එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Thursday 14 April 2016

෴ ආදරයෙන් ගලා බසින කලාවැවේ නිල්දියවර - දිවුල්ගනේ ෴





මේ සිහින හරි පුදුමය. වරින්වර හිත තුළ ඉප‍දෙමින් මියයමින් හිතේ ඇතිවන මේ සිහින හරිම පුදුමය. කරුණාරත්න දිවුල්ගනේ ගී අමෝඝය “නිල්දිවර” වෙනුවෙන් පසුගිය දති කීපය පුරා දිගහැරුණු  විවිධ කතාබස් ඔස්සේ කලකට පසුව නැවුම් ගී එකතුවක් රසවිඳින්නට ඇරැයුම් කර තිබුණි. ඒ නිල්දියවරෙහි  මිහිරිම මතකයන් ඔස්සේ අතීතතයට පියමං කරන්නට මටද සිතේ.

  කලාවැව බස්නාහිර නිම්නයේ එක් පසෙක තැනිතලා‍ බිමේ පිහිටියේ  සියවස් ගණනාවක් ශේෂවූ  ගල්කිරියා කඳු ගැටයයි. ඒ ආසන්නයේම  පිහිටියේ කලාවැවට යෝධ සෙවනැල්ලක් ලබා දෙන, කලාවට උල්පතක් සදා දෙන  අවුකන පිළිමයේ  අනුරුවක් ව මහා කලු ගල් පර්වතයක  යෝධ කායෙන් නැගී සිටින  රැස්වෙහෙර පිළිමයයි. ගල්කිරියා  කදු පාමුළ පිහිටි දිවුල්ගනේ ගම  සංස්කෘතිකමය කලා නිකේතනයකි. සත් කෝරලයේ ඈත කෙළවරක පිහිටි  මේ සංස්කෘතික කලා නිකේතනය දෙස ඇසක් හැර නොබලාම වියලි කර්කශ ගම්බිම් පසුකර කලා වැවේ නිල්දියවර රජරට දක්වා ඇදී ගියේ සියවස් ගණනාවකට පෙර සිටය. මේ සංස්කෘතික කලා නිකේතයට  සොබාදහම විසින් උදාකර දී ඇති අපූර්වත්වයද කලාවේ සහ සංස්කෘතියේ  ගුණ සුවඳද එගම් පියසෙහි ජීවත් වන මිනිසුන්ට අතීතයේ පටන් නොදැනුණා නොවේ.

මේ මිහිරි අතීත පුවත රජරට විසූ අපට මහා මිහිරක් ලෙසින් දැනෙන්නට පටන්ගත්තේ  අද ඊයේ වන් නුදුරු මෑතක නොවේ. මීට මීට දශක තුන හමාරකට පමණ පෙර ප්‍රාදේශිය ගුවන්විදුලි සේවයක් වශයෙන් රජරට සේවය ඇරඹිමත් සමගය.  ගුවන් විදුලි සේවයකින් ඉටුවිය යුතු  වඩාත් විශ්වාසනිය අරමුණ වූ ප්‍රජා ගුවන් විදුලි ක්‍රමය එහි නො අඩුවම දරක්නට තිබුණි. රජරට සේවා ප්‍රාදේශිය ගුවන් විදුලිය හරහා ගමට, ගැමි ප්‍රබෝධයට  අලුත් හුස්මක් ලබාදී තිබුණි.  එදා රජරට සිටි අපට කරුණාරත්න දිවුල්ගනේ නම රජරට සේවය ඔස්සේ ඇසෙන්නට පටන්ගත්තේ ඒ අතීත මංතලා ඔස්සේය.

රජරට සේවයේ නව රැල්ල බිහිකළ නැවුම් අරුණැල්ල කරුණාරත්න දිවුල්ගනේ ප්‍රමුඛ  නව ගායක පරපුරක් සහ  ජාතික තලයට ගී රැසක් දායාද කර දුන්    අසුව දශකය හරි පුදුම හිතෙන දශකයකි. වරෙක  එය මිහිරිම අතීත සිහිනයක් බඳුය. ඒය මිහිරි අතීත සිහිනය  ගීතයේ සහ සංගීතයේ රස මිහිර සෙවූ අතීත මතකයේ  ඇත්තේ කියා නිම කළ නොහැකි මිහිරියාවකි. තවත් අතකින් ඒ දශකය දෙස බලන්නෙකුට ප්‍රාදේශිය වශයෙන් එහි සැඟවී ඇති කලාත්මක මහා නිමැවුම් සොයාගත හැකිය.   ගීතය කවිය  සාහිත්‍ය සංගිතය,නාට්‍ය සහ සිනමාව වෙනුවෙන්  නව ආකල්ප සහිත අලුත් ලෝකයක් දෙස එබී බලන්නට  තරම් දක්ෂ නව පරපුරක් ඒ දුෂ්කරම  ගම්බිම්වල සිටි බව හැ‍ඟෙන්නේ කරුණාරත්න දිවුල්ගනේ ගැයූ ගීත එක දෙක රජරට සේවය ඔස්සේ ඇසෙන්නට පටන් ගත්  පසුව ය.


