එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...
Showing posts with label නෑසෙන ගී රස. Show all posts
Showing posts with label නෑසෙන ගී රස. Show all posts

Wednesday, 15 January 2014

෴ ඇසුනත් නෑසෙන ගී෴




ද දුරුතු පුර පසලොස්වක පෝය දවස. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ට විශේෂ සිදුවීම් කිහිපයක් මුල්කරගෙන වැදගත් වන පෝය දවසක්.  බුදු හිමියන් සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා හරියට ම මාස නවයක් ගත වූ පසු මුල් වරට යක්ෂයන් දමනය කිරීම සඳහා මහියංගනයට වැඩම කොට සූත්‍ර ආදී දහම් දේශනා කරල යක්ෂයන් දමනය කළේ මේ වගේ අති උතුම් දුරුතු පුර පසලොස්වක පෝය දිනයක. ඒ හින්දා අස්වැන්න ලියන මාත් කල්පනා කළා මේ පෝය දවසෙ අපි නිතර අහන අසා ඇති බුදුගුණ ගීයක් වුණත් ඔබ අසා නැති බුදු ගුණ ගීතයක් ගැන ලියන්න.

සාමාන්‍යයෙන් ලංකාවෙ සිංහල ගීත සාහිත්‍ය තරමක් අතීතයට විමසා බලන කොට, ඒ කියන්නෙ ලංකාවෙ බුද්ධිමය දේපල නීතියට හරියට ම ක්‍රියාත්මක වෙන්න කලින් එක ම ගී පදමාලාව ඇතැම් විට එකම ගායන ශිල්පියා හෝ ශිලිපිණිය දෙවතාවකට ගැයූ අවස්ථා හමුවෙනව. එමෙන් ම එක ම ගීතය  ශිල්පීන් කීපදෙනෙකුගේ ම හඬවල්වලින් අහන්න ලැබෙනව.  මතකනේ මම මීට අවුරුදු දෙකකට විතර පෙර  විශාරද ගුණදාස කපුගේ ගායන ශිල්පියාණන් විසින් “නින්ද නැති රැයේ” ගීතය දෙපාරකට ගී තනු දෙකකට ගැයූ හැටි ලිව්වා. 

අන්න ඒ විදිය‍ට එක ම  ගීතය දෙතුන් වතාවකට ගායක ගායිකාවන් විසින් විවිධ ගී තනුවලට ගැයූ අවස්ථා රැසක් ම සිංහල ගීත සාහිත්‍යයේ අපට හමුවෙනව වගේ ම අහන්නත් ලැබෙනව. හරියට ම එවන් ගීත කීපයක් මතක් කලොත් වැඩි ම වාර ගණනක් විවිධ සංගී ක්‍රම වලට,  විවිධ ගායක ගායිකාවන් රැසක් ගැයූ ගීතය විදියට “දන්නෝ බුදුන්ගේ” ගීතය අපට හමු වෙනව. ඒ වගේ ම ටී.එම්. ජයරත්න සහ නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිණියත් තවත් ගායන ශිල්පිණියකත් විසින් ගැයූ “රන් ටිකිරි සිනා” ගීතය ඒ ශිල්පීන්  තනි තනිව ඒකල වශයෙනුත් යුග ගීයක් විදියටත් ගායනා කරල තියෙනවා. ආචාර්ය අමරදේවයන් මෙන් ම ලතා වල්පොල ගායන ශිල්පිණිය ගැයූ “සීන හතක් මැද” ගීතයත් එක ම තනුවකට දෙදෙනා ම ඒකල වශයෙන් ගැයූ අවස්ථාවක්.  එතකොට ආචාර්ය දයාරත්න රණතුංග සහ එච්. ආර්. ජෝතිපාල ගැයූ “කිරි ඉතිරේවා නව වසරේ” ගීතයත් එහෙම ශිල්පීන් දෙදෙනෙකු ගැයූ අවස්ථාවක්. ඒ වගේම ජෝතිපාල - ඇන්ජලීන් ගුණතිලක සමගත්, ජෝතිපාල තනිවත් ගැයූ “තනියේ ආවාරේ” ගීතයත් ඒ වගේ ගීයක්. මේ විදියට සිංහල ගීත සාහිත්‍ය තුළ විශාල ගීත ප්‍රමාණයක් දෙතුන් වතාවකට පටිගත වූ ගීත විදියට අපට අහන්න ලැබෙනව.

