එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Tuesday 25 September 2012

෴ මා නොදකින ඒ පුරහඳ.....෴


සාහිත්‍ය සම්මාන දෙකකින් පිදුම් ලද ගීත සංග්‍රහය:

මේ ගෙවී යන්නේ සැප්තැම්බර්  මාසයේ අවසන් දවස් කීපයයි. සැප්තැම්බර් මාසය පාඨකයන් තුළ සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කරන මාසය වගේම  වසරක් තුළ ලේඛක ලේඛිකාවන් විසින් විවධ විෂයන් යටතේ ඔවුන් විසින් ලියන ලද කෘතීන් සඳහා සාහිත්‍ය සම්මාන ලැබෙන්නෙත් මේ කාලය තුළමයි. ඒ නිසා පොතක් කියවන්න, මිලදි ගන්න වගේම පොතක් විකුණ ගන්න ඇස් ඇරෙන මේ කාලෙ පොත් ප්‍රකාශකයන් විසින් පාඨකයා පොළඹවා ගන්න සිදුකරන කුප්‍රකට ජාවාරම පාඨකයා නොමග යවන එකක් වුවත් ඒ සම්බන්ධයෙන්  කිසිවක් නොලියමි. එසේ වුවත් 2011 වර්ෂයේ  ප්‍රකාශයට පත් වූ සාහිත්‍ය කාති අතරින් ගීත සාහිතයට සාහිත්‍යය සම්මාන හිමි වූ ගීත එකතුව පිළිබඳව එහි ඇතුළත් ගීත කීපයක් සමගින්  ඒ ගීත  කෘතිය ගැන අස්වැන්නෙන් ලියන්නට කල්පනා කළෙමි .

ධම්මික බණ්ඩාර
2011 වර්ෂයේ ප්‍රකාශයට පත් වූ ගීත කෘති අතරින් ගීත සාහිත්‍යයට හිමි වූ රාජ්‍ය සාහිතය සම්මානයත්,  මීට සති දෙකකට පෙර ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය විසින්  පිරි නමන ලද 2011 වර්ෂයේ ප්‍රකාශයට පත් වූ ගීත කෘති අතරින් හොඳම ගීත කෘතිය  වෙනුවෙන් පිරි නමන සරසවි සාහිත්‍ය සම්මානය හිමි වූයේ ධම්මික බණ්ඩාරගේ "මගේ පුංචි රෝස මලේ" ගීත එකතුවටයි.

ධම්මික බණ්ඩාර ගීත රචකයෙක් විමට කලින් ඔහු දක්ෂ කවියකු විය. ධම්මික සරසවි සිසුවකුව සිටියදී 1990 දී ප්‍රකාශයට පත්කළ "අහෝ මිත්‍රවරුනි" කාව්‍ය සංග්‍රහය ඔහුගේ පළමු කාවය සංග්‍රහයයි. අනතුරුව ගේය පද රචනා සඳහා  වැඩි ඇල්මක් දැක්වූ ධම්මික බණ්ඩාර මෑත කාලයේදී ඔහුගේ දෙවන කෘතිය ලෙස ඔහු විසින් රචනා කරන ලද ගීත ඇතුළත් "මගේ පුංචි රෝස මලේ" කෘතිය එළිදැක්වීය.  එකිනෙකට වෙනස්  සාහිත්‍ය සම්මාන උලෙල දෙකකදී එකම කෘතියට සම්මාන හිමිවීම ගීත රචකයෙකු ලෙස ඔහු ලද සුවිශේෂ ජයග්‍රහණයකි.

ධම්මික බණ්ඩාර - ඩෙනිස්ටර් පෙරේරා - අමරසිරි පීරිස්

ධම්මික බණ්ඩාරගේ "මගේ පුංචි රෝස මලේ  ගීත එකතුවට ඔහු විසින් ලියන ලද මෑත යුගයේ ජනප්‍රිය වූ ගීත ගණානාවක්ම ඇතුළත්ව තිබේ. ඒ අතර වඩාත් ජනප්‍රිය ගීත ලෙස  අමරසිරි පීරිස්ගේ  ගීත ගණානාවක් මේ කෘතියට ඇතුළත්කර තිබේ. ඒ නිසා ම මේ ගීත කෘතිය  ඩෙනිස්ටර් පෙරේරා - අමරසිරි පීරිස් සුසංයෝගයෙන් බිහිවූ ධම්මික බණ්ඩාරගේ හොඳ ගිත කෘතියක් බව සඳහන් කල හැකිය. ඒ ගීත කෘතිය  ඔහුගේ කවිතා ගුණය ඉක්මවා ගිය ගේය ලකුණින් සපිරි ගී එකතුවකි.  ඊට හොඳම නිදසුනක් ලෙස මතු දැක්වෙන ගීත නිදසුන් ලෙස ගත හැකිය.

හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දක්නින

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් මා යන කල
එපා තනිය දැනෙන්න

ලතා මඩුලු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුළිකර
මහවැලියට දමන්න

ගේය පද සංකල්පනාව : ධම්මික බණ්ඩාර
සංගීතය:  ඩෙනිස්ටර් පෙරේරා
ගැයුම:  අමරසිරි පීරිස්



ධම්මිකගේ ගේය පද රචනාවන්හි සැඟව සිටින්නේ අව්‍යාජ වූ ගැමියෙකි. ඒ නගරයෙන් ඈත එපිට සත් කෝරලයේ කුරුණෑගල දිස්ත්‍රිකයේ  පිටිසර ගමක උපන් නිර්ව්‍යාජ ගැමියා ඔහු තුළ තවමත් ජීවත්වන නිසාය. ධම්මික බිහිවූ  ඒ ගැමි සමාජය තුළ ජීවත් වූ අව්‍යාජ ජන කවියාත් ඔහුගේ ගීත නිර්මාණවල ජීවමාන ලෙසින් සැඟව සිටී. ඒ නිසාම ජන කවියේ නොමඳ ඇසුර සහ භාවිතය ඔහුගේ ගීතයට ආලෝකයක් ලබා දී ඇත. ඉහත දැක්වූ "හන්තානට පායන සඳ" ගීතය ඊට සුදුසුම නිදසුනකි.

