මහගම
සේකර ශූරීන් අපෙන් සමු අරන් ජනවාරි මාසෙ 14 වන දා ට හරියටම අවුරුදු 37ක්, 1976
ජනවාරි 14 වන දා තමයි ඔහු සමු අරන් තියෙන්නෙ. ගෙවුණු වසර 37 දිහා බැලුවාම සේකර
ජීවත්ව සිටි කාලයට වඩා මිය ගිය පසුව ඔහුගෙ
අගය වැඩිවෙලා තියෙනව. සේකර මේ රටට ඉතිතරි කර තබා ගිය ඔහුගෙ නිර්මාණවල තිබූ දෘෂ්ඨිය ගැන අපි ඊයේත් අදත් හෙටත් කතා කරනවා. ඒ නිසා
අස්වැන්න සටහන වෙන් වන්නෙ සේකර මියගිහින් 37 වසරකට පසුවත් ඇයි තවම ඔහු අපට
වැදගත් වන්නෙ කියන කාරණය ගැන ටිකක් කතා බහ කරන්න.
ඒත්
වෙනදා වාගෙ ගීත තෝරාගන්න විට සේකර ලියූ ගීත අතරින් කුමන ගීතද තෝරාගන්නේ කියන එක ගැටලුවක්. ඒ ඔහුගෙ හැම නිර්මාණයක්ම අතිවිශිෂ්ට ඒවා වන නිසා
ගීත ගැන පූර්ව සූදානමක් නැතුව අවස්ථාව අනුව ගීත ඇතුළත් වන විදියට මේ සටහන වෙනස්
අකාරයකට වෙනස් රිද්මයකට සටහන් වෙනව.
සේකර
ලාංකේය සිංහල සාහිත්‍යයේ යුග පුරුෂයෙක්. කලාව තුළ රැදුණ ඔහුගෙ ඇස මේ හිස් අහස තරම්
විශාල එකක්. නවකතාව, කෙටිකතාව, කාව්‍ය, සිනමාව, සිතුවම් කලාව ගුවන් විදුලිය,
වේදිකා නාට්‍ය ආදී විවිධ ක්ෂේත්‍ර ගණනාවක් පුරා සේකරගෙ කලාව දිග හැරෙනව. ඒ සෑම
ක්ෂේත්‍රයක්ම පිළිබඳව කතා නෙකාර ඔහුගෙ කාව්‍ය ලෝකය සහ ගීතය පිළිබඳව
විතරක් සටහන් කරන්නම්.
සේකර
මුලින්ම අපට හමුවන්නෙ කවියෙකු හැටියට 1950 දශකයේ මැද භාගයේදි. ලංකාදිප සහ රසවාහිනි
පුවත්පත් සහ සඟරාවලට කවි ලියු කවියෙක් හැටියට. මුල් කාලෙ සේකර අතින් ලියැවුනේ
සිවුපද ආකෘතියේ කවි. ඒසේ ආරම්භ වූ ඔහුගේ කවියේ ගමන් මග පසු කාලයේ කාව්‍ය ක්ෂේත්‍රය
වසා නැගී සිටිමට තරම් දැවැන්ත නුග රුකක් වුණා. ආරම්භයේ දීම සේකරගෙ කාව්‍ය ගැමි ජන
ජිවිතයේ සුන්දරත්වයත්, ගැමි දිවියේ රිද්මයත් ඔහු තුළ තිබූ සැඟව සිටි ගැමි ජන කවියා
වසා නැගී සිටියා. සේකරගේ මුල්ම කාව්‍ය කෘතීන් වූ ව්‍යංගා සහ සක්වා ළිහිණි කාව්‍ය
කෘතීන්වල මේ ගැමි ලකුණ දකින්න පුළුවන්.
පිලේ
පැදුර අරගෙන හේනට එනවා
එලා
පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටි
වියපු අත්දෙක මට සිහි වෙනවා
හිතේ
දුකට එතකොට කවි කියැවෙනවා
(සක්වා
ළිහිණි)
මහගම
සේකර ඒ හරහා කවියකුව තම ස්ථානය තහවුරු කර
ගත්තද, ඔහු එකි සි දිනෙක එකම ශෛලියක් හෝ ගුරුකුලයක් අනුගමනක නොකළ කවියෙකි. ඔහු මුල් තැන දුන්නේ කවියේ අර්ථය එසේත් නැත්නම් කවි සංකල්පනාවටය. තමා
අතින් ලියැවෙන කවිය සඳැස් ද, එසේත් නැත්නම් නිසඳැස්ද යන්න පිළිබදව නොව උසස් රසයෙන්
පිරුණු කවියක් නිර්මාණය කිරීම පිළිබඳව දැඩි උනන්දුවකින් සිටි නිසා සේකර අතින් ලියැවුන බොහෝ කවි අරුතින් බසින්
පිරිපුන් ඒවා විය.
සේකර ලිය
කවි සහ ගිත සරල රසාස්වාදනය ඉක්මවා සමාජය ප්‍රඥාව කරා මෙහෙයවන උසස් බුද්ධියකින්
යුතු පිරිපුන් මිනිසකු බිහිකිරීම උදෙසා
වැඩි වෙහෙසක් ගෙන තිබෙන බව පැහැදිළිය.
