එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Monday, 20 February 2012

෴ විජය කුමාරතුංග ගැයූ ඔබ නෑසූ ගී෴



සිංහල සිනමාවේ පෙම්වතා වූයේ ඔහු ය.  මා දකින්නට කැමති සිංහල සිනමාවේ අසාහය පෙම්වතා වූයේ ද  ඔහු ය.  ඡායාරූපයෙන් දකින්නේ ඔහුගේ අව්‍යාජ සිනාව ය. ඔහුට හිමි වූ නෙත් බැඳගන්නා රූ සපුව ද, ඔහුගේ රංගන ශෛලිය ද, ඔහුටම ආවේණික වූවකි. මේ ජන හද තුළ නො නිඳා හිඳින විජය කුමාරතුංග නම් සොඳුරු මිනිසා ය.

විජය කුමාරතුංගගේ 24 වන ගුණ සමරුව පෙබරවාරි 16 දිනට යෙදී තිබුණි.  විජය මේ වන විට ජීවත්ව සිටියා නම් ඔහුගේ වයස අවුරුදු 67 කි. එහෙත් ඔහු මියගියේ 43 වන වියේ දී ය. අද “අස්වැන්න” සැරසීමට සිතුවේ විජය කුමාරතුංග නම් වූ ගායන ශිල්පියා වෙනුවෙනි.

මේ සටහන තැබීමට සිත් වූයේ විජය ගැයූ මෙතෙක් ඔබට කිසි දිනෙක ඇසීමට නො හැකි වූ ඔහුගේ ගීත එකතුවක් මාගේ ගී එකතූන් අතරේ තිබූ බව සිහි වීමෙනි. කලකින් නෑසු නිසා දූවිල්ලෙන් පිරුණු මේ කැසට් පටය යාන්තමට ශ්‍රවණය කල හැකි මට්ටමට නැවත පත්කර ගත් පසුව දැණුන සැනසිල්ල නම් අපමණ ය.  අද අපි එයින් ගී කීපයක් අහමු. ඊටත් පෙර මේ ගීත අද දවසට ගැලපෙන පරිදි ඇසීමට සිත්වෙන වටපිටාවකුත් නිර්මාණය කර ගමු.

සිනමාවත්, කලාවත්, දේශපාලනයත්, එකිනෙකට නො පෑහෙන නමුදු සිනමාවේ රැ‍ඳෙමින් ම තම දේශපාලන දර්ශනය ඔහු ජනතාව සතු කළේ ය. ඒ කලාවෙන් ඔබ්බෙහි වූ පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් නො ව, වඩාත් යහපත් වූ දේශපාලන දැක්මක් කෙරෙහි ජනතාව පෙළගැස්වීමෙහිලා කලාකරුවක් සතු උතුම් යුතුකම වෙනුවෙනි. 

1977 වසරේ දී ක්‍රියාකාරී දේශපාලනට  පිවිසෙන විජය එවකට වූ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට එරෙහිව අරගල කළේ පොදු ජනතාව වෙනුවෙනි. ජයවර්ධන ආණ්ඩුව සමග හැපුණු විජයට ඔහුගේ ක්‍රියාකාරී සමාජ අරගලය හේතුවෙන් විජය කුමාරතුංගට සිපිරි ගෙදර දොරටුව විවර විය. ඔහු නැවත සිපිරි ගෙයින් නිදහස් වන්නේ 1983 ජනවාරි 17 වන දා ය. 

මේ සිපිරි ගෙය කලාකරුවකු නම් නැවත නැවුම් මිනිසකු ලෙස උපදවන තැනකි. දේශපාලකයෙක් නම් ඔහු ජනතාවාදී  සොඳුරු ආඥාදායකයෙක් ම වන්නේ ය. විජය මේ මූලික අරමුණු දෙකම බන්ධනාගාර ජීවිතය තුළ දී ජය ගත්තේ ය. ඔහු එයින් එළියට එන්නේ අලුත් ඇසකින් ලෝකය දකින කලාකරුවකු ලෙසිනි. අලුත් අරගලයකට පණ පොවන වඩාත් ජනතා හිතවාදී දේශපාලකයෙකු ලෙසිනි.


හිරගෙදර තුළ ඔහු ලබන  සියළු අත්දැකීම්  බන්ධනාගාරයෙන් එළිය පැමිණ නිදහස්   මිනිසකු ලෙසත්, ගායකයෙකු ලෙසත් සිය අත්දැකීම් සහ  සිතුවිලි ගීයෙන් ඔප කළේ ය. අද ඔබ විඳින මේ ගී එකතුව විජය හිරෙන් නිදහස්ව, නිදහස් චින්තකයෙකු ලෙස විජය නිර්මාණය කරන ගීතාවලිය යි.  1983 වර්ෂයේ අග භාගයේ දී නිකුත් වූ විජයගේ මෙම කැසට් පටය නම් කර තිබුණේ “වේදනා” නමිනි.

