මට මුල් වරට තනුවට
ගීයක් ලියන්න ලැබුණෙ මෙහෙමයි...
තරමක් ශාස්ත්‍රීය
ලිපියක් සකස් කරගැනිමට කාලය වෙන් කරගැනිමට අපහසු වූ නිසා අද අස්වැන්නෙන් තනුවට ගියක් ලියන්නේ කොහොමද කියලා මට ලැබුණ අත්දැකිම් ටිකක් ඔස්සේ ලියන්න හිතුණා. ඒ හින්දා හැමදාමත් මම ලියු
ගීත ගැන විමසන සහෘද ඔබේ ඉල්ලීම් ටිකත් ඒ සමගම ඉටු කරන්නයි මේ වෑයම. ඒත් ගීතය අහන්න
කලින් තනුවට ගීයක් ලියන්නේ කොහොමද, මොකක්ද ගී තනුවක් කියන්නේ කියන කාරණයත් පැහැදිළි
කරගෙන ම ගීතය අහමු.
ගීතයක් යනු ගීත
රචකයා, සංගීතඥයා සහ ගායන ශිල්පියා හෝ ශිල්පිණිය ගේ සාමූහික ප්‍රයත්නයකින් බිහි වන්නා
වූ නිර්මාණයකි. එසේ වුවද ගීතයක් ක්‍රම දෙකකට නිර්මාණය වෙයි. ඒ මේ ආකාරයෙනි:
01. ගීත රචකයා තුළ පහළ වන්නා වූ සංකල්පනාවට සංගිතඥයා
විසින් තනුවක් යෙදූ පසු ගායන ශිල්පියා හෝ ශිල්පිණිය විසින් ගායනා
කිරිම.
02. ගී තනු රචකයා හෝ සංගිතඥයා විසින් පූර්ව
නිර්මිත තනුවක් සඳහා ගීත රචකයකු විසින් පද ලියූ පසු ගායන ශිල්පියා හෝ ශිල්පිණිය විසින්
ගායනා කිරිම.
ලෝකයේ ඔනෑම සංගීත
ක්‍රමයක් සඳහා අනුගමනය කරන්නේ මේ ක්‍රම දෙකය. ඒ කුමන ක්‍රමය අනුගමනය කළද, අවසානයේ
මිහිරි ගීයක් බිහි වෙයි. ගීත රස විඳින රසිකයෙකුට මේ අවස්ථා දෙක විශේෂයෙන් වෙන වෙනම
හඳුනා ගැනිමට අවස්ථාවක් නොලැබේ. එසේ වුවත් ගී රස විඳින රසිකයකුට ඔහුගේ රසිකත්වය සේ
ම භාෂාව පිළිබඳ හැකියවත් සමග ගීයක් සවනට වැටෙන කල්හිම මේ අවස්ථා දෙක පහසුවෙන්
හඳුනා ගැනිමට හැකිය. ඒ ගීතය සඳහා යොදා ඇති පදමාලාව පිළිබඳ සැළකිලිමත් වීමෙනි. ඊට
ගායන ශිල්පියාගේ හෝ ශිල්පිණියගේ ගායන
රටාවද, සංගිතඥයා ගීතය සඳහා යොදාගෙන ඇති ගී
තනුවද, එහි සංගීත ඛණ්ඩ භාවිතයද පිලිබඳව විමසිලිමත් වී ඉහත ක්‍රම දෙක පහසුවෙන්
හඳුනා ගත හැකිය.
අමරදේව, නන්දා
මාලනී, වික්ටර් රත්නායක, ගුණදාස කපුගේ,
කරුණාරත්න දිවුල්ගනේ වැනි ගායන ශිල්පීන්,
ශිල්පිණියන් බොහෝ විට පූර්ව නිර්මිත ගී තනුවලට ගී ගැයීම ප්‍රිය නොකරයි.
ඔවුහු වඩාත් ප්‍රිය කරන්නේ ගීත රචකයෙකුගේ සංකල්පනාවකට තනුවක් යොදා ගායනා කිරීමටය.
ඒ ඔවුන් ගීතයක පදමාලාවේ ඇති සාහිත්‍යමය රසය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන නිසා ය.
එසේ වුවත් ඔවුන් පූර්ව නිර්මිත ගී තනුවලට ගී නොගැයුවා නොවේ.
එහෙත්, සුනිල්
එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, ටී.එම්. ජයරත්න වැනි ශිල්පින් ඇතුලු බොහෝ ගායන ශිල්පින්
සහ ශිල්පිණියන් මේ දෙ ආකාරයටම ගී ගයති.
කෙටි පැහැදිළි කර ගැනිමක් සඳහා අපට නිතර ඇසෙන මතු දැක්වෙන ගීත නිදර්ශන ලෙස ගත
හැකිය.
සුනිල්
එදිරිසිංහ: චන්ද්‍ර මඩල, මිනිසා සුවඳයි මල
සේ, මලට සුවඳ සේ, හංස රාජිනී, පාට
දේදුනු, ඉස්සර මං ගිය
පාසල ඇරිලා, නිම්තෙරක්
එඩ්වඩි
ජයකොඩි: මාරම්බරී, අකුරු මැකී නෑ,
සමනලයා මල හා ලමයා, මේ මල් යායේ,
දොඹ මලින්, මාලතී
වසන්තේ, මුව මුක්තා ලතා
වික්ටර්
රත්නායක: සීතල පිණි බිංදු බිංදු, ඉරට සඳට
බණ්ඩාර
අතාවුද: රුවන් තාරකා,
අමරදේව: තරු අරුන්දතී,
ඩබ්ලිව්. ඩී.
ආරියසිංහ: මා ළඟටම තව ළංවෙලා
මේ ආදී ගීත බිහි වූයේ
පළමුව සංගිතඥයා විසින් නිර්මාණය කරන ලද ගී තනුව සඳහා ගීත රචකයා විසින් දෙවනුව වචන යෙදීමෙන්. ඒ නිසා මෙය තරමක් සංකීර්ණ
ගැඹුරු මාතෘකාවක් ලෙස සාකච්ඡා කළ යුතු වුවත්
මේ හැඳින්වීම සදහා කෙටියෙන් මා සදහන් කළේ සංගීත අධ්‍යක්ෂකවරයෙකු විසින්
පූර්වයෙන් නිර්මිත ගී තනුවක් සදහා ගීතයක් කෙසේද යන්න පැහැදිළි කරන්නට ය.
තනුවකට ගීයක් ලිවිම
ඉතා පහසු කාර්යයක් සේ පෙනුනද එය ගීත රචකයකුගේ සිතෙහි පහළ වන්නා වූ සංකල්පනාවට වඩා තරමක් සංකීර්ණ කාර්යකි. ඒ මන්ද කිවහොත්, ගීත රචකයාට
සංකල්පනාවක් ඔස්සේ යම් කිසි ගීත නිර්මාණයක් ගොඩ නැගිමට අසීමිත නිදහසක් තිබුණද,
සංගීත අධ්‍යක්ෂකවරයෙකු විසින් මුලින්
නිර්මාණය කරන ලද ගී තනුවකට වචන යෙදීමේදී ගීත රචකයාට එවැනි අසීමත නිදහසක් හිමි
නොවේ. මෙහිදී එක්තරා ආකාරයක සීමිත රාමුවක් තුළ ගීත රචකයා සිරගත වෙයි. ඔහු තම
සංකල්පනාව මෙහෙය විය යුත්තේ ඒ රාමුව තුළ සිට ය. තමා අතට පත් වූ ගී තනුව, එහි සංගීත සංයෝජනය, සංගීත අනුඛණ්ඩ,
මෙන්ම ගීතය ගැයිමට නියමිත ශිල්පියා හෝ ශිල්පිණියගේ ගායන පරාසය සහ ඔහුගේ හෝ ඇයගේ
සංගීතමය භාවිතය පිළිබද අවබෝධයක් තිබිම වැදගත් වේ. එසේ නොවුන හොත් එහිදී බිහි වන්නේ සර්ව සම්පූර්ණ ගීයක් නොවේ.
පූර්ව නිර්මිත ගී තනුවක්
යනු කුමක්ද?
පූර්ව නිර්මිත ගී
තනුවක් යනු , සංගිතඥයා විසින් ගීතයේ සංගීතමය ආකෘතිය පදනම් කරගෙන විනාඩි දෙක හමාරක් තුනක් වැනි කෙටි කාලයක් තුළ
වාදනය වන්නා වූ සංගීතමය නිර්මාණාත්මක සංකල්පනාවකි. එහි වචන අඩංගු වන්නේ නැත. මූලික
වශයෙන් “ලලලලා” ආකාරයෙන් හෝ සංගීතමය අනුවාදනයක් සහිත සංගීත පථයක් (Music
Track) පමණක් මූලිකවම නිර්මාණය වේ මෙය හරියටම ගීත රචකයෙකු ලියන ලද පද මාලාව පටිගත කිරීමේදී ගායන ශිල්පියා හෝ ශිල්පිණිය සිය
හඬ මුසු කිරීමට පෙර තිබෙන පූර්ව අවසන් සංගීත පටිගත කිරිමක් සේ හැඳින්වීමද නිවැරදි
ය. මෙවැනි ගී තනු සඳහා ගීත රචකයාට වචන යෙදිමට සිදුවේ. ඔහු සංගීතඥයාගේ සංගීතම භාෂාව
තේරුම් ගත යුතුය. අපේ රටේ මේ සඳහා ඉතාමත් දක්ෂ ගීත රචකයන් අතර ආචාර්ය අජන්තා රණසිංහ, කුලරත්න
ආරියවංශ, කුමාරදාස සපුතන්ත්‍රී, සහ බන්ධුල නානායක්කාරවසම් ගී තනු සඳහා වචන යෙදිමට
අති විශිෂ්ඨ හැකියාවක් සහිත ගීත රචකයෝ වෙති.