සේකරගේ
නිර්මාණ දිවියේ වැදගත්ම අවධිය වන්නේ 1960 දශකයයි. ඒ අවධියේ ඔහු කවියකුව, වේදිකා නාට්‍යකරුවකුව
සිටියදී පිටපත් සම්පාදකයෙකු ලෙස ගුවන්විදුලියට එක් විම එහි වැදගත්ම අවස්ථාවයි.
සේකර ගුවන් විදුලියට එක් නොවන්නට අමරදේව -
සේකර සුසංයෝගය, මෙන්ම ඒ සුසංයෝගයෙන් බිහිවූ සුභාවිත ගීතද අපට අහිමිවන්නට ඉඩ
තිබුණි. සේකරගේ ගීත රචනා කලාව ඇරඹෙන්නේ ගුවන් විදුලියට සම්බන්ධ වීමෙන් පසුවය. එවකට
තිබූ සරල ගී වැඩසටහන්වල තත්වය උසස් කරලීමට
මග පෙන්විමක් වශයෙන් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මග පෙන්විම අනුව අමරදේව -සේකර
සුසංයෝගයෙන් මධුවන්ති ගුවන් විදුලි වැඩසටහන
බිහි විය. එදා ඒ මධුවන්ති සංගීත වැඩසටහන තුළින් ඇති වූ සිංහල ගිත ප්‍රබෝධය
අද දක්වාම විහිදෙන්නට හේතු වී තිබේ.
ඈත කඳුකර
හිමව් අරණේ
සීත
චන්දන ළපලු සෙවනේ
සුළං
රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ
නාමය වේ
සඳැල්ලේ
මිණි තලාවේ
තාරකා
පිපි වෙලාවේ
ළද
ලියන්ගේ සීන අතරේ
මැවේ ඒ
රූපේ
රනින් කළ
වන් පුළුල් උරයෙන්
හසුන්
ළමැදේ මුසු කරන්නේ
හදේ මෝරන
ආදරේ
සඳේ
සොමි ගුණ යා කෙරේ
සරාගී
නිල් නුවන් බඳුනින්
නුරා
වෑහෙන්නේ..
ගේය
පද: මහගම සේකර
සංගීතය සහ
ගැයුම:
ආචාර්ය පණ්ඩිත් අමරදේව
ගැමි
දිවියේ සුන්දරත්වය කවියට ගීයට කැටි කොට ගත් ඔහු පසු කාලෙක ඔහුගෙම කවියෙන් නගරයේ
සංකීර්ණ බවත්, නගරයේ රළු බවත්, දකිනවා.
හෙට ඉරක් පායයි කෘතියෙන් නගරයේ
ඉඳන් ඔහු ගම දකින්නේ මේ විදියටයි.
සිදාදියෙන්
ආපහු මගෙ
ගමට
යන්නආසයි මට
ඒත් ගමට
යන්නට දැන්
පාර මතක
නැත්තේ
(හෙට
ඉරක් පායයි )
සේකරගෙ
කවියෙ තිබුණ සමාජ දෘෂ්ඨිය පසු කාලිනව
බිහිවූ කවීන් විසින් අනුගමනය කිරීමත්, ඒ
ඇසුරින් කිසියම් තරමක ආභාෂයකුත් ලබා ගන්නව.
නව පරපුරක කවීන් සහ ගීත රචකයන් පන්නරය ලබන්නෙ සේකරගෙ මේ නිර්මාණත් එක්කමයි.
අතැම් වෙලාවට කවීන් මෙන්ම ගීත රචකයන්ද සේකර පරමාදර්ශී නිර්මාණකරුවකු බවට පත්කර
ගත්තත් ඔහු අභිබවා යාමට උත්සාහ කරන්නෙ නැහැ. මට හිතෙන විදියට ඒ සේකරගෙ සාහිත්‍ය
ලෝකය සහ දැනුම සුවිසල් අහසක් සේ පසුකාලින නිර්මාණකරුවන් ඉදිරියේ දිස්වන්නට පටන් ගන්නා නිසා.
කලාව සහ සාහිත්‍යය නිරන්තරයෙන් වෙනස් විය
යුත්තක්. මේ නිර්මාණ ප්‍රවාහයන් වෙනස් වෙද්දි
ඒ එක්කම සමාජය වෙනස් වෙනව. මිනිසුන්ගෙ රසිකත්වය වෙනස් වෙනව. ඒකෙ ප්‍රතිඵලය
වෙන්නෙ රසිකයන් උසස් බුද්ධිමත් ප්‍රඥාවන්තයන් කොටසක් බවට පත්විමයි. 60 සහ 70
දශකයේ තිබූ එකම විද්‍යුත් මාධ්‍ය ගුවන්විදුලි ය නිසා සේකර සහ අමරදේවයන්
විසින් ඇති කළ මේ බුද්ධිමය කතිකාවට එවකට විසූ තරුණ පරපුර
කේන්ද්‍ර ගතවෙන්න පටන් ගන්නනේ ඒ නිසා. ඒත් අද දවසේ මේ රටේ ක්‍රියාත්මක වන මාධ්‍ය
නාලිකා ගණන 60කට කිට්ටු වුවත් මේ රටේ මිනිසුන්ගේ රසිකත්වයට මොකද වුණේ කියන එක අප
දෑස් ඉදිරියේම අපට පෙනෙන්න තියෙනව. ඒත් එදා වගේ මෙවැනි ගීත අද බිහිවෙනවද කියන එක
ගැටලුවක්.
