එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Tuesday, 12 June 2012

෴ වයලීන මැවූ හීන ෴




අපේ විශිෂ්ඨතම වයලීන වාද්‍ය ශිල්පීන් තිදෙනා වයලීන වයන හැටි විදිමු....

සිංහල ගීතය සහ ගීත සාහිත්‍ය  සහිත්‍යය පිළිබඳව නිරන්තරයෙන් "අස්වැන්න" තුළින්  කතාබහ කළත් ඒ සෑම  ‍ අවස්ථාවකම  වැඩි ඉඩකඩක්  වෙන් වුණේ ගායන ශිල්පීන් , ශිල්පිණියන්, ගීත රචකයන්  සහ සංගීතවේදීන් වෙනුවෙනි. ගීතය බිහිවන්නේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසින්  වුවද,  එහි අවසාන නිමැවුම ගායන ශිල්පියා හෝ ශිල්පිණිය අවසන් වාහකයා වුවද ඒ නිර්මාණය බිහි කිරීමට   පසුපස සිට සහය දුන්නෝ පිළිබඳව හෝ ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව කතාබහට ලක් වන්නේ මඳ වශයෙනි. විශේෂයෙන් ම ගීතයක දී වාද්‍ය ශිල්පීන්, පටිගත කිරීමේ,  කාර්මික ශිල්පීන්ගේ කාරය භාරය සුළුපටු නො වේ. එය නො තකා හැරීම ද ඇතැමි විට බලවත් අසාධාරණයකි. ඒ නිසා ගීත ඇසීමට කැමති රසිකයෝ  එ වැනි ගීයක පසුපස සිටින නිර්මාණ දායකත්වය ලබා දුන් නිර්මාණකරුවන් පිළිබඳ තොරතුරු සහ ඔවුන්ගේ හැකියාවන් නොදන්නා තරම් ය.

ඒ නිසා ගීතය සහ සංගීතය පිළිබඳව වෙනස් ම අත්දැකීමක් විඳින්නටත්, ඒ පිළිබඳව සොඳුරු කතාබහක නියැලෙන්නටත්,  අද "අස්වැන්න " තුළින් මම ඔබටද මේ මොහොතේ ඇරයුම් කරමි.  අද  කතාබහට තෝරා ගත්තේ ලංකාවේ අද දවසේ අපට සිටින විශිෂ්ඨතම "වයලීන" වාද්‍ය ශිල්පින් තිදෙනා සහ ඔවුන් තිදෙනාගේ නිර්මාණයන් ය. මේ දක්ෂතම  වයලීන වාද්‍ය ශිල්පීන් තිදෙනා අප කවුරුත් දන්නා ඩී.ඩී.ගුණසේන, කළණි පෙරේරා සහ රෝහණ ධර්මකීර්ති ය.  මේ වයලීන වාද්‍ය ශිල්පීන් තිදෙනාගේ  වයලින වාදන ඔබ අසා ඇතත්, දැක ඇතත්, ඒ අතරට ඔවුන් තිදෙනා තුළ ඇති සුවිශේෂ හැකියාවන් සහ  ඔවුන්ගේ නිමැවුම් පිළිබඳව අමරදේවයන්ගේ සහ නන්දා මාලනියගේ ගී අනුවාදන කිපයක් ඇසුරින් මෙතැන් සිට කතා බහ කරමු.

