එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Sunday, 7 July 2013

෴ විස්ලිං නිහාල් 2 වන කොටස පන්සර ගී ෴



                

                         සිවුරුහන් සංගීතයේ ලාංකේය  රිද්මය 

             විස්ලිං නිහාල් Whistling  Nihal...1 වන කොටස
                              මෙතැනින් කියවන්න
                
 ප්‍රවීන වාද්‍ය ශිල්පී නිහාල් සී ජයවර්ධන හෙවත් විස්ලිං නිහාල් ගැන තැබූ පුර්විකා සටහන මගින් ඔහු පිළිබඳ ව වර්තමාන තොරතුරු දන්නා සහෘදයෙක් වේ නම් එම තොරතුරු එවන ලෙස ඉල්ලීමක් කළෙමි.  එසේ  මවිසින්  කරන ලද ඉල්ලිම අනුව ලද යහපත් ප්‍රතිචාරයන් රැසකි. ඒ  අනුව නිහාල් සී ජයවර්ධන පිළිබඳව නවමු තොරතුරු රැසක් සංගීත ක්ෂේත්‍රය නියෝජනය කරන කලාකරුවන් කිහිප දෙනකු ලබා දෙන ලදි.  විස්ලිං නිහාල් දැන් ලංකාවේ පදිංචි ව සිටින බවට මුලින් ම තොරතුරක් ලබා දුන්නේ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතා විසිනි. ඒ සමග ම ප්‍රවීන වාද්‍ය ශිල්පී සහ සංගීතවේදී රෝහණ ධර්මකීර්ති සොහොයුරා විසින් ද, එම තොරතුර තවදුරටත් තහවුරු කර විස්ලිං නිහාල්  පහසුවෙන් සම්බන්ධ කර ගත හැකි අකාරය ද  දන්වා සිටියේ ය.  ඒ අතර වාරයේ ප්‍රවීන වාද්‍ය ශිල්පී සහ  සංගීතවේදී සුසිල් අමරසිංහයන් නිහාල් සී ජයවර්ධනයන් පිළිබඳව සියලු විස්තර සහ හමුවිය හැකි ආකාරයද කියා දී ඔහුගේ දුරකථන අංකයද මා වෙත ලැබෙන්නට සැළැස්වී ය. රුමාල් ජයමුණි සහෘදයාණන් විසින් විදේශයක සිට නිහාල් සී ජයවර්ධනයන්ගේ ඡායාරූප  ඊ මේල් මගින් එවා තිබුණි. ඒ සියළුම සහෘදයන් මේ සටහන ආරම්භයේදී ම සිහිපත් ක ළ යුතු ම ය.    සියල්ල එසේ යහපත් අන්දමින් සිදුවෙද්දී මේ සංගීතවේදියා දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගැනිමට අවස්ථාව ලැබුණි.  අනතුරුව පසුගිය ගෙවුණ දිනක හමුවන්නට ඇරැයුමක් ලැබුණි.  ඒ ඇරැයුම ඔස්සේ  වසර විස්සකට පසු නැවත ඔහු හමු වූ මොහොත මහත් සතුටක් ගෙන දුන් කාරණයක් විය.  අද අස්වැන්න සටහනින් ඒ දශක දෙකකට එහා අතිතයේ සිට වර්තමානය දක්වා ඔහු පිළිබඳව මගේ මතකය අවදි කරමි.


එදා ඒ අපේ පාසල් සමය යි. එකල අප   සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවල ඉගනුම ලබන සමයේ   ලංකාවේ සංගීත රසිකයන් ගායක ගායිකාවන් තරමට ම  ආදරය කළ වාද්‍ය ශිල්පියෙක් අසූව දශකයේ දී සිටියේ ය. ලංකාවේ කැසට් ව්‍යාපාරය අතිශය ජනප්‍රිය ව පැවති ඒ යුගයේ ගුවන් විදුලියේ නිවේදක තෝරයි, අසන්නන්ගේ ඉල්ලීම් සහ සරල ගී වැඩසටහන් අතරට   නිරන්තරයෙන් එකතු වූ  සංගීතමය විසිල් වාදන එකළ අප සිත් නිබඳ පැහැර ගන්නක් බවට පත්ව  තිබුණි. ඒ වන විටත් ඔහු “විස්ලිං නිහාල් අංක 01“ කැසට් පටය නිකුත් කර ඉමහත් රසික ප්‍රසාදයට පාත්‍රව සිටියේ ය. එකල මනරම් සිවුරුහන් සංගීත රිද්මයෙන් අප හද බැඳගත් මේ වාද්‍ය ශිල්පියාගේ පිංතූරයක් පළ නොවූ  ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ සති අන්ත පුවත්පතක් නොමැති තරම් ය. ඒ තරමටම ඔහු ජනප්‍රිය ශිල්පියකු බවට පත් ව සිටියේ ය. අපේ පාසල් දිවිය හමාර වන විට මේ වාද්‍ය ශිල්පියා සිය දෙවන නිර්මාණ එකතුව වූ “විස්ලිං නිහාල් අංක 02 COW BOYකැසට් පටයද නිකුත්කර තිබුණි.

එදා රජරටින් කොළඹ ජිවිතයට එන විට රැගෙන ආ පොත්පත් කැසට් අතරට විස්ලිං නිහාල්ගේ මේ නිර්මාණ ද්විත්වය ම  මවිසින් රැගෙන විත් තිබුණි. මා නවාතැන් ගෙන සිටි නිවසේ කාමරයේ  සිටි සගයා ද  මේ නිර්මාණ එකතුවට මහත් සේ ලොල් වූ රසිකයකු ව සිටි නිසා ම  මේ අපූර්ව හැකියාවෙන් යුතු සෞන්දර්යවේදියා  හමුවී කතාබහ කිරීමේ නොතිත් ආශාවක් එවකට අප සිතු තුළ පහළවී  තිබුණි.

එකල පළවූ පුවත්පතක තිබූ විස්ලිං නිහාල්ගේ  ලිපිනය ඔස්සේ එක හැන්දෑවක ඔහුගේ නිවස සොයා ගියෙමු. එදා මේ වාද්‍ය ශිල්පියා සමග සුහද ලෙස  සංලාපයක ‍යෙදෙන්නට අප දෙදෙනාට ම  අවස්ථාව ලැබුණි. එය අද මෙන් නොව එකල මෙවන් සොඳුරු කලාකරුවකු හමුවන්නට ලැබිම අප ලද සුවිසල් ජයග්‍රහණයකි. කෙසේ වුවත් එදා ඒ සමුගැනීමෙන් පසු කෙටි කලෙකින් විස්ලිං නිහාල් ද විදේශ ගත වූ බැවින් නැවත කිසි ම දිනෙක ඔහු දකින්නට නො ලැබුණ අතර ඔහු  අප මතකයෙන් ද බහැරව ගියේ ය.