වසන්තයේ
මල් පොකුරු නෙළා
ඔබ මා
දෝතට ගෙනෙන තුරා
මග
බලමින් මා සිටියා
සොඳුරු
වසන්තේ ගෙවෙන තුරා
අහස පොළව
ගිනියම් අව්වේ
ගහ කොළ
මැළැවෙන ගිම්හානේ
අවසානේ
ඔබ ආවා..
ඔබ අතැ
වූ මල් එකිනෙක පරවී
සුළඟේවිසිරෙනු
මා දුටුවා
සුළඟේ
විසිරෙන ඒ මල් සුවඳින්
ඔබගේ රුව
මා දුටුවා
ගේය
පද: මහගම සේකර
සංගීතය සහ
ගැයුම:
ආචාර්ය පණ්ඩිත් අමරදේව
ගීතය තනි
පුද්ගලයෙකු සතු නිර්මාණයක් නොවන බවත්, එය ගීත රචකයා, සංගිතඥයා, ගායන ශිල්පියා යන
මේ තිදෙනාගේම සාමූහික ප්‍රයත්නයකින් බිහිවන නිර්මාණයක් බව සේකර පෙන්වා දුන්නා. ඔහු
එය සමාන කළේ කනප්පුවකට ය. පාද එකිනෙක
නොගැලපේ නම්, එහි ශක්තිය බිඳී යා හැකිය.
ගීතයද එසේ ම ය. සාර්ථක ගීතයක් බිහි කිරීමට එනයින් ම මේ තිදෙනාගේ සහාය අවශ්‍ය ම ය.
සේකර
තමන් අනුගත වු ගමන් මග සහ තමන්ගේ දෘෂ්ඨිය
සත්‍යයක් බවට පසක් කොට පෙන්විමට හැකි වූයේ සේකර අමරදේව සුසංයෝගය නිසා ය. ඒ සුසංයෝගයෙන් බිහිවූ ගී පොතයි මිවිතයි, මළ හිරු
බසිනා, පිලේ පැදුර, ඈත කඳුකර හිමව් අරණේ, වක්කඩ ළඟ, වනන්තරේ වන සපුමල්, සන්නාලියනේ,
ඉරට මුවාවෙන්, පාලු අඳුරු නිල් අහස මමයි, ඇසේ මතු වන, නීල දෑසයි, ආදී ගීත මධුවන්ති රස ගැන්වූ මියුරු ඵලයන් ය. ඒ අමරදේව
-සේකර ගොඩ නැගූ සංගිත සංස්කෘතියේ ශක්තිමත් පදනමයි.
සේකරගේ
කවීත්වයේ අග්‍ර ඵලය ලෙස හදුන්වන්නේ ඔහුගේ අවසන් කාව්‍ය සංග්‍රහය වූ “ප්‍රබුද්ධ”
කාව්‍යයයි. ලාංකික කවියා ප්‍රඥාවන්තයෙකු
බවට පත් කරන්නේත්, ඔහු අරටු සොයන්නෙකු බවට පත් කරන්නෙත් ප්‍රබුද්ධ විසිනි. ඒ නිසා ම අදටත් ලංකාවේ කවියේ
අග්‍රඵලය විදියටත්, මංසලකුණක් තැනූ
කෘතියක් විදියටත් ප්‍රබුද්ධ හැඳින්විම
නිවැරදිය.
“තුමං හන්දිය” සේකරගෙ ප්‍රථම සහ එකම චිත්‍රපටය වූවා සේම ඔහු
අති විශිෂ්ඨ සිනමාකරුවකු බවටද පත් කළේ එකම
සිනමා කෘතියකිනි. ඕනැම කලාකරුවකුට සිය කූඨ ප්‍රාප්තිය සටහන් කරන්න අවශ්‍ය වෙන්නෙ
එක නිර්මාණයක් හෝ දෙකක්. සේකරත් එහෙමයි ඔහු සිනමාවෙදි තුමං හන්දිය නිර්මාණය කර අති
විශිෂ්ඨ සිනමාකරුවකු බවට පත් වූවා සේම ප්‍රබුද්ධ කාව්‍ය නිසා මහා කවියෙක් මෙන්ම
මහා ප්‍රඥයෙක් බවටද පත් වුණා.
යමෙක්
සතු අත්දැකීම් සහ දෘෂ්ඨියේ සීමාවන් බිඳිමින් ඒවා ප්‍රබල අත්දැකීම් වූවාට පසු බිහිවන ඒවා දුර්වල විය හැකිය. සේකරටද එසේ ම ය. එහෙත්
ඔහුගේ නිර්මාණ ප්‍රබුද්ධ කාව්‍ය බිහි වූවාට
පසු කුමන තලයකට පැමිණියේද යන්න පිළිබඳව ඔහු ඉදිරිපිටම කතිකාවක් ගොඩ නැගිමට
ප්‍රථමයෙන් සේකර සිය කෙටිකාලින නිර්මාණ දිවියට අකාලයේ ආයුබෝවන් කීවේය.