භද්‍ර යෞවනයේ නව ආකල්ප ඔස්සේ කලාත්මක ඇසකින් ලෝකය දෙස බලා ගීතයෙන් සංගීතයෙන් ජීවිතයට  ආදරය කරන්නට පෙළඹ වූ පිරිපුන් මිනිසුන් ප්‍රාදේශිය වශයෙන් රජරට සේවය ඔස්සේ බිහිකල අසූව දශකය කිසිවකුටත් කිසිම විටක ලියා හමාර කළ නොහැකි විටෙක රසාලිප්ත නවකතාවක් බඳු සාමාජීය කැඩපතක් වන්නේ ඒ නිසාය.

ප්‍රාදේශිය වශයෙන්  ගීතයට සංගිතයට ඇල්ම බැල්ම හෙළූ ‍‍ නවක පිරිසකක් බිහිකරමින් වඩාත් විශ්වාසනීය සොඳුරු මිනිසුන් තමන් තුළ උපද්දා ගැනිමට ප්‍රමාණවත් තරම් වටපිටාවක් රජරට සේවය ඔස්සේ ප්‍රාදේශියව ගොඩනැගෙන්නට වූ එසමයෙහි    ජීවිතය ජීවත් කරවන්නට ලබාගත හැකි නැවුම් අත්දැකීම් ප්‍රාදේශිය වශයෙන් රජරට සේවය ඔස්සේ විකසිත වෙද්දී  කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියකු ලෙසින් රජරට සේවා ගුවන්විදුලිය සරසවියක් බවට පත්කර ගත්තේ   නිර්මාණකරණයේ  ලද ඒ අලුත් අත්දැකීම්ද සමග ය.  පුංචිම පුංචි දිය සීරාවකින්  මතුවී මහා  උල්පතක් සැදෙන්නා සේ  කරුණරත්න දිවුල්ගනේ  සිය හද බස ගීතයට  මුසු කරමින් ගැයූ ගී ගඟුල  ප්‍රාදේශිය ගුවන් විදුලියක් වටා එකතු වූ අසන්නන් ආනන්දයෙන් ප්‍රඥාවෙන් පිරිපුන් රසිකයන් බවට පත් ඒ  ගී දහරෙනි.  ඒ  පදනම  ඔහුට මෙන්ම අපට අදටත්  සරසවියක් ලෙස දැනෙන්නේ හැ‍ඟෙන්නේ ඒ නිසාය.

ගව් ගණනක් දුර විහිදීයන් දොඹ මල් සුවඳ,  හෑලඹ මල් සුවඳට ඇදෙන බමර රැලක් සේ රජරටට කේන්ද්‍ර ගත වෙමින් කරන ලද  නිර්මාණකරණයේ නවමු සංගිතමය පර්යේෂණ  අත්හදා බැලීම් සහ එදා සිදුකළ  ඒ අත්හදා බැලීම් වැඩිම ප්‍රමාණයක් සඳහා ගායනයෙන් ප්‍රමුඛ  දායකත්වයක් දුන්නේ  කරුණාරත්න  දිවුල්ගනේ  විසිනි. ගීතය සහ කවිය  සංගීතයේ අලුත්  ආකෘතිවල බහාලමින්  කරන ලද ඒ නව අත්හදා බැලීම් සිය ගායන මාධුර්යයෙන්  විකසිත කරවන්නට කරුණාරත්න දිවුල්ගනේට හැකි විය. කිසිවකුටත් කිසිම විටක ළංවිය නොහැකි අනුකරණය කළ නොහැකි අපූර්ව   සුගායනීය සහ  ළයාන්විත ගී මාධුර්යයක් හෙබි ඔහුගේ ගී හඬ රජරට ශ්‍රවණ කලාපයේ ගුවන්විදුලි ශ්‍රාවකයන් ලෙසින් හුන් අපට අදටත්  මිහිරි ඇත්දැකීමක් වන්නේ ඒ නිසාය.

