ගීතය, සංගීතය
පිළිබඳව ලංකාවේ සිංහල ගීත සාහිත්‍ය
ඇසුරින් හරවත් නිර්මාණ සොයා යන ගමනකදී නිතර කතා කරන්නට සිදුවන්නේ 70, 80, සහ 90 දශකවල මෙරට බිහි වූ ගීත
කලාව පිළිබදව ය. එතැනදී ඒ අපේ ගායන ශිල්පීන් ශිල්පිණියන් සහ ඔවුන් ඉදිරිපත් කළ
නිර්මාණ පිළිබදවයි. ඒත් මම හැමවිටම උත්සාහ
කරන්නෙ ඒ සිමාවෙන් ඔබ්බට ගිහින් ගීතය සහ සංගීතය ගැන අලුතින් හිතන්න පුළුවන් යමක්
අස්වැන්නෙන් සටහන් කරන්න. එහෙම කතාකරන විට නිතරම ගීතයකදී ගීත රචකයා, සංගිතඥයා සහ ගායන ශිල්පියාට හෝ ශිල්පිණිය යන තිදෙනාට
ම සම අවස්ථාවක් ලබා දෙන්න හැම විටම මම උත්සාහ කරනවා. ඒත් අපි අහන ගීතයක්, ගීතයක්
බවට පත් කරන්න වෙහෙසෙන කීදෙනෙක් ඒ ගීතය පිටුපස ඉන්නවාද කියන එක කිසිවකු දන්නෙ නෑ.
ඒ නිසා ගීතයක් නිර්මාණයේදී සැබැ ලෙසම ඊට දායකවන මෙරට විවිධ සංගීතමය හැකියාවෙන්
යුත් වාද්‍ය ශිල්පින් පිලිබඳවත් ඉඳහිට හෝ පුංචි සටහනක් තියන්න උත්සාහයක් ගන්නවා .
ඒ හරහා ඔබටත් ඔවුන්ගේ හැකියාවන්සහ නිර්මාණ
ගැන යම් ප්‍රමාණයක් දැනුමක් ලබාගන්න
පුළුවන් වෙයි කියලයි මට හිතෙන්නෙ.
ඒ විදියට
මීට පෙර රෝහණ ධර්මකීර්ති, කළණි පෙරේරා, සහ ඩී.ඩී. ගුණසේන වැනි වයලීන වාද්‍ය
ශිල්පීන්ගේ හැකියාවන් පිළිබඳවත්, නාලක අංජන කුමාරගෙ ගිටාරය පිලිබඳවත් මීට පෙර
වරින් වර අස්වැන්නෙන් කතා කළා. ඒ විදයටම මම අද තෝරාගත්තේ අපේ රටේ තවත් එවැනිම වාද්‍ය
ශිල්පියෙක්. කලකින් මටත් ඇස නොගැසුණ මේ වාද්‍ය ශිල්පියා ගැන ඔබෙත් මතකය මේ සමගම
අවදි වේවි. මට හිතෙන හැටියට මේ වාද්‍ය ශිල්පියා පිලිබඳව මාධ්‍යයක් මගින් කතාබහ කරන
මුල්ම අවස්ථාව මේ වෙන්නත් පුළුවන්. මේ
වාද්‍ය ශිල්පියාගේ සුවිශේෂ වැදගත් කම නිසා ඔහු කවුද කියල කියන්න කලින් මගේ හිත
දුවන්නෙ එකල සෝවියට් රුසියාවට. ඒ නිසා මේ සටහන රුසියාවෙන්ම පටන් ගමු.
වී.කරලෙන්කෝ ( 1853 – 1921) දහනව වන සියවසේ සහ විසි වන සියවස ආරම්භයේ රුසියානු සාහිත්‍යයේ
විශ්ව සම්භාවනාවට පත්වූ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක්. ඒ වගේම ඔහු ලියෝ තෝල්ස්තෝයි සහ ඇන්ටන්
චෙකොව්ගේ සමකාලිනයෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු රුසියානු මහා ගත්කරු මක්සිම් ගෝර්කිගේ
පළමුවන ගුරුවරයා.