සේකර ප්‍රබුද්ධ
මගින් සමස්ත සමාජයම නීරීක්ෂණය කළේ කවියෙනි. කවිය ඔහුගේ භාෂා ප්‍රකාශණයේ තෙවැනි ඇස
විදියට හඳුන්වන්න පුලුවන්. එහිදී ඔහු
කවියාගේ සීමාව ඉක්මවා මුනිවරයෙකු එහෙමත් නැත්නම් මහා දාර්ශනියකු බවට පත්වෙනව. ඔහු
ප්‍රබුද්ධ තුළින් උත්සාහ කළේ කවියාගේ භෞතික ලෝකය වඩාත් යහපත් ස්ථානයක් බවට පත්
කරන්නටයි. ඒ වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදිය යුතු බවට මතයක් ගොඩනැගිමටයි. ඔහුගෙ කාව්‍ය තුළ ගොඩනැගූ
දර්ශනය අදටත් වලංගු වන්නෙ ඒ නිසා. නූතන
කවීන් තුළ ඒ සමාජ නැඹුරුව ඇති කළේ සේකර. ඔහු ඒ සීමාවන් තේරුම් ගනිමින් එහෙත් ඒ සීමාවන් තුළ නොරැඳී
එයින් ඔබ්බට ගොස් සමාජ, දේශපාලනික, සහ දාර්ශනික නැඹුරුවක් සහිතව නූතන කවිය සහ ගීතය පිලිබඳව නව අපේක්ෂාවක් රසිකයන් තුළ ඇති කළා. සේකරගෙ ඒ දෘෂ්ඨිය අදටත්
වලංගු වන්නෙ අන්න ඒ නිසා.
ධර්මේ,
කාසිම්,
රාජසුන්දරම්
මෙහෙ
වරෙල්ල
අපි
ඔක්කොම එකතුවෙලා
මේ ලෝකය
යහපත්
තැනක් කරමු මීට වැඩිය..
(බෝඩිම
කාව්‍ය සංග්‍රහය)
ජාති,
ආගම්, කුල, ගෝත්‍ර පන්ති භේදයක් නැති සමාජයක් නිර්මාණය කිරිමට ඔහු උත්සාහ කළා.
ඔහුට අවශ්‍ය වුණේ සියලු දෙනා ප්‍රඥාවන්තයින් වනු දැකිමයි. ඔහු කතා කළේ තෝරාගත්
පිරිසකට පමණක් නෙවෙයි. මුලුමහත් ලාංකික
සමාජයටමයි. ඒත් සේකරගෙ ඒ යථාර්ථය එහෙමත් නැත්නම් ඔහු එදා කියා දුන්න ඒ සමාජ යථාර්ථය
තේරුම් ගන්න නොහැකි විම ඊට පසු කාලීනව අද
දක්වා ගැටලු රැසකට මුල පුරන්නක් බවට පත්වෙලා තියෙනව. රාජසුන්දරම්ල යුද්දෙකට
මැදිවුණෙත්, අවි අතට ගත්තෙත් ඒ නිසා, යුද්දෙ දිනුවත් ඒ මිනිසුන්ගෙ හිත් දිනාගන්න
බැරි වුණෙත් ඒ නිසා. අද සිංහල, දෙමල, මුස්ලිම්,
මිනිස් කොට්ඨාශ තුනක් බවට පත්වෙලා.
එහෙම වුණේ මේ සමස්ත සමාජය දේශපාලනිකරණය විම තුලින්ම මිනිසුන්ගෙ රසවින්දනය
සම්පූර්ණයෙන්ම නිර්වින්දනය කර දමා ඇති
නිසා. සේකර මේ සමාජ බිද වැටීම් දුටුවෙ හැට
දශකයේ ආරම්භයේදීමයි. ඔහු මේ සමාජ බිඳ වැටුම
දැඩිව විශ්වාශ කළා ඒ නිසා ඔහු අන්තිමටම කතා කළේ සමස්ත තරුණ පරපුරටයි.
පුත,
හෙට
උපදින විට
පෙර
දිනෙන්
ළා
රත්පැහැ අරුණලු
අලුත්
ඉරක් පායනු ඇත
ඒ ඉර රත්
පැහැ වුණේ
ඔබ
වෙනුවෙන්
මේ පරපුර
අප
වැගුරූ
ලේ වලිනුයි..
( මක්
නිසාද යත් කාව්‍ය සංග්‍රහය)
එවැනි
සමාජ දැක්මක් සහිත දාර්ශනික සිතක් තිබුණ සේකර ස්වභාව සෞන්දර්යය, ප්‍රේමය, වැනි විස්තු විෂයයන් සේම එවැනි සුලබ
මාතෘකා ඉක්මවලා ප්‍රඥාවන්ත සමාජයකට
ගීතයෙන් කවියෙන් ඇරයුම් කරනවා. ඒක ඔහුගෙ
කලාව තුළ කලාව ඉක්ම වූ දෘෂ්ඨියක්.
ඒ විදියට
සේකර අතින් කවි සහ ගීත බිහිකරන්න සේකරට
තිබුණ ජවය පසු කාලයේදි නිවැරදිව ගීතයෙන් තේරුම් ගන්නෙ කපුගේ. සේකර ගොඩනැගූ සරල
රසවින්දනයෙන් ඔබ්බබෙහි වූ ප්‍රඥාවේ තොටුපල වෙත මිනිසුන් කැඳවන්න කපුගේ ගීතය
උපරිමයෙන් භාවිතා කළා. මේ වෙලාවෙ උදාහරණයක්
හැටියට මට මතක් වෙන්නෙ කපුගේගේ “කම්පන” ගී
ප්‍රසංගයේ ගැයුණු අවසන් ගීතය. කම්පන ප්‍රසංගයේ ගැයෙන අවසන් ගීතය හැටියට ඔහු ප්‍රසංග මාලාව පුරාම
භාවිතා කළේ සේකර දුටු සමාජ දර්ශනය ඇතුළත් මතු දැක්වෙන “සලන සුසුම සැඩ සුළඟයි” ගීතය.
