ගීතය, සංගීතය
පිළිබඳව ලංකාවේ සිංහල ගීත සාහිත්‍ය
ඇසුරින් හරවත් නිර්මාණ සොයා යන ගමනකදී නිතර කතා කරන්නට සිදුවන්නේ 70, 80, සහ 90 දශකවල මෙරට බිහි වූ ගීත
කලාව පිළිබදව ය. එතැනදී ඒ අපේ ගායන ශිල්පීන් ශිල්පිණියන් සහ ඔවුන් ඉදිරිපත් කළ
නිර්මාණ පිළිබදවයි. ඒත් මම හැමවිටම උත්සාහ
කරන්නෙ ඒ සිමාවෙන් ඔබ්බට ගිහින් ගීතය සහ සංගීතය ගැන අලුතින් හිතන්න පුළුවන් යමක්
අස්වැන්නෙන් සටහන් කරන්න. එහෙම කතාකරන විට නිතරම ගීතයකදී ගීත රචකයා, සංගිතඥයා සහ ගායන ශිල්පියාට හෝ ශිල්පිණිය යන තිදෙනාට
ම සම අවස්ථාවක් ලබා දෙන්න හැම විටම මම උත්සාහ කරනවා. ඒත් අපි අහන ගීතයක්, ගීතයක්
බවට පත් කරන්න වෙහෙසෙන කීදෙනෙක් ඒ ගීතය පිටුපස ඉන්නවාද කියන එක කිසිවකු දන්නෙ නෑ.
ඒ නිසා ගීතයක් නිර්මාණයේදී සැබැ ලෙසම ඊට දායකවන මෙරට විවිධ සංගීතමය හැකියාවෙන්
යුත් වාද්‍ය ශිල්පින් පිලිබඳවත් ඉඳහිට හෝ පුංචි සටහනක් තියන්න උත්සාහයක් ගන්නවා .
ඒ හරහා ඔබටත් ඔවුන්ගේ හැකියාවන්සහ නිර්මාණ
ගැන යම් ප්‍රමාණයක් දැනුමක් ලබාගන්න
පුළුවන් වෙයි කියලයි මට හිතෙන්නෙ.
ඒ විදියට
මීට පෙර රෝහණ ධර්මකීර්ති, කළණි පෙරේරා, සහ ඩී.ඩී. ගුණසේන වැනි වයලීන වාද්‍ය
ශිල්පීන්ගේ හැකියාවන් පිළිබඳවත්, නාලක අංජන කුමාරගෙ ගිටාරය පිලිබඳවත් මීට පෙර
වරින් වර අස්වැන්නෙන් කතා කළා. ඒ විදයටම මම අද තෝරාගත්තේ අපේ රටේ තවත් එවැනිම වාද්‍ය
ශිල්පියෙක්. කලකින් මටත් ඇස නොගැසුණ මේ වාද්‍ය ශිල්පියා ගැන ඔබෙත් මතකය මේ සමගම
අවදි වේවි. මට හිතෙන හැටියට මේ වාද්‍ය ශිල්පියා පිලිබඳව මාධ්‍යයක් මගින් කතාබහ කරන
මුල්ම අවස්ථාව මේ වෙන්නත් පුළුවන්. මේ
වාද්‍ය ශිල්පියාගේ සුවිශේෂ වැදගත් කම නිසා ඔහු කවුද කියල කියන්න කලින් මගේ හිත
දුවන්නෙ එකල සෝවියට් රුසියාවට. ඒ නිසා මේ සටහන රුසියාවෙන්ම පටන් ගමු.
වී.කරලෙන්කෝ ( 1853 – 1921) දහනව වන සියවසේ සහ විසි වන සියවස ආරම්භයේ රුසියානු සාහිත්‍යයේ
විශ්ව සම්භාවනාවට පත්වූ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක්. ඒ වගේම ඔහු ලියෝ තෝල්ස්තෝයි සහ ඇන්ටන්
චෙකොව්ගේ සමකාලිනයෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු රුසියානු මහා ගත්කරු මක්සිම් ගෝර්කිගේ
පළමුවන ගුරුවරයා.
වී.
කරලෙන්කෝ ලියූ කෘති අතර “අඳ වාදකයා” කෘතියට හිමිවන්නේ මුල් තැනක්. මේ කෘතියෙන්
මිනිසුන්ට ආදරය කරන්න වගේම ආදරය ලබන හැටිත් කියා දෙනව. කරලෙන්කෝ ලිව්ව “අඳ වාදකයා”
මුලු ලෝකයේම පාඨකයන්ගේ ආදරයට පාත්‍ර වූවත් මම ලියන මේ අඳ වාදකයා අපේ ගෞරවයටත් ආදරයටත් ලක් වුණේ නෑ කියල යි මට මුලින්ම කියන්න වෙන්නෙ. වී. කරලෙන්කෝ වගේම මම මේ ලියන්නේ ලංකාවේ වාද්‍ය
ශිල්පී වී. හේමපාල පෙරේරා ගැන. රුසියානු නවකතාවේ එන අඳ වාදකයාගේ චරිතයත් වී. හේමපාල පෙරේරාගේ චරිතයන් බෙහෙවින්ම එක සමාන
නිසා මම මේ කතාව කියන්න හදන්නෙ ඒ සියල්ලම ඇසුරින්.
රුසියානු
නව කතාවේ වගේම වී. හේමපාල පෙරේරා වාද්‍ය ශිල්පියාත් තම සංගීත දිවිය අරඹන්නෙ
බටනලාවෙන්. සිය උරහිසේ එල්ලා වැටෙන රෙදිවලින් නිම වූ අත් බෑගයේ විවිධ දිගින් සහ
හැඩයෙන් යුතු බටනලා කිපයක් හොවා ගත් මේ අඳ වාදකයා සුදු සැරයටියක් අතින් ගෙන ගුවන් විදුලිය ඉදිරිපිටින් පාර මාරුවන අයුරු
මීට කලකට පෙර ඉඳහිට හෝ නෙත ගැටුණ දසුනක්.
කලකින්
ඔහුගෙ රුව හා නෙත නොගැටුණත්, රූපවාහිනියේ
ප්‍රචාරය වන පැරණි සංගීත වැඩසහන් වල ඔහුගේ රුව දකින්න පුළුවන්. කිසියම් පටිගත
කිරීමේ වැඩසටහනකදී අනෙක් වාද්‍ය ශිල්පින්ට මෙන් හේමපාල පෙරේරාට ස්වර ප්‍රස්ථාරයක්
අවශ්‍ය වෙන්නෙ නෑ. ඔහු මනසේ ඇඳ ගන්නා ස්වර ප්‍රස්ථාරය අනුව ගීතයේ බටනලාව වාදනය කල යුතු අවස්ථාව හොදින් දැනගෙන බටනලා
වාදනයක් ගීයට මුසුකර ගීතයට එකතු කරන්නෙ නොමද ආලෝකයක්. ඇතැම් ගියක ඇසෙන ඔහුගේ බටනලා වාදන අනුඛණ්ඩයක්
ඒ ගීතයේ සියලු සංවේදනාවන් අභිබවමින් නැගී
සිටිනව.
දෙතොල්
මත තැබෙන බටනලාවෙන් නික්මෙන ඔහුගේ සුසුම බටනලාවේ වා සිදුරු හයක් මත නැටවෙන ඇඟිලි
තුඩු අනුව ඒ ඒ සිදුරෙන් නික්මෙන ස්වරයේ පරිමාව පාලනය කරන හැටිත් ඒවායේ වැයෙන
අනුපිළිවෙලත් මනාව මනසින් හඳුනාගෙන සිටින ඔහු ගීතයට කලාත්මක මනෝභාවයන් එකතු කරන්නෙක්.
විටෙක හේමපාල
පෙරේරාගේ මනසේ ඇදෙන ගීතයේ ආකෘතිය ඔහුගේ ජිවන හැඟීම්වල ආදර්ශයක් වගේ. ගායන
ශිල්පියාගේ හඬ, ගීතයේ වචන වලින් හැඟවෙන අරුත අනුව ගීතයේ හරය හඳුනාගෙන එය දුක්බර ගීයක්ද,
සතුට දැනෙන ගීයක්ද, එසේත් නැත්නම්
වේදනාවෙන් පෙළන ගීයක්ද යන්න හැඟීම් වලින්ම සිය රාග තාල ඔස්සේ ගීතයට සිය සංවේදනාවන් එකතු කරන්නෙ .
සඳ පහන්
වූ රැයක යුක්රේනයේ ස්ටෙප්ස් තැනිතලා බිමක, ගලායන සිහිල් දිය දහරක හඬත්, ස්ටෙප්ස් නිල්
තණ බිම්වල කෙළවරෙහි වූ කඳුගැට මත ඇති තණ පදුරුවල තණ අග්ගිස් සීතල සුළඟට මුමුණන්නා
සේ නෙත් අඳ පෙත්රූස් මුසුකරන බටනලා වාදනයත්
කොතරම් මිහිරියට ඇත්දැයි සිතාගත නොහැකි තරම්ය. ඒත් ඒ වගේම හේමපාලයන්ගේ බටනලාවෙන් නැගෙන ඒ ශෝකී ගී ස්වරය
කියන්නේ පෙත්රූස්ගේ ගී නාදයත් එයම බවයි.