ගී තනුවක ආකෘතිය
හදුනා ගැනිම සදහා මතු දැක්වෙන සංගීත පථය (Music Track) අහන්න. මේ ගායන ශිල්පිණිය විසින් සිය හඬ මුසු කිරීමට පෙර
අවස්ථාවකි. මෙය සංගීත පථයකි. (Music Track) මේ ජනප්‍රිය ගීය ගැයුවේ මාලනී බුලත්සිංහල ය. එහි
තනු නිර්මාණය සහ සංගීතය එච්.එම්.ජයවර්ධනගේ ය. ගීය ලිව්වේ ලූෂන් බුලත්සිංහල විසිනි.
ගීතය මතකදැයි ටිකක් හිතා බලන්න. මතක නැත්නම් ඔබටත් මේ “මියුසික් ට්‍රැක්” එකට
ගීයක් ලියන්න පුළුවන් දැයි උත්සාහ කරල බලන්න.
මේ ආකාරයට පූර්ව
නිර්මිත ගී තනුවකට වචන යෙදිමට අවස්ථාවක් උදා වූයේ පලමු වතාවටය.ඒ මීට කලකට ඉහත දීය.
එය ආධුනිකයෙකුට ලැබෙන විරල අවස්ථාවකි. මට ඒ අවස්ථාව උදා වූයේ 1990 දශකයේ අග භාගයේ
දීය. මගේ අතින් ලියැවුණ ගීත සංකල්පනා කීපයක් ගීත වශයෙන් නිර්මාණය වී තිබුණද එතෙක් කිසිම
දවසක තනුවකට (Music Track)
ගී ලියා නොතිබුණ මට එය අලුත් අත්දැකිමක්ම විය.
එවකට “බ්ලූ ෂැඩෝෂ්”
සංගීත කණ්ඩායමේ ගායන ශිල්පියා ලෙස හදුනාගෙන සිටි මගේ හිත මිතුරු සංගිත්
විජේසූරියගෙන් හදිස්සියේ ඇරයුමක් ලැබුනේ ඔහුගේ සංගීත පථයකට (Music
Track) ගීයක්
ලියන්නටය.
සංගීත්ගේ ඇරයුම
සතුටක් ගෙන දෙන කාරණයක් වුවද, ගී තනුව ඇතුළත් හඬ පටය දින කිපයක් තිස්සේ ඇසූවද, අදහසක්
පහළ නොවුණි. ඒත් ගීතයේ සංගීතය බෙංගාලි ගී තනුවකට බෙහෙවින්ම සමීප ගතියක් දැනුණි. ඒත් ගීතයකට ගොනුකර ගැනිමට තරම් එකම වචනයක්වත් හිතට
ආවේ නැත. දින කිපයකින් නැවත සංගීත් මා හමුවී ගීය ගැන විමසූ නමුත් ඒවන විටත්
අකුරක්වත් ලියැවී නොතිබුණි.
“අපි දෙන්නම
එකතුවෙලා සිංදුව හදමු.” සංගීත් යෝජනා කළේය.
මමද ඊට එක පයින්ම
කැමැත්ත පළකළෙමි. දින කීපයකින් නැවත අප දෙදෙනාම හමුවුයේ එක හැන්දැවකය. ආගිය
තොරතුරු කතා කරමින් සිටි අප දෙදනා ගීතය ගැන කතා කරන්නට වීමු.
“ මේක මම ලියලා
අප්සට් ගියොත් මොකද කරන්නේ?” මම
සංගීත්ගෙන් අසුවෙමි.
“ දයා මං මේ
මියුසික් ට්‍රැක් එක හැදුවේ ජනප්‍රිය වෙන්නම නෙවෙයි. හැම ගීයක්ම ජනප්‍රිය වෙන්න
ඕනෙත් නැහැ. ඒක නිසා බය නැතුව ලියන්න ඉතිරි ටික මං බලා ගන්නම්” සංගීත් කිවේය.
ඒ වචන ටික මට හොඳ
දිරිගැන්වීමක් මෙන් ම අස්වැසිල්ලක්ද විය. ගීතය ගැන කතාබහ සෙමෙන් සෙමෙන් ඇදී යද්දී
මේ ගී තනුවේ තිබූ අපූර්ව වයලීන වාදනය එවකට
ඉතාමත් ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් ව තිබූ මධුරි ඩික්සිත් රඟපෑ “නාගීනා” චිත්‍රපටය
එකවරම සිහිය නැගුවේය. ගී තනුවේ තිබූ බෙංගාලි ගී රටාවද ඒ ආසන්නයෙන්ම තිබූ නිසා ඒ
ඔස්සේ ගීතය ගොනු කිරිමට අවස්ථාව එළඹ ඇති
බව වැටහුණි.
ඒ එක්කම කේමදාසයන්
සංගීතවත් කළ “සත්වෙනි දවස” චිත්‍රපටයද කීප විටක්ම නරඹා තිබූ මට එහි කතා පුවත
සිහියට නැගුණි.
“මේකට නුහුරු වචන
ටිකක් දැම්මට කමක් නැද්ද?” මම සංගීත්ගෙන් ඇසීමි.
“අවුලක් නෑ දයා,
ටිකක් වෙනස් ගතියක් තිබුණොත් හොඳයි”
සත්වෙනි දවස චිත්‍රපටයේ
මාලනී ෆොන්සේකා රඟපෑවේ “අගටන්නා” නම් වූ අහිගුණ්ඨික තරුණියකගේ චරිතයකි. එහි ගායන
රිද්මයද මගේ හිතේ තැන්පත් වී තිබුණී.
“අගටන්නා.... කියල
පටන්ගත්තොත් කොහොමද?” මම සංගිත්ගෙන් යළි
ඇසුවෙමි.
“අන්න නියම වචනේ...
හරියට හරි...මේ රිදම් එකට නියමෙට මැච්
වෙනවා ඒක හොඳයි ඒ අදහසට ලියන්න” සංගිත්ගෙන
ලැබුණ තල්ලුවෙන් මට හොඳ එන්නතක් ලැබුණි.
ඒත් ඒ වචනය ගැලපුනේ
ගීයේ මැද කොටසට වුවද මුල තව වචන පේලි දෙකක් අඩුව තිබුණි. සංගීත්ගේ අත තිබූ ගිටාරය
හැඬවෙන රිද්මයට “දූමුරු දූමුරු දූමුරු දෙයියා” පේලිය ලියැවුණි. “සත්වෙනි දවස” චිත්‍රපටයේ
මාලනී ෆොන්සේකා රඟපෑ “අගටන්නා” නම් වූ අහිගුණ්ඨික තරුණියකගේ චරිතයට පෙම්
කළේ සනත් ගුණතිලක ය. චිත්‍රපටය පුරාම මාලනී ෆොන්සේකා ඔහුට කතා කළේ “සිංදු කඩේ
මහත්තයා” කියා ය. ගීයේ තනුවට ඒ වචන ටිකද ගානට ගැලපුණේය. මා මුල් වරට පැය කීපයක්
ඇතුළත ගී තනුවකට එසේ ලියා නිම කළෙමි. ඊට පස්සේ සංගීත් සිය අත තිබූ ගිටාරය වයමින් ගීතය මුලුමනින්ම දෙතුන්වතාවක් ගැයුවේය. මා එසේ මුල් වරට තනුවකට ලියූ ගීය
මෙයයි.
උපුටා ගැනිම: යූ ටියුබයෙන්
දූමුරු දූමුරු
දූමුරු දෙයියා
දුක්ගනි දුක්ගනි
දුක්ගනි දෙයියා...
දූමුරු දූමුරු
දූමුරු දෙයියා
දුක්ගනි දුක්ගනි
දුක්ගනි දෙයියා...
අගටන්නා...
මම සිංදු කඩේ
මහත්තයා වෙන්නම්
වන ලන්දෙ පිපුණු
තලමල සේමා
නුඹෙ රුවට මගේ හිත
හරි බෝමා...
අගටන්නා.....
වන්නකුවා ඇවිත්
නුඹව
සහේට ගන්නට
හැදුවොත්
කොහොම ඉඳින්නද
විස්සෝපෙන්..
මං කරකාර බඳින්නට
මනාපයෙන්
අබ්බඩාට ගිහිං
කියාපන්..
උඹ අබ්බඩාට ගිහිං
කියාපන්..
අගටන්නා....
රට කාංචි පුරම් යස
සාරි ගවුම්
සිදාදියෙන් ගෙනැල්ල
දෙන්නම්
ඔය හීන කුලෙන් මට
නම් පළ නෑ
හෙට රැයේ ඇවිත් නුඹ
ගෙනයන්නම්..
හෙට රැයේ ඇවිත් නුඹ
ගෙනයන්නම්..
අගටන්නා..
