එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Friday, 21 June 2013

෴ විස්ලිං නිහාල් Whistlig Nihal... ෴



        

          අසම්මත නාදයක සිර කළ සිවුරුහන් සංගීතයේ රිද්මය.... 

සංගීතයේ, ගීතයේ රසමුසු තැන් සොයා  ඇවිදින වෙලාවට අහන්න විඳින්න ලැබෙන සමහර නිර්මාණ අපූර්වත්වයකින් පිරුණ ඒවා. ඒ  වගේම ඒ නිර්මාණකරුවන්ගේ සැබෑ ගුණසුවඳ විහිදුවන සැබැම  නිර්මාණ විදියටයි මට හැ‍ඟෙන්නේ. මොහොතකටවත් හිතෙනවද ගීයක් ඇහෙන වෙලාවක ඒ ගීතය බිහිකරන්න ගීතරචකයා, සංගීත අධ්‍යක්ෂකවරයා, ගායකයා හෝ ගායිකාව හැරුණු විට ඒ නිර්මාණය පිටුපස ඒ ගීතය මනරම් නිර්මාණයක් කරන්නට වෙර දැරූ නිර්මාණාත්මක හැකියාවන් ඒ ගීතයට එකතු  කළ මොන තරම් පිරිසක් ඉන්නවද කියලා. ඇත්තටම බැලුවොත් ගීතයක් නිර්මාණය කිරිමට නොයෙක් අන්දමින් සිය නිර්මාණ දායකත්වය ලබාදෙන පිරිස අතර වාද්‍ය ශිල්පීන්, පටිගත කිරීමේ ශිල්පින්, කාර්මික ශිල්පින් විශාල ප්‍රමාණයක් ඉන්නවා.  ඒ නිසා ගීතයක් ගැන අදහස් දැක්වීමේදී ඔවුන්ගේ කාර්ය භාරය සුළුකොට තැකිය නොහැකියි.

ඒ නිසා ගීතයක් ඉතා සියුම් මනරම් සැරසිල්ලකින් සරසන්න ඒ පිටුපස සිටින වාද්‍ය ශිල්පින් අතරින් තවත් වාද්‍ය ශිල්පියෙක් සහ ඔහුගේ අපුර්වතම නිර්මාණාත්මක  හැකියාව අද අස්වැන්නෙන් සටහන් කරන්නයි මගේ මේ වෑයම.  මට කාලෙකට පස්සෙ මතක් වුණේ අපට හිටපු තවත් එවැනි අති දක්ෂ වාද්‍ය ශිල්පියෙක්. මට විතරක් නොවෙයි 70,80 දශකවල නිර්මාණවල තිබූ  ගුණ සුවඳ පිළිබඳව නිරන්තරයෙන් කතාබහ කරන රසවතුන්ටත් මේ ශිල්පියා පිලිබඳව හොඳ මතකයක් ඇති.

 අසූව දශකයේ නිර්මාණය වූ  පරණ කැසට් පට කීපයක් අතරින් මොහුගේ මේ නිර්මාණ එකතුව අහන්න පුඵුවන් තරමට  යාන්තමට හදා ගත්තත්,  මේ වාද්‍ය ශිල්පියාගේ මුහුණ ඇතුළත් කැසට් කවර පවා නැවත ප්‍රයෝජනයට ගන්න  නොහැකි තරමට දිරාපත් වී ඇති නිසා මට අද සිදුවන්නේ හොලිවුඩ් සිනමාවේ සුපිරි රංගන ශිල්පියෙකු  වූ Clint Eastwood ගේ පිංතූරයකින් ඒ අඩුව පිරිමසා ගන්න. ඒ විතරක් නෙවෙයි මේ කතා පුවතේ එක තැනකට ඒ සුපිරි රංගන ශිල්පියා වන  Clint Eastwood වත් එකතු වෙනවා. ඒ නිසා අද අස්වැන්නට  හේතු පාදක වන  මේ වාද්‍ය ශිල්පියාගේ පිංතූරයක් මේ අන්තර්ජාලයේ හැම අස්සක් මුල්ලක් නෑරම  විමසුවත් සොයාගන්න ලැබුණෙ නැති එක එක්තරා අන්දමක කණගාටුවක්. 

මේ වාද්‍ය ශිල්පියාගේ වාද්‍ය භාණ්ඩය වුණෙත් “බටනලාව“ අසූව දශකයේ සෑම පටිගත කිරිමකට ම අත්‍යවශ්‍යයෙන් ම සහභාගී කරගත් මේ වාද්‍ය ශිල්පියා එදා ඒ සංගීතවේදීන් වගේ ම ගායක ගායිකාවන් විස්න  පවා හැදින් වූයේ “බටනලා නිහාල්“ යන නමින්.  ඒත් පසු කාලයේ ඒ කියන්නේ අසූව දශකයේ මැද භාගයේ විතර ලංකාවේ සුවහසක් සංගීත රසකාමින් වගේම සංගීත ක්ෂේත්‍රෙය් බොහෝ දෙනෙක්  ඔහු හඳුන්වන්න පටන් ගත්තේ “විස්ලිං නිහාල්“ යන නමින්. මේ තරම් අසිමිත කලා කුසලතායක් සහ වාද්‍ය හැකියාවකින් හෙබි මේ වාද්‍ය ශිල්පියා අන් කිසිවකු නොව නිහාල් සී ජයවර්ධන හෙවත් විස්ලිං නිහාල් ය.