වී.
කරලෙන්කෝ ලියූ කෘති අතර “අඳ වාදකයා” කෘතියට හිමිවන්නේ මුල් තැනක්. මේ කෘතියෙන්
මිනිසුන්ට ආදරය කරන්න වගේම ආදරය ලබන හැටිත් කියා දෙනව. කරලෙන්කෝ ලිව්ව “අඳ වාදකයා”
මුලු ලෝකයේම පාඨකයන්ගේ ආදරයට පාත්‍ර වූවත් මම ලියන මේ අඳ වාදකයා අපේ ගෞරවයටත් ආදරයටත් ලක් වුණේ නෑ කියල යි මට මුලින්ම කියන්න වෙන්නෙ. වී. කරලෙන්කෝ වගේම මම මේ ලියන්නේ ලංකාවේ වාද්‍ය
ශිල්පී වී. හේමපාල පෙරේරා ගැන. රුසියානු නවකතාවේ එන අඳ වාදකයාගේ චරිතයත් වී. හේමපාල පෙරේරාගේ චරිතයන් බෙහෙවින්ම එක සමාන
නිසා මම මේ කතාව කියන්න හදන්නෙ ඒ සියල්ලම ඇසුරින්.
රුසියානු
නව කතාවේ වගේම වී. හේමපාල පෙරේරා වාද්‍ය ශිල්පියාත් තම සංගීත දිවිය අරඹන්නෙ
බටනලාවෙන්. සිය උරහිසේ එල්ලා වැටෙන රෙදිවලින් නිම වූ අත් බෑගයේ විවිධ දිගින් සහ
හැඩයෙන් යුතු බටනලා කිපයක් හොවා ගත් මේ අඳ වාදකයා සුදු සැරයටියක් අතින් ගෙන ගුවන් විදුලිය ඉදිරිපිටින් පාර මාරුවන අයුරු
මීට කලකට පෙර ඉඳහිට හෝ නෙත ගැටුණ දසුනක්.
කලකින්
ඔහුගෙ රුව හා නෙත නොගැටුණත්, රූපවාහිනියේ
ප්‍රචාරය වන පැරණි සංගීත වැඩසහන් වල ඔහුගේ රුව දකින්න පුළුවන්. කිසියම් පටිගත
කිරීමේ වැඩසටහනකදී අනෙක් වාද්‍ය ශිල්පින්ට මෙන් හේමපාල පෙරේරාට ස්වර ප්‍රස්ථාරයක්
අවශ්‍ය වෙන්නෙ නෑ. ඔහු මනසේ ඇඳ ගන්නා ස්වර ප්‍රස්ථාරය අනුව ගීතයේ බටනලාව වාදනය කල යුතු අවස්ථාව හොදින් දැනගෙන බටනලා
වාදනයක් ගීයට මුසුකර ගීතයට එකතු කරන්නෙ නොමද ආලෝකයක්. ඇතැම් ගියක ඇසෙන ඔහුගේ බටනලා වාදන අනුඛණ්ඩයක්
ඒ ගීතයේ සියලු සංවේදනාවන් අභිබවමින් නැගී
සිටිනව.
දෙතොල්
මත තැබෙන බටනලාවෙන් නික්මෙන ඔහුගේ සුසුම බටනලාවේ වා සිදුරු හයක් මත නැටවෙන ඇඟිලි
තුඩු අනුව ඒ ඒ සිදුරෙන් නික්මෙන ස්වරයේ පරිමාව පාලනය කරන හැටිත් ඒවායේ වැයෙන
අනුපිළිවෙලත් මනාව මනසින් හඳුනාගෙන සිටින ඔහු ගීතයට කලාත්මක මනෝභාවයන් එකතු කරන්නෙක්.