ඒ ගීතයේ සිටින ගැමි තරුණයාට සරසවි වරම් අහිමි වුවද ඔහුගේ පෙම්වතියට සරසවි වරම් හිමිව ඇත. ඒත් ඔහු ඒ ගැමි සමාජයෙන් මිදී අලුත් අත්දැකිමක් ලබන්න නික්ම ගිය පෙම්වතිය පිළිබඳ අහිතක් ඔහු තුළ හටගන්නේ නැත. නමුත්  වෙනස් වන ලෝකය තුල ඇයද වෙනස් වන බව ඔහු හොඳින් දැන සිටී. ඔහුගේ  හිත උපන් ඒ ආදරය සිය  හ‍ඳේ  දොරගුළු ලා ගෙන  ඇයගේ දෑස් ඉදිරිපිට ඇති ඒ අලුත් ලෝකය පිළිගන්නා ලෙස ඔහු ඇයට ඇරයුම් කරයි. මේ වූ කලී නිර්ව්‍යාජ ගැමි සමාජයක සොබා සෞන්දර්යයේත් සැබෑ ජීවිතයේත්  අපූර්ව අත්දැකිමක් එකට මුසු වූ අවස්ථාවකි.

ඔහු ඇයට ආදරය කළේ ගමේ එකට හැදී වැඩුණු කොලු ගැටයෙක් ලෙසින් වුවද ඇය සරසවියට ඇතුල් වූ පසු  සරසවි බිමෙහි හමුවන අලුත් ආදරය තුළ ඒ ගැමි පෙම්වතා එහි දැකිය හැකි නොවේ. ඒ නිසා ඇයට හිමි  ආදර ලෝකයේ අසිරිය රිසි සේ  විඳ ගැනිමට ඇයට අවසර දෙන්නේ ඒ ඈ කෙරෙන් ගිලිහෙන ආදරය තව දුරටත් ආරක්ෂා කර ගැනිමට  ඔහුට නොහැකි නිසාය.

ඩෙනිස්ටර් පෙරේරා සංගීත ක්ෂේත්‍රයට නවකයෙකක් වුවත් ඔහුට අමරසිරිගේ හඬ පරාසය  සහ සංගීත භාවිතය පිළිබඳව මනා දැනුමක් සහ අවබෝධයක් සහිතව  පූර්ව නිගමනයක පිහිටා ගී තනු නිර්මාණය කිරිම හේතුවෙන් ඩෙනිස්ටර්  දක්ෂ නැවුම් සංගිතඥයෙකු ලෙස ඔහුගේ  රුව හා ගුණය සංගීත අඹරෙහි සැණෙකින් සනිටුහන් කිරිමට ‍සමත් වන්නේ අමරසිරි පීරිස්ගේ  ගී හඬ හරහාය.

ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුණද කොයි තරම්
නුඹ නොදැක සිටි කාලයේ
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්


දෑස අග මල් පිපී තිබුණත් කොයි තරම්
එක මලක්වත් සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කා‍ලයේ
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

ගේය පද සංකල්පනාව : ධම්මික බණ්ඩාර
සංගීතය:  ඩෙනිස්ටර් පෙරේරා
ගැයුම:  අමරසිරි පීරිස්


මගේ ඇසින් මට හැ‍ඟෙන විදියට “හන්තානට පායන හඳ”  ගීතයේ සිටින ඒ පෙම්වතා මේ ගීතයේ ද සැඟව සිටින බවක් දැනේ. සරසවි වරම් ලද සිය පෙම්වති‍යගෙන් ඔහු ඉවත් වූ යේ අකමැත්තෙනි. හිත උපන් ආදරයක වියෝගය අමිහිරි අත්දැකිමක් වුවද, ඒ අමිහිරි අත්දැකිම නැවත නැවත විඳවන විටදී ශෝකයේ රසය වඩාත් තීව්‍රව දැනෙන්නේ  ආදරය, ප්‍රේමය සහ වියෝගය අප කාටත් පොදු මානුෂීය අත්දැකිම් වන නිසාය. " ඔබ ආයෙමත් ඇවිදින්" ගීයේ සිටින ප්‍රේමවන්තයා ඒ අමිහිරි අතීතයේ සිරකරුවෙකි. ආදරයේ වියෝවකින් පසුව ඕනෑම මොහාතක පෙම්වතා හෝ පෙම්වතිය නැවත එකිනෙකා අහම්බයකින් හෝ හමුවූ විට  ඔවුන්ගේ  ඒ අතීය සැණෙකින් සිහියට නැගේ. එය ඉඳිකටු තුඩකින් හදවත සිදුරු කර දැමීමක් වාගේය.  එවැනි අවස්ථාවක් අහම්බයක් වුවද,  කිසිවකුටත් එය වැළැක්විය නොහැකි සේ ම ඒ ගැන තවකෙකුට පැවසීමටද නොහැකිය. එවන් මොහොතක උනුන් රහසින් බැන්ද පෙම්දම් නැවත සිහිකර හිතෙන් හඬා වැටී ඉවත  බලාගෙන ඉවත් යාම හැර ඔවුනට වෙනත් සරණක්  නොමැත.  ධම්මික බණ්ඩාර ගීයට නගන්නේත්, ඩෙනිස්ටර්ගේ සංගිතයේ මුසු වන්නේත් අමරසිරි පීරිස්ගේ ගායනයෙන් අපට දැනෙන්නෙත් එවන් වියෝගයක ඒ නොකී පෙම් පුවතයි. එවන් මොහොතක එවන් පෙම්වතුන් යුවලක් තනි තනිව නොකියා කියන්නේ  මතු දැක්වෙන ගීයේ කතා පුවත නොවේ දැයි මොහොක් සිතා බලන්න.