ගතවූ කාලය වසර විස්සකට වඩා වැඩි වුවද ඒ  මතකය හිතෙන් බැහැර නො වූයේ එදා රජරටින් එද්දී ගෙනා කැසට් පට අතර මේ කැසට් පට දෙක සුරැකිව මා සතුව තිබු නිසා ය. ගෙවුණු  කාලයේ දී කැසට් පට භාවිතය ද ඉවතට ගොස් සීඩී තාක්ෂණය පැමිණීමත් සමග මතක එය තැන්පතු අතර  තැබුවා විනා නැවත අසන්නට තරමින් සිත පෙළඹවීමක් සිදු වූයේ නැත.

එසේ වුවත් අස්වැන්න ලියන්නට පටන් ගත් දා පටන් ම අවස්ථා කිපයක දී මේ ගැන සටහනක් තබන්නට සිතුවිලි පහල වුවත් එය දිනෙන් දින කල් ගියේ   වසර විස්සකට වැඩි කලක් සංගීත ක්ෂේත්‍රෙයේ නිහඬ ව සිටින මේ විශිෂ්ඨ වාද්‍ය ශිල්පියා වර්තමානයේ කොහේ සිටි දැයි නොදන්නා නිසාත් ගෙවුණු කාලය තුළ ඔහු පිළිබඳව පුවත්පතක පවා කිසිඳු සඳහනක් නොවූ නිසා ය.

එසේ වුවත් පසුගිය අස්වැන්න සටහන නිහාල් සී ජයවර්ධන  පිළිබඳව පූර්විකාව අනුව වර්තමානයේ ඔහු පිළිබඳ ව කිසියම් හෝ තොරතුරක් ලැබෙනු ඇතැයි දැඩි විශ්වාසයක් ගොඩනැගී තිබුණි. එසේ  ගෙවුණ ද්වී  දශකයේ යට ගිය මතකය අලුත් කරමින් නැවතත් පසුගිය දිනෙක මට හමුවූයේ එදා අප පාසල් සමයේ යෞවනයන් ලෙසින් මහත් සේ ආදරය කළ විස්ලිං නිහාල් ම ය. ඒ සිවුරුහන් නාදය තවමත් අප දෙසවන් විනිවිද  හමා ආවේ දශක දෙකකට එපිට දී විඳිනු ලැබූ ඒ  අපූර්ව සංගීතයේ රිද්මය යි.

එදා රෑ ගුවන් තොටුපොළේ දී මා
වෙන් වී ගියේ සිතකින් නොවේ.

නෑසිය මිතුරන් පැමිණීලා
ආසිරි සුබ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ

මේ වන තුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුණා
එය කීමටයි ළතැවුණේ

ගී පද මාලාව : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගිතය: ක්ලැරන්ස් විජේවර්ධන
ගැයුම: මිල්ටන් මල්ලවාරච්චි

එදා රෑ ගුවන් තොටුපොළේ දී ගීතය විස්ලිං නිහාල්ගේ  මියුරු විසිල් වාදනයක් ලෙසින්  මෙතනින් අහන්න.
එදා රෑ by aswanna.blogspot.com

නිහාල් සී ජයවර්ධනයන්ගේ උපන් ගම රාජගිරියේ නාවල ය. ඔහුගේ සීයා ටවර්හෝල් යුගයේ ප්‍රකට නූර්ති ශිල්පියකු වූ රොම්ලස් පෙරේරා මාස්ටර්ගේ නූර්ති කණ්ඩායමේ සාමාජිකයෙකු වූ සෙබස්තියන් පෙරේරා ය. නිහාල්ගේ පියා සංගීතයට එතරම් ඇල්මක් නොදැක්වුව ද මව ආනන්ද සමරකෝන් සූරීන්ගේ දීප්තිමත් ශිෂ්‍යාවක වූවා ය. එවන් පරිසරයක හැදී වැඩුණු නිහාල් ඉගනුම ලැබූයේ කෝට්ටේ ක්‍රිස්තියන් කොලේජ් නමින එවකට හැඳින් වූ   පසුව ශ්‍රී ජයවර්ධන පුර මහා විද්‍යාලය නමින් නම් කළ විද්‍යාලයේ ය.

නිහාල් කුඩා කල පටන්ම ගායනය සහ වාදනය කෙරෙහි උනන්දුවක් දැක්වූව ද පාසැලේ දී බටහිර සංගීත විෂය ඉගැන්වූ ගුරුතුමිය ඒ සංගීත පන්තියට ඇතුළත් කර ගැනිමට මැළි වූ නිසා ඔහු තුළ ඇති වූයේ බලවත් විමතියකි. පෙරදිග සංගීත විෂයක් පාසලේ නොතිබුණ නිසා  හොඳින් ගායනයෙහි දස්කම් දැක්වූවත් විද්‍යාලයේ කටයුතුවලදී ඒවාට සහභාගී විමට ගුරුතුමියගෙන් සහනයක් නොලැබුණි. මේ අතර වාරයේ නිහාල් 5 - 6 ශ්‍රේණිවල ඉගනුම ලැබූ කාලයේ පෙරදිග සංගීතය ඉගැන්විමට  ඒ. ආර්. අමරසිංහ ගුරුතුමා ඒ පාසැලට පත්වීමක් ලැබ පැමිණියේ ය.  අමරසිංහ ගුරුතුමා අන් කිසිවකු නොව සංගීතවේදි සුසිල් අමරසිංහයන්ගේ බාප්පා ය. එවකට සුසිල් අමරසිංහයන් ද  නිහාල්ගේ පන්තියට වඩා එක පන්තියක් ඉහළින් සිටියේ ය.

