අද දුරුතු පුර
පසලොස්වක පෝය දවස. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ට විශේෂ සිදුවීම් කිහිපයක් මුල්කරගෙන
වැදගත් වන පෝය දවසක්. බුදු හිමියන් සම්මා
සම්බුද්ධත්වයට පත්වෙලා හරියට ම මාස නවයක් ගත වූ පසු මුල් වරට යක්ෂයන් දමනය කිරීම
සඳහා මහියංගනයට වැඩම කොට සූත්‍ර ආදී දහම් දේශනා කරල යක්ෂයන් දමනය කළේ මේ වගේ අති
උතුම් දුරුතු පුර පසලොස්වක පෝය දිනයක. ඒ හින්දා අස්වැන්න ලියන මාත් කල්පනා කළා මේ
පෝය දවසෙ අපි නිතර අහන අසා ඇති බුදුගුණ ගීයක් වුණත් ඔබ අසා නැති බුදු ගුණ ගීතයක්
ගැන ලියන්න.
සාමාන්‍යයෙන්
ලංකාවෙ සිංහල ගීත සාහිත්‍ය තරමක් අතීතයට විමසා බලන කොට, ඒ කියන්නෙ ලංකාවෙ බුද්ධිමය
දේපල නීතියට හරියට ම ක්‍රියාත්මක වෙන්න කලින් එක ම ගී පදමාලාව ඇතැම් විට එකම ගායන
ශිල්පියා හෝ ශිලිපිණිය දෙවතාවකට ගැයූ අවස්ථා හමුවෙනව. එමෙන් ම එක ම ගීතය ශිල්පීන් කීපදෙනෙකුගේ ම හඬවල්වලින් අහන්න
ලැබෙනව. මතකනේ මම මීට අවුරුදු දෙකකට විතර
පෙර විශාරද ගුණදාස කපුගේ ගායන ශිල්පියාණන්
විසින් “නින්ද නැති රැයේ” ගීතය දෙපාරකට ගී තනු දෙකකට ගැයූ හැටි ලිව්වා.
අන්න ඒ විදියට
එක ම ගීතය දෙතුන් වතාවකට ගායක ගායිකාවන්
විසින් විවිධ ගී තනුවලට ගැයූ අවස්ථා රැසක් ම සිංහල ගීත සාහිත්‍යයේ අපට හමුවෙනව වගේ
ම අහන්නත් ලැබෙනව. හරියට ම එවන් ගීත කීපයක් මතක් කලොත් වැඩි ම වාර ගණනක් විවිධ
සංගී ක්‍රම වලට, විවිධ ගායක ගායිකාවන්
රැසක් ගැයූ ගීතය විදියට “දන්නෝ බුදුන්ගේ” ගීතය අපට හමු වෙනව. ඒ වගේ ම ටී.එම්.
ජයරත්න සහ නීලා වික්‍රමසිංහ ගායන ශිල්පිණියත් තවත් ගායන ශිල්පිණියකත් විසින් ගැයූ “රන්
ටිකිරි සිනා” ගීතය ඒ ශිල්පීන් තනි තනිව
ඒකල වශයෙනුත් යුග ගීයක් විදියටත් ගායනා කරල තියෙනවා. ආචාර්ය අමරදේවයන් මෙන් ම ලතා
වල්පොල ගායන ශිල්පිණිය ගැයූ “සීන හතක් මැද” ගීතයත් එක ම තනුවකට දෙදෙනා ම ඒකල
වශයෙන් ගැයූ අවස්ථාවක්. එතකොට ආචාර්ය
දයාරත්න රණතුංග සහ එච්. ආර්. ජෝතිපාල ගැයූ “කිරි ඉතිරේවා නව වසරේ” ගීතයත් එහෙම
ශිල්පීන් දෙදෙනෙකු ගැයූ අවස්ථාවක්. ඒ වගේම ජෝතිපාල - ඇන්ජලීන් ගුණතිලක සමගත්,
ජෝතිපාල තනිවත් ගැයූ “තනියේ ආවාරේ” ගීතයත් ඒ වගේ ගීයක්. මේ විදියට සිංහල ගීත සාහිත්‍ය
තුළ විශාල ගීත ප්‍රමාණයක් දෙතුන් වතාවකට පටිගත වූ ගීත විදියට අපට අහන්න ලැබෙනව.