 ඔබ එදා නම් සඳ වගේමයි
-    ඔබ මෙදා හිරු වී  මා දවයි
+   ඔබ මගේ යැයි තව මට සිතෙයි
-    ඔබ දමා යන්නට හිත කියයි
+   ඔබ එදා නම් සඳ වගේමයි

+   නෙතේ නෑ ආදර බැලුම්
     කොහි සැඟවුණා දෝ  නෙත් කැලුම්
-    ඔබේ ලෝකය නෙවෙයි මගෙ ලොව
      මැකී යයි ආදර හැඟුම්

+    පිටු පුරා පෙම් කවි ලියූ
      හිත ගොලු වුණේ ඇයි රස මැවූ
-     නොදන්නෙමි වැරදුණේ කොතැනද
      දෛවයද මේ අප පැතූ

ගේය පද සංකල්පනාව : ධම්මික බණ්ඩාර
සංගීතය:  ඩෙනිස්ටර් පෙරේරා
ගැයුම:  අමරසිරි පීරිස් සහ දිල්රුක්ෂි ජයකොඩි.




ධම්මිකගේ ගීතයක රැඳුණ ප්‍රේමයේත්, ආදරයේත් සදාතනික බව රැ‍ඳෙන්නේ එය විඳින රසිකයා තුළය. ඇතැම් විට  ආදරය ප්‍රේමය වැනි සංකල්පනා යොවුන් විය සමග එකිනෙකට පෑහෙන බැඳීම් වුවද, සිය යෞවනයේ විදින්නට නොලද ආදරය, නිසි වයස ඉක්ම වූ තවමත් තනිකඩව සිටින අයෙකුට  වඩවඩාත් හොඳින් හෘදයාංගමව දැනේ.  එය ඇතැම් විට ලෝකයට විවර නොකර සඟවාගත් ආදරයකි. හද ගැබෙහි සිය දහස් වාරයක් රිදුම් දෙමින් රහසේ  හඬා වැටෙන ආදරයකි.  වියපත් වූ පෙම්වත් හදවතක අප නොදකින අනුවේදනිය පුවතකි. ධම්මික බණ්ඩාරගේ  " හන්තානට පායන හඳ" ගීතයේද,  " ඔබ ආයෙමත් ඇවිදින්" ගීතයේ දි දුටු යොවුන් පෙම්වතිය අහම්බෙන් නෙත ගැටුණු විට " ඔබ එදා නම් සඳ වගේමයි" ගීයයෙන් ඒ බිඳී වෙන්ව ගිය  පෙම්වතුන් යුවල දෙහදේ ලැගුම්ගත් නොකී පෙම් පුවත කීවේය.

ඇතැම් විට ඒ ප්‍රේමය නිසාම තවත් ප්‍රේමයක් ගැන නොසිතා වියපත්ව නැවත ඒ ප්‍රේමයෙන් බැඳී සිටින මොහොතක්  සමාජය විසින් බැහැර කළද, කවියේදී මෙන්ම ගීතයේදිත් නිර්මාණකරුවකු ඊට හාත්පස වෙනස් වූ ළතෙත් බවකින් යුතුව ඒ වියපත් ආදරය දකී. එසේ සංයමයෙන් යුතු සිතිකින්ද, මුදිතාව වෑහෙන ඇසකින්ද එවන් වියපත් හදේ උපන් ආදරය දකින්නේ සැබෑ නිර්මාණකරුවෝ ම ය. ධම්මික බණ්ඩාරද එවැන්නෙක් බව "මගේ පුංචි රෝස මලේ" ගීයෙන් ඔප්පු කර ඇත. ධම්මික බණ්ඩාරට මෙන් ම ඩෙනිස්ටර් පෙරේරාටත් සංගීත ක්ෂේත්‍රයේ තම ස්ථානය තහවුරු කර ගැනිමට හැකි වූයේත්, අමරසිරි පීරිස් "ඔබ ඇපල්  මලක් වාගේ" ගීයෙනුත් නැවත වෙනස් කළේ  "මගේ පුංචි රෝස මලේ" ගීයෙනි.

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

කලුවර රෑ හඳක් වගේ
අහසේ නුඹ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න
තරහක් නැ නුඹ බැස යන්න

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මම කවුලු පියන්
ඇරල  තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න

ගේය පද සංකල්පනාව : ධම්මික බණ්ඩාර
සංගීතය:  ඩෙනිස්ටර් පෙරේරා
ගැයුම:  අමරසිරි පීරිස්




ධම්මික බණ්ඩාර ජනප්‍රිය ගීත රචකයකු බවට පත්වන්නේ " මගේ පුංචි රෝස මලේ" ගීයෙනි. ගීයේ ඇති කවිතා ගුණය ඉක්මවූ ගේය ගුණය මුළු ගීය පුරාම විහිදෙයි. එය සංගිතඥයකුට මියුරු තනුවක් සදහා  ඇරයුම් කරන්නේ ගේය පද රචනාව තුළම සංගිතඥයාට අවශ්‍ය ගීතමය පසුබිම සකසා දෙන නිසාය. ධම්මික තෝරාගන්නා ව්‍යක්ත කවි බස ගීයට විශාල ආලෝකයකි. එය ඔහුගේ ගිත කෘතිය පුරාම දැකිය හැකිය. අනෙක් අතට ධම්මිකගේ ගේය පද රචනාවන්ට විෂය වන ආදරය, ප්‍රේමය, සංතාපය, සහ වියෝගය ඔහුගේ සරල සහ සුගම බසෙහි භාවිතය නිසා ගීයේ වචනවල ඇති ළෙංගතුකම  හෘදයාංගම ලෙසින් රැක ගනී. ඒ ධම්මිකගේ ජනවහර මෙන්ම පුරවහරද, සම්භාව්‍ය සාහිත්‍යයේ ඇසුරද නොමද ලෙසින් ගේය කාවය සඳහා උපයෝගී කර ගන්නා නිසාය.

කවියාගේ නෙත  ඉමේ දැවටෙන හැම දසුනක්ම කෙතරම් රළුපරළු අත්දැකිමක් වුවත්, ඒවා ගේය පද රචනා බවට පත්වන්නේ විශිෂ්ඨ භාෂාව හැසිරවීම නිසාය. ඇතැම්විට ගීයකින් කතා බහට ලක් නොවන සමාජ අත්දැකීම්වලට තුඩු දෙන මාතෘකා  පවා ඔහු ගීතය සඳහා පාදක කර ගනී.