අමරසිංහ ගුරුතුමා නිහාල්ට හමු වූ මුල් ම සංගිත ගුරුතුමා විය. ඒ ගුරුතුමා යටතේ සිතාරය, එස්රාජ්, යන සංගිත භාණ්ඩ  සමග ගායනයත් ක්‍රමානුකූලව ශිල්පයක් වශයෙන් හැදෑරීමට නිහාල්ට අවස්ථාව උදා විය. එවන් දවසක පාසල් යන එන මග පිටකෝට්ටේ හන්දියේ කඩයක තිබූ බටනලාවක් කෙරෙහි නිහාල්ගේ සිත ඇදී ගියේ නිරායාසයෙනි. එක් දිනෙක  හැමදාම දකින බටනලාව මිල දී ගෙන ගොස් ගෙදරට කීවේ එය දිනුම් අදින ලද ලොතරැයියක ත්‍යාගයක් වශයෙන් ලැබුණ බව යි. කෙසේ නමුත් නිහාල්ට අනෙක් සංගිත භාණ්ඩ සේම බටනලාව වාදනය කරන හැටිද අමරසිංහ ගුරුතුමා හොඳින් කියා දුන්නේ ය. පාසලේ  මෙන් ම පාසල් බාහිර ක්‍රියාකාරකම්වලදී ද  නිහාල් බටනලාවෙන් වැඩි දස්කම් පෙන් වූ නිසා පාසලෙන් සමුගන්නා විට බටනලා වාදනයෙහි මනා දක්ෂයකු ව සිටියේය.

පාසල් දිවිය හමාර කළ ඔහු  1978 දී යුධ හමුදා බටහිර තූර්ය වාදක මණ්ඩලයට බැඳුණි. යුධ හමුදා නිල ඇඳුමත්, හමුදා නීතියත් මහත් කරදරයක් සේ දැනුණ හෙයින්  වසරක් කෙටි කලකින් ඔහු යුද හමුදා තූර්යවාදක මණ්ඩලයට ආයුබෝවන් කීවේ ය.  ඉන් අනතුරුව 1979 දී ගුවන් විදුලි සංස්ථාවේ සහන වාද්‍ය ශිල්පියකු ලෙසින් ගුවන් විදුලියට  එකතු වන්නට ලැබිම මහත් ජයග්‍රහණයක් වූයේ එවකට සංගිතඥයින් සහ ගායක ගායිකාවන් නිතර ගුවන්විදුලියට ආ ගිය නිසා ය. 

ඉතාමත් කෙටි කලෙකින් ගුවන්විදුලි වාදක මණ්ඩලයේ ස්ථිර වාද්‍ය ශිල්පියකු විමට වරම් ලද පසු ඒ.ජේ.කරීම්, ඩයමන්ඩ් පෙරේරා, වැනි එවකට ගුවන්විදුලි වාදක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයින් සමග වැඩ කරන්නට අවස්ථාව උදා විය. ගුවන් විදුලි වාදක මණ්ඩලයේ බටනලා වාද්‍ය ශිල්පියකු ලෙස කටයුතු කරන අතර ගායක ගායිකාවන්ට සරල ගී වැඩසටහන් ලැබෙනවා සේම  සංගීත ශිල්පින්ට සිය නිර්මාණ ඉදිරිපත් කිරිමට ලැබෙන වැඩසටහන් එකල ගුවන්විදුලියේ ක්‍රියාත්මක වූ නිසා නිහාල්ටද එවැනි අවස්ථාවක් නැවුම් මිහිර වැඩසටහනෙන් ලැබුණි. එදා තමන් විසින්ම නිර්මාණය කර ගත් බටනලා වාදනයක් ( Flute Solo ) එම වැඩසටහනේ දී ඉදිරිපත් කිරිමට  හැකි විය. ඒ බටනලා වාදනය ගුවන්විදුලිය ඔස්සේ අසා සිටි සංගීතවේදී සරත් දසනායකයන් ද එවකට නිරන්තරයෙන් ගුවන් විදුලියට ආගිය සංගිත අධ්‍යක්ෂකවරයෙකු විය. පසු දින ගුවන් විදුලියට පැමිණි සරත් දසනායකයන්  එහිසිටි  සිය මිතුරකු වූ එවකට ගුවන් විදුලියේ සේවය කළ  ස්ටැන්ලි ද අල්විස් ගෙන් පෙර දින ඇසූ බටනලා වාදනය පිළිබඳවත් වාද්‍ය ශිල්පියා පිළිබඳවත් විස්තර විමසා සිටි නිසා ස්ටැන්ලි විසින් නිහාල් සී ජයවර්ධන සරත් දසනායකයන්ට හඳුන්වා දුන්නේ ය.

නිහාල්ගේ මුල්ම සංගිත වැඩසටහන ඇසු සරත් දසනායකයන්ට ඔහුගේ සංගිත භාවිතය පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබූ නිසා බාහිර පටිගත කිරිමකට බටනලා වාද්‍ය ශිල්පියකු ලෙසින් නිහාල් කැඳවූයේ බොරැල්ල බිෂොප් පැලස් හි තිබූ ශබ්දාගාරයට ය. එදා එහි පටිගත කිරිමට නියමිව තිබුණේ විජය රාමනායක නිෂ්පාදනය කරමින් තිබු අමරදේවයන්ගේ “පිපුණු කුසුම“ කැසට් පටයයි. එදා එහිදී පටිගත කළ අමරදේවයන්ගේ “පා වෙනා නිල් වලාවේ“ ගීතයට පළමු වරට බටනලා වාදනය මුසු කළේ නිහාල් විසිනි. එය ඔහුගේ පළමු බාහිර පටිගත කිරීම විය. එදා සරත් දසනායකයන්  පෙන්වා දුන් මංතලාවේ නිහාල් සරත් දසනායකයන්ගේ අමරණීය ගීතයක් විසිල් කළේ මෙසේ ය.

උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වලා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිනිගත් හදවත්
තනිවේවි එක්ටැම්ගේ..

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාලු හුදකලා සුළඟ පමණි උරුමේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවි එක්ටැම්ගේ

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැඟව ගියේ
හඬා වැටෙන සිත සදා සරණ මට
තනිවේවි එක්ටැම්ගේ..

