එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Tuesday 27 December 2011

2011 ඔබ ‍නො දුටු ඇසින්


මේ අවුරුද්ද ගෙවී යාමට තව ඉතිරිව ඇත්තේ දින කිපයක් පමණි. එහෙයින් ගෙවුණු 2011 වසර පිළිබඳව නැවත ආපසු හැරී බැලිමට  සිතුනි.  ගෙවී ගිය වසරට අදාල ව මෙහි ඇතුළත් කර ඇත්තේ මා කැමති විෂය ක්ෂේත්‍ර පිළිබඳ ව පමණි. ඇතැම් ක්ෂේත්‍ර බැහැර කළේ එය මගේ ලෝකයට අදාළ නො වූ බැවිනි.
සම්බුද්ධත්ව ජයන්තිය 2600
2011වර්ෂය ආරම්භ වූයේ සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පුළුල් ප්‍රචාරයක් ලබා ගනිමිනි. මෙය රජයේ විද්‍යුත්  මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය නාලිකා ද විශාල ව්‍යාපාරයක් කර ගෙන එය ජනතාවටම නැවත විකුණන ලදි. ලංකාවේ විද්‍යුත් මාධ්‍ය නාලිකා ගණන  50 කට ආසන්නව තිබේ. එයින් සිංහල මාධ්‍ය නාලිකා තිස් ගණනකි.  මෙකී  සියලු නාලිකාවෝ මේ වසර තුළ ජනතාව දන්නා මෙන්ම නොදන්නා පිරිත් සහ  සූත්‍ර දේශනාද, ඒවායේ ගුණ දොස්ද තුන් තිස් පැයේ  මෙනෙහි කරමින් ලැබෙන ගුණ දොස් කියා දීමට තරම් කාරුණික වූවා පමණක් නොව සුමධුර ධර්ම දේශනාද දවසට දෙතුන් වරක් ප්‍රචාරය කර ශ්‍රාවකයාට පොවන්නටත් ජීර්ණය කරන්නටත් ඉඩ සැළසූහ. කවි බණ, විරිදු බණ, යුගාසන බණ,  මේ ආදී බණ දහම් අපේ බුදුරජාණන් වහන්සේටත් වඩා හොඳින් කියා දීමට තරම් එම නාලිකවෝ කාරුණික වූහ. මේ තරම් බණ දහම් ඇසුණ හෙයින් වසර අවසන් වීමට පෙර රටේ බණ ඇසූ  ජනතාව බුදුන් වහන්සේ වදාළ සියළුම මාර්ග ඵලයන්හි පිහිටා නිවන් මග පසක් කර ගන්නා බව මට හැඟුණි. එහෙත් ඒවා “බණ”  පමණක් වී ඇති බව දැන් දැන් වැටහේ. ඒ මතු දැක්වෙන කරුණු කාරණා හේතුවෙනි.
ඉහළ ගිය ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව
" ද මිරර් " වෙබ් අඩවිය වාර්තා කර තිබෙන අන්දමට මේ වසරේ මාස 08 ක් තුළ මෙරට තුළ සිදුවී ඇති ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව පොලිස් පොතේ ලියැවී ඇති වාර්තා අනුව 1152 කි. ඒ මාස 08 කු තුලය. ඉතිරි මාස 04 ද ගණන් බැලුව හොත් එය 1500 කට ආසන්න ගණනකි. පොලිස් පොතේ ලේඛණ ගත නො වූ සංඛ්‍යාව  පිළිබඳව සළකා බලන කල්හි මේ සංඛ්‍යා සහ දත්ත ‍මීට වඩා ඉතාමත් වැඩි අගයක් ගන්නා බව එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ. එය එසේ සිදුවී ඇත්තේ 2600 ශ්‍රී  සම්බුද්ධත්ව ජයන්තිය ඉහළින් සැමරූ මේ රට තුළදී ය. ඒ විද්‍යුත් නාලිකා තිස් ගණනකින් දින 365 පුරා බණ සහ පිරිත් ඇසූ මේ රටේය.
ඉහළ ගිය ඝාතන සංඛ්‍යාව
