එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Monday 21 May 2012

෴ ස්වේත රාත්‍රිය ෴


කෙවිලිය ගී ගැයූ හැන්දෑව...
අවරගිර අහසේ වූ රන්වන් පැහැය සිය තෙලිතුඩ තවරා සිත්තරා මේ සැරසෙන්නේ දවසේ සොඳුරුතර සිත්තම අහසේ අඳින්නට ය. මීගමුව වෙරළ තීරයෙන්  දියඹ දෙසට ඇදී ඔරු පාරු ඡායා සෙමෙන් අඳුරේ මැකි යද්දී,  දවස මුළුල්ලේ වෙරලේ හැපී හැඬූ මුහුද ද  තත් සිඳුන සිතාරයක් සේ නිසොල්මන් ව සිටී. තවත් පැය කිහිපයකින් උදාවන වෙසක් සඳ  ඈත අහසේ  මෝදු වෙමින් තිබුණි.
දිවා කාලයේ වෙළඳ සැණකෙළියක සිරි මැවූ මීගමු නගරය දවසේ සියළු කටයුතු හමාර කර ඇති සේ ය.  දවසේ මෙහෙය නිමවා කැදලි කරා ඇදී යන විහඟුන් සේ  පුර වැසියෝ මෙන් ම  මගියෝ ද සිය නිවෙස් කරා අඳුරේ ම ඇදෙති. දිවා කල නගරයේ පිරී තිබූ වියරු ඝෝෂාව දැන් නම් පහව ගොස් ඇති සේ ය.
සොබා දහම සෑම දිනකම මවන  අපූරු සුන්දර රාත්‍රිය උදාවෙමින් තිබුණි. එහෙත්  සිත්තරාට ඒ රාත්‍රියේ සිතුවම තනිව ම සිතුවම් කරන්නට නො දී සුභාවිත ගීතයෙන් වර්ණ ගැන්වීමට වසර විසි දෙකකට පසුව මීගමුව මාරිස්ටෙලා ගෘහස්ත රඟහල වෙත  ඇය පැමිණ සිටියා ය. සොබා දහමේ සොඳුරු සිත්තරා අත තිබූ තෙළිතුඩ සේ ම,   මිණි බැඳි වීනාවක් සේ වූ මිහිරි ගී හඬ ඇය සතුව  තිබුණි.  ඇය නන්දා මාලනී නම් වූ අපේ කාලයේ දිරිය මාතාවයි.

වෙසක් පුන් පොහාය දිනය එලඹෙන්නට පැය කිහිපයක් තබා ඇය මීගමුවට පැමිණියේ අතිශය මියුරු ගී හඬ රසික සහෘද ‍සවන්පත් හි රඳවා තබන්නට ය. ඒ ප්‍රසංග විසි පහකට සීමාකර රට වටා යමින් තිබූ "ස්වේත රාත්‍රිය" ගී ප්‍රසංගයේ විසි එක් වැනි ප්‍රසංගයයි. ප්‍රවේශපත් නිකුත් කර පැය කිහිපයක් තුළ දී සියළුම ප්‍රවේශපත් විකිණී අවසන් වුයේ ප්‍රමාදයක් වූවොත් යළිත් කෙදිනකවත් "ස්වේත රාත්‍රිය" ප්‍රසංගය දැකගැනීමට නොලැබෙන බව රසික සද්ජන සමුහය තුළ මනා අවබෝධයක් තිබු නිසා විය හැකිය.
 සවස් යාමය එ‍ළඹෙන විට කලින් ප්‍රවේශපත් වෙන් කර ගත් රසික සමූහය වේලාසනින් පැමිණ සිය අසුන වෙන් කර ගත්තේ නන්දා මාලනිය නම් වු කෙවිලියගේ  ගී රසෝඝයේ කිමිදී ගිලෙන්නට ය.
හරියටම රාත්‍රී හතට විනාඩි දෙකක් තබා කිසිඳු සීනු නාදයකන් තොරව  රඟහලේ සියළු විදුලි පහන් නිවී ගියේ ශාලාවේ ඔබමොබ තැන්තැන්වල සිටි පිරිස් ද යුහුසුළුව තම තමන්ට වෙන් වූ අසුන්වල අසුන් කැඳවන පරිද්දෙනි. වෙන දා රඟහලක් තුළ තොරතෝංචියක් නැතිව නද දෙන ජංගම දුරකතන ද කිසිවකුගේ හෝ දැනුම් දිමකින්  තොරව නිහඬ කරගැනිමට ඒ උසස්  රසිකයෝ කටයුතු කළහ.
පහන් දැල්වීම්, පිළිගැනීමේ කතා කිසිවකින් තොරව හරියට ම රාත්‍රී හතට වේදිකාව මතට වැටුණු පුංචි ම පුංචි විදුලි ආලෝකය ඔස්සේ සිය රසික සමූහයාගේ උණුසුම්  ප්‍රතිචාර හමුවේ නන්දා මාලනී නම් වු අපගේ ප්‍රවීන ගායන වේදිනිය සිය ආචාරය රසික සමූහය වෙත පිරි නමා "ස්වේත රාත්‍රිය" ප්‍රසංගයේ විසි එක් වැන්න සිය මධුරතර වූ හඬින් අවදි කළාය.

කලාවැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මට මැ වටී
බෝධියකින් වට බෝ කොළයක් සේ
අගී අගී ඔබ මට මැ අගී

කැටපත් පවුරින් ගිලිහුණු කවියක්
සොරකම් කරගත් සෙරක ලෙසින්
සඟවා ගෙන ඔබ සුරකිමි හද ගැබ
තනිවම කියවමි පදරුත් පසිඳමි

සමනල සිරසින් විහිසුණු බුදු රැස්
සියැසින් දැක ගත් මෙහෙණක මෙන්
පරමානන්දය ලබමින් ඔබ ළඟ
සගමොක් සැපතෙහි අම රස වළඳමි

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගිතය: ස්ටැන්ලි පිරිස්
 
තියුණු වූත්, මුවහත් වූත්, ළගන්නා සුළු වූත් ඇයගේ මිහිරිම ගී හඬ එක පැහැසර වී රඟහල පුරා ගලා යද්දී  දැහැන් ගත වී සිටි රසික සමූහයා ඇයගේ ප්‍රසංගයේ පළමු ගීයෙන්ම ගී ගඟුලේ කිමිදෙමින්  සිටියහ.  ඉතාමත් ගැඹුරු නිශ්චල තාවයක මුළු රඟහල ශාලාවම නිහඬතාවයේ ගිල් වූයේ ඇයගේ ගී හඬට අවැසි අවකාශය රඟහල තුළම රඳවා තබන්නටය. සැබැවින් ම ඇයගේ ඒ මියුරු ගී හඬ  කලාවැවෙන් ගත් දිය දෝතක් තරමට සිහිල් ය. ගී පවස සංසිඳවන සුළු ය. දාහය නිවන සුළු ය. දශක පහක් මුළුල්ලේ සිය රසික සද්ජනයා වෙනුවෙන් ගැයූ ගී අතරින්  මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියූ ගීත විසි පහක් තෝරා ගෙන රන් හුයක ඇමිණූ මුතු වැලක් සේ "ස්වේත රාත්‍රිය" ට පෙළ ගස්වා තිබුණි.

මා සඳට කැමති බව දැන ගෙන
ඔබ සඳ අයින් කළා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කළා නටුවෙන්

නොඉඳුල් තොල් පෙති අතිරින්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ
නෙත කඳුළැලි ගෙනාව

එක්ටැම් ගෙයි සිරකර
සමනලියක අනාථ
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගිතය: රෝහණ වීරසිංහ

ආදරයේ මිහිරි බවත්, ප්‍රේමයේ කටුක බවත්, සිය ගායනයෙන් ඇය අපට පසක් කර දෙමින්  පිඩිත ජනතාවගේ කඳුළේත් සුසමේත් ශෝකී ස්වරය  ඇගේ "ස්වේත රාත්‍රිය" ගිතාවලියට සම්මුඛ වි තිබුණි. ගඟ එකම හැඩයට එකම වේගයෙන් නො ගලන්නා සේ ම නන්දා මාලිනිය ද   ඇගේ ගීයේ රැඳි ආදරය විවිධ හැඩයෙහි තබා සවනට මුසු කරන්නීය. විටෙක එහි රැඳී ඇත්තේ විරහ තාපයෙන් හඬා‍ වැටෙන ගායනයකි.
කඩ මණ්ඩියේ දොළ අයිනේ  නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත් ගොලු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරුව   වැසී....
ඇය ආදරයේ උල්පත වී ගයන්නීය. ඒ ආදරයේ රැඳි සුවඳ පොද ගීයේ තවරන්නීය.සෝ තැවුල් සංසිඳුවන ආදරයට ආයාචනා කරන්නීය.
සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටේ
නිල් කඳු රැල්ලේ.....
වරෙක එවන් වූ ගීයක රිද්මය ද වෙනස් වෙයි. ඒකාකාරී සංගීත ගායනාවක් වෙනුවට විවිධ වූ සංගිත  හැඩ තල මුසු ගීයක් කෙරෙහි රසික සිත යොමු කරයි.
ප්‍රවීන වාද්‍ය ශිල්පින් දොළොස් දෙනෙකු ඇයගේ ගීයේ රස නුසුන් වන සේ සංගිතයෙන් හැඩ කරමින් වයති. ගියේ රිද්මයට අනුගත වෙමින් විටෙක වේගයෙන් ද තවත් විටක නිවි සැනසෙන සියුමැලි ස්වරය ද  දෙසවනට ළං කරයි.  ඒ සංයමයේ ස්වර බිඳුම ගීත තැටියක ගීයක් වාදනය වන සේ ගීතයේ රැඳී ඇති ස්වර සංයෝජන ඒ අකාරයෙන්ම  අඩුවක් නොමැතිව වයයි. කර්ණ රසායන සංගීතයක් හැරුණු විට ගොරහැඩි සංගීතය  එහි නොවීය.
විටෙක තනිව වැයෙන වයලිනයද, ප්‍රසංගයට එකතු කළේ දැවැන්ත ආලෝකයකි. ලෙලුම් ගේ ඩබල් බේස් සහ  පර්ක්ෂන් වාදනය මෙන්ම ජල තරංග වාදනයද, නදීක ගේ සහ මහේන්ද්‍ර ගේ ගිටාරසුරේෂ් මාලියද්දගේ පියානෝවද "ස්වේත රාත්‍රිය " හැඩ කළේ  නන්දා මාලිනියගේ ගීයේ මිහිරට ඒකාත්මීය ලෙස සම වැදෙමිනි.
නන්දා මාලනිය ගැයූ ගී අතර ගීතයේ සෞන්දර්යාත්මක ගුණය අභිබවා ගිය ඇය සතු විරෝධාකල්ප ගීත අතර විශේෂයෙන් මතකයේ රැඳි ගීත වලින් ඇයට ඉතාමත් හුරු පුරුදු  විරෝධාකල්ප ගීත ආකෘතිය තුළ රසික සවන්පත් සිරකර තැබුවා ය.  සුපුරුදු මධුර ස්වරයේ ගලා එන්නේ තියුණු කඩු තුඩු වන් ගී පහරකි.  ගීයේ ඇති අවනඩුව සිය රසික සද්ජනයා අබිමුවෙහි  විටෙක මෙසේ දිග හැරියා ය.

ධර්මාධිකරණයට කැඳවීමි
ස්වාමිනි මෑ
මගේ නම ලංකාය
ඉන්දියන් සාගරේ වසන්නී
මුසාවෙන් මුලාවී සිටින්නී
විමුක්තිය නාමයෙන් හඬන්නී

උපත ලැබ බොහෝ කල් සොම්නසින් විසුවාය මෑ
මල්වරව නාඹරව බබලමින් සිටියාය                මෑ
සල්ලාල පාශයෙන්  බොහෝවර මිදුනාය         මෑ
සිත දුබල වූ දිනෙක වියවුලෙහි වැටුණාය          මෑ

කුමරි බඹසර පුදා නෙක ගැහැට වින්දාය        මෑ
සලෙළුනට රැවටෙමින් සිය රුහිරු  පිදුවාය     මෑ
ඉසුරු සඳහා ඔවුන් උගසටද තැබුවාය             මෑ
අසරණව අද මෙසේ මහ මගට වැටුණාය        මෑ

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගිතය: සරත් දසනායක
පෙර දවසේ මෙන් ම අද දවසේ ද අප මුහුණ දෙන්නා වූ අභියෝගය  ඈ සිය ආත්මයෙහි හට ගත් වේදනාවේ රිද්මයට ගීයෙන් මුසු කළේ ඒ අයුරිනි.
"පානං පත්තුවේ  ඩිංගිරි අම්මා ද, ජේසු ස්වාමි දරුවෝ සේම  විලක් වුණත් නිල් දිය පිරි විලක් නොවේ"  ආදී ඇයට හුරු විරෝධාකල්ප ගීයේ  සෘජු ප්‍රකාශන රීතිය ද  සුපුරුදු පරිදි ඇය ගීයට මුසු කළාය.  ගීතයේ සෘජු ස්වභාවෝක්තිය ගැන හිතමින් ද, ගීතයේ සමාජ මෙහෙවර හා අනුගතව යමින් ද සිය මධුර හඬ මුසු කළ ඇය  හෙට දවස යහපත් දේශයක් දකින්නට ගීයෙන් සිය රසික සද්ජන මනස පුබුදු කළාය.
පෙරදා මහ රෑ, පහන් කන්ද, සංසාර සාගරේ, තරුද නිදන මහ රෑ, ලොවම එපාවී,  අහස සේ ඔබ අනන්තයි, ආලය වන් මනරම්,  පෙම් ලොව දී දුටු ඔහුම ද මේ, ඔබයි රම්‍ය සඳ කිරණ,  ආදී ඇය සතු සුමියුරු ගී පෙළ "ස්වේත රාත්‍රිය" එක පෙළට දිග හැරුණේ පැය දෙකක කාලය තුළ කිසිඳු විරාමයක් නො තබමිනි.

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වි නැඟිටින්නේ..

ඉසුරින් කිත් යසසින් බබලන තුරු
ඔබගේ බැනුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුනත් එය වරදක් වේ

කිරියෙන් පැණියෙන් උතුරා යන කල
ලොව ඔබ පාමුල හඬා වැටේ
අතමිට හිඟ වී බෙලසුන්  වන කල
ලොව ඔබ හිස මත කඩා වැටේ..

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගිතය: එච්.එම්.ජයවර්ධන
ප්‍රවීන ගායන වේදිනී නන්දා මාලනියට "ස්වේත රාත්‍රිය" මංගල ප්‍රසංගයේදී පිට පිටම තුන් වතාවක් ගැයීමට සිදුවූ ඒ ගීතය නැවතත් ඇය මාරිස්ටෙලා රඟහල තුළ උණුසුම් රසික ප්‍රතිචාර හමුවේ ඒ රැයෙහිද ගායනා කළාය.
සුන් වූ බලාපොරාත්තුවෙන්ද, දිළිඳුකමේ දරිද්‍රතාවයෙන්ද පිරුණු ජීවන ගී ගැයෙන විට සියළු රසිකයෝ සෙනෙහසින් පිරී ගිය වැව් තෙරක් සේ  සිය සිත්හි උතුරා යන ප්‍රහර්ෂයත් සමග චමත්කාරයෙන් වෙලී ආනන්දනීය රැයෙහි ඇයත් සමග  ඇගේ ගී සුයාමයට දැහැන් ගතවි සිටීයහ.
හිතුමතේ ගීත බිහිවන, වීඩියෝ ගීත එළි දකින, නූතන ගීත සංස්කෘතියක  දුර්මුඛව හෝ විස්සෝපයෙන්  නො ඉඳ  දෑත දිගුකර ජීවිතයේ ආදරය පිරුණු ගීත ඉල්ලා සිටින යුගයක මේ ගී මාලාව ගැයෙද්දී අප මේ පෙම් බඳින්නේ අක්මුල් නැති ජීවිතවල අක් මුල් සොයා යාත්‍රා කරන යාත්‍රාවක නොවේ දැයි සිතේ. ඇයි ගීයෙන් මුදාහරිමින් සිටින්නේ ඒ දශක ගනනාවක් මුළුල්ලේ සිට හඹා එන ඒ යෞවනයේ ප්‍රහර්ෂයමය.

ලොවම එපාවී ලොවම කල කිරී
තැවී දැවී හිඳිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ

අසා අසෝබන නින්දා ගැරහුම්
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවඳකින්
පිපාසිත  වු හද සිහිලැල් වේ

ලබා නො මිනිසුන් නගනා ගැරහුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමනින්
මුළු ගැන්වුණු සිත උනුසුම් වේ.

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව සහ සංගිතය: මර්වින් පෙරේරා

"ලොවම එපාවී " ගීතය අහන්න මෙතැනින්, කැමති නම් බාගන්න

වචනයට යා හැකි දුර නතර වන්නේ කොතැනද  එතැන සංගිතයේ උපත සිදුවන බව ඩේවිඩ් රැන්ඩොල්ෆ්  විසින්පෙර දවසක  කියූ කියමනක් ඇත. ඒ කියමන සැබෑ කරමින් ම ව්‍යවහාරික සංගිතයේ එක් ඉමක් පෙන්වාදෙන  ගිතය නම් වූ  අපූරු කලාංගයේදී නන්දා මාලනිය  ගීතයේ වචන සමගත්, වචනය ඉක්මවා යන සොඳුරුතර සංගිතමය දෙහෝරාවක  චාරිකාවේ  එළඹ සිටියා ය.  ගීතයේ වචනවල   ව්‍යංගාර්ථ හා ධිවනිථාර්ථ පවා ඉක්මවා යන භාවාර්ථ ගායනයෙන් සැදුම්ලත් තීර්ථය වෙත සිය රසික පිරිවර රැගෙන යමින් සිටියා ය.
ගීතය නම් වූ රමණීය කලාංගය සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රවීන  ගායන වේදිනී නන්දා මාලනී සහ සිරස ගුවන් විදුලි මාධ්‍ය ජාලය  විසින් මනාව සැළසුම් කොට නිමවා තිබූ "ස්වේත රාත්‍රිය" ගී ප්‍රසංගය මනා සංවිධානයකින් සහ සැළසුමකින් යුතු  ගී ප්‍රසංගයක් විය.
" ස්වේත රාත්‍රිය " ප්‍රසංගය නිමා කිරිමට තවත් ප්‍රසංග වාර 04 ක් ඉතිරි තබා  ගී ගැයුණු 21 වන ප්‍රසංගය තුළ පුරා දෙහෝරාවක් අඛණ්ඩව නන්දා මාලිනිය ගැයු ගී ගඟුල,   විටෙක ප්‍රේමයේ රුදු කටුක බවත්, එයම විටෙක ආදරයේ මිහිරි බව කැඳවා එන සැටිත් ,  පසක් කර දෙමින් "පෙම් ලොව දී දුටු ඔහුමද මේ"  ගීයද "ඔබයි රම්‍ය සඳ කිරණ ගණ අන්ධකාරේ" ගීය ද පිළිවෙළින්  ගැයෙද්දී හරියට ම රාත්‍රී නවයට ඇය,  ඇයගේ මනෝහාර වූ ගායනාවලින් සුසැදි "ස්වේත රාත්‍රිය" ප්‍රසංගය හමාර කළාය. සිය අසුන්වලට බරදී හුන් රසික සමූහයා රඟහල දොරටුවෙන් එළියට පැමිණියේ පායා නැග එමින් තිබු වෙසක් සඳ  එළියේ පහන් වූ සිතින් යුතු නැවුම් මිනිසුන් ලෙසින් යැයි නො හැඟුනා නොවේ.෴

ඔබේ සිතේ ඇඳි ඕනෑම අදහසක්, විචාරයක් මෙහි ලියා තබන්න ඒ සඳහා ඔබට නිදහස ඇත .

72 comments:

  1. නන්දා මාලිනියන් කියන්නේ මම ගෞරව කරන මම ආසම ගායිකාවන්ගෙන් ප්‍රමුඛ තැනක් ගන්න කෙනෙක්... ඒ අතර මාලිනි බුලත්සිංහලත් නොදෙවෙනි තැනක් ගන්නවා.ගීතයෙන් පමණක් නෙමේ ක්‍රියාවෙන් පවා කුමක් හෝ දායාදයක් දෙන්න මේ හැමෝම සමත්වුනා...

    මට මේ ටික කියවද්දි මතකයට ආවේ සම්මාන උලෙලක සම්මානයක් ගත්තට පස්සේ මැය මැයගේ අතීතය ගැන මතක් කරමින් කරපු කතාවක්.නන්දා මාලිනියන්ගේ පියා කෝට් බාස් කෙනෙක් යනුවෙන් ආරම්භ වුනු ඒ කතාව විවිධ පරාසයන්ගෙන් ඇදී ගිහින් අද ඉන්න තැනට ආවේ.තමන් අතීතය අමතක නොකරන දිරිය මාතාවක් බව හැමෝටම මතක් කරලා දුන්නා....

    දැන් ඉන්න තරුණ ගායිකාවන්ගේ අහලකින්වත් තියන්න බැරි ආදරණීය කටහඬකුත් ආදරණීය සිනහවකුත් ඇති නන්දා මාලිනියට මම එදා පටන් අද දක්වාම ආදරය කරන්නේ ඒ ගීත සමහරක් හදවතට කතා කරන හින්දමයි...

    "යදමින් බැඳ විලංගු දා
    මගේ පුතා රැගෙන යන්න
    ඉඳිකටු ඇන ඇඟිලි තලා
    දෙතිස් වදය
    පමුණුවන්න"

    යන ගීතය හදවතේ ගැස්මක් ඇති කරවන්න සමත් වුනු ඉතාමත් හැඟුම්බර ගීතයක්..

    "උඩඟු ලියන් ගොතා බඳින
    නීල වරල සරසන්නට"

    මෙවැනි ගීත කොයිතරම් රසයක් වින්දනයක් සුවයක් ගේනවද කියලා දැනෙනකොට අද තියෙන ගීත ගැන පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ.ඒ විතරක් නෙමෙයි කන් අඩි පලන සංගීත සංදර්ශන ගැනත් මට තියෙන්නේ ඒ තරම් පහන් හැඟීමක් නම් නෙමෙයි...

    නන්දා මාලිනියන්ට මෑතකදි වුනු අසාධාරණේ ගැනත් සඳහන් නොකරම බෑ... මගේ මතකය නිවැරදි නම් කුවේට් රටේ ඒ සිදුවීම සිද්ද වුනේ..

    අහම්බෙන් මේ බ්ලොග් එක ඇස ගැටුනේ මේ මගේ මුල්ම පැමිණීම... සෑහෙන්න රසයකින් යුතුයි කියලා දැනුනා දිගටම පැමිණෙන්නම්...

    ReplyDelete
    Replies
    1. යදමින් බැඳ ගීතය ඇතුලත් පවන කැසට් පටියම තහනම් උණා කියල තමයි මාම අහල තියෙන්නෙ!

      Delete
    2. ගැමියාගේ පත්ඉරුව...

      නන්දා මාලනියගේ ඕනෑම ගියක් ඔබ වගේම මමත් එක සේ ප්‍රිය කරනව. ඇගේ ගීයක්. හැහෙන වාරයක් වාරයක් පාසා හිතේ ඇතිවන්නෙ පහන් හැඟීමක්.

      ස්වේත රාත්‍රිය ප්‍රසංගයේදි "විලක් වුණත් නිල් දිය පිරි විලක් නොවේ" ගිය ගයන කොට මටත් ඇයට කුවේට් රාජ්‍යයේදී සිදුවූ හිංසාව මතක් වුණා.සිංහල දේශපාලන "බත් බැලයෙක්" ඇයටත් රටටත් අපකිර්තියක් අත්කළා ඒ සිද්ධියෙන්.

      ඔබ මේ මම ලියන දේවල් රසවත් කියලා කිව්වාම මටත් දැනෙන්නේ අප්‍රමාණ සතුටක්.

      ස්තූතියි මිතුර ඔබේ පැමිණිමටත් මේ අගනා සටහන තබන්නට තරම් කාරුණික වී ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන් කළාට..

      නුවන්ට..

      පවන ගිත ප්‍රසංගයේ එක ගීයක් හැර අනි සියළුම ගීත වාරණයට ලක් වුණා. වාරණය නොවූ එකම ගීය වුණේ "වහින්නට හැකිනම් ගිගුම් දී" ගීතය පමණයි.

      Delete
  2. මමත් ගොඩක් ගරු කරන ගායිකාවක් තමයි නන්දා මාලිනී. පුංචි කාලයේ ගොඩක් දුක් විඳපු කෙනෙක්. ඇයගේ නොපසුබසින උත්සාහයෙන් ආපු මේ දුර ඇත්තටම ප්‍රශංසනීයයි. ඇගෙන් සජීවී ගීතයක් අහන්න තවමත් මම පින් කරලා නැහැ.

    මම මුලින්ම ඇහුවේ ඇයගේ "සින්දු හෝඩිය" කැසට් පටය. ගොඩක් පුංචි කාලේ. ඒත් තවමත් මට ඒ ගීත මතකයි. තවමත් ඒවාට ආදරෙයි. ස්තුතියි ඔබට ඇය ගැන තැබූ මේ අගනා සටහනට

    ReplyDelete
    Replies
    1. සයුරි...

      නන්දා මාලනිය ඇගේ අතීතය කිසිම දවසක අමත කලෙත් නැහැ වෙනස් කරන්නඋත්සාහ කළෙත් නැහැ. ඇයගේ අව්‍යාජ බවත් නිහතමානිකමත් එයින්ම පිළිබිඹු වෙනවා.

      මට නම් ඇ‍යගේ ගීප්‍රසංග දෙකක්ම සජීවිව බලන්න අවස්ථාව ලැබුණා. ඒ "පවන" සහ "ස්වේත රාත්‍රිය." ඒකත් ජීවිතේ ලද භාග්‍යයක්.

      ඇය නිර්මාණය මුල්ම ගිත එකතුවේ සිට මේ දක්වා කල සියළුම ගීත ඇල්බම් මා සතුව තියෙනවා. මතු දවසක කොටස් වශයෙන් ඇයගේ ගීතයේ ගමන් මග පිළිබඳව පියවරෙන් පියවර කොටස් 25 -30 කින් විතර ලියන්නත් හිතේ අදහසක් තියෙනවා. එවිට ඇය සහ ඇගේ නිර්මාණ භූමිකාව පිළිබඳව මීට වඩා පුළුල්ව කතා කරමු.

      හැමදාම වගේ අස්වැන්න කියවන්න ඔබේ පැමිණිමටත් මේ අගනා සටහන තබන්නට තරම් කාරුණික වී ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන් කළාටත් ස්තූතියි සයුරි ඔබට.

      Delete
  3. //සිරස ගුවන් විදුලි මාධ්‍ය ජාලය විසින් මනාව සැළසුම් කොට නිමවා තිබූ "ස්වේත රාත්‍රිය" ගී ප්‍රසංගය මනා සංවිධානයකින් සහ සැළසුමකින් යුතු ගී ප්‍රසංගයක් විය.// ඔව් මෙක සෑහෙන්න සැලසුමකින් කල එකක්. මහරාජා ආයතනය අපේ ගායික ගායිකාවන්ගෙ ගීත සමග වැඩ කරන්නෙ සෑහෙන්න සැලසුමකින් කියලයි මට හිතෙන්නෙ. කවද හරි දවසක අපිට සින්දුවක් අහන්න මහරාජා ආයතනයෙන් අවසර ගන්න වෙයි කියලා මහ බයානක හැඟීමක් මගෙ හිත අස්සෙ දෝංකාර දෙනවා.

    …මම පුංචි කාලෙ අපෙ තාත්තගෙ ප්‍රියතම ගායිකාව නන්දා මාලනී, ඇගෙ ප්‍රියතම ගීතය "අම්මාවරුනේ" ඉතින් අපෙ තාත්තා නන්දා මාලනීගෙ සිංග් ලංකා ආයතනය විසින් නිපදවන ලබන හැම කැසට පටයක්ම ගෙදර අරගෙන ආවා . එයා නන්දාමාලනී මහත්මියගෙ සිංදු අහන නිසා අපිටත් ඒ සිංදුම ඇහිලාම නිකන්ම මගෙත් ප්‍රියතම ගායිකාව බවට එතුමිය පත් උනා. ඔය සින්දු සෙරම මට කට පාඩම්.

    … "සත්‍යයේ ගීතය" ප්‍රසංගයෙන් පස්සෙ ඒ කැසට් යුගලය ඊට පස්සෙ "යාත්‍රා" කැසට් එක ඊටත් පස්සෙ "පවන" කැසට් යුගලය මට හොඳට්ම මතක ගීත එකතුවක් මට හිතෙන්නෙ ඊට පස්සෙ ඇය නව පරපුරෙ ගීත්‍රච්කයන්ට තැන දීලා "අරලිය ලන්දට" කියලා ඇල්බමයක් කලා එතනින් ඔබ්බට නන්දා මාලනීගෙ ගීත වල වෙනසක් උනා කියලයි මට හිතෙන්නෙ.

    …මම මුලින්ම හිතුවෙ "ස්වෙත රාත්‍රිය" කියන්නෙ "සත්‍යයේ ගීතය" නැත්නම් "පවන" වගෙ අලුත්ම ගීත එකතුවක් කියලා ඒත් මෙක නන්දා මාලනීගෙ පරන අපි රසවින්ද ගීත හොරකමක් කියලයි මට හිතෙන්නෙ. මෙක හොරකමක් කියන්නෙ කවදා හරි දවසක මෙ ගීතවල අයිතිය ME කියන ලෙබලයට ආවට පස්සෙ.

    …"ස්වෙත රාත්‍රිය" පටන් ගත්තාට පස්සෙ ඇය ජාතික රූපවාහිනියට ගෙන්න ගන්න බැරිවෙලා තියනවා. මෙ පේලිය අතුරු කතාවක් විතරයි.

    …කොහොම කියුවත් මගෙ ප්‍රියතම මගෙ ප්‍රියතම ගායිකාව ඇය.
    …ඔබෙ පැල
    …පැලෙ පිල
    …පිලෙ නිදි පැදුර මත
    …මට මගෙ මල් යහන
    …මත නොමැති සුවය ඇත ....
    …මේ තාමත් මම් රස විඳින ගීතයක් ..

    ReplyDelete
    Replies
    1. ලොකු ජෝන්..

      ඇත්තටම "සිරස" මේ ප්‍රසංගය ඉතාම කල් යල් බලා දැවැන්ත මුදලක් ආයෝජනය කළ ඔවුන්ගේ එක මාර්කටිං වැඩක් බව පේනවා. එයින් බාහිරව බැලුවොත් නූතන ගිත රසිකයාට හොඳ වින්දනීය අවස්ථාවක් ලබා දිමත් යහපත් ගීතය සහ සංගිතයක් වෙනුවෙන් ඔවුන් කැපවන බවකුත් පිළිබිඹු වෙනවා.

      කොහොම වුණත් ඔවුන් මේවගේ දැවැන්ත ආයෝජනයක් කරන්නේ අර අපි කතාවට කියන විදියට "මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයිනේ" ඒක මෙතැනටත් ගැලපිය හැකියි.

      මට හිතෙන හැයිට ඔවුන් මේ ස්වේත රාත්‍රිය ප්‍රසංගය අවසානයේදී නන්දා මාලනියගේ නැවුම් ගී නිර්මාණ එකතුවක් හෝ මේ ප්‍රසංගය "රූසර " තැටියක් ලෙස එලිදැක්වීමේ බලාපොරොත්තුවක් තියෙන බවත් පේනවා.

      නන්දා මාලනියගේ මුල්ම ගිත එකතුවේ සිට මේ දක්වා කල සියළුම ගීත ඇල්බම් මා සතුව තියෙනවා. මතු දවසක කොටස් වශයෙන් ඇයගේ ගීතයේ ගමන් මග පිළිබඳව පියවරෙන් පියවර කොටස් 25 -30 කින් විතර ලියන්නත් හිතේ අදහසක් තියෙනවා. එවිට ඇය සහ ඇගේ නිර්මාණ භූමිකාව පිළිබඳවත් ඇගේ ගමන් මග වෙනස් වුණානම් ඒ වෙනස ගැනත් අපි පුළුල් සංවාදයක් ගොඩනගා මීට වඩා පුළුල්ව කතා කරමු.

      මේ ගී ප්‍රසංගය තනිකරම ඇගේ අතිශය ජනප්‍රිය වූ සුනිල් ආරියරත්නයන් ලියූ ගිතයි.

      හැමදාම වගේ ඇවිත් මේ අගනා සටහන තබන්නට තරම් කාරුණික වී ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන් කළාටත් ස්තූතියි ලොකු ජෝන් ඔබට.

      Delete
  4. නන්දා මාලනියන්ගේ සිංදු ඕනම වෙලාවක එක වගේ රස විදින්න පුළුවන්.. ඒ අතරින් මම ඇගේ වඩාත්ම කැමති සිංදුව තමයි "කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී" සිංදුව.. ආදරේ විරහ වේදනාව මනාවට ඒ ගීතයේ තියෙනවා..

    ඇය අභියෝග ජයගත් තැනැත්තියක් වගේම නිර්භයව ප්‍රශ්ණ වලට මුහුන දුන් තැනැත්තියක්.. මම අහලා තියෙන විදිහට ඔය ධර්මද්වීපය එතකොට යදමින් බැද වහේ ගීත නිසා ඈ නොයෙක් ප්‍රශ්ණ වලට මූණ දුන්නා කියලා..

    ඔබයි රම්‍ය සද කිරණ.. හිත සැනසිල්ලට පත් කරන සිංදුවක්..

    ReplyDelete
    Replies
    1. දාන්ෂ්..

      මේ ප්‍රසංගය පුරාම ගැයෙන්නෙ සුපිරිම ගිත එකතුවක්. ඒ ගීමාලාවට කොය්තරම් සිත ඇද බඅඳගන්නවද කිව්වොත් ප්‍රසංගයේි කාලය පැය දෙකක් ගතවුණාද කියන එකත් සැකයි. ඒ තරමට මිහිරිම ගී එකතුවක්.

      ඔබයි රම්‍ය සද කිරණ මේ ප්‍රසංගයේ නිමා කරන ගීය. ඇය මේ ගීය ගයනවා දැනුනාම හිතිට දැනෙන්නේ කියන්න බැරි හැඟීමක්.

      දිනේෂ්..හැමදාම වගේ ඇවිත් මේ අගනා සටහන තබන්නට තරම් කාරුණික වී ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන් කළාටත් ස්තූතියි ඔබට.

      Delete
  5. මේ ලිපිය කියවීමෙන් ප්‍රසංගයට සහභාගීවූවාක් වැනි හැඟීමක් ඇතිවූවා. ඉතාම අලංකාරව ගලපා තියෙනවා. මීගමු ජනතාව රසවිඳින්නෙ කසිකබල් ගීත යන චෝදනාව දුරු වෙනවා මෙවැනි ප්‍රසංගයට රැස්වූ ජනතාව පිළිබඳ විස්තරය අහපුවාම. මම දන්න විදිහට ඔය ශාලාව ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති විශාල ශාලාවක්.

    නන්දා මාලනියගේ මම නොඅහපු ගීතත් මේ ලිපියෙ තිබුනා. ගීත ගැන ලිපි ලියනකොට එහි රචකයාට ඔබ විශේෂ තැනක්බව පේනවා. ඔබත් රචකයෙක් නිසාද?

    ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. හරී..

      ඇත්තටම මට ඕනෙ වුනේ මම ප්‍රියකරන මගේ ප්‍රියතම ගායිකාව ගැන වෙනත් මානයකින් ලියන්න. වෙදා ලියන රටාවෙන් ටිකක් බැහැර වුනේ ඒ නිසයි.

      ඇත්තටම මමත් හිතාවෙ නෑ මේ ප්‍රසංගය බලන්න ඒතරම් රසික උනන්දුවක් ඇතිවෙයි කියල. ඒ උනන්දුව දැක්කේ ප්‍රසංගයට සතියකට කලින් ප්‍රවේශපත් දාපු දවසේ පැය කීපයකින් සියල්ල අවසන් වීම කිසිවෙක් අපේඛා නොකළ දෙයක්.

      ඇතිතටම මම ගිත ගැන ලියනකොට ගීත රචකයාටත් ඇතැම් විට සංගිත නිර්මාණකරුවාට ව‍ගේම වාද්‍ය ශිල්පින්ටත් වැදත් තැනක් දෙන්න හැම විටම උත්සාහ කරනවා. මොකද ඒ අය නිතරම ඉන්නේ "තිරය පිටුපස" පිරිසක් විදියටයි. ඇතැම් වෙලාවට ඔවුන් ගැන මාධ්‍යයෙන් පවා සඳහන් නොවන තරම්. ඒවගේ වෙලාවක මම ඇතැම් දේවල් දැන දැනත් නොලියා ඉන්න එක අසාධාරනයක් කියල මගේ හිත මටම කියනවා ඒකයි එහෙම විශේෂ තැනක් වෙන්නේ.

      හැමදාම වගේ ඇවිත් මේ අගනා සටහන තබන්නට තරම් කාරුණික වී ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන් කළාටත් ස්තූතියි හරී.. ඔබට.

      Delete
  6. මට තාමත් "ස්වේත රාත්‍රිය" නරඹන්නට නොහැකි උනා. ඔබගේ ලිපිය ඒ ආසාව තවත් වැඩි කලා .
    …නන්දා මාලිනිය මාත් ඉතා ගරු කරන ආදරය කරන ගායිකාවක් .

    …ඔබගේ රසවත් විස්තරාත්මක ලිපියට බොහොම ස්තූතියි .

    ReplyDelete
    Replies
    1. ගිම්හානි..

      මේ ස්වේත රාත්‍රිය තව ප්‍රසංගවාර 04 ක් ඉතිරිව තියෙනවා. ඒ අනුව කළුතර, ගම්පහ, කොළඹ තමයි අවසන් ප්‍රසංග 04 තියන්න සූදානම් කර තියෙන්නෙ. ජූලි ප්‍රංගය ගම්පහ බණ්බාරනායක විද්‍යාලයෙත්, අවසාන ප්‍රංගය සැප්තැම්බර් මස කොළඹ දීත් තියෙනවා.ලැබුනොත් නොවරදවාම බලන්න මේක ඉතාමත් විරල අත්දැකීමක් වනු නොඅනුමානයි.

      ඔබේ මේ අගනා සටහන තබන්නට තරම් කාරුණික වී ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන් කළාටත් ස්තූතියි ගිම්හානින ඔබට.

      Delete
    2. අනිවර්යෙන් යනවා කොලඹ ප්‍රසංගය බලන්න . ස්තූතියි දැනුවත් කලාට .

      Delete
  7. //කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී

    ඒ සිංදුව දවසක් මට අහම්ඹෙන් ටීවී එකේ යද්දී අහන්න ලැබුනා. පස්සේ ඒක ආයෙම අහන්න net එකේ search කරන්න ගොඩක් අමාරුවුණා. ඒත් අන්තිමට හම්බවුණා. මං එදා දැන ගෙන හිටියේ නෑ මේ සිංදුව කියන්නේ නන්දා මාලිනී මහත්මිය කියලා.

    කොහොම වුනත් මේ අපූරු විස්තරේට ගොඩක්ම ස්තූතී.

    ReplyDelete
    Replies
    1. නෙත්පානි..
      නන්දා මාලනියගේ හැම ප්‍රේම ගියකම තියෙන්නෙ විරහවේ දුක්බර පුවතක්. හිතට සමීප ගීත වෙන්නෙ
      ඒ නිසා.
      ඔබේ මේ අගනා සටහන තබන්නට ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන් කළාටත් ස්තූතියි .

      Delete
  8. මටත් හරීට වගේ ප්‍රසංගය නැරඹුවා වැනි සැනසුමක් දැනුනා..ඒ ඔබේ රචනා ශෛලිය නිසා වෙන්නැති. හරිම අපූරුයි. දිගටම මෙවන් ගී ගැන ලියන්න සුභ පැතුම්.

    නන්දා මාලිනියගේ මම ආසම ගීය නම් “පිපුණු මලේ රුව එමල දනීදෝ“ ගීය හා “අරලිය ලන්දට ගීයයි.
    ඇගේ මේ විරෝධාකල්ප ගී වලට උඩගෙඩි දෙන්නේ සුනිල් ආරියරත්නයන් බව නම් පැහැදිලියි..මෙවන් අපූරු ගායක-රචක සුසංයෝගය මම දුටුවේ වික්ටර්-ප්‍රේමකීර්ති තුලින් පමණයි.

    ReplyDelete
    Replies
    1. රූ..

      නන්දා මාලනිය මගේ ප්‍රියතම ගායිකාව නිසා වෙනස් ආකාරයෙන් සටහනක් තබන්න ඕනෑකම මටත් තිබුණා. ඒ නිසාම ස්වේත රාත්‍රිය පිළිබඳව වෙනම ආකාරයකින් ලිව්වා.
      ඇත්තටම මේ ප්‍රසංගය සුනිල් ආරියරත්න මහතාගේ ගීවලට පමණක් සීමා වූ නිසා ඇයගේ තවත් හොඳ ගී ගණනාවක්ම මග හැරී තිබුණා.

      ඔබ නම් විරෝධාකල්ප ගීවලට එතරම් ප්‍රිය කරන්නෙ නැහැ වගේ . එත් මම නම් ඇයගේ විරෝධාකල්ප ගීවලට දක්වන්නේ දැඩි ගිජු කමක්. එයට හේතුවකුත් තියෙනවා. ලංකාවෙ විරෝධාකල්ප ගී ගැයුවෙ කපුගේත් නන්දාත් පමණයි. හැබැයි ඒ දෙන්නාට පුළුවන් වුණා රටේ සුවහසක් ජනතාවගේ චින්තනය නැවුම් දිශාවන්ට හරවන්න. ඒතරම්ම ඒ හඬ දෙකම ඉතාමත් ප්‍රබලයි. උදාහරණයක් කියනවනම් ඕනෑම ආණ්ඩුවක් දන්නවා මේ හඬට ජනතා චින්තනය වෙනස් කරන්න හැකි බව . ඒක ආණ්ඩුවකට දැඩි අභියෝගයක්. ගායාකාවක් හැටියට ඒවැනි මතයක් අපේ රටේ ඇතිකරන්න පුළුවන් වීමම ඇගේ විරෝධාකල්ප ගීවල ින් පේනවා මං ඒකට කැමතියි.

      ඔබේ මේ අගනා සටහන තබන්නට අගනා කාලයෙන් බිඳක් වෙන් කළාටත් ස්තූතියි රූ..

      Delete
  9. මමත් බැලුවා..කියන්න වචන නෑ..ඒත් මේ තියෙන්නේ වචන වලට පෙරලලා...

    ReplyDelete
    Replies
    1. රාජිත අනුරාධ...
      ඔබේ පැමිණිම සාදරයෙන් පිළිගන්නවා.
      ඇත්තටම ප්‍රසංග කලාවේ නව නැම්මක් "ස්වේත රාත්‍රිය" කියන්නේ.
      ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන් කළාටත් ස්තූතියි ඔබට

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. නන්දා මාලිනීගේ මුල් යුගයේ ගීත බොහෝ සෙයින්ම උසස් මට්ටමේ ඒව. විශේෂයෙන්ම නන්දා-සුනිල් සුසංයෝගයෙන් බිහිවූ ඒව ගැනයි මෙතන කතා කෙරෙන්නෙ. සුනිල් ආරියරත්නයන්ගෙ ගී මල් හට ගැන්ම අසූව දශකයේ මැදක් වන තුරුම විශිෂ්ඨයි. සම්භාව්‍ය සාහිත්‍යයේ ඇසුර මුල් කාලයේ ප්‍රේම ගීත වල දක්නට ලැබෙන භාෂාවේ උපමා හා වචන තුළ දකින්නට පුඵවන්.
    ඒත් මෑත යුගය වන විට සුනිල්ගෙන් හොඳ ගීත බිහිවෙන්නෙ නෑ. ඔහුගෙ ඵල හට ගැන්ම අවසානය කරා පැමිණිලා විය යුතුයි. එනිසා පැරැණි ගීතම විකිණිමට සිදුවෙලා තියෙනව අලුත් විදියේ අර්ථ කතන සමග. ශ්වේත රාත්‍රියත් එවැනි පරිශ්‍රමයක්. ඒත් මේ ගීත රස විඳින්නන්ට උපරිමව ඒව රස විඳිය හැකියි.

    එහෙත් ගීය තුළින් සිදුවිය යුතු සමාජ මෙහෙවර සම්බන්ධයෙන් මට සුනිල් හෝ නන්දා සම්බන්ධයෙන් සුපසන් හැඟීමක් මේ වන විට නොවන විදියේ මා තුළ මෙන්ම සමාජ විවේචනයක් තියෙනව. ‍බොහෝ විට මේ දෙදෙනාගේ සමාජ මෙහෙවර යන්න පදනම් වෙලා තියෙන්නෙ ඉල්ලුම පවතින වෙලාවට වෙළඳපොළට භාණ්ඩ සැපයීම වැන්නක් විය යුතුයි. ‍එය හුදෙක්ම දේශපාලනිකයි. ඒත් මෙතනට අවශ්‍ය නැති නිසා ඒ ගැන කතා කිරීම අනවශ්‍යයි. ඒ පිළිබඳ මා මෑතක කියවූ ලිපියකට සබැඳියක් පහත තියෙනව.

    http://www.paparasinews.com/2012/05/blog-post_08.html

    කොහොම වුණත් නන්දා - සුනිල් සුසංයෝග‍යෙන් සිංහල ගීත සාහිත්‍යයට සිදුවූ සේවය විශිෂ්ඨයි. මේ ගීත සියල්ල කවදත් රස විඳින්න පුඵවන්. සුනිල් ආරියරත්නයන් ලියා නන්දා මාලිනී ගයන මෙහිද උපුටා දක්වා ඇති සහ නැති ප්‍රේම ගීත රාශියක් තියෙන සිංහල ගීතයේ අලුත්ම ඉසව් ස්පර්ශ කරපු. ඒ සියල්ල සැමදා සිංහල ගීත රසිකයන්ට තව බොහෝ කාලයක් වින්දනයක් ලබා දෙයි.

    ReplyDelete
    Replies
    1. @.. OutSider..
      මුල් යුගයේ සුනිල් ආරියරත්නයන් අතින් මනරම් ගී ලියැවුණා. මගේ මතකය හැටියට එතුමාගේ නන්දා ගැයූ අවසන්වරට ජනප්‍රිය වූ ගිතය වුනේ. විසිතුරුය රෑ අහස ගීයත් ටජ් මහල් ප්‍රේම වෘත්තාන්තය ගැන ලියැවුන ගියත් පමණයි. ඒ හැරුනු විට මා ඉහත දක්වා ඇති" මා සඳට කැමති බව" ගීයත් ජනප්‍රිය වුණා.
      ඊට පස්සේ වෙනත් ශිල්පින් සඳහා ඔහු ලියූ
      "අනේ සර් - ජානක වික්‍රමසිංහ, ඔහොම බලන්නෙපා - බුලේගොඩ, ඔබ තෙමෙයි- එඩ්වඩ්,වගේ ගිත නොලියුවත් හොඳයි කියලා හිතෙන ඒවා.

      නූතන පරපුරට නන්දාගේ ස්වේත රාත්‍රිය නැවුම් අත්දැකීමක් ඒ ගැන කිසිඳු තරක්යක් නැහැ. මොකද අද ඉන්න පරපුර නන්දාගේ ඒ මනරම් ගීත අහලා නැති නිසා.

      ඔබ සඳහන් කළා වගේම අතීතයේ සිදුවුනේ ‍ඉල්ලුමට සැපයුම වැනි න්‍යායක නිර්මාණ කියලයි මටත්
      හිතෙන්නේ.විශේෂයෙන්ම පවන වගේ ප්‍රසංග ඊට හොඳ නිදසුනක්. හැබැයි ඒ දේශපාලන මතය වර්තමානයටත් තිබුණනම් හොඳයි කියල හිතෙනවා.

      වෙනදා වගේම අලුත් මානයක සිට ඉතාමත් විචාර ශීලිව ඔබේ මේ අගනා සටහන තබන්නට තරම් කාරුණික වී ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන් කළාටත් ස්තූතියි ඔබට...

      Delete
  12. නන්දා මාලනිය කියන්නේ මම හුගක් ආස කරන ගරු කරන ගායිකාවක්..අනේ මාත් ස්වෙත් රාත්‍රිය කොලබ තියන දවසක බලන්න යන්න ආසාවෙන් හිටියා..එත් මට යන්න උනේ නැ...ආපහුදවසක තිබ්බොත් කොහම හරි බලන්න යනවා...මගේ අම්ම කියන විදියට අපි පොඩි කාලේ කලබල තිබුන බිශන කාලේ එතුමිය විතරලු කිසිම බයක් නැතුව සින්දු කිව්වේ,ඇවිත් කතා කලේ කියලා.ඒ කලේ ජපුර කැම්පස් එකේ පැයැ 24ම එතුමියගේ සින්දු දාලා තිබුනලු..එච්චර දිරියවන්ත කාන්තාවක්ලු...
    නන්ද - සුනිල් සුසංයෝගය නම් ඉතාම විශිෂ්ටයි..

    ReplyDelete
    Replies
    1. හිරු..
      මේ ස්වේත රාත්‍රිය තව ප්‍රසංගවාර 04 ක් ඉතිරිව තියෙනවා. ඒ අනුව කළුතර, ගම්පහ, කොළඹ තමයි අවසන් ප්‍රසංග 04 තියන්න සූදානම් කර තියෙන්නෙ. ජූලි ප්‍රංගය ගම්පහ බණ්බාරනායක විද්‍යාලයෙත්, අවසාන ප්‍රංගය සැප්තැම්බර් මස මුල් සතියේ කොළඹ දීත් තියෙනවා.ලැබුනොත් නොවරදවාම බලන්න මේක ඉතාමත් විරල අත්දැකීමක් .

      ඔබේ මේ අගනා සටහන තබන්නට අගනා කාලයෙන් බිඳක් වෙන් කළාට හිරු ඔබට ස්තූතියි

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. ජීවිතයේදී ලබන්න පුලුවන් සුන්දරම අත්දැකීම් වලින් එකක්..

    අපගේ විශාරද නන්දා මාලිනි මහත්මියගේ . ස්වේත රාත්‍රියේ නම් වූ ඒ සොදුරු අත්දැකීම විඳ ගන්න තරම් මමත් එක වරක් පින් කරල තිබුන..

    ජීවිතයේ තවත් වරක් ඒ සොඳුරු අත්දැකීම විදගන්න ලැබෙයි කියල මම ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නව..

    ඔබට ගොඩක් පින් මේ වගේ වැදගත් ලිපියක් අපිත් එක්ක බෙදා ගත්තට

    ReplyDelete
    Replies
    1. චතුවී..
      අපි කට්ටියම අවසන් ප්‍රසංගය බලමු සැප්තැම්බර් මාසයේ. මාත් අවසන් ප්‍රසංගය නම් බලන්න දැන් ඉඳලම සූදානමින් ඉන්නේ.

      ඔබේ මේ අගනා සටහන තබන්නට අගනා කාලයෙන් බිඳක් වෙන් කළාටත් ස්තූතියි

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. එළ.. අනිවාර්යයෙන්ම දයානන්ද මහත්තයෝ.. ඒ වෙනකොට ලංකාවේ හිටියොත් අනිවාර්යයෙන්ම බලනවා.. සහබාගී වෙන්න අවස්ථාවක් ලැබෙයි කියල මම බලාගෙන ඉන්නව..

      Delete
  15. මම හැමදාම කියනවා වගේ මගේ ප්‍රියතම මහාචාර්යවරයා තුළ ඉන්න මේ සුන්දර මිනිසාගෙ අදහස් අදහන්න බැරි තරම් සුන්දරයි. නන්දා මාලිනියගේ හඬ හා එකතු වුණ මේ ගීත සදා අමරණීයයයි. සුනිල් සර් ගෙ ගීත වලට ඇය තරම් සාධාරණත්වයක් ඉශ්ට කළ වෙනත් ගායිකාවක් නොමැති තරම්.

    හැමදාම ඇහුවත් හැමදාම ඇස් වලට කඳුලු ගේන මේ ගීත වලට මේ වගේ අර්ථයක් දීම ගැන දයානන්ද අයියේ, පින්

    ReplyDelete
    Replies
    1. සිඳු..

      ඇත්තටම නන්දා - සුනිල් සුසංයෝගය මියුරුතම ගී රැසක් ගිත සාහිත්‍යයට බිහිකළා. සම්භාව්‍ය
      සාහිත්‍යයේ විශිෂ්ඨතම මියුරු ඵලයක්.
      ඔබේ මේ අගනා සටහන තබන්නට අගනා කාලයෙන් බිඳක් වෙන් කළාටත් ස්තූතියි සිඳූ ඔබටත්..

      Delete
  16. එතුමියගේ 'තරුද නිදන මහ රෑ' ගිතය තරම් මහද සනසන තව ගීයක් නොමැති තරම්!
    සිරස මීට කලකට කලිනුත් මියැසි තටාකය නමින් මේ ආකාරයේම වැඩසටහන පෙලක් සංවිධානය කලා! එය දරුණු විදිහට රසිකයින් වැලඳ ගත්තා! සිරසේ සාම්ප්‍රදායික වාණිජ පරමාර්ථයෙන් ඔබ්බට ගිහින් කරපු දෙයක් විදිහටයි මං දැක්කේ! දරුණු චෝදනා තිබුනත් පෞද්ගලික ගුවන් විදුලි නාලිකා අතරින් කලාකරුවාට දෙයක් කලානම් ඒ සිරස විතරයි මං හිතන්නේ! මෑත කාලයේ කතෘ භාග ගෙවීමත් නැවත ඔවුන් ඇරඹුවද කොහෙද! (තාම ක්‍රියාත්මක වෙනවද දන්නේ නෑ)..

    ReplyDelete
    Replies
    1. කතෘ භාගනම් ගෙව්වා ඊට වඩා දෙයක් කලාකරුවන්ගෙන් ගත්තා. ගත්ත අය දැන් සද්ද නෑ

      Delete
    2. සබිත්..
      වාණිජ පරමාර්ථයක් තිබුණත් වඩාත් යහපත් කලාවක් වෙනුවෙන් මාධ්‍ය ආයතනයක් මේ යුගයේ පෙනී සිටීමම වැදගත්.
      හැබැයි ඔවුන් ශිල්පිය කර්තෘ භාග ගෙවන්න ඉදිරිපත් වුණා.ඒක හොඳ දෙයක් යම් යම් මුදල් ප්‍රමාණයන් ගෙවූ බවත් වාර්තා වුනා. ඊට අමතරව බොහෝ ප්‍රවීණ ශිල්පින් ගෙන් ආයතනය වැඩ ගත්තා හැබැයි ඒ
      ශිල්පීය ගෙවිම වෙනත් මාධ්‍ය ආයතන නොකරන නිසා ඒ ආයතනය ඔවුන්ගෙන ප්‍රයෝජනය ගන්නවා.

      ඔබේ මේ අගනා සටහන තබන්නට අගනා කාලයෙන් බිඳක් වෙන් කළාට ස්තූතියි සබිත්..

      Delete
  17. ඔබේ සටහනත් හරියට සිත්තරෙක් සැඳෑ අහස දෙස බලාගෙන කල සිත්තමක් වගේ. 'ස්වේත රාත්‍රිය' කියවාත් එක්කම් මතකයට එන්නේ අඳුර මැදින් තමන්ගේ සොමි රැස් විහිදා, ලෝකය ආලෝකවත් කරමින් හිනැහෙන සඳ කුමරියයි. මොහොතකට අපේ සිත් තුල අඳුර දුරු කරන මේ ගායිකාවගේ ප්‍රසංගයකටම ඔබින නම.

    නන්දා මාලිනී කියන්නෙ මාත් ආසා කරන ගායිකාවක්. ඔබගේ ලැයිස්තුවේ සෑම ගීතයක්ම අසා නැති මුත්, ඉන් සමහරක් මගේ ප්‍රියතම ගීත. 'තරුද නිදන මහ රෑ' එක්තරා විදියක පර්යේෂණාත්මක ගීයක් හැටියට දැනෙන්නේ නන්දා මාලිනී ගයන ගී වල තනුවට වඩා වෙනස් විදිහක තනුවක් එයි තිබෙන හන්දා වෙන්ට ඇති.

    //මා සඳට කැමති බව දැන ගෙන
    ඔබ සඳ අයින් කළා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කළා නටුවෙන්//

    මෙවන් ගී පද මිමිනීමට ඇත්නම්, ගීයක් ගයනුයේ කුමටද? :)

    ReplyDelete
    Replies
    1. පොඩි....

      නන්දා මාලනියගේ ගැයුම් කෙරෙහි මගේ හිතේ තිබුණ ගෞරවය නිසාම තමයි වෙනස් ආකාරයකට ලියන්න කල්පනා කළේ. ඒ ලියපු ආකාරය රසවත් බවක් තියෙනවා කියලා කිව්වාම මටත් පුංචි සතුටක් දැනෙනවා. ඇත්තටම මේ ලිපියේ සඳහන් නොකළත් ස්වේත රාත්‍රිය ප්‍රසංගයේ ආලෝක කරණය සහ වේදිකා අලංකරණය පවා රාත්‍රියට ගැලපෙන්න නිර්මාණය කරලා තිබුණේ.

      මුලු වේදිකාවම කළු වර්ණයෙන් වූ පසුතලයක් සහ සුදු රේඛා දෙකක් නිරුපණය වන සඳරේඛාවක්, සියළුම වාද්‍ය ශිල්පින්ගේ ඇඳුම පවා කළු වර්ණයෙන් . නන්දා මාලනියගේ සුදු සාරියත්, වේදිකාව මත වූ සුදු පැහැති සඳ රේඛා දෙකත් ස්වේත රාත්‍රිය අලංකාර කලේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්මයි.

      තරුද නිදන මහ රෑ ගීය පර්යේෂණ ගියක් ඒක රූපවාහිනී "සංඛ පද්ම" වැඩසටහනට අසූව
      දශකයේ අග කළ නිර්මාණයක්. ඒ වැඩසටහනම පර්යේෂණාත්මක සංගිත වැඩසටහනක් නේ.

      මා සඳට කැමති බව දැන ගෙන
      ඔබ සඳ අයින් කළා අහසින්
      මා මලට කැමති බව දැනගෙන
      ඔබ මල අයින් කළා නටුවෙන්

      මේ ගිතය නම් මෑතකදී ගැයුණු මුළුමනින්ම පරිගණක සංගිතය යෙදූ ගීයක්.

      පොඩී.. ඔබ වෙනදා වගේම අලුත් මානයක සිට ඉතාමත් විචාර ශීලිව ඔබේ මේ අගනා සටහන තබන්නට තරම් කාරුණික වී ඔබේ අගනා කාලයෙන් බිඳක් වෙන් කළාටත් බෙහෙවින්ම ස්තූතියි ඔබට...

      Delete
    2. "මුලු වේදිකාවම කළු වර්ණයෙන් වූ පසුතලයක් සහ සුදු රේඛා දෙකක් නිරුපණය වන සඳරේඛාවක්, සියළුම වාද්‍ය ශිල්පින්ගේ ඇඳුම පවා කළු වර්ණයෙන් . නන්දා මාලනියගේ සුදු සාරියත්, වේදිකාව මත වූ සුදු පැහැති සඳ රේඛා දෙකත් ස්වේත රාත්‍රිය අලංකාර කලේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්මයි."

      මෙන්න තවත් විස්තර.. වේදිකාව මට මැවිලා පෙනුනා.. දැන්නම් ඇත්තටම ප්‍රසංගය බලන්න ගියා වගේ හැඟීමක් තමා එන්නෙ

      Delete
  18. නන්දා මාලනී ගයන මම ආසම ගීයක් තමයි
    “රන් කෙන්දෙන් බැද“

    ReplyDelete
  19. අදමයි ආවෙ මේ පැත්තට..දැන් ඉතින් දිගටම එන්න බැරියෑ....

    ReplyDelete
    Replies
    1. තරූ....

      ඔබේ පැමිණීම මහත් සතුටක්. ඒවගේම ඔබ සතුටින් පිලිගන්නව ස්වැන්න ට මගේ අතින් නම් ලියැවෙන්නෙ සෞන්දර්යාත්මක දේවග් ගැන තමයි. එක අතකින් වින්දනිය ඉසව්වක් කිව්වොත් නිවැරදියි.
      අපි මතු දවසකත් අහමු නන්දා මාලනියගේ තවත් මියුරු ගී ටිකක්
      ඔබේ මේ අගනා සටහන තබන්නට කාලයෙන් බිඳක් වෙන් කළාටතරූ.. ස්තූතියි ඔබට...

      Delete
  20. You have done a good job Rathi. I too had the opportunity to view this show on this day. I really enjoyed it. Keep up the good work. All the best.

    ReplyDelete
    Replies
    1. @..RUBY
      Thank you very much for your valuable comment & I'm very happy it .

      Delete
  21. අයියෝ.. මෙච්චර කල් මේ බ්ලොග් එක මඟ හැරුනේ කෝමද?

    ReplyDelete
    Replies
    1. අභීත..

      ඇත්තටම මටත් ඔබේ නම කමෙන්ට්ස් අතර කියවලා හමුවුනත් මොකක්ද අඩවිය කියල හොයන්න හිතාගෙන
      හිටියත් වෙලාවක් තිබුණෙ නෑ. දැන්නම් ඒකට පහසුයි.

      ඔබේ මේ අගනා සටහන තබන්නට කාලයෙන් බිඳක් වෙන් කළාට අභීත ස්තූතියි ඔබට...

      Delete
  22. බලා ඉන්න මහා පෙරහැර සිදාදියට මං ගිය කල ගීතය මාර අසාවෙන් ඇහුවේ!එත් මගේ පෞද්ගලික මතය විරෝධාකල්පි ස්වරයෙන් ගයන ගීත වලට නන්ද මාලනියන්ගේ හඬ නොගැලපෙන බවයි!එත් ඉතුරු ප්‍රසංග 4න් 1ක් වත් බලන්න ඕන.ලංකාවේ කොහේ තිබුනත්!

    ReplyDelete
    Replies
    1. නුවන්..
      ඇයගේ විරෝධාකල්ප ගීවලට දක්වන්නේ බලවත් ආශාවක්. එයට හේතුවකුත් තියෙනවා. ලංකාවෙ විරෝධාකල්ප ගී ගැයුවෙ කපුගේත් නන්දාත් පමණයි. හැබැයි ඒ දෙන්නාට පුළුවන් වුණා රටේ සුවහසක් ජනතාවගේ චින්තනය නැවුම් දිශාවන්ට හරවන්න. ඒතරම්ම ඒ හඬ දෙකම ඉතාමත් ප්‍රබලයි. උදාහරණයක් කියනවනම් ඕනෑම ආණ්ඩුවක් දන්නවා මේ හඬට ජනතා චින්තනය වෙනස් කරන්න හැකි බව . ඒක ආණ්ඩුවකට දැඩි අභියෝගයක්. ගායාකාවක් හැටියට ඒවැනි මතයක් අපේ රටේ ඇතිකරන්න පුළුවන් වීමම ඇගේ විරෝධාකල්ප ගීවලින් පේනවා මං ඒකට කැමතියි.

      ස්වේත රාත්‍රිය තව ප්‍රසංගවාර 04 ක් ඉතිරිව තියෙනවා. ඒ අනුව කළුතර, ගම්පහ, කොළඹ තමයි අවසන් ප්‍රසංග 04 තියන්න සූදානම් කර තියෙන්නෙ. ජූලි ප්‍රංගය ගම්පහ බණ්බාරනායක විද්‍යාලයෙත්, අවසාන ප්‍රංගය සැප්තැම්බර් මස මුල් සතියේ කොළඹ දීත් තියෙනවා.මමත් අන්තිම ප්‍රසංගය බලන්න සූදානමින් ඉන්නේ

      ඔබේ මේ අගනා සටහන තබන්නට කාලයෙන් බිඳක් වෙන් කළාට නුවන්..ස්තූතියි ඔබට

      Delete
  23. බොහොම පෞරුෂයක් ඇති හඬක්. මම හිතන විදියට ලංකාවේ ගායිකාවන්ගෙන් වැඩි ම පෞරුෂයක් සහිත හඬ ඇගෙයි.හැබැයි මටත් හිතෙන්නේ විරෝධාකල්පි ගීත වලට ඇයගේ ගායන ශෛලිය ගැළපෙන්නේ නැහැ.

    බොහොම ආසාවෙන් හිටියේ ශ්වේත රාත්‍රිය ප්‍රසංගයක් නරඹන්න. පොස්ට් එක කියවද්දී සංවේදී වුණු තරමට ඇස් වලට කඳුළුත් ආවා.. ගාල්ලේ එකක් තිබුණොත් අනිවා බලනවා. යන්න පුළුවන් වෙන තැනක තිබුණත් එහෙම ම තමයි!!

    //කතා නැතුව හිටියත් ගොලු වෙලා අපී
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී.//

    අති විශිෂ්ටයි!!

    ReplyDelete
    Replies
    1. රැංගෝ..

      ඔය උඩින් නුවන්ට ලියල තියෙන ටිකම ඔබටත් අදාලයි. ඒ නිසා එික කියවගන්න.

      ඔබේ මේ අගනා සටහන තබන්නට කාලයෙන් බිඳක් වෙන් කළාට රැංගෝ..ස්තූතියි ඔබට

      Delete
  24. අනේ මට අන්තිම ප්‍රස'ගයවත් බලන්න ලැබුණොත් ඒක මගේ වාසනාවක්...සැප්තැම්බර් එන්න ඉන්නෙ මමත් ලංකාවට....

    මේ හඩට කොයිතරම් ඇලුම් කරනවද කිවුවොත් මම අද කාලෙ ඉන්න ගායිකාවන් අඳුරන්නෙම නැති තරම්....කොයිතරම් ඇහුවත් එපා වෙන්නැති ඇගේ ගීත විතරමයි මම හැමදාම අහන්නෙ...

    ReplyDelete
    Replies
    1. දිනිති..

      ලංකාවට ආවොත් අනිවාර්යයෙන්ම ෂ්වේත රාත්‍රිය බලන්න ඒ අත්දැකීමම ගිතයක් වගේ හැමදාම
      මතකයේ රැ‍ඳේවි.
      ඔබේ මේ අගනා සටහන තබන්නට කාලයෙන් බිඳක් වෙන් කළාට දිනිති ස්තූතියි ඔබට...

      Delete
  25. නන්දා මාළනියගේ ප්‍රස0ගයක් සජීවිව බලන්නට මගෙ ලොකු ආශාවක් තිබුනත් තවම ඒක ඉටුවී නෑ. සරසවි සමයේ අප බැච් එක ස0විධානය කළ ගීප්‍රස0ගයකට නනදා මාලනියට ඇරයුම් කිරීමට අප නොගත් වෙහෙසක් නෑ. නමුත් ඇය දිගටම කියා සිටියේ විශ්වවිද්‍යාලීය ප්‍රස0ගවලට සහභාගි නොවීමට ඇය තීරනය කල ඇති බවයි.අප සිත නොරිදෙන ලෙස ඊට කරුණු පහදන්න තරම් ඇය නිහතමානී වුනා.ඇයට තියෙන කටහඩට සමකල හැක්කෙකු නම් මේවනතුරු බිහිව නෑ

    ReplyDelete
    Replies
    1. තොටියා..
      ඇත්ත ඇයගේ ගියක් ඇහෙන ඇහෙන වාරයක් පාසා සිතුවිලි අලුත් වෙනවා.අනෙක් අතට ඇත ඉතාමත්
      ප්‍රතිපත්ති ගරුක ගායිකාවක්.

      ලදොත් මේ ප්‍රසංගය අවිවේකී මොහොතක වුණත් කමක් නැහැ බලන්න.
      ඔබේ මේ අගනා සටහන තබන්නට කාලයෙන් බිඳක් වෙන් කළාට ස්තූතියි ඔබට...

      Delete
  26. අදමයි මේ බ්ලොග් එක බන්න ආවේ ,මෙච්චර දවස් එන්න නොලැබුන එක ගැන හරිම දුකයි.

    මා සඳට කැමති බව ගීතය අදතමා මට අහන්නට ලැබුනේ, සුනිල් ආරියරත්නයන්ගේ පෑන් තුඩින් ලියවෙන රචනාවන් නන්දා මාලිනියේ මිහිරි හඬින් ගීත බවට පත්වෙනවා.මෙයට සංගීතයද බෙහෙවින් උපකාරී උනත් නන්දාමාලිනියගේ මිහිරි කටහඬත් හරියටම සංගීතයක් වගේ..
    " තරුද නිදන මහ රෑ "" ගීතය මගේ ප්‍රියතම ගීතයයි, පින් තිබුනොත් කොළඹ පැවැත්වෙන " ස්වේත රාත්‍රිය" මටත් බලන්ට ලැබේවි.

    ReplyDelete
    Replies
    1. නීතා..

      ඔබ අස්වැන්නට සාදරයෙන් පිළිගන්නවා.ඔබේ පැමිණිම සතුටක්.

      මට ඔබේ නිතරම කියවන්න ලැබෙන්නෙ පොඩ්ඩිගේ බ්ලොග් එකෙන්. ඒ නිසා ඔබේ නම එහි තරක් විතර්ක මැද නිරන්තයෙන් සඳහන් වන නිසා හුරුපුරුදු කෙනෙක්.වගේම හුරුපුරුදු නමක්.

      නන්දාමාලනියගේ "මාසඳට කැමතිබව" ඇයගේ ගී අතර විශේෂ ගීතයක්. ඒ ගිය තනිකරම නිර්මාණයවෙලා තියෙන්නේ පරිගණක සංගීතයෙන්. ඒත් ඒ බව දැනෙන්නෙ නැහැ.
      අමාරුවෙන් හරි බලන්න තරම් සාර්ථක ප්‍රසංගයක් ස්වේත රාත්‍රිය.

      ඔබේ මේ අගනා සටහන තබන්නට කාලයෙන් බිඳක් වෙන් කළාට නීතා ස්තූතියි ඔබට...

      Delete
  27. ජිවිතේ එක දවසක් හෝ ඇයගේ ප්‍රසංගයක් සජීවීව නැරබීමට ගොඩාක් ආසාවෙන් ඉන්නේ. ලෙලුම් රත්නායක, නදීක ගුරුගේ වෙන්න ඕනේ ඔබ සඳහන් කරපු වාදකයෝ දෙදෙනා. මම ගොඩාක් ආසා වාදකයෝ දෙන්නෙක්.

    ReplyDelete
    Replies
    1. අසරණයා..

      ලැබුණොත් කොහොම හරි බලන්න.ලෙලුම් රත්නායක, නදීක ගුරුගේ තමයි මම ඒ සඳහන් කරපු වාදකයෝ දෙදෙනා.
      ඔබේ මේ අගනා සටහන තබන්නට කාලයෙන් බිඳක් වෙන් කළාට ස්තූතියි ඔබට..

      Delete
    2. නදික ජයවර්ධන සහ ලෙලුම් රත්නායක කරපු රෝමාන්තික හැන්දෑව ප්‍රසංගය බලලා තියෙනවද ?

      http://www.youtube.com/watch?v=CTAeuiKsuss

      Delete
  28. අසරණයා..

    ලැබුණොත් කොහොම හරි බලන්න.ලෙලුම් රත්නායක, නදීක ගුරුගේ තමයි මම ඒ සඳහන් කරපු වාදකයෝ දෙදෙනා.
    ඔබේ මේ අගනා සටහන තබන්නට කාලයෙන් බිඳක් වෙන් කළාට ස්තූතියි ඔබට..

    ReplyDelete
  29. ශ්වේත රාත්‍රිය ගැන මට තියෙන මතකය තමා දවසක් බොහොම හිතවත් යාලුවෙක් උදේම message එකක් එවලා අහනවා "කොහොමද ශ්වේත රාත්‍රිය?" කියලා.

    අප්‍රභංස වගේ නිසා මම කෝල් එකක් දීලා ඇහුවා. මොකක්ද මේ කතාව කියලා. එතකොටයි එයා කිව්වේ ඊයේ රෑ හීනෙන් මාත් එක්ක නන්දා මාලිනියන්ගේ ශ්වේත රාත්‍රිය බලනවා දැක්කයි කියලා :D

    ReplyDelete
    Replies
    1. හසිත
      ඔබ අස්වැන්නට සාදරයෙන් පිළිගන්නවා.ඔබේ පැමිණිම සතුටක්.
      ස්වේත රාත්‍රිය නම් මටත් හීනයක් වගේ.
      ඔබේ මේ අගනා සටහන තබන්නට කාලයෙන් බිඳක් වෙන් කළාට හසිත ස්තූතියි ඔබට..

      Delete
  30. අහම්බෙන් නෙත ගැටුණු පොස්ටුවක්.... සයිබරය තුල ආසවෙන්ම කියවපු එකද කියලත් හිතුනා... ගොඩක් ස්තුතියි ලින්ක් ටික දැම්මට...

    මගෙත් සිහිණයක් නන්දාමාලනී මහත්මියගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් රස විඳින එක

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මීගාඩයා..

      ඔබ අස්වැන්නට සාදරයෙන් පිළිගන්නවා.ඔබේ පැමිණිම සතුටක්.

      හැබැයි අපි දෙන්නා මූනු පොතේ හිටියාට චැට්වලට සෙට්වෙලා නැහැනේ.

      ඔබේ මේ අගනා සටහන තබන්නට කාලයෙන් බිඳක් වෙන් කළාට ස්තූතියි ඔබට.

      Delete
  31. ෂා.. නියම පෝස්ට් එකක්නෙ දාලා තියෙන්නේ. කාලෙකින් මේ පැත්තේ එන්න බැරිවුනානේ දැනුයි දැක්කේ. නියමයි අයියේ හරිම රසවත්ව ලියල තියෙනවා. නන්දා මාලනී මහත්මිය මමත් හරිම ආදරය කරන ගායිකාවක්. කියන්න ඕනදේ කිවයුත්තන්ට කෙලෙස හෝ කියපු කෙනෙක් හැටියටයි මමනම් දකින්නේ. “රට කරවන්න නම් මසුරන් නැතිව බැරී” “පානම් පත්තුවේ ඩිංගිරි අම්මාය” වැනි ගීතවලින්ම ඒක පැහැදිලියි. නියමයි හො‍දේ........

    ReplyDelete
    Replies
    1. මලී..

      මොකද මේචර කල් වුණේ..?

      පාඩම් කරනවා නේද? අපි සෙට්වෙලා අවසාන ස්වේත රාත්‍රිය බලමු.උඹ එතකල් පාඩම් කරපං. ඒක ගොඩ දාගන්න එපායැ.
      ඔබේ මේ අගනා සටහන තබන්නට කාලයෙන් බිඳක් වෙන් කළාට ස්තූතියි මලී මල්ලියේ ඔබට.

      Delete
  32. අදමය් මේ පැත්තට ගොඩ වැදුනේ..ඔබතුමාට ගොඩක් පින් මේ අත්දැකීම සුන්දර විදියට අපිට කිව්වට..මන් මේ හැම සින්දුවම අහල තියනවා..අපේ අම්ම පුදුම ආසඊ ඇයගේ ගීත වලට, ඉතින් මාත් පුංචි කාලේ ඉඳන් අපේ ගෙදර ඇහුනේ ඇගේ ගීත..අම්මනම් දෙපාරක්ම මේ ප්‍රසංගය බැලුවත්..තාම අවුරුදු 3ක් වෙච්ච මගේ දු පැටියා ගෙදර දාල යන්න බැරි නිසා මන් අම්ම කියපු විස්තර අහල හිත හදාගත්ත..ඔබතුමා ඒක තවත් ලස්සනට විස්තර කරලා නිසා මට ඒක මවා ගන්න පුළුවන් උනා....හැබය් අම්මත් කියන විදියට මේක ජීවිතේ ආඊ නොලැබෙන අවස්ථාවක්ලු.. :(

    ReplyDelete
    Replies
    1. මෙකුවි..
      ඔබේ මේ අගනා සටහන තබන්නට කාලයෙන් බිඳක් වෙන් කළාට ස්තූතියි ඔබට

      Delete
  33. කිසි කෙනෙක් මේ බ්ලොග් ඒක ගැන මට කිව්වේ නැහැ . හරිම අසාධාරණයි . පොඩ්ඩි ගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් හරහා ආවේ .

    දැන් මන් කොතනින්ද පටන් ගන්නේ .....

    ඇගේ හඬට මන් මොන තරම් ආසද කියන්න වචන සොයා ගන්න බැහැ මට . 70 දශකයේ උපන් අපගේ ජිවිත වල එක යුගයන් ගෙවුනේ ඇයගේ හඬත් සමග . පුංචි කාලේ බුද්ධනුභාවෙන ගීතය අහල දවස පටන් ගත්ත .

    යව්වනය එළිපත්තේ එක අඳුරු යුගයක ඇයගේ ගී අපේ හැඟීම් වලට පිදුරු දැම්ම . ආදරය එබිකම්කරද්දී ''හදවිලේ පෙම් ජල රේඛා ඇන්ද''

    පස්සේ කාලෙක ''කැප සුවහස් කල් පෙරුම් පුරාගෙන .....අනන්ත බාදක දුක් පිඩා විඳ..අපි අපිව සොයා ගනිද්දී ඇය අපිට සින්දු කිව්වා .

    කොච්චර හැකියාව නැතත් දුල නලවන්න ''චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන් ''ගායනා කළා මන් කොහොම හරි .

    අද ගෙදර බලන් ඉන්න අම්ම මතක් වෙලා වැඩිපුර අඬන්න ඕන වුනහම '' සුදු හාමිනේ නුඹ කොතනද '' අහනවා

    උපන් බිම මතක් වුනාම ''හෙළ දෙරණේ අඳුරු කුසේ ''ගිය අහනවා .

    මේ පාර ඇගේ ''නෑසෙන ගී ''තැටිය ගෙනාවා.. අපේ පොඩි දුට මධුර ප්‍රේම කල්පනා කියන්නේ මොකක්ද කියල දැනගන්න ඕන වුනා ඒ තැටිය වාදනය වෙද්දී

    ReplyDelete
  34. ගොඩක් ස්තුතියි මේ හරබර ලිපියට...මමත් ශේවේත රාත්‍රි විදින්න වාසනාවන්ත උනා.ටිකටුත් නැතුව ලෝක යුද්දයක් කරලා තමයි ඇතුළට ගියේ.අම්බලන්ගොඩ තමයි පැවැත්වුනේ."ඇගේ නම ලංකාය" කියනකොට තාමත් ඇග හිරිවැටෙනවා.ඒ තරම් සංවේදිව හදවතම වැළද ගත්තා ඒ ගීතය.ප්‍රේමය වියෝව දේශාභිමානය ඇගේ ස්වරයෙහි කැටි වෙලා තිබුනා. "මාසඳට කැමතිබව දැනගෙන" හදවත හිත තවත් සංවේදී කරා. මට දැනුත් මැවිලා පේනවා ගීතයක් අවසානයේ ඇය රසිකයන් දෙසට හිස නමා ආචාර කරපු ආකාරය. ඇයට දීර්ඝායුෂ! තව කප්සුවහස් කල් අප වෙනුවෙන් ගයන්නට.....

    ReplyDelete
  35. මම බොහෝම ආශා කරන ගායිකාවක්..

    ReplyDelete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. ‘නන්දා මාලනී‘ යනු අපේ කාලේ හමු වූ වීරවරියක්. ඇය ඇගේ ගීතයෙන් ශ්‍රාවකයන් වෙත ප්‍රඥාව ලබා දුන්නා. යතාර්ථය සෞන්දර්යාත්මක ලෙස මනසේ ප්‍රකෘත්තිමත් කිරීමට සමත් වූවා. නමුත්, විශාරද නන්දා මාලනී මහත්මිය, විශාරද ගුණදාස කපුගේ මහතා වන් ශ්‍රෙෂ්ඨ ගායක ගායිකාවන් නව පරපුරෙන් බිහි නොවීම සොචනීයයි. මා සිතනවා අප වෙනුවෙන්, අපේ මාතෘ භූමිය වෙනුවෙන් ඇය යලිත් එක් වතාවක් හෝ හඬ අවදි කරාවී කියා. එය අප නොකීවත්, මේ මවු බිම ඇගෙන් නැවත ඉල්ලා සිටිනවා. ඒ අන් කවරක් නිසාවත් නොව. ඒ දේ කළ හැකිව ඉතිරිව ඇත්තේ ඇය පමණක් වන නිසා. නමුත් මා සුනිල් ආරියරත්න මහතා ගැන කිසිවක් කියනුයේ නැහැ. ඒ ඔහුට නැවත මුලට ඒවී කියා නොසිතන බැවින්.

    “උඩගු ලියන් ගොතා බඳන - නීල වරල සරසන්නට“ ඇත්තෙන්ම ඔබතුමිය පිපුනේ මවු බිම වෙනුවෙන්!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...