ඒ ‍එකම පදමාලාව වුණත් ‍සමහර වෙලාවට ජනප්‍රිය වෙලා තියෙන්නෙ දෙවන අවස්ථාවේදි ගැයූ ගීතයෙන්. “නින්ද නැති රැයේ” ගීතය දෙපාරකට ගී තනු දෙකකට කපුගේ ගායානා කළත් ජනප්‍රිය වුණේ ඒකෙ දෙවන පටිගත කිරීම එහෙමත් නැත්නම් අපි අද අහන ජනප්‍රිය නින්ද නැති රැයේ ගීතය. ඒ වගේ   පසු කාලයේදි කපුගේ ගැයූ බොහොමයක් ම ගීත දෙවන වතාවෙදි කළ පටිගත කිරීම් වලින් පසුව තමයි ජනප්‍රිය ගීත බවට අද දවසේ පත්වෙලා තියෙන්නෙ.

අනෙක් අතට එක ම ගීතය දෙදෙනෙක් ගැයුවත් ඒ ගීත දෙක ම ජනප්‍රියයි. සමහර විට එකම තනුව නිසා එක සමානව රසයක් ලැබෙනව. ඒ කොහොම වුණත්  ඒ ගීතයක් ඇහෙන හැම වෙලාවකම අපිට ඒ ඇහන ගීතය මිස ඒ ගීතය නැවත තවත් ගායන ශිල්පියකු හෝ ශිල්පිණියක ගැයු බවක් හෝ ගයා ඇති බවක් දැනෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි  අපි ඒ මොහොතේ ඒ ඇසෙන ගීයට අසීමිතව පෙම් බැඳීමත්, ඒ ගීතය අප තුළ අසිමිත රසිකත්වයක් ගොඩ නංවන නිසාත් වෙන්න ඇති කියල මට හිතෙන්නෙ.

අන්න ඒ වගේ ගීයක් තමයි අද අපි අස්වැන්නෙන් අහන මේ ගීතය. මේ මුලින් ම ගීතය ගැයුවෙ ගායන ශිල්පිණී නීලා වික්‍රමසිංහ,  සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙ. මේ ගීතයේ තිබෙන විශේෂත්වය තමයි මේක ඉතාමත්ම ජනප්‍රිය වුණේ ආචාර්ය වික්ටර් රත්නායකයන් හඬින්, එතුමා විසින්  අතිමධුර සර්ධා සම්පන්න, නිරාමිස හැඟීමක් ගෙන දෙන  ගී තනුවක්  ‍නිර්මාණය කරල එතුමා විසින් ම ගායනා කළ පසුවයි. ඒ කියන්නෙ දෙවනි වතාවට වික්ටර් රත්නායකයන් විසින් පටිගත කළ ගීතය තමයි අද දවසේ අපි බොහොම ආදරයෙන් වගේ ම පහන් සිතුවිලි වලින් පුරෝගෙන අහන “බුදු හාමුදුරුවො අපිත් දකින්නැති” කියන ගීතය.

 මේ ගීතය මුලින් ම ගායනා කලේ ශිල්පිණී නීලා වික්‍රමසිංහ. ඒ 1979 -80 කාලයේ දී විතර. කාලය හරියටම නිශ්චිතව කියන්න අපහසු වුණත් මේ ගැන මම සොයාගත්ත දත්ත සහ තොරතුරු අනුව 80 දශකයේ මැද භාගය වෙනකොට ආචාර්ය වික්ටර් රත්නායකයන් මේ ගීතය දෙවන වරට පටිගත කරල ඉතාමත් ජනප්‍රිය වෙලා තිබුණා.