රජරට සේවා ශ්‍රවන කලාපයේ රසිකයන් පමණක් අසා ඇති එහෙත් සුවහසක් රසිකයන් තවමත් හඳුනා නොගත් මිහිරිම  ගී එකතුවක්  දිවුල්ගනේ සතුව  තවමත් ඇත. මෙතෙක් නෑසූ ඒ ගීත මාලාව යම් රසිකයෙකු ඇසුව හොත් ඒ ගීත එකතුවේ ඇති මිහිර  ඔහු තුළ සිටින ගායනවේදයට ඇලුම්කරන රසවන්තයා එසේත් නැත්නම් කිසිවකුටත්  සමකළ නොහැකි අනුකරණය කළ නොහැකි අපූර්ව   සුගායනීය සහ  ළයාන්විත ගායනයකින් හෙබි මේ ගායන ශිල්පියා කෙබඳු කෙනෙකු දැයි පසක් කරගත හැකි වනු ඇත.

දශක තුන හමාරක් එසේ ගීතයෙන් හද ස්පර්ශ කළ කරුණාරත්න දිවුල්ගනේ ගායනවේදියා  පසුගිය මාර්තු 25 වනදා රාත්‍රියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙරට ප්‍රසංග වේදිකාවට එකතු කළ  “නිල් දියවර” ගී ප්‍රසංගය සහ  ඔහුට  ආදරය කළ ඔහුගේ ඒ ආදරණිය  රසික සද්ජන සමූහයා වෙනුවෙන් දස වසරකට පසු සිය ගායන ලාලිත්‍යයෙන් නිමවූ “මේ සිහින හරි පුදුමයි” ගීත එකතුව   දිවුල්ගනේ  සිය ආදණියයන් වෙනුවෙන් පිරිනමන  ආදරණීය හඬ ස්පර්ශකයක් බව මේ ගීතාවලිට අසන රසවිදින රසිකයන්ට වැටහෙනු ඇත.

දුටුවාද තරුවක්
දුර ඈත ආකාසේ
සියක් වසකට පසු යළිත්
සමුගන්න අවුදින්
ඒ මමයි ඔබ රිදවූ ප්‍රේමයයි..

ඇතැම් තරුවක් පොළවට එළිය දෙන්නට පැමිණ ඇත්තේ වසර සිටය ගණනකටත් එසේත් නැත්නම් මිලියන ගණනකටත් කළියෙනි. ඇතැම්විට ඒ තරුව මේ මොහොත වින විට නිවීගොස් තිබිය හැකිය. කලාවට සොබාදහමට ආදරය කරන අසීමිතව පෙම් බඳින  මිනිසකුගේ හද ඇඳුන ප්‍රේමයද ඒසේම විය යුතුය. මහින්ද චන්ද්‍රසේකරගේ සාහිත්‍යමය ප්‍රේම ආමන්ත්‍රණය වෙනුවෙන්  හදවත ප්‍රකම්පනය කරවන ගායනයේ භාව ප්‍රකාශනය සහ  තනු නිර්මාණය හා නාද මෙහෙයුම කරුණාරත්න දිවුල්ගනේගේය. සියක් වසක  පැරැණි පෙම් පුවතක් වුව හද දොරගුළු ලාගෙලන මිහිරිව රිදවමන්, පාරවමින් විඳිය හැකි මධුර ගායනය ඔහුගේය.

ගීතයක පද රචනාවේ තිබෙන සියුම් මනෝභාවයන්ද ගී තනුවක සැඟවී  රැඳී ඇති රසභාවයන්ද සිය භාව ප්‍රකාශනය ගායනයෙන් ප්‍රමුදිත කරමින් රසිකයන් ආනන්දයටත් ප්‍රඥාවකරා මෙහෙයාවා ලීමටත් කරුණාරත්න දිවුල්ගනේ ගායන වේදියාණන් දක්වන හැකියාව දසවසකට පසුවත් ඔහු යළි යළිත් සිය ගායන මාධුර්යය ඔස්සේ තහවුරු කර තිබේ.

කොහේ හෝ නුඹ නතර වි

කාට හෝ ජීවිතය දී


තුටින් නම් මට ඒ ඇති


මගේ නොවුනට කම් නැතී නුඹ


මගේ නොවුනට කම් නැතී...




සංගීත ක්ෂේත්‍රයේ තරුවක් බවට පත්වන්නට පෙර සිටම සාමාජීය කැපවීම, සාහිත්‍ය ඇසුර සහ හොඳ රසවිඳන්නෙකු සහ රසිකයෙකු  තමන් තුළ ගොඩනගා ගෙන තිබිම ඔහුගේ ප්‍රේමනිය හඬ පෞරුෂය ශක්තිමත් කරගැනීමේ පදනම කරුණාරත්න දිවුල්ගනේට  රජරට සේවයට සම්බන්ධව ගෙවූ දස වසරත්  තරු එළිය දිගේ ගී එකතුව නිර්මාණය කළ පසු තවත් ගීත එකවතුවක් කැඳවාගෙන ඒමට ගත කළ නිහඬම ගෙවූ දස වසර තවත්  චමත්කාර රැඳවුමක් බවට පත්කර‍න්නේ මේ සිහින හරි පුදුමයි නව ගීත එකතුවෙනි.