විජය කුමාරතුංගගේ ‍ “වේදනා” කැසට් පටයේ සියළුම ගීත රචනා කර තිබුණේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි.  විශාරද ගුණදාස කපුගේ, ඔස්ටින් මුණසිංහ, මර්වින් පෙරේරා සහ රෝහණ වීරසිංහ මෙහි ඇතුළත් ගීතවල සංගීතය නිර්මාණය කොට තිබුණි.

විජය “වේදනා’ කැසට් පටය නිකුත් කළ ද ජයවර්ධන ආණ්ඩුව යළිත් ඊට එරෙහිව නැගී සිටියේ ය. මේ වන විට ලංකාවේ තිබුණේ රාජ්‍ය මාධ්‍ය ආයතන පමණක්  වූ බැවින් ගී ප්‍රචාරයට ඇති සියළු මංමාවත් අවුරා ගී එකතුව සමජගත වීම වැළැක්වී ය. සියළු ගීත ප්‍රචාරය තහනම් විය. ඒ අනුව විජයගේ “ වේදනා” කැසට් පටය ද එදා සිට මේ දක්වා ඉතිහායට එකතු වූ ගී එකතුවක් ම පමණක් විය. මෙ තැන් සිට ඔබ රස විදින්නේ ඒ ගී එකතුවේ ගීත කිහිපයකි.


සොල්දාදුවෝ                                                                   
නුඹ අප වන් මිනිසෙකි සොල්දාදුවෝ
සිරුර පුරා දිව යන්නේ එක රතු ලේ
කිරි උරමින් වැඩුණේ එක කෙළි මඬලේ

පිටමං වී කිරි සුවඳින් ලේ සුවඳම ඉව කරමින්
තරු ලකුණක් පළඳින්ද සැරසෙන්නේ
කෙළි මඬලේ - මිනිසත්කම්
දියකර නෙක - නොපනත් කම්
නිලදරුවන්ගෙන්දෝ  නුඹ දැනගත්තේ


සිය සොයුරන් සොහොයුරියන්
සිහි නොම වෙද සුතන’ඹුවන්
යුක්තිය වෙත කෙළෙසද අවි ඔසවන්නේ
අයුක්තියේ - අධම අණින්
එස වූ අවි - බිමට හෙළන්
එක තරුවට තරු දාහක් පායන්නේ

ගේය පද:  මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය:    ඔස්ටින් මුණසිංහ


සොල්දාදුවෝ ගීය මෙතනින් අහන්න



එදා සිදු වූයේත්, ගිය සතියේ හලාවතදී අවාසනාවන්ත ලෙස ධීවර කාර්මිකයෙකුට මුහුණ දීමට  සිදු වූයේත්, මේ ගීයෙන් කියවෙන සත්‍ය යථාර්ථය නොවේද යන්න නැවත නැවත විමසයි. සැබෑ ජනතාහිතවාදී කලාකරුවගේ යුතු කම විය යුත්තේ ද තමා නියෝජනය කරන කලාව තුළ  ජනතාව සමාජ ගත කිරීමයි. සැබෑ ජන හඬට අවියක් වීමයි.

විරෝධාකල්ප ගීතය ගීත සාහිත්‍යයේ සමාජ මතවාදය හැසිරවීමේ කලාත්මක උපාංගයක් ලෙස ලොව පුරා වර්ධනය වුයේ යුරෝපයේ සහ ඇ‍මෙරිකාවේ තුළ බිහි වූ ගීත සාහිත්‍යයේ පුනරුදයෙනි. පසුව මේ ගී රැල්ල විමුක්ති ගී බවට පත් වූයේ ලතින් ඇමෙරිකානු රටවල් හරහා ය. වික්ටර් හාරා, රිචාඩ් රෝගෝස් ආදී වාමාංශික දේශපාලන අදහස් දැරූ ලෝ ප්‍රකට ගායන ශිල්පීන් මේ මූල්කත්වයේ සිටින විට අපේ රට වල ජනතාව වෙනුවෙන් හඬ නැගූයේ කීදෙනෙක්ද යන්න අපටම ගැටලුවක් වන්නේ ඔවුන් තුළ වූ පටු දේශපාලන අරමුණු හේතුවෙනි.  ඒ අතින් බලන විට කපුගේ, විජය, කේමදාස අදී කීපදෙනෙක් පමණක් තනිවම මේ ජන අරගල සඳහා සෘජුවම දායක වූ බව පැහැදිළි ය.