කොහොම වුණත් විජය රාමනායක - කුලරත්න ආරියවංශ පුරෝගාමීත්යෙන් 1977 දී පමණ ලංකාවෙ කැසට් ගීත කලාව බිහිවුණා. මුලින්ම කැසට් නිෂ්පාදය වුණේ “තරංගා” ලේබලයෙන්. අන්න ඒ කාලෙ නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිණියක වශයෙන් ගීත 12 ක් ඇළත්කර  කළ ‍ඇයගේ දෙවන  නිර්මාණ එකතුව “ගී” නමින් නමින් නිකුත්  වූ කැසට් පටය. ඒ ගීත එකතුවට තමයි මේ ගීතය ඇතුළත් වුණේ. ඒ කාලෙ මේ ගීත එකතුව නිෂ්පාදය කරල තිබුණෙ “ෂැම්රොක්” කැසට් ලේබලයෙන් . ඒ කැසට් පටයේ මේ ගීතය ජනප්‍රිය නොවුණත් ඇයගේ අනෙක් ගීතවලින් හරි අඩකටත් වැඩිය ජනප්‍රිය ගීත බවට පත් වුණා.

 මේ ගීතය මුලින් ම ගායනා කළේ නිලා වික්‍රමසිංහ බවට ගීත  තොරතුරුවල සටහන් වෙන්නෙ නෑ වෙන එකක් තබා පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් 1985 ලියා ප්‍රකාශයට පත්කළ “සංසාරේ අපි” ගීත කෘතියේ පවා “බුදු හාමුදුරුවො අපිත් දකින්නැති” ගීතය ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීතවත් කොට ගැයූ ගීතයක් බවටයි සටහන් වෙන්නෙ. මට හිතෙන හැටියට වික්ටර් රත්නායකයන් ගැයූ ගීතය ජනප්‍රිය වූවායින් පසුව ඒ ගීතයට යම් අසාධාරණයක් සිදුවේවි යැයි කල්පනා කරල තව දුරටත් නීලා ගැයූ ගීතය පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ නොකරන්නත් ඇති. එසේම නීලාගේ ගී හඬ තුළ ශාන්ත රසයක් නොදැනෙන නිසාත්, ඇගේ ගී හඬ වඩාත් ගැලපෙන්නේ ජන ගී සම්ප්‍රදායට හෝ එසේත් නැත්නම් බටහිර ගී ආරට බව ඇයටම වැටහුණා විය හැකිය. මේ ගීතය තුළ ඇගේ ගී හ‍ෙඬෙහි ශාන්ත රසයක් නොදැනෙන්නේ ඒ නිසා විය හැකි බව මටද සිතේ.

 ඒ කොහොම වුණත් ඒ විදියට නීලා වික්‍රමසිංහ ගැයූ “බුදු හාමුදුරුවො අපිත් දකින්නැති” මුල් ගීතය විදියට අතීතයට එකතු වුණා. දෙවන වරට පටිගත කළ ගීතය ජනප්‍රිය වුණා. 

ඒ විදියට කල්පනා කරන විට අද වගේ එදාත් දුරුතු පුර පසලොස්වක පෝය දවසක ලංකාවට මුල්වතාවට බුදුහාමුදුරුවො වැඩම කරන විට අපිත් සංසාරෙ කොහේ කොතැනක හරි ඉන්න ඇති. ඒත් බුදුන් දැකල නිවන් දකින්නට පිං මදි වෙච්ච නිසා මේ දුරුතු පුර පසලොස්වක පෝය දවසෙත් අපි මේ සංසාර චක්‍රයේ තාම සැරිසරනවා. ඒ හින්දා වෙනසකටත් එක්ක නීලා වික්‍රමසිංහ ගැයූ මෙන්න මේ ඔබ අසා නැති “බුදු හාමුදුරුවො අපිත් දකින්නැති” ගීතය අහන්න කියල ආරාධනය කරනවා.෴

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින්මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ

දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වඳින්නට ඒ කාලේ
නිවන් දකින්නට පින්මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ

අපිත් එක්ක හිටි අපේම යාලුවො
නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පිං පුරවමු අපි සංසාරේ.