පිටකොටුවේ බෝගහ යට බෝම්බයට බිලිවු ලොතරැයි විකුණන මල්ලීද, යුද බිමක තනිවූ සෙබල පෙම්වතා හිත උපන් ප්‍රේමයද, 83 කලු ජූලියෙන් මිය ගිය  සපත්තු මැසූ වේලුද,  ඔහුගේ ප්‍රේම ගීතයේ සෞන්දර්ය රීතිය පසෙක ලා සැබැ ජීවන අත්දැකිම්වලට අප කැඳවයි.

ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම
මධුරි වගේ නටන්න බැරි හින්දාම
දෑස ‍ඓශ්‍චර්ය වගේ නැතුවාට
මගෙ කුමාරයෝ මා අතහැර  දැම්මාද ........

වැනි ගීයකද, "ම‍ගෙ පුංචි කුඩේ" "සිරි සංඝදාස මහත්තයා"  වැනි ගීයකත්  නූතන සමාජ සංස්කෘතිය තුළ අප විඳින, විඳවන හරසුන් ගිත රැල්ල තුළ නිසරු බිමක පිපුණු කරඹ මලක් සේ සුවඳ විහිදුවයි.  ඒ නිසරු බිමෙහි සැඟව ඇති රසවින්දනයේ සරු බීජ ඉඳහිට ඇද වැටෙන පොද වැස්සට තෙමී ‍මුලුමහත් පොළෝ තලයම පෙඟුණ පසු සරු පසක ගොබ ඇදී පැළවෙන්නට පටන්ගන්නා රන් අස්වනුවල පළමු අංකුර සේ ධම්මික බණ්ඩාරගේ “මගේ පුංචි රෝස මලේ” ගීත එකතුවේ ඇති ගීත  හෙට දවස වෙනුවෙන් දලුලමින් වැඩේ. ඒ නිසා ගීතය සහ ගීතය සාහිත්‍යය පිලිබඳව උනන්දුවක් දක්වන කාටත් එකසේ රසවිදිය හැකි කෘතියක් ලෙස ධම්මික බණ්ඩාරගේ “මගේ පුංචි රෝස මලේ” ගීත සංග්‍රහය හැදින්විය හැකිය.

“මගේ පුංචි රෝස මලේ” ගීත කෘතිය  එස්. ගොඩගේ ප්‍රකාශනයක්
මිල රුපියල් 300/=


වටිනා කාලය බිඳක් වැය කර ගී රස විඳිමින් කියවූ ඔබට  ස්තූතියි. වෙලාවක් ඇත්නම්  මීට වඩා වෙනස් වූ  ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න.  

Sunday 16 September 2012

෴ යාත්‍රාව පදවන්න මා සමග එක් වන්න...෴




සුන්දර රාත්‍රියක් මෙ තරම් කවදා උදාවේද නොදනිම්.......

 

උදාවන හැම රාත්‍රියක්ම  මතකයේ නොරැ‍ඳෙන නමුත් ඉඳහිට එවැනි විරල අවස්ථාවක රැයක අසිරිය විඳ ගැනිමට ලැබෙන්නේ කලාතුරකිනි. ස්වභාව සෞන්දර්යයේදීත්, කවියේ මෙන්ම ගීතයේදීත් හමුවන එවන් රැයක සුන්දරත්වය ඇතැම් විට සදානන්ද කරවූ මිහිරක් ළඟා කර දෙයි.  ඇතැම් විට එවන් රැයෙක සවනට මුසුවන ගීයක් කෙනෙකුට සතුට සැනසුම ගෙන දෙන නමුත් තවත් කෙනෙකුගේ හිත වේදනාවෙන් පුරවා දමයි. රාත්‍රියක පැහැය කුමක්ද කියා ඇසුවොත් පිළිතුරක් දිය හැක්කේ “කලු පැහැය” කියාය. පැහැය කලු වන්නේ හඳුනාගැනිමට තරම් කිසිම සංකේතයක් හෝ වර්ණයක් එහි නැති නිසාය. එවන් රාත්‍රියක සඳ තරු වලට ඉඩදී පීදෙන කුසුමක  පවා රැදී ඇත්තේ එකම එක පැහැයයි. ඒ ශ්වේත වර්ණයයි. ගෙවුණ සිකුරාදා රාත්‍රියද එවැනි සුන්දර රාත්‍රියකි.  ජීවිත මතක සටහන් අතර අලුතින් ලියා තැබු ඒ රාත්‍රියද සුන්දර රාත්‍රියක්ම විය.

සිය දහස් වාරයක ඇය පොදු ජනතාවගේ ගායිකාව වූවාය. පැලේ පිලේ වෙසෙන අහිංසක දුප්පත් ගැමියාගේත් මන්දිරයේ වෙන  මහා ධනකුවේරයාගේත් වෙනස ඇය හොදින් හඳුනන අපේ ගායිකාවය. පීඩිත දනන් වෙනුවෙන් ගී ගයන මග තොටේ දකින ගැහැනිය ඇයය. අති ප්‍රබල ගී හඬක් ඇය සතුය. මා එසේ සදහන් කළේ සුවහසක් ගී රසිකයන්ගේ ආදරය හා ගෞරවයට පාත්‍ර වූ  නන්දා මාලනියගේ මනෝරම්‍ය ගායනයෙන් සුසැදි "ශ්වේත රාත්‍රිය" ඇයගේ අවසන් සජීවි ගී ප්‍රසංගය රත්මලානේ පිහිටි සිරස ගුවන් විදුලියට අයත් "ස්ටයින්" මැදිරියේදී විසි හය වන වතාවටත් ගැයූ අයුර හිතේ තවමත් රැව් දෙන නිසාය.

ශ්වේත රාත්‍රිය අවසන් ප්‍රසංගය පිළිබඳව අත්තම්මගේ පෙට්ටගම ලියන අපේ හිත මිතුරු ලොකු ජෝන්  සහෘදයානන් විසින්ද මේ ප්‍රසංගය පිළිබඳ  සටහනක් තබා ඇති බවද මුලින්ම සටහන් කරමි.