විස්ලිං නිහාල් සහ ඔහුගේ නිර්මාණ පිලිබඳව ඒ අතීත මතකවන් ඔස්සේ   එක වරම කතාබහ කරන්න කලින් මේ කතාබහට පුර්විකාවක් වශයෙන් සම්බන්ධ වන තවත් ආනුෂංගික කරුණු කාරණා කිපයක් ම තියෙන නිසා ඒ කරුණු කාරණා කිපය මගහැර මේ  කතාව පටන් ගත්තොත් මේ සටහන තුළ අඩුවක් ඇතිවිය හැකි වන  නිසා විස්ලිං නිහාල්ගෙ මේ සටහනට ඒ කරුණු කාරණා ටිකත් එකතු කරගෙනම මේ කතාබහ ගොඩ නැගිය යුතු වෙනවා ඒ නිසා ඒ ආනුෂංගික කරුණුත් එක්කම මේ විස්ලිං නිහාල් ගැන කතාබහ කරමු.


ගෙවී ගිය වසර කිපය තුළ සුපිරි තරු තෝරන “සුපර් ස්ටාර්ස්“ වැඩසටහන් ගණනාවක් ලංකාවේ රූපවාහිනී නාලිකාවල ක්‍රියාත්මක වුණි. මේ වැඩසටහන් වලට තරග කළ ඇතැම් තරගකරුවන් තමන්ගේ ස්ථානය තහවුරු කරගැනීමට තමන් දන්නා සියළු ශිල්ප දැක්විමට පසුබට වූයේ නැහැ.  සිරස ටී.වී.  නාලිකාව පුරෝගාමී වෙමින්  ඇරඹූ ඒ වැඩසටහන් මාලාවේ  සිරස සුපර් ස්ටාර් “සීසන් ටූ“  වැඩසටහනේ අවසන් තරගකරුවන් දොළොස් දෙනා අතර සිටි තරගකරුවන් අතරින්  සිටි ප්‍රදීප් රංගන තරගකරුවා අවසන් මහා තරගයට පිවිසිමට පෙර පැවති අවසන් පූර්ව වැඩසටහනේදීත්, අනතරුව ජයග්‍රහණය වෙනුවෙන් පැවති අවසන් මහා තරගයේදිත් තමන්ගේ ප්‍රතිවාදී තරගකරුවා වූ සුරේන්ද්‍ර පෙරේරා අභිබවා ගොස් ජයග්‍රහණය කරන්නට අවසන් තුරුම්පුව ලෙස භාවිතා කළේ ගීතය අතර මැද දී විසිල් වාදනයකි.

එසේම දෙරණ නාලිකාවේ ක්‍රියාත්මක වු “දෙරණ ඩ්‍රීම් ස්ටාර්‘ වැඩසටහනේ දී ද අවසන් තරගකරුවන් 12 දෙනා අතර සිටි “උපේක්ඛා“ නම් යොවුන් ශිල්පිණිය ද අවසන් මහා තරගයට පිවිසිමට මේ විසිල් වාදනය තුරුම්පුවක් ලෙස භාවිතා කළ අයුරු මතක ය.  එහිදී අවසන් මහා තරගයෙන් ඇය ජයග්‍රාහිකාවක වූවාය. එහෙත් මේ “විසිල් කිරිම“ එහෙමත් නැත්නම් "සිවුරුහන් බැම" ශිෂ්ට සම්පන්න සමාජය තුළ එතරම් පිළිගැනිමක් නැති වාද්‍ය ශිල්පයකි.  අපේ වැඩිහිටියන් පවා මෙය නොහොබිනා ක්‍රියාවක් එහෙමත් නැත්නම් නරක පුරුද්දක් යැයි අතීතයේ පටන්ම උපකල්පනය කර තිබුණි. අදට ද මේ විසිල් කිරිම පිළිබඳව ශිෂ්ඨ  සමාජයේ පවතින පිළිගැනීම එසේම ය. එය මහා නොහොබිනා ක්‍රියාවකැයි ඇතැමුන් අදද විශ්වාස කරති.

එහෙත් සුපර් ස්ටාර්ස් වැඩසටහන්වලදී ප්‍රදීප් රංගනත්, උපේක්ඛාත්  යන දෙදෙනා ම තමන්ගේ ජයග්‍රහනයේ අබියස සිට ඔවුන්  විසින් ඉදිරිපත් කළ   විසිල් වාදන ලංකාවේ නූතන සංගීත පරපුරට නැවුම් අත්දැකිමක් වුවද ඒ විසිල් වාදනය ලංකාවේ සංගීතයටත්, ජාත්‍යන්තර සංගීතයටත් අලුත් අත්දැකීම් නොවේ. ඒ අයුරින් විවිධ ගීතමය සහ සංගීතමය අවස්ථාවන්ට විසිල් වාදන භාවිතා වූ අවස්ථාවන් ගණනාවක් අපට හමුවෙයි. එයින් එවන් ශිල්ප දක්වමින් ලංකාවේ විසිල් වාදකයෙකු ලෙසින් අද්විතිය ස්ථානයක් හිමිකර ගන්නේ  නිහාල් සී ජයවර්ධන හෙවත් විස්ලිං නිහාල් ය. 

