මගේ අතින් ලියැවුණු
ගීයක්...
අස්වැන්න
තුළින් පසුගිය ලිපි හැම එකකින් ම කතා කළේ වෙනත්
නිර්මාණකරුවන්ගෙ නිර්මාණ පිළිබඳව යි. මේ ලිපි කිය වූ
සහෘද ඔබ මා ලියූ ගීයක් ඉදිරිපත් කරන ලෙස කරන කීපවතාවක් ම ඉල්ලා තිබුණි. ඒ අතර "රූ සිරිනි" සහ"මලී" ඒ පිළිබඳව නිරන්තරයෙන් මතක් කළ සහෘද පිරිස අතර වෙති. ඒ වගේම
" මුහුණු පොතේ " චැට් කරන කිසි
දින නොදුටු සහෘද පිරිසක්ද ඒ ඉල්ලීමම නැවත නැවතත් ඉදිරිපත් කළ නිසා අද මගේ අතින් ලියැවුණු ගීයක්
අස්වැන්නෙන් ඉදිරිපත් කරමි.
මගේ
නිර්මාණයක් “අස්වැන්න” යටතේ ඉදිරිපත් කරන
එක මගේ විචිකිචිඡාවට හේතුවක්. මොකද මගේ නිර්මාණයක් මගේ අඩවිය තුළින් ඔබේ කතා
බහට ඉඩ සැළසීම නුසුදුසුයි කියල මටම හිතෙන නිසා. ඒ කොහොම වුණත් මේ ගීය පිළිබඳව වැඩි
යමක් කතා නොකර මේ ගීය බිහිවූ ආකාරය සහ ඊට නිර්මාණාත්මක අත්දැකිම ගොනුකර ගත් හැටි පමණක් මෙහි සඳහන් කරන්නම්. මොකද
ඕනෑම නිර්මාණයක නිර්මාණාත්ම අත්දැකිම සහ ඊට අදාළ වස්තු විෂය ගොඩනගා
ගත් හැටි වැදගත් කියල හිතෙන නිසා.
මේ ගීයේ අදහස නිර්මාණාත්මක
අත්දැකිමක් ලෙස ගොඩනගා
ගත්තේ පොළොන්නරු යුගයේ ලියූවා යැයි සැළකෙන ගුරුළුගෝමීන් විසින් විරචිත "ධර්ම
ප්‍රදීපිකාව" ග්‍රන්ථයෙහි එන “සුළු කළිඟු දා වත” කතා පුවත මේ සඳහා නිර්මාණාත්මක අත්දැකිම
සැපයීය. “සුළු කළිඟු දා වත” පුවත පද්‍යයක් නො වූවත් ගද්‍ය රචනාවක් සේ ලියැවි ඇති අතිශය සෘංගාරාත්මක ප්‍රේම
පුරාවෘත්තයකි. ආදරය සහ විරහව පිළිබඳ ඉතා
සියුම් ලෙසත්, රමණීය ලෙසත් කියවෙන බෞද්ධ සාහිත්‍යයේ ඇති විශිෂ්ඨ ගද්‍ය රචනයකි. මෙහි
මුළු කථාව පුරා රැදී ඇත්තේ ඉතා සියුම් වූ සෘංගාර රසයෙන් පිරී ඇත. තවද, එය ගුරුළුගෝමින්ගේ
පරිකල්පන ශක්තිය මැනවින් විදහා දක්වන ගද්‍ය රසයෙන් අනූන වු කෘතියකි. මෙහිදී විප්‍රලම්භයෙන්
සෘංගාරයෙන් පිරුණු කළිඟු කුමරුගේ සිත කල් වියෝවෙහි තැවෙන චිත්‍රයක් සේ
ගුරුළුගෝමින් විසින් වර්ණනා කරන්නේ මෙසේ ය.
“.... දසනුදස සැඟවූ නිල් වදුල් හා සමග කල්වියො සුළුකළිඟු කුමරුහට වන සෝකල් බොල් වීය. වලානල හා සමග මියෙනඩුහුරු නල මමීය. විදුලිය හා සමග මන වෙවුලීය. වැසි දහරා හා සමග කඳුළු දහරා වැහිණ. දිගත්හි දිවගත් මත්බලා පෙළ මැ කිරිවලා සෙ පැණින. ජලලඹ කළබින් වැදිලිගත් තැන් මැ දිවයුරු තෙදින් දම්තැන් සෙ පැනිණ. කොළොඹ වන හිසින් මමන මුවරද රොන් මැරජකඳ සෙ පැනිණ. බමර බර පුලු ලෙල ලියනඟලා මැ දසනු දෙසෙහි සහදුම් ළැව්දල සෙ පැනිණ. වලානෙලෙන් බමන සිහිලැල් පොද මැ කුරු රැස් ගොර මිරිඟු දැල සෙ පැනිණ. හෙ ඔව්හට සිහිලස් දෙන වහරෙයෙක් නොවීය.......”
“.... දසනුදස සැඟවූ නිල් වදුල් හා සමග කල්වියො සුළුකළිඟු කුමරුහට වන සෝකල් බොල් වීය. වලානල හා සමග මියෙනඩුහුරු නල මමීය. විදුලිය හා සමග මන වෙවුලීය. වැසි දහරා හා සමග කඳුළු දහරා වැහිණ. දිගත්හි දිවගත් මත්බලා පෙළ මැ කිරිවලා සෙ පැණින. ජලලඹ කළබින් වැදිලිගත් තැන් මැ දිවයුරු තෙදින් දම්තැන් සෙ පැනිණ. කොළොඹ වන හිසින් මමන මුවරද රොන් මැරජකඳ සෙ පැනිණ. බමර බර පුලු ලෙල ලියනඟලා මැ දසනු දෙසෙහි සහදුම් ළැව්දල සෙ පැනිණ. වලානෙලෙන් බමන සිහිලැල් පොද මැ කුරු රැස් ගොර මිරිඟු දැල සෙ පැනිණ. හෙ ඔව්හට සිහිලස් දෙන වහරෙයෙක් නොවීය.......”
එහි සරළ අදහස මෙසේයි.
‘... ඇස ගැසුණු දස
දිශාවෙහි ම වූ නිල්ල පිරි වනයේ සරන කළිඟු කුමරු හට සිය ප්‍රියයා සිහිවී සිත මහත්
සෝකයෙන් පිරි ගියේය. හීන් සැරේ පාවි ආ මදනල සමග හද තුළ තෙරපුණ සුසුම් පොදි ඒ මදනලට
මුසු විය. විදුලි ධාරාවක් සිය සිරුර හරහා ගමන් ගන්නා සේ කුමරුට හැඟිණ. ඔහු සිත තව
තවත් චංචල විය. මහා වරුසාවක් ඇද හැලෙන්නා සේ ඇස උපන් කඳුළු ධාරා කොපුල දිගේ රූරා
වැටුණි. අහසේ ඉගිල ආ කොකුන් රැළ සුදු වලා සේ දිස් විය. වැසිපොද විනිවිද පැමිණි
හිරු රැස තව තවත් ඔහු පෙළීය. කොළොම් වන හිස රඟදෙන බිඟු රැළ ඔහු තනිකර ප්‍රේමයෙන්
මුසපත්වී වෙලි සිටින්නාක් සේ ඔහුට දැනුණි. පිපි නියඟලා මල් දුමෙන්
පිරුණු ගිනිදැල් සේ ඔහු වෙළා සිටින්නාක් මෙන් හැඟිණ. පාව ආ මදනලෙහි දැවටි සිහිල් මීදුම අතර රඟ දෙන බමර කැළ මිරිඟු දැලක
පැටලී සිටින්නාක් මෙන් හැඟිණ. සිය ප්‍රියයා ඒ වනයෙහි නැති කල ඔහුට සිහිලක් සදන
වැස්සක් ඒ වනයෙහි නොවීය....”
මේ තරම් මිහිරි ගද්‍යයෙන්
අනූනව ඇති “සුළු කළිගු දා වතේ” ඇති ඉතා රමණිය ආදර පුවත සරල ලෙස මසිතේ දැවටී තිබූ අතර
ඊට මගේ අත්දැකිම්ද මිශ්‍ර කර කල්පනා
ලෝකයේ මසිත වර්තමානයෙහි පිහිටුවා මේ පදවැල
ලියූ වෙමි.
එච්.එම්.ජයවර්ධන |
මේ ගීතය ගායනා
කළේ ගායන ශිල්පී ඩබ්ලිව් .ඩී. ආරියසිංහ
ඔහුගේ ගීත ඇල්බමයක් සඳහායි. ඒ මීට අවුරුදු
තුනකට හෝ හතරකට විතර කලින්. ආරියසිංහ මෙරට විශිෂ්ඨ ශ්‍රේණියේ ගායන
ශිල්පියෙක්. ඒ වගේ ම තියෙන්නෙ අමරදේවයන්ගේ
ගී හඬට බෙහෙවින්ම සමාන වූ ගී හඬක්.
ආරියසිංහ සමග තිබු මගේ
දිගු මිත්‍රත්ව නිසා ම ඔහුගේ ගි ඇල්බමය සඳහා ගීතයක් ලියන්න මට කළ ආරාධනාවක් අනුවයි
මේ ගීය "සඳ නැගෙනා තුරු" ගීය බිහි වුණේ. ආරියසිංහගේ මේ ගීත ඇල්බමයේ සියළුම ගීත පටිගත කිරිම් අවසානයේ ඇල්බමයට
යෙදිය යුතු නම පිළිබඳව විවිධ නම් ඉදිරිපත්
වෙමින් තිබියදි මෙම ගීත එකතුව නිෂ්පාදනය කළ සංගීත සමාගමට " සඳ නැගෙනා
තුරු" කියා යොදන ලෙස ආරියසිංහ
කළ යෝජනාව පිළිබඳව මුල සිටම සංගීත සමාගම ද කැමැත්තෙන් සිටි නිසා ඒ නම යෙදු
බව පසුව දැනගැනිමට ලැබුණි. ඉඳහිට කාගේ හෝ
ඇරයුමක් අනුව ගීතයක් ලියන මට පෙරත් අවස්ථාවල එවැනි අවස්ථා කිපයක් උදාවී තිබූ නිසා
"සඳ නැගෙනා තුරු" ගීය ද සදා මගේ නොමියෙන මතකයේ රැඳී ඇති ගීතයකි.
"සඳ නැගෙනා තුරු"
ගීතය සංගීතවත් කළේ ප්‍රවීන සංගීතවේදී එච්.එම්. ජයවර්ධන විසිනි. එච්.එම්. ජයවර්ධන
විසින් නිර්මාණය කරන ගි තනු ගීතයට සපයන්නෙ
නොමද ආලෝකයක්. ඉතින් මගේ මේ ගීත රචනාවටත් ඒ ආලෝකය ඔහුගෙන් ලැබුණ බව සඳහන් කල යුතුමය.
ඒ කොහොම වුණත් මගේ
අතින් ලියැවුණ ගීයක් ඇතැම් වෙලාවට මග තොටේදි
එහෙමත් නැත්නම් බස් රියකදි , කඩපිළකදී අහම්බෙන් හෝ ඇහෙන වෙලාවට දැනෙන සතුට
නම් අපමණයි. ඒ දෙනෝදාහක් නන්නාඳුනන මිනිසුන් අතර මමත් එකම එක නන්නාදුනන රසිකයෙක් කියා මටම හැඟෙන
නිසා. මෙන්න මේ ටික තමයි මේ ගීය පිළිබඳව මම ඉදිරිපත් කරන අදහස.
මා ලියූ ඒ ගීය
පිළිබඳ වෙනත් විචාරයක් කරන්නෙ නැහැ. ඒ කටයුත්ත ගී රසවිඳින ඔබටම භාර කරමි. ඒ
මන්ද, මමද ඔබ සමග ගීත අහන රසවිඳින ඔබ සමග
වෙසෙන රසිකයෙකු වන බැවිණි. මතු දැක්වෙන්නෙ
මා අතින් ලියැවුණ ඒ ගීතයේ පදමාලාවයි.
සඳ නැඟෙනා තුරු
තනි මේ
රාත්‍රියේ
මී මල් සුවඳක් අරන්
ඇදෙන සුළඟේ
බමරෙකු ඇදුනා ඒ මල්
සුවඳ දිගේ
මලේ සුවඳ මට දැනුණා
හීන් සැරේ
ඉරිමා උදයේ සිහිනය
සිතක සදා
ඔබේ මගේ හද හැඟුමන් පුබුදු කළා
එවන් අතීතේ මිහිරක්
හිතේ තියා
කඳුළු විලේ රත්
පියුම් පිපී පිපුණා
බාල වියේ බැඳි සෙනෙහස
තුරුළු කරන්
සදා සොඳුරු ලොව තව
මල් පීදියන්
සිහිනය සේ ඔබ ඈතින්
ඇදෙන ලෙසින්
සඳත් රැයත් මගෙ
තනියට ළඟම ඉඳින්
ගේය පද රචනය: දයානන්ද රත්නායක
ගී තනුව සහ
සංගිතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: ඩබ්ලිව්.ඩී.
ආරියසිංහ
අද මගේ විචාරකයා ඔබය.
මට මග පෙන්වන්නාද ඔබය. මගේ දොස් දකින්නාද ඔබමය. එහෙයින්ම ඔබේ සිතේ ඇඳි ඕනෑම අදහසක් මෙහි ලියා
තබන්න. ඒ මමද ඔබවන් රසිකයකු වන නිසා.
පසු සටහන:
මගේ හිතවත් ඔබ "කමෙන්ට්" ඔබ එකක් දානව නම් මට "ඔබතුමා" කියල අමතන්න එපා. ඔබ වගේම මමත් ඔබ අතර සිටින තවත් එකම එක සහෘදයෙක්. ඒ නිසා මම ඔබගෙන් කරන කාරුණික ඉල්ලීම එයයි.
ගීතය අහන ගමන් තමා කමෙන්ටුව ලියන්නේ.... දුක්බර සංගීතයක්.
ReplyDeleteමේ ගීතය මං අහල තිබ්බා කොහෙ දී හරි. අයිය දුන්න සීඩී එකේ ද? නැතිනම් ඊට කලින් ද කියලා මට මතක නැහැ.
මම මේ ගීතයේ වයලීනයට කැමැති (තනිව වැයෙන වයලීනයට )
මම කැමැතිම හඩක්....
නමුත් අයියේ මට මේ ගීතයේ තනුව වැයෙද්දීම වාගේ (සඳ නැඟෙනා තුරු තනි මේ රාත්‍රියේ කියන්න පටන් ගැන්මෙදි වාගේම ) හදුනන ගතියක් දැනුනා...බැලින්නම් අර නූපුර කියන ගිතය වගේමයි ඒ හරිය විතරක්....
සොඳුරු සිත ට
Deleteමේ ගිතය රාත්‍රි කාලයට නිරන්තරයෙන් ගුවන්විදුලි නාලිකා මගින් ප්‍රචාරය වෙනවා. මම අර දුනුන සීඩී එකෙත් මේ ගිය තිබුණා. වයලීනය තමයි මේ ගියේ රාත්‍රිය හැඩ කකරන්නේ. ඒවගේම ගිතය තුළ හුදකලාවක්ද මතු කරනවා.
ස්තූතියි ඔබේ වටිනා කාලයෙන් බිඳක් වෙන් කර මගේ ගිතය ගැන මෙහි සොඳුරු සටහනක් තැබුවාට
දයානන්ද අයිය ලියපු ගීතයක් ඇහුවමයි :)දක්ෂයෝ තුන දෙනෙක්ගේ අතින් බිහිවුන නිර්මාණයක් නිසා අහන්න දෙයක් නෑ.එත් මේ සින්දු කොහෙද හැංගිලා තියෙන්නෙ මෙච්චර කල්ම??:-/
ReplyDeleteඒ කොහොම උණත් සාර්ථක නිර්මාණකරුවෙක් වෙන්න ෂෝට් කට් නෑ කියන 1 නම් පැහැදිලියි.
ඔබට ජය :)!!
නුවන්..
Deleteගීයක් ලිව්වාම දැනෙන සතුට මේ මොහොතේත් දැනෙනවා.නිර්මාණකරුවාට ලැබෙන ප්‍රතිචාරය ඔහු තවත් ශක්තිමත් කරනවා කියන කතාව සත්‍යයක් බව මේ මොහොතේත් විඳින්න ලැබීම සතුටක්.
කොහොම වුණත් විවේකයක් ලද වෙලාවක මේවගේ නිර්මාණ කාර්යයක නියැලිම තරම් සතුටක් තවත් නැහැ.
නුවන්ගේ වටිනා කාලයෙන් බිඳක් වැයකර මගේ ගීය වෙනුවෙන් දැක්වූ උණුසුම් ප්‍රතිචාරයට ස්තූතියි.
තමන්ගේ ගීයක් ගැන තමන් විචාරයක් කලාට එකේ වැරද්දක් නැහැ මගේ හිතේ.. මේ පොස්ට් එක නැත්නම් මේ ගීයත ගැන අපි මෙච්චර විස්තරයක් දැනගන්න නැතිවෙන්න තිබුනා. ඉතුරු ගීත ගැනත් මේ වගේ විස්තරයක් බලාපොරොත්තු වෙනවා.
ReplyDeleteඅසරණයා..
Deleteතමන්ගේ නිර්මාණයක විචාරකයා තමන්වීම සදාචාරාත්මක නැහැ කියලයි මට හිතෙන්නෙ. ඒ නිර්මාණය පිළිබඳව රසික පර්ශදයෙන් ලැබෙන විචාර ඉතාම ඉහළ ගුණාත්මක වටිනාකමක් එකතු කරනවා අදාළ නිර්මාණකරුවාට.
ඒ නිසාම තමයි මම ගීයට පසුබිම් වූ කරුණු පමණක් එකතු කළේ. ඉතුරු ගිතත් ඉඳ හිටල අහමු. එක දිගටම ඇහුවොත් ඒකත් ඒකාකාරී වෙයි.
ස්තූතියි අසරණයා ඔබටත් ඔබේ වටිනා කාලය බිඳක් වෙන්කර මගේ නිර්මාණයක් වෙනුවෙන් උණුසුම් ප්‍රතිචාරයක් දැකවූවාට
තුන්කට්ටුව ම ගීතයට උපරිමය දීලා තියෙනවා, විශිෂ්ඨයි... අයියේ!
ReplyDeleteලහිරු..
Deleteස්තූතියි ඔබටත් ඔබේ වටිනා කාලය බිඳක් වෙන්කර මගේ නිර්මාණයක් වෙනුවෙන් උණුසුම් ප්‍රතිචාරයක්
දැක් වූවාට
කොයි තරම් දෙයක්ද ඔබතුමා ලියපු ගීයක් අහන්න ලැබීම. තමන්ගේ නිර්මාණ තමන්ගේ බ්ලොග් එකේ විචාරය කලාට වරදක් නෑ කියලයි මට හිතෙන්නේ. තමන්ගේ නිර්මාණයක් ප්‍රචාරය වෙනවා අහන්න ලැබෙන එකේ සතුට උපරිමයි. මටත් එහෙම එක අවස්තාවක් ලැබුනා. මම ලියපු ගීතයක් රුහුණු සේවයේ ප්‍රචාරය උනා. ඒක හරිම සුළු දෙයක් උනත් එයින් ලැබුණ සතුට නම් සුළු නැහැ.
ReplyDeleteඅවසාන වශයෙන්...ඉතාමත් අරුත් බර මේ ගීතය අහද්දී දුක්මුසු ගතියක් දැනෙනවා...ඒකත් ලස්සනයි...
සයුරි ලියපු ඒ ගීයේ ලින්ක් එකක් දාන්නකෝ.. අපිත් ආසයි අහන්න...
Deleteතොටියා..
Deleteඔව් අපි ඉල්ලමු සයුරිගෙන් ඒගැන පෝස්ට් එකක් ලියලම ගීතය දාන්න කියලා. මාත් ඒක අහන්න කැමතියි.
අලුත් ආරංචියක්..
Delete:)) මම ඒ ගීතය දැනටමත් මගේ ඇත්ත නමින් තියන බ්ලොග් එකේ දාලා තියෙන්නේ....ඒක දැම්මොත් එහෙම තොටියා කිව්වා වගේ නෝ බොඩි වෙලා ඉන්න මට සම් බොඩි වෙන්න වෙනවා :) බලමුකෝ පස්සේ දාන්න...
Deleteකොහොම උනත් ඒක එක වරක් පමණක් ප්‍රචාරය වුනු ගීයක්. සරල ගී වැඩ සටහනකට. මට හොඳටම විශ්වාසයි මේ කවුරුවත් ඒක අහලා නෑ කියලා...
සයුරි..
Deleteමගේ නිර්මාණයක් මම විස්න්ම විචාරය කරන එක සදාචාරාත්මක නැහැ. ඒත් මගේ නිර්මානය අසා මේ දක්වා ඇති විචාර සහ විමසුම් හොඳටම ප්‍රමාණවත්.
තොටියා, වගේම අසරණයා ත් ඉල්ලා ඇති නිසා මමත් කැමතියි ඔබ කළ නිර්මාණය අහන්නත් ඒ පිළිබඳව පසුබිම් විස්තරය දැනගන්නත්. ඉතින් ඒක ඔබේ පෝස්ට් එකක් විදියට ලියන්න කියලා ඉල්ලීමක් කරනවා. කලා කෘතියක් අහම්බෙන් නිර්මාණය වුණත් බොහොම රසවත් දෙයක්.
සයුරිටත් බෙහෙවින්ම ස්තූතියි ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන්කර මගේ ගිතය ගැන උණුසුම් ප්‍රතිචාරයක් දැක්වූවාට
This comment has been removed by the author.
ReplyDeleteසාහිත්‍යමය වශයෙන් අදහසක් දෙන්න තරම් මට තේරුමක් නෑ. ඒත් සිංදුව අහද්දි හරිම පහන් හැඟීමක් එනවා.. දුකකුත් එක්ක. ඒක වෙන්නැති රචකයාගේ දක්ෂතාවය.. ඇත්තටම ලස්සනයි.
ReplyDeleteතාරා..
Deleteමේ ගිය රාත්‍රි කාලය පිලිබඳව සහ එහි නිශ්චල බව විදහා දැක්වෙන අයුරින් තමයි ගිය නිර්මාණය වෙලා තියෙන්නේ. එය ගායනයෙත් සංගීතයේත් හොඳ සංකලනයක්.
ඔබටත් ස්තුතිතියි තාරා කාලයෙන් බිඳක් වැය කර මගේ ගීය වෙනුවෙන් සටහනක් තැබුවාට.
ඇත්තම කියනවනම් මම මේ ගීය මීටකලින් අහලා තිබුනෙ නෑ ඒත් ඔබ මාව පෙළබවෙව්වා මෙ ගීය අහන්න. මේ ගීය මාව එක තැනක නතර කලා. දැන් මෙ ගීය මගෙ හිතෙ රැදුනු ගීයක් වෙලා ඔය වගෙම මාව පෙළබවපු තව ගීයක් තමා රෝහන වීරසිංහ ගයන "දෙගුරුන්ට අවනතව විවාහවී" ගීතය
ReplyDeleteලොකු ජෝන්
Deleteස්තූතියි ඔබට මගේ නිර්මාණයෙන් අපූර්වත්වයක් එකතු වුනානම්. ඒත් ඉතිං මගේ මේ පදමාලාව විතරයි. ඒක වර්ණවත් වෙන්නෙ සංගීත නිර්මාණකරුවා සහ ගායන ශිල්පියා අතින් .ඒ ගැන හිතන කොට නම් මගේ දායකත්වය ඉතාම පුංචි එකක් කියලා මටම හිතෙනවා.
ස්තූතියි ඔබට ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන්කර මගේ ගිතය ගැන උණුසුම් ප්‍රතිචාරයක් දැක්වූවාට
ශාහ්... ඔබතුමා ලියපු ගීතයක්ම අහන්න ලැබීම ලොකු සතුටක්!!! මේ ගීතයේ හරි අමුතු දුක් මුසු හැඟීමක් තියෙනවා....ගීතය උපරිමයි!!
ReplyDeleteහිතුවක්කාරි..
Deleteඔන්න ඔබ තුමියත් මට "ඔබතුමා" කියල. මම අකමැතිම වචනය පාවිච්චි කරලා. මගේ එකම ඉල්ලීම එවැනි වචන පාවිච්චි කරන්න එපා කියලයි.
රාත්‍රිය ගැන ගැයෙන ගීත බොහොමයක් ඒ ළයාන්විත ස්වරයෙන් වැයෙන ඒවා.
ඔබටත් ස්තුතියි ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන්කර මගේ ගිතය ගැන උණුසුම් ප්‍රතිචාරයක් දැක්වූවාට
බොරු මොකටද..... ගීය උපරිමයි!!!
ReplyDeleteතවත් ගීත ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා..
අඩවි රජා..
Deleteමෙන්න මෙයත් මට "ඔබතුමා" කියල. නිර්මාණකරුවා , නිර්මාණය, රසික පර්ෂදය එකම පන්තියක එකම පේලියක ඉන්න පිරිසක්. ඒනිසා ඔක්කොම සහෘද පිරිසක්. ආයෙ දෙකක් නෑ.ඒ නිසා සහෝ.. ආදරෙයන් ඉල්ලිම් කරනවා .
අපි ඉදිරියේදි ඉඳහිටල තවත් ගිත අහමු. ඉඩක් ලැබෙන විදියට
ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන්කර මගේ ගිතය ගැන උණුසුම් ප්‍රතිචාරයක් දැක්වූවාට ඔබට ස්තූතියි.
ගීය කලින් අහලා තිබුනට මේක අයියගෙ පන්හිඳෙන් ලියවුනා කියල දැනගෙන හිටියේනෑ..
ReplyDelete//සිහිනය සේ ඔබ ඈතින් ඇදෙන ලෙසින් සඳත් රැයත් මගෙ තනියට ළඟම ඉඳින්//. පදපෙලට එකතුවූ ප්‍රභල වචන මාලාව නිසා ගීයේ අරුත මැනවින්ම සිතට වදිනව.. මමත් හිතන්නේ නෑ අයියගේ නිර්මාණයක් ගැන අස්වැන්නේ ලිවිම වැරදිය කියල; මන්දයත් බොහෝදැනා ඒගැන නොදත් නිසා. අයියා ලියපු පොත් ගැනත් ඉදිරියේදි යම් සටහනක් කරනවා නම් ගොඩක් වටිනව...
තොටියා..
Deleteගීයෙන් යම් රසවින්දනයක් ලැබුවා නම් එය මගේත් සතුටයි. අර ඉහතින් කිව්වා වගේ මගේ නිර්මාණයක් ගැන මම යමක් ලියනවාට වඩා මම කැමති වෙනත් කෙනෙක් ඒගැන යමක් කියනවා අහන්න. මම ලිව්වෙ මගේ අත්දැකිම ගැන විතරයි.
මගේ අතින් ලියූ පොත් නම් ඉහල දකුණු කෙළවරේ පුංචි පිංතූර තුනක් එක පේලියේ ඇති අන්න ඒ මගේ පොත්. ආයෙ මම අලුතෙන් ඒ ගැන ලියන්න තරම් දෙයක් නෑ වගේ.
බෙහෙවින්ම ස්තූතියි මිතුර..ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන්කර මගේ ගිතය ගැන උණුසුම් ප්‍රතිචාරයක් දැක්වූවාට
මේ ගීතය මම අහලා තිබුනත් කලින් මේක ඔබේ ගී පබැදුමක් කියලා මම දැනගත්තේ අද.. රචකයා ගැන දැනන් හිටියත් පෞද්ගලිකව රචකයාට ගීය හොදයි කියලා කියන්න මට අවස්ථාවක් ලැබුන පළවෙනි සැරේ.. ඒ ගැන අවංකවම සතුටුයි මට..
ReplyDeleteඔබ ඔබේ නිර්මාණ බිහි උන අයුරු ගැන ලියන එකේ වරදක් කොහෙත්ම මම දකින්නේ නෑ.. ඒ දේවල් ඇත්තටම අපිට වටිනවා..
පසුසටහන : ඔබට ඔබතුමා කියලා කතාකරන එක්කෙන්ක් මම.. ඔබේ හැකියාවන් එක්ක එහෙම කතාකරන එක අපේ යුතුකමක් උනත් ඔබේ ඉල්ලීම නිසා ආයෙම එහෙම නොකර ඉන්නම්..
දිනේෂ්..
Deleteමම හැමදාම දිනේෂ්ට කියපු නිසා දිනේෂ් අද "ඔබතුමා " කියල නෑ. එ් තමයි අපි අතර දුරස්ථ බව අයින් කල පළමු අවස්ථාව. "ඔබතුමා" කිව්ව ගමන් අපි අතර ලොකු දුරස්ථ බවක් ඇතිවෙනවා. ඒවිතරක් නෙවේ අපි ඉන්නෙ සීමා දෙකක කියල හිතෙනවා.
දැන් මගේ නිර්මාණය ගැන ඔබ ඇතුළු සහෘද සියලුම දෙනා කියල තියෙන දේවල් දැක්කම ආයෙ මම ඒගැන ලියන්න ඕනෙ නැහැ.
බෙහෙවින්ම ස්තූතියි දිනේෂ්.. ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන්කර මගේ ගිතය ගැන උණුසුම් ප්‍රතිචාරයක් දැක්වූවාට
දයාබර රත්නෙ අයියේ, මුලින්ම ඔයාගේ නිහතමානිත්වයට මම ගොඩක් ගෞරව කරනවා. අද දකින්න ලැබෙන ඇතැම් විකෘති පදමාලාවන් අතර මේ ගීතය මඩේ පිපී මඩෙන් එසවී සුවඳ විහිදන නෙළුමක් වගෙයි මට දැනෙන්නේ. අපි කාලයක් බලාගෙන හිටියේ ඔයාගේ නිර්මාණයක් දකින්නයි. ඒ මුකුත් නිසා නොවේ හන්සයා දියෙන් කිරි වෙන්කර ගන්නවා වගේ නිවැරදි රසවත් නිර්මාණ “ දයානන්ද රත්ණායක” කියන නිහතමානී කලාකරුවාගෙන් බිහිවෙන බව විශ්වාස කරන නිසයි. ගීතය හරිම ලස්සනයි. ඔයාට ගොඩක් ස්තූතියි අපේ ඉල්ලීමකට ඉඩක් වෙන් කලාට. සුබපැතුම් අයියේ.
ReplyDeleteමලී..
Deleteමෙන්න මගේ ගියක් ඉල්ලලා කරදර කළ මලයා.මම ෆේස්බුක් එකට ආවත් චැටි කරලා සිංදු ඉල්ලන මිත්‍රයා.. ඔන්න මම ඉල්ලීම ඉටු කළා.
ස්තූතියි මලී බෙහෙවින්ම ස්තූතියි .... ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන්කර මගේ ගිතය ගැන උණුසුම් ප්‍රතිචාරයක් දැක්වූවාට මාව මේ වැඩේ කරන්න උනන්දු කළාටත්.
ගොඩක් ස්තුතියි ඉල්ලීම ඉටුකලාට..මම ඇත්තටම හිතුවෙ තරහ ගිහින් ඇති කියලා නිතරම කරදර කරපු නිසා..
ReplyDeleteඅර අඬන ළමයටයි වැඩිපුර කිරි හම්බවෙන්නෙ කියලා කතාවක් තියන නිසා මේ ඇඬිල්ල නම් පාඩු වෙලා නෑ කියලා හිතුනා ගීය ඇහුවම..මම මේ ගීය මීට කලින් අහලා නම් නෑ..ඒත් අපූරු ස්වර සහ පද සංකලනයක් තියන ගීයක්..ඇස් දෙක පියාන රස විඳින්න පුළුවන් ආකාරයේ ගීයක්..
ගීය ඇහුවට පස්සෙ මට හිතුනෙ ලියපු නිර්මාණකරුවට පුද්ගලිකවම සුභ පතන්න පුළුවන් වුන එක කොච්චර අපූරුද කියලා..ඉතින් ඔබට ඉදිරියටත් මෙවන් නිර්මාණ කරන්න ඇවැසි ශක්තිය නිබඳව ලැබේවා..
ගීය ගැන කියනවා නම් ළබැඳියකුගේ වියෝවෙන් තැවෙන සිතුවිලි අපූරුවට පද වලින් හා නාදයෙන් සිත්තම් වී තියනවා..
//කඳුළු විලේ රත් පියුම් පිපී පිපුණා//
ඇස් රතුවෙන තුරු අඬන ආදරවන්තයෙක්/වන්තියක් සිහියට නැගුනා..සාමාන්‍යයෙන් අප හිත් නොගැටෙන වචන වලින් යුතු නිසා (උදා: මී මල්,ඉරිමා උදේ) ගීයේ නැවුම් බව අපූරුවට රැඳී තියනවා..
ඒත් මේ ගීය නිතරම අහන්න තරම් හඬ හෝ සංගීතය හිතට වදින්නේ නෑ..ඒ මගේ රසඥතාවයේ වෙනස විය හැකියි..සමහර වෙලාවට ඒ සේ වූයේ මෙම ගීයත් සම්ප්‍රදායික ආකාරයට සංගීතවත් වූ නිසා නිසා විය හැකියි..පද මාලාව සංකීර්ණ නිසා වෙන්නත් ඇති..ඒත් ඉතා සංකීර්ණ කළිඟු දා වතෙන් මෙවන් අනගි නිමැවුමකට මුල පිරූ ඔබට සුභ පැතුම්..
ඔබේ තවත් ගීයක් තව ටික දවසකින් ආපහු අරන් එන්න කිව්වොත් Too much කියලා හිතෙන්නැතිවේවි නේද?
නිර්මාණ කරුවකු සහෘදයකු වෙන එක තරම් ගී රසිකයන්ට වෙන කිසිත් නෑ..ඒ නිසා මේ ඉල්ලීමත් සලකලා බලන්න..
This comment has been removed by the author.
Deleteරූ...
Deleteඔන්න ඉල්ලීම ඉටු කළා. මගේ ගිතය පිළිබඳව තබා ඇති උණුසුම් විමසුමට ස්තූතියි පළමුවෙන්ම.
"මේ ගීය නිතරම අහන්න තරම් හඬ හෝ සංගීතය හිතට වදින්නේ නෑ..ඒ මගේ රසඥතාවයේ වෙනස විය හැකියි.සමහර වෙලාවට ඒ සේ වූයේ මෙම ගීයත් සම්ප්‍රදායික ආකාරයට සංගීතවත් වූ නිසා නිසා විය
හැකියි."
ඇත්තටම මේ ගීතය මේ වන තෙක් කිසිම දවසක කිසිම ගුවන් විදුලි මාධ්‍යයකින් දහවල් කාලයේ ප්‍රචාරය වෙලා නැහැ. මටත් ඇහෙන තරමක් ඇහෙන්නේ මේ ගීය රාත්‍රිකාලයේ ප්‍රචාරය වෙනවා.එකයි එකවරම හිතට නොවදින හේතුව. අනෙක් අතට ගී තනුව පවා රාත්‍රියේ ඇති සුන්දරත්වය ඉකමවා යන්නෙ නැහැ.
තව ටික දවසකින් තවත් වෙස්ම ආකාරයේ ජනප්‍රිය ගියක් අහමු. එක ළඟ ඇහුවොත් එපාවෙයි මේක කියවන අයට. ඒනිසා තව ටිකක් කාලයක් ගියාම තවත් ගියක් ඉදිරිපත් කරන්නම්.
ඇත්තටම නිර්මාණ කරන නිර්මාණ කරුවාට රසික පර්ෂදයෙන් ලැබෙන උනුසුම් ප්‍රතිචාර තරම් වටිනා සම්පතක් තවත් නැහැ.
මටත් සෑහෙන කළක සිටි ලොකු කැමැත්තක් තිබුණා රාත්‍රියට ගැලපෙන්න, නිස්කාංසුවේ අහන් ඉන්න ගියක් ලියන්න. ඒ බලා පොරොත්තුව මේ ගියෙන් ඉටු වුණා.
ස්තූතියි රූ...බෙහෙවින්ම ස්තූතියි .... ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන්කර මගේ ගිතය ගැන උණුසුම් ප්‍රතිචාරයක් දැක්වූවාට වගේම කිසි දවසක නොකරන්න හිතා හිටි මේ වැඩේ කරන්න උනන්දු කළාටත්.
ලස්සන ආදර කතාවකට ලීව අරුත්බර පද රචනයක්.
ReplyDeleteඊටම ගැලපෙන සංගීතයක් සහ කටහඬක්!!!
ඒ හඬේ තියන නිවුනු , ශෝකීබව පද රචනයට ගැලපෙනවා. එය උච්ච නොවුනු, එකදිගට ගලා යන, හිත් කාවදින, හඬක්.
ඇස් පියාගෙන ගීයට සවන් දුන්නා. අනෙක් කමෙන්ට් දිහා බැලුවේ නෑ. හිත ඒ අයගේ අදහස් පැත්තට යයි කියලා.
ගීයෙදි මල් සුවඳ දැනුනු අයුරු විස්තර කරලා තියනවා ලස්සනයි.
සිහිනයක, හැඟුම පුබුදු කරලා, මිහිරක් හදේ ඉතුරු කරලා, එය කඳුලෙන් පිරෙව්ව හැටි කියලා තියනවත් ලස්සනයි.
සිහිනය සේ ඇය ඈතට ඇදී යන විට, තනියට රැයටත්, හඳටත් ලඟින් ඉන්ට කියලා තියන හැටිත් ලස්සනයි.
//බාල වියේ බැඳි සෙනෙහස තුරුළු කරන්
සදා සොඳුරු ලොව තව මල් පීදියන්//
මේ පදවල තේරුම උකහා ගන්ට තාම තැත් කරනවා. ඒ කියන්නේ බාල කල ඉඳන් බැඳි පෙමක් ගැනද? අවසාන පදයෙන් කියැවෙන්නේ , වෙනත් පෙමක් ඒ හදට දැනේවායි කරන පැතුමක්ද?
අපූරු ගීයක්.
දැන් අර කවුද කියලා තියනවා වගේ ලියලා තියන වෙනත් ගී සහ පොත් ගැන කතා කරමු. :)
පොඩී..
Deleteමගේ ගිතය වෙන්වෙන් තබා ඇති ඔබේ විමසුම් සටහනට මගේ ගෞරවනීය ප්‍රණාමය පළමුවෙන්ම. මේවගේ ප්‍රතිචාර දැක්කාම හිතට ලොකු සතුටක් දැනෙනවා.මම ලියපු දේවල්වලත් කිසියම් හෝ නිර්මාණාත්මක වටිනාකමක් තිබුණා කියලා.
" බාල වියේ බැඳි සෙනෙහස තුරුළු කරන්
සදා සොඳුරු ලොව තව මල් පීදියන්"
මේ කියන්නේ නූතනයට ගැලපූ පරිදි බාලකාලේ ඉඳන් බැඳි ප්‍රේමයක් පිළිබඳව නම් තමයි. ගිතයට වස්තු විෂය වූ "සුළු කළිඟු දා වතේ" කතා පුවත අනුව බැලුවත් කළිඳු කුමාරයට රජ මාලිගයෙන් පිට වෙලා වන ගත වෙන්න සිද්ධවෙන්නෙ ඉතාමත් කුඩා අවදියේ.ඔහු ජීවිතේ වැඩිහරියක් ගත කරන්නෙ හුදකලාවූ වන අරණක තනිවමයි. ඔහු වන අරන තුළ මල් පිපීම, බමරුන් , බිඟුන් මල් අයිතිකර ගැනීම දකිනවා මේක ඔහුගෙ හිතට දුකක් ගෙන දුන්නත් හැම විටම හිත්නෙ තවතවත් වන මල් පිපෙන්න කියලා.ඔහුට සිය ප්‍රියාව හමු නොවුනත් ඔහු සිත්න් ප්‍රාර්ථනය කරන්නේ මලක් වන් රූ ඇති කෙනෙක් ලැබෙන්න කියල. ඔන්න ඔය දිග කතාව තමයි ගිතයට ගැලපෙන්න යොදාගත්තෙ.
ඒ හැරුනු විට වෙනත් ප්‍රේමයක් ගැන නෙවෙයි.ඒ කොහොම වුණත් කළිඳු කුමාරයට ඒ වනය තුළදීම කළිඳු කුමාරිය අහම්බෙන් මුණගැහීමත් අර වගේම රසවත්ව සෘංගාරාත්මක ආකාරයෙන් ගුරුලුගෝමීන් ලියල තියෙනවා.හමුවුණොත් කියවලම බලන්න. ටිකක් තේරුම්ගන්න අමාරු වුණත් ඉතාමත් රසවත් කොටසක්. අනික මේ "සුළු කළිගු දා වත" ඇසුරින් ලංකාවෙ ගීත විශාල ප්‍රමාණයක් ලියැවිලා තියෙනවා ඒ හැම එකක්ම විරහ ගිත වීමත් විශේෂයි.
මම ලියූ වෙනස්ම ආකාරයක ගිත ගණනාවක්ම තියෙනවා. අපි ඉඩක් ලැබෙන විදියට ඒවත් අහමු. ටික කාලයක් ඇරලා. නැත්නම් මේක කියවන අයට එපාවෙයි. හැමදාම මගේ ගි ඇහුවොත්.
ස්තූතියි පොඩී...බෙහෙවින්ම ස්තූතියි .... ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන්කර මගේ ගිතය ගැන උණුසුම් ප්‍රතිචාරයක් දැක්වූවාට
මට මෙච්චර කල් මේ ගීතය හමු නොවුනේ ඇයි කියලා මම කල්පනා කළේ..
ReplyDeleteසාමාන්‍යයෙන් මම ගීතයක් අහද්දී ඒකෙ සංගීතයට වඩා පද මාලාව ගැන හිතනවා. මේකේ පද මාලාව ගැන නම් කියන්න දෙයක් නෑ.. විශිෂ්ටයි.. සංගීතයත් ඊටම අනුරූපව යෙදිලා තියෙනවා..
හඬ මනාව ගැළපෙනවා.. කියන්න තියෙන්නේ එක වචනයයි..
එල!
රැංගෝ..
Deleteස්තූතියි රැංගෝ... බෙහෙවින්ම ස්තූතියි .... ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන්කර මගේ ගිතය ගැන උණුසුම් ප්‍රතිචාරයක් දැක්වූවාට අපි ෆේස්බුක් චැට් කරන වෙලාවට මේ ගැන නිතරම කතාකරනවනේ..
This comment has been removed by the author.
ReplyDeleteපද රචනාවට ගායකයාත් තනු නිර්මාණකයායි උපරිම සාධාරණයක් කරලා කියලා මට හිතෙනවා. මීට කලින් ගීතය අහලා තිබුණා...නමුත් ඇත්තටම මම පද රචකයා ගැන හොයලා තිබුණෙ නැහැ වගේම දැනන් ඉදියෙ නැහැ.....
ReplyDeleteඅද ඒ දේත් දැන ගත්තා...ඇස් දෙක පියා ගෙන ගීතය රස විදිනවිට අපූරුම රසයක් ගීතයෙන් දැනුණා...
ගේ පද රචනා කලාවේ තවත් නැවුම් පද සංකල්පනා බිහි වෙන්න ශක්තිය ධෛර්ය පතමි.
දිනිති..
Deleteඔන්න දැන් ගිතයයි ගිතයේ රචකයයි ගැන දන්නවනේ. ස්තූතියි දිනිති බෙහෙවින්ම ස්තූතියි .... ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන්කර මගේ ගිතය ගැන උණුසුම් ප්‍රතිචාරයක් දැක්වූවාට
සාහිත්‍යමය වශයෙන් නම් කියන්න මට ලොකු දැනීමක් නෑ..එත් ගීතය මම හුගක් රස වින්දා හුගක් සංවේදී සිතුවිලිත් එක්ක පහන් සිතුවිලි හදවතේ ඇති උනා..ඔබ වැනි රචකයන් අපේ රටට ලොකු සම්පතක්.(ඔබතුමා කියලා අමතන්න එපා කියලා තිබ්බට බොහොම අමාරුවෙන් ඔබ කියන වචනය කියන්න දිව නමන්න උනේ..)වැඩි වැඩියෙන් නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා කියලා හදවතිම ප්‍රාර්ථනා කරනවා...!!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහිරුට
Deleteආයෙ අමුතුවෙන් හිරුට සාහිත්‍ය දැනුමක් අවශ්‍ය වන එකක් නැහැ. දැනට තියෙන සාහිත්‍ය රසය සහ වින්දනාත්මක අගය හොඳටම ප්‍රමාණවත් ගිතයක් රස විඳින්න. අනික මටත් ඒතරම් දැනුමක් නැහැ. යාන්තමට මොකක් හරි පද පේලි දෙක තුනක් ගැටගහගන්න පුළුවන් වුණාට.
"ඔබතුමා" නොකිව්ව එකට බෙහෙවින්ම ස්තුතියි.
ඒවගේම ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන්කර මගේ ගීතය ගැන උණුසුම් ප්‍රතිචාරයක් දැක්වූවාටත් බෙහෙවින්ම ස්තුතියි හිරු..
අදත් අන්තිමය මම වගේ.
ReplyDeleteමම නම් මේ ගීතය කළින් අහල තියෙනව. ඊට හේතුවක් තියෙනව. ගායකයන් අතර මා වඩාත් ප්‍රිය කරන ගායකයෙක් නිසා ඩබ්.ඩී. ආරියසිංහයන්ගේ ගීතයක් කොහේ කොතනක ඇහුණත් මගේ දැඩි අවධානය ඒ කෙරෙහි යොමුවන නිසා. මම ගීත විචාරය කරන්නනම් දන්නෙ නෑ. ඒත් මට දැනෙන විදියට ඔහු ගායනා කල ස්වීය ගීත අතළොස්ස තුළ අමුතුම විදියේ වින්දනයක් රැගෙන එන ගීත තමයි තියෙන්නෙ. අමරදේව මහත්මයාගේ ගීත නැවත ගායනයක් ලෙස ඉදිරිපත් කිරීම නිසා ගායකයා සමාජ දෝෂ දර්ශණයට ලක් වුණා. එම ගීත වල අයිතිය නීත්‍යානුකූලව අමරදේවයන්ට නොතිබුණ නමුත් සදාචාරාත්මක සීමාව තුළ ඔහුව විවේචනයට භාජනය වුණා.(මේ කරුණ වෙනම සාකච්ඡාවට භාජනය විය යුත්තක්). ඒත් එය ගායකයෙක් ලෙස ඔහුට යහපතක් කලා කියල මට හිතෙනව. ඒ හරහා තමයි රසිකයන් ඔහුව හැඳින ගත්තෙ. ඒත් ඊට පෙරත් මා නිවැරැදිනම් ස්වීය ගී ඔහු ගායනා කර තිබුණ. කෙසේ වුණත් නැවත ගායනයන් තුළ අමරදේවයන්ගේ ගීතයන්ට ඔහු හොඳ සාධාරණයක් ඉටු කර තිබුණ. ඒ කරුණු කෙසේ වුවත් ඔහුගේ ගායනයන්ට මම කවදත් ප්‍රියයි. ඔබ පැවසුවත් ඔහුගේ කඩහඞ අමරදේවයන්ට සමීපයි කියල ඔහුගේ ගීතයක් ඇසෙන කිසිම මොහොතක අමරදේවයන් මට සිහිපත් වෙන්නෙ නෑ. ඔහුගේම සුමියුරු කඩහඞක අනන්‍යතාවයක් මට දැනෙනව.
මේ ගීතය කිහිප වරක්ම නැවත නැවත අහන්න හිතුණ නිසයි අදහසක් දක්වන්න මේ තරම් ප්‍රමාද වුණේ.
සම්භාව්‍ය විරහ ගීතයක තියෙන විරහ රසය සහ ශෝක රසය ගීතය තුළ නොඅඩුව තියෙනව. ඒ පදවැල නිකම්ම ප්‍රකාශනයක් නොවී භාෂාවේ ඇති උපමා රූපක තුළින් ගීතයට ජීවයක් එකතු කරන නිසා. නොනැසෙන ප්‍රේමයක ස්ථිරත්වය සේම විරහවේ සංවේදනාවත් රචකයා මනාව ගැබ් කර ගෙන තියෙනව. තනු රචකයාට වෙහෙසක් නොගෙනෙන ආකාරයට පදවැල තුළම ගීතවත් භාවය ඇතුළත් වෙලා තියෙනව.
ඒ වගේම මෙය ඩබ්.ඩී. ආරියසිංහයන්ගේ ගායන විලාසයට මනාව ගැලපෙන්නක් නිසා ගීතයට ගායනයෙන් එක්විය යුතු මාධූර්යය අඩුවක් නැතිව මුසු කිරීමට ඔහු සමත් වෙලා තියෙනව. සංගීත මුසුව නම් බොහෝ විට මේ ගායකයාගේ ගීත කිහිපයකම ගලා යන ආකාරයේම සංගීත මුසුවක් විදියට තමයි දැනෙන්නෙ. ඒත් මේ ගීතය තනි කරල ගත්තම එය ගායනයේ රිද්මයට සරිලන ලෙස ඉස්මතු වෙනව.
මේක විචාරයක් එහෙම නෙවෙයි. මොකද මම සංගීතය ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ වගේම ගීත රචකයෙකුත් නෙවෙයි.(ගොඩක් අතීතයේනම් ගීත ලියල ගායකයන්ට තැපල් කරල තියෙනව පත්තර වල තියෙන ඇඩ්‍රස් වලට. ඉස්සර ඔය සමහර පුවත්පත් වල නඵ නිලියන්ගෙ, ගායක ගායිකාවන්ගෙ ඇඩ්‍රස් පල කරනවනෙ. :D )
කොහොම වුණත් මිත්‍රය ඔබේ කියල දැන ගත්ත පළමු ගීතයම හිත් ඇඳබැඳගත් එකක් වීම ගැන බොහෝ සෙයින්ම සතුටුයි. ඒ වගේම මේ ලියන හැම වචනයක්ම ඔබේ හිතේ නවමු ගීත රචනයකට දිරි ගැන්වීමක් වෙනවනම් අපේ සහෘදත්වය එයින් තව තවත් අර්ථවත් වෙයි.
ඔබටම හිතෙන වෙලාවක ඔයාගෙ තව ගීතයක් ඉදිරිපත් කරන්න.
අවසාන වශයෙන් ඔබේ පද රචනයට මගේ සුබ පැතුම්.
@.. Outsider
Deleteහැමදාමත්ම වගේ ඔබ ඉතාමත් අගනා විචාරාත්මක අදහසක් ඉදිරිපත් කරනවා. අදත් එහෙමමයි. පළමුවෙන්ම ඒ විචාරාත්මක අදහසට මගේ ගෞරවනීය ස්තුතිය.
ඇත්තටම ආරියසිංහගේ ස්වීය ගි නිර්මාණ සියල්ලම ගුවන්විදුලි සරළ ගි වැඩසටහන්වල තියෙනවා. නමුත් ඒ ගි එකක්වත් මේ ගිත එකතුවට අන්තර්ගත වුණේ නැහැ.
ඔබට යම් මතකයක් ඇත්නම් සුනිල් ආරියරත්නයන් ලියූ
"අටමස්ථානේ වැඳගෙන එනවිට
හඳ එළිය දිගේ
ඇය හිටියේ හිස්බැල්මෙන්
බලාන වැව් ඉවුරු කොනේ.."
මේ ගීයත් ඔහුට ඩෝල්ටන් අල්විස් ලියූ
"ඉරහඳ නළවන මහා කල්පනා මවනා
කාලය පරදන මහා කල්පනා මවනා
මිනිසා දෙවියෙකි මේ මිහිතලයේ
ඔහුට මගේ ගී පූජා වේවා.."
මේ ආකාරයට සිංහල සුභාවිත ගිතයට කැපවුණ ගායන ශිල්පියෙක්. ඒත් ඔහු ලංකාවම අඳුනගත්තෙ කේමදාසයන් සංගිත නිර්මාණ කළ අමරදේවයන්ගේ ගිත ඇතුළත් වූ "ප්‍රේම සැඳෑවෝ" ගි තැටිය නිසා. ඒ සම්බන්ධ මතු වූ ගැටළුව ඔබ සඳහන් කර ඇති පරිදි වෙනම සාකාච්ඡාවට බදුන් විය යුත්තක් මයි.
එදා ඒ ගීත සඳහා ආරියසිංහ හඬමුසු කිරීම වෙනුවෙන් කේමදාස පසෙක සිටියදී ඔහු විචාරකයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා. අවම වශයෙන් "ප්‍රේම සැඳෑවෝ" ගී එකතුව නිකුත් කළ දා කේමදාසායන් සමග එකට අසුන්ගෙන සිටි ධර්මසිරි ගමගේ මහතා විශිෂ්ඨ නිර්මාණ එකතුවක් බව කීවත් අනතුරුව ඊට පසු සතියේ ඔහු විසින්ම එය දෝෂ දර්ශනයට ලක්කළා.
මමත් හිතන විදියට එදා ඔහු අමරදේවයගේ ඒ නිර්මාණ එකතුවට විශ්ෂ්ඨ සාධාරණයක් කර තිබුණා. ආයෙ ඔහුගේ ගායන ශෛලිය පිළිබඳ අභියෝග කිරීමට කිසිවකුටත් ගැටලු තිබුණේ නැහැ.
ඇත්තටම ඔබ විචාරකයෙකු නොවන බව සඳහන් කළත්, මේ විචාරය හැරුණු විට වෙනත් විචාර සම්ප්‍රදායක් නැහැ. මේ ඔබ ලියල තියෙන්නේ උපරිම ආකාරයෙන්. මින් ඔබ්බට තවත් වචාර කලාවක් නැහැ මම ලිව්වත් ඔය ටිකමයි.
ඒ කෙසේ වෙතත් මගේ ගීයෙන් යම් රසිකත්වය ඇති වූවා නම් ඒහි වැඩිම දායකත්වය සැපයූ ආරියසිංහත්, එච්.එම්. ජයවර්ධනටත් හිමිවනවා සේම ගීය පිළිගත් සහෘද ඔබ සැමටත් හිමි විය යුතුයි.
ඔබගේ දිරිගැන්විමත්, එවන් වූ හෘදයාංගම මිත්‍රශිලි භාවයත් දිගුකල් හදවතේ රැඳෙවි.
හැබැයි මගේ ඊළඟ ගීතය අහන දවසට නම් ඔබ අද තබා ඇති සටහනේ අනෙක් කෙළවර මා තබා ඔබට වෙනත් ආකාරයකින් මට දැනෙන හිත රිදෙන විචාරයක් කළ හැකි වනු ඇත.
බෙහෙවින්ම ස්තූතියි ඔබට. ඔබේ වටිනා කාලයෙන් බිඳක් වැයකර ගීතය අසා හොඳ විචාරයක් තැබුවාට.
මම කලින් ටයිප් කරපු කමෙන්ට් එක වැටිලා නෑනෙ. මම ඒක දැම්මෙ නැද්ද. කොහොම වුණත් මම ඒකෙ කිවුවෙ මම ගොඩක් වෙලාවට ගීතයක මුල් තැන දෙන්නෙ අර්ථ රසයට. ඉතින් එහෙම හිතනකොට මේ ගීතය ඉහලින්ම තියනවා මගේ රස වින්දනයෙ. ඒ වගේම අයියෙ ඩබ් ඩී ආරියසිංහයන්ගේ හඬත් , දුක් මුසු බවක් එකතු වුණ සංගීතයත් , අයියාගේ වටිනා වචන ටිකට පැහැදිලිවම සාධාරණත්වයක් එක් කරලා
ReplyDeleteසිඳු
Deleteමම මගේ හැකියාවෙන් ලියූ පදමාලාව සංගිතයෙන් වගේම ගායනයෙනුත් හැඩකල ශිල්පින් දෙපලටත්, ගීතය ඇසු සියළු රසික සහෘද සමුහයටත් ඒ ගෟරවය පෙරළා හිමිවිය යුතුයි.
ඔබගේ දිරිගැන්විමත්, සුබ පැතුමත් සොඳුරුතම අත්දැකීම් තමයි.
බෙහෙවින්ම ස්තූතියි සිඳු ඔබට.ඔබේ වටිනා කාලයෙන් බිඳක් වැයක් කර ගීතය අසා හොඳ සටහනක් තැබුවාට
ගීතය කීප වරක් ඇසුවා. ගායනයත් පදවැලත් සංගීතයත් යන සියල්ල මගේ සිත් ගත්තා. ඔබේ ඉතිරි ගීත ගැනත් දැනුවත් කළ හැකි නම් අගෙයි.
ReplyDeleteමැණික්
තවත් දවසක තවත් ගීයක් අහමු ඉදිරියේදි හැමදාම මගේ ගි ඇහුවොත් එපාවෙයි මේක කියවන එකත්.
Deleteබෙහෙවින්ම ස්තූතියි මැණික්..ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන්කර මගේ ගිතය ගැන උණුසුම් ප්‍රතිචාරයක් දැක්වූවාට
මේ පැත්තට එන්න පාර කිවේ ලොකු ජෝන්. ගීතය රස වින්දා . හැම අතින්ම සාර්ථකයි .
ReplyDeleteසතුටුයි ඔබව හඳුනගන්න ලැබුනාට .
ගිම්හානි..
Deleteවිශේෂයෙන්ම ඔබට ස්තූතියි "බස් රේඩියෝවෙන්" මේ ගීය ප්‍රචාරය කළාටත්, ඒ සඳහා ලොකු ජෝන් සහෘදයාගේ කැපවිමටත්.
ඔබේ පැමිණීම මහත් සතුටක්.
බෙහෙවින්ම ස්තූතියි ගිම්හානි..ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන්කර මගේ ගිතය ගැන උණුසුම් ප්‍රතිචාරයක් දැක්වූවාට
අස්වාන්න නෙලන්න මාත් එකතු උනා. ආයිම නිදහසේ මේ කතාව හිතේ තබාගෙන ගීතය විඳින්න ඕනි.
ReplyDeleteප්‍රියන්ත...
Deleteවිශේෂයෙන්ම ඔබට ස්තූතියි ඊයේ රාත්‍රියේ "බස් රේඩියෝවෙන්" මේ ගීය ප්‍රචාරය කළාට, වැඩසටහන අහන විටනම් හිතුනෙ ඔබ ගුවන්විදුලි මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වගේ කියලයි. මමත් පළමු වතාවට ඒ වැඩසටහන ඇහුවෙ පළමු වතාවට ඇත්තටම සතුටුයි.
ඒවගේම අස්වැන්නට ඔබේ පැමිණීමත් මහත් සතුටක්.
බෙහෙවින්ම ස්තූතියි ප්‍රියන්ත... ඔබේ අවිවේකී කාලයෙන් බිඳක් වෙන්කර මගේ ගිතය ගැන උණුසුම් ප්‍රතිචාරයක් දැක්වූවාට
This comment has been removed by the author.
ReplyDeleteසමහර විට ඔබ මේ කමෙන්ට් එක දකින එකක් නෑ. නමුත් මේ ලියවිල්ල අදාළ පෝස්ටුව මට අහම්බෙන් කියවන්න හම්බුනා. මම එවලේම මේ සින්දුව ඩවුන් ලෝඩ් කරගෙන මගේ ෆෝන් එකට දාගෙන නිතර නිතර
ReplyDeleteඅහනවා. එක අහද්දී හිතට දැනෙන්නේ අමුතුම හැඟීමක්. වචන, තනුව, කටහඬ,සංගීතය
අසන්නා වෙනත් ඉසව්වකට ගෙනියනවා කියල මට හිතෙනවා. ඉතින් කමෙන්ට් නොකර ඉන්නේ කොහොමද. ඔබට සුබ පැතුම්. තව තවත් මේවගේ සුපිරි ගනයේ නිර්මාණ බිහි කරන්න ශක්තිය දිරිය වාසනාව ලැබේව කියල ප්‍රාර්ථනා කරනවා.
ඔන්න දිගටම පරණ පෝස්ට් කියෝගෙන යනකොට හම්බවුනු මේ ගීතය ගැන නම් වචනයක් නොකියා යන්න බෑ...
ReplyDeleteහරිම සුන්දර සංගීතයක්... මේ මහ රෑට ඇස් පියවෙන්නේ නැත්තේ මේ වගේ ගීත නිසා තමයි.. කොහොමත් අද නින්ද යන එකක් නෑ.. මෙකද මේ ගීතය තුළින් ලොකු කතාවක් මඟේ හිතට නැඟුනා.. කවුද දන්නේ.. සමහර විට හිරු නැති හෝරාවෙන් ඒ කතාව කියවන්නත් ලැබේවි.... හි හි
දයා, මේ ගීතය කොතෙක් ඇසුවත් මෙය ඔබේ ගීතයක් බව දැන ගත්තේ අස්වැන්නෙන්මයි. මේ සී. ඩී. එක මගෙ ළඟත් තියෙනවා. මේ සී. ඩී. එකේ මා ලියූ ගීතයකුත් තියෙනවා. ඒත් පුදුමය නම් මගේ මනසට ඇතුළුවෙලා තිබුණේ නෑ මෙහි පද රචනය ඔබේ යැයි. සුන්දරම ගීතයක්. සියුම් ශෝකයක් ගීය පුරා දිව යනවා. සංගීතය සහ ගායන විලාසය මේ සඳහා විශාල පිටුවහලක් සපයනවා. ගීත ගොඩක් අවශ්‍ය නෑ මේ වගේ ගීතයක දෙකක හිමිකරුවෙක් වුණත් ඇති.
ReplyDeleteපසුගිය කාලවකවානුවේ ගීතනොඇසුවා නොවෙයි. ඒත් හොයන්න ඉස්පාසුවක් තිබුණේ නෑ. මට දැණුනා අපි කරන්නේ එදාට එදාට හොයාගෙන කාලා නිදියනවා වගේ වැඩක් නේද කියලා. පසුගිය කාලයේ අප නළ දේවලින් ඉතිරි වූ දේ ලියූ කියූ දේ පමණක් බවයි මගේ හැඟීම. ඉතින් ටික ටික නැවත මේ ඉව ඔස්සේ යා යුතුයි කියලා මට හිතුණා.ඒ නිසා තමයි මමත් මූණු පොතේ යමක් ලියන්නත් බ්ලොගයක් නිර්මාණය කරවා ගන්නත් හිතුවේ.එවිට අපට වේදිකාවක් තියෙනවා යමක් ලියන්න කියන්න කරන්න. ඔබේ අස්වැන්න නෙළන්න ගොඩවුණේ අද තමයි. එසේ නොවන්නට මෙම ගීතය ඔබේ යැයි තවමත් මට රහසක් වෙන්නට ඉඩ තිබුණා. මේ අදහස් ගොන්න කියවන්න මට ටික කලක්දෙන්න. ආරම්භයේ සිට මම නොසිටි නිසා. වරින් වර අදහස් දක්වන්නම්. මගේ යසනාත් සිතුවිලි වලට මුළින්ම ගොඩවූයේ ඔබ. මගේ සිතුවිලි සඳහා වේදිකාව හදල දුන්නේ මා මිතුරු තුසිත කුමාර. ඉතින් ඔබේ අදහස් දැක්වීමෙන් ඔබ අරමුණු කරණ දෑ වෙනුවෙන්මයි මම මගේ සිතුවිලි මෙහෙය වන්නෙත්. අපි වෙන වෙනම ලියමු. ඒ සිතුවිලි හුවමාරු කරගනිමු. සිතුවිලි ධාරාව එක අරමුණක පිහිටවමු. ඔබට ජය....!