යුක්රේනයේ
ස්ටෙප්ස් තැනිතලා තණ බිම් මා නොදුටුවත්
හේමපාල පෙරේරාගේ බටනලා වෙන් නිකුත්වන ශෝකී ස්වරය එවන් සඳ පහන් රැයක මගේ සිතුවිලි කුටියේ
දොර කවුළු විනිවිද දිවයන්නේ හෝර්ටන් තැන්නට
සඳ පහන් වු දීප්තිමත් රැයක් වෙතය. ඒ තැනි තලාවේ තණ පඳුරු මත වැටෙන සඳ එළිය මෙන්ම ස්ටෙප්ස් තණ බිමෙහි වැටෙන සඳ එළියේද වෙනසක්
නොදැනේ. වී.හේමපාලයන්ගේ මේ බටනලාවෙන්
මුසුවන්නේ රුසියානු නවකතාවේ ආ නෙත් අඳ පෙත්රූස්ගේ ජීවිතයේ හමා ආ ඒ ශෝකී මියුරු
ස්වරයම නොවේද
පායා ආ
සඳ අඳුරු වලාවෙන්
මා
ඉදිරියෙදිම වැසුණා
සෝකය
තාපය පාලුව අතරින්
ඉකි බිඳ
හැඬුවා ඇසුණා
හද විමනේ
බිතු සිතුවම්
කිළිටි
කළේ ඔබේ දෑතයි
නොපැතු
වියෝගයෙ මහ වරුසාවේ
දෑත දෙපය
මගෙ සීතයි
දෑත දෙපය
මගෙ සීතයි
ඔබ
පැමිණී ඔබම ගියා
නැවතුන
තැන මම ඉන්නම්
මගෙ
සහයෝගය පතන වෙලාවේ
කොහි සිට
හෝ යළි එන්නම්.
කොහි සිට
හෝ යළි එන්නම්
ගේය
පද: කරුණාරත්න අබේසේකර
සංගීතය :
එම්.කේ.රොක්සාමි
ගැයුම: මිල්ටන් මල්ලවාරච්චි
හේමපාල
පෙරේරාගේ “පායා ආ සඳ” ගීත අනුවාදනය
මෙතනින් අහන්න
රුසියානු
නවකතාවේ එන පරිදිම හේමපාල පෙරේරාද විවිධ වූ හැකියාවෙන් යුතු වාද්‍ය ශිල්පියෙකි.
පෙත්රූස්ට වාද්‍ය භාණ්ඩ ගණනාවක් වාදනය කළ හැකි වූවා සේම හේමපාලයන්ට ද එවැනි
හැකියාවක් තිබේ. ඔහුගේ මියුරු ස්වරය ගිලිහෙන්නේ බටනලාවෙන් පමණක් නොවේ.
තවත් සංගීත භාණ්ඩ ගණනාවක් මධුර ලෙස වැයීමේ හැකියාව ඔහු සතුව ඇත. ඒ අතර හවායන්
ගිටාරය, මැණ්ඩලීනය සහ බැංජෝ ආදී වාද්‍ය
භාණ්ඩ ඔහුට මැනවින් වාදනය කල හැකිය. ඒ වාද්‍ය භාණ්ඩ වලින් නිකුත් වන නාදය ද එකිනෙකට වෙනස් වූත් විවිධ වූත් නාද රූපාවලියක්
මවන තත් සහිත සංගීත භාණ්ඩයෝය. මේවා විවිධ
වූ නාද මවමින් රසිකයන් සියුම් මනෝභාවයන් තුළ රඳවන්නේ ශෝකී සංගීතයෙන් පිරි ඉසව්වකය.
ඒ හරහා හේමපාලයන් සිය මනසේ ඇඳගන්නා සිතුවම් වලින් ලෝකය සිතුවම් කරයි. ඒ ලෝකය සංගීතයේ
වඩාත් සංවේදී සිතුවම් වලින්ම සරසාලයි.
ගුවන්
විදුලියෙන් විශ්‍රාම ගන්නා තුරු හේමපාල ගුවන් විදුලි වාදක මණ්ඩලයේ සේවය කළද, ඔහු
දක්ෂ සංගීත අධ්‍යක්ෂක වරයෙකු බව දන්නේ කීයෙන් කිදෙනාද? ඔහුගේ ඇතැම් මධුර ගී තනු
ඔහුගේ අඳ බව අපට අමතක කරවා ඇත. එවන් මධුර සංගීත රචනා අතර නිරංජලා සරෝජිනිය ගයන “මං
කවිකාරිලු” ගීය හේමපාලයන් රමණීය සංගීත සිතුවමකි. එය අඳ වාදකයෙකු සතුව ඇති සියුම් සිතුවිලිවල මනෝභාවයන් ගී තනුවකට නැගිමකි. රුසියානු නවකතාවේ පෙත්රූස් තම ලෝකය හැඳින
ගත්තේ සොබා දහමට සංවේදී වීමෙනි. හේමපාලද එසේම ය. ඔහු ද සොබාදහමේ ඇති වෙනස්විම්
සංවේදනාවන් මේ ගීතයට හසුකරගන්නා හැටි අපූරුය.
මං
කවිකාරිලු මං කවිකාරිලු
ගජමන්
නෝනට වැඩි කවිකාරිලු
ආල වඩන
කවි සිංදු ගොතන්නට
ඉස්සර
ඉඳලම මං කවිකාරිලු
දහසක් රස
විඳි කවි පද ගැයු මුත්
ඒ එක
කවියක් හිතේ රැඳී නැත
මගෙ
සංසාරේ දුක් සනසාලන
සෙනෙහස
ගැන එක කවක් කියා නැත
පිං නැති
දෝ ඒ කවිය කියන්නට
මේ
කවිකාරිට මේ කවිකාරිට
මව්
පදවිය ලද අම්මාවරුනේ
කොතෙකුත්
දරුවන් මං නළවා ඇති
මගේම
දරුවෙක් නළවා ගන්නට
එක
කවියක්වත් මං කියලා නැති
පිං නැති
දෝ ඒ කවිය කියන්නට
මේ
කවිකාරිට මේ කවිකාරිට
ගේය
පද: නිමල් රත්නසිරි රූපසිංහ
සංගීතය :
වී. හේමපාල පෙරේරා
ගැයුම: නිරංජලා සරෝජිනී
“මං කවිකාරිලු ” ගීතය මෙතනින් අහන්න
බටනලාව
ඔහුගේ සියුම් ඉඳුරන්හි ඉපදෙන හැම හැඟිමක්ම ගීතයක අනුවාදයකට හෝ ගීතයක අතුරු වාද්‍ය
සංගීතයකට මුසු කරයි. රුසියානු නවකතාවේ මෙන් ස්ටෙප්ස් තැනිතලා බිම්වල සුළඟේ සිරි
සිරියද, ගඟ දිය රැළි නගන හඬද, වන පෙතක
මුණුමුනුවද, හේමපාලයන්ගේ මියුරු වාදය හරහා හදවතට සමීප කරවයි. ඒවා කුමන අකාරයේ සිතුවිලි සමුදායක් දැයි
කිසිවකුටත් කිසිම විටක නිසි විග්‍රහයක් කරන්නට නොහැකිය. ඒ ස්වර මගින් නිකුත් වන්නේ
සතුටද එසේත් නැත්නම් ගැඹුරු ශෝකි රසයක්ද යන්න හිතාගන්නට නොහැකි තරම්ය.
ගීතයට
අවැසි රාග තාල හා මුසුවෙමින් වරෙක ආදරයෙන් ද, වරෙක දුකකින්ද, ඇතැම් විට දොම්නසින් ද, වියෝ
දුකින්ද පුරවයි. හේමපාලයන් සැබැවින් ම බටනලා වාදනයෙහි නිපුණයෙකි. අසමසම වූ ගායන
ශිලිපියෙකුගේ හෝ ශිල්පිණියකගේ මිහිරි ගී රාවය පරයමින් නැගෙන සුසුමේ සුළං පහර මගින්
ඇදෙන ගීතයේ රාවයෙන් හේමපාලයන් අප ගෙනයන්නේ අතීතේ ඈත දවසක ඈත ගම් පියසක ඉර බැස යන
හැන්දෑවක ගෙපිලක විසූ ගැමියෙකු විසින් මතු
කළ මිහිරි බටනලා ගී නාදයක් වෙත ය. ඒ තරමට ම හේමපාලයන්ගේ බටනලාව මිහිරෙන් හද පුරවනු
හැටි කියන්න මේ ගීත අනුවාදනය කදිම නිදසුනකි.
