එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...
Showing posts with label ආදරණීය කපුගේ. Show all posts
Showing posts with label ආදරණීය කපුගේ. Show all posts

Tuesday, 3 April 2012

෴ දවසක් පැල නැති හේනේ පැළක් තැනූ කලු මහත්තයා ෴


                    
                              ආදරණීය කපුගේ

                                          ගුවන් විදුලි මහ ගෙදරින්
                                          දේශපාලන ස්ථාන මාරුවත් අරං
                                          රජරට රැජින දුම්රියේ
                                          තුනේ පන්තියේ ටිකට් එකකින්
                                          රජරටට ආ මගියා ඹබය

                                          පුරන් කෙත්වතු අතර විසිරුණු
                                          රන් අස්වනු එකින් එක ඇහිඳ
                                          නැවුම් ගී කෙත අස්වැද්දූ
                                          සැබෑ ගොවියා ඔබය

                                          ඉර බහින හැන්දෑවක
                                          සීත සුළ‍ඟේ මිහිර විඳ විඳ
                                          තිසාවැව් ඉවුර දිග
                                          ඇවිද ගිය සැබෑ ගැමියා ඔබය
                              
                              මී බඳුන් එකින් එක හිස් කොට
                                          දැල්වුණු සිගරැට්ටුවට
                                          සිරවූ ඇගිලි තුඩු
                                          දුවද්දී සරපිනාව මත
                                          කිරට මිරිසට ගී හැදූ
                                          සොඳුරු කවියා  ඔබය

                                         වැටි වැටී නැගිටින දනන් අබිමුව
                                         කම්හලේ වැඩපොලේ
                                         ජන හඬට ජන අරගලයට
                                         පණ පෙවූ මිනිසා ඔබය
                            
                                         රතුම රතු එරබදු
                                         මල් පොකුරු අස්සෙන්
                                         අතු අතර හිඳ ගී ගයා
                                         සැඟව ගිය කොවුලා ඔබය

                                         බක් මහේ දොරකඩ අදත්
                                         පිපුණු ඒ රතු එරබදු පොකුරු අතරින්
                                         අතු අතර හිඳ ගී ගැයූ
                                         ඒ කොවුල් සර කොහිදැයි
                                         සොයමි මම තවම.....
                             
  කපුගේ ගැන මට හිතෙන හැටි
          මුලු මහත් ජන සමාජයම බියෙන් තැති  ගත්  කාලයක් විය. මිනිසුන් ජීවත් වනවාට වඩා මියෙන්නේ කවදා දැයි සොයමින්, ඇඟිලි  ගනිමින් සිටි යුගයක ඒ බියෙන් තැති ගත් මියෙන, පණ අදින මිනිසුන් වෙනුවෙන්  අවසන් හුස්ම පොද දුන් පොදු ජනතාවගේ මිනිසා ඔබ ය. 

ඔබ බොහෝ මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් මරණය තුරුලට ගෙන ආදරය පරිත්‍යාග කළේ ය. "කාලයේ රාවය"  සහ "කම්පන" ප්‍රසංගයෙන් පොදු ජනතාවගේ ආරක්ෂකයා වූයේ ඔබ ය. තල් වැට අයිනට වී වැලි බංකරයේ සිරව ගිනි අවි අතට ගත් උතුරේ නඩරාජලාත්, දකුනේ සුමනසිරිලාත්, එකම පන්තියක මිනිසුන් බව කියාදී, යුද්ධයෙන් රට ගිගුම් දෙන විට යුද්ධයෙන් තොර වූ ලෝකය පැතුවේ ඔබ ය.

දේශපාලන දර්ශනය ආදරණීය කිරීම උදෙසා දෘෂ්ඨිමය හඬ අවදි කළ ඔබ කලාකරුවන්ගේ ලෝකයට මිනිස් දේශපාලනය රැගෙන විත් යුගයේ අවශ්‍යතාවය හඳුනාගත් කලාකරුවා වූයේද ඔබ ම ය.


