එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...
Showing posts with label පිපී සුවඳ දුන් කුසුම්. Show all posts
Showing posts with label පිපී සුවඳ දුන් කුසුම්. Show all posts

Monday, 2 June 2014

෴මේ දිවිය අතර මග කිම නතර කළේ මෙලෙසින්෴





                           

                             ෴ නිවුණු පහන්෴

ලංකාවෙ මාධ්‍ය කලාව තුළ සුවිශේෂ මෙහෙවරක් කළ සුවිශේෂ හැකියාවන් ගෙන් යුතු සහෘදයන් දෙනෛකුගේ අකල් සමුගැනීම් පසුගිය දා සටහන් විය. එක් ශෝක ජනක පුවතක් වාර්තාවී එහි උණුසුම පහව යන්නටත් කලින් අනෙක් අකල් වියෝව සටහන් විය. එක පෙළට එකම ආසන්නයේ සිදුවූ මේ මේ වියෝවන් දෙකම දරාගන්න අපහසුම වෙන්වීම් දෙකක් වුයේ ඔවුන් දෙදෙනාම කලාවට බෙහෙවින්ම ඇලුම් කළ සහෘදයන් දෙදෙනෙකු වූ නිසා ය . කලාවට වගේ ම මිනිස් කමටත් එකසේ  ආදරේ කරපු ඒ ආදරේ ගැන අපේ හදවත් අවදි කළ මේ අකල් සමුගැනීම් වලට තවමත් පසු තැවෙන්නට සිදුව ඇත්තේ  ඒ නිසා ය. සංජය සේනානායක සහ විපුල් ධර්මප්‍රිය ජයසේකර  මිනිස් හදවත් වලට ආදරේ කියාදුන්න, උගන්වපු සුන්දරම හදවත් දෙකක්. මේ දෙදෙනා ම  සමාන රේඛාවක අන්ත දෙකක් නියෝජනය කළ  දෙදෙනෙක්. සංජය  සහ විපුල් ගැන වෙන වෙනම කතා කළ යුතු වුණත් යළිත් කිසිම දාක ලියවෙන්නට නො හැකි මේ සුන්දරම හදවත් දෙක අද අස්වැන්න එකම තලයක බහා සටහන් කරන්නෙ මේ ප්‍රේමණිය චරිත දෙකෙන් අපට ඉගනගන්න බොහෝ දේ තියෙන නිසා.


සංජය ගැනත් විපුල් ගැනත්  අන්තර්ජාලයේත් පුවත් පත් ඔස්සේත්  බොහෝ දේ ලියැවුණා. විපුල් ගැන මා සුමිතුරු යසනාත් ධම්මික බණ්ඩාර හෘදයාංගම සටහනක් ලිව්ව යසනාත් සිතුවිලි ඔස්සේ. යසනාත් විපුල් ගැන සහ ඔහුගේ ගිත කලාව ඔහුගේ ගීත ඇසුරින් තැබූ සටහනට ඇතුළත් නොවූ විපුල් ලියූ ගීත කීපයක් සංජයත්, විපුල් වෙනුවෙනුත් ලියා තබන්න කල්පනා වුණේ ඒ නිසා.

අස්වැන්න ලියන මට කිසිම දවසක සංජය  හමුවෙලා නෑ.  ඒත් විපුල් ම‍ට සමීප බෙහෙවින්ම ළඟින් ඇසුරු කළ මිත්‍රයෙක්. ඒ වගේම  සංජය ඇසුරු කළ බොහෝ දෙනෙක් කීවේ හඳුනාගත යුතුම චරිතයක් මට මග හැරුනු බවයි. 

සංජය සේනානායක ලංකාවෙ ජනප්‍රිය සංස්කෘතිය තුළ ජනප්‍රිය නො වූ ඒත් කලා ක්ෂේත්‍රෙය් කෙනෙකුට එක එල්ලේ වටහා ගැනිමට නොහැකි අපූරු චරිතයක්. මීට මාස කිපයකට කලින්  අපෙන් සමුගත්  මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ  සුවිශේෂ හැකියාවන්ගෙන් යුතුව කලා ක්ෂේත්‍රය නියෝජනය කළ කලාකාරිනියක වූ සුනිලා අබේසේකර සහ 71 කැරැල්ලේ  දේශපාලන ක්‍රියාකාරිකයකු වූ කේලි සේනානායකගේ පුතණුවන් ය. අම්මාගේ කලාව සහ සමාජ සේවාවාත් තාත්තාගේ දේශපාලනයේ හැඩරුවත් සංජයට පිහිටල තිබුණේ නිතැතින්ම. ඒත් සංජය කිසිම විටක තමන්ට ආලෝකය සැපයූ ඒ ප්‍රධාන ධාරාවන් ගෙන් එළිය ලැබුවත් ඔහු අනුගමනය කළේ ඒ ආලෝකවලින් මිදී තමන් නිවරදි යැයි හැඟෙන හිතුන දේ කරන  නිදහස් ජීවිතයකි. එසේම මාධ්‍ය ක්ෂේත්‍රය ඔහු හඳුනාගෙන තිබුණෙ නිදහස් මාධ්‍ය වේදියෙක් ලෙසිනි.

වීඩියෝ වාර්තා වැඩසටහන් ක්ෂේත්‍රයේ විශිෂ්ඨයකු වූ සංජය දෙස් විදෙස් ආයතන රැසක් සමග කටයුතු තිබුණි. සංජය සතු වූ තියුණු විචාරශීලීත්වය, ඕනෑම අභියෝගයකට මුහුණ දිමට තරම් වූ එඩිතර කමත්, කැමරාකරණයෙහි පෑ සුවිශේෂ හැකියාවත්  වැඩසටහන් සංස්කරණ කටයුතු වලදි දැක්වූ දක්ෂතාවයත් ඔහු සතු වූ බස හැසිර වීමේ චතුර බවත් නිසා  සංජය මාධ්‍ය ලෝකයේ සුවිෂේෂ චරිතයක් බවට පත්විය. වාර්තා චිත්‍රපට නිර්මානකරණයේ සියලූ අදියරයන්, විශිෂ්ට අන්දමින් තනිව නිම කළ හැකි තරුණ ශිල්පියකු පිළිබඳව ලංකාවෙන් හමුවන හොඳම ශිල්පීයත්වය දකින්නට ලැබෙන්නේ සංජයගෙනි.

අව්‍යාජ ගුණයත්, මිත්‍රත්වය හා අධීනත්වයත් ආත්මය කොටගත් සංජය, ඔහුගේ සමකාලීනයන් අතර ගෞරවයට පාත්‍ර වූවෙකි. මිනිස් වර්ගයා පෙළෙන බාහිර හා අභ්‍යන්තර අගතීන්ට එරෙහිව ඔහු සිය කෙටි කාලීන දිවිය තුළ ආකල්ප වලින්ද, පැවැත්මෙන්ද අරගල කළේය. සටන්කාමී බවෙන්ද නිරන්තරයෙන් ප්‍රති විරුද්ධ දිසාවෙන් හොඳමඅදහසක් ගොනු කර ගැනීමේඅපූර්ව හැකියාවෙන්ද යුක්ත විය.නිරන්තරයෙන් ගඟ ගලන්නේ එකම දිහාවකට වුවත් සජය ඊට ප්‍රතිවිරුද්ධ දෙසට උඩුගංබලා පිහිනන්නෙකු වන්නේ ඒ නිසාය.  