ඒ එකම
පදමාලාව වුණත් සමහර වෙලාවට ජනප්‍රිය වෙලා තියෙන්නෙ දෙවන අවස්ථාවේදි ගැයූ ගීතයෙන්.
“නින්ද නැති රැයේ” ගීතය දෙපාරකට ගී තනු දෙකකට කපුගේ ගායානා කළත් ජනප්‍රිය වුණේ ඒකෙ
දෙවන පටිගත කිරීම එහෙමත් නැත්නම් අපි අද අහන ජනප්‍රිය නින්ද නැති රැයේ ගීතය. ඒ වගේ ම පසු
කාලයේදි කපුගේ ගැයූ බොහොමයක් ම ගීත දෙවන වතාවෙදි කළ පටිගත කිරීම් වලින් පසුව තමයි
ජනප්‍රිය ගීත බවට අද දවසේ පත්වෙලා තියෙන්නෙ.
අනෙක් අතට එක ම
ගීතය දෙදෙනෙක් ගැයුවත් ඒ ගීත දෙක ම ජනප්‍රියයි. සමහර විට එකම තනුව නිසා එක සමානව
රසයක් ලැබෙනව. ඒ කොහොම වුණත් ඒ ගීතයක්
ඇහෙන හැම වෙලාවකම අපිට ඒ ඇහන ගීතය මිස ඒ ගීතය නැවත තවත් ගායන ශිල්පියකු හෝ
ශිල්පිණියක ගැයු බවක් හෝ ගයා ඇති බවක් දැනෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි ඒ මොහොතේ ඒ ඇසෙන ගීයට අසීමිතව පෙම් බැඳීමත්,
ඒ ගීතය අප තුළ අසිමිත රසිකත්වයක් ගොඩ නංවන නිසාත් වෙන්න ඇති කියල මට හිතෙන්නෙ.
අන්න ඒ වගේ
ගීයක් තමයි අද අපි අස්වැන්නෙන් අහන මේ ගීතය. මේ මුලින් ම ගීතය ගැයුවෙ ගායන
ශිල්පිණී නීලා වික්‍රමසිංහ, සංගීතය ආචාර්ය
රෝහණ වීරසිංහයන්ගෙ. මේ ගීතයේ තිබෙන විශේෂත්වය තමයි මේක ඉතාමත්ම ජනප්‍රිය වුණේ
ආචාර්ය වික්ටර් රත්නායකයන් හඬින්, එතුමා විසින් අතිමධුර සර්ධා සම්පන්න, නිරාමිස හැඟීමක් ගෙන දෙන
ගී තනුවක් නිර්මාණය කරල එතුමා විසින් ම ගායනා කළ පසුවයි.
ඒ කියන්නෙ දෙවනි වතාවට වික්ටර් රත්නායකයන් විසින් පටිගත කළ ගීතය තමයි අද දවසේ අපි
බොහොම ආදරයෙන් වගේ ම පහන් සිතුවිලි වලින් පුරෝගෙන අහන “බුදු හාමුදුරුවො අපිත්
දකින්නැති” කියන ගීතය.
මේ ගීතය මුලින් ම ගායනා කලේ ශිල්පිණී නීලා වික්‍රමසිංහ.
ඒ 1979 -80 කාලයේ දී විතර. කාලය හරියටම නිශ්චිතව කියන්න අපහසු වුණත් මේ ගැන මම
සොයාගත්ත දත්ත සහ තොරතුරු අනුව 80 දශකයේ මැද භාගය වෙනකොට ආචාර්ය වික්ටර්
රත්නායකයන් මේ ගීතය දෙවන වරට පටිගත කරල ඉතාමත් ජනප්‍රිය වෙලා තිබුණා.