 පින්මඳ පුතුනේ
 ඉඳුල් සිඟා යන                                         

නුඹේ කදුළකින් ලොව ම දකින්නෙමි
නුඹේ කෙදිරියෙන් ලොව ම අසන්නෙමි

සයින් තබා නුඹ තොල ගානා මධු
ගිනි වතුරක්  වී නහර දවාවා
නුඹ නිරුවත් කර පළදින සළු පිළි
කටු අකුලක් වී සිරුර ඇනේවා

දෙපයක් පළසේ දෙපයක් පොළොවේ
කිම එක තලයක අප නො සිටින්නේ
ලොව කොතැන හෝ වරදක් වී ඇත
කිම ඒ නිවැරදි මඟ නො පෙනෙන්නේ

ගේය පද:  මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය:    මර්වින් පෙරේරා

පින්මද පුතුනේ ගීය මෙතනින් අහන්න



විරෝධාකල්ප ගීතය සමාජ මතවාදය හැසිරවීමට තරම් ශක්තියක් ඇති, ජනතාව පොදු දේශපාලන ප්‍රවාහයකට යොමු කිරීමට තරම් ශක්තියක් ඇති, ආකර්ශනයක් ඇති ප්‍රාසාංගික කලාවක් බව  විජයගේ  මේ ගීත දෙස බලන විට  අවබෝධ කර ගත හැකි ය. එය එසේ කල හැක්කේ  කලාකරුවකු විසින් ඉදිරිපත් කරන නිර්මාණයක් තුළින්  තමා ඒ නිර්මාණය කෙරෙහි පළමුව අවංක වන බවට  රසිකයා තුළ විශ්වාසයක්   ඇති කළ හොත් පමණි. කපුගේ, නන්දා, විජය, සහ කේමදාස ඒ ටික මේ රට වෙනුවෙන් ඉටු කළහ. එය එදා මෙදා තුර ගීතය සමාජ මෙහෙවරක් සදහා යොදා ගැනීමේදී ඉතා වැදගත් සාධකයක් විය.

 
දඟගෙයි දඬුවම් සියුමැලි වැඩි නම්
අලුගෝසුවනේ එල්ලාපං
කටු ඉඹුලේ අප එල්ලාපං

යුක්තිය උදෙසා කෑ මොර දීමයි
දඟගෙයි ලෑමට අප සැම කළ පව
මුකවාඩම් බැඳ එකකු නසන කල
දනිවු සුවහසක් තව උපදින බව

වරදට එරෙහිව අවි ඔසවන්නේ
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදී තපස් රකින්නේ
පිට කොඳු බිඳගත් ඔළ මොළ නිවටුන්

ගේය පද:  මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය:    විශාරද ගුණදාස කපුගේ

විජය කුමාරතුංග තම “ වේදනා” කැසට් පටයට ගැයූ “දඟගෙයි දඬුවම්” නම් වූ මේ ගීය විජය ගේ හඬින් ඔබ අසා නැත. ඔබ ඇසු යේ මෑත කාලයේ විජයගේ හඬට සමානව ගී ගැයූ  නව පරපුරේ තරුණ ගායකයෙක් ගේ හඬිනි. එසේත් නැත්නම් සංගීත කණ්ඩායම්වල ගී ගයන ශිල්පීන්ගේ හඬවල්වලිනි.

විජයගේ ඒ හඬට සමාන හඬක් තිබුණද,  ඒ ශිල්පීන්ට එයින් ජනතාව තුළ ගොඩ නැගෙන්නට නොහැකි විය.  ඒ කපුගේ හෝ විජය කුමාරතුංග මෙන් පොදු ජනතාව වෙනුවෙන් කැපවූ පැහැදි හඬක්, පෞරුෂයක්, මෙන්ම දර්ශනයක්ද ඔවුන් කිසිවකු තුළ නො තිබූ නිසා ය. එ හෙයින් ම විජය කුමාරතුංග වැනි කලාකරුවෝ සදාකල්හිම ජනතා හදවත් හි නො නිඳා හිඳිති.෴

දඟගෙයි දඬුවම් ගීය මෙතනින් අහන්න





කියවූ ඔබට ස්තුතියි. හැකිනම් ලියා යන්න ඔබේ අදහස්  මෙහි, එය අදට වඩා වැදගත් මට ‍හෙට දවසටයි...