ඒ සේකරගෙ දෘෂ්ඨිය. මොකද කපුගේටත් සමාජය ප්‍රඥාවන්ත කිරීම ගැන තිබුණෙ එවැනි
දැක්මක්. ඒ නිසාම මහගම සේකරත් - කපුගේත්
ඉටු කළේ මුලුමහත් සමාජයම ප්‍රඥාවන්තයින් බවට පත්කිරිමයි.
සලන
සුසුම සැඩ සුළඟයි
ගලන
කඳුලු වැසි වතුරයි
දුකින්
වෙලී අන්ධකාරයේ
යන මේ
ගමනේ
අපේ
පැතුම් නැවුම් ලොවට පාර කියනවා
මේ ගමනට
ඒ ගීයෙන් දිරිය ලැබෙනවා
ජීවිතයේ
පීඩිත හද වේදනා යටින්
රණ ගීයක
ජය නාදය ඈත ඇසෙනවා
මේ ගමනට
ඒ ගීයෙන් දිරිය ලැබෙනවා
පහන්
තරුව පායා එන
නවෝදයට
දොර අරින්න
ඔබේ දෑත
අපට දෙන්න
සොහෝයුරනි,
සොහොයුරියනි......
ගේය
පද: මහගම සේකර
සංගීතය සහ
ගැයුම:
විශාරද ගුණදාස කපුගේ
ඒ
අයුරින් සේකර නව පරපුරේ කවීන්ට මෙන්ම ගීත රචකයන්ටත්
අද දක්වාම පහන් තරුවක්ව එළිය දෙනව. ඔහු කවියේත් ගිතයේත් පරමාදර්ශී චරිතයක් වන්නෙ ඒ
නිසයි. ගෙවුණු තිස් හත් වසර තුළත් මතු දවසේත් සේකර ගැන තවතවත් කතා කරන්නට
සිදුවන්නෙ ඒ නිසයි. ඒ අනෙකක් නිසා නොව සේකර වැනි මහා ප්‍රඥයෙකු, දාර්ශනිකයෙකු මේ
යුගයේදි නැවත අපට හමුනොවන නිසා.෴
පසුසටහන:
මම මේ
සටහන ලිව්වෙ ජනවාරි 14 වෙනි සඳුදා උදෑසන අස්වැන්නට දාන්න හිතාගෙන. ඒත් නොවැළැක්විය
හැකි හේතුවක් නිසා ඒක එදිනම ඉටුකරන්න බැරිවුණා. ඒත් ගෙවුණු දින දහයක් තුළ
නිරන්තරයෙන් හිතුනේ මහගම සේකර ප්‍රබුද්ධ
තුළින් මේ විදියට ජීවිතේ ගැන මටත් කියල
දුන්නෙ ඇත්තම තමයි කියලා.
ගිලන්හලේ
සුදු හැඳි හෙදියන්
සුදු
බිත්ති හා ඇඳන්
සියලු
වස්තු සම්මිශ්‍ර ව
තිරයක්
සේ විය
මීදුමක්
සේ විය
අඩක් ඇරී
සිහි ලබනා දෑසට.
වාට්ටුවේ
ඇතුළත හා පිටත නැගෙන
සියලු ශබ්ද සම්මිශ්‍රව
සමුද්‍ර
ඝෝෂාවෙහි
වර්ෂාවෙහි
එක් වන්
හෝ නාදය මෙන්
ශුද්ධ ඕං
කාරය මෙන්
ප්‍රකෘතියෙහි
සංගීතය
මඳින්
මඳව ඇසෙන්නට විය.
(ප්‍රබුද්ධ)
සේකර... මගේ ප්‍රියතම කවියෙක්... ඔහුගේ කවි වල තියෙන සරළ බවද, එහෙම නැත්නම් කාව්‍යමය බව නිසාමද මන්දා හිත ඒ කවි වලට ඇදිලා යන්නේ නිතැතින්මයි...
ReplyDeleteසේකර කියන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක්. කවියෙක්, සිත්තරෙක්, කතුවරයෙක්, අධ්‍යක්ෂවරයෙක්, ගුරුවරයෙක්. ඒ ඔක්කෝටම වඩා අව්‍යාජ මනුස්සයෙක්
ReplyDeleteමට කියන්න ඕනැ වුණ දේ හසිත අය්යා කියල තියෙනව.ඔහු මහ පුදුම හැකියාවන් ගොඩක් වගෙම මනුස්සකම් ගොඩක් තිබුණ පුද්ගලයෙක්.ඒ සිත්තර හැකියාව නම් ඔහුගෙ දියණිය-නිරුපමා ඇන්ටිට ලැබිල තියෙනව.ඒ කවිකම් නම් දරුවන්ට උරුම වුණාද කියලා මං දන්නෙ නැහැ.කොහොම වෙතත් තුමංහන්දියෙන් පටන් ගත්තු ඒ කවි කියැවීම මෑතකදී රාජතිලක,ලයනල් සහ ප්‍රියන්ත දක්වාම මගේ ලෝකයෙ නොනැවති රැදී තිබුණා,හෙටත් ඒ ආසාව එහෙම්මම රැදේවි...මේ ලිපිය ඔහුට උපහාරයක්ම වේවා කියාත් ප්‍රාර්ථනා කරනවා.