ඒත් ජාත්‍යන්තර සංගීත ඉතිහාසයේ ජනප්‍රියම සහ විශිෂ්ටතම විසිල් වාදනය අපට අසන්නට  ලැබෙන්නේ බටහිර ගොපලු චිත්‍රපටයකිනි. ඒ  1967 දී ඇමරිකාවේදී තිරගත වූ  Sergio Leone අධ්‍යක්ෂණය කළ  Clint Eastwood ප්‍රධාන චරිතය රගපෑ බටහිර ගොපළු චිත්‍රපට මාලාවේ විශිෂ්ඨතම සිනමා නිර්මාණයක් වූ  For A Few Dollars More චිත්‍රපටයේ ය. එම චිත්‍රපටයට ඇතුළත්ව තිබූ මියුරු පසුබිම් සංගිතයට විසිල් වාදනයක් ඇතුළත්ව තිබුණි.  For A Few Dollars More චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා වූ  Ennio Morricone ගේ විශිෂ්ඨතම සංගීතයෙන් හැඩ වී  මුලු ලොවම එකම රැයකින් වසඟ කරගත් ඒ විසිල් වාදනය එදා මෙදා තුර සංගීත ඉතිහාසයේ  අසන්නට ලැබුණ විශිෂ්ඨතම විසිල් වාදනය ලෙස බොහෝ සංගිත රසිකයෝ සළකති.

ඒ නිසා මේ කතාවේ පුර්විකාව හැටියට 1967 ඇමරිකාවේදී තිරගත වූ  Sergio Leone අධ්‍යක්ෂණය කල  Clint Eastwood ප්‍රධාන චරිතය රගපෑ For A Few Dollars More චිත්‍රපටය ඇරඹෙන මුල් විනාඩි 03 පමණක් මේ වීඩියෝවෙන් බලමු. මෙය උපුටා ගැනිම යූ ටියුබ්වලින්.


එදා හොලිවුඩ් සිනමාව හරහා එක් රැයකින් ලොවක් මවිත කළ මේ විශිෂ්ඨතම විසිල් වාදනය ඊට දශක දෙකකට පමණ පසුව නිහාල් සි ජයවර්ධන හෙවත් විස්ලිං නිහාල් විසින් තමන්ගේ නිර්මාණයක් ලෙසින් මහින්ද බණ්ඩාරගේ සංගිතයට පසු කාලයේදී ප්‍රති නිර්මාණය කර ලාංකික සංගිත රසිකයන්ට සමීප කළේ  ‍මේ අයුරිනි. 

For A Few Dollars More චිත්‍රපටයේ තේමා වාදනය විස්ලිං නිහාල්ගේ අපූර්වතම විසිල් හඬින් මෙතැනින් අහන්න. 


   ඒ තමයි විස්ලිං නිහාල් වෙනුවෙන් තබන මේ සටහනේ පූර්විකාව.  මේ පෝස්ට් එක තරමක් දිගු වැඩි නිසා විස්ලිං නිහාල් සහ ඔහුගේ අපූර්වතම නිර්මාණ, ඔහු  ඉතිරි කර තබා ගිය ඒ නිර්මාණ ගැන ඒ නිර්මාණත් සමගම  ඉදිරි සතියේ කතා කරමු.


ඔබෙනුත් විශේෂ ඉල්ලිමක්:
90 දශකය ආරම්භයේ ඇමරිකා එක්සත් ජනපදයේ  පදිංචියට ගිය නිහාල් සී ජයවර්ධන හෙවත් “විස්ලිං නිහාල්“ පිළිබදව හෝ ඔහු වර්තමානයේ සිටින තැනක් දන්නා සහෘදයෙක් වේ නම් ඒ තොරතුරු සමග මට මේ ලිපිනයට මේ එකක් එවන්න. ඉදිරි සටහනට එය බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි.

මගේ ඊ මේල් ලිපිනය: dayanandarathnayake@gmail.com


 

62 comments:

  1. කලකට පෙර අපේ රටේ අමුතුම ආරක වැඩක් කළ මේ ශිල්පියා අමතකව තිබු මොහොතකයි දයා ඔබ මේ අගනා සටහන තබන්නේ. ඇත්තටම මොහු ගැන හොයා බලන්නම්.එකල මම තරුණයා පත්තරයට මේ විස්ලින් නිහාල් ගැන ආර්ටිකල් එකක් කළා. බොහොම කාලෙකට පෙර.

    ReplyDelete
    Replies
    1. නලීන්...

      මම මේක ලියන්න සැලසුම් කරද්දි ලේක් හවුස් ආයතනයේ "සරසවිය" පුවත්පතට දුරකතනය ඔස්සේ කතාකළා ඒත් මට හිතේනේ මා සමග කතාකල තැනැත්තා ට ඒගැන අවබෝධයක් තිබුනෙ නැති පාටයි. මේ තොරතුර ගන්න පුළුවන් හොදම තැන සරසවිය පුවත්පතේ ලේඛකයෙකුගෙන්ම තමයි.

      ස්තූතියි තොරතුරක් ලදොත් දන්වන්න මටත්.

      Delete
  2. ඇයි wind of change සින්දුවේ විසිල්පාර...
    සැබවින්ම මෙවන් කළා කරුවන් නිසි ඇගයීමකට ලක් කලයුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් වින්ඩ් ඔෆ් චේන්ජ් ගීතයේත් අපූරු ව්ස්ලින් පාට් එකක් තියෙනවා.