33 comments:

  1. බොහොම ස්තූතියි මේ සින්දු කීපය බෙදාගත්තට. විජයගේ මම කැමතිම "දඟගෙයි දඬුවම්" සින්දුවෙ මුල් ගායනයයි මේක නේද?

    ගීතය හෝ වෙන කලාවක් මිනිස්සුන්ගෙ සිතිවිලි වෙනස් කරන්න සමත් වුන කාලෙ ඉකුත් වෙලා කියලයි මට හිතෙන්නෙ. දැන් මිනිස්සුන්ට සින්දුවක් අහන්න වෙලාවක් නැති වීමත්, ආප්ප බානව වගේ ඉන්ස්ටන්ට් සින්දු තිබීමත් එක්කයි එහෙම වෙලා තියෙන්නෙ. ඒ නිසා සමාජයක් විධියට කලාවෙන් දේවල් උකහාගන්නවට වඩා ‍නිකං ඔන්න ඔහේ ඇහෙන නිසා අහල ඉන්න බවක් තමයි පේන්නෙ. මන්දා ඒ මට හිතෙන එක!

    ReplyDelete
    Replies
    1. @..hare

      ස්තුතියි ඔබට, මේ විජයගේ මුල් කාලෙ ඔර්ජිනල් සිංදු සෙට් එකක්. දඟගෙයි දඬුවම් ගීය ඔර්ජිනල්ම එක. විජය මියගිය පසුව මේක අලුත් සංගීතයට හැදුවද මංදා. මට නම් නිතරම ඇහුනෙ මංජුල වර්ණකුල ගැයූ ගීයයි.

      අදටත් ගීයෙන් සමාජය කෙරෙහි ලොකු බලපෑමක් කරන්න පුලුවන්. නමුත් කලාකරුවන් පළමුව අවංකව ජනතාවාදී වෙනවනම් විතරයි. ඒත් අද එවැන්නක් දක්න්ට නැහැ. මිල මුදලට තනතුරුවලට දේශපාලකයන්ගේ එහෙයියන් වෙලා ඔවුන්ට කඩේයන.වන්දනා කරන කලාකරුවන් පිරිසක් අද ඉන්නෙ. එතකොට ගීයෙන් සමාජය මෙහෙයවන්න බැහැ.

      අනික ඒ අයට රසිකයන් රවට්ටන්නත් බැහැ. ඒකය් අද තත්වය ජනතාව නිද්‍රාශීලි වුනේ නියම කොන්දක් ඇති කලාකරුවන් නැති නිසා.

      Delete
  2. මම මෙතනින් අහලා තියෙන්නෙ දඟගෙයි දඬුවම් සින්දුව පමණයි.
    විජය කුමාරතිංගයන් මිය යන විට මා කුඩා ලමයෙක් විය.නමුත් ඒ පෞරුෂයට මම අදද ඇලුම් කරමි.ඒ ගාම්බීර කට හඬ තවමත් වෙන කෙනෙකුගෙන් මා අසා නැත.

    ReplyDelete
    Replies
    1. නිසූපා..ට

      ඇත්ත නිසූ.. විජයගෙ ගැඹුරු හඬ පෞරුෂය ගීතයට ආලෝකයක් වුණා.ඔහුගෙ හඬ අනෙක් ගීහඬවල් වලින් වෙනස්ම එකක්.

      Delete
  3. මම මේ සිංදු තුනෙන් අහලා තියෙන්නේ දඳගෙයි දඩුවම් ගීතය විතරයි. විජය කුමාරතුංග කලාකරුවාගේ රංගනයට වඩා මම ආස කරන්නේ ගායනයට !
    ගැඹුරු කටහඩක් තියෙන ගායකයෙක් !
    වලාකුලක් ගෙන මුවා කරමු..... ගීයට තමා මම් වඩාත්ම මනාප !

    ReplyDelete
    Replies
    1. මධුරංගට

      මධුරංග, දඟගෙයි දඪුවම් ගීය ජනප්‍රිය වුනේ මෑත කාලයේ මංජුල වර්ණකුල නිතර නිතර ගැයූ නිසා. මටනම් විජයගෙ රංගනයත් ගායනයත් දෙකම අමෘතයක් වගේ දැනෙනවා.

      මම විජයගෙ ගීත අතරින් කාලෙකින් නෑසුන මේ ගී තෝරගත්තෙ වෙනසක් සදහා.
      එච්.ඩී.ප්‍රේමරත්නගෙ සහරාවේ සිහිනය චිත්‍රපටයේ වලාකුලක්ගෙන ගීයත් මරු. හැබැයි .ඒකම සුනිල් එදිරිසිංහත් ගැයුවා. මගේ මතකයේ හැටියට සුනිල්ට ඒ ගීය වෙන්වෙන් සරසවි සම්මානයත් ලැබුණා වගේ ටිකක් මතකයි.