ගීපද මාලාව: පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගැයුම: නීලා වික්‍රමසිංහ

ගීතය මෙතනින් අහන්න
                       


Friday, 7 December 2012

෴ කුරුලු පරාදීසයේ කුරුලු ගී හඬ... ....෴





ගීතයේ සංගීතයේ විවිධ රස මුසු තැන්  සටහන් වන අස්වැන්නෙන් අපේ මතකයෙන් ගිළිහුණ ගායන ශිල්පින් සහ ශිල්පිණියන්ගේ ගී නිර්මාණ ගැනත් යමක් සටහන් කළ යුතු යැයි සිතට නැගුණි. ඒ නිසා ඒ කලාකරුවන් අතරින් අද අස්වැන්න සටහන තබන්නට මා තෝරාගත්තේ ඔබේ මතකයෙන් බැහැර වූ ප්‍රවීන ගායන ශිල්පී අයිවෝ ඩෙනිස්  ගැයූ ගී කීපයක්.

අයිවෝ ඩෙනිස් වැනි ගායන ශිල්පියකු අපේ මතකයට නැගෙන්නේ අවුරුද්දකට වතාවක් දෙකක් පමණි. ඒ නත්තල් සමයක කිතුනු ගීයෙන් එහෙමත් නැත්නම් නිදහස සමරන පෙබරවාරි මාසයේදී දේශාභිමානී ගීතවලිනි . හැම වසරකම අසිරිමත් නත්තල සමරන  නත්තල් මාසයේ කිතුණු ගීයෙන්ද,  නිදහස සමරණ පෙබරවාරි මාසයේ දේශාභිමානී ගීයෙන්ද අපේ සිත් නිරන්තරයෙන් අවදි කරන්නේ අයිවෝ ඩෙනිස් වැනි ශිල්පීන් විසිනි.

අයිවෝ ඩෙනිස්ගේ ගීත ගැන කතා බහක් ඇති කිරීමට  අදහසක් හිතට නැගුණේ මීට සතියකට පෙර දිනෙක ඔහුගේ ගී ප්‍රසංගයක් සහ උපහාර උළෙලක් සංවිධානය කර තිබූ නිසාය. අසූවැනි වියේ පසුවන මේ ගායන ශිල්පියාගේ "කුරුලු පරාදීසයේ"   ගී ප්‍රසංගයේදී ඇසුණු ඔහුගේ මියුරු ගීතාවලිය සවනට වැටෙන විට කිසිම රසිකයෙකුට ඔහු අසූවැනි විය ඉක්මවා සිටින්නෙකු ලෙස කිසිවකත් නොහැ‍ඟේ. මන්ද ඒ තරමට මිහිරිව  නියම ශ්‍රැති සහ තාලස්ථානයන්හි පිහිටා  ගී ගැයිමට තරම් ශක්තියක් ඔහුට තිබෙන බැවිනි.

අයිවෝ ඩෙනිස්ගේ දේශාභිමානී ගීත නිරන්තරයෙන් අසා ඇති නිසා තවදුරටත්  ඒ ගීත අසනු වෙනුවට කලාතුරකින් ඇසන ‍එසේත් නැත්නම් ඔබ මීට පෙර අසා නැති අයිවෝ ඩෙනිස්ගේ ප්‍රේම ගිත කීපයක් අද දවසේ කතාබහට එකතු කරන්නට සිතුවෙමි.