ගීත සාහිත්‍ය පිළිබඳව සහ ගායන ශිල්පීන් ශිල්පිණියන්ගේ අතීත තොරතුරු පිළිබඳව සොයා බලද්දි, ලංකාවෙ බොහෝ ගායන ශිල්පීන් මෙන්ම ශිල්පිණියන්ද  සිය සංගීත ගමන් මඟ ආරම්භ කර ඇත්තේ වාද්‍ය ශිල්පීන් ශිල්පිණියන් ලෙසින් බවට තොරතුරු ඒ අනුව  සොයා ගත හැක. ඒ අතරිනුත් "වයලීන" වාද්‍ය ශිල්පීන් ලෙස සිය සංගීත ගමන් මගෙහි ආරම්භය සනිටුහන් කර ඇති ශිල්පින් අතර ආචාර්ය පණ්ඩිත් අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, මර්වින් පෙරේරා, ටී.එම්.ජයරත්න, අමරසිරි පීරිස්, බණ්ඩාර අතාවුද,  සහ නිමල් ගුණසේකර ආදී ශිල්පීන් සිටී. ඔවුන් ගායන ක්ෂේත්‍රයට පා තබන්නේ වාද්‍ය වෘන්දයන් හි වයලීන වාද්‍ය ශිල්පීන් ලෙස කටයුතු කරමිනි.

 ඒ වයලිනයෙහි ඇති සුවිශ්ෂ භාවයත්, “වයලිනය” මිනිස් කට හඬට ඉතාමත් සමීප වාද්‍ය භාණ්ඩයක් වීම නිසාත්, වයලීනය වැයෙන්නේ ශ්‍රව‍ණ ඉන්ද්‍රියයන් ආශ්‍රිතව හේතුවෙනුත් ඒ හැකියාව තුළින් ඉබේ හටගන්නා ගී ගැයීමේ හැකියාව ද,  මෙහිදී සැළකිය යුතු කාරණයකි. එසේ අහම්බයකින් ගී ගැයීම සිදු වුවද, ඔවුන් පසුකාලයේ ලංකාවේ සංගීත රසකාමීන් හඳුනාගන්නේ මෙරට බිහිවූ අද්විතීය ගායන ශිල්පින් ලෙසිනි.

"වයලිනය" තත් භාණ්ඩයක් වුවද, එය වාදනය කිරීමේදී ඇති වන මිනිස් ඉන්ද්‍රිය සංවේදීතාවය හේතුවෙන් ඕනෑම "වයලීන" වාද්‍ය ශිල්පියෙකුට ඉතාමත් මිහිරි ලෙස ගායන කුසලතාවය පිහිටන බවත් පෙනේ. මෙය උගුර ,කණ, සහ නාසය ආශ්‍රිතව ඇති වන ඉන්ද්‍රිය සංවේදී තාවයක් බව මගේ අදහසයි. මේ පිලිබඳව දීර්ඝ අධ්‍යයනයක් කිරීමට මට දැනුමක් සහ හැකියාවක් නැත.  එහෙත් අපේ බ්ලොග් අවකාශය තුළ බ්ලොග් ලියන "තොටුපළ අයිනේ" ලියන   තොටියා සහ "ලෝකයේ කොනක" බ්ලොග් අඩවිය ලියන "සිඳූ"  වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සහෘද දෙදෙනෙකු බැවින් මේ  විශේෂ  සංගිතමය හැකියාව යමෙකුට පිහිටන ආකාරය පිළිබඳව මෙම ලිපිය දැක පැහැදිළි කිරිමක් කළ හොත් එහි විද්‍යාත්මක සත්‍ය වටහා ගත හැකිය.

ඩී.ඩී.ගුණසේන:

ඩී.ඩී.ගුණසේන අද අපට ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම වයලීන වාද්‍ය ශිල්පියා ය. 1960 දිශයේ අග භාගයේදී වයලින වාද්‍ය ශිල්පියෙකු ලෙස එවකට සිටි ප්‍රවීන සංගීත අධ්‍යක්ෂවරු යටතේ කටයුතු කරමින් සිට 70 දශකය ආරම්භයේ ගුවන්විදුලි වාදක මණ්ඩලයට එක් විය. එදා මෙදා තුර මෙරට ප්‍රමුඛ පෙලේ සංගීත අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ පී.එල්.ඒ සෝමපාල, එම්. කේ. රොක්සාමි, අමරදේව,  කේමදාස, සරත් දසනායක,  ආදීන්ගේ සියළු පටිගත කිරිම් සඳහා දශක පහකට ආසන්න කාලයක් පුරා පළමු පෙළ වයලින් වාදකයෙකු  ලෙස සිය වයලීනයෙන් විචිත්‍ර සංගීතමය නිර්මාණ සඳහා දායකත්වය ලබා දී ඇත. 

