එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Wednesday, 11 July 2012

෴ ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේ ෴




ජෝතිපාල නැවත කියවමු දෙවන කොටස


ලෙස්ටර්, අහුබුදු, සුනිල් සාන්ත සහ ජෝතිපාල:

සිංහල සිනමාවේ 1947 – 1956  දශකය තුළ ප්‍රදර්ශනය වූ චිත්‍රපටවල තිබූ ස්වරූපය 1957 - 61  දක්වා වූ පස් අවුරුදු කාලයේ ද දක්නට ලැබුණි. අනුකාරක කොපි චිත්‍රපට බිහිවීමේ ප්‍රවණතාවයෙහි අඩුවක් නොවී ය. ඒසේ වුවද මේ කාලය තුළ සිංහල සිනමාවේ නව ප්‍රවණතා ඇති වෙමින් තිබුණි. එය ලාංකික අනන්‍යතාවය ගැන සිතූ  නිර්මාණශීලින් කිහිප දෙනෙකු සිංහල සිනමාව නව ප්‍රවේශයකට ළංකරන්න වෙර දරමින් සිටි යුගයක් විය. ඒ නිසාම ස්ව තන්ත්‍ර නිර්මාණ කීපයක්ම මේ කාල පරිච්ඡේදය තුළ බිහි විය. ඒ චිත්‍රපට කීපයේ සංගීත  සහ ගීත ස්වතන්ත්‍ර නිර්මාණ ලෙසින් එළිදැක්වීම මෙහිදී සැළකිය යුතු වැදගත් කාරණයකි. එසේ වුවද එච්.ආර්.ජෝතිපාල ගායනයට පිවිසි  පළමු වසර පහ එනම් 1956 – 1961 කාලය තුළ චිත්‍රපට රැසක් බිහිව තිබු අතර, එයින් වැඩිම ප්‍රමාණයක තිබුණේ එවකට ජනප්‍රිය ව තිබූ හින්දි සහ දෙමළ චිත්‍රපටවලින් උපුටාගත් ගී තනු  ඇසුරින් හැදූ අනුකාරක වලිනි.

ජෝතිපාල 1956 දී “සුරතලී” චිත්‍රපටය සඳහා ගැයූ   “සිරියා මෙ සාරා”  ගීයෙන් පසුව ඔහුට චිත්‍රපට පසුබිම් ගායනයේ දොරටු විවර වූයේ ද  තරමක් මන්දගාමී ලෙසින් වුවත්, එකල ඔහුට ගැයීමට ලැබුණ සියළුම ගීත හින්දි සහ දෙමල චිත්‍රපටවල අනුකාරක ගීත වශයෙන් හැඳින්වීම වරදක් නොවේ.

ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවට පිවිසෙන්නේ ද මේ අවදියේ දීම ය.  ඔහු “රේඛාව” චිත්‍රපටය නිර්මාණය කරන්නේ ද 1956 දී ය.  “රේඛාව” චිත්‍රපට කලාවේ අද්වීතිය නිර්මාණය වූයේ එය එතෙක් පැවති දකුණු ඉන්දීය සිනමාවේ ආදිපත්‍යය බිඳ දමා සිනමාව කලාත්මක මාවතකට යොමු කිරිමත් සමග ය. රේඛාවේ සිංහල ගීත 06 ක් ඇතුළත්ව තිබුණි. ඒ චිත්‍රපටයේ ගීතවල තනු නිර්මාණය කර තිබුණේ සුනිල් සාන්තයන් විසිනි.


ලෙස්ටර් රේඛාවෙන් සිනමාවේදි ලැබූ පන්නරය ඔස්සේ ඉන් වසර 04 කට පසු සිය දෙවන  සිනමා කෘතිය නිර්මාණය කිරිමට අඩිතාලම යොදා තිබුණි. “සංදේශය” චිත්‍රපටය ලෙස්ටර් අතින් බිහිවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසට ය. රේඛාවේ ඇතුළත්ව තිබූ ගීතවල රසය නිසා ම ලෙස්ටර් “සංදේශය” චිත්‍රපටයේ ගීතනු නිර්මාණය කිරීමේ කාර්ය පවන්නේ සුනිල් සාන්තයන්ට ය.