කුරුලු පරාදීසයේ
කුරුලු ගිත සාගරේ
ඔබ හා විසුමට එන්නම්
කුරුලු සුරපුරේ
( තිලක් සුදර්මන්ද සිල්වා / සුනිල් සාන්ත)

දශක පහකටත් වැඩි දිගු ඉතිහාසයක් ඇති මේ ගීතය සිංහල ගීත රසිකයන්ගේ තුඩ තුඩ රැව් දුන් ගීයකි. මේ ගීයේ ජනප්‍රියත්වය එදා මෙන්ම අදටත් නොනැසී පවතින්නේ  එහි ඇති සරල බවත් මධුර බවත් නිසාමය.

සුනිල් සාන්තයන්ගේ සංගීතයෙන් හැඩ වූ මේ ගීතය සුනිල් සාන්තයන් විසින්ම ගුවන් විදුලියේ ඉදිරිපත් කළ "රන්වැට" නම් වූ ගුවන් විදුලි වැඩසටහනට ගායනා කරමින් ගී ලොවට පිවිසියේය.  අයිවෝ ඩෙනිස් තමන්ගේ මුල්ම ගියෙන් සංගීත කරලියේ තම නම රඳවා ගැනිමට සමත්වන්නේ මේ ගීතය නිසාය. ඔහු අද  අසූවැනි වියේදිත් මේ ගීය ගායනා කරන විට මට හැඟුණේ  වයසට ගොස් ඇත්තේ ඔහු නොව අප බවයි.
සුනිල් සාන්ත

ඕනෑම ගායන ශිල්පියෙකුට සිය ජීවිතයේ සැඳෑ සමයේ මිහිරට ගී ගැයිම අපහසුය. ගායනයේදී නියම ස්වරස්ථානයන්හි හඬ නොපිහිටීම, මුල් යුගවල තරම් ගායනය සඳහා ජවයක් නොතිබිම වැනි ගීතයක් රස ගැන්විමට අත්‍යවශ්‍යම සාධක වයෝවෘද්ධ භාවයත් සමගම ශිල්පියා තුලින් බැහැරවීම සාමාන්‍ය ලක්ෂණයයි. එය ගී ගයන නොගයන අප කාටත් පොදුය. ඒත් ඇතැම් විට  වියපත් වූ පසුව එවැනි ශිල්පීන්ගේ ගායනාවලට රසිකයන් පෙම් බඳින්නේ ඔවුන් ගොඩනගා ගත් කීර්තිය සහ ජනප්‍රියත්වය තවදුරටත් පිළිගන්නට පුරුදුව සිටින බැවිනි.

අයිවෝ ඩෙනිස් ඊට හොඳම නිදසුනකි. ඔහු වයසින් ගෙවන්නේ ජිවිතයේ සැඳෑ සමය වුවත් ගායනයෙන් තවමත් තරුණ හඬක් සහිතය. සංගීතයෙන් ඔහු ගොඩනගා ගත් පෞරුෂය  අසූවැනි විය ඉක්මවා සිටියද නියම ස්වරස්ථානයන්හි පිහිටා නව ජවයකින් යුතුව තවමත් ගායනයේ නියැලෙයි. එය අප ලද භාග්‍යක් සේම සිංහල ගීත රසිකයන්ගේද  වාසනාවකි.

අයිවෝගේ නිරන්තරයෙන් ඇසන දේශාභිමානී ගීතවලට වඩා මතු දැක්වෙන ගීතයේ දැනෙන ජීව ගුණය අප සිත් නැවුම් ඉසව්වකට කැඳවයි.  මේ ගීතයේ පද රචනය කවුදැයි මටද සොයාගත නොහැක. එසේ වුවත් කලාතුරකින් ඇසෙන මේ ගීය ඔබ මිට පෙර ඔහුගේ අසා ඇති දේශාභිමානී ගීවලට වඩා බෙහෙවින්ම වෙනස් ය.