ඩී.ඩී.ගුණසේන මේ මොහාත වනක විටත් වයලීන වාද්‍ය ශිල්පියෙක් ලෙස කටයුතු කරන අතරම, ඔහු අහම්බයකින් ගායන ක්ෂේත්‍රයට පිවිසියේය. ඒ 70 දශකයේ කේමදාසයන්ගේ ගීත පටිගත කිරීමකදී ය.  ඒ සඳහා සහභාගී විමට නියමිතව සිටි ගායන ශිල්පියාගේ නො පැමිණීම හේතුවෙන් අහම්බයකින් මෙන් ඔහුට ගීයක් ගැයිමට සිදුවිය. ඔහු එදා ගැයූ ඒ ගිතය අද දක්වාම අතිශය ජනප්‍රිය ගීයක් විය. කේමදාසයන් සංගිතය සැපයූ "සොඳුර මට සමුදෙන්න සමුදෙන්න " ගීයයි. අනතුරුව ගුවන් විදුලි සරළ ගී ගායකයෙකු ලෙස ගීත කීපයක්ම ගායනා කළ අතර, ගුවන් විදුලි "රාග් ධාරා" වැඩ සහනෙහි ශාස්ත්‍රීය ගායකයෙකු සහ වාදකයෙකු ලෙස ද  කටයුතු කළේය. 

ඩී.ඩී. ගුණසේන වයලීනය වයන්නේ ඉතාමත් ශාස්ත්‍රීය වාදන ශිල්පියෙකු ලෙසිනි. එය ඔහුටම ආවේනික වූ සංගිත ශෛලියකි. සිය සංගීත ශාස්ත්‍රයෙහි නිපුණත්වය විදහා දක්වමින් නිරන්තරයෙන් සම්භාව්‍ය  වයලීන  වාද්‍ය ශිල්පියෙකු ලෙස ස්වර රටා මවයි.

ඩී.ඩී. ගුණසේන  සිය දශක පහක සංගීත දිවියෙහි අමරණීය සටහනක් තබමින් මීට වසර පහකට පමණ පෙර "නිර්මාණී' නමින් අමරදේවයන්ගේ මියුරු ගීත 16 ක් රැගත් ගී අනුවාදන සංගිත තැටියක් නිර්මාණය කළ අතර “නිර්මාණී” නමින් වයලීන වාදන ප්‍රසංගයක්ද ජෝන්ද සිල්වා සමරු රඟහලේ දී ඉදිරිපත් කළේය.  ඩී.ඩී.ගුණසේනට  ශාස්ත්‍රීය සංගිතයේ මනා නිපුණත්වයක් ඇත්තා සේම  ඔහු මෙරට සංගිත ක්ෂේත්‍රයේ සියලු පටිගත කිරීම් සඳහා ඕනෑම සංගිත අධ්‍යක්ෂවරයෙකු විසින්  පටිගත කිරිම් සඳහා සිය වාද්‍ය වෘන්දයේ පළමු පෙළෙහි රඳවා ගන්නා වාද්‍ය ශිල්පියෙකි. ඩී.ඩී. ගුණසේන එක චිත්‍රපටයකත්, ටෙලි නාට්‍ය ගනනාවකත් සංගිත අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, නීලා වික්‍රමසිංහ ආදී ගායක ගායිකාවන්ගේ ගී තනු නිර්මාණ සඳහා ද දායක වී තිබේ.

