එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Friday, 24 February 2012

෴ දිය හොල්මන෴


ගීතය සහ සංගීතය පිළිබඳ විවිධ මාතෘකා ඔස්සේ  පසු ගිය කාලය පුරා ම එක දිගට ම කතා කළත් හොඳ පොතක් ගැන ලියන්නත් කතා බහ කරන්නත් හිතේ ලොකු කැමැත්තක් තිබුණා.  ඒ සඳහා නිසි අවස්ථාවක් උදා වුණේ නැහැ. කොහොම හරි හොඳ පොතක් කියෙව්වම ඒ ගැන ලියන්න  හිතුවා.  ඒ නිසා අද " අස්වැන්න" ලියන්නෙ හොඳ නවකතා පොතක් ගැනයි.

"දිය හොල්මන" කියන්නෙ තමන්ගෙ ගොවි බිම්වල හේන් කුඹුරු පාලු කරන පුංචි පුංචි සත්තු එළවන්න අපේ ගැමියන් හදා ගත්තු පුංචි  ගැමි නිර්මාණයක්.  මේක වැඩි පුරම භාවිතා කළේ  කුඹුරුවල යි. කුඹුරෙ ලියැද්දට එකතු වන වතුර පාර ඊළඟ ලියද්දට වැටෙන්නෙ වක්කඩෙන්. "දිය හොල්මන" අටවන්නෙ අන්න ඒ කුඹුරෙ වක්කඩක් ළඟයි. මේක උණ බටයක් පාවිච්චි කරලා  හදාගෙන වක්කඩේ දියපාරට සම්බන්ධ කළාම ගලාගෙන යන දිය පහරින් වැටෙන වතුර උණබටේට පිරිල ඒකෙන්  නිකුත් වෙන සද්දෙට කුඹුරු පාලුවට එන පුංචි පුංචි සතා සීපාවා කිසිඳු හානියක් නො කර එළවගන්න ඒ කාලෙ පහසුවෙන් ම පුළුවන් කම තිබුණා. දැන් මේ ස්වභාවික ක්‍රම අපේ  ගැමි සම්ප්‍රදායෙන් වගේම  භාවිතයෙන් ඈත්වෙලා. ඒ වෙනුවට කෘතීම ක්‍රම අපිට ළං වෙලා.
"දිය හොල්මන"  නවකතාව ලිව්වෙ මගේ සමකාලීන මිත්‍රයෙක් වන "මහින්ද කුමාර දළුපොත"  මහින්ද මේ යුගයෙ ලංකාව ම හඳුනගෙන තියෙන්නෙ  ජන ශ්‍රැති පර්යේෂකයෙක් විදියටයි. විශේෂයෙන්ම සිංහල අලුත් අවුරුදු කාලෙට අපේ රටේ මාධ්‍ය ආයතන බොහොමයක්  තරඟකාරී විදිහට  ඔහුගේ දායකත්වය ලබාගන්නවා.  ඉස්සරහට එන සිංහල අළුත් අවුරුදු කාලෙටත්  ඔබට ඔහුගෙ ජන ශ්‍රැති පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්න හැකි වේවි.
මහින්ද කුමාර දලුපොත ලියූ ජන ශ්‍රැති පර්යේෂණ කෘති රැසක් තියනවා . වී බිස්ස, වටපිළ, වැව හා සංස්කෘතිය, වනස්පති. හූව, පෝය, තහංචි, සහ අත්තම හා ජන සම්ප්‍රදාය වගේ  ජන ශ්‍රැති පර්යේෂණ  කෘති විශාල ප්‍රමාණයක් ඔහු අතින් ලියැවී තියෙනවා. ඊට අමතරව "උරුමය" නමින් පොත් පෙළක්ද, නිලි වැස්ස සහ මතක වස්තුව නමින් කාව්‍ය සංග්‍රහ දෙකකුත්  එළි දක්වා තියනවා. මීටත් අමතරව ඔහු ‍හොඳ ගීත රචකයෙක්.          