ගී පද මාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: සරත් දසනායක
ගැයුම : විශාරද ගුණදාස කපුගේ

එක්ටැම්ගේ  ගීතය විස්ලිං නිහාල්ගේ  මියුරු විසිල් වාදනයක් ලෙසින්  මෙතනින් අහන්න
උන්මාද සිතුවම් by aswanna.blogspot.com

එදා සරත් දසනායකයන් එසේ විවර කර දුන්  සංගිත මංතලාව ඔස්සේ ස්ටැන්ලි පීරිස්, සරත් ද අල්විස්, ඒ.ජේ.කරීම්, වික්ටර් රත්නායක, රෝහණ වීරසිංහ  ආදී සංගීතවේදීන්ගේ වාද්‍ය වෘන්දයන්හි බටනලාව හිමි වූයේ නිහාල්ට ය. ඒ නිසා ම එච්.ආර්.ජෝතිපාලයන්ගේ ජෝති රාත්‍රිය ප්‍රසංගයේ බටනලා වාද්‍ය ශිල්පියා ලෙසට ස්ටැන්ලි පීරිස් විසින් තෝරාගත්තේ ද නිහාල් ය. එය ඔහුගේ මතකයේ සුන්දරම කඩඉමකි.  එවන් සුන්දර අත්දැකීමක් ජෝතිපාලයන් සමග එකම වේදිකාවේ වාද්‍ය ශිල්පියකු ලෙසින් කෙසේ විඳින්නට ඇත්දැයි  සිතෙන්නේ මෙවන් මියුරු ගීයක් හිතේ ඇඳෙන විට ය. මේ නිහාල් ජෝතිපාලයන් වෙනුවෙන් හැඬ වූ ඔහුගේ විස්මිත සිවුරුහන් නාදය යි.

පායා ඇයි හිනැහෙන්නේ
නිල් ගුවනේ තරු රාශී
නැතිවී නැතිවී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්තී

ඇගෙ වත මට නොපෙනේ නම්
පුන් සඳ ඇයි හිනැහෙන්නේ
නැති දා ඇගෙ ගී රාවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ
කොවුලනි ඇයි ගී ගැයුවේ
වනයේ පිපි මල් ගොමුවේ
සමනලයිනි ඇයි නැටුවේ
නැතිවී නැතිවී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්තී

ඇග දිමුතු දසන් නොපෙනී
මට මොකටද මුතු පන්තී
ඇගෙ කඳුළැලි නැති විටදී
ඕනෑ නෑ දියමන්තී
ඕනෑ නෑ දියමන්තී
පායා ඇයි හිනැහෙන්නේ

ගී පද මාලාව: ඇලෝයි ගුණවර්ධන
ගැයුම: එච්.ආර්.ජෝතිපාල

පායා ඇයි හිනැහෙන්නේ  ගීතය විස්ලිං නිහාල්ගේ  මියුරු විසිල් වාදනයක් ලෙසින් මෙතනින් අහන්න.
පායා ඇයි by aswanna.blogspot.com

එවැනි පටිගත කිරිම් අතරතුරදී නැගෙන මිහිරි ගී තනු සිවුරුහන් කිරිමට නිහාල් පුරුදු ව සිටි නිසා නුගේගොඩ නෙකෝ ශබ්දාගාරයේ ස්ටැන්ලි පිරීස් චිත්‍රා සෝමපාලයන්ගේ කැසට් පටයක ගිත පටිගත කිරිමට නිහාල් ද සහභාගී කරගෙන තිබුණි. එසේ එදා පටිගත වෙමින් තිබුණේ චිත්‍රා සෝමපාලගේ දුන්හිඳ හැලෙනා ගීතය සහ දඹුලු ගලේ ගීතය යි.  පටිගත කිරිම් අවසානයේ නිහාල් ස්ටැන්ලි පිරීස්ගෙන් දුන්හිඳ හැලෙනා ගීයේ මියුසික් ට්‍රැක් එක ඉල්ලා සිටියේ ය. ස්ටැන්ලි පිරිස් ද දෙවරක් නොසිතා නිහාල්ට ඒ ට්‍රැක් එක ලබා දුන්නේ ය. පටිගත කිරිම් අවසානයේ ස්ටැන්ලි පීරිස් ලබාදුන් ට්‍රැක් එක ඒ ශබ්දාගාරයේ ම දුන්හිඳ හැලෙනා වචන වෙනුවට නිහාල් සම්පූර්ණ ගීතයම විසිල් කළ අතර එය මර්වින් බේන්ස්  විසින් පටිගත කරන ලදි.  කිසිවකු නොසිතූ පරිදි ගීතයට විසිල් වාදනය අපූර්ව රසයක් සමග ආලෝකයක් එකතු කර තිබුණි. ඒ විසිල් වාදනය ස්ටැන්ලි පීරිස්ට ද අසන්නට ලැබුණි. ඔහුද පුදුමයට පත් කළ ඒ විසිල් වාදනය අසා ඒ පටිගත කිරිමට යොදාගෙන තිබූ දඹුලු ගලේ ගීයේ සංගීත ට්‍රැක් එක ද නිහාල් අත තැබීය. නිහාල් එය ද විසිල් කළේ ය. ඒ අයුරින් ගිත දෙකක් මුල් වරට විසිල් වාදන ලෙසින් ඉදිරිපත් කිරිමට නිහාල්ට හැකි විය.

නිහාල් සී ජයවර්ධන මහතා සහ එම මහත්මිය
එසේ පටිගත කළ ගී අනුවාදන  දෙක නිහාල් ඔහු සතුව තබා ගෙන සිටි අතර තුර එක් දිනෙක ගුවන් විදුලි නිවේදක කේ.ඩී.කේ ධර්මවර්ධනයන්ට මේ අනුවාදන දෙක ගැන ලැබුණ තොරතුරක් අනුව නිහාල් ගෙන් ඉල්ලාගෙන අසා තිබුණි. කේ.ඩී.කේ. ඒ මොහොතේ ම කැසට් පටය රැගෙන ගුවන්විදුලියට ගොස් ඔහුගේ එදින ඉදිරිපත් කළ මුල්ම වැඩසටහනෙන් රටට ම ඇසන්නට සැළැස්වී ය.  දින කිපයක් ඉක්ම යන විට ගී අනුවාද දෙක සඳහා ඉමහත් ප්‍රතිචාර ලැබෙන්නට විය. එකල ගුවන් විදුලියේ සිටි ප්‍රවීන නිවේදිකාවක වන චන්ද්‍රා වයමන් මහත්මිය කේ.ඩී.කේ. සමග නිහාල් හමුවූ මොහොතක කේ.ඩී.කේ. අමතා අපි මීට පස්සේ නිහාල්ට “විස්ලිං නිහාල්“ කියමු යැයි කීවා ය. එතැන් පටන් ගුවන් විදුලියේ කවුරුත් අතර නිහාල් ප්‍රසිද්ධ වූයේ “විස්ලිං නිහාල්“ යන නමිනි.