යන්ග් ඒෂියා ටෙලිවිෂන් ආයතනය සමග සිය වෘත්තීය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ සංජය ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයෙහි ආචාර්යවරයකු ලෙසත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙසත් කෙටි කලක් සේවය කළේ ය. රාමුගත ජීවිතයට අකමැති වූ ඔහු නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කිරීමට වඩාත් ප්‍රිය කළේ ය. සංජය ගැලවුමක් නැති පිළිකා රෝගය වැළඳුන පසුව ඊට එරෙහිව අරගල කරන්නට නොගියේ ය. දිනෙන් දින තමා කරා ළංවූ මරණයේ සීතල බව උණුසුම් ලෙස ආදරෙයන් වැළඳ ගන්නට ඔහු බලා සිටියේ ය. ඒ සීතලම මොහොත ඉක්මනින් පැමිණීම අපේක්ෂවෙන් අවසන් සතියේ ඔහු සියලු ප්‍රතිකාර අත්හිටුවා මරණයට තමා කරා පැමිණෙන්නට දෑත දිගු කළේ ය. එම ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු කරමින් මරණය ඔහු කරා පැමිණියේ ය. 

 සංජීව ආදරය කළේ මුස්ලිම් තරුණියකට ය. එහෙව් ආදරය මා දැක තිබුණේ ගීත සාහිත්‍යයේ පමණි. “රාමලාන් සඳ බලන්න එන්න පාතිමා” ප්‍රේමාරධනාවක් අප ගීතයෙන් අසා තිබුණත් එහි සත්‍යයක් සොයාගැනිම අසීරු විය. එහෙත් එවන් ගීයක රැඳුන සත්‍ය යථාර්ථය ඇසුරින්  සැබෑ නොවන ලෝකයේ සිතුවිලි සැබෑ කරන්නට තරම් සංජය ආදරණිය මිනිසකු බවට පත්විය. 

ජාතිවාදය ආගම්වාදය අවුලුවා තබන මිනිසුන් අතරේ සංජය මිනිසකු බවට පත්වන්නේ ඒ නිසා ය. මිනිසුන් අතර හොඳම මිනිසකු වන්නේ ඒ නිසා ය. සංජය මිනිසුන් අතර සැබෑ මිනිසකු වන්නේත්, ඔහු ඇසුරු කල අය අතර තේරුම් ගැනිමට අපහසුම චරිතයක් වන්නේත් ඒ නිසා ය. ඒ සංජගේ පිළිවෙත ය. සංජය පිළිකාවකින් පෙළෙන විට ඔහුගේ රෝගී බව දැන දැනම ඔහුගේ ආරක්ෂකයා වෙමින් බැඳි පෙම අත නොහැර ඔහු අතගෙන ඇය වැට කඩොලු බිඳ දමා ඔහු වෙත පැමිණ සිටියා ය. අපට අහිමි වූයේ එවන්  සොඳුරු හදවතක් ඇත්තෙකි. සංජයගේ ඒ උතුම් ආදරය සැබැවින්ම ගීයකි. සංජය ගීත කලාවට සම්බන්ධ නො වූවත්  විපුල් සිය ආත්මය කොටගත් ගීතයෙන් එවන් වූ දරිද්‍ර එසේත් නැත්නම් කටුක යථාර්ථයෙත්, ආදරයේත් බැඳිම විපුල් ගීතයෙන් අපට කියන්නේ මේ අයුරිනි.

 පෙළට රිය පෙරහැර මඟ නැත
දොරින් දොරට සැරසිලි හැඩ වැඩ නැත
හැඩට රුවට සළු පිළිද නැතේ  මට
එනමුදු අද ඔබෙ මනමාලිය මම

තුඩින් තුඩට ආසිරි ගී පද නැත
ඇතෙක් බරට දායාදය මට නැත
බුලත් හුරුලු දී අවසර ගෙන නැත
එනමුදු අද ඔබෙ මනමාලිය මම

නිමල සිතින් හද නො මළ පැතුම් ගෙන
රන් රස සිතුවිලි ඇත සිත සතුටට
නෙත් සිත් දහසක් නැතුවට වටකොට
ඔබ අතගෙන එමි සසර පුරුද්දට

ගී පද මාලාව: විපුල් ධර්මප්‍රිය ජයසේකර
සංගීතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: විශාරද මාලනී බුලත් සිංහල




විපුල්  ධර්මප්‍රිය ජයසේකර මට හඳුන ගන්න ලැබුණ දිගුකාලීන මිතුරෙක්. කලා ලෝකයේ හමුවෙන දුර්ලභ චරිතයක්. ක්ෂේත්‍රෙයේ කලාකරුවකුගේ නිර්මාණ එළිදැක්විමක් පුවත් පත් සාකාච්ඡාවක් එහෙමත් නැත්නම් මුහුරත් උළෙලක්, දොරට වැඩුමක් තිබුනේ නම් විපුල් එතැන සිටියේ ය. එයින් නොනැවතී ඇතැම් විට එම වැඩ සටහනේ සම්බන්ධීකරන කටයුත්ත හෝ ප්‍රචාරක කටයුත්ත  බාරගන්නේ විපුල් ය. ඒ නිසා ම විපුල්ට හොඳ මාධ්‍ය සම්බන්ධයක් තිබුණි. ඕනැම මාධ්‍ය ආයතනයකින් යම් දෙයක් කරවා ගැනීමට තරම් හැකියාවක් විපුල්ට තිබුණි. ඒ නිසාම විපුල්ට හොඳ මිතුරු සේනාවක් සිටියේය.

විපුල් ගුවන් විදුලියට ගොඩවන්නේ ඉර ඇහැරෙන්න කලියෙනි. ආයෙත් ආපසු නිවසට යන්නේ  තරු නිදා වැටෙන හෝරාවේ දීය . විපුල්ට දවසට පැය විසි හතරකට වඩා තිබුණා යැයි හැඟෙන්නේ දවසේ කල කී දේ මොනවාද කියා සොයා බලන විට ය.
කතා නොකර අඳුරේ යන නොපෙනී
තරු කැකුලක් සේ ඔබ ඇයි නයනී
මහද මල් විලේ තනියට නොරැඳී
කොයිබ ඇදෙනවද ගමනින් හදිසී

සිතුවිල්ලක් වී ඔබ කැළඹෙයි මා සිත මත්තේ
හසරැල්ලක් වී රඟදෙයි ඔබ මා මුව මඬලේ
නෙතු කැල්මක් වී සැඟවෙයි ඔබ මා නෙතු අතරේ
කඳුළැල්ලක් වී වැළපෙයි ඔබ මා හද මැදුරේ

අතුපතරේ හිඳිමින් පෙම් ගී ගයනා විහඟුන්
අපටද ඒ ඔච්චම් කර රඟන්නෙ රැඟුමන්
ඔබ සිතන පරිදි සෙනෙහෙ මගේ නොකරමි සරදම්
මංදා තව අදහන්නට බැරි දෝ සිත මනරම්

ගී පද මාලාව: විපුල් ධර්මප්‍රිය ජයසේකර
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: බණ්ඩාර අතාවුද



