එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Tuesday, 29 May 2012

෴ සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන් ෴




 ගීත සාහිත්‍යයට චිත්‍රපට ගීතයෙන් ලැබුණ ආලෝකය ගැන විමසීමක් කරන විට අමතක කළ නොහැකි ගීත දෙකක් සිංහල චිත්‍රපට ඉතිහාසයෙන් හමුවේ. ඒ ගී දෙකම මතකයෙන් බැහැරව ඇතත් සදාතනික මතකයේ රැඳි ඒ ගීත දෙක පිළිබඳව අද "අස්වැන්න"තුළින් ටිකක් කතා කරන්න හිතුවා. ධර්මසිරි බණ්ඩාරනායකගේ "හංස විලක්" චිත්‍රපටයේ ඇතුළත්ව තිබූ, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ  නන්දා මාලනී ගැයූ " සඳුන් සිහින මණ්ඩපයේ" ගීතය සහ ටී.එම්.ජයරත්න සමග සුනිලා අබේසේකර ගැයූ "හෙමින් සැරේ පියා විදා" යන  සදාතනික මතකයේ රැ‍ඳෙමින්  සුවඳ විහිද වූ ඒ  ගීත යුගලයයි.

1980.10.24 දින තිරගත වූ  ධර්මසිරි බණ්ඩාරනායකගේ "හංස විලක්" චිත්‍රපටයේ කතා පුවත තහනම් ආදරයක් පසුපස හඹාගිය විවවාහක තරුණ සැමියෙකු සහ ඒ තහනම් ආදරයේ වල්මත් වූ විවාහක තරුණ බිරිඳක අතර හටගත් අනියම් සම්බන්ධතාවයක් වටා ගොඩ නැගී තිබුණි. ඒ  සඳහා මේ ගීත දෙකම නිර්මාණය වී තිබේ.

ප්‍රධාන චරිත හතරක් වටා ගොඩනැගුණු  හංස විලක් චිත්‍රපටයෙහි චරිත අතර ප්‍රධාන චරිත දෙකෙහි අභ්‍යන්තර සිතුවිලි චලනය වන අයුරු පෙන්විමට මේ ගීත දෙක යොදා ගෙන තිබේ.  

ධර්මසිරි බණ්ඩාරනායක - නිශ්ශංක වීරසිංහ ලෙසද,
ස්වර්ණා මල්ලවාරච්චි  - මිරැන්ඩා රණවීර ලෙසද,
හෙන්රි ජයසේන - ඩග්ලස් ( මිරැන්ඩාගේ ස්වාමි පුරුෂයා) ලෙසද,
වසන්ති චතුරාණි - නිශ්ශංකගේ බිරිඳ ලෙසද , 

මෙහි චරිත නිරූපණය කරනු ලැබීය. නිශ්ශංක සහ ඔහුගේ බිරිඳට දරුවන් දෙදෙනෙකි. මිරැන්ඩා සහ ඩග්ලස් යුවලට එක් දරුවෙකි. එසේ වුවද අසම්මතයේ හට ගන්නා මේ පෙම් පුවත එකී ප්‍රධාන චරිත හතර තුළ වූ පවුල් අරගලය  දෝලනය කිරිමටත් මේ ගිත දෙකම සමත් විය. මිරැන්ඩාගේ හිතේ නලියන නැවුම් ‍ප්‍රේමය සහ එහි වික්ෂිප්ත භාවයත් මුදා හරින්නේ  නන්දා මාලනී ගැයූ " සඳුන් සිහින මණ්ඩපයේ" ගීතයෙනි. 


සඳුන් සිහින මණ්ඩපයේ
ප්‍රාර්ථනා පියාසලයි
ප්‍රාර්ථනා පියාසලයි


නිවි නිවි දැල්වෙන
රිදී පහන් එළි
අඳුර සමග ගැවසේ
එළිය කෙමෙන් මියැදේ
එළිය කෙමෙන් මියැදේ

හංස නෙතක රැඳී
කඳුළක් ගිලිහී
හංස විලම කැළතේ
හංස විලම කැළතේ

ගැයුම: නන්දා මාලනී
සංගිතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

මේ ගිතයේ ගී පද රචකයා මගේ මතකයෙන් බැහැරව ඇතත්. ගීතය ලියන්නට ඇත්තේ ඩබ්ලිව්. ජයසිරි යැයි සිතිය හැකිය. මේ සඳහා නිශ්චිත නිවැරදි  තොරතුරක්  ඔබ දන්නේ නම්  ඒ විස්තරයද ලබා දුන්නොත් මෙහි සටහන් කල හැකිය.  

ඒ කෙසේ නමුදු මේ ගීතය ඉතාමත් කෙටි වචන කිපයකින් යුක්ත වුවද එය සිනමා කෘතිය පුරාම විශාල අරුතක් ජනිත කරවයි. මිරැන්ඩාගේ අනියම් සම්බන්ධතාවය විග්‍රහ කිරීමටත් ඇගේ චංචල සිතුවිලි ප්‍රකාශ කිරිමටත් "නිවි නිවි දැල්වෙන රිදී පහන් එළි අඳුර සමග ගැවසේ" යන්න යොදා ඇත. එය වඩාත් කුළු ගැන්වෙන්නේ නන්දා මාලනියගේ මධුරතර ගායනයෙනි.
මේ ගීය ඇතුලත් ගීත ඇල්බම් නිකුත් වී නොමැති බැවින් "සඳුන් සිහින මණ්ඩපයේ" ගීතයට අදාළ චිත්‍රපට ජවනිකාව ගීතය සමග මෙතනින් බලන්න. 



එහෙත්, හංස විලක් චිත්‍රපටයේ තේමා ගීය ලෙස සලකන්නේ ටී.එම්.ජයරත්න සමග සුනිලා අබේසේකර ගැයූ "හෙමින් සරේ පියා විදා" ගීතයයි. අසම්මත තරුණ විවාහක පෙම් යුවල පෙමින් වෙලි අනියමින් යහන්ගත වු අවස්ථාවක ඒ හෝටල් කාමරයට කඩා පනින පොලිස් නිලධාරීන් හේතුවෙන් ඔවුන් දෙදෙනාට මුහුණ දිමට සිදුවන සිද්ධි දාමයක සිතුවිලි වල චංචල මනෝ භාවයන් සිනමා කෘතිය පුරා දිග හැරේ. ඔවුන් දෙදෙනා යහන් ගතවීමේදී පසුබිමින් ඇසෙන්නේ මේ ගීතයයි. මේ ගීය සියළු අතින් අර්ථ පූර්ණ වූත්, භාව පූර්ණ වූත්, ගීයක් ලෙස හැඳින්වීම නිවැරදිය.

ධර්මසිරි බණ්ඩාරනායක

ධර්මසිරි බණ්ඩාරනායක
ධර්මසිරි බණ්ඩාරනායකගේ පළමු සිනමා කෘතිය මෙයයි. වේදිකා නාට්‍යකරුවකුව සිටියදී ඔහු සිනමාවට පිවිසෙන්නේ මේ චිත්‍රපටය තුළිනි. ඒ නිසා   මෙම චිත්‍රපටය විචාරක ඇසට හසු වූයේ මෙහි එන කතා පුවතටත් වඩා ධර්මසිරි බණ්ඩාරනායක වාමාංශික දේශපාලනයේ  දැඩි මතධාරියෙකුගේ සිනමා දෘෂ්ඨිය ආන්දෝලනයක් වූ  බැවිනි. “ඒකා අධිපති”  වේදිකා නාට්‍ය  වැනි වේදිකා නාට්‍යක තිබු දේශපාලන දර්ශනයට බාහිරව මේ ආකාරයේ අසම්මත ලිංගික ඇසුරක් පිළිබඳව වූ සිනමා කෘතියක් ඔහුගේ දෘෂ්ඨියෙන් නිර්මාණය වනු ඇතැයි එවකට කිසිම චිත්‍රපට විචාරකයෙකු අපේක්ෂා නො කළේය. 

හංස විලක් චිත්‍රපටය මගින් සිනමාවට පිවිසීම සඳහා ඔහු අනුගමනය කළේ අසූව දශකය ආරම්භ වන විට යුරෝපය පුරා කළු සුදු වර්ණයෙන් යුතු චිත්‍රපටවල නැග එමින් තිබූ " පරපීඩක කාමයයි" විශේෂයෙන්ම ජර්මනිය. චෙකොස්ලෝවැකියාව, පෝලන්තය වැනි රටවල සිනමාකරුවන් විසින් අනුගමනය කළ එකී දැඩි සිනමා රීතිය හංස විලක් සිනමා කෘතිය සඳහා ධර්මසිරි බණ්ඩාරනායක අනුගමනය කර තිබුණි. එවකට මේ චිත්‍රපටය පිළිබඳව විචාරකයන්ගේ මතය වූයේ පෝලන්ත සිනමාව සහ පෝලන්ත සිනමා කරුවන් ගොඩනැගූ මේ  "පරපීඩක කාම" සිනමා දෘෂ්ඨිය ධර්මසිරි බණ්ඩාරනායක විසින් සෘජුවම අනුගමනය කර ඇති බවයි. එය ඔහු අනුගමනය කරන දේශපාලන දෘෂ්ඨිය සහ සිනමා දෘෂ්ඨිය අතර හටගත් සිනමා රූපි මත ගැටුමක් බවයි.

ධර්මසේන පතිරාජගේ ගීත රචනය

ධර්මසේන පතිරාජ
හංස විලක් චිත්‍රපටය ධර්මසිරි බණ්ඩාරනායකගේ පළමු චිත්‍රපටය ලෙස ඉතිහාස ගත වනවා සේ ම ඒ වන විටත් සිංහල සිනමාවේ දැවන්තයෙකුව සිටි ධර්මසේන පතිරාජ සිනමාවෙන් ඔබ්බට ගොස් හංස විලක් සිනමා කෘතියේ තේමා ගිතයේ ගීත රචකයා ලෙස "හෙමින් සැරේ පියා විදා" ගීතය රචනා කරමින් ගීත ක්ෂේත්‍රයටද පිවිසෙයි.  එදා මෙදා තුර ඔහු විසින් විරචිත භාව පූර්ණ ගීතයද මෙයයි.