කොහොම වුණත් විජය
රාමනායක - කුලරත්න ආරියවංශ පුරෝගාමීත්යෙන් 1977 දී පමණ ලංකාවෙ කැසට් ගීත කලාව
බිහිවුණා. මුලින්ම කැසට් නිෂ්පාදය වුණේ “තරංගා” ලේබලයෙන්. අන්න ඒ කාලෙ නීලා වික්‍රමසිංහ
ගායන ශිල්පිණියක වශයෙන් ගීත 12 ක් ඇළත්කර කළ ඇයගේ දෙවන නිර්මාණ එකතුව “ගී” නමින් නමින් නිකුත් වූ කැසට් පටය. ඒ ගීත එකතුවට තමයි මේ ගීතය ඇතුළත්
වුණේ. ඒ කාලෙ මේ ගීත එකතුව නිෂ්පාදය කරල තිබුණෙ “ෂැම්රොක්” කැසට් ලේබලයෙන් . ඒ
කැසට් පටයේ මේ ගීතය ජනප්‍රිය නොවුණත් ඇයගේ අනෙක් ගීතවලින් හරි අඩකටත් වැඩිය ජනප්‍රිය
ගීත බවට පත් වුණා.
මේ ගීතය මුලින් ම ගායනා කළේ නිලා වික්‍රමසිංහ බවට ගීත තොරතුරුවල සටහන් වෙන්නෙ නෑ වෙන එකක් තබා පූජ්‍ය
රඹුකන සිද්ධාර්ථ හිමියන් 1985 ලියා ප්‍රකාශයට පත්කළ “සංසාරේ අපි” ගීත කෘතියේ පවා “බුදු
හාමුදුරුවො අපිත් දකින්නැති” ගීතය ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීතවත් කොට ගැයූ
ගීතයක් බවටයි සටහන් වෙන්නෙ. මට හිතෙන හැටියට වික්ටර් රත්නායකයන් ගැයූ ගීතය ජනප්‍රිය
වූවායින් පසුව ඒ ගීතයට යම් අසාධාරණයක් සිදුවේවි යැයි කල්පනා කරල තව දුරටත් නීලා ගැයූ
ගීතය පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ නොකරන්නත් ඇති. එසේම නීලාගේ ගී හඬ තුළ ශාන්ත රසයක් නොදැනෙන නිසාත්, ඇගේ ගී හඬ වඩාත් ගැලපෙන්නේ ජන ගී සම්ප්‍රදායට හෝ එසේත් නැත්නම් බටහිර ගී ආරට බව ඇයටම වැටහුණා විය හැකිය. මේ ගීතය තුළ ඇගේ ගී හෙඬෙහි ශාන්ත රසයක් නොදැනෙන්නේ ඒ නිසා විය හැකි බව මටද සිතේ.
ඒ කොහොම
වුණත් ඒ විදියට නීලා වික්‍රමසිංහ ගැයූ “බුදු හාමුදුරුවො අපිත් දකින්නැති” මුල්
ගීතය විදියට අතීතයට එකතු වුණා. දෙවන වරට පටිගත කළ ගීතය ජනප්‍රිය වුණා.
ඒ විදියට
කල්පනා කරන විට අද වගේ එදාත් දුරුතු පුර පසලොස්වක පෝය දවසක ලංකාවට මුල්වතාවට
බුදුහාමුදුරුවො වැඩම කරන විට අපිත් සංසාරෙ කොහේ කොතැනක හරි ඉන්න ඇති. ඒත් බුදුන්
දැකල නිවන් දකින්නට පිං මදි වෙච්ච නිසා මේ දුරුතු පුර පසලොස්වක පෝය දවසෙත් අපි මේ
සංසාර චක්‍රයේ තාම සැරිසරනවා. ඒ හින්දා වෙනසකටත් එක්ක නීලා වික්‍රමසිංහ ගැයූ මෙන්න
මේ ඔබ අසා නැති “බුදු හාමුදුරුවො අපිත් දකින්නැති” ගීතය අහන්න කියල ආරාධනය කරනවා.෴
බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින්මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වඳින්නට ඒ කාලේ
නිවන් දකින්නට පින්මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
අපිත් එක්ක හිටි අපේම යාලුවො
නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පිං පුරවමු අපි සංසාරේ.
ගීපද මාලාව: පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගැයුම: නීලා වික්‍රමසිංහ
ගීතය මෙතනින් අහන්න
ගීතය මෙතනින් අහන්න