ගමට සහ නගරයට සමව බෙදු සංගීත රසය

අගනුවර මෙන්ම, අම්පාර ගී රසිකයන්ටත්, මාතර, ගාල්ලේ මෙන්ම අනුරාධපුරේ ගී රසිකයන්ටත් වෙනසක් නැතිව අඩු නැතිව ගී රස මිහිර බෙදා දුන් ශ්වේත රාත්‍රිය ඒක පුද්ගල  ප්‍රසංගය,   ප්‍රසංග කලාවේ ඉතිහාසයට එකතු වු අති විශිෂ්ඨ ප්‍රසංග මාලාවක නිමාවේ  සුන්දරම මතකයක් බවට පසක් කල රාත්‍රියක් වුවද,  එහි ගැලූ ගී ගඟුල තවත් දශක කීපයක් පුරා රසික් සිත් තුළ  රැව් දෙනු ඇත.  වසර දෙකක් වැනි කෙටි කාලයක් පුරා මනා සංවිධානයකින් සහ සැළසුමකින් යුතුව  මාසයකට එක ප්‍රසංගයක්  බැගින් ප්‍රධාන නගරයන් සිසාරා හමා ගිය  ඇයගේ සුමියුරු ගී රාවය අවසන් ප්‍රසංගයේ පැය දෙකක කාලයේද  ගඟුලක් සේම ගලා ගියාය.
ශ්වේත රාත්‍රිය නන්දා මාලනියගේ ගී මගෙහි ඉතාම කෙටි චාරිකාවක් වුවද ඒ ප්‍රසංග මාලාව වටා රොක් වූ සිමිත රසික පිරිස හරවත් ගීතයේ පරමානන්දයේ  මිහිර වින්ද බවට සැකයක් නැත. සමස්තයක් ලෙස හැම ප්‍රසංගයක් වටාම එක් වූ ගී රසිකයන්ගෙන්  පැහැදිළි වූයේ සුභාවිත ගීතයේ රස මිහිර  රසිකයන්ට අත්‍යවශ්‍යම මොහොතක නන්දා මාලනිය සිය  ගී ප්‍රසංගය නිමා කිරිම හරසුන් ගී රැල්ල තුළ  සුභාවිත ගීයට  රික්තයක් ඇති කළ සඳහන් කළ යුතුමය.

ශ්වේත රාත්‍රිය මුල්ම ප්‍රසංගයේ පටන් අවසන් ප්‍රසංගය දක්වා වේදිකා ගත වූ හැම ප්‍රසංගයක් වටාම  රසික පර්ශද සැදී පැහැදි සිටියේ හරවත් ගී පිපාසයෙන් පෙලෙන රසිකයන් හරසුන් ගීත  සංස්කෘතියෙන් මුදවා ගැනීමේ කාර්යය ගායිකාවක වශයෙන් නන්දා මාලිනිය වෙත පැවරෙන බව තහවුරු කරමිනි.

අන්තිම රාත්‍රිය
 
සිකුරාදා සවස  අවසන් ප්‍රසංගයේදී ද ශ්වේත වර්ණයෙන් සැරසී ඇය වේදිකාවට පිවිසියේ දශක පහක් පුරා ඇයගේ ගමනට අත්වැල සැපයූ සිය රසික සහෘද පිරිසට හිස නමා  බුහුමන් දැක්වීමෙනි.  විටක කලාවැව සේ නිසලවද  , තවත් විටෙක වැව්තලය සිසාරා ඇදෙන සිහින් දිය රැල්ලක් සේ ම සිය මධුර මනෝහාර ගායනයෙන් ඒ දැවැන්ත වේදිකාව මත රසික සිත් යළි යළිත් අතීත ගී මංපෙත් ඔස්සේ අවදි කළාය.

කලාවැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මටමැ වටී
බෝධියකින් වට බෝ කොලයක් සේ
අගී අගී ඔබ මටමැ අගී

වැව්තලයක් සේ ගීතයේ දැහැන් ගතව සිටින සිය රසික හමුහයා යට කලා වැවෙන් දෝතට ගත් දිය දෝතක්  තරමටම අගේය. බෝධියකින් ගිලිහෙන බෝපතක්  බිමට පතිත වනු නොදී රැකගන්නේ යම් සේද ඇය සිය ප්‍රාණවත් ගායනයෙන් සිය රසික පිරිවර රැක ගන්නීය. 


සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙමී
ඔබ නිසා පදවන්නෙමි

ප්‍රදීපාගාරයක ආලෝක වලල්ලක් එවාලා
ඔබ සිටින ගොඩ බිමෙහි මං ලකුණු දන්වන්න
නැංගුරම් ලන තැනට
පෙනෙන සේ ඔබ ඉන්න

වෙරළ වෙත සැපත් මා දෝත පා පිළිගන්න සිනාසී
දුර්ග වූ ගමන් මග විඩා ගිනි දුරලන්න
යාත්‍රාව පදවන්න
මා සමග එක්වන්න.

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය: සරත් දසනායක
ගැයුම : නන්දා මාලනී



සිරස විසින් සිරස නිවැරදි  කිරිම:

ලංකාවේ එෆ් එම් ගුවන්විදුලි නාලිකාවලට හරසුන් ගීත සංස්කෘතිය හඳුන්වා දිමට පුරෝගාමි වුයේ සිරස ගුවන් විදුලියයි. අවර ගණයේ ගීත තොග ගණනින් බිහිවීමේ කලාව ඇරඹුණේ සිරස නිසාය. KKV ටාසන් බාප්පලා හැදුවේ සිරස ය. සතියේ හොඳම ගීත දර්ශක හැදුවේත් සිරස ය. ඒ හරහා පසු කාලයේ කිසිඳු වැදගැම්මකට නැති ගීත එලියට පැන්නේය. සුපර් ස්ටාර් තරු වැඩසටහන් හැදුවේ සිරස ය. ගුවන් විදුලි මාධ්‍ය කලාවේ නැවුම් ඉසව් එසේ බිහිවෙද්දී සිරස ඒවාට මුල්තැන දුන් නිසාම සෙසු එෆ්.එම් නාලිකාද අලුත් යමක් නිර්මානාත්මකව කර ගනු බැරිව සිරස ගත් මගම අනුගමනය කළේය. කල් යත්ම සිරස ගුවන්විදුලිය මාධය ආයතනයක් ලෙස තමන් සිදුකල වැරැද්ද ඔවුන් විසින්ම අවබෝධ කරගත්තේය. ඒසේම ඒ වැරදි මග නිවැරදි කර ගැනිමට යුහුසුලු වී ඒ සදහා විවධ මං සෙවීය. මියැසි අරණ  සහ මියැසි තටාකය මගින් එකී ගමන් මග නිවැරදි කර ගනිමින් ගීතය සමග බුද්ධිමය සංවාදයක යෙදීම අවශ්‍ය බව ඔවුහු වටහා ගත්හ.