මේ සිහින හරි පුදුමයි නැවුම් ගී එකතුව තුළද ඔහුගේ දස වසරක නිහඬව සිටි  ඒ සියුම් රස වින්දකයාගේ සංගීත  සාහිත්‍යයේ  ඇසුර නැවත නැවතත් තහවුරු කර ඇත. මතු දැක්වෙන ගීතයද අසුව දශකයේ රජරට සේවා සරළ ගී වැඩසටහන් ඔස්සේ ඇසූ මිහිරි ගීයකි.

නුඹේ හැඩරුව වඩා වැඩිකළ
ගමේ ඇල දොළ හඬා වැටුණා
හිස් අතින් නුඹ දීග ගියදා දුවේ

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ගී පද සහ ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත මෙහෙයුම පෙරටු කොටගෙන ප්‍රේමය සහ ප්‍රේමනීය ගී හඬ රසිකයන් අමතනුයේ ගැඹුරු  ජීවිතාව බෝධයක්ද සහිතවය. ගීතයේ සමාජ මෙහෙවර ඔහු අතින් ගිලහී ගොස් නැත. ගීත රසිකයා ආනන්දයෙන් ප්‍රඥාවකරා මෙහෙයවා ලීමේ දැඩි වගකිම තවමත් අකුරටම ඉටුකරමින්  දැඩි සාමාජ විවරණයට හසුකරගන්නා එවන් ගීතයක පවා වචනාර්ථයෙන් ඔබ්බෙහි සැගව ඇති හද්දා පිටිසර වන්නි තුලානේ දැඩි දුප්පත්කමේ ඛේදවාචකය ප්‍රේමයෙන් පුරවන්‍නට උත්සාහ ගන්නේ ඒ නිසාය.

එක පසෙකින් කරුණාරත්න දිවුල්ගනේගේ නිල්දියවර ප්‍රසංගය සිංහල ගීත රසිකයන්ට සොඳුරු නවාතැන්පොළක් වන්නේ කුමන කරුණක් නිසාද  යන්න මෙහිදී විමසා බැලිය යුතුය. සැබැවින්ම ඒ ප්‍රේමයේ විවිධ රසභාවයන් ලැගුම් ගන්නා තොටුපළක් වශයෙන් පමනක් නොවේ.  යථාර්ථවාදීව සාමාජ  විවරණයක් ඇසුරෙහි තමන් ජීවත්වන වටපිටාවේ පියවි ඇසින් නොදකින සොබාදහමේ මිහිර කරුණාරත්න දිවුල්ගනේ ගායන වේදියාණන් තමනි විසින් විඳගනිමින්ම  හෙමි හෙමින් විඳිමින් ප්‍රසංග ප්‍රේක්ෂකයාට මසැසින් විඳින්නට ඇරැයුම් කරන ප්‍රසංගයකි.

 මවු ගුණ ගැයෙන කලාවැවේ නිල්දියර ගීතයත්, පියගුණ වරුණ ගැයෙන අන්දර යායේ ගීතයත් සංසාරගත අපරිමිත ප්‍රේමයක් ගැන කියවෙන ළාදළුබෝපත් ගීතයත් ඒ සොබාදහමේ අපූර්ව නිර්මාණ ත්‍රිත්වයයි. මගෙ දුවේ නුඹ අවදියෙන් නම් ගීතයෙන් මේ සොබාදහමේ අපූර්වත්තවය යාන්ත්‍රික සමාජයක වෙසෙන අද දවසේ දරුවන්ට විඳන්නට ඇරැයුම් කරන්නේද මේ ආදරණීය ශිල්පියාණන්ගේ ගී හඬින්මය.  මැටිගෙදර කිරිඅම්මා අපේ ජීවිතවලට හමුවන්නේ එවැනි සොබාදහම මැවූ සුන්දරම වටපිටාපක් තුළය. ඔහු සිය  ගායනයෙන් අප ‍ කැඳවන්නේ මීට වසර විස්සක් තිහක් එපිට අතීයේ අප ගමේදී ගෙවූ සුන්දරම වටපිටාවටය. අපට ආදරයෙන්  දකින මැටි ගෙදර කිරි අම්මා හමුවන්නේ එහිදීය.