Deleteහසිත..
Deleteසැබැවින්ම ඔහු අවයාජ මිනිසෙක්. ඒකයි මේ යුගයෙත් ඔහු අපට වටින්නේ.
වර්ෂා..
ඇත්තටම මෙන් මිනිසුන් ගැන ගෙවුන තිස් හත් වසර පුරාත් මතුවටත් කතාකරාවි. වැදගත් වන්නේ එවන් මිනිසුන් පිරි සමාජයක් නැවත බිහිකිරිමයි.
ඔහු යුග පුරුෂයෙක්. අනර්ඝ ලිපියන් දයා.
ReplyDeleteසුදීක
Deleteඇත්තටම ඔව්.
ස්තූතියි ඔබට
ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අප්‍රමාණ මනුස්සයෙක්.....
ReplyDeleteකපුගේ, සේකර සුසංයෝගයක් ගැන කලින් අහල තිබුණේ නැහැ.
ඒ ගැනත් දැනුවත් කරපු එක වටිනවා.
බොහොම ස්තූතියි.
උදාර..
Deleteසේකර කපුගේ සුසංයෝගය ගොඩක් දුර විහිදුනේ නැතත් ඒ දර්ශනය විහිදුනා
කවදාවත් ජීවමානව නොදුටු මේ අපූරු කලාකරුවා ගැන අපේ සිත් තුල ඇත්තේ පුදුමාකාර හැඟීමක් .
ReplyDeleteයුග පුරුෂයෙක් . ඒ වගේම සුන්දර මිනිසෙක් .
අවසාන කවියනම් ඔබට මේ දිනවල බොහෝ සමීප වෙන්න ඇති .
ගිම්..
Deleteඇත්තටම මමත් සේකර ජීවමානව කිසිදවසක දැකල නෑ ඒත් ඔහු ගැන අහල තියෙනා. ඔහුගේ කෘති සියල්ලම කියවල තියෙනවා. ඒ නිර්මාණ ලෝකය ගැන මෙනෙහි කිරීමයි වැදගත්.
අවසන් කවිය දැම්මේ ඒ ගැන හිතලම තමයි
දයා
ReplyDeleteමහගම සේකර කියන්නේ අපගේ වින්දනීය වපසරිය තුල පුරාවෘතයක්. (a legend )
ඔහුගේ ළමා ගීත සහ චිත්‍ර ඔබට මග හැරිලා. අපගේ ළමා සාහිත්‍යයේ චිත්‍ර වලට අපේ කම එකතුකල කෙනෙක් සේකර .
ඒ වගේම ඔහු අදීනයි. ජනරජ ගීතය ලෙසින් ඔහු ඉදිරිපත් කල පද මාලාවෙන් ජනරජ ව්‍යවස්ථාව පිළිබිඹු නොවේ යයි කී බලධාරීන්ට ඔහු පිළිතුරු දී තිබුනේ ජනරජ ව්‍යවස්ථාවට තනුවක් යොදා නොගයන්නේ මන්දැයි අසමිනි.
ජනවාරි මාසය පුරාම මා බලා සිටියේ ඔබ සේකර ගැන ලියනකම්
ස්තුතියි
සුසර
Deleteසේකරගේ ළමා ගිත මට මග හැරුනා ඒත් ඔහුගේ සිතුවම් කලාව ගැන සටහනේ තියෙනවා. මම මෙහිදී වැඩියෙන්ම අවධානය යොමුකලේ ඔහුගේ කවිය සහ ගිතය ගැන පමණයි.
ස්තූතියි.
මහගමසේකරයන් වැනි මෙවන් යුග පුරුෂයෙක් ගැන තැබූ මෙවන් හරබර සටහනක් ගොඩාක් වටිනවා. ඈත කඳුකර හිමව් අරණේ ගීතය මමත් කැමතිම ගීයක්. එතුමා ලියපු ගීතයන්ට අර කිව්වත් වගේ අමරදේවයන්,කපුගේ ගූරින් වැනි එවන්ම ශ්‍රේෂ්ටතමයන්ගේ කටහඬ එක්ව තැනෙන නිර්මාණ සදා අමරනීයයි. අර අන්තිමට තියන පද පෙළෙ නම් සාමාන්‍යයෙන් වැඩියෙන් කවියට නොනැඟෙන අවස්ථාවක් ගැනයි ලියවිලා තියෙන්නේ . අයියත් අවස්ථානුරුපීව ඒක යොදාගෙන. අයියාට ඉක්මන් සුවය පතනවා...
ReplyDeleteතොටියා..
Deleteඅවසන් කවියෙන් මම උත්සාහ කලේ එතුමා එවැනි අත්දැකීමක් මුලු සමාජයටම ආරෝපණය කළ හැටි කියන්නයි. දැන්නම් තරමක් සුව අතට හැරෙමින් පවතිනවා.
ස්තූතියි ඹබටත්
වටින ලිපියක්.ඔබ මේ කරන්නෙ සමාජ සේවයක්.මම අදමයි මේ පැත්තට ආවේ.