      Delete
    2. Morabba de....

      ඇත්තටම wind of change ගිතයේ අපූරු විස්ල් එක වගේම හින්දි ගිත කීපයකමත් වැනි විසිල් හඬවල් තියෙනවා. ඔහු අගයන්න වුවනත් ලංකාවේ නැහැනේ. ඒකයි ගැටලුව

      සුදීක..

      ඇත්තෙන්ම මනරම් විසිල් පාරක්..

      Delete
  3. අමුතුම ආරයක සංගීතයක් ගැන ලිපියක්. ඇත්ත්ටම මේ සම්බන්ධව කතා කෙරෙනවත් අඩුයි. මේ අන්දමට විසිල් කරන්නට සහජයෙන්ම එන දක්ෂතාවයක් අවශ්‍ය වෙනවා. ඒ නිසාම මේවගේ කලාකරුවෙක් ගැන කරන දැනුවත්කිරීමම වටිනවා

    ReplyDelete
    Replies
    1. තොටියා...

      විසිල් වාදනය උගන්වන්න අමාරුයි මගේ හිතේ. ඒත් සිවුරුහන් කරන්න පුරුදු වුණ කෙනෙකුට එය අපූරුවට කළහැකියි. විස්ලින් නිහාල් හිටියේ 80 දශකයේ. දැන් ඔහු විදේශගතව ඉන්නේ..

      Delete
  4. මාවත් අතීතයට ගෙනගියා..! හොඳට මතකයි රූපවාහිනියෙ පවා වැඩසටහන් වලට ආවා වගේ..!

    ඒ කාලෙ විනීහෙට්ටිගොඩ කා‍ටුන් එකකුත් ඇඳල තිබ්බ..ඉස්සර විසිල් ගැහැව්වන් රස්තියාදු කාරයො..දැන් කලාකාරයො කියල. රූපවාහිනියෙ පිටපත් වල ඔහුගෙ රූපය ඇති මම හිතන්නෙ.
    "තරුද නිදන මහ රෑ..." නන්දා මාලිනී මහත්මියගෙ ගීයක් හොඳටම මතකයේ තියෙනව ඔහු විසිල් ගහනව.

    ReplyDelete
    Replies
    1. වීයා...
      අසුව දශකයේ රූපවාහිනී නන්දන වින්දන ඇතුළු සංගිත වැඩසටහන් ගණනාවක ඔහු හිටි බව මටත් මතකයක් තියෙනවා.

      නන්දා මාලනියගේ ගිත කිපයක්ම ඔහුගේ අපුරු නිර්මාණ දායකත්වයක් තියෙනවා. අපි ඉදිරියේදි ඒ ගැන කතාකරමු.

      Delete
  5. ඇත්තමයි අදමයි ඇහුවේ. ඒවගේම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. තරුවා...

      අසූව දශකයේ අපට හිටපු දක්ෂතම වාද්‍ය ශිල්පියෙක්.. හොඳ වැඩකාරයෙක්.. ඊළඟ ලිපිය කියවන්න එවිට ඔහුගැන තව බොහෝ දේ දැනගත හැකියි.

      Delete
  6. ඔබගේ බ්ලොගයෙන් සංගීතය ගැන කරන ඉදිරිපත් කිරීම් මහත් ආශාවෙන් කියවමි.

    W3Lanka

    ReplyDelete
    Replies
    1. අජිත්..

      බෙහෙවින්ම ස්තූතියි... සංගිතය මගේ එක් විදියක ප්‍රියමත ඉසව්වක්...

      Delete
  7. හරිම ලස්සනයි.ජෝතිපාල මහතාගේ සමහර ගීත වලටත් මෙතුමා දායක වෙලා තියනවද ? වටිනා කලාකරුවෙක් ගැන වටිනා සටහනක් .

    ReplyDelete
    Replies
    1. ගිම්...

      ඔව්.. විස්ලිං නිහාල් ජෝතිගේ නිර්මාණ රැසකට දායක වුණා. අපි ඊළඟ ලිපියෙන් ඒගැන ඒ නිර්මාණ එක්කම කතාකරමු.

      Delete
  8. ඔබේ ඊමේල් ලිපිනය නිවැරදි ද?

    Delivery to the following recipient failed permanently:

    dayanandarathnayke@gmail.com

    Technical details of permanent failure:
    The email account that you tried to reach does not exist.

    ReplyDelete
    Replies
    1. අජිත්...

      සමාවෙන්න අකුරක් අඩුවෙලා...දැන් හරි.. බෙහෙවින්ම ස්තුතියි මතක් කළ එක ගැන. මෙන්න දැන් නිවැරදි කළා..

      dayanandarathnayake@gmail.com

      Delete
  9. දයා මල්ලී අප මේ චිත්‍රපටය නැරඹුවේ 1976 දී විතර අපි අප්‍රිකාවේ වාසය කරත්දි. මේ විසිල් වාදනය ඉතාම රමණීයයි. චිත්‍රපටය පුරාම එය විහිදෙන්නෙ හරිම අපූරුවට. ලොකු පුතා පුංචි කාලෙ මේ වාගේම වාදනයක් පින්ක් පැන්තර් චිත්‍රපටයේ තිබුනා එයට එයා හරියට ආසා කලා. වාදනය ඇහෙන කොට කෝහේ හිටියත් දුවන් එනවා. නිහාල් මහතාගේ විසිල් වාදනත් අසන්නට මට වාසනාව ලැබුනා. මගේ තාත්තා එයාගෙ ගීත රසවතෙක්. දන්නා කෙනෙක් විස්තරයක් දේ නම් හරිම වටී.