ගී පද රචනය:
දයානන්ද රත්නායක
සංගීතය සහ ගැයුම:
සංගිත් විජේසූරිය
ගී ඇල්බමය: රඟහල
අගටන්නා ගීතය පටිගත
කිරීමෙන් පසුව කෙටි කාලයක් ඇතුළත ඉතාමත් ජනප්‍රිය ගීයක් බවට පත්විය. සංගීත් “බ්ලූ
ෂැඩෝස්’ සංගීත කණ්ඩායමෙන් ඉවත්ව පසුව “සනිධප” සංගීත කණ්ඩායම පිහිටුවා ගත්තේය. එතෙක්
ඔහු ගැයූ “සිරියලතා” ගීතය අතහැර දැම්මේ ය. අනතුරුව “සනිධප” සංගීත කණ්ඩායමේ එළිමහන් ප්‍රසංග
වේදිකාවේ මේ ගීය නොගැයූ දිනක් වේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි. මේ ගීයට ලැබුණ ප්‍රතිචාර
අනුව මට හිතුනේ මේවා ගැලපෙන්නේ ප්‍රසංග වේදිකාවට කියා ය. මගේ හිත මිතුරු සංගීත්ගේ
“සනිධප” ප්‍රසංග වේදිකාවට මේ ගීතයද සැරසිල්ලක් වූ බව දැනෙන විට නිරන්තරයෙන් හැඟෙන්නේ
ඔහුගේ තනුවට මට ගීයක් ලියන්නට ඇරයුම් කිරීම සංගීත්ගේ සුමිතුරු බවේ අපූර්ව සටහනක්
ලෙසිනි.
පළමු වතාවට තනුවට
ගීයක් ලියා අත්දැකීම් රැසක් ලැබුවද මා වඩාත් ප්‍රිය කරන්නේ සංකල්පනාවක් ඔස්සේ
නිර්මාණයක් කරන්නට ය. එසේ වුවද සංගීත්ගේ
අගටන්නා ගිතය නිර්මාණය වූ පසුව ලද ප්‍රතිචාර අනුව සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීන
ශිලිපීන් කිහිප දෙනෙකුටම තනුවට ගී ලියන්නට අවස්ථා ගණනාවක් මට උදා විය. එයද එක්තරා
ආකාරයක සතුටකි.෴
හිතට දැණුන, අදහසක්
විචාරයක් ඇත්නම් ලියලම යන්න. ඒ වගේ දේවල් වැදගත් වන්නේ අදට නොව හෙටටයි. මෙහි
පැමිණි ඔබට බෙහෙවින්ම ස්තූතියි.
ෂාහ් අපූරුයි. සංගීත් ගායනා කරන අගටන්නා ගීතය මමම කැමතිම සිංදුවක්. එක ලිව්වේ ඔයා කියලා දැනගත්තු එක ගැන සතුටුයි... ඒ වගේමයි සංගීත් ගායනා කරන්නේ "නිවාඩුවටත්" ගීතයත් "මීමට බෑ" ගීතයත් "මල් පෙරහැර" ගීතයත් අනෙක් වේග රිද්ම ගීතවලට වඩා මගේ හිතට වැදුණු ගීත...
ReplyDeleteසංගීත් සනිධප කණ්ඩායමෙන් ඉවත්වුණා කියලා ආරංචියි. ඒක ඇත්තද ?
අනුන්ගෙන් ඇහුවත් උත්තර දුන්න කමක් නෑනේ. ඔව් දැන් වැඩ කරන්නේ වෙන සංගීත කණ්ඩායමක් එක්ක.. ඒත් සනිධප අධීක්ෂණය කරන්නේ එයා..
Deleteහසිත..
Delete"සුදා මල්ලි" උත්තරේ දීල තියෙනවානේ. ඒකට ටිකක් එකතු කරන්නම්. තවමත් "සනිධප" සංගීත්ගේ තමයි. දැන් සංගීත් වෙනුවට සන්ෆලවර් නොයෙල් රාජ් ඇවිත් ඉන්නවා සනිධප ගායන ශිල්පියා ලෙස. සංගීත් අලුතෙන් තවත් එකොස්ටික් බෑන්ඩ් එකක් පුහුණුකරනවා "වායෝ" කියලා. තවම එළියට ආවේ නැහැ. ඒකත් සුපිරි එකක් වේවි.
සුදා මල්ලි.
ස්තූතියි..
කියන්ට දෙයක් හිතා ගන්ට බෑනේ.. සත්තකින්ම එල යැ. එල කිරි යැ.
ReplyDeleteසුදා මල්ලි..
Deleteමුලින්ම අස්වැන්නට සාදරයෙන් පිලිගන්නවා. අලුත් අමුත්තෙක් හැටියට. මොනවා කියන්නද ලියල තියෙන දේ හොඳටම ඇති. ස්තූතියි.
සියල්ලම කියවුවෙමි..අගටන්නා ගීතය අදය ඇසූවේ...අපූර්වය...
ReplyDeleteමේ අත්දැකීම මමත් වින්දා..මගෙත් හීන කුමාරි සීඩී එකේ එක සිංදුවක් තනුවකට ලිවුවෙ.
හැබැයි ඒකට මම ටිකක් අකමැතියි..ඇයි දන්නවද...නිදහසේ හිතට ගලා එන වචන ටික වගේ නෙමෙයි අර විදිහෙ තනුවකට ලියන එක...එතනදි පද රචකයාගේ නිදහස නැති වෙනව...හුගාක් හිත හිතා තමා අකුරු ගලපන්න ඕනි...
දිනිති..
Deleteට්‍රැක් එකට සිංදු ලියන්න අමාරුයි තමා ඒත් පුරුදු වුනාම සරලයි කියෙල හිතෙනවා. හැබැයි ඒ සිමාවක් අතුළත විතරයි නිදහස තියෙන්නේ. මාත්‍රා ගනනටම හරියටම සෙට් කරන්න ගියාම එපාවෙනවා
ම්ම්ම්... මමත් ආස සින්දුවක්... ලිව්වේ ඔබ කියලා දැනගෙන හිටියේ නැනේ.. :)
ReplyDeleteජය වේවා..
Red Riding Hood..
Deleteමටත් මමයි මේක ලිව්වේ කියලා කියන්න පොඩ් ලැජ්ජාවක් තිබුණා මුල් කාලේ. ස්තූතියි
සංගීත්ගෙ වොයිස්නං පට්ට. ස්වර වල ගායන කරන එකත් ටොප්. හැබැයි සමහර සින්දු රෙකෝඩ් කරල මිස හුස්ම ගන්න ගමන් එක දිගට කියන්න නම් බෑ මිනිහෙක්ට. එහෙම ඒව අහුවෙන්නෙ ඔහු රාජ් එක්ක කරපු ඇල්බමයෙදි. තාක්ෂණයත් එක්ක සින්දු කියන ඒවට එහෙම වෙන එකත් වලක්වන්න බෑ. කොහොම වුණත් ඒක මම කැමතිම ඇල්බමයක්. අපි හදාගෙන හිටපු සින්දු ආකෘති ගොඩක් ඒ ඇල්බම් එකෙන් වෙනස් වුණා කියල හිතෙනවා. මේ වචන ටික ගී පැදුරෙ දාන්නම් නේද :-)
ReplyDeleteහරේෂ්..
Deleteසංගීත් කියන්නේ ඕනෑම විදියකට සිංදු කියන්න පුළුවන් ගායකයෙක්. වෙලාවකය ප්‍රසංග වේදිකාවේ රෝහණ බැද්දගේ ගැයූ 'මල් සරා" ගීය ඔහුගේ හඬින් කියනවා. හරිම ලස්සනයි.
අස්වැන්නේ දාන ඕනෙම දෙයක් ඕනෙ විදියට උපුටා ගන්න අවසර තියෙනවා. ආයෙ අහන්න දෙයක් නෑ. ගීපැදුරේ දාලා තියෙන බව මමත් අද දැක්කා. ස්තූතියි.
ඇත්තටම මෙ අගටන්නා ගීතය කොතරම් වාරයක් අසා තිබුනත් අද අහනකොට අලුත් බවක් දැනුනා දන්න අදුනන බවක් ...මට සංගීතය ගැන හැදෑරූ අධ්‍යාපන දැනුමක් නෑ ඒත් මම සංගීතය උපරිම මට්ටමින් රසවිඳිනවා. දැන්නම් දුකත් හිතෙනවා ඒ ගැන ඉගෙන නොගත්තෙ ඇයි කියලා.
ReplyDeleteලොකු ජෝන්..
Deleteඇත්තටම මමත් සංගිතය ඉගනගෙන නෑ. ඒත් සංගිත ශිල්පින් , ගායක ගායිකාවන් එක්ක නිර්මාන කටයුතු කළා. ඒ නිසා සංගිතය ගැන සරල දැනුමක් ඒ ඇසුරින් ලැබුණා.ඉගන ගත්තා නම් මිට වඩා යමක් කරන්න තිබුණා කියලා මටත් හිතෙනවා.
අඩෙ අප්පා..
ReplyDeleteමේ දයානන්ද රත්නායකද අගටන්නා ලීවේ..
ඇඩෙනවා තනි ඇහැට..
මරු ආ..
පට්ට..
තරියා මලේ..
Deleteබලන් ගියාම අපි හැමෝම උසස් ගී රස වින්දනයේ සිට එළි මහන් ප්‍රසංග වේදිකාව දක්වා කැමතියි නේ.
ගියක් ලියන මූලික විදි දෙක ගැන කරපු විග්‍රහයනම් සෑහෙන වටිනවා.. ගොඩාක් වැදගත් තොරතුරු එතන තිබුනා..
ReplyDeleteසංගීත්ගේ මේ ගිතය ඔබේ කියලා මම දැනන් හිටියේ නෑනේ අයියේ.. ඉස්කෝලේ ෆ්‍රී පීරියඩ් වල මේ සිංදුව ඉතින් අපිත් කිවුවා.. ඒ ගැන ගියේ රචකයාටම කියන්න උන එක මාරම සතුටක් මටනම්..
දිනේෂ්..
