එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Monday, 4 June 2012

෴ ගහවැල යට ඉඳලා ලෝකය දිනූ අපි....? ෴




සොබා දහමට පෙම් බැන්ද කලාකරුවෝ..

මහ රජ ඔබ මේ වනයෙහි අයිති කරු නොව භාරකරුවාය. මේ වන අරණෙහි නිදැල්ලේ සරන සතා සිවුපාවුන්ට මෙන්ම අහසේ පියා සරන විහඟුන්ද  එහි උරුමකරුවෝය” මිහිඳු මහ රහතන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවස

ජූනි මාසෙ  පස්  වැනි දා ලෝක පරිසර දිනයයි.  මිහිඳු මහ රහතන් වහන්සේ විසින්   ක්‍රිස්තු පූර්ව තුන්වන සිය වසේදි  පොසොන් පොහෝ දිනෙක මිහින්තලා අරණෙහි දේවානම්පියතිස්ස රජු සහ පිරිවර අරභයා ඉහත දේශනය කරන ලදි. ඒ වගේම රතු ඉන්දියානු නායක සියැටල් විසින්ද, මීට සමාන වූ ප්‍රකාශයක් සහිත ලිපියක් ඇමරිකානු ජනාධිපති වෙත යොමු කළේ  ගෙවුණු සියවසේ දීය. 

පොසොන් සමයත්, ජූනි පස්වැනි දිනට යෙදෙන ලෝක පරිසර දිනයත් නිමිති කරගෙන අද “අස්වැන්න” සටහන තබන්නේ සොබා දහම   වෙනුවෙන් අපේ කලාකරුවන් දැක් වූ සංවේදී කම පිළිබඳවයි. ඇතැම් විට අද මා ඉදිරිපත් කරන මේ ගීත ත්‍රිත්වය කිසියම් දිනෙක  ඒ ගීත ගැයුනේ මේ අපූරුව සොබාදහම වෙනුවෙන්ම ද කියලා ඔබට ම නැවත හිතන්නට හැකි වේවි. ඔව් ඇත්තටම මේ ගී ගැයුනේ ඒ සංවේදී අදහසින්.

අපේ දින දසුනේ දින තුන්සිය හැට පහෙන් වැඩිම දින ගනනක් වෙන්වෙලා තියෙන්නේ මේ මිහිතලයේ ආරක්ෂාව වෙනුවෙනි. සෑම වසරකම මිහිතලය වෙනුවෙන් වෙන් ව ඇති ඒ දින මෙසේ ය. පෙබරවාරි 02 ලෝක තෙත්බිම් දිනය, මාර්තු 21 ලෝක වනාන්තර දිනය, මාර්තු 22 ලෝක ජල දිනය, අප්‍රේල් 22 ලෝක මිහිතල දිනය, මැයි 22 ජෛව විවිධත්ව දිනය. මැයි 23 ලෝක කැස්බෑ දිනය, ජූනි 05  ලෝක පරිසර දිනය, ජූනි 08 ලෝක සාගර දිනය, ජූලි 26 ලෝක කඩොලාන දිනය වශයෙන් වසරේ වැඩිම දින ගනනක් වෙන් වෙන්නෙ මේ මිහිතලයේ ආරක්ෂාවට ය. ඒ ඔබට මට පමණක නොව මේ මිහිතලයේ වෙසෙන සියලු සතා සීපාවුන් වෙනුවෙනි.

 ඇතැම් වෙලාවට මේ දින දිනවලට පමණක් සීමා වෙලා තියෙනවා. ඒ නිසාම මේ සොබාදහම රැක ගැනීමේ පණිවුඩය ජනතාව අතරට ගෙන යා හැකි හොඳම මාධ්‍ය ගීතය විදිහටයි මම දකින්නෙ.  ගීතය මගින් කළ හැකි  ඒ සමාජ මෙහෙවර අනෙක් කිසිඳු මාධ්‍යයකට වඩා ප්‍රභලයි. එහෙම කිව්වාම මට මතක් වෙන්නෙ පරාක්‍රම කොඩිතුවක්කු කවියාගෙ “පොඩි මල්ලියෙ” කාව්‍ය සංග්‍රහයේ තිබුණු “පොඩි මල්ලියෙ” කවි පන්තිය. එහි

“ සීතල රැලි අත් සීයෙන්
උඹ වටකර තුරුලු වේවි
දිය සුළියේ ඔඩොක්කුවේ
නැළවී ඉඳ කිමිදී ඉඳ
ගොඩට වරෙන්....”