1992 පමණ වන විට සහන නිවේදකයෙකු වශයෙන් ගුවන් විදුලියට පා තබන  විට විපුල් පත්තර කලාව නිසා සාහිත්‍යමය දැනුමෙන් පෝෂණය වූ මිනිසකුව සිටියේ ය. ඒ නිසා ම ගුවන් විදුලි මැදිරියේ දී බස හැසිරවිම ඔහුට අපහසු නොවී ය. නිරන්තර පොත පත කියවීම,  මාධ්‍ය ක්ෂේත්‍රයේ ලැබූ අත්දැකීම් සහ මනා පරිචයන් ගුවන් විදුලි මැදිරිය තුළදී විපුල්ට වටිනා මෙවලම් විය. මැදිරියේ ගතකරන හෝරා කීපය විපුල්ගේ පරිණත හඬ විසි දෙවසරක් පුරා ලොව  පුරා විසිර ගියේ එපරිද්දෙනි. විපුල් ලෝබ නැතුව ශිල්පීන්ගේ නිර්මාණ වලට මුල්තැන දුන්නේ ය. ගුවන් විදුලියේ එවකට හිටපු දැවැන්තයන් බඳු බණ්ඩාර කේ විජේතුංග, ප්‍රේමකීර්ති ද අල්විස්, කේ.ඩී.කේ. ධර්මවර්ධන  වැනි ජ්‍යෙෂ්ඨ නිවේදකයන්ගේ රුව ගුණ සේ ම බහ හැසිරවීම ද වාග් කෞෂල්‍යය ද නො අඩුව ම විපුල්ට තිබුණි. විපුල් පරිණත නිවේදකයෙකු වන්නේ ඒ අයුරිනි.

විපුල්ගේ ගීත අපට ඇසෙන්නට පටන් ගන්නේ අසූව දශකයේ අග භාගයේ දී ය. ඒ අපි අපේ පාසල් සමයේ 10- 12 පන්තිවල ඉගනුම ලබන සමයේ ය. ආරම්භක යුගයේ විපුල් ලියූ ගීත ඇසෙන්නට පටන් ගත්තේ තරුණ සේවා සභාවට සම්බන්ධ වූ ශිල්පීන්ගේ හ‍ඬෙනි. ෂර්ලි වෛජයන්ත ගුණසිංහ, චන්ද්‍රසේන හෙටිටිආරච්චි, චන්ද්‍රලේඛා පෙරේරා, ශාලිත අබේවික්‍රමගේ ගීත පෝෂණය වූයේ විපුල්ගේ ගීතවලිනි. “සුළ‍ඟේ ලෙලෙනා මල් සේ දඟපා”  විපුල්ගේ පළමු පද රචනය විපුල් මෙන්ම ශාලිතද රටම හඳුනාගන්නට සමත් වූ මුල්ම ගීත නිර්මාණ වෙද්දී  අනතුරුව විපුල් අතින් ලියවුණ දූ පුතුනේ රට අපේය (ශාලිත අබේවික්‍රම) අහස් ගැබේ තරු කැට ගානේ ( චරිතා ප්‍රියදර්ශනී) දෙගුරුන් සතුටට ( චන්දන ලියනආරච්චි) කඳුළැල්කින් (චන්ද්‍රෙස්න හෙටිටආරච්චි) සිහිනෙන් පවා (ෂර්ලි වෛජයන්ත) අසරණ සිතකට (සෝමසිරි මැදගෙදර)සේම සනත් නන්දසිරි, එඩ්වඩ් ජයකොඩි, රෝහන් ශාන්ත බුලේගොඩ ආදී ශිල්පින්  දී ගීත එක පෙළට අතිශය ජනප්‍රිය වූ ගීතයන් ය. ඔහුගේ ගීතයට වස්තු විෂය වූයේ ප්‍රේමය ආදරය වැනි සුන්දරම මාතෘකාවන් ය. ඒ නිසා ම ඒ හැම ගීයක ම ආදරය ප්‍රේමය නො අඩුව ම පිරී තිබුණි. ඉඳහිට ලියන එවන් එකක් දෙකක් වූ ගී පද රචනා විපුල් මහා මිනිසකු බවට පත්කර තිබුණි. සියයකට ආසන්න ගීත ප්‍රමාණයක් ලියා තිබූ  විපුල් ටෙලි නාට්‍ය කීපයකම ගීත රචනා කර තිබූ අතර “රළ බිඳුම” ටෙලි නාට්‍යයට තරුපති මුණසිංහගේ සංගීතයට  දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගැයූ “සඳ කුමක් කරන්නදෝ සඳ කඩා වැටී සිටියා‍” විපුල්ගේ  තේමා ගී රචනයේ සුවිශේෂ අවස්ථාවකි. ඒ ගීතය 2008 හෝ 2009 වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොදම තේමා ගී රචනයට නිර්දේශව තිබිය දී අවසන් මොහොතේ තමන්ට හිමි සම්මානය ගිලිහී යාම එක මොහොතක විපුල්ගේ හිත රිදවූ අවස්ථාවකි.

අනෙක් අතට විපුල් පිළිබද මතකය අවදි කරන විට මතුව පෙනෙන එහෙත් බොහෝ දෙනෙකුට නොපෙනන ඔහුගේ තවත් හැකියාවක් වූයේ ඔහු ලේඛණ කලාවේ පෑ දස්කම් ය.  80 දශකයේ මැද භාගයේ බන්ධුල පද්මකුමාර, ප්‍රදීප් කුමාර බාලසූරිය වැනි ලේඛකයන් සමග එක්ව කුමරි පුවත්පතේ විශේෂාංග ලේඛකයෙකු වශයෙන් ඇරඹි පුවත් පත් ලේඛණ කලාව පසු කාලයේ වාර ප්‍රකාශන සහ සඟරා  දක්වා විහිදුනි.

තාරකා කැළුම් පරදන නීල ඔබෙ නුවන් යුග මත
පා වෙලා ගියාට ආදරේ
පීදිලා හැඟුම් පුබුදන කුසුම හා සුවඳ විලසට
යා වෙලා රැඳේද ආදරේ

ජීවිතේ පුරා දිවුරන සාගරේ තරම් සෙනෙහස
සුන්වෙලාම තැවෙන ලෝකයේ
කාසි බොල් සිනා විසිරෙන ප්‍රේම විජිතයේ සිතු ලෙස
රාම කුමරු වෙමිද මම කෙසේ

හමුවෙලා ඇදී දුර ගිය ස්නේහයේ මහා දිය කඳ
වියලිලාම යාවිදෝ සිතේ
තෑගි විලස කඳුළු ගෙනෙන නේක විසැති මිනිසුන් මැද
මන්ද්‍රි දේවි වනුද ඔබ කෙසේ

ගී පද මාලාව: විපුල් ධර්මප්‍රිය ජයසේකර
සංගීතය සහ ගැයුම විශාරද ගුණදාස කපුගේ



විපුල් එකිනෙකට වෙනස් ක්ෂේත්‍රවල කලා කටයුතු වල නිරත වෙද්දී නිහාල් සිල්වාගේ “සාජන්ට් නල්ල තම්බි” වේදිකා නාට්‍යයේ වේශ නිරූපණ ශිල්පියා වශයෛන් කටයුතු කළ සමය  විපුල්ගේ ජීවිතයේ සුන්දරම අවදිය වන්නට ඇත. නිහාල් සිල්වා සමග “සාජන්ට් නල්ලතම්බි” රැගෙන රටවටා යන ගමනේ ඇතැම් දිනවල මාසයකට වරක් ගෙදර එන්නට සිදූවූ වේශ නිරූපණ ශිල්පියෙක් වූ හැටි විපුල් බොහෝ අවස්ථාවල මා සමග කීවේඑහි රැඳුණ රසමුසු සිද්ධීන්ද සමග ය. අනතුරුව ඊට පසු කාලයේ චිත්‍රපට ක්ෂේත්‍රටයටද  වේශ නිරූපණ ශිල්පියකු ලෙස සම්බන්ධවී බිනරි සහ සුදු බණ්ඩා චිත්‍රපටයේ වේශ නිරූපණ කටයුතු කළේ ය.