සුනිල් සාන්ත
සුනිල් සාන්තයන් දේශීය සංගීතකරුවකු ලෙසින් දිගෙන තිබූ කීර්තියත්, සුනිල් සාන්තයන්ගේ සංගීත භාවිතය සහ හැකියාවද මෙහිදී ඉවහල් වන්නට ඇත. සංදේශය චිත්‍රපටයේ  කතා පුවත් පසුබිම් වූයේ ලංකාව පෘතුගීසින්ගේ යටත් විජිතයක්ව පැවති යුගයක දිග හැරුණු කතා පුවතක් වූ නිසා ය. ඒ නිසා ම  ලෙස්ටර් සංදේශය සදහා එවකට සිටි  දැවැන්තම කලාකරුවන් පිරිස මේ සඳහා දායක කරගෙන තිබුණි.

සංදේශය චිත්‍රපටයේ  ගීත රචනා කිරීමේ කාර්යය පැවරී තිබුණේ අරිසෙන් අහුබුදු ශූරින්ට ය. අහුබුදුවන්ගේ ගී පදමාලා සඳහා තනු නිර්මාණය කිරීමේ කාර්යය සුනිල් සාන්තයන් සතුවූ අතර, ඒ ගීත ගයන ශිල්පින් තෝරාගැනිම ද සුවිශේෂ අවස්ථාවක් විය. ඒ නිසා ම  සුනිල් සාන්තයන්ගේ ගී පෙළ ගැයීමට ධර්මදාස වල්පොල, ලතා ප්‍රනාන්දු (වල්පොල), සිඩ්නි ආටිගල, මොහිදීන් බෙග් වගේම පළමුවරට ජෝතිපාල ද කැඳවා තිබුණි.


ජෝතිපාල ඒවන විට චිත්‍රපට කීපයකම ගීත ගායනා කර තිබුණ නමුත් ඒ සියල්ල පිළිගත හැකි මට්ටමේ හෝ ජනප්‍රිය ගීත නොවීය. එසේ වුවද ජෝතිපාලගේ ගායනයේ ඇති සුවිශේෂ බවත්, ඔහුගේ ගායනයේ තිබෙන ගැඹුරත් එයින් සිනමා කෘතියකට ලබාගත හැකි රුකුලත්, පිලිබඳව සුනිල් සාන්තයන්ට මනා වැටහිමක් සහ අවබෝධයක් තිබෙන්නට ඇති බව සිතිය හැක. ඒ අනුව සිනමා තිරයේ දී පසුබිම් හඬකින් ජෝතිපාලට ඉටු කල හැකි කාර්ය භාරය මනාව වටහාගත් පළමු දේශීය සංගීත තනු රචකයා  සුනිල් සාන්තයන් බව එයින් පැහැදිළි වේ.

සංදේශය චිත්‍රපටයට ගීත 07 ක් ඇතුළත්ව තිබුණි. මෙයින් ජෝතිපාල “පුරුතුගීසිකාරයා” ගීය ගැයීමට තොරාගෙන තිබුණි තවත් ගීත තුනකට  සමූහ ගායනා සඳහා දායක විය. ජෝතිපාල ද ගීතය පටිගත කිරීමේදී තමන්ට ලැබුණු පළමු ස්වතන්ත්‍ර නිර්මාණයට උපරිම අයුරින් දායකත්වය ලබා දෙමින් සිය ගායනයේ විශිෂ්ඨ දායකත්වය ලබා දුන්නේ ය.

පුරුතුගීසිකාරයා ගීතය මුලුමනින් ම නිමවී තිබුණේ  බටහිර සංගීත ශෛලියෙනි. දේශීය සංගීතකරුවකු ලෙස සුනිල් සාන්තයන් තුළ බටහිර සංගීතය පිළිබඳ තිබූ ආකල්පය සහ දැනුම පිලිබඳ ඉඟියක් සැපයීමට ජෝතිපාල ගැයූ පුරුතුගීසිකාරයා ගීතය සමත් විය.