වරෙක පීඩිත ජනතාව වෙනුවෙන් ද , තවත් වරෙක වැඩ කරන ජනතාව වෙනුවෙන් ද , ඔවුන්ගේ කම්කරු අරගලයට නව පණක් දී තනිව ම සටන් වැදුණි. ඒ දුක් විඳින ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙනි. ඇතැම් විට තනිව ම සටන් තනිව ම  වැද ඇද වැටුණි.  ලැබූ කටුක පරාජයත්, ජයග්‍රහනයක් සේ සළකා යළි යළිත් නැගිට වෙල්ලස්ස ගොවීන්ගේත්, , කණේරු ඇටකා මිය යන පුලතිසි ගොවීන්ගේත් හඬ ඔබේ හඬ තර ගත්තේ ය. සදාකාලික මිනිස් දේශපාලනයක් ගොඩ නැගීමට වෙර දුන් මිනිසුන්ට එදා  ඔබේ හඬ ශක්තියක් විය.

හෘද සාක්ෂියක් නොමැති  ජන සමාජයක ඒ හෘද සාක්ෂිය රැක ගැනීම උදෙසා ඇවිලෙන කුසගින්නට වඩා හොඳින් ඔබ ජීවිතය  හඳුනාගෙන තිබුණි. විදුලි මිණි පහන් මැද ඇතැමෙක් සතුටු සාදවල කකා බිබී හිඳිද්දී ඒ මැදුරු දොර අභියස සිට දුගී බවේ හංස ගී ගයනා දරුවන්ගේ ලෝකය දුටුවේ ය. විවාහය කල් දමා ලෙළි තළන දෝණිටත්, ඉරුණු ඇඳුම් ඇඳ අඩු කුලියට සළු මසන නැගණියටත් ඔබ එකසේ ආදරය කළේ ය. සැලුන් දොරකඩ හිඳින බාබර්ටත් හිස නමන හැටි ජනතාවට කියා දුන්නේ ඔබ ය. ඔබේ කට හඬ ඒ අසරණ ජනතාවගේ ම හඬ බවට පත් කළේ ය. කුරා කුහුඹු මිනිසුන් ඔබේ ලෝකයේ කිරුළු පැළඳුවේ ඒ නිසා ය.

ඒත් ඔබ කියාදුන් මග ඔබ පසු පස ජනතාවාදී ලේබලය පැළඳ පැමිණි ඇතැමුන්  ඒ ජනතාවාදී ලේබලය ජනතාව අත  තබා ඔබ නියෝජනය කළ පීඩිත පන්තියෙන් පැන ගොස් ය. එදා මෙන්ම අද ද ඔබේ ඒ ගී මගෙහි වූ අසරණ ජනතාව වෙනුවෙන් ඔබ පසු පස ඔබේ සෙවනැල්ලේ සැඟව පැමිණ  ඔබ තනිකර අන් මගක යද්දී සතුටු සාදයක ඇසෙන වියරු ගෝෂාව අතරින් ඔබේ කට හඬ මතුව අවුදින්,  ඔබේ ගී කැට මුගුරු ලෙස ඒ සමාජය වෙත දමා ගසනු ඇත. ඔබ නියෝජනය කළ ඒ මානුෂීය දේශපාලනය ඒ සමාජයට එරෙහිව නැගී සිටිනු ඇත. 

පෙර දවසක, දවසක් පැල නැති හේනේ පැලක් තැනූ ඒ කලුමහත්තයා .  අද හෝ හෙට  යළිත් ඒ දැයි ඒ අම්මාත්, ඇගේ දරුවන් සමග ඒ පැළට වී මග බලනු ඇත. අපිද ඒ රුව යළිත් එනතුරු මග බලන්නෙමු.


මේ තියෙන්නෙ කපුගේගේ සැබෑ මානව දෘෂ්ඨිය පිරුණු ගීයක්. ඔහු සැබෑ ජීවිතය තුළත් නියෝජනය කලේ මේ පිඩීත දරුවන්ගේත්, ජනතාවගේත් ලෝකයයි. ඔබ කවදා හරි දවසක ජී.බී. සේනානායකගේ “දුප්පතුන් නැති ලෝකය” කෙටිකතා පොතේ  “දුප්පතුන් නැති ලෝකය” කෙටි කතාව කියවල තියනවනම් මේ ගියත් ඒ කෙටි කතාවත් සසඳා බලන්න ගද්‍ය සාහිත්‍යය සහ ගීත සාහිත්‍යය ජනතාව වෙනුවෙන් කොයිතරම් සේවයක් කරනවද කියලා.

