එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Sunday, 6 May 2012

෴ ආදරයේ පරමාදර්ශය යසෝදරා ෴




අද අස්වැන්න තුළින් බෞද්ධ සාහිත්‍යයේත්, සිංහල සාහිත්‍යයේත් විශිෂ්ඨතම කාන්තා චරිතය ලෙස සළකන යසෝදරා දේවිය පිලිබඳව සටහනක් තැබීමට සිතුනි. යසෝදරා දේවිය මා දුටු ලොව විශිෂ්ඨතම කාන්තා චරිතය ලෙස සඳහන් කළොත් එය නිවැරදි ය. යසෝදරා පෙරදිග  කාන්තාවගේ පරමාදර්ශයයි. බිරිඳක මවක ලෙස සිංහළ සාහිත්‍යයේ සහ බෞද්ධ සාහිත්‍යයේ හමුවන විශිෂ්ඨතම කාන්තා සළකුණ ඇයයි. ආදරය, විරහව, ඇතුළු සියළු දුක්ඛ සංතාපයන්  සඳහා ජීවිතයට ගත හැකි හොඳම නිදසුන යසෝදරාවන්ගේ චරිතයයි.  යසෝදරාවන් පිළිබඳව මහායාන බුදු දහම තුළ සහ ථේරවාදී බුදු දහම තුළ පවතින්නේ මත දෙකක් වුවදමා මෙහිදි සඳහන් කරන්නේ ථෙරවාදි බුදු දහමේ හමුවන යසෝදරාවෝ පිලිබඳවයි.

සුප්‍රබුද්ද රජුගේ දියණිය යසෝදරා: 

සිදුහත් කුමරුගේ අග බිසව; යසෝදරා දේවිය , රාහුල මාතා, බිම්බා දේවි, භද්දකච්චායනා කුමරි, සහ ගෝපා යන නම් වලින් බෞද්ධ සාහිත්‍යයේ හැඳින්වූවා ය. ඇය සුප්‍රබුද්ද රජුගේ දියණියයි. සිදුහත් කුමරුට සොළොස් වියේදී විවාහයක් කර දීමට කල්යල් එළඹි විට සුද්දෝදන රජු විසින් සිදුහත් කුමරුගේ අදහස් විමසා බැලීය. ඒ මොහොතේ කුමරු විසින් විවාහ වීමට තෝරා ගන්නා කාන්තාව විසින් සපුරාලිය යුතු කරුණු  රැසක්  ඉදිරිපත් කර තිබුණ බව අසිරිමත් බුදු සිරිතෙහි විස්තර වේ. සිදුහත් කුමරු සමග විවාහ වීමට නම්,

01.     උසස් වංශයෙන් හා කුල පරපුරෙන් යුක්ත වීම සහ උසස් නව යොවුන් තරුණ
          වියෙන්ද රූ සපුවෙන් මෙන් ම  විශේෂ ගුණ සමුදායෙන්ද යුක්තවීම

02.     රූමත් වුවද  තම රූ සපුව ගැන ආඩම්බර නොවිම.

03.     ඇගේ මව හා සොහොයුරියන් ජීවත්ව සිටීම.

04.     සත්‍යවාදී බව, මුදිතාව, පරිත්‍යාගශීලී බව  සහ සුපරීක්ෂාව යන ගුණාංගයන්ගෙන්   
           සමන් වීම.

05.     අපකීර්තිය, සදොස් බව, නපුරු බව, අහංකාරය හා අනුන්ගේ යසස නො ඉවසීම
          ආදී අවගුණ ඇය තුළ නො තිබීම.

06.     උඩඟුකම මෙන්ම නිවට පහත් බවද ඇය තුළ නො තිබීම.

07.     දිවිහිමියෙන් පතිවත රැකිය යුතු අතර සිහිනෙන්වත් අන් තැනැත්තෙකු නො පැතීම.  

08.     පසිඳුරන් පිනවීමෙහි ඇබ්බැහි නොවිම.

09.     ලද දෙයින් සතුටු විය හැකි කෙනෙකු වීම.

10.     අනුන්ගෙන් ඉල්ලිමට පුරුදු නොවීම.

11.     නැටුම්, ගැයුම් , වැයුම්, බැලිම යෑම පුරුද්දක් නොවීම.

12.     සිත කය වචනය පිරිසිදුව ආගමික වතාවත් වල යෙදීම.

13.     සිය බාල සොහොයුරා සහ නැන්දණිය කෙරෙහි තම යුතුකම් ඉටු කිරිම.

14.     හිතවතුනට හිතවත්බවත්, දැසි දසුනට ප්‍රසන්න බව දැක්වීම.

15.     සැමියාට පසුව නින්දට යාම  සහ සැමියාට පළමුව අවදි විම.

16.     මවක මෙන් ගෘහ පාලන කටයුතු කිරිම.

17.     නොයෙකුත් ශිල්ප ශාස්ත්‍ර හදාරා තිබීම.

18.     ලේඛන කලාව මෙන්ම කාව්‍ය කරණයෙහි දක්ෂ වීම.

සිදුහත් කුමරු මෙවැනි කරුණු බිරිඳකගෙන් අපේක්ෂා කරන ලද්දේ විවාහ විමට අකමැත්තෙන් සිටි නිසා බව සැලකිය හැකි බව බෞද්ධ සාහිත්‍යය පෙනවා දෙයි. තවද ඒ සියළු ලක්ෂණවලින් හෙබි කාන්තාවක සිටිය නොහැකි යැයි සිදුහත් කුමරු අපේක්ෂා කරන්නට ඇති බව ද බෞද්ධ සාහිත්‍යයේ සදහන් වේ. ඒ නිසා සිදුහත් කුමරුගේ විවාහය සුද්දෝධන රජු විසින් අමතක කරනු ඇතැයි බලාපොරොත්තු වූ බවද එහි සඳහන් වේ.  අනෙක් අතට බෞද්ධ කාන්තාවක සතුව ඒ ගුණය පවතී යන්න එකළ ඉන්දීය සමාජය තුළ තිබෙන්නට ඇති බව මට සිතේ.

සිදුහත් කුමරුගේ ස්වයංවරය

ඉහත දකුවන ලද සුදුසුකම් ඇති කුමරියක සොයා ගැනීමට සුද්දෝධන රජතුමා කටයුතු කළේය. ඒ අතරම රාජ දූතයන් යවා කුමරියක සෙවීය. මේ සඳහා රජු විසින් ස්වයංවර උත්සවයක්ද පිළියෙල කලේය. ‍එසේ  ඉදිරිපත් වූ කිඹුල්වත් පුර ශාක්‍ය කමරියන් නියමිත දිනයේදී මගුල් උයනට පැමිණෙන ලෙස නියෝග කර තිබූ බවත්, එසේ පැමිණෙන කුමරියන් හට සිදුහත් කුමරු අතින්  තෑගි පිරිනමන බවද ප්‍රසිද්ධ කරන ලදි.

ඒ අනුව ස්වයංවර උත්සවය සඳහා පැමිණි ශාක්‍ය කුල කුමරියෝ ස්වර්ණාභරණයෙන් සැරසී දහස් ගණනින් මගුල් උයනට රැස් වූ බවත්,  එහි දී සිදුහත් කුමරු විසින් ඒ සියළු කුමරියන්ට අගනා තෑගි පිරිනැමූ බවත් බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. 

එහෙත් අවසානයට පැමිණි කුමරියට දීමට තෑග්ගක් ඉතිරි නොවූයෙන් සිදුහත් කුමරු තම ගෙළ බැඳිරන් පඳනාව ගලවා කුමරිය කර පැළඳ වූ අතර, සිදුහත් කුමරු තම ඇඟිල්ලෙහි වූ මුදුවද ගලවා  කුමරියගේ ඇඟිල්ලේ පැළඳුවේය. ඒ සිදුහත් කුමරුගේ සහ යසෝදරාවන්ගේ සංසාරික ආදරයේත් බැඳීමේත් පළමු හමුවීමයි.

සිදුහත් කුමරුගේ ශිල්ප දැක්වීම

යසෝදරාවන් කෙරෙහි  සිදුහත් කුමරු දැක්වූ ඒ විශේෂත්වය නිසා සැළකිලිමත් වූ සුදොවුන් රජු සුප්පබුද්ධ රජුගේ දියණිය විවාහ කර දීමට යෝජනාකර දූතයන් යැවූ අතර  සිදුහත් කුමරු ශිල්ප නොදත් අයෙකු ලෙස සැළකිම නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය. මේ නිසා  රජු වහා ශිල්ප සංදර්ශනයක් සූදානම් කළ අතර ඒ සඳහා ශාක්‍ය කුමාරවරු පන්සියයක් සහභාගී වූ බව ද දැක්වේ. මේ අවස්ථාවේදී අනෙක් කුමාරවරු අතරින් සිදුහත් කුමරු විශේෂ ශිල්ප දැක් වූයෙන් යසෝදරාවෝ සිදුහත් කුමරු හට සරණ පාවා දෙන ලද බව සඳහන් වේ.

මේ ආකාරයෙන් යසෝදරාවෝ දීර්ඝ සංසාර චාරිකාව පුරාත්, අවසන් ආත්ම භවයෙහි සිදුහත් කුමරුගේ අග බිසව ලෙසත් තම සෙනෙහබර ස්වාමියා කෙරෙහි දැක් වූයේ අප්‍රමාණ පති භක්තියකි.

සිදුහත් කුමරු ගිහිගෙය හැර ගොස් කෙස් කපා තවුස් වෙසින් පැවිදිව කසා වත පොරවා සිටින බව ඇසූ යසෝදරාවෝ ද සිය දිගු කෙස් කළඹ කපා සිනිඳු කසී පට පිළි  හරදා රළු පට පිලී හැන්දාය.

තවුස් වෙසින් සිදුහත් කුමරු  එක් වේලක් වළඳන බව ඇසූ ඕ තොමෝ රාත්‍රී ආහාරය නො ගෙන සිටියාය. එතෙක් වැළඳූ රන් තැටි අත හැර රළු මැටි බඳුනක සිය ආහාරය ගත්තා ය. සිදුහත් තවුසාණෝ මල්මාල නො පළඳින බව අසා ඇයද මල් නො පැළඳුවාය. සුවඳ විලවුන් ගැල්වීම  ඉවත දැමුවාය.

සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම ගිය පසු ඇයගේ රූ සපුව දුටු  ශාක්‍ය කුමාරවරු විවාහ යෝජනා එවූ  නමුත් ඔවුනට වචනයකින් පවා කිසිවක් නො කියා ගිහිගෙයි තනිවම වාසය කළා ය.

සත් වසකට පසුව  බුදු හිමියන්ට හමුවූ යසෝදරාවෝ..


රාහුල කුමරු උපන් දිනයේ සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම ගිය පසු ඇය නැවත් සිදුහතුන් දුටුවේ මහාභිනිෂ්ක්‍රමණයට  හත් වසරකට පසුව බුදු රජනානන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා ගෙයින් ගෙට පිඬු සිඟා වඩින ගමනේදී ය.

සුද්දෝධන රජු බුදුරදුන් තම මාළිගයට වැඩමවා දන්දී යසෝදරාවන්ගේ ගුණ කියා ඇයගේ ගෙට වැඩම කරවිය. යසෝදරා‍වන්ගේ ගෙට බුදුරදුන් වැඩම කළ මොහොතේ  ඇය ගෙවුණු වසර හත පුරා විඳි විරහ දුක් කියමින් බුදුහිමියන්ගේ දෙපා අල්වාගෙන  බොහෝ වේලාවක් ඉකි බිඳිමින් හඬා වැලපුණා ය.

බොහෝ දුර  අනේක ජාති සංසාරේ පටන් තමන් වහන්සේ සමග සසරෙහි  එක්ව පැමිණි යසෝදරාවෝ තමන් වහන්සේට විවිධ ආත්ම භවයන්හි දී උපකාර වූ අයුරු සිහිකළ බුදුන් වහන්සේ  යසෝදරාවන්ට ඇයගේ දුක නිවෙන තෙක් හඬා වැළපෙන්නට ඉඩ දී නිහඬවම වැඩ සිට ඇයගේ සිතෙහි උපන් දුක සහ ශෝකය නිවි යන සේ චන්ද කින්නර ජාතකය දේශනා කළහ.

බුදුහිමියන් චන්ද කින්නර ජාතකය තුළින්  දුටු යසෝදරා..

බුදුහිමියන් එක් සංසාරයක යසෝදරාවන් සමග  ලේන කුලේ  සිට සසර පුරා සැරිසරමින් අන්තිම භවය තෙක් පැමිණි අයුරු ඡන්ද කින්නර ජාතකය මගින් ගෙන හැර දැක් වූහ. එහිදී දශරථ ජාතකයෙහි රාමා සහ  සීතා නමින් විවාහව පතිවෘත්තාව  ආරක්ෂා කළ සැටි විස්තර කළහ.

ඒසේම චුල්ලසුතසෝම ජාතකයෙහි සුතසෝම රජුගේ චන්ද්‍රා දේවිය ලෙසත්, මහාජනක ජාතකයෙහි මහාජනක රජුගේ සීවලී දේවිය ලෙසත්, දිවි ගෙවූ අතර, ඛණ්ඩහාල ජාතකයෙහි චන්දු කුමරු මරා යාගයක් කිරිමට සූදානම් වූ මොහො‍‍තේ චන්ද්‍රා දේවිය ලෙසින් බෝසතුන්ගේ දිවි ගලවා ගත් ආකාරයත් දැක් වූහ. සිවි ජාතකයෙහි ස්වර්ණාකර දේවිය ලෙසද, මනෝජ ජාතකයෙහි සිංහ ධේනුව ලෙසද, ආදිත්‍ය ජාතකයෙහි සමුද්‍ර විජයා ලෙසද,  පැමිණි සංසාර ගමනෙහි චන්ද කින්නර ජාතකයෙහි චන්ද කින්නරී ලෙස බෝසතුන්ගේ දිවි ගලවාගත්  අකාරය  සඳහන් වේ.

මේ අයුරින් කුස ජාතකයෙහි පබාවතිය ලෙසද, උම්මග්ග ජාතකයෙහි අමරා දේවිය ලෙසද, වෙස්සන්තර ජාතකයෙහි මන්ද්‍රි දේවිය ලෙසද උපත ලැබූයේ යසෝදරාවන් ම ය.
යසෝදරා ස්ථිවිරියන් පිරිනිවනට වැඩමවීම 

යසෝදරා ආපදානයෙහි විස්තර වන ආකාරයට  රාහුල මාතාවෝ දිගු සංසාර චක්‍රයෙහි විවිධ අවස්ථාවන්හිදී  බෝසතුන්ගේ දිවි ගලවා ගනිමින් සහ ආරක්ෂා කරමින් අවසන් ආත්ම භවය දක්වා පැමිණ බුදුහිමියන් ඉදිරියෙහි පැවිදිව සැත්තෑ අටවන වියෙහි  එක් දිනක අලුයම් වේලෙහි බුදු රදුන් සහ යසෝදරා රහත් ස්ථිවිරියන් වහන්සේද එකම දිනයේ පරිනිර්වාණයට වැඩම වන බව යසෝදරාවෝ දිවැසින් දුටුහ.

යසෝදරාවෝ එයින් මිහිතලය මහත් කම්පාවක් වනු ඇතැයි සිතා බුදුන් වහන්සේගේ පරිනිර්වාණයට දෙවසරකට පෙර නිවන් මගට පිවිසීමට තීරණය කර එදිනම ඒ  පරිනිර්වාණ දිනයේද අවසන් වරට බුදුන් පා කමල වැඳ සසර පුරා වූ ගමන් මගෙහි තමන්  අතින් යම් වරදක් සිදු වූයේ නම් එම සියළු වරදට පව් කමා කර දෙන ලෙස බුදුහිමියන්ගෙන් ඉල්ලා සිටි බවත්, ඒ මොහොත වන විටත් ඇය සියළු කෙළෙසුන් නසා සිත දියුණු කර රහත්ව ඇති බව දිවැසින් දුටු බුදු රදුන් යසෝදරා රහත් ස්ථවිරියන්ගේ  ඉල්ලීම වස් සියලු පව් කමා කළහ. අනතුරුව බුදු හිමියන්ගේ ඉල්ලිම පිට  මුළු මහත් කාන්තා සමූහයාට ආදර්ශයක් වන සේ යසෝදරාවන්ගේ ප්‍රාතිහාර්යය දක්වන ලෙස ඉල්ලා සිටි බවත් අනතුරුව යසෝදරාවෝ බුදු හිමියන් සහ අසූහාරදහසක් රහතුන් වහන්සේලා ඉදිරියේ   සෘද්ධීන් දක්වා එදින රාත්‍රියෙහි පරිනිර්වාණයට පත් බවත් යසෝදරා ආපදානයෙහි සඳහන් වේ.

මේ තරම් දිගු කාලයක් සසරෙහි යසෝදරාවන් තුල තිබූ අප්‍රමාණ පති භක්තිය ද,  ඇයගේ අධිෂ්ඨානශීලී බවද, සිල්වත් බවද, කැපවීමද, මෙහිදි වැදගත් වේ.

නූතන සමාජයේ කාන්තාව සහ යසෝදරා චරිතය:

ආසියානු  සමාජය තුළ කාන්තාව දුවක , බිරිඳක, මවක, සොහොයුරියක ලෙසින් සිය යුතුකම් ඉටු කිරිමේ විශිෂ්ඨ ආදර්ශය යසෝදරාවන්ගේ පරමාදර්ශී චරිතයෙන් ලැබි ඇත. තම රූප ශෝභාවට වඩා යසෝදරාවන්ගේ චරිතය ආදර්ශය ජිවිතයට සම්බන්ධ කර  උදාර මාතෘත්වයට  පිවිසෙන නූතන කාන්තා පරපුර සමස්ථයක් ලෙස ගත් කල්හි යසෝදරාවන්ගේ ආදරයේ පරමාදර්ශය  මිනිස් සමාජයට විශිෂ්ඨ ආදර්ශයක් සපයයි. එහෙයින්ම ආසියාතික සියළු කාන්තාවෝ ආදරයේ පරමාදර්ශය වූ යසෝදරාවන්ම යැයි මට සිතේ. ෴

මේ සටහන ලිවීමේදී  පහත සඳහන් කෘති මූලාශ්‍ර කරගන්නා ලදි.

01.     බුද්ධ චරිතය - මහාචාර්ය සුචරිත ගම්ලත්,
02.     යසෝදරාපදානය (ආපදාන පාලි )
03.     යසෝදරාවත ( සිංහල ජන කවියේ මූලාශ්‍ර )
04.     යසෝදරා ආපදානය සහ යසෝදරාවත - පූජ්‍ය මීගොඩ පඤ්ඤාලෝක හිමි

 ගීත සාහිත්‍යයේ හමුවන යසෝදරා...


කෙස් වුවද යසෝදරා චරිතය සිංහල ගීත සාහිත්‍යය තුළද විශිෂ්ඨ ගී නිර්මාණ රැසක් බිහි කිරිමට සමත් වූ චරිතයක් බව මෙහිදි සඳහන් කළ යුතුම ය. බොහෝ ගේය පද රචකයන් යසෝදරා චරිතය ආදර්ශ රූපයක් කොට ගත්තේ වරක් දෙවරක් නොවේ. ඒ සියළු තැන්හි දී ම ඇයගේ චරිතය මනා සංයමයකින් යුතුව ඇය පිලිබඳව රසිකයා තුළ පහන් සංවේගයක් දනවන ආකාරයට නිර්මාණය වූ ගී නිර්මාණයෝ වෙති. 

ඒ සියළු ගීත අතරින් ආචාර්ය වික්ටර් රත්නායකයන් ගැයූ “යසෝදරා වේවා.. ඔබ යසෝදරා වේවා..” ගීතය නූතන සමාජයේ බිරිඳක පිළිබඳව ගැයුණු ගීතය තුළින් නූතන විවාහක කාන්තාවකගේ සෙනෙහසේ භූමිකාව විදහා දැක්වූ මනරම් ගි නිර්මාණයකි. ප්‍රේමකිර්ති ද අල්විස් මේ ගීතය  තුළින් බෞද්ධ කාන්තාවකගේ වරිතය සිය ස්වාමිපුරුෂයාගේ දෘෂ්ඨිය තුළ මහත් ගෞරවයට පාත්‍ර කර ඇත. 


                                                
යසෝදරා වේවා..                          
ඔබ යසෝදරා වේවා..

එව කව බොව සැනසිලි බසිනා සිත නිවනා
දරු දැරියන් නළවා උකුලත දුක් විඳිනා
ගෙය ඇමදා රස මසවුළු පිස සිත පොබ කරණා
ඇය මා එන තුරු ගෙමිඳුල හිඳ මග බලනා

අඬ දබරා වියවුල් මෙන් සහනය දෙවනා
කම්පාවන කළ උරතල මත හිස සතපවනා
මම ජීවතවන තුරු මගෙ තනි නොතනිය මකනා
ලෙව් තල ඔබ පමණකි මා දුටු දෙව් අඟනා

ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක
ගේය පද රචනය: ප්‍රේම කිර්ති ද අල්විස්


යසෝදරා දේවිය පිළිබඳව වෙනස් අදහසක් ඇත්නම් ඔබේ ඒ අදහසත් මෙහි සටහන් කරන්න. එවිට මෙය වඩාත් රසවත් වේවි.


49 comments:

  1. මම ඔය සිදුවීම් සම්බන්ධයෙන් රස විඳින්නෙ සාහිත්‍යය රසය විතරක් වුණත් මේක ඇ‍‍ඬෙන විධියෙ සටහනක් නොකිව්වොත් මම වැරදියි.

    යසෝධරාව ගැන කියවෙන හිත සසල කරවන ගීතය විධියට මම දකින්නෙ කරුණාරත්න දිවුල්ගනේ මහත්තය ගායනා කරන "ලා දළු බෝපත්" ගීතය. ඇගේ හිතේ තිබුණ සංකාව, ආදරය හැමදේම බොහොම සුන්දරව ගැයෙන ගීතයක් ඒක. රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවොයි එච්. එම්. ජයවර්ධන මහත්තයයි දෙන්නත් උපරිමෙන්ම එකතු වෙලා තියෙනව ඒකට!

    ReplyDelete
    Replies
    1. හරේ..ට

      මේක තව ටිකක් සංවේදී ආකාරයට ලියන්නත් කල්පනා කරලා නැවැත්තුවා මොකද යම් ආගමකට සම්බන්ධ චරිතයක් ලියද්දි අපි හැම අතින්ම ප්‍රවේසම් වෙන්න ඕනෑ කියල හිතුන නිසා එහෙම කළේ නැහැ.

      දිවුල්ගේ "ළා දළු බෝපත්" ගීය තමයි මේකට දාන්න මුලින් හිතුවේ ඒත් මට හිතුනා හැමෝම නිතර අහල තියෙන ගියකින් ඔබ්බට ගිහින් 'යසෝදරාව' හරහා නූතන කාන්තාව අගය කල හැටි පෙන්වන්න. මොකද වර්තමානයේ ස්වාමිපුරුෂයෙකුගේ ඇසින් බිරිඳකගේ යහපත් කම දකින්නේ අඩුවෙන් නිසා. ඒ අඩුව පුරවන්නයි වික්ටර්ගේ මේ ගිය තොරගත්තේ.

      ඒ ගීයෙන් නූතන කාන්තාව ඉතා ඉහළ මට්ටමින් අගය කරනවා.

      ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට ඔබට බෙහෙවින්ම ස්තුතියි හරේ..

      Delete
  2. hama pirimiyekge ma balaporoththuwa e widiye kenek labana eka. Adahana agama mokak unath hama kenek ma garu kala yuthu charithayak yashodara dewiya. Sinhalen comment karanna bari unata sama wenna. Me post eka dakkama (mobile eken) comment nokara yanna hithu na.. Ekai!

    ReplyDelete
    Replies
    1. රැංගෝ..

      නූතනයේ කවුරු හරි පිරිමියෙක් කාන්තාවකගෙන් මේවගේ බලාපොරොත්තුවෙනව නම් ඒක ඒ කාන්තාවට හෝ මුළුමහත් කාන්තා වර්ගයාටම කරන අසාධාරනයක් කියලයි මට හිතෙන්නේ. ‍ඒ කොහොම වුණත් මේ සියලු කාරනා වල හරය කාන්තා පිරිමි දෙපාර්ශවයටම අදාල විය යුතුයි.

      ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට රැංගෝ ඔබට බෙහෙවින්ම ස්තුතියි

      Delete
  3. යශෝදරා දේවිය ගැන මම කැමතිම ගීතය කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ " ලා දළු බෝපත් " ගීතය..

    යශෝදරා දේවිය ගැන කාලයකට පස්සේ කියවපු හොදම ලිපිය.. ඒ ගැන කියන්න දෙයක් නෑ.. සිදුහත් කුමාරයා අර වගේ සුදුසුකම් හෙවුවේ විවාහය මග හරින්න කියන කාරණාව මාත් පිළිගන්නවා.. ඒත් අවසානයේ ඒ වගේ උතුම් කාන්තාවක් ඇත්තටම හිටියා..

    මේ සටහන සම්පූර්ණයි.. ඒ ගැන කියන්න කිසිම අඩුවක් නෑ.. ඒ වගේම යශෝදරා දේවිය ගැන හැම කෙනෙක් ලගම තියෙන්නේ මේ වගේ පැහැදීමක් කියන එක නම් විශ්වාසයි..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්..

      දිවුල්ගේ "ළා දළු බෝපත්" ගීය තමයි මේකට ගැලපෙනම ගීය. ඒක හැමෝම අහල තියෙනවනේ. ඒත් මට ඕනෑ වුණේ නූතන ආසියාතික කාන්තාව ඒ මගින් හඳුන්වා දෙන්නයි. මම සිංහල සාහිත්‍යයේත් බෞද්ධ සාහිත්‍යයෙත් කියවපු සංවේදීම චරිතය තමයි යසෝදරාගේ චරිතය.

      ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට දිනේෂ් ඔබට බෙහෙවින්ම ස්තුතියි

      Delete
  4. //රාහුල කුමරු උපන් දිනයේ සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම ගිය පසු ඇය නැවත් සිදුහතුන් දුටුවේ සම්බුද්ධත්වයට පත්ව හත් වසරකට පසුව බුදු රජනානන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා ගෙයින් ගෙට පිඬු සිඟා වඩින ගමනේදී ය.//

    මෙතන පොඩි වැරදීමක් වෙලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කිඹුල්වත්පුරට වැඩම කරන්නෙ බුදුවීමෙන් වසර දෙකකට පසු කියලයි කියන්නෙ. (ගිහිගෙය නික්ම ගිහින් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළ නිසා ත් කිඹුල්වත්පුරට වැඩම කරන විට රාහුල කුමරුගේ වයස අවුරුදු 7ක් වූ නිසාත්) ඒ නිසා ‘සම්බුද්ධත්වයට පත්ව හත් වසරකට‘ කියන එක ‘අභිනිෂ්ක්‍රමණයෙන් හත් වසරකට පසුව‘ කියලා නිවැරදි වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. පැතුම් හර්ෂණ

      බෙහෙවින්ම ස්තූතියි පැතුම් ඔබේ නිවැරදි කිරීමට. අත්‍යවශ්‍යම දේ ඔබේ අතින් සිදුවුණා. මගේ බලාපොරොත්තවු වුයේද මගෙන් යම් වැරැද්දක් හෝ දෝෂයක් සිදුවී ඇත්නම් එය නිවැරදි කර ගැනිමයි.

      Delete
    2. මටත් ඒ තැනදී පොඩි පටලැවිල්ලක් වුනා. දැන් හරියටම තේරුම ගත්තා. දයානන්ද මහතා පුලුවන්නම් එතන ඒ දේ නිවැරදි කරන්න.මොකද ගොඩාක් දෙනෙක් කමෙන්ට් කියවන්නේ නැහැ මගේ හිතේ.

      Delete
    3. පැතුම් හර්ෂණට සහ අසරණයාට

      ඔන්න මම ඒ වැරැද්ද නිවැරදි කළා. දැන් කියවල බලන්න.

      Delete
    4. මේක කාලෙකට කලින් දුකා ලියපු එකක්... නරසීහ ගාථා හරිම ලයාන්විත ස්වරයෙන් ගැයෙන MP3 එකක් එහි අඩංගුයි.. ඒ MP3 එක පුළුවන් නම් මේ ලිපියටත් එකතු කරන්න.. දුකා අමනාප වෙන එකක් නෑ...

      ඒ වගේම දිනේෂ් සුබසිංහගෙ කරුණා නදියේ තියෙන ‘නරසීහ පීතා‘ සහ ‘යසෝදරා‘ නිර්මාණත් හරිම ලස්සනයි...

      ඔබ වැනි ලේඛකයකුගේ ලිපි ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ..

      Delete
    5. පැතුම්

      ස්තූතියි ඔබේ ලිනක් එකට. රෂ්මි සංගිතා ඒ නර සීහ ගාථා ඉතාම මිහිරියට මධුර ස්වරයෙන් ගායනා කරනවා. මට හිතුනෙම ඒ යසෝදරාම වෙන්න ඇති කියලා.

      අපි තව දවසක යසෝදරා ‍ගැන වෙනත් මානයකින් කතා කරමු එතකොට මේ සියල්ලම ඊට එකතු කරන්නම්. නරසිහ ගාථා "නන්දා මාලිනි" ගයපු හඬ පටයකුත් ලැබුණා. මතු දවසක එයත් ඊටම එකතු කරන්නම්.

      බෙහෙවින්ම ස්තූතියි ඔබට, ඔබගේ වටිනා අදහස්වලට.

      Delete
  5. The ideal woman.... The perfect wife ... යශෝදරා කීවාම මගේ හිතට දැනෙන්නේ එහෙමයි.

    හරිම රසවත් සටහනක්. ඔය කියන ගොඩාක් දේවල් දැනගෙන හිටියේ නෑ. 'දශරථ ' ජාතකය ගැනත් ඇහුවාමයි. එහි සඳහන්වෙන්නේ, රාමායණයේ එන රාමා, සීතා කතාවමද? අනිවාර්යයෙන්ම ආසියානු ජාතික කාන්තාව ප්‍රතිමූර්තිමත් කරන චරිතයක් යශෝදරා. ඒත් අද කාලේ යශෝදරාලවත්, සිදුහත්ලාවත් දකින්ට ඇති කියලා හිතන්ට නම් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. පොඩී..
      ඔව් ඇත්තටම ඔබ හරි.

      මටත් හිතෙන්නේ 'දශරථ ජාතකයෙන්" කියවෙන්නේ මේ රාමා සීතා අතිත කතාවම තමයි කියලා. ඒත් පසුගිය දින කිපය තුළම සංස්කරනය නොකළ "පන්සිය පනස් ජාතක කතා පොතක්" හොයාගන්න උත්සාහ කලා හමුවුනේ නැහැ. සමහර විට ඉදිරි දින කිපය තුළ ඒ පොත් ලැබෙන්න ඉඩ තියෙනවා. එහෙම ලැබුනොත් හරියටම තහවුරු කරන්නම්.

      අද කාලේ නූතන පරපුරෙන් සිදුහත් හෝ යසෝදරා වගේ අය අපේක්ෂා කල නොහැකියි. නූතනයේ කවුරු හරි පිරිමියෙක් කාන්තාවකගෙන් මේවගේ බලාපොරොත්තුවෙනව නම් ඒක ඒ කාන්තාවට හෝ මුළුමහත් කාන්තා වර්ගයාටම කරන අසාධාරණයක්. අනෙක පිරිමියෙක් ඒ වැනි බලා පොරොත්තුවක් අති කර ගන්නවනම් ඔහු අනිවාර්යයෙන්ම අධ්‍යාත්මිකව දියුණු වූ චරිතයක් විය යුතුයි.


      පොඩී..ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට ඔබට බෙහෙවින්ම ස්තුතියි

      Delete
  6. මට දැනෙන විදියට යසෝදරාව ගැන ලියැවුණු හොදම ගීතය රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ ළා දළු බෝපත්.. ගීතය.ඒ වචන ටික ඇහෙන කොට හැමදාම මගෙ ඇස්වලට කදුළක් එනවා.තවත් හොද ගීත ඇති.ඒත් මට මේ මොහොතේ මතක් වෙන්නෙ මේ ගීතය විතරයි.

    පෝස්ට් එක ගැන කියනව නම් නොදැන හිටිය බොහෝ දේවලුත් දැන ගත්ත.

    සිද්ධාර්ථගේ අභිනිශ්ක්‍රමණය තුළ තියෙන්නෙ යසෝදරාවගේ වගේම ලෝකයේ අනිත් සෑම කාන්තාවකගේම විමුක්තිය පිළිබද සිතුවිල්ල නේද කියල ඇති වෙනකොට දැනෙන්නෙ පුදුමාකාර හැගීමක්..

    ReplyDelete
    Replies
    1. වර්ෂා..

      ඇත්තටම ඔව්. යසෝදරාවන්ගේ චරිතය මුලින්ම ලියූ පුද්ගලයා සතු විශිෂ්ඨ භාෂා කුසලතාවය නිසා ඇගේ චරිතය මනාව ඔප දමා තියෙනවා. ඒක හරියට විමුක්තිය සොයා යන කෙනෙකුගේ පහන් සිතුවිල්ලක්.
      ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට වර්ෂා ඔබටත් බෙහෙවින්ම ස්තුතියි

      Delete
  7. යශෝදරා දේවිය ගැන සම්පූර්ණ සටහනක්. යශෝදරා දේවිය ගැන මම කැමති ගීතය නම් "සිතේ නැගුන කලකීරීම කුමරිය - ඔබ පමණයි දැන සිටියේ පෙර සිට" යන්නයි.
    මැණික්

    ReplyDelete
    Replies
    1. මාණික්..

      සනත් නන්දසිරි ගැයූ ඒ ගියත් ගිත සාහිත්‍යයේ යසෝදරාව ගැන ගැයුණු අගනාම ගීයක්.

      ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට මැණික් ඔබටත් බෙහෙවින්ම ස්තුතියි

      Delete
  8. සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයි හැරයනකොට යශෝදරා දේවියගේ හිතේ තිබ්බ දුක යශෝදරාවතෙන් මනාව පැහැදිලි වෙනවා.

    මේ ලිපිය කියෙව්වම මතක් උනේ අද කාලේ යශෝදරා දේවිය වගේ කාන්තාවෝ ඉන්නවද කියලා පොඩි සැකයක් ඇති වෙනවා.

    ReplyDelete
    Replies
    1. මධුරංග

      අද කාලේ නූතන පරපුරෙන් යසෝදරා වගේ අය අපේක්ෂා කල නොහැකියි. නූතනයේ කවුරු හරි පිරිමියෙක් කාන්තාවකගෙන් මේවගේ බලාපොරොත්තුවෙනව නම් ඒක ඒ කාන්තාවට හෝ මුළුමහත් කාන්තා වර්ගයාටම කරන අසාධාරණයක්. අනෙක පිරිමියෙක් ඒ වැනි බලා පොරොත්තුවක් අති කර ගන්නවනම් ඔහු අනිවාර්යයෙන්ම අධ්‍යාත්මිකව දියුණු වූ චරිතයක් විය යුතුයි.
      මේ සම්බන්ධයෙන් පහළ " Outsider" මහතා විසින් ලියා ඇති අදහස බලන්න. ඔහු ඉතාම විශිෂ්ඨ අන්දමින් මේගැන විග්‍රහයක් කරනවා.

      ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට ඔබටත් බෙහෙවින්ම ස්තුතියි මධුරංග..

      Delete
  9. //සිදුහත් කුමරු මෙවැනි කරුණු බිරිඳකගෙන් අපේක්ෂා කරන ලද්දේ විවාහ විමට අකමැත්තෙන් සිටි නිසා බව සැලකිය හැකි බව බෞද්ධ සාහිත්‍යය පෙනවා දෙයි. තවද ඒ සියළු ලක්ෂණවලින් හෙබි කාන්තාවක සිටිය නොහැකි යැයි සිදුහත් කුමරු අපේක්ෂා කරන්නට ඇති බව ද බෞද්ධ සාහිත්‍යයේ සදහන් වේ.//

    කුස පබා ෆිල්ම් එකෙත් මේ විදියමනේ.... කැවුමක් වන් නාසයක් ඇති විරූපී කුස ගේ සිත තුළ මැවෙන ස්ත්‍රී රූපය රන් පිළිමයක් ලෙස නිමවන්නේ එවන් රුවක් දඹදිව සොයා ගත නොහැකි වේ යැයි සිතා... එවන්නියක් ලද හොත් විවාහ වන බව පවසන්නේද ඒ අටියෙන්...

    යශෝදරා ගැන මටත් මුලින්ම හිතට වැදුණේ 7 වසර සිංහල පොතේ තිබුණු "යශෝදරාවතේ" කවි කිහිපය කියවීමෙන්.. ඊට අමතරව ඔබ මෙහි සඳහන් කර නැති කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ "ලා දළු බෝ පත්" ගීතයත් මගේ සිත් ගත්තා..

    ReplyDelete
    Replies
    1. අනූ...

      මට තවම කුස පබා බලන්න බැරිවුනා.

      මතු දවසක යසෝදරාවත සහ අපේ සිංහල ජනකවියා ගැන ලියන්න හිතා ඉන්නවා තවත් අමුතුම ආකාරයකින්.එතකොට තවත් වෙනස් ආකාරයකින් යසෝදරා දකිමු.

      "ලා දළු බෝපත්" මේ ගැන ගැයුණු හොඳම ගියයි. ඒත් මම දැම්මේ නූතන කාන්තාව ගැන ගැයුණු ගියයි.

      අනූ..ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට ඔබටත් බෙහෙවින්ම ස්තුතියි

      Delete
  10. යශෝධරාවගේ පරිනිර්වානය ගැන මේතරම් තොරතුරු කලින් දැන සිටි‍යෙ නැත. ඒ ගැන ලිපියේ වූ සටහන හරිම ස0වේදී... යශෝදරා කියනකොට මටත් එක්වරම සිතට නැගෙන ගීතය "ලා දළු බෝපත්" ගීතයයි..
    ඒ ගීතයේ ඇය බුදුන් මතක්වී රහසේ හැඩීම උපමා කරන්නේ ලා දලූ බෝපත් සෙමින් සැලෙන ආකාරයටයි..ඒනම් කදිම උපමාවක්. අනික "රහසේ හැඩුවා" යන්න මගින් කියවෙන දෑ බොහොමයි. ඇය ඒවන විට රහත්ව නොසිටි නිසා හිතට විරහව දැනෙන්නට ඇත. එහෙත් එය එම විරහව බාහිර ලෝකයට නොපෙන්වා තනිව විදදරා ගන්ට ඇත. හරියට හඬ නොනගා සෙමෙන් සැලෙන ළා දළු බෝපත් මෙනි..

    ReplyDelete
  11. අපූරු සටහනක්..
    ප්‍රේමකීර්ති මහතාගේ පද ගැලපීමද අපූරුයි..

    //මම ජීවතවන තුරු මගෙ තනි නොතනිය මකනා
    ලෙව් තල ඔබ පමණකි මා දුටු දෙව් අඟනා//

    හැම පිරිමියෙක්ම තමන්ගේ බිරිඳ තුල යශෝධරාව දකින්න උත්සාහ කරද්දි මට හිතෙන්නෙ කිසිම බිරිඳක් සිදුහත් කෙනෙකු නම් පතන්නෑ..(ලෝක සත්වයා දුකින් මුදවන්න තමන් තනිකර යෑම ගැන සමාව දෙන්න පුළුවන් බිරිඳක් වීම මා යශෝධරාව තුල දුටු අපූර්වත්වයයි..)

    ස්තුතියි..ගොඩාක්..

    ReplyDelete
    Replies
    1. රූ...
      ප්‍රේමකිර්ති ලිව්වේ නූතන බිරිඳක පිළිබඳවනේ. යසෝදරා තුළින් ඒ බිරිඳ දුටු ආකාරය විශ්ෂ්ඨයි. ඒ ගිය ඒතරමට දුර්ලභ නිර්මාණයක්.

      ඔන්න ඊළඟ පෝස්ට් එකෙන් පෙර දවසක කරපු ඔබේ ඉල්ලීම ඉටුකරනවා.

      ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට රූ.. ඔබටත් බෙහෙවින්ම ස්තුතියි

      Delete
  12. හරිම වටිනා ලිපියක්. මම හරිම ආසාවෙන් කියෙව්ව. ඒ වගේම අද ඉඳන් හැමදාම කියවන්න එනවා.
    ජයසේන ජයකොඩි ශූරීන්ගේ "යශෝධාවත" පොතත් පුළුවන් නම් කියවන්න.. හරිම ලස්සනට එතුමියගෙ චරිතය විස්තර කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. තාරා..

      ඔබ අස්වැන්නට ගෞරවනීය ලෙස පිළිගන්නවා.

      "යසෝදාවත" පොත නම් කියවන්න බැරිවුණා. එහෙම පොතක් තියෙන බව දැනගත්තේ ඔබේ කමෙන්ට් එක නිසා. මේ තොරතුර දුන්නට ස්තූතියි.
      ඒ වගේම ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට තාරා ඔබටත් බෙහෙවින්ම ස්තුතියි

      Delete
  13. මටත් දැනෙන විදියට Hare කිව්ව විදියටම ළා දඵ බෝපත් ගීතය තමයි යශෝධරාවන්ගේ සංවේදනාව ගැන ගැයෙන හොඳම ගීතය. රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ සරල වචන වලින් ලොකු කතාවක් ඒකෙන් කියවෙනව.
    ඒ කොහොම වුණත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන විදියේ පරමාදර්ශී යශෝධරා චරිතයක් ලෝකෙ කොහේවත් පවතින්න විදියක් නෑ කියන එකයි මම විශ්වාස කරන්නෙ. එතරම් සර්ව සම්පූර්ණ මිනිස්සු ලෞකික ලෝකෙ ඉන්න විදියක් නෑ. එහෙම කෙනෙක් ඉන්නවනම්‍ ලෞකික ස්වභාවය ගොඩක් ඉක්මවූ කෙනෙක්. එහෙම කෙනෙක් පරමාදර්ශී භාර්යාවක්, පුරුෂයෙක් වීමට හැකියාවක් නෑ. භාර්යාව/ස්වාමි පුරුෂයා කියන දේවල් ලෞකික දේවල්. මනුෂ්‍ය ජීවිතය හදවතින් පරිණාමය වීම සඳහා ඉගෙනීමට ලැබෙන අවස්ථාවක් ලෙස ගොඩක් ආගමික දර්ශණ වල සඳහන් වෙනව. ඒ පහත් තත්වයේ සිට උසස් අධ්‍යාත්මය දක්වා පරිණාමය සිදුවෙන්නෙ වැරැදීම් හරහා නිවැරැදි වීමෙන්.

    ReplyDelete
    Replies
    1. @ Outsider

      ඔබතුමාගේ අදහස නම් හරියටම හරි මමත් 100% එකඟයි. මේ තමයි නූතනයේ අප ඉදිරියේ ඇති සත්‍යය.
      යසෝදරාවගේ චරිතයෙහි ඇති හරය තමයි පරමාදර්ශයක් ලෙස ගත හැකිවන්නේ.ඒ කුඩාම හරය වුණත් කාන්තාවකට ලොකු ආභරණයක්.
      " Outsider" මහතාණෙනි ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට ඔබටත් බෙහෙවින්ම ස්තුතියි

      Delete
  14. අගනා ලිපියක්. මමත් හරිම කැමතියි ලා දළු බෝ පත් ගීතයට. කුමරියගේ මව සහ සහෝදරියන් ජීවත්ව සිටිය යුතුයි කියන කොන්දේසිය දැම්මේ ඇයි කියලා අදහසක් තියනවද?
    පුතා උපන් දවසෙම තමන් තනි කරලා සැමියා ගියාම ඒ දුක දරාගන්නේ කොහොමද කියලා හිතා ගන්නත් අමාරුයි. ඒ අතින් යශෝධරා ඉතාමත් ශ්‍රේෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන විදියට බෝසතාණන් අභිනිශ්ක්‍රමණය කලාට පස්සෙ ඇය තනිවන නිසා ඇය ගැන බලා ගැනීමට ඇයගේ මව් සහ සොයුරියන් සිටීම වැදගත් කියල හිතුනද දන්නෑ.. මේක මට ක්ෂනයෙන් ආපු නිකම්ම නිකන් සිතුවිල්ලක් පමණි.. මා වැරදි වීමට බොහෝසේ ඉඩ ඇත..

      Delete
    2. සයුරී..

      ඇත්ටම ඔබ සඳහන් කරළා වගේම මටත් ඒක ගැටළුවක්. මේ ටික සඳහන් වෙන්නේ බුදුන් පිලිබඳ ලියැවුණු "ලලිත විස්තරය" කියන කෘතියේ.ඒත් මුලු කෘතියම කියවන්න මටත් බැරිවුණා.
      මම ඒ ටික එහෙම්මම දැම්මා. මීගොඩ පඤ්ඤාලෝක හිමියන්වත් උන්වහන්සේගේ කෘතියේ ඒබව සඳහන් කරන්නෙ නැහැ. යහෝධරා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සහ විශ්ෂ්ඨතම කාන්තාව ආයෙ කියන්න දෙයක් නැහැ.

      ඒවගේම එහි සඳහන් 03,13,18 කරුණු මට ලොකු ගැටලුවක්.මොකද 18 වෙනි කරුණ පිළිගන්න පුළුවන් කමක් නැහැ.ඒකාලේ අකුරු ලිවීමේ හැකියාව තිබුණ බව කොහේවත් සඳහන් නොවන නිසා

      තොටියා..

      තොටියා ලියපු හොඳ කමෙන්ට් එකක් මෙහි තිබුණා වගේ මතකයි ඒත් ඒක දැන් නැහැනේ.මොකක් වුණාද මන්දා.

      ඔබ ඉදිරිපත් කර ඇති අදහස හරි වෙන්න පුළුවන්. කෝකටත් ස්වාමීන්වහන්සේ කෙනෙක් හමුවෙලාම මේ අවුල නිරවුල් කරගන්න ඕනෑ.

      සයුරී ඔබටත්, තොටියා ඔබටත්, ඔබ දෙදෙනාටම අගනා කාලයෙන් මොහොතක් වැය කළාට බෙහෙවින්ම ස්තුතියි

      Delete
    3. @ තොටියා : හ්ම්ම්...එහෙම වෙන්නත් පුළුවන් තමා. ඒත් එහෙම බලනකොට සිදුහත් කුමාරයාට විවාහ වෙන්න කලින් ඉඳලම ගිහි ගෙයින් නික්මෙන්න අදහසක් තිබිලා තියනවා. එහෙම වෙන්න බෑ නේද?

      Delete
    4. සයුරි..

      සිදුහත් කුමාරයාගේ ළමාවිය පටන් ඒ චරිතය දිහා බැලුවාම මට නම් හිතෙනාව ආධ්‍යාත්මික අතින් වැඩෙමින් තිබුණ චරිතයක් වෙලා තිබුණා කියලා. වත්මන් ලෝකයේ පවා එවැනි චරිත විවාහයට මැළිකමක් දක්වනවා. ඒනිසාම වෙන්න ඇති ඒ අධ්‍යාත්මික ලෝකය වසන් කරන්න, හෝ අමතක කරවන්න, රම්‍ය සුරම්‍ය සුබ කියලා මාලිගා තුනක් සදා දෙන්න ඇත්තේ.

      මම මේ පෝස්ට් එකේ සඳහන් නොකළාට මහායාන බුදුදහම පිළිබඳ ලියැවුන පොත්පත්වල මීට වෙනස් අදහසක් දෙනවා.

      Delete
    5. අනේ ඔව් මමත් බැලුව කෝ ඒක කියල.. අතුරුදන් වෙලානෙ.. මම ඒත් හිතුව අන්තර්ජාල අවුලක් නිසා පබ්ලිශ් නොවන්න ඇති කියලා :(

      Delete
  15. එතකොට රාමායනය කියන්නෙ අපේ ජාතක පොතේ එන කතාවක්ද??
    ලා දළු බෝපත් ගීතයට තමයි ගොඩක් ආස.රඹුක්කන හාමුදුරුවෝ ඒ ගීතය යසොදරවන් පිලිබඳ සම්පූර්ණ හැගීමක් ඒ ගීතය තුලින් අපි තුල ඇති කරනව.

    ReplyDelete
    Replies
    1. නුවන්..

      මටත් හිතෙනවා ඒ රාමායනයේ පුවතම තමයි කියලා. පසුගිය දින කිපය තුළම සංස්කරණය නොකළ "පන්සිය පනස් ජාතක කතා පොතක්" හොයාගන්න උත්සාහ කලා හමුවුනේ නැහැ. සමහර විට ඉදිරි දින කිපය තුළ ඒ පොත් ලැබෙන්න ඉඩ තියෙනවා. එහෙම ලැබුනොත් හරියටම තහවුරු කරන්නම්.

      ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට ඔබටත් බෙහෙවින්ම ස්තුතියි නුවන්

      Delete
  16. පිනි මුතුහර ලිහා දමා
    හිරු රජිදුන් ලොව ආවා....
    රමණියයි කිඹුල් වතම
    බුදුන් හෙමින් මග වඬිනා........

    ස්නේහෙන් ආතුර වී
    සියුමැලි සිත යශෝදරා
    දුඹුරු පැහැති දළ රෙද්දකි
    ශෝකී වත දුක් මුසුවකි...........

    සිඳුහත් නමට පෙම් බැඳි
    බුදු විවරණ මග දුන්නිය
    මද්‍රී දේවි නමට බැදී
    ලේන කුලේ සුවඳ දුන්නි........

    බුදු පාමොක් මහ සඟනකි
    නීල පීත රැස් විහිදෙති....
    ලසොවින් හිත වැලපෙන්නි
    මැදුරු කුටියෙ සිරවෙන්නිය..........

    අබැටකවත් ඇල්මක් නැති
    බුදුහිමි ඇය දැක ගන්නේ
    සසර පුරා ලියක් විලස
    කල යුතුකම් දැක ගන්නේ.........

    කින්නර වත කියා දුන්නෙ
    කදුලු වර්ෂා නිමාවෙන්නෙ
    සියපත සේ පිපුණු සිතින්
    සාදු නාද හඩ දුන්නී..............

    ReplyDelete
    Replies
    1. දිනිති

      මම ගද්‍යයෙන් කියූදේ ඔබ පද්‍යයෙන් ලිව්වා හරිම අපුරුයි. සිත් ගන්නා කවියක් යසෝදරාව ගැන.

      දිනිති ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට ඔබටත් බෙහෙවින්ම ස්තුතියි

      Delete
  17. ගොඩාක් විස්තර දැනගත්තා. පොඩි කාලේ ඉගන ගත්තයින් පසු අයෙත් මේ කරුණු කියවන්න ලැබුන නිසා මතකය අලුත් වුනා.

    ReplyDelete
    Replies
    1. අසරණයා..

      මමත් කැමතිම කාන්තා චරිතය නිසා ටිකක් උනන්දුවෙන් පොත් කිපයක් කියවලා ලිව්වේ.

      අසරණයා සහෝ... ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට ඔබටත් බෙහෙවින්ම ස්තුතියි

      Delete
  18. කරුණු වශයෙන් ඔබ තුමා ඉදිරිපත් කරපු දේවල් ටික මම දෙතුන් වතාවක් කියෙව්වා..සැබවින්ම මේ දේවල් කාන්තාවකට කරන්න බැරි දේවල් නෙමෙයි..ඒත් මෙතනින් කීයෙන් කීයද අපේ ජීවිත වල තියෙන්නෙ..එහෙම බලද්දි මටත් හිතුනා මගේ වැරදි අඩුපාඩු මටම හදාගන්න..යශෝධරා වෙන්න නෙමෙයි ඇයගේ ගුණ සමග ගත්තම පුංචි වැලි කැටයක් තරම්වත් වෙන්න..

    ReplyDelete
    Replies
    1. සිත් රූ සිහින..

      මේ කියන කරුණු ඉටුකරන්න හීනෙන්වත් හිතන්න එපා.එහෙම වුණොත් ඒ ගොඩක් අධ්‍යාත්මික පැත්තට නැඹුරු වු චරිතයක් වේවි. මෙහි හරය විතරක් සාමාන්‍ය පිරිමි සහ කාන්තා පාර්ශවයන්ට ප්‍රමාණවත්.
      ඔබ වැනි කෙනෙක් එහෙම හිතන එකත් ලොකු කුසලයක්.
      එහෙනම් මමත් ප්‍රාර්තනා කරනවා "යසෝදරා වේවා.. ඔබ යසෝදරා වේවා" කියල

      සිත් රූ... ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට ඔබටත් බෙහෙවින්ම ස්තුතියි

      Delete
  19. යසෝදරා චරිතය තරම් පතිනියකට හොද ආදර්ශයක් තවත් නෑ.නොදන්න කරුනු රෑසක් සමගින් දර්ම දානයට ඔබට පින්....

    ReplyDelete
    Replies
    1. යසෝදරා...

      ඔබේ පැමිණිමම මහත් භාග්‍යයක්. බලන්න ඔබේ නමත් ඒකමයි. ස්තූතියි ඔබේ අගැයුමට.
      ඒ නිසා මමත් ප්‍රාර්ථනය කරනවා සැබැවින්ම ඔබ "යසෝදරා වේවා.. ඔබ යසෝදරා වේවා" කියල

      යසෝදරා..ඔබේ අගනා කාලයෙන් මොහොතක් වැය කළාට ඔබටත් බෙහෙවින්ම ස්තුතියි

      Delete
  20. ජයසේන ජයකොඩි ලියූ යසෝදරා කෘතිය සිහිපත් වුණා. ඒ වගේමයි පූජාවලියේ යසෝදරා චරිතය වර්ණනා කරලා තියෙන හැටිත් සිහිපත් වුණා

    ReplyDelete
  21. Yashodara Kiyanne Adaraye Mudun Malkada. Budu saranay!

    ReplyDelete
  22. "දශරථ ජාතකයෙහි රාමා සහ සීතා" මෙන්න මෙහෙම ජාතකයක් තියෙනවද කියන එක ගැනනම් පොඩි සැකයක් මතුවෙනවා අයියේ පොඩ්ඩක් මේ ගැන පැහැදිලිකිරීමක් කලොත් නරකද?

    ReplyDelete
  23. යශෝධරා දේවිය වැනි උත්තම කාන්තා චරිතයක් වර්තමාන සමාජයෙන් හොයාගන්න බැරිවෙන්නේ මේ අන්තිම ආත්මහවයේ දී ඇය පරිපුර්ණත්වයට පත් වූ බැවින්ය. එයත් හරියටම විසි අසන්කෙය්ය කල්ප ලක්ෂයකට පෙර තම මව කරතබාගෙන මහා සයුර තරණය කල තරුණයා මේ භාවයේදී බුද්ධත්වය නම් වූ පරිපුර්ණත්වයට පත්වූ ලෙසයි.

    මේ සංසාර ගමනේ පරිපුර්ණත්වය වෙත ගම්න්කරන්නවුන් මේ යුගයේ නැත්තේද ? මගේ මතය නම් එවැන්නවුන් ඇති බවය. එබැවින් යශෝධරාව හා සම නොවුවත්, එවන් වූ තත්වයක් බලපොරෝතුවෙන් පාරමී පුරාගෙන යන්නාවූ කාන්තාවන් මේ යුගයේ නැත්තේ නොවේ යයි මට හැඟේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...