Deleteමෙහෙම ප්‍රතිචාර ලැබෙන කොට සතුටක් දැනුනා. මම ජනප්‍රිය සංගිතය පැත්තෙනුත් යමක් කරලා තියෙන බව ලැබුණ ප්‍රතිචාර වලින්ම පැහැදිලියි. රචකයා මෙච්චර කල් හැංගිලානේ හිටියේ.
සංගීත් ගේ සිංදු ගොඩක් ඒවා එලකිරි..වේදිකාවේ පර්ෆෝම් කරන විදිය ගොඩක්ම හොඳයි..මේ සින්දුව ඒ දවස් වල නිතර වේදිකාවේ ඇහුවා මතකයි...ඔබටත් ජය..
ReplyDeleteරාජිත..
Deleteමමත් ඔහුගේ නිර්මාණාත්මක අදහස්වලට හරිම කැමතියි. එළිමහන් ප්‍රසංග වේදිකාවට හොඳට පර්ෆෝම් නොකලොත් බෑන්ඩ් වැඩිකල් රැඳෙන්නෙ නැහැනේ.
මේ ගීතය ලිව්වේ ඔබ කියලා අදයි දැන ගත්තේ. හරිම සතුටුයි. සංගීත්ගේ ගොඩක් ගීත වලට මම කැමතියි. වැඩිපුරම කැමති "මල් පෙරහැර" ගීතයට. මම හිතන්නේ ඒ මම කැමති ශයිලිය. අගටන්නා ගීතයේ තියෙන්නේ වෙනම ශයිලියක්. ඔබ කිව්වා වගේ ඒක හරි යන්නේ ප්‍රසංග වේදිකාවට. හොඳට නටන්න පුළුවන් සින්දුවක් :) ඔබ ලියපු අනිත් ගීත ගැනත් සැරින් සැරේට අපිට කියන්න කියලා ඉල්ලා සිටිනවා.
ReplyDeleteසයුරි..
Deleteමම කැමති මගේ නිර්මානයක් ගැන වෙන කවුරුහරි අගැයුමක්, වචාරයක් කරන එකට . මම මගේ දෙයක් ලියන්න ඒතරම් රුචියක් දක්වන්නේ නැහැ. මේකත් දාන්න හිතුවේ මියුසික් "ට්‍රැක්" එකකට ගී ලියන්නේ කොහොමද කියලා තවත් කෙනෙකුට හෝ දැනගෙන යමක් කරන්න හැකියාවක් ඇතිවෙයි කියල හිතලා. ඒකය් මම මාලනී බුලත්සිංහලගේ මියුසික් ට්‍රැක් එකක් පවා දැම්මේ.
සංගීත් විජේසූරියගේ රඟහල දැන් ඇත අඩ අඳුරේ කියන සිංදුවට සෑහෙන දෙනා බැන්නා මතකයි. ඒක නාට්ටි ගීයක් ලූ. ඒක කොපි කලා ය කියලා...
ReplyDeleteඔය වගේ සින් ගොඩක් !
මොනවා උනත් පරණ ගීයක් මතක් කරලා දීපු එකත් ලොකු දෙයක් !
මධුරංග..
Deleteසංගීත් රඟහල ගීය ගැයුවේ හොද හිතින් ඒක නාට්‍ය ගීයක් නෙවේ ගුවන්විදුලි සරල ගීයක්. මේක ලිව්වේ හඩ්සන් සමරසිංහ වර්තමාන ගුවන් විදුලියේ සභාපති. "හඩ්ඩා" සංගීත්ව උසාවි ගෙනිච්චා මේ ගීය ගැයුවා කියලා. ඒවිතරක් නෙවේ වන්දියකුත් ගෙවන්න සිදු වුණා
මේ ගීය රස විඳ තිබුණත් අදයි දැන ගත්තේ එය ලීවේ ඔබ බව ...ඉතින් දැන්නම් එය අපේම ගීයක් විදියට වෙනදටත් වඩා සතුටකින් රසවිඳින්න පුළුවන් වේවි ...
ReplyDeleteමහේෂ්..
Deleteස්තූතියි , සමහර දේවග් කියන් වෙන වෙලාලුත් එනවා. ඒ තමයි මේ වගේ වෙලාවල්. ඉස්සර ගුවන් විදුලි මාධ්‍යයේ ගීතයක් ප්‍රචාරයට කලින් ගී රචකයා, සංගීතඥයා, ගායකයා, මේ නම් අනිවාර්යයෙන් කියන්න නියම වෙලා තිබුණා. ඒ සදාචාරාත්මක ගතිය අද නෑ. ඒ නිසා නිර්මාණ ශිල්පීන්ටම ඒ ගැන කියන්න වෙලා.
ගීතයන් ගැන ඔබ විග්‍රහ කර ඇති ආකාරය හරිම අපූරුයි . ඒ තුලින් ලොකු දැනුමක් අපි ලබාගත්තා .
ReplyDeleteඅගටන්නා කියන ඉතාමත් ජනප්‍රිය ගීතය ලීවේ ඔබයි කියා දැනගත්තාම ලොකු සතුටක් ඇති උනා .
දැන් මේ ගීය මම අහන්නේ වෙනදට වඩා උනන්දුවෙන් ආසාවෙන් .
ඊලඟ සතියේ නිශාන්තයෙන් මේ ගීය ප්‍රචාරය වෙනවා ඇති .
ගිම්හානි...
Deleteගුවන් විදුලි මාධ්‍ය තුළ බස් රේඩියෝවේ නිශාන්තය නිර්මාණකරුවන්ගේ අයිතිය ආරක්ෂා කර ඒ නිර්මානවලට නිසි ගෞරවය ලබා දෙනවා. නූතනයේ මාධය කලාව තුළ ඒ සදාචාරාත්මක බවට ගරු කරන ඔබටත් ප්‍රියන්තටත් ස්තූතියි.
මම අනිවාර්යෙයන්ම අහනවා. මේක අහන්න පුරුදු කළේ ලොකු ජෝන් සහෘදයානේ
සංගීත් විජේසූරියගෙ ගොඩක් ගීතවලට මම කැමතියි.. දයා අයියා ශාස්ත්‍රීය සංගීතයෙන් බහැරව මේ පැතිත් ඇසුරු කරලා තියෙනවානෙ..
ReplyDeleteමේ ගීතය කොච්චර ඇහුවත් තේරුම දන්නෙ අදනෙ.. අගටන්නා කිව්වම ඒ ද්ජවස්වල තේරුමක් හොයාගන්න බැරුව හිටියෙ.. මම හිතුවෙ නිකන් තේරුමක් නැති හිස් වචන සෙට් එකක් විතරයි කියලා..
හින්දි හා ඉංග්‍රීසි තනුවලට ගීත නිර්මාණයත් මේ කියන ගොඩටම දානා පුලුවන්ද?..
නාගීනා චිත්‍රපටයේ රඟපෑවේ ශ්‍රී දේවී නේද?
හරී..
Deleteසමහර වෙලාවට සරල ශාස්ත්‍රිය සංගීතයෙන් බැහැරව ජනප්‍රිය සංගිතය වෙනුවෙන් යමක් කරන්න වෙනවා. ඒවා කුමන නිර්මාණ කරුවෙකුටත් මගහරින්න බැහැ.
විශේෂයෙන්ම හිංදි ගී තනු ගයපු ජෝතිපාලගේ ගීත මේ ගොඩටම දාන්න පුළුවන්. "නින්ද නේන රාත්‍රියේ" වගේ හින්දි තනුවක් සිංල ගීයක් බවට පත්වෙන එක අදුන ගන්න අපහසු දෙයක්.
නාගීනා චිත්‍රපටයේ රගපෑවේ නාගිනා තමයි. ස්තූතියි කල නිවැරදි කිරීමට
ඒ ගීතය ලිව්වේ ඔබතුමා කියල දැන ගැනීම සතුටක්.
ReplyDeleteමගෙත් ආසම ගීතයක්.ඒකෙ වචන අමුතු නිසාමයි ගොඩක්ම ආස.
ප්‍රමුදි..
Deleteමේ බ්ලොග් ලියන හැමෝම එකම සහෘද පිරිසක් ඒ නිසා "ඔබතුමා" කියල නොකියන්නේ නම් මම වඩාත් කැමතියි.
ස්තූතියි අගය කිරිම ගැන
මේ ගීය පබැඳුම අපි දන්න කියන කෙනෙක් වෙද්දි ගීය ආයෙත් ඇහෙද්දි හුරුපුරුදු ගතියක් එනවා..
ReplyDeleteහරියට යාළුවෙක් වගේ..
ස්තුතියි ගීයේ ආගිය මුල ගිය විස්තර කිව්වට.. මේ ගීය සංගීත්ගේ වෙනස් ආකාරයේ සංගීත ගමන්මගේ නොමැකෙන සලකුණක් මම හිතන්නේ..
මාලිනී බුලත්සිංහලගේ මියුසික් ට්‍රැක් එක පුරපෝදා සඳ..සින්දුව නේද?
Deleteඒත් ට්‍රැක් එක අහද්දි එයාගෙ අනිත් සින්දු කීපයකම සංගීත ඛණ්ඩ මතක් වෙනවා..උදාහරණයක් විදිහට සඳමඩලේ සිට,සැන්දෑ අහස වගේ..
රූ..
Deleteමේ ගීය ලියන විට සංගීත්ගේ 'සිරියලතා" සහ සඳරේඛා හිනැහේවි ගියත් ජනප්‍රිය වෙලා තිබුනේ. ඒ ගිත දෙකෙන් මිදෙන්න ඕනෑ කියූ නිසා මේ ගිය හැදුවා.