විදුලි මිණි පහන් නිවී බොළඳ ගී සිනා රැළි
නිලංකාර අඳුරේ සිරවී සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ


එන්න කන්න බොන්න මිහිරේ
දෙනෙතින් ආරාධානා
ඔබේ හඬ කිඳී සිඳී යයි කතා සරිත් සාගරේ

පුරාගෙන පිරූ විතේ විසුලු කෙළි නැටුම් සිනා
යොමා ඇස බලන් සොඳුරේ මැඳුරු දොර දිහා

දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා
දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා

ඔබේ මන්දිරෙන් එහා මගේ ලොව බලා හිඳී
පළා යයි ඔබේ ලොවෙන් මා දෙපා සමු නොදී

ගේය පදමාලාව: ලූෂන් බුලත්සිංහල
තනුව සහ සංගීතය: විශාරද ගුණදාස කපුගේ
විදුලි මිණි පහන් ගීතය මෙතනින් අහන්න, ගන්න
 
 
ඒ සටහන තැබුවෙ මම කපුගේ වෙනුවෙන්.  අස්වැන්න මුල්ම පෝස්ට් එක ලිව්වෙත්  " සුනිල දිය දහර වෙමු එකම ගඟකකට වැටෙන " කියලා ඒ කපුගේ වෙනුවෙන්. කපුගේ මියගියේ 2003 අප්‍රේල් මාසෙ 03 වැනිදා . ඒ  හරියටම මීට අවුරුදු නවයකට කළින්.  ඒ සොඳුරු මිනිසා වෙනුවෙන් ම  අදත්  “අස්වැන්න” වෙන් කළා. 

මට කපුගේ හමුවෙන්නෙ රජරට දී  ඒ අසූව දශකය මැද හරියේ දි  විතර, කපුගේ රජරට සේවයට ආවෙ  1981 දි විතර එතකොට මා පුංචි පන්තිවල ඉගන ගත්ත කුඩා සිසුවෙක්. සාමාන්‍ය පෙළ කරපු කාලෙ කපුගේ ඉදිරිපත් කළ නිර්මාණාත්මක වැඩසටහන්වල ගුණ සුවඳ මට දැනෙන්න පටන් අරන් තිබුණෙ ඒ කාලෙ. ඒ දවස්වල කපුගේ රජරට සේවයේදි සෙනසුරදා උදේ “මන්දාකිණිය” නමින් වැඩසටහනකුත් ඉරිදා දවස්වල “ රස දහර” නමින් වැඩසටහනකුත් රසවින්දන වැඩසටහන් වශයෙන් කපුගේ ඉදිරිපත් කළා. ඒ දෙකම ඉතා අපූර්ව රසවත් වැඩසටහන්. එතකොට රජරට හිටපු මට "ඔසිබිසා" "යාල්ලා" ෆ්‍රැන්ක් සිනෙට්‍රා, බොබ් මාලේ  වගේ අයගේ ගීත ගැන එතරම් දැනුමක් තිබුණෙ නෑ. ඒත් කපුගේ ගේ ඒ වැඩසටහනෙන් පස්සෙ අපි ඒ ගීත ගැන හෙව්වා. ඒ වැඩ සටහන්වලට නිරන්තයෙන් ලිව්වා. කපුගේ මගේ නමින් ම මං  ඒ ලියපු ඒවා ආයෙමත් කපල කොටල රසට හදල  ප්‍රචාරය කළා.  ඒ නිසාම පාසල් සිසුවෙකුව සිටිය දීම මට කපුගේ අඳුනගන්න ලැබුණෙ රජරට සේවයෙන්. එදා පළමු වරට දැන හඳුනාගෙන  රජරට දී ඇරඹුන කපුගේ සමග පැවති සුහද මිතුදම ඔහු මිය යන තෙක්ම පැවතුණු සදාකාලික මතකයක්. ඔහු මට පසු කාලීනව නිර්මාණාත්මක අත්වැලක් වූවා වගේම  අදටත් ඔහු මට ආලෝකයක්.