    ReplyDelete
    Replies
    1. චාන්දි..

      නිර්මාණාත්මක හැකියාවන් වලට සිමාමායිම් නැහැ. නිහාල් ලංකාවේ වාද්‍ය ශිල්පියෙක් හැටියට ඉතාමත් කෙටි කාලයක් ලංකාවේ නිර්මානවලට දායකත්වය ලබාදුන්නේ..දැන් ඉන්නේ විදේශයක .. අපි බලමු එහු සම්බන්ධ කරගන්න හැකියාවක් උදාවේවිද කියලා..

      නිහාල් ජයවර්ධන කියලා හිටි ගායන ශිල්පියා නෙවෙයි මේ...

      Delete
  10. සමහර අසම්මත දේසම්මතයක් සේ ඉදිරිපත් කිරීමට තරම් සමහර මිනිසුන්ගේ පෞරුෂය බලවත් වෙනවා. මේ පෞරුෂය යනු නොබිය, කාගෙන යන ස්වරූපය මත ඇතිවන දෙයක් නොවේ. කිසියම් ශිල්පයක පරිනත බව, සංයමය, හැදියාව ආදී බොහෝ යහපත් කාරණා මත ඔහු වෙත ළඟාවන්නක්. විස්ලිං නිහාල් සිංහල සංගීත ක්ෂේත්‍රෙය් එක්තරා සුවිශේෂ සංඛේතයක් වෙන්නේ මේ අසම්මතය සම්මතය කරගැනීම තුළින්.
    දයා, ස්තුතිය සොඳුරු සටහනකින් සොඳුරු මිනිසෙකු මතකයට කැන්දාගෙන ආවාට නැවත...

    ReplyDelete
    Replies
    1. මමත් කියන්නේ මෙන්න මේ දේම තමයි. කෙනෙකුගේ තැන්පත් බව තුලින් ඔහුට පුළුවන් වෙනවා ඔහු ඉදිරිපත් කරන දේ වට ජනතාව පෙළ ගස්වන්න.

      Delete
    2. යසේ....

      ඇත්තෙන්ම කලාකරුවන්ගේ පෞරුෂත්වය ගොඩනැගෙන්නේ ඔවුන්ගේ නිර්මාණශිලි බවත් එක්ක.ඊට අත්දැකිම් සහ භාවිතය ඉතාමත් වැදගත්. ඒනිසාම මතයි මෙවන් කලාකරුවන්ට ලංකාවෙන් නැතත් ලෝකයෙන් හොඳ ඉල්ලුමක් මතුවෙන්නේ..

      සුදික..

      ඒ ඉදිරිපත් කිරීම් අපූර්ව වූ තරමට ඔවුන් ඒවා සදාකාලික නිර්මාන බවට පත් කරනවා.

      Delete
  11. මතකයි මතකයි , සමහරක් විට අයිටීඑන් එකේ ඇති එයාගේ වීඩියෝ

    ReplyDelete
    Replies
    1. අටම්...

      ඔව්..මතක නැතිවෙන්න විදියක් නෑ විස්ලිං නිහාල් ගැන.. ඒ කාලේ ජාතික රූපවාහිනියයි. අයිටීඑන් එකෙකෙයි දෙකේම හිටියා..

      Delete
  12. මම අහලවත් තිබුණෙ නැහැ මේ කලාකරුවා ගැන නම්.. සංගීත නදිය පාදල හාරල හැංගිලා තියෙන මිණි කැට හොයල අතට අරන් ඔප මටිටම් කරල පෙන්නනවට දයා අයියට තුති...

    මෑතක මම ලස්සනම සිවුරුවම් නාදයක් සජීවීව වින්දෙ නදීක ගුරුගේ ගෙ හඩින්...

    ReplyDelete
    Replies
    1. තරූ...

      සමහර කලාකරුවෝ මේ රටේ හිටි බව අපටත් මතක් වෙන්නේ අතීතය හාරා අවුස්සා බැලුවාමයි.

      Delete
    2. නදීක විතරක් නෙවෙයි දැන් ලෙලුම් රත්නායකත් ( වික්ටර්ගේ පුතා) මේ විසිල් වාදනය සජීවිව ඉදිරිපත් කරනවා.

      Delete
  13. විස්ලින් නිහාල් කියල කැසට් පටියක් ගහල තිබුන මතකයි. මගේ ළඟත් තිබුනා ඒකෙ කොපියක් ඒ කාලෙ. ඒත් දැන් නම් හොයාගන්න බෑ. මට මතකයි ඒකෙ තිබුන මෛං ගාඕං තුම්සෝ ජාඕ හින්දි සින්දුවේ අනුවාදනයක් විසිල් කරනවා. ඒක නියමයි.

    ReplyDelete
    Replies
    1. හෙනහුරා...