නිවේදක වෘත්තිය හා වේශ නිරූපණ කලාව ද, පුවත් පත් කලාවට ද එක සේ ප්‍රිය කළ විපුල් පිටපත් රචකයෙකු පසුබිම් හඬ කැවීමේ ශිල්යෙකු ලෙසද ස්ථාන ගතවිය.  අතුල මහවලගේ සමග සම්බන්ධවී දිගුකාලයක් ප්‍රචාරණ කටයුතුවලටද දායකත්වය සපයන විපුල් අතින් ලියැවුණ වෙළඳ දැන්වීම් ගණන අති විශාලය. නෙස්ලේ සමාගමේ විශාල දැන්වීම් ප්‍රමාණයක පිටපත් ලියැවෙන්නේ විපුල් අතිනි. වචන සිය ගනනක් යොදා ප්‍රකාශ කළ හැකි අදහසක් වචන දෙක තුනකට හසුකරගන්නට විපුල්ට කදිම හැකියාවක් තිබුණි. “බලය -ශක්තිය- ජවය- නෙස්ටමෝල්ට්” මේ මෑත කාලයේ ඔහු‍ නිර්මාණය කළ දැන්වීම් ය.

ඒ ආකාරයෙන් විවිධ කටයතුවලදී මාධ්‍ය ක්ෂේත්‍රයට සිය දක්ෂතා පෙන්වන ඔහු  පසු කාලයේ ජනමාධ්‍ය පාඨමාලාවලදී බාහිර දේශකයකු ලෙස කටයුතු කරමින් වැඩමුලුවලට සහභාගී වෙමින් ලෝබ නැතුව තවත් නව පරපුරකට අත්වැල සැපයී ය. කලා ක්ෂේත්‍රයේ හිත මිතුරන්ගේ නිර්මාණ එළි දැක්වීම් කටයුතු වල මෙහෙයුම් කටයුතු තිරය පිටුපස සිට කරමින් නිහඬව යුතුකම් ඉටු කළේය.


ඒ නිසාම විපුල්ට ක්ෂේත්‍රයේ හිතමිතුරු පිරිවරක් සිටියේය. මීට වසර කීපයකට කලින් විපුල් සිය ගීත නිර්මාණ එකතුවක් ලෙස “සඟවන්න එපා හසරැල්” ගිත එකතුව එළි දැක්වූ දා කොළඔ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි සුදර්ශියේ නුග ගහ යටට එකතුවූ පිරිවර සේනාව මා දුටු විපුල්ගේ මිත්‍ර සම්බන්ධතාවයේ අග්‍ර ඵලයයි. එය ඔහුගේ ජීවිතයේ ප්‍රීතිමත්ම දිනය වන්නට ඇත්තේ තමා වටා සිටි මිතුරු සමූහයේ සියලු දෙනාම ඔහු දෑස් අබියස එදා හැන්දෑවේ සුදර්ශියේ හමුවීම ය.  එදා මැදියම ඉක්මවා යන තෙක් මිතුරු පිරිවර සමග සතුටු සාදයේ ගිලී සිටියේ ය. ජීවිතයේ එකම එකවතාවක් සිය මිතුරු සේනාව එකවර හමු වූ ඒ මිතුරු සමූහය ඔහු බලන්නට යළිත් කලාභවනටත් බොරැල්ල කනත්තටත් ආවේ ඒ අවසන් සැඳෑවේදී ය. ඒ වන විටත් විපුල් සිටියේ සදාතනික සුව නින්දේ ය. ඒත් ඒ  බව කිසිවකුටත් නොහැඟුනේ අප අතැර ඔහු නික්ම ගොස් ඇති බව අප කිසිවකුත් විශ්වාස නොකළ නිසා ය.

සිය මිතුරන්ගේ නිර්මාණ  වෙනුවෙන් බොහෝ සේ උනන්දු වූ විපුල් තමා තුළ සැඟව ඇති රකුසා  නොදුටුවේ ය. මීට මාස කිපයකට පෙර පසුගිය පබෙරවාරි මාසයේ 23 වෙනිදා 50 වන වියට විපුල් පා තබන විට  පරිසමාප්ත අරුතින්ම නිර්මානකරණයේ නියැලෙන, නිර්මාණ කරණයේ යෙදෙන නිර්මාණ කරුවක් ලෙසත්,  මිතුරන් අතර හිත හොඳ අවංක මිතුරක් ලෙසත්  රැඳී සිටියේ ය.

විපුල්ගේ දියණියද පුතණුවන්ද විපුල්ගේ අඩිපාරේ යමින් බාල වියේ සිට ම කලා කටයුතුවල නිරත වෙයි. දියණිය නිම්නාවි රූපවාහිනී ටෙලිනාට්‍ය වල හඬ කැවීම් ශිල්පිණියක ලෙස කොරියානු ටෙලිනාට්‍ය මාලා ඔස්සේ  අපට හමුවිය. සුපුල් සස්මිත පුතණුවන් ද එලෙසම රූපවාහිනී ටෙලිනාට්‍යවල හඬ කැවීම් ශිල්පියෙකු ලෙස කොරියානු ටෙලිනාට්‍ය මාලාවල අපට හමුවේ. දෙදෙනාම නිවේදක කටයුතුවලද නියැලෙයි. ඒ සිය පියා ඔවුන් දෙදෙනාට කියා දුන් දේය. ඉතිරි කර තබා ගිය වස්තූන් ය. 

මීවිතක් තොළ ගාන මොහොතක අප සමගම එකටම එක මේසයේ හිදිමින්  ජීවිතේ කිසිම දිනෙක් මීවිතක් හෝ සිගරැට්ටුවක් තොළ නොගෑ විපුල් අපට අහිමිවන්නේ ඒ අයුරිනි. මේ දිවිය අතර මගකින් මග නතර නොකොට හිනැහෙන් කියා විපුල් ලීවේ අපට ය. ඒත් ඔහු සොඳුරු දිවි සැරිය   අතර මග නතර කර දැම්මේ ය.

සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැඳුන දිනේ සිට
මගෙම හැඟෙයි ඔබ නම්

සඳ එළිය වගේ ඇවිදින්
හද නොපැතු දිනෙක රහසින්
බැස නොයන් ම සිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්

සිලි සිලිය පවා සුළඟින්
තනි මැකුවෙ ඔබේ සුවඳින්
මේ  දිවිය අතර මගකින්
මග නතර නොකොට හිනැහෙන්

ගී පද මාලාව: විපුල් ධර්මප්‍රිය ජයසේකර
සංගීතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: කරුණාරත්න දිවුල්ගනේ

              

ජීවිතය යනු දැල්වෙන පහන් සිලකි. එයින්  ලෝකයට ආලෝකය විහිදුවයි. එයින් තවත් කෙනෙකුගේ සිත් පහන් දැල්විය හැකි ය. ඕනෑම නිර්මානකරුවකුගේ දුර්ලභ වාසානා ගුණය එයයි. එසේ වූ පහන් සිලක් නිවී යන ක්‍රම හතරක් බුද්ධ දේශනාවේ සඳහන් වේ. පහනේ තෙලුත් තිරයත් අවසන් වී පහන් සිල නිවීයාම, පහනේ තෙල්  සහ තිරය තිබියදීම සිල නිවී යාම, පහනේ තෙල් තිබියදී තිරය අවසන් වී  පහන් සිල නිවී යාම සහ පහනේ තිරය තිබියදී තෙල් අවසන් වීම යන ක්‍රම වලින් පහන නිවෙන්නේ යම් සේද මෙලොව උපන් කෙනෙකුගේ ජීවිතයද කිනම් මොහොතක හෝ ලෝකයට ආලෝකය සපයා නිවී යා හැකි පහන් දැල්ලක් වන්නේ එපරිද්දෙනි.