මුළු ලොව නැති වුණත්
එකම
හදවතක්
ඇත ඔබේ
නාමයෙන්
ඇත ඔබේ
නාමයෙන්
ඔබේ
සෙවනේ රැඳී ඉන්නට
වරම්
නැති වූ ලෝකයේ
වෙන්ව
සිටිනා හුදකලාවේ
එකම
හදවතක්
ඇත ඔබේ
නාමයෙන්
ලොවේ
දිනයක තනි වුණෝතින්
ඔබේ හද
සෝ තාපයෙන්
සොයා
එන්නට සිටින කැපවී
එකම හදවතක්
ඇත ඔබේ
නාමයෙන්
ගේය
පද: කුලරත්න ආරියවංශ
සංගීතය :
රෝහණ වීරසිංහ
ගැයුම: ටී.එම් . ජයරත්න
හේමපාල
පෙරේරාගේ “මුළු ලොව නැති වුණත්” ගීත අනුවාදනය මෙතනින් අහන්න
වී.හේමපාල
පෙරේරා පිළිබඳව කිසි දිනෙක පුවත්පතක ලිපියක් පළවූ බවක් මට මතක නැත. දැන් ඔහු
බෙහෙවින් ම වියපත්ව සිය ජිවිතයේ සැඳෑ සමය ගතකරමින් සිටි. ඇතැම් විට සේයාරුවකට
නගන්නට තරම් රූපකායක් ඔහු සතුව නොතිබෙන්නට පුළුවන. නැති නම් මෙරට විචාරකයන්ගේ අඳ
නෙත්වලට ඔහුගේ හැකියාවන් නොපෙනුණා විය
හැකිය. එහෙත් මෙරට ගරු කළ යුතු නැතිනම්
අගය කළ යුතු කලාකරුවන් අතර ඔහුද ඇතැයි මම සිතමි. ජීවත්ව සිටියදි නොලැබෙන එහෙත් මිය ගිය පසු පත්තර
පිටු ගණන් ලියැවෙන තරමේ සටහන් ඔහුගේ ජීවිතයේ නොතිබෙන්නට පුළුවන. එහෙත් යම් තරමක හෝ
සටහනක් තැබිමට තරම් වචන පේල් කිපයක් ලියන්නට හැකි කිසිවෙකු නැතිවිම කණගාටුදායකය.
ඇතැම් විට
හේමපාල පෙරේරා වැනි ශිල්පින් මෙරට තුළ ගෞරවාභි වන්දනයට පාත්‍ර නොවන්නේ කලාව හෝ
කලාව පිළිබඳ රසවින්දනයක් ගොඩ නැගෙන්නේ
නැති සමාජ පසුබිමකය. ඇතැම් විට මා ලියන මේ
සටහන පවා ඔහු වෙනුවෙන් ලියැවුණ එකම සටහන වන්නට පුළුවන. ඔහුගේ හැකියාවන් පිළිබදව ඇති වන්නේ පසුතැවිමකි. එය ඔහුගේ
බටනලාවෙන් මතුවන ශෝකය තරම් වූ ශෝකයකි. ඒ අන් කිසිවක් නිසා නොව මෙවන් කලාකරුවන් අකාලයේ
මියැදෙන්නට ඉඩ හැර බලා සිටින මේ සමාජය පිලිබඳවය.
වී.හේමපාල
පෙරේරා සිය ජිවිත කාලය තුළදී එලි දක්වා ඇත්තේ එකම එක නිර්මාණ එකතුවකි. එයද මීට වසර
තිහකට හෝ තිස් පහකට පමණ ඉහත දී ය. ඒ 1980 දශකයේ මුල් හරියේ සිංග්ලංකා සමාගම නිකුත්
කළ ඔහුගේ ගී අනුවාදන රැගත් කැසට් පටයකි. ඒ කැසට් පටය වුවද ඉන් නතුරුව නිකුත් ව නොමැත. ඒ
නිසා ඔහු පිළිබඳ මතකයන් නව පරපුරට
නොතිබෙන්නට පුළුවන. මා සතුව තිබු ඔහුගේ ඒ එකම කැසට් පටය වසර තිහකට පමණ පසු නැවත ඔබට අහන්නට හැකි වන තරමට සකස්කර ගැනිමට ලැබිම
ගැන මට ඇති වන්නේ සතුටකි.
හේමපාල
පෙරේරා පිළිබදව තැබූ මේ සටහන අවසන් කරන්නට කලින් මම නැවතත්
ඔබ කැදවා යන්නේ වී.කරලෙන්කෝ විසින්
ලියු අඳ වාදකයා නවකතාවේ අවසන් පරිච්ඡේදය වෙත ය. නෙත් අඳ පෙත්රූස් කීයෙව් නගරයේ
කොනක ඉදි වූ ශාලාවක වාදන ප්‍රසංගයක්
ඉදිරිපත් කරන්නට සැරසේ. ඒ ඇසු දහස් ගණනක් මහ පිරිස් ඒ ශාලාවට රැස්වෙති. මලානික
මුහුණකින් යුතු අඳ වාදකයා වේදිකාවට පිවිස එතැනට රැස්වූ විවිධ මට්ටම්වල රසික
පිරිසගේ සිත් ආනන්දයෙන් ප්‍රඥාව වෙත කැඳවීය. එතෙක් වේලා ඒ රසිකයන්ගේ අධ්‍යාත්ම තුළ සැඟව
තිබූ රසවින්දනය පෙත්රූස්ගේ වර්ණවත් ස්වර මාලා හා මුසුව නිහඬව ගීතයක් බවට පත්වෙමින්
තිබුණි.
ස්ටෙප්ස්
තැනිතලා බිම් හරහා හුදකලාවේ ගලා බස්නා දිය
දහරක් වන් සුමධුර බවකින්ද, තවත් වරෙක සෝ බරවද වැයෙන්නා වූ වාදනය වා තලයට මුසුවෙමින් ස්ටෙප්ස් තණ බිම්හි
පිහිටි කඳු ගැට මත ඇති තණපත් සුළඟට හසුව
කරන්නා වූ මිමිණුම ඒ අඳ වාදකයාගේ අඳුරු අතීතය පිළිබද රසිකයන් තුළ සිතුවමක් මැවිය. අඳ
වාදකයාගේ වාදන වලින් පැන නගින ස්වර මාලාවල නාදය ඔවුන්ට සදාතනික බවක් ගෙන දුන්නේය.
නරඹන්නන්ගේ හදවත් සිදුරු කළ ඒ වාදනය ජීවිතය හමුවේ මුහුණ දෙන වාපී තරංග සේ නොසිඳී
වැයෙන්නට විය. ආනන්දයෙන් ප්‍රඥාව වෙත සපැමිණි
නරඹන්න්නට දැනෙනේනේ ඔවුන් ප්‍රඥාවේ තොටුපළ
වෙත පැමිණ ඇති බවය.
ඒ
ස්ටෙප්ස් තැනිතලා බිම් හරහා හමා ගිය යුක්රෙන මිනිසුන්ට හුරු වූ සුළං පහර නැවත
අළුත්වූ බවක් ඔවුන්ට දැනෙන්ට විය. සංගීතයේ අධ්‍යාත්මය තමන් සතු කර ගැනිමට අඳ
වාදකයාට හැකි විය. ජීවිතයේ කටුක බවත්
දුක්ඛිත බවත් අසන්නන්ගේ හදවත්වල ගැඹුරුම තැනක රඳවන්නට ඔහුට හැකි විය. අඳ වාදකයා නරඹන්න්ගේ හදවත් සිය අතැඟිලි තුඩුවලින්
පිරිමදින බවක් ඒ ශාලාවේ රැස්ව හුන් අයට දැනුණි. ඒ ප්‍රසංගය අවසන් වි බොහෝ වේලාවක්
යනතුරුත් ඒ ශාලාවේ සිටි නරඹන්නෝ දිගු නිද්‍රාවකට
පත්ව සිටියහ.
වී.
කරලෙන්කෝ 19 වන සියවසේ අගදී සිය “අඳ වාදකයා” නවකතාවෙන් එසේ සටහන් කළ පෙත්රූස් අන්
කිසිවකු නොව 21 වන සිය වසේ මුලදි මා ලියන
මේ වී. හේමපාල පෙරේරා ඔහුම නොවන්නේ දැයි මම කල්පනා කරමි.
තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු
පාලුවෙන්
රැගෙන
යන්න සොඳුරියෙ ඔබෙ
සුවඳ මා
ළඟින්
සිවු
වසරක පෙම් ගීතය
ගොලුවෙලා
ගියාදෝ
අලුත්
ලොවක ඔබ සතුටින්
කිරුළ
පැළඳුවා දෝ
මායාවකි
ප්‍රේමය මා
හදවත
රිදවූයේ
සෝ ගීයකි
දුක්බර වූ
සැනසුම
කොහි වේදෝ...