      විස්ලිං නිහාල් 1 සහ 2 කියලා කැසට් නිර්මාණ දෙකක්ම තිබුණා. එයින් ගිත කීපයක් අහන්න තමයි අපි මේ සූදාන්ම වෙන්නේ. ඒ හින්දි ගියකුත් ලබන සතියේ අහමු.

      Delete
  14. සමහර අයට නොපෙනන, නොඇසෙන පැත්තක් ගැන අද දයා කතා කරලා තියෙනවා. හරිම අපූරුයි. ඇත්තටම ගීයක පසුබිමින් ඇහෙන ඔය වගේ දේකින් පමණක් නෙමේ, වාදක භාණ්ඩ වල හඬින් කොයි තරම් මිහිරක් එකතු කරනවද කියලවත්, සමහරු තේරුම් ගන්නේ නෑ.

    දයා කරන්නේ කොච්චර හොඳ වැඩක්ද කියලා හැමදාම ඔයාගේ පෝස්ට් බැලුවාම හිතෙනවා. ස්තූතියි දයා.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි...

      පියවි ඇහැට නොදකින සහ නොදැනෙන දේ දැනෙන සේ නිර්මානාත්මකව ඉදිරිපත් කිරිමම තමයි කලාව. ඒක එක් එක් නිර්මාන කරුවාට සුවිශේෂ වූවක්. ඒ නිසා එවන් නිර්මානකරුවන්ට යම් වටිනාකමක් ලබා දිම අපෙත් යුතුකමක්.. ස්තූතියි

      Delete
  15. ඔබන් ලබනා දැනුම අති ප්රෝය්ජනවට්.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. සංජීව...

      බෙහෙවින්ම ස්තූතියි.. යම් දැනුමක් ලැබුවානම් ඒ මගෙත් සතුටයි.

      Delete
  16. අපේ ගෙදරත් ඉස්සර මේ විස්ලිං නිහාල්ගෙ කැසට් එකක් තිබුණා. ලස්සන නිසා ඇහැව්වට ඒක කොච්චර වටිනවද කියල පුංචි කාලෙදි දන්නෙ නැහැනේ.මට මතකයි මිල්ටන් මල්ලව ආරච්චිගෙ සිංදුවක් එහෙමත් තිබුණ .

    ReplyDelete
    Replies
    1. සෝන්යා...

      ඔහු නිර්මාණය කළ කැසට් දෙකක් තිබුණා.. එයින් තොර්ගත් නිර්මාණ අතර ඊලග ලිපියේ මිල්ටන්ගේ ගිතයක් තියෙනවා. 'ඔබ කියන්නේ ඒ ගිතය වෙන්න ඇති.

      Delete
  17. මම නම් එතුමා ගැන එතරම් විස්තරයක් දැන සිටියේ නැ.කදිම ලිපියක් එහි රසයත් උපරිමයෙන් වින්දා.හිත සැහැල්ලුවට පත් කරන සංගිත ඛාණ්ඩ ඇසෙන්නට සැලැස්විම තවත් අගය කරමි.එතුමා රට හැර ගියේ ඇයිද මන්දා.එවැනි වටිනා දක්ෂතා ඇති මිනිසුන් මෙරට හැර යාම අවාසනාවන්ත කමකි.

    ReplyDelete
    Replies
    1. ගයානි...

      විස්ලිං නිහාල් ලංකාවේ හිටි කෙටි කාලයට දැනෙන නිර්මාණ කළා. ඒත් මෙවන් කලාකරුවන්නට ලංකාවෙ තියෙන ඉල්ලුමට වඩා වැඩි ඉල්ලුමක් ජාත්ත්‍යන්තර සංගිතයෙන් ලැබෙනවා. ඒ නිසා තමයි ඔහු විදේශ ගත වෙන්න ඇත්තේ..

      Delete
  18. දැනුයි දැක්කේ මම කමෙන්ට් එකක් දාලා නෑ කියලා. ඒත් කියෙව්වේනම් ඊයේ. අර සංගීත ඛණ්ඩය හරිම ලස්සනයි වගේම හුරුපුරුදුයි. චිත්‍රපටිය බලන්නත් ආසාවක් ආවා.

    ReplyDelete
    Replies
    1. සයුරි...

      For A Few Dollars More චිත්‍රපටය හැකිනම් බලන්න චිත්‍රපටය ඉතාම පැරණි එකක් වුනත් එ‍හි සංගිතය කිසිවකුටත් අමතක වෙන්නෙ නැ. ඒ සංගිතකරුවාගේ හංගිතමය දක්ෂතාවය තියෙන්නේ කතාවේ අන්තිම විනාඩි කිපයේ..

      Delete
  19. ඔබ මාව මීට අවුරුදු විස්සක විතර අතීතයකට රැගෙන ගියා මේ ලිපියෙන් , මට හිතෙන විදියට මෙතුමගේ දක්ෂතා ශ1ාවකයන් අතරට රිංගන්න පටන ගත්ත කාළෙ වගේ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙලඳ සේවයේ තිබුණ සංගීත වැඩසටහනක් ,ඒ දවස් වල ඔය රිද්මය හුරු වෙන්න තිබුණු ආසාව නිසා වෙච්ච හොඳහොඳදේවලුත් මතක් වුනා මේ ලිපියත් එක්කම ...ඔබේ අස්වැන්න තුලින් කෙරෙන්නේ අමිල සේවයක් , ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. මහේෂ්...
      ඒකාලෙ තුවන් විදුලියේ තිබුණ සංගිත වැඩසටහන් වල විතරක් නෙවේ අසන්නන්ගේ ඉල්ලීම්වල පවා මේ වාදන ප්‍රචාරය ‍වූ කාලයක් තිබුණා.. අපි ඊලඟ ලිපියෙන් ඒ ගැන කතාකරමු.

