සාහිත්‍ය සම්මාන
දෙකකින් පිදුම් ලද ගීත සංග්‍රහය:
මේ ගෙවී යන්නේ සැප්තැම්බර් මාසයේ අවසන් දවස් කීපයයි. සැප්තැම්බර් මාසය පාඨකයන්
තුළ සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කරන මාසය වගේම වසරක් තුළ ලේඛක ලේඛිකාවන් විසින් විවධ විෂයන්
යටතේ ඔවුන් විසින් ලියන ලද කෘතීන් සඳහා සාහිත්‍ය සම්මාන ලැබෙන්නෙත් මේ කාලය
තුළමයි. ඒ නිසා පොතක් කියවන්න, මිලදි ගන්න වගේම පොතක් විකුණ ගන්න ඇස් ඇරෙන මේ කාලෙ
පොත් ප්‍රකාශකයන් විසින් පාඨකයා පොළඹවා ගන්න සිදුකරන කුප්‍රකට ජාවාරම පාඨකයා නොමග
යවන එකක් වුවත් ඒ සම්බන්ධයෙන් කිසිවක්
නොලියමි. එසේ වුවත් 2011 වර්ෂයේ ප්‍රකාශයට
පත් වූ සාහිත්‍ය කාති අතරින් ගීත සාහිතයට සාහිත්‍යය සම්මාන හිමි
වූ ගීත එකතුව පිළිබඳව එහි ඇතුළත් ගීත කීපයක් සමගින්
ඒ ගීත කෘතිය ගැන අස්වැන්නෙන් ලියන්නට කල්පනා කළෙමි .
ධම්මික බණ්ඩාර |
ධම්මික බණ්ඩාර ගීත
රචකයෙක් විමට කලින් ඔහු දක්ෂ කවියකු විය. ධම්මික සරසවි සිසුවකුව සිටියදී 1990 දී
ප්‍රකාශයට පත්කළ "අහෝ මිත්‍රවරුනි" කාව්‍ය සංග්‍රහය ඔහුගේ පළමු කාවය
සංග්‍රහයයි. අනතුරුව ගේය පද රචනා සඳහා
වැඩි ඇල්මක් දැක්වූ ධම්මික බණ්ඩාර මෑත කාලයේදී ඔහුගේ දෙවන කෘතිය ලෙස ඔහු
විසින් රචනා කරන ලද ගීත ඇතුළත් "මගේ පුංචි රෝස මලේ" කෘතිය
එළිදැක්වීය. එකිනෙකට වෙනස් සාහිත්‍ය සම්මාන උලෙල දෙකකදී එකම කෘතියට සම්මාන
හිමිවීම ගීත රචකයෙකු ලෙස ඔහු ලද සුවිශේෂ ජයග්‍රහණයකි.
ධම්මික බණ්ඩාර -
ඩෙනිස්ටර් පෙරේරා - අමරසිරි පීරිස්
ධම්මික බණ්ඩාරගේ
"මගේ පුංචි රෝස මලේ ගීත එකතුවට ඔහු විසින් ලියන ලද මෑත යුගයේ ජනප්‍රිය
වූ ගීත ගණානාවක්ම ඇතුළත්ව තිබේ. ඒ අතර වඩාත් ජනප්‍රිය ගීත ලෙස අමරසිරි පීරිස්ගේ ගීත ගණානාවක් මේ කෘතියට ඇතුළත්කර තිබේ. ඒ නිසා
ම මේ ගීත කෘතිය ඩෙනිස්ටර් පෙරේරා -
අමරසිරි පීරිස් සුසංයෝගයෙන් බිහිවූ ධම්මික බණ්ඩාරගේ හොඳ ගිත කෘතියක් බව සඳහන් කල
හැකිය. ඒ ගීත කෘතිය ඔහුගේ කවිතා ගුණය
ඉක්මවා ගිය ගේය ලකුණින් සපිරි ගී එකතුවකි. ඊට හොඳම නිදසුනක් ලෙස මතු දැක්වෙන ගීත නිදසුන්
ලෙස ගත හැකිය.
හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දක්නින
අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් මා යන
කල
එපා තනිය දැනෙන්න
ලතා මඩුලු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුළිකර
මහවැලියට දමන්න
ගේය පද සංකල්පනාව :
ධම්මික බණ්ඩාර
සංගීතය: ඩෙනිස්ටර් පෙරේරා
ගැයුම: අමරසිරි පීරිස්
ධම්මිකගේ ගේය පද රචනාවන්හි
සැඟව සිටින්නේ අව්‍යාජ වූ ගැමියෙකි. ඒ නගරයෙන් ඈත එපිට සත් කෝරලයේ කුරුණෑගල දිස්ත්‍රිකයේ පිටිසර ගමක උපන් නිර්ව්‍යාජ ගැමියා ඔහු තුළ
තවමත් ජීවත්වන නිසාය. ධම්මික බිහිවූ ඒ
ගැමි සමාජය තුළ ජීවත් වූ අව්‍යාජ ජන කවියාත් ඔහුගේ ගීත නිර්මාණවල ජීවමාන ලෙසින්
සැඟව සිටී. ඒ නිසාම ජන කවියේ නොමඳ ඇසුර සහ භාවිතය ඔහුගේ ගීතයට ආලෝකයක් ලබා දී ඇත.
ඉහත දැක්වූ "හන්තානට පායන සඳ" ගීතය ඊට සුදුසුම නිදසුනකි.
ඒ ගීතයේ සිටින ගැමි
තරුණයාට සරසවි වරම් අහිමි වුවද ඔහුගේ පෙම්වතියට සරසවි වරම් හිමිව ඇත. ඒත් ඔහු ඒ
ගැමි සමාජයෙන් මිදී අලුත් අත්දැකිමක් ලබන්න නික්ම ගිය පෙම්වතිය පිළිබඳ අහිතක් ඔහු
තුළ හටගන්නේ නැත. නමුත් වෙනස් වන ලෝකය තුල
ඇයද වෙනස් වන බව ඔහු හොඳින් දැන සිටී. ඔහුගේ හිත උපන් ඒ ආදරය සිය හඳේ
දොරගුළු ලා ගෙන ඇයගේ දෑස් ඉදිරිපිට
ඇති ඒ අලුත් ලෝකය පිළිගන්නා ලෙස ඔහු ඇයට ඇරයුම් කරයි. මේ වූ කලී නිර්ව්‍යාජ ගැමි
සමාජයක සොබා සෞන්දර්යයේත් සැබෑ ජීවිතයේත්
අපූර්ව අත්දැකිමක් එකට මුසු වූ අවස්ථාවකි.
ඔහු ඇයට ආදරය කළේ
ගමේ එකට හැදී වැඩුණු කොලු ගැටයෙක් ලෙසින් වුවද ඇය සරසවියට ඇතුල් වූ පසු සරසවි බිමෙහි හමුවන අලුත් ආදරය තුළ ඒ ගැමි
පෙම්වතා එහි දැකිය හැකි නොවේ. ඒ නිසා ඇයට හිමි ආදර ලෝකයේ අසිරිය රිසි සේ විඳ ගැනිමට ඇයට අවසර දෙන්නේ ඒ ඈ කෙරෙන් ගිලිහෙන
ආදරය තව දුරටත් ආරක්ෂා කර ගැනිමට ඔහුට
නොහැකි නිසාය.
ඩෙනිස්ටර් පෙරේරා
සංගීත ක්ෂේත්‍රයට නවකයෙකක් වුවත් ඔහුට අමරසිරිගේ හඬ පරාසය සහ සංගීත භාවිතය පිළිබඳව මනා දැනුමක් සහ
අවබෝධයක් සහිතව පූර්ව නිගමනයක පිහිටා ගී
තනු නිර්මාණය කිරිම හේතුවෙන් ඩෙනිස්ටර් දක්ෂ
නැවුම් සංගිතඥයෙකු ලෙස ඔහුගේ රුව හා ගුණය
සංගීත අඹරෙහි සැණෙකින් සනිටුහන් කිරිමට සමත් වන්නේ අමරසිරි පීරිස්ගේ ගී හඬ හරහාය.
ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදාගත්තා
විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
උන්නු දා පෙර අත
පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස්
තිබුණද කොයි තරම්
නුඹ නොදැක සිටි
කාලයේ
හිත හදාගත්තා
විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
දෑස අග මල් පිපී
තිබුණත් කොයි තරම්
එක මලක්වත් සුවඳ
නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ
කාලයේ
නෙත කඳුළු මැකුණා
විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්
ගේය පද සංකල්පනාව :
ධම්මික බණ්ඩාර
සංගීතය: ඩෙනිස්ටර් පෙරේරා
ගැයුම: අමරසිරි පීරිස්
මගේ ඇසින් මට හැඟෙන
විදියට “හන්තානට පායන හඳ” ගීතයේ සිටින ඒ
පෙම්වතා මේ ගීතයේ ද සැඟව සිටින බවක් දැනේ. සරසවි වරම් ලද සිය පෙම්වතියගෙන් ඔහු
ඉවත් වූ යේ අකමැත්තෙනි. හිත උපන් ආදරයක වියෝගය අමිහිරි අත්දැකිමක් වුවද, ඒ අමිහිරි
අත්දැකිම නැවත නැවත විඳවන විටදී ශෝකයේ රසය වඩාත් තීව්‍රව දැනෙන්නේ ආදරය, ප්‍රේමය සහ වියෝගය අප කාටත් පොදු මානුෂීය අත්දැකිම්
වන නිසාය. " ඔබ ආයෙමත් ඇවිදින්" ගීයේ සිටින ප්‍රේමවන්තයා ඒ අමිහිරි
අතීතයේ සිරකරුවෙකි. ආදරයේ වියෝවකින් පසුව ඕනෑම මොහාතක පෙම්වතා හෝ පෙම්වතිය නැවත එකිනෙකා
අහම්බයකින් හෝ හමුවූ විට ඔවුන්ගේ ඒ අතීය සැණෙකින් සිහියට නැගේ. එය ඉඳිකටු
තුඩකින් හදවත සිදුරු කර දැමීමක් වාගේය. එවැනි
අවස්ථාවක් අහම්බයක් වුවද, කිසිවකුටත් එය වැළැක්විය
නොහැකි සේ ම ඒ ගැන තවකෙකුට පැවසීමටද නොහැකිය. එවන් මොහොතක උනුන් රහසින් බැන්ද
පෙම්දම් නැවත සිහිකර හිතෙන් හඬා වැටී ඉවත බලාගෙන ඉවත් යාම හැර ඔවුනට වෙනත් සරණක් නොමැත.
ධම්මික බණ්ඩාර ගීයට නගන්නේත්, ඩෙනිස්ටර්ගේ සංගිතයේ මුසු වන්නේත් අමරසිරි
පීරිස්ගේ ගායනයෙන් අපට දැනෙන්නෙත් එවන් වියෝගයක ඒ නොකී පෙම් පුවතයි. එවන් මොහොතක එවන්
පෙම්වතුන් යුවලක් තනි තනිව නොකියා කියන්නේ මතු දැක්වෙන ගීයේ කතා පුවත නොවේ දැයි මොහොක්
සිතා බලන්න.
+ ඔබ එදා
නම් සඳ වගේමයි
- ඔබ මෙදා හිරු වී මා දවයි
+ ඔබ මගේ යැයි තව මට සිතෙයි
- ඔබ දමා යන්නට හිත කියයි
+ ඔබ එදා නම් සඳ වගේමයි
+ නෙතේ නෑ ආදර බැලුම්
කොහි සැඟවුණා දෝ නෙත් කැලුම්
- ඔබේ ලෝකය නෙවෙයි මගෙ ලොව
මැකී යයි ආදර හැඟුම්
+ පිටු පුරා පෙම් කවි ලියූ
හිත ගොලු වුණේ ඇයි රස මැවූ
- නොදන්නෙමි වැරදුණේ කොතැනද
දෛවයද මේ අප පැතූ
ගේය පද සංකල්පනාව :
ධම්මික බණ්ඩාර
සංගීතය: ඩෙනිස්ටර් පෙරේරා
ගැයුම: අමරසිරි පීරිස් සහ දිල්රුක්ෂි ජයකොඩි.