ReplyDeleteයසිරු..
Deleteස්තූතියි ඔබටත්. අපි අපට හැකි යම් දෙයක් කරන්න පසුබට වෙන්නෙ නෑ.
ස්තූතියි ඔබටත්
දයා අති විශිෂ්ඨ ලිපියක් මේක නම්... සේකර මතකය ගැන මෑත ලියැවුණු පර්යේෂනාත්මක වියමන මෙය යි.
ReplyDeleteනලීන්..
Deleteස්තූතියි ඇත්තටම මෙවැනි ලිපියක් ලියන්න ටිකක් වෙහෙසෙන්න සිදුවෙනවා.
ස්තූතියි
ඔන්න අස්වැන්න නෙලන්න ආවේ අද තමා..පරක්කු වෙලාද මන්දා..ඉන්න ගමන් ඔක්කොම කියවන්නම්කො...ඉස්සෙල්ලාම කියවන්න ලැබුනෙත් වටිනා ලිපියක් නේ. ජය වේ!
ReplyDeleteඑන්න අපේ පැත්තෙත්... CSK LANKA
චින්තක..
Deleteඔබ පිලිගන්නව අස්වැන්නට බොහොම සාදරයෙන්. සටහනටත් ස්තූතියි. ඉඩක් ලද විටක එන්න මේ පැත්තට.
මහගම සේකර යනු ඉතා දුර්ලභ, විරල ප්‍රතිභා ශක්තියක් තිබුණු අපූර්ව නිර්මාණවේදීයෙක්. එමෙන් ම ඔහු තුළ වූ නිර්මාණාත්මක හැකියාවන් විවිධ මංපෙත් ගණනනාවක ම විහිදී ගිය එකක්. වඩා වැදගත් වන්නේ ජන විඤ්ඤානය සුපුෂ්පිත කිරීමට, ඥාණනය කිරිමට ඉහළ තලයකට ගෙන ඒමට ඔහුගේ නිර්මාණ දක්වන දායකත්වයයි.
ReplyDeleteතවත් අතකින් ඔහු සමාජය විනිවිද දුටු අකාරය හරිම අපූරුයි. එය කාල මායිම් වලින් බෙදා වෙන් කළ එකක් නොවන්නා සේම, එක් ජන වර්ගයකට හෝ ආගමික නිකායකට සිමා වුවක් නොවේ. එනිසායි ඔහුගේ නිර්මාණයන් සර්වකාලීන වන්නේ. වසර 37 කට පසු අදටත් එම නිර්මාණ නැවුම් ව රසවිඳිය හැකි වන්නේ. එම අන්තර්ගතයන් අදටත් වංලගු වන්නේ.
ඔබගේ මෙම වියමනෙන් සේකරයන්ගේ නිර්මාණ මං සළකුණු මැනවින් විවරණය කරන්නට ගත් ප්‍රයත්නය අතිශයින් ම වැදගත්. එය නූතන පරපුරට සේකරයන් ව හඳුනා ගන්නට මෙන් ම, පෙර පරපුරට අතීතය නැවත මෙනෙහි කරන්නටත් රුකුලක්. විශේෂයෙන් ම කම්පන සමාප්ති ගීතය ලෙස කපුගේ සේකරයන්ගේ ගීතයක් තෝරා ගැනීම තුළම වන ඔවුන්ගේ දෙදෙනාගේ ආත්මීය බැදීම, ජීවන දෘෂ්ටිය මතුකළ එකත් හරිම වැදගත්.ඔබට බෙහෙවින් පින්.
තුසිත..
Deleteමගේ උත්සාහය ඔබ නිවැරදිව දැක තියෙනවා. මම උත්සාහ කලේ අවසානය නියම තැනකට ගේන්නයි. එය ඉටුවුණා කියල හිතෙනවනම් ඒක මටත් සතුටක්.
ස්තූතියි වටිනා සටහනට
සේකරගේ ගී වලට වඩා කාව්‍ය සංකල්පනා වලට මම කැමතියි..සාම්ප්‍රදායික කවි රැල්ලෙන් මිදී ඔහු ගත් ගමන් මග අද සමාජයේ කවියන් බොහෝ දෙනා අනුගමනය කිරීම දැකීමත් සතුටක්...
ReplyDeleteසමාජය දෙස ඔහු හෙලපු සංවේදී සානුකම්පිත ඇස ඔහුගේ නිර්මාණවලට ආලෝකය ගෙනාවා..
ඊළඟ ලිපිය ඉක්මනින් අප අතරට ගෙන එන්න ඔබට ඉක්මන් සුවය පතනවා..
රූ..
Deleteසේකර කවිය වගේම ගීයටත් ආලෝකයක් වුණා. ඒ දෙකම තමයි නූතන පරපුරට දෙන්න තියෙන්නේ.
දැන්නම් තරමක් සුවයි. ස්තූතියි ඔබටත්.
ඔහු ගැන කිසි දෙයක් කියන්ට අවශ්‍ය නෑ 'ඈත කඳුකර හිමව් අරණේ' ගීය අහපුවාම.
ReplyDelete//ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ළපලු සෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ//
මම මේ ගීත අහන්නේ අනික් වැඩ සේරම පැත්තකට දාලා දෙනෙත් පියාගෙන.
හරිම රසවත්, ලිපියක්....