අසූව දශකය අග භාගය අවසානයේ නන්දා මාලනියගේ “පවන“ ප්‍රසංගයේ බටනලා වාද්‍ය ශිල්පියා  ලෙස ද නිහාල් කටයුතු කළේ ය. ඔහු ඊට පෙර “සත්‍යයේ ගීතය“ ප්‍රසංගයේ අවසන් ප්‍රසංගවල වාද්‍ය ශිල්පියෙකු ලෙස කටයුතු කර තිබුණි. ඒ නිසා ම “පවන“ ප්‍රසංගය ආරම්භයේ සිට අවසාන වැඩසටහන තෙක් ම නිහාල් එම ප්‍රසංගයේ සිටියේ ය. ඒ පවන ප්‍රසංගයේ අතර මැද එක මොහොතක නිහාල් “සඳ එළිය ගඟක් වී” ගීතයට බටනලාවත් සමගම සජීවිව විසිල් නාදයක් මුසු කළේ ය. එය ඇය ගැයූ  ගී අතර සුවිශේෂ ගීතයක් බවට ඒ ගීය පත්විය. ( එදාපවන ප්‍රසංගයට ඇය ගැයූ ඒ ගීය මෙතනින් අහන්න) ඒ ආකාරයෙන් සිවුරුහන් හඬින් නාද රටා මැවූ නිහාල් නන්දා මාලනියගේ මියුරුගී කීපයක් ම සිවුරුහන් නදින් හැඩ ගන්වා තිබුණි.  මේ එවන් අවස්ථාවකි.

කුරුටු ගෑ ගී පොතේ - කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා -  ගෙනේ වද වේදනා

ඔබෙන් පෙරදා උගෙන කවි කම්
ලියූ කවි ගිතිකා
ඔබේ නාමෙන් හැඬූ කඳුළින්
ගයමි මම කිවිඳුනේ

මියුරු කවිවැල් කුරිරු ස්වරයෙන්
ඇසේ රෑ යාමයේ
නොලැබ කිවිඳුන් කුමට කවිකම්
කිවිඳ මට කවි ලොවේ

ගී පද මාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: ස්ටැන්ලි පීරිස්
ගැයුම: විශාරද නන්දා මාලනී

කුරුටු ගෑ ගී පොතේ ගීතය විස්ලිං නිහාල්ගේ  මියුරු විසිල් වාදනයක් ලෙසින්  මෙතනින් අහන්න.
කෙසේ නමුත් පවන ප්‍රසංගය අවසන් වන විට විස්ලිං නිහාල් නිර්මාණය කළ කැසට් පට දෙකම ඉමහත් රසික ප්‍රසාදයට ලක්ව තිබුණි. එහෙත් නිහාල්ගේ විසිල් නාදයට ගුවන් විදුලියේ තිබූ ආයු කාලය අවසන් වන යුගය එළඹෙමින් තිබුණි. නිහාල්ගේ විසිල් නාදයට  ගුවන්විදුයේ දොරටු වැසුණේ එවකට එහි සභාපති වරයා ලෙස පත්ව ආ වත්මන් සභාපතිවරයාගේ අඥාන ක්‍රියා කලාපයකි. සිවුරුහන් වැනි රස්තියාදු සංගීතයට ගුවන්විදුලියේ ඉඩ නැතැයි කියමින් ඔහු  නිහාල්ගේ සියලු විසිල් ගී තනු  භාවිතයෙන් ඉවතට දැමුවේ ය. ඒ සමග ම අයි.ටී.එන් රූපවාහිනියේ නිහාල් ඉදිරිපත් කර  තිබූ වැඩසටහන් කීපයක් ද අතුරුදහන් ව තිබුණි. නිහාල්ගේ සිත දැඩි කළකිරීමට පත් විය. ඔහු සියලු දේ අතහැර විදෙස් ගතවිමට තීරණය කළේය. ඒ වන විටත් නන්දා මාලනිය සමග යුරෝපා සංචාර කීපයකට සහභාගී වී තිබුණ නිසා ඇමරිකා එක්සත් ජනපදයට වීසා ලබා ගැනිමට අපහසු නොවී ය. දෙ වරක් නො සිතා ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන 1990 වසරේ දී ඔහු ඇමරිකා එක්සත් ජනපදයට ගියේ ය. එහි දී ද සංගීතයට තිබුණ කැමැත්ත නිසා ම වාද්‍ය ශිල්පියෙකු ලෙසින් කටයුතු කිරිමට අවස්ථාව උදා විය.
දියණිය සමග

වසර කීපයක් එක්සත් ජනපදයේ සිට නැවත ලංකාවට පැමිණ නැවතත් ගුවන් විදුලියට සම්බන්ධ වි වාද්‍ය ශිල්පියෙකු ලෙස කටයුතු කර 2000 වසරේ ගුවන් විදුලියෙන් සහ සංගීත කටයුතු වලින් සම්පූර්ණයෙන් සමුගත්තේ ය.

ගුවන් විදුලියෙන් සහ සංගීත කටයුතුවලින් නිහාල්  සමුගන්නා විට ඇමරිකාවේ සිට රැගෙන ආ ශබ්ද විකාශන යන්ත්‍ර සැපයීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබූ නිසා ආදායම් අතින් ගැටලුවක් නොවුණත් රාත්‍රී එළිමහන් සංගීත ප්‍රසංගවල නිදි වැරීමට දැක්වූ අකමැත්ත නිසා ම ඒ සියළු සංගිත ශබ්ද උපකරණ සියල්ල විකුණා දමා නිවසේ කලාගාරයක් ඉදි කළේ නිදහසේ ගීතයක් සංගිතයක් විඳීමේ ඉඩ පහසුව සකස් කර ගැනිම පිණිස ය. ගහකොළ සහිත ස්වභාවික පරිසරයක පිහිටි ඒ කලාගාරය මගේ ද සිත පැහැර ගත් තැනක් ම විය. තමන් වටා සිටින සහෘදයන් සමග මසකට වරක් ප්‍රවීන ශිල්පියෙකු කැඳවා ප්‍රසංගයක් පැවැත්වි ම ඔහුගේ සිරිත ය. ඒ අනුව අමරසිරි පීරිස්, බණ්ඩාර අතාවුද සහ ඩී.ඩී.ගුණසේන ආදී ශිල්පීහු මේ වන විට ඒ කලාගාරය ඔවුන්ගේ සංගීතයෙන්, ගායනයෙන් හා වාදනයෙන් වර්ණවත් කර තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු තුළ තවම ජිවත් වන සංගීත රසවන්තයා, අදාරණීය වාද්‍ය ශිල්පියා  නිහාල් අතහැර ගොස් නැති බැවිනි. දැන්  ඔහු නිස්කාංසුවේ  ගීත අසන විඳින රසිකයෙකි. හුදකලාව කලාගාරයට වී සිතාරය වයයි.සොබාදහමට මහත් සේ ආදරය කරයි. ඔහුගේ කලාගාරය සහිත නිවහන  ඔහුගේ ව්‍යාපාරය බවට පත්කර ගෙන සිටී. සැබැවින් ම නිහාල් අද ව්‍යාපාරිකයෙකි.