මේ වසර තුළ මෙරට මිනී මැරුම් විශාල ප්‍රමාණයක් වාර්තා ගත වූ සිද්ධීන් අතර විය. ඒ අතර පවුල් පිටින් ඝාතනය වූ අවස්ථා සතියකට එකක් හෝ  දෙකක්වත්  වාර්තා විය. ඒ සියලු ඝාතන කඩුවෙන්, කිනිස්සෙන්, කැත්තෙන්, පිහියෙන් පටන්ගෙන ස්වයං ක්‍රීය තුවක්කුවෙන්, බෝම්බයෙන් කෙළවර වූ ඒවාය. එයින්  සදාකාලිකව නින්දදට වන් ඒ මිනිසුන්ද ජීවත් වූයේද මේ ධර්මද්වීපයෙහි ය. මේ හා සමානවම සොරකම් කිරීම්, මංකොල්ල කෑම්. පැහැරගෙන යාම්, අතුරුදහන් වීම් ද වාර්තා වී තිබේ.
කසාදය කෙටිවීම හෙවත් දික්කසාදය
ලංකාව තුළ සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අලුත්ම “ෆැන්ටසිය” මෙයයි. පෙර වසර කීපය හා සාපේක්ෂව සසඳන විට මෙරට දික්කසාද වීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් තිබේ. වාර්ෂිකව විවාහ වන ප්‍රමාණයට සාපේක්ෂව දික්කසාද වන ප්‍රමාණයද  ඉහළ ගොස් ඇත.  විවාහ වීමේ නීත්‍යානු කූල වයස වසං කර විවාහ වන අය හැරුණ විට වයස අවුරුදු 18ට වැඩි සහ වයස අවුරුදු 70 ඉක්ම වූවන්ද සිය දික්කසාදය ඉල්ලා අධිකරණයේ පිහිට පැතූ අවස්ථා බහුලව තිබුණි.
හැන්දෑවට නිවසේ සාලයේ පුංචි තිරය ඔස්සේ දිග හැරෙන “මෙගා”වල සිට ප්‍රේක්ෂකයාට “බබා” පෙන්වූ පබාලා මෙන්ම මුතු කිරිල්ලියෝද සති අන්ත පත්තර පිටු පුරා සිය විවාහ මංගල උත්සවවල පින්තුර රටටම පෙන්වා මාස හය හතකින් ඒ පුවත්පත් වලින්ම නැවත රටේම ජනතාවට පවුල් ජීවිතේ අවුල් බව කියා දෙති. වෙන් වූ බව කියති. ඒ නිසාම මෙය දැන් අලුත්ම “ෆැන්ටසියක්” බවට පත්ව තිබේ.
අන්තර් ජාලයෙන් බෙදා හැරෙන අසැබි දසුන්
අන්තර් ජාලය, සහ  ජංගම දුරකතන පහසුකමද, ගම් නියම් ගම් දනව් පුරා පැතිර ගොස් තිබීම සංවර්ධනයේ එක් හිතකර ලක්ෂණයකි.පසුගිය වසර පුරා අන්තර්ජාලය හරහා මෙරට තරුණියන්ගේ අසැබි දසුන් අති විශාල ප්‍රමාණයක් ලෝකයට මුදා හැර තිබුණි. ඒවාට සම්බන්ධ වූවන් කිසිඳු හිරිකිතයකින් තොරව මෙම අවස්ථා අන්තර්ජාලයට මුදාහැර තිබූ බව නම් ඉතා පැහැදිළිය. ආණ්ඩුව මේවා මෙරට දී  නැරඹීමට තිබු අවස්ථා වැට කඩුලු බැඳ අවුරා තිබුණ ද, වෙනත් රටක සිට ඕනෑම කෙනෙකුට  නැරඹීමේ අවස්ථාවට ඉඩකඩ සළසා තිබුණි.
මේ සඳහා ගොදුරු වී තිබුණේ ලංකාවේ අපේම සිංහල විවාහක මෙන්ම අවිවාහක සොහොයුරියන්ය. විවාහය දික්කසාදයකින් කෙළවර වීමට මේවාද එක්තරා ප්‍රමාණයකට බලපා ඇත. කෙසේ වුවත් මේ අසැබි දසුන්වල ඇතැම් අවසානයන් කෙළවර වූයේ අධිකරණයේ පිහිට පැතීමෙනි. ඒ වන විට සිදුවන්නට ඕනෑ සියලු දේ සිදුවී හමාරවී තිබේ.
කලාව සහ සාහිත්‍යය 
ගෙවුණු වසර සිංහළ සාහිත්‍යයේ ගුණාත්මක වර්ධනයක් පෙන් වු වසරක් ම විය. වියත් සිංහල බසින් පෝෂණය වූ නවකතා, කෙටි කතා, පරිවර්තන  මෙන්ම කවි පොත් ද බහුල වශයෙන් එලිදැක් වූ වසරක් විය. එය පාඨක රුචිය ඉහළ නැංවීමට ප්‍රබල හේතුවක් වී ඇති බව පෙනේ. නැවත පොත පත කියවීමට පාඨකයන් පෙළඹීම පැසසුම් කළ යුතු කරුණකි.
සිනමාව