චිත්‍රපට ගීතයත්, ගුවන් විදුලි සරල ගීතයත් අතර වෙනස ‍කුමක්ද යන්න තේරුම් ගැනිමට "හෙමින් සරේ පියා විදා"  ගීතය කදිම නිදසුනකි. සිනමා කෘතියේ රූප රාමු සමග මැනැවින් බද්ධ වන ආකාරයට මේ ගීය නිර්මාණය වී ඇත. එය ගේය පද රචකයාගේ සුවිශේෂ දක්ෂතාවයයි.

හංස විලක් චිත්‍රපටය තිරගත කිරීමේදී "වැඩිහිටියන්ට පමණයි"  ලේබලය යටතේ ප්‍රදර්ශනය විමට වැඩි ඉඩකඩක් තිබුණද ඔහුට ලැබෙන පළමු අවස්ථාවේදීම ඒ සීමාව ඉක්මවා නො යාම  සිනමාව භාවිතය පිළිබඳව ඔහු තුළ තිබූ පරිණත භාවය පිළිබඟඳ කදිම නිදසුනකි. ඊළඟට චිත්‍රපටයේ කැමරා කරුවාගේ  නිර්මාණාත්මක ඇස තුළ සිය කැමරා කරණයද  සීමාව ඉක්මවා නො යන සේ සිය සීමාව තුළ රැඳී සිටිමින්  රූප රචනය කරයි. 
 
සංගීතයේ කේමදාස විස්මය

කේමදාස
චිත්‍රපටයේ සංගීත නිර්මාණය කළේ  ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසිනි. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ සහ කැමරාකරුවාගේ  භූමිකාව  මැනවින් තේරුම් ගෙන සිය සංගීතමය පරිකල්පනය සහ විඥාණය මෙහෙයවමින් චිත්‍රපට අධ්‍යක්ෂවරයාට කියා ගත නො හැකි වූ තැනත්,  කැමරාකරුවාට  ප්‍රකාශ කිරිමට නො හැකි වූ තැනත් මැනැවින් හඳුනා ගෙන ඒ සියළු අසම්මත බැමි චිත්‍රපට සංගීතයෙන් සහ තේමා ගී ගායනයෙන් පුපුරවා හරී.   ප්‍රේමයෙන් හට ගන්නා රාගයද, හුදකලා චරිත අභ්‍යන්තරයක හටගත් සිතුවිලි සමුදායක් සමග සිරියහනේ පහස පැතූ අසම්මත පෙම් යුවල සිරියහනේ හමුවන අවස්ථාවේ ධර්මසිරි බණ්ඩාරනායකටත්, කැමරාකරුවාටත් ප්‍රකාශ කිරිමට නො හැකි වූ සිනමා කවිය ඉතා සංයමයෙන් "හෙමින් සරේ පියා විදා"   ගීයෙන් මුදා හරී.

ඒ අනුව 80 දශකයේ ලාංකික සිනමාවේ විශාල පිබිදීමක් ඇති කිරිමට දායක වූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සිනමා සංගිතයේ මඟ සළකුණක් ලෙස ද මේ ගීතය දැක්විය හැකි අතරම සරල ගීතය සහ චිත්‍රපට ගිතයක තිබිය යුතු අන්‍යෝන්‍යතා ලක්ෂණ ඉතා මැනැවින් වටහාගත් ගීයක් ලෙසද මෙය හැඳින්විය හැකිය.

සුනිලා අබේසේකර 

සුනිලා අබේසේකර
ටී.එම්.ජයරත්න මෙරට අති විශිෂ්ඨ ගායන ශිල්පියෙකු ලෙස සියළු දෙනා දන්නා වුවද, සුනිලා අබේසේකර  ගායන ශිල්පිණිය පිළිබඳව කිසිවකු නො දනී. සුනිලා සංගීතයට පිවිසෙන්නේ 70 දශකයේ කේමදාසයන්ගේ ගායන වෘන්දයේ ගායිකාවක ලෙස කටයුතු කරමිනි. එකල ඇය ගායිකාවක සේ ම රංගන ශිල්පිණියක වශයෙන් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළා ය. ඒ අතරම ඇය පෙර අපර දෙදිග භාෂාවෙන්  කටයුතු කළ නිවේදිකාවක ද විය. සුනිලා  එකළ වාමාංශික දේශපාලනයේ අරටුවකි.  කේමදාසයන්ගේ ගී තනු සහ සංගිතයෙන් පිටත ඇය ගීත නො ගැයුවා ය.  ඇය එකම එක  ගීත ඇල්බමයක් එළිදැක් වූවා මට මතක ය.

ඒ කෙසේ වුවද, සුනිලා අබේසේකර අද මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ  ආන්දෝලනාත්මක චරිතයකි. ඇය මෙරට ක්‍රියාකාරී සිවිල් දේශපාලනයේ නියැලෙන තැනිත්තියකි. අද දවසේ ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ගනනාවක  ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරන අතරම, ලංකාවේ මානව හිමිකම්  සම්බන්ධයෙන්ද  පෙනී සිටී. මෑතකදී එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ජිනීවා හිදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ සම්මුතිය තුළද ඇයගේ කිසියම් කාර්ය භාරයක් තිබූ බව දෙස් විදෙස් ජනමාධ්‍ය තුළින් වාර්තා විය. මානව හිමිකම් කවුන්සලයේ ශ්‍රී ලංකාව පරාජය කරවිම පසුපස ඇයද සිටි බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. එසේ වුවද  ඇය එවකට මෙරට සිටි විශිෂ්ඨතම කුසලතාවයකින් හෙබි ගායිකාවකි.

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පළා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්


මලක් නම් එය මලක් වුව මැන
සිඟිති සුකොමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින

නැවුම් වත්සුණු රොනින් මත් වී
සිහින නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ

ගේය පද රචනය:  ධර්මසේන පතිරාජ
සංගිතය: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
 ගැයුම:  ටී.එම්.ජයරත්න සමග   සුනිලා අබේසේකර

"හෙමින් සැරේ පියා විදා" සම්පූර්ණ ගීතය මෙතනින් අහන්න , මෙහි ගීතය ඉංග්‍රීසි භාෂාවෙන්  හඳුන්වා දෙන්නේද සුනිලා අබේසේකර විසිනි.
ගීතයේ වචන අභිබවා ගිය ව්‍යංගාර්ථය

“හෙමින් සැරේ පියා විදා
 සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
 පළා ඇවිත් සිතුම් සියොතුන්” 

මේ ගීයේ ඉහත දැක් වූ කොටස තහනම් ආදරයේ සුහුඹුල්ව ලියලා වැඩුණු  ආදර සුවඳ රැගෙන විවාහක පෙම් යුවල සයනයේ හමුවන අවස්ථාව වචනයේ සිමාවෙන් ඔබ්බට ගොස් සංගීතමය අදහස් ප්‍රකාශනයකට සැරසෙන ආකාරය කදිමය . ඒ ව්‍යංගාර්ථය තුළ සෘජු ප්‍රකාශනයක් නොවී “සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්”  යැයි කියන්නේ ඒ නිසාය.

හංස විලක් චිත්‍රපටයේ "හිමින් සැරේ" ගීයට අදාල  රූප රමු සහිතව මෙතනින් බලන්න
 

අපට ඇසෙන ගුවන් විදුලි සරල ගීයක පද මාලාවක තිබෙන අර්ථ රසය සහ කාව්‍ය රසය  මෙන් ම සාහිත්‍යමය රසය සොයා බැලිමට  සිත ‍පොළඹ වනු ලැබුවද චිත්‍රපට ගීයක් ඇසුරෙහි එසේ රස විඳීමේ කැමැත්තක් සඳහා සිත යොමු නොවේ. ඒ මන්ද කිවහොත්,  එහි රූප රාමු අපේ මනසේ තැන්පත්ව තිබෙන බැවිනි. චිත්‍රපටයේ රූප රාමුවට බද්ධ වන කතා පුවත සහ අධ්‍යක්ෂවරයා විසින් සිය සිනමා කෘතියෙන් හඳුන්වා දෙන අත්දැකීම නැවත වෙනත් මානයක් ඔස්සේ ප්‍රති නිර්මාණය කර රස විඳින්නට එහි අවකාශයක් නැත. ඒ අනුව අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන රූප රාමුව ප්‍රබල  ලෙස මතු කිරීමට චිත්‍රපට ගීතය කොතරම් දුරට ඉවහල් වේද යන්න මත චිත්‍රපට ගීයේ සාර්ථකත්වය රඳා පවතී.

මලක් නම් එය මලක් වුව මැන
සිඟිති සුකොමල රුවින් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර දියෙන් උපදින

මේ වචන පේලි කිහිපය  ගීයෙන් ඉවත් කර එහි සංගිතයද අමතක කර  බැලූ විට ඒ තරම්  පැහැදිළි ව්‍යක්ත අරුතක් ඒ තුළින් ජනිත නොවේ. එසේ වුවද ගීතයේ රූප රාමු සහ එයින් ගම්‍ය වන ව්‍යංගාර්ථය තුළ බමරෙක් මලක රොන්සුණු  උරාගන්නා සේ  ස්ත්‍රී ශරීරය පිරිමි ඇසකට රසඳුනක් වන අයුරු ව්‍යංගයෙන්  කියයි. සිනමාවේදී මෙන්ම ගීතයේ දීත් ව්‍යංගාර්ථය අවශ්‍ය වන්නේ මෙවන් මොහොතක දීය. එහෙත් ගීයේ අවසන් කොටසින් මතු වන “සිහින නිම්නය සුපුෂ්පිත වෙයි” යන්න සිහින නිම්නයක් කෙසේ සුපුෂ්පිත වන්නේද  යන්න කේමදාසයන් විසින් සිය සංගිතයෙන්ම විග්‍රහ කරයි.

නිම්නයක් යනු කඳු දෙකක් අතර වූ තැනිතලාවකි. එවැනි තැනිතලාවක් සුපුෂ්පිත වීමට නම් එහි මලක් විය යුතුමය. නැවුම් වත්සුණු රොනින් මත්වූ බමරා ඒ මල සිය ග්‍රහණයට නතු කරගන්නේ ඒ ප්‍රේමයත්  රාගයත් අතර වල්මත් වීමත් සිදුවන්නේ මේ සිහින නිම්නයේ දීම ය.

සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිරි යහනේ

ටී.එම්.ජයරත්න
සිරියහනක පවුරක් තිබිය හැක්කේද යන්න ඊළගට මතු වන ගැටළුවයි. ගීතයේ ආත්මය සහ එහි භාවාත්මය රැඳී ඇත්තේ එකී පද පේලි දෙක තුළය. සිරියහනට පවුරක් තිබිය නොහැක. එසේ නම් සිරි යහන තුළ තිබූ පවුර කුමක්ද යන්න රිසි සේ ප්‍රේක්ෂකයාට නිර්මාණය කර විඳ ගැනිමට අවශය ඉඩකඩ  සංගිතයෙන් හා ගායනයෙන් මතු කර දෙයි. සියළු බැමි පුපරවා හටගන්නා අසම්මත ප්‍රේමය තුළ රූප රාමු බද්ධවීමේ ප්‍රමාණය සහ අවස්ථා නිරූපණය ගීතයට පිටිවහලක් වන්නේ ඒ නිසා ය.

සිනමා කෘතියක චරිත වල ඇති අධ්‍යාත්මය පිටතට ගෙන පෙන්විය හැකි එකම තැනැත්තා සංගිතඥයා බවත්, ඔහු  අධ්‍යක්ෂකවරයාගේ  මනෝ භාවයන්ද විනිවිද දකින්නෙකු බවට පත් වන්නේත්  ඒ නිසාය. ඒ අනුව ධර්මසිරි බණ්ඩාරනායකගේ සිතුවිලි  මෙහිදී කේමදාස විසින් සංගීතයට නගා ඇති අයුරු කදිමය.

සිනමාවේ සදාතනික ගී සිත්තම

ගීතයේ පදමාලාව තුළ ඇති ව්‍යාංගාර්ථයත්, සංගීත ස්වර රචනයේ ඇති වර්ණවත් භාවයත් ආරක්ෂා කරගෙන සිනමා කෘතියෙන් සහ පසුබිම් ගීතයෙන්  ඉදිරිපත් වන අදහසත් රැකගෙන එයින් අන් අදහසක් ඉස්මතු විමට ඇති ඉඩ මෙහිදී කේමදාසගේ සංගිතයෙන් වලකා ඇත.  අධ්‍යක්ෂවරයා තම සීමාවේ  රඳවා‍ ගත් අදහස  එකී චරිතවල ඇති අධ්‍යාත්ම තුළට රිංගා ඒ මනෝ භාවයන් ප්‍රකාශ කළ හැකි එකම තැනැත්තා සංගිතඥයා බවට පත්වී ඇත.

හංස විලක් චිත්‍රපටයේ “හෙමින් සැරේ පියා විදා”  ගීය ධර්මසිරි බණ්ඩාරනායක විසින් ඒ සිනමා කෘතිය තුළ අවස්ථා ගනනාවකදී භාවිතා කරයි. ඒ නිසාම එය සිනමා කාව්‍යයක් බවට පත්වේ. මෙහිදි එක්තරා අවස්ථාවක අධිකරණයේ විභාග වන නඩුවක ජවනිකාවේදී නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් වුවද එහි වචන ප්‍රේක්ෂකයාට නෑසේ. ඒ වෙනුවට මේ ගීයම නැවත පසුබිමෙන් ඇසෙන්නට සලස්වයි. එය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු විසින් සිය කතා පුවත සඳහා සංගිතය ඉතාමත් ප්‍රබල ලෙස යොදාගත් අවස්ථාවකි. ඒ අනුව“හෙමින් සැරේ පියා විදා”  ගීතය සදාතනික සිනමා ගී සිත්තමක් වන්නේ යටකී කරුණු කාරණා නිසාය.෴

ඔබේ විචාරාත්මක අදහසත් කැමති නම් ලියල යන්න

92 comments:

  1. හෙමින් සැරේ පියා පිදා ගීතයේ ගායිකාව එතරම් ප්‍රසිද්ධ නැහැ කියන කාරණේ නම් දැනගෙන උන්නා. එයා කවුද කියලා අහපුවාම කීප දෙනෙක් නම් කිව්වේ ඒ සිංදුව ඒ ගායිකාවගේ ප්‍රථම සහ අවසාන ගීතය කියලා.

    කොහොම නමුත් එතුමිය ගැන දැනගන්න ලැබුණු එක ගැන සතුටුයි. ස්තුතියි ඒ ගැන කිව්වාට. මේ ගීතයත් මම ආසම ගීතයත්.

    උදුම්බරා හිනැහෙනවා ගායනා කරන්නේත් එතුමියමද ??

    ReplyDelete
    Replies
    1. සුනිලා අබේසේකර කේමදාසගේ සංගීතයට පමණයි ගී ගැයුවේ. "බඹරු ඇවිත්" චිත්‍රපටයේ උදුම්බරා ගිය ගැයුවෙත් ඇයයි. මගේ මතකය හැටියට ඇය තවත් චිත්‍රපට කීපයකම ගී ගැයුවා. ඊට අමතරව කේමදාසගේ සංගිතයට ඇය ඒ කාලෙ කැසට් එකකුත් කළා.

      හසිත ස්තූතියි ඔබට ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

      Delete
  2. අයියා.........ගොඩාක් ස්තූතියි.

    “හිමින් සැරේ පියාවිදා “ ගීතය ඇහෙන කොට , හිතට දැනෙන්නෙ හරියට...පිහාටුවකින් කිති කවනව වගේ.

    පාසල් කාලේ මම මේ චිත්‍රපටය මුලින්ම නරඹද්දි, ඒකෙ කතා තේමාව වත් කතාව වත් හරියට තේරුම් ගන්න බැරි උනා. මොකද මේකෙ කතාව යන්නෙ හරි වෙනස් විදිහට. ඒ කාලෙ එහෙම කතා අඩුයි.

    පොලිසියට අහුවෙලා , ඒ දෙන්නා අරන් ගිහින් ප්‍රශ්ණ කරන අතර වාරයේ කතාව වර්තමානය අතීතය එක්ක සම්බන්ධ වෙනවා වගෙයි මතක.

    අනික ස්වර්ණාගේ රඟපෑම හරිම ලස්සනයි.

    ඔක්කෝටමත් වඩා මේ වගේ වැඩිහිටියන්ගේ පුද්ගලික දේවල් වලට පොලිසිය මැදැහත් වෙන හැටි නම් හරිම කැතැයි .

    මගේ හිතේ කාලයක් ඉදල තිබ්බ ප්‍රශ්ණයක් තමා මේ සින්දුව කියන ගායිකාව කවුද? එයා ඊට පස්සෙ ගීත ගායනා කලේ නැද්ද කියනෙක.ඒ හඬ ඒ තරම්ම මයෙ හිත ට වැදුනා.ඇග හිරිවැටෙන හඩක්. හරිම වෙනස්.

    ඒ වගේම මෑත කාලයේ රූපවාහිනියෙන් නිතර නිතර මේ ගැහැණු රුව දකිද්දි මම නම් කීයටවත් හිතුවෙ නැහැ එයාට සින්දු කියන්න පුලුවන් ඇති කියලා.මොකද එයාගේ ප්‍රතිරූපය අපිට මැවුනේ දේශද්‍රෝහීයෙක් විදිහට.

    ඒත්.........ජීවිතේ හරිම සරදමක්........


    ගොඩාක් ස්තූතියි අයියා................අයියගේ මා කියවූ හොඳම පෝස්ට් එක...........

    ස්තූතියි ගොඩාක්...........

    ReplyDelete
    Replies
    1. සොඳුරු සිත..

      මේ චිත්‍රපටය වගේම ගිත දෙකත් ආයෙ කියන්න දෙයක් නෑ. ඒතරමට අති විශිෂ්ඨ නිර්මාණ දෙකක්.

      පොලිසිය මෙතැනදි මැදිහත් වෙන්නේ නීතිමය බලයක් ඇතිවයි. ඔබ කියන විදියට පොලිසිය අනුන්ගේ අයිතිවාසිකම් බලෙන් පැහැර ගැනීමක්.

      ඔයාට සුනිලා පෙනී තියෙන්නේ "දේශද්‍රෝහියෙක්" විදියටද? අනේ මේවන තෙක් මට නම් ඇය ගැන එහෙම අදහසක් අංශු මාත්‍රයකින් වත් හිතුනෙ නැහැ. ඒවත් කරන්න කවුරු හරි ඉන්න එපායැ. අනික මේ රටේ මිනිස්සුන්ගෙ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් සමාජයේ පෙනීසිටිම ඒ වෙනුවෙන් හඬ නැගීම වරදක්ද? මම හිතන්නෙ නෑ ඒක දේශද්‍රෝහී වැඩක් කියලා.

      ස්තූතියි සොදුරු ඔයාගෙ අගනා කාලයෙන් බිඳක් වෙන් කලාට අස්වැන්නට

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මේ රටේ මිනිස්සුන්ගෙ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි.. ඒ වෙනුවෙන් හඬනගන සුනිලා.... මනුස්සකම පිරුනු ආදරනීය මවක්.......

      Delete
  3. ඉතාම වටින වියමනක්. වර්තමානයේ බොහෝ දෙනෙක් නොදන්න වගතුග රැසක් මනාව විමසීමට බදුන් කරල තියෙනව. සදුන් සිහින මණ්ඩපයේ පද ලිව්වෙ කවුද කියල මමත් හොයන්නම්.

    ReplyDelete
    Replies
    1. කාලෙක ඉඳල හිතේ රැඳිල තිබ්බ ගිත දෙකක් සහ චිත්‍රපටයත්.සදුන් සිහින මණ්ඩපයේ පද ලිව්වෙ කවුද කියල ලැබුනොත් තොරතුර දෙන්න. ඒ උත්සාහය අගය කරන ගමන්ම ඔබේ පැමිණීමටත් ස්තූතියි.

      Delete
  4. මෙවන් වූ නිර්මාණ කරුවන් රටට සම්පතක් මෙන්ම,, ඔබද අප රටට උරුම වූ වාසනාවකි, මන්ද යත්,. මෙවන් වූ වටිනා නිර්මාණයන්ගේ ඇති අරුත,. එහි ඇති ගැබුර අද සමාජයට කියාදෙන්නට.. එහි වටිනාකම පහදන්නට හැකියාව ඇති ඔබ වැන්නෙකු තවත් නැති තරම්ය.. ඔබට ගොඩක් පින් මහත්මයෝ මෙවන් දේවල් අප ඉදිරියේ තබනවාට..