එකිනෙකට වෙනස් වූත් එකිනෙකට සමපාත නොවූත් මේ ගීත වලින් කියැවෙන මවුගුණය හෝ පියගුණය හෝ  විප්‍රයෝගයේ ශෝකය සොබාදහම ඇසුරේ රඳවමින් සිය ගායනය භාවාත්මක අරමුණක් ඔස්සේ මිහිරිව විඳ අනතුරුව එකී ප්‍රේමය ගැන රසිකයන්ට කල්පනා ලෝක තුළ තමන්ට රිසිසේ විඳ ගන්නට ඉඩහසර වෙන් කරනුයේ දිවුල්ගනේගේගේ භාවාත්මක ගායනයයි. කලා වැවේ නිල් දියවර තරමට අපරිමිත ස්නේහයක් ගීතයේ රඳවන්නේත්, සමනලවැව පුරවන්නට තරම් අපරිමිත යොවුන් ආදරයත්, හන්තාන දෙසින් එන මිහිරිම සිසිල් සුළං රැල්ළක සැඟවුණ එවි වියෝගයත්  එකම මොහොතක එකම ඉසවව්ක පැය දෙකහමාරක් නිල්දියවරෙහි අප රඳවද්දී, මල ගසකින්  වෙන්වුණාම, ශාමිලා හුසේන් ලියූ කොහේ හෝ නුඹ නතරවී  වැනි ගීතයක සැඟවුණ ප්‍රේමය පවා මේ ජීවිතයේදී  නියත සාධකයක්  නොවන බව ඔහු නව ගීත සමුච්ඡයෙන් අපට කියා දෙන්නේය.



ආරම්භයේ පටන්  දිවුල්ගනේ පිරිවරා සිටියේ නවක ගීත රචක පරපුරකි. එසේම ගීතනු සහ සංගීත නිමැවුම් ඔස්සේද ඔහු සොයා එන්නේ අතවත් අලුත් පරමිපරාවකි. දශක තුනහමාරක සංගීත දිවියෙහි මහා ඉම්පෙදස් ගීතයෙන් පුළුල් කර  ඇති  කරුණාරත්න දිවුල්ගනේගේ ගීත මේතරම් මිහිරිම ඉසව්වක අප රඳවා තබන හේතුව වන්නේත්,  නව පරපුරක් ඔහුට ළංවී ඒ ඔස්සේ තමන්ගේ නිර්මාණ දිවිය තුළ ආලෝකයක් දල්වා ගැනිමට උත්සුක වන්නේත්,  දිවුල්ගනේ ගායන ශිල්පියාණන්ගේ ප්‍රබල ගී හඬ, කිසිවකුටත් අනුකරණය කළ නොහැකි ගායනයේ හැඩරුව, ඔහුටම අනන්‍ය වූ ස්වර පරාස තුළ ගැයෙන ගීතයෙන් ජීවිතාශාව , ආදරය රසික හද තුළ තැන්පත් කළ හැකි ගායන ශිල්පියෙක් වන නිසාය.

මේ සිහින හරි පුදුමයි ගීත එකතුව ඔස්සේ නවක ගීත රචක පරපුරක් කරලියට කැඳවනවා සේම නවක සංගීත නිර්මාණකරුවන්ගේ ලෝකය දෙසද එබී බලන්නට වෙර දරන බව මේ සිහින හරි පුදුමයි ගී එකතුව සුපැහැදිලි සාක්ෂියකි. කළිදු වීරසිංහ, දර්ශන වික්‍රමතුංග සහ අමිල දිල්හාන් වැනි අලුත් පරපුක් වෙත දිවුල්ගනේ සිය බලා පොරොත්තු රඳවන්නේ ඒ නිසාය.   ඒ නිසාම මේ සිහින හරි පුදුමයි ගීඑකතුව  පුරා ප්‍රේමණීය ගැයුම්හි විවිධ චමත්කාර ආදරයේ විඳීම් මිහිරිව විදගන්නට ඉඩ සළසයි.