      Delete
  4. මම නම් හිතන්නේ මේ සින්දුවල ජීවය තියෙන්නේ සුනිල් ආරියරත්නයන්ගේ පද වැලේ කියා..නන්දා මාලිනියගේත් විජයගේත් ගීත මෙතරම් ජනප්‍රිය වෙන්නට හේතුව ඇදුරුතුමාගේ වචන ශක්තිය මත කියා මට හිතෙනවා..විජයේ හඬ පෞරුෂය මේ වදන් හා එක්ව සමාජ අනුවර්තනයකට මග පෑදුවා..
    ස්තුතියි ගී ටික බෙදාගත්තාට..

    ReplyDelete
    Replies
    1. රූ..ට

      රූ.. සුනිල් ආරියරත්නයන් අසූව දශකය ආරම්භයේ වැඩියෙන්ම ලිව්වෙ විරෝධාකල්ප ගී. නන්දාගේ සත්‍යයේ ගීතය, කපුගේ ගේ කාලයේ රාවය, ඒ නිර්මාන ඔස්සේ නව ජවයකින් සමාජ අනුවර්තනයක් කළා. විජයත් එහෙමයි. අද ඒවගේ අය හිඟයි.

      ස්තුතියි ඔබට

      Delete
  5. කවදාවත් විජයගෙ කටහඬින් අහන්න නොලැබෙන්න ඉඩ තිබුන ගීත ටිකක් අහන්න ඉඩ සැලැස්වූවට බොහොම ස්තූතියි..විජය තරම් මිනිස්සුන්ගෙ ආදරය දිනාගත්ත නලූවෙක් ආයෙත්නම් බිහිවෙයි කියලා හිතන්න අමාරුයි..මට මතක විදියට විජයගෙ මුල්ම චිත්‍රපටය 1969 හන්තානෙ කතාව..විජයගෙ සිනමා ජීවිතය අවුරුදු 19 යි, ඔහු මියගිහින් අවුරුදු 24 ක් ගතවෙලා..ඒත් තවමත් විජයගෙ නම තියන ඕනම තැනකට අපිව ඇදිලා යනවා..මම මුල්ම වතාවට මෙතනට අද ආවෙත් ඒනිසයි..මම හිතන්නෙ විජය කියන නමට තියන ආකර්ශණය කවදාවත් නැති වෙන එකක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ලකිසිරි..ට

      ස්තුතියි ලකිසිරි ඔබේ පැමිණිම වෙනුවෙන්.

      විජය තරම් මිනිසුන්ගෙ ආදරය දිනාගත් නළුවෙක් නෑ ඇත්ත. ඒත් එහෙම ජනතාව ආදරය කළ නළුවෙකුට එරෙහිව ගිනි අවියක් ඔසවන්න තරම් හිතක් තිබුණද කියල හිතෙනවා.
      විජය ආවෙ හන්තානෙ කතාවෙන් ඔබ නිවැදියි. විජය මියගියේ තරුණ ජවයත් එක්කමයි. ඒ නිසා ඔහු සදාකාලික පෙම්වතා වගේම සදාකාලික තරුණයෙක්.

      Delete
  6. අන්තිම සිංදුව විතරයි අහලා තිබුනේ කලිං....

    ReplyDelete
    Replies
    1. ඔබ නොදුටු ලොවට

      ස්තුතියි ඔබේ සටහනට. මටත් ඕනෑ වුනේ විජගේ නෑසූ ගීත ටිකක් දෙන්නයි. ඒ උත්සාහය හරි වගේ
      විජය 1983 දී නිකුත් කළ මේ කැසට් පටයේ තවත් රසවත් ගීත 09 ක් තියනවා ඉතිරි ගීත ටිකත් ඉඩක් ලැබෙන් පරිදි ආයෙ වෙලාවක මෙහෙදිම අහමු.

      Delete
  7. මමත් අහලා තිබුනේ දඟ ගෙයි දඬුවම් සින්දුව විතරයි...ඇත්ත..විජය බොහොම දුර්ලභ ගණයේ කලා කරුවෙක්..දේශපාලනය නොගියා නම් හොඳයි කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. සයුරී..ට
      සයුරී. හැමෝම අහලා තිබුනේ දඟගෙයි දඩුවම් ගීයයි. ඒක ජනප්‍රිය වුනේ මෑත කාලයේ මංජුල වර්ණකුල නිතර නිතර ගැයූ නිසා. මට ඔනෑ වුනේ වජයගේ මුල්ම ගීය දෙන්නයි.