    හිමින් සැරේ පියා සලා ... ගීතය මගේ ප්‍රියතම ගීතයක්.. ( හැබැයි හරි තේරුම දැන ගත්තේ අද)

    ReplyDelete
    Replies
    1. චතුවී..

      මම මගේ රසවින්දනය ඔබ ඇතුළ සැමට බෙදා දුන්නාම ඊඨ ලැබෙන අගය කිරිම තරම් සතුටක් තවත් නැහැ. මේ ගීය ඇහෙන ඇහෙන වාරයක් පාසා සිතුවිලි විවිධ ඉසව් ඔස්සේ මෙහෙයවන්න පුළුවන්.

      චතුවී..ස්තූතියි ඔබට ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

      Delete
  5. ආහ්.........අමතක උනා. එතකොට මේ චිත්‍රපටිය අධ්‍යක්ෂකම ප්‍රධාන චරිතයක් රඟපාලා.එහෙම නේද?

    ඒ රගපෑමත් හරි අගෙයි. මුල්ම හා අවසන් ?

    ReplyDelete
    Replies
    1. සොඳුරු සිත

      ධර්මසිරි බණ්ඩාරනායක හැත්තෑව සහ අසූව දශකයේ මුල් අවදියේ චිත්‍රපට ගනනකම රඟපෑවා.මුල්ම රඟපෑමනම් නෙවෙයි ඒත් අවසාන රංගනය මේක හිතන්නත් පුලුවන්.

      Delete
  6. නොදන්න දේවල් ගොඩාක් ඉගෙන ගත්තා... හෙමින් සැරේ පියා විදා ගිතය මගෙත් ප්‍රියතම ගීයක්. හැබැයි ඒකෙ පසුබිම් මෙච්ච්ර සවිස්තර ලෙස දැනගෙන තිබුනේ නෑ. ඒක තිබුනෙ හ0ස විලේ කියල දැන ගත්තත් ඒකෙ කතාව නම් අහල තිබුනේ නෑ. ගීයට දක්වල තියන අර්ථකතනයත් හරි අපූරුයි...වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. තොටියා

      ලැබුනොත් මේ චිත්‍රපටය හොයාගෙන බලන්න. ඒ තරම් විශ්ෂ්ඨ සිනමා කාව්‍යයක්.

      ඔන්න නන්දා මාලනියගේ "ස්වේත රාත්‍රිය" 22 වන ප්‍රසංගය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල රඟහලේ තියන බව යා‍ලුවෙක් කිවිවා හොයල බලන්න. කලින් ටිකට් එකක් ගන්න වෙයි.

      තොටියා ස්තූතියි ඔබට ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

      Delete
    2. බොහෝම ස්තූතියි අයියේ.... සොයල බලන්නම්... පොඩි හරි ඉඩක් ලැබුනොත් අනිවාර්යෙන් යනව.

      Delete
  7. අයියා..........රීඩ් දිස් ඕල් සෝ.

    http://www.thelastrow.net/2012/05/%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1v-%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B6%B8%E0%B6%BA/

    මේක කියවද්දි මට මතක් උනේ ඔය ගීතය.

    ReplyDelete
    Replies
    1. දොඳුරු සිත

      ස්තූතියි සොඳුරු .. මම මේ ගිය නිස්කාංසුවේ අහන්නම්.

      Delete
  8. මේ ගීතයේ නම දැක්කාම කොහොම නෑවිත් ඉන්නද? හංස විලක් චිත්‍රපටය මම නරඹලා නැහැ. ඒත් මේ ගීතය නම් දහස් පාරකට වඩා අහලා තියනවා. ගීතයේ ව්‍යන්ගාර්තය මට ටිකක් තේරුනා මදි කියලත් කියන්න ඕන :)

    මම අහපු තවත් කතාවක් තියනවා. මේවා ඇත්තද කියලා නම් හරියට දන්නේ නැහැ. චිත්‍රපටියේ තිබුනා වගේම අනියම් සම්බන්ධයක් ඇත්ත ජීවිතයේත් චිත්‍රපටිය නිසාම ඇති උනා කියලා. (අහපු කතාවක් පමණයි..)

    ReplyDelete
    Replies
    1. සයුරී..

      ලංකාවට ආව දවසක මේ චිත්‍රපටය හොයාගෙන යනකොට අරන් යන්න . මම දැකපු ලංකාවෙ බිහිවූ හොඳම චිත්‍රපට 10 අතර මේක පෙරමුනේ තියනවා.

      ගීයේ ව්‍යංගාර්ථය චිත්‍රපටය බැලුවොත් පැහැදිලි වෙනවා.ගී දෙකෙන්ම කියන්නේ දසුන් වලින් නොපෙන් වූ කොටසයි. ඒ දසුන් චිත්‍රපට‍යෙන් පෙන්නුවා නම් ඒක බටහිර ඉංග්‍රිසි චිත්‍රපටයක වගේ වෙනවා එහෙම වුණා නම් එක්කෝ " 18+ "නැත්නම් ඒක " X " වෙනවා ඒනිසා තමයි ඒ කොටස ව්‍යංගයෙන් ගීත දෙකෙන්ම කියන්නේ.

      "අනියම් සම්බන්ධයක් ඇත්ත ජීවිතයේත් චිත්‍රපටිය නිසාම ඇති උනා කියලා. (අහපු කතාවක් පමණයි..)"

      අහන්න දෙයක් නෑ ඒක තමයි ඇත්ත. ස්වර්ණා මල්ලවාරච්චිට 1995 දි ධර්මසිරි බණ්ඩාරනායකගෙ "බවදුක සහ බව කර්ම" චිත්‍රපටවල රංගනය වෙනුවෙන් ඒ වසරේ හොඳම නිළියට හිමි සම්මානය හිමි වුණා. සම්මාන උළලෙදි ඇය සම්මානය ගත්ත වෙලවෙ එදා නිවේදකයා ඇයගෙන් ඇහුවෙ සම්මානය ලැබීම ගැන මොකද හිතෙන්නෙ කියල. එවිට ඇය දුන්න උත්තරේ වුණේ ධර්මසිරි බණ්ඩාරනායකගේ චිත්‍රපටවලට සම්මාන ලැබුණා වගේම ඇයගේ ජීවිතේට ඔහුගෙන ලැබුණ හොඳම සහ වටිනාම සම්මානය තමයි ඇයගේ දියණිය කියලා.

      ඉතින් තවත් කුමන කතාද?

      සයුරී බෙහෙවින්ම ස්තූතියි ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන් කර තුබූ මේ සටහනට වෙනදා වගේම අදත්,

      Delete
    2. හ්ම්ම්...මම අහපු කතාව තහවුරු කරාට ඔබට ස්තුතියි...මිනිස්සු කියන්නේ හරි පුදුම ජාතියක් කියල හිතෙනවා....අනියම් ප්‍රේමයේ අනිටු විපාක පෙන්වන්න චිත්‍රපටයක් හදන අතරතුර ඇත්ත ජීවිතයේත් අනියම් ප්‍රේමයක් හටගැනීම එක අතකට දෛවයේ සරදමක්ද මන්දා...

      Delete
    3. දයා ඔබ හරි .1995 ඒ සම්මාන උලෙල මාත් බැලුවා වෙදිකාවට ගොඩවුන ස්වර්ණා කිව්වා ඇගේ ජීවිතේ ලැබුණ අසහාය සම්මාන 3 ලැබුණේ ධර්මසිරිගෙන් කියලා .මුලම සම්මානය හංස විලක් , දෙවනුව බව දුක හා බව කර්ම , ඊලඟට අසහාය සම්මානය ඇගේ දියණිය .

      මේ කතාව මෙහි ලියන්න හදනවිටයි දැක්කේ .මොනව වුනත් සිංහල සිනමාවේ මම ආසම නිලියක් ස්වර්ණා .මම ඇයව දකින්නේ අපේ ශබානා අස්මි හැටියට .ඉතා ප්‍රබල හැඟීම් රංගනයට ගේන්න පුලුවන් කෙනෙක් ඇය .

      තව දෙයක් සිනමාවෙන් පිට කතාවක් මේ ,ස්වර්ණා සිනමාවේ රඟපෑවේ ඒතරම් සීනි බෝල චරිත නෙවේ .ඒත් මට අපැහැදිලි මතකයක් තියේ ඇය ලක්ස් ඇඩ් එකක හිටියා කියලා ඒ කාලේ :) මගේ මතකේ හරිද ?

      Delete
    4. ඇත්තෙන්ම මටත් මතකයි ස්වර්ණා ඒ කතාව කියනවා 1995 දී - පැරණි මතකයන් අළුත් කිරීම ගැන ස්තූතියි -
      හංස විලක් සොයා ගෙන නැරඹිය යුතුයි -
      මේ මහතා කියන ආකාරයෙන්ම 1980 දශකයේ ඔවැනි නැගෙනහිර යුරෝපීය හා ප්‍රංස සිනමාවේ මෙවැනි අනියම් සබඳතා හා ඒවා තුළින් ඇතිවන බලපෑම් ආදිය සාකච්ඡා කරන ලිංගිකමය සිනමාවක් තිබූ බව නිකොලස් රෝග්ගේ බෑඩ් ටයිමින් - ඉසබෙලා අජානි රඟපෑ පොසෙෂන් වැනි චිත්‍රපට වර්තමානයේ බැලීමේදී තේරුම් ගන්න පුළුවන් -

      Delete
  9. හෙමින් සැරේ පියා විදා කියන ගීතය මම ගොඩක් කැමති ගීතයක්.ඒ ඒ ගායිකාව ගැන ඇහුවේ අදයි.

    ගොඩාක් ස්තුතියි මේ ලිපියට.

    ReplyDelete
    Replies
    1. අසරණයා..

      ගායිකාව ගැන දැනගත්තානේ.. ඇයට තිබුණේ අනභිබවනීය ගායන කුසලතාවයක් සහ භාෂා හැකියාවක්.

      ස්තූතියි ඔබට ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

      Delete
  10. හෙමින් සැරේ ගීතය මගෙත් ප්‍රියතම ගීතයක්!! කේමදාසයන්ගේ සංගීතය විශිෂ්ඨයි!!! ඒත් ගායිකාව පිළිබද දැනගෙන උන්නෙ නෑනෙ.. අදමයි දැගත්තෙ.. ස්තූතියි ඒකට.. ඇත්තටම මම ඒකෙ පද මාලාවෙ අර්ථය දැනගෙන උන්නෙත් නෑ..