විටෙක හේමපාල
පෙරේරාගේ මනසේ ඇදෙන ගීතයේ ආකෘතිය ඔහුගේ ජිවන හැඟීම්වල ආදර්ශයක් වගේ. ගායන
ශිල්පියාගේ හඬ, ගීතයේ වචන වලින් හැඟවෙන අරුත අනුව ගීතයේ හරය හඳුනාගෙන එය දුක්බර ගීයක්ද,
සතුට දැනෙන ගීයක්ද, එසේත් නැත්නම්
වේදනාවෙන් පෙළන ගීයක්ද යන්න හැඟීම් වලින්ම සිය රාග තාල ඔස්සේ ගීතයට සිය සංවේදනාවන් එකතු කරන්නෙ .
සඳ පහන්
වූ රැයක යුක්රේනයේ ස්ටෙප්ස් තැනිතලා බිමක, ගලායන සිහිල් දිය දහරක හඬත්, ස්ටෙප්ස් නිල්
තණ බිම්වල කෙළවරෙහි වූ කඳුගැට මත ඇති තණ පදුරුවල තණ අග්ගිස් සීතල සුළඟට මුමුණන්නා
සේ නෙත් අඳ පෙත්රූස් මුසුකරන බටනලා වාදනයත්
කොතරම් මිහිරියට ඇත්දැයි සිතාගත නොහැකි තරම්ය. ඒත් ඒ වගේම හේමපාලයන්ගේ බටනලාවෙන් නැගෙන ඒ ශෝකී ගී ස්වරය
කියන්නේ පෙත්රූස්ගේ ගී නාදයත් එයම බවයි.
යුක්රේනයේ
ස්ටෙප්ස් තැනිතලා තණ බිම් මා නොදුටුවත්
හේමපාල පෙරේරාගේ බටනලා වෙන් නිකුත්වන ශෝකී ස්වරය එවන් සඳ පහන් රැයක මගේ සිතුවිලි කුටියේ
දොර කවුළු විනිවිද දිවයන්නේ හෝර්ටන් තැන්නට
සඳ පහන් වු දීප්තිමත් රැයක් වෙතය. ඒ තැනි තලාවේ තණ පඳුරු මත වැටෙන සඳ එළිය මෙන්ම ස්ටෙප්ස් තණ බිමෙහි වැටෙන සඳ එළියේද වෙනසක්
නොදැනේ. වී.හේමපාලයන්ගේ මේ බටනලාවෙන්
මුසුවන්නේ රුසියානු නවකතාවේ ආ නෙත් අඳ පෙත්රූස්ගේ ජීවිතයේ හමා ආ ඒ ශෝකී මියුරු
ස්වරයම නොවේද
පායා ආ
සඳ අඳුරු වලාවෙන්
මා
ඉදිරියෙදිම වැසුණා
සෝකය
තාපය පාලුව අතරින්
ඉකි බිඳ
හැඬුවා ඇසුණා
හද විමනේ
බිතු සිතුවම්
කිළිටි
කළේ ඔබේ දෑතයි
නොපැතු
වියෝගයෙ මහ වරුසාවේ
දෑත දෙපය
මගෙ සීතයි
දෑත දෙපය
මගෙ සීතයි
ඔබ
පැමිණී ඔබම ගියා
නැවතුන
තැන මම ඉන්නම්
මගෙ
සහයෝගය පතන වෙලාවේ
කොහි සිට
හෝ යළි එන්නම්.
කොහි සිට
හෝ යළි එන්නම්
ගේය
පද: කරුණාරත්න අබේසේකර
සංගීතය :
එම්.කේ.රොක්සාමි
ගැයුම: මිල්ටන් මල්ලවාරච්චි
හේමපාල
පෙරේරාගේ “පායා ආ සඳ” ගීත අනුවාදනය
මෙතනින් අහන්න
රුසියානු
නවකතාවේ එන පරිදිම හේමපාල පෙරේරාද විවිධ වූ හැකියාවෙන් යුතු වාද්‍ය ශිල්පියෙකි.