ඩී.ඩී.ගුණසේනගේ "නිර්මාණි" වයලින් ගී අනුවාදන ඇසෙනවිට මට හැ‍ඟෙන්නේ අමරදේවයගේ ගායනය ම ඒ ගී අනුවාදනයන්හි රඳවා ඇති බවයි. ඔහුගේ වයලින හැඬවෙන විට රසික සිත් හි රිදුම් දෙන තැන් නිවා සනහන, පිරිමදින, සේ අතිශය සියුම් ලෙස හැගීමක් ඇති වන්නේ ඔහු මධුරතර වයලීන වාද්‍ය ශිල්පයේ දක්වන නිපුණත්වය නිසාය.

ගී අනුවාදනයක් රස විඳිම පිණිස ගීයක පදමාලාව අවශ්‍ය නොවුනද  ඔබේ පහසුව සඳහාත් අවශ්‍ය නම් කෙනෙකුට මේ ගායන අනුවාදන ඔස්සේ සිය  ගායනය අත් හදා බැලීම පිණිස පහසුවන පරිද්දෙනුත්  ගීයේ පදමාලාව මෙහි සටහන් කරමි.

මින්දද හී සර වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබට ඇහෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන්සඳ.....//

තුරඟකු පිට නැගි නීල වලාකුළු
ගුවන් ගැබින් ඔබ ඇදෙන වෙලේ....//
පිබිදුණු දෑසින් බලා හිඳිමි මම....//
කුසුම් සිනා කැන් හද පුරවා...

මෙතුවක් කල් මුව මඩල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා...//
නෙත් මිණි  පහනින් පහන් කරනු මැන..//
අනාගතේ මං පෙත පාදා....

ගේය පද: මඩවල එස් රත්නායක
සංගිතය සහ ගැයුම : ආචාර්ය පණ්ඩිත් අමරදේව



කළණි පෙරේරා:

1970 දශකයේ මුල් යුගයේ ම වයලීන වාද්‍ය ශිල්පියෙකු ලෙස සංගීත ක්ෂේත්‍රයට පිවිසි කළණි ගුවන් විදුලි සංගීත අංශයට සම්බන්ධ වූයේද වයලින වාද්‍ය ශිල්පියෙකු ලෙසිනි. 70 දශකයේ ප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂවරුන් වූ  පී.එල්.ඒ. සෝමපාල, ආර්.මුත්තුසාමි, එම්. කේ. රොක්සාමි, අමරදේව,  කේමදාස, සරත් දසනායක, සහ  ස්ටැන්ලි පීරිස් යන සංගිත වේදීන් කළණිගේ වයලීනයේ මියුරු රස භාවයන් වඩාත් හොඳින් සහ  මැනවින් හඳුනාගත් සංගීත අධ්‍යක්ෂවරුන් වූ අතර, ඔවුන්ගේ සියලු පටිගත කිරිම් සඳහා කළණි පෙරේරා අත්‍යවශ්‍යම වයලින වදකයෙකු ලෙස පළමු පෙළ රඳවා ගැනිමට කටයුතු කළහ. අනතරුව එළඹි රෝහණ විරසිංහ, එච්.එම්.ජයවර්ධන වැනි ‍සංගීතවේදීන් මෙන් ම නව පරපුරේ සංගීත අධ්‍යක්ෂවරුන්ට ද කළණිගේ  වයලීනය ද ඒ පටිගත කිරීම් සඳහා නැතුවම බැරි අත්‍යවශ්‍ය සාධකයකි. කේමදසයන්ගේ සංධ්වනි සහ ඔපෙරා සඳහා ද කළණි වයලීනයෙන් සිය සංගිත රසෝඝය මුදා හැරියේ ය.