මෙන්න රූ.. ට්‍රැක් එක හොයාගෙන "පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත් මල්වට්ට්යකට අරගන්නම්" ගීය තමය් ඒ. පුලුවන්නම් ට්‍රැක් එකට අලුත් වචන ලියන්න ට්‍රයි කරන්න. ඒක හොද අත්දැකිමක්. මමත් ගොඩක් වෙලාවට මේවගේ ට්‍රැක් හොයාගෙන ලියන්න පුරුදු වෙනවා තවමත්. එතකොට තමයි හුරු වෙන්නෙ.
ආයෙ ඉඩ ලැබුන දවසත මාලනී ගැයූ ගියක් අහමු.
නි
ReplyDeleteය
ම
යි
නේ........... :-)))
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩවි රජ..
Deleteස්තූතියි රජ තුමනි
මම ආසම කරන ගායකයෙක්.
ReplyDeleteඔය සින්දුව මම ආසාවෙන් ඇහුවත් “අගටන්නා“ කියන්නෙ මොකක්ද කියලා දැනන් හිටියේ නම් නෑ.
සොදුරු සිත..
Deleteමම කොහේදි හරි දැක්කා ඔයා සංගීත්ගේ ගීවලට කැමතියි කියල ලියල තියෙනවා. අගටන්නා කියන්නේ අහිගුණ්ඨික කාන්තා නමක් මේ ගීයේ තියෙන නම් සියල්ලම අහිගුණ්ටික නම් ගම්
පේන්නේ නම් පදමාලාවකට තනුවක් නිර්මාණය කිරීම ලේසි වැඩක් වගේ. හිතෙන් සංගීතයක් නිර්මාණය කිරීමට හැබෑ දක්ෂයෙක් විය යුතු බවයි මට හිතෙන්නේ.
ReplyDeleteගීය ලස්සනයි.
//මේ ගීයට ලැබුණ ප්‍රතිචාර අනුව මට හිතුනේ මේවා ගැලපෙන්නේ ප්‍රසංග වේදිකාවට කියා ය.//
ඒත් මේ කතාව නම් ඇත්ත.:)
පොඩී..
Deleteවචන රහිතව ගී තනුවක් නිර්මාණය කිරීම ඇත්තටම හැබැ දක්ෂයෙකු විය යුතුයි. ඒත් අමරදේව, නන්දා මාලනී, වික්ටර් රත්නායක, ගුණදාස කපුගේ, කරුණාරත්න දිවුල්ගනේ වැනි ගායන ශිල්පීන්, නිරන්තරයෙන් කැමති රචකයන් ලියන පදමාලා වලට ඒවායේ සාහිත්‍යමය ගුණය වැඩියි.
මම ලියපු මේ ගීය ජනප්‍රිය සංගීතයට කැමති අය වෙනුවෙන්. ඇත්තටම මේවා ඒනෙ වෙන්නේ ටිකක් නටන්න කැමති අයටයි
හිතෙන් සංගීත නිර්මාණය කරන්න හිතට ලස්සන තනුවක් එන්න ඕනෙ.. ඒක මටනම් බොහොම කලාතුරකින් වෙන දෙයක්.. මමත් පෞද්ගලිකව කැමති ලියපු පද රචනයකට මියුසික් දාන්න..
ReplyDeleteසංගීත්ගේ මේ සින්දුවට වගේම මල් පෙරහැර, ගායෙන් මා මුදවලා වගේ සින්දු වලටත් මං ගොඩක් ආසයි... ජය!!!
බිම්සර..
Deleteදැනගන්න ලැබිමත් සතුටුයි. එහෙනම් හොඳ යොවුන් සංගිතඥයෙක් . ඇත්තටම ඔබ වන් නූතන පරපුර ගැන ආඩම්බරයි. ඉදිරියේදි ඔබේ නිර්මාණත් දැක ගන්න පුළුවන් වේවි.
ඇත්තමයි ඔබ වැනි කෙනෙකු හඳුනා ගන්න ලැබීම ගැන මං සතුටු වෙනවා.මමත් සින්දු ලියනවා.තනුවකට වචන ලියන්න තමා මම අකමැතිම වැඩේ.එතකොට හිතේ තියන හැමදේම හරියට ලියාගන්න වෙන්නෙ නැහැ.
ReplyDeleteගීතය අහන්නම්.
ඔබට ජය!
හිරු හිමාවි..
Deleteමෙන්න තවත් බ්ලොග් ලියන ගීත රචිකාවක්. ඉතින් අඩවියේ දාන්න ලියපු ගීයක්. අනුවර්ත නාමයකින් පෙනී සිටන නිසා සමහර වෙලාවට ගිත අසා ඇතත් කවුද මේ රචිකාව කියලා දන්නෙ නෑ. අඩුම තරමින් ලියූ ගීයක් දෙකක් වත් දැම්ම නම් කවුද රචිකාව කියලා හොයාගන්නවා.
ඇත්තටම තනුවක් අතට ලැබුණාම සිතුවිලි සිර කරගන්න වෙනවා. ඒ හැම අදහසකටම ඉඩ නැහැ.
ඔබටත් ජය.
ReplyDeleteඔබ සින්දු ලියනවා කියල අහල තිබුණට මෙච්චර ලස්සනට පදබඳින බව දැන ගත්තෙ අදයි. අපි නොදන්නා දේවල් කොච්චරක් තියෙනවද හරියට සාගරය වගේ. කොහොම උනත් මේ ලස්සන ගීතය අදයි ඇහැව්වේ. ඔබට තුති අපව දැනුවත් කරනවාට .....
නාගීනා චිත්‍රපටයේ රඟපාන්නේ ශ්‍රීදේවී.
නීතා...
Deleteගීයක් ලියන්නත් යම් කිසි හැකියාවක් තිබිය යුතුයි. ඒත් සාර්ථකද කියලා හරියටම දන්නේ ඔබ වැනි ගී අහන රසික පිරිස තමයි.
"නාගීනා චිත්‍රපටයේ රඟපාන්නේ ශ්‍රීදේවී." හරියටම හරි.. ස්තූතියි මගේ අතින් සිදුවූ වැරැද්ද නිවැරදි කළාට
නිතර අහපු ගීයක් . . ඒකේ පද රචනය ඔබේ කියල දැන ගනීම සතුටක් . . . ඔබ ලියපු අනෙක් ගීත ත් මේ වගේ සටහනකුත් එක්කම ඉදිරිපත් කරනවා නම් අපිට ආසාවෙන් කියවලා ගීතයත් ආයේ අයේත් රස විඳින්න හැකි වේවි.. .
ReplyDeleteදුකා...
Deleteමීට කලින් වතාවකත් එක ගීයක් ගැන ලිව්වා.දකුණු පැත්තේ කොලම් එකේ "මගේ අතින් ලියැවුණ ගී" යටතේ ඇති. අහන්න බලන්න.
මගේ නිර්මාණ ගැන මම කතා කරන්න ටිකක් කම්මැලියි. ඉඩක් ලැබුනොත් ආයෙ දවසක බලමු
මේ ගීතය පරණ බව පෙනුනත් අහලාම නෑ නෙ. ගෙදර ගිහින් අහලා බලන්න ඕනෙ.සංගීත්ගෙ සමහර ගීත වලට මං කැමති.ඔය උඩිනුත් හුගක් අය කැමතියි කියලා තියෙන මල් පෙරහැර සින්දුවට මාත් කැමතියි.
ReplyDeleteනිදහස් වෙලාවක අහලම බලන්න. මේක ටිකක් පරණයි. සංගිත්ගේ මල් පෙරහැර ගියට කලින් බිහිවූ ගීතයක්.
Deleteසංගීත්ගෙ සින්දු වලට මම හරිම කැමතියි. හේතුව එම ගීත සරළ වචනවලින් තිබීමම වෙන්න ඇති. මේ ගීතය අහලා තිබුනත් , ලිව්වේ ඔබ කියලා නම් දැනගෙන උන්නේ නෑ. ..
ReplyDeleteතණුවකට පද මාලාවක් ලියන එක ලේසි නෑ වගේ.
ආ..තව එකක්. සංගීත්ගෙ " අම්මා " කියන ගීතයටත් මම හරිම කැමතියි
" හ්ම්ම්ම්ම් අම්මා...අම්මා...අම්මා..
දන් දී පින්දී උදම්දී ධම්සාරෙන් නෑවිලා
සම්මා සිත් පෑදුවා අම්මා...
කුස්සී දුක් ගී වැයෙද්දී
තිස්සේ ඇවිලී ගිණී
මං නැත්තම් කෑවේ නෑ අම්මා...
ඊට නම් බෑ ඉතින් වන්දි දෙන්න
ආයෙමත් ආයෙමත් අම්මා වෙන්න
නිවනින් මේ නිරා වේදනා සේදිලා යනතෙක්ම..."
මම ආසම
Delete"මල් පෙරහැර යන්නා සේ දුටිමි
ඔබේ නෙතු සඟලේ එලි සේරම දකිමි..
ඒ දුක නිමක් නැති
එනමුදු කමක් නැති..."
ළිහිණි..
Deleteමුලින්ම ඔබව අස්වැන්නට සාදරයෙන් පිලිගන්නවා. මම හිතන්නේ මුල් වරට වෙන්නැති මෙහේ ආවේ.
සංගිත්ගේ ගී එකකට එකක් වෙනස්. ඒනිසාම හොඳ වටිනාකමක් ගෙනදෙනවා.
තනුවට ගී ලිවිම හිතන තරම් පහසු නම් නැහැ. ඒත් හුරු වුණාම පහසුයි. ඉදිරියේදී අම්මාගැන මා ලියූ තවත් ලස්සන ගියක් ඔහුගේ හඬින් අසන්නට ලැබේවි.