පරාක්‍රම ඒ කවි පන්තියේ අපූර්ව වූ සොබාදහම  පොඩි මල්ලිට ළං කරනව  විතරක් නෙවෙයි ඒ දායාදය විඳින්නත් පොඩි මල්ලිට කියා දෙනව. ඒත් ඔහු පොඩි මල්ලි නිමිති කරගෙන අන්තිමේදි මෙන්න මේ විදියට අහනව හැබැයි ඒ අපෙන්.

“මලේ ම‍ලේ නින්දට පෙර
ඩිංගක් මේ ගැන හිතපන්
මේ සේරම තෑගි ලැබුණෙ
ලොවෙන් නුඹට
මොනවද මල්ලියෙ දෙන්නේ
නුඹෙන් ලොවට..”

පරාක්‍රම කවියෙන් සොබා දහමට දක්වන ආදරය, කරුණාව, පොඩි මල්ලි මගින් ඉදිරිපත් කරන්නෙ මුළු මහත් සමාජයට. ඒත් කවිය කියවලා සර විඳින්නෙ සීමිත පිරිසක්. ඒ නිසා කවියාටත් කවියටත් යා හැකි දුර ඉතාමත් සිමිතයි. කියල හිතුනෙ මිල්ටන් මල්ලවාරච්චි ගැයූ “පැණි කුරුල්නේ” ගීය ඇහුවාමයි.

 මිල්ටන් පැණි කුරුල්ලනේ ගීය ගයන්නේ 70  දශකයේ ආරම්භයේ දී ම ය. මේ ගීය ලියූ ලූෂන් ඉතාමක් අකාරුණික ලෙස සොබාදහම මිනිසුන් අතින් විනාශ වන හැටි ඔහුටම ආවේණික වූ දෘෂ්ඨි කෝණයකින් දකියි. ගීත රචකයා අපට දකින්නැයි ඉල්ලා සිටින්නේ විනාශයට ඇද දමනා ඒ සොබා දහමේ අපූර්ව වූ චමත් කාරයයි.  එහෙත් මිල්ටන්ගේ ප්‍රේමනීය ගායනය හේතුවෙන් ඔහුගේ ගායනය ඉස්මතුව ගීතය ජනප්‍රිය වූවත් ගීතයේ අරුත  යටපත් කරමින් මිල්ටන්ගේ හඬ පමණක් අපේ දෙසවනට කිඳා බසී. මිල්ටන්ගේ බොහෝ  ගී වල සාහිත්‍යමය ගුණයට සැඟවෙන්නේ  ඒ ආකාරයෙනි.

පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ
ගිය තැනකින් වරෙල්ලා පුංචි පුතා ඇවිල්ලා
කැලේ පනින මං වගේම බාල සන්දියේ
දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ

අඹ දඹ නාරං ගස් යට කජු පුහුලන් මොර ගස් යට
අපි වගේම ලුණු පනින්න කැටපොල විදලා
පුංචි පුතා එන්න කළින් උන් හිටි තැන් නැති වුණ දා
ගහට ගහක් මුණගැහෙන්න බැද්ද ගිහිල්ලා

ඇලේ වතුර නිල් කැටේට දණ්ඩි කොරලි යන වටේට
කිමිදි කිමිදි පීනන්නට දියබුං ගහලා
පුංචි පුතා එන්න කලින් කළු දිය දහරා හැලිලා
ඇලට පාර අමතක වී මංමුලා වෙලා