පෙත්රූස්ට වාද්‍ය භාණ්ඩ ගණනාවක් වාදනය කළ හැකි වූවා සේම හේමපාලයන්ට ද එවැනි
හැකියාවක් තිබේ. ඔහුගේ මියුරු ස්වරය ගිලිහෙන්නේ බටනලාවෙන් පමණක් නොවේ.
තවත් සංගීත භාණ්ඩ ගණනාවක් මධුර ලෙස වැයීමේ හැකියාව ඔහු සතුව ඇත. ඒ අතර හවායන්
ගිටාරය, මැණ්ඩලීනය සහ බැංජෝ ආදී වාද්‍ය
භාණ්ඩ ඔහුට මැනවින් වාදනය කල හැකිය. ඒ වාද්‍ය භාණ්ඩ වලින් නිකුත් වන නාදය ද එකිනෙකට වෙනස් වූත් විවිධ වූත් නාද රූපාවලියක්
මවන තත් සහිත සංගීත භාණ්ඩයෝය. මේවා විවිධ
වූ නාද මවමින් රසිකයන් සියුම් මනෝභාවයන් තුළ රඳවන්නේ ශෝකී සංගීතයෙන් පිරි ඉසව්වකය.
ඒ හරහා හේමපාලයන් සිය මනසේ ඇඳගන්නා සිතුවම් වලින් ලෝකය සිතුවම් කරයි. ඒ ලෝකය සංගීතයේ
වඩාත් සංවේදී සිතුවම් වලින්ම සරසාලයි.
ගුවන්
විදුලියෙන් විශ්‍රාම ගන්නා තුරු හේමපාල ගුවන් විදුලි වාදක මණ්ඩලයේ සේවය කළද, ඔහු
දක්ෂ සංගීත අධ්‍යක්ෂක වරයෙකු බව දන්නේ කීයෙන් කිදෙනාද? ඔහුගේ ඇතැම් මධුර ගී තනු
ඔහුගේ අඳ බව අපට අමතක කරවා ඇත. එවන් මධුර සංගීත රචනා අතර නිරංජලා සරෝජිනිය ගයන “මං
කවිකාරිලු” ගීය හේමපාලයන් රමණීය සංගීත සිතුවමකි. එය අඳ වාදකයෙකු සතුව ඇති සියුම් සිතුවිලිවල මනෝභාවයන් ගී තනුවකට නැගිමකි. රුසියානු නවකතාවේ පෙත්රූස් තම ලෝකය හැඳින
ගත්තේ සොබා දහමට සංවේදී වීමෙනි. හේමපාලද එසේම ය. ඔහු ද සොබාදහමේ ඇති වෙනස්විම්
සංවේදනාවන් මේ ගීතයට හසුකරගන්නා හැටි අපූරුය.