    හුඟාක්ම ස්තූතියි !! ලිපිය බොහොම වටිනවා!!

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාරි..

      සුනිලා අබේසේකර මේ දක්වා ගිත ගැයුව නම් ඒක මේ රටේ අලුත් සංගීත මාවතක් හැදේන තිබුණා. ඒතරමට ඇයට හොඳ සංගිතමය ඥානයක් සහ දැනීමක් තිබුණ කෙනෙක්.

      ස්තූතියි හිතුවක්කාරි ඔබට ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

      Delete
  11. “හෙමින් සැරේ පියා විදා” මම ආසම ගීතයක්, සුනිලා අබේසේකර කියන චරිතය මම පත්තර වල එහෙම දැකල තිබුන,
    කවදාවත් හිතුවේ නෑ එයා තමය් මේ ගීතය ගායනා කරන්නේ කියල, මම ඔය චිත්‍ර පටයනම් බලල නෑ මම ඉපදුනෙත් ඊට අවූරුදු 15 කට පස්සේ, හොඳ ලිපියක් ලියල දැනුවත් කරාට තුති!!

    ReplyDelete
    Replies
    1. පුබුදු..

      ඔබේ යුගය එන විට ලංකාවෙ "කලු සුදු" චිත්‍රපට නිර්මාණය වීම පවා නතර වෙලා තිබුණේ.
      මේක හැම තිස්සෙම වුණත් අහන්න පුළුවන් ගීයක්.
      ස්තූතියි පුබුදු ඔබට ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

      Delete
  12. චිත්‍රපටිය නරඹලා තියනවා . ඒත් සුනි‍ලා අබේසේකර ගැන මෙතරම් විස්තරයක් දන්නේ නැ.
    ඔබ කියවන්න ආස විදියට ලියන කෙනෙක් . හරිම අගේ කරනවා ඔබගේ ලිපි .
    ඊලග නිශාන්තයෙන් මෙම ගීතය දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ගිම්හානි..

      ඇත්තටම සුනිලා අබේසේකර ගැන නිරන්තරයෙන් කතාවෙන්නෙ දේශපාලන රාමුවක සිටයි. ඒත් ඇයගේ ගායන කුසලතාවය ගැන මිට පෙර කවුරුත් කතා කරල නැහැ. ඇය පවා හරිම අඩුවෙන් ප්‍රකාශ කලේ ඇය ගායිකාවක් කියල. මට හිතතෙන විදියට ඇය ගී ගැයුවෙ මුදල් සෙවිම පිණිස නොව හුදෙක් රස වින්දනය සඳහා විතරයි කියන එක. මම දන්නා තරමින් ඇය ආර්ථික අතින් බොහොම ශක්තිමත් සුපිරි ජීවිතයක් ගත කළ කෙනෙක්.

      ගිම්හානි..ස්තූතියි ඔබට ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

      Delete
    2. ගිම්හානි

      ඊළඟ නිශාන්ත ඉරිදා ද තියෙන්නේ.

      Delete
  13. හරිම වටින ලියවිල්ලක් , මෙවන් ලිපි මගින් සිංහල බ්ලොග් ක්ශේත්‍රයත් රසවත් සහ දැනුවත් කරමින් පෝෂණය කරන්නට දරනා උත්සාහයට මගේ ගෞරවනීය සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. මහේෂ්..

      පළමුවෙන්ම ඔබව අස්වැන්නට උනුසුම් ලෙසින් පිලිගන්නව. දිරිගැන්වීමට බෙහෙවින්ම ස්තූතියි ඔබට ඒවගේම ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනටස්තුතියි.

      Delete
  14. හැමදාමත් සුපිරි ලිපි වියමනක්..ස්තුතියි..
    සිංහල සිනමාවේ ප්‍රශස්ත අවධිය වූ හැත්තෑව අසූව දශකයේ බිහිවූ ගී තාමත් අප මුව රැව් දෙනවා..

    මේ ගීත දෙක දිහා වෙනස්ම ඇහැකින් බලන්න සැලැස්වූවාට තුති..

    සිංහල සිනමාවේ ගීත අතර මා සිත් ගන්නේ “සීත අරණේ සුපුල් නාමල“ ගීයයි..එය ඇසූ පළවන දවසේ මෙන්ද අදත් මට එය එකසේ රසවත්..

    ReplyDelete
    Replies
    1. රූ..

      60,70,සහ 80 දශකවල සිනමා ගිත සාහික්‍යයේ ඇතිවූ පෙරලිය අද නැහැ. අද චිත්‍රපට වග ගිත ඇහුනත් විඳින්න දෙයක් නැති තරම්.

      ස්තූතියි රූ.. ඔබට ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

      Delete
  15. මම මේ ගීය අහලා තිබ්බට මෙච්චර විස්තරයක් අහලා තිබුනේ නෑ.
    ස්තුතියි මේ විස්තර වලට.

    ReplyDelete
    Replies
    1. මධුරංග

      චිත්‍රපටයක ගීයක් ගැන අපි කවුරුත් හොයන්නේ නැහැ මොකද ඒක අපිට නරඹන්න පුළුවන් නිසා. අනෙත් අතට එවැනි ගීවල අරුත් හොයන්නෙත් නෑ රූප රචනා ඇති නිසා. ඒත් මේචිත්‍රපටය එහෙම නෙවේ. නිරන්තරයෙන් විඳින්නත් පුළුන් ගිත දෙකක්.

      ස්තූතියි මධුරංග ඔබටත් ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

      Delete
  16. ගායිකාව ගැන කිසිම තෙරතරක් දැනගෙන හිටියෙ නැහැ....ගොඩාක් ස්තූතී....ඉතාමත් වැදගත් ලිපියක්....

    ReplyDelete
    Replies
    1. අග්නි..

      මේ ගායිකාව දිගටම ගිත ගායනා කළා නම් සිංහග ගිත ක්සේත්‍රයේ ලොකු වෙනසක් වෙන්න තිබුණා.

      අග්නි..ස්තූතියි ඔබට ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

      Delete
  17. හංස විලක් බලලනම් නෑ. ඒත් "හීන් සැරේ පියා විදා" ගීතය නිසාම හංස විලක් ගැන සියඵ විස්තර දන්නව බැලුවෙ නැතත් ගොඩක් කාලෙක සිට.
    "සඳුන් සිහින මණ්ඩපයේ" කියන ගීතයත් මේ හංස විලක් චිත්‍රපටයේ නිසාම හොයල හොයල අන්තිමට එම්පී3 කෑල්ලක් හොයාගෙන අහන්න ලැබුණ දැන් කාලෙකට ඉස්සර.
    කොහොම වුණත් සුනිලා අබේසේකර සහ ටීඑම් ජයරත්නගෙ මේ ගීතයනම් තව කාලයක් යනකම් රසිකයෝ අතර රැදෙන බව කියන්න දෙයක් නෑ. ඒතරම්ම එය විශිෂ්ඨයි. ඒක ලිව්වෙ ධර්මසේන පතිරාජ කියන එක අද තමයි හරියට හිතට වැටුණෙ මේ ලිපිය කියෙව්වම. ඒකට ස්තූතියි.
    මෙවැනි චිත්‍රපට අද පරපුරට බලන්න හැකි විදියෙ ක්‍රමයක් නැති වීම කණගාටුවට කරුණක්. ඒ තත්වය අනුව සිංහල සිනමාව‍ ලෝක සිනමාව ළඟ අන්තිම පහත් තැනක තියෙන්නෙ. ලෝක සිනමාවෙ විශිෂ්ඨ කෘති බොහෝමයක් අද වුණත් අන්තර්ජාලය හරහා නරඹන්න හෝ බාගත කරන්න හැකියාව තියෙනව. කුරසෝවගෙ, බර්ග්මාන්ගෙ,සත්‍යජිත් රායිගෙ 50,60 දශක වල චිත්‍රපටයක් වුණත් එහෙම බලන්න හැකි වුණත් සිංහල සිනමාවෙ නිධානය, රේඛාව කෙසේ වෙතත් 80,90 දශක වල ආපු සම්භාව්‍ය සිනමා කෘතියක්වත් එසේ නරඹන්න පුඵවන් විදියට සැකසී නැති වීම කණගාටුවට කරුණක්. ඒක ලංකාවෙ නිර්මාණකරුවන්ගේ දැඩි අයිතිවාසිකම් කියාපෑම නිසා සිදු නොවන්නක් විය යුතුයි. ඒත් එයින් වෙන්නෙ එවැනි කෘති පසු පරපුරකට විවෘත නොවීමයි.

    ReplyDelete
    Replies
    1. Outsider..

      මටම පුදුමයි ඔබ වැනි කෙනෙකුට "හංස විලක්" චිත්‍රපටය මග හැරුණා කීවාම. හැබැයි මේ චිත්‍රපටයට ධර්මසේන පතිරාජ ගිත ලිව්වා වගේම ධර්මසිරි බණ්ඩාරනායකත් ගීත ලිව්වා පසු කාලෙක.ඒවත් මිහිරිම ගිත.

      අපේ චිත්‍රපට ප්‍රදර්ශනය කරලා අවසන් වූ වහාම ති.නා. මිලදී ගන්නව එහි අයිතිය. ඊට පස්සෙ ලංකාවෙ නීතිය අනුව ඔහුගේ අවසරය නැතුව ප්‍රසිද්ධ ප්‍රදර්ශන බැහැ ලංකාවෙ නීයෙන් එය දඬුවම් ලැබිය යුතු වරදක්. ඒකයි අපි කැමති චිත්‍රපටයක් බලන්න අපට වාසනාව නැත්තේ.

      ස්තූතියි වෙනදා වාගේම අදත් ඔබට ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

      Delete
  18. ගොඩක් වැදගත් විස්තරයක්...

    හංස විලක් ටික කාලෙකට උඩදි බැළුවා කියලා මට මතකයි.. ඒත් කතා පුවත හරියටම මතක නෑ.. ඒත් මේ ගීතයේ මුල් කොටස වාදනය වෙද්දිම කල්පනාවට එන්නේ කේමදාස ශුරීන්.. එතුමන්ගේ මම වඩාත් ප්‍රිය අරන ගී අතුරින් ඉහලින්ම තියෙන ගීයක් මේක..