 සිනමා ක්ෂේත්‍රයේ ප්‍රේක්ෂකයාට අලුතින් යමක් හිතන්න හැකි වන අයුරින් චිත්‍රපට කිසිවක් බිහි නොවූ තරම්ය. අශෝක හඳගමගේ “විදූ” හැරෙන්නට කිසිඳු කලාත්මක ස්වරූපයේ චිත්‍රපටයක් බිහිවී නැති ගාන ය. ‍ඓතිහාසික කතා,  යුද සමය ඇසුරු කර ගත්  චිත්‍රපට මෙන්ම විනෝදාත්මක සහ කොමඩි චිත්‍රපට වලින් සිදු වූයේ ප්‍රේක්ෂකයින්ගේ සාක්කුවට තට්ටු කළ තවත් කොමඩියක් වීම පමණි.
මෙගා රැල්ල
මෙගා ටෙලි නාට්‍ය රැල්ල වගාවක් ලෙසින් තව දුරටත් ව්‍යාප්ත විය. රූපවාහිනී නරඹන්නන්ගේ කාලය තව දුරටත් කා දැමීමට තරම් සැහැසි ව තිබූ අතර අවම වශයෙන්  දිනකට එක් චැනලයක් පැය දෙක බැගින් ගත් කල,  ජනතාවගේ කාලයෙන් දිනකට පැය 24 ත් 28ත් අතර ප්‍රමාණයක් සියලු විද්‍යුත් රූපවාහීනී  නාලිකා විසින් උදුරාගෙන තිබුණි.
සංගීතය
ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ හතු පිපෙන්නාක් මෙන් බිහි වූයේ රැප් සංගීතයෙන් වල්මත් වූ නිර්මාණ පමණි. එ ලෙසම එළි දැක්වූ වීඩියෝ ගීත ඇල්බම් ප්‍රමාණය අති විශාල ය. ඒ අතර ජාත්‍යන්තර සංගීත කරළියට අත පොවන්නට තරම් හැකියාවක් සහිත තරුණ සංගීත වේදියෙකුගේ ආගමනය ලංකාවේ සංගීතය ජාත්‍යන්තරයට ගෙන යාමට අවශ්‍ය මග පාදාගෙන තිබුණි.ඒ “දිනේෂ් සුබසිංහ”නම් තරුණ සංගීතවේදියාගේ ආගමනයයි.  ඔහුගේ සංගීත නිර්මාණ  සහ සංගීත සංධ්වනි ඉදිරියේ දී ජාත්‍යන්තර සංගීත කරලියේ පෙරළියක් කරනු නිසැක ය.
මීට අමතරව හර සුන් ගීත රැල්ලට ‍එරෙහිව පසුගිය වසර තුළ නන්දා මාලිනියගේ " ස්වේත රාත්‍රිය" ප්‍රසංගයද, මෙරට  ගීත රසිකයන්ට මහත් ආලෝකයක් සැපයූ ප්‍රසංගයක්ම විය. වික්ටර රත්නායකයන්  දෙ වතාවකදී එළි දක්වන ලද " සම්මා ගී සර"සහ "මධු සිහිනේ"ගී තැටි යුගල මෙන්ම සුනිල් එදිරිසිංහ ද "මල්වැහි පොද"තුළින් අකල් ගී වැස්සේ තෙමෙමින් සිටි රසිකයා ආරක්ෂා කළේය. අමරසිරි පීරිස්ගේ "ගඟ ගලා යා දෙන්" මෙන්ම  රොහාන් ශාන්ත බුලේගොඩගේ " හිත ඔබටම තමයි" ඉමාන්ගේ "ඉමාන්" අබේ - නිරංජලාගේ "ප්‍රේම් ලියූ ගී"  ගී පවසින් පෙළෙමින් සිටි සැබෑ ගී රසිකයාට  අමා පැන් පොද  මෙන් විය.
සමුගත් ඇත්තෝ
පසුගිය වසර තුළ කලා ක්ෂේත්‍රයේ අමත නොවන සදාකාලික සමුගැනීම් කීපයක් ම සිදුවිය. ඒ අතර ගැයුමෙන් වැයුමෙන් දිවිය නිමා කළ ග්‍රේෂන් ආනන්ද මෙන්ම සිරිල් ඒ සීලවිමල සහ කො.වෙ. පඤ්ඤාපාල වැනි මෙරට ජ්‍යෙෂ්ඨතම ගීත රචකයෝ ද වූහ. සිනමාවෙන්  ටයිටස් තොටවත්ත ගේ සමුගැනීමත් " ජෝ අබේවික්‍රම " අග්‍රගණ්‍ය රංගධරයාගේ සමුගැනීමත් සිංහල සිනමාවට රික්තයක් ඇති ‍කළේය. තාල තරංගයෙ ගීය සහ සංගීතය හැඩ කළ විජේරත්න රණතුංගයන්ද සිය තාල තරංගවාදනයට නැවතුමක් තබා නොකියාම නික්ම ගියේය. නවකතාවෙන් කෙටිකතාවෙන් සිංහල සාහිත්‍ය පෝෂණය කළ කේ.ජයතිලක සූරිහු ද,  සිය පන්හි‍ඳෙහි වූ අන්තිම තීන්ත බිංදුවෙන් ජීවිතය ලියා හමාර කළේය. මේ සහෘදයෝ රසික හදවත් තුළ සදාකාලිකව නො නිදා හිඳිති.෴