ගේය පද: ලූෂන් බුලත්සිංහල
තනුව සහ සංගීතය: සරත් දසනනායක
ගැයුම: මිල්ටන් මල්ලවාරච්චි



ලූෂන් බුලත් සිංහල
බුදුන් දවස ගහට කොලට මහත් ගෞරවයක් දැකි වූ යුගයකි. සිදුහත් කුමරුගේ උපත සිදු වූයේත්, බුදුන් වහන්සේ සම්බුද්ධත්වට පත් වූයේත්, උන්වහන්සේ පිරිනිවනට වැඩම වූයේත්, හරිත වන උයන් තුළ දීය. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව අනිමිස ලෝචන පූජාව පවත්වන්නේ ද උන්වහන්සේට පිහිට වූ බෝ රුකටය. එසේ නම් මේ තුරු ලතා වෘක්ෂ මිහිතලයටම ආරක්ෂාව සපයන ඒවාම වේ. බුදුන් වහන්සේ   එ දවස දම් දෙසීම සඳහා වනාන්තර, වන ලැහැබ්, පිහිට කොට ගත් බවත්, ගංගා,  මහී, අචිරවතී, නර්මදා ආදී නදී තීරයන්හි සංචාරය කරමින් සමවත් සුවෙන් විසූ බව බොහෝ සූත්‍ර  දේශනාවන්හි සඳහන් වේ. එ දවස එසේ වී නම් අද දවසේ අප සහ පරිසරය අතර කොතරම් දුරස් වීමක් සිදුවී ඇත්දැයි අප විසින් ම නුවනින් විමසා බලා දැන ගත යුතුය.

රත්න ශ්‍රී විජේසිංහ කවියාද සොබා දහමට ගහට කොළට මහත් සේ ආදරය කළ කවියෙකි. ඔහුගේ බොහෝ කවි සහ ගීත රචනාවන් නිම වෙන්නේද පරිසරය සහ සොබාදහම ඇසුරින්ම ය.  රත්න ශ්‍රී ගේ “සුබ උදෑසන” පද්‍ය සංග්‍රහයේ “සුබ උදෑසන” කාව්‍යයෙන් මිනිසාගේ අකාරුණික කම් හේතුවෙන් පරිසරයේ  සිදුව ඇති  වෙනස  මෙසේ දකී.

“ඇවිලෙයි ගිනි කබල කඳු අතර ආකහේ
දූවිලි සුළඟ ගිනි පිඹ දුවයි වන පෙතේ
උල්පත් සොය සොයා ළැම සිඳුණු ගං තෙරේ
කළයත් රැගෙන මැළවී හිඳින නංගියේ

පිච්ච මල් මැරී ගිය කෲර සාගතේ
කන බොන දේත් උදුරා ගත්ත සාගතේ
පිපාසව හැඬු රැය නිහඬ වී ගියේ
උදෑසනද මේ නුඹෙ මිහිරී ජීවිතේ..”


රත්න ශ්‍රී සුබ උදෑසන පද්‍යයෙන් කියූ ඒ අදහස පසු කාලයේ කුමාරදාස සපුතන්ත්‍රී විසින් ගිතයකට නැගුවේ ය. සපුතන්ත්‍රී ද පරිසරයට මහත් සේ ආදරය කළ ගීත රචකයෙකි. ඔහු‍ ලියූ  සුනිල් එදිරිසිංහ ගැයූ “ඉස්සර මං ගිය පාසල ඇරිලා” එවැනි සොබාදහම ගැන ගැයුණු තවත් අපූරුව වූ ගීයකි. එහෙත් ඊට හාත් පස වෙනස් වූ ගීතයක් සපුතන්ත්‍රී පසු කාලයේ මිනිසා පරිසරයට දක්වන අකාරුණික කම ගැන ලිව්වේය. එය ද ගැයුවේ ශිල්පී  සුනිල් එදිරිසිංහ විසින්ම ය. ගීතය ගයා බොහෝ කාලයක් ගත වුවද කිසිඳු මාධ්‍ය ආයතනයකින් මේ ගීය ඇසුණාදැයි මට මතක නැත. මේ මියුරු ගීය ජනතාව අතරට නො ගියේ  ගීයේ රස නුසුන් භාවයක් නිසා නො ව මෙරට මාධ්‍ය ආයතනවල ඇති රසවින්දනයේ හීන කම නිසා ය. සුනිල්ගේ මේ ගීතය මිහිතලයේ ශෝක ගීය වශයෙන් හැඳින් වුවද කිසිඳු දොසක් නැත. මේ ගීය සොබා දහම තරමට ම වැදගත් වන්නේ ඒ නිසා ය.