      Delete
  20. දැන් හැදෙන වට්ටෝරු සංගීතයත් එක්ක මේ අගේ ශිල්පීන්ට තිබෙන තැන නැති වෙලා යනවා. එවන් කළා කරුවන් බිහි වුනේ සංගීතය ඉතා ඉහලින් රස විඳි යුගයක.

    ReplyDelete
    Replies
    1. සුදීක..

      ඒකාිලෙ නිර්මානාත්මක දක්ෂතා ගොඩනැගුනේ ඔවුන්ගේ අත්දැකිම් සහ භාවිතයත් එක්ක. ඒකයි ඒ කාලෙ ගැන අපි මෙතරම් කතාබහ කරන්නේ..

      Delete
  21. අද තමා මේ පැත්තෙ ආවෙ. විස්ලින්ග් නිහල්ගෙ වැඩ සටහන් මම රූපවාහිනියෙ දැකල තියෙනවා.එහෙම දෙයක් කරන්න උපතින්ම හැකියාවක් තිබිය යුතුයි. කාලෙකට පස්සෙ එයා ගැන කතා කරන එක නැවතුනා. මේ ලිපිය ඔහු ගැන මතකය අලුත් කලා. ස්තූතියි මේ පොස්ට් එකට.

    මගේ බ්ලොග් එකටත් ගොඩ වදින්න ඇරයුම්.

    මිහිරැති ඉංග්‍රීසි පරිවර්ථන ඇතුළු සිත නිවන දෑ රස විඳින්න එන්න ගිං ඔය අද්දරට

    ReplyDelete
    Replies
    1. නිල්මානෙල්..

      පළමුවරට අස්වැන්නට පැමිණි ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙහි නිරන්තරයෙන් පළවන්නේ රසමුසු දෑ නිසා ඉඩක් ලද විටක පැමිණෙන්න. ස්තූතියි ඔබේ සටහනට

      Delete
  22. ඒ විසිල් හඬ ඇහෙනකොට මාර හැඟීමක් දැනෙන්නේ...

    ReplyDelete
  23. දයානන්ද... මේක ඉතාම හොඳ වැඩක්!

    මං පසුගිය අවුරුද්දෙ ලංකාවේ ආපු වෙලේ මුළු කොළඹ පුරාම හොයල හොයල විස්ලින් නිහාල් ගෙ එක සී.ඩී. පටියක් හොයාගත්ත. ඒ දෙවැනි වෙළුම. මට හොඳටම මතකයි ඔහු විසල් කිරීම කොයිතරම් නිරායාසයකින් ද කළේ කියල රූපවාහිණී වැඩසටහන් වල. ඔහු විසිල් කරනවද කියලවත් පෙන්නේ නෑ... ඒ තරම් විශිෂ්ට ප්‍රතිභාවක්... ඔහුගේ පිංතූරයක් මං ඔබට ලැබෙන්නට සලස්වන්නම්...

    ස්තූතියි මේ කාර්යභාරයට!

    ReplyDelete
    Replies
    1. ප්‍රේමකීර්ති ගී..

      ඇත්තෙන්ම මම දැනගෙන හිටියෙ නෑ මේ නිර්මාණවල සීඩී එකක් ඇති බව. පිංතූරය ලැබුණා බෙහෙවින්ම ස්තූතියි. ඊළඟ පෝස්ට් එකට පිංතූරය දාන්නම්.

      Delete
  24. විස්ලින් නිහාල් කියන කැසට් දෙකම මම ඇහුව උසස් පෙළ කරන කාලේ. අපි ඒ දවස් වල හරිම ආසාවෙන් කට්ටිය බෙදාගෙන ගෙදර ගෙනිහින් අහපු සංගීත අනුවාදන ටිකක්. මට මතකයි මේ සින්දුව අපේ school band එකෙත් ගැහුවා. හරිම ලස්සනයි..
    දයා කියන හින්දි සින්දුව ජූලී film එකේ 'භුල්ගයා සබ් කුච්' වෙන්න ඕනේ. හරිම ලස්සන සින්දුවක්. නිහාල් ගේ විසිල් පර මම හිතන්නේ සින්දුවට වඩා ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. තුසිත..

      මගෙත් පාසල් සමයේ තමයි මේ නිර්මාන ඉතාමත්ම ජනප්‍රියව තිබුණේ. ඒ කාලෙ අපිත් එවැනි උත්සාහන් ගත්තා. ජූලී film එකේ 'භුල්ගයා සබ් කුච්' අපි ඊළඟ සටහනෙන් අහමු.ඒ හිතට දැනෙන විසිල් පාර

      Delete
  25. මට නම් අදත් කියන්න වෙන්නෙ මේකත් මම අද මෙතනින් ඇහුවෙ..විස්තර දැනගත්තෙ...හැමදාම කියන ස්තුතියි කියනව ඇර වෙන මොනව කියන්නද.....ඇත්තටට මේ දැනුම බෙදා දෙනවට බොහොමත්ම තුති අයියෙ...