එහි කූඨ ප්‍රාප්තිය වූයේ සිරස හැදූ වාණිජ වේදිකාවට කලාත්මක මුහුණුවරට  වික්ටර් රත්නායක සහ නන්දා මාලනිය රැගෙන ඒමය. එයින් නොනැවතී කල් යල් බලා  දැවැන්තම ප්‍රසංගය ලෙස  නන්දා මාලනී, සුනිල් ආරියරත්න  සහ සිරස ගුවන්විදුලිය   නිමැවූ ශ්වේත රාත්‍රිය වචනයේ පරිසමාප්ත අරුතින්ම විශ්ෂ්ඨ සංගීතමය අත්දැකිමක් ලෙස සටහන් කර  විශිෂ්ඨයන් අතර අති විශිෂ්ඨයා ලෙස සිය කීර්ති නාමය තහවුරු කර ගත්තේය.

ඔවුන් නන්දා මාලනිය සහ මහ ඇදුරු සුනිල් ආරියරත්නයන් මනාව අධීක්ෂණය කර මේ වැඩසටහන සැළසුම් කර තිබූ බව හෙළිවන්නේ මේ ‍ශ්වේත රාත්‍රිය ප්‍රසංග වාර විසි හය පුරාම රසිකත්වය මුල් තැනෙහි ලා තබා තිබූ නිසාය. ටොපි සිගරට් විකුණන්නන්, කඩල වෙළෙන්දන් නැති වෙළඳ දැන්වීම් බැනර් හතර වටේ තැන තැන නොඑල්ලුණ තැනක් බවට ශ්වේත රාත්‍රිය වේදිකාව පත්කර තිබුණි. අනෙක් අතට ප්‍රධාන ආරාධිතයන් නැති, පහන් දැල්වීම් නැති වෙලාවට වැඩකරන, වෙලාවට අවසන් කරන පරමාදර්ශී තැනක් බවට ශ්වේත රාත්‍රිය පත්කර තිබුණි.

ඒ නිසා නන්දා මාලනියගේ ශ්වේත රාත්‍රිය සජීවි ගී ප්‍රසංගය සුභාවිත ගීයට කැමති සිංහල ගී රසිකයා සඳහා කරන ලද දැවැන්ත ආයෝජනයකි. එහි ප්‍රතිපලය හිමිවන්නේ අනාගත ගී රසික පර‍පුරටය. ඊට හොඳම නිදසුන වූයේ මේ ප්‍රසංගය සඳහා ප්‍රවේශ පත්‍ර අලවි කිරිමට දිනය නියම කරන විට අදාල දිනයේ ප්‍රවේශපත්‍ර නිකුත් කර පැයකටත් පෙර සියලු ප්‍රවේශ පත්  අලෙවි විමයි. එය යහපත් ගීත කලාවක් දැකිමට ප්‍රිය කළ රසිකයන්ගේ සේම මිහිරිම ගී රස බෙදු සිරස , නන්දා සහ සුනිල් සුසංයෝගය ලද ජයග්‍රහණයකි.

විලක් වුනත් නිල් දිය පිරි විලක් නොවේ
මලක් වුනත් සුවඳක් ඇති මලක් නොවේ
සඳක් වුනත් පසලොස්වක සදක් නොවේ
රටක් වුනත් මගෙ රට වැනි රටක් නොවේ


නෑවත් වතුර මල යට ඉඳ නළ වතුර
තාමත් සිතින් කිමි‍දෙමි ගඟ දිය අතර
කීවත් ගිත මැද පෙර දිග මරු කතර
කාටත් හොරෙන් කියවෙයි පැල් කවි නිතර

සායෙන් හඬන දූ දරුවන් උදෙසාම
ආයෙම් මෙහෙවරට නොරටුන් ළඟ මෙහෙම
බානෙන් බැඳී සිටියත් යදියන් සේම
හීනෙන් මගෙ රටෙයි නිදියන හැම රෑම

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: නන්දා මාලනී



ප්‍රේමය සහ යථාර්ථය අතරට මුසු වූ ගීතය

නන්දා මාලනියගේ ශ්වේත රාත්‍රිය  ප්‍රසංගය පුරා විකසිත වූයේ ආදරය ප්‍රේමය සහ විරහව පිලිබඳ ගැඹුරු වින්දනීය ගැයුම්ය. ප්‍රසංගය සදහා තෝරාගෙන තිබූ ගීතවලින් සියයට අසූවකට වැඩි ප්‍රමාණයක්  ආදරයේත්, ප්‍රේමයේත් එමෙන් ම විරහ වේදනාවේත්  විවිධ ගැඹුරු මානූෂිය සංකල්පනාවලින් පිරුණු  ගී  රසික සමූහය සමග සංවාදයකට ලක් කර තිබුණි. ඉතිරි සියයට විස්ස තත්කාලින සමාජය පිලිබඳ හෘදය සංවාදයක් රසික සමූහයා සමග ගොඩ නැගිමට වෙර දාරා තිබුණි.