ගගන සරනා සියොතුනේ
සොයා තුරු සෙවනක්
බලන් මිනිසුන් වැලපෙනා බිම
පතා දිය කඳුළක්
ගගන සරනා මිනිසුනේ
පතා සුව දසුනක්
බලන් සියොතුන් වැලපෙනා බිම
සොයා තුරු සෙවනක්

ගතින් සියොළඟ වසා සිහිලස දී
නිවා කුස ගිනි නැවුම් රස පළ දී
මවු ගුණෙන් දරු සෙනෙහසින් පේවී
මිනිසුනේ ඒ වන අරණ
ඔබ නමින් දිවි පිදුවේ

නැගෙයි කුස ගිනි පුරන් වූ කුඹුරින්
ගලයි ලෝ දිය බිඳුණු වැව් බැම්මෙන්
හඬන්නටවත් තෙතක් නැති දෑසින්
මිනිසුනේ මේ බලන් මිහිතල
හැර ගියා දෙවියන්

ගේය පද: කුමාරදාස සපුතන්ත්‍රී
තනුව සහ සංගීතය: රෝහණ වීරසිංහ
ගැයුම: සුනිල් එදිරිසිංහ



නූතන කවීන් අතර  නන්දන වීරසිංහ කවියාද සොබා දහමට මහත් සේ ඇලුම් කරන, ආදරය කරන, පරිසරය සහ සොබාදහම සමග නිරන්තයෙන් ගැවසීගත් කවියෙකි. ඔහුගේ සියළුම කාව්‍ය කෘතීන් ලියැවෙන්නේ මේ අපුර්වතම සොබා දහමේ ඇසුරේ සිටිමින් ය. ඇතැම් විට ඔහුගේ කවිත්වයේ සිමාව ඉක්මවා ඒ සොබාදහම විඳින දාර්ශනික‍යෙකු අප අතර රඳවයි. නන්දන වීරසිංහ සිය “ගිරග” කාව්‍ය සංග්‍රහයේ සංවර්ධනයේ මුවාවෙන් දැවැන්ත කඳුවැටි මුඩු  හිස් බිම් කරනමින් සිදුවන පරිසර හානිය “ගිරග” පද්‍යයෙන් මෙසේ දකී.

“පෙර අපි මේ ගිරග නැග
හොර දෙරණ, රතටිය
මිල්ල හැඩවක ගොඩපර
ගන තුරු වියන  යට අඳුරෙහි
ඒ මේ අතට දුවමින
පහල මිටි කඳු අතරෙහි
අපේ ගම් බිම් පෙනෙනා
ගම් බිම් ඇත්දැයි සෙවුවෙමු..”

මුත්තයියා මුරලිදරන්  අපි කවුරුත් ප්‍රියකරන ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒත් ඔහු  ගිය වසරේ අමරිකානු සමාගමක් සමග එක්ව මහවැලි ගං ඉවුරේ පොලොන්නරුවෙ සෝමාවති වන රක්ෂිතයෙන් අක්කර පන්දහසකට අසන්න ප්‍රමාණයක් මිලට ගෙන කෘෂි ව්‍යාපාරයක් ඇරඹුවේ ඒ වනයෙහි නිදැල්ලේ සිටි සතා සීපාවට උන්හිටි තැන් අහිමි කරමිනි. මෙය වැලැක්වීමට මෙරට පරිසරවේදීන් විසින් දැඩි විරෝධතාවයක් එල්ල කළ ද , මේ වන විට  එය නො තකා ඔහු සහ ඔහු නියෝජනය කරන  සමාගම  ඒ පෝෂිත වන බිම මුඩු බිමක් කරමින් සිටී.  