ප්‍රමුදි..
ඒක ලස්සන ගීයක් ඒ ගිය සංගිතවත් කලේ ඉන්දීය සංගීතඥයෙක්
සංගීත්ගේ "ගායෙන් මං මුදවලා" ,"දන් දී පින්දී " සහ 'සුපුන් සsහිනේ නිදන් පුතුනේ" සිංදු වලට මං ගොඩාක්ම ආසයි....අගටන්නා ඔබේ නිසාද මන්ද ඒක වෙනදට වඩා ලස්සනයි කියලා හිතෙනවා :)
ReplyDeleteදඟකාරි..
Deleteසංගිත්ගේ ඔය ගීත සියල්ලම ලස්සනයි වෙනස්ම ආරක් ඒ ලස්සන වෙන්න හේතුව ඒ ඇල්බම් එක සම්පූර්නයෙන්ම සංගිතවත් කලේ ඉන්දීය සංගිතඥයෙක් විම විශේෂයි.
ස්තූතියි මගේ ගීය අගැයුවාට
අදයි දන්නේ ඔබ තමයි මේ අගටන්න ලිව්වේ කියල.ඉස්සරහට ඔබේ හැකියාවත් අස්වැන්නෙන් එලියට ඒවි කියල හිතනව.සංගීත්ගේ " ගායෙන් මා මුදවලා " සින්දුව තමන් අහපු හොඳම මවු ගුණ ගීය කියල පරාක්‍රම කොඩිතුවක්කු කවිය වරක් කීව.
ReplyDeleteකලාබෝයි..
Deleteගායෙන්මා මුදවලා ගිය මවුගුණ ගී අතර වෙනස්ම ගීයක්. සාම්ප්‍රදායික මවුගුණයෙන් ඔබ්බට ගිය දඟකාර කොලු ගැටයෙක්ගේ ඇසින් මවක දැකිම හරිම දුර්ලභ නිර්මාණයක්. ඒකයි ඒ ගීය ලස්සන
අදයි දැනගත්තෙ මේ ගීතය අයියාගෙ කියලා. අලුත් පරපුරේ ගායකයින්ගෙන් සංගීතය පිළිබඳව දැනුමක් ඇති ගායකයින්ගෙන් එක්කෙනෙක් සංගීත්. ඔහුගෙ හැම ගීතයකටම මම ආසා නැහැ. නමුත් සමහර ගීත තිබෙනවා ගොඩක් ලස්සනයි. මේ ඒ අතරින් එකක්.
ReplyDeleteඅනිත් එක ඔහුගෙ සංගීතය විවිධාකාරයි. ගීයෙන් ගීයට වෙනස්. එතැනයි වටිනාකම තියෙන්නෙ.
සිදූ..
Deleteසංගීත් හැම විටම ගී නර්මාණය කරද්දී වෙනස්ම ආකාරයකට හිතනවා. ඒවගේම සැලසුම් කරනවා. ඒ නිසා ඉදිරිපත් කරන හැම ඇල්බම් එකක්ම ඉක්මනින් ජනප්‍රිය වෙනවා. ඒ ඔහුගේ අතිවිහිෂ්ට දක්ෂතාවයක්.
සංගීත්ගේ මේ සින්දුවට මං ගොඩක් ආස වුනත් ඒක ඔබ තුමාගේ නිර්මාණයක් කියල දැන ගත්තේ අද. තව තවත් හොඳ නිර්මාණ බිහිකරන ශක්තිය දහිරිය වාසනාව ලේබෙව කියල ප්‍රර්ථනා කරනවා. ඔබේ "සඳ නැගෙනා තුරු" ගීතය මං ආසම තවත් සින්දුවක්.
ReplyDeleteපැතුම්..
Deleteමල්ලියේ ස්තූතියි ඔබේ වටිනා සටහනටත් අගය කිරිමටත්.
අපූරු ගීයක් හා අගනා දැනමුතුකම්. බෙදා හදා ගත්තාට බොහොම තුති !
ReplyDeleteරසික..
Deleteස්තූතියි ඔබට
කියන්න ලැජ්ජයි අයියේ ගීය කලින් අහලා තිබුණත් ඒක ලිව්වෙ අයියා කියලා අද වෙනතුරු දැනගෙන හිටියේ නෑ. ඒවගේමත් ඒ ගීය බිහිවීම පිටිපස තිබ්බ කතාවත් අපූරුයි
ReplyDeleteමම මේ ලඟඳි බලපු වැඩසටහනක එඩ්වඩ් ජයකොඩි මහතා ඔය ලිපියේ කිව්ව එක් ගීයක් බිහිවෙච්චි හැටි ගැන කිව්වා. දවසක් ඔහු ඔය කිව්ව පූර්ව නිර්මිත ගී තනුවක් අරගෙන ප්‍රේමකීර්ති මහත්තයගේ ගෙදර ගියාලු ගීයට වචන ටිකක් දමා ගන්න. මෙකට වචන ටිකක් දාල දෙන්න කියලා එව්වඩ් කිව්වත් ප්‍රේමකීර්තිට කරන්න ඕන මොකක්ද කියන එකපාරට ක්ලික් වෙලා නෑ. ඒ බව දැක්ක එව්වඩ් කිව්වලු "ඔය මියුසික් එකට වචන ටිකක් දාන්න... හරියට නිකම් මෙන්න මේ වගේ.. සමනලයා, මල, ළමයා... අන්න ඒවගේ අමුනලා දෙන්න කියලා. ප්‍රේමකීර්ති මහත්තයත් ඔලුව වනලා කිව්වලු පහුවදා එන්න දාල තියන්නම් කියලා. පහුවදා එඩ්වඩ් මහතා ගියාම ඔහු අතට පත්වෙච්චි ගීය මොකක්ද කියලා හිතාගන්න පුළුවන්නේ..
තොටියා..
Deleteඑඩ්වඩ් කියපු ඔය කතාව ඉතාමත් ප්‍රසිද්ධයි. මොකද එඩ්වඩ් සමහර දේශශනවලට ගියාම තනුවට ගිත ලියන හැටි කියන්න නිදසුන් කරගන්නේ ඔය වගේ එහුගේම ගිත. ඒවගේම එඩ්වඩ්ගේ "එපා සඳේ ඔබේ සිනා" ගීතය පසුපසත් මේවගේ තනුවට වචන යෙදිම පිළිබඳ අපූරු කතාවක් තියෙනවා. ඒකතාවත් රෝහණ වීරසිංහ වගේම එඩ්වඩ්ද නිරන්තරයෙන් කියනවා. ඇත්තටම තනුවට වචන යෙදිම එක් ආකාරයකින් බොහොම සුන්දර අත්දැකිමක්.
අම්මෝ...අමුතු අමුතු වචන ගොඩායි.... හැබැයි ලස්සනයි...වෙනස්ම සිංදුවක්... ලියපු අනිත් සිංදු ගැනත් විටින් විට අපිට කියන්න...:)
ReplyDeleteඅනූ ..
Deleteඉදිරියේදි ඉඩක් ලැබෙන විදිහට ඉඩක් ඇති විට ලියන්නම්.
ස්තූතියි සටහනට
දයා අයියා මේ සිංදුව ලිව්වා කියලා දැනගත්තාම ලොකු සතුටක් ආවා. ඇත්තටම අගටන්නා ගීතයේ අගක් මුලක් හොයාගන්න මීට කලින් නම් බැරිවුනා... දැන් තමයි තේරැණේ...
ReplyDeleteමේ ගීතයේ වයලින් පාට් එකට මමත් සෑහෙන්න කැමතියි. පුද්ගලිකව වාදන ශිල්පියෙක් හැටියට මමත් ඒ පාට් එක සෑහෙන ආසාවෙන් ප්ලේ කරපු එකක්... සංගීත්ගේ අපුරු ශෛලියට මම ගොඩක් කැමතියි. සංගීත් නැතිවුනත්, අදටත් මගේ රෝල් මොඩල් බෑන්ඩ් එක සනිධප තමා...
සංගීත්ගේ ගායෙන් මං, ලස්සන ලස්සන, ආදරේ වැඩියි, මල් පෙරහැර මගේ ගීත වලට මම නම් ගොඩක් කැමතියි. ඒ එකකට එකක් වෙනස් වගේම අපූරු රිද්මයක් තියෙන නිසා...
දයා අයියා ලියපු තවත් ගී තියේ නම් දැනුවත් කරන්න... අපි ආසයි දැනගන්න... ගී නිර්මාණයක් ගැන විචාරයකුත් දාපු එන හොඳයි...ජයවේවා !!!
චතුරංග..
Deleteමෙන්න හොද වයලින වාදකයෙක්. දැනගන්න ලැබිමත් සතුටක්. අනාගතයේදි හොඳ සංගිතමය ඇත්දැකිමක් ලබන්න හැකිවේවි අපටත්.
ලංකාවෙ බෑන්ඩ් කීපයයි ඉතාම හොඳ මට්ටමක තියෙන්නේ. ඒ අතර සනිධප මුල්තැනක ඉන්නවා.
අයියයියෝ...!!! මම වයලින් වාදකයෙක් නෙවේ. සංගීත කණ්ඩායමක කීබෝඩ් වාදකයෙක් (හිටපු)...!!!
Deleteගොඩක් අය මම අහලා තියෙනවා සනිධප ඝෝෂාව වැඩියි කියනවා... ඒ වුනත් මුල් නිර්මාණයට (original) සාධාරණයක් වෙන විදියට සංගීතය සපයන්න නම් එයාලා හරිම දක්ෂයි. සමහර වාදනයන් අහනකොට මුල් නිර්මාණයටක් වඩා හෝට එයාලා ප්ලේ කරනවා...