    ටී.එම් ජයරත්නයන්ගෙන් මේ ගි‍යට ලොකු සාදාරණත්වයක් ලැබිලා තියෙනවා.. කේමදාසයන්ගේ තනුව වගම ජයරත්නයන්ගේ හඩ මේ ගීය ප්‍රේක්ශකයෝ අතරට අදටත් අරන් යනවා..

    ගායිකාව ගැන නම් තොරතුරු දැන ගත්තේ අද.. ඒ ගැන ලියුවට ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්..
      අවුරුදු 32 වගේ කාලයක් පුරා මතකයේරැඳි ගිතයක් "හෙමින්සැරේ" ගීය ඒක ඊයේත් අදත් හෙටත්
      එහෙමයි.

      ස්තූතියි දිනේෂ් වෙනදා වාගේම අදත් ඔබට ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

      Delete
  19. ස්තුතුයි මේ ලිපියට.. මගේ ප්‍රියතම තනු නිර්මාණය තමයි හිමින් සැරේ ගීතයේ තනු නිර්මාණය... මේ ලන්නග්දි මම ඔෆිස් එකෙ එ සින්දුව අහ අහ ඉන්නකොට ( ඇහුවෙනම් සුපර්ස්ටාර් ගෘප් සොන්ග් එක ) ඉන්දියානු මිතුරෙක් ආසවෙන් අහගෙන් ඉදල ඇහුව ලංකාවේ සින්දුවක්ද කියලා... ඔව් කිව්වහම මිනිහ ආයෙත් අහලා ලින්ක් එක මේල් එකක් දාගත්ත ආපහු අහන්න කියලා

    ReplyDelete
    Replies
    1. මීගොඩයා..
      අත්තටම ඉන්දියාව තුළත් කේමදාගේ මියුසික් තරමක් ජනප්‍රිය වෙලා තිබුණ කාලයක් තිබුණා. එස්පී බාලසුබ්‍රමනියම් කේමදාගේ සංගිතයට කේමදාස සංගිතය සැපයු දකුණු ඉන්දීය චිත්‍රපටයකට ගී ගැයුවා. ඒවගේම හින්දි චිත්‍රපටයකුත් කේමදාස මියුසික් කළා මතකයි. එහෙම වුණාම ඉන්දියානුවෝ කේමදාගේ මියුසික්
      වලට කැමතියි.

      ස්තූතියි ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

      Delete
  20. "සුමුදු සයනේ" ගීතය මම ගොඩක් ආස සිංදුවක් ,බොහෝම ඉස්තුතියි නොදන්නා කරුනු පිලිබද දැනුවත් කිරීම පිලිබදව....

    ReplyDelete
    Replies
    1. රොබින්..

      ඔබ අස්වැන්නට පැමිණිම සතුටින් පිලිගන්නවා. ඒවගේම ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර
      තැබූ මේ සටහනටත් ස්තූතියි

      Delete
  21. සැහෙන්න රස වින්දා මේ ලිපිය නන්.. ගොඩක් ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. පසන්..
      ඔබත් අස්වැන්නට පැමීම සතුටක්.. ස්තූතියි ඔබට ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

      Delete
  22. " හෙමින් සැරේ පියා විදා " ඇත්තටම මේ සිංදුව අහද්දී හිතට මාරම හැගීමක් එනවා. සංගීතය, ගීතයේ පද රචනය වගේම ගායනයත් හරිම අපූරුවට ගැලපිලා තියෙනවා. මේ සිංදුව මං කලින් අහලා තියෙනවා. කේමදාස මාස්ටර් ගැන ටීවි එකේ වැඩසටහනක් යනව නම් අනිවාර්යෙන්ම මේ සිංදුවත් යනවා.

    ඒත් එකේ නියම තේරුම දැන ගත්තේ අද. ගොඩක්ම ස්තූතී මේ ලිපියට.
    :)

    ReplyDelete
    Replies
    1. නෙත්පානි..

      කේමදාසගේ ගොඩක් සංගීතමය වැඩසටහන්වල තේමා විදනය ලෙස මේ ගීයේ අනු වාදනය යොගත්තා.
      ගීතයේ නියම තේරුම දැනගන්නම නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

      ස්තූතියි නෙත්පානි..ඔබට ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

      Delete
  23. චිත්‍රපටය බැලුවාදැයි මතක නෑ.. ගීතය නම් අසාතිබෙනවා..

    ඔබ මුලින්ම ගීතයේ පදවැල් ලියා තිබෙනවා දුටු ගමන්ම මට හිතුනේ.."මේ මොන කෙහෙල්මලක්ද මෙලෝ තේරුමක් නෑනෙ. හරියට රම්බරී වගේනෙ" කියලයි.. යටින් තියෙන විස්තරේ දැක්කෙ පස්සෙනෙ..

    රසවත් ලිපියක්..

    ReplyDelete
    Replies
    1. හරී..
      මේ ගීයේ පදමාලාව සංගීතය සහ ගායනයෙත් වෙන්කර ඒකොටස් අමතක කර පදමාලාව විතරක් කියවා බැලුවොත් මහ අපබ්‍රංශ පදමාලාවක්. ඒත් සිනමා රූප එක්ක සසඳා බැලූවිට සුපිරි ගිතයක්.

      ස්තූතියි හරී... වෙනදා වාගේම අදත් ඔබට ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

      Delete
  24. මගෙත් ප්‍රියතම ගීතයක්.ගායිකාව ගැන නම් දැනගෙන හිටියෙ නෑ. හැබැයි කේමදාස මාස්ටර්ගෙ ගෝලයෙක් බව නම් තේරුනා.ඉතාමත් මිහිරි කටහඩක්. ඇයගෙ වෙන ගීත නැද්ද අයියා?

    නන්දා මාලනියගේ ඔය ගීතයනම් අසා නැහැ.

    ReplyDelete
    Replies
    1. නිසූපා..
      ඇයි සුනිලා අබේසේකර ගැයූ චිත්‍රපට ගී කිපයක්ම තියෙනවා ඒ අතර බඹරු ඇවිත් චිත්‍රපටයේ "උදුම්බරා හිනැහෙනවා" ගිතය විශේෂයි. පසුකාලෙක කේමදාසගේ සංගිතයට ඇය කැසට් පටයක්තු කළා..
      නන්දා මාලනියගේ ගිය නම් ගිත ඇල්බම් වලට ඇවිත් නැහැ ඒත් ඒගිතය ඉතාමත් ලස්සන ගීයක්.
      ස්තූතියි නිසූ.. වෙනදා වාගේම අදත් ඔබට ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

      Delete
  25. ඉතා අනගි විස්තරයක්. නියමයි.

    ReplyDelete
    Replies
    1. Mobileman

      ඔබත් අස්වැන්න ගොඩවැදීම සතුටක්. වගේම සාදරයෙන් පිළිගන්නවා.
      ස්තූතියි අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

      Delete
  26. ධර්මසිරි බණ්ඩාරනායක, ධර්මසේන පතිරාජ, ප්‍රේමසිරි ඛේමදාස, සහ ටී එම්.ජයරත්න කියන නම් 4 ම මගෙ "ප්‍රියතම" ලයිස්තුවේ තිබුණා. ඒත් සුනිලා අබේසේකර කියන නම තිබුනේ ඊට විරුද්ධාර්ථ දෙන ලයිස්තුවෙ. මේ ලිපිය කියෙව්ව වෙලවෙ ඉඳන් ඒ නමත් මුල් ලයිස්තුවට එකතු කරගන්න මම හිතෙන් පොර බදිනවා.

    දයානන්ද අයියෙ, මේ තරම් පැහැදිලිව, නිරවුල්ව, සවිස්තරව ලිපියක් ලියන්න තරම් ඉවසීමක් තියෙන්නෙ කොහොමද.
    ඇත්තමයි, ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. සිඳු..
      මේවගේ චිත්‍රපට හොයාගෙන සියවාරයක් විතර බලල, ඊට පස්සේ ඒ ගිත නැවත හොයා ගෙන අහල කියවල මතකවේ තැන්පත් වුණාම ලියන දේවල් සිතුවිලි බවට පත්වෙනවා.අනික තමයි නිතර පොතපත කියවීම
      තුළ ලබන භාෂාමය අත්දැකිම.එතකොට අමුතුවෙන් හිතන්න දෙයක් අව්‍ය වෙන්නෙ නැහැ.
      මම මගේ මානසික ආතතියක් ඇතිවෙන වෙලාවක විනාඩි කිපයක් තුළ එයින් මිදෙන්න සංගිතය උපයෝගී කරගන්නවා.
      එහෙම වෙලාවට කේමදාසගේ සංගිතය දිව ඔසුවක්.අනික තමයි නිරන්තර යෙන්
      සංගිතය රසවිඳින්න තියෙන කැමැත්ත.එතකොට ඉවසිම නිරන්තර හුරුවෙනවා. ඔබ වෛද්‍ය
      වෘත්තියේ නියැලෙන කෙනෙක් නිසා සංගිතය තුළින් ලෙඩ සුව කරන හැටි හොඳටම දන්නවා නේ. ඒවගේ තමයි මමත් මේවට හුරු වුණේ.
      ස්තූතියි සිඳු..වෙනදා වාගේම අදත් ඔබට ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

      Delete
  27. මෙතරම් ලස්සන බ්ලොග් එකක් මට මග ඇරුනේ ඇයි. හංස විලක් දෙපාරක් බැලුව . හෙන්රි ජයසේන හොල්මනක් වගේ ධර්මසිරිගේ පසුපස එන දර්ශනය [ එය ඔහුගේ මනෝභාවයන් ]සහ තව දර්ශන කීපයක් හොඳට මතකයි . මෙය නැරඹුවේ බොහොම යව්වන සමයේ . අනියම් සම්බන්ධතා වගේ දේවල් දිහා වැඩිහිටියෝ හදල දීපු රාමු ඇතුලේ ඉඳන් බලපු කාලේ . අද වගේ කාලෙක බැලුවා නම් වෙනත් විදිහකට දකියිද කියල හිතෙනවා .

    වෙනස් විදිහේ චිත්‍රපටයක් බව නම් හැමදාම මතකයේ තියෙයි .