    ReplyDelete
    Replies
    1. දිනිති..

      මේ ශිල්පියා අසූව දශකයේ ඉතාමත් ජනප්‍රිය වාද්‍ය ශිල්පියෙක් දැන් බොහෝ දෙනෙකුට ඒ මතකය බැහැර වෙලා. ස්තූතියි

      Delete
  26. විස්ලින් නිහාල් කියද්දීම අමුතු මතකයක් හිත ඇතුලෙන් ආවත් එකපාරට ඔලුවට ආවේ නෑ මුකුත් ...දැන් අලුත් සින්දු වලත් පොඩි පොඩි විසිල් ඛණ්ඩ එකතු කරලා තියනවා ඇහෙනවා .අසා ඇති කෙනෙකු ගැන නොදන්නා තොරතුරු ටිකක් .ස්තුතියි, ! ප්‍රදීප් රංගන කියන්නේ ඇත්තටම දක්ෂ කෙනෙක් කියලයි මට නම් හිතෙන්නේ ..

    ReplyDelete
    Replies
    1. රෙහානි..

      ඇත්තටම ප්‍රදීප් රංගන දක්ෂයෙක්. මට අවශ්‍ය වුනේ නූතන පරපුර බෙහෙවින් ආදරය කරන ඒ විසිල් නාදයේ අතිතය සිහි කරන්නයි. ඊළඟ සටහනත් බලන්න.

      Delete
  27. ඔය කට්ටිය සැට් වුණාම එහෙම උං සින්දු කියද්දි මට පෑහෙන්න තියෙන තුරුම්පුවත් විසිල් එක තමා.

    මේ ශිල්පියා රූපවාහිණියෙ මේ විසිල් වාදන කරනවා මට මතකයි. මම බොහොම පොඩි කාලෙ වෙන්න ඕන. මේ සංගීත ඛණ්ඩ මුලින්ම ඇහුවෙත් ඔහුගෙන් වෙන්න ඕන කියලයි දැන් මට හිතෙන්නේ... මගෙ මතකය නිවැරදි නම් ඔහුට උඩු සහ යටි රැවුලක් තිබුණ. අර අපි දැන් පොන්ටිං කට් කියන්නේ :-)

    ReplyDelete
    Replies
    1. හරේ..

      “ඔහුට උඩු සහ යටි රැවුලක් තිබුණ. අර අපි දැන් පොන්ටිං කට් කියන්නේ“

      හරියටම හරි.. ඒ ඔහු තමයි

      Delete
  28. For a few dollars more චිත්‍රපටය මට වයස 12 ක් පමණ කාලයේදී එකේ නරඹන විට කතාව එච්චර තේරුනේ නැති නමුත් මේ සංගීත කොටස නම් සදාකාලිකව මතකයේ රැඳුනා....ඔබට මතකනම් පසු කාලීනව වෙලඳ සේවය ලෙස නම වෙනස්වුන ගුවන් විදුලියේ දෙවන සේවයේ නිවේදක තේරීම් නමින් ප්‍රචාරය වූ සංගීත අඩ හෝරවේ තේමා සංගීතයත් මෙයට තරමක් දුරට සමාන වුනා

    ReplyDelete
    Replies
    1. amu..

      ඇත්තෙන්ම.. ගුවන්විදුලි නිවේදක තොර්යි වැඩසටහනේ තවමත් යන්නේ ඒ හා සමාන වාදනයක් තමයි. මේ චිත්‍රපටය අදටත් බලන්න හිතෙන්නේ ඒ සියුරු විසිල් වාදනය නිසා..

      Delete
  29. අවාසනාවකට වගේ, මම මොහො ගැන ඇහුවේ අද. නමුත් විසිල් වාදන ඛණ්ඩය අහද්දී නම්, ඒ වගේ දක්ෂ පුද්ගලයෙක් මගහැරීම ගැන ලැජ්ජාවක් ඇති වුණා.. මේ පෙළේ ඉදිරි ලිපි කියවන්න බොහොම ආසාවෙන් ඉන්නේ!
    ජයවේවා අයියේ!!

    ReplyDelete
    Replies
    1. රැංගෝ...

      මේ වාද්‍ය ශිල්පියා හිටයේ 80 -90 දශකවල. කලාතුරකින් අහන්න ලැබෙන වාදන ටිකක් ඊළඟ ලිපියෙන් කියවන්න ඔහුගේ අලුත්ම විස්තරත් එක්කම..

      Delete
  30. මගේ ලඟත්‍ ඔය සී.ඩී එක තිබුනා.. යාලුවෙකුට දුන්න දුන්නමයි.. ඊට පස්සේ ආයේ හම්බ වුනේ නෑ .. මම දැනුත්‍ සිංහල මියුසික් සී.ඩී තියෙන කඩ වලට ගිහින් ඕක හොයනවා.. කොහෙවත්‍ නෑ.. ගොඩක් වෙලාවට කඩවල ඉන්න අය අහලවත්‍ නෑ... මේ ලිපිය ලිවීම ගැන බොහෝම ස්තූතියි.. හැකිතරම් ඔහුගේ සිංදු සොයා මෙහි දමන්න

    ReplyDelete
  31. "N i h a l" - Oba Athi Dakshayek

    SLBC - Vidula Childrens Radio

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...