සංගීත්ගේ වායෝ බෑන්ඩ් එකේ නිර්මාණයක් එන කල් බලන් ඉන්නේ... ඒකත් හොඳට යාවි...!!!
ෂා..ඔබතුමා දක්ෂයෙක් නොවැ..හරිම සතුටුයි...!
ReplyDeleteතවත් ඉදිරියට ඔවැනි ගීත රචනාලියන්න ශක්තිය ලැබේවා........!
වී පොකුර..
Deleteසහෘදයෙක් විදියට පුංචි ඉල්ලීමක්. "ඔබතුමා" කියල නොකියන තරමට මම කැමතියි. ඒවචන ගැලපෙන්නේ දියවන්නාවෙ දූපතේ කට්ටියට. අපිට නෙවේ. අපි එකම බිමක එකම සහෘද පිරිසක්.
ස්තූතියි
ඔව් සහෝ මීට පස්සෙ එහෙම කරන්නම්...!
Deleteඔබතුමා සංගීතයට, විචාරයට රචනයට කවදාත් දක්ෂයැක්!!! ඒක සහතික ඇත්ත!! මම ඔය සින්දුව අහලා නෑ.. :( ඒත් අද ඇහුවා.. ලස්සනයි හුඟාක්..
ReplyDeleteහිතුවක්කාරි..
Deleteඅර උඩින් තියෙන වීපොකුරට ලියපු සටහන ඔබටත් අදාලයි." ඔබතුමා" කෑල්ල එපා.
ස්තූතියි. වටිනා කාලයෙන් බිඳක් වැය කලාට
කලින් පල වුණු අදහස් නොකියවා ම මගේ අදහස කියන්නම්. නැත්නම් මගෙන් ම, මගේ අදහසට බලපෑම් වෙන්න පුළුවන්.
ReplyDeleteපෞද්ගලිකව මාත් තනු වලට පද ලිවීම එතරම් ප්‍රිය කරන්නේ නැහැ. මගේ අදහසේ හැටියට නම්, ගීතයක් කියන්නේ කවියකට එහා ගිය ගැඹුරු පද සංකල්පනාවක්. ඒ පද මාලාවේ සුන්දරත්වය විදහා දක්වන්නට සංගීතය මනාව භාවිත කළ යුතුයි. නැතිව, සංගීත ශිල්පියාගේ නාද රටාවට පද යොදන්න යාමෙන් ගීතයට සාධාරණයක් කරන්නට නොහැකි වෙනවා.පද රචකයා කොයි තරම් දක්ෂ අයෙක් වුණත්, තමන්ගේ උපරිමය දක්වන්නේ පද මාලාවකට සංගීතය යෙදීමේ දී මිසක්, සංගීතයට පද මාලාවක් යෙදීමේදී නොවෙයි.
මේ ගීතය අහද්දී නම් අවුලක් දැනුනේ නැහැ. නමුත් පද මාලාව ගැන සැලකිලිමත් වෙද්දී නම්, සියයට සියයක් ම සැහීමකට පත් වෙන්න බැහැ. හේතුව, රිද්මය ආරක්ෂා කර ගන්න වචන එබ්බවූ ගතියක් සමහර තැන් වල දැනීම. විශේෂයෙන් මේ කොටසේ.
//වන්නකුවා ඇවිත් නුඹව
සහේට ගන්නට හැදුවොත්
කොහොම ඉඳින්නද විස්සෝපෙන්..
මං කරකාර බඳින්නට මනාපයෙන්
අබ්බඩාට ගිහිං කියාපන්..
උඹ අබ්බඩාට ගිහිං කියාපන්..//
අවසාන කොටසේ ඒ ගතිය අඩුයි.නමුත් මේ කොටසේ ඒ වගේ ගතියක් ආයෙත් මතු වෙනවා..
//හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්..//
අයියාගේ සඳ නැගෙනා තුරු ගීතය සලකද්දී නම් වැරද්දක් කියන්න තැනක් මා දැක්කේ ම නැති තරම්. මේ රචනාවේ ගැටලුව ඇත්තේ ක්‍රමයේ මිසක් අයියාගේ රචනාවේ නෙවෙයි. ගීතයක් කියන්නේ පද රචකයා විසින් නිදහසේ කරනු ලැබිය යුතු දෙයක් මිස කොටු වී කළ යුතු දෙයක් නෙවෙයි. ගැටලුව ඇත්තේ එතනයි.
ගීතය සමස්තයක් විදියට සාර්ථක වුණත්, අයියාගේ සෙසු ගීත සලකද්දී මෙය පද රචනාවක් විදිහට නම් එතරම් ම සතුටුදායක නැහැ කියලයි මගේ හැගීම.
රැංගෝ..
Deleteඔබේ විචාරාත්මක සටහනනට ස්තූතිියි. එළිමහන් සංගිත ප්‍රසංග කලාව ජනප්‍රිය සංගිතයේ කොටසක්. ඒ ජනප්‍රිය සංගිතයට මමත් කැමතියි. මොකද අපි ඒකාකාරිව නොසිටිය යුතු නිසා. විවිධ අත්දැකිම් සංගිතයෙන්ද ලැබිය යුතුයි.
ඉතින් ගිතනුව අනුව මුලින්ම ලියූ ගීය නිසා අඩු පාඩු තියෙන්න ඇති. මේවා තමයි ලැබිය හැකි හොඳ අත්දැකීම්. ඒනිසා ඒ හැම එකක්ම වටිනවා.
මේ ගීතය ඕනෑකමින් අහලා නැහැ ඇහුනොත් විතරක් අහපු සින්දුවක්. ඒ සින්දුවේ ලස්සන කතාවක් තියෙනව කියල තේරුනේ මේ ගීතයේ පද ටික කියෙවුවාම. මම ඉස්සර ඉඳලම අස කරන ගායකයෙක් තමා සංගීත්. දන්නා විදියට සනිධප වලින් වෙන වෙලා අලුත් බෑන්ඩ් එකක් හද ගත්තනේද?.
ReplyDeleteතවත් මේ වගේ විස්තර බලාපොරොත්තුවෙනවා.
අසරණයා..
Deleteතවමත් "සනිධප" සංගීත්ගේ තමයි. දැන් සංගීත් වෙනුවට සන්ෆලවර් නොයෙල් රාජ් ඇවිත් ඉන්නවා සනිධප ගායන ශිල්පියා ලෙස. සංගීත් අලුතෙන් තවත් එකොස්ටික් බෑන්ඩ් එකක් පුහුණුකරනවා "වායෝ" කියලා. තවම එළියට ආවේ නැහැ. ඒකත් සුපිරි එකක් වේවි.
ලොකු ජෝන් කීවා වගේ මාත් සංගීතය විශයක් ලෙස හදාරා නෑ. ඇත්තම කීවොත් සංගීතය පිළිබඳ කිසිම දැනුමක් මට නෑ. එහෙත් මට දැනෙන විධියට සංගීතයට වැඩියෙන්ම පෙම් බඳන්නේ සංගීතය හදාරා නැති අය වගේ.
ReplyDeleteඅර මුලින් ඇති තනුව පුන් පෝදා සඳ ඔබ ගීතය නේද?
තනුවකට ගීතයක් ලියන එක සරල දෙයක් නොවේ කියා හැඟුනේ අර තනුව ඇසුවාම. කිසිම ආකාරයකින් එයට පදමාලාවක් ලියන්න පුළුවන් කියා අදහසක් ආවේම නෑ මට නම්.
කෙසේ නමුත් මා මෙය කලින් අසා ඇතත් ඔබේ පදමාලාවක් බව දැන ගත්තේ මේ ලිපියෙන්.
තව වරක් ගීතය රස විඳිමින් මේ කමෙන්ට් එක ලියන්නේ....
ප්‍රියන්ත
Deleteඑක අතකින් අපි කවුරුත් සංගිතය විෂයක් වශයෙන් හදාරා නැති එක හොඳයි කියලා මටත් හිතෙනවා. මොකද එහෙම ඉගන ගත්තානම් අපි මේවගේ හොයාගෙන රස විඳන එක අඩුවෙන්න තිබුණා. ඒත් දැන් එහෙම නැහැ . හැම විටම විවිධත්වයක් ඇතුව ගී රස විදිනවා.
මාලනීගේ "පුන් පෝදා සඳ" ගීය තමයි ඒ. මේ ගි තනුව නරන්තරයෙන් අහමින් මම අලුත් වචන ලියා බලනවා ගැලපෙන්න ලියන්න පුළුවන්ද කියලා. ඒක හොඳ අභ්‍යාසයක්
හොඳ අභ්‍යාසයක්. මාත් උත්සාහ කර බලන්නම්.
Deleteඔබට බොහෝම ස්තූතියි....
අඩෙ අප්පා.. මාරයිනේ..
ReplyDeleteසංගීත් කියන්නේ.. ප්‍රසංග වේදිකාවේ චොකා බයිල බැන්ඩ්කාරයින්ට කොකා පෙන්නපු දක්ෂ නිර්මාණකාරයෙක්..
එහෙම එකාට සිංදු ලියපු එකාට මොකා කියන්ඩ ද කියලයි මම මේ විකාගෙන කල්පනා කරන්නේ..
අපේන්ද්‍ර..