           (ඔබ අසා ඇති නින්ද නැති රැයේ ගීතය මෙතනින් බලන්න)

අද ඔහු වෙනුවෙන් මා තෝරාගත් මේ ගීතයත් ඉතාම විශේෂ ගීයක්.    මේ ඔබ කවුරුත් අසා ඇති “නින්ද නැති රැයේ” ගීතය.  ඒත් මේ ගීය සමහර විට ඔබට කවදාවත් ම අහලා නැතුව ඇති. මේ ගීය පටිගත කරල තියෙන්නෙ 1976  දී විතර  ඒ කලෙ මේ ගීය ජනප්‍රිය වුනේ නැහැ. කපුගේ මේක කිව්වෙ ගුවන් විදු ලි  සරල ගී වැඩසටහනකට. පළමු පටිගත කිරීමෙන්ම  ගීතය ඉවත් වුණා. කොහොම වුනත් ඒ මුල් ගිය අහපු කපුගේටම හිතෙන්න ඇති මේ ගීයට  ඔහු අතින් කිසිම සාධාරනයක් ඉටුවෙලා නෑ කියලා. ඒ ගීයට සාධාරණයක් ඉටුනොවුන විට ඔහු කම්පනයට පත්වෙන්නත් ඇති. ඒ මොකද කපුගේ සැබෑ ගීතය  වෙනුවෙන් පෙනී සිටි කෙනෙක් නිසා. ඒ නිසාම කපුගේ මේ ගීය නැවත ඊට අවුරුදු දහය කට දොලහකට  විතර පස්සෙ නැවත පටිගත කරනවා ඒ 1985 දී “මාවතේ ගීතය” සිංග්ලංකා කැසට් පටය වෙනුවෙන්.  දෙවන වරට මේ  ගීය අලුත් තනුවකට පටිගත කළා.  ඉන් පස්සෙ ඒ ගීය ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ වගේ ම ලංකාවෙම ජනප්‍රියම ගීත දර්ශක තෝරපු ආරම්භක වර්ෂවල පිට පිටම වසර 03 පළමු ස්ථානයේ තිබ්බෙ “නින්ද නැති රැයේ” දෙවන පටිගත කළ  ගීතයයි. 

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී  ‍රෝස පෙති කඩා හැලේ


කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ...

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර  ඒ මගේ

ගේය පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : විශාරද ගුණදාස කපුගේ

 1976 දී මුල්වරට පටිගත කළ නින්ද නැති රැයේ ගීය මෙතනින් අහන්න


බෙහෝ වෙලාවට තමන් අතින් අසාර්ථක වූ ගීයක් නැවත ශිල්පියෙකු  නැවත පටිගත කිරීමක් නොකර ඉවත දානවා. ඒත් කපුගේ තුල හිටපු සෙඳුරු මිනිසා රත්නශ්‍රී විජේසිංහ ලියූ  ගීතයට උපරිම සාධාරනය ඉටු කළා. ශිල්පියෙකුගේ පරිණත භාවයත්, නිර්මාණයක තිබිය යුතු ගුණාත්මක බවත් කපුගේ  තේරුම් ගත්තා.  ඒක තමයි නියම කලාකරුවකුගේ ස්වභාවය. කපුගේ කියන්නෙ ඒවගේ සොඳුරු හදවතක් තිබූ සොඳුරුතම මිනිසෙක් ඒකයි ජනතාව කපුගේට ආදරේ කරන්නෙ. මමත් කපුගේට ආදාරේ කරන්නෙ අන්න ඒ මානව වාදී ගුණය කපුගේ තුල තිබුණු නිසයි..෴


සටහන:

මේ පෝස්ට් එක දමා විනාඩි කීපයකින් පරිගණක දෝෂයක් හේතුවෙන් මැකී තිබුණා. නැවත සකර කළ පෝස්ට් එක මෙයයි. ඔබට සිදුවූ අපහසුතාවයට කණගාටුව

 හිතට දැණුන දේ මෙහි ලියලම යන්න, ඔබේ වටිනා කාලයෙන් බිඳක් අස්වැන්ට වෙන් කලාට ස්තුතියි
 






Related Posts Plugin for WordPress, Blogger...