කළිඳු වීරසිංහ නව ගී එකතුව සඳහා රවී සිරිවර්ධනගේ ගී පද මාලාවකට යොදා ඇති  ගී තනු රචනාව සහ සංගීත සංයෝජනය  කරුණාරත්න දිවුල්ගනේ ගේ ගී ආර සහ ඔහුගේ ගී හ‍ඬෙහි බර මැනැවින් අධ්‍යනය කර ගී තනු නිමැවුම්හි සහ සංගීත සංයෝජනයන්හි සියුම් තැන් හඳුනාගෙන ගී පදමාලාවට කළ මේ ආයෝජනය කළිඳු මධුර ගී තනු රචකයෙකු ලෙස තවදුරටත් මේ ඉසව්වේ රඳවා තබනු ඇත. කළිඳු සරල සංගීතයේ පෙරදිග ආරත්, බටහිර සිංගීත යේ සියුම් තැන්උකහාගෙන දිවුල්ගනේ ගායන ශිල්පියානන්ගේ හඬට කළ ආයෝජනය අගය කල යුතු වන්නේ ඒ නිසාය. කරුණාරත්න දිවුල්ගනේගේ මේ සිහින හරි පුදුමයි ගී එකතුවේ සැබෑවුණ සිහින අතර එයද විශේෂය.


 සිය ගීතාවලියේ ගීතවලින් සියයට අනූපහකට වැඩි ගීත ප්‍රමාණයක් ආදරය, විරහව, වස්තු විෂය කරගත් ගීතයන්ය. ආදර , ප්‍රේමය දෙස විවිධ කෝණවලින් බලා නිමවා ඇති මේ ගී. ඔස්සේ  ප්‍රේමයට ප්‍රේම කරන්නටද, ආදරයට ආදරය කරන්නත් ඒ ආදරය බිඳී ගිය විටකදී  එයද නැවත නැවත මෙනෙහි කරමින් හදේ සොඳුරුම තැනෙක රඳවා මිහිරිව හිත පාරමින් විඳිනන්නටත් කරුණාරත්න දිවුල්ගනේ සිය නිල්දියවර ප්‍රසංගයෙන් මෙන්ම නැවුම් ගීත සමුච්ඡයෙන් ද සිංහල ගී රසිකයන්ට ඇරැයුම් කර  දී ති‍‍බේ.

. ගෙවුණ වසර 35 ක කාලය දෙස බලද්දී දුෂ්කරම මාවතකින් රජරටට පිවිස සංගීත ලොව අතික්‍රමණය කිරීමට සිය ජීවිත කාලයේ දුටු සිහින හරි පුදුමය.දිගු කාලයක් තිස්සේ සිය ආදරණීය රසිකයන් අපේකෂා කළ “නිල් දියවර” ගී දහර  දෙරණ තලයේ දසනු දිසා සිසාරා සිසිලසින් දොවාලන්නට  කාලය එළඹ තිබේ.

                   ගඟ කොපමනකල් දිය රැක ගත්තත් 
                   ඒ දියකඳ සයුරටය හුරු 

                   සයුරෙදී දිය රැළි හැපුනත් වෙරළේ 
                   යළි එය ගඟ වෙත යාම බොරු 




  සියවස් ගණනාවකට පෙර දිවුල්ගනේ ගම ඉස්මත්තෙන් සත්කෝරලය දෙස අනාදරයෙන් අහකබලාගෙන රජරටට ඇදී ගිය කලාවැවේ නිල්දියවර තුළ රැඳුනු අනභිබවනීය සංස්කෘතිකමය  හඬ දායාදයක් ලෙසින් මුළුමහත් දෙරණ ගායන මාධුර්යයෙන් ස්පර්ශ කරන්න අපේ ළෙංගතු ආදරණිය කරුණාරත්න දිවුල්ගනේ ගායන වේදියාණන්ගේ  නිල්දියවර  රසික හද මඬලට ඇරැයුම් කර සිටී. ඒ ගායන ලාලිත්‍ය පෙරටුකරගත් සුපෙම්වත් ගී හඬ සුවහසක් රසික් සිත් නැවත නැවත් ප්‍රමුදිත කරන්නට ඔහු අප වෙත පැමිණ තිබේ. දැන් මේ නිල් දියවර රටේ නන් දෙස රසික හද දොරගුළු විවර කරන්නට   සුදුසුම කාලය එළඹ ඇති බව මට හැ‍ඟේ. දිවුල්ගනේගේ නිල්දියවර ගී ප්‍රසංගයෙන් පසුගිය 25 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට රැස්වූ රසික සහෘදයන් ඇමතුවේ ඒ මියුරු සුපසන් ගී රාවයයි. නිල්දියවර ගලා හැලුණ 25 වනදා රාත්‍රිය ගීතයට ආදරය සිසිලස කැඳවූ මිහිරිම මතකයන් වන්නේ ඒ නිසාය. “මේ සිහින හරි පුදුමයි”  කැඳවූ “නිල්දියවර” සුපසන් සංගීතමය රැය  කරුණාරත්න දිවුල්ගනේගේ සංගීතමය ගමන් මගට ය‍ශෝ ගිතයක් වන්නේ ඒ නිසාය.