      විජය වගේ දුර්ලභ මිනිසුන් බිහිවීමත් දේශපාලනයට යොමුවෙන්න එක හේතුවක්. හැබැයි ඒ පොදු ජනතාව වෙනුවෙන්. ඒ නිසා විජය සදාකාලික අමරණිය මිනිසෙක්.

      Delete
  8. Hi Daya Ayiya thanks for sharing those songs with us. e geetha ekathuwe sindu keeyak thibunaada? apita e ekathuwa miladee gannata berida?

    ReplyDelete
    Replies
    1. ඩිෂාන්..ට
      ඩිෂාන් ගොඩක් කාලෙකට පස්සෙ, ස්තුතියි පැමිණියාට.

      විජයගේ මේ "වේදනා" කැසට් එක 1983 දී විජය විසින්ම එළිදැක් වූ එකක්. ගීත 12 යි. 12ම ලිව්වෙ සුනිල් ආරියරත්න මහතා. නියම ලේ රත්වෙන සිංදු සෙට් එකක්. මම කැමතිම ඒගේ ගීත වලට

      මේ කැසට් පටයේ තවත් රසවත් ගීත 09 ක් තියනවා ඉතිරි ගීත ටිකත් ඉඩක් ලැබෙන් පරිදි ආයෙ වෙලාවක මෙහෙදිම අහමු. නැත්නම් ඔබ ලංකාවට ආවාම හමු වූ වෙලාවක බෙදාගෙන අහමු

      Delete
  9. ඔය යුගයේ විප්ලවකරිම,ඒ කිව්වේ ඒ යුගය විවේචනයට බඳුන් කරපු දෙතුන් දෙනෙක්.(සුනිල් ආරියරත්න ,ගුණදාස කපුගේ,විජය කුමාරතුංග )මම කලාකාරයෙක් විදියට ආස කරන චරිතයක්!

    ReplyDelete
    Replies
    1. නුවන් ට

      අසූව දශකය බොහෝ විප්ලවකාරී නිර්මාණ වලට තෝතැන්නක්. කපුගේ, නන්දා, කේමදාස, විජය වගේම සිනමාවෙ ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක ලොකු වැඩ කොටසක් කළා. ඒ යුගයේ.

      ඔබ වැන්නෙකුගේ අදහස් මට හරිම වැදගත්.මෙහෙම හරි හමුවෙන එක සතුටක්

      Delete
  10. අදහස් දැක්වූ බොහෝ දෙනෙකු වගේ මම අසා තිබුණෙත් දඟගෙයි දඬුවම් ගීතය පමණයි.. ඔහුගේ අසම රංගනය හා බැඳි ගායනය අපූරුයි.. කටහඬ බොහොම ප්‍රබලයි. විටෙක ප්‍රේමනියයි.. විටෙක විප්ලවකාරියි.. අසා නොමැති ගීත දෙකක්ම අසන්නට සැලැස්වීම ගැනත් අසා තිබූ ගීතයේ මුල් ගායනය අසන්නට සැලැස්වීම ගැනත් මගේ හද පිරි ස්තුතිය...

    ReplyDelete
    Replies
    1. ශානි ට

      ස්තුතියි ශානි. හැමෝම අහලා තිබුනේ දඟගෙයි දඩුවම් ගීයයි. ඒක ජනප්‍රිය වුනේ මෑත කාලයේ මංජුල වර්ණකුල නිතර නිතර ගැයූ නිසා. මට ඔනෑ වුනේ විජයගේ මුල්ම ගීය දෙන්නයි. හැබැයි මේ කැසට් පටයේ අනෙක් ගීත 09 ඇහුවොත් සමහර විට පුදුමත් හිතේවි මේ විජයද කියලා. අපි ඒ ගීත ටිකත් අස්වැන්නෙන්ම මතු දවසක අහමු.