මං
කවිකාරිලු මං කවිකාරිලු
ගජමන්
නෝනට වැඩි කවිකාරිලු
ආල වඩන
කවි සිංදු ගොතන්නට
ඉස්සර
ඉඳලම මං කවිකාරිලු
දහසක් රස
විඳි කවි පද ගැයු මුත්
ඒ එක
කවියක් හිතේ රැඳී නැත
මගෙ
සංසාරේ දුක් සනසාලන
සෙනෙහස
ගැන එක කවක් කියා නැත
පිං නැති
දෝ ඒ කවිය කියන්නට
මේ
කවිකාරිට මේ කවිකාරිට
මව්
පදවිය ලද අම්මාවරුනේ
කොතෙකුත්
දරුවන් මං නළවා ඇති
මගේම
දරුවෙක් නළවා ගන්නට
එක
කවියක්වත් මං කියලා නැති
පිං නැති
දෝ ඒ කවිය කියන්නට
මේ
කවිකාරිට මේ කවිකාරිට
ගේය
පද: නිමල් රත්නසිරි රූපසිංහ
සංගීතය :
වී. හේමපාල පෙරේරා
ගැයුම: නිරංජලා සරෝජිනී
“මං කවිකාරිලු ” ගීතය මෙතනින් අහන්න
බටනලාව
ඔහුගේ සියුම් ඉඳුරන්හි ඉපදෙන හැම හැඟිමක්ම ගීතයක අනුවාදයකට හෝ ගීතයක අතුරු වාද්‍ය
සංගීතයකට මුසු කරයි. රුසියානු නවකතාවේ මෙන් ස්ටෙප්ස් තැනිතලා බිම්වල සුළඟේ සිරි
සිරියද, ගඟ දිය රැළි නගන හඬද, වන පෙතක
මුණුමුනුවද, හේමපාලයන්ගේ මියුරු වාදය හරහා හදවතට සමීප කරවයි. ඒවා කුමන අකාරයේ සිතුවිලි සමුදායක් දැයි
කිසිවකුටත් කිසිම විටක නිසි විග්‍රහයක් කරන්නට නොහැකිය. ඒ ස්වර මගින් නිකුත් වන්නේ
සතුටද එසේත් නැත්නම් ගැඹුරු ශෝකි රසයක්ද යන්න හිතාගන්නට නොහැකි තරම්ය.
ගීතයට
අවැසි රාග තාල හා මුසුවෙමින් වරෙක ආදරයෙන් ද, වරෙක දුකකින්ද, ඇතැම් විට දොම්නසින් ද, වියෝ
දුකින්ද පුරවයි. හේමපාලයන් සැබැවින් ම බටනලා වාදනයෙහි නිපුණයෙකි. අසමසම වූ ගායන
ශිලිපියෙකුගේ හෝ ශිල්පිණියකගේ මිහිරි ගී රාවය පරයමින් නැගෙන සුසුමේ සුළං පහර මගින්
ඇදෙන ගීතයේ රාවයෙන් හේමපාලයන් අප ගෙනයන්නේ අතීතේ ඈත දවසක ඈත ගම් පියසක ඉර බැස යන
හැන්දෑවක ගෙපිලක විසූ ගැමියෙකු විසින් මතු
කළ මිහිරි බටනලා ගී නාදයක් වෙත ය. ඒ තරමට ම හේමපාලයන්ගේ බටනලාව මිහිරෙන් හද පුරවනු
හැටි කියන්න මේ ගීත අනුවාදනය කදිම නිදසුනකි.
මුළු ලොව නැති වුණත්
එකම
හදවතක්
ඇත ඔබේ
නාමයෙන්
ඇත ඔබේ
නාමයෙන්
ඔබේ
සෙවනේ රැඳී ඉන්නට
වරම්
නැති වූ ලෝකයේ
වෙන්ව
සිටිනා හුදකලාවේ
එකම
හදවතක්
ඇත ඔබේ
නාමයෙන්
ලොවේ
දිනයක තනි වුණෝතින්
ඔබේ හද
සෝ තාපයෙන්
සොයා
එන්නට සිටින කැපවී
එකම හදවතක්
ඇත ඔබේ
නාමයෙන්
ගේය
පද: කුලරත්න ආරියවංශ
සංගීතය :
රෝහණ වීරසිංහ
ගැයුම: ටී.එම් . ජයරත්න
හේමපාල
පෙරේරාගේ “මුළු ලොව නැති වුණත්” ගීත අනුවාදනය මෙතනින් අහන්න
වී.හේමපාල
පෙරේරා පිළිබඳව කිසි දිනෙක පුවත්පතක ලිපියක් පළවූ බවක් මට මතක නැත. දැන් ඔහු
බෙහෙවින් ම වියපත්ව සිය ජිවිතයේ සැඳෑ සමය ගතකරමින් සිටි. ඇතැම් විට සේයාරුවකට
නගන්නට තරම් රූපකායක් ඔහු සතුව නොතිබෙන්නට පුළුවන. නැති නම් මෙරට විචාරකයන්ගේ අඳ
නෙත්වලට ඔහුගේ හැකියාවන් නොපෙනුණා විය
හැකිය. එහෙත් මෙරට ගරු කළ යුතු නැතිනම්
අගය කළ යුතු කලාකරුවන් අතර ඔහුද ඇතැයි මම සිතමි. ජීවත්ව සිටියදි නොලැබෙන එහෙත් මිය ගිය පසු පත්තර
පිටු ගණන් ලියැවෙන තරමේ සටහන් ඔහුගේ ජීවිතයේ නොතිබෙන්නට පුළුවන. එහෙත් යම් තරමක හෝ
සටහනක් තැබිමට තරම් වචන පේල් කිපයක් ලියන්නට හැකි කිසිවෙකු නැතිවිම කණගාටුදායකය.