Tuesday 23 February 2016

෴ තත් අතර රැඳුන සොඳුරු හදවත්෴








                          "දරුවනේ වන මලක් යනු
                          එක රැයක අසිරිය නම් නොවෙයි
                          ගහත් පොළවත් වින්ද දුක්ගිනි
                           නිබඳ සිහිපත් කළ යුතුයි....”

එහෙම ලිව්වෙ ප්‍රවීන ගිත රචක රත්න ශ්‍රී විජේසිංහයන්. මේ අදහස පූර්විකාවක් විදියට තියාගන්න ඕනෙ වුනේ මම, ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන් සහ සංගීතවේදී රෝහණ ධර්මකීර්ති එක්ව කළ “දෑස දල්වා  ආදරෙන්” ගිතය වෙනුවෙන් පුංචි සටහනක් තියන්න ඕනෙ කියල හිතුන නිසා.  ඒ මම ලියූ මගේ ගීතය ගැන  කිසිවක් ලියන්න නොවෙයි. ‍ගීතයක් බිහිවිමට වඩා එහා ගිය ඊට පසුබිමෙන් වූ හද බැඳීමක් ගැන ලියන්න අවශ්‍ය වූ නිසා ‍.
මගේ පාසල් අවදියේ මට නිර්මාණකරණයට බලපෑවෙ ප්‍රාදේශිය ගුවන්විදුලියක්ව පවතින රජරට සේවය  සහ  එවකට රජරට සේවය හරහා බිහිවූ නිර්මාණ. ඒක  අපිට අලුතින් හිතන්න පුරුදු කළ හොඳ තෝතැන්නක්.

ඒ රජර‍ට සේවයේ එදා හිටපු සංගීතවේදී විශාරද ගුණදාස කපුගේමහතා , සහ ළබැඳි ප්‍රවීන ගායන ශිල්පින් දෙපලක් වන කරුණාරත්න දිවුල්ගනේ  සහ ජයතිලක බණ්ඩාර මහත්වරු  එදා සිටම අද දක්වා මගේ නිර්මාවලට බලපෑ නිර්මාණ කරුවන්. මේ මිත්‍ර ජාලයේ හිටපු රෝහණ ධර්මකීර්ති සහ නාලක අංජන කුමාර සංගීතවේදීන්  මට හඳුනගන්න ලැබෙන්නෙ අනූව දශකයේ කම්පන ගී ප්‍රසංගයත් එක්ක. රෝහණ වයලීනයෙන් සහ නාලක ගිටාරයෙන්සහ  ජයතිලක බණ්ඩාර සිතාරයෙන්ද  කම්පන ගී ප්‍රසංගයේ ආරම්භයේ සිට අවසානය දක්වාම කපුගේගේ ගායනයට  සමසේ දායක වූ වාද්‍ය ශිල්පීන්. ඒ ප්‍රසංගයේ නිවේදන කටයුතු කළේ  ජයතිලක බණ්ඩාරයන්.   ඉඩක් ලැබෙන විදියට අත්වැල් ගායනයෙන් සහය වූ කරුණාරත්න දිවුල්ගනේ  සහ ජයතිලක බණ්ඩාර යන දෙදෙනාත් හිටියා.  මේ සහෘද බැඳිමේ හිටපු කපුගේ, දිවුල්ගනේ ජයතිලක බණ්ඩාර වගේම රෝහණ ධර්මකීර්ති සහ නාලක අංජන කුමාරත් ඒ සහෆද මිත්‍රත්වයේ කොටස්කරුවෝ. ගුරු ගෝල සබඳතාවයක් මේ සියළු දෙනා අතර නොතිබුණත් ශක්තිමත් හදබසක් මුසුවූ බැඳිමක් තිබුණා. ඒ ශක්තිමත් බැඳිම තුළ බිහිවුණ සියළු නිර්මාණ අදටත් ශක්තිමත්සහ සදා නොවෙනස් නිර්මාණ . ඒ නිසාම එදවස  කපුගේ, දිවුල්ගනේ සහ ජයතිලක බණ්ඩාර යන නිර්මාණ කරුවන් අතින්, ඒ සියලු දෙනා ගෙන්  බිහිවූ සහ හුවමාරුවූ ගීත වල රෝහණගෙ  වයලීන ජයතිලක බණ්ඩාරයන්ගේ සිතාරය සහ නාලකගේ ගිටාරයත් තිබුණා. ඒ නිසා මේ පස්දෙනාම තත් අතර සිරවූ සොඳුරු හදවත්. රෝහණ ධර්මකීර්ති ජයතිලක බණ්ඩාර  යන දෙදෙනාත් ඒ තත් අතර සිරවුණ සොඳුරු හදවත්දෙකක් බව ඒකාලෙ ඉඳලම මාත් දැනගෙන හිටිය.