    සිනිදු සයනේ ගීතය නම් පුදුමාකාරයි ...නැවත නැවත අහන්න පුළුවන් .

    ReplyDelete
    Replies
    1. බින්දි..

      පළමුවෙන්ම බින්දි අස්වැන්නට බොහොම සාදරයෙන් පිළිගන්නවා.
      මට ඔබේ නම නිතර කියවන්න ලැබෙන්නෙ "පොඩ්ඩිගේ" සහ " සයුරිගේ" බ්ලොග් අඩවියේ
      තියන තර්ක විතර්ක අතරින්..

      හංස විලක් චිත්‍රපටය බලන බලන වාරයක් පාසා ඒක් ඕනෑම අවස්ථාවක අලුත් විදියට හිතන්න මේ
      චිත්‍රපටය වගේම මෙහි ඇති ගිත දෙකත් අපට පුරුදු කරනවා.ඒකය් විශේෂත්වය.ඒනිසා මේචිත්‍රපටය වගේම ගීතත් සදාකාලික නිර්මාණයක්.
      ස්තූතියි බින්දි.. ඔබට ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

      Delete
  28. කමෙන්ට් එකක් දාන්ට කලින්, පෝස්ට් එක කීප පාරක් කියවන්ට උනා. දයා ගීය ගැන වගේම, ගායකයන්,චිත්‍රපටිය, නලු, නිලියන්, සංගීත නිර්මානය, වගේ හැම දිහාවක්ම බලලා, ඒ ගැන, දිග විස්තරයකුත් කරලා. තොරතුරු කිසිවක් නොදන්න අපි වගේ අයට ඒ විස්තර ගොඩක් වටිනවා.

    අනිත් දේ තමයි ඔයා අපට ලියන්ට තියා හිතන්ටවත් දෙයක් ඉතිරි කරලා නෑ. ඔක්කොම කියලා.:)

    මේ කියන ෆිල්ම් එක බලලා නෑ. රූප රාමුවලින් පේන තරුණිය නම් ලස්සනයි. ඈ තුලින් පේන්නේ සරාගී, හිත් ඇද ගන්නා පෙනුමක්. ගී දෙකම රූප රාමුත් එක්ක බැලුවාම වඩා තේරුමක් දෙනවා කිව් හන්දා ඒ විදියට බැලුවේ.

    මේ ගී දෙකේදිම වඩා ප්‍රබලව මට දැනෙන්නේ සංගීතය.
    "නිවි නිවි දැල්වෙන රිදී පහන් එළි අඳුර සමග ගැවසේ"
    "හෙමින් සැරේ පියා විදා"
    ගීත දෙකේදීම මට තීව්‍රව දැනුනේ ඒකයි.

    සුනිලා අබේසේකරගේ හඬ අසාමාන්‍ය හඬක්. ඈ ඒ ගීය ගායනා කර තියෙන විලාශය බැලීමේදී, පෙනෙන්නේ පිරිමි කට හඬ උස් වෙද්දී, හැඟීම් පෙන්නද්දී, ඇගේ හඬ සරල රේඛාවක් වගේ දිවයන බවක්. එම අවස්තාවෙන් ඉවත් වීමට ගැහැණිය සතු උවමනාව ඉන් පෙන්නුම් කරනවද?
    බින්දි කීවා වගේ ෆිල්ම් එක රූ ගත කරලා තියෙන්නේ වෙනත් කාලෙක නිසා, දැන් මේ කතාව බැලුවාම ඒ කාලේ සමාජය ගැන වැටහීමක් වගේම, ඒ අසම්මත පෙම් කතාව ගැනත් වෙනත් සිත්තමක් අපේ හිත් තුල ඇතිවෙයි.

    ආදරයට වැට කඩොලු, සීමා, මායිම් නෑ. අසම්මත උනත් මිනිසුන් ආදරේ කරන්නේ ඒ හන්දා නේද?:)
    කතාවෙන් දෙන්ට හදන්නේ ඒ පණිවිඩයද?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි..
      මේ චිත්‍රපටය ගැන මගේ මතකයේ තිබ්බ ටික ලිව්වා. හැබැයි අවසානයේ තවත් පිටු දෙකක ප්‍රමාණයක් ඉවත් ඛලා ලිපිය දිග වැඩිවන බව පෙනුන නිසා.පොඩ්ඩි මේ ෆිල්ම් එක නරඹලා නැහැ කිව්වාම පුදුමත් හිතෙනවා.ලංකාවෙ 1948 සිට මේ දක්වා බිහිවූ විශිෂ්ඨතම චිත්‍රපට 10 අතර මේ චිත්‍රපටයත් තියෙනවා කියල මට හිතෙනවා.
      මෙහි ප්‍රධාන නිළිය නම් "ස්වර්ණා" ඇයට තියෙන්නේ අග්‍රගණ්‍ය රංගන කුසලතාවයක්. එයා යම් චිත්‍රපටයක රඟපෑවොත් ඒ වසරේ විශිෂ්ඨතම නිළිය එයා. ආයේ ඒ රංගනයට අභියෝග කරන්න කිසිම නිළියකට
      බැහැ.

      සුනිලා අබේසේකර ලංකාවෙ චිත්‍රපට පසුබ්ම් ගායනයට හිටපු විශිෂ්ඨතම ගායිකාවක් ඇයට පෙරදිග සංගිතය වගේම බටහිර සංගිතය ගැනත් මනා අවබෝධයක් සහ දැනුමක් තිබුණා. ඒ නිසා මේ ගිය වගේම බඹරු ඇවිත් චිත්‍රපටයේ "උදුම්බරා හිනැහෙනවා" ගිතයත් ඇයගේ.

      මමත් මේ චිත්‍රපටයට කැමති වන්නේ එහි ඇති අසම්මතය තුළද ඇදරයක් ඇති කරන නිසා. ඒ ආදරේට අපි කවුරුත් ආදරෙයි. මේචිත්‍රපටය කියන්නෙත් ඒකතා පුවත තමයි.

      පොඩ්ඩි..ස්තූතියි වෙනදා වාගේම අදත් ඔබට ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

      Delete
    2. පුලුවන් නම් ඉතුරු ෆිල්ම්ස් 9 ත් දාන්ට. මම දහයම හොයාගෙන බලන්නම් ලංකාවට ගියාම. දැන් පරණ ෆිල්ම්ස් හොයාගන්ට අමාරුයි. හොයාගන්ට පුලුවන් ක්‍රමේකුත් කියලා දෙන්ට.:)

      හැබැයි 'පරසතු මල්' බලලා තියනවා. මම ආසම චිත්‍රපටියක්. ඒකේ ගාමිනී ෆොන්සේකා මහත්තයාගේ රඟ පෑම් අති විශිෂ්ටයි.

      Delete
    3. මේ තියෙන්නේ මාදුටු ලංකාවෙ එදා මෙදා තුර බිහිවූ අති විශිස්ඨ සිනමා කෘති.බෙහෝ විචාරකයන්ගේ මතයත් ටිකක් ඊට සමානයි ඉඳහිටල එකක් දෙකක් වෙනස් වෙනවා.

      1. නිධානය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
      2. වැලි කතර - ඩී.බී. නිහාල්සිංහ
      3. තුං මං හන්දිය - මහගම සේකර
      4. බඹරු ඇවිත් - ධර්මසේන පතිරාජ
      5. මහ ගෙදර - තිස්ස අබේසේකර
      6. සරුංගලේ - සුනිල් ආරියරත්න
      7. හංස විලක් - ධර්මසිරි බණ්ඩාරනායක
      8. ගැහැනු ළමයි - සුමිත්‍රා පිරිස්
      9. සත් සමුදුර - සිරි ගුණසිංහ
      10.පුරහඳ කළුවර - ප්‍රසන්න විතානගේ

      මෙහි පුරහඳ කළුවර හැර අනෙක් ඒවා කළු සුදු චිත්‍රපට.

      මේ හැරුණ විට විචාරකයන් දඩයම, පළඟැටියෝ,ගම්පෙරළිය, විරාගය , දෑස නිසා, සහ පරසතු මල් චිත්‍රපටත් ලංකාවෙ බිහි වූ අති විශිෂ්ඨ නිර්මාණ ලෙස සලකනවා

      Delete
    4. දයාට ගොඩාක් ස්තූතියි. දඩයම, ගම් පෙරළිය, පරසතු මල්, නිධානය බලලා තියනවා. විශිෂ්ට ලිස්ට් එකට මුලින් සඳන් කල තුන අහුවෙලා නෑ නේද? :)

      Delete
    5. පොඩ්ඩි..
      දඩයම, ගම් පෙරළිය, පරසතු මල්,වගේම මට ලියන්න මග හැරුණු ලෙස්ටර් ගේ "ගොලු හදවතත්" මේ ලිස්ට් එකේ තියනවා. ඒත් මම වඩාත්ම කැමති මේ දහයට එත් ලංකාවෙ ඉන්නප්‍රවීන චිත්‍රපට විචාරකයන් දරන මතය අනුව මේ චිත්‍රපට සියල්ලම හොඳම චිත්‍රපට 15 අතර තියෙනවා.

      හැම තිස්සෙම එකකට එකක් වෙනස් වන නිසා මේ චිත්‍රපට සියල්ලම එකළඟ කැරකෙනවා.

      Delete
    6. මට නම්
      1 අහස ගව්ව
      2 සොල්දාදු උන්නැහේ
      3 බඹරු ඇවිත්
      4 හංස විලක්
      5 සුද්දිලාගේ කතාව
      6 දඩයම
      7 සත් සමුදුර
      8 නිධානය
      8 ගම්පෙරලිය
      9 තුන් මන් හන්දිය
      10දුස්කරක් ක්‍රියා (මේක සුනිල් ආරියරත්නයන්ගේ ප්‍රථම කෙටි චිත්‍ර පටය. නමුත් ඉන් පස්සේ ඔහු කලේ බය්සේ කොපේ විතරි අපේ කරුමෙට)

      Delete
  29. අපි ධර්මසිරි බන්ඩාරනායකගෙ චිත්‍රපටි හා නාට්‍ය උලෙලක් මට මතක හැටියට 1996දි විතර (පානදුරෙදි )පැවැත්වුවා. ඒකට සෑහෙන්න සෙනගක් ඇවිත් හිටියා ඒ කාලෙදි තමයි ඔය "හංස විලක්" හොඳට බලන්න ලැබුනෙ. මේකෙ ගුන අගුන ගැන කතාකරන්න යන්නෙ නෑ මොකද ඔය චිත්‍රපටිය වගෙම ඔය ගීත මගෙ ප්‍රියතම ගීත ලයිස්තුවෙ ගීත. ඔයවගෙම තවත් ගීතයක් තමයි "බමරු ඇවිත්" චිත්‍රපටියෙ "හඳුනාගත්තොත් ඔබ මා" ගීතය

    ReplyDelete
  30. ලොකු ජෝන් හංස විලක් වගේම බඹරු ඇවිත් චිත්‍රපටයත් ලංකාවෙ බිහිවූ දැවැන්ත සිනමා කාව්‍යයන් දෙකක්. මගෙත් කැමත්ත එහෙමයි. චචිත්‍රපට වගේම එහි සංගිතය සදාකල් මතකයේ තියෙනවා.

