ඔබ මා ළං වීලා
    ඒ දුරක එදා අප පිපිලා
    තිබු, සොඳුරු සෙනේ ගඟ සිඳිලා....

    අපි සැවොම අඩු වැඩි වශයෙන් අත්විඳින සත්‍යයක්....මේක රචනා කලේ මනෝ කියලා දැනගත්තෙ අද තමයි...

    ReplyDelete
  25. "රුවන් තාරකා නුවන් පායලා
    ඉඳින් හදවතේ රැඳී වේදනා නිවා"
    මේක මම ආසම කරන ගීතයක්. බණ්ඩාර අතාවුදයන් ගේ හඬ මේ ගීතවලට ඇත්තටම අමුතු ජවයක් එකතු කරනවා. මට ඒක හරියටම කියන්න දන්නෙ නෑ.

    මේකෙන් තමා දැනගත්තේ මනෝ ත් ගීත රචනා කරලා තියනවා කියලා.

    ReplyDelete
  26. ජයලත් මනෝරත්නගේ ගේය පද රචනා හැකියාව ගැන දැනගත්තේ අදනේ. මනෝරත්නයන් තව සිංදු එහෙම ලියලා තියෙනවද ?

    ReplyDelete
  27. මම රුවන් තාරකා ගැන දිවයින ගියපු විස්තරයක් කියෙව්වා. අතාවුද මගෙත් ප්‍රියතම ගායකයෙක්. ආශාවේ මල් වැටෙන් එබී මම කැමතිම..අනික නෙරංජලා එක්ක කියන සිහිනයකි ඔබ ලස්සන ගීතයක්.. ස්තුතියි දයා ඔබට සජිවි ප්‍රසංගයක් ඒ විදියටම ගෙනාවා වගේ දැනුනා වචන වලින්...

    ReplyDelete
  28. බණ්ඩාර අතාවුද අපේ හදවත්වල විශේශ වූ ස්ථානයක් ස්පර්ශ කරන ගායකයෙක්.

    ReplyDelete
  29. සමාවන්න දයා,අදයි දැක්කේ ........

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...