අන්න බලන් මගෙ මැණිකේ
ගොයම දිලෙනවා ගොයම දිලෙනවා
මඳ සුළගේ නැළවි නැළවි
පවන් සලනවා පවන් සලනවා

ඔබේ ගතින් හෙළු ඩා බිඳු
එකට මුසුවෙලා එකට මුසුවෙලා
බණ්ඩි ගොයම තුළ සැඟවී
කරල් පැහෙනවා කරල් පැහෙනවා

ඔබේ දෑතින් නෙළූ කෙතේ
ගොයම් පිදිලා ගොයම් පිදිලා
ඔබෙ ගීයෙන් ඇල් වී යේ
රසය වැඩිවෙලා රසය වැඩිවෙලා

නව දවසේ නැවුම් සුවඳ
දසත හමනවා දසත හමනවා
රෑන ගිරව් රෑන පිටින්
කෙතට ඇදෙනවා කෙතට ඇදෙනවා

දෑත දෙපා සවිබලයෙන්
කෙත පූදිනවා රට සරුවෙනවා
පුතුට අපේ දුවට අපේ
ජය ගෙනදෙනවා ජය ගෙන දෙනවා

ගීපද මාලාව -
සංගිතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම - අයිවෝ ඩෙනිස්  සහ මාලනී බුලත්සිංහල




සුනිල් සාන්තයන්ගේ සංගීතයේ ආභාෂය අයිවෝ ඩෙනිස්ගේ ගීවල පැහැදිලිව දැකිය හැකිය. ඇතැම් විට එය ගී රසිකයන්ට දැනෙන්නේ හඬ අනුකරණය කිරිමක් ලෙසය. ඒ ඔහු සුනිලුන්ගේ ගී ආභාෂය සහ ගායන ශෛලිය අනුගමනය කර තිබූ හෙයිනි. කෙසේ වුවත් අයිවෝ ඩෙනිස් ගැයූ කුරුලු පරාදීසයේ ගීතය සේම , දකුණ නැගෙනහිර, අභිමානනීය වූ නවෝදයේ හිරු, සැළෙන ළෙලෙන උකුලු තලේ, වලාකුලින් බැස, වැනි දේශාභිමානී ගීත සිංහල ගීත වංශයේ රන් අස්වනු සේ හැඳින්විම නිවැරදිය. අප බාල වියේදී ඇසූ ඒ දේශාභිමානී ගීත තවමත් මතකයෙන් බැහැරව නොයන්නේ ඒ නිසාය.


අයිවෝගේ ගායනයට හසුවුන ගීත ප්‍රමාණය ඉතාමත් සිමිත  වුවත් වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමාව, සරළ ගීතය, කැසට් ගීත ආදී  විවිධ ඉසව් ඔස්සේ ඔහුගේ ගායන පරාසය විහිද ගොස් තිබීමද විශේෂය. දේශීය සංගීතය, හින්දුස්ථානි සංගීතය, බෙංගාලි සංගීතය, බටහිර සංගීතයේ මුසුවත් ඔහුගේ ගී තුළ ඇති බව පෙනේ. විශේෂයෙන්ම සුනිල් සාන්තයන් අනුගමනය කළ සංගීත ශෛලිය බෙංගාලි සංගීත සම්ප්‍රදායට සමීප වූ බැවින් සුනිල් සාන්තයන්ගේ සංගීතයේ ශෛලිය අයිවෝ ගැයූ ගී වලින්  අපට දැකිය හැකිය.