    ස්තූතියි වෙනදා වාගේම අදත් ඔබට ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට

    ReplyDelete
  31. කාලෙකින් මම මේ පැත්තේ ආවේ.. මම ගොඩාක්ම ආස කරන ගීතයක් හෙමින් සැරේ පියා විඳා.. ගීතයේ පද මාලාවට ගැලපෙන්න ගැඹුරු කටහඬකින් ගැයෙන නිසා අමුතු ගුප්ත හැඟීමක් දැනෙනවා ඒ ගීතය රසවිඳිද්දී. ඒත් මේ වගේ තේරුමක් තියෙන බවක් නම් මම දැනගෙන හිටියේ නෑ. ගොඩාක්ම වැදගත් ලිපියක්.. හැමදාමත් වගේම අපිට වැදගත් හරවත් තොරතුරු ලබාදෙන ඔබට ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනා..

      මේ ගිය ලංකාවෙ රසිකයෝ 80% වැඩිය කැමතියි චිත්‍රපටය නොදුටුවත් එහි අරුත සහ සංගිතය අද්විතිය ලෙස නිර්මාණය වී තිබෙනවා.ඒකයි බොහෝ දෙනෙක් කැමති.


      ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට බෙහෙවින්ම ස්තූතිති ප්‍රාර්ථනා..

      Delete
  32. සුනිලා අබේසේකරගේ ගායන කෞශල්‍ය ගැන මම මුලින්ම දැනගත්තෙ සිරස රූපවාහිණියෙ කිංස්ලි රත්නායක මෙහෙයවපු වැඩසටහනකදි. ඇය රටට කළ ද්‍රෝහී කම කෙසේ වෙතත් මේ හඬට මම ඇළුම් කරනවා.

    ReplyDelete
    Replies
    1. ලකී..

      ඔබ වගේම මමත් ඒ හඬට ඇලුම් කරනවා. ඒ ගායනය තුළ ඇත්තේ අතිවිශිෂ්ඨ හැකියාවක්.

      ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට බෙහෙවින්ම ස්තූතියි ලකී

      Delete
    2. මම හිතන්නේ නෑ සුනිලා රටට ද්‍රෝහී කියලා ,වෙනස මේ දවස්වල හැමෝම විස්වාස කරන බහුතර මතේට ඇය එරෙහි වීම .මැජොරිටේරියනිස්ම් තීන රටක ඔහොම වෙනවා 1990 දශකයෙත් සුනිලා මෙහෙම හැසිරෙනකොට අද ඇයට බැණ වදෙන සමහරු ඈත් එක්ක එකම පිලක හිටිය ජිනීවත් ගියා .
      ඇගේ සිවිල් සමාජ භූමිකාව කුමක් වුවත් ඊට එකඟ වුනත් නොවුනත් මම එයට ගරු කරනවා . සිවිල් සමාජෙත් කලාවෙත් ඈ රඟපාන ද්විත්ව චරිතයට මම කැමතියි .

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. රටට ද්‍රෝහී වීම සහ රට කන්නන්ට ද්‍රෝහිවී ම තුල ලොකු වෙනසක් මම දකිනවා

      Delete
  33. ෂා...නියම ලිපියක්නෙ. ඇත්තටම මේකෙ හරි වැදගත් කරුනු ගොඩක්ම තියෙනවා. නොදැන හිටි ගොඩක් දේවල් දැනගත්තා. ඒ වගේම ඉගෙන ගන්න කෙනෙකුට පැවරුමකට උනත් ඉතාම සාර්ථක පිලිතුරක් මෙතන තියෙනවා. මාත් මෙතනින් කරුණු ගොඩක් ගත්තා.ගොඩක් ස්තූතියි අයියා.

    ReplyDelete
  34. මලී..

    චිත්‍රපටයක් නොබැලූ කෙනෙකුට බලන්න සිතුව්ල්ලක් පහලවෙන විදියට ලියන්න ඕනෑ. මලීටත් එහෙම හිතුනානම් මටත් සතුටුයි.

    ස්තූතියි මලී.

    ReplyDelete
  35. අද නම් අන්තිමට ආවෙ මමද මන්දා..අන්තිමට ආවත් කවදාවත් අමතක කරන්නෙ නැති වැදගත් ලිපියක් අදත් අයියා ලියලා..

    දැනුනා..ඒ වගේස වින්දා...
    බොහෝම ස්තුතියි.

    ReplyDelete
  36. දිනිති..
    ස්තූතියි ඔබට වෙනදා වාගේම අදත්.

    ReplyDelete
  37. හෙමින් සැරේ පියා විදා.. සංගීතය, කටහඬ මේ හැමදෙයක්ම අතරින් අදයි ඒ ගීතයේ වටිනාකම දැනගත්තෙ.. එදා සිට අදටත් ආසාවෙන් කී පාරක්නම් අහන්න ඇතිද.. :)
    වටින ලිපියක්..! ස්තූතියි ගොඩක්..!

    ReplyDelete
  38. නන්දු..

    මේක කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැ. හැම තිස්සෙම නැවත නැවත අහන්න හිතෙනවා. හැබැයි ඒ අහන හැම වෙලාවකම හිතට එන්නෙත් අලුත් අදහසක්.

    නන්දු.. ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන්කර තැබූ මේ සටහනට බෙහෙවින්ම ස්තූතියි

    ReplyDelete
  39. බොහෝ සේ ප්‍රිය කරන ගීයක අරුත විමසා ඇති අයුරු කදිමය. නෑසු මිහිරි පළමු ගීය බෙදා ගත්තාට ස්තුතිය !

    ReplyDelete
  40. සුනිලා අබේසේකර කියන්නෙ තිස්ස අබේසේකර මහත්මයාගේ සහෝදරියක් යයි අසා තිබේ.උදුම්බරා හිනැහෙනවා ගීතය ගයනා කරන්නෙත් සුනිලා අබේසේකර මහත්මිය.හෙමින් සැරේ ගීතය ගයනා කරද්දී සුනිලා අබේසේකර ගායිකාවගේ එක ශෘතියක කොච්චර වෙලා රැදී ඉන්න පුළුවන්ද කියන 1 මානව පේනවා.ඔවුන්ගේ ගීත නිතර ඇහෙන්නේ නැති 1 මහා අපරාධයක්!

    ReplyDelete
    Replies
    1. if my memory is correct, she is the daughter of late Charles Abesekera (MIRJE- movement for inter-racial justice)

      Delete
  41. දිනෙශ්ගේ බ්ලොග් එකේ ලින්ක් එකක් දිගේ මෙහෙට ආවේ. ඔබට බ්ලොග් එකක් තියෙන බව මම දැනගෙන උන්නෙ නෑ, මගෙත් ආසම ගීතයක් මේ සුමුදු සයනේ ඒක ගැන ගොඩක් විස්තර මේ ලිපියෙන් දැනගත්තා ස්තූති ඔබට

    ReplyDelete
  42. ඔබ තරම් සිතුවිලි අකුරු කරන්න මම දන්නෙ නැතිව ඇති.ගීතය යනු මිනිසෙකු සංවේදි කරන ලැබදිම මධ්‍යය වේ.ඔබ එය පන්හිඳෙන් අකරු කරන අපුරුව මම අගය කරමි.පිං මාව දිරිමත් කලාට.

    ReplyDelete
  43. සඳුන් සිහින මණ්ඩපයේ ..ඩබ්ලිව් ජයසිරි ගේ රචනයක්

    ReplyDelete
  44. හංස විලක් බලන්න තාම ොයනවා තාම හම්බ උෙන් නෑ. ෙම් සින්දු හැමදාම අෙප් හිත්වල තිෙයන සින්දු. කවම කවදාවත් අෙප් ජීවිත වලින් අෑත් ෙනාෙවන සින්දු. ෙබාෙහාම ස්තුතියි ෙම් වටිනා ෙතාරතුරැ අපි එක්ක ෙබදා ගත්තට

    කපුෙග් ගායනා කරන වැරහැලි අැද අඩු කුලියට සින්දුව ගැන යමක් ලියනව නම් ෙහාදයි කියලා හිතනවා. එ්ක හරිම අපූරු සංෙව්දී ගීතයක්

    ReplyDelete
  45. මම දන්න තරමට සඳුන් සිහින මණ්ඩපයේ.....ලූෂන් බුලත්සිංහල නම් සොදුරු(පුද්ගලයා නොවේ) ගී පදරචකයාගේ රචනයක්....

    හංස විලක් චිත්‍රපටයේ තවත් ගීතයක් තියෙනවා අයිවෝ ඩෙනිස් නම් ගායකයාණන් ගැයූ. ඒක ලියා ඇත්තේ ඩබ්ලිව්. ජයසිරි නම් ගේය පද රචකයා.
    http://www.youtube.com/watch?v=0e4kBjR3m0M

    ReplyDelete
  46. සුනිලා අබේසේකර මහත්මිය අද අප අතර නැහැ - බඹරු ඇවිත් චිත්‍රපටයටත් ඇය මෙවැනිම ගීතයක් ගායනා කළා - ඇගේ දේශපාලන ක්‍රියාකාරිත්වය වැඩි දෙනෙක් නුරුස්නා නිසා කලාවට ඇගේ දායකත්වය යට පත් වුනා කියලා හිතෙනවා - කෙසේ වුවත් ඇයි විශිෂ්ඨ ගායිකාවක්

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...