සංදේශයේ පුරුතුගීසිකාරයා ගීතය වගේ ම සෙසු ගීත 06 ද  එකක් නෑර අතිශය ජනප්‍රියත්වයට පත් විය. මෙහි දී සදහන් කළ යුතු වැදගත් කරුණ වන්නේ සුනිල් සාන්තයන් සංදේශය චිත්‍රපටයේ ගී තනු නිර්මාණය කිරී‍ම පමණක් සිදු කිරීමයි.  පටිතගත කිරිම දකුණු ඉන්දියාවේ මදුරාසියේ වාහිනී චිත්‍රාගාරයේ සිදුවූ බැවින් එ දවස එහි චිත්‍රාගාරයේ සංගීත වාද්‍ය ශිල්පීන් කටයුතු භාරව සිටි ආර්. මුත්තුසාමි මාස්ටර් විසින් මේ ගීතවල ආමුඛ සහ අන්තර්වාද්‍ය ඛණ්ඩ වල සංගීත සංයෝජන කටයුතු සිදු කර තිබුණි. ඒ නිසාම මේ ගීතවල ගෞරවයෙහි කොටසක් ඔහුට ද හිමි විය යුතු ය.

පුරුතුගිසිකාරයා ගීතය සම්බන්ධයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් දක්වන ලද අදහස් මතු දැක්වේ.

“පුරුතුගීසිකාරයා රටලවල් අල්ලන්න සූරයා” නැමති ගීය ප්‍රතිවාදනය වන අවස්ථාවේ එහි ඇති උත්ප්‍රාසය ( IRONY ) තීවුරය. එබඳු අර්ථාන්විත ගීත යෝජනයක් සිංහල චිත්‍රපටයක තිබූ ප්‍රථම අවස්ථාවද එය ම වේ.”

“ 57 -61 පස් අවුරුද්ද තුළ විශිෂ්ඨතම ගීත ප්‍රබන්ධකයා බවට පත් වූයේ සංදේශයට ගී ලියූ  අරිසෙන් අහුබුදු ය.  තනු අතර සිරගත නොවීමේ භාග්‍යලත් ඔහු  ඉන් උපරිම ඵල නෙලා ගනුයේ පුරුතුගීසිකාරයා, පුන්සඳ එළියයි, රෑන ගිරා රෑන අඹේ මී බිබී, රැජින මමයි අපේ රාජ්ජේ, කෝ හතුරෝ, කටේ කිරි සුවඳ, යනාදී ගිත නිර්මාණ කරමිනි. එහෙත් සංස්කරණයට පාත්‍ර වීම නිසා අහුබුදුවන්ගේ පුරුතුගීසිකාරයා ගීතයට බලවත් හානියක් සිදුවී ඇත්තේ මෙනයිනි. පටිගත කළ ගිතය හා තැටිගත කළ ගීතයෙහි “ ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේ”  යැයි පදයක් තිබේ. එසේ උගන්වන්ට යන “ඒක” කුමක්දැයි ගීතයෙහි අර්ථ රසය සොයා යන ශ්‍රාවකයා තුළ ප්‍රශ්නයක් පැන නඟී. ඊට හේතුව අහුබුදු කවියා ලියූ මුල් ගීතයෙහි කොටසක් පටිගත කිරීමේදී ඉවත් කර තිබීමයි.ඉවත් කර ඇත්තේ අහුබුදු කවියා ලියූ මතු සඳහන් පද හතරෙන් මුල් පද දෙක ය.

සිස්ටාචාරේ දන්නේ නෑ මේ ගොල්ලෝ
කොස් කාලා බත් කාලා නිදියන කොල්ලෝ
ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේ
කාලතුවක්කුයි බයිනෙත්තුයි හරවන්නේ

ඒ අනුව පරංගීන් යුද්ද කරන්නේ ශිෂ්ටාචාරයක් නැති, කම්මැලි  සිංහල කොල්ලන්ට “ඒක” උගන්වන්න ය. .! එවිට අර්ථය පැහැදිළි ය.”