එසේ වුවද සුනිල් සාන්තයන්ගේ හැරුණු විට  අයිවෝගේ ගායනයේ ස්වර පරාසය සහ ඔහුගේ ගී හඬ පැහැදිළිවම හඳුනාගත් අනෙක් සංගීතවේදියා වූයේ ප්‍රේමසිරි කේමදාසයන්ය. ඒ නිසාම අයිවෝගේ ගී හඬින් නියම විපුල පළ නෙළා ගැනිමට කේමදාසයන්ට හැකිවිය. කේමදාසයන්ගේ සිනමා සංගීතයට අයිවෝ ඩෙනිස් දායක කරගැනිමට තරම් දුර දක්නා නුවනක් ඔහුට තිබුණි. මතු දැක්වෙන ගීයද කේමදාසයන්ගේ නිර්මාණයකි. සංසාරගත ප්‍රේමයක විරහ වේදනාව ගීතයේ තවරා හදට දැනෙන ගීතයක්  බිහිකිරීම සඳහා මේ හඬ මුසුව කෙතරම් ඉවහල් වි ඇද්දැයි සිතෙන්නේ හුදකලාවක මේ ගීත නිස්කාංසුවේ අහගෙන සිටිනා මොහොතකදී ය. මේ අයිවෝ ඩෙනිස් ගැයූ එවන් රමණීය විරහ  ගීයකි.

ඉරවට යන ගිරවියනේ
මගේ ගිරවිය කොහිද අනේ

වනන්තරේ තුරු වදුලේ  කූඩුවෙලා උන්නු අපී
නිරන්තරේ ආලමතින්  ලෙන්ගතුවී උන්නු අපී
මගෙ ගිරවිය කොහිද කියන් සඳ වට යන සාවුනේ

කයිතාලම් ලේන හඬින් කවි සීපද සිංදු කියා
ඈ අහසේ පඳුරු උඩින් මට නොකියා යන්න ගියා
මගෙ ගිරවිය කොහිද කියන් වනයට හිමි දේවනේ

හිත පපුවට ගිනි ඇවිලී මට තනිකම දැනුනාවේ
සතර වරම් දෙව් සරණින්  ඈ නිදුකින් උන්නාවේ
මගෙ ගිරවිය කොහිද කියන් සත් පත්තිනි සාමිනේ

ගීපද මාලාව - ආචාර්ය අජන්තා රණසිංහ
සංගිතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම - අයිවෝ ඩෙනිස්  

           

අයිවෝගේ චිත්‍රපට පසුබිම් ගී අතර බඹරු ඇවිත් චිත්‍රපටයේ උදුම්බරා හිනැහෙනවා ගීතයත්, අවරගිර චිත්‍රපටයේ බමරුද බමරුද ගිතයත්,  හිමකතර චිත්‍රපටයේ කන්ද එහා වැස්ස වසින්නා ගීතයත් කේමදාසයන්ගේ සිනමා සංගී‍තයේ අමරණීම සටහන් ය. ඒ හැරුණු විට ආදර හසුන චිත්‍රපටයේ රෝහණ වීරසිංහගේ සංගීතයට සුනිල් එදිරිසිංහ සමග ගැයූ රන් දෙවොලින් බැස එන් දෙයියෝ ගීතයද අයිවෝගේ සිනමා ගි සිත්තම් අතර වේ. ඒ හේතුවෙන්ම 1985 වර්ෂයේදී හිමකතර චිත්‍රපටයේ කන්ද එහා වැස්ස වසින්නා ගීය වෙනුවෙන් එම වසරේ හොඳම චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියා ලෙස ජනාධිපති සම්මානය පවා ඔහුට හිමිවිය.