වර්තමාන ගීත රසික පරපුර දෙස බලන විට සමාජය විනිවිද දැකීමේ ගැඹුරු දේශපාලන මතවාදයක් ගොඩනැගිමට ශ්වේත රාත්‍රිය ප්‍රසංගය අසමත් වුවත්, යම් හෙයකින් දේශපාලන මතවාදයක් ගොඩනැගිමට ශ්වේත රාත්‍රිය ප්‍රසංගයෙන්  උත්සාහ කළේ නම් එය මෙතරම් ජනප්‍රිය ගී ප්‍රසංගයක් නොවන්නට  ඉඩ තිබුණි.  එසේම එය වර්තමාන සමාජ රටාව හමුවේ මේ ගී ප්‍රසංගය සමාජයෙන් මෙන්ම කලාවෙන්ද හුදකලා විමට බොහෝසේ ඉඩ තිබුණි. ඒ නිසාම ප්‍රසංගයේ අතර මැදට වන්නට ඇයගේ  පූජාසනයේ, ධර්මාධිකරණයට, විලක් වුනත්, සද එළිය ගගක් වී , මගේ දේශය, පානං පත්තුවේ ඩිංගිරි අම්මාය,  ජේසු ස්වාමි දරුවනේ, වැනි ගීත හත අටක්  ශ්වේත රාත්‍රියට  ඇතුළත් වීම යම් පමණකින් සමාජ මතවාදයක් ගොඩනැගීම පිණිස හේතු වි තිබුණි එය සමස්ත කලාකරුවන්ගෙන් ගිළිහෙමින් පවතින සමාජ මෙහෙවරටත්, ඔවුන්ගේ මෙකල්හි ඒ සමාජ වගකීම නිවැරදිව ඉටු වන්නේද යන්න නැවත සිතා බැලීමට අවස්ථාවක් උදාකර ඊට මංපෙත් විවර කර දී තිබුණි .

සඳ එළිය ගගක් වී
මා නුවන් ඉවුරේ
හැපී පෙණ පිඩු නගයි
අනේ අපි කවදාක
පීනමුද ඒ ග‍ඟේ

මල් සුවඳ රටක් වී
මා නුවන් සයුරේ
ඒ රටට අඬගසයි
අනේ අපි කවදාක
හිනැහෙමුද ඒ රටේ

කිරි සිහින සඳක් වී
මා නුවන් අඹරේ
සිනාසී අතවනයි
අනේ අපි කවදාක
ඇවිදිමුද ඒ ස‍ඳේ

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය: සරත් දසනායක
ගැයුම: නන්දා මාලනී



ස්වේත රාත්‍රිය ප්‍රසංගය නැරඹීමට අවස්ථාව උදා වූයේ මෙරට රසිකයන්ගෙන් ඉතාමත් සුලු පිරිසකට පමණි. ඒ සුලු රසික පිරිසේ උද්යෝගය මේ ප්‍රසංග මාලාව පුරාම ඇයට ලැබුණි. එහෙත් ප්‍රසංග වාර විසිහයක් වැනි කෙටි ගණනකින් මෙවන් ප්‍රසංගයක් හමාර වනු දැකිමට රසිකයන් ප්‍රිය නොකරන නමුත් එවන් වූ සුවිසල් වින්දනීය අත්දැකිමක් ලබා දෙන්නට යම්කිසි අනුග්‍රාහකයෙකු සිටිය යුතුමය. ගී රසිකයන්ගේ මෙන්ම පොදු ජනතාවගේ ආර්ථික මට්ටමද සළකා එකම පවුලේ සියලු දෙනාට මෙවන් ප්‍රසංගයක් අත්විඳීමට ගිය හොත් මාසයේ ඉතිරි දින29ක් කෙසේ ගෙවා ගන්නට සිදුවේද යන්න රසවින්දන හමුවේ ඇති ප්‍රධාන ගැටලුවයි. ශිල්පියෙක් තනිවම මෙවන් ප්‍රසංගයක් කළ හොත් සාමාන්‍ය රසිකයන්ට උපයන මුදල සමග යම් කිසි ප්‍රමාණයක  සැනසිල්ලක් වුවද එතරම් උසස් සංගීතමය අත්දැකිමක් නොලැබීම තවත් ගැටලුවකි. ඒනසා මෙවැනි උසස් ප්‍රසංග අත්දැකීම් මෙකල විඳින්නට නම් අනුග්‍රාහකයෙකු සිටිය යුතුමය.


පෙරදා මහ රෑ
මා සිහිළැල් උර මඩලේ‍
මුහුණ හොවාගෙන ළසොවින් වැලපුණ
කඳුළක කැළලක්  ඉතිරිවෙලා

උරහිස තැවරී වියළුණු කඳුළෙහි
ඔබගේ සුනරුත් පැතුම ගිනි ඇත
සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්

ඔබහට පෙම් කළ යුගය නිමාකර
වෙන්වී යන්ට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනෙහෙ සිතින්

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය: ස්ටැන්ලි පීරිස්
ගැයුම: නන්දා මාලනී


ඒක පුද්ගල ගී ප්‍රසංග කලාවේ හෙට දවස

වික්ටර් රත්නායකයන්ගේ  “ස”  ප්‍රසංගය ප්‍රසංගය වාර 1450ක් දක්වා පැමිණ  නිමාවට පත් කළේ  පසු ගිය ජූලි  20 වන දා ය. ඊට දෙමසකට පසුව නන්දා මාලනිය සිය ශ්වේත රාත්‍රිය ගී ප්‍රසංගයද සිකුරාදා රාත්‍රියේ අඳුරට මුදා හැරියා ය. ඉදිරියට සුභාවිත ගීයේ රස මිහිර සජිවි ගායනයකින් විඳින්නට   ඉතිරිව  ඇත්තේ සුනිල් එදිරිසිංහගේ "සඳකඩ පහණ” ගීත ප්‍රසංගයත්, එඩ්වඩ් ජයකොඩිගේ “මාරම්බරී” ගීත ප්‍රසංගයත් පමණි. ඒ හැර වෙනත් ගීත ප්‍රසංග මේ වන විට වේදිකාගත නොවේ.  එම ප්‍රසංග දෙක ගීත සහ ගැයුම් අතින් එකම ලක්ෂණ තිබුණද හරවත් බුද්ධිමය සංවාදයකට ප්‍රමාණවත් නොවේ. හරවත් ගීතයෙන් ඔබ්බට නූතන සමාජය විනිවිද දැකීමේ සංගීතමය කතිකාවක් ගොඩ නැගිම අත්‍යවශ්‍ය බව දැනේ.