සුළඟ නුඹ වගෙයි - සිත් මල වටා  එතෙයි
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නට ම හදයි
වැස්ස නුඹ වගෙයි - සිත් මලට ඇද වැටෙයි
මලේ පාට නො සේදීම පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් නුඹයි
පසුපසම එළව එළවා විත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ සිත අරන් ගියා පුදුමයක් නොවෙයි
සිත තනි කලෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි පුදුමයක් තමයි

ගී පද මාලාව: යමුනා මාලනී පෙරේරා
සංගිතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම : කරුණාරත්න දිවුල්ගනේ

සුළඟ නුඹ වගෙයි  ගීතය විස්ලිං නිහාල්ගේ  මියුරු විසිල් වාදනයක් ලෙසින් මෙතනින් අහන්න.
සුළඟ නුඹ වගෙයි by aswanna.blogspot.com

නිහාල් සී ජයවර්ධනයන් සංගීතමය ආකෘතියක දී සිවුරුහන් නාදය භාවිතා කළේ ඉතාමත් නිර්මාණශීලිව ය. විවිධ භාෂාවලින් ගැයුණු ගීත ඒ ගීතයේ රසයට, ස්වර පන්තිවලට හානි නො වන අයුරින් සිය සිවුරුහන් සංගීත නාදය, ඒ  නාදයේ රස ජනනය වන අයුරින් නිර්මාණාත්මක ආකෘතියකට  හසුකරගෙන තිබුණි. සැබැවින් ම එවැන්නක් කළ හැක්කේ ශිල්පීය නිපුණත්වය සහ දක්ෂතාවයෙන් හෙබි නිර්මාණකරුවකුට පමණි.

60 -70 දශකයන්හි  මුල් වරට බටහිර සිනමාවෙන් සහ බටහිර ගීතවලින් ඇසුණු සිවුරුහන් සංගීත රාවය 70 දශකයේ හින්දි සිනමාවට ද පැමිණ තිබුණි.  ඒ නිසා 70 දශකයේ හින්දි සිනමාවේ බොහෝ සිනමා කෘතිවල ඇතුළත් වූ ගීතවලට ඒ  සිවුරුහන් නාදය ඇතුළත්ව තිබිම තුළින් පිළිබිඹු වන්නේ  මෙවැනි සංගීතමය නාදයක  ප්‍රබලත්වය සහ එයින් ඒ කෘතියට ලැබෙන සහ  ලබාගත හැකි ආලෝකය  පිළිබඳ ව අතීතයේ පටන් ම දැනුමක් සහ අවබෝධයක් එදා ප්‍රායෝගික සිද්ධාන්තයක් ලෙසින් ඒ සංගීතවේදින්ට තිබූ බවයි.

ඒ අතරින් මගේ මතකයට නැගෙන්නේ 1975 දී තිරගත වූ රමණීය හින්දි චිත්‍රපටයක් වූ ජූලී (Romantic – Hindi ) චිත්‍රපටය යි. (This film is most suitable for adults ) 1975  වසරේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය සහ හොඳම සංගීතය ඇතුළු සම්මාන ගණනාවකට හිමිකම් කියූ ජූලී චිත්‍රපටයේ ලක්ෂ්මී නාරයන් සහ වික්‍රම්ගේ රංගනය සිනමා ලෝලීන්ගේ සදාකාලික රංගන මතකයන් අතරට එකතු කරන්නට රාජේෂ් රෝෂන්ගේ සංගීතයට කිෂෝර් කුමාර් සහ ලතා මංගේෂ්කාර් ගැයූ Bhool Gaya Sab Kuch ගීතයට හැකි විය. එදා සිට අද වනතුරු  ඒ ගිතය සදාකාලික ප්‍රේම ගීයක් බවට පත් වන්නේ  එහි අති මධුර ගායනයත් සංගීතයත් නිසා ය. ඒ මතකය අවදි කරගන්න මෙතැනින් ජූලි චිත්‍රපටයේ ඒ මියුරු ගීතමය දසුන මොහොතක් බලන්න.


video

 
එදා “Julie” චිත්‍රපටයෙන්   හින්දි සිනමාවේ අමරණිය ගීතයක් බවට   පත් වූ  කිෂෝර් කුමාර් සහ ලතා මංගේෂ්කාර් ගැයූ Bhool Gaya Sab Kuch ගීතය නිහාල් සී ජයවර්ධනයන් හින්දි ගීතයට නො දෙවෙනි වන ලෙසින් සිය සිවුරුහන්  සංගීතයට මුසු කළ අයුරු තවමත් ඔහුගේ රසිකයන්ගේ මතකයෙන් බැහැර නො ගොස් ඇතැයි මට සිතේ.  එදා රස මැවූ ඒ Bhool Gaya Sab Kuch ගීයේ සිවුරුහන් නාදය මොහොතකට නැවතී මෙතැනින් අසන්නට ඔබට ද ඇරැයුම් කරමි. 


ජූලී by aswanna.blogspot.com

නිහාල් සී ජයවර්ධනයන් සරල ශාස්ත්‍රීය මෙන් ම ජනප්‍රිය සංගීතයේ හැඩතල ද හඳුනා ගෙන පෙර අපර දෙදිග ගුරු කුලයට අයත් සංගීතයේ රස රංජනනය කරමින් අත්දැකීම් බහුල සංගීත වේදියෙකු ලෙසත් කලාකරුවක් ලෙසත් සිය ආත්මීය පාර්ශවය රසික සහෘදයන් වෙනුවෙන් විවර කරමින්  නාද රසයෙන් පිරවූ  සුවිශේෂ වාද්‍ය ශිල්පියෙකි. අපට නිතර ඇසෙන විසිල් නාදයේ ( Sweet Tone) සහ   ( Deep Tone) අතර වෙන ඔහු මනාසේ වටහාගෙන සංගීතයේ නියැලුන වාද්‍ය ශිල්පියෙකි. එහිදී  නිහාල් නියෝජනය කළේ සිවුරුහන් නාදයේ  ( Deep Tone) නාදයයි. ඒ නිසා ම ශිල්පීයත්වයේ නිපුණත්වයත්, පරිණත බවත් සපුරා සිටි ඔහුට සංගීතයේ රස සංවේදනා පිළිබඳ මනා වැටහීමක් සහ අවබෝධයක් තිබුණි.  ඔහු එදා මියුරු සරයෙන් විසිල් වාදනය කළේ ඒ රස සංවේදනාවන් එලෙස ම රඳවා තබා ගනිමිනි.