ගේය
පද: බුද්ධාස ගලප්පත්ති
සංගීතය :
රෝහණ වීරසිංහ
ගැයුම: ආචාර්ය වික්ටර් රත්නායක
හේමපාල
පෙරේරාගේ “තනි වෙන්නට මගේ ලොවේ” ගීත අනුවාදනය මෙතනින් අහන්න
වටිනා කාලය බිඳක්
වැය කර ගී රස විඳිමින් කියවූ ඔබට
ස්තූතියි. වෙලාවක් ඇත්නම් මීට වඩා
වෙනස් වූ ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා
තබන්න
ඔබ ලියූ ලිපි අතරින් ඉතාමත්ම සංවේදී ලිපිය මෙය කියා සිතෙනවා .
ReplyDeleteඒ වගේම ඔබේ ලිවීමේ හැකියාව උපරිමෙන්ම පෙන්වන ලිපියක් .
ඇගයීමට ලක් කල යුතු කලාකරුවෙක් ගැන මෙවැනි සටහනක් තැබීම ගැන ඔබට අපේ ස්තූතිය .
ගිම්..
Deleteඔහු අපි හඳුනා නොගත් සැබෑම දක්ෂයෙක්. ඒත් ඔහු පිලිබඳව තොරතුරු කිසිවක් සොයාගන්න නැහැ. ඒනිසා මට සිදුවුණා රුසියානු නවකතාවත් සම්බන්ධ කරගෙන ඒ කතාව කියන්න.එහි යම් සාර්තකත්වයක් ඇතිබව පෙනේ නම් ඒ ගැන අවංකවම සතුටුවෙනවා.
ස්තූතියි ගිම් ඔබට
තම මව, කුඩා කල ඔහුට ලබා දුන් බටනලාව ඔහුගේ ගමනේ ආරම්භය බව අසා ඇත්තෙමි.
ReplyDeleteරටකට පුර්වාදර්ශ විය යුතු චරිත නොසලකා හැරිම,මතු පරම්පරාව අන්ධයන් කිරිමට පහසුම මගයි.
අනගි ලිපියක්.බොහොම ස්තුතියි.
විමුක්ති..
Deleteමම ඔහුගැන පුද්ගලික විස්තර සොයාගන්න සැබෑම උත්සාහයක යෙදුනා.ඒත් බැරිවුණා. මෙවන් චරිත වර්තමානයේ රසික පරපුරට හදුන්වා දිය යුතුයි කියල හිතෙනවා.
ස්තූතියි ඔබේ සටහනට..
මෙතනින් බලන්න.........
Deletehttp://www.sinhalachord.com/2011/05/v-hemapala-perera-sinhala-artist.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+sinhalachord+%28Sinhala+Song+Chords%29
ගිම්හානිගේ කතාව ඇත්ත දයා. හරිම සංවේදී ලිපියක්. ඔහුගේ වාදනවලට සවන් දෙන ගමන්.
ReplyDeleteතාම මේ ලිපි update වෙන්නේ නෑ. හදිසියේ මූනු පොතේ දැකලා ඇවිත් බැලුවේ. උද්ඝෝෂණ කරන්ට කාලය ඇවිත් වගේ. ඔන්න පොඩ්ඩි පාරට බහිනවා හොඳේ.:)
පොඩ්ඩි..
Deleteමේ ලිපිය වගේම මීට පෙර ලිව්ව "සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ" ලිපියත් update වෙලා නැහැ. ඒක නිවැරදි කරන්න අපහසුයි. මටත් පේන විදියට මේගැන Google අයිතිකාරයාට එරෙහිව අරගලයක් කරන්නට කාලය ඇවිත්වගේ..
ස්තූතියි පොඩ්ඩි ඔබට
වටින ලිපියක්.මං ඇත්තටම මෙතුමා ගැන වැඩි යමක් දැනං හිටියේ නෑ.ඔබට බොහොමත්ම ස්තූතියි!
ReplyDeleteවර්ෂා..
Deleteඇත්තටම ඔහු මේ පරපුර දැනගත යුතුම කලාකරුවෙක්.ඔහුගේ හැකියාවන් ක්සේත්‍ර ගනනාවක් පුරා විහිදෙනවා.
ස්තූතියි වර්ෂාට
හරිම වටිනවා...
ReplyDeleteඅඳ වාදකයා පොතනං මං කියවලා නෑ ඒත් තියෙන විස්තරෙත් එක්ක කතාව හිතාගන්න පුළුවං.
තරියා..
Deleteරුසියානු නවකතාව ලැබුනොත් කියවන්න.මිනිසුන්ට ආදරයකරන්න වගේම ආදරය ලබන්නත් කියාදෙන අපූරු කෘතියක්.
ස්තූතියි තරියා ඔබට
මටනම් හිතෙන්නේ සෑම රුසියානු කතාවක්ම මිනිසුන්ට ආදරය කරන්න කියලා දෙනවා කියලයි. මට අතීතය මතක් වෙනවා දයා ..
Deleteමගේ කාමරයේ මම හිතන්නේ සිංහලයට පරිවර්තනය කරපු හැම රුසියන් පොතක් ම තිබුනා. ඒ කාලේ කියවන්න එතරම් ගැටළුවක් උනේ නැහැ ඔය පොත් ඉතාම අඩු ගණනකට තමයි මිල නියම කරලා තිබුනේ.
මම මේ ළඟදී දවසකත් මේ වාදකයා ගෙ තොරතුරු ටිකක් දැනගන්නෙ කොහොමද කියල හිත හිත හිටියේ වීඩියෝ එකක දැකල. ඉතාම වටිනා ප්‍රතිඋපකාරයක් මේක ඒ අනර්ඝ මිනිසාට කරන්න පුළුවන්. බොහෝ පිං ඔබට!
ReplyDeleteප්‍රේමකීර්ති ගී..
Deleteහේමපාලයන් නිහඬව කලාවට සේවයක් කර දැන් ජීවිතයේ සැඳෑ සමය ගතකරනවා. ඒත් ඔහුගේ නිර්මාණ අමරණීය වේවි.
ස්තූතියි ඔබට
උදේ ඉදල මේ වියමන ටැබ් එකක රදවගෙන නිදහසේ කියවන්න තියා ගත්තත් දැන් තමයි ඒකට වෙලාව ලැබුණෙ. වී. හේමපාල පෙරේරා නම් වූ මේ සුවිශේෂී වාදන ශිල්පියා හුදෙක් වාදකයෙක් ම පමණක් නොවන බව ඔබ මැනවින් පසක් කළා. ඉතා ඈත අතීතයේ ජාතික රූපවාහිනියේ විවිධ සංගීත වැඩසටහන් වල වාදන ශිල්පියෙකු ලෙසත්, පසු කළෙක මනෝහාරි තුළත් ඔහු ඉද හිට අප දුටුවා. ඔහුගේ වාදන හැකියාව ඔබ පැවසූ ලෙසම බටනලාවට පමණක් සීමා නොවී විවිධ පරාසයන් කරා විහිදුනු එකක් බව මා හොදින් අත්දැක තිබෙනවා.
ReplyDeleteමීට වසර 10 කට පමණ පෙර මට ඔහු සමඟ ඔහුගේ නිර්මාණ රස විඳිමින් කතා බහක යෙදෙන්නට අවස්ථාවක් ලැබුණා.අනුරාධපුරයේදී. එම වර්ෂයේ උතුරුමැද පළාත් සංගීත තරඟ විනිශ්චය සඳහා පැමිණී විද්වත් මණ්ඩලයේ ඔහුද සාමාජිකයෙක්. විශාරද ජයන්ත අරවින්දයන්, ලයනල් අල්ගම සංගීත වේදියාණන්, වී.හේමපාල පෙරේරා මහත්මා, ජානක බෝගොඩයන්, ඇතුළු රසවතුන් පෙර දින පැමිණ නවාතැන් ගත්තේ එවකට සංගීත අධ්‍යක්ෂකව සිටි නේත්‍රාංජන මහත්මාගේ නිවසේයි. එදින රාත්‍රිය නිදි වර්ජිත වූයේ ඒ සහෘද සමාගමයේ රැදි සුමිහිරි භාවය නිසාමයි. විශාරද ජයන්ත අරවින්දයන්ගේ වයලීනයේ නදින් අප වශීකෘත වන විට බෝගොඩයන්ගේ තබ්ලාව ඊට අනුපාන එකතු කළා. හේමපාලයන්ගේ වස් දණ්ඩට වඩා එදා ඉස්මතු වූයේ මැන්ඩලීනයයි. එහි වු රස පැවසීමට කෙළෙස වචන සොයම්ද?
ඒ සියල්ලටම වඩා ඔහුගේ දාර්ශනික අදහස් ගොන්න එහිදී හොදින් ඉස්මතු වූවා. දෑසම පොනෙන බොහෝ දෙනෙකුට වඩා දෑසි අඳ ඔහුගේ දැක්මා හා කියවීම කෙතරම්දැයි අවබෝධ කර ගැනුමට ඔහු සමඟ සහෘද සංවාදයේ යෙදිය යුතුමයි. එවනි සුධීමතෙකු ලංකාවට නොවටිනා වුවද ඔහු පිළීබඳව දන්නා අතලොස්සකට ඔහු අගනා මිණක්. එවන් සැඟවුණු මිණක් මතුකළ ඔබට බෙහෙවින් පිං. ඔහුගේ අස්වැන්න නෙළුමට ලක්වැසියන් පිං කළ පමණ මදිදැයි සිතේ.