11 comments:

  1. 2011 දේශපාලනය ගැන යමක්?

    ReplyDelete
  2. @ IPV... දේශපාලනය මම කැමතිම මාතෘකාවක් ඒත් "අස්වැන්න" සඳහා දේශපාලනය බැහැර කළා. සතූතියි සටහනක් තබා ගියාට.

    ReplyDelete
  3. හ්ම්ම්...දේශපාලනය ගැන ලිව්වනම් ඒ ගැන විතරයි ලියන්න වෙන්නේ...බැහැර කරපු එක හොඳයි :)

    ReplyDelete
  4. @ සයුරිට "අස්වැන්න"තුළ කලාවේ සොඳුරු තැන් පමණයි ලියන්නේ.හැබැයි ඒ තුළ යම් දර්ශනයක් වගේ දේශපාලන අන්තර්ගතයකුත් තියනවා. ස්තුතියි සටහනක් තබා යන්න මෙහි ඇවිත් ගියාට

    ReplyDelete
  5. මේකලා ගමගේ කියන අන්ධ ගායිකාව ගී ගැයීම පටන් ගත්තෙ පසු ගිය වසරෙද කියන්න මම හරියටම දන්නෙ නැහැ. එය ගිය වසෙරෙ නම් ඇගේ ආගමනයත් මෙයට එක් කළ යුතුයි කියා මට හැ‍ඟෙනවා. අහල තියනව නේද ඇගේ "අහන් ඉන්න... අහගෙන ඉන්න...." කියන ගීතය. ඇගේ කටහඬ හරිම අපූරුයි.
    මැණික්

    ReplyDelete
  6. @ මැණික්..
    මේකලා ගමගේ ගේ ආගමනය සංගීත ක්ෂේත්‍රයට හොඳ ශක්තියක්. ඒත් ඇය ගී තැටියක් නිකුත් කළාද කියලා හොයාගන්න බැරි වුණා.මගේ මතකයේ හැටියට නම් ඇය නිරිමාණය කළේත් ගැයුවේත් " අහන්න ඉන්න" ඒ ගීතය විතරයි.ස්තූතියි ඔබේ මතක් කිරීම පිලිබඳව.

    ReplyDelete
  7. ඇය ගී තැටියක් නිකුත් නොකලා නම් ඇයට ඒ සඳහා අතදිය හැකි ආකාරයක් තියනවද? මට හිතෙනවා එය කළ යුතු යමක් කියල.
    මැණික්

    ReplyDelete
  8. @ මැණික්..
    මේකලා ගමගේ දෘෂ්‍යාබාධිත ශිල්පිණියක්..මමත් හිතනවා කවුරු හෝ ඇගේ දක්ෂතාවයන්ට රුකුලක් විය යුතුය කියලා මමත් හිතනවා.එක්කෝ රජය.. නැත්නම් සංගීත සමාගමක්..අපි බලමු ඇයගේ ඉදිරි නිර්මාණ කුමන ආකාරයක් ගනීද කියලා.

    ReplyDelete
  9. 2011 සිදු උනු දේවල් පිලිබඳ හොඳ විස්තරයක්. ගොඩාක් දේවල් දැනගෙන හිටියේ නෑ. දැන ගැනීමෙන් හිතට දැනුනේ දුකක්.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. @ පොඩිකුමාරිහාමි..

    ස්තූතියි. සටහනක් තැබුවාට

    @ forex

    ස්තූතියි. ඇවිත් ගියාට

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...