 ඕනෑම ගීතයක් හෝ සංගීත ඛණ්ඩයක්   ( Sweet Tone) ආකාරයෙන් සංගීතය උගත් හෝ නූගත් ඕනැම කෙනෙකුට විසිල් වාදනයක් ලෙසින්  කළ හැකි ය. එහෙත් එහි ( Deep Tone) කොටස අනුගමනය කරන්නෙකුට සංගීතයේ ඇති පරිණත බව, හඬ පාලනය සහ විස්තාරණය කිරීමේ ප්‍රමාණය පිළිබඳව මනා දැනුමක් තිබිය යුතුම ය. ඒ දැනුම සහ අවබෝධය නිහාල්ට තිබුණි. ඔහු භාවිතා කළේ ඒ මියුරු සිවුරුහන් නාදය යි. ඒ නිසා අදටත් ශිෂ්ඨ සම්පන්න  සමාජය විසින් බැර කරන්නා වූ සංගීතමය නාදයක් වූ සිවුරුහන් නාදය 80 සහ 90 දශකවල එක්තරා යුගයක දී  සංගීතයේ සුවිශේෂ රිද්මයක්  බවට පත් කළේ විස්ලිං නිහාල් හෙවත් නිහාල් සී ජයවර්ධන නම් වූ මේ වාද්‍ය ශිල්පියා බව කිව හැකිය.෴

විශේෂ ස්තූතිය:

ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතාට
සංගීතවේදී රෝහණ ධර්මකීර්ති සහ සුසිල් අමරසිංහයන්ට
රුමාල් ජයමුණි සහෘදයාණන්ට
නිහාල් සී ජයවර්ධනයන් සහ එම මහත්මියට සහ
දුල්මිණි ජයවර්ධන මහත්මියට







34 comments:

  1. ඇත්තටම හිත ඇදිලා යන විසිල් නාදයක් ඔහුට තිබෙනවා ...මේවා අහලා තිබුනේ නැහැනේ ...ස්තුතියි අපිටත් අහන්න සලස්වපු එකට !

    ReplyDelete
    Replies
    1. රෙහානි..
      විසිල් කරන්න හැමෝටම බෑ ඒකත් කලාවට කළ යුතුයි. නැත්නම් රස්තියාදුකාර වැඩක් වෙනවා. මේවා දශක තුනකට වඩා පැරණියි.

      Delete
  2. මේ ටික ආයේ අහන්න ලැබිච්ච එක නම් නියමයි.. කියන්න වචන නැති තරම් සන්තෝසයි

    ReplyDelete
    Replies
    1. පැතුම්..

      කාලෙකට පස්සෙ නිසා අලුත් බවක් දැනෙනවා. ඔන්න මම මේ ගිත ටික ඊමේල් කළා..

      Delete
  3. අනේ මට තේරෙන්නේ නැහැ මේකට මොනවා කියන්නද කියලා... සෑහෙන කාලෙකින් පුදුම ආසාවකින් එක දිගට බ්ලොග් එකක් කියවලා සංගීතය රසවින්දා.. ඔබේ මෙහි පළවෙනි කොටස කියවලා බලන් හිටියේ මේ දෙවෙනි කොටස එනතුරුයි.. දැන් එය දැක රස විදින්න පුළුවන් උනා.. හරිම සතුටුයි...

    බොහෝම පිං..! මේ විස්ලිං නිහාල් මහත්මයා ගැන මේ විදියට ලිව්වට.. මොකද අද මේ විදියට අන්තර්ජාලයට මේ විස්තර ඔබ එකතු කලේ නැත්තං ඔහු පොඩි පිරිසකට විතරක් මතකයක් වෙලා හැමෝටම අමතක වෙලාම යන්න තිබුනා..දැන් මේ විදියට අළුත් වෙච්චි විස්ලිං නිහාල් මහත්මයාගේ මතකය සදහටම අන්තර්ජාලයේ මේ පිටුවේ තියේවී ඒ වගේම ආයෙත් අපේ හිත් වල සෑහෙන් කාලයක් රැදිලා තියේවි..!

    ආයෙමත් ස්තූතියි.!

    ReplyDelete
    Replies
    1. මලී...

      බෙහෙවින්ම ස්තූතියි. ඇත්තෙන්ම වසර විස්සකට පස්සේ විස්ලිං නාහල් මහතා සොයාගිය කෙනකෙු හැටියට මටත්, ඔහුටත් මේ සටහන සැබැම සතුටක්.මටත් වඩා සතුටු වුනේ නිහාල් මහතායි.

      Delete
  4. සුන්දර වියමනක් වන් ලියමනක්... ඒ වගේ ම බොහොම වටිනවා...සතුටුයි.. ස්තුතියි ඔබට...!

    ReplyDelete
    Replies
    1. දිනාලි..

      බෙහෙවින්ම ස්තූතියි ඔබටත්..

      Delete
  5. කොහෙන්ද දෙයි හාමුදුරුවනේ මේ ටික හොයාගත්තෙ?

    ReplyDelete
    Replies
    1. හෙනහුරා..

      හැම අනාගතයක් වගේම වර්තමානයත් ගොඩ නැගෙන්නෙ අතිතය තුළින් මේවා මිට දශක දෙදකට වැඩි කාලයකට එහා බිහිවූ අමරණිය නිර්මාණ

      Delete
    2. හෙනහුරා..

      වර්තමානයත්, අනාගතයත්, ගොඩනැගෙන්නේ අතීතයතුළින් ඒ මියුරු අතීතයවන් වර්තමානයක් අපට අද නැතිවුණත් අතීතයේ බිහිවූ දේවල් තවමත් විඳින්න පුළවන් සමාජයක් අපවටා තියෙනවා.

      Delete
  6. වැඩි කලක් යන්නට මත්තෙන්ම ඔබ ඔහුව සොයාගෙන නේද ? හරිම රසවත් විස්තරයක් . ඔහුගේ මියුරු වාදන රස වීඳින ගමන්ම මේ විස්තර බලනවිට දැක නොතිබුනත් බොහොම සුපුරුදු බවක් හිතට දැනෙනවා .

    ReplyDelete
    Replies
    1. ගිම්..