ඔහුගේ නිර්මාණ ඇතුළත් එකම කැසට් පටය සොයා මල්වත්ත පාරේ, බොරැල්ලේ කැසට් කඩ පීරෑ අයුරුත්, එය අත්පත්කර ගැනීමේන් පසු එයින් ලැබූ සංතෘෂ්ටියත්, හරිම සුන්දර මතකයන්. අදටත් එම කැසට් පටය සුරැකිම මගේ දුප්පත් ශ්‍රව්‍ය ගබඩාවේ තිබෙන අතර අද සන්ධ්‍යාව නැවත එය රස විදීමට ඔය වියමන මා පෙළඹවූවා.
තුසිත..
Deleteඔබේ මේ අගනා සටහන දුටු විට හිතේ ඇතිවුනේ කියා නිමකල නොහැකි සතුටක්.මොකද ඔහු සහ ඔහුගේ නිර්මාණවල ගුණ සුවද හඳුනාගත් අය මේ යුගයේ ඉතාමත් විරලයි.
ඒ නිසා මේ සටහන ඊට ලොකු ආලෝකයක් එකතු කරනවා.මට ඔහුව කිසිම දිනක මුණ නොගැසුණත් ඔහුගේ නිර්මානවලින් ශමුගේ ගුණ සුවද අදුනාගත්තා.
ඔබ වගේම මේ ඔහුගේ මේ නිර්මාණ එකතුව මේ තරමට අහන්න සකස්කරගන්න මටත් සෑහෙන වෙහෙසක් ගන්න සිදුවුණා.
ස්තූතියි ඔබටත් මේ ඔබේ සංවේදී සිතුවිලි ගොනු කලාට
තුසිතගේ අදහස් වලින් මේ පෝස්ට් එකේ වටිනාකම තවත් වැඩිවෙලා . .
Delete
ReplyDeleteඔබ අද දවසේ කවුරුන් හෝ කළ යුතුව තිබූ වැඩකටයි අතගැහැවුවේ... ඒ පිළිබඳ ප්‍රනාමය සහ ස්තුතිය....ඒ සමගම මේ හේමපාල පෙරේරා සමග යම් අවස්ථාවල සමීපව කටයුතු කිරීමට මටද හැකිවුණා... එහෙහම දිනයක එතැන සිටි අයෙක් කිවුවා ඔහුගේ අන්ධබාවය නිසා වෙන්න ඇති මේ බටනලාවේ බුහුටු බව ඔහුට ලැබෙන්න ඇත්තේ කියා. මම ඊට තරයේ විරුද්ධවුණා. ඔහු එම හේතුව නිසා වැඩි කාලයක් ඊට මිඩංගු කරන්න ඇති. ඒත් ඔහුගේ දක්ෂතාව අන්ධභාවය තුළට ලඝු කිරීමක් එතැනදී සිදුවුණේ.. එහෙමනම් විජේරත්න රණතුංගත් අන්ධවිය යුතුයි. නාලන අංජන මහින්ද බණ්ඩාරලත් අන්ධවිය යුතුයි. කලනි පෙරේරලා ඩී. ඩී. ගුණසේනලත් අන්ධවිය යුතුයි.... මේ සංවාදය දිගට යනවිට ඔහු දොඩමළු වුණා. අතී.ය පිළිබඳව... ඒ කතා බහේදි ඔහු විවිධ වර්ණ ගැන කතාකරන්න පටන් ගත්තා. අපි තුෂ්නිම්භූත වුණා. කෙසේද ඔහු වර්ණ ගැන දන්නේ කියලා. නමුත් කුඩා කල ඔහු ලෝකය දුටු බව දැනගත්තා. ඒ අනුව ඔහු උපතින් ම අඳ පුද්ගලයෙක් නොවෙයි. දැන් ඔහු දෑසින් ලෝකය දකින්නේ නෑ. ඔහු බටනලාව සහ ඉංග්ලිෂ් මැන්ඩලීනය හරහා ලෝකය අපට වඩා හොඳින් දකිනවා.....
යසේ..
Deleteමචං.. උඹ ඒ අතින් හරි වාසානාවන්තයි හේමපාලයන් සමග කෙටිකාලයක් හෝ සමීපව කටයුතු කරන්න ලැබුණ එක ගැන දැනගන්න ලැබුණ එකත්.
ඇත්තෙන්ම කලාකාතියක නිර්මාණාත්මක බව වටහාගන්න ඔහුගේ හෝ ඇයගේ පුද්ගලික චරියාවන් අවශ්‍ය වෙන්නෙ නෑ කියලයි මටත් හිතෙන්නේ. ඊට වඩා ඇත්දැකීම් සහ භාවිතය නිර්මාණකරණයේදි යොදාගන්නා හැටි අනුවයි කෘතියක රුව ගුණ පවත්න්නේ කියා මා විශ්වාස කරනවා.
ඔහුගේ බටනලාව පමණයි මේ සටහන සදහා මා යොදාගත්තේ. ඉඩක් ලදොත් ඔහුව සොයාගෙන ඔහු ගිටාරය, මැන්ඩලිනය සහ බැංජෝව වයන හැටි ලියන්නම් ඉදිරියේදි.එවිට ඹිට වඩා රසවත් වේවි.
ඉතාමත් කාර්ය බහුලවත්, අවිවේකිවත් සිටිද්දි මෙවන් සටහනත් තැබූ උඹට බෙහෙවින්ම ස්තූතියි.
"සඳ පහන් වූ රැයක යුක්රේනයේ ස්ටෙප්ස් තැනිතලා බිමක, ගලායන සිහිල් දිය දහරක හඬත්, ස්ටෙප්ස් නිල් තණ බිම්වල කෙළවරෙහි වූ කඳුගැට මත ඇති තණ පදුරුවල තණ අග්ගිස් සීතල සුළඟට මුමුණන්නා සේ නෙත් අඳ පෙත්රූස් මුසුකරන බටනලා වාදනයත් කොතරම් මිහිරියට ඇත්දැයි සිතාගත නොහැකි තරම්ය. ඒත් ඒ වගේම හේමපාලයන්ගේ බටනලාවෙන් නැගෙන ඒ ශෝකී ගී ස්වරය කියන්නේ පෙත්රූස්ගේ ගී නාදයත් එයම බවයි."
ReplyDeleteදැකපු ගමන්ම මේ ඡේදය මාව වික්ෂිප්ත කළා.. ඒත් කියවාගෙන යද්දී සියල්ල පැහැදිලි වුනා.. බොහෝම සංවේදී සටහනක්..
දක්ෂකමක් තිබිලත් එය හරිහැටි අගය නොකිරීම ගැන නම් ඇතිවුනේ කණගාටුවක්.. මේ වගේ දක්ෂයෝ කීදෙනෙක් කවුරුත් නොදැනම වියැකිලා යන්න ඇතිද?
දැන් ඇවිල්ලා තියෙන්නෙ කලා හැකියාව නැතත් කඩේ යෑමේ හැකියාව තියෙනවානම් ඇගයීමට ලක්වන කාලයක්නෙ..
හරී..
Deleteඇත්තටම මම ශුගේ පුද්ගලික තොරතුරු දැනගෙන හිටියේ නෑ. ඒ නිසා මට සිදුවුණා ඔහුගේ චරිතය හා සමාන රුසියානු නවකතාව සම්බන්ධකරගෙන මේ කලාකරුවාගේ චරිතය විනිවිද දකින්න.
මේ යුගයේ මෙවන් අය ඉදහිටි හෝ හදුන්වා දන්න ලැබෙන එකත් සතුටක්.
ස්තූතියි අගනා සටහන වෙනුවෙන් හරීට
//කිසියම් පටිගත කිරීමේ වැඩසටහනකදී අනෙක් වාද්‍ය ශිල්පින්ට මෙන් හේමපාල පෙරේරාට ස්වර ප්‍රස්ථාරයක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඔහු මනසේ ඇඳ ගන්නා ස්වර ප්‍රස්ථාරය අනුව ගීතයේ බටනලාව වාදනය කල යුතු අවස්ථාව හොදින් දැනගෙන බටනලා වාදනයක් ගීයට මුසුකර ගීතයට එකතු කරන්නෙ නොමද ආලෝකයක්. ඇතැම් ගියක ඇසෙන ඔහුගේ බටනලා වාදන අනුඛණ්ඩයක් ඒ ගීතයේ සියලු සංවේදනාවන් අභිබවමින් නැගී සිටිනව.//
ReplyDeleteඇත්තටම දයා, මට හැම වලේම හිතුන දෙයක් තමයි මේ. කොහොමද මේ වාදනය ස්වර ප්‍රස්ථාර නැතිව මෙතරම් ලයන්විත ලෙස ඉදිරිපත් කරන්නේ කියන එක.