සුනිල් සාන්තයන්ගේ ගීත සම්ප්‍රදාය අනුගමනය කළ ගායන ශිල්පියෙක් ඒ ආභාෂයෙන් මිදී කේමදාස සම්ප්‍රදායට අනුගත විමට නම් ඒ ශිල්පියාට සංගිතය පිළිබඳව මනා අවබෝධයක් සහ වැටහීමක් තිබිය යුතුය. එසේ නොවුන හොත් ඒ ශිල්පියා කේමදාස සංගීත සම්ප්‍රදාය තුළ අතරමං වේ. ඒ සම්ප්‍රදාය සැනෙකින් ශිල්පියෙකුට හදුනා ගැනිමට යම් තරමක අපහසු කටයුත්තක් වුවද අයිවෝ ඩෙනිස්  මුල සිටම කේමදාසයන්ගේ සංගීත ක්‍රම පිළිබඳව පැහැදිළිවම අවබෝධ කරගෙන තිබුණි. ‍ඒ නිසාම කේමදාසයන් මියයන තෙක්ම ඔහුගේ ඔපෙරා කැන්ටාටා සංධ්වනි වලට දායක විමට අයිවෝට හැකිවිය.

කලාතුරකින් අයිවෝ ඩෙනිස්ගේ හඬින්  ඇසෙන ප්‍රේම ගීත වල දැකිය හැක්කේ අපූරු සෞන්දර්යයකි. ගායන ශිල්පියෙකු ප්‍රේම ගීයක් ගායනයේදී ප්‍රේමය වැනි මාතෘකාවක් ස්පර්ශ කරන ආකාරයට හාත්පස ගැඹුරු හෘදය සංවේදී ගායන රීතියක් කරා ළඟා වන අයුරු අයිවෝගේ ප්‍රේම ගීවලින් අපට දැනෙයි.  ඇතැම් විට යෞවනයකුට දැනෙන ප්‍රේමයේ මිහිරි බව වියපත් වූ කෙනෙකු‍ට එලෙසින්ම දැනේනට ඉඩ හරින මේ අපූර්වතම ප්‍රේම ගීයද ගීත සාහිත්‍යයේ හමුවන අපූරු ගීතයකි. මේ ගියේද රචනය මට සොයාගත නොහැක.


පාසල් උයනේ නා ගස් හෙවනේ
පෙරදා පෙරදා සැනකෙළි දිනයේ
මතකද අප හමුවූවා
ආදි සිසුන්ගේ මල් සැල ළඟදී
පැරණි හැඟුම් මතුකරවා
තුරුණු සිනා පා ආදර හැඟුමින්
පිළිගත්තා

පාට පාට විදුලි පහන්
නිවී නිවී යළි දිලී ගියා‍
පිපී තිබුණ මා හදවත් මල් විල
එයින් සසල වූවා
පියවි ලොවින් මොහොතක් සමුගෙන
සිහින ලොවේ වල්මත් වූවා
පාසල් උයනේ තුරුලිය ගොමුවේ
මලින් පිරී තිබුණා

එනමුදු කාලයෙ සැඩ පහර වැදී
සිතුවිලි සිත්තම් බොඳ වූවා
සිතුවම් නිවහන ගරා වැටී ඇත
යළි එය ගොඩ නංවන්න එපා
අතීත මතකය මිය යන්නට හැර
පෑරුණු සිත මාගේ
සුවපත් වන්නට ඔබ සිත් දැහැනින්
මම සමුගනිමි ප්‍රියේ...
මම සමුගනිමි ප්‍රියේ...

ගීපද මාලාව -
සංගිතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම - අයිවෝ ඩෙනිස්  

               

දශක පහකට අධික කාලයක් මුලුල්ලේ තමන් ගොඩනගාගත් සංගීතයේ රැ‍ඳෙමින් අසූවැනි වියේදිත් තවමත් ඹදුර ගායන ලීලාවක් ඇති මේ සොඳුරු ගායන ශිල්පියාගේ ගී කුමන අකාරයෙන් සංගීත රැලි හඹා ආවත්ඉන්ද්‍රඛිලයක් සේ තවත් යුග ගණනාවක් පුරා රැව් දෙනු නිසැකය.෴


වටිනා කාලය බිඳක් වැය කර ගී රස විඳිමින් කියවූ ඔබට  ස්තූතියි. වෙලාවක් ඇත්නම්  මීට වඩා වෙනස් වූ  ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න

Related Posts Plugin for WordPress, Blogger...