ඒ කෙසේ වුවද, එකල විචාරකයන්  සංදේශය චිත්‍රපටයට ඉදිරිපත්  කළ විචාර අනුව පෙනෙන්නේ ජෝතිපාල ගැයූ පුරුතුගිසිකාරයා ගීය නිසා චිත්‍රපටයට විශාල ආලෝකයක් ලැබී ඇති බව ය. ජෝතිපාල වැනි ගායකයකුගෙන් සිනමා කෘතියක් සඳහා  ලබාගත හැකි ශක්තිය හා ගායන පෞරුෂයෙහි බලය පිළිබඳ ලෙස්ටර්, අහුබුදු, සහ සුනිල් සාන්තයන්ට පුර්ව නිගමනයකට එළඹීමේ  හැකියාව ඔහු මේ චිත්‍රපටයට දාකය කර ගැනිම තුළම ගැබ් වී ඇත. ඒ නිසා ම ඒ තිදෙනා තුළ තිබූ මනා අවබෝධය සහ විශ්වාසය ජෝතිපාල තුළින් ඉටුවී ඇත.

අවාසනාවකට මේ ලිපිය ලියන මමද මේ සංදේශය චිත්‍රපටය කිසිම දිනෙක දැක නැත. ලෙස්ටර් හැදූ මේ චිත්‍රපටය පිළිබඳව සිනමාස් සමාගම  මීට වසර ගනනාවකට පෙර කියා සිටියේ ලංකාවේ තිබූ සංදේශය චිත්‍රපටයේ පිටපත් සියල්ලම විනාශ වී ඇති බව ය. එහෙත් සිනමාස් සමාගම සහ ලෙස්ටර් මේ සංදේශය චිත්‍රපටයේ එකම එක පිටපත් චෙක් රාජ්‍යයේ ප්‍රාග් අගනුවර පිහිටි ලෝක සිනමා කෞතුකාගාරයක සුරක්ෂිතව තැන්පත් ව තිබෙන බව පසුව  සොයා ගත්තේය. එයින් පිටපතක් ලබා  ගෙන නැවත ලංකාවේ ප්‍රදර්ශනය කිරිමට උත්සාහක්  ගත්ත ද, මගේ මතකයේ හැටියට එය අසාර්ථක වුයේ ප්‍රාග් සිනමා කෞතුකාගාරයේ තැන්පත්ව ඇති චිත්‍රපටවල පිටපත් නිකුත් කිරිමට එම ආයතනය අකමැති වී තිබීමයි. ඒ නිසා අද අපට රස විඳිමට ඉතිරිව ඇත්තේ ඒ ගීත පමණි

පුර්තුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා
හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න වීරයා

කොළඹට ආවේ ඉඳලයි ලිස්බන් නගරේ
අප ආ පාරේ පැතිරෙයි විනෝද මිහිරේ
පැතිරෙයි විනෝද මිහිරේ...

ඒක උගන්වන්න තමයි යුද්ද කරන්නේ
කාලතුවක්කුයි බයිනෙත්තුයි හරවන්නේ
බයිනෙත්තුයි හරවන්නේ
විනෝද මිහිරේ..

අපේ තුවක්කු ඉහලම කාලතුවක්කු
ගහන්න වෙනවා වැදුනොත් ලෝකෙට මුක්කු
වැදුනොත් ලෝකෙට මුක්කු
විනෝද මිහිරේ..

කන්න හපන්නූ බොන්නත් හරිම හපන්නූ
ඊටත් වැඩියෙන් යුද්දෙට හරිම හපන්නූ
යුද්දෙට හරිම හපන්නූ
විනෝද මිහිරේ..