මට නම මේ කත හරියට බිතෝවන් ශ්‍රවනය අහිමු වූ පසු සංගීත නිර්මාණය කිරිමටත්, මෝසාර්ට් මරණය අත ළඟ තබාගෙන "රිකුවින් මාස්" එක ලිවීමත් වගේ පුදුම සහගතයි.
Ayilas A
Deleteමගේ මතකයේ හැටියට බීතෝවන් 9 වැනි සිම්ෆනිය හෝ 5 වැනි සිම්ෆනිය තමයි බිහිරිව සිටිද්දී කළෛ්. මම ඒගැන කේමදාසයන්ගේ සංන්ධිවනි සංගිතය ගැන ලියද්දී කතාකළා මතකයි. ඒක තමයි නිර්මානාත්මක දක්ෂතාවය කියන්නේ..එවැනි අය ලොව පහළවන්නේ කලාතුරකින්.
ස්තූතියි ඔබට..
කවුරුත් වැඩිය කතා නොකරන මෙවන “සම්පත්“ අපට , රටට හෙළි කරමින් ඔබ කරන්නේ නම් මහඟු පින්කමක් ...විශේෂයෙන්ම ඔබේ සොඳරු පද හැසිරවීම සිංහල බ්ලොග් අවකාශය පරිහරණය කරන සැමටම සතුටක් ගෙන දෙන බවනම් කිව යුතුමයි .
ReplyDeleteස්තුතියි මේ වෙනුවෙන් වන වෙහෙසට ...
මහේෂ්...
Deleteමට සාමාන්‍යයෙන් ලියනවා කියලා ඔහේ ආවට ගියාට ලියල පුරුදු නෑ. එහෙම කලොත් මට හිතෙන්නේ මෙතැනට එන සහෘදයන්ගේ කාලය මා විසින්ම විනාශ කල බවට හැඟීමක්..එයින් මිදෙන්නයි මා උත්සාහ ගන්නේ..
ස්තූතියි ඔබටත්.
මේ දක්ෂ කලාකරුවාගේ නමවත් අහලා තිබුනේ නැති එක ගැන නම් ලැජ්ජා වෙනවා..ඒ නිසා මේ ලිපිය ගොඩක් හිතට දැනෙනවා..
ReplyDeleteස්තුතියි දයානන්ද ඔබට...අපූරු බ්ලොග් වියමනක්..(හැමදාම වගේ...)
රෑ...
Deleteඇත්තටම හේමපායන් ගැන අහලා නොතිබුණත් ඒ ගැන පුදුම වෙන්න දෙයක් නෑ මොකද ඔහුත් නිහඬව සිටින කලා කරුවෙක්.
ස්තූතියි රූ...
අපිත් ඉස්සර නිතර රූපවාහිනියේ හේමපාල පෙරේරාව දකිනවා... හැබැයි ඇත්තටම කවදාවත් ඔහු ගැන ලියැවුනු ලිපියක් නම් කියවලා නෑ තමයි. මම මේ පොතත් කියවලා නෑ. නමුත් ඔබ එය උපකාරීකරගෙන මේ කලාකරුවාගේ හැකියාව මැනවින් අපට පෙන්වනවා. බොහොම සංවේදී සටහනක්. ඒ වගේම ඔහුගේ එකම නිර්මාණ එළිදැක්මෙන් අංශුමාත්‍රයක් වසර 30ට පසු අපට ගෙන ඒමට මහන්සිවීම ගැන ඔබට ස්තූතියි.
ReplyDeleteමේ වෙලාවෙදි, වැඩි අවධානයක් නොලැබ පසුගියදා අප අතරින් වියෝවූ හේමපාල ගාල්ලගේ නම් අති දක්ෂ තබ්ලා වාදකයාද සිහිවෙනවා.
තිසර..
Deleteඅඳ වාදකයා කෘතිය ලැබුනොත් කියවන්න ඒතරමට වටින පොතක්. හොද පරිවර්තනයක්.මේ සටහන ලියද්දි තබ්ලා වාද්‍ය ශිල්පී හේමපාල ගාල්ලගේ ගැනත් මතකයට ආවා. ඇත්තටම සංගිතය වෙනුවෙන් හැම නිර්මානාත්මක අගයක්ම තබ්ලාවෙන් සටහන් කර දි නිවී ගිය පහණක් තමයි ගාල්ලගේ..
ස්තූතියි ඔබටත්
බටනලා සංගීතයක් අහපු කාලයක් මතක නෑ. බටනලා සංගීතයක් ඇහෙන කොට ඒත් එක්කම අපේ කමක් ගැමිකමක් ඈදිලා තියෙනවා. අන්න ඒ හැඟීම විදින්න තියෙනවා නම්.....
ReplyDeleteනොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න ලැබිච්ච පෝස්ට් එකක් !
Deleteමධුරංග..
Deleteඉස්සර ගම්වග ගෙවල්වලින් හැනිදෑවට බටනළා නාදයක් ඉඳහිට ඇසුණා. දැන් ආසාවට අහන්න වත් බටනළාවක් ඇහෙන්නෙ නෑ තමයි. ඒවන් සුන්දර වටපිටාවන් අපෙන් ගිලිහිලා..
ස්තූතියි මධුරංග
වරක් මේ වාදක තුමා සජීවී රූපවාහිනී වැඩසටහනකට පැමිණියා...මෙතුමා බටනලාව වගේම මැන්ඩලීනයත් වාදනය කරනවා...වික්ටර්ගෙ තනිවෙන්නට මගේ ලොවේ ඔරිජිනල් ගීතයේ මැන්ඩලීනය වාදනය කර තිබෙන්නෙ ඔහු... එම ගීතය ආරම්භයේම යෙදෙන මැන්ඩලින් ස්වර කිපය පටිගත කිරීම් කරන අවස්ථාවේම මෙතුමා විසින් නිර්මාණය කරලා තියෙන්නෙ...
ReplyDeleteඉතිං එදා වැඩසටහනේදි නිවේදක තුමා තනිවෙන්නට මගේ ලොවේ ගිතය පොඩ්ඩක් වාදනය කරන්න කියපුවාම....අනේ මට එහි ස්වර දැන් වැඩිය මතක නෑ කියලා උත්තරයක් දුන්නා...නමුත් නිවේදකයා පසු බැස්සෙ නෑ...මතක තියෙන විදියට පොඩ්ඩක් වාදනය කරමු කිව්වාම එහු ගීතයේ ආරම්භක ස්වර කණ්ඩයේ සිට අවසානය දක්වාම ඉතාමත් සංයමයෙන් වාදනය කරපු අයුරු මට තවමත් මතකයි. එතුමාට දීර්ඝායුෂ ලැබේවා !
සිරා මටත් ඕක හොඳට මතකයි...! තව මම හිතන්නෙ අමරදේව මහත්මයගෙ ගීයකටත් මැන්ඩලීනය වයනව. හරියට මතක නම් නෑ..!
Deleteකෝ අපිට උත්තර නැද්ද ?
Deleteසිරාගෙ කාමරේ...
Deleteඇත්තටම මට කමෙන්‍ට් වලට ප්‍රතිචාර දක්වද්දි මැදින් කොටස් මගහැරිලා ඇති බව අන්තිමට දැක්කේ.. දැන් හරි..
මම මේසටහන ලිව්වට පස්සේ තමයි එතුමාගැන තොරතුරු ගොඩක් ලැබුනේ එතුමා දුරකතන අංකය පවා එවල තිබුණා..සබරගමුව සරසවියෙන් ඔහු පිලිබදව නිර්මාණය කළ වාර්තා වැඩසටහනක් ලැබුනා.සහ දැවැන්ත විස්තරයක් තියෙනවා. එය ඉදිරි දවසක අස්වැන්නෙන් දාන්නම්
වීපොකුර...
එතුමා නිර්මාණය කල ගීත වගේම සංගිතමය සැරසිලි කළ නිර්මාණ ගනනාවක්ම තියෙනවා. ඉදිරි දවසක ඒගැනත් තව කතාකරමු.
ස්තූතියි සිරාටත්.. වීපොකුරටත්..
ගිම්ගේ කතාවට මමත් එකගයි අයියේ... මම මේ බටනලා වාදකයා රූපවාහිනියෙන් දැක තිබුණත් ඔහු අඳ බව දැන සිටියේ නැහැ... ඒ වගේම අඳ වාදකයා කෘතියත් මට මග හැරුණු පොතක්. එයත් සොයාගෙන කියවන්න ඕන... අගේ ඇති ලිපියි. පින් මේ වගේ අපූරු චරිත අප හා බෙදා ගන්නවාට.
ReplyDeleteතරු රසී
Deleteඅඳ වාදකයා පොත ඉතාමත් ලස්සන පොතක්. හොද පරිවර්තනයක්. ඒකතාවත් වී.හේමපාලයන්ගේ චරිතයක් දෙකම එක සමානයි.