 සංජය මෙන්ම විපුල්ද ලංකාවේ කලා ලෝකය ඒකාලෝක කරමින් නිවී ගියේ එකී පහනේ තෙල්  සහ තිරය යන දෙකම මනාව තිබියදී පහන්  සිල නිවී ගිය පරිද්දෙනි.
සංජය මෙන්ම විපුල්ද ජීවත්ව සිටි කෙටි කාලය තුළ කිසිවකුගේත් හදවතට ඇටෑක් නොකළ චරිත දෙකකි. සංජයට පිළිකාව සේම විපුල්ගේ සුන්දරම හදවතට ඇටෑක් කළේ මාරයා විසිනි. සංජයගේ හෝ විපුල්ගේ හදවතට නොදැනුන ඒ හාට් ඇටෑක් එක තව දුරටත් අප හදවත රිදවන්නේ  ඒ නිසා ය.ඒ වියෝව අපට අපේ හදවත්වලට  රිදවන්නේ ඒ නිසා ය.  සංජය මෙන්ම විපුල්ද කිසිදාක අප මතකයෙන් බැහැරව නොයන්නේ ද ඒ නිසා ය.෴

Sunday, 16 February 2014

෴ විජය ; සිනමාවේ හිත හොඳ අවංක පෙම්වතා ෴






“බාර් එකක්. අභ්‍යන්තරය රාත්‍රී 8.00 ට පමණ.මද විදුලි ආලෝකයේ තවත් තුන්දෙනෙක් සමග මේසයක් වටා වාඩි වී බිබී ඉන්නවා. ඔවුන්ගෙන් දෙන්නෙක් චන්දරේගේ  පාසල් මිත්‍රයෝ...


1 වැන්නා: උඹල දිගටම එකටද හිටියෙ

2 වැන්නා: (තුන් වැන්නා දිහාට මූණ හරවමින්) මූ අටේදි අස්වුණා.... මට මතකයි ඒ කාලෙ (තුන් වැන්නාගෙන්)...... හතේදි නේද? කැප්පෙටිපොල  ගැන වාක්‍ය රචනයක් ලියන්න කිව්වෙ?

ගුරුවරයා කලු ලෑල්ලෙ මාතෘකිව ලියන විලාසය 2 වැන්නා අභිනයෙන් දක්වනවා

මූ ( චන්දරේ දෙසට ඇඟිල්ල දික්කරමින්).... ලිව්ව....... “බෙහෙවින්ම ගම්බද පෙදෙස්වල වැවෙන දෙපැත්ත බූව සහිත කොල විශේෂයකි” කියල.

1 වැන්නා:   (හිනැහෙමින්)  මිනිහ ලියල තියෙන්නෙ කැප්පෙටි කොල ගැන.

3 වැන්නා: අපි අපේ වීරයෝ අඳුනන්නෑ.

චන්දරේ:    අපි අහක විසිකරල තියෙන එරඬු දඬු වගේ. 
                අපිට මුල් නෑ ඒත් දළු එනව.”


                (පාර දිගේ - තිර රචනය)

ඒ තමයි විජය විජය කුමාරතුංග;  ඔහු අද ජීවත්ව සිටියා නම් වයස අවුරුදු 69 කි. බෙහෙවින්ම වියපත් රංගන ශිල්පියෙකි. ඇතැම්විට සිනමාවෙන් සමුගෙන දේශපාලනයේ කිරුළු දරන්නට  ඉඩ තිබුණි. ඒ සියල්ල පසෙක තබා ඔහු අපෙන් සමුගෙන අදට වසර 26 කි.  කාලය මේ තරම් වේගයෙන් ඉගිල ගියාදැයි  නොදැනේ. විජය අපෙන් ඒ තරම් දුරට ඈත් වූවා දැයි නොසිතේ. රිදී තිරයේ ඉඳහිට ඇස ගැසෙන විජය තවමත් තරුණය; බෙහෙවින්ම කඩවසම්ය; සුකුමාර යෞවනත්වයේ සොදුරු පෙම්වතාය; රිදි තිරයේ ප්‍රේක්ෂයකා ආදරෙන් වැළඳගන්නා නිර්ව්‍යාජ, හිත හොඳ අවංක පෙම්වතාය. ඔහුගේ රූපකාය තවමත් ඡායාවක් මෙන් රසික මනසේ නොනිදා හිඳින්නේ ඒ නිසා ය. එදා ඒ 70 -80 දශකවල සිනමාවට පෙම් බැන්ද  අප අද බෙහෙවින්ම වියපත්ය. විජය කුමාරතුංග නම් වූ හිත හොඳ අවංක පෙම්වතා තවමත් තරුණ ය.

අස්වැන්නෙන් නිරන්තරයෙන් ඇගැයුමට එසේත් නැත්නම් බුහුමනට ලක්වන කලාකරුවන් අතර විජයට හිමිවන්නේ වෙසෙස් තැනකි. විජය අසාමාන්‍ය රංගන ශිල්පියෙකි, අපූරු හඬක් හිමි ගායන ශිල්පියෙකි, ගීත රචකයෙකි, මානව හිතවාදී දේශපාලඥයෙකි. ඒ හැමටත් වඩා මිනිසුන්ට ආදරය කරන මිනිසුන්ගේ හැඟීම් හඳුනන අප්‍රමාණ වූ සොඳුරු මිනිසෙකි. වචනයේ පරිසමාප්ත අරුතින්ම නිර්ව්‍යාජ වු කලාකරුවෙකි.

විජය ගැන බොහෝ දෙනා කෙසේ කොහාම ඇගැයුම් කලත් ඒ හැම එකක්ම අතීතයට අදාල වූ සටහනක්ම වන්නේය. ඒවා වර්තමානයට අදාල කර ගත හැක්කේ එවන් ජනප්‍රිය කලාත්මක චරිතයක් වර්තමානයටත්  වර්තමාන රසික පරපුරටත්, කලා ක්ෂේත්‍රය නියෝජනය කරන්නන්ට මෙන්ම දේශපාලනය කරන්නන්ටද විජයගේ චරිතය තුළින් උගත හැකි දේ බොහොමයක් ඇති බැවිනි.

ඒ අතිත මංතලා ඔස්සේ ඇවිද අස්වැන්නෙන් විජය කුමාරතුංග  නම් වූ මම ආදරය කරන අප්‍රමාණ සොදුරු මිනිසා සොයන්නේ නිතර අහන්නට නොලැබෙන ඔහුගේ දුර්ලභ ගීත කිපයක්ද සමග ය.