ඇතැම් විට
හේමපාල පෙරේරා වැනි ශිල්පින් මෙරට තුළ ගෞරවාභි වන්දනයට පාත්‍ර නොවන්නේ කලාව හෝ
කලාව පිළිබඳ රසවින්දනයක් ගොඩ නැගෙන්නේ
නැති සමාජ පසුබිමකය. ඇතැම් විට මා ලියන මේ
සටහන පවා ඔහු වෙනුවෙන් ලියැවුණ එකම සටහන වන්නට පුළුවන. ඔහුගේ හැකියාවන් පිළිබදව ඇති වන්නේ පසුතැවිමකි. එය ඔහුගේ
බටනලාවෙන් මතුවන ශෝකය තරම් වූ ශෝකයකි. ඒ අන් කිසිවක් නිසා නොව මෙවන් කලාකරුවන් අකාලයේ
මියැදෙන්නට ඉඩ හැර බලා සිටින මේ සමාජය පිලිබඳවය.
වී.හේමපාල
පෙරේරා සිය ජිවිත කාලය තුළදී එලි දක්වා ඇත්තේ එකම එක නිර්මාණ එකතුවකි. එයද මීට වසර
තිහකට හෝ තිස් පහකට පමණ ඉහත දී ය. ඒ 1980 දශකයේ මුල් හරියේ සිංග්ලංකා සමාගම නිකුත්
කළ ඔහුගේ ගී අනුවාදන රැගත් කැසට් පටයකි. ඒ කැසට් පටය වුවද ඉන් නතුරුව නිකුත් ව නොමැත. ඒ
නිසා ඔහු පිළිබඳ මතකයන් නව පරපුරට
නොතිබෙන්නට පුළුවන. මා සතුව තිබු ඔහුගේ ඒ එකම කැසට් පටය වසර තිහකට පමණ පසු නැවත ඔබට අහන්නට හැකි වන තරමට සකස්කර ගැනිමට ලැබිම
ගැන මට ඇති වන්නේ සතුටකි.
හේමපාල
පෙරේරා පිළිබදව තැබූ මේ සටහන අවසන් කරන්නට කලින් මම නැවතත්
ඔබ කැදවා යන්නේ වී.කරලෙන්කෝ විසින්
ලියු අඳ වාදකයා නවකතාවේ අවසන් පරිච්ඡේදය වෙත ය. නෙත් අඳ පෙත්රූස් කීයෙව් නගරයේ
කොනක ඉදි වූ ශාලාවක වාදන ප්‍රසංගයක්
ඉදිරිපත් කරන්නට සැරසේ. ඒ ඇසු දහස් ගණනක් මහ පිරිස් ඒ ශාලාවට රැස්වෙති. මලානික
මුහුණකින් යුතු අඳ වාදකයා වේදිකාවට පිවිස එතැනට රැස්වූ විවිධ මට්ටම්වල රසික
පිරිසගේ සිත් ආනන්දයෙන් ප්‍රඥාව වෙත කැඳවීය. එතෙක් වේලා ඒ රසිකයන්ගේ අධ්‍යාත්ම තුළ සැඟව
තිබූ රසවින්දනය පෙත්රූස්ගේ වර්ණවත් ස්වර මාලා හා මුසුව නිහඬව ගීතයක් බවට පත්වෙමින්
තිබුණි.