      Delete
  11. 1980 නැත්නම් 81 මම වනාතමුල්ලෙ තට්ටු නිවාසයක උන්නෙ දවසක් විජයකුමාරණතුංග අපෙ ෆ්ලැට් එකට ආවා විජය පොදු මිනිහගෙ මිනිහෙක් කියලා මට එදා තෙරුනෙ නෑ. මොකද මම එතකොට පාසලෙ 1 නැත්නම් දෙකේ. ඒත් පස්සෙ කාලෙක මට විජය කියන්නෙ කවුද කියලා තෙරුනා. ස්තුතියි ගීතවලට . නිවාඩු පාඩුවෙ සින්දු ටික අහන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ලොකු ජෝන් ට

      ලොකු, මම විජය දැකලා තියෙන්නේ චිත්‍රපටවලිනුයි. ඡායාරූපවලිනුයි විතරයි.ඒත් ඔබ ඔහුව ජීවමානවම එක මෙහොතක හෝ දැක තියනවා. ඒ අතින් ඔබ හරිම වාසනාවන්තයි. මගේ සිංහල චිත්‍රපට ලෝකයේ ඔහු අමරණීය පෙම්වතා ඒතරමටම ඔහුගෙ රංගනයටත් ගායනයටත් කැමතියි. ස්තුතියි ඔබේ සටහනට

      Delete
  12. පල වෙනි සිංදු දෙක නම් අහල නෑ වගේ. පස්සෙ වෙලාවක අහන්න ඕනි. මොකද ඔන්ලයින් ගීත අහන්න අමාරුයි තියෙන පහසුකම් එක්ක. ඩවුන්ලෝඩ් කරගන්න පුඵවන් ගීත විතරයි ගොඩක් දුරට අහන්න වෙන්නෙ.

    කොහොමත් විජය කුමාරතුංග කියන නඵවට වඩා මම කැමැති වුණේ විජය කුමාරතුංග කියන දේශපාලකයට සහ ගායකයටයි. පුංචි කාලෙ ආශාවෙන් බලපු විජය කුමාරතුංග කියන වාණිජ සිනමාවෙ වීරයාට වඩා ඔහුගේ ගීත සහ දේශපාලනය මහ පොළොවෙ පැවතුණා කියල මට හිතෙනව. ඒ වගේම ලංකාවෙ අද තියෙන මේ කැත දේශපාලනය මේ තරම් රජ වෙන්න හේතු වුණේ විජය වගේම මරා දැමුණු සැබෑ මිනිසුන්ගේ අඩුපාඩුව නිසායි.
    කපුගේ, විජය, කේමදාස ජනතාව අතරම මිය ගියා. ඒත් සුනිල් ආරියරත්න මහදුරැන් හෝ නන්දා මාලිනිය ජනතාව අතර මියගියේ නැති අතර ජනතාව අතර ජීවත් නොවන බවද අද වන විට පැහැදිලි වෙමින් තිබේ. ඒත් ඔවුන් අවස්ථානුකූල හොඳ බිස්නස්කරුවන් විය හැකි බවද ඇතැමුන් යම් යම් තැන් වල පවසා තිබෙනු දැක ඇත.

    හැමදාම වගේ ඔබේ ලිපිය ඉතා අගනේය. ස්තූතියි එයට.

    ReplyDelete
    Replies
    1. @ outsider

      හරියට හරි. ඔබේ අදහස් සියල්ල සමග මම එකඟවෙනවා.මේවන විට යථාර්ථවාදී කලාකරුවො නැහැ.දේශපාලනට කිසිඳු සබඳකමක් නොදක්වන කලාකරුවන් හැර සෙසු අය කලාවේ මුලාවෙන් ජනතාව රැවටුවා. මට කනගාටු ඒකයි.
      සුනිල් ආරියරත්න මහත්මයාටත්, නන්දාටත්, කලා ලෝකයේ ජනතාව වෙනුවෙන් තනිවම කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා මේ යථාර්ථය හමුවේ ඔවුන් දෙදෙනා මුනිවත රකිනවා.වෙනදේ බලා ඉන්නවා. අනෙක් අය නිවට නියාලු විදිහට කඩේ යනවා.

      Delete
  13. මමත් කැමති ගායකයෙක්...අන්තිම එක ඇරෙන්න අනික්වා නෑසූ ගීම තමයි..

    විජය හරිම හොඳ මනුස්සයෙක් කියලා දන්නා හඳුනන බොහෝ අය කියනවා..ඔහු දේශපාලනයට නාවානම් තවමත් ජීවතුන් අතර කියලත් කියන්නෙ ඒ අයම තමා..ඒ බොහෝ අය සීදුවෙ....

    වටිනා චරිතයක් නැතිවීම ගැන කණගාටුයි..

    ReplyDelete
    Replies
    1. හරී..ට
      හිත හොඳ හැමෝගෙම ආයුෂ කෙටියි. ඒ හිත හොඳ වැඩිකම නිසා. හැබැයි මට හිතෙන වියට නම් විජය හොදම රංගනය අරඹන්නෙ දේශපානයෙන්. ඒ නිසයි විජය ජනතාවාදී නායකයෙක් වුණේ. හැබැයි ඒ දේශපාලනය තුළ ඔහු අද හිටියනම් මේ රට මීට වඩා වෙනස් වෙන්න තිබුණා

      Delete
  14. දඟගෙයි දඬවම්න ම් අහලා තියෙනවා අනිත් දෙක අහලා නෑ... බොහොම ස්තූතියි...!