Deleteමොනව කල්පනා කරන්නද මම මෙච්චර කල් හිතා හිටියේ උඹ මේ ගීය ගැන දන්නවා ඇති කියලා. ඒකය් මම කිව්වෙ නැත්තේ. ලෝකෙ කෙහේ හිටියත් මම දන්නවා උඹ මේක කියවන බව. ස්තුතියි මචං. තව දේවල් ඉදිරියට
දයානන්ද මහත්තයෝ අපූරු ගීයක් සංගීත් කියන්නේ මගේ ප්‍රියතම ගායකයෙක් තමා. මම දැන් සින්දුවත් ඩවුන්ලෝඩ් කරගත්ත. බොහොම විශිෂ්ට නිර්මාණයක් මෙවැනි වූ තවත් නිර්මාණ අපිට දායාද කරන්නට ඔබට ශක්තිය දහිරිය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කොරනවා ඕන්
ReplyDeleteකෝරලේ මහත්තයා..
Deleteස්තූතියි කෝරලේ මහත්තයා බෙහෙවින්ම ස්තූතියි..ඔබේ අගැයුමට
මම ඔය සිංදුවනම් අහලා නෑ. සංගීත් ජනප්‍රිය වුනේ මම බිහිරි වුනාට පස්සෙයි. ඒත් සත්වෙනි දවස චිත්‍රපටයයි - චිත්‍රකතාවයි දෙකම බලලා තියෙනවා.
ReplyDeleteසුමිත්...
Deleteඇත්තටම මේ කමෙන්ට් එක දැක්කාම මට කිසිවක් හිතාගන්න බැහැ.මොකක්ද මේ ලියලා තියෙන ආබාධිත තත්වය තියගා. නිකං අග මුල නොතේරෙන දෙයක්ද මංදා.
ඒ කොහොම වුනත් ඔබට නිරෝගි සුවය පතනවා
මෙච්චර වෙලා මේක වින්ද විදිල්ල එපාවුනා උඹේ කතාවෙන් සුමිත් අයියා..
Deleteදයා අයියට_ සමා වෙන්න හිතේ තිබ්බ දේ කොටන්න හිතෙන් නෑ..
ඒත් අගය කරන්නම්.. ඒ වගේම සුභ පැතුම් දිගටම සාර්ථක නිර්මාණ කරන්නට...
මිරිවැඩි සඟලක් ඉල්ලා ඇඬුවෙමි!
Deleteඔබේ මුලින් ඉදිරිපත් කල ගීතයට මම දැක්වූ අදහස් වලින් කොටසක් මෙතනටත් අදාල වෙනව. සංගීත් විජේසූරිය හැකියාව ඇති ගායකයෙකු වුවද ලංකාවේ ජනප්‍රියභාවයට පත් වෙන්නෙ "රගහල දැන් ඇත අඩ අඳුරේ" කියන ගීතය මුල් ගායකයාගේ නිසි අවසරයකින් තොරව වෙනස් රිද්මයකට ගායනා කිරීමෙනුයි. හැකියාවක් නැති ශිල්පීන් එවැන්නක් කලද හැකියාවක් ඇති ශිල්පීන් එවන් සදාචාර සම්පන්න නොවන දේ තුළින් ජනප්‍රිය බව සොයා යාම ගැන දැඩි විවේචනයක් මා තුළ තියෙනව. කෙසේ වුවත් විජේරත්න වරකාගොඩ මහතා ගායනා කරන එහි මුල් ගීතයේ ඇති භාව රසය ඉතා ඉහළයි. සංගීත්ට එවන් ඉහළ රසයක් ප්‍රබුද්ධ ශ්‍රාවකයන් කරා ගෙන එන්න බැරි වෙනව.
ReplyDeleteකෙසේ වුවත් සංගීත්ගෙ අමුතු මාදිලියෙ ගීත රාශියක් තියෙනව. එම ගීත අපූර්වත්වයක් සහිතයි. ඔහුටම ආවේණික සුවිශේෂී හැකියාවක් ඔහුට තියෙනව. "සැවන්දරී" "මල් පෙරහර" "අගටන්නා" වැනි ගීත සම්ප්‍රදායික ගීත වලින් ගොඩක් වෙනස් විදියක සංගීත රසයක් ශ්‍රාවකයා තුළ ඇති කරනව. ඒ අතරින් "අගටන්නා" ගීතය ඔබේ ගීතයක් බව දැන ගෙන හිටියෙ නෑ. ගීත රචකයාට අද සිංහල ගීත ක්ෂේත්‍රය තුළ අත්වෙලා තියෙන තත්වය කණගාටුදායකයි. ගායකයාගේ නම විතරක් අද ගුවන් විදුලිය වැනි මාධ්‍ය වල කියවෙනව. ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා විතරක් තිබුණ සමයේ තත්වය මීට වඩා යහපත්ව පැවැතියා.
ගීතය ගැන හොද විචාරයකට එන්න තරම් දැනුමක් මා තුළ නෑ. ඒත් අහිකුණ්ඨික තරුණියකට පෙම් බඳින අහිකුණ්ඨික නොවන තරුණයෙකුගේ ප්‍රකාශණය මනාව ගීතය තුළින් පිළිබිඹු වෙනව. විශේෂයෙන්ම සුවිශේෂ සමාජ කොටසක සුවිශේෂී භාෂා ව්‍යවහාරය ඒ අයුරින් ගීතය තුළට ගෙන එන්න රචකයාට හැකිවී තිබෙන නිසා ගීතය ජීවමාන බවට පත් වෙනව. මෙවන් පද රචනයක් සඳහා මුල් භාෂා ව්‍යවහාරය ගැන මනා අවබෝධයක් තිබිය යුතු බැවින් එය ඕනෑම පද රචකයෙක්ට කල නොහැක්කක්. කොහොම වුණත් වෙනස් විදියක සංගීත කණ්ඩයකට සංගීත්ගේ අපූරු ගායන හැකියාවද එක්වීම ගීතයේ සාර්ථකත්වයට විශාල රුකුලක් වෙලා තියෙනව. ගායකයා නවකයෙක් වුණත් ඔහු හැකියාවන් සහිතනම් ඔහුගේ හැකියාවට නිසි ඇගයුමක් ලැබි යුතුයි. එහෙත් පුද්ගලිකව වේදිකාවේ සංගීත්ගේ රංගනය නම් මා තුළ ප්‍රියතාවයක් ඇති නොකරයි. ගීතය විතරක් රස විඳින විට ඔහුගේ අපූරු හැකියාව ඊට වඩා ඉස්මතු වන බව මගේ හැඟීමයි.
Outsider''
ReplyDeleteඉතාමත් වටිනා අදහස් දැක්විමක්.
ඇත්තෙන්ම මට හිතෙන විදියට සංගිත් පවා මේ මුලදි හිතාගෙන ඉන්න ඇත්තෙ නාට්‍ය ගිතයක් කියලා. සමහර විට හඩිසන් ලියූ බවක් පවා නොදන්නවා ඇති. කොහොමටත් මම අනුමත කරන්නෙත් නෑ අනුන්ගේ ගිත ගැයීම. ඒ කෙසේවුවත් රගහල ගීතය පිලිපද නැවත කතාබහ ඇති වුනේ. සංගිත් ගැයුවට පස්සේ. මේ නඩුවෙන් සංගීත්ට වන්දියක් ගෙවන්න සිදුවුණත්, ඊට පස්සේ විජේරත්න වරකාගොඩ ඩමේ ගිය ඔර්ජිනල් විදියට ගැයුවා. ඒත් ඒක මිනිසුන් අතරට ගියේ නැහැ.
කණ්ඩායම් සගීතය කරනකොට වේදිකාවේ රංගනය නැත්නම් මේවගේ බෑන්ඩ් ජනප්‍රිය සංගිතය ලුහු බඳින ගීත ලෝලීන් අතර පවතින්නෙ නෑ.
ප්‍රනීත් අබේසුන්දරත් ට්‍රැක් එකට හොඳ සින්දු ලියලා තියෙනවා සනත් නන්දසිරිට.
ReplyDeleteමං හිතන්නේ නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ මං කැමති ඒ වගේ සින්දුවක්.
කමෙන්ට් වලින් භාගයයි කියෙව්ව්වේ. නමුත් මේ ගීතය අහලා තිබුණත් චිත්‍රපටය මතක නොතිබුණ නිසා "සිංදු කඩේ මහත්තයා වෙන්නම්" කියන කොටස නිකං ගැලපෙන්නේ නෑ වගේ දෙයක් මගේ හිතේ තිබුණා. ඒ ඇරෙන්න මේ ගීතය හරි අපූරු ගීතයක්. කොහොමත් සංගීත්ට මම කැමතියි. දැන් මේ ගීතය ඇහෙද්දී අපට ඇති වෙන්නේ ආඩම්බරයක්. ඒ අපි දන්නා කෙනෙක් ලියපු නිසා.
ReplyDeleteමම film එක බලලත් නෑ. WAYO ලා දාලා තිබුනා YouTube එකේ මේ සින්දුව අලුතෙන්. ඒක අහලා ටිකක් හොයලා බලන්න හිතුනේ. <3
ReplyDeleteවායෝ අලුත් විදියටහදපු අගටන්න ගැන මටත් හොයන්න හිතුනා එකයි ඇවිල්ල ෆලෝ එකක් එහෙම දැම්ම ..මාර ලස්සන වචන ටිකක් තියන සින්දුවක් ... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
ReplyDeleteඅධ්‍යාපනික වටිනාකමක් තියෙන අපූරු ලියමනක්. ගී පද රචනය ගැන නොදත් කරුණු ටිකකුත් දැනගත්තා. බොහෝම ස්තුතියි මේ ලස්සන නිර්මාණය අපට දායාද කළාටත්, ගීතයේ අතීත කතාව (රසකතාව) හෙළි කළාටත්. :)
ReplyDelete