ශ්වේත රාත්‍රිය අවසන් වුවද නූතන ගීතයේ සමාජමය මෙහෙවරක යෙදවීමේ  අවශ්‍යතාවයත් රස වින්දනය ඉහල තලයකට ළඟා කර ගැනිම සදහාත්,  නන්දා මාලනියගේ  ගීතයේ සෘජු මැදිහත්වීම පොදු ජනතාවට දැවැන්ත ශක්තියකි.

ඒ සියල්ල අප සිත් හි රඳවා තබා  සිකුරාදා රාත්‍රියේ හෝරා දෙකක්  පුරා  ඇය සඳ කිරණක් සේ ගී ගැයුවාය. ගීයෙන් ගීයට සමවදිමින් කලාවැව් තලයේ  දිය රළ තරඟ නැගෙන්නා සේ ඇය ගී ගැයුවාය. හදගැබ මෝරා වැඩෙන ආදරයේ උල්පත්වල මෙන්ම ප්‍රේමයේ සුන්දරත්වයද දුකද විඳිමින් රසික සමූහයා  සඳ එළියක් බඳු ඒ ගී ගඟුලේ කිමිදෙමින් ඒ හෝරා දෙක දැහැන් ගතව  සිටියහ. එක දිගට  ගී ගැයිමට තරම් ඇයගේ ගි හඬ තවම ශක්තිමත්ය. තියුණුය. ආදරයේත් ප්‍රේමයෙත් සුසංයෝගයේ හමුවන විරහව, දුක මෙන්ම ඇස උපන් කඳුළේත් අපූර්ව අවස්ථාවට  ගී රසිකයා කැඳවමින් විරහ කඳුළු සයුරේ ගිල්වමින් ඒ සුරම්‍ය රාත්‍රියේදී ගැලූ සඳ එළියේද තරු එළියේද මිහිරට ඉඩදෙමින් සිය ප්‍රසංගය නිමා කළේ ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ ගීයෙනි.

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කලේ

සදානන්ද කරවූ 
ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ

ප්‍රේමය නම් කිමැයි
ඔබ මට කියා දුන්නෙහිය
දැන්මගේ පරමාර්ථය ඔබය
මගේ පරමාදර්ශය ඔබය
මගේ ඒකායන ප්‍රාර්ථනයද ඔබය

උදාවූ සුපෙම් දම්
නුසුන් වී රැ‍ඳේවා
මගේ පුංචි ලෝකේ
තැවුල් සංසි‍ඳේවා

ප්‍රේමයෙහි ද්වාරය
ඔබ මට විවර කළෙහිය
දැන් මගේ අතීතය ඔබය
මගේ වර්තමානය ඔබය
මගේ උත්තරීතර අනාගතයද ඔබය.

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කලේ

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: නන්දා මාලනී




කතරක අතරමංව සිටින ගී රසිකයාට ඇයගේ ගී රාවය අමා පැන් දහරක් බඳු විය. අලුයම සිට පෝලිම්වල ලැග ගී රස විඳීමේ උණක් නැති  රසිකයෝ ඇයගේ ගී රස මිහිර විඳිනු රිසිව පැය ගණන් වරුගණන් පෝලිම්වල හිඳිමින් තම තමන්ගේ ටිකට් පත මිළදී ගත්හ.  පෝලිම්වල සිටි ගී ප්‍රසංග බැලිමට අකමැති රසිකයෝ ඇ‍යගේ ගී ප්‍රසංගය විඳීමට කැමැතිව රාත්‍රී ප්‍රසංගය සඳහා සවස තුනේ සිට තමන්ට රිසි තැනක සිට ප්‍රසංගය නරඹනු වස්  පෝලිමට එකතුව සිට කල් ගත කළහ. පමාවී පැමිණි පිරිස්  තමන්ට අහිමි අසුනට අරගල නොකර ලද ඉඩක ගල් ගැසුණාක් මෙන් දැහැන් ගතව හෝරා දෙකක් ඒ  මිහිරිම ගී රස වින්දාහ.

දශක පහක් පුරා ගලා ගිය ගී ගංගාවකින් තෝරාගත් ගීත විසිපහක් පැය දෙකක් තිස්සේ  ගී ගැයූ ඇය හඬා වැටෙන මිනිස් සිත් සන්තානයෙහි දෙතොළ පැළඳූ සිනාවකි.  යොවුන් වසන්තේ දුහුල් වලා පෙළක  ඔහේ පාව යනු නොදී සංසාර සා‍ගරේ පැදවූ රුවල් ඉරී  ගිය නෞකාවේ ඉවත විසිකර තිබූ කලාවැවෙන් ගත් දිය දෝතින් අකුරු කළ කුරුටු ගෑ ගී පොතෙහි ලොවම එපාවී ලොවම කළකිරී තරුද නිදන මහ රෑ ආලයවන් කවිකම් දුන්  කවියෙන් ලියූ , කඩමණ්ඩියේ දොල අයිනේ  පෙම් ලොවදී හමුවී  රාගයෙන් තොර සඳ එළියක්  බඳු අචින්ත්‍ය  ප්‍රේමයේන් මුසපත්ව හිඳ, මුලු නුවරම නිදිගත් මොහොතේ පෙර දා මහ රෑ සිහිලැල් උරමඬලේ  මුහුණ හොවාගෙන ළසොවින් හැඬූ  පානං පත්තුවේ ඩිංගිරි අම්මාමගේ දේශයේ ධර්මාධිකරණය ඉදිරියට කැඳවා පූජාසනයේ රැඳවූ ශ්වේත රාත්‍රිය  සුළං කපොල්ලේ තැනූ සවිමත් කැදැල්ලක් නොවේදැයි මටම සිතේ.෴


"ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ - ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කලේ"



වටිනා කාලය බිඳක් වැය කර ගී රස විඳිමින් කියවූ ඔබට  ස්තූතියි. වෙලාවක් ඇත්නම්  මීට වඩා වෙනස් වූ  ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න.


Related Posts Plugin for WordPress, Blogger...