කළණි ගී නො ගැයුව ද, විශිෂ්ඨ සංගිත අධ්‍යක්ෂවරයෙකි. ඔහු සංගීතය හා තනුව නිර්මාණය කළ ගීත අතර එඩ්වඩ් ගැයූ "කැරකෙන රෝදේ", "නෙතු දැහැන් බිඳී", අමරසිරි පීරිස්ගේ, "මලක් වුණේ ඇයි ඔබ මට" , නීලාගේ  "සිලිං බිලිං" සුනිල් එදිරිසිංහගේ  “ඔබ හඬයි නම්,” “කරට වඩින ගෝනි බරින්” ආදී  ගීත කළණි  පෙරේරාගේ සංගිත නිපුණත්වය මනා ලෙස කියා පාන නිර්මාණයෝ වෙති.

 කළණිගේ වයලිනය ඉතා ගැඹුරු මෙන්ම මිහිරිතර හඬ සංකලනයකි. කළණි වයලින වාදනයේදී අනුගමනය කරන්නේ බටහිර සංගීතයේ තිබෙන  සරළ සාශ්ත්‍රීය සංගීත සංකලණයයි. ඇතැම් විටක පෙරදිග සංගීතයේ සරළ සාශ්ත්‍රීය බව ද බටහිර සංගීත ක්‍රමෝපායන්ට හසු කර ගනිමින් ඔහු  ඔහුට ම ආවේණික වූ නිර්මාණාත්මක  වාද්‍ය ශිල්ප ක්‍රමයක් අනුගමනය කරයි. ඒ කළණි බටහිර සංගීතයේ රිද්ම රටාවන්ට බොහෝ සේ ප්‍රිය කරන නිසා විය හැකිය. වයලින වාද්‍ය ශිල්පීන් අටදෙනෙක් , දහ දෙනෙක් වයලීන වාදනය කරමින් කරනු ලබන පටිගත කිරිමක දී පවා කළණිගේ වයලිනය ඒ අතරින් වෙනස් කොට හඳුනා ගත හැකිය.

මේ සදහා මට ද පුංචි අත්දැකීමක් තිබේ. මගේ ජංගම දුරකතනයේ නාදය ලෙස තබා  ඇත්තේ කළණිගේ වයලීන වාදන දෙකකි. එක්තරා දවසක කොළඹ පැවති සංගීත නිර්මාණ දොරට වැඩීමේ උත්සවයකදී  අහම්බෙන් මෙන් මගේ ජංගම දුරකතනය නාද විය. ඒ මෙහොතේ මා අසළ සිටි ප්‍රවීන ගායන ශිල්පියෙකු මෙන්ම සංගිත අධ්‍යක්ෂවරයකු ඊට සවන් දී සිට මගෙන් ඇසුවේ 

" ඔය ඇහුණෙ කළනිගේ වයලින් එක නේ දැයි" මගෙන් ඇසීය.
"ඔව් මේක කළණිගේ වැඩක්, ඔබතුමාට කොහොමද ඒක එයාගෙම කියල හිතුනෙ?
"මේ විදියට වයලීනය ගහන්නෙ කළණි විතරයි." ඔහු හිමිහිට කීවේය.
මට මද සිනහවක් පහළ වුයේ ඒ ශිල්පියා සතුව තිබූ සංගීත දැනිම නිසාය.

සඳ හොරෙන් හොරෙන්
හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා
අසා සිටිනවා... අසා සිටිනවා....

කඳුළු බිඳු ගලා ස‍ඳේ තුරු ලතා පුරා
සියොළඟම සැලී මගේ
නොහිම් සීතලෙන්..
ඔබේ නෙත යදී...ම්...
මහද වියරුවෙන්..

කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ වෙලී
කොපුල් තල ගැටී මගේ
සිතුම් සසලවයි..
නිවාලන්න මා....ම්...
ඔබේ සිසිලසින්...