එදා බහු ජාතික සමාගම් විසින් ඌව වෙල්ලස්ස වන බිම් පැහැර ගන්නා විට ඊට එරෙහිව කපුගේ ඒ ගොවි ජනතාව සමග බහුජාතික සමාගම්වලට එරෙහිව දැවැන්ත අරගලයක් කළේය. එහෙත් මුරලිදරන් නියෝජනය කරන බහුජාතික සමාගම විසින් සෝමාවතී වන රක්ෂිතය  පැහැර ගන්නා විට ඊට එරෙහි වීමට හෝ අරගල කිරීමට  කපුගේ අද නැත. එදා උතුරු කොනේ නඩරාජලා වෙනුවෙන් ගී ගැයූ ඔහු අද හිටියා නම්  මුරලිදරන්ගේ මේ ක්‍රියා කලාපයට එරෙහිව හඬ අවදි කරන්නේ ජාතිවාදියෙකු ලෙසන් නොව සොබා දහමට ආදරය කරන මිනිසෙකු විසින් කළ යුතු වූ ඒ වන සංහාරයට එරෙහිව හඬ නැගීමක් ලෙසිනි. 

කපුගේ අද නැතත් ඒ වෙනුවට ඔහු අසූව දශකයේ මැද භාගයේ අපූරු නිර්මාණයක් රටට දායාද කළේය. මහින්ද දිසානායක ලියූ මේ ගීය සංගීතවත් කළේ ගුණදාස කපුගේ විසිනි. ගීතය ගැයුවේ රජරට සේවයෙන් බිහිවූ ගායන ශිල්පියෙකි. ඔහු නමින් නිශාන්ත මුණසිංහ ය. නිශාන්ත රජරටට පමණක් සීමා වූ ගායන ශිල්පියෙක්  වූ අතර අසූව දශකයේ රජරට සේවයේ නවරැල්ල සංගීත වැඩසටහන මගින් කපුගේ විසින් සොයාගත් ගායන ශිල්පියෙකි. කපුගේ ජීවත්ව සිටියදී එක්තරා දවසක ඔහු මට අසන්නට දුන් ඒ අපූර්ව වූ ගීත කිපයක් අතර තිබී මට හමුවූ මේ ගීයේ පිටපතක් ලබා ගත් අතර  මේ ගීය ගැයූ ගායන ශිල්පියා ඒ යුගයේම සිය ව්‍යාපාර කටයතු වෙනුවෙන් සංගීතය අතහැර දැමීය.   මේ ඒ ඔහුගේ ගීයයි.

මහින්ද දිසානායක
*පතහෙන් දිය බීලා ගල් කුළු පැලූ අපි
අද ගලක් පළා දිය බිඳක් සොයා යමූ
පවසින් පීඩිතවී..

ගහ වැල යට ඉඳලා ලෝකය දිනූ අපි
අද ලොවක් පුරා ගහ වැලක් සොයා යමූ
නියඟින් ගිනියම් වී..

කුරුලු ගැයුම් අහලා නින්දෙන් නැගුණ අපි
අද ගැයුම් පතා නිදි දැහැන් සොයා යමු
නිහඬ බවට බියවී..

ගේය පද: මහින්ද දිසානායක
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: නිශාන්ත මුණසිංහ



මෙම ගීතයේ *පතහ යනුවෙන් රජරට වැසියන් හඳුන්වන්නේ  ගල්තලාවක් මත ස්වභාවයෙන් පිහිටි පොකුණකි. පතහ ගල්තලාවක් මත පිහිටිය ද  දැඩි නියං කලෙක වුවද  එහි ජලය නොසි‍ඳේ. එවන් කාලයක මිනිසුන් මෙන්ම වනයෙහි සරන සතා සීපාවුන් සහ  විහඟුන්ද  බීමට ජලය සපයා ගන්නේ මේ පොකුණෙනි. එසේ හෙයින් එදා ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසෙහි මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මිහින්තලා අරණෙහි දේවානම්පියතිස්ස රජු සහ පිරිවරට දේශනා කළ මේ  දහම් කරුණද  නැවත සිහිපත් කරමි.

“ මහ රජ ඔබ මේ වනයෙහි අයිති කරු නොව භාරකරුවාය. මේ වන අරණෙහි නිදැල්ලේ සරන සතා සිවුපාවුන්ට මෙන්ම අහසේ පියා සරන විහඟුන්ද  එහි උරුමකරුවෝය”.෴


‍ඔබේ විචාරාත්මක අදහසත් මට වටී...හැකිනම්, කාලයක් ඇත්නම් ලියලම යන්න


Related Posts Plugin for WordPress, Blogger...