ස්ටෙප්ස්
තැනිතලා බිම් හරහා හුදකලාවේ ගලා බස්නා දිය
දහරක් වන් සුමධුර බවකින්ද, තවත් වරෙක සෝ බරවද වැයෙන්නා වූ වාදනය වා තලයට මුසුවෙමින් ස්ටෙප්ස් තණ බිම්හි
පිහිටි කඳු ගැට මත ඇති තණපත් සුළඟට හසුව
කරන්නා වූ මිමිණුම ඒ අඳ වාදකයාගේ අඳුරු අතීතය පිළිබද රසිකයන් තුළ සිතුවමක් මැවිය. අඳ
වාදකයාගේ වාදන වලින් පැන නගින ස්වර මාලාවල නාදය ඔවුන්ට සදාතනික බවක් ගෙන දුන්නේය.
නරඹන්නන්ගේ හදවත් සිදුරු කළ ඒ වාදනය ජීවිතය හමුවේ මුහුණ දෙන වාපී තරංග සේ නොසිඳී
වැයෙන්නට විය. ආනන්දයෙන් ප්‍රඥාව වෙත සපැමිණි
නරඹන්න්නට දැනෙනේනේ ඔවුන් ප්‍රඥාවේ තොටුපළ
වෙත පැමිණ ඇති බවය.
ඒ
ස්ටෙප්ස් තැනිතලා බිම් හරහා හමා ගිය යුක්රෙන මිනිසුන්ට හුරු වූ සුළං පහර නැවත
අළුත්වූ බවක් ඔවුන්ට දැනෙන්ට විය. සංගීතයේ අධ්‍යාත්මය තමන් සතු කර ගැනිමට අඳ
වාදකයාට හැකි විය. ජීවිතයේ කටුක බවත්
දුක්ඛිත බවත් අසන්නන්ගේ හදවත්වල ගැඹුරුම තැනක රඳවන්නට ඔහුට හැකි විය. අඳ වාදකයා නරඹන්න්ගේ හදවත් සිය අතැඟිලි තුඩුවලින්
පිරිමදින බවක් ඒ ශාලාවේ රැස්ව හුන් අයට දැනුණි. ඒ ප්‍රසංගය අවසන් වි බොහෝ වේලාවක්
යනතුරුත් ඒ ශාලාවේ සිටි නරඹන්නෝ දිගු නිද්‍රාවකට
පත්ව සිටියහ.
වී.
කරලෙන්කෝ 19 වන සියවසේ අගදී සිය “අඳ වාදකයා” නවකතාවෙන් එසේ සටහන් කළ පෙත්රූස් අන්
කිසිවකු නොව 21 වන සිය වසේ මුලදි මා ලියන
මේ වී. හේමපාල පෙරේරා ඔහුම නොවන්නේ දැයි මම කල්පනා කරමි.
තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු
පාලුවෙන්
රැගෙන
යන්න සොඳුරියෙ ඔබෙ
සුවඳ මා
ළඟින්
සිවු
වසරක පෙම් ගීතය
ගොලුවෙලා
ගියාදෝ
අලුත්
ලොවක ඔබ සතුටින්
කිරුළ
පැළඳුවා දෝ
මායාවකි
ප්‍රේමය මා
හදවත
රිදවූයේ
සෝ ගීයකි
දුක්බර වූ
සැනසුම
කොහි වේදෝ...
ගේය
පද: බුද්ධාස ගලප්පත්ති
සංගීතය :
රෝහණ වීරසිංහ
ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක
වටිනා කාලය බිඳක්
වැය කර ගී රස විඳිමින් කියවූ ඔබට
ස්තූතියි. වෙලාවක් ඇත්නම් මීට වඩා
වෙනස් වූ ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා
තබන්න