ගේය පද: කුලරත්න ආරියවංශ
සංගිතය: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ආචාර්ය පණ්ඩිත් අමරදේව

කළණි මේ වන විට වෘත්තීයමය වශයෙන් නිදහස් වයලින වාද්‍ය ශිල්පියෙකු ලෙස කටයුතු කරන අතර  සිය ජීවන මගෙහි අපූරු සටහනක්  සොඳුරු සටහනක් තබමින් මීට වසර හත අටකට පමණ පෙර "කළණි සමග වයලීනය" නමින් ගී අනුවාදන එකතුවක් නිර්මාණය කළේය. එමෙන් ම වයලින ගී අනුවාදන ප්‍රංගයක් ද බණුඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වීය.

සංගීතයේ විවිධ හැඩතල  සහ විවිධ බටහිර සංගීත රටා අනුව නිර්මාණය වී ඇති ජනප්‍රිය ගීත  16 ක වයලින අනුවාදන කළණිගේ මේ සඳහා ඇතුළත් කර ඇත. කළණිගේ මේ වයලින ගී අනුවාද සංගත තැටිය ද අතිවිශිෂ්ඨ නිර්මාණ එකතුවක් වන්නේ ඔහු සතුව ඇති අපූරු වයලින වාදනයේ නිපුණත්වය නිසාය.

අම්මාවරුනේ... අම්මාවරනේ..
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුරලොව සිට අත පා
ඒ කදුළැලි පිසිනා..

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ

සෙනෙහස වැඩිදා සිතද බොළඳ වේ
ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක් වි එහි තනි වු දා
අම්මා පමණයි ළඟ ඉන්නේ..
අම්මා පමණයි ළග ඉන්නේ...

ගේය පද: ධර්මසිරි ගමගේ
සංගිතය: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: විශාරද නන්දා මාලනී

රෝහණ ධර්මකීර්ති:

මම අස්වැන්න  තුන් වැනි සටහන තැබුවේද රෝහන වෙනුවෙනි.රෝහණ ධර්මකීර්ති 1980 දශකයේ මැද භාගයේදි ගුවන් විදුලියේ සංගීත අංශයේ සේවයට එක් වුයේ වයලින වාද්‍ය ශිල්පියෙකු ලෙසිනි. ගණිතය අංශයෙන් සරසවි වරම් ලද ඔහුට, ඔහු මහත් සේ ආදරය  කළ වයලිනය නිසා සති කිපයක් ඇතුළත සරවියේ ජීවිතය එපා විය. සරසවිය අතහැර වයලිනය තුරුලට ගත්තතේ ඔහු සතුව තිබූ සංසාර පුරුද්ට මෙනි.

රෝහණ ලංකාවෙ අද අපට සිටින දක්ෂතම වයලීන වාද්‍ය ශිල්පීන් අතරින් පළමු පෙළ වාද්‍ය ශිල්පියෙකි. ඒ වගේම රෝහණ මධුර ගී තනු නිර්මාණකරුවකු සේම, දක්ෂ සංගීත අධ්‍යක්ෂක වරයෙක් ද වේ. රෝහණගෙ සංගීත නිර්මාණ  අතර එඩ්වඩ් / නතාෂා ගැයූ සුළඟක් වී මං යනවා, දිවුල්ගනේ ගැයූ අන්දර යායේ, කසුන් කල්හාරගෙ මදකට හෝ නුඹ ඇවිත් යන්න, නෙලූ අධිකාරිගේ හන්තානේ කඳු මුදුන වගෙයි ඔබ, ප්‍රියාල් අමරසිංහ ගැයූ නටුවෙන් ගිලිහුණ පින්න මලක්  වැනි මධුර ගී තනු නිර්මාණ රැසක් ඇත .