අපි තුන්දෙනා කවදාවත්ම එකම නිර්මාණ ඉසව්වකදි හමුවෙලා තිබුණෙ නැතිවුණත් .සෑහෙන කාලෙක ඉඳලම අපි තුන්දෙනා කරපු නිර්මාණයක් දකින්න පෙරුම්පුරාගෙන බලාගෙන හිටිපු කාලයක් මටත් තිබුණ.


ඒ අපේක්ෂාව තමයි පහුගිය දවසක ගීතයක් බවට පත්වී ඉටුවුණේ. ඒ ගිතය ලියැවුණේ වසර දෙකකට විතර කලින්. මම කුරුටුගාන පදවැල්  බොහෝ වෙලාවට මුලින්ම කියවන්නෙ රෝහණ. ඇතැම් වෙලාවට සුදුසු ශිල්පියෙකු හෝ හිල්පිණියක වෙත යොමු වෙන්නෙත් රෝහණ අතින්මයි. ඒ විදියට රෝහණ අතට පත් වුණ මේ ගීතයේ ගීත රචකයා සංගීතඥයා සහ ගායන ශිල්පියා තිදෙනාම එක්ව නිතර කතාබහ කරමින් හදපු ගීතයක් විදියටයි. සමහර වෙලාවට දුරින් හිටපු ජයතිලක බණ්ඩාරයන් අපි දෙන්නත් එක්ක සම්බන්ධ වුනේ නූතන තාක්ෂණය ඔස්සේ. 


 මේ සියළු හද බැඳීම් වල තියෙන සොඳුරුම තැන් සරල ගී ගීතනුවකින් හෝ ගායනයකින්  සරසනවාට වඩා වැඩි හද ගැඹුරුම තැනක සඟවාගෙන සිටි හැගීම් බව වැටහෙන්නෙ  නිර්මාණයක් ඔස්සේ එකිනෙකා නැවත නැවතත් හවුවුණාම. එහෙම හදපු මේ ගිතයේ සංගීතය පටිගත කිරීම සිදුවුනේ මීට වසරකට කලින්ඒ 2014 වර්ෂයේ මැද හරියෙදි විතර . ඊට හරිටම වසරකට පස්සෙ තමයි මේ ගිතයට ජයතිලක බණ්ඩාරයන්ගෙ හඬ මුසු වෙන්නෙ. අතීත බැඳීම් අයෙමත් අළුත් වුනේ තාලෙකට පස්සෙ. 

 කාලය මොන තරම් වේගයෙන් ගලා ගියත්, මේ සියළු දෙනා  කුමන ක්ෂේත්‍රයක නියැලුණත්, කුමන මතයක් දැරුවත්, නිර්මාණයකදී හමුවන හමුවන හද බව ඒ අතීත මිහිරි බැඳීම් නැවත නැවතත් මතු කරවන්නක්. ඒ බැඳීම් එදා වාගෙම අදත් හෙටත් මතු දවසකටත් එහෙමයි.

 රත්න ශ්‍රී විජේසිංහයන් “දරුවනේ වන මලක් යනු  එක රැයක අසිරිය නම් නොවෙයි  - ගහත් පොළවත් වින්ද දුක්ගිනි - නිබඳ සිහිපත් කළ යුතුයි....” කියල ලිව්වෙ හිතළුවක් විදියට නෙවෙයි. රචකයෙක් ගීතයක් ලිවිම, සංගීතවේදියෙක් තනුවක් නිර්මාණය කිරීම වගේම ඒ ගීතය ගායන ශිල්පියෙක් හෝ ශිල්පිණියක් ඉදිරිපත් කිරිම එක රාත්‍රියකින් එහෙමත් නැත්නම් සතියකින්  දෙකකින් බිහිවන්නක් නොව ඒ නිර්මාණය දිගුකාලීන අත්දැකීම් සහ සොඳුරු හමුවීම්වල  ප්‍රතිඵලයක් කියල මට හිතෙන්නෙ ඒ නිසා.

මේ තියෙන්නෙ ජයතිලක බණ්ඩාරයන්, රෝහණ ධර්මකීර්ති සහ මමත් එකතුවී කරපු ඒ ගීතය

                                                  




(කාලෙකට පස්සෙ පොඩි අත්හදා බැලිමක් ළුහයෙන් කළ ලිපියක්  පැරණි මතකය අලුත් වෙන්නත් එක්ක)
Related Posts Plugin for WordPress, Blogger...