මේක මගේ බ්ලොග් රෝලේ update වෙලා තිබුනේ නෑ දයා. ගොඩක් පරක්කුවෙලා දැක්කේ.:(
පොඩ්ඩි..
Deleteසේකර අමරදේව සුසංයොගයේ ගී බොහොමයක් භාවනාවක් වගේ.
ඔබ කිව්වයින් පස්සේ තමයි මමත් දැක්කේ මේක බ්ලොග් රෝල්වල update වෙලා නෑ. මොකක් හරි අවුලක් වෙන්න ඇති.
ස්තූතියි පොඩ්ඩිට
මේ සටහන් දෙකම මාත් දැක්කෙ අදයි මල්ලි. සේකර ගැන කියන්න මගෙ වචන මාලාව මදි. ඒතරම් කුසලතාවක් මා කා තුල වත් දකින්නේ නෑ.විටෙක ඔහු සිත්තරෙක්, තවත් විටෙක ගී පද රචකයෙක්. තවත් විටෙක කවි ලියන්නෙක් , ගත් කතුවරයෙක්, අධ්ධ්‍යක්ෂක වරයෙක්, ගායකයෙක් මේ හැම කුසලතාවක්ම ඔහු තුල තිබුනා. මෙහෙම අය ලෝකෙ බිහි වෙන්නෙ කලාතුරකින්. මේ අව්‍යාජ මිනිසත් කම උතුරාගිය මහා කලා කරුවා අපේ හදවත් වලට සමීප උනේ මහා පුදුම ලෙස.සේකර අමරදේව සුසංයොගයේ ගී බොහොමයක් භාවනාවක් වගේ. ඒ ගීත අදටත් අපි රස විඳින්නේ ඒවා අපේම වී තියෙන නිසානෙ. මල්ලී ඔබට බොහොම පිං! මෙවන් අසහාය කලාකරුවන් අපේ මතකයට යලි ගෙන එකට.
ReplyDeleteචාන්දි..
Deleteමෙවන් මිනිසුන් ගැන ගෙවුන තිස් හත් වසර පුරාත් මතුවටත් කතාකරාවි. වැදගත් වන්නේ එවන් මිනිසුන් පිරි සමාජයක් නැවත බිහිකිරිමයි.
විවිධ විහිළු තහලු, දේශපාලනය, ආගම ජාතිය ගැන කතා කරමින් බ්ලොග් අවකාශයේ සැරි සරනකොට මදකට විඩාව නිවාගන්න තියන ක්ෂේමභූමියක් වගේ මෙතන. සේකරගෙ කවි අද කියවනකොට, අපි කොච්චර පසුගාමීද, ඒ වගේම මීට වසර 50 විතර උඩදි තිබ්බ සමාජයත් එක්ක සේකර කොච්චර ඉදිරිගාමී ද කියන එක දැනෙනවා.
ReplyDeleteනමුත් මේකේ තවත් පැත්තක් මම දකිනවා. සේකරගෙ කවි මූණුපොතේ ශෙයාර් කරන අයගේ නම් අඩුවක් නෑ... හැබැයි මට හිතෙන්නේ සේකර ගෙ කවි අද ඔය මූණුපොත් වල සැරිසරන්නේ ඒවා දාන අයගේ තියන අවබෝධයන් නිසා නෙමෙයි. බුද්ධාගම, සේකර මූණුපොතේ ශෙයාර් කිරීම තමයි අලුත් ස්ටයිල් එක.
සුළු නිවැරදි කිරීමක් කරන්න අවසර..... වසන්තයේ මල් ගීතයේ මගේ ප්‍රියතම ගීයක්... එහි අවසාන කොටස... සුලඟේ විසිරෙන ඒ මල් "අතරින්" කියලා වෙනස් වෙන්න ඕනේ...
තිසර..
Deleteඔබේ අදහසට එකඟයි..
ඇත්තටම මේ පෝස්ට් එක පබ්ලිෂ් කල පසුව "ඒ මල් සුවඳින්" යනුවෙන් කර ඇති සටහන වැරදි බව මමත් දුටුවා. කම්මැලි කම නිසා නැවත සකස් කලේ නැහැ.
ස්තූතියි ඔබේ වටිනා අදහසටත්. නිවැරදි කිරීම පෙන්වා දුන්නාටත්
අර ලිපියට සම්බන්ධ කරල මේකෙ ලින්ක් එක නොදැම්ම නම් වටිනා ලිපියක් මඟ ඇරෙනව මටත්...
ReplyDeleteසේකර..අකුරක් අකුරක් ගානෙ වෙනස්ව හිතපු කවියෙක්..ගේය පද රචකයෙක්.. තව හුගක් දේ. ඒ කොහොම වුනත් වෙනස් සිතුවිලි දිගේ තමන්ගේ හිතුවක්කාර ගමන් මගෙන් අලුත් දෙයක් සමාජයට දුන්න අපුරු මිනිසෙක්.
අද තමයි ලිපිය කියවන්න වුනේ.. !
ReplyDeleteමේ තොරතුරු එක අකුරක් නෑර මහමෙරක් වටිනවා ...විශේෂයෙන් අපි වගේ පුංචි නිවෙදිකාවන්ට.. මගේ වැඩසටහනට ඔබගේ දායකත්වය උපරිමයි ! හැමදාමත් වගේ වැඩසටහනේ අවසානයට මෙන්ම අදත් ඔබට ස්තුතියි !!