රෝහණ වාද්‍ය ශිල්පියෙක්  වගේම ගායනයටත් සැබෑ දක්ෂයෙක්, ඉතාම විරල ගණයේ රසවතෙක්, මිතුරන් අතර අසමාන මිතුරෙකි. රෝහණ නියෝජනය කළ "මාරිම්බා" සංගීත කණ්ඩායම මෙරට අනෙක් සංගීත කණ්ඩායම් වලින් වෙස්  වූයේ රෝහණගෙ වයලීනය සංගීත සංදර්ශන වේදිකාවට පැමිණීමත් සමගයි. ප්‍රසංග වේදිකාවෙ රෝහණ රිදම් ගිටාරයේ නිත්‍ය වාද්‍ය ශිල්පියා වුවත්රිදම් ගිටාරයෙන් වගේම වයලීනයෙනුත් ලොකු වෙනසක් කළේය. අති විශාල නරඹන්නන් රැසක් එකතුවී සිටින එළිමහන් සංගීත ප්‍රසංගය විද්‍යුත් සංගීත භාණ්ඩවලින් ගිගුම් දෙන විට රෝහණ තම සුරතෙහි වූ වයලීනය හඬවන්නෙ  නටන්න රැස්ව සිටි රසිකයින් සමෝධානයට පත් කරමිනි. 

පා වෙනා නිල් වලාවේ
නදී තලාවේ රිදී ජලාසේ
ඇගේ සිනාවේ
කැළුම් සැඟවුණාදෝ..
පා වෙනා නිල් වලාවේ

දියඹ සැළෙන අරුණු පෙළක
 අතරමං වෙලා
පාලු නිල් දියේ සැරි සරා..
සොයන රුව ඔබේ
අප්සරාවියේ..
පා වෙනා නිල් වලාවේ

තුරුනු සිතක පැතුම් වැළඳ
ඈත පාවෙලා
සිහින නිම්නයේ සැරි සරා
පතන රුව ඔබේ
අප්සරාවියේ..
පා වෙනා නිල් වලාවේ

ගේය පද: කුලරත්න ආරියවංශ
සංගිතය: සරත් දසනායක
ගැයුම: ආචාර්ය පණ්ඩිත් අමරදේව

රෝහණ වයලිනය වාදනය කිරීමේදි අනුගමනය කරන්නෙ සරල ශාස්ත්‍රීය පෙරදිග සංගීතය, බටහිර සංගීතය, ජනප්‍රිය සංගීතය යන මේ සංගීත ක්‍රම තුන ම සංකලනයෙන් ඔහුටම ආවේණික වන පරිදි හදාගත් වයලින සංගීත ක්‍රමයක්. ඒක ඔහුටම අවේනික වූ ක්‍රමයක් කියා සඳහන් කළොත් එය නිවැරදියි. 

රෝහණ තමන්ගෙ ගමන් මග ආරම්භ කරන්නෙ බාහිර වාද්‍ය ශිල්ලියෙකු ලෙස ගුණදාස කපුගේගේ "කම්පන" ඒක පුද්ගල ගී ප්‍රසංගයේ වයලින වාද්‍ය ශිල්පියා ලෙස සහභාගි වෙමින්. අනතුරුව රෝහණ විරසිංහ, එච්.එම්.ජයවර්ධන,වැනි ‍සංගිතවේදීන්ට මෙන් ම නව පරපුරේ සංගිත අධ්‍යක්ෂවරුන්ට ද රෝහණගේ  වයලීනයද සිය පටිගත කිරීම් සඳහා නැතුවම බැරි අත්‍යවශ්‍ය සාධකයක් වී තිබේ.

ඇතැම් වෙලාවක රෝහණ වයලීයන වයන්නේ හඬන්නට ළංව සිටින පෙම්වතිය සිය පෙම්වතාගේ උරහිස හිස හොවා සිටින විට ඇය සනසන්නාක් මෙනි. ඒ තම උරහිසෙහි හිස හොවා හඬා වැටෙන්නට ආසන්නව සිටි සුරවමිය  සිය පෙම්බරා විසින් ආත්ම ගණනක සංසාර ගත ප්‍රේමය මුදා හරින්නට සූදානම් වන සෙයකි. ඇතැමි විට රෝහණගේ අතැගිලි දහයට සිර වී සිටි වයලීනය නම් වූ ප්‍රියම්බිකාව කෙරෙහි ඔහුගේ නෙත යාමු වී භාවනාවට මෙන් ධ්‍යාන ගතව සිටිමින් වයලිනය වයයි.