ධම්මිකගේ ගීතයක
රැඳුණ ප්‍රේමයේත්, ආදරයේත් සදාතනික බව රැඳෙන්නේ එය විඳින රසිකයා තුළය. ඇතැම් විට ආදරය ප්‍රේමය වැනි සංකල්පනා යොවුන් විය සමග
එකිනෙකට පෑහෙන බැඳීම් වුවද, සිය යෞවනයේ විදින්නට නොලද ආදරය, නිසි වයස ඉක්ම වූ
තවමත් තනිකඩව සිටින අයෙකුට වඩවඩාත් හොඳින්
හෘදයාංගමව දැනේ. එය ඇතැම් විට ලෝකයට විවර
නොකර සඟවාගත් ආදරයකි. හද ගැබෙහි සිය දහස් වාරයක් රිදුම් දෙමින් රහසේ හඬා වැටෙන ආදරයකි. වියපත් වූ පෙම්වත් හදවතක අප නොදකින අනුවේදනිය
පුවතකි. ධම්මික බණ්ඩාරගේ " හන්තානට
පායන හඳ" ගීතයේද, " ඔබ ආයෙමත්
ඇවිදින්" ගීතයේ දි දුටු යොවුන් පෙම්වතිය අහම්බෙන් නෙත ගැටුණු විට " ඔබ
එදා නම් සඳ වගේමයි" ගීයයෙන් ඒ බිඳී වෙන්ව ගිය පෙම්වතුන් යුවල දෙහදේ ලැගුම්ගත් නොකී පෙම් පුවත
කීවේය.
ඇතැම් විට ඒ ප්‍රේමය නිසාම තවත් ප්‍රේමයක්
ගැන නොසිතා වියපත්ව නැවත ඒ ප්‍රේමයෙන් බැඳී සිටින මොහොතක් සමාජය විසින් බැහැර කළද, කවියේදී මෙන්ම
ගීතයේදිත් නිර්මාණකරුවකු ඊට හාත්පස වෙනස් වූ ළතෙත් බවකින් යුතුව ඒ වියපත් ආදරය
දකී. එසේ සංයමයෙන් යුතු සිතිකින්ද, මුදිතාව වෑහෙන ඇසකින්ද එවන් වියපත් හදේ උපන් ආදරය
දකින්නේ සැබෑ නිර්මාණකරුවෝ ම ය. ධම්මික බණ්ඩාරද එවැන්නෙක් බව "මගේ පුංචි රෝස
මලේ" ගීයෙන් ඔප්පු කර ඇත. ධම්මික බණ්ඩාරට මෙන් ම ඩෙනිස්ටර් පෙරේරාටත් සංගීත
ක්ෂේත්‍රයේ තම ස්ථානය තහවුරු කර ගැනිමට හැකි වූයේත්, අමරසිරි පීරිස් "ඔබ
ඇපල් මලක් වාගේ" ගීයෙනුත් නැවත වෙනස්
කළේ "මගේ පුංචි රෝස මලේ" ගීයෙනි.
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත්
බමරා
නුඹ හීනෙන්වත් නොදකින
කුමරා
කලුවර රෑ හඳක් වගේ
අහසේ නුඹ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න
තරහක් නැ නුඹ බැස
යන්න
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනව
නම්
ආසයි මම කවුලු
පියන්
ඇරල තියන්න
තරහක් නෑ නෑවිත්
ඉන්න
ගේය පද සංකල්පනාව :
ධම්මික බණ්ඩාර
සංගීතය: ඩෙනිස්ටර් පෙරේරා
ගැයුම: අමරසිරි පීරිස්
ධම්මික බණ්ඩාර ජනප්‍රිය
ගීත රචකයකු බවට පත්වන්නේ " මගේ පුංචි රෝස මලේ" ගීයෙනි. ගීයේ ඇති කවිතා
ගුණය ඉක්මවූ ගේය ගුණය මුළු ගීය පුරාම විහිදෙයි. එය සංගිතඥයකුට මියුරු තනුවක්
සදහා ඇරයුම් කරන්නේ ගේය පද රචනාව තුළම සංගිතඥයාට
අවශ්‍ය ගීතමය පසුබිම සකසා දෙන නිසාය. ධම්මික තෝරාගන්නා ව්‍යක්ත කවි බස ගීයට විශාල
ආලෝකයකි. එය ඔහුගේ ගිත කෘතිය පුරාම දැකිය හැකිය. අනෙක් අතට ධම්මිකගේ ගේය පද
රචනාවන්ට විෂය වන ආදරය, ප්‍රේමය, සංතාපය, සහ වියෝගය ඔහුගේ සරල සහ සුගම බසෙහි භාවිතය
නිසා ගීයේ වචනවල ඇති ළෙංගතුකම හෘදයාංගම
ලෙසින් රැක ගනී. ඒ ධම්මිකගේ ජනවහර මෙන්ම පුරවහරද, සම්භාව්‍ය සාහිත්‍යයේ ඇසුරද නොමද
ලෙසින් ගේය කාවය සඳහා උපයෝගී කර ගන්නා නිසාය.