වයින් බෝතලේ යුද්දෙට හරිම ආයුදේ
හරිම ආයුදේ අපගේ පරම විනෝදේ
අපගේ අමර විනෝදේ
අපගේ බමර විනෝදේ..
විනෝද මිහිරේ...

වයින් බෝතලේ ඇති තැන විනෝද මිහිරේ
වැඩියෙන් ගත්තොත් යා හැකි දෙව්ලොව පාරේ
යා හැකි දෙව්ලොව පාරේ
විනෝද මිහිරේ..


ගීත පබැදුම: අරිසෙන් අහුබුදු
තනු නිර්මාණය: සුනිල් සාන්ත
සංගිත සංයෝජනය: ආර්. මුත්තුසාමි
චිත්‍රපටය: සංදේශය
අධ්‍යක්ෂණය: ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
තිරගතවූ වසර 1960

මේ ගීයේ සම්පූර්ණ පදමාලාව එසේ වුවද එහි ඇති දිග වැඩිකම නිසා කැසට්පට සඳහා අවසන් කොටස්  දෙක ඇතුළත්ව නැත.

පුර්තුගීසිකාරයාගීතය මෙතනින් අහන්න



අවුරුදු 50 කට වඩා පැරණි මේ ගීය ජෝතිපාල ගැයූ පළමු ස්වතන්ත්‍ර ගීතය ලෙස ඉතිහාසයට එක් වූ අතර, පළමු වතාවට ගාමිණි ෆොන්සේකා රඟපෑ චිත්‍රපටයකට ජෝතිපාල ගැයූ මුල්ම ගීය ලෙස ද ඉතිහාසයට එක් වේ. එදා  1987 ජූලි මාසෙ 03 වැනිදා ජෝතිපාල සිය ගායන දිවියේ අවසන් සජීවි ගායනය ඉදිරිපත් කළේ කතරගම පැවති ගම්උදාව ප්‍රදර්ශනයේ දී ය. ඒ ප්‍රදර්ශනයේ අවසන් දිනය වූ එදා එවකට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඉදිරියේ දී ය.  ඔහු ඒ වේදිකාවේ අවසාන ගීතය ලෙස ද ගායනා කලේ පුරුතුගීසිකාරයා ගීතයයි.

එදා හෙළයට නම් තැබූ අරිසෙන් අහුබුදුවන් සේම සිංහල සංගීතයයෙන් ‍හෙළය වර්ණවත් කළ සුනිල් සාන්තයන්  ද, සිනමාවේ කිරුළ පලැන්දූ ලෙස්ටර් ද, සිහි ගන්වා සිය දිවියේ සියයට අසූවකටත් වඩා අනුකාරක හින්දි ගී තනු ගැයූ එච්.ආර්.ජෝතිපාල සිය අවසන් සජීවි ගායනය ලෙස හෙළ බස ඔප කළ ඔහුගේ පළමු ස්වතන්ත්‍ර සිංහල ගීතය ගයා එළිමහන් ප්‍රසංග වේදිකාවට සමුදුන් ඔහු ඊට සිවු දිනකට පසුව  දෑස පියාගත්තේ කිසිවෙක් නොසිතන පරිදි දෛවෝපගත සිදුවීමක් ලෙසිනි. 


ආශ්‍රිත ග්‍රන්ථ:

01.                         සිංහල චිත්‍රපට ගීතාවලිය 1957 – 1961  -  මහාචාර්ය සුනිල් ආරියරත්න
02.                         සිංහල චිත්‍රපට ගිත සාහිත්‍යය  - සමන්ත හේරත්
03.                         අතු අගැ දිලි වන මල් - අරිසෙන් අහුබුදු
04.                         ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සංදේශය - සංස්කරණය  රෝලන්ඩ් ඒ ප්‍රනාන්දු


ඔබේ හිතේ ජෝතිපාල පිලිබඳව විචාරාත්මක අදහසක් හෝ මේ ලියූ දේ ගැන විචාරයක් ඇත්නම් ලියන්න. කැමති විදියට ලිවිමට ඔබට නිදහස ඇත.

Related Posts Plugin for WordPress, Blogger...