රෝහණ ද, සිය ජීවන ගමන් මගෙහි කඩඉමක් සළකුණු කරමින් "රෝහණ සමග සැඳෑවක්" නමින් වයලින වාදන ප්‍රසංග දෙකක් පැවැත් වූ අතර ම වයලින ගී අනුවාදන රැගත්  වයලීන මැවූ හීන” නමින් ගී අනුවාදන තැටියක් ද  නිර්මාණය කළේ ය. ඔහුගේ මේ ජනප්‍රිය හැඩ තල ඔස්සේ නිර්මාණය කළ ගී අනුවාදන තැටියට ද ගීත අනුවාදන  16 ක් ඇතුළත් විය. මේ වයලින ගී අනුවාද සංගත තැටියද අතිවිශිෂ්ඨ නිර්මාණ එකතුවක් වන්නේ ඔහු සතුව ඇති අපූරු වයලින වාදනයේ නිපුණත්වය නිසාය.

තරුද නිදන මහ රෑ
නිදමි මහද නිදි නෑ
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ

පිනි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කඳුළැලි ගලන තරම්
රෑහි හඬනව විට වටහා ගනු මැන
රෑ තුන් යාමේ හඬන හැඬුම්

සුළග නොවේ මේ පාවී එන්නේ
කුටියක සිරවී හෙළන සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනල යුගයක පිපුනු කුසුම්

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය: රෝහණ වීරසිංහ
ඩී.ඩී.ගුණසේන, කළණි පෙරේරා සහ රෝහණ ධර්මකීර්ති සිය වයලීන  ඔස්සේ සිය ආත්මය තුළ වූ සියුම් සංවේදීත්වය අල්පැනිත්තක් පවා බිම වැටෙන විට ඇසන්නට තරම් නිශ්චලත්වයක සිටින රසික සහෘද පර්ශද ඇසෙහි කඳුළක් නංවන්නට මේ වයලීන වැයුම් සමත් ව සිටී. මේ වයලීන නාද ඔස්සේ නින්නාද දෙන්නේ ඔවුන්ගේ හදවත් හි සැගවි ඇති සියුම් සංවේදනාවන් දැයි මට  සිතේ. ඇතැම් විට ක්ෂණිකව මානසික ආතතියෙන් මිදෙන්න හොඳ අත්දුටු ප්‍රතිකර්මයක් බව මට හැඟුණ වාර අන්නතය. ඒ නිසා  මේ වයලීන ත්‍රිත්වය කෙරෙහි  මගේ හිතේ ඇත්තේ අසිමිත වූ ආදරයකි, ඇල්මකි, කිව නොහැකි තරම් සියුම් හද පිරි මදින සංගිත සුයාමයකි. ඩී.ඩී, කළණි, සහ රෝහණ වයලීන සිය පුළුලුරෙහි හොවා හීන සිත්තම් කරන්නේ ඒ අයුරිනි.෴

සටහන:
අද ලියපු පෝස්ට් එක සැහෙන්න දිගයි. වාද්‍ය ශිල්පින් තිදෙනෙක් වූ නිසාත්, තවත් කෙටියෙන් ලියන්න  කෙටි ක්‍රමයක් නොතිබූ නිසාත්, තවත් පෝස්ට් එකකට ගෙන යාමට සිත ඉඩ නොදුන් නිසාත්, මේ දිග ලිපිය එලෙසම මටහන් කළෙමි. ඒ පිළිබඳව කණගාටු වෙමි.


ලියු දේ ගැන හිතේ යම් අදහසක් රැඳුනා නම්, වෙලාවක් ඇත්නම්  එයත් ලියලම යන්න.
Related Posts Plugin for WordPress, Blogger...