කවියාගේ නෙත ඉමේ දැවටෙන හැම දසුනක්ම කෙතරම් රළුපරළු අත්දැකිමක්
වුවත්, ඒවා ගේය පද රචනා බවට පත්වන්නේ විශිෂ්ඨ භාෂාව හැසිරවීම නිසාය. ඇතැම්විට
ගීයකින් කතා බහට ලක් නොවන සමාජ අත්දැකීම්වලට තුඩු දෙන මාතෘකා පවා ඔහු ගීතය සඳහා පාදක කර ගනී.
පිටකොටුවේ බෝගහ යට
බෝම්බයට බිලිවු ලොතරැයි විකුණන මල්ලීද, යුද බිමක තනිවූ සෙබල පෙම්වතා හිත උපන් ප්‍රේමයද, 83 කලු ජූලියෙන් මිය ගිය සපත්තු මැසූ
වේලුද, ඔහුගේ ප්‍රේම ගීතයේ සෞන්දර්ය රීතිය
පසෙක ලා සැබැ ජීවන අත්දැකිම්වලට අප කැඳවයි.
ශ්‍රී දේවි වගේ
නටන්න බැරි හින්දාම
මධුරි වගේ නටන්න
බැරි හින්දාම
දෑස ඓශ්‍චර්ය වගේ
නැතුවාට
මගෙ කුමාරයෝ මා
අතහැර දැම්මාද ........
වැනි ගීයකද, "මගෙ
පුංචි කුඩේ" "සිරි සංඝදාස මහත්තයා" වැනි ගීයකත්
නූතන සමාජ සංස්කෘතිය තුළ අප විඳින, විඳවන හරසුන් ගිත රැල්ල තුළ නිසරු බිමක
පිපුණු කරඹ මලක් සේ සුවඳ විහිදුවයි. ඒ
නිසරු බිමෙහි සැඟව ඇති රසවින්දනයේ සරු බීජ ඉඳහිට ඇද වැටෙන පොද වැස්සට තෙමී මුලුමහත්
පොළෝ තලයම පෙඟුණ පසු සරු පසක ගොබ ඇදී පැළවෙන්නට පටන්ගන්නා රන් අස්වනුවල පළමු අංකුර
සේ ධම්මික බණ්ඩාරගේ “මගේ පුංචි රෝස මලේ” ගීත එකතුවේ ඇති
ගීත හෙට දවස වෙනුවෙන් දලුලමින් වැඩේ. ඒ
නිසා ගීතය සහ ගීතය සාහිත්‍යය පිලිබඳව උනන්දුවක් දක්වන කාටත් එකසේ රසවිදිය හැකි
කෘතියක් ලෙස ධම්මික බණ්ඩාරගේ “මගේ පුංචි රෝස මලේ” ගීත සංග්‍රහය හැදින්විය
හැකිය. ෴
“මගේ පුංචි රෝස මලේ”
ගීත කෘතිය
එස්. ගොඩගේ ප්‍රකාශනයක්
මිල රුපියල් 300/=
වටිනා කාලය බිඳක් වැය
කර ගී රස විඳිමින් කියවූ ඔබට ස්තූතියි.
වෙලාවක් ඇත්නම් මීට වඩා වෙනස් වූ ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න.