    ReplyDelete
    Replies
    1. සෝරෝ..ට

      සෝරෝ.. මම හැමදාමත් කලේ වෙනස් දෙයක්. මේකත් එහෙමයි. තවත් දවසක විජයගේ ඉතිරි නො ඇසූ ගී අහමු. ස්තූතියි ඔබට කාලය ටිකක් මිඩංගු කර මේහේ ආවාට

      Delete
  15. බොහොම් ස්තුතියි මේ ගීත වලට. විජය යනු අසාමාන්‍ය හඬ පෞරුෂයක් තිබූ කෙනෙක්. විජය මිය යනකොට මගේ වයස අවුරුදු දෙකයි. ඒත් පසු කාලීනව විජය ගේ ගීත මෙන්ම රඟපෑම් වලටත් මම ඉතාමත් ඇළුම් කරන්න ගත්තා.
    මංජුල ගේ ගායනය ඇසෙන විටම මට එය විජයගේ ගායනයෙන් වෙන් කර හඳුනා ගන්න පුළුවන්. මංජුලගේ කටහඬ වගේම ගායනයත් විජයගේ කටහඬට උපරිම සාධාරණය ඉටු කළත් විජයගේ ගායනයේ තිබෙන මොකක්දෝ ගුණයක් ඒ ගායනයේ අඩුයි. ඒ කුමක්දැයි කියන්නට හරියටම බැරි වුණත් විජයගේ ගායනය ඇහෙනකොට හදවත ඇතුලෙ දෝංකාර දෙන ගතියක් දැනෙනවා.
    කරුණාකර ඉතිරි ගීතත් අප වෙනුවෙන් ඉදිරිපත් කරන්න.
    මඟ බලාගෙන ඉන්නවා! :)

    ReplyDelete
  16. සොල්දාදුවෝ ගීතය අන්තර් ජාලයේ සොයන විටයි මට මෙම බ්ලොග් පිටුව හමු වුණේ. මෙම ගීතය අන්තර් ජාලයේ ඇතැයි යන්න පවා මුලින් මම බලාපොරොත්තු නොවුණෙමි. මෙම ගීතය වෙනුවෙන් ඔබට වචනයෙන් කිව නොහැකි තරම් ස්තුතියි. මෙවන් ගීත වල සැබෑ වටිනා කම තේරුම් ගැනීමට හැකි ආකාරයේ දුර්ලභ හදවතක් තිබීම ගැන ඔබ ඔබ ගැනම සතුටු විය යුතුයැයි සිතේ.

    ReplyDelete
  17. විජය කුමාරතුංග කියන්නෙ මම මගේ ජීවිතේ වැඩියෙන්ම ගරුකරන පුද්ගලය (ගිහියන් අතර). එතුමාගේ මානව දයාව, කරුණාව මුළුමහත් සමාජයටම විශාල ආදර්ශයක්. මා ලඟත් විජය කුමාරතුංග මැතිතුමාගේ ගීත විශාල ප්‍රමාණයක් තියෙනව. මම ඒවා බොහොම අමාරුවෙන් හොයාගත්තෙ එතුමාට සහ එතුමාගෙ ගීත වලට තියෙන කැමැත්ත නිසාමයි. නමුත් ඒ ගීත වැඩි ප්‍රමානයක් තියෙන්නෙ කැසට් පට වල. නැත්නම් share කරන්න තිබුන.

    ReplyDelete
  18. මේ කැසට් පටයේ එන තවත් මගේ මතකයේ රැඳුණ ගීත කීපයක්; පුළුවන් නම් ඒවත් දාන්න.

    කුරුල්ලන්ගෙ ගීත නාද
    වහලේ යට ලීයේ, එල්ලී මිය ගිය මගේ මලේ
    උපන් බිමට පිටුපා
    අතුරේ අනතුරු ගමනද මිහිරියි මිතුරේ
    තව ධර්මිෂ්ට සමාජය කියලා සිංදුවකුත් තිබ්බා.

    ReplyDelete
  19. http://meemessasinhalasongs.com/free-sinhala-mp3/song/download-wahale-yata-leeye_vijaya-kumaranathunga-sinhala-mp3.html

    මේකේ තියෙනවා අහන්න

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...