      ඇත්තටම මට ඔහුව හමුවිමත් එක්තරා සතුටක්. ඒ සොයැගැනිමට කැපවූ අයගේ වෙහෙස මහන්සියත් මේතුළ තියෙනවා. ඒ නිසා නිහාල්ට වගේම මටත් සතුටුයි.

      Delete
  7. ස්තුතියි දයා..!

    මට හොඳටම හිතට වැදිච්ච තව එක ගීතයක් තමයි "කවි කාරියේ සිංදු කියනා ලඳේ" ගී අනුවාදනය...
    විස්ලින් නිහාල් නැවත අපි අතරට මේ වගේ නොමැකෙන නිර්මාණ සමඟ පැමිණෙන එකක් නැද්ද...?

    ReplyDelete
    Replies
    1. ප්‍රේමකිර්ති ගි.

      "කවි කාරියේ සිංදු කියනා ලඳේ" ඒක තියෙන්නේ විස්ලිං නිහාල් අංක 01 කැසට් එකේ. ඇත්තෙන්ම මසර විස්සකට පස්සෙ ඔහු හමුවුන වෙලාවේ කිව්ව එක දෙයක් තමයි මගේ විස්ල් එක ගොලුවෙලා තිබුණෙ. නමුත් මේ තරම් රසික පිරිසක් තවමත් ඔහු වට ඉන්න එක විශාල සතුටක් කියලා. සමහර වෙලාවට අනාගතයේ දවසක තවත් මොනව හරි නිර්මාණයක් කරයි.

      Delete
  8. //ගුවන්විදුයේ දොරටු වැසුණේ එවකට එහි සභාපති වරයා ලෙස පත්ව ආ වත්මන් සභාපතිවරයාගේ අඥාන ක්‍රියා // හ්ම්..!!

    කුරු‍ටුගෑ ගී පොතේ ගීයෙ අනුවාදනයට ඉතා කැමතියි..!

    ReplyDelete
    Replies
    1. වීපොකුර..
      මේ එක එක නිර්මාණයෙන් දැනෙන්නේ වෙනත්ම හැඟිමක් වගේම වෙනත්ම රසයක් එකිනෙකට වෙනස්ම හැඟීම් සමුදායක්.

      Delete
  9. Newatha Ohu Mathu karamu
    Lipiya Bohomathma watinawa...

    ReplyDelete
    Replies
    1. විදුල ගුවන් විදුලිය.

      බෙහෙවින්ම ස්තූතියි විදුග ගුවන්විදුලිය වැනි මාධ්‍යකින් තැබූ මේ සටහනට.ස්තූතිය ඔබටත් ඔබ ආයතනයටත්.

      Delete
  10. එදා පින්තුර හොයා ගන්න බැරි උනාට මේ ලිපියට පින්තුර සැහෙන ප්‍රමාණයක් හොයාගෙන. සින්දු ටිකත් ඇහුවා. බොහොම ස්තුතියි ඒ විරල දේවල් ගැන අපි දැනුවත් කරනවට.

    ReplyDelete
    Replies
    1. සයුරි
      ඇත්තෙන්ම එදා මගේ උත්සාහය වෙනුවෙන් සෑහෙන පිරිසක් අරගත්ත වෙහෙස නිසා ඡයායරූප වගේම නිහාල් මහතාවත් හමුවුණා.මෙවැනි විරල මියුරු සංගිතමය අතිතයක් ලංකාවෙ රසියකයන්ට තියෙනවා.

      Delete
  11. obata bohoma pin meedeewal apita hoyala kiyala denawata...

    ReplyDelete
    Replies
    1. දිලාන්..

      බොහොම ස්තූතියි.. අගය කළාට

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. විස්ලින් නිහාල් කියන්නෙ මගෙ ළමා වියේ අමතක කරන්න බැරි කොටසක්. මගෙ තාත්ත ගාව විස්ලින් නිහාල්ගෙ කැසට්පට එකතුවක් තිබුන. ඉතාමත්ම ආසාවෙන් අහපු නාද රටාවන් ටිකක්

    ReplyDelete
    Replies
    1. nimcraz

      ඒ පැරණි නිර්මාණ එකතුව තමයි මේ ඉදිරිපත් කළේ.

      Delete
  14. වසර විසි පහකටත් එහා අතීතයක අමතකව ගොස් තිබූ මතකයක් නැවතත් අවදිකිරීම වෙනුවෙන් මාගේ ස්තූතිය

    ReplyDelete
    Replies
    1. ඕනමැන්ටල්

      ඇත්තෙන්ම මියුරු අතීතයක්. ඔබටත් ස්තූතියි

      Delete
  15. ඉතාමත්ම කුඩාකාලයේදි මේ වාදන ඇසුව බවට මතකයක් තියනව. ඇත්තටම ඉස්තූතියි නැවත වතාවක් මේගැන මතක් කලාට.

    ඉතාම ආසාවෙන් ලිපිය කියෙව්වා පමනක්ම නෙවෙයි, සංගීතයත් රසවින්දා...

    ඇත්තටම විස්ලිං සන්දර්ශනයක් කරන්න ඔහුට අදහසක් නැත්ද?

    ReplyDelete
    Replies
    1. විදුල
      ඇත්තටම ඔහු දැන් සංගීතයෙන් ඉවත්වෙලා .ඒත් මේ රසික ප්‍රතිචාර අනුව යම් නිර්මාණ එකතුවක් කරන්න ඔහුට බලාපොරොත්තු ඇතිවෙලා

      Delete
  16. කලාකරුවන් දෙදෙනෙකු මුණ ගැසුනු බව ඇසීමත් සතුටක්..ඔහු තනිවී නොමැති බව ඔහු දන්නවා නම් එයත් ලොකු සතුටක්..

    ස්තුතියි දයානන්ද වෙනදා වාගේම..ජූලී සින්දුව ඔහුගේ හඬ අළුත් මානයකට අරන් යනවා..

    ReplyDelete
  17. Niyama wadak obata bohoma pin me wage dawal nawa tha soya bala la danawata

    ReplyDelete
  18. කලාකරුවන්ට අතදෙන තවත් කලාකරුවෙක් ඔබ. ඇත්තටම ඔබ කළේ විශිෂ්ඨ ක්‍රියාවක්. ගීත වලට ලැදි කලාකරුවෙකු වන මම කැමතියි ඔබව හඳුනාගන්න.

    ReplyDelete
  19. Thank you very much for doing this article about Wisting Nihal. I was too small when I first came across his amazing whistling music. It was my father who listen to his whistling melodies when I was really a kid. I miss Sri Lanka. Is there any way that we could buy Whistling Nihal's music now? Thank you again.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...