ස්තූතියි ඔබට
//මෙරට විචාරකයන්ගේ අඳ නෙත්වලට ඔහුගේ හැකියාවන් නොපෙනුණා විය හැකිය. //
ReplyDeleteහරිම ඇත්තක්, දැන්කාලෙ විචාරකයොත් කැමති ,හොඳ රූපකායක් තියෙන( ස්ත්‍රී හෝ පුරුෂ වේවා ) ඒ වගේම ඝෝෂාකාරි සංගීත වලට ( සමහර ගීතවල ශබ්ද රසය විතරයි ගීතාත්මක බවක් නැහැ ) උඩගෙඩි දෙන්න තමා.මේ වාදකයාගේ ගීත වලට සවන් දුන්නත් මේ තරම් දක්ෂ අන්ධ වාදකයෙක් ඉන්නවා කියල අදයි ඇහැව්වේ. හිතට හරිම දුකක් දැනුනා, ඒ වගේම කලකිරීමක්. මේ වගේ කෙනෙක් පිටරටක හිටියා නම් මොන තරම් අගය කරාවිද. ඔහු ගැන විස්තර අපට කියාදීමෙන් ඔබ ලොකු සේවයක් කලා . ස්තූතියි ඔබට.
සෝන්යා..
Deleteඅපේ පත්තර වල ලිපි ලියන අය රෑපය ලස්සන, නලු ලියින් යන එන තැන් කන බොන දේ ගැන වැනි ඕපාදුප ලියන්නේ .මේ වගේ කෙනෙක් ගැන කියලවත් ලියවගන්න බෑ. එහෙම තමයි අපේ රටේ මාධ්‍ය කලාව තියෙන්නේ.
ස්තූතියි ඔබට
This comment has been removed by the author.
ReplyDeleteමේ දවස්වල වැඩ අධිකයි. බ්ලොග් බලන්න වෙලාවක් ලැබුනෙම නෑ සති අන්තය පටන් ගත් නිසා යන්තම් වැඩ අඩුයි. ඔන්න අද තමයි බ්ලොග් කියවන්න පටන් ගත්තෙ.
ReplyDeleteවැඩිය කතාබහට ලක්නොවන මෙවැනි කලාකරුවන් මතකයට නැගීම ගැන ඔබට ස්තුතියි දයා.
මට මතකයි මෙතුමා ටී වී වැඩසටහනකට ඇවිත් හිටියා..මොකක්ද කියලා හරියටම මතක නෑ, මම ටිකක් පොඩියි එතකොට. ඒකට සංගීතා විරරත්නත් ඇවිත් හිටියා. ඔහු බටනලා ඛණ්ඩයක් වාදනය කරලා පෙන්නුවා, පුදුම ලස්සනයි. සංගීතාගේ ඇස් වලට කඳුළු ආවා ඒ වෙලාවේ. ඒ සංවේදී අවස්ථාව මට තාමත් මතකයි.
ReplyDeleteසයුරී..
Deleteහේමපාලයන් ගැන මේ ලිපිය ලිව්වට පස්සේ සබරගමුව සරසවියෙන් ඔහු පිලිබදව දහපු වාර්තා වැඩසටහනක් ලැබුනා. මතු දවසක අස්වැන්නෙන් ඒක දාන්නම්.එතකොට ඔහු පිලිබඳව තවත් කරුනු ගණනාවක් දැනගන්න පුළුවන් වේවි.
ස්තූතියි ඔබටත්
කාලෙකින් කියෙවුව සෑහෙන වටින පෝස්ට් එකක් රත්නායක අයියේ... මම ටික කාලෙකට කලින් මොහුගේ වැඩසටහනක් දැක්කා.. ඇත්තටම ඔහුගේ වාදනය හරිම සුන්දරයි..
ReplyDeleteමේ ලිපිය මට මඟ ඇරිලා.. පස්සේ දාපු ලින්ක් එකෙන් මම මේ ආවේ..
දිනේෂ්...සිහින මදාරා..
Deleteඉඳහිටල හරි මෙවන් සුන්දර මිනිසුන් ගැන මතක් කළාම මටත් සතුටක් දැනෙනවා.
ස්තූතියි දෙන්නාටම.
මට මතක් වෙන්නෙ ටීවී වැඩ සටහන වෙලාවෙ එතුමාගෙ මූනෙ තිබුනු අව්‍යාජ සිනහව. මම ඉතා ආදරය කරන කලා කරුවෙක්.
ReplyDeleteතව පත්තරේක එක පාරක් ගියා එතුමා ගැන විස්තරයක් ..ඒත් ඒක හරිහැටි මතකයේ නැහැ.
කනගාටුවට කරුන මචං...අපේ රටේ ජනප්‍රිය,කලාවෙන් යම් දෙයක් කරගන්නෙ..මිනිසුන්ගෙ හිතේ රැඳෙන මෙවැනි චරිත නොවේ ..! මොවුන් කලාව වෙනුවෙන් කැපවෙලා,කලාව පෝෂනය කරලා කිසිම ප්‍රතිලාභයක් නැතිව පරවෙලා යනව. මේ වගේ අය ගැන නොයෙක් උදාහරන එමටයි.
මහ ලොකුවට කලාව ගැන කතාකරන ඈයො මේ වගේ සොඳුරු මිනිසුන් දිහා බලන්නෙවත් නෑ.!
වීපොකුර..
Deleteඇත්තටම එතුමා ගැන මිට පෙර කිනම් හෝ පත්තරේක ලිපියක් ගියානම් ඒක සතුටක්. අවාසනාවට හැමදාම පත්තර පිටු පුරවලා ඉන්නේඅපටත් වැඩක් නැති රටටත් වැඩක් නැති නිකම්ම නිකං හාල් කෑලි. ඒකයි කනගාටු මචං.
අද කාලෙ කලාව කියන්නේ තමං හම්බ කරගත් තරමට තමයි.. එතන කලාව නැ..
ඇත්තටම මෙතුමා ගැන මෙවන් දිර්ඝ විස්තරයක් කලින් කවදාකවත් කියවලා තිබුනේ නෑ. මෙහි සඳහන් ගීත සියල්ලම පාහේ හොඳින්ම රසවිඳ තිබුණත් ඒවායේ මිහිර ජනිත කරන්නට තම බට නලාව වයමින් දායකවූ මෙතුමා වන් දක්ෂයින් ගැන මතක වැලළි යන්නට නොදී මේ ආකාරයට සමාජයට දායක කිරීමෙන් අයියා කරන්නේ ලොකු මෙහෙවරක්...
ReplyDeleteඅර බ්ලොග් රෝලේ ප්‍රශ්නය මමත් දැක්කා අයියාගේ කලින් පෝස්ටුවේ.. මමත් ඒකට ගොඩවැදුනේ මූණුපොතේ ලින්කුවක් හරහා තමා
Deleteතොටියා..
මෙවන් මිනිසුන් වෙනුවෙන් . අකුරක් ලියන්න ලැබුණත් ඒක සතුටක්..
ස්තූතියි.. ඔබටත්.
සැඟවුන දක්ෂයින් අප අතර කොපමණ ඉන්නවද
ReplyDeleteකෝරලේ මහත්තයා..
Deleteඒ ඉන්න අය ගැන කිසිවෙක් කතා නොකරන තැනට කලාව ගෙන ගිහින්
කාලෙකට කලින් මේ සොඳුරු කලා වේදියා ගැන සටහනක් කියෙව්වා. මට හරියටම මතක නෑ. දුකා හෝ ඩීන් මල්ලිගෙ බ්ලොගයේද මන්දා. ඔහුව ඩුබායි රටේ වැඩ සටහනකට ගෙන්වා ගත් පුවත. ඒ වෙලාවෙ ඒ සටහන හරිම සංවේදී වුනා. මල්ලි ගේ මේ සටහන තමා මා කියවූ සංවේදීම සටහන. මේ වගේ සොඳුරු කලාකරුවන් ට අපේ රටේ තැනක් නැති එක ගැන හරිම කනගාටුයි. ඔහු වගේ කෙනෙක් ගැන විස්තර සොයා අපිට දීම ගැන බොහොම පිං. මේ වගේ අය අපිට කොච්චර වටිනවාද? ඔහුට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි.
ReplyDeleteචාන්දි..
Deleteමීට කලින් භ්ලොග් අවකාශයේ ඔහුගැන කවුරුන් හෝ සටහන් කර ඇතිවග මේ ලිපිය පළකර ඇති විට ලැබුණ තොරතුරු හරහා දැනගත්තා. ඇත්තටම මම එතුමාගැන පුද්ගලික තොරතුරු දැනගෙන හිටියෙත් නැහැ. ඒත් මේ සටහනට පස්සේ එතුමාගැන තොරතුරු වගේමසබරගමුව සරසවියෙන් ඔහු පිලිබදව දහපු වාර්තා වැඩසටහනක් ලැබුනා. ඒ සබරගමුව සරසවි වැඩසටහන් නම් ලස්සනට තියෙන බව දැනගනුන ලැබුණා. මතු දවසක අස්වැන්නෙන් ඒක දාන්නම්.
ස්තූතියි ඔබට
අප්‍රසිද්ද සංගීතඥයෝ ගැන අපිව දැනුවත් කරන්න ගන්න මේ මහන්සිටය කොහොම ස්තුතියි කරන්නද..