1945 ඔක්තෝම්බර් 10 වෙනිදා උපන් කෝවිලගේ විජය ඇන්ටන් කුමාරතුංග එහෙමත් නැත්නම් අපි දන්න විජය සිනමාවට පිවිසෙන්නේ 1967 වර්ෂයේ තිරගත වූ “මනමාලයෝ” චිත්‍රපටයේ සුළු චරිතයකට පෙනි සිටිමිනි. එහෙත් ඔහු චරිතාංග නළුවකු ලෙස ප්‍රේක්ෂකයන්ගේ දෑස් ඉදිරියේ පෙනී සිටන්නේ 1969 තිරගත වූ සුගතපාල සෙනරත් යාපාගේ “හන්තානේ කතාව” චිත්‍රපටයෙනි. හන්තානේ කතාව චිත්‍රපටයේ “බන්දුල” නම් වූ විශ්ව විද්‍යාල සිසුවාගේ චරිතයට විජය පණ පෙවීය. 70 දශකය  මෙරට ගොඩනැගෙමින් තිබුණ තරුණ ආකල්ප, තරුණ ජවය, තරුණ පරපුර කලාව සහ දේශපාලනය වෙනස් ආකාරයකට වටහා ගත් යුගය යි. හන්තානේ කතාව චිත්‍රපයට ද  70 දශකයේ තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම්  එබිකම් කර තිබුණේ මුලුමනින් ම නව පරපුරකට මග කියූ සිනමා කෘතියක් වූ නිසා ය.

හන්තානේ කතාව තුළින් විජය ඇතුළු නව සිනමාකරුවන්ගේ සම්ප්‍රාප්තිය එවකට තරුණ පිරිසට මහත් ආශ්වාදයක් ගෙනදෙන්නක් වන්නට ඇත.  ඒ යුගයේ තරුණ විලාසිතා, මෝස්තර, ඇදුම් පැළඳුම් අංග චලනය, බස හැසිරවිම මෙන්ම තරුණ පෞරුෂය පවා විජය තුළින් ප්‍රති නිර්මාණය විය. ඒවා සිනමාවේ අත්‍යවශ්‍ය රංගන රීතින් නොවන නමුත් විජය නිරායාසයෙන් ඒවා සිනමාවේදී භාවිතා කළේ ය. ඒ නිසා ඒ යුගයේ තරුණ පරපුර විජයගේ ඒ ආකාර්ෂණීය  තරුණ පෙනුමට වඩවඩාත් ළං වූහ. 


විජයගේ ඒ නැවුම් ආකර්ෂණීය පෙනුම ගැඹුරින්ම ග්‍රහණය කරගන්නේ එවකට වාණිජ සිනමාවේ කිරුළු පැළැඳි චිත්‍රපට නිෂ්පාදකයන් ය.  ඔවුන්ට අවශ්‍ය වූයේ සිනමාගාරවල ප්‍රේක්ෂකයන් සිහින ලෝකවල රඳවා තැබිය හැකි යෞවනත්වයේ කිරුළ හිමි කර ගත හැකි සිහින කුමාරයෙකි. විජයගෙන් මේ සියලු කාරණා පිඹිඹු වූ නිසා වාණිජ සිනමාකරුවෝ විජයට වාණිජ සිනමාවේ දැළ එලූහ.

ඒවන විටත් සිංහල සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගා ගෙන සිටි ගාමිණී ෆොන්සේකාගේ ජනප්‍රියත්වයේ කිරුළ පවා විජය දෙසට හැරෙමින් තිබුණී. ඊට හොඳම නිදසුන වන්නේ 80 දශකය වන විට සිංහල සිනමාවේ “ජනප්‍රියම නළුවා” යන අභිෂේක නාමය විජය විසින් නතු කර ගැනිමය.  ඊට ප්‍රධානම හේතුව වූයේ ඔහුගේ අසාමාන්‍ය රූප සම්පත්තියයි.  එවන්  අසිමිත රූප සම්පත්තියක් හෙබි රංගන ශිල්පියෙක් එදා මෙදා තුර සිංහල සිනමාවේ හමුවී නැත්තේ ඒ නිසා ය.

වානිජ සිනමාවේ නැගී සිටීමෙන්  සිදු වූයේ විජය තුළ සිටි  ඒ චරිතාංග නළුවා සැඟවී ගොස් ජනප්‍රියම නලුවා වන්නට විජයට සිදුවිම ය.  ඒ නිසා ම ප්‍රෙක්ෂකයන්ගේ දෑස් ඉදිරියේ වූ තිරයේ විජය “හිත හොඳ නිහතමානී අවංක නිර්ව්‍යාජ පෙම්වතා” බවට පත්විය. ඔහුටද එයින් මිදෙන්නට අවශ්‍යතාවයක් නොතිබුණ බව පැහැදිළිය. වාණිජ සිනමාවේ මේ අවශ්‍යතාවය විජය පසුපසු හඹා ආ හෙයින් චරිතාංග නළුවකු  වීමේ වාසනාව ඔහුගෙන් ගිලිහි ඔහු ජනප්‍රියම සිනමා තරුව බවට පත් කළේ ය. හරියටම ඒබව ඔහුගේම ගීයකින් කිව්වොත් මේ වගේ ය.

නූල්පොටක් උරුම නැතුව හඬමින් මොලොවට ආවේ

හිනැහී මිය යන්න මිසක හඬන්නට නොවේ



ලබාදෙන්න අකමැති දේ උදුර ගන්නෙ නෑ

සාගින්නෙන් මිය ඇදුනත් හිඟා කන්නෙ නෑ



අමරස විඳි සුව යහනේ විසකටු ඇමිණේ

පැණි වරකෙට හෙන වැදිලා නාඩන් වවුලනේ


ගැයුම : විජය කුමාරතුංග

මෙහි සංගීතය සහ ගී පද රචනය සොයාගත නොහැක.
                    

විජය 1967 දී හන්තානේ කතාවෙන් සිංහල සිනමාවේ පළමු පියවර තබා 1988.02.16 දින නික්ම යන විට ඔහුගේ සිනමා දිවිය යාන්තමට වයස අවුරුදු 20 ක් සම්පූර්ණ කළා පමණි. ඒවන විටත් ඒ වසර 20 තුළ චිත්‍රපට 110 කට සිය රංගන දායකත්වය ලබාදි තිබූණි. එයින් චිත්‍රපට 105 ක් තිරගත වූ ඒවා ය. චිත්‍රපට 05 ක් තිරගත වුයේ නැත, ඒ අතර ඔහු විසින්ම නිර්මාණය කළ චිත්‍රපට දෙකකි. ඒ මංමුලාවැල් සහ සමාව යන චිත්‍රපට ද්විත්වයයි.  විජය මියගිය දිනය වන විට චිත්‍රපට 92 – 93 ක් පමණ තිරගත කර තිබුණි. ඉතිරි චිත්‍රපට සියල්ල තිරගත වූයේ  ඔහු මියගිය පසුව ය.

විජය ගායන ශිල්පියෙකු ලෙසින් සිය ගායන සලකුණ තබන්නේද සිනමාවෙනි. ඒ 1980දි තිරගත වූ සුමිත්‍රා පීරිස්ගේ “ගඟ අද්දර” චිත්‍රපටය සඳහා නිමල් මෙන්ඩිස්ගේ සංගිතයට  ඔගස්ටස් විනයාගරත්නම් ලියූ “ගඟ අද්දර” ගීතය ගැයීමෙනි. විජය හන්තානේ කතාව චිත්‍රපටයෙන් එක රැයින් ජනප්‍රිය නළුවකු වූවා සේ ම ඉන් වසර 11 කට පසුව ගඟ අද්දර චිත්‍රපටයෙන් ගායකයෙකු බවට ද  පත් විය. විජයගේ ගායනයේ ඇති කුසලතාවය ඊළඟට ලබාගන්නේ ප්‍රේමසිරි කේමදාසන් විසිනි. ඒ 1980 වසරේදි ම තිරගත වූ ධර්මසේන පතිරාජයන්ගේ “පාරදිගේ” චිත්‍රපටයට ඩබ්ලිව්.  ජයසිරි ලියූ “පාවෙලා යන පාර වටේ” ගීතය විජයගේ හඬින් ගිතයක් බවට පත් කරමිනි. එය යුග ගියකි.  එදා විජයට ගායනයෙන් සහය වූයේ සුභාෂිනි එවනස්  නම් වූ ගායිකාව ය.

අනතුරුව 1981 වර්ෂයේ දී විජය තෙවෙනි වතාවටත් ගායන ශිල්පියෙක් බවට පත්වන්නේ විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ “සූරියකාන්ත” චිත්‍රපටයෙනි. එදා සූරියකාන්ත චිත්‍රපටයේ සරත් දසනායකගේ සංගීතයට  ගීතයක් ගැයුවේය. ආසන්න වසර දෙකක් තුළ චිත්‍රපට ගීත ගායන ශිල්පියෙකු ලෙස චිත්‍රපට පසුබිම් ගී ගයමින් තම ආස්ථානය තහවුරු කරගත් විජය ඒ චිත්‍රපට තුනේම ප්‍රධාන චරිත නිරූපණය කිරිම විශේෂත්වයකි. ‍මතු දැක්වෙන්නේ විජය සුරියකාන්ත චිත්‍රපටයට ගැයු ඒ මියුරු ගීතය යි.


සිතුම් විහඟ සෙන් සරා නිදැල්ලේ

ජීවන පටුන පුරා

පැතුම් විහඟ සෙන් සොයා ඉගිල්ලේ

දෑසක සිහින දරා



සිතක කැකුලු මල් හසරැල් පීදෙන

උයන් තෙරක් හමුවේදෝ

නෙතක කඳුළු ගඟුළැල්ලක් වෑහෙන

අගාධයක් හමුවේදෝ



සුවඳ සිහිනයක දේදුණු එළියේ

සිතක හැගුම් පිබිදෙන්නයි

ලොවට හොරෙන්  මා හද කුටියට

ඔබේ සුවඳ පිවිසෙන්නයි

ගී පද රචනය: කුලරත්න ආරිවංශ

ගී තනු නිර්මාණය: රෝහණ වීරසිංහ

සංගිතය : සරත් දසනායක

චිත්‍රපටය: සූරියකාන්ත

ගැයුම: විජය කුමාරතුංග
              

විජය රඟ පෑ චිත්‍රපට 110 අතුරින් චරිතාංග නළුවකු ලෙස කුසලතාවය දැක්වූ චිත්‍රපට ඇත්තේ අතලොස්සක් තරම් වූ ප්‍රමාණයකි.  ඒ සිනමා කෘති කිපය ඔහු අති විශිෂ්ඨ චරිතාංග නළුවක්  බවට පත්කරන්නට ප්‍රමාණවත් චිත්‍රපට වේ. 

ධර්මසේන පතිරාජගේ - පාරදිගේ  - (චන්දරේ)

ධර්මසේන පතිරාජගේ - අහස් ගව්ව  - (මහතුන්)

ධර්මසේන පතිරාජගේ - එයා දැන් ලොකු ළමයෙක් 

ධර්මසේන පතිරාජගේ - බඹරු ඇවිත්  - (බේබි මහත්තයා)

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ - අහසින් පොළවට

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ - බැද්දේගම (බබුන්)

සුමිත්‍රා පීරිස්ගේ - ගඟ අද්දර ( දොස්තර සරත් පතිරණ)

ටයිටස් තොටවත්තගේ  - මරුවා සමග වාසේ

වසන්ත ඔබේසේකරගේ - කැඩපතක ඡායා (ධනරත්න මුදලාලි)

සුනිල් ආරියරත්නගේ - පොඩි මල්ලි

සුනිල් ආරියරත්නගේ - අනූපමා

සුනිල් ආරියරත්නගේ - ක්‍රිස්තු චරිතය (ක්‍රිස්තුස් වහන්සේ)

කරුමක්කාරයෝ සහ මධු සමය

මේ චිත්‍රපට සියල්ල අතරින් සමහර ඒවා ඇතැම්විට වාණිජ සිනමාවට නැඹුරු වූත්, තවත් සමහර ඒවා කලාත්මක සිනමාවට නැඹුරු වූත් සිනමා කෘති වන අතර තවත් සමහර ඒවා කලාත්මක වාණිජ චිත්‍රපට විය. කෙසේ වුවත් මේ සියලු චිත්‍රපට  සංකේතාත්මකව ගත් කළ විජය විශ්වාස කළ දේශපාලනයත් , කලාකරුවනු තුළින්  පළකරන්නා වූ මානව හිතවාදි ගුණයත් විහිද වූ  විජයගේ සිනමාවේ පැතිකඩක්  බඳු චිත්‍රපට වේ.

මේ අතුරින් විජයගේ අතිවිශිෂ්ඨ රංගන ප්‍රතිභාවක් පළ කළ  සුනිල් ආරියරත්නගේ - ක්‍රිස්තු චරිතය (ක්‍රිස්තුස් වහන්සේ ) සිනමා කෘතිය සිංහල චිත්‍රපට ප්‍රේක්ෂයන්ගෙන් ගිලහී යන්නේ මෙරට ප්‍රේක්ෂකයන් බහුතරයක් බෞද්ධ ආගමිකයන් වූ බැවිනි. ඒ විජයගේ  නිර්මාණයකට සෘජුවම ආගම අදාළ වූ නිසා ජනතාව එවන් චරිතයක් පිළිගැනිමට මැලි වූ නිසාත් ය. අද දවසේ මෙරට නිපදවෙන බෞද්ධ සංකේත මුල්කරගත් ඓතිහාසික ප්‍රබන්ධ ඇසුරින් නිර්මාණය වන සිනමා කෘති මුදල් උපයන් උල්පත් බවට පත් කරන්නත් එදා විජයගේ  ක්‍රිස්තු චරිතය ප්‍රේක්ෂකයන් ඉදිරියේ  අසාර්ථක වන්නේත් බෞද්ධ සහ ක්‍රිස්තියානි ආගමික මුහුණුවර බලපෑ බවට තහවුරු වන හේතු සාධක පිරවරාගෙන ය. 

අපේ ආත්මය උදුරන් තුරුළු කරන් සැතපෙන්නට

මිනී පෙට්ටි නිදිමරනව අපි එනකල්



දිග අඬුපඬු දික්කරගෙන සාම්බ්‍රානි දුම් බීගෙන

මිනී පෙට්ටි නිදිමරනව අපි එනකල්



සේසත් පෙර මග බලනව ලී ඇත් දල නිදි කිරනව

මිනී පෙට්ටි නිදිමරනව අපි එනකල්



කරදහි මල් ඉකි බිදිනව පාවඩ වැතිරී නිදනව

මිනී පෙට්ටි නිදිමරනව අපි එනකල්

ගැයුම : විජය කුමාරතුංග                     
මෙහි සංගීතය සහ ගී පද රචනය සොයාගත නොහැක.
 
           


විජය දේශපාලනයට නැඹුරුවන්නේ 1977 නව දේශපාලන පෙරළියත් සමග ය.  දේශපාලනයේදී විජයට සිනමාවේ මෙන්ම පැහැදිලි දර්ශනයක් තිබුණි. ඊට සරිලන ප්‍රතිපත්තිද ඔහුට තිබුණි.  ඔහු සිනමා ජීවිතයම කැප කළේ ප්‍රේක්ෂකයන්  වෙනුවෙනි. එසේම දේශපාලන ජීවිතය ද මුලුමනින්ම කැප කරන්නේ පීඩිත ජනතාව වෙනුවෙනි.  එහෙත් එදා සිටි ජනතාව විජයගේ  දේශපාලන දර්ශනය වටහා ගන්නට අපොහොසත් වූයේ ඔවුන් රිදී තිරයේ ආදරය කළ සිහින කුමාරයා අතහැර දේශපාලනයට අතපෙවීම ‍විජයට නොගැලපේ යැයි ඔවුන් සිතූ නිසා ය. අනෙක් අතට අද මෙන් එදවස මාධ්‍ය සංස්කෘතියක් නොතිබිමත්,  තිබුණ එකම මාධ්‍ය රජය සතුවිමත් නිසා විජය අපේක්ෂා කළ දර්ශනය නිසි ලෙස ජනතාව ඉදිරියේ තබන්නට ඔහුට නොහැකි විය.  බහුතරයක් ග්‍රාමීය ජනතාව ඔහු දේශපාලකයෙක් ය යන මතය තහවුරු කරන්නට ඉඩ නුදුන්නේ සිනමාවේ දුටු හිතහොද අවංක පෙම්වතා ඒ ගැමි ජීවිතය තුල ලැගුම් ගෙන සිටි බැවිනි.


එසේ වුවත් එදා විජයගේ දේශපාලන සම්ප්‍රාප්තියට අකමැති වූ ජනතාවගේ දෙවන පරපුර අද දවසේ දේශපාලනය ගැන අබැටක් තරම්වත් දෙයක් නොදන්නා නළු නිළියන්  දේශපාලනයට කැදවා ඉහළින්ම දිනවන්නේ එදා මෙන්ම අදටත් ඔවුන් තමන්ගේ සිහින ලෝකවලින් තවමත් මිදී නැති හෙයිනි.

විජය ගිත ගායනයට පිවිස වසර හතක් වැනි කෙටි කාලයක් තුළ ගිත සියයකට ආසන්න ප්‍රමාණයක් ගැයුවේය. එයින් සියයට හතළිහක් පමණ ගිත ප්‍රේම ගීත ය. ඉතිරි සියයට හැටම විරෝධාකල්ප ගිත සාහිත්‍යයට නෑකම් කියන ගීත නිර්මාණයන්ය. මංගල නැකත, ගඟ අද්දර, දිනකර පායා, කවුලුව අතරින්, වේදනා, තනි යහන, සහ සිහින වෙරළ විජයගේ ගීත නිර්මාණ ඇතුළත් වූ කැසට් පටයන් ය. මෙයින් වේදනා, තනි යහන, දිනකර පායා කැසට් පට සාම්ප්‍රදායික ප්‍රේම ගීයෙන් මිදී සමාජය  විවරණය කළ ගීත ඇතුළත් කැසට් පට වේ. මුල්වරට 80 දශකයේදී  විජය විරෝධාකාල්ප ගීත සාහිත්‍යයට නව ජවයක් ලබා දුන්නේ එවකට පැවති ආණ්ඩුවට එරෙහිවය. වේදනා කැසට් පටය අසූව දශකයේ ආරම්භයේදීම නිර්මාණය වුයේ ජේ.ආර් ජයවර්ධන  ජනාධිපති වරයාගේ පාලනයට එරෙහිව ය. මේ ගීත අදටත් වළංගු වන්නේ ඒ නිසා ය.

වහලේ යට ලීයේ

එල්ලී මිය ගිය මගේ මලේ

මළේ කිමද නුඹ දනිමි මලේ



ගෙපැල උගස් කර ලැබූ ශිල්පයට

අවමන් ගැරහුම් කරන නිසා

දැන හැදුනුම්කම් නොමැති කිසිම තැන

සිනා පොදක් හෝ නොදුටු නිසා

දම්සක් පැවතුම් සුතුර පුරද්දී

නොදහම සිහසුන සිහසුන දරන නිසා

එල්ලී මළ බව දනිමි මලේ නුඹ

මරණින් මතු ලොව හොඳය සිතා



බොජුන් සදන්නට මාපිය දෙපොළට

අතමිට සම්පත් සිඳුණු නිසා

සිරසට වහලක් දෙපයට පොළවක්

සිතකට නිවනක් නොලද නිසා

මිනියට අන්දා දෙනෙහි තබන්නට

පමණක් ඇඟලුම් තිබුණ නිසා

එල්ලී මළ බව දනිමි මලේ නුඹ

මරණින් මතු ලොව හොඳය සිතා



ගී පද මාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය: රෝහණ වීරසිංහ

        ගැයුම : විජය කුමාරතුංග

                   

 ඒ අයුරින් විජය සිනමාවේදී විවිධ චරිත නිරූපණය කරමින් මිනිස්කම විකසිත කළේය. එය සැබෑ ජීවිතයේ දී මිනිස් හදවත් වලට ළංව සැබෑ මිනිසකුගේ ගුණසුවඳ පැතිරවිම පිණිස දේශපාලනයේ පරිණත බවට ළගාවෙමින් සිටියේ ය. ඔහුගේ දේශපාලනය තුවක්කුවකින් නිකුත්වන ජීව උණ්ඩයකට සිදුරු කළ නොහැකි තරම් ශක්තිමත් අරටුවක් සහිත දර්ශනයක් විජය වටා ගොඩ නැගෙන බව විජයට නොදැනුනත් ඔහු දෙස බලා සිටි ඔහුගේ ප්‍රතිවාදීන්ට දැණින. විජය අප්‍රමාණව මිනිසුන් කෙරහි විශ්වාසය තැබීය. ඒ විශ්වාසයේ කුඩා සිදුරක් ඇති බව ඔහුට නොපෙනුණි. විජයගේ දේශපාලනය සිදුරු කළ නොහැකි බව දැනගත් ජීව උණ්ඩය සිංහල සිනමාවේ හිත හොඳ අවංක පෙම්වතාගේ මුහුණ  විනිවිද ගියේ ය.


සැතපෙන්නෙ දෙවියන් සුරඹුවන්  සමගයි

මළවුන් නිදන්නෙ මළවුන් සමගයි



රහතුන් වැඩියද ගිරිකුලු මුදුනේ

සුවඳ පිරුනු මල් කෙදිනද පිපුණේ‍

වැරදීමෙන් දෝ මා මෙලොව ඉපදුනේ



සයුර දිනන ඔරු සයුරෙ දිලෙන්නේ

වෙරළ සිඹින රළ වෙරළෙ හැපෙන්නේ

මතු කවදාදෝ මා මට නැතිවෙන්නේ


         ගැයුම : විජය කුමාරතුංග

මෙහි සංගීතය සහ ගී පද රචනය සොයාගත නොහැක.
                             







Related Posts Plugin for WordPress, Blogger...