පහු ගිය දවසක මහින්දගෙ "දිය හොල්මන" නවකතාව දොරට වැඩුම නිමිත්තෙන් පුංචි කතා බහක් ඇතුළත් වැඩසටහනක් සංවිධානය කරල තිබුණා. මේ පොත දොරට වැඩුම තිබුණෙ කොළඹ 07, විහාර මහාදේවි පාර්ක් එක ඉස්සරහ තියන ජේ.ආර්. ජයවර්ධන සංස්කෘතික මධ්‍යස්ථානයේ යි. සාමාන්‍යයෙන් කොළඹ අවට පැවැත්වෙන සාහිත්‍ය දේශන සම්මන්ත්‍රණ  වගේ කතා බහ වැඩසටහන් හවස හතරෙන් පස්සෙ තමයි තියෙන්නෙ. ඒත් " දිය හොල්මන"  පිළිබඳ කතාබහ යොදාගෙන තිබුණෙ සති අන්ත සෙනසුරාදාවක  උදේ වරුවක. මහින්ද කල් ඇති ව  ඇරයුම් පතක් මා අත තැබූ නිසා මමත් එදා සෙනසුරාදා දවසේ  උදෙන්ම ජයවර්ධන කේන්ද්‍රයට ගොඩවැදුණා මේ සොඳුරු කතා බහට එක් වෙන්ට කියලා හිතාන.
"දිය හොල්මන"  නවකතාව මුළුමනින් ම පාදක වෙන්නෙ  වයඹ පළාතෙ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගැමියන්ගෙ ගැමි ජීවන රටා ගැනයි. ගැමි ජීවිතයට එකතුවෙලා තිබුණ සැහැල්ලු කෘෂිකාර්මික ජීවන රටාවන් වෙනස් කරන්න හීං සීරුවේ බහු ජාතික  සමාගම්කරුවන් ගමට රිංගන හැටිත්, ගමත්, ගැමියනුත්, ඒ කොම්පැනි කාරයන්ට  මේ ගොදුරු වන හැටිත්, කතාව අපිට කියවා. කෘෂිකාර්මික හරිත විප්ලවය කියාගෙන ඒකට මුවාවෙන් පැරණි ගැමි සංස්කෘකිත ජන සමාජයට මැහිතෙල්, රටපෝර, දෙමුහුම් බීජ, ආදී නානාප්‍රකාර දේවල් බහුජාතික සමාගම්කාරයන්ට ඕනෑ එපාකම්වලට අනුව එක එක  විදියට ගම්වල ඇත්තන්ට බලෙන් පටවන හැටිත්, එයින් අතෝරක් නැතිව නිස්කාරණේ  ගමට සිදුවන කරදර තුළින් ගැමි ජීවිතය අවුල් වන හැටිත්, මේ නවකතාව අපූරුවට විස්තර කරනව.
අනෙක් අතට මේ නවකතාව මුළුමනින් ම ලියැවෙන්නෙ වයඹ පළාතෙ සත් කෝරළයේ ගැමි ජනතාව  භාවිතා කරන අමු ගැමි ජන වහර  ඇසුරින්. සාමාන්‍යයෙන් නවකතාවක් සඳහා අමු ගැමි ජනවහර භාවිතා වෙන්නෙ ඉතාමත් කළාතුරකින්. ඒ නිසයි මේ නවකතාව වැදගත් වෙන්නෙ. " දිය හොල්මන"   නවකතාව පුරාම හැම වචනයක් පාසා පාවිච්චි කරන  ගැමි ජන වහර නිසා මේක කියවන්න රසවත් වගේ ම පහසුයි. ඒ නිසා ම මේ පොත කෙටි කාලයක් ඇතුළත තුන්වන මුද්‍රණයත් කරන්න සිදුවුණා.                                  
මේ වගේ නවකතාවක් නිතර පොත පත කියවන පාඨකයන්ට අලුත් අත්දැකීමක් වගේ ම, බ්ලොග් අඩවිවල කතා ලියන සහෘද පිරිසටත් කියවල අලුත් අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා.
මට මතක හැටියට ඉතාමත් මෑතකදි මම කියවූ බ්ලොග් අතර  "හරීගෙ හීන ලන්තය"  බ්ලොග් එකේ සහෘද "හරී" ලියපු  අපූරු ලිපියක් තිබුණා. ඒක ලියල තිබුණෙ " මාමාගෙ ඇටේ.... 18+" කියල. හරී ඒ සඳහා භාවිතා කරල තිබු‍ණෙ  ගැමි ජනවහරයි. මෑත කාලයේ නාගරික සංස්කෘතියක් තුළ නිර්මාණාත්මක ඉදිරිපත් කිරිමක් සඳහා ජන වහර  ඉතා හොඳින් භාවිතා කළ අවස්ථාවක් ලෙස "හරී" සහෘදයාගේ ඒ ලිපිය හඳුන්වන්න පුළුවන්. ගැමි ජනවහර ඇසුරින් මා මෑතකදී ම කියවූ රසවත්ම ලිපිය එයයි. ඒකත් එක හේතුවක් වුණා මහින්දගෙ " දියහොල්මන"  ගැන අස්වැන්නෙදි ලියන්න.

කොහාම වුණත් මේ නවකතාව දොරට වැඩුම සිදු වුණෙත් තනිකර ම ගැමි ජන සම්ප්‍රදායට මුල්තැන දෙමින්. එදා සෙනසුරාදා ජයවර්ධන කේන්ද්‍රයට ආපු දෙතුන් සීයක් වූ පාඨකයන්ටත්. කලා ලෝකයේ රසවතුන්ටත් අපූර්ව අත්දැකීමක් වුණා. උදේ දහයට විතර  "දිය හොල්මන" කතාබහ පටන්ගත්තෙ පුංචි තේ පැන් සංග්‍රහයකින් මේ තේ පැන් සංග්‍රහය තිබ්බෙ ගමේ විදිහටයි. හොඳට කුරුටු ගාල පිරිසිදු කරපු පොල් කටුවකට, බෙලිමල්, එහෙමත් නැත්නම් පොල්පලා, තම්බලා හකුරු කෑල්ලක් එක්ක එතෙන්ට ආ හැමෝටම බොන්න දුන්නා.
නවකතාවෙ කතා බහ අතරට ගැමි සංස්කෘතිය විනාශ කරන බහුජාතික සමාගම්කරුවන්ට එරෙහිව නැගුණු හරබර දේශන වගේම විදි නාට්‍ය එහෙමත් තිබුණා.  වැඩසටහන අවසන් වුනේ හවස තුනට විතර. වැඩසටහන අවසානයේ පැමිණි හැමෝටම හොඳ  දිවා ආහාරයකුත් සංවිධානය කරල තිබුණා. ඒ ගැනත් සඳහනක් නො කළොත් " දිය හොල්මන"  වැඩ සටහන අසම්පූර්ණයි කියල මට  හිතෙනවා.                                                            
මේ දිවා ආහාරයත් සෑහෙන කාලෙකට පස්සෙ කොළඹ හතේ දි ලැබූ සුන්දර අත්දැකීමක්. නෙලුම් කොලේ බත් කන්න ලැබුණා. ඒ විතරක් නෙවේ  රතු හාලෙ බතට එකතු කරල තිබුණ  ගැමි වෑංජනවලට අමතරව රතු ළුණු ගෙඩි දෙකතුනක්, සුදුළුණු බික්කක් වගෙම අමු මිරිස් කරලකුත් වෙනම එකතු කරල තිබුණා. කෑම එක දැක්ක ගමන් මට මතක් වුණේ අනුරාධපුරේ එහෙමත් නැත්නම් කුරුණෑගල ගල්මුවෙ ඇහැටුවැව පැත්තෙ . කුඹුරක කමතක, එහෙමත් නැත්නම් වෙලක නියරක පලු ගහක් යට ට වෙලා කෑම වේලක් කෑ හැටි වගක් මගේ මතකය අලුත් කළා වගේ දැනුණා.  ඒ තරමට ම " දිය හොල්මන" නවකතාව දොරට වැඩුම සුන්දර අත්දැකීමක් .
මේ දිය හොල්මන නවකතාවෙන්  උපුටා ගත් කොටසක්                      
හෙන්දිරියාපිටිය ගම්මැද්දේ විතරක් නම් මදැයි ඕං...මේ වෙද්දින් දන්නා කියන වටකර ගංවලින් සෙනඟ එක රොත්තට වාං දාන්ට  ගත්තා.  වැලිදළුයායේ ඉස්මත්තාවෙ තියන ඕටිටට.. දාවිත් අප්පු ගිඩිගිඩියේ පිම්මේ දුවද්දින් එක රොත්තට තිස්බඹේ පැත්තෙන්සෙනඟ වාං දානවා ඇහැවැටුණා යායේ එක නියරකටවත් ඉස්පාසුවක් නෑ! තදියමේ දුවන් එන උංගේ බර වෑවෙමින් උහුලන් උන්නා. එන්නේ කව්ද... කොයිහිටන් ද කියලා කාටවත් ම ‍වගේ වගක් නෑ ඕං.. රොත්ත බුරුත්ත පිටින් දුවන්ට ගත්තා වෙලා තියන වින්නැහිය දැකගන්ට විග විගහින් දිව්වෙ.
"හප්පේ..! ඔය වතුර පතක් බීලා හිටං හස්තිරාජයා වල පල්ලට ගියානං.. මේ රටේ දේසේ නැති වහ කන්දරාවක් වෙල්වලට ගහලා හිටං.. පණ පිටිං මිනිස්සු නහන්ට වෙන්ටෝනෑ මේකලා තන්නනේ" යායේ ඕවිටට කිට්ටුවෙද්දින් කවුදෝ කියනවා දාවිත් අප්පුට ඇහිච්චි. ඒ කතාවට කවුරුත් එහෙම නෙමේමොනවත් ආඩපාලි කියා හිටින්ට ගියේ..ඊස් මීස්.. නැතුව සෙනඟ පිරිලා හිටියා. රැස්වෙච්ච කවුරුත් කට අයා ගත්ත ගමන් එකම කචබචයයි. දාවිත් අප්පු සෙනඟ පීරාගෙන ගිහින් බැලුවා හොස්ස පොවලා මොකෑ මේ වින්නැහිය කියලා හිටන්.
දෙයියෝ සාක්කි හෙනම් ඕං.. හස්තිරාජයා මුනින්තලාවෙලා උන්නා.. ඈ.. එහෙම පතබෑවිලා උන්න විලාසෙට අනුකම්පා  හිතෙනවාට වඩා හිතට බය සාංකාවබෝ කරනවා කියාලයි දාවිත් අප්පුට හිතුණේ.........‍
කොහොම හරි මේක කියවන ඔබ කවුරු හරි මේ පොත පුස්තකාලෙකදි දැක්කොත් නිකමට හරි කියවල බලන්න කියලා  මම ඔබට ආරාධනා කරනවා. එහෙමත් නැත්නම් පොත් ප්‍රදර්ශනයක් බලන්න ගිය වෙලාවක හෝ පොත් සාප්පුවකට ගොඩවැදුන වෙලාවක දැක්කොත් අරන් කියවන්න. ඒතරමට ලස්සන රසවත් පොතක්.
අද කාලෙ පොතකට වියදම් කරන මුදලින් මොනවද කරන්න පුළුවන්.? එහෙව් එකේ  පොතක් අරං කියෙව්වාම දැනෙන සතුට ආයෙ කියල නිම කරන්න පුළුවන් එකක් යැ.෴
"දිය හොල්මන" නවකතාව ෆාස්ට් පබ්ලිකේෂන් ප්‍රකාශනයක්
 පොතේ මිළ රුපියල් 325/=





                                                               
ඔබේ අදහස්, හොඳ, නරක සහ විවේචන හැකිනම් ලියන්න. ලියන දේ සතුටින් පිළිගනිමි


16 comments:

  1. දිය හොල්මන කිව්වම මගේ හිතේ ඇඳෙන්නේ උස නියරිකින් එන වතුර පාරක් උදවු කරගෙන මීයෝ වගේ සත්තු බය කරන්න ගොවියෝ බට කෑල්ලකින් හදන ඇටවුමක් !!!

    දිය හොල්මන කියන පොත නම් කියවලා නෑ. පොත අරගෙනම කියවන්නම්. :)

    ReplyDelete
    Replies
    1. මධුරංග ට
      හරයට හරි මධුරංග. මම මුලින්ම ඒගැන ලියලා තියනවා. ස්තුතියි.ඔබේ සටහනට

      Delete
  2. වයඹ පළාතේ උනාට කුරුණෑගල එහෙම ගැමි වහරක් තිබෙන බව මම දන්නේ නෑ.. අපි අල්ලපු එකේ.. නවකතාවේ ඔබ උපුටා දක්වා ඇති කොටස කියවූ විට මටද කියවීමේ තදබල ආශාවක් ඇති උනා..

    ReplyDelete
    Replies
    1. ශානිට

      මගේ ගමත් අල්ලපු දිස්ත්‍රික්කය ඒ කියන්නේ අනුරාධපුරේ. මට නම් ඔය ගැමි වහර හොඳටම පුරුදුයි. ඒකයි ඔය පොත ගැන මුලින්ම ලිව්වේ. අනික පොත ලිව්වේ වයඹ මිත්‍රයෙක්

      Delete
    2. මම අල්ලපු එක කිව්වෙ පුත්තලම් දිස්ත්‍රික්කයටයි... එහෙ ඔතරම් ගැමි වහරක් භාවිතා වෙන්නෙ නෑ... අපිත් වයඹේ...

      Delete
    3. ශානිට
      ස්තුතියි ශානි.බලන්න මේ පුංචි රටතුළ භාෂාවෙ වෙනස්කම කොයි තරම්ද කියලා.සමහර වෙලාවට අද වෙනකොට මේ වෙනකොට මේ තරමට භාෂාව ගැමි ජනවහරට නැතුව ඇති නමුත් ඈත ගම්වල පැරැන්න් තාමත් ඒ භාෂාවන් හසුරවනවා.ජන සම්ප්‍රදායන් තුළ වෙනස්කම් දැන ගැනීමත් සතුටක් වගේම හොද අත්දැකීමක්

      Delete
    4. මගේ අවසන් ලිපියේ ඔබේ කමෙන්ටුවට උත්තර බඳින විට ෆේස්බුක් සබැඳියක් දැම්ම... කැමති නම් ඒ පැත්තේ එන්න... නාවට මගේ අමනාපයක් නැහැ..

      Delete
  3. මහින්ද කුමාර දළුපොත ගීත රචකයෙක් විදියටත් කවියෙක් විදියටත් මම දැනගෙන හිටිය.නමුත් ඔහුගේ ජනශ්‍රුති දැනුම කොතරම් පුදුමකාරද කියල දැනගත්තේ නම් මේ ලගදි.අපේකම සොයාගෙන යන ඔහුලග අපේ පුරාණ ශිල්පවල ඇති විද්‍යාත්මක පසුබිම පුදුමාකාරයි.තර්කයක් නෑ මේ පොතත් ඉස්තරම් එකක් වෙන්න ඇති!:)

    ReplyDelete
    Replies
    1. නුවන්..ට
      නූතන පරපුරට මහින්දගෙ අපේකම සොයාගෙන යාමට ඔහු දරන වෙහෙස ඇත්තටම පුදුමයි. ඒ එක කොටසක් තමයි මේ පොත. ස්තුතියි ඔබටත්

      Delete
  4. දිය හොල්මන කියන්නේ මොකක්ද කියලත් අදමයි දැන ගත්තේ..පුළුවන් උන දවසක මේ පොත කියවන්න ඕන..සේරටම වඩා මගේ හිතට ඇල්ලුවේ උත්සවයේ ආහාර පාන දුන්නු විදිය..

    ReplyDelete
    Replies
    1. සයුරී..ට

      සාමාන්‍යයෙන් කොළඹ දී පොත්පත්, ගීත එලිදක්වන වැඩසටහන් එකකට එකක් වෙනස්. මේ පොත එළිදැක්වූවේ තනිකරම ගැමි සම්ප්‍රදායන්ට මුල් තැන දීලා. පොල්තෙල් පහන වෙනුවට පත්තුකළේ ගොක්කොළ වලින් හදපු පහන් පැලක්. මේක කොළඹදී මෑත දී ලැබූ රසවත්ම අත්දැකීම. ස්තුතියි ඔබටත්

      Delete
  5. කියවන්න ඕනා. මටත් තියෙනවා පොත් කියවීමේ උන්මාදයක්. දිය හොල්මන ගැන මම මිට කලින් දැනගෙන හිටියා.

    ReplyDelete
    Replies
    1. වර්ණා ට
      ලැබුණ වෙලාවක කියවන්න. හරිම රසවත්.
      ස්තුතියි ඔබටත්.

      Delete
  6. මටනම් හිතාගන්නවත් බැරිවුණා ඔබතුමාගේ ලිපියක මගේ ලිපියක් අගය කර තිබීම..බොහොම ස්තුතියි..ඔබේ දිරිමත් කිරීම මට ශක්තියක්....

    මම කැම්පස් යද්දි නම් සෑහෙන්න පොත් කියෙව්වා..මෑතක ඉවත් වුනාට පස්සේ තාම පුස්තකාලයක සාමාජිකත්වය ලබාගන්න බැරිවුණා..මම නවකතා කියනවානම් හුඟක් අඩුයි..කියවන්නේම චරිතාපදාන හා ගවේෂණාත්මක පොත් තමයි..

    ඔබගේ විස්තරයට අනුව හොඳ පොතක් බව පේනවා..අර්ධ නාගරික පරිසරයක ජීවත්වෙන මම නම් දියහොල්මනක් දැක්කේ ජපානය පිළිබඳ වාර්තා වැඩසටහනකින්..නොදැකපු කෙනෙකුට දැකගන්න දිය හොල්මනක පිංතූරයකුත් එක් කළානම් අගෙයි..

    ReplyDelete
    Replies
    1. හරී.. ට

      ඇත්ටම ඔබේ ඒ ලිපිය මාතෘකාවේ ඉඳන්ම රසවත්. අර්ධ නාගරික සංකීර්ණ සමාජයක් තුළ දේශපාලන රැවටිල්ලක් ලියන්න භාවිතා කරන්නෙ ගැමි ජනවහර . ලේඛණ කලාවේ විශ්ෂ්ඨත්වය ඒකයි. ඒ කතාව සාමාන්‍ය ලිඛිත භාෂාවෙන් ලිව්වනම් මේ තරම් රසවත් නොවෙන්න තිබුණා.

      දිය හොල්මන පිංතූරයක් එකතු කරන්න උත්සාහ කලා. නමුත් හොයාගන්න බැරිවුණා. මේ ලිපිය ලියපු වෙලාවෙ පොතේ කර්තෘ මගේ මිත්‍ර මහින්ද කුමාර දලුපොත කොළඹින් පිට සිටි නිසා මට ඔහුගෙන්වත් ඉල්ලගන්න බැරිවුණා. ඒකයි වුණේ.

      ඔබතුමා, මහත්මයා කියන වචන වලටනම් මම කැමතිම නෑ. මොකද එහෙම කිව්වාම අපි අතර සෑහෙන් දුරස් බවක් ඇතිවෙනවා. මමත් මේ පොළොවෙ පයගහල ඉන්න ජනතාව අතර එක පුරවැසියෙක් පමණයි.උඹ, බං කියල කතා කලොත් ඒක තමයි නියම අපේකම.ස්තුතියි ඔබටත්

      Delete
  7. මම පොඩි කාලේ අපේ ගමෙත් තිබ්බේ ඔය වගේ සබ්යත්වයක් කියලා මට හිතෙනවා .. අපේ කම කියන දේ ගොඩක් හොදට රැකිලා තිබ්බ නිසා මම නම් ගැමිකම හොදට වින්දා .. එත් දැන් අපේ ගමට වෙලා තියෙන දේ .. ගැමි කම ගැමි සුවද කොහේ ගියාද නැ .. බොහොම කලකිරෙනවා ගමට ගියාම ... මට ඔය අපේ කම කියන එක තදින්ම දැනෙන නිසා මට ගොඩක් දුක හිතෙනවා ඒ වගේ වෙලාවට ...

    මම පොත් පිස්සෙක් නිසා හොයාගෙන බලන්නම් ....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...