ReplyDeleteඅසරණයයා..
Deleteඒකාකාරී රටාවෙන් බැහැරව ටිකක් එබිල බැලුවාම පේන දේවල් තමයි මේවා..
හුඟක් මිණි කැට ගං පතුල් යට සැගවිලා තියෙනව. ඒව තවත් සඟවනම එක තමයි එදා ඉදන් වුනේ.. හැබැයි ඔබ එවන් මිණි සොය සොයා අපේ පරම්පරාවට ඒ මග ගැන නිසි පෙරවදනක් දෙනව..
ReplyDeleteබොහොම ස්තුතියි මේ වෑයමට. අදයි මේ සියල්ලම දැනගත්තෙ...
දිනිති..
Deleteමිනිකැටයක් වුණත් මතුකරගන්න තමයි තරමක් අපහසු..ඒත් එහෙම හොයාගත්තාම පුංචි සතුටක් දැනෙනව.
ස්තූතියි ඔබට
මෙතුමා ගැන අසා තිබුනත් තිරයේ යම් විටක් දැක තිබුනත් මෙවැනි සටහනක් දුටු පළමු අවස්තාව වෙන්න ඕන . ඒ වගේම රුසියන් කතාවත් සමග ඔබ ලිපිය ගොඩ නගා ඇති අයුරු අපුරුයි.
ReplyDeleteඇතැම් විට ඔහුගේ අන්ධ බව උලුප්පා දක්වන බාල ගනයේ ලිපි ලියවෙනවාට වඩා මේ නිහඬ බව ඔහු ප්‍රිය කරන්නත් ඇති . ඔබ මේ ලීවා වැනි සංයමයක් බොහෝ පුවත් පත් වලට හෝ අනික් මාධ්‍ය වලට නැති නිසා . ඔහුගේ නිර්මාණ සැඟවී යාමට ඉඩ දීම නම් අපරාදයක් .
මේ අනුවාදන සෙමින් රස විඳින ගමන් ..ඔහුට දීර්ඝායුෂ සහ ඔබට පින්
බින්දි..
Deleteහේමපාල පෙරේරා මහතා සාමාන්‍ය වාදකයෙකුට වඩා විශේෂත්වයක් තිබූ නිසා ඔහු නවකතාවට සම්බන්ධ කළා. වෙනසකටත් එක්ක. ඇත්තටම ඔහුගේ මේ නිර්මාණ එකතුව නූතන පරපුරට ලබා දෙන්නට ලැබුණ එකත් ලොකු සතුටක්.
ස්තූතියි ඔබටත්
එක දොරක් වැසෙද්දි කවුළු දහසක් විවර වෙන බවට ජීවිතයෙන්ම පසක් කල වාදකයෙක්..!
ReplyDeleteමෙතරම් සංවේදී සටහනක් එතුමා ගැන කොහෙවත් සඳහන්වෙලා තිබුණෙ නැහැ. ස්තූතියි ගොඩක්.. කලාලෝකය සැඟවුණ තාරකාවන් හදුන්වාදෙමින් මේ දරණ අමිල උත්සහයට..!
නන්දු
Delete"එක දොරක් වැසෙද්දි කවුළු දහසක් විවර වෙන බවට ජීවිතයෙන්ම පසක් කල වාදකයෙක්..! "
මේ කියමන සම්පූර්ණ ඇත්ත. අද ඔහු ලෝකය දකින්නේ මනසින්. ඒවගේම නිර්මාණකරනයෙන්.
ස්තූතියි ඔබටත්.
මුලින්ම ලිපියට ඔබට බොහොම ස්තුතියි ....ස්වර ප්‍රස්ථාර බාවිතයෙන් තොරව මනසේ ඇඳගන්න යම් රටාවක් ඔස්සේ වාදනය ඉතාමත් සංවේදියි වගේම ,එය ඔහුටම ආවේණික වූ විශිෂ්ට හැකියාවක් කියා මට සිතෙනවා ..ඇස් නොපෙනෙන ඔහුගේ හදවතේ ඇති හැගීම් හඬ ඔස්සේ ගලා යාමට සලස්වා ඔහු හදවතට ලොකු නිදහසක් ලබාගන්නවා ඇති !ඔහුට දීර්ඝායුෂ පතමි
ReplyDeleteරෙහානි..
Deleteඔහුගේ දැස් නොපෙනිමට වඩා ඔහු නිර්මාණකරණයෙන් ඒසඳහාම කැපවිම තමයිඔහුගේ නිර්මාන දීප්තිමත්ව බබලන්න හේතුවුනේ..
මේ පෝස්ට් එක කියෙව්වේ ඊයේ.
ReplyDeleteකියවද්දී එක පාරටම හිතට ආපු දේ තමයි
මේ වගේ අතිදක්ෂ නමුත් සමාජයේ දෑසට නොපෙනී ගිය කලාකරුවෝ කීප දෙනෙක් එකතු කරලා ප්‍රසංගයක් කරලා ඒයාලගේ සීඩී තැටියක් කරලා ඒකේ ආදායම මේ අයට ලබා දෙන්න කටයුතු කරන්න අපිට බැරිද කියන එක.
එක සැරයක් හද ගී පොත ලියන තිසා ඒ වගේ වැඩක් කරන්න අදහසක් තියෙනවා කිව්වම මම නම් මගේ උපරිම සහයෝගය දෙනවා කිව්වා.
ආයේ පාරක් තිසාට මතක් කරනන් ඕන.
සිරාවට දයා කියන්නේ අපි වෙලාවක මේ ගැන කතා කරමුද?
දුකා...
Deleteඅපි ඕනෙ වෙලාවක මේ ගැන කතාකරමු මෙවන් අය වෙනුවෙන් කල හැකි යමක් වේ නම් එය ඉටු කරමු..ඉඩ ලද විටක ඊ මේලයක් එවන්න.
ස්තූතියි සටහනට
ලිපිය කියවද්දි අර අනුවාදන ඇහෙද්දි දෑසට කඳුළු ගලාගෙන ඇවිත් උගුර හිර උනා... මේ ලිපිය හරිම සංවේදීයි.... ඉස්සර රූපවාහිනියේ සංගීත වැඩසටහන්වල නිතරම දැකපු රුවක්... ඒත් කවදාවත් විස්තරයක් කියවලා තිබුණෙ නෑ... බොහොම ස්තුතියි...
ReplyDeleteමියුරු..
Deleteඇත්තටම මට ඔහු ගැන කලකිරිමක් ඇතිවුණ නිසා තමයි එවැනි සටහනක් ලියන්න පවා මගේ හිත පෙළඹුනේ...
ස්තූතියි මියුරුට
මට උදවුවක් ඕනේ... කලින් පොස්ට් එකක තිබුන නාලක අංජන කුමාරගේයි, ඩ්.ඩ් ගුනසේනගෙයි, කළණි පෙරේරාගෙයි, රෝහණ ධර්මකිර්තිගෙයි වයලින් සහ ගිටාර් වලින් විතරක් වාදනය වන සින්දු ඩවුන්ලොර්ඩ් කරන්න පුළුවන් විදියක්( link ) එකක් දෙන්න...
ReplyDeleteරස්තියාදු කාරයා..
Deleteනාලකගෙ ගිටාර් අනුවාදන ටික ඇරෙන්න අනික් ඒවා ඒඒ බ්ලොග් පෝස්ට් වලින්ම පුලුවන්. ඒත් මේ අනුවාදන කිසිවක් අන්තර්ජාලයේ ඇතුලත්වී නැහැ. නාලකගේ ගිටාර් අනුවාදන සිඩි එකත් සහ රෝහණගේ වයලින් වාදන එකත් මා දන්න තරමින් වෙළඳපොලට නිකුත් කළ නිර්මාණ නොවේ.ඒවා පුද්ගලිකව හිතවතුන්ට බෙදාදුන් නිර්මාණ පමණයි.
හේමපාල පෙරේරා වගේම දෘෂ්‍යාබාධිත දක්ෂ බටනලා වාද්‍ය ශිල්පියෙක් මම දැකලා තියෙනවා මහානාම වික්‍රමසිංහ මහතා, ජයලත් මනෝරත්න මහතා, නිශ්ශංක දිද්දෙණිය මහතා ඇතුළු පිරිසක් එක් ව කළ වේදිකා නාට්‍ය ගී වැඩසටහනක දී. ඔහුත් ගී ගායනා කර ඇති බවට මට තොරතුරක් අහන්න ලැබුණා. ඔහු ගැනත් යමක් ඉදිරිපත් කිරීමට ඔබට හැකි නම් කෘතඥ වෙනවා. මේ වගේ තොරතුරු සයිබර් අවකාශය හරහා ප්‍රචාරය කිරීම වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.
ReplyDeleteබටනලා වාදනය ඉගෙනගන්න අය වෙනුවෙන් ලියවුණු පොත් මොනවද? ඒකට හොඳ ගුරුවරු ඉන්නවද? දන්න